ශීත සමයේදී ත් ලස්සනට ඉන්න…

ශීත සමයේ දී ත් හැඩකාර දෙතොලකට සත්කාර..

දවසින් දවස ම ලස්සන නත්තල් දවස් ළං වෙද්දී , මුළු යුරෝපය ඇතුළුව ලෝකයේ බොහෝරටවල් උඳුවප් සීතල වෙලාගනිද් දී, ගතට දැනෙන අධික සීතල නිසා නොයෙකුත් ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බව ඔබ අප කවුරුත් දන්නා කරුණක් . ඉතින් මේ සුන්දර එනමුත් දරාගත නොහැකි ශීතල සමයේ දී ත් අපගේ දෛනික කටයුතු එලෙසින් ම පවත්වාගෙන යා යුතුවනවා. ශාරීරික යෝග්‍යතාව මෙන් ම ශරීරයේ සුන්දරබවත් එලෙසින් ම පවතාවගෙන යාමට දිනපතා අප විසින් කළයුතු සත්කාර කිහිපයක් පිළිබඳව කතාකරන ලිපිපෙලක පළමුවැන්න ඔබ වෙත ගෙන එන්න යි මේ සූදානම.

1. හොඳින් ජලය පානය කරන්න.

ශීතකාලය හෝ වෙනත් ඕනෑ ම සෘතුවක දී ඉතා පහසුවෙන් සහ අඩු ම වියදමකින් ශරීරයට වැඩි ම ප්‍රතිලාභ ලබාගත හැකි ක්‍රමයක් වනුයේ ඔබේ ශරීරයේ BMI අගය අනුව දිනකට පානයකළ යුතු ජලය ප්‍රමාණය නිවැරදිව ශරීරයට ලබාගැනීම යි. එමඟින් අධික ශීතල නිසා අධිකව වියළිබවට පත්වන ඔබේ සම ප්‍රකෘතිමත් කරනවා මෙන් ම දෙතොල් හැමවිට ම මෘදුව, ඉරිතැලීම්වලින් වළකාලමින් සුසිනිඳුව පවත්වාගැනීමට උපකාරී වනු ඇත.

2. සතියකට වරක්වත් දෙතොලේ මැරුණු සම ඉවත් කරන්න.

මුහුණේ, ශරීරයේ මෙන් ම දෙතොල්වල ද මැරුණු සම ඉවත්කළ යුතු බව ඔබ දන්නවාද? සතියකට වරක්වත් lip scrub එකක් භාවිතයෙන් පොතු ගැළැවෙන ස්වාභාවයෙන් වියළිබවට පත්වන ඔබේ දෙතොල exfoliate කිරීම මඟින් හැමවිට ම සිනිදු, මෘදු සහ දීප්තිමත් දෙතොලක් ලබාගත හැකි වේ. මිලාධික නිෂ්පාදන වෙනුවට දුඹුරු සීනි ස්වල්පයක් , එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් හෝ පොල්තෙල් බිඳු කිහිපයක් හා මිශ්‍රකර දෙතොල්වල ආලේප කර සෙමෙන් සම්බාහනය කරමින් මැරුණු සම ඉවත්කරන්න. මිනිත්තු කිහිපයකට පසු සෝදාහැරීමෙන් ම ඔබට ඉක්මන් ප්‍රතිඵල දැකගත හැකිවනු ඇත. එමෙන් ම වේදනාකාරී දෙතොල් පැලීම් සහ අවපැහැගැන්වීම මෙන් ම , අධිකව දෙතොල් වියළිබවෙන් තොරවීමට ත් එය උපකාර වනු ඇත. 

3. නිතර ම දෙතොල් ලෙවකෑමෙන් වළකින්න

තරමක විසුළුසහගත වැකියක් වුවත් ඔබ නිතර ම මෙම ක්‍රියාව සිතා හෝ නොසිතා සිදුකරන්නේ නම් දිවෙහි ඇති ඛේටය සහ එහි ඇති එන්සයිම මඟින් ඔබේ දෙතොල් තවත් වියළිබවට පත්කරනු ඇත. එබැවින් එය නවත්වාගැනීමට නම් ඉහත අංක එකට ඉහත සඳහන් කර ඇති ආකාරයට ජලය වැඩිපුර පානය කිරීමෙන් එය මඟහරවාගත හැකිවනු ඇත.

