සමනොළ ගිර

       හරියට දිව්‍යලොකයට ආවා වගෙයි…. සීතල පරිසරය…. කමිමුල් පවා මගේ මෙි සිසිලසට හිරි වැටිලා, අතැගිලි අයිස් කැට වගෙයි, සීත ගඟුලේ සීතල දිය දාහාරාවල්, මනස්කාන්ත කදු යායවල් , ඇත්තටම මාව අමුතුම ලෝකයකට අරන් ගිහින්…. ගස් වැල් අතු මත පිපි ඇති නේක විද මල් , එ මල් වල පැණි බොන ලස්සන සමනළයන් , නේකවිද කුරුල්ලන්ගේ ගී නාදයන් මගේ හිත ගත දෙකම සනසවනවා…. විටින් විට හමන මද සුළග තවත් මාව කුල්මත් කරනවා….. මං පෙමි බඳිමි මෙි මනස්කාන්ත සුන්දර පරිසරයට….. “සමනොළ අඬවිය”

       විටින් විට පුදුමාකාර ලෙස නාසයට දැනෙන නේකවිද මල්වල සුවඳ… හරි පුදුමයි… එවැනි මල් දෑස් මානයේ කොහෙවත් පෙණෙන්නට නෑ… එ උනත් මල් සුවඳ නාසයට දැණෙන්නේ අපිට හොරෙන් නෙපෙණෙන්නට කවුරුන් හො සිරිපා වන්දනාවෙි යන බව නොවෙිද….

       දහවලට එහෙමයි….එත් රාත්‍රියට….. එක අමුතුම ලොකයක්.. විදුලි ආලොකයත් එක්ක මට නමි පෙණෙන්නේ දිව්‍ය විමානයකට යන මාවතක් වගේ…. අහස් කුස සිපගෙන විහිදෙන ආලෝකය අමුතුම චමත්කාරයක් එකතු කරලා….. ඉතිං.. එ තරමට මට හදිසියි එහාට යන්න…. අත්තටු ලැබුණානමි කියා විටෙක මට සිතුනා…  පුදුමාකර ප්‍රියවු දසුණක්…. ඇතින් ඇහෙන තුන්සරණේ කවි… සුදො සුදු වතින් සැරසිලා සමනොළ ගිර තරණය කරන බැතිමතුන් කිසිම විටකවත් කට නමි වරද්දගන්නේ නෑ…..  මොකද එ තරමට හාස්කමි පිරි භූමියක්…. කට වරද්දා ගැණිමි නිසා සිදුවු සිදුවීමි නමි ඈත අතීතයේ ඉදන් බොහො කතා තියනවා….

බුද්ධන් සරනේ සිරස දරාගෙණ

දම්මන් සරණේ සිත පහදාගෙණ

සංගන් සරණේ සිවුරු දරාගෙණ

ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන

“වදින්න යන මෙි නඬෙිට සුමන සමන් දෙවි පිහිටයි”

“වැදලා බහින මෙි නඬෙිට සුමන සමන් දෙවි පිහිටයි”

        වදින්න යන අයගෙන් , වැදල බහින අයගෙන් ආශිර්වාද ලැබෙන්නේ එ ලෙසයි….. මස්කෙලිය නඟරය පහු කරගෙන නල්ලතන්නිය කරා එද්දි වටපිට පරිසරය ගැන ආදරයක් ආසාවක් හිතට ඇතුල් වෙන්නේ කියාගන්න බැරි තරමි… ඇතින් පෙණෙන සමනළ කන්ද දැක්කාම ඉඟිලිලා යන්න තරමි හදිසියක් හිතට දැනෙනවා…..

              මං මෙි ගමනට කොඩුකාරයෙක්…. පිටකොටුව දුමිරිය සථානයෙන් බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුමිරියෙන් අපි පස්දෙනෙක් පිටත් උනේ සිරිපාදේ යන්න…. සුන්දර මාතලේ පදිංචි මම එහෙම යන්න තීරණය කලෙත් අත්දැකීමක් ලබන්න ඇති ආසාව නිසා…. රාත්‍රියේ දුමිරිය ගමන නමි වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමි සුන්දරයි… කලින්ම ආසන වෙන්කරගෙන තිබුණු නිසා ගමන තවත් පහසු උනා… හරියටම පාන්දර හතර පමණ වෙනවිට අපි හැටන් දුමිරිය ස්ථානයෙන් බැසගත්තේ බොගවන්තලාවට යන්න… එ මගේ මිතුරියකගේ නිවසට.. එත් එහාට යන්න බස් රථය පැමිණෙන්නේ හයට.. එ වන තුරු අපි දුමිරිය ස්ථානයේ ඇති විවෙිකි ශාලාවෙි රැදි සිටියේ දැඩි සීතලද රිසිසේ විද දරාගෙන…  හැටන්වල මෙි පාන්දර යා⁣මයේ සීතල ගැන අමුතුවෙන් කිවයුතු නෑ……..

                     එදා උදේ වරුව විවෙිකි සුවය අරගෙන බොගවන්තලාවෙන් කූලි පදනම මත වෑන් රථයක් රැගෙන හවස දෙකට පමණ අපි පිටත් උනා…. හිතම අමුතුම ආගන්තුක සතුටකින් පිරිලා… තේ වතු මැද අයිස් වගේ වතුර පිරිලා ඉතිරිලා යන උල්පතකින් අපි හැමොම නාලා පිරිසිදු උනේ පුන්‍ය භූමියට ඇතුල් වෙන්න පෙරමයි….

                     උස මිටර් 2243 , සිරිපා අඬවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380ක් පමණ වන බවයි ගණනය කර ඇත්තේ. 1940 ඔක්තෝබර් 25වනදා අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන මෙි අපුරු සමනොළ අඬවිය ලංකාවෙි තුන්වන උසම කන්ද….

                      ⁣ නල්ලතන්නි පොලිසිය අසලින් ගමන ආරම්භ කලේ නැවත වතාවක් සමන්දෙවිහාමුදුරුවනේගෙ ආරක්ෂාව ලැබෙිවායි පතාගෙනමයි… අපි පුංචි නඬයක්..  සීත ගඟුලේදි මගේ මිතුරියක් දෙහි ගොඩියක් දෙකට කපලා මගේ අතපය වලා ගාලා මගේ මුණ සේදුවා… ඇය එපා කියද්දිම මම වතුරට බැස්සා… හැබැයි බැස්සට වඩා ඉක්මනින් මම නැවත ගලක් මතට ගොඩ උනේ කකුල් දෙක නෑ වගේ දැණුන නිසා… අයිස් පෙටිටියකට බැස්සා වගේ….

                     කෙමෙන් රාත්‍රිය උදාවෙමින් තිබුණු නිසාම සීත ගඟුල නමි මෙි දියපරේ වැඩි පිරිසක් ස්නානය කරනවා මම දැක්කේ නෑ… මං බලන් සිටියේ මගේ මිතුරිය දිහා…. ඇයගේ තුන්වන හො හතරවන ගමන් වාරය මෙි…… මගේ හිතේ එ මොහොතේ තිබුණේ ආගන්තුක හැඟිමි ගොන්නක්… මෙි අයිස් වගේ වතුර නාන්න ආසවක් හිතට ආවත් කොඩු කාරෙක් උනු මම මගේ ආසාව යටපත් කරගෙන මිතුරිය පසු පස වැටුණේ ඇය ඊලගට මාව ඇදන් යන්නේ කොහාටදැයි නොදන්නා නිසා…  සීත ගඟුල අසලම ඇති කුඩා සමන් දෙවියන්ගෙ දේවාලයක්, සුදු රෙදිකඩක ගැට ගැසු පඩුරක් අරන් ඇය මගේ අතේ වැළමිට හරියෙන් ගැට ගැස්සුවා එහි සිටි කපු මහතෙකුලවා… ගමන ආරමිභයේ සිට අවසානය දක්වා සමන්දෙවි ආරක්ෂාව ලැබෙිවා කියලා ආශිර්වාද ලැබුණා… උඩ මලුවෙිදි පඬුර ලිහා එහි ඇති පිං කැටයට දමන ලෙසත් කපු මහතා උපදෙස් දුන්නා…..

                     මෙසේ පඬුරු අතේ බදින්නේ කොඩු කාරයන් හදුණා ගන්නත් ආරක්ෂාවටත් එසේ කරන බවයි මිතුරිය පැවසූවෙි…. මම බැළුවෙි මගේ දකුණු අතේ ගැට ගැසු පඬුරත් පිරිත් නූලත් දිහා.. එක එ මොහොතේ මට දැණුනේ රත්රන් වලට වඩා වටිනා දෙයක් විදිහට… හරියට මාව සමන් දෙවි හාමුදුරුවන්ට භාර කලා වැනි හැඟිමක්….. එදා මගේ මුල්ම සිරිපා ගමන පටන් ගත්තේ එහෙමයි…..

          ඉතිං මෙි ශ්‍රිපාද වන්දනා සමයයි.. මට හිතුනා මෙවර හාස්කමි පිරුණු එ අසිරිමත් පරිසරය ගැන විස්තර  ටිකක් ලියන්න…. එදා මම දුටුව දේවල් වගේම අත්විදි දෙවල් අපි මැගසින් එක හරහා ඔබටත් කියන්න…. උඳුවප් පොහොයෙන් අරමිභ වන ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වෙන්නේ වෙසක් පොහොයෙන්….

             සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000 ක් පමණ බවයි එ පිළිබදව තොරතුරු සොයනවිට මට දැනගන්න ලැබුණේ… වසරේ මාස හයක්‌ පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක්‌ මෙහි පවතිනවා.. නිරිතදිග මෝසම පවතින මැයි , ජුනි , ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ සමනළ අඬවියට.. දෙසැම්බර් , ජනවාරි , පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුයි. එබැවින් කාලගුණික බාදා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක්‌ පොහොය දක්‌වා පවතීනවා.

          සිංහල බෞද්ධයන් සැදැහැ සිතින් පේ වෙලා ශ්‍රි පාදස්ථනය වන්දනා කරන්න යන්නේ ඉමහත් භක්තියෙන්… එ යන අතර මග සුමන සමන් දෙවියන් වැද භාරහාර වි යන්නත් අමතක කරන්නේ නෑ.. මතක තියාගන්න සමන් දේවාලය ඇතුලට කළු පැහැති ඇදුමි නමි ඇදන් යන්න දෙන්නේ නෑ….. මෙි සුමන සමන් දෙවියන්ගේ අඬවිය… බොහො හාස්කමි ඇති බුද්ධ පාද ස්පර්ශ ලැබු වන්දනීය ස්ථානය…….. අපේ රට ගැන අපේ කම ගැන බෞද්ධයන්වු අපි ගැන ආඩමිබරයක් ඇතිවන තැනක්….

          බොහො අය එක එක කතා මැද සිරිපා කරුණා කලත් මම ගමන් කලේ මගේම ලෝකයක…. මගේ මුළු මනසම දැහැනකට සමවැදිලා වගේ…. අදුර මැදින් පරිසරයත් යන එන මිනිසුන් දෙසත් ඇත අහස මත ආලොකයෙන් බබළන දිව්‍ය විමාණයත් මගේ මුළු හිතම හොරාගෙන…. තනිවම මම මගේ ගමන ආරමිභ කලේ මට නිදහසේ ඇවිද යන්න අවැසි නිසා.. එ යන අතරතුර මතකෙට නැඟුණේ අපේ ඉතිහාසය….

          බුදු බව පතනා සුමන සමන් දෙවියන්… සිංහල බෞද්ධ අපගේ අප්‍රමාණ ගෞරවයට වන්දනාවට පත් වන මෙි හෙළයේ දෙවි කෙනෙක්… සිරිපා කරුණාකරන සියළුම බෞද්ධයන්  සුමන සමන් දෙවියන්ට බාරහාර වී ගමන ආරමිභ කරන්නේ පටන් ගැන්මෙි සිට අවසානය දක්වා කිසිදු උපද්‍රවයක් ලගා නොවිමට ආශිර්වාද ලබාගෙනමයි..

            පුජාවලියෙ සදහන් වන පරිදි සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන්… බුදු රජාණන්වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වුයේ මහියංගනයට… එදා යක්ෂ ගොත්‍රිකයන් අතර මහා සටනක් සිදු වීය… එ සටන අතරවාරයේදී බුදුන්වහන්සේ අහසින් වැඩ අහසෙහිම පලක් බැද ඉර්ධි බලයෙන් ගිණි දුමි මවද්දි එ කවුරුත් බිය වි සටන නවතා ඇති බවයි සදහන් වෙන්නේ..

       මෙි යක්ෂ දමණය කරන මොහොතේ බුදු බල මහිමය දුටු සමන් දෙවියන්ගේ හිත බොහොසේ පැහැදි තිබෙනවා… බුදු හාමුදුරුවන්ගේ බණ ඇසු දෙවිවරුන් සසර දුකින් මිදුණු බව පුජාවලියෙ සදහන් වෙනවා…. සමන් දෙවියන් එදා බණ අසා සොවාන් වී තිබෙනවා… එ විතරක් නෙවෙයි සමන් දෙවියන් බුදු හාමුදුරුවන්ගෙන් පුජාවට යමක් ඉල්ලා සිටි මොහොතේ බුදු රජාණන්වහන්සේ සිරස පිරිමැද කෙස් රොදක් ගෙන සුමන සමන් දෙවියන්ට දුන් බවත් සදහන්…. 

       මහියංගනය පුද බිමෙි බුදු රදුන් වැඩහුන් ස්ථානයේ සත් රියනක් උස දාගැබක් ඉදිකර කේස දාතුන් වහන්සේ එහි තැන්පත් කර ඇත්තේද සුමන සමන් දෙවියන් විසින්…. එයයි ලක්දිවෙහි ස්ථාපිත ප්‍රථම චෛත්‍ය…….

       ලංකාවේ මුල් කාල වල සිටි දෙවිවරුන්ගේන් සමහර දෙවියන්ට හිංදු උපතක් තිබුණත් සුමන සමන් දෙවියන් නමි පැහැදිලිවම සිංහල බෞද්ධ දෙවි කෙනෙක්.. බන අසා සොවාන්වු එකම දෙවියනුත් සුමන සමන් දිව්‍යරාජයා පමණයි….

       බොහොම ශාන්ත විලාසටකට උරුම කමි කියන සුමන සමන් දෙව්යන් සුදු පැහැති ශ්‍රි දේහයකින් යුතු එක් අතකින් නෙළුමි මලක් දරාගෙන, ස්වර්ණාභරණයෙන් සැරසී, හිසෙහි ඔටුන්නක්ද පැළද සිටියි.. මෙි දෙවියන්ගෙ වාහනය ලෙස සැළකෙන්නේ සුදු ඇතෙක්….   ( ඇලි ඇතා නමින්ද හදුන්වයි . සුදු වර්ණයට කියන තවත් නමක්) තේජවන්ත ඇත් රා⁣ජයෙක්… ඇත් රාජයාගේ හොඬවැලෙහිද ⁣නෙළුමි මලක් තිබෙනවා… එ බුදුහිමි සිරිපතුල පිදුමට…

            බුදුන් ලක්දිවට පැමිණි සමයේ එම ප්‍රදේශයේ අධිපති ලෙස සිටි සුමන දේව නැමති දේව වංශික ප්‍රභු වරයා බුදු බණ අසා සොවාන් වු පසු සබරගමු වාසින් විසින් ඔහු දේවත්වයෙන් පිදු බව සදහන් වෙනවා… එ විතරක් නොවෙයි සුමන සමන් දෙවියන්ගැන තවත් කතා නමි එමටයි……

        බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී ,බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නා රජු ගේ ආරාධනයක් අනුවයි….. එම ගමනේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපාද සළකුණ පිහිටුවන්නට ඇතැයි ‍බෞද්ධයෝ විශ්වාස කරනවා වගේම ඉතිහාසයෙත් සදහන් වෙනවා….. කැලණියට වැඩමකල බුදුන් වහන්සේ සමන් දේවියන්ගේ ආරාධනය අනුව තම වම් සිරිපා සලකුණ මෙහි තැබු බවයි ඉතිහාසයේ සදහන් වෙන්නේ…

           රොබට් නොක්ස්ගේ ග්‍රන්ථයේ  “ආදම්” ගේ පා සටහන ලෙස වරදවා හඳුන්වාදි තිබෙනවා.. බටහිර ජාතීන් ඒ නිසා සමනොළ ගිර “ඇඩම්ස් පීක්” (Adam’s peak) යනුවෙන් හැඳින්වනවා… නමුත් එය ආදම්ගේ පිය සටහනක් බව ලෝකයේ කිතුනුවෝ නමි විශ්වාස කරන්නේ නෑ….  මුස්ලිම් භක්තික‍යෝ සමනළ සිරසේ “බබාද මලෙයි /ආදම් මලෙයි” යනුවෙන්ද භාවිතා කරනවා….. ශිව භක්තිකයෝ ශිව දෙවියන්ගේ පා සළකුණ එහි පිහිටා ඇතැයි විශ්වාස කරනවා. ඔවුන් එය හඳුන්වන්නේ “ශිවන් ඔලි පාදම්” යනුවෙන්.

           නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයින් සතු බවට ඔවුන්ගේ වසර 2500 අධික ලිඛිත ඉතිහාසය සාක්ෂි සාධක සහිතව මනාව පිරික්සා බැලිමේදි සදහන් වෙනවා…

            දඬු කොඬු කාරයෙක් වන මං හෙමින් ගමන් කල නිසා මහන්සියක් නොදැණුනා.. ඉදිකටු පහන ලගට එනකමි මට වැඩි සීතලක් නමි නොදැණුන තරමි.. නමුත් එතිනින් එහාට ඇග හීගඩු පිපිළා… අත්වැට අල්ලා ගන්නවත් බැරි තරමට අත් හිරි වැටිලා… යකඩ අත් වැටත් අයිස් වගේ… ඉදිකටුවට ඇමුණු නුල ඇදගෙනම මම ඉදිරියට පියවර තැබුවෙි මගේ මිතුරිය මට කියා දුන් පරිද්දෙන්මයි….

            මහා හාස්කමක් ඇති භුමියේ මහා ගිරිදබයට ලං වෙද්දි නමි ඇතින් අහස් කුස ආලොකයෙන් ආලොකමත්වි ඇති සිරිපාද පද්මය දකින විට මට සිතුනේ අපි අසා ඇති තවුතිසා දිව්‍යලොකය මෙයවත්දැයි කියලමයි…. එ තරමි මගේ නෙත පිනවන දර්ශනයක්… කෙමෙන් කෙමෙන් සීතල වැඩි වෙද්දි සිරිපා පද්මයට පැමිණ බුදුන්වහන්සේගේ වාම සිරිපතුල භක්තියෙන් වැද පුදාගෙන එ අසලම ඇති සුමන සමන් දේව ප්‍රතිමාවත් වැද පුදාගෙන පසෙකටවි බලා සිටියේ මෙි අසිරිමත් පුජා භූමිය දැසින් රිසි සේ විදගනිමින්…

            එත් අවසනාවකට වගේ මගේ දැසටත් එක් දසුනක් හසුවුවෙි මොහොතකට මගේ හදවතත් නතර වෙනවා වගේ දැනෙද්දි… එක්තරා තරුණයින් දෙදෙනෙක් පාවහන් පැළදගෙනම සුමන සමන් දෙව ප්‍රතිමාව ඇති කුඩා කුටිය අසලට යන පඩි පෙල් දෙකත් නැඟලා.. ඔවුන් දෙදෙනාම බිමතින්… විනාඩියක් ගත වන්නට ප්‍රථම එහි භාරකාරිත්වය දරණ කීපදෙනෙක් පැමිණ එ තරුණයන් දෙදෙනාට අතුල්පහර දෙකක් ගසා මළුවෙන් පන්නා දැමිමෙි එහි සිටි හැමදෙනාගෙම අවදානය එ දෙසට යොමු වෙද්දි….

            සිරිපා කරුනාවෙිදි කට වරද්දා ගැනීමි නොකරන ලෙසයි වැඩිහිටියන් උපදෙස් දෙන්නේ.. එසේ කට වරද්දා ගන්නා යමි උදවියට තවමත් සිරිපා වන්දනා කරන්නට යන්නට නොලැබි ඇති බවට කතාද එමටයි… දැනට වසර ගණනකට පෙර සිරිපා වදින්න යන අවස්ථාවෙි මස්කෙලිය ආසන්නයේදි නඩයක් ගමන් ගත් බස් රථයේ රේජියෙටරය පුපුරා එහි ඇති උණු වතුර ඇගට වැටි පිලිස්සුමි තුවාල ලැබු අය ගැන මම පුද්ගලිකවම අසා ඇත.. එ වගේම ඔවුන්ට කිසිදා සිරිපා කරුනා කරන්නට අවස්ථාවද තවමත් ලැබි නැත….. එසේ වන්නට හේතුව දන්නෙත් ඔවුන්ම පමණයි…

            රත් කන්ද, බෑන සමනළ, කුඩා බෑන සමනළ, කුණු දිය පවුව, හීන් පිදුරුතලාගල , මහා පිදුරුතලාව, යකා හැඩු කන්ද , බල්ලා බැදි ගල…. මෙි වගේ කදු යායක් සමනළ කන්ද වටා සිටින්නේ සමනොළ කන්දේ ආරක්ෂාවට වගේ…. කේතුවක හැඩයක් ගත් සමනොළ කන්දේ හෙවනැල්ල දුටු විට මතකෙය එන්නේ පිරමිඩ… ස්වාභාවික පිරමිඩ…. එ ගැනත් හිතන්න බොහො දේවල් මගේ හිතට නැඟුනා.. කදු යායවල් වලින් වටවී විරාජමානව සිටින සමනොළ ගිර සිට මම ඇත බලාගෙන එහි සුන්දරත්වය වින්දේ ජිවිතයේ ලද මහඟු අත්දැකිමක් හදවතේ පරිස්සමට තියාගෙන..

