නාගයා

නාගයා/ නයා

spectacled cobra / Indian cobra

Naja naja (Linnaeus, 1758)

හඳුනා ගැනීම

මොවුන්ගේ දේහය දිගු, පෘෂ්ඨිමත්, සිලින්ඩරාකාර ශරීරයක් වන අතර කැපී පෙනෙන ගෙලක් සහිත මධ්‍යම

ප්‍රමාණයේ පැතලි හිසක් සහ ගෙල ප්‍රදේශයේ ඇති පෙනය විශේෂ ලක්ෂණයකි. පෙනය හකුලාගෙන සිටින

විට ගෙල ප්‍රදේශය වඩාත් පැතලිව සහ පළල්ව දිස්වේ. මධ්‍යම ප්‍රමාණයේ ඇස් සහ තරමක් විශාල විවෘත

නාස් විවර දක්නට ලැබේ.

වර්ණය සහ පෙනයේ සලකුණු බොහෝ සෙයින් වෙනස් විය හැක. බොහෝවිට ශරීරය කළු හෝ තද දුඹුරු

පැහැති වන අතර ඉතා සිහින්, සුදු පැහැති හරස් ඉරි තනිව හෝ යුගල වශයෙන් පිහිටයි. පෙනයේ ඇතුල් පැත්තේ

(උදරීයව ) සුදු පළල් දාරයකින් වටවූ කළු පුල්ලි දෙකක්ද, පිටුපස (පෘෂ්ඨීයව ) කළු දාරයකින් වට වූ සුදු පැහැති

'ප' සලකුණක්ද ඇත. මෙම පෘෂ්ඨීය සළකුණ ත්‍රිකෝණයක හැඩයට පැවති නිදර්ශකයක් පේරාදෙණිය

ප්‍රදේශයෙන් හමුවි ඇත. නමුත් ඉතා කලාතුරකින් ඇතැම් සතුන්ගේ මෙම සලකුණ පැහැදිලිව නොපිහිටන අතර

ගැහැණු හෝ පිරිමි සතුන්ගේ මෙහි විවිධත්වයක් නොපෙන්වයි. පෙනය කරගෙන සිටින විට. එහි සම සුදු

පැහැයට දිස්වන අතර, කොරල එකිනෙකින් වෙන්වී. වෙන වෙනම දිස්වේ. උගුර ප්‍රදේශයේ තද පැහැති හරස්

පටි දක්නට ලැබේ. ඇලි (albino) නයින්ද හමුවේ. දිග උපතේදී මි.මි. 200 – 300, වැඩුණු සතුන් මි.මි. 1000-

1500ක් පමණ වේ.

මොවුන්ගේ හැසිරීම ප්‍රධාන වශයෙන් දිවාචර නමුත් රාත්‍රි කාලයේදීද සැරිසරනු දැකිය හැක. රාත්‍රියේදී

වඩාත් ක්‍රියාශීලී බව ඇතැමුන් දක්වා ඇත. භෞමිය වුවද, තරමක් දුරට ගස් නැගීමට සහ පිහිනීමට හැක. ජලය

ආශ්‍රිත ස්ථාන වලට වැඩි කැමැත්තක් දක්වයි. වියළි කාළයක් හුඹස් සහ ගුල් තුළද, වැසි සමයන්හි වැඩි

කාලයක් කුඩා ගස් පඳුරු මතද ගතකරයි. ඉතා ක්‍රියාශීලි සර්පයෙකු වන අතර කලබල වූ විට බොහොමයක්

අවස්ථාවන්හිදී පලායෑමට තැත් කරයි. එසේ නොහැකි වූ විට පෙනය කර, පිඹින ශබ්දයක් පිට කරමින් අනතුරු

අඟවයි. ඉන්පසුව දෂ්ඨ කිරීමට පෙළඹේ. පෙනය කිරීමෙදී සිරුරෙන් 1/3ක පමණ කොටසක් ඉහළට එසවිය හැකි

අතර එම උසට සමාන විශ්කම්භයක් ඇති වෘත්තයක් ඇතුළත ඇති වස්තුවකට දෂ්ක කළ හැක. පැටවුන් සහ

නොවැඩුනු සතුන් වඩාත් ක්‍රියාශීලිය. ප්‍රචණ්ඩය. ප්‍රජනන සමයේදී ආලිංගන රංගත සිදු කරයි. වරකට බිජු

5 – 45ක් පමණ දමා ගැහැණු සතා මාස දෙකක් පමණ වන තෙක් ඒවා ආරක්ෂා කිරීම සිදු කරයි. ගැහැණු සතුන්

කිහිප දෙනෙකු එකම ස්ථානයක බිජුලෑමද (communal nesting) වාර්තා වේ .

මොවුන් ආහාර වශයෙන් මියන්, ගෙම්බන්, කටුස්සන්, වෙනත් සර්පයින් සහ බිත්තර මෙන්ම කුරුල්ලන්. ඇතැම් විට

ස්වජාති භක්ෂනය පෙන්වයි. තිත් පොළොඟුන් ගිල දැමු අවස්ථා කිහිපයක්ම වාර්තා වේ.

උග්‍ර විෂ සහිත සර්ප විශේෂයක් වන මොවුන හට ප්‍රොටෙරො‍ෙග්ලයිපස් (Proteroglyphous) වර්ගයේ විෂ

දළ පිහිටයි. විෂ ප්‍රධාන වශයෙන් ස්නායු පද්ධතිය (විශේෂයෙන් ස්වසන ක්‍රියාවලිය) සහ රුධිර පද්ධතිය

අඩපණ කිරීමට බලපායි.

ස්ථානීය රෝග ලක්ෂණ – දෂ්ඨ කරනු ලැබූ ස්ථානයේ අධික වේදනාව, දෘෂ්ඨිනය සිදුවූ ගාත්‍රය හෝ අවයවය

ඉදිමීම, දෂ්ඨ කළ ස්ථානයේ සිට පිටතට පටක මිය ගොස් කුණුවීම (Necrosis). ශාරීරික රෝග ලක්ෂණ –

ඇසිපිය කඩා වැටීම (ptosis) ආශ්වාස හා ප්‍රශ්වාස කිරීමට අපහසුව වමනයට ඒම සිහි නැතිවීම හා කම්පනය.

නිසි ප්‍රතිකාර ලබා නොදුනහොත් රෝගියා මරණයට පත්විය හැක. මොවුන් ඉතා ඉහළ කඳුකරයේ හැර

දිවයිනේ වෙනත් සියළු ප්‍රදේශවල පරිසර පද්ධති රැසක සුල බව හමුවේ. මිනිස් ජනාවාස, කුඹුරු සහ වෙනත්