4. රාත්‍රී නින්දට පෙර ලිප් බාම් එකක් භාවිත කරන්න.

රාත්‍රීකාලයේ දී නින්දට පෙර ලිප්බාම් එකක් ආලේප කිරීමෙන් ඉතා ම ත් සාර්ථක ප්‍රථිපල ලබාගතහැක.එමෙන් ම ලිප්බාම් වෙනුවට මීපැණි හෝ පොල්තෙල්,වර්ජින් ඔලිව් තෙල් හෝ පිරිසුදු ගිතෙල් ස්වල්පයක් භාවිතයෙන් වඩාත් උසස් ශරීරයට හිතකර ප්‍රථිපල ලැබේ. 

5. නිවැරදිව දෙතොල් ආලේපන ඉවත් කරන්න.

මෙය නම් ශීත කාලයට පමණක් ම සිදුකළයුතු සත්කාරයක් නොවේ. මාගේ බොහෝ ලිපිවලින් මම රූපලාවන්‍යාලේපන ගැල්වීමෙන් අනතුරුව නිසියාකාරව ඉවත්කිරීම පිළිබඳව සඳහන් කර තිබෙනවා.අධික

ශීතකාලයේ දී ත් එසේ ම ගැල්වූ තොල් ආලේපන ද ඉවත්කළයුතු වෙනවා. හැමවිට ම මෘදු තුවායක් හෝ cotton pad එකක් භාවිතකර , වැස්ලින් ,පොල්තෙල් හෝ වර්ජින් ඔලිව් තෙල් භාවිත කරමින් හොඳින් ඔබේ දෙතොල් පිරිසුදු කරගත හැකි වේ. අනතුරුව ලිප්බාම් ස්වල්පයක් ගල්වන්න අමතක කරන්න එපා. 

ඉතින් ඊළඟ කලාපයෙන් තවත් මේ ලිපි පෙළින් කොටසක් රැගෙන ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා. සුබ දවසක් !

සමීරා ජයසිංහ

සීත කාලයේදී ඇතිවන රූපලාවණ්‍යය ගැටළුවලට විසඳුම් කිහිපයක් . 

වර්තමානයේ අධික ශීත දේශගුණික විපර්‍යාසවලින් පීඩා විඳින ඔබට නොයෙකුත් රූපාලංකරණ ගැටළු, සමෙහි, හිසකෙස්වල ගැටළු මතු වී ඇතිවා වෙන්නට පුළුවන් . ඉතින් වෙනදා මෙන් ම අදත් අපි නිවසේ දී ඔබට ම කරගතහැකි රූපලාවණ්‍ය ගැටළු කිහිපයකට පිළිතුරු ලබාදෙන්න යි මේ සූදානම් වන්නේ.

සමෙහි අධික වියළිබව-

අධික ශීතල නිසා ඔබේ සම මහත් හිරිහැරයකට පත්වන බව ඔබ ඕනෑවටත් වඩා අත්විඳිනවා විය හැකියි. එබැවින් හැකි හැම විට ම පිරිසුදු වතුර සිරුරේ බර අනුව පානය කිරීම මෙන් ම දිනකට වරක් හෝ රාත්‍රී නින්දට පෙර ඇලෝවේරා ජෙල් සමඟ coconut oil , caster oil හෝ ඔලිව්තෙල් බිඳු කිහිපයක් එකට මිශ්‍රකර එම මිශ්‍රණය පිරිසුදු කරගත් සිරුරේ සහ මුහුණේ ආලේප කර පිරිමදින්න. සමට එම මිශ්‍රණය හොඳින් උරාගන්නා තුරු හිඳ නින්දට යන්න. හැකිනම්

දිනකට දෙවරක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න.එමඟින් ඔබේ සම අධික වියළි බවින් මුදවා තෙතමනය ආරක්ෂා කරනු ඇත.

අධික වියළි දෙතොල් සඳහා –

මෘදු ගිතෙල් හෝ මීපැණි නිතර දෙතොලේ ආලේපකිරීමෙන් සීතල නිසා ඇතිවන වේදනාකාරී ඉරිතැලුම් සහ අධික වියළිබව නිසා ඇතිවන අපහසුතා මඟහරිනු ඇත. එමෙන් ම එමඟින් මනා පෝෂණයක් සහ දෙතොලේ තෙතමනය රැක

දෙනු ඇත.

වියළි සහ වේදනාකාරී දෙපතුල් සඳහා-

රාත්‍රී නින්දට පෙර පිරිසුදු කරගත් දෙපතුල්වල , විශේෂයෙන් ම විලුඹ ප්‍රදේශයේ වැස්ලින් ඝන තට්ටුවක් ආලේප කර සම්බාහනය කරන්න. අනතුරුව මේස් පැළඳ නින්දට යන්න. ඔබේ දෙපතුල්වල මෘදු බවක් ඇතිකිරීමටත් වේදනාකාරී පතුල් පැලීමෙන් වලක්වාලීමටත් එය මහත් සේ උපකාර වනු ඇත. එමෙන් ම වැස්ලින් ආලේපකිරීමට පෙර හැකිනම් foot cream ආලේපකර සම්බාහනය කිරීමෙන් අනතුරුව වැස්ලින් ආලේප කිරීමෙන් ප්‍රතිඵල තවත් සාර්ථක වනු ඇත.

වියළි හිස කෙස් සඳහා

අධිකව උණුසුම් කබා සහ හිස්වැසුම් පැළඳීමට සිදුවන මේ කාලයේ ඔබේ හිසකෙස් සඳහාඅ අමතර ආරක්ෂාවක් අවශ්‍යය වේ. එබැවින් ඔබ හිස කෙස් සෝදන හැමවරක ම ඉතා ම හොඳින් කන්ඩිෂනර් කිරීමට මතක තබාගන්න. ඊට අමතරව ෂැම්පූ භාවිතයේ දී ෂැම්පූ සමඟ පොල්තෙල් බිඳු කිහිපයක් මිශ්‍රකර ආලේප කිරීමෙන් ද ෂැම්පූ නිසා ඇතිවන වියළි බව දුරලා ඔබේ හිසකෙස්වලට අමතර ආරක්ෂාවක් ලැබෙනු ඇත. හිසකෙස්වල වියළිබව දුරලන හෙයාර් මාස්ක් වර්ග භාවිතයෙන් වඩාත් හිතකර ප්‍රතිඵල ලඟාකරගත හැකිවනු ඇත. එමෙන් ම දහවල් කාලයේදී තෙල් සම්බාහනයක් සතියකට කිහිපවරක් කිරීම ද ඉතා ම ප්‍රතිඵලදායී වන අතර එහෙත් එහි දී ඔබට වෙනත් සෙම් ආශ්‍රිත රෝගාබාධ තිබේ නම් වඩා සැලැකිළිමත් වන්න. 

උදෑසනට ඉඟුරු තේ

උදෑසන බොහෝ දෙනෙකුට නැතිව ම බැරි තේ කෝප්පයට ඉඟුරු එක්කරන්න. ඉඟුරුවල ඇති ස්වාභාවික රසායනික සංයෝග ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යහපත් ක්‍රියාවලියනට උදව්කරන අතර, එමඟින් සෙම් ආශ්‍රිත රෝගවන සෙම්ප්‍රතිශ්‍යාව , කැස්ස ආදී ලෙඩ රෝග සඳහා ද ඉතා හොඳ remedy එකක් වනු ඇති. එසේ ම රාත්‍රී නින්දට පෙර කුරුඳු අඩංගු කිරි වීදුරුවක් හෝ කුරුඳු තේ කෝප්පයක් පානය කිරීමෙන් ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ලඟාකරගත හැකිවනු ඇත. 

ඉතින් මේ ශීතලෙන් ශීත වූ සමයේ දී ඔබේ රුව එලෙසින් ම පවත්වාගෙන යාමට මේ කරුණු කිහිපය උදව්වනු ඇති යැයි මා විශ්වාස කරනවා. ඔබ සැමට සුබ නව වසරක් වේවා යැයි ආදරයෙන් මා ප්‍රාර්ථනා කරනවා !

Sameera Jayasinghe