බතට කන්න බැරි බතලේ ගල කන්ද

අලට කන්න බැරි අලගල්ලේ කන්ද

හූනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද

මෙි කදු තුනට නායක සමනොළ කන්ද

යන්ට හොඳයි තේවතු බල බලායේ

කන්ට හොඳයි පැණිරස අග්ගලායේ

ඉන්ට හොඳයි සීතල පිනි බබායේ

වැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ

        ජිවිතයේ එක් වරක් හො ශ්‍රී පාදස්ථනය වන්දනා කරන්න යන්න…. එතරමි එ අත්දැකීම පුදුමාකාරයි…. හිතට නැඟෙන සිතුවිලි නමි නිමක් නැති තරමි… මගෙ හිත තනිවම කවි කියනවා…. එ තරමි මම මෙි පරිසරයට බැදිලා…. නමුත් බොහො අය ඇවිත් යන්නේ තමන් ගෙනා දේවල් මෙහිම දමලා… ප්ලාස්ටික් බොතල්,  පොලිතින් බෑග් , යොගටි කප්, අයිස් පැකටි, ලන්චි සිටි, හැම තැනම…. යන එන පාර දෙපසම දමා ගිහින්….. එවා දැක්කාම මට හිතුනේ සමනළයන් යන මාවතේ කැරපොත්තන්ද යන බවයි…. සුන්දර පරිසරයට වින කටින්නේ අපේ රටෙි අපේම මිනිස්සුයි…. එ ගැන හිතට දැනෙන්නේ කණගාටුවක්.. තමන් රැගෙන යන දේවල් ටොෆි කොලයේ පටන් තමන්ගේ සියළු කුණු නැවත නිවසටම රැගෙන යනවා නමි මොනතරමි අඟනේද?….

ශ්‍රී පාද වන්දනාව

( තථාගතයන් වහන්සේගේ පා සටහනට බෞද්ධයෝ “ශ්‍රී පාදය” යි ව්‍යවහාර කෙරෙති. එය උද්දේශික චෛත්‍යයට අයත් ය. )

ජනානං වන්දමානානං – පත්ථානං සාධකං වරං,

තථාගතපදං වන්දෙ – දෙවින්දෙහි’පි වන්දිතං.

(වඳින ජනයාගේ ඒ ඒ ප්‍රාර්ථනාවන් සිදු කරන්නා වූ දේවේන්ද්‍රයන් විසිනුදු වඳින්නා වූ උත්තම වූ තථාගතයන් වහන්සේ ගේ පා සටහන වඳිමි.)

        සමනොළ කන්ද සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේ ම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක්…. අපි පන සේ එය රැක ගත යුතුයි… එ පරිසරය අපි ආරක්ෂා කර ගත යුතුයි… මෙි සිරිපා වන්දනා සමයේ වන්දනාවෙි යන සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ රැගෙන යන සියල්ල නැවත රැගෙන එන්න… පා සළකුණු පමණක් ඉතිරි කර එන්න…

සුමන සමන් දෙවි පිහිටයි… වදින්න යන හැම නඬයට…. සැම සිත් පහන් වෙිවා…

ධර්මය අවබොද වෙිවා!

සමන්⁣ දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි !

නිසංසලා රණසිංහ 

සමනලුන් ගේ වතගොත

ඔන්න මේ කලාපෙදිත් ශ්‍රී ලංකාවේ හමුවෙන තවත් එක සමනල් කුලයක් ගැන විස්තර අරගෙන ආවා. මේ සැරේ වැස්තර කියන්න හිතාගෙන ආවේ Hesperiidae කුලය ගැනයි. මේ කුලයේ ඉන්න සමනල්ලුක්ට ත් අනිත් අය වගේ ම විශේෂ වුන ලක්ෂණ ගොඩක් දැක බලා ගන්න පුලුවන්. ඒ වගේ මේගොල්ලොන්ගේ සමහරක් විශේෂ අපිට ලේසියෙන් ම ගෙවත්තෙ දි උනත් බලා ගන්න පුලුවන්.‍

මෙම කුලයේ සමනලුන් විශේෂ 4000 ක් ද ඉක්මවා ලෝකය පුරාම ව්යා ප්ත ව සිටි. කුඩා ප්‍රමානයේ ශරීර දරණ මොවුන් කළු, දුඹුරු, තැඹිලි යන වර්නයන් හි ප්‍රභේද මත සුදු හෝ තැඹිලි පැහැයෙන් සලකුණු පිහිටි පියාපත් දරයි. තවද මෙම කුලයේ සමනලුන් වේගවත් පියාසැරීයක් හිමි පිරිසක් ද වේ. Hesperiidae කුලයේ හේවත් Hesperiids සගයින් හදුනා ගැනීමට පහත සඳහන් වී ඇති කරුණු පාදක කර ගනිමින් සිදු කළ හැක. වැඩිහිටි සමනලුන් ගේ හිස පළල්, උරස විශාල වන අතර ශරීරය සාපේක්ෂව කෙටි පියාපත් සහිත ස්ථුල වේ. තව ද විශේෂයෙන් අනෙකුත් සමනලුන් මෙන් නොව මොවුන්ගේ ශරීරයට සාපේක්ෂව ශුන්ඩාව ඉතාමත් දිගට පිහිටයි. මොවුන් ගේ හැසිරීම් රටා පිළිබඳ කතා කිරීමේදී කලින් සඳහන් කළ ලෙසටම ශක්තිමත් හා වේගවත් පියාසැරීයක් හිමිපිරිසක් වේ. සමහරක් Hesperiidae වර්ග තම තටු හකුල ගනිමින් පෘශ්ඨයක් මත වසා සිටින අතර තව සමහරක් විශේෂ පිටුපස තටු විවෘතව ද ඉදිරිපස තටු හකුල ගනිමින් ද වසා සිටිය ඒමෙන්ම තවත් සමහර විශේෂ තටු තිරස් අතට විහිදවමින් ද  පෘශ්ඨයක් මත වසා සිටියි.Hesperiidae කුලයේ සමහරක් මල් පැණි මගින් පෝෂණය වන අතර සමහරක් ශාක වල යුශ මගින් ද සත්ව මළ පහා මගින් හා නරක් වුනු පළතුරු මගින් ද පෝෂණය වේ. මොවුන් ‌ෙග්න් බොහොමයක් පිරිමි විශේෂ ලවන උරා බිමෙදි නිතරම වගේ වියලි පොලවෙ සහා වියලි පාෂාණ කොටස් මත වසයි. ලංකාවෙ සෑම පරිසර පද්ධතියකින්ම හමු වේ. මෙම කුලයේ සමනලුන් ගේ බිත්තර විවිධ ප්‍රමාණයන් අතර දැක ගත හැකි වන ඒවා බුබ්බුලාකාර හැඩයක් ගනි. මේවා පැහැයෙන් සුදු, කහ, දුඹුරු හෝ කොළ පැහැයක් ගනි. මොවුන් ගේ දැළඹු අවදිය ගත් විට බොහෝමයක් විශේෂ වල දැළඹුවන් ගේ හිසේ සිට පාදාන්තය දක්වා රෝම ආවරනයක් දැක ගත හැකි වන අතර හිස ශරීරයට වඩා විශාල වේ. Hesperiidae කුලයේ සමහරක් විශේෂ වල දැළඹුවන් පැහැයෙන් දීප්තිමත් වර්ණ ගැන්ව ඇති අතර සමහරක් විශේෂ කොළ හෝ දුඹුරු පැහැයක් ගනි. මොවුන් ගේ දැක ගත හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ දැළඹු අවදියේ දි තම පෝෂණ ශාකයේ පත්‍ර භාවිතා කරමින් සාදාගන්නා ආරක්ෂිත ආවරනයයි. සමනලයෙකු වීමට ලංව ඇති අවසාන පියවර වශයෙන් තිබෙන කෝෂය හැඩයෙන් ‌දිගැටි වන අතර හිස පෙදෙසෙන් කෝණානාර හැඩයක් ගනි. මේ වන විට ශ්‍රී ලංකාවේ . Hesperiidae කුලයට අයත් වන සමනල් විශේෂ 50 ක් සිටිව අකර එයින් වාශේෂ 8 ක් මෙම දිවයින ට ආවේනික වේ.

ලේහාගන්න බැරි බැඳීම්

මනුස්ස බැඳීම් කියන්නේ මහ පුදුම දෙයක්.

හිනාවෙන්න කථා කරන්න විනෝද වෙන්න  යාළුවො සිය ගානක් අපි වටේට හිටියත්,අපිවත් නොදැන අපේ යටිහිත ඒ එක එක අයව එක එක තැන්වල තමයි ස්ථානගත කරලා තියෙන්නේ.

ඒක අපි පුද්ගලිකව හිතලා කරන දෙයක් නෙමෙයි, ඒ එක එක්කෙනාව අපිට feel වෙන තරම සහ ඒ අයට අපිව feel වෙන මට්ටම,දිහා  යටිහිත හොඳින් බලන් ඉන්නවා, එහෙම කාළයක් බලලා  count කරලා යටිහිත ඕක valuation  report එකකට ගන්නවා.

 හිත අපේ උනාට,ඒ report එක සාමාන්‍ය ජීවිතේදී අපිටවත්  පෙන්නේ නැහැ.

ඔහොම ඉඳිද්දී, අපිට තදට රිදිච්ච දවසට , ලොකු සතුටක් දැනිච්ච දවසට හරි උත්තර නැති ප්‍රශ්නෙක පැටලිච්ච දවසක  වගේ මොකක්ම හරි දරාගන්න බැරිතරමේ හැඟීමක විඳීමක් හෝ විඳවීමක් එක්ක අපි පැටලිලා තදින් ගැටෙන දවසට තමයි, හදවත අර කලින් හදන් හිටපු valuation report එක අපිට කරළියට ගෙනත් දෙන්නේ.

අන්න එදාට ඒක දැකලා සමහරවිට ඔයාට  ඔයා ගැනම පුදුම හිතෙනවා.එක්කෝ ලැජ්ජා හිතෙනවා, නැත්තම් පසුතැවෙනවා.

උදාහරණයක් විදිහට, ඔෆිස් එකේ කැම්පස් එකේ යාළුවො තොගයක් හිටියට, හිතපු නැති වෙලාවක අම්මා ලෙඩ උනොත්, කෙල්ල දාලා ගියොත්, එක පාරටම මතක් වෙන්නෙ අර ලඟම ඉන්න සෙට් එක නොවී ගමේ ඉස්කෝලේ දහයේ පන්තියේ හිටපු යාලුව වෙන්න පුළුවන්.

 එක්කෝ අවුරුදු ගානකින් කතාත් නොකරපු පරණ යාලුවෙක් වෙන්න පුළුවන්.එහෙමත් නැත්තම් වෙන නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන්, සමහර විට ජීවිත්ට ඉස්සරහට හම්බෙලා නැති සයිබර් අවකාශයෙ කෙනෙක් වෙන්න පුළුවන්.

හැබැයි job එකේ promotion එකක් හම්බුනොත් ඒක මුලින්ම කියන්න හිතෙන්නේ අර කලින් ප්‍රශ්නෙ වෙලාවේ මතක් වෙච්ච කෙනා නෙමෙයි වෙන්න පුළුවන්.

ඔය අතරේ weekend එකේ ට්‍රිප් එකක් යන්නොනේ කියලා හිතුනොත් ඔලුවට එන්නේ අර දෙන්නම නොවී වෙනනම එකෙක්.

එහෙම ගිහින් අතේ සතේට හිඳිලා මාසේ රන් කරන්න බැරි වෙලා ලෝන් එකක් දාගන්න ඕනෙ උනොත් හිත ඔලුවට ගෙනත් දෙන්නේ, ඕකට අරූට කථා කරලා වැඩක් නෑ, අරයා ට කථා කලොත් නම් වැඩේ කරගන්න පුළුවන් කියලා වෙන පැත්තකම ඉන්න කෙනෙක්.

ඇත්තටම වෙලාවකට ඒක මහ පුදුම දෙයක්.☹️

අවුරුදු ගානකින් කථා නොකරපු, හලෝ නොකියපු,සමහරුන්ගෙන් කෝල් එකක් එද්දිම සමහර විට අපි හේතුව දන්නවා,

ආ… මූට සල්ලි කීයක් හරි ඕනෙ වෙලා, ආ ඔන්න මූට මොකක් හරි ප්‍රශ්නයක්..

ඒකනේ මාව මතක් වෙලා තියෙන්නේ,කියලා කියන්න තරම් අපිට කොච්චර නම්

 “ඉවක්‌ “දැනිල තියනවද?

අන්න ඒකයි මන් මුලින්ම කිව්වේ, සම්බන්ධතා වල බැඳීම් හරීම පුදුමාකාරයි කියලා,

ඔන්න ඕක නිසා තමයි යාළුවො දහස් ගානක් අස්සේ උනත් කියාගන්න කෙනෙක් නැතුව තනිවෙලා දුක් විඳින විශාදය එක්ක වලි කන මනුස්ස ආත්ම හැංගිලා තියෙන්නේ,

 මොකක් හරි උනාට පස්සේ,අඩේ ඌ ඔච්චර හිටියා අපිට ඔය ගැන කිව්වේ නෑනේ, නිකන්හරි කිව්වනම් අපි උදව් කරනවනේ කියලා කිව්වට ඇත්තටම හදවත අපිට ඇනලයිස් කරලා දෙනවා මේකට විසඳුම් දෙන්න තරම් ලඟ බැඳීම මොකද්ද කියලා, එහෙම හිතට එකඟ නැති බැඳීම් ඉස්සරහ මිනිස්සුන්ගේ කටවල් ඇරෙනවා අඩුයි.

මොකද අපිත් නොදැන  අපේ හදවත බැඳීම් යාළුකම් වලට, සම්බන්ධතා වලට, යම් යම් සම්බාධක පනවලා තියෙනවා , අපි නොදන්නවා උනාට හිත දන්න්නවා මේක කියන්න ඕනෙ, මේක විඳින්න ඕනෙ කා එක්කද කියලා,

අන්න ඒ නිසා තමයි, සමහර දුකම දවස්වල අපිට අපිවත් නොහිතන පරණ යාළුවො ඔලුවට එන්නෙ, අනේ එයා මේ වෙලාවේ එයා හිටියනම් කියලා හිතෙන්නේ..

මොකද,ඔයා නොදන්නවා උනාට ඔයාගේ බැඳීම් වල analys report එක හිත විසින් හදලා ඉවරයි,

ඔයාට තදින්ම රිදිච්ච දවසක යටිහිත ඒ රිපෝර්ට් එක ඔලුව මැද්දට ගෙනත් දෙයි.

තමන්ගේ යටිහිත මේ තරම් වටිනාකමක්‌ දීල තිබ්බ සම්බන්ධකම් වලට ඔයා කුඩම්මාගේ සැලකිලි කරලා තිබ්බොත්, අන්න එදාට ඔයාට සමහරවිට ඔයා ගැනම ලැජ්ජා හිතෙයි.😔

සරළවම කිව්වොත් ,

බැඳීම් හරි පුදුමාකාරයි.

සමහර බැඳීම්  අපේ ඇස් අස්සට කොච්චර ලං වෙලා තිබ්බත් හිතේ අහලටවත් ඇවිත් නැහැ, තවත් සමහර බැඳීම් හැතප්ම දහස් ගානක් දුරින් තිබ්බත්,  හදවතට අංශුවක් වත් දුර නැහැ.💜

අනීෂා ජයකොඩි

ලිංගාශ්‍රිත

ලිංගාශ්‍රිත රෝග හෝ සමාජ රෝග යනු මිනිසුන් හෝ සතුන් සමග මුඛමාර්ගයෙන්, ගුදමාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී සම්ප්‍රේෂනය වන රෝගයන්ය.මෙහිදී ආසාධිතායෙකුට තවත් පුද්ගලයින් වෙත රෝග ලක්ෂණ නොමැතිව වුවද රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇත. ඇතැම් ලිංගාශ්‍රිත රෝග සිප ගැනීමේදී ,දරුප්‍රසුතියේදී හෝ මව්කිරී දීමේදි බෝවිය හැක.

එසේම එකම එන්නත් කටු භාවිතය, රුධිර පාරවිලයනයකදී පවා මේ රෝග බෝවිය හැකිය .

මෙම රෝග බෝවීම වලකාලීමට කළහැකි එකම දෙය නම් ලිංගික ඇසුරක් නොපැවැත්වීම පමණක් නොවේ.

ලිංගික රෝග වල

රෝග ලක්ෂණ නොපෙන්නුවද සමහර අය තුල රෝගය වැළදි තිබෙන්න පුළුවන්. ලිංගික රෝග සමග පෙන්නුම් කරන රෝග ලක්ෂණ අතර

පිරිමි අයෙකුට නම්

*ලිංගික හැසිරීමකදි හෝ මුත්‍රා කිරීමේදී වේදනාව

*ශිෂේණය, වෘෂණ කෝෂ, ගුදය, තට්ටම්, කලවා හෝ මුඛය මත හෝ අවට තුවාල, ගැටිති හෝ රෑෂ් ඇතිවීම,

*ශිෂේණයෙන් ස්‍රාව හෝ ලේ අසාමාන්‍ය ලෙස පිටවීම,

*වේදනාකාරී හෝ ඉදිමුණු වෘෂණ කෝෂ ඇතිවීම,

මෙම ලක්ෂණ ලිංගාශ්‍රිත ඇතිවන රෝගය අනුව වෙනස් වෙන්න පුළුවන්.

ඒවගේම ලිංගාශ්‍රිත රෝග සහිත  කාන්තාවකට උවත්

රෝග ලක්ෂණ නොපෙන්නුවද රෝගය වැළදි තිබෙන්න පුළුවන්.

එසේම

*ලිංගික හැසිරීමකදි හෝ මුත්‍රා  පිට කිරීමේදී වේදනාව

*ගුදය, යෝනි මාර්ගය, තට්ටම්, කලවා හෝ මුඛය මත තුවාල, ගැටිති හෝ රෑෂ් ඇතිවීම,

*යෝනි මාර්ගයෙන් ස්‍රාව හෝ ලේ අසාමාන්‍ය ලෙස පිටවීම,

*යෝනි මාර්ගය තුළ හෝ අවට කැසීම ,

මෙම ලක්ෂණද ලිංගාශ්‍රිත රෝගය අනුව වෙනස් විය හැකියි.

ලිංගිකව සම්ප්‍රේෂනය වන එවැනි රෝග අතර

* ක්ලැමීඩියා

*HPV (මානව පැපිලෝමා වෛරසය

*සිෆිලිස්

*HIV

*ගොනෝරියා

*Pubic lice – රහස්‍ය ප්‍රදේශයේ රෝම වල හැදෙන උකුණන්

*ට්‍රයිකොමෝනියාසිස්

*හර්පීස්

හදුන්වන්න පුළුවන් .

ලිංගිකව බෝවෙන තවත් රෝග බොහොමයක් තියෙනවා.

බොහෝ දෙනෙකු මෙවැනි රෝග සදහා ප්‍රතිකාර ගැනීම සදහා වෛද්‍යවරයකු වෙන යාමට ලැජ්ජාක් හා මැලි කමක් දක්වන්වා,

එහෙත් මෙවැනි රෝග සදහා ප්‍රතිකාර ගැනීමට සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීමෙන්  මෙවැනි රෝග වලින් ආරක්ෂා වීම හා රෝග බෝවීම වලකාලීමට පුළුවන් ,

මෙය ඉතා පුලුල් ලෙස සාකච්ඡා කිරීමට බොහෝ කරුණු ඇති මාතෘකාවක් ,

මේහා සබැඳි කරුණු ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා,

කෙසේවෙතත් ඔබ විශ්වාස නීය සහකරුවෙකු හෝ සහකාරියක සමග පමණක්

ආරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් ඔබට මෙම ලිංගික රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

නිශා

භාවනාව සහ විවිධ භාවනා ක්‍රම

වර්තමාන ලෞකික සමාජයේ කාර්යබහුලත්වයෙන් හෙබි ජීවන රටාවකට හුරුපුරුදුව සිටින ඔබ අප සියලු දෙනාගේම හිත සුව පිණිස ඉතාමත් කාලීන මාතෘකාවක් “අපි සඟරාව” ඔස්සේ මෙම ලිපියෙන් සාකච්ඡා කිරිමටයි අප සූදානම් වන්නේ.