වගාබිම් ආශ්‍රිතවද සුලබය.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන්

ජීවිතාවර්ජනය

විසි එක්වන සියවසේ ගෝලීකරණය වුණු සමාජයක අපි ජීවත් වුණත් තවමත් හණමිටි අදහස් දරන සමාජ තත්වයන් ගැන මහ ලොකුවට හිතන අනෙකාව හෙළා දකින මිනිසුන් කොට්ඨාසයක්. මම මෙහෙම කියන්නේ ඔයාලා ගොඩක් උනන්දුවෙන් කියවන “ජීවිතාවර්ජනය” ට මේක ගොඩක් ගැළපෙන නිසයි. මේ මම මීට සති කිහිපයකට උඩදී ලබපු අත්දැකීමක්. මගේ කිට්ටු මිතුරියකගේ සොහොයුරියක් ආදර සම්බන්ධයක් පටන් ගෙන. ඒ ගැන වැඩි විස්තර හොයාගෙන යනකොට මේ පිරිමි ළමයා මත්ද්‍රව්‍ය ගත්ත ඒත් මේ වෙනකොට ඒක අත්හැරපු කෙනෙක් විදියටයි දැනගන්න ලැබුණේ. මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් යාලුවගෙ ගෙදර අයට තිබුණෙ මේ ගැන ලොකු ප්‍රශ්නයක්. ඒක ඇත්තටම සාධාරණයි. ඒත් මට කියන්න ඕන වුනේ, මතට ඇබ්බැහි වී ඉන් මිදුණු කෙනෙකුට ජීවිතයක් නැද්ද? සමාජයේ පිළිගැනීමක් නැද්ද? හැමදාටම කුඩුකාරයා,බේබද්දා කියන ලේබලයම වදිනවද? ඇත්තටම තවමත් අපේ සමාජය ඔවුන්ව පිළිගන්න සූදානම් නැහැ. ඒත් බොහොම ආදරෙන් ආයාචනාවක් කරන්න කැමතියි. බාල, තරුණ, මහලු සියලු දෙනාටම මතට ඇබ්බැහි වී ඉන් මිදුණු අයට අනුකම්පා කරන්න. ඔවුන් සමාජයේ ම කොටසක් ලෙස ආදරයෙන් පිළිගන්න. ඔවුන් මතින් තොර විමට ගත් උත්සාහය අගයන්න. එසේ නැතහොත් නැවතත් ඔවුන් මතට ඇබ්බැහි වී මුළු මහත් සමාජයටම වෛර කරන මිනිසුන් කොට්ඨාසයක් වීම නියත යි. අද ජීවිතාවර්ජන යේ කතා නායකයා එරන්ද..

1. එරන්ද ඔයාගේ වයස කීයද? ගම කියන්න කැමති නම්

අවුරුදු 46යි. ගම ගම්පහ.

2. මොනවටද addict  වෙලා හිටියෙ?

මත්පැන් වලට

කොච්චර කල් ඉදලා ද? කොහොමද එක උනේ..

O/L ඉවර වෙලා results එනකං ඉන්න කොට තමයි ඉස්සෙල්ලාම බොන්න පටන් ගත්තේ. ඒ කියන්නේ අවුරුදු දාසයේ දී. මම ගියේ කොළඹ පාසලකට. ඒ කාලයේදී කොටුවෙ යාළුවෙක්ව අඳුනගන්න ලැබුණා. එයා සල්ලාල මිතුරෙක්. එයාට කොටුවෙ කඩයක් තිබුනා. එතන එයාටම කියලා කාමරේ කුත් තිබුනා. ඒ කාමරේ තමයි අපි දෙන්න එකතු වෙලා බොන්නේ. අපි දෙන්නා දවසකට බෝතලයක් බොනවා. එයා මාව යාලුවෙකුට අඳුන්වලා දෙනවා. ඒ  යාළුවා වයින් ස්ටෝස් අයිතිකාරයෙක්. ඉතින් එතනින් අපිට නිකං බෝතල් ලැබුණා. ඒත් ඒ කාලේ මං ඇඩික්ට් වෙලා හිටියෙ නැහැ. Results ආවට පස්සෙ මම

 A/L කරන්න ආයෙත් ඉස්කෝලෙ යන්න ගත්තා. සතියකට සැරයක් විතර යාලුවොත් එක්ක එකතු වෙලා බිවුවා. ජොබ් එකකුත් කරන්න පටන් ගත්තා. මම අවුරුදු 22 දී  විවාහ වුණා. අවුරුදු තුනකින් ඒ විවාහය දෙදරා ගියා. මේ සිදුවීමත් එක්ක මම ඇල්කොහොල් වලට ඇඩික් වුනා. දවස ගානේ බොන්න පටන් ගත්තා. මගේ අම්මා හැමවෙලේම කිව්වා හොද  මිනිහෙක් වෙන්න කියලා. අවුරුදු හතරකට පස්සේ මං ආයෙත් විවාහ වුණා. addiction එක එහෙමම තිබුණා. බොරු ප්‍රශ්න දාගෙන ගෙදරින් එළියට ගියා බොන්න. යාලුවෝ නැත්නම් තනියම හරි බිවුවා.

3. පුනරුත්ථාපනය වෙන්න තීරණය කළේ ඇයි? 

මට මාව control  නැති තත්ත්වයකට ආවා. ගෙදර අයට ගොඩක් කරදර කළා. මගෙ නංගි, wife මට පුනරුත්ථාපනය වෙන්න කියලා කිව්වා. මගේ ලොකු දුව ( අවුරුදු 13) මට කිව්වා තාත්ති මට දැන් ඔයාව එපා වේගෙන එන්නේ ඒ හින්දා පුනරුත්ථාපනය වෙන්න යන්න කියලා. ඇත්තටම ඒ නිසයි මම ගියේ.

4. මතින් තොර වෙන එක තනියම කරන්න පුලුවන්ද? 

තමන්ගේ අධිෂ්ඨානයයි කැපවීමයි අනිවාර්යෙන්ම තියෙන්න ඕන. පුනරුත්ථාපනය වෙනවා කියන එක ලේසි නැහැ. එතැනදි අපි හරියට විඳවනවා. තමන්ගේ කියන කවුරුත් නැහැ. දරුවො, පවුල, මගෙ නංගි, තාත්තා හරියට මට මතක් උනා. මං නිසා ඒ අය විඳපු දුක මතක් උනා. හෘද සාක්ෂිය කතා කරන්න ගත්තා. මෙතැනදි මතින් තොර වෙන එක විතරක්ම නෙමෙයි, අපි කොහොමද තමන්ව පාලනය කරගන්නේ, ඉවසීම පුරුදු වෙන්නේ කියන දේවල් අපිට කියලා දෙනවා. එතනදි කරන වැඩසටහන් අපේ ජීවිතේට හරි වැදගත්. ඒ වගේම කියන්න ඕනේ දෙවියන් බුදුන් ගෙන් මේ ගමන යන්න අපිට ලැබෙන ආශිර්වාදයත් හරිම වැදගත්.

5. මේ ඇබ්බැහි වීමත් එක්ක ඔයාට අහිමිවුණු දේවල් මොනවද?

මට මගේ අම්මව නැතිවුණා. එයා මං  ගැන ගොඩක් දුක්වුණා. ඒකත් එක්කම එයා අසනීප වෙලා අපි අතරින් සදහටම වෙන් වුනා. මට මාව නැති වුණා. මම අමනුස්සයෙක් ගානට වැටුනා. දරුවන්ට මාව එපා වුණා.  රැකියාව අහිමි වුණා. ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන්න වුනා.

6. අහිමි වුන දේවල් නැවත ලඟා කරගන්න ඔයා මොනවද කළේ?

පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිය අලුත හිතේ තිබුනෙම එතනින් පැනගන්න. ඒත් wife  මාව බලන්න ආවම කිව්වා, අපි හරි සැනසීමෙන් දැන් ගෙදර ඉන්නවා. ඔයා නැති උනත් අපි මෙච්චර කැපකිරීම් කරන හින්දා කොහොමහරි ඉන්න ඕන නියමිත කාලේ ඉඳලම එන්න කියලා කිව්වා. ඒ නිසා මං අවංකවම මතින් තොර වෙන්න කටයුතු කළා. මේ නිසා පවුලේ විශ්වාසය දිනාගන්න මට පුළුවන් වුණා.

7.එරන්ද ,ඔයා මතට ඇබ්බැහි වෙලා හිටපු කාලපරිච්ඡේදය තුළ ඔයාගෙන් අන් අයට වුණු අපහසුතා මොනවද?

ගොඩක් අපහසුතාවලට මුහුණ දුන්නා. හැමදාම ගෙදර ගිහින් රණ්ඩු වුණා. තාත්තත් එක්ක රණ්ඩු වුණා. තාත්තට ගැහුවා. දවසක් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා පිහිය අරගෙන වයිෆ්ට  අනින්නත් ගියා.ලොකු දුව තමයි බේරුවේ. දැන් ඒව මතක් වෙද්දිත් මට ඒ අය ගැන දුකක් වගේම මං ගැන  ලැජ්ජාවක් ඇති වෙනවා.

8. මත්පැන්,මත් ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද?

විහින් නාස්ති වෙන දෙයක් කියලයි හිතෙන්නේ. Social drinking වුණත් මං වගේ කෙනෙකුට ගැළපෙන් නැහැ.

9.ඔයා ලබපු අලුත් ජීවිතේ ගැන මොනවද හිතෙන්නේ?

මේ අලුත් ජීවිතේ නිසා ලොකු සැනසීමක් සතුටක් දැනෙනවා. මානසික නිදහසක් දැනෙනවා. චාටර් චරිතයක් වෙලා හිටපු මං ගැන මගේ දරුවෝ, බිරිඳ, නංගි, තාත්තා වගේම මගේ නෑදෑයොත් සතුටු වෙනවා. මං operations manager කෙනෙක් විදිහට ප්‍රධාන පෙළේ ආයතනයක රැකියාව කලා. ඇබ්බැහිවීම නිසා රැකියාව නැති වුනත්, මගේ අලුත් ජීවිතය නිසා නැවතත් මට එම ආයතනයේ ම රැකියාවක් ලැබුණා. ඉතින් මට මේ හැම දෙයක් ගැනම සතුටුයි.

10. තරුණ පරපුරට ඔයාට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? 

මත්පැන්, මත්ද්‍රව්‍ය කියන්නේ මහ බොරු දෙයක්, විහින් නාස්ති වෙන දෙයක්. ටිකවෙලාවකට මත් වෙලා ඉන්නවට වඩා හොඳ සිහියෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්.

                            ස්තුතියි

                       පියුමි සිල්වා

දරුවන්ට ෆෝන් දෙන්නද

දරුවන්ට ෆෝන් දෙන්නද ?එපාද ?

මේ දවස් වල නැවතත් ,දරුවන්ට මොබයිල් ෆෝන් අරන් දීම හොඳද නැද්ද කියල කථිකාව හැදිලා .

ඒකට ආසන්නතම හේතුව වුනේ , ෆෝන් එකක් සම්බන්ධ සිද්ධියක් නිසා තරුණ දරුවෙක් ජීවිතය නැති කරගෙන තිබීම .ඉතින් මේ මාසේ අපි ” අපි “එකේ ඒ ගැන කථා කරමු .

පුතාට අවුරුදු 15යි

එයා හැමදාම පන්තියේ පළවෙනියා,

ඉස්කෝලේ වැඩට අරන් දීපු ෆොන් එකෙන්, පාඩම් වැඩ නොකර ගේම් ගගහ ඉන්න නිසා මම ෆොන් එක ආපහු ගත්තා,

ෆොන් එක නොදීපු නිසා පුතා එල්ලිලා මැරිලා,

දැන් අපිට ළමයින්ට ෆොන් දීලත් බෑ නොදීත් බෑ..

මේ මැරිච්ච දරුවගෙ දෙමව්පියෝ කිව්වෙ එහෙමයි.

💊ජංගම දුරකථන ළමයින්ට දෙනකොට ඒ ගැන හොඳ සෝදිසියෙන් ඉන්න ඕනෙලු,

💊දරුවො විනාශ වෙන්නේ ෆොන් නිසාලු,

💊අපි පොඩි කාලෙ නම් ඔහොම නැහැ ලු

මේවා කියන්නෙ සමාජයේ සමහරු..

එක එක පැති වලින් බැලුවම ඔය ඔක්කොම දේවල් හරි ඇති, සාදාරණත් ඇති.

ඒත් එතනින් එහාට ප්‍රයෝගිකව විවුර්ත වෙලා බැලුවොත් තත්වේ ඊට වඩා වෙනස්.. 👇

ළමයෙක්, අවුරුදු 13 ක්‌ විතර පහුවෙලා teenage වයසට එනවා කියන්නෙ  ඇතුලෙන් පිටින් දෙකෙන්ම හැඟීම් දැනීම් හැසිරීම් වෙනස් වෙන්න පටන් ගන්න කාලෙ,

ඉලන්දාරි කම් ඉහට ගහලා කියලා අම්මලා තාත්තලා කෑ ගැහුවට ඒක එහෙම වෙන්නේ හෝමෝනවල වෙනස් වීම  නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.

ඉතින්, ඒ කාලෙදි එක එක පරිමාණයෙන් දරුවන්ගේ හැසිරීම වෙනස් වෙනවා, කථා බහ අඩු වෙනවා, නිශ්ශබ්ද වෙනවා, අළුත් තාක්ෂණය එක්ක ගැටීම රැඳීම වැඩි වෙනවා, විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වෙනවා.

ඔය කාලෙදි   දරුවෝ එක්ක ගණුදෙණු කරන්න ඕනෙ හැඟීම් වලින් නෙමෙයි බුද්ධියෙන්,

අපි නම් කලේ මෙහෙම නෙමෙයි, අපි තමයි හොඳටම කලේ..

ඒ කාලෙ අපි මෙහෙම නැහැ, ෆොන් එබුවේ නැහැ, ගේම් ගැහුවේ නැහැ, කුණුහරප බැලුවේ නැහැ, කාමර අස්සෙ රිංගන් හිටියෙ නැහැ කියලා චෝදනා කළාට ඇත්තටම ඒ කාලෙ උනෙ ඒක නෙමෙයි,

ඒ කාලෙ ෆොන් tab, lap ඕවා තිබ්බේ නැහැ,

ඒ කාලෙ හැටියට තිබ්බ ලොකුම නසාරානි වැඩ තමයි, ගස් නගිනවා, ගෙඩි කඩනවා, ගඟේ පීනනවා, ෆිල්ම් හෝල් වලට රිංගනවා, හන්දි, බෝක්කු ගානේ රස්තියාදු ගහනවා..

ඉතින් ඕවා තමයි ඒ කාලෙ තිබ්බ නසරානිම වැඩ, ෆොන් එබුවේ නැති උනාට ගේම් නොගහුවට නිල් පාට ඒවා නොබැලුවට කාලෙට අනුව තිබ්බ ඔක්කොම කොලු කම් අඩු නැතුව කරල අම්මලාගෙන් ගුටී කාලා තෙම්පරාදු වෙලා රස්තියාදු ගහල අද දෙමව්පියෝ බවට පත් වුනාම දරුවන්ගේ තරුණ සෙල්ලක්කාරකම් එක්ක ගණුදෙනු කරද්දී  ඒ කාලෙ අපි මෙහෙමයි ඇරෙහෙමයි කියලා එදා අද එක්ක සංසන්දනය කරන එක කොහොමත්  සාදාරණ  නැහැ,

සියල්ල තාක්ෂණික මෙවලම් අතර රැඳීච්ච රොබෝවරුන්ගේ යුගයක දරුවො හදලා, ඒ දරුවෝ සිරිමත්ලා වගේ යහපත්ව කොන්ඩේ තෙල් ගාල පීරලා විනීත, සුසිල්වත්,ඉතා කීකරු,ඉස්කෝලේ වැඩ විතරක්ම කරන අර බලන්න නයනා අමර සල් ගස යට කියලා සල් මල් නෙලන දරුවෝ වෙයි කියලා හිතනවානම් ඉතින්,ඒක ලොකු විහිළුවක්.

කාලයේ තාලෙට ලෝකෙ වෙනස් වෙනකොට තමන්ගේ ළමයි විතරක් වෙනස් නොවී ඉඳියි කියලා හිතන එක දෙමව්පියන්ගේ අඩුපාඩුවක්,

තරුණ දරුවෝ ෆොන් පාවිච්චිය, ගේම් ගහන එක, අන්තර්ජාලයට රිංගන එක මේ කාලෙ අහස පොළව නුහුලන පට්ට අපරාධයක් නෙමෙයි,

දරුවෝ එක්ක හොඳින් කතාකරලා, තේරුම් කරල දීලා ඒවාට සීමාවක් දාන්න බලන එක වෙනස්,

හැබැයි බකස් ගාල එකපාරටම ඒවා 

නවත්තල දාලා දෙමව්පියෝ, දෙමව්පියන්ගේ බලය පෙන්නන්න ගියාම වෙන්නේ, දරුවෝ තමන්ගේ මුරණ්ඩුකම් වල උපරිමයටම යන එක විතරයි.

කාළයත් එක්ක හැමදේම වෙනස් වෙනවා වගේ,අපේ දෙමව්පියෝ දරුවෝ එක්ක ගණුදෙනු කරන විදිහෙත් වෙනසක් ඇති වෙන්න ඕනෙ,

එහෙම නොවී  තාක්ෂණයට බැනලා මෙවලම් වලට සීමා දාලා නම් මේ වගේ සිද්ධි වෙන එක නවත්තන්න බැහැ.

අලුතෙන් ජීවිතේට පය ගහපු තරුණ ළමයින්ට වඩා, ඒ යුගය පහු කරන් ගිය දෙමව්පියෝ මීට වඩා ඉවසීම, තේරුම් ගැනීම, ප්‍රගුණ කරල ප්‍රයෝගිකව යතාර්ථවාදීව දරුවෝ දිහා බලන්න ඕනෙ,

අන්තිමට හැමදේටම වැරදි දෙමව්පියෝද කියලා කෙනෙක් ඇහුවොත්, උත්තරය ඔව්, දරුවෝ හදනවා කියන්නෙ සියළු වගකීම් බාරගෙන බැනුම් අහන්න ලෑස්ති වෙලා කරන්න ඕන වැඩක්,

හොඳ හෝ නරක දරුවො වැඩිහිටියෝ වෙනකම් දෙමව්පියෝ වග කියන්න ඕනෙ තමයි.

අනිශා ජයකොඩි ✍️

– ගෙදර ආදරේ –

▪️උදේට තේ හදන අම්මා 

මොන මලකරදරයක්ද මේක.. කොච්චර කළත් හොඳක් නෑ..

▫️උදේට තේ හදපු අම්මා 

පුතේ මේ තේ එක තාත්තට ගිහින් දීපන්..අනිත් අයත් එන්න තේ බොන්න..හා හා නැගිටපල්ලා කුම්බ්කර්ණයෝ ටික..

▪️උදේට උයන අම්මා

 උයනවා උයනවා තුන්සිය හැටපස් දවසෙම උයනවා. පොල් ටිකක් ගාලා දෙන්න එකෙක් නෑ..

▫️උදේට උයපු අම්මා

පොඩි පුතා..මාළු බැදලා වෙනම දැම්මා. බලාගෙන කන්න කටු හිර කරගන්නේ නැතුව.. ඒයි ඔයාගේ කෑම දෙකම බෑග් එකට දැම්මා. කෙසෙල් ගෙඩි වෙනම පෙට්ටියක දැම්මා.

▪️උදේට ගෙදරින් එළියට යද්දි අම්මා

▫️අද නම් ලොකූ උඹ රෑ වුණොත් අඬු කඩනවා. වරෙන්කෝ බලන්න රෑ වෙලා..

▪️රෑට අම්මා

හලෝ…හලෝ…ලොකූ දැන් දොලහත් පහුවෙලා. තාත්තට තරහ ගිහින් ඉන්නේ. මම කුස්සිය පැත්තේ දොර ඇරලා තියෙන්නෙ එහෙන් වරෙං.

▪️මේ සෙනසුරාදා අම්මා 

උඹලා රට වටේ රෝන්දෙ ගහපල්ලා. චිත්‍රපටියක් බලපු කාලයක් මතක නෑ.. මං මේ ගෙදරටම හිරවෙලා.

▫️ඊලඟ සෙනසුරාදාට අම්මා

අනේ මේ මට බෑ ඔය හෝල් ගානේ යන්න. මම ගියොත් මේ වැඩ කරන්නේ කවුද? තොපිලගෙ රෙදි හෝදන්නේ මොකාද? යන දේවාලෙක උඹලා පලයල්ලා.

▪️අපට අනතුරක් වුණ විගස අම්මා 

හරියට හරි..මම කිව්වා ඔය ටික වෙයි කියලා. උඹ ඇහුවද? හොඳ වැඩේ උඹට. ඔහොම වෙලා මදි තොට.

▫️ඊට විනාඩි දෙකකට පසු අම්මා 

කෝ බලන්න මෙහෙට එනවා. අම්මෝ ගොඩක් ලේ එනවනේ පුතේ. අයියෝ මම මේ අත පය කොච්චර පරිස්සමෙන්ද හැදුවේ පුතේ.. නාඩා ඉඳින් මම බෙහෙත් ඩිංඟක් අරන් එනකම්. 

▪️පෝය දවසට පෙරදා අම්මා

හෙට උදෙන්ම මම සිල් ගන්න යනවා. හෙට ඉතින් කෑම කඩෙන් තමයි. මගේ අගේ තෙරේවි උඹලට..

▫️පෝය දවසේ අම්මා 

කොහේ යන්නද සිල් ගන්න? උඹලයි උඹලගේ අප්පොච්චි බඩගින්නේ තියලා මට ඇහැකිද බොලව් සිල් ගන්න ? කියන බණ පදයක්වත් ඔළුවට යයිද? මං අන්න අර ඉඳි ආප්පයි, කොච්චි දාලා පොල් සම්බෝලයි, කිරි හොද්දකුයි හැදුවා. කන්න ඔක්කොම එක්ක. හැබැයි මස් මාංශ නෑ අද.

▪️රෑට උයන අම්මා 

තවම උයලා නෑ. මහත්තුරු ටික ඇඟ හෝදලා ලෑස්ති වෙලා එන්නකෝ. ආවා මෙතන හට්ටියට එබෙන්න..රෑට කන්න ඕන පොඩ්ඩයි. හිඟන්නෙක් වගේ හිඟන්නෙක් වගේ කන්න කියලා තියෙන්නේ.

▫️රෑට උයපු අම්මා 

හිටපන් තාත්තට බෙදනකම් මුලින්ම..ඔය පොඩ්ඩ කාලා ඇතිද මයෙ පුතේ? බෙදා ගනින් තව. හොඳට කාපන්. උදේට දවල්ට හරියට කන්නෙත් නෑ. ආ මෙන්න මේ බත් හැන්ඳත් දා ගනින්.

උඹලා නිදා ගනිල්ලා..හා..හා.. තුණුරුවන් සරණයි මගේ පැටව්නේ හෙට උදේම වැඩටත් යන්න තියෙනවනේ..මම දොරවල් වහලා නිදාගන්නම්.

චරියාගේ පන්හිඳ 

Charith Wijemanna

අප්පච්චි… 

චිතකයේ ගිනිදළු නැගෙයි. මම ඒ දෙස බලාගෙන උන්නෙමි. මෙතෙක් වෙලා පැහැබරව තිබුනු අහසින් එකවරම පතිත වූයේ වර්ශාවකි. එයද තප්පර ගානකි. 

‘මල් වැස්සක්… හොඳ ආත්මයක් ලබලා ඇති.. 

ඇතැමෙක් එසේ කියද්දී….

‘මෙච්චර කල් නාකපන වැහි වැටුනා. අද උදේ ඉදන් හොඳට පායනවා. ජීවත් වෙලා ඉන්න කාලෙ මහත්තයා නරකයි කියලා දෙයක් කලේ නෑ….

ඒ තවත් කෙනෙකි.. වටින් විටින් මෙවැනි කතා ඇහෙද්දී අප්පච්චිගේ චිතකයේ හෝ ගා දැවී යයි. සිරුරේ පණ ගිලිහී නොයන්නේ හිතේ හයියට වග මා දනිමි. අප්පච්චීගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර මේ වෙද්දී දැවී අළු වී යන වග සිතද්දීත් මගේ දෑස් වලින් ගලන කඳුලු වලට වඩා හිත හයියෙන් හඬයි.

‘අප්පච්චී, ආයෙත් එන්න.. තව අවුරුදු පහක් ජීවත් වෙන්න… 

මගේ හිත කෑගහයි. ඒත්, යලිත් නොඑන බව කියමින් සුසානභූමියේ දුම් රොටු අහසට නැගෙයි. මම අම්මා දෙස බැලුවෙමි. ගෙවුනු දෙමසක් පුරාවටම ඇය අප්පච්චී වෙනුවෙන් කල කැපකිරීම් වල මහන්සියත් අප්පච්චී අහිමි වීමේ වේදනාවත් නිසා ඒ මුහුණේ ඇත්තේ වචනයෙන් විස්තර කල නොහැකි වේදනාවකි. 

‘ මම දැන් තනි වුනා පුතේ.. අප්පච්චී මමයි ඔයාව බලන්න එන්න හිටියේ..’

අම්මා තවත් මොනවාදෝ කියද්දී මම එහෙමම සුසානභූමියේ ගල් පඩියක වාඩි වූයෙමි. මළගමට පැමිනි මිනිසුන් එකා දෙන්නා නික්ම යද්දී සමීපතමයින් පමනක් අප අසලම රැදුනි. 

‘දුව.. කොච්චර හිතුවත් අප්පච්චි ආයෙත් එන්නෙ නෑ. මේ එයා ගෙනාව ආයුශ. දැන් අම්මව බලන්න.. 

‘අප්පච්චි බේරගන්න ඔයාලා හැමදේම කලා ඒත් දැන් මොනවා කරන්නද?

නෑදෑයින් මා අසලට පැමින විවිධ දේ පවසන්නේ හිත හදන්නට වූවත් ඒ වචනත් මට මහා වදයකි. අප්පච්චී නැතිව යලිත් නිවසට යෑම මට මහත් වදයකි. ඔලුව හැරුනු අතේ යන්නට සිතුනත් අම්මා තනි කරන්නට හිත් නොදෙයි. 

‘අප්පච්චී, හැම ආත්මෙකම මගේ අප්පච්චි වෙන්න.මේ ආත්මෙට ඔය විදියට ගියාට ආයෙත් නම් එහෙම වෙන්න එපා.. 

සිය දහස් දස දහස් වෙනි වතාවටත් එසේ සිතූ මම වාඩි වී සිටි ගල් පඩියෙන් නැගිට්ටෙමි. දැන් නම් පෙර මෙන් අහස් කුස පුරා දුමක් නැත. එනම්, අප්පච්චීගෙ නිසල වූ සිරුර දැවී අවසානය… 

අප්පච්චී හිටපු උසස් පොලිස් නිලධාරියෙකි. ගෙවුනු වසරේ විශ්‍රාමදිවියට පත්වෙද්දී මා තරම් සතුටු වූ කෙනෙක් තවත් නොවීය. ඒ අම්මාත් අප්පච්චීත් එංගලන්තයට ගෙන්වා ගැනීමට හැකි නිසාය. 

‘මම ඉස්සර රග්බි වලට ඉන්ග්ලන්ඩ් ආවා.. දැන් එහේ ගොඩක් වෙනස් වෙලා ඇති නේද පුතේ?

‘අප්පච්චිම ඇවිත් බලන්නකෝ. මේ පාර ආවම මාස හයම ඉදලා යමු. අවුරුදු කීයක් බලාගෙන හිටියද මම ඔයාල දෙන්නා එනකම්… 

‘හ්ම්ම්.. පාස්පෝට් අළුත් කරන්න දීපිකා නංගි ෆෝම්ස් එව්වා. ඒවා ඉක්මනට යවන්නම් මම.. 

අප්පච්චිත් මාත් අතර වූ අවසාන සංවාදය එයයි. ඉන් දෙදිනකට පසුව මට ඇමතුමක් ආවේ මගේ එකම සහෝඳරයාගෙනි. 

‘අක්කේ අප්පච්චී ඇවිදිනකොට බැලන්ස් නෑ. එයා එහෙමම වාඩි වුනා දැන් නැගිටින්න බෑ.. 

එදා මගේ මුලු වතම දහඳියෙන් තෙමී යන්නට විය. 

‘මේ දැන්ම අප්පච්චිව හොස්පිට්ල් අරන් යන්න මල්ලි.. බලාගෙන ඉන්න එපා.

‘තෙල් නෑ අක්කේ.. කමක් නෑ මම කොහොම හරි තෙල් හොයාගෙන යන්නම්… 

සියල්ල ඇරඹුනේ එලෙසිනි. අප්පච්චී රෝහලේ නතර කර දෙදිනකින් අංශබාග රෝගියෙකු වූයේය. වෛද්‍යවරුන් පැවසුවේ අප්පච්චීගේ හදවත වැඩ කරන්නේ සියයට විස්සක් බවය. ගහක් ගලක් මෙන් ජීවත් වුනු අප්පච්චී ඇඳක වැටෙනවා බලන් ඉන්නට බැරිය. ඉතින් මම ලංකාවට ආවෙමි. 

එතැන් පටන් මාත් අම්මාත් මුණගැසිය හැකි සෑම වෛද්‍යවරයෙකුම මුණගැසුනෙමු. ඇතැම් වෛද්‍යවරුන් එක වරම අප්පච්චී සිටින තවත්වයත් සමඟ ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කල අතර තවත් වෛද්‍යවරුන් අප්පච්චී වෙනුවෙන් කැපවන්නට විය. කොළඹ මහ රෝහලත්, පොලිස් රෝහලේ සිටි වෙඳ හෙඳ කාර්ය මණ්ඩලය අප්පච්චී වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන්නට විය. විටෙක සුව අතට හැරෙන ඔහු තවත් විටෙක සම්පූර්ණයෙන්ම දුර්වල විය. ශරීරයේ වෙනස්කම් සමඟ අප්පච්චී හිටිය ප්‍රමාණයෙන් භාගයක් වෙද්දී මාත් අම්මාත් අප වටා සිටි අප්පච්චීට ආදරය කල හැමදෙනාමත් නොපෙනෙන දෙවියන් යැද්දේ අප්පච්චීගේ ජීවිතය ඉල්ලමිනි. 

‘දැන් නම් මහත්තයට අමාරුයි… බෙහෙත් නිසයි මෙහෙම හරි ඉන්නේ…. 

දෙමසක් ගෙවී යද්දී ඒ වචන පිට වූයේ වෛද්‍යවරුන්ගේ මුවෙනි.ඒ වචන අසා දෙදිනක් ගත වෙද්දී අප්පච්චී මෙලොව හැර ගියේ අගෝස්තු පලමු වනදා සවස් යාමයේදීය. එනම් අදින් දින හතකට පමන පෙරය. 

සිදු වූ සියල්ලම මට තවමත් සිහිනයකි. අප්පච්චී නැති නිවස පාලු කාන්තරයක් මෙනි. හිත හදන්නට වචන දහසක් ඇසුනත් ඒ දුක මා ජීවත් වන තුරාවට නිම නොවන්නේ මගෙත් අප්පච්චීගේත් උපන්දින යෙදෙන්නේ එකම දිනයට බැවිනි. 

‘සුභ උපන්දිනයක් මගේ පුතේ.. 

‘එසේම වේවා අප්පච්චී… 

යලිත් ඒ සුභ පැතුම මට නොඑන වග සිහි වද්දීත් හිත හදාගැනීම පෙනෙන මානයකවත් නැත. 

‘දුව බහින්න… ගෙදරට ආවා… 

අප්පච්චීගේ සහෝඳරයෙකු එසේ කියද්දී මම පියවි සිහියට ආවෙමි. අප්පච්චී නැති නිවස දෙස මම තත්පර කීපයක් බලාගෙන උන්නෙමි. වාහනයෙන් බැස්සේ ඉන් අනතුරුවමය. නිවසට ගොඩ වෙද්දී මල් මාලයක් දැමූ අප්පච්චීගේ ඡායාරූපයකි. පසෙකින් ඔහු සේවා කාලයේදී ලබා ගත් පදක්කම් සහිත පෙට්ටියකි. 

අප්පච්චීගේ ඡායාරූපයත් පදක්කම් සහිත පෙට්ටියත් මම දෑතට ගත්තෙමි. ඊටත් විනාඩි ගානකට පසුව මම ඒ දෙකම මා ගෙන ආ ගමන් මල්ලේ සඟවා ගත්තෙමි. 

දින විසි තුනකට පසුව….

සියලු දානමාන කටයුතු වලින් අනතුරුව යලිත් මම එංගලන්තයට ආවෙමි. අප්පච්චී මා එක්ක නාවට ඔහු අවසන් වතාවට පාවිච්චි කල බොහෝ දේ මා රැගෙන ආවෙමි. පදක්කම් පෙට්ටිය, පොලිස් තොප්පිය, අප්පච්චීගේ චායාරූප මෙන්ම ඔහු කියවූ නවකතා පොත්ද ඒ අතර විය. අප්පච්චී මතක් වන සෑම මොහොතකම මම ඔහුගේ පින්තූරය දෙස බලාගෙන හිදිමි. මේ ලියන මොහොතේදීත් ඔහුගේ රූපය මෙන්ම පදක්කම් පෙට්ටියද පෙනෙන මානයේය.

මැරුනු මිනිසුන් වෙනුවෙන් මැරුනු මිනිස්සු හිඟය. එහෙත් මැරුනු මිනිසුන් නිසා මැරි මැරී ඉපදෙන මිනිසුන් බොහෝය. ඊට හොඳම උදාහරණය මාය.. මගේ අම්මාය… අප්පච්චීට ආදරය කල සැමය… 

සමාප්‍තයි. 
තක්ෂිලා ඒකනායක.

අනිවාර්යයෙන්ම ඉදිරියේදී මාව දකින්න පුලුවන් ගුවන් නියමුවෙක් හැටියට තමයි

කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ, පරෙවි රැජිනියේ එදා වගෙ අදත්,

ඔබට තවම මම ආදරෙයි…

ඔබට තවම මම ආදරෙයි…

ඔබට තවම මම ආදරෙයි….

දශක දෙකකට අධික කාලයක් පුරා ගීත 800 කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් රසික සිත් සුවපත් කල සොදුරු ගායක මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ලේ උරුමය ලබමින්, සුමදුර හඬ පෞර්ෂය සහ ගායන හැකියාව උප්පත්තියෙන්ම දයාද වු මල්ලවාරච්චි පරම්පරාවේ වර්තමාන පුරුක ගායක, ගුවන් නියමුවා පවන් මල්ලවආරච්චිගේ නම් වු ඒ නිහතමානී සොදුරු හිතවතාගේ වතගොත දැනගන්න මෙතෙන් පටන් අපිත් සමග එකතු වන්නටයි ඔබට ඇරයුම….

🔹පවන්ගේ ළමා කාලය ගෙවුනේ කොහොමද?

මම ඉපදුනේ කොළඹ නවලෝක රෝහලේ. අම්මායි, තාත්තායි, නංගියි, මගේ අම්මගේ අම්මායි අපේ ගෙදර හිටියේ. අපි ජිවත් වුනේ බොරැලැස්ගමුව කියන ප්‍රදේශයේ. පොඩිකාලේ ඉදලාම මගේ පවුල එක්ක තමයි මම ගොඩාක් කාලය ගත කලේ.

මම පාසැල ගියේ කොලඹ Royal Institute එකට. ඒත් මට වැඩි කාලයක් ලංකාවේ පාසැල් යන්න ලැබුනේ නැ. මට වයස අවුරුදු 7 ක් වගේ වෙනකොට අපි ඔස්ට්‍රේලියාවට පදිංචියට ආවා.

මම ඔස්ට්‍රේලියාවේ Berwick Grammar පාසැලේ

සාමාන්‍ය විෂය නිර්දේශය ඉගෙන ගත්තා. ඉන්පසු ගුවන් සේවා පාඨමාලාව හැදැරීමට අවශ්‍ය විෂයන් තෝර ගෙන කලා.

🔹ගුවන් නියමුවෙකුවිමට කුඩා කාලයේදී ඉදලා හීනයක් තිබුනාද? ඒ හීනයට ගිය ගමන ගැන අපට විස්තර කියන්න පුලුවන්ද?

2004 වසරේ දි වගේ මම තාත්තයි, අම්මයි එකක් මගේ ආච්චිව බලලා යන්න ඔස්ට්‍රේලියාවට ආවා. ඒක තමයි මගෙ පලවෙනි ගුවන් ගමන. එතකොට මට වයස අවුරුදු 5 ක් වගේ ඇති. මට ඒක අලුත් අත්දැකීමක් වුනා. එදා ඉදලා මගේ හිතේ හීනයක් හැදුනා කවදාහරි ගුවන් නියමුවෙක් වෙන්න ඕනේ කියලා.

