වලස් පුංචා ගේ පාසල් ගමන

අද කතන්දරය වලස් පුංචා ගේ පාසල් ගමන ගැනයි.

ඔන්න දරුවනේ වලස් පුංචා හරිම උනන්දුවෙන් ලෑස්ති වෙලා පාසල් යන්න පිටත් උනා. සතුටින් වගේම පුංචි බයකුත් නැතිවම නෙවෙයි. හෙමි හෙමින් තම පන්ති කාමරය වෙත ගිය පුංචා, ඔලුව උස්සලා බැලුවා. ගොඩක් අලුත් යහළුවන් පන්ති කාමරය පුරාම.

ගුරුතුමා ඇවිත් හැමෝවම ආදරෙන් පිළිගත්තා. අලුත් යහළුවන්ව හඳුනා ගන්න ගුරුතුමා උදව් කලා. පුංචි යාලුවෝ හැමෝටම අලුත් අත්දැකීමක්.

ඔන්න හැමෝම කැමති විවේක කාලය උදා උනා. කෑම ටිකත් ඉකමනින් කාලා ඉවර වුණ වලස් පුංචා සෙල්ලම් කරන්න හිතන් පිට්ටනිය වෙත දුව ගියා. හරිම අපුරුයි! ගොඩක් යාළුවන් ඉන්නවා සෙල්ලම් කරන්න. පුංචාට  හරිම සතුටු හිතුනා.

සෙල්ලම් කරන්න, යාළුවන් එක්ක මිතුරු වෙන්න ඕනා. එහෙම හිතන් යහළුවන් ලඟට යන්න හදද්දිම, එකපාරටම ආව පුංචෙක් අපේ වලස් පුංචාගේ තොප්පිය ගලවලා පැළඳ ගත්තා. එකපාරටම බය උනත්, බලාගෙන උන්නා මොකද වෙන්නේ කියලා. තොප්පිය ගත්තු යාළුවා එය අරන් දුවන්න පටන් ගත්තා. මේ යාලුවා මගෙත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නද එහෙම කලේ. වලස් පුංචා හිතුවා. තොප්පිය අරන් දුවපු යාළුවා නැවත ආවා. ඇවිත් වලස් පුංචා ගේ ඔලුවට තොප්පිය දැම්මා. අයෙමත් තොප්පිය අරගෙන දුවන්න උනා. හරියට හිතා ගන්න බැරිව වලස් පුංචා බලන් උන්නා. මෙන්න අයෙමත් එනවා තොප්පිය අරගෙන. වලස් පුංචා මිතුරාට කතා කලා.

යාලුවේ ඔයාට තොප්පිය පැළඳ ගන්න කැමති නම් මගෙන් අහන්න. මම හරිම කැමති ඔයාට අවස්ථාවක් දෙන්න මෙය පැළඳ ගන්න. ඒවගේම සෙල්ලම් කරන්න, දුවන්න ඕනා නම් මට කියන්න මම කැමතියි සෙල්ලම් කරන්න දුවන්න. නමුත් මගේ තොප්පිය මගෙන් අහන්නේ නැතිව ගන්න එකට සහ එය අරන් දුවන එකට නම් මම කැමති නෑ.ඒ නිසා එහෙම නොකර අපි සෙල්ලම් කරමුද?අනෙක් යාළුවනුත් එකතු කරන්?.

දැන් තමයි වලස් පුංචාගේ යාලුවට තේරුම් ගියේ.. තමා කරපු දෙය හොඳ දෙයක් නොවන බව. සෙල්ලමට උනත්, තව කෙනෙක් අපහසුතාවයට පත් කරන එක හොඳ දෙයක් නෙවෙයි. වලස් පුංචාගෙන් සමාව අරන්, දෙන්නත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න වුණා.

වලස් පුංචාට හරිම සතුටුයි දවස හොඳින් ගෙවුණු නිසා… ඒ වගේම තමන්ට වුණ අපහසුතාව ගැන නිර්භීතව මිතුරට  කතා කරලා පැහැදිලි කල නිසාත්.

පුංචි දුවලා පුතාලාත් හොඳින් මතක තියා ගන්න සෙල්ලමට උනත් යාලුවන්ව අපහසුතාවයට පත් නොකර ඉන්න.හොඳද.