“භාවනාව සහ විවිධ භාවනා ක්‍රම” පිළිබදව ඔබ කොතෙකුත් අසා ඇතත් භාවනාවේ නිවැරැදි භාවිතය සහ ඒ තුලින් අපේක්ෂා කරන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා වූ  ක්‍රමානුකූල මඟ කෙසේ සොයා ගත හැකිද? යන්න අද සමාජයේ බොහෝ දෙනෙකුට පැන නැගී ඇති ගැටලුවක් වී තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් උඩස්ගිරිය නම් සුන්දර ගම්මානයේ ඉතාමත් මනස්කාන්ත නිදහස් පරිසරයක පිහිටා ඇති භාවනායෝගී භික්ෂුන්වහන්සේලාට සහ උපාසක උපාසිකාවන්ට මනා තෝතැන්නක් වූ රිදීකන්ද ආරණ්‍යය හි  සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ  වූ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගෙන් අසා දැන උගත් පරිදි මේ පිළිබදව ඔබට කරුණු බිඳක් ලියන්නටයි අපගේ සුදානම.

1. භාවනාව යනු කුමක්ද? භාවනාව වැඩීම තුලින් අප බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද?

“භාවනාව” වචනාර්ථය ගත්කල වැඩි දියුණුකිරීම, පුහුණුකිරීම, වර්ධනය කිරීම යන අරුත් ගැන්වේ. වැඩිදියුණු කලයුත්තේ කුමක්ද? එය කය සහ සිතහි දියුණු බව පිණිස මනා පුහුණුවයි. එය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. එනම් සමථ භාවනාව හෙවත් සිතෙහි ඒකාග්‍රතාව වර්ධනය කිරීම සහ විදර්ශනා භාවනාව හෙවත් ජීවිතයේ සත්‍යතාවය විනිවිද බැලීම සඳහා වූ සිතෙහි දියුණුබවයි.

කාර්යබහුල ගිහි ජීවිත තුල කෙනෙකුගේ සිතෙහි පවතින විසුරුණු ස්වභාවය, අවිවේකී බව, විඩාව, පීඩාව නිරතුරුව ගෙනදෙයි. නමුත් සමථ භාවනාව තුලින් පුරුදුකරන ලද ඒකාග්‍ර සිතකින් මානසික සුවපත් බව විවේකි බව ලැබීම මෙන්ම, ඒකාග්‍ර සිතක චිත්ත ශක්තිය බොහෝ කායික රෝග සුවපත් බව පිණිස ද ඉවහල් වන බව බටහිර පර්යේෂණ පවා සාක්ෂි දරයි. නිදහසේ ඉහල සිට ගලා යන ජලය විවිධ ජල මාර්ග ඔස්සේ ගලාබැසීමට ඉඩ නොදී, ජලය එක් මාර්ගයක් ඔස්සේ ක්‍රමානුකූලව ගමන් කරවීම තුල විශාල ශක්තියක් ජලය මත ගොඩනැගිය හැකි සේ, විසිරුණු සිත ඒකාග්‍ර කිරීම තුල ගිහි ජීවිත ප්‍රබෝධමත්ව, ක්‍රියාශීලීව, නිරෝගීව ගත කිරීමටත් විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තියත් සමථ භාවනාව තුලින් ලබාගත හැක. ලෝකයේ විවිධ සමථ භාවනා ක්‍රම භාවිතා කරනු ලබන අතර බුද්ධ දර්ශනය තුලද අනුස්සසති භාවනා, කසින භාවනා ආදී විවිධ සමථ භාවනා ක්‍රම හඳුන්වා දී ඇත.

බුද්ධ දර්ශනය තුල පමණක් ඉගැන්වෙන විදර්ශනා භාවනාව, සත්‍ය ගවේෂණය තුලින් ජීවිතයේ සැබෑව ඇති සැටියෙන් අවබෝධ කිරීම සඳහාත් පිළිවෙලින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමී සහ අරහත් යන උතුම් ඵල නෙලාගැනීම සඳහාත් උපකාරී වේ. විදර්ශනා භාවනාව අන් භාවනාවන් අතරින් වෙනස් වන්නේ, එහි යෙදීමේ සුවිශේෂීත්වය නිසාය. ජීවිතය යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා වූ විවිධ සිද්ධාන්තයන්හි දැනුමත්, එම දැනුම තමා තුලින් දැක ගැනීම (අවබෝධ කර ගැනීම) පිණිස වූ ක්‍රමානුකුල ප්‍රායෝගික ක්‍රියාත්මක බව හෙවත් භාවනා කර්මස්ථාන වැඩීම තුලින් මෙම ජීවිත අවබෝධයට පත්විය හැක. නමුත් විදර්ශනා භාවනාව වැඩීම සඳහා ඒ මඟ නොමඟ හොඳින් දන්නා ගුරුවරයෙකුගේ මාර්ග උපදේශකත්වය ලබා ගැනීම නුවණට හුරු ක්‍රියාවකි.

2. නිවන් මඟ සඳහා යන ගමනේදී ගුරුවරයෙකුගේ වටිනාකම සහ නිවැරදි ගුරුවරයා තෝරා ගැනීම කෙසේ සිදුකල යුතුද?

බුද්ධ දර්ශනය තුල ගුරු භුමිකාවට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මන්ද නිවන් මඟ සාක්ෂාත් කිරීමේදී හමුවන විවිධ අභියෝගයන් ජයගැනීම සඳහා ඒ මඟ දන්නා ගුරුවරයාගේ මාර්ග උපදේශනය, ශිෂ්‍යයාට ඒ මඟ පහසුවෙන් ගමන් කිරීම සඳහා මනා පිටුවහලක් ගෙනදෙයි. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගනු ලබන සම්බන්ධතාවය තුලින් ශිෂ්‍යයාව මනාව අවශ්‍යය ඉලක්කය වෙත පහසුවෙන් රැගෙන යාම ගුරුවරයා විසින් සිදුකරයි. ඒ තුල, මන් මුලා නොවී මාර්ගය තුල නිවැරදිව ඉක්මනින් ගමන් කිරීමට හැකියාව ගුරු-ශිෂ්‍යය සම්බන්ධතාවය තුලින් ඇති කර ගත හැක.

ගුරු භූමිකාවේ කාර්යභාර්යය තේරුම් ගැනීම තුලින් නිවැරදි ගුරුවරයෙකු හඳුනාගැනීම සිදුකල හැක. ශිෂ්‍යාව මුල සිට කෙළවර දර්ශනය දක්වා අනුපිළිවෙළින් ධර්ම විනය ඉගැන්වීමෙන්, එහි ප්‍රායෝගික දර්ශනයන් සඳහා භාවනා කර්මස්ථානයන් නිර්දේශ කරමින්, නිරතුරුව ශිෂ්‍යාගේ වර්ධනය නිරීක්ෂණය කරමින් අවශ්‍යය උපදේශනයන් ලබා දීම ගුරුවරයා විසින් සිදුකරයි. එම ඉගැන්වීම් ත්‍රිපිටක ගත බුද්ධ දර්ශනයට අනුකුලව, තර්කයට ගෝචරව, විද්‍යාත්මක පදනමක සිට ඉදිරිපත් කරනවාද යන්න පිලිබඳ විචාර බුද්ධියකින් ශිෂ්‍යයා විසින් බැලිය යුතුය. එවිට, නිවැරදි ගුරුවරයා ඔබට හඳුනා ගත හැකිය.

