Devinda Wickramasinghe

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි නාට්‍යය, මුද්‍රා නාට්‍යය හා නූතන නර්තන අංශයෙහි අධ්‍යාපනය ලබමින් දෙවන පෙළ ඉහල සාමාර්ථක් සමග ප්‍රාසාංගික කලා විශේෂවේදි උපාධිය ලැබු ඔහු එහිදි ලබාගත් දැනුම, පුහුණුව සහ අත්දැකීම් සම්භාරය භාවිතයෙන් “මරා උපන් කුමරා” කෙටි නාට්‍යය රචනයෙන් සහ අධක්ෂණයෙන් නාට්‍යය නිර්මාණ කරලියට පැමිණෙමින් සම්මානයට පාත්‍ර වනවා. එමෙන්ම සමකාලින දේශපාලනික සහ සමාජිය සිදුවිම සම්බන්ධයෙන් ඒකල අභිවහන නාට්‍යයක් වන “මම අඩ කුඹයි” නිර්මාණය සදහාද ඔහුට සම්මාන ලබා ගන්න හැකියාව ලැබෙනවා.

ඔහුට වේදිකාවෙහි රංගනයෙන් දායකවන්නට ලැබුන අනර්ඝ අවස්ථාවන් ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නගේ “සෙල්ලම් නිරිඳු”, රාජිත දිසානායගේ “සිරිවර්ධන පවුල” “මට වෙඩි තියන් නැද්ද” “සිහින හොරු අරං”, චාමික හත්ලහවත්තගේ “මකරට”, මංගල සේනානායකගේ “ජුලියස් සීසර්”, කුසුම්සිරි ලියනඅරාච්චි සහ යශෝධරා සරච්චන්ද්‍රගේ “දඟයා සහ පුංචි අන්දරේ” යන නාට්‍යයන් නම් කල හැකිය.

එමෙන්ම පසුගිය වකවානුවේදි ස්වර්ණවාහිනි නාලිකාවෙහි අති සාර්ථක ලෙස විකාශනය වු “නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍යයෙහි ජයන්තගේ චරිතය තුලින් ප්‍රේක්ෂක සිත්තුල අමතක නොවන රංගවේදියෙක් වන්නට ඔහුට හැකියාව ලැබුනා.

ඔහු මෙම දිනවල අධ්‍යනයෙහි නියැලෙන දර්ශනපති උපාධිය සදහා උණුසුම් සුභ පැතුම් එක් කරමින් මොනොලොග් සාම්ප්‍රදායට අයත් නාට්‍යය නිර්මාණ අධ්‍යනය සදහා ඔහුගේ අතින් ලියවුනු “තෙස්පිස්ගෙන් උපන් ස්වයංකතනය” නමි ග්‍රන්ථය පිළිබදව සහ 2023 වසරේ ඉන්දියාවේ කල්කටා නුවර පැවැත් වෙන “රංගසේනා” අන්තර්ජාතික නාට්‍යය උළෙල සදහා ලංකාවේ එකම නියෝජනය වශයෙන් තේරිපත් වු ඔහුගේ සම්මානලාභී නාට්‍යය “මම අඩකුඹයි” පිළිබදව විශ්ලේෂණයක් සදහා අපි Magazine අපේ ආරාධනය කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය දේවින්ද වික්‍රමසිංහ මහතාටයි.

____________________________________

තෙස්පිස්ගෙන් උපන් ස්වයංකතනය නමින් මෙම ග්‍රන්ථය රචනා කරන්නේ මම නිර්මාණය කල “මම අඩකුඹයි” කියන ඒකල අභිවාහන නාට්‍යය පදනම් කරගෙනයි.

“මම අඩකුඹයි” කියන්නේ ‍තනි නළුවෙකු පමණක් රංගනයෙන් දායක වන ඒකල අභිවාහනය නොහොත් මොනලොග් (One Actor Play) ශානරයට අයත් වන පර්යේෂනාත්මක නාට්‍යය නිර්මාණයක්. මෙම නාට්‍යය සදහා 2015 දි ජාතික යෞවන සම්මනා උළලේ සම්මානය හයක් සමඟ වසරේ විශිෂ්ටතම නාට්‍යය සඳහා සම්මාන ලබන අතර 2017 රාජ්‍ය නාට්‍ය උළලේදි ද ඇගයිමට පාත්‍ර වෙනවා.

“මම අඩකුඹයි” නම් මොනොලොග් සාම්ප්‍රදායට අයත් නාට්‍යය මම නිර්මාණය කරන්නේ කොලඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වකවානුවේදි. එම ශානරයෙහි අධ්‍යන කටයුතු සදහා විදේශ කෘති තිබුනත් ලංකාව තුල ලියවුන පොතක් හොයා ගන්න අපහසු වෙනවා. ඒ අඩුපාඩුව පුරවන්න උත්සාහයක් විදියට මගේ “මම අඩකුඹයි” නාට්‍යය පදනම් කරගෙන”තෙස්පිස්ගෙන් උපන් ස්වයංකතනය” නමින් මෙම ග්‍රන්ථය මම රචනා කරනවා.

තෙස්පීස්ගේ පලමුවෙනි රංගනය වශයෙන් “මමයි දියෝනිසස්” කියන දියෝනිසස් දේවාලය අසල කරන අනුකරණාත්මක රංගනය හදුවනවා. ලෝකයේ පළවෙනි නළුවා බිහි වෙන්නේ තනියම කරන රංගයක් වන මොනලොග් නාට්‍යය සම්ප්‍රදායට අනුකූලවයි. ලෝකයේ පළවෙනි නළුවා බිහිවෙනවාය කියන්නේ ලෝකයේ පළවෙනි නාට්‍යයත් එතන බිහි වෙනවා කියලා. එම අදහස මෙම ග්‍රන්ථයට “තෙස්පිස්ගෙන් උපන් ස්වයංකතනය” නම යොදන්න හේතු පාදක වෙනවා.

මෙම ග්‍රන්ථය සමග “මම අඩකුඹයි” කියන මගේ සාම්මානනීය නාට්‍යයෙහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පිටපත අන්තර්ගත වෙනවා. ඒවගේම 2014 දි සම්මානයට පාත්‍රවූ “මරා උපන් කුමරා” කෙටි නාට්‍යය පිටපත, “හු නියම් නාමලක්” නමින් නිර්මාණය වු මගේ අලුත්ම ස්වයංකතනය නිර්මාණයෙහි පිටපතත් අන්තර්ගත වෙනවා.

මෙම නාට්‍යය සියල්ලම ලියවිලා තියෙන්නේ ලංකාවේ සිදුවෙච්ච සමකාලින දේශපාලනික සමාජිය සිදුවිම සම්බන්ධ කරලා. උදාහරණයක් විදියට “මම අඩකුඹයි” නාට්‍යයේ සංකල්පය තියෙන්නේ සිංහ කොඩියේ ඉන්න සිංහයා බිමට බැහැලා කරණ පාපොච්චාරණයක්. ඒකට ඉවහල් වෙන්නේ පසුගිය දවස් වල කොලඹ කෞතුකාගාරයේ කඩුව නැතිවිම සම්බන්ධව තුඩු දුන් ආන්දෝලාත්මක පුවතකයි.

එමෙන්ම “මරා උපන් කුමරා” ඇල්පිටියේ දි හමුදා සෙබලෙකු අතින් සිදුවුන ඝාතනයක් ආශ්‍රය කර ගනිමින් නිර්මාණය වෙලා තියනවා. එහි සම්පුර්ණ විස්තර මෙම පොතෙහි සදහන් වෙනවා.

මෙම ග්‍රන්ථයෙහි පසුවදන මහාචාර්ය සෞම්‍ය ලියනගේ අතින් ලියවිලා තියනවා. ඒවගේම කතිකාචාර්ය පියල් කාරියවසම්, ප්‍රවීන නාට්‍යවේදි කේ බි හේරත්, ප්‍රවීන නාට්‍යවේදි ධනංජය කරුණාරත්න, නාට්‍යවේදි චාමික හත්ලහවත්ත, කතිකාචාර්ය ප්‍රියංකර රත්නායක, විචාරක වංගීස සුමනසේකර, විචාරක විදර්ශන කංනන්ගර, යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසුරිය, කතිකාචාර්ය රංග මනුප්‍රිය වැනි ලංකාවේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීන නාට්‍යයකරුවන්, දේශකයන් සහ විචාරකයන්ගේ ලිපි මාලාවක් ම මෙහි අන්තර්ගත විම තවත් විශේෂිතම කාරණයක් වනවා.

මේ වනවිට මෙම ග්‍රන්ථයට සම්බන්ධව හොද ප්‍රතිචාර මට ලැබිලා තියනවා. මෙහි දෙවෙනි මුද්‍රාවද අවසන් වෙමින් යනවා. පාසල් විෂය නිර්දේශයේ සහ විශ්වවිද්‍යාලයෙහිත් ස්වයංකතනය සම්බන්ධව ඉගැන්විම් කරන නමුත් එම අධ්‍යන කටයුතු සදහා මිට පෙර ස්වයංකතනය සම්බන්ධව පොතක් ලංකාව තුල ලියවිලා නැති නිසා ඒ සදහා පිටිවහලක් විදියට එම ශානරයන් වෙන් වෙන්ව හදුනා ගන්නේ කොහොමද කියලා පැහැදිලිවම අදහස් දෙමින් මම මෙම ග්‍රන්ථය රචනා කරලා තියනවා.

“මම අඩකුඹයි” නාට්‍යය ලංකාවේ එකම නියෝජනය විදියට 2023 වසරේ ඉන්දියාවේ කල්කටා නුවර පැවැත් වෙන “රංගසේනා” අන්තර්ජාතික නාට්‍යය උළෙල සදහා වේදිකාගත වෙන්න තේරි පත්වෙලා තියනවා. ඒ සදහා අපි පෙබරවාරි 5 වෙනිදා ඉන්දියාව කල්කටාව බලා පිටත් වෙන්න මෙම දිනවල සුදානම් වෙමින් ඉන්නවා.

නාට්‍යය කලාව පිළිබදව නව දැක්මකින් සිතන, පර්යේෂණාත්මක වැඩ කරන්න කැමති විශේෂයෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාතයින්ට සහ පාසල් සිසුන්ට මෙම පොත කියවන්න කියලා මම ආරාධනා කරනවා.

අමා නාකන්දලගේ