සතුටින් ඉන්න. අලුත් කතාවක් එක්ක හමුවෙමු.

තිලෝෂි ප්‍රනාන්දු.

රුව වඩන රහස්

රුව වඩන රහස්

දිදුලන නිරෝගී පැහැපත් සමක්, සුන්දර රූ සපුවක් ලබාගැනීමට කවුද අකැමැති ? ඉතින් එවැනි සුන්දර

රහස් කීපයක් ඔබ හා බෙදාහදාගන්න යි අද මේ සූදානම. දුටුවන් හැරී බලනා අන්දමේ රූ සපුවකට සිහින දකින ඔබ කළයුතු නොකළයුතු දේ තිබෙනවා. එසේ නම් ඒ මොනවාදැ යි විමසා බලමු.

1. ඔබට කෙතරම් වෙහෙසකර කාර්‍යය බහුල දිනක දී වුවත් කිසි ම විටෙක මේක් අප් සමඟින් නින්දට යන්න එපා. ඉතා හොඳින් මේක් අප් ඉවත්කරගැනීමෙන් අනතුරුව නින්දට යාමට මතක තබා ගන්න. එමඟින් දිනය පුරා විවිධ ආලේපන සහ විවිධ තත්ත්ව යටතේ වෙහෙසට පත්වූ සම නිදහස්ව සැහැල්ලුව ප්‍රකෘතිමත් වන අතර සමේ නිරෝගීබවට සහ පැහැපත්බව තීරණය කිරීමට  ඉතා ම වැදගත් වේ.

2. එසේ ම මීට ප්‍රථම අප කතාකළ පරිදි සමට ගැළපෙන   ඔබට ගැලැපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන ම භාවිතයට ගන්න. එකිනෙකාගේ සමේ තත්ත්වය වෙනස්වන නිසා පලපුරුදු රූපලාවණ්‍යය උපදෙස් මත තෝරාගන්නා මිල දී ගන්නා නිෂ්පාදන භාවිත කරන skin care routine පවත්වා ගැනීම අනිවාර්යයෙන් ම දිනපතා සිදුකරන්න. 

3. Anti oxidant අඩංගු සීරම් භාවිත කරන්න. Night time skin care routine සඳහා අනිවාර්යයෙන් ම ඔබට සුදුසු Anti oxidants අඩංගු සීරම් එකක් ඇතුළත් කරගන්න.

4. ක්ෂණික ආහාර, junk food භාවිතයෙන් වළකින්න. සුන්දර රූ සපුවක් ලබාගැනීමට නම් ඔබේ ආහාර රටාව ඉතාම ත් තීරණාත්මක සාධකයක් වන අතර කුමන තත්ත්වයක් යටතේ වුවත් ඔබ Juno Food නිතර අනුභව කරන්නෙක් නම් සුන්දර රුවක් ලබාගැනීමේ සිහිනය තවත් දුර බව මතක තබාගන්න. 

5. සමෙහි ස්වාභාවය අනුව පළපුරුදු රූපලාවණ්‍යය උපදෙස් මත සතියකට වරක් හෝ මුහුණේ සහ ශරීරයේ මැරුණු සම ඉවත්කරන සත්කාරයක් ලබාගන්න. 

6. උදෑසන අවදිවූ විගස මෙන් ම රාත්‍රියේ නින්දට යනතෙක් ම ඉතා හොඳින් වතුර පානය කරන්න මතක තබා ගන්න. සමෙහි තෙතමනය රඳා පවත්වාගැනීමට පිරිසුදු ජලය පානය කිරීම අත්‍යාවශ්‍යය සාධකයක් වන අතර එය මඟහැරීමෙන් නොයෙකුත් සෞඛ්‍යය සහ රූපලාවණ්‍යය ගැටළු මතුවිය හැකි ය. 

7.සතියකට වරක් අනිවාර්යයෙන් ම face mask එකක් භාවිත කරන්න. නිසි පරිදි මුහුණේ සම පිරිසුදු කිරීමෙන් අනතුරුව face mask එක භාවිත කිරීමෙන් ඔබේ සමේ ඇති ගැටළු බොහොමයක් අව ම කරගත හැකිවනු ඇත. 

8. ව්‍යායාම සහ නිවැරදි ආහාර රටාවක් පවත්වාගෙන යා ම ඉතා ම ත් ම වැදගත් තීරණාත්මක සාධකයක් වේ . මන්ද ඔබේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය සහ ශරීරයේ පැවැත්ම නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් හොඳ ආහාර පුරුදු සහ ව්‍යායාම අත්‍යවශ්‍යය සාධකයක් වන අතර ප්‍රෝටීන බහුල, කැල්සියම් සහ විටමින් බහුල ආහාරවේලක් හැමවිට ම ඔබේ ශරීරයේ ශක්තිය ක්‍රියාකාරීබව සහ සුන්දරත්වයට මඟ පෙන්වනු ඇත. 

ඉතින් මෙවැනි ම වැදගත් ලිපියකින් නැවත ඔබ හමුවට එනතුරු සුබ සතියක්!

සමීරා ජයසිංහ

මගේ හදවත දෙවිදුන්ගේ මාලිගාවයි

මගේ හදවත දෙවිදුන්ගේ මාලිගාවයි..

දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා! තවත් අළුත්

දවසක දෙවියන්වහන්සේගේ බලවත් පණිවිඩයකට

අපගේ හදවත යොමුකර සිටිමු.

(1 කොරින්ති – 3:16,17)

ඔබ සැම දෙවියන්වහන්සේගේ මාළිගාව බවද

දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ

සැම තුළ වාසයකරන බවද නොදනිවුද? යමෙක්

දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ

නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක;

මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය,

නොහොත්, ඔබ සැම එයාකාරය.ඒ මාළිගාව ඔබ

සැමය.

දෙවිඳුන් තුළ ඔබ සෑම කෙනෙකුටම ආශිර්වාදමත්

දවසක් වේවා!මාගේ ප්‍රේමවන්ත සහෝදර

සහෝදරයෙනි මේ ඉහත සඳහන් බයිබල් පදය දෙස

මොහොතක් ඔබගේ සිත හොඳින් යොමු කර

බලන්න.ලෝකයේ බොහෝ මනුෂ්‍යයන් අතරින් අපව

දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ලෝකයෙන්

තෝරා වෙන් කර ගනිමින් අප තුළ උන්වහන්සේ

රජකම් කරන බැවින් අපි ඉතා වාසනාවන්ත වෙමු.

ස්වර්ගයේ වැඩ සිටින මැවුම්කාර දෙවියන්

වහන්සේගේ ශුද්ධවූ දේව ආත්මයන් වහන්සේ එසේ

අප තුළ වාසය කරන්නට පැමිණෙන බැවින් අපි

උන්වහන්සේගේ මාලිගාව වෙමු.

ප්‍රේමවන්තයෙනි ඊශ්‍රායල්හි දෙවියන් වහන්සේ වන

බැවින් ජෙරුසෙලම නම් වූ අගනුවර දාවිත් රජුගේ

පුත්‍ර වූ සලමොන් රජතුමා උන්වහන්සේගේ මාලිගාව

ගොඩනගන ලදී.නමුත් වර්තමානයේ එහි නටබුන්

පමණක් දක්නට ලැබෙයි.එහෙත් ශුද්ධ බයිබලයේ

අලුත් ගිවිසුමේ ක්‍රියා පොතේ මෙසේ ලියා තිබේ..

(ක්‍රියා 17:24)

ලෝකයද එහි ඇති සියල්ලද මැවූ

දෙවියන්වහන්සේ ස්වර්ගයටත් පොළොවටත්

ස්වාමීව සිටිනසේක්, අතින් සාදනලද මාළිගාවල

නොවසනසේක;

එලෙසම ඉහත සදහන් 1කොරින්ති 3-16,17 හි

පවසන්නේ දෙවියන් වහන්සේගේ මාළිගාව ඔබ සහ

මා බවය.තවද අපගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ

ඉතා ශුද්ධවූ දෙවිඳුන් වන බැවින් උන්වහන්සේ

වාසය කරන්නට පැමිණෙන අපගේ ශරීරය නැමැති

මාළිගාව එසේ ශුද්ධ ව සිටිය යුතු බව මෙහි

කියවේ.

