ඉගිල යන සියොතුන්

ඉගිල යන සියොතුන්

ඔහේ ඉගිලී ගියාවේ…

සුවඳ විහිදන කැකුළු

පිපී පරවුනාවේ…

ගලන ගං දියේ රැළි

නැගී  පා වුනාවේ…

මටම නැති මගේ හිත

ඔහේ තනි වුනාවේ…

සුරේඛා

සඳ කිරණ විඳිමී….

සඳ කිරණ විඳිමී….

සාවුන් ගැන සොයන්නට නොයමි

ආවාට දැක සිත

රිදව ගන්නට නොහැකියි…..

මලේ රුව විඳිමී…

නටුව ගැන සොයන්නට නොයමි

විස පිරුණු කටුව

දකින්නට නොහැකියි….

ගඟ සිසිල විඳිමී…

ගලන ඉම සොයන්නට නොයමි

අයිතිය මුහුදට බව

සිතන්නට නොහැකියි…

නුඹට පෙම් කරමී…

නුඹේ තතු සොයන්නට නොයමි

හිත රිදෙන දේ ගැන

අසන්නට නොහැකියි…

සුරේඛා 

මම පරාද වුනෙමි…

මම පරාද වුනෙමි…

නුඹේ මතකයෙන් සැඟවෙන්නට

වෙර දරන මොහොතක් පාසාම

මම පරාද වුනෙමි….

නුඹෙන් ඈතටම 

දිව යන මොහොතක් පාසාම

මම පරාද වුනෙමි…

නුඹ ගැන තරහවකින්

හිත පුරවගන්නට

වෙර දරන මොහොතක පාසාම

මම පරාද වුනෙමි…

ඉදින්..

මම පැරදුම බාර ගනිමි

මියෙන තුරුම මම

පැරදීමට කැමැත්තෙමි…

සුරේඛා