දියවැඩියාව සඳහා නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමුවී සංකූලතා අවම කරගනිමු

දියවැඩියාව සඳහා නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමුවී සංකූලතා අවම කරගනිමු

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන වලට අනුව පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින බව පිළිගැනේ. එමෙන්ම දියවැඩියා රෝගය නිසා හටගන්නා අතුරු ආබාධ හා සංකූලතා හේතුවෙන් සිදුවන පුද්ගල මරණ ගණනද සංඛ්‍යාත්මකව දිනෙන් දින ඉහල අගයක් ගනී. 

වර්තමානයේ දියවැඩියාව යනු වයස් හෝ ලිංග භේදයකින් තොරව හටගන්නා රෝගී තත්ත්වයකි. පාසැල් වියේ පසුවන දරුවන්ට පවා පහසුවෙන් වැළඳෙන රෝග අවස්ථාවක් ලෙස මෙය ප්‍රකට වේ. 

වත්මන් සමාජය තුල අනුගමනය කරන සුඛෝපභෝගී ජීවන රටාව හා වැරදි ආහාර පාන රෝගය හටගැනීම කෙරෙහි ඍජුවම බලපායි. එමෙන්ම නිසි ව්‍යායාම නොලැබීම, මානසික ආතතිය, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය හා ජානමය පසුබිම රෝගයට හේතු කාරක වේ. 

බොහෝ දෙනා දියවැඩියාව මධුමේහය ලෙසට හැඳින්වුවද ආයුර්වේද මත අනුකූලව මධුමේහය යනු ප්‍රමේහ රෝග විස්සෙන් එක් රෝගයක් පමණි. එය වාතජ ප්‍රමේහ රෝග අතරින් එකකි. 

වාතජ ප්‍රමේහ රෝග ප්‍රබේද 4ක් ලෙස ද, පිත්තජ ප්‍රමේහ රෝග ප්‍රබේද 6ක් හා කඵජ ප්‍රමේහ රෝග ප්‍රබේද 10ක් ලෙස ප්‍රමේහ රෝග වර්ග කල හැක. මෙම විසි වැදෑරුම් ප්‍රමේහයන් සඳහා නිසි ප්‍රතිකාර සිදු නොකරන කල්හි ද මධුමේහ තත්ත්වයට පත් විය හැකි බව ආයුර්වේදයේ පිලිගැනීමයි. 

එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ දී දියවැඩියාව ලෙස හැඳින්වෙන තත්ත්වය කල්යාමෙන් (Chronic) මධුමේහ අවස්ථාව බවට වර්ධනය විය හැක. 

වාතජ ප්‍රමේහ මධුමේහය අසාධ්‍ය හෙවත් සුව කිරීමට අපහසු රෝග තත්ත්වයකි. එනම්, ප්‍රතිකාර යෙදීමෙන් යම් සුවයක් ලබාගනු විනා සම්පූර්ණයෙන්ම සුව කිරීම අපහසු යැයි ආයුර්වේද මූල ග්‍රන්ථ වල සඳහන් රෝගී අවස්ථාවකි. 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන ආකාරයට අලුත් සහලේ බත්, පස්ගෝරස, ගව/එළු/කුකුළු හා ජලජ මාංශ, පැණි/හකුරු යෙදූ ආහාර (වර්තමානයේ නම් සීනි හා මාංශ අධිකව අඩංගු ක්ෂණික ආහාර පාන ආදිය) නිතර භාවිතා කිරීමත්, ව්‍යායාම වලින් තොර වීමත්, අධිකව නිදා ගැනීමත්, සැප අධික ලෙස දිවි ගෙවීමත් ප්‍රමේහයන්ට හේතු ගෙනෙන බව දක්වා ඇත. 

බටහිර වෛද්‍ය මතයට අනුව රුධිරයේ ඇති ග්ලූකෝස් යාමනය සඳහා අග්න්‍යාශය විසින් ශ්‍රාවය කරන ඉන්සියුලින් හෝමෝනය වැදගත් වේ. මෙම පරිවෘත්තිය ක්‍රියාවලියෙහි හටගන්නා විකෘති තත්ත්වයක් හේතුවෙන් ඉන්සියුලින් මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියමිත පරාසයක රඳවා ගැනීමට අපොහොසත් වීමෙන් දියවැඩියාව ඇති වේ. ඒ අනුව දියවැඩියාව,

 type 1 – ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් ශරීරය තුල නිපදවීමට නොහැකි වීමෙන්,

Type 2 – දේහ සෛල වල ඉන්සියුලින් වලට ප්‍රතිචාර දැක්වීම දුර්වල වීමෙන්,

Secondary – වෙනත් රෝගී තත්ත්වයක සංකූලතාවයක් හේතුවෙන්,

Gestational – ගර්භණී භාවය සමඟ රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහල යාමෙන් 

ලෙස ප්‍රධාන ආකාර 4කින් හටගත හැක. 

රෝග ලක්ෂණ –

• දිනකට වැඩි වාර ගණනක් මුත්‍රා පිටවීම

• අධික පිපාසය හා තොලකට වේලීම

• එකවර සිරුරේ බර අඩු වී කෘශ වීම

• අධික තෙහෙට්ටුව හා අප්‍රාණික බව

• සුව නොවන තුවාල පැවතීම හා ආසාදන වලට පහසුවෙන් ගොදුරු වීම

• අසාමාන්‍ය ලෙස නිතර නිතර කුසගිනි දැනීම

• මුත්‍රා වල ගන්ධය ඇපල් ගන්ධයෙන් යුක්ත වීම

• මුත්‍රා කල පසු වැසිකිලියට තුල කුහුඹුවන්/මැස්සන් අධිකව ගැවසීම

• පෙනීමේ දුර්වලතා ඇතිවීම

• පාද හිරිවැටීම

• කෙණ්ඩ පෙරලීම නිතරම සිදුවීම

• චර්ම රෝග පහසුවෙන් වැළඳීම

• ලිංග ප්‍රදේශයන්හි කැසීම් පැවතීම හා ලිංගාශ්‍රිතව තුවාල ඇතිවීම 

පුද්ගල ප්‍රතිශක්තිය දුර්වල කර ශරීරයේ සියලුම පද්ධතීන් කෙරෙහි බලපෑම් ඇති කරන දියවැඩියා රෝගී තත්ත්වය මිනිස් සිරුර නොයෙක් අයුරින් පීඩාවට පත් කරනු ඇත. තව ද, රුධිරගත අධික ග්ලූකෝස් පිළිකා සෛල කෙරෙහි ඇතිකරන බලපෑමෙන් ප්ලීහාව ආශ්‍රිත පිළිකා, මුත්‍රා මාර්ගගත පිළිකා, සමේ පිළිකා හා පියයුරු පිළිකා ඇති කිරීමට ඍජු හා වක්‍රාකාරයෙන් හේතු සපයන බවට නව්‍ය පර්‍යේෂණ මගින් හඳුනාගෙන ඇත. දියවැඩියා රෝගීන්ගේ සම තුනී වීම හේතුවෙන් පහසුවෙන් තුවාල වීම, සම වියළීම, තුවාල ඉක්මනින් සුව නොවීම, සම මත දිලීර/බැක්ටීරියා ආසාදන පහසුවෙන් ඇති වීම සිදු වේ. තව ද, සංවේදනය හානි වී හිරිය පැවතීම හේතුවෙන් යටි පතුල් නිතර තුවාල වී, තුවාලයන් ඔඩු දුවන තැනට පත් වන තුරු රෝගියාට හඳුනාගැනීමට නොහැකි වන අවස්ථා පවතී. අවසානයේ ඇඟිලි හෝ පාද ශරීරයෙන් ඉවත් කිරීමට පවා මෙනිසා සිදු විය හැක. පුරුෂයින්ගේ ශිෂ්ණය වෙත සැපයෙන රුධිර සැපයුම අවහිර වීමත්, ස්නායු ආවේගයන්හි ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවීමත් හේතුවෙන් දියවැඩියාව ලිංගික අප්‍රාණිකත්වය ද හේතු විය හැක. දීර්ඝකාලීන දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩිවීම නිසා මුඛය අභ්‍යන්තරයේ අහිතකර බැක්ටිරියා වර්ධනය වීමත්, දත් දිරායාම ඉක්මන් වීමත් සිදුවේ. දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලුකෝස් සෛල වලට උරා නොගැනීම නිසා රුධිරගත ග්ලූකෝස් මට්ටම සැම විටම අධික වේ. එමනිසා සෛල වලින් නිපදවන ශක්තිය හීන වේ. රෝගීන් කෘශ/දුර්වල තත්ත්වයට පත් වේ. 

රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වීමෙන් මොළයේ සෛල වල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති වීමෙන් ක්ෂණික ආඝාත (Stroke) හෝ හෘදය වෙත බලපෑම් ඇති වීමෙන් හෘදයාබාධ ඇතිවීම මෙම රෝගයේ අවදානම් අවස්ථාවන් වේ. කාලයක් පුරාවට දියවැඩියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳීම නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වී අකර්මණ්‍ය වීම ද සිදුවිය හැක. තව ද ග්ලූකෝමා තත්ත්වය හේතුවෙන් පූර්ණ දෘෂ්ටි නාශනය නොහොත් ඇස් නොපෙනී යාම පවා සිදුවිය හැක. එබැවින් දියවැඩියාව Diabetic neuropathy (ස්නායු පද්ධතිය ආශ්‍රය කරගනිමින්), Diabetic nephropathy (වකුගඩු ආශ්‍රය කරගනිමින්) හා  Diabetic retinopathy (ඇසේ දෘෂ්ටි විතානය ආශ්‍රය කරගනිමින්) යන ආකාර වලින් සංකූලතා ඇති කරනු ලැබේ.

දෙමාපියන්ගෙන් එක් අයෙක්ට අවුරුදු 50ට පෙර දියවැඩියාව වැලඳුනි නම් දරුවන්ට වැළඳීමේ හැකියාව 14%ක් වන අතර අවුරුදු 50ට පසු වැළඳුනි නම් දරුවන්ට වැළඳීමට ඇති හැකියාව 8%ක් පමණ වන බවත්, දෙමාපියන් දෙදෙනාටම දියවැඩියාව වැලඳී තිබේ නම් 50%ක ප්‍රවණතාවකින් ද දරුවන්ට රෝගය වැළඳෙන බව පර්‍යේෂණ මගින් පෙන්වා දී ඇත. එබැවින් පවුලේ රෝග ඉතිහාසයක් පවතින පුද්ගලයින් රෝගය පිලිබඳ සැලකිලිමත් වීම අනිවාර්යය වේ. 

ජානගත හේතූන් මත හටගන්නා දියවැඩියා තත්ත්වය සුව කිරීම ඉතා අපහසු අවස්ථාවක් බැවින් නිතර මනස නිරවුල්ව තබා ගැනීම, රෝගයට හිතකර ආහාර පාන හා විහරණ වෙත නැඹුරුවීම, අහිතකර ආහාර පානයන්ගෙන් හා විහරණයන්ගෙන් ඈත් වීම, ව්‍යායාම සිදු කිරීම හා යෝග අභ්‍යාස වල නිරත වීම මගින් වෛද්‍ය ප්‍රතිකාර වල සාර්ථක ප්‍රතිපල උදෙසා ඉවහල් වේ. 

මුල් අවස්ථාවේදී ම දියවැඩියාව හඳුනා ගැනීමෙන් සංකූලතාවයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙන අතර සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ඉක්මනින් යොමු වී නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීම අතිශය වැදගත් වේ. (දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර පිලිබඳව ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.)

– ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක

BAMS Colombo

ෂැන්ග්‍රිලා

බ්‍රිතාන්‍ය කොලෝනියල් ක්‍රමයට ඉදිකෙරුන ගොඩනැගිලි වලට අතරමැදිව නවීන පන්නයට සුරූපීව වැජඹෙන්නේ ෂැන්ග්‍රිලා. 