ඒ වගේම මගේ මහප්පා, අම්මගේ අක්කගේ මහත්තයා ජාත්‍යන්තර ගුවන් සමාගමක ගුවන් නියමුවෙක්. මහප්පාලාගේ ගෙදර පොඩි Module ගුවන් යානා තියනවා. මහප්පා නිල ඇදුම ඇදගෙන යනවා මම දැකලා තියනවා. ඒකත් මට ලොකු බලපැමක් වුනා කියලා මම හිතනවා.

ඔස්ට්‍රේලියාවට ආවාට පස්සේ මගේ හීනය සැබැ කර ගන්න මට අවස්ථාව ලැබුනා. 2018 දි මම ගුවන් සේවා පාඨමාලාව හැදැරීම සදහා විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා.

පුහුණු කාලයේදී මගේ පලමුවෙනි ගුවන් ගමන ගියේ උපදේශකයෙක් එක්ක. ඊට පස්සේ තනියම පියාසර කරන්න අවස්ථාව ලැබුනා. තනියම පියාසර කරද්දී ලැබුනු අත්දැකීම තාමත් මට හිතා ගන්න බැ. ඒ හැගීම මට වචනවලින් කියන්නත් අමාරුයි.

දැන් මගේ පුහුණු කාලයෙන් 85% ක් විතර ඉවරයි.

මම දැනට පියාසර කරන්නේ Cessna 172 ගුවන් යානය. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 7 න් මම මේ වෙනකොට ප්‍රාන්ත 4 ක් විතර තනියම පියාසර කරලා තියනවා.

2021 වසරේ මුල් කාලයේදි මගේ පාඨමාලාව නිමා කරන්න තිබුනත් පහුගිය අවුරුදු කීපයේ COVID 19 වසංගත නිසා පුහුණුවිම සැලසුම් කල විදියට කර ගන්න බැරි වුනා. තව මාස දෙකකින් විතර මගේ “Commercial Pilot License” එක ලැබෙනවා. තව ශ්‍රේණිගත

කිරීම් කිපයකට පසුව ගුවන් නියමුවෙක් වශයෙන් සුදුසුකම් ලබන්න මට හැකියාව ලැබෙනවා.

මගේ හීනය සැබැ කර ගෙන ගුවන් නියමුවෙක් වෙන්න ලැබිම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. ලෝකයේ පිලිගත් ගුවන් සමාගමක් සමග සම්බන්ධ වි වැඩ කිරිම මගේ අවසාන ඉලක්කයයි.

🔹අධ්‍යාපන කටයුතු සදහා පවුලේ අයගෙන් ලැබුනු සහයෝගය කොහොමද?

මම මගේ හීනය ගැන අම්මටයි තාත්තටයි මුලින්ම කිවුවාම ඒ දෙන්නා ගොඩක් සතුටු වුනා. අම්මයි තාත්තයි කිවෙ ඔයාට හොදයි හිතන දේ, ඔයා කැමති දේ කරන්න කියලා.

තාත්තට ලොකු ආසාවක් තියනවා මේ විෂය ගැන. මම ගුවන් ගමනක් ගියාම තාත්තා මට කතා කරලා බලනවා, විස්තර අහනවා කොහෙද ගියේ මොනවාද වුනේ කියලා. සමහර වෙලාවට මටත් වඩා උනන්දුවක් තාත්තාට තියනවා කියලා මට හිතෙනවා. මම තාත්තාට ගොඩාක් ගරු කරනවා. තාත්තව යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න ලැබිම මගේ ජිවිතයට ගොඩක් වටිනවා.

අම්මයි තාත්තියි අපිව අධ්‍යාපන කටයුතුවලට ගොඩක් උනන්දු කලා. අපි ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආපු එක අපේ හීනවලට යන්න ලොකු උදව්වක් උනා. මගේ නංගිත් 2024 වසරේදී විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් වෙනවා. තාත්තාගෙයි අම්මගෙයි බලාපොරොත්තු අපි ඉටු කලා කියලා හිතෙනවා.

🔹තමන්ගේම පුතනුවන් ගුවන් නියමුවා වශයෙන් පියාසර කරන ගුවන්‍ යානයක සංචාරයක් යන්න ලැබිම් ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. තාත්තා එක්ක මෙල්බන් නගරයේ ගුවනින් සැරිසැරුවා නේද?

තාත්තට ආසයි කිවා මෙල්බන් නගරය සහ මුහුදුබඩ පලාත බලන්න. මේ අවුරුද්දේ මුලදි මම තාත්තව මෙල්බන් නගරය වටේ පැය එකහාමරක විතර ගුවන් ගමනක් එක්කන් ගියා. ගුවන්ගත වුනාට පස්සේ ගුවන්යානාව ක්‍රියාත්මක වෙන හැටි ගැන පොඩි විස්තරයක් මම තාත්තට කියලා දුන්නා. ඒ වගේම මගේ ආච්චිව මේ අවුරුදේ මැද වගේ එක්කන් ගියා. දැන් අම්මවයි නංගීව තමයි එක්කන් යන්න තියෙන්නේ.

🔹මිල්ටන් මල්ලවාරච්චි සහ රනිල් මල්ලවාරච්චි වැනි විශිෂ්ට ගායක දෙපලකගේ ඇසුර ලැබීම ගැන ඔබ මොනවද හිතන්නේ?

මම පොඩිකාලේ ඇත්තටම දැනගෙන හිටියෙ නැ අපේ සීයා ගායකයෙක් කියලා මොකද මට සියාව හම්බවෙලා නැ. සියා 1998 මාර්තු මාසයේ දි ජිවිතයෙන් සමු ගන්නවා. මම ඉපදෙන්නේ ඊට අවුරුද්දක විතර කාලයකට පස්සේ.

අපි දැක්කේ තාත්තා ගීත ගායනා කරනවා. මට අවුරුදු 5 ක් 6 ක් වගේ වෙනකොට තමයි මම දැනගත්තේ සීයාත් ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් කියලා. සීයා 1968 වසර වගේ ඉදලා ගීත ගායනා කරලා තියනවා. සීයාගේ අභාවයෙන් පස්සේ අපේ තාත්තා දැනට අවුරුදු 30 ක විතර කාලයක් සියාගේ ගීත රැකගෙන ඉදිරියට ගෙනියනවා. තවමත් සීයා අදුරන අය, සීයගේ රසික රසිකාවියෝ සීයාව ගැන මතක් කරලා අගය කරනවා.

මම හිතනවා මේ දෙදෙනාම සංගීත ක්ශේත්‍රයට දැවැන්ත සේවාවක් කරලා තියනවා කියලා.

තාත්තා මුලින්ම ගායනා කලේ තාත්තාගේම නිර්මාණ. සීයා නැති වුනාට පස්සේ තමයි තාත්තා සියාගේ ගීත ගායනා කරන්න පටන්ගෙන තියෙන්නේ.

පොඩිකාලේ මට විවේක කාලයක් ලැබුනාම තාත්තා එක්ක ගොඩක් ප්‍රසංගවලට ගිහින් තියනවා. මට ගොඩක් පොඩිකාලේ ඉදලාම ප්‍රියා සූරියසේන මාමා, වික්ටර් රත්නායක මාමා වගේ ප්‍රවීනයන් ඇසුරු කරන්න ලැබිලා තියනවා.