ඉතින් මාගේ ප්‍රිය සහෝදර සහෝදරයෙනි අප ඉහත

බැලු ආකාරයට දෙවියන් වහන්සේ අප තුළ වාසය

කරන බැවින් අපි උන්වහන්සේගේ මාළිගාව බැවින්

අපි ශුද්ධව සිටිය යුතු බව ප්‍රකාශ කරයි.ඉන්

දෙවිදුන්ගේ ආශිර්වාදය අත්පත් කර ගැනීමට නම්

ඔබත් ශුද්ධ ජීවිතයක් ගත කිරීමට තීරණයක්

ගන්න.

ඔබ සැමට ජේසු පිහිටයි!

ඡායාරූපකරණයට පිවිසෙමු

Photography 3

Photography ලිපියේ තුන් වෙනි කොටසිනුයි අද මම ඔයාලා එක්ක සමබන්ධ

වෙන්නේ. අපි අදත් කතා කරමු චායාරූපකරණයේ තවත් මූලික සැකසුම්

කීපයක් ගැන.

Metering modes

Metering යනු කැමරාවට පෙනන වස්තුවකින් පරාවර්තනය වන ආලෝක

ප්‍රමාණය මැන, එය හා ISO අගය මත පදනම්ව Shutter speed (ද්වාර වේගය) හා

Aperture (කාච විවරය) අගය කුමක් විය යුතු දැයි තීරණය කිරීමයි. (මෙය

නූතන කැමරා ආශ්‍රයෙන් කල අර්ථ දැක්වීමකි)

බොහෝමයක් චායාරූප ශිල්පීන් තම අගයන් (Shutter speed, Aperture) සකසා

ගන්නා බැවින් හා Flash lights භාවිතා කරන බැවින් මෙම සැකසුම ගැන එතරම්

සැලකිල්ලක් දක්වන්නේ නැත.

නමුත් අතීතයේ දළ සේයාපට භාවිතා කල කාල වකවානුවේ මෙම සැකසුම

ඉතාමත් වැදගත් සැකසුමක් විය. මක්නිසාද යත් ඔවුන්ට තමා ලබාගත්

චායාරූපයේ පෙර නැරඹුමක් (Preview) කල නොහැකි විය. එමෙන්ම එකල

කැමරාවල මෙම Light metering sensor අඩංගු නොවූ නිසා අතේ ගෙන යා හැකි

ආලෝක මීටර් භාවිතා විය.

පැරණි කැමරා කීපයක් හා එකළ භාවිතා වූ Light metering device කීපයක්.

(මූලාශ්‍ර google.com)

විවිධ කැමරා මාදිලි වල Metering modes තුනක් හෝ හතරක් පිහිටුවා ඇත.

අපි දැන් ඒ එකින් එක සරලව විමසා බලමු.

1. Evaluative / Matrix / Multi (Zone metering)

මෙම mode එක තමයි metering වල සංකීර්ණම mode එක. මේකෙදි අපේ

රාමුව විවිධ කොටස් වලට බෙදීමක් සිදුවෙනවා. මෙම කොටස් ප්‍රමාණය

විවිධ කැමරා අනුව වෙනස් වෙනවා. ඉන් පස්සෙ කැමරාව විසින් මේ

හැම කොටසකම පරාවර්තිත ආලෝක අගය වෙන වෙනම ගණනය

කරලා සාමාන්‍යයක් (average) ලෙස ලබා දෙනවා.

ඒ වගේම මේ mode එකේදි කැමරාවේ focus point එක සහිත කොටස

හඳුනාගෙන එහි ඇති වස්තූන් වලට ප්‍රමුඛතාව (priority) ලබා දී ආලෝක

අගය ගණනය කිරීමත් සිදු වෙනවා. මම ළා කොළ පාටින් දක්වලා

තියෙන්නේ මේ කොටස.

2. Center weighted metering

මේ mode එකේදි රාමුවේ මැදට වෙන්න 80% – 70% දක්වා පරාසයක

(කොල) පමණයි පරාවර්තිත ආලෝක අගය ගණනය කිරීම සිදුවෙන්නේ.

අනෙකුත් කොටස් නොසලකා හරිනවා. (රතු)

3. Spot Metering

Metering වලදී ඉතාමත් නිරවද්‍ය mode එක තමයි මේ mode එක. මේකෙදි

ඉතා කුඩා ස්ථානයක ආලෝක අගය මැනීම සිදුවෙනවා. එය සම්පූර්ණ

රාමුවෙන් 1%-5% වගේ සුළු ප්‍රමාණයක්. බොහෝවිට මේ ස්ථානය

වෙන්නෙ රාමුවේ හරි මැද. නමුත් නවීන කැමරා වල focus point එක

සමග මෙම spot එක link කිරීමේ හැකියාව තිබෙනවා. එමගින් ඔබ focus

කරන ස්ථානයේම ආලෝක අගය නිරවද්‍යව මැනගැනීමේ හැකියාව

තිබෙනවා.

4. Partial metering

මේකත් spot metering වගේම mode එකක්. මේ දෙකේ ඉතාම සුළු

වෙනසක් තමයි තියෙන්නේ. Spot metering වලදි 1%-5% අතර ප්‍රමාණයක්

මනිනකොට partial metering වලදි 10%-15% අතර ප්‍රමාණයක අලෝක

අගය ගණනය කරනවා.

5. Highlight weighted metering

මෙම mode එක සමහරක් Nikon හා සමහරක් Sony කැමරා වල පමණක්

දක්නට හැකි සැකසුමකි. මෙහිදී රාමුවේ ඇති Highlighted areas වල

ආලෝක අගය පමණක් ගණනය කර එම චායාරූපය over exposed වීම

වළක්වයි.

6. Entire screen metering

Sony කැමරා වල දක්නට ඇති මෙම mode එකේදී සම්පූර්ණ

රාමුවේම ආලෝක අගය ගණනය කරනු ලබයි. මෙය අප මුලින් කතා

කල Zone metering වලට තරමක් සමාන නමුත් මෙහිදී වෙනත් කිසිදු

ප්‍රමුඛතා ලබාදීමක් (priority) සිදු වෙන්නේ නෑ.

ඉතින් metering modes වල මූලික කරුණු සියල්ල අපි දැන් කතා කරලා අවසන්. ඔබගේ කැමරාවෙන් මෙම

සැකසුම් සියල්ල ඔබටත් අත්හදා බැලීමට පුළුවන්. ප්‍රායෝගිකව මම ද මෙම සැකසුම භාවිතා කරන්නේ

ඉතාමත් අඩුවෙන්. මොකද මම Flash lights භාවිතා කිරීම සහ metering mode භාවිතා කිරීමට වඩා ඉක්මනින්

මා විසින්ම shutter speed හා aperture පාලනය කිරීම ඉක්මන් හා පහසුවෙන් කරගන්න පුලුවන් නිසා.

දැන් අපි බලමු තවත් එක් මූලික සැකසුමක් ගැන. මෙයත් බොහෝමයක් චායාරූප ශිල්පීන් භාවිතා කරන්නේ

ඉතාමත් අඩුවෙන්. නමුත් එයත් ඔබට යම් අවස්ථාවක උපකාරී විය හැකි නිසා එයත් ඉගෙන ගනිමු.

Exposure Compensation (EV)

ඔබ metering modes භාවිත කර චායාරූප ගැනීමේදී සමහර අවස්ථාවලදී චායාරූපය ඔබට අවශ්‍ය

ප්‍රමාණයට වඩා තරමක් අඳුරු හෝ ආලෝකමත් විය හැකිය. එවැනි අවස්ථාවල කැමරාව ලබාගන්නා

exposure අගය මගහැර නැවතුම් (stops) කිහිපයකින් exposure එක අඩු හෝ වැඩි කරගැනීමට මෙම

සැකසුම භාවිතා කළ හැක.

බොහෝ කැමරාවල මෙම අගය -3 සිට +3 දක්වා අගය පරාසයක දක්නට ලැබේ. එනම් නැවතුම්

(stops) තුනක පරාසයක අඩු හෝ වැඩි අගයක් ලබා දීමට හැකිය.

ඉතින් photography තෙවැනි ලිපියත් සමගින් චායාරූපකරණයේ

මූලීක සැකසුම් කොටස අවසන් වෙනවා. මීළඟ කලාපයේ ලිපියෙන්

අපි කතාකරමු කැමරා වර්ග, ඒවායේ භාවිත හා කැමරාවක්

ක්‍රියාකරන ආකාරය ගැන. එතෙක් ඔබට ජයෙන් ජය!

බිනර සිසිරංජන

නිදිමත නැති කිරීමේ ක්‍ර‍ම සතක්

නිදිමත නැති කිරීමේ ක්‍ර‍ම සතක්

————————————

එක් සමයෙක්හි මුගලන් මහතෙරුන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත නම් ගම සමීපයේ මහ වනයෙහි මහණදම් පුරන සේක්; සක්මන් කරමින් භාවනා කිරීමෙන් වෙහෙසට පත් ව සක්මන කෙළවර හිඳ නිදා වැටෙමින් හුන් සේක. මුගලන් මහතෙරුන් වහන්සේ එසේ නිදා වැටෙමින් වැඩ ඉන්නා බව තථාගතයන් වහන්සේ දිවැසින් දැක එතැනට වැඩ වදාරා පනවන ලද අසුනෙහි වැඩ හිඳ “මොග්ගල්ලානය, නිදා වැටෙන්නෙහි දැ”යි වදාළ සේක. “එසේය, ස්වාමීනි” යි මුගලන් මහතෙරුන් වහන්සේ පිළිවදන් දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහතෙරුන් වහන්සේට මතු දැක්වෙන කරුණු සත වදාළ සේක.

1. මොග්ගල්ලානය! යමක් සිහිකරමින් වෙසෙන කල්හි තට නිදිමත ආවහොත් එය සිහි නො කර හරුව. එසේ කළ කල්හි තට එයින් නිදිමත දුරුවිය හැකිය.

2. එසේ කිරීමෙන් ද ඒ නිදිමත නො දුරු වුව හොත් අසා ඇති දැන ගෙන ඇති ධර්ම සිහිකරන්නට ඒවා ගැන කල්පනා කරන්නට විමසන්නට පටන් ගනුව. මොග්ගල්ලානය! එසේ කරමින් වෙසෙන කල්හි තට නිදිමත දුරුවිය හැකිය.

3. මොග්ගල්ලානය! එසේ කරන කල්හි දු තාගේ නිදිමත නො දුරු වී නම් අසා ඇති පුහුණුකර ඇති බණ දහම් විස්තර වශයෙන් සජ්ඣායනා කරව. එසේ කරමින් වෙසෙන කල්හි තාගේ නිදිත දුරුවිය හැකිය.

4. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත දුරු නොවේ නම් කන් දෙක අල්ලා ඒ මේ අතට ඇදීම කරව. අත්වලින් තදින් ඇඟ පිරිමැදීම කරව. එසේ කරන කල්හි තාගේ නිදිමත දුරුවිය හැකිය.

5. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත නො දුරුවෙතොත් ඇල් දියෙන් ඇස් තෙමා පිරිමැද වටපිට ලෝකය දෙස බලව. අහසේ තරු දෙස බලව. සමහරවිට එයින් තාගේ නිදිමත දුරුවිය හැකිය.

6. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත දුරු නොවී නම් ආලෝක සංඥාව සිත්හි ඇතිකර ගනුව. දවල් යන හැඟීම ඇතිකර ගනුව. දවාලෙහි මෙන් රාත්‍රියෙහිත් ආලෝක සංඥාව ඇති කර ගනුව. රාත්‍රියෙහි මෙන් දවාලෙහිත් ආලෝක සංඥා ඇතිකර ගනුව. සිත ආලෝකවත් කර ගනුව. එසේ වාසය කරන කල්හි තට නිදිමත දුරුවිය හැකිය.

7. මොග්ගල්ලානය! එසේ කිරීමෙන් ද තාගේ නිදිමත දුරු නොවේ නම්, ඇතුළත ම තබා ගන්නා ලද චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ඇතුව පිටතට නො යැවූ සිත් ඇතුව සක්මන් කරව. එසේ කරන කල්හි තට නිදිමත දුරු කළ හැකිය.

මොග්ගල්ලානය, එයින් ද තට නිදිමත දුරු නොවේ නම්, දකුණු ඇලයට හැරී එක් පයක් මත අන්පය මඳක් ඉදිරියෙන් තබා නැගිටින වේලාව සිහිකොට සිංහ ශෙය්‍යාවෙන් සයනය කරව. නින්දෙන් අවදි වූ වහා නැගිටිය යුතුය. මෙසේ තථාගතයන් වහන්සේ වදාළ සේක. (මෙය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සූත්‍ර‍යකින් ගන්නා ලදි.)