පිනි බිංඳු (1 කොටස)

බැංකුවෙන් මම එලියට එද්දි දවල් කෑම වෙලාවටත් ලං වෙලා. පැයක් විතර පෝලිමේ හිටගෙන ඉදලා ගත්තු පෙන්ශන් එක ආයෙත් වතාවක් ගනං කරලා පර්ස් එකට දාගත්තු මම ඔරලෝසුව දිහා බැලුවේ ඊළඟ බස් එකට නගින්න තියෙන වෙලාව බලන්න. තවත් එහෙමම විනාඩි හතලිස් පහක් තියෙනවා. පරිසරයේ තියෙන ගිනි රස්නෙ තව වැඩි වෙන්නෙ ඇතාගල හින්දයි. මොන තරම් කාෂ්ඨකයක් තිබුනත් ඇතාගල මුදුනේ තම්පත් කරලා තියෙන බුදු පිලිම වහන්සේ දිහා බැලුවම හිතේ තියෙන සියලු දුක්ඛ දෝමනස්සයන් වගේම විඩාවත් මොහොතකට දුරුවෙනවා. 

බැංකුවේ හිටපු පැයට මගේ උගුර කටත් වේලිලා ගිහින්. බස් එකටත් තව වෙලාව එහෙමම තියෙන එකේ මම හෙමින් හෙමින් ඇවිදගෙන ගියේ කූල්ස්පොට් එකක් හොයාගෙන. යන ගමන් අතේ තිබුනු පොඩි නොකියා එකෙන් කුමාරිට ඇමතුමක් ගත්තේ මම එනකම් ඇය බත් කටක් නොකන නිසයි. 

‘මහත්තයා… 

වචනයක් කියන්නත් කලින් ඇය මාව හදුනනවා..

‘කුමාර්‍රි..මම පෙන්ශන් එක ගත්තා…බස් එකට එහෙමමයි වෙලාව. මම මොනවා හරි බීලම එන්නම්. එතකම් ඔයා කන්න..

‘එහෙම ඕන නෑ. මාත් තේ බිව්වා. තාම බඩගිනි නෑ.. මහත්තයා හෙමින් එන්නකෝ..

‘එද්දි මොනවාහරි ගේන්න තියෙනවද?

‘හ්ම්ම්.. එහෙම මොකුත් නෑ. මහත්තයා පරිස්සමට එන්න. වැඩිය තෙල් ජාති එහෙම කන්න එපා.. මහත්තයට හොඳ නෑ… 

කුමාරි එහෙම කියද්දි මම ඇමතුම විසන්දි කලේ හිනාවෙමින්. මටත් වඩා මම ගැන හිතන කුමාරි අවුරුදු තිස්පහක් මාත් එක්ක එකට ජීවත් වෙන ප්‍රිය බිරිඳයි. තරුණ කාලේ ඉදන් මේ වෙනකම් ඇය මගේ හොඳම යෙහෙලියයි. පිරිමියෙක්ට ලබන්න පුලුවන් උතුම් ගනයේ ගැහැණියක් තමයි කුමාරි කියන්නෙ. කාලයක් මම හින්දා, ඊටපස්සෙ දරුවෝ නිසා ජීවිතේ පුදුමාකාර කැපකිරීම් කරපු කුමාරි ගැන මගේ හිතේ තියෙන්නෙ වචන වලින් කියලා නිම කරන්න බැරි ආදරයක්.

‘ආහ් විජේදාස සර් දැක්කේ සෑහෙන කාලෙකින්…

කුමාරි ගැන හිත හිතම මම කූල්ස්පොට් එක ළඟට ඇවිත්.අවුරුදු ගානක් තිස්සෙ මේ කඩේ කලේ සමරවීර. මාත් එක්කම ඔහුත් වයසට ගිහින්. ඒත් පුරුදු ලෙංගතුකම තාමත් එහෙමමයි. 

‘ඉස්කෝලේ කාලේ වගේ නිතර දෙවේලේ දැන් ටවුමට එන්නෙ නෑ සමරේ. නෝනා හදලා දෙන කෑමක් කාලා මම වත්තේ පිටියේ වැඩක් කරනවා. දරුවොත් ලංකාවේ නෑ. එයාලත් බලන්න යනවා..

