Indian Rock Python | පිඹුරා

Python molurus (Linnaeus,1758)

නිර්විෂ

ශ්‍රීලංකාවේ හමුවන බරින් වැඩිම සහ විශාලතම සර්ප විශේෂය ලෙස පිඹුරා හැඳින්විය හැකි අතර ශ්‍රීලංකාවේ බොහෝ පරිසර පද්ධතීන් තුලදී දැකගත හැකි ඉතා විචිත්‍රවත් වර්ණ රටාවක් සහිත සර්ප විශේෂයකි.මොවුන්ගේ දේහයේ අක්‍රමවත් වළාකුළු හැඩැති රටාවක් දැකිය හැකි අතර බොහෝ අවස්ථා වලදී පොළඟා සහ පිඹුරා වරදවා වටහාගැනීම හේතුවෙන්ද මොවුන් මරාදමන අවස්ථා නිරන්තරයෙන්ම වාර්තා වේ. මොවුන්ගේ ආහාර ලෙස කුඩා ගෙම්බන් විශේෂ වල සිට මුවන් එළුවන් වැනි විශාල ප්‍රමාණයේ සතුන් ගිල දැමීම දක්වා වැඩුණු පිඹුරෙකුට හැකියාව ඇති අතර මොවුන් ප්‍රධාන වශයෙන් භෞමික මෙන්ම වෘක්ෂීය හැසිරීම් රටා දක්වනු ලබයි.පිඹුරන් සම්බන්ධව ජනතාව විසින් සාදන ලද මිත්‍යා විශ්වාස බොහොමයක් පවතී ඒ අතුරින් මෙම සතුන්ගේ වල්ගය ආසන්නයේ පවතින විෂ කටු යුගලයකින් වෙලාගත් ගොදුරෙහි හිසට පහරදී මරා දමන බව එක් මතයක් වන අතර මෙම මතයද මිත්‍යා විශ්වාසයක් බව දැක්විය යුතුයි. මෙහි ඇති සත්‍යතාව නම් පිඹුරන්ගේ ජම්බාලිය දෙපස කුඩා කටු දෙකක ආකාරයේ කොටස් දෙකක් පවතින අතර එම කොටස් සර්පයන්ගේ පරිණාමයේදී ක්ෂීණ වී ගිය පාද වල අවශේෂ කොටසක් ලෙසින් දක්නට ලැබීමයි. මෙම කොටස කිසිදු විෂක් රහිත බව පැහැදිලිව සඳහන් කල යුත්තකි.

එමෙන්ම මෙම සතුන්ට තුවාල කල විට සහ කැපුණු ටිට ක්ෂණිකව මොවුන් නැවත සුව වන බවටද මතයක් සැකසී ඇතත් එයද මිත්‍යාවක් බව මතකයේ තබා ගත යුතු වේ.

ශ්‍රී ලංකාවේ සිටින සර්පයන් අතුරින් සපාකෑමකදී වැඩිම හානියක් වන සේ සපාකෑමට හැකි සර්ප විශේෂය ලෙසද පිඹුරන් හැඳින්විය හැකි අතර ඉතා අලස සතෙක් වුවද ඇතැම් අවස්ථා වලදී සපාකෑමට තැත් කලහැකි බැවින් මෙවැනි සර්ප විශේෂ නිර්විෂ වුවද මෙවැනි සතුන් සමග ගණුදෙනු කිරීමේදී  කල්පනාකාරී වීම ඉතා වැදගත් කරුණකි.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන්