බුරුත අල්මාරිය..

ඒක හරිම ආදරණීය වස්තුවක් උනේ පලු දෙක ඇරියාම එන සැවැන්දරා සුවඳත් එක්ක. ආච්චි අම්මාගෙ හැම ලට්ට ලොට්ටයක්ම තිබ්බෙ ඔන්න ඕකෙ. ශ්‍රී අකුර ගහපු කරාබු ජෝඩුවත් එක්ක මාලෙ මැදින් එල්ලුන ලොකු පෙන්ඩන්ට් එක ඔය අල්මාරියේ පැත්ත ලාච්චුවේ හරිම පරෙස්සමට තිබ්බා. කොහොමත් ඕක අරින්නත් හැමෝම බයයි. වෙන දේකට නෙවී. ඕක අරිද්දි එන ක්‍රීස් සද්දෙත් එක්ක කොයි ලෝකෙ හිටියත් ආච්චි අම්මා “කවුද කවුද ඔය? ” කියාගෙන අල්මාරිය ඉස්සරහ පෙනී ඉන්න නිසායි.

         එක්දාස් නවසිය බර ගණන් වල සීයාතාත්තා ආච්චි අම්මාව කැන්දන් එද්දි ඔය මැදින් පලිඟු කණ්නාඩියක් තියෙන බුරුත අල්මාරිය අරන් ආවෙ බොහෝම පරිස්සමෙන් කියලයි රට්ටු කියන්නේ. හරිම ගාම්බීර පෙනුමක් තියන ඔය අල්මාරියේ කණ්නාඩිය දෙපැත්තේ පියන් දෙකට ලස්සන කැටයමක් දැම්මේ ආච්චි අම්මාගෙ බීරළු ගෙතුමක් බලාගෙන කියල සීයා තාත්තා ඒ දවස් වල උජාරුවෙන් කියනවා මං අගගෙන.

    අපි පොඩි කෙල්ලො ඒ දවස්වල. අල්මාරිය ඇරෙන සද්දෙට අපි එතනට දුවගෙන යන්නේ රසකැවිල්ලක් දෙකක් ඔය ඇරෙන අල්මාරියේ වම් පැත්තේ දොරෙන් එලියට ඇවිල්ලා අපේ අතට එන බව දන්න නිසාමයි.

                     ආච්චි අම්ම පස්සෙ දවසක ඔය අල්මාරිය අපේ අම්මට දෙද්දී අපි හිතුවා අනේ රසකැවිලි ගොඩකුත් එක්ක අපේ ගෙදරට සම්පතක් එනවා කියලා. ඒත් පහුවෙද්දි දැනගත්තා ගොඩක් බර දොරවල් තියෙන ඒ විසාල අල්මාරිය අරින්න තරම් හයි හත්තියක් ආච්චි අම්මට දැන් නැති නිසාලු අපේ අම්ම අල්මාරියේ උරුමක්කාරයා වෙලා තියෙන්නේ කියලා.

       මැද සාලෙන් ගෙට ආපු පත අල්මාරිය මගේ කාමරේ නැවතුනේ “දීග යනදාක අරන් පලයන් දෝණී” කියනවා වගේ.

      කාලෙ ගෙවෙද්දී ඒ එක්කම මොරටුවෙන් මාතරට, මාතරින් රට මැදට , රට මැදින් කොලොම්පුරයට ආපු අල්මාරියට හරිම මහන්සී වගේ එකමත් එක හවස් වරුවක අල්මාරියේ මුල් අයිතිකාරී ආච්චි අම්මාත් මහන්සි ඇරලා තිබ්බා අල්මාරියේ තනියට ආපු කළුවර වියන් ඇඳ උඩම සදහටම.

             දීග එද්දී මාත් එක්ක ආපු බුරුත අල්මාරිය ආච්චි අම්මගෙ සුවඳ මැදින් අම්මාගෙ සුවඳත් එකතු කරන් අදටත් ඕන් තේජමානව ඉන්නවා. අම්ම මාව බලන්න එන වාරයක් ගානේ

“දෝණී.. ආච්චි අම්මාගෙ අල්මාරිය තාම හොඳට තියෙනව නේද” කියල අහන එක අම්මාගෙ නොවරදින වචන පේලියක් වෙලා..

     අර ” ශ්‍රී ” අකුර තියන කරාබු ජෝඩුව .. ඔව්.. ඔව්.. අර පෙන්ඩන්ට් එකත් එක්ක අර වම් ලාච්චුවෙ තාම තියනවා.. අල්මාරියත් එක්කම ඇව්ල්ලා.. පරම්පරාව අරන් යන්න..

         ඔව්.. ආච්චි අම්මා.. ඒ සැවන්දරා සුවඳට මම හරිම ආසයී..

මේ….. මේ… දැනුත් මම ආදරයෙන් ඒ සුවඳ විඳිනවා..

  අර ලොකු දොර පළු දෙක ඇරන්… කෝ ආච්චි අම්මෙ අර රසකැවිලී..😥

©️දිගැසි✍️

නුඹ දුටුව දිනයක් මතකේ නැතිය.

නුඹ දුටුව දිනයක් මතකේ නැතිය.

නුඹේ කටහඬ ඇසුනු දිනයක් ඇත්තේ මීට බොහෝ කලකට පෙරය

අහම්බෙන්වත් නුඹ දකිනු කැමැත්තෙන් මා නුඹව සොයනවිට

නුඹ යාන්තම් හෝ දැකීම මාගේ හුස්මත් නතර වන හැගීමකි,

එය සතුටක්ද,රිදුමක්ද,යන්න වෙන්ව හදුනාගැනීමට මා නොදනිමි .

තවත් නුඹේ පපුව තුළ මට  ඉඩක් නොමැති බැව් හොඳාකාරවම මා දනිමි.

එහෙයින් නුඹව සැබවින්ම දැකීමට සිතුණු හිත නවතා දැමුවේ ආයාසයෙනි.

අප එකට ආ මාවතේ හැරවුම මීට බොහෝ කලකට පෙර අපට හමු වුණි.

එය මා ජිවිතයම එක තැනක නතර වන හැරවුමක් යැයි නුඹ සිතන්නට ඇතිදැයි මා නොදනිමි .

මාවත් දෙකක ගියද මා  තවමත්  ගමන් කරන්නේ නුඹේ මතකයන් වලට සමාන්තරවමය.

මන්  නුඹව දකිමි,

නුඹව දරාගමි,

මා දෙනෙත් වසාගන්නා සෑම මොහොතකම නුඹ නිදන්නේ මාගේ පපුව මතය.

මට  තවමත් නුඹේ සුසුම් දැනේ.

මා මියයන දිනයක් වනතුරු  මේ සියල්ල මට හිමිය,

මා දෑස් ඉදිරියේ  ඔබේ ජීවිතයේ ලස්සන සියල්ල සිදු වනු ඇත.