මෙහි ඇති කාමර ඉතා මිලෙන් අධික වුණත්, සංචාරකයන්ගෙන් පිරී ඉතිරුනේ සිත් ඇද බැඳගන්නා දසුන් හේතුවෙන්. සිඩ්නි ඔපෙරාහවුස්,ඩාර්ලින් වරාය, අහස් වලාකුළු සමග හරඹයක යෙදුන සිඩ්නි ස්කයිලයින් කුලුණ, ඩාර්ලින් වරාය පාලම එහි වටිනාකමතවත් වැඩිකලා. 

සිඩ්නි විසිතුරු නරඹා විඩාබර වන ගත සිතට සියුමැලි පිහාටු වලින් පුරවන ලද කොට්ටා සහ ඉස්තරම් ඇද ඇතිරිලි, උණුසුම් වතුරපිරි නාන තටාකය ලබාදුන්නේ සැනසුම් විරාමයක්.

මැයි මාසයේ අග රාත්‍රිය එලඹෙනවාත් සමගම සිඩ්නි නගරයේ ගොඩනැගිලි, මං මාවත් නේක වර්ණයන්ගෙන් සැරසෙන්නට පටන්ගන්නවා, ‘විවිඩ්’ ! වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම එය විචිත්‍රවත්. එය මනරම්ව නරඹන්නට ෂැන්ග්‍රිලා ඉහල මහල කදිමතෝතැන්නක්.

උදෑසනට ෂැන්ග්‍රිලා සිට බලන කල, ටස්මේනියානු මුහුදේ ක්ෂිතිජ මායිමෙන් නැග එන හිරු රශ්මි දහරා ඔපෙරා හවුස් හි කවාකාරවහල මතට වැටී දිස්නය විහිදන්නේ රාත්‍රියේ දුටු විවිඩ් විචිත්‍රත්වය පරයා යන සුන්දර මනෝභාවයන් මවමින්. එය සැබැවින්ම නෙත්සනසන අලංකාරයක්!

මෙම නවාතැනට ගොඩවන්නට තවත් හේතුවක් , තිස් හයවෙනි මහලේ පිහිටි සිඩ්නි හි තිබෙන සියලුම දැකුම්කළු පිහිටීම්, ස්වභාව සෞන්දර්ය එකවර දැකගැනීමට හැකි

ඇල්ටිටියුඩ් අවන්හල. ලා රෝස පැහැති කුඩා මල් කිනිති සහිත පෝච්චි තැබූ කෑම මේස සැරසුනේ ලොව සුපතල සූපවේදීන් වනමිශෙල් මෙනෙගාසි, ෆ්‍රැන්සෙස්කෝ එවෝලිනෝ සහ කුමිකෝ එන්ඩෝ ගේ රසවත් අහර වලින්. උනුසුම් කෝපි පිලිගැන්වීමට යොදාගත් මොරොක්කන් නිර්මාණ සහිත කෝප්ප පීරිසි, ඇල්ටිටියුඩ් හි අසුන් ගන්නා ආදරණීයයන්ව මනසින් වෙනත් ඉසව්වකට රැගෙනගියා.

එක රැයක් මෙහි ගත කලත්, ඒ ලබාදුන් අමිල ඉසිඹුවට, ෂැන්ග්‍රිලා සුරූපිනියනි, නැවත හමුවන තුරු, නුඹට ආයුබෝවන් !

සජිනි අමන්දා රාජපක්ෂ 

ඕස්ට්‍රේලියාවේ සිට

ජීවත් වෙලා රස්සාව කරමුද

උදේට ඔබ අවදි වෙන්නෙ සතුටින් ද? මෙහෙම ඇහුවොත් කීයෙන් කී දෙනාද සතුටුයි කියන්නෙ. උදෑසන අවදිවීම වගේම රැකියාවට යෑමත් හොඩක් දෙනෙක්ට කරදරයක්. හරිම අකමැත්තෙන් කරන දේවල්. නමුත් ජීවත් වෙන්න මුදල් අවශ්‍ය නිසා අකමැත්තෙන් හෝ රැකියාවට යනවා. මම ඔබට පොඩි කතාවක් කියන්නම්.