3. ඉතා කාර්යබහුල ගිහි ජීවිතය තුල භාවනාව ප්‍රායෝගිකව පුහුණු කරන්නේ කෙසේද?

ගිහි ජීවිත ගත කරමින් භාවනාව වැඩීම කල නොහැකියි යන වැරදි අදහස අප මුලින්ම ඉවත් කල යුතුය. එමෙන්ම, ඒ සඳහා කාලය කළමණාකරණය කල නොහැකියි යන මතයද ඉවත් කළයුතුය. මූලික වශයෙන් දවසේ පැය 24න් යම් කාලයක් වෙන්කර ගැනීම සෑම දෙනාටම කල හැකි දෙයකි. එය විනාඩි 10, 15, 30 විය හැකි වුවත්, ඒ කාලය සෑම දිනකම භාවනාව පුහුණුකිරීම වෙනුවන් වෙන් කිරීමෙන් ඔබට අවශ්‍යය ඉලක්ක වෙත ලඟාවීමට එයම ප්‍රමාණවත් වේවි. ඒ කාලය තුල සරල භාවනා අභ්‍යාස ප්‍රගුණ කරමින් ක්‍රමානුකූලව භාවනාව තුල පරිණත වීමට ඔබට හැකිවේවි.

4. ගිහි ජීවිතය ගත කරන අයෙකු රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්න්ධ වී භාවනා ක්‍රම ප්‍රගුණ කිරිමට ඇති වැඩ පිළිවෙල කුමක්ද?

රිදීකන්ද ආරණ්‍යය සේනාසනය තුල උපාසක උපාසිකාවන් වෙනුවන් නේවාසික භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන භාවනා යෝගීන් සඳහා දුරස්ථ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ද (Online learning) වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන් අතර, සමථ භාවනා වැඩසටහන්, විදර්ශනා භාවනා වැඩසටහන් මෙන්ම, ආතතිය කළමනාකරණය (Stress management) සඳහා වූ වැඩසටන් සහ විවිධ ඇබ්බැහිවීම් සඳහා වූ බෞද්ධ මනෝ විද්‍යාත්මක පුනුරුත්ථාපන (Addiction Rehabilitation) වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

5. එතෙර ජිවත් වන අයෙකු මෙම වැඩපිළිවෙළ සමග සම්බන්ධ වන්නේ කෙසේද?

රිදීකන්ද ආරණ්‍යය සේනාසනය ට අදාළ වෙබ් පිටුව සමඟ සම්බන්ධ වීමෙන් ඉහත සඳහන් ඕනෑම වැඩසටහනක් හා සම්බන්ධ වීමට හැකියාව ඇති අතර, මෙම 2022 වර්ෂ ආරම්භය මුලික කරගෙන දුරස්ථ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ද (Online learning) වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එම භාවනා වැඩසටහන් පිළිබදව තොරතුරු දැන ගැනිම සදහා පහත සදහන් මාධ්‍යයන් ඔස්සේ ඔබට රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්බන්ධ විය හැකිය.

Contact (SL): +94 763229860

Contact (UK): +44 7525843376

Email: rideekanda@gmail.com

Web: www.rideekanda.com

“අපි සගරාව” කියවන සියලු දෙනාගේම යථාඅවබෝධය පිණිස මෙම ඉතාමත් වටිනා ධර්මානුකූල කරුණු විග්‍රහය සදහා අප සමග සම්බන්ධ වීම පිළිබදව රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට අපගේ ගෞරවපූර ස්තුතිය පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!

අමා නාකන්දලගේ

කිරි සුදු බැටළුවා

පුංචි දුවලා පුතාලා, අද කතාව ඔයාලා වගේම පුංචි බබෙක් ගැන. බැටළු බබෙක් ගැන තමයි අද කතාව කියන්න යන්නේ.

ඔන්න ඉතින් අපේ මේ පුංචි බැටළු පැටියා ජීවත් වුණේ ලොකු බැටළු රංචුවක් සමඟයි.

මේ බැටළු රංචුවේ ඉන්න ගොඩක් බැටළුවන් කලු පාටින් ලොම් තිබෙන බැටළුවන්. තවත් කොටසක් දුඹුරු පාටට හුරුයි. නමුත් මේ බැටළු පැටියාට තිබුණේ කිරි සුදු පාට ලොම්.

ඉතින් බැටළු පැටිය හරිම ආඩම්බර යෙන් උන්නා අනිත් අයට වඩා තමන් වෙනස් නිසා.

නිතරම බැටළු පැටියා අනෙක් අයට නැති තමන්ගේ මේ කිරි සුදු ලොම් ගැන ආඩම්බර යෙන් කතා කලා. තමන් විශේෂ කෙනෙක් බවත් අනෙක් බැටළුවන්ට කීවා.

එක දවසක් උදෙන්ම බැටළු පැටියා හොඳ අලුත් තණකොළ කන්න ඕන නිසා ටිකක් ඈතින් පිහිටි තණබිමකට ගියා. හොඳට බඩ පිරෙන්න තණකොළ කාපු බැටළු පැටියා ගෙදර එන්න පිටත් උනා.

ගොඩක් තණකොළ කාපු නිසා බඩ හොඳින් පිරී තිබුණා. හෙමි හෙමින් තණබිම් වෙන් කරන වැට මායිම් වෙත ආව බැටළුවන් පැටියා කටු වැටමායිම තුළින් රිංගා එළියට එන්න උත්සාහ කලා.

බැටළු ලොම් කටු වැටේ පැටලුනා. එයින් නිදහස් වෙන්න කියලා එහෙට මෙහෙට දඟලලා තව තවත් එහිම පැටලුනා. කිරි සුදු පාට ලොම් කිළිටි වුණා .

බැටළු පැටියා හරිම දුකෙන් ඉන්න වෙලාවේ අනෙක් බැටළුවන් තණ බිම වෙත ආවා. හොඳටම පැටලී දුකෙන් ඉන්න බැටළු පැටියට නිදහස් වෙන්න උදවු කලා.

අපේ පුංචි බැටලු පැටියාට හරිම දුක හිතුනා ලොම් කිළිටි වී තිබුණු නිසා.

නමුත් ගොඩක් ස්තූති වන්ත වුණා අනෙක්‌ බැටළුවන්ට ඔහුව පැටලුම් වලින් නිදහස් කල නිසා.

බැටලු පැටියා ආයේ කවදාවත් තනියම තණබිම් වෙත ගියේ නෑ.

හැමෝම එක්ක එකතු වෙලා වැඩ කලා.

තමන් ලොම් වල පාටින් විශේෂ කෙනෙක් වෙන්නෙත් නැති බව තෙරුම් ගත්තා.

පුංචි දුවලා පුතාලාත් ආඩම්බර නොවී   ගුණ දහම් වැඩි කරගෙන හොඳ යහපත් දරුවන් වෙන්න.

අලුත් කතාවක් එක්ක ආයෙත් හමු වෙමු. සතුටින් ඉන්න. තිලෝෂි ප්‍රනාන්දු.