එය දැකීමට ,ආශිර්වාද කිරීමට හදවතේ කිසිදු කිලිටක් නැතිවම මට කළ හැකිය .

එය නුඹ විශ්වාසකළ යුතු සත්‍යකි.

බලා හිඳීමත් යම් විදිහේ ආදරයක් හා සැනසීමක් දනවන දෙයක් යැයි මට සිතේ

මා එසේ කරමි..

නුඹ සමග තනාගත් ඒ ආදරෙයේ  කැදැල්ල තුළ මා ජීවත් වෙමි,

සිනාසෙමි…හඬමි…

දැවෙමි….නිවෙමි….

නුඹ පපුවේ දරාගෙන දිනෙක සැනසිල්ලේ මියයමි.

එදිනටත් මන් නුඹට ආදරේ කරමි.        නිශූ

කුඩම්මා

ආදරණීය ස්නේහා, 

ලිපිය ආමන්ත්‍රණය කර ඇත්තේ එලෙසිනි. මම ඒ අකුරු දෙස බලාගෙන උන්නේ හිස් හැඟීමෙනි. අවුරුදු විස්සක් පුරාවට මගේ හිතේ කිසිදු පැහැදීමක් නොවූ ඒ ගැහැණිය ජීවිතය නැමති රඟමඩලෙන් අද පාන්දර සමුගත්තාය. ඒ ගැන මගේ හිතේ විශේෂ දුකක් නොවුනත් කාලයක් තිස්සේ වූ බරක් ගිලිහීගියා මෙන් දැනුනේ ඇයගේ මරණය මට ආරංචි වූ මොහොතේදීය.

ලිපිය යලිත් මම දෙකට නැවූයෙමි.හිතට දුකක් නොදැනෙන්නේ ගෙවුනු කාලය පුරාවටම මා ඇයට වෛර කල නිසාදෝ යැයි නොදනිමි. මොහොතකට මම මා ඉදිරියෙන් උන් අප්පච්චී දෙස බැලුවෙමි. පෙරේදා වන තුරුත් විනෝදකාමී ජීවිතයක් ගත කල ඔහු අද වෙද්දී මලානිකය. වියපත් වුනු දෑස් වල ඇත්තේ පුදුමාකාර කණගාටුවකි. අප්පච්චී මා දෙස බලාහිද යලිත් බිම බලාගත්තේය. ඊටත් විනාඩි කීපයකට අනතුරුව කාමරයට ගියේ රනුක මා වෙත ආ බැවිනි. 

‘ඇක්සිඩන්ට් එකෙන් සෑහෙන්න අනූ අම්මට ඩැමේජ් වෙලා. හෙටම බොඩි එක වලදාන්න වෙයි බබා.

‘ඒක හොඳයි. මිනී ගෙවල් අස්සේ තියා ගත්තා කියලා පණ එන්නෙ නෑනේ..

මම හිතා මතා නොකිව්වත් ඒ වචන මගේ මුවෙන් එලියට පැන්නේ මටත් නොදැනීය. පැවසූ යමක් වැරදුනු බව තේරුනු නිසාම මම රනුකගේ මුහුණ දෙස බැලුවෙමි. ඒ දෑස් වල පමනක් නොව මුලු මුහුණ පුරාම වුයේ කෝපයකි.. එතනින් එහාට පිළිකුලකි. 

‘පාරේ ඉන්න බල්ලට පූසාට පවා කන්න දෙන ඔයා ඇයි අනූ අම්මට මෙහෙම සලකන්නේ ගයාත්‍රි? ඒ ගෑනි ඔයාට මම දන්න තරමින් හොඳක් මිසක් නරකක් කලේ නෑ.. 

‘ඔයා නොදන්න මඟුල් කතා නොකර ඉන්නවද රනුක.. පින් සිද්ධ වෙයි.. පවුල් කඩලා පවුල් හදපු වල් ගෑනු එක්ක මගේ ඇයි හොඳයියක් නෑ. උන් එක්ක සංසාරේ පුරාවටම මම වෛර බදිනවා. එච්චරයි… 

හිතේ කෝපය නිසාම මගේ දෑස් වලින් නොකඩවා කඳුලු ගලන්නට විය. ගැඹුරු හුස්මක් හෙලූ රනුක මගේ ළඟින් ගියේ හූල්ලමින්. මගේ මුලු හිතම මූසල නිහැඬියාවකින් පිරී තිබුනත් ගමේ මිනිස්සු හරි හරියට අනූ අම්මාගේ මළඟමට සූදානම් විය. ඒ වෙනුවෙන් කල යුතු වැඩ රාජකාරී බොහෝමයක් තිබුනත් මගේ හිතේ වූ ඇල්මැරුණු සොභාවය මා කිසිවක් නොකරන තැනට පත්කර තිබුනි. 

‘ගයාත්‍රි, මේ ඇවිත් ඉන්න මිනිස්සුන්ට තේ අල්ලන්න දුවේ… 

මගේ කල්පනා ලෝකය බිද දමමින් ලොකු අම්මා කියද්දී මගේ කෝපය දෙඟුණ වීය. 

‘මට බෑ.. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න අනේ.. 

‘ගයාත්‍රි, මේ උඹේ කුඩම්මා නෙවෙයි.. මේ උඹේ පුංචි අම්මා. උඹෙ අම්මාගේ නංගි.. මගේ චූටි නංගි.. 

‘ඉතින් මට මොකද? මොකී වුනත් ඔය ගෑනි නිසා.. 

‘ගයාත්‍රි උඹේ කන පැලෙන්න මම ගහනවා තව එක වචනයක් හරි අනුලාට විරුද්ධව කිව්වොත්. අනික උඹ නොදන්න දේවල් කතා නොකර හිටපන් මෙතන මිනිස්සු හිනස්සන්නෙ නැතුව.. 

මටත් ගස්සාගෙන ලොකු අම්මා එතනින් ගියේ තවත් මොනවාදෝ කියා මට බනිමිනි. ලොකු අම්මා රිදවීමෙන් දැනුනු සතුට මම යටිහිතින් විදිමින් මම මිදුලේ ඔහේ ඇවිද්දෙමි. 

‘අනුලා ඉස්කෝලේ හාමිනේ කීදෙනෙක්ගෙ නම් ඇස් පෑදුවද? අනේ අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න තිබුනු උත්තමාවියක්… 

‘හොඳ මිනිස්සු ඉක්මනට ඒ ලෝකෙට අරගන්නවා සේදිරිස්.පැන්ශන් ගිහින් දෙයියනේ මාස කීයද? ඉස්කෝලේ අන්තිම දවසේ අපේ කෙලීට කිව්වලු දැන් ඉතින් ගයාත්‍රි බේබිගේ දරුවෙක් නලවගෙන වීරසේකර මහත්තයත් බලාගෙන ඉන්නවා කියලා… 

ඒ ගමේ ගැහැණුන්ගේ හා පිරිමින්ගේ කතාය. මට නරක අනුලම්මා මුළු ගමටම හොඳය. අප්පච්චීට පමනක් නොව නෑදෑ සනුහරේටම අනුලම්මා තරම් කෙනෙක් නැතිය. මම එතැනින් නික්ම ආවේ තවත් අනුලම්මාගේ ගුණ ඇසීමට තරම් හිතේ ඉඩක් නොවුනු බැවිනි. 

ඉස්තෝප්පුවේ තිබුනු අනුලම්මාගේ රූපයට අප්පච්චී සුදුමල් මාලයක් දානවා මම බලාගෙන උන්නෙමි. දර්ශන හිතට දුකක් එක් කලත් අප්පච්චී ඇය කැන්දාගෙන ආ දිනය සිහිවෙද්දී සුපුරුදු කෝපය මගේ හිතට යලිත් ඇතුලු වූයේ අනවසරයෙනි. 

අනුලම්මා; ඇය මට කුඩම්මා වන්නට පෙර පුංචි අම්මා විය. එනම් අත්තම්මාගේ බඩවැල කඩාගෙන ආ ගැහැණු දරුවන් තිදෙනාගේ බාල දුවය. මුලින් මාලා ලොකු අම්මා. අනතුරුව මගේ අම්මාය. ඊටත් පසුව අනුලා පුංචි අම්මාය. 

මට මතක කුඩා කාලයේ සිට අම්මාත් අප්පච්චීත් අතර කිසිදු විරසකයක් නොවීය. එහෙත් දිනක් අම්මා නිදි ඇඳේදීම මිය ගොස් තිබුනේ මගේ පුංචි හිතට කෝටියක් ප්‍රශ්න ඇති කරමිනි. අදටත් අම්මාගේ මරණයට හේතු මම නොදන්නා අතර ඒ ගැන කිසිවෙක් මා සමඟ කතා කරන්නේද නැත. අම්මා මිය ගොස් වසරක් ගෙවෙද්දී අත්තම්මලා සිය කැමත්තෙන්ම අනුලම්මා අප්පච්චීට බන්දා දුන්නාය.

අම්මා අහිමි වූ මට අප්පච්චීද අහිමි වූ හැඟීම දැනෙන්නට වූයේ වැඩි කලක් නොගොස්ය.ඒ නිසාම අනුලම්මා මට ලං වන සෑම මොහොතකදීම මම ඇයව නොසලකා හැරියෙමි. ඇයට හිතුවක්කාර වූයෙමි.මටත් නොපෙනෙන්නට හඩන ඇය පහුවදාටත් උදෑසනින්ම අවදි වී පාසල් යාමට මා සූදානම් කලාය. ඇය අම්මාගේ පවුලේ සැමට වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම මවක් වූවත් මට ඇයව පෙනුනේ අප්පච්චී මගෙන් උදුර ගන්නට හදන මායාකාරියක මෙනි. 

මම ටිකෙන් ටික වයසින් මෝරන්නට වුනෙමි. අම්මාට අප්පච්චිට වඩා මට ලැබුනේ අනුලම්මාගේ හැඩ රුව වෙද්දී මම මගේ රූපයට වෛරකරන්නට වූයෙමි. 

‘මගේ අම්මා මැරුනේ උඹ නිසා. උඹ මගේ අප්පච්චි දැලේ දාගත්ත දුක හින්දා අම්මා නිදිපෙති බීලා මැරුණා… 

අනුලාම්මාත් මාත් නිවසේ තනිවුනු හැම මොහොතකදීම කුමක් හෝ දෙයකට ඈත් සමඟ අඬදඹර වන මම එලෙස වාග් ප්‍රහාර එල්ල කලෙමි. 

‘අනේ මගේ පැටියෝ.. ඔහොම මට කතා කරන්න එපා මැණික.. නොතේරුම් කමට මට බැන්නට ඇත්ත දැනගත්ත දවසට ඔයාට දුක හිතෙයි පුතේ.. 

‘මොකද්ද ඇත්ත? මීට වඩා ඇත්තක් මොකද්ද? මගේ ඇස් දෙකට පේන්න එන්න එපා…. 

හැම හිත් රිදවීමක්ම අවසානයේ අනුලම්මා හඩද්දී මගේ හිත සතුටින් ඉහවහා යන්නට විය. අනුලම්මා මා ගිය පාසලේම සේවය කල නිසා මම නඟරයේ බාලිකා පාසලට ඇතුලත් වූයෙමි. නිතර ගමට එන්නට අකමැති නිසාම මම පාසලේ නේවාසිකාගාරයේ නතර වූයෙමි. එහෙත් අනුලම්මා එතැනින් නොනැවතුනි. ඇය සතියකට සෑහෙන්න කෑම බීම හදාගෙන මා බලන්නට ආවේ අප්පච්චී සමගිනි. අනුලම්මාට මොනතරම් කෙනෙහෙලි කම් කලත් ඒවා අප්පච්චී ඉදිරියේ කරන්නට මා බිය වූ නිසාම නැති සතුටක් මවාපාමින් ඒ කෑම බීම දෑතට ගත් මම ඒවා නේවාසිකාගාරයේ මගේ යෙහෙළියන්ට දුන්නෙමි. 

‘මේ නම් උඹේ කුඩම්මා නෙවෙයි බං.. ගිය ආත්මේ අම්මා.. 

මගේ යෙහෙලියන් අනුලම්මාගේ කෑම රසවින්දේ එලෙසිනි. පාසල් දිවියට සමුදුන් මම විශ්ව විද්‍යාලයට ගියෙමි. එතනදී මට රනුක හමුවුනු අතර මා ඔහුව අප්පච්චීට හදුන්වාදුන්නේ අපි දෙන්නාට ආශිර්වාද ලබාගැනීමටය. මුලදී මටත් රනුකටත් අප්පච්චී අකමැති වූයේ රනුක නාඟරික පරිසරයක හැදීවැඩුනු නිසාවෙනි. එහෙත් ලොකු අම්මාගේ දියණිය වූ දවිත්‍රී කී පරිදි අවසානයට මටත් රනුකටත් කැමත්ත ලබාදෙන්නට මහන්සි වී ඇත්තේ අනුලම්මාය. දවිත්‍රීගේ කතාව මම සම්පූර්ණයෙන් විශ්වාස නොකලත් අපි දෙදෙනාට අප්පච්චීගේ ආශිර්වාදය ලැබිම ගැන මම උන්නේ පුදුමාකාර සතුටකිනි. විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් වූ විගස මාත් රනුකත් විවාහ වුනු අතර ඔහු අනුලම්මාට පුදුමාකාර ලෙස ලෙන්ගතු වීම ගැන මගේ හිතේ වූයේ කේන්තියකි. 

‘වල් ගෑනි.. තමුසෙවත් දැලේ දාගන්න හදන්නේ. පරිස්සමින්.. 

‘මගේ අම්මෝ ගයාත්‍රී.. මට ආයෙත් ඇහෙන්න ඔය කතාව කියන්න එපා.. ඇත්තටම මට ඔයාව එපාම වෙයි.. චික් ගයාත්‍රී ඔයා කොහොමද අනුලම්මාට ඔහොම වෙනස්කම් කරන්නේ? අප්පච්චි බැන්ද එක අමතක කරන්න.. එතනින් එහාට ඔයාට තියෙන්නෙත් එයාගෙම ලේ.. කොහොමද ගයාත්‍රි ඔයා මෙහෙම හැසිරෙන්නේ?

එදා රෑ මම ඔහුට පිළිතුරු නොදුන්නෙමි. සැබැවින්ම ඔහුට මා එපාවේ යැයි සිතා බිය වුනු නිසාම මම යලිත් අනුලම්මා ගැන කතා කරද්දී ප්‍රවේසම් වූයෙමි. 

‘අනුලම්මා පෙන්ශන් ගියා පුතේ.. ඒ ගෑණි හරි ආසාවෙන් ඉන්නේ ඔයාගෙ දරුවෙක් නළවන්න…

මීට දෙසතියකට කලින් අප්පච්චී පවසද්දී මා උන්නේ කෝපයෙනි. කිසිවක් නොකියා මම අප්පච්චී සමග කතාව වෙනත් අතකට හැරවූයේ අනුලම්මාගේ හෙවනැල්ලවත් මගේ දරුවන්ට වැටෙන්නට ඉඩ නොදෙන බවට මම මටම පොරොන්දු වෙමිනි. 

එකී සිදුවීමෙන් අනතුරුව පෙරදා රාත්‍රියේ බෝධිපූජාවකට අප්පච්චී සමඟ සහභාගී වී යලිත් නිවසට එද්දී අනුලම්මාත් අප්පච්චීත් සිටි කාර් රථය අනතුරට ලක්වී ඇත. අනතුරින් අප්පච්චීට සීරීමක් වත් නොවූ අතර අභ්‍යන්තර ලේ ගැලීමකින් අනුලම්මා රෝහලේදීම මියගිය වග රොහල් කාර්‍යමණ්ඩලය තහවුරු කලේ අද පාන්දරය. 

‘ඔයා හරි වාසනාවන්තයි මිස් අනුලා වගේ අම්මෙක් ලබන්න. මම අද මේ විදියට ස්තෙතස්කෝප් එක දාගෙන ඉන්නෙ මිස් නිසා’ 

මගේ වයසේම වෛද්‍යවරියක් මගේ අතින් අල්ලාගෙන පැවසුවේ කඳුලු පිරීගිය දෙනෙතිනි. මම ඒ දෙනෙත් මඟහැර බිම බලාගත්තේ කියන්නට කිසවක් නොවූයෙනි. 

‘පුතේ… වැඩක්ද?

අප්පච්චීගේ හඩින් මම යලිත් වර්තමානයට පිවිසුනෙමි. 

‘නෑ අප්පච්චී… කියන්න… 

‘ එන්න ටිකක් මම එක්ක… 

අප්පච්චී මගේ අතින් අල්ලාගෙනම ඔහුගේ කාමරයට රැගෙන ගියේය. කිසිවක් සිතාගත් නොහැකිව මම ඔහු සමඟ ගියෙමි.

‘මෙහෙන් වාඩි වෙන්න…

අප්පච්චීගේ ඇඳේ කොනකින් මම වාඩි වෙද්දී ඔහු තම අල්මාරිය වෙත ගොස් කුමක්දෝ හොයන්නට විය. විනාඩි ගානක ඇවෑමෙන් අනතුරුව ඔහු දෙකට නැවූ කඩදාසියක් රැගෙන මවෙත අවේය. 

‘පුතා මේක කියවන්න.. 

අප්පච්චී ඒ කඩදාසිය මගේ අතට දුන්නේ එසේ කියමිනි. පරණ එක්සයිස් පොතක කොලයකින් ඉරාගත් එම කඩදාසිය අතට ගත් මම අප්පච්චී බලා සිටියදීම දිග හැරියෙමි. එය වචන කීපයක සටහනකි. කියවන්නට ගත වූයේ තත්පරයකි… 

‘ සිරිල්, හෙට ජගත් රෑ වැඩ. මම ගයාත්‍රිව අම්මලාගෙ ගෙදර යවන්නම්.. මාව එක්ක යන්න එන්න. මට ඔයා එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න ඕන. 

මීට, ඔයාගේ මාලා…. 

ලිපිය කියවා මම තුෂ්නිම්භූතව අප්පච්චී දෙස බලාගෙන උන්නෙමි. අම්මාගේ නම මාලා වන අතර අප්පච්චී ජගත් වීරසේකර නම් විය. ඔහු ව්ෘතීයෙන් දුම්රිය රියැදුරෙකු වූ අතර මාසයකට කීපවතාවක් රාත්‍රී සේවයේ නිරත වූයේය. ලිපියේ සදහන් වූ අනෙක් නම මගේ නම වූ අතර සිරිල් යන අම්මාගේ කවුරුන්දැයි යන ප්‍රශ්නය මගේ හිත පුරා නැගෙන්නට විය.

‘ඔය ලියුම මට අහුවුනේ අම්මාගේ ඩයරිය අස්සේ තිබිලා. එයා එදා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. සිරිල් කියන්නේ අම්මා එක්ක එකට ඉස්කෝලෙ වැඩ කරපු ස‍ර් කෙනෙක්… ඔය ලියුම අහුවුනු ලැජ්ජාවට තමයි අම්මා නිදිපෙති බීලා මැරුනේ… 

මගේ ලෝකය එක තැන කරකැවෙන්නට විය.. අප්පච්චී කියන කිසිවක් අසන්නට තරම් මානසික මට්ටමක මා නොවීය. 

‘ ඒ දවස් වල අනුලා බදින්න උන්නේ දොස්තර මහත්තයෙක්.. ඒ කසාදේ නවත්තලා අනුලා මාව බැන්දේ උඹලෑ අත්තම්මගේ ඉල්ලීමට. උඹ උස්මහත් වෙද්දී උඹව බලන්න කෙනෙක් නැති නිසා..මාව බැදලා ගෙදර ආව අනුලා උඹ හින්දම තව දරුවෙක් ගැන හිතුවෙ නෑ පුතේ. උඹ බුද්ධාගමට එක සැරයක් රචනාවක් ලියලා තිබුනා මහාප්‍රජාපතී ගෝතමී දේවිය ගැන. ඒකේ හරි වර්ණනාව තිබුනා එතුමිය ගැන. ඒත් ගෙදර උන්නු ප්‍රජාපතී දේවියට උඹ සැලකුවේ පාරේ ඉන්න බැල්ලියෙකුට වගේ… 

ඉකිගසා අඩමින් අප්පච්චී කියද්දී මම කන්දෙක දෑතින්ම වසා ගත්තෙමි.

‘ඇයි මට මේවා නොකිව්වේ අප්පච්චී?

‘අනුලම තමයි කිව්වේ අක්කා ගැන උඹත් එක්ක කිව්වොත් අම්මට වෛර බදීවි කියලා. මැරුණු කෙනෙක්ට වෛර බදින එක පාපයක් හැටියටයි අනුලා දැක්කේ.. උඹේ අම්මා අහන්න ඕනි කුණු බැනුම් ඔක්කොම අනුලා ඇහුවේ උඹට වගේම උඹේ අම්මටත් තිබුනු ආදරේට. අනික පුතේ…. 

එක හුස්මට කියාගෙන ගොස් අප්පච්චී මොහොතකට කතාව නැවැත්තූවේය. මම ඉගි ගසා හඬමින් ඔහු දෙස බලාගෙන උන්නෙමි. 

‘ඒ ගෑණි ජීවත්ව ඉද්දි මෙහෙම කතාවක් කිව්වා නම් උඹ අහයිද?

මට තව දුරටත් එතැනට වී හිදින්නට බැරි ගතියක් විය. මම එහෙමම වත්තපහළට දිව ආවේ නිවසේ සෑම තැනකම අනුලම්මාගේ රූපය මට මැවි මැවී පෙනෙන්නට වූ බැවිනි. හිතේ හැටියට කොස්ගහ මුලට වී හැඩූ මම අතේ ගුලි වී තිබුනු ලියුම දිඟහැරියෙමි. මේ ඇය මා විවාහ වූ දින රනුකගේ අතට දුන් ලිපියකි. 

‘ආදරණීය ගයාත්‍රී, 

අද ඔයාගේ ජීවිතේ ලස්සනම දවස. මම හරි ආසාවෙන් ඔයා දිහා බලාගෙන උන්නේ. ඔයාට වගේ මාලහතක් දාන්න මම පිං නොකලත් මගේ රූපය මම අද ඔයාගෙන් දැක්කා. පුතේ මේ ලියුම ඔයාට ලැබෙන්නෙ කවදාහරි මම මැරුණු දවසකට. එදාට අප්පච්චි ඔයා නොදන්න කතාවක් කියයි. මගේ පුතා කවදාවත් අම්මට වෛර කරන්න එපා. අම්මා නොකරපු යුතුකම් ඔක්කොම මම මගේ පුතාට ඉෂ්ඨ කරලා තියෙනවා. මගේ රත්තරන් බඩු හැම එකක්ම වගේම ඔයාගෙ කිරිඅත්තා මට දුන්නු හැම ඉඩමක්ම මම පවරලා තියෙන්නෙ ඔයාගෙ නමට. ඒ හැම ඔප්පුවක්ම අප්පච්චි ඔයාගෙ අතට දේවි.. මගේ අතින් ඔයාට වරදක් වුනා නම් මට සමාවෙන්න. මම කවදාවත් පවුල් කඩපු ගෑණියෙක් නෙවෙයි පුතේ.. 

මීට, 

ඔයාගෙම පුංචි අම්මා, 

අනුලා… 

මගේ ලෝකය මා වටාම කරකැවෙන්නට විය. ගෙවුනු අවුරුදු විසි ගාන පුරාවටම මා උන්නේ මොන තරම් මුලාවකදැයි මගේ හිත මගෙන් අසන්නට විය. මට මම ගැනම පිළිකුළක් දැනෙන්නට විය. සිදු වූ සියල්ලම ගැන පසුතැවුනත් දැන් මට අනුලම්මා ලැබෙන්නේ නැත. මම මොනතරම් පව්කාරියකදැයි මගේ හිත මටම කෑගසා බනින්නට විය. 

මම යලිත් ඒ අකුරු දෙස බැලුවෙමි. වෙනදා නොදුටු අහිංසක, අව්‍යාජ බවක් ඒ අකුරු තුල සැඟවී තිබුනි. මම ඒ ලිපිය මගේ පපුවටම තදකරගත්තෙමි. 

‘මට සමාවෙන්න පුංචි අම්මේ.. හැම ආත්මෙම මගේ පුංචි අම්මා නෙවෙයි මගේ අම්මාම වෙලා ඉපදෙන්න!

මම කෑගසා හඩමින් කීවෙමි.


තක්ෂිලා ඒකනායක.

ජීවිතයේ වෙනසක් වන්න. ඔබ වෙනස් වෙන්න

(1 යොහන්- 3 : 2)

 “ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව.”

ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙනි අද දවසේ මා කතා කරන්න යන්නා වූ පණිවිඩය දෙස ඔබගේ මනස ඉතා හොඳින් යොමු කරන ලෙස මම ඉල්ලා සිටිමි. ඔබ මොහොතක් නතර වී ඉතා හොඳින් කල්පනා කර බලන්න මා ඉහත ඉදිරිපත් කර තිබෙන්නා වූ දේව වචනය දෙස.

ඔබ ඔබ ගැන කල්පනා කර බලන්න ඔබ ඔබටම  දෝෂාරෝපණය කරනවා ද?නැතිනම් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්භීතව සිට ගන්න පුළුවන් කෙනෙක් ද කියාය.

ඔබට ජීවිතය ජය ගැනීමට නම් ඔබ ඔබගේ දැඩි සිත පහකරගත යුතු වෙනවා.එවිට ඔබට දෙවියන් වහන්සේගේ බලවත් පුදුම ආශිර්වාදයන් වලට හිමිකම් කීමට හැකියාව ලැබේ.

(යෙසාය – 66 : 2)

“මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක.එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.”

මොහොතක් මෙම පදය දෙසට ඔබගේ නෙත් යොමු කරන ලෙසට මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.මෙහිදී දෙවියන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ කුමක්ද?…බලන්න මෙම ස්ථානයේදී අපට පෙන්වනවා දෙවියන් වහන්සේගේ වචනයට අප කොපමණ බයෙන් සිටිය යුතුද, උන්වහන්සේගේ වචනය තුළ අප ජීවත් වෙනවා නම් උන්වහන්සේ අප දෙස බලන බව මෙම පදයෙන් පවසනවා.

ඉතින් එම නිසාම මොහොතක් මේ ගැන කල්පනා කරමින් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න.ඔබගේ ජීවිතයේ වෙනසක් ඇතිවීමට නම් ඔබ වෙනස් විය යුතුය.