ඇය මගේ යෙහෙළියක්. විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන,හොඳ වැටුපක් ගන්නා ඇය රැකියාව කරන්න පටන් ගත් දා සිට සතුටකින් ඉන්නවා මම දැක නැහැ. දිනක් අපි කතා කරමින් සිටිද්දී ඇය මගෙන් මෙසේ විමසුවා.

“ඔයා කැමැත්තෙන් ද ඔය ජොබ් එක කරන්නෙ?”

“ඔව්” මගේ පිළිතුර වුණා. මම කිසිඳු අයෙක්ගෙන් රැකියාව,විවාහය, දරුවො, පවුල ගැන ප්‍රශ්න නොකරන කෙනෙක්. ඒ නිසා ඇගේ රැකියාව ගැන මම විමසුවේ නැහැ. නමුත් ඇය මෙසේ කතාවට මුල පිරුවා.

“අනේ එහෙමද? මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ මේ රස්සාව. කිසිම ගෝ එකක් නැහැ. වෙලාවකට අයින් වෙන්නත් හිතෙනවා. ඒත් ඉතින් ජොබ් එකක් ඕනිනේ. ඒ නිසා ඉතින් ඉන්නවා”

ඇය සහ මම කුඩා කළ සිට ඉතා හොඳ මිතුරියන්. ඇය කුඩා කළ සිටම කැමති වුණේ ක්‍රියේටිව් දේවල් වලට. ඇයට ලස්සනට මහන්නත් පුළුවන්. මගේ උපන්දින වලටත් ඇගේ අතින් මැසූ කොට්ට උර, ටේබල් මැට්ස් පවා මට දී තිබෙනවා. නමුත් සාමාන්‍ය පෙළින් පස්සෙ ඇයට සිදු වුණේ ඇගේ දෙමව්පියන් කැමති දෙයක් උසස් පෙළට කරන්නට. ඉතින් ඇයට ඇගේ නිර්මාණශීලී හැකියාව මග හැරුණා.

“ඔයා දන්නවනෙ මම ඒ කාලෙ ඉඳලම ඩිසයිනින් වලට එහෙම කැමතියි. ඒ වගෙ ජොබ් එකක්වත් කරන්න තිබ්බනම්..” ඇය සුසුම් හෙළුවාය.

“ඉතින් ඔය ජොබ් එක කරන ගමන් ඔයාට ඩිසයිනින් වගෙ දේවල් කරන්නත් පුලුවන්නෙ”

“ඒ කොහොම ද? දවසම මෙතන වැඩ කළාම ඇගට හරිම මහන්සියි. තව දෙයක් කරන්න බෑ”

“ඔයා ට්‍රයි කරලා බැලුවද?”

ඇය කල්පනා කරන්නට විය. ඇයත් සමග කතාවෙන් මට පැහැදිලි වුණේ ඇයට මේ ඩිසයිනින් පැත්තට යොමු වීමට ඉතා දැඩි කැමැත්තක් ඇති බවයි. ඇයට ඇගේ රස්සාව එක්ක වෙලාව කළමණාකරණය කරගන්නට තේරුමක් නැති බවක් තිබුණා.

නමුත් ඔබ විශ්වාස කරනවද? ඇය අද ඇගේම ඩිසයින් කළ ඇඳුම් තිබෙන Online Store එකක හිමිකාරියක්. ඇය අදටත් අපේ එදා හමුවීම ගැන සතුටු වෙනවා. මොකද ඇය එයින් නව පණක් ලැබුවා. තමන්ගෙ සහජ හැකියාවෙන් තමන්ගෙම බිස්නස් ව්කක් පටන් ගන්න ඇයට හැකි උනා.

