සුදුපාට අවස්ථාවාදියෙක් වෙන්න

අද උදේ බස් රථයේ ගමන් කරන විට එක්තරා ගුවන්විදුලි චැනලයක ඇහුණ මෙන්න මේ දේ නිසා ලියන්න හිතුන කරුණක් මේ. 

     එක්තරා ස්ථානයක තිබුණු කිලෝ මීටර් ගණනක ඉන්ධන පෝලිමක සිටි එක්තරා පුද්ගලයෙකු පෝලිමේ ඉන්නා අනෙක් අයගෙන් “කෑවද” යන්න විමසමින් ගමන් කර ඇති බවත් , ඒ වන තෙක්ම කෑමක් නොගෙන පැය ගණනක් පෝලිමේ සිටි අය තමන් හා එකතු කරගෙන ඔහු නිවසින් ගෙනා එකම බත් පැකට්ටුව බෙදාහදාගෙන ආහාරයට ගත් බව එහි සඳහන් වුණා.

      ත්‍රීරෝද රියැදුරෙකු වූ ඔහුගේ මෙම ක්‍රියාව පැසසුමට ලක් කරන්නට වටිනා එකක් බව පැහැදිලිවම සඳහන් කළ යුතුයි. “අවස්ථාවාදියෙකු” යන වචනය ඇහෙද්දිම අපගේ මනසට ඇතුල් වන්නේ කලු චරිතයකි. නමුත් තමන් මෙන්ම අසීරු අවස්තාවක සිටින්නා වූ අනෙක් අය ගැනද සිතමින් තමන් සතු දෑ බෙදාගන්නා මෙවන් අය අනිවාර්යයෙන් ම “සුදු පාට අවස්ථාවාදීන්” වන්නේය.

     ඔබට හැකි සෑම විටම සුදුපාට අවස්ථාවාදියෙකු වන්න. ඔබ භාණ්ඩ මිළදි ගන්නා වෙළඳ පලේ ඉතිරිව ඇති සියලුම සබන්කැට  මිළදී ගන්නා,  අවස්ථාවාදියෙකු නොවන්න. 

      එදා වේල සරි කරගන්නා අසරණ මිනිසෙකු වෙනුවෙන් , යමක් කමක් කරගත හැකි ඔබගේ කුඩා අවශ්‍යතාවයක් කැප කරන්න. ඔබගේ දරුවන් වෙනුවෙන් මිළ දි ගන්නා අමතර “අත්‍යාවශ්‍ය නොවන” ආහාර වර්ග වලින් කොටසක් කැප කර මේ අසීරු වකවානුවේ බත් ඇටයක් ඇහැටවත් නොදකින දහස් ගණනක් දරුවන්ගෙන් කෙනෙක් වෙනුවෙන් යුතුකමක් ඉටු කරන්න.

     ඔබේ නිවසේ අමතරව වැය වන අනවශ්‍ය සියලු විදුලි බුබුලු හැකි සෑම වේලාවකම

නිවා දමා දහසක් රටවැසියන් වෙනුවෙන් විදුලිය බිඳක් හෝ ඉතිරි කරන්න.

    ඔබේ දරුවන් පුරුදු වී ඇති ජීවන රටාව මදක් හෝ වෙනස් කර ඔවුනට රටේ වාතාවරණය පිලිබඳව කියා දෙන්න. ඔවුන්ගේ ඉල්ලීම් කෙතරම් වුණත් ඒවායේ අත්‍යාවශ්‍ය බව අනුව ප්‍රමුඛත්වය දෙන්න.

       ඔබේ වාහනයට ඉන්ධන තිබේ නම් මහමහ අසරණ වූ කවුරුන් හෝ ඈත්නම් ඔබට ඔවුන්ට ප්‍රවාහණ පහසුකම් ලබා දියහැකි වාතාවරණයක් ඇත්නම් එය දෙන්න.

    මොන යම් අවස්තාවකදී වුවද ඔබට අන් අයෙක් වෙනුවෙන් පෙනී සිටිනනට හෝ උදව් කරන්නට හැකි නම් දෙවරක් නොසිතා එය කරන්න. මනුස්සකම වපුරන්නටත් , හොඳම හා අවශ්‍යම කාලයක් මේ.

        අවස්තාවාදීන් බොහොමයක් මැද ඔබ “සුදු අවස්ථාවාදියෙක්” වෙන්න.


දිගැසි පබසරා අමරසිංහ

නායකත්වය හෙට නෙවේ අදම ලබා ගමු

නායකත්වය යනු යම්කිසි පොදු අරමුණක් ඉටු කර ගැනීමට තව පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට කරන බලපෑමක් ලෙස සාමාන්‍යයෙන් නිර්වචනය කරන්න පුළුවන්. මේ නායකත්වය දරන නායකයා ඒ අදාළ කණ්ඩායමේ බලවත් ස්ථානය නිතැතින්ම හොබවන අතර, වර්තමානය වන විට නායකත්වය සඳහා තරුණ තරුණියන් තෝරා පත් කර ගැනීමට වැඩි වශයෙන් පෙළැඹෙන බවක් පෙන්නුම් කරයි. නායකයන් හට නිතැතින්ම අනුගාමිකයන් පිරිසක් සිටින අතර එසේම ඔවුන්ට අනික් අයට බලපෑමක් කළ හැකියි. වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක්ලවා යම් කිසි කාර්‍යක් කරවා ගැනීමේ හැකියාව නායකත්වයට පවතියි. මේ අනුව බලන කල නායකත්වය යනු යම් සුවිශේෂී සමාජ තත්ත්වයක් බව පැහැදිලි වේ.

වත්මන් සමාජයේ තරුණ තරුණියන් හට මේ නායකත්වය දැරීම සදහා පවත්නා ඉඩකඩ වැඩිය. ඔවුන්ට පවත්නා ඉල්ලුමද වැඩිය. මෙනිසාම තරුන තරුණියන් හට සමාජය තුළ ජීවත් වීමේදී නායකත්ව කුසලතා ඔප්නැංවීම වැදගත්. එවිට අවශ්‍ය අවස්ථාවලදී මේ තරුණ තරුණියන්ට නායකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව පවතී. මෙනිසා වැඩිහිටි පරපුරට තම බාල පරපුර නායකත්ව ගතිගුණවලින් හෙබි තත්ත්වයට පත් කිරීමේ වගකීමක් ඇත. තවද ඒ සඳහා තරුණ පරපුර පුහුණ කිරීම් වැනි දෑද සිදු කළ හැකිය.

එසේම නායකත්වය දරන පුද්ගලයෙකු තුළ ප්‍රධාන වශයෙන්ම තිබිය යුතු ලක්ෂණ තිබෙනවා. ‘ඔහු/ඇය උපතින්ම නැත්නම් ස්වභාවයෙන්ම නායකයෙක්’ යමෙක් පෙරමුණ ගෙන වැඩ කරද්දී ඔබේ කණට මෙවැනි වදන් ඇසී තිබෙන්නට පුළුවන්. නායකත්වය සඳහා අනුගාමිකයින් පිරිසක්ද අරමුණකට අරමුණු කීපයක්ද තිබිය හැකිය. මේ පිළිගැනීමට අනුව නායකයෙක් තුළ විශේෂිත නැත්නම් සුවිශේෂිත ගති ලක්ෂණ තිබිය යුතු යැයි සමාජය පිළිගන්නාවූ කාරණයක්. ඒවා සුලබ කාරණාවන් වූවත් එයින් කීපයක් ලෙස පෞරුෂත්වය, කථිකත්වය, නොසිතාම කැපී පෙනෙන ලෙස කටයුතු කිරීම, ආත්ම විශ්වාසය, ආධිපත්‍යය ආදී ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ ගති ලක්ෂණ තරුණ පරපුරේ දක්නට ලැබෙන්නා වූවත්; ලැජ්ජාශීලීකම නිසා මේ ගුණාංගයන් යටපත්වූ අවස්ථාවන්ද තියෙනවා. එනිසා මේ ගුණාංගයන් ඔප්නංවා ගැනීමට අප තරුණ තරුණියන්ට මග පෙන්විය යුතුයි.