(හිතෝපදේශ- 6 : 14,15)

 “ඔහුගේ හිතේ ප්‍රයෝගය ඇත්තේය, ඔහු නිතරම නපුර යොදා, භේද පතුරුවයි.එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණෙයි; ගැළවීමක් නැතුව ඔහු මොහොතකින් පොඩිකරනු ලබයි.”

හොඳයි ඔබ මේ ගැන කල්පනා කර තිබෙනවද?..ඔබගේ නොවෙනස්වන ජීවිතය නිසා ඔබ පමණක් නොව ඔබ නිසා තව බොහෝ දෙනෙකුගේ ජීවිතය විනාශ වනු ඇත.ඉතින් ඔබ අද තීරණයක් ගන්න ජීවිතය වෙනස් කරගන්න.එවිට ඔබගේ අනාගතය තුළ දෙවියන් වහන්සේ වෙනසක් කරනවා ඇත.

හොඳයි මම අදට මෙතනින් නවතිමි නමුත් ඔබ හොඳින් මෙය කියවා ඔබ ඔබගේ ජීවිතය ආශිර්වාදමත් ජීවිතයකට වෙනස් කරගන්න.

ඔබ සැමට සැමට ජේසු පිහිටයි!

ඔබ රස්සාව කරන්න ජීවත් වෙන කෙනෙක් ද?

උදේට ඔබ අවදි වෙන්නෙ සතුටින් ද? මෙහෙම ඇහුවොත් කීයෙන් කී දෙනාද සතුටුයි කියන්නෙ. උදෑසන අවදිවීම වගේම රැකියාවට යෑමත් හොඩක් දෙනෙක්ට කරදරයක්. හරිම අකමැත්තෙන් කරන දේවල්. නමුත් ජීවත් වෙන්න මුදල් අවශ්‍ය නිසා අකමැත්තෙන් හෝ රැකියාවට යනවා. මම ඔබට පොඩි කතාවක් කියන්නම්.

ඇය මගේ යෙහෙළියක්. විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන, හොඳ වැටුපක් ගන්නා ඇය රැකියාව කරන්න පටන් ගත් දා සිට සතුටකින් ඉන්නවා මම දැක නැහැ. දිනක් අපි කතා කරමින් සිටිද්දී ඇය මගෙන් මෙසේ විමසුවා.

“ඔයා කැමැත්තෙන් ද ඔය ජොබ් එක කරන්නෙ?”

“ඔව්” මගේ පිළිතුර වුණා. මම කිසිඳු අයෙක්ගෙන් රැකියාව, විවාහය, දරුවො, පවුල ගැන ප්‍රශ්න නොකරන කෙනෙක්. ඒ නිසා ඇගේ රැකියාව ගැන මම විමසුවේ නැහැ. නමුත් ඇය මෙසේ කතාවට මුල පිරුවා.

“අනේ එහෙමද? මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ මේ රස්සාව. කිසිම ගෝ එකක් නැහැ. වෙලාවකට අයින් වෙන්නත් හිතෙනවා. ඒත් ඉතින් ජොබ් එකක් ඕනිනේ. ඒ නිසා ඉතින් ඉන්නවා”

ඇය සහ මම කුඩා කළ සිට ඉතා හොඳ මිතුරියන්. ඇය කුඩා කළ සිටම කැමති වුණේ ක්‍රියේටිව් දේවල් වලට. ඇයට ලස්සනට මහන්නත් පුළුවන්. මගේ උපන්දින වලටත් ඇගේ අතින් මැසූ කොට්ට උර, ටේබල් මැට්ස් පවා මට දී තිබෙනවා. නමුත් සාමාන්‍ය පෙළින් පස්සෙ ඇයට සිදු වුණේ ඇගේ දෙමව්පියන් කැමති දෙයක් උසස් පෙළට කරන්නට. ඉතින් ඇයට ඇගේ නිර්මාණශීලී හැකියාව මග හැරුණා.

“ඔයා දන්නවනෙ මම ඒ කාලෙ ඉඳලම ඩිසයිනින් වලට එහෙම කැමතියි. ඒ වගෙ ජොබ් එකක්වත් කරන්න තිබ්බනම්..” ඇය සුසුම් හෙළුවාය.

“ඉතින් ඔය ජොබ් එක කරන ගමන් ඔයාට ඩිසයිනින් වගෙ දේවල් කරන්නත් පුලුවන්නෙ”

“ඒ කොහොම ද? දවසම මෙතන වැඩ කළාම ඇගට හරිම මහන්සියි. තව දෙයක් කරන්න බෑ”

“ඔයා ට්‍රයි කරලා බැලුවද?”

ඇය කල්පනා කරන්නට විය. ඇයත් සමග කතාවෙන් මට පැහැදිලි වුණේ ඇයට මේ ඩිසයිනින් පැත්තට යොමු වීමට ඉතා දැඩි කැමැත්තක් ඇති බවයි. ඇයට ඇගේ රස්සාව එක්ක වෙලාව කළමණාකරණය කරගන්නට තේරුමක් නැති බවක් තිබුණා.

නමුත් ඔබ විශ්වාස කරනවද? ඇය අද ඇගේම ඩිසයින් කළ ඇඳුම් තිබෙන Online Store එකක හිමිකාරියක්. ඇය අදටත් අපේ එදා හමුවීම ගැන සතුටු වෙනවා. මොකද ඇය එයින් නව පණක් ලැබුවා. තමන්ගෙ සහජ හැකියාවෙන් තමන්ගෙම බිස්නස් ව්කක් පටන් ගන්න ඇයට හැකි උනා.

ඔබත් කරන රැකියාවට කැමැත්තක් නැටි කෙනෙක් ද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ ඇත්තටම දක්ෂ දේවල් මොනවද කියලා? කොටින්ම කිව්වොත් ඔබේ Hobby එක (විනෝදාංශය) ඔබේ රැකියාව වුණොත්? ඔබ කැමතියි නේද? අපි හැමෝම එහෙම තමයි. අපේ හිතට සතුට සැනසුම දෙන දේ අපි හරි ආසාවෙන් කරනවා. ඔබත් ඔබේ Hobby එක රැකියාව කරගන්නට හීන දකිමින් වෙමින් රැකියාවක නියැලෙන කෙනෙක් නම් දැන්ම දුක්වෙන එක නවත්තන්න. ඒත් සමග පොඩියට හෝ ඔබේ ව්නෝදාංශය හෙවත් ඔබ කැමති දෙය කරන්නට පටන් ගන්න. කාලයක් යද්දි ඔබට වැටහේවි, එය ඔබ ජීවිතේ ගත්ත නිවැරදිම තීරණයක් කියලා.

තව දෙයක්, ඔබට යමක් කරන්නට ඕනි නම් කවුරුවත් වෙනම ම වෙලාවක් බන්දේසියක තියලා ගෙනත් දෙන්නෑ. ඔබේ දෛනික ක්‍රියාවලීන් තුළින්ම ඔබ, ඔබට කාලය සොයා ගත යුතුයි. දෙයක් බැරි වෙන්නෙ, ඔබ ඔබට ‘බැහැ’ කියලා හිතුවොත් පමණයි. ඔබ ඔබව දිශ්වාස කරලා, මට පුළුවන් කියලා හිතුවොත් අනිවාර්‍යෙන් ම ‘ඔබට පුළුවන්’.

ඉතින් ඔබත් ඉගෙන ගත්ත දේම රැකියාවට කරලා එපා වෙලා ඉන්න කෙනෙක් නම් මේ ලිපිය ගොඩක් වැදගත්. Educational qualifications වලින් හිමිවෙන රැකියාව කරලා හෙම්බත් වෙලානම්, අදම ඔබ දක්ෂ දෙය පටන් ගන්න. ඔබේ හිත සතුටින් එහි නියැලෙන නිසාම, ඉක්මනින් ම ඔබට සාර්ථකත්වයට යන්නත් පුළුවන්. අනිත් අය කරන කරන ජොබ් කරන්නට හීන මවන්නත් එපා. ඔබේ දක්ෂතා වලින් ඔබගේ මාර්ගය තෝරා ගන්න. ඔබ ඔබම වන්න. ඔබත් ඔබේ Hobby එක, Job එක කරගන්න!


Dr. චන්දි රාජපක්ෂ

– අවසන් ඇමතුම –

‘පුතේ පපුව රිදෙනවා’ කිව් පසුව    මෙමා

‘තාත්තා පරිස්සමක් නෑනේ’ කිව්වා   පුතා

අද නම් පුතේ වැඩිපුර මට රිදෙයි    කියා

කීවත් පුතු පයිසෙට මායිම් නොකර  ගියා

ඇස් දෙක මගෙ උණු කඳුළින් ඉනුව  නියා

කඳුළු පිසින්න දිනිතිය දැන් නොමැති නිසා

තනිව පාළුවෙන් යහනක ඉන්න        නිසා

මගේ මතකෙ අතීතෙටම රැගෙන      ගියා

පුතු ඉපදුන දිනවල මට නින්දක් කොහිද

නිතර බලන්නේ පුතු මගෙ    අසනීපෙන්ද

ගෙට ගොඩ වන්නේ අහලා පුතු   කෑවාද

පුතු නළවන්න කෙතරම් ගී පද     කීවාද

ලොව හොඳම දේ දෙන්නට පුතුට  මගේ

වෙහෙසුනෙමි රෑ එළිවෙනකම්ම   වගේ

සතපහ නැති දිනට දුක තද කරන් හිතේ

වතුර ඩිංඟක් බී නින්දට ගියා        පුතේ

හොඳම පාසලක් අකුරට නුඹට  පුතේ

හැමට වඩා ඕන වුණේ මටයි     පුතේ

සල්ලි තිබ්බෙ නෑ මට යහමින්ම අතේ

ණයත් වෙලා ඒකත් මං කළා     පුතේ

අතේ පයේ පොඩි සීරිමක් වුණත්  නුඹේ

කලබල වෙලා දුක ගත්තෙත් පියා නුඹේ

කහවණු නැතත් බිම්බිසාරටම    වගේ

හැම සැප දුන්නා අඩුවක් නැතිව  අගේ

විභාග සැම පුතු ඉහළින් සමත්   වුණා

රැකියාවත් පුතු මහිමෙට හිමිම   වුණා

ඩිංග ඩිංග කරදඬු උස් මහත්     වුණා

ආඩම්බරෙන් මගෙ හදවත සතුටු වුණා

පුතුගෙ විවාහෙට සල්ලිත් ඕන    නිසා

ඉසිඹු ලැබුවා මම පස් වසරක්ම තියා

ගම් හතටම හොඳහැටි මඟුල්   කියා

පුතු තුට දැක මගෙ දුක සැඟව   ගියා

මතකයේ ගිලී යහනේ මා දැන් වැතිර

පපු රිදුමේ වැඩි වේගෙන එයි    නිතර

දුරකථනෙන් පුතු හට ඇමතුව   අතර

‘මීටිමක ඉන්නේ’ එපාලු කතාව නිතර

පුත නුඹ පියාට කතා බැරිය අදින් මතු

හුස්ම මගේ හිරවීගෙන එනවා     පුතු

අවසන් වරට වදනක් ඇත කිවම යුතු

අජාසත් සේ පසුතැවිලි නොවන්    පුතු

________________________ච | රි | යා_______

ප:ලි:   රැකියාව, මිල මුදල් හෝ වෙන යම් භෞතික වස්තූන් ඉදිරියේ වහල් නොවී දිවියේ උත්තරීතරම වස්තූව වන දෙමාපියන්ට දැක්විය යුතු සෙනෙහස, ආදරය, රැකවරණය නොඅඩුව ලබා දීමට වග බලා ගන්න. නැතහොත් නිසැකවම දිනෙක ඔබ පසුතැවිලි වනු ඇත

වචන වලට පණ දෙන කාගෙත් හිත දිනන – SUREKHA PERERA

සුරේඛා පෙරේරා කියන්නේ කවුද ඔයාගේ වචනයෙන් කිව්වොත් 

සුරේඛා පෙරේරා කියන්නෙ නිදහසට බොහොම කැමති, ජීවිතය විඳින්න කැමති, අනුන්ට කරදරයක් නොවී තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්.

සුරේඛා ගේ  පවුලෙ විස්තර, පාසල් කාලය ටිකක් දැනගන්න කැමතියි

 මගේ උපන් ගම වෙන්නෙ රාගම ප්‍රදේශයේ බටුවත්ත කියන ගම. මගෙ පවුලෙ අම්මයි තාත්තයි, මල්ලියි එක්ක තමයි මම ජීවිතේ පටන් ගන්නෙ. බටුවත්ත කණිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. පසුව ව්‍යාපාර කළමණාකාරණය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා.

දැන් මම විවාහකයි. මගෙ සැමියාගෙ ව්‍යාපාර කටයුතු වලට සහය වෙන ගමන් මගෙ පුතුන් දෙදෙනාගෙ වැඩකටයුතුත් කරගෙන සතුටින් ඉන්නවා. 

කොහොමද මෙච්චර ලස්සනට වචන ගළපන්නේ, කොයි කාලයේදීද ලියන්න පටන්ගත්තෙ

ඒක අහම්බයක්… පාසල් කාලයේදී මගෙ මිතුරෙකුගේ අභාවයක් නිසා ඇතිවුණ වේදනාව තමයි මම මුලින්ම අකුරු කලේ. එයින් පස්සෙ මම ටිකෙන් ටික කවි, නිසඳැස් ලියන්න පෙළඹුනා. ඒවා සියල්ලම මම පොතක ලියා තැබුවා මිස පත්තරයකවත් පල කෙරෙව්වෙ නෑ. ළඟම මිතුරියන්ට විතරක් අදහස් දැන ගන්න ඕනෙ නිසා රස විඳින්න දුන්නා. පාසල් කාලෙන් පස්සෙ  නම් මම කවි ලිව්වේම නැති තරම්.

නමුත් මීට අවුරුදු 5 විතර කලින් මගෙ පැරණි කවි පොත් ටික මට ආයෙත් කියවන්න ලැබුනම මට හිතුනා මුහුණු පොතේ එක්තරා කවි නිසඳැස් තියෙන සමූහයකට ඒවා ඉදිරිපත් කරන්න ඕනෙ කියලා. මම මුලින්ම මගෙ පැරණි කවි එහි පල කිරීමත් එක්ක ලැබුණු ප්‍රතිචාර මත තමයි මම නැවතත් කවි ලියන්න පටන් ගත්තෙ. 

මුලින් විවිධ දේ ගැන ලියන්න පටන් ගත්තත් බොහෝ දෙනාගේ ඉල්ලීම් මත ඔවුන්ගේ දුක සතුට, අත්දැකීම් අකුරු කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ හැඟීම් මගේ කරගෙන ලියන්න පටන් ගත්තා.

ඔබ ආඩම්බර වන  ඔබ ලියා ඇති හොදම සටහන.

මම මුල සිටම කවි නිසඳැස් ලියූ සමූහයට ලියූ සටහනක්, 1800 ට වඩා වැඩි අතර ශෙයාර් වී තිබුනා.. ඒ වගේම පෙජ් කිහිපයකින්ම එය නැවත නැවතත් ඉදිරිපත් කර තිබුනා.

විනිශ්චය

………………

ඔබ..

තවත් අයෙකුගේ මානසික මට්ටම ගැන,

ඔවුන් විඳි දුක් පීඩා ගැන,

හරියටම නොදන්නේ නම්

ඔවුන්ව විනිශ්චය කිරීමෙන් වළකින්න..

මන්ද…

ඔබට හීනෙකින්වත්

සිතා ගත නොහැකි තරම්

දුෂ්කර කාලයක්

ඔවුන් ගෙවා දමා හෝ

ගෙවා දමමින් සිටිනවා විය හැක….

එම නිසා… 

ඔබට සිතා ගැනීමටවත් 

නොහැකි තරමටම

ඔබගේ විනිශ්චය 

ඔවුන්ට පීඩාවක් විය හැක..

ඉදිරියේදී සුරේඛා ගේ අලුත් නිර්මාන වෙනම තැනකට ගේන්න අදහසක් නැත්ද? පොතක් එහෙම ලියන්න අදහසක්.

බොහෝ දෙනෙක් ඔය ඉල්ලීම මගෙන් කරල තියෙනවා. ඒත් මම තාමත් ඒ ගැන හිතමින් ඉන්නවා. මොකද පොතක් කරනවා නම් රස විඳින්නාට ඒකාකාරී බවකින් තොරව, හදවතට මනසට දැනෙන, හරවත් නිර්මාණයන්ගේ එකතුවක් විය යුතුමයි. ඒ නිසා ඒකට ටික කාලයක් ගත වෙයි. 

අනිත් කාරණය තමයි මුහුණු පොතේ අපේ කවි රසවිඳින්නන් බොහෝ ප්‍රමාණයක් හිටියත් කවි පොතක් මිලදී අරන් කියවන්න කැමති පිරිස බොහොම අල්පයක් වීම. ඒ නිසා ආත්ම තෘප්තිය වෙනුවෙන්  මිස මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම පොතක් කිරීමට නම් කිසිම අදහසක් නැහැ. 

මිනිස්සුන්ට කියවීම ලිවීම තව දියුණු කරගන්න ඔයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද සහ අපි Magazine එකට සම්බන්ධ වීම ගැන අද දැනෙන දේ කිව්වොත්

 මම හිතන්නෙ ලියන කෙනෙකුට හොඳම ආයුධය තමයි ලියන භාෂාව ගැන දැනුම එකතු කරගැනීම. ඒකට කියවීම අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්. අපේ සිංහල භාෂාව හරිම ලස්සන රසවත් වචන වලින් බොහොම පොහොසත්. ඒත් අපි එයින් භාවිතා කරන්නෙ හරිම සීමිත ප්‍රමාණයක්. නමුත් කවියක් නිසඳැසක් ලියනකොට, ඕනෑම මට්ටමක දැනුම තියෙන කෙනෙකුට කියවා රසවිඳින්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි.

අපි Magazine  එකට සම්බන්ධ වීම ගැන නම් තියෙන්නෙ හරිම සතුටක්. මුලින්ම ගයාන් කරුණාරත්න සහෝදරයා මට ආරාධනා කලාම පොඩි චකිතයක්, කුතුහලයක් තිබ්බා. මොකද මට මීට කලින් ඒ වගේ අත්දැකීමක් නොතිබුණ නිසා. නමුත් මාසයෙන් මාසයට පාඨකයන් වැඩි වැඩියෙන් ‘අපි’ මැගසීනයත් එක්ක එකතු වෙනකොට ඇත්තටම ලොකු සතුටක් දැනුනා මුහුණු පොතෙන් සහ මගේ සමීපතමයින්ගෙන් ඔබ්බට තවත් පිරිසකට මගේ නිර්මාණ ගෙනයන්න හැකිවීම ගැන. ඒ වගේම පෞද්ගලිකව ලොකු ආත්ම තෘප්තියක් දැනුනා මගේ සිතුවිලි, හැඟීම් නිර්මාණයන් ඔස්සෙ පිටරට වෙසෙන අපේම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරින් අතරට ගෙන යන්න අවස්ථාවක් ලැබීම ගැන. 

ඒ වගේම හැම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන්ගේ හරවත් රසවත් ලිපි ගණනාවකින් සමන්විත වුණ අපි මැගසීනයට මටත් නිර්මාණයකින් දායක වෙන්න හැකිවීම ගැනත් මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒකට මම අපේ ප්‍රධාන කතෘ ගයාන් කරුණාරත්න සහෝදරයට හදවතින්ම ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්න කැමතියි.කෙමෙන් කෙමෙන් වසර දෙකකට පියවර තබන අපි මැගසීනය, ඉදිරියටත් හරවත්, රසවත්, වටිනා දැනුම පාඨකයන් ලබා දෙමින් සාර්ථක ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..