ඔබත් කරන රැකියාවට කැමැත්තක් නැටි කෙනෙක් ද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ ඇත්තටම දක්ෂ දේවල් මොනවද කියලා?කොටින්ම කිව්වොත් ඔබේ Hobby එක (විනෝදාංශය) ඔබේ රැකියාව වුණොත්? ඔබ කැමතියි නේද? අපි හැමෝම එහෙම තමයි. අපේ හිතට සතුට සැනසුම දෙන දේ අපි හරි ආසාවෙන් කරනවා. ඔබත් ඔබේ Hobby එක රැකියාව කරගන්නට හීන දකිමින් වෙමින් රැකියාවක නියැලෙන කෙනෙක් නම් දැන්ම දුක්වෙන එක නවත්තන්න. ඒත් සමග පොඩියට හෝ ඔබේ ව්නෝදාංශය හෙවත් ඔබ කැමති දෙය කරන්නට පටන් ගන්න.කාලයක් යද්දි ඔබට වැටහේවි, එය ඔබ ජීවිතේ ගත්ත නිවැරදිම තීරණයක් කියලා.

තව දෙයක්, ඔබට යමක් කරන්නට ඕනි නම් කවුරුවත් වෙනම ම වෙලාවක් බන්දේසියක තියලා ගෙනත් දෙන්නෑ. ඔබේ දෛනික ක්‍රියාවලීන් තුළින්ම ඔබ, ඔබට කාලය සොයා ගත යුතුයි. දෙයක් බැරි වෙන්නෙ, ඔබ ඔබට ‘බැහැ’ කියලා හිතුවොත් පමණයි. ඔබ ඔබව දිශ්වාස කරලා, මට පුළුවන් කියලා හිතුවොත් අනිවාර්‍යෙන් ම ‘ඔබට පුළුවන්’.

ඉතින් ඔබත් ඉගෙන ගත්ත දේම රැකියාවට කරලා එපා වෙලා ඉන්න කෙනෙක් නම් මේ ලිපිය ගොඩක් වැදගත්. Educational qualifications වලින් හිමිවෙන රැකියාව කරලා හෙම්බත් වෙලානම්, අදම ඔබ දක්ෂ දෙය පටන් ගන්න. ඔබේ හිත සතුටින් එහි නියැලෙන නිසාම, ඉක්මනින් ම ඔබට සාර්ථකත්වයට යන්නත් පුළුවන්. අනිත් අය කරන කරන ජොබ් කරන්නට හීන මවන්නත් එපා. ඔබේ දක්ෂතා වලින් ඔබගේ මාර්ගය තෝරා ගන්න. ඔබ ඔබම වන්න. ඔබත් ඔබේ Hobby එක, Job එක කරගන්න!

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

බේකින් සෝඩා ගැන ඔබ මේ දේවල් දැන සිටියා ද

බේකින් සෝඩා නැත්නම් sodium bicarbonate යනු ස්වාභාවික රසායනික සංයෝගයක් බව ඔබ දන්නවා ඇති. ආහාර පිපුම්කාරකයක් මෙන් ම , ස්වාභාවික පිරිසුදුකාරයක් ලෙසත් එදිනෙදා ජීවිතයේ දී බෙහෙවින් භාවිතවන බේකින් සෝඩා ඔබේ රැව රැකගැනීමේ සත්කාරවලට ත් යොදාගතහැකි බව ඔබ දැන සිටියා ද? එසේ නම් අද අපි ඉතා පහසුවෙන් සහ අඩු මුදලකට මිල දී ගතහැකි බේකින් සෝඩාවලින් ලබාගතහැකි තවත් වැදගත් ප්‍රයෝජන කිහිපයක් පිළිබඳව කතාබහ කරමු..

හිස්කබලේ ඇතිවන ගැටළු සඳහා..