නායකයින් ගත් කල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. තමන් දරන තත්ත්වය අනුව වන නායකත්වය හා මතුවී එන නායකත්වය යනු ඒ ආකාර දෙකයි. කණ්ඩායම් නායකයින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් මෙයට කදිම නිදසුන්. හේතුව නම් මෙහිදී තමන් දරන තත්ත්වය අනුව වන නායකත්වයක් මෙහිදී දක්නට ඇත. යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට බලපෑමක් කළ හැකි පුද්ගලයා ‘මතුවී එන නායකයා’ වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙහිදී ඔහුගේ චර්‍යාවන් සෙස්සන් පිළගත යුතුයි. ඔහුගේ/ ඇගේ පෞරුෂයද මෙම කැපී පෙනෙන නායකත්වයට හේතු සාධක වෙයි. මේ නායකත්වය අපට බොහෝ විට දේශපාලනයේදී දක්නට ලැබේ. එහිදී තරුණ තරුණියන් දේශපාලනයට ප්‍රවිශ්ට වන්නේ මෙම මතුවී එන නායකයන් ආකාරයෙනි.

නායකත්වය හා බලය එකිනෙකට සම්බන්ධිත තත්ත්වයන්. බලය කියන්නේ යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට බලපෑම් කිරීමට නායකත්වයට, නායකයාට, පුද්ගලයෙකුට පවතින හැකියාව හෝ ශක්තියයි. වෙනත් අයගේ විශ්වාස, ආකල්ප කෙරේ බලපෑම් කිරීම හැකි පුද්ගලයා, බලසතු පුද්ගලයෙක් වශයෙන් සමාජයේ පිළිගන්නා කාරණයක්. ඇමතිවරුන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් ආදී පිරිස මේ සඳහා ගත හැකි නිදසුන්.

බලය පස් වැදෑරුම් වශයෙන් පර්‍යේෂකයින් විශ්ලේෂනය කරනවා. ඒවා පහත පරිදි දක්වන්න පුළුවන්. ඒවානම් ‘උපදේශන බලය’ යනු උපදෙස් දීම සඳහා පවත්නා බලයයි. ‘ඒකාධිපති බලය’ ලෙස බලයෙන් පාලනය කරන්නන් දැක්විය හැකියි. ‘නීත්‍යනුකූල බලය’ ලෙසින් කිසියම් තනතුරක් නිසා ඇති වන්නාවූ බලය දැක්විය හැකියි. අන් අය තමන් වෙත යොමු කර ගන්නා ආකර්ෂණීය බලය ‘පෞරුෂත්වය නිසා ලැබෙන බලය’ වන අතර යම් විෂයක් පිළිබඳ ප්‍රාගුණ්‍යත්වය නිසා ලැබෙන්නාවූ බලය ‘විශේෂණ බලය’යි. මේ ආකාරයෙන් බලයන් ආකාර පහක් අද සමජගතව පවතින අතර මෙම බලයන් දරන අයට අනෙක් කෙනෙකුගේ ආකල්ප, චර්‍යාවන් හා වටිනාකම් වෙනස් කිරීමට ශක්තියක් හෝ හැකියාවක් ඇති වේ. තවද බලය ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්නා මෙවලමක් බවට පත්ව ඇත. මෙනිසා තරුණ තරුණියන් නිවැරැදි ලෙස නායකත්වය හා බලය පරිහරණය සඳහා යොමු කිරීම වැදගත්.

තරුණ පරපුර නිවැරදි නායකත්වයට යොමු කිරීම මෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුනට වහාම බලය ලබාදී කටයුතු කිරීමට ඉඩ සැලැස්වීමෙන් ඔවුන්ගේ නායකත්ව හැකියා ප්‍රවර්ධනය කිරීමත් රටක් වශයෙන් ඉතාමත් වැදගත් කරුණක් බව සියල්ලෝම සිත්වල තබා ගෙන, නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත් වේ.

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

බෝධි පූජාවේ යථාර්තය

අපගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට බුද්ධත්වයට පත්විම සදහා සෙවණ ලබා දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ රෝපණය වී තිබෙන ඓතිහාසික මහබෝධි වෘක්ෂය, එම පූජනීය 

වෘක්ෂයෙහි දකුණු අංකුර පැලයක් වු

අනුරාධපුරයේ මහමෙව්නා උයනෙහි රෝපණය කර ඇති 

මිනිසා විසින් සිටවූ සහ එසේ සිට‍වූ කාලය නිවැරැදිව දන්නා පැරණිම වෘක්ෂය ලෙස වාර්තාගතවු අති පූජනීය ශ්‍රී මහා බෝධි වෘක්‍ෂය, මෙන්ම බෞද්ධ දර්ශනය ප්‍රචලිත විවිධ දේශයන්හි සුප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම කුඩා ගම්මානවල පිහිටි පූජනීය ස්ථානවල  

රෝපණය කර ඇති බෝධි වෘක්ෂයන් හට අනාදිමත් කාලයක සිට 

ලෞකික සහ අධ්‍යාත්මික අභිවෘද්ධිය උදෙසා පුද පූජා පැවැත්වීම, වන්දනා කිරිම සහ විවිධ වත් පිළිවෙත් කිරිම

බෞද්ධයින් පුරුදු පුහුණු කල විශේෂ කටයූත්තක් වූහ.

රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ වූ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට 

වන්දනා පූර්වකව “අපි සගරාවේ” අපගේ අරාධනය මෙම පින්බර පොසොන්මාසයේ දී “බෝධි පුජාවේ යථාර්ථය පිළිබදව” ඔබ හමුවේ කරුණු විග්‍රහ කිරිමටයි.

1. බෝධි පුජාව කෙසේ අර්ථකතනය කල හැකිද?

‘බෝධිය’ යන වචනයේ අර්ථය ‘අවබෝධය’ කියන එකයි. ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දැන දැක පැහැදීම, ‘අවබෝධය’ හෙවත් ‘බෝධිය’ ලෙස අර්ථකථනය කරන්න පුළුවන්.  ‘සම්බෝධි’, ‘සම්බුද්ධ’ හෙවත් පරිපුර්ණ අවබෝධයට පත් වූ; ලෙස බුදුරජාණන් වහන්සේගේ ගෞරවණීය ආමන්ත්‍රණය සඳහා භාවිතා කරන්නේත් එනිසයි. ‘පූජා’ යන්නෙහි අදහස නම්, ගෞරවය දැක්වීම, ප්‍රශංෂා කිරීම වගේම රැකබලා ගැනීම, පරිස්සම් කිරීම, අත්හැරීම යන අරුත් දක්වන්න පුළුවන්.

එසේනම්, ‘බෝධි පුජාව’ ලෙස අර්ථකථනය වන්නේ, යම් කෙනෙකු විසින් උතුම් ධර්ම මාර්ගය ඔස්සේ ක්‍රියාත්මක වෙමින්, ජීවිතය පිලිබඳව, ලෝකය පිළිබඳව සත්‍යාවබෝධයට පත්වීමත්; ඒ ලබාගත් අවබෝධය නැවත නැවත මෙනෙහි කරමින් එහි අඩුපාඩු ඇත්නම් නිවැරදි කරගැනීමත්; තවදුරටත් අවබෝධය වර්ධනය කරගත යුතුනම් එය වර්ධනය කරගැනීමට අධිෂ්ඨාන කරගැනීමත්; ඉලක්ක ගත අවබෝධයකට පත් වූවානම් එය පවත්වා ගැනීමට, ආරක්ෂා කරගැනීමට කටුයුතු කිරීමත්; පරිපුර්ණ අවබෝධයට පැමිණ ඇත්නම්, එහි පරිපුර්ණත්වයට පැමිණි බව දැනගෙන උපෙක්ෂකව, මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන් යුක්තව වාසය කිරීමත්ය.

අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුද්ධත්වයෙන් දෙවන සතිය තුල සිදුකල අනිමිසලෝචන පුජාව දෙස බැලුවොත් ඉහත අර්ථකථනය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මුලින්ම, අනිමිසලෝචන පූජාව හි අර්ථය පිලිබඳ ව්‍යවාහරික අදහසට වඩා මෙහි දාර්ශනික අදහස තේරුම් ගන්න උත්සහ කිරීම වටිනවා. ‘අනිමිසලෝචන’ (අ+නිමිස+ලෝ+ච) යන පාලි පදය තුල අර්ථ කිහිපයක එකතුවක් පිළිබිඹු වෙනවා. ‘අනිමිස'(අ+නිමිස) යන්නෙහි සෑම නිමේශයක්, මොහොතක්, ක්ෂණයක් යන්න අර්ථකථනය වේ. ලෝචන (ලෝ+ච) පදයෙහි,  ‘ලෝ’ යන පදය තුල ලෝකයත්, ‘ච’ යන පදයෙන් චිත්තයත් පිලිබඳ විමර්ශනය කිරීම, මනසිකාර කිරීම යන්න අර්ථකතය වෙනවා. එහෙනම්, සම්බුද්ධත්වයෙන් දෙවන සතිය පුරාවට සම්බුදුරජාණන් වහන්සේ, සිදුකලේ ලෝකය වනාහි සෑම ක්ෂණයක් පාසා සිදුවන චිත්ත ක්‍රියාවලියක් බව අනාවරණය කිරීමයි. එය තවදුරටත් තහවුරු කරගැනීම පිණිස උන්වහන්සේ දර්ශක 37ක් හෙවත් මිනුම් දඬු 37 ඔස්සේ උන්වහන්සේ අවබෝධ කරගත් යථාර්තය විමර්ශනය කිරීම සිදුකලා. එය ධර්මයේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ලෙස ඉදිරිපත් කරනවා. එම දර්ශක 37 ඔස්සේ බැලීමේදී උන්වහන්සේ, ලෝකය/ජීවිතය පිලිබඳ අවබෝධ කරගත් සත්‍යය, නියත වශයෙන් සත්‍යක්ම බව අනාවරණය කරගනු ලැබුවා. ඉතින් මෙම ක්‍රියාවලියට තමයි ඇත්ත වශයෙන් අනිමිසලෝචන පුජාව කියල කියන්නේ.

ඉතින් අද අප බෝධි පූජාව ලෙස සිදුකල යුතු වන්නේත්, දුක්විඳින තම ජීවිතය/ලෝකය පිලිබඳව සත්‍ය අවබෝධ කරගැනීමත්, එහි ක්‍රමානුකුල වර්ධනය නිරතුරුව ප්‍රත්‍යවෙක්ෂා කරමින් නිවන නමැති උතුම් අවබෝධයට පත්වීමයි. එය තමන්ගේ යහපත උදෙසාත්, සියළු දුක් කෙළවර කිරීම උදෙසාත් එකම වැඩපිළිවෙලයි.

2.  නමුත්, බෝධීන් වහන්සේ ලෙස අප වන්දනා මානයට පාත්‍ර කරන්නේ බෝධි වෘක්ෂයක් නේද? බෝධීන් වහන්සේ වන්දනාව සහ වෘක්ෂ ඇදහිලි අතර වෙනස කුමක්ද?

යක්ෂ, දේව, නාග, මළවුන්, ගස්ගල් ආදී අතීත විවිධ ඇදහිලි විශ්වාස අතරින් වෘක්ෂ ඇදහිලි, එදා අතීත ජන සමාජ වල පැවතුනා. වෘක්ෂයට අරත්ගත් දේවත්වයකින් තමන්ගේ අපේක්ෂාවන් හෝ ප්‍රාර්ථනාවන් සපුරා ගැනීම සඳහා කරනු ලබන පූජාව, වෘක්ෂ ඇදහිලිවල දකින්න පුළුවන්. නමුත්, බෝධි වන්දනාව ඊට හාත්පසින් වෙනස්වන්නේ, වෘක්ෂ වන්දනාව හෝ පූජාවම, අන්ධ භක්තියකින් හෝ අන්ධ විශ්වාසයකට ලඝු නොකොට; වෘක්ෂ වන්දනාව, බුද්ධ දර්ශනයට අනුකුල ලෙසත්, වඩාත් අර්ථසම්පන්න ලෙසත් ඉදිරිපත් කිරීමක් ලෙස බෝධී වන්දනාව දකින්න පුළුවන්.

උදාහරණයක් ලෙස, එදා තමන් වහන්සේ බුද්ධත්වයට පැමිණී අවස්ථාවේ, උන්වහන්සේ ලබාගත් උතුම් අවබෝධය සංසන්දනය කරන්න, නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා උන්වහන්සේ පිටදුන් බෝධි වෘක්ෂය කැඩපතක් ලෙස තමන් වහන්සේගේ අවබෝධය දකින්න උපයෝගී කරගත්තා. අපි දන්නවා, කැඩපත කියන්නේ තමන්ගේ අඩුපාඩු දකින්න පුළුවන්, අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් දෙයක්. ඒවගේ, බෝධි වෘක්ෂය කැඩපතක් ලෙස තමන්ගේ අවබෝධය කෙසේද යන්න දකින්න පුලුවන්නම් එය හරිම වටිනා දර්ශනයක් වෙනවා. 