🔹පවන් සංගිතට යොමුවුනේ කොහොමද?

මට වයස අවුරුදු 7 දී වගේ පාසැලේ ගීතිකා කණ්ඩායමට සම්බන්ධ වෙන්න ලැබුනා. මට ගීත ගායනා කිරිමේ හැකියාවක් තියනවා කියලා ගීතිකා කණ්ඩායමේ ගුරුවරිය හදුනා ගෙන සමහර ගීත මුලිකත්වය අරගෙන ගායනා කරන්න අවස්ථාව දුන්නා.

මමයි, මගේ ඔස්ට්‍රේලියානු ජාතික යාලුවෝ 4 දෙනෙකුයි එකතු වෙලා සංගිත කණ්ඩායමක් හැදුවා. මම ගොඩක් දුරට ඉංග්‍රීසි ගීත තමයි ගායනා කලේ. ඒත් මම පොඩිකාලේ ඉදලාම පරණ සිංහල ගීත නිතරම අහනවා.

මම Australia Music Examination Board (AMEB) එක සමග සම්බන්ධ වෙලා හඩ පුහුණුවිම කලා. ඒ වගේම Guitar, Piano වාදනය කරන්න තනියම ඉගෙන ගත්තා.

🔹 මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීත රසික රසිකාවියන්ට අහන්න නව මුහුණුවරකින් ඉදිරිපත් කිරිමට අදහසක් තියෙනවාද?

සීයගේ ගීත 800 ක් විතර තියනවා. මගේ අදහසක් තියනවා වැඩිය ඇහෙන් නැති ගීත කිපයක් තෝරාගෙන චන්දිම ජයතිලක අයියා සහ Zigma සංගිත කණ්ඩායම සමග එකතු වෙලා remix කරන්න.

මගේ Facebook පිටුවෙන් සහ Youtube චැනලය තුලින් මෙම නිර්මාණ හැමෝටම බලා ගන්න පුලුවන්. ඒක තමයි සංගිතය පැත්තෙන් මේ අවුරුද්දෙ කරන්න මම අදහස් කරගෙන ඉන්නේ.

🔹පවන්ට ජිවිතය දැනෙන්නේ කොහොමද? පවන් මොනවගේ කෙනෙක්ද?

ජිවිතය කියන්නේ ගමනකට, ගමනාන්තයකට නෙවෙයි. මම හිතන්නේ ජීවිතයට කාලරාමුවක් නැ. ජිවිතය කියන්නේ කාලයෙන් කාලයට සමාජය විසින් නිර්මාණය කරපු අරමුණු කරා යෑම නෙවෙයි.

Covid 19 වැනි වසංගත නිසා හැමෝගෙම ජිවිත කොච්චර වෙනස් වුනාද කියලා අපිට දකින්නට ලැබුනා. අපිට ගෙවල් ඇතුලෙම ඉන්න වුනා අවුරුදු දෙකකට කිට්ටු වෙන්න. ඉතින් ජිවිතේට එන දේට මුහුණ දෙන්න ඕනේ, එතකොට තමයි ලොකු ගමනක් යන්න පුලුවන්.

මම හරිම නිදහසේ, විනෝදෙන් ඉන්න කැමතියි. මම ඕනෙම කෙනෙක් එක්ක ඉන්න පුලුවන් චරිතයක්. මාව ලගින් ආශ්‍රය කරන මගේ ලගින් ඉන්න පිරිස ඒක හොදින්ම දන්නවා. පවුලේ එකිනෙකා අතර සහ හිතවතුන් අතර සම්බන්ධතායන් හොදින් පවත්වාගෙන යාම මගේ ජිවිතයට ගොඩක් වැදගත් වෙනවා.

🔹 එදා රෑ… ගුවන් තොටුපලේදී මා… වෙන් වී ගියේ… සිතකින් නොවේ…

පවන් ගුවන් නියමුවෙක් නිසා මේ ගීතය මතක් කරලාම මෙහෙම අහන්න හිතුනා, පවන් ආදරවන්තයෙක්ද? ආදරය ගැන මොනවද හිතන්නේ?

ආදරය කියන දේ විග්‍රහ කරන්න නම් හරිම අමාරු දෙයක්. තේරුම් ගැනීම, විශ්වාසය, ගරු කිරිම මේ ඔක්කොම එකතු වුනාම තමයි ආදරය ‍රදා පවතින්නේ. පොඩි පොඩි අතපසුවීම් සිදුවිම මනුස්ස ස්වභාවය නිසා දෙදෙනාම අවබෝධයෙන් කටයුතු කිරිම ඉතාම වැදගත් වෙනවා.

මම දැන් පෙම්වතෙක්. එයත් ලංකාවේ පදිංචි වෙලා ඉදලා තියෙන්නේ බොරැලැස්ගමුවේ අපේ ගෙවල් කිට්ටුවමයි. ඒත් මම එයාව කලින් දැනගෙන හිටියේ නැ. මට එයාව මුණගැහුනේ සමාජ මාධ්‍යය ඔස්සේ. දැන් එයාගේ පදිංචිය කැනඩාවේ. එයා නීතී උපාධිය අවසන් කරලා කැනඩා රජයට ආදාලා කාර්යාලයක දැනට සේවය කරනවා.

🔹පවන්ට කඩවසම් පෙනුමක් තියන නිසා රංගනයට ආරාධනා ලැබිලා තියනවා ද?

මට රංගනට ගොඩක් ආරාධනා ලැබිලා තියනවා. රංගනය මට ලොකුවට පිහිටලා නැ. දෙයක් කරනවා නම් හරියට කරන්න ඕනේ කියලා මම හිතනවා. මට ගැලපෙන චරිතයක් ලැබුනොත් මම ඒ ගැන හිතලා බලනවා.

🔹 සෞඛ්‍යමත් ජීවන රටාවක් පවත්වාගෙන යෑම සදහා පවන් මොනවාද කරන්නේ?

මම අනිවාර්යයෙන්ම ව්‍යායාම කරනවා. මම හරිම ආසයි පර්යේෂණ කරමින් ඒවා අත්හදා බලන්න.

ඒ වගේම මම කෑම ගැනත් ගොඩක් සැලකිලිමත් වෙනවා. ශරීරය සෞඛ්‍ය හොදින් පවත්වා ගන්න නම් හැම කෙනෙක්ම පොඩි හරි ව්‍යායාමයක යෙදෙන්න ඕනේ කියලා මම හිතනවා.

🔹පවන්ව අපිට ඉදිරියේදී දකින්න ලැබෙන්නේ ගුවන් නියමුවෙකු විදිහටද? එහෙම නැතිනම් ගායන ශිල්පියෙකු විදියටද?

අනිවාර්යයෙන්ම ඉදිරියේදී මාව දකින්න පුලුවන් ගුවන් නියමුවෙක් හැටියට තමයි. මට කාලය තිබුනොත් ප්‍රසංගවල සම්බන්ධ වෙලා සජීවීව ගායනා කරන්න මම ගොඩාක් ආසයි. මේ අවුරුද්දේ අන්තීමේට මට යුරෝපීය සංචාර කිපයකට සහභාගි වෙන්නත් අවස්ථාව ලැබිලා තියනවා.

අමා නාකන්දලගේ