කටුකයි කියලා අත්හරින්න ඕනෙද ජීවිතය

Every lock has a key and every problem has a solution.

ජීවිතේ ලස්සනට දිගහරින්න අපි කැමති වුණත් ජීවිතය කියන්නේ පොඩ්ඩක් අසීරු ගමනක්. අපේ ජීවිතයේ යන්න ඕනේ  දැඩි දුෂ්කර බාධක හමුවේ තමයි අපි ඉදිරියට යා යුත්තේ. අපි පෙලපත් වලින් පැවතගෙන එන  පෝසත්  මිනිස්සු වුණත්,  දුක්ඛිත අවස්ථා අපේ ජීවිතේට එන්න පුළුවන්.මොකද සල්ලිම නෙවෙයි ජීවිතේ  කියන්නේ.

සමහර අවස්ථා වලදී ජීවිතේ වෙහෙසකර දෙයක් බවට සමහරුන්ට පත්වෙන්නේ, තමන් බලාපොරොත්තු  වෙන හැම දෙයක්ම ඔවුන්ට ලැබෙන්න ඕන කියලා හිතන නිසා. 

හැමවෙලේම අපි ආසා  දේවල් ලැබෙන්නේ නැහැ.  සමහරවිට අපිට නොගැලපෙන්න දේවලුත් අපිට ලැබෙන්න පුළුවන්.

මොකද එකටයි ජිවිතේ කියන්නේ. හැම වෙලේම අප සිතන පතන ආකාරයට හැමදේම වෙන්නේ නැහැ.

ජීවිතේ  අපිට ඉදිරියට වෙන්නේ  කුමක්ද කියලා කිසිවෙක්ට තීරණය කරන්න බැහැ .

හැබැයි ජීවිතේ නිසිමගට ගන්න අපිට මේ ජීවිතේ ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත අපිට පුළුවන්.

අපිට පාලනය කරන්න පුලුවන් දේවල් අපිට පාලනය කරන්න බැරි දේවල් වලට වඩා ලේසියි.

මොකද ඒව පාලනය කරන්නේ අපි විසින්.එහෙම පාලනය කරන්න  බැරි උනොත් තමයි ගැටලුවක් මතුවන්නේ.

සරලවම කිව්වොත්,අපි අතින් අත්වැරදීමකින් ගැටළුවක් ඇති වූවොත් මිස. ගැටලුවක් ඇති වෙන්න කලින් අපිට හිතන්න පුළුවන් මේකෙන් ගැටලුවක් ඇති වෙයිද නැද්ද කියලා.හැබැයි හැම අගුල කටම යතුරක් තියෙනවා වගේම හැම ප්‍රශ්නෙකටම විසඳුම මේ ලෝකෙ ක් මේ ලෝකෙ තියෙනවා මොකද විසඳුමක් නැති ප්‍රශ්නයක් මේ ලෝකෙ නැහැ .හැබැයි අපි ඒ ගැටළුවට විසඳුමක් හොයාගන්න තුරු ගැටලුව ගැටලුවක් ම පමණයි.

මේ ලෝකය හැම කරදරකාරී ගැටලුවකටම අපි විසදුමක් විසඳුමක් හොයන්න ඕනි. එක අපට තිබෙන සමාන අයිතිවාසිකමක්.ජීවිතයේ අපට  ප්‍රශ්න කරදර කොයිතරම් ආවත්,අපි  ඒවා මඟ නොහැර ඒවට මුහුණ දිය යුතුයි.

මොකද අපි කටුකයි කියලා ජීවිතේ අත්හරින්න ඕනද මඟින්?

නැහැ අපි ජීවිතේ ඒ කටුකත්වය බිදගෙන ගැටළුවලට  විසදුම් හොයාගෙන ඉදිරියට යන්න ඕනේ.නැතිනම් අපට එන ප්‍රශ්න වලින් පැනලා යන්න අපි උත්සාහ කරනවා නම් අපේ ජීවිත ඇත්තටම අතර මගින් නවතිනවා.

මොකද අපිට ආත්ම ශක්තියක් ඒ වගෙම ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ මම  කොහොමහරි මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා, මට මේ එන ප්‍රශ්න වලට මං කොහොමද විසඳුමක් හොයා ගන්න ඕන, කොහොමහරි මේ ප්‍රශ්නෙන් මම ගැලවෙනවා කියලා confidence ඇතුව හිතන්න.

අද කාලේ අපිට දකින්න අහන්න ලැබෙන ගොඩක් දේවල් වලින් අපිට තේරුම් යනවා මිනිස්සු ජීවිතේ නැති කර ගන්න පවා පෙළඹිලා තියෙන්නේ ප්‍රශ්න නිසා .

ඇතැම් වෙලාවට ආදර සම්බන්ධතාවය බිඳ වැටුනහම ,නැත්නම් තමන්ගෙ සහකාරයා හෝ සහකාරිය  හරි අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගත්තොත්,අපි ජීවිතේ ගොඩක් ආදරේ කරන අපි ළඟින්ම ඉන්න ආස කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වුනොත්,රැකියා ස්ථානයේ හෝ සමාජයේ පිරිසක් මැද අපිව කොන් කරොත්,නැත්තං කලින් තමන් ආදරේ කරපු කෙනා තමන්ගෙ නිරුවත සමාජමාධ්‍යයේ ප්‍රසිද්ධ  කරනවා කියලා කිව්වොත්.

ඉතින් මං මේ ඉහත කිව්ව වගේ පොඩි පොඩි ප්‍රශ්න නිසා තමයි සමහර මිනිස්සු තමන්ගෙ ජීවිතේ මගින් නතර කරන්න හිතා ගන්නේ.ඔවුන්ට මගින් වෙහෙසකර බවක් දැනෙනවා ඇති මේ ප්‍රශ්න වලින් මම මිදෙන්න ඕන හොඳම විසදුම මගේ ජීවිතය නැති කර ගන්න එක කියලා.නමුත් මම කිව්ව වගේ අපි ජීවිතේ කටුකයි කියලා අත්හැහැරිය යුතුද?නැහැ.එය එසේ විය යුතු නැහැ.තමන් කෙසේ හෝ එන බාධක හමුවේ විසඳුම් හොයා ගෙන ජීවත් වෙනවා කියලා හිතන මට්ටමට තමන් ගැන ආත්ම විශ්වාසය තබාගත යුතුයි. ජීවිතය හැමදේම තිබිලත් පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ දී ගන්න බැරුව පැත්තකට වෙලා ඉන්නව නම් හිතලා බලන්න,ජීවිතය අපිට තියෙන දේවල් වලින් කාලක් වත් නැතුව ජීවිතේ දිනපු මිනිස්සු ඉන්නවා නේද කියලා.අපි මේ ලෝකෙ ඉපදුනාට පසුව අප කොයි තරම් උත්සාහ කරත් අප මෙලොව හැර යන කාලය පැමිණෙන තුරු අප මේ ලෝකෙ ජීවත් විය යුතුයි.ජීවිත සුන්දර කාල වලට  වගේම,අපට ජීවිතේ දුක්බර අවස්ථා වලට මුහුණ දෙන්න සිදුවෙනවා.

ඒක තමයි මේ ලෝක ස්වභාවය.නමුත් කිසිම දේකින් නොසැලි අපි ජීවිතේ සමබරව එන හැම ගැටළුවකටම නිසි ලෙස මුහුණදී අපි ජීවිතය අපිට අවශ්‍ය ලෙස ගත කරන්න අපිට පුළුවන්.

ජීවිතේ ගැන සුන්දර අවස්ථා අපිට ජීවිතේට ලස්සන දේවල් එකතු කරනවා වගේම.ජීවිතේට එන ප්‍රශ්න අපිට ජීවිතේ කියන්නේ මොකද්ද කියලා අපිට කියා  දෙනවා.මේ ජීවිතේ කිසිවක් පහසු නෑ.අපි දුක් මහන්සි හැම දෙයක්ම උපයාගත යුතු වෙනවා.හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා.අපිට හැම ප්‍රශ්න ම ඔහු කොයි විදිහට විසදෙයිද කියන්න බැහැ.නමුත් අපි නිවැරදිම විසඳුමට පහර දුන්නොත් ගැටළු අතුරුදහන් වෙනවා.එසේ කරන්න ඔබ ඔබ  ගැන දැඩි ලෙස විශ්වාසය තබා ගත යුතු වගේම ඔබ අදහන ධර්මය තුලත් විශ්වාසය තබා ගත යුතුය.එය හැම විටම  අපට ප්‍රශ්න  විසදගන්න ආශිර්වාද කරනවා.

ඉතින් මනස කියන්නේ මේ ලෝකේ හිතාගන්න බැරි අභිරහස් රැසකට විසඳුම්  සොයන්න පුලුවන් අපේ සිරුරම තියෙන අපුරු නිර්මාණයක්.ඉතින් ඒ මනසින් ප්‍රයෝජන අරගෙන එන ගැටලු වලට නිසි ලෙස පිළිතුරු සපයන්න අපි දැනගන්න ඕනේ.ප්‍රශ්න ඇති කරන පුද්ගලයින් ඉන්නවා,ඒ වගේම ඒ ගැටලු පැමිණිලි කරන පුද්ගලයන් ඉන්නවා,ප්‍රශ්න වලට බයේ පරාජය බාරගන්න මිනිස්සුත් ඉන්නවා,ඒ වගේම එන ප්‍රශ්න වලට නිසි ලෙස විසදුම් හොයල ඒවවා ජයගන්න  මිනිස්සුත් ඉන්නවා.ඉතිං මේ හතරෙ අපි වෙන්ඩ ඕනේ කවුද?ඇත්තටම අපි වෙන්න ඕනේ ඒ  ප්‍රශ්න වලට නිසි විසඳුම් හොයා ජීවිතය ජයගන්න මනුස්සයෙක්.අපි ජීවිතේ කොතරම් සාර්ථක තැනකට පත් කර ගත්තත් අපිට ජීවිතේ දුෂ්කර කාල වලදී කියල දුන්න පාඩම් අමතක නොකරන්න ඕන.  

                          සටහන                                                 නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව දීර්ඝ කාලීන පීඩා ඇති කරන ඇදුම රෝගය

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා “ශ්වාස” රෝගය නොහොත්, සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන පරිදි “ඇදුම” රෝගය වත්මන් සමාජය තුල ඉතා සුලබව වැලඳෙන බෝ නොවන රෝගී තත්ත්වකි. නාසයෙන් ආශ්වාස කල වාතය පෙනහලු කරා රැගෙන යන ශ්වාසනාලය හා අනෙකුත් ශ්වාස නාලිකා ආශ්‍රිතව හටගන්නා මෙම රෝගී තත්ත්වය ආසාත්මිකතාවයන් ප්‍රමුඛ කොට ගෙන වැළඳීමේ ප්‍රවණතාවක් ද පවතී. ශ්වාසනාලය හා ශ්වාසනාලිකා වල අධි සංවේදීතාව හේතු කොට ගෙන හෝ ශරීර අභ්‍යන්තර හා බාහිර හේතූන් කරණ කොට ගෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිතව යම් ආසාත්මිකතාවයන් පහසුවෙන් හටගත හැක. එමනිසා හුස්ම ගැනීම හා පිටකිරීම එනම්, ආශ්වාස හා ප්‍රශ්වාසයට බාධා ඇතිවීම මෙම රෝගයේ ප්‍රධානතම ලක්ෂණයයි. ආයුර්වේද වෛද්‍යානුකූලව මෙම රෝගය ශරීරයේ “කඵ” දෝෂය හේතුවෙන් වාතයේ ක්‍රියාව හානි වීමෙන් හට ගනී.

ශ්වසන නාලයන්හි තාවකාලික හෝ ස්ථිර හැකිලීම් නිසා අභ්‍යන්තර විවරයේ පටු වීම්, අධිකව ස්‍රාවයන් ගැලීම, ආසාත්මිකතා හේතුවෙන් ඉදිමීම හා ආසාදනය වීම් නිතර නිතර සිදුවීම නිසා මෙම රෝගී තත්ත්වය කල් පවත්නා රෝගී තත්ත්වයක් ලෙස වර්ධනය විය හැක. ශරීරයේ බාහිරව ඇතිවන ආසාත්මිකතාවයකදී එනම්, Allergy අවස්ථාවකදී ඉදිමීම්, රතු වීම්, කැසීම් වැනි අපහසුතා ඇතිවන්නා සේම මෙම රෝගී අවස්ථාවේදී ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඉදිමීම්, ස්‍රාව ගැලීම් දක්නට ලැබේ. මෙය සිදුවන්නේ ශරීරයට ඇතුලු වූ ආසාත්මික ද්‍රව්‍ය ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් ලෙසටය. 

දුම්, දූවිලි, සුවඳ විලවුන්, සුරතල් සතුන්ගේ ලොම් හා මලද්‍රව්‍ය, මල් වල පරාග, වී කාටු, මකුළු දැල්, ලී කුඩු, සිමෙන්ති කුඩු, ඇස්බැස්ටස් කුඩු, උදෑසන පින්න ආදී නොයෙකුත් හේතූන් ආසාත්මිකතාවයන් ඇති කිරීම නිසා ශ්වසන නාල ඔස්සේ වාතයේ සාමාන්‍ය ගමන් මග අවරෝධ වීම සිදුවේ. මෙවිට ශ්වසන නාල ආශ්‍රිත මාංශපේශීන්ගේ තද බව (tightness) ඇති වීම, ශ්වාසනාල අභ්‍යන්තර ආස්තරය (inside lining) රතු වී ඉදිමීමට ලක්වීම හා නාල අභ්‍යන්තරයේ ශ්ලේෂ්මල (sputum) වැඩි වශයෙන් එකතු වීම සිදු වේ. මෙහි දී ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා පැමිණීම නිසා,

• හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවීම

• පපු ප්‍රදේශයේ තද බව නොහොත් හිරවීම

• කෙටි හුස්ම වැඩි වාර ගණනක් ගැනීම 

• හුස්ම ගන්නා විට පපුවේ රාං රූං ශබ්දයක් ඇසීම

• කැස්ස පැවතීම 

• එකදිගට කතා කිරීම අපහසු වීම

• නිදන ඉරියව්වේ දී හුස්ම ගැනීමෙ අපහසුතාවය වැඩිවීම නිසා රාත්‍රියට නින්ද නොයාම

වැනි රෝගී ලක්ෂණ ප්‍රකට වේ.

වයස් භේදයකින් තොරව දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද රෝග ලක්ෂණ මතුවීමට බලපාන සාධක කොතෙකුත් පවතින අතර එය පුද්ගලානුබන්ධ වේ. බොහෝවිට නිශ්චිතව හඳුනාගැනීමට පවා අපහසුය. ඇතැම්විට ස්වාමි පුරුශයා භාවිතා කරන සුවඳ විලවුන් වර්ගය හේතුවෙන් බිරිඳ රෝගී වන අවස්ථා ද, කුඩා දරුවා රාත්‍රියට තුරුළු කර ගන්නා සුරතල් ටෙඩී බෙයාර් නිසා  රාත්‍රියේදී ඇදුම රෝගය උත්සන්න වන දරුවන් ද, මෙට්ට වල බුමුතුරුණු වල ජීවත් වන කීඩෑවන් වැනි සතුන්ගේ අපද්‍රව්‍ය හේතුවෙන් රෝගී වන වැඩිහිටියන් ද, ගොයම් කපන කාලයට ඇදුම රෝගය උත්සන්න වන ගොවි මහතුන් ද හඳුනා ගත හැක. ඇතැම් රෝගීන් සඳහා ඉහත හේතු කිහිපයක් බලපානු ඇත. ඇතැමෙක් ට එක් හේතුවක් පමණක් ද රෝගය ඇතිවීමට හෝ උත්සන්න වීමට ප්‍රමාණවත් විය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල ශ්වාස රෝගය ප්‍රභේද පහකින් දක්වා ඇති අතර, සාමාන්‍ය ව්‍යවහාරයේ ඇදුම ලෙසට හඳුන්වන රෝගී තත්ත්වය “තමක ශ්වාස” රෝගී තත්ත්වයයි. එය බටහිර වෛද්‍ය විද්‍යාත්මකව “Bronchial asthma” ලෙසට හදුන්වයි. වර්තමාන පරිසරය තුල අධික ලෙස වාතය දූෂණය වීම ශ්වාස රෝගය ඇතුලු අනෙකුත් පෙනහළුගත රෝග ඇතිවීම කෙරෙහි සෘජුව බලපා ඇති බව විද්‍යාත්මක පර්‍යේෂණ මගින් අනාවරණය කර ඇත. එනම්, දූෂිත වාතයේ ඇති අහිතකර රසායනික සංඝටක ආසාත්මිකතාවයන්ට හා අධිසංවේදීතාවයන්ට හේතු වීමෙන් නිදන්ගත ශ්වාස නාලිකා ප්‍රදාහ රෝගය (Chronic bronchitis), ඇදුම (Asthma) හා නිදන්ගත පෙනහළු ධමනි ප්‍රදාහ (Chronic obstructive pulmonary disease – COPD) වැනි රෝග වර්තමාන සමාජය තුල බහුලව වැලඳෙන බව වෛද්‍ය පර්‍යේෂණ මගින් පෙන්වා දී ඇත. එබැවින් ශ්වාස රෝගීන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ ඉතා සුළු රෝග ලක්ෂණ වල සිට ජීවිත අවදානමක් ඇතිකරන බරපතල රෝග ලක්ෂණ දක්වා පරාසයක පෙන්නුම් කෙරේ. 

දීර්ඝ කාලීනව ඇදුම රෝගයෙන් පීඩා විඳින රෝගියෙකු සතු රෝග ලක්ෂණ –

• අධික හතිය

• ප්‍රශ්වාසය දීර්ඝ වීම

• හෘත් ස්ඵන්දනය වේගවත් වීම

• උරස් කුහරය සාමාන්‍ය පරිදි පිම්බී නොතිබීම

ශ්වසනය සඳහා උපකාර වන අතිරේක පේශීන් එනම් බෙල්ල ආශ්‍රිත පර්ශු, ගෙල ආශ්‍රිත හා පපු ප්‍රදේශයේ අස්ථි අතර මාංශ පේශීන් ගිලී යාම

• ඔක්සිජන් හුවමාරුව නිසියාකාරව සිදු නොවීම නිසා රුධිරයේ ඔක්සිජන් හිඟ වීමෙන් රෝගියා නිල්පැහැ ගැන්වීම. – මේ අවස්ථාවේදී රෝගය මාරාන්තික තත්ත්වයට වුව ද ලඟා විය හැක.

රෝගය උත්සන්න විය හැකි අවස්ථා – 

• ශීත ගුණ ආහාර නිතර ගැනීම

• උෂ්ණ ගුණ අධික ආහාර වන බලමාළු, ඉස්සන්, කකුළුවන්, කෙලවල්ලන් ආදී ආහාර නිතර ගැනීම (එම ආහාර වල ඇති හිස්ටැමීන් රසායනික සංඝටකය මගින් පහසුවෙන් ආසාත්මිකතාවයන් ඇතිකරනු ලැබේ)

• අලුයම හෝ රාත්‍රියේ ජල ස්නානය කිරීම

• නිතර වැලඳෙන ප්‍රතිශ්‍යාව, පීනස සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගැනීම

• බියර්, සිසිල් බීම, කිරි වර්ග නිතර පානය කිරීම

• දුම් පානය කිරීම

• දුම්, දූවිලි, මකුළු දැල්, සුරතල් සතුන් හා සෙල්ලම් සතුන්ගේ ලොම් ශ්වසන පද්ධතියට ඇතුළු වීම

• ඇතැම් ඖෂධ වර්ග භාවිතය 

මීට අමතරව ව්‍යායාම කිරීම, මානසික හේතූන්, බියවීම්, තැතිගැනීම් හා දේශගුණික වෙනස්වීම් ද ඇදුම රෝගය වර්ධනය වීමට හේතු විය හැක.

වලක්වා ගැනීම සඳහා – 

~ දහවල් කාලයේ ස්නානය කිරීම

~ අධික ශීත ගුණැති ආහාර වන කිරිබත්, මුංඇට, තැඹිලි, නිවිති, සව් නිතර ආහාරයට නොගැනීම

~ අධික උෂ්ණ ගුණැති ආහාර අවම කිරීම

~ ඇඳ ඇතිරිලි, මදුරු දැල් නිතර පිරිසිදු කිරීම

~ මුව ආවරණ භාවිතා කිරීම

~ මකුළු දැල් කැඩීමේදී, පොත් රාක්ක හෝ පරණ ඇඳුම් අස් කිරීම, මිදුල ඇමදීම ආදී කටයුතු වලදී අනිවාර්යයෙන් මුව ආවරණ පැලඳීම

~ කුඩා දරුවන් හට ඇඳ මත සුරතල්/සෙල්ලම් සතුන් තබාගැනීමට ඉඩ නොදීම

ශ්වාස රෝගය සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලෙසට..

– ඖෂධීය තෙල් ගැල්වීම

– ස්වේද ප්‍රතිකාර කිරීම

– වාත අනුලෝමනය සලකා බලා ස්නිග්ධ ලවණ යෙදීම

– ශක්තිමත් ශරීර ඇති අයට ඌර්ධව හා අධඃ ශෝධන කර්ම සිදු කිරීම

– දුර්වල ශරීර ඇති අයට ශමන ප්‍රතිකාර කිරිම 

සිදුකල හැක.

තමක ශ්වාස නොහොත් ඇදුම රෝගී අවස්ථාව සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පවතින බැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය පහසුවෙන් සුවකර ගැනීමේ හැකියාව පවතී.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)