කොහොමද බෝධි වෘක්ෂයකින් තමන්ගේ අවබෝධය දකින්නේ?

– මේ මහා වෘක්ෂය වනස්පතියක් ලෙස මනා ලෙස වැඩුණු, මනා ලෙස විහිදුනු අතුපතර සහ මූල පද්ධතිය, මනා පරිණත බව පෙන්වයි. එලෙස තමා තුල ජීවිත යථාර්තය පිලිබඳ පරිණත බව කෙසේද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.

– මේ මහා වෘක්ෂය කුමන හෝ සැඩ සුළං, ගංවතුර ආදී කුමන බාධකයන්ට නොසැලී අකම්පිතව වාසය කරයි. එලෙස තමා තුල, නොයෙකුත් බාධක හමුවේ නොසැලී, අකමිත සිතකින් වාසය කලහැකිද?  යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.

– මේ මහා වෘක්ෂය, කාගේවත් හව් හරණක් නැතුව තනිව වැඩී නැගී සිටියි. එලෙස, තමාටද තනිවම අභියෝග හමුවේ නැගී සිටීමට හැකිද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.

– මේ මහා වෘක්ෂය අභියස, පවතින මහා සෙවණ අධික හිරු රශ්මියෙන්, වැස්සෙන් ආරක්ෂාව සැලසෙයි. එලෙස, තමාටද කටුක දුෂ්කර අරමුණු වල නොගැටී නොඇලී වාසය කල හැකිද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.

– මේ මහා වෘක්ෂය යට, දැනෙන සිසිලස, බෝ පත් සිරස වදින විට දැනෙන සුවපත් බව, මහා වෘක්ෂය අභියස සුදුවැලි මත ඇවිදින විට පයට දැනෙන සුවපත් බව යම්සේද? එලෙසම, ජීවිත අවබෝධය තුලින් ලැබෙන නිරාමිස සැපය, සුවපත් බව අත්විඳිය හැකිද? යන්න තමාට අත්දැකිය හැකිනම්,

තමන්ටම තමන්ගේ අවබෝධයේ මට්ටමත්, ඒ තුලින් ලැබුණු ආධ්‍යාත්මික ශක්තියත් මැන බලන්න පුලුවන්.

තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය සහ හැකියාව පිළිබඳව ඉහත පරිදි වටහාගත් කෙනාට, හොඳ විශ්වාසයක් ගොඩනැගෙනවා විතරක් නෙවෙයි, ඕනෑම අභියෝගයක් ජයගන්න එය පිටිවහලක් වෙනවා. මෙම ක්‍රියාවට කියනවා සත්‍යක්‍රියා කරනවා කියල, සත්‍යක්‍රියාව කියන්නේ, තමන් විසින් දැන දැක ගනුලැබූ ජීවිතයේ  සත්‍යය, පිරිසිඳු සත්‍යක්නම්, එහි ශක්තියෙන් හා බලයෙන් සියළු ප්‍රර්ථනා ඉටුවේවා කියල අධිෂ්ටාන කරන්න පුළුවන්. එහි තිබෙන සත්‍යානුබලය හේතුවෙන් සහ තමන් තුල පවතින හැකියාව පිලිබඳ විශ්වාසය හේතු ගොටගෙන, ඕනෑම ප්‍රාර්ථනාවක ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්.

“අපි සගරාවේ” පාඨක ඔබ සියලු දෙනාටම ඉතාමත් වටිනා දහම් කරුණු කීපයක්ම ඉතාමත් මැනවින් පැහැදිලි වුනායැයි අපගේ විශ්වාසය. 

මෙම පිං කටයුත්ත උදෙසා අප සමග නිරන්තරයෙන් සම්බන්ධ වන අපගේ පිංවත් ස්වාමින්වහන්සේට අපගේ කෘතවේදීත්වය පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පිං ලැබේවා!

අමා නාකන්දලගේ