විවිධ රසායනික සංයෝග අඩංගු සැර ෂැම්පූ සහ hair products මඟින් හිස සෝදා පිරිසුදු කරන්නට අප පෙළඹී සිටිනවා. නමුත් සතියකට වරක් පමණ ෂැම්පූ වෙනුවට බේකින් සෝඩා ස්වල්පයක් වතුර සමඟ කලවම්කර හිස් කබලේ ආලේප කර හෙමින් සම්භාහනය කර සෝදාහරින්න. එමඟින් හිස්කබලේ රැඳී ඇති අධික තෙල් සහ කුණුදූවිලි ඉවත්කර ස්වාභාවිකව හිස්කබල පිරිසිදු කරන අතර

නිතර හිස් හොරි සෑදී මේ අවධානම ද අඩු කර යි. 

මුඛ දුර්ගන්ධය සඳහා..

දිනපතා දත් මැදීමෙන් අනතුරුව බේකින් සෝඩා ස්වල්පයක් දියකරනලද වතුර ස්වල්පයකින් මුඛය සෝදාහැරීම සාර්ථක සහ ස්වාභාවික mouth washer එක කි.. 

Body scrub / soother..

සතියකට වරක් හෝ දින කිහිපයක් ඔබ ස්නානය කරන වතුරට බේකින් සෝඩා එක්කරගන්න. එමඟින් ශරීරයේ විඩාව දුරුකර ස්වාභාවිකව පිරිසුදු කරනු ලබ යි. එසේ ම බේකින් සෝඩා body scrub එකක් ලෙස ද භාවිතයට ගැනීමෙන් ඔබේ සම සුමුදු කර ස්වාභාවිකව පිරිසුදු කරනු ලබ යි. එසේ ම සමෙහි අධික වියළිබව, පැලීම් සහ itchy යනා දී ගැටළුවලටත් බේකින් සෝඩා සේදුම්කාරකය සාර්ථක පිළියමකි. 

සුමුදු යටිපතුලකට..

ඔබත් දෙපාවල අධික වියළිබව සහ පැලීම්

නිසා කණස්සල්ලට පත්වී ඇත්නම්, රාත්‍රී නින්දට පෙර දෙපා සහ යටිපතුල බේකින්සෝඩා ගල්වා scrub කර සෝදා හරින්න. අනතුරුව මෘදු ක්‍රීම්වර්ගයක් තෙතමාත්තුකර දෙපා සහ යටිපතුලේ ගැල්වීමෙන් ඔබට ඉහත කී ගැටළුවෙන් මිදීමට හැකිවනු ඇත.

සුන්දර නියපෙළකට..

සතියකට දෙවතාවක් පමණ බේකින් සෝඩා යොදාගනිමින් නිය සහ ඇඟිලි මිනිත්තු කිහිපයක් scrub කර සෝදාහරින්න. ඔබේ ඇඟිලි සහ අත්ලේ මෘදුබව සහ මැරුණුසෛල ඉවත් වී පැහැපත්වන බව ඔබට ම වැටහේ වි. එමෙන් ම දිගු නියපොතු මනාව පිරිසුදු වී, තවත් අලංකාර ලෙස දිස්වේ වි. 

ආභරණ පිරිසුදු කරගැනීමට..

බේකින් සෝඩා කොටස් තුනකට වතුර එක කොටසක අනුපාතයට සාදාගන්නා මිශ්‍රණයෙන් ඔබගේ රිදී සහ, රන් ආභරණ දිලිසෙන ලෙසට පිරිසුදු කරගත හැකි ය. ( plated ආභරණ සඳහා මෙම ක්‍රමය යොදාගන්න එපා)ඉහත කී මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් ගෙන කුඩා බුරුසුවක් ආධාරයෙන් හොඳින් scrub කර වතුරෙන් සෝදා හැරීමෙන් ඔබේ ආභරණවලට දිදුලන අලංකාරයක් ලබාදෙන්නට හැකිවනු ඇත. 

ඉතින් මෙලෙස ස්වාභාවිකව සහ අඩු මුදලකින් ඔබේ රුව සහ සුන්දරත්වය ඔප් නංවාගන්නට හැකි තවත් ප්‍රයෝජනවත් ලිපියකින් ඔබ හමුවණ තුරු ඔබට සුබ දවසක් !!!!

සමීරා ජයසිංහ