දරුවෝ දෙන්නම පිටරට වල උන්නත් මටවත් කුමාරිටවත් විශේෂ සැලකිලි ඔවුන්ගෙන් ලැබුනේ නෑ. කටට ආවට දරුවෝ බලන්න රට රට වලට යනවා කියලා සමරෙ එක්ක කිව්වා මිසක් මමවත් කුමාරිවත් දුව ඉන්න කැනඩාව වගේම පුතා ඉන්න ඇමරිකාවත් දන්නේ ලෝකසිතියමෙන් දැකලා විතරයි. ඒ හැරුනම අපි දෙන්නා ඒ රටවල් පැත්තේ පස් පාගලා නෑ. ඒත් මේක ලංකාව. සමහර දේවල් ඒ විදියට තවත් අයට කියද්දි කතාව එතනින් නතර වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගෙ සැලකිලි ගැන. 

‘විජේ ඉස්කෝලේ මහත්තයයි නෝනයි දැන් දුව හරි පුතා හරි ළඟ පදිංචි වුනා නම් හොඳයිනේ. මෙහේ ඉතින් ජීවත් වෙන්නත් අමාරුයි නේ.. 

සමරේගේ කතාව තවත් නවතින්නෙ නැති හැඩයි. 

‘ ඉපදුනු පොළව දාලා ඔය සීතලේ ගිහින් ඉන්න අපට බෑ සමරේ. මට කල්කිරි එකයි සමරෙගෙ එලවලු රොටියකුයි ගේන්නකෝ. අම්මපා මට තාමත් ගෙදර ඉද්දි වෙලාවකට මෙහෙට ඇවිත් එළවලු රොටී කාල යන්න හිතෙනවා….

‘විජේ ස’ ආසම දේනේ.. ආහ් මහත්තයෝ.. තව මොනවා හරි ඕන නම් කියන්න. බස් එක එන්න වෙලාව එහෙමමයිනේ.. 

සමරෙගෙ කතාව එතනින් අවසන් වුනු එක මගේ හිතට පුදුම සැනසීමක් එකතු කලා. සති අන්තයේ ලංකාදීප පත්තරය කියවන ගමන් කල්කිරි බොන එක මගේ ඉස්සර ඉදන්ම පුරුද්දක්. කුමාරි බනින්නෙම මේ පුරුදු වලට. ඒත් සමහර ඇබ්බැහිවීම් නවත්තන්න අමාරුයි කියන එක කුමාරි තවම දන්නෙ නෑ. 

පත්තරේ මුල් පිටු වල තිබුනෙම දේශපාලනය ගැන. ඊටපස්සෙ දරුවො දෙමව්පියන්ට නොසලකල පාරට දාන සිදුවීම්, ඒ හැරුනු කොට රසවත් කිසිම දෙයක් පත්තරේ තිබුනෙත් නෑ. දරුවො නිසා මොහොතකට හිත රිද්දගත් මම එකම දියනිය පියාව බලුකූඩුවට දාපු විස්තරය පත්තරේ කියවන්න ගියේ නෑ. කුමාරි කියනවා වගේ පෙන්ශන් එකෙන් ජීවත් වෙන අපි දෙන්නා පාරට ඇදලා දාන්න කාටවත් බෑ. 

පත්තරේ එහෙමම පැත්තකින් තියපු මම හිස එසෙව්වේ උපැස් යුවල ගලවන්න. දැකලා පුරුදු රූපයක් මගේ ඇස් ඉස්සරහා පෙනෙද්දි බාගෙට ගලවපු ඇස් කණ්ණාඩි දෙක ආයෙත් දාගත්තේ හිතට ආවේ හරිම නමමද කියලා තහවුරු කරගන්න. 

මගේ මතකය, ගෙවුනු අතීතය වගේම හර්ද සාක්ෂිය නිවැරදි නම් ඒ ඇයමයි. මම තරම් වයසට නොගියත් වල යන්තමින් සුදු වුනු කොණ්ඩයට, රැලි වැටුනු හමට බෑ අයගේ සුන්දරත්වය නැති කරන්න. තාමත් ඒ කාලේ වගේමයි ඇය. ඉස්සරට වඩා ඕන නම් අගල් දෙකක් තුනක් මහත් වෙලා ඇති. 

‘ සුනේත්‍රා… 

මටත් නොදැනීම ඒ නම මගේ මුවෙන් ගිලිහෙද්දි ඇය මුව පුරා සිනාසුනා. ඒ හිනාවෙන්ම ඇය මගේ ඉදිරිපිට වාඩි වෙද්දි මම ගොළුවෙක් වගේ ඇය දිහා බලාගෙන උන්නා. 

‘මහී නේද? කොච්චර කාලෙකින්ද? මම ඒත් ඔයා ගැන නිමල් ගෙනුත් ඇහුවා. එයා කිව්වෙ මලියදේවෙන් පෙන්ශන් ගියාට පස්සෙ ඔයා ටියුශන් නැවැත්තුවා කියලා. ඉතින් මහී, කුමාරි හොඳින්ද? 

මම අපහසුවෙන් සිනාවෙන්න උත්සහා කලා. පෙනුමෙන් යන්තම් වෙනස් වුනාට ඇයගේ වචන නම් තාමත් එහෙමයි.මීට අවුරුදු ගානකට කලින් ඇය ඉදිරියේ ගොලු වුනු මම එදා වගේම අදත් ගොළු වෙලා. 

‘කුමාරි හ්ම්ම්.. ගෙදර.. සුනේ..ත්…රා කොහේ ආව ගමන්ද?

අමාරුවෙන් ගොතා ගත්ත වචන ටික යම් සහනයක් මගේ හිතට ගෙනාවත් සුනේත්‍රා දැකීමෙන් හිරිවැටුනු හිත තාමත් එහෙමමයි. 

දෙවනි කොටස ඊළග කලාපයෙන්
තක්ෂිලා ඒකනායක

දිදුලන කෙස් කළඹකට රහස්

කාන්තා පිරිමි දෙපාර්ශවයට ම තම හිසකෙස් යනු තම පෙනුම අඩු හෝ වැඩි කරන තීරණාත්මක සාධකයකි. විශේෂයෙන් කාන්තා පාර්ශ්වය තමන්ගේ රුව පිළිබඳව වඩාත් උනන්දුවන අතර, එහි දී නිරෝගී දිදුලන කෙස් කළඹක් යනු බොහෝ දෙනෙකුගේ සිහිනයකි. ඉතින් ඒ සිහිනය සිහිනයක් ම නොවන්නට නම්  පිළිපැදිය යුතු පහසු සත්කාර කිහිපයක් පිළිබඳව අපි අද කතා කරමු.

* තෙල්සත්කාර

ඔබට නිරෝගී සුන්දර කෙස්කළඹක් අවශ්‍යය නම් පළමුව කෙස්වල තෙතමනය රැකගතයුතු වේ. ඒ සඳහා  ගුණාත්මක තෙල්වර්ග හිස ගැල්වීමෙන් ලබාගන්නා පෝෂණය ඉතා ම වැදගත් ය. ඔලිව්තෙල්, පොල්තෙල්, එඬරු (castor oil) තෙල්, වැනි පෝෂණ ගුණයෙන් වැඩි තෙල්වර්ගයක් ඇඟිලිතුඩුවලට ගෙන හොඳින් හිස්කබලේ සහ කෙස්වල ගල්වන්න. අනතුරුව සෙමින් හිස්කබල සම්බාහනය කර පැය භාගයකට පසුව සෝදාහැර තෙත මාත්තු කරන්න. සතියකට වරක් හෝ දෙවරක් මෙසේ නෑමට පෙර තෙල් ගැල්වීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිවනු ඇත.

* හිසකෙස් සේදීම

නෑමේදී, හිසකෙස් සේදීමේ දී එය හිසකෙස් මත තැවරුණු ෂැම්පු සහ වෙනත් සේදුම්කාරක හොඳින් ඉවත්වන පරිදි සෝදාහරින්න. හැමවිට ම හිස සේදීමේ දී උණුසුම් සහ තද උණුසුම් වතුර භාවිතය අත් හරින්න. හිසකෙස් අගට ෂැම්පූ යෙදීමෙන් වළකින්න. ඔබට උණුසුම් වතුර ස්නානයෙන් වැළකීමට අපහසු නම් නෑමේ දී “ෂවර් කැප්” එකක් භාවිත කරන්න.

* නිවැරැදිව හිස පීරන්න.

හිසකෙස්වල ස්වාභාවය අනුව පනාව තෝරාගන්න. පළමුව මෙහි දී දැති ලොකු පනාවක් ආධාරයෙන් හිසකෙස් අග සිට ගැට සෙමින් ඉවත් කර අනතුරුව කේෂමූලයන් පිහිටාඇති හිස් කබලේ වදින ආකාරයට මුල සිට අගට සෙමින් කෙස් පීරන්න. නෑමෙන් අනතුරුව කෙස් සම්පූර්ණයෙන් ම වියළීමට ප්‍රථම ආගන් ඔයිල් වැනි තෙල් බිංදු කිහිපයක් හිස කෙස්වල යන්තමින් තවරා හිසකෙස් පීරීමෙන් ඔබට පහසුවෙන් කෙස් ගැටගැසීම වළක්වාගත හැකි ය.

* කොණ්ඩා මෝස්තර .

හැකි හැමවිට ම සරල සහ ලිහිල් කොණ්ඩා මෝස්තර භාවිත කරන්න. High ponytail සහ බැක්කෝම්බ් වැනි හෙයාර් ස්ටයිල්වලින් හැකි තරම් ඈත්වන්න. එසේ ම හෙයාර් ස්ප්‍රේ, සහ නොයෙකුත් harsh Chemicals  අඩංගු නිෂ්පාදන භාවිතය අව ම කරන්න. ඔබ නොහිතන පරිදි ඔබේ හිසකෙස්වලට මෙම නිෂ්පාදන හානි කරනු ලබ යි. 

* හිසකෙස් සම්බාහනය.

හැකි පරිදි සතියකට වරක්වත් ඔබේ හිස හොඳින් මසාජ් කරන්න. මෙම සම්බාහනය මඟින් ඔබගේ හිස්කබලෙහි ඇති  කේෂ්මූල මනාව උත්තේජනය වන අතර එමඟින් ලේ ගමනාගමනයට මනා රුකුලක් ලබා දේ. ඔබට නිවසේ දී මෙන් ම වඩා ප්‍රතිඵලදායක සේවයක් සුදුසුකම් ලත් රූපලාවන්‍යාගාරයක දී වුව ලබාගත හැකි අතර මෙමඟින් ඔබට සැහැල්ලුවක් ද ලබාදෙනු ඇත. 

* නිවැරදි ආහාරරටාව සහ පෝෂණය.

ශරීරයට පිටතින් කෙතරම් සත්කාර කළ ද, අභ්‍යන්තරයෙන් අවශ්‍යය පෝෂණය සහ යහගුණය ලබා නොදේ නම් ඉහත කිසිවක් ප්‍රත්ඵලදායී නොවනු ඇත.  එබැවින් නිසි සමබල ආහාර, ධාන්‍යය, සහ ඇටවර්ග භාවිතය පළතුරු එළවලු වැඩිපුර ආහාරයට ගැනීම මෙන් ම මනා ලෙස ජලය පානය කිරීම ද ඉතා මත් ම වැදගත් ය. යම් හෙයකින් ඔබට ඔබේ ආහාර සහ පෝෂණය මඟ හැරෙනවානම් ඔබේ වෛද්‍යවරයා හමු වී සුදුසු විටමින් වර්ග භාවිතයට ගන්න

ඉතින්, කාන්තා පිරිමි භේදයකින් තොරව පහසුවෙන් ඔබට නිරෝගී අලංකාර කෙස් කලඹක් ලබාගැනීමට ඉහත උපදෙස් මනා පිටිවහලක් වනු ඇතැ යි මා බලාපොරොත්තු වනවා.සුන්දර දිනයක් පතමින් ඊළඟ කලාපයෙන් හමුවනතුරු මා අදට මේ කතාබහ නවත්වනවා. !

Sameera Jayasinghe

තමන්ගේ මට්ටම් තම්මට්ටම්

දියුනු වෙමින් පවතින රටක් විදිහට ලේබල් ගැහුවට අපේ රට දිඋනු කරන්න කවදාවත් පුළුවන් වෙයි කියලනම් හිතෙන්නේ නැහැ.එහෙම උනත් ඒක පන පිටින් දකින්න මේ ආත්මේ අපිටනම් හම්බෙන එකක් නැහැ , එකට හේතුව රටක දියුනුව කියන්නේ ආර්ථික වෂයෙන්  වන අංකමය දියුනුවක  පමණක් නොව සමාජයීය අකල්පමය සහ සංකල්ප වල  දියුනුවත් මේ සඳහා බලපාන නමුත් ආකල්පමය වශයෙන් අපි ඉන්නේ තවමත් බාලාංශේ නිසාය.

Economical system එක පාලකයෝ හදල දුන්නත් attitude වෙනස් කර ගැනීම අපි තනි තනිවම කරගන්න ඕන දෙයක්.

❤️අපේ තියන ලොකුම වැරැද්ද තමයි අපි හරි කියල කියන දේ හැමෝම  පිළිගන්න ඕනේ කියල හිතන එක සහ හැමෝම අපිට එකඟ වෙන්න ඕනේ කියල විස්වාසයක් තියන එක.

එහෙම දෙයක් නැහැ දෙයියනේ?     මිනිස්සු තීරණ වලට එන්නේ තමන් ඉන්න සමාජ මට්ටමට ,උගත් කමේ මට්ටමට, සහ තමාට ජීවිතයේ ලැබුණු සහ තමන් මුහුණ දුන් අත්දැකීම වල මට්ටමට අනුවයි.

උදා – දරුවන් සමග අනුරාධපුරේ විනෝද චාරිකාවක් යන එක මාස් පඩියක් ගන්න සාමාන්‍ය ආර්ථිකයක් තියන කෙනෙකුට ඉතා විශේෂ  දෙයක් වෙන්න පුළුවන් ,මොකද හිතිච්ච ගමන් මොන්ටෙරෝ එකට නැගල උදේ ගිහින් හවස එන්න අනුරාධපුරේ යන ධනවත් පව්ලක අයෙකුට තරම් සාමාන්‍ය පව්ලක කෙනෙකුට වත්කමක් නැති නිසා.ඉතින් අනේ.. අපි අනුරාධපුරේ ගියා , අපි තේ බිව්වා ,කියල ඒ ගමන ගැන කියන විස්තර ටික කිව්වම  හැම වෙලාවේම දෙස් විදෙස් සංචාරවල නිරත වෙන කෙනෙකුට විහිළුවක් වගේ දැනෙන්න පුළුවන්,මොකද ඒ අයට එක විශේෂ දෙයක් නොවන නිසා .. ඒ එක එක අයගේ ජීවිත රටාවන් වෙනස් නිසා.සම සිතින් ඒ දෙදෙනා දෙසම බලා  දෙදෙනාටම සුබ පැතීමට තරම් අපේ හිත සොඳුරු නොවන තාක් කල් අපිට කලක් යයිද?

❤️අනික සියල්ලෝම මට එකඟ වේවා , කියල බුදුහාමුදුරුවෝ වත් වදාලේ නැත. කලින් ලිපියකත් මන් සඳහන් කළා වගේ ඔබ කන්න කැමති පාන් සමග පරිප්පු වූ කල අනෙක් සියල්ලෝම පාන් කෑ  යුතු යයි සිතීම විහිළුවකි.කෙනෙකුට සොසේජස් කෑමටද තවත් කෙනෙකුට බඩගින්නේ සිටීමටද සාදාරන අයිතියක් ඇත. ඒ නිසා අනිත් අයගේ  අදහස් වලට එකඟ වීමට සහ විරුද්ද වීමටද  අපි හැමෝටම අයිතියක් ඇත.විරුද්ද මත පිළිගන්න .

❤️අපේ සමාජේ තියන අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි අනුන්ගේ වැදගත්කම හොයන්නට යාම.

මේකට අපේ කට්ටිය නිර්ණායක ටිකකුත් හදන ඉන්නේ ..කොන්ඩේ පාට කරපු, කොන්ඩේ  අමුතු විදිහට කපපු , ටැටෝ ගහපු ,කොටට අඳින අය වැදගත් නැත කියල ,ඒ එක්ක  බැලුවම මන් නම් කිසිම වැදගත් කමක් නැහැ .මොකද මන් ඔය ටික ඔක්කොම කරලා ඉන්නේ ..

මන් මේ ජීවිතේ මට සන්තෝෂ වෙන්න පුළුවන් කියල හිතෙන හැමදේම කරලා බලනවා ඒ තුල නියම සතුට තියනවද කියල.හැබැයි ඒවා කළා කියල මගේ වැදගත්කමට නම් අබ මල් රේණුවක වත් හානියක් මන් කරගෙන නැහැ, මැරෙන තුරාවට කරන්නෙත් නැහැ.මට අනුව වැදගත් කම මනින්නේ තමාගේ මානුෂිකතවය , හැසිරීම ,චරිතවත් බව   වගේ එකිනෙකාට අනන්‍ය වූ කරනු ගොන්නක් එක්ක.මස් ගොබ වසාගෙන සිටි පමණින් වැදගත් යයි කිව හැකි කිසි කෙනෙක් මෙතෙක් මගේ ජීවිතයේ හමු වී නැත.වැදගත්ම දේ අනුන්ගේ වැදගත් කම් , උගත්කම් , ධනවත්කම් අපි මහා ලොකුවට අදාල කර නොගැනීමයි..එතකොට සමජෙත් එක්ක වැඩ කරන්න හරිම ලේසියි.

❤️සමාජ ජාලයක එකට බැඳුනු පුරුක් ලෙස  එකිනෙකාට උදව්  කරගැනීමට සිනහවීමට , ජීවිතය බෙදාගැනීමට , උගත්කම , ධනවත්කම, චරිතවත් කම මහා ලොකුවට අදාල කරගත් යුතු නොවේ.අනික බාහිරව බලා සියල්ල තීරණය කල හැකිද නොවේ.

❤️අපේ වචනෙකින් අපේ බැල්මකින් සිදුවන්නේ තවත් කෙනෙකුගේ හිත රිදීමක් , හිත තැලීමක් පමණක් නම් තර්කමය වශයෙන් ඔබ දිනුවාද  ඉන් පලක් නැත.අවසානයේ ඉතුරු වන්නේ තේරුම්ගැනීමට නොහැකි පසුතැවීමක් පමණි.

අනෙකාගේ  හොඳ අගයන්න.ඔබ අකමැතිනම් ඍජුව අකමැත්ත ප්‍රකාශ කරන්න.ප්‍රතික්ෂේප කරන්න.නමුත් සිත් රිදවීම නම් පලක් නොවෙයි.

❤️යක්කුන්ට බය අය  සොහනක ගෙයක් හදන එක පලක් නැත.සමාජයේ නිතර ගැටෙන පුද්ගලයෙක් නම් ඕනෑම දෙකට ඔරොත්තු දෙන ආකාරයට තමාගේ සිත පුහුණු කරවා ගත යුතුයි.බුද්ධ වචනයට අනුව නින්දා ප්‍රශංසා දෙකෙහි නොසැලී සිටිය යුතුයි.අපොයි මේක කැතයි කිව්වා ,මේක වැරදියි කියල මට බැන්නා , කියමින් හොටු පෙර පෙර අඬන බබාලාට මේ සමාජයේ බෙල්ල ගැසීමට අසීරුය.මමම ඊයේ ගත්ත ගව්මට මම අද කැමති නැත ,තමාගේ සිතුවිලි පවා දිනෙන් දින වෙනස් වෙයි ,ඉතින් සමාජය ගැන කවර කතාද ? මට අකමැති දහසක් ඉරිදියේ වුවද සිනහ සීමට හැකි නිසා මමනම් කිසිඳු දිනක සමාජය නිසා මගේ  හදවතට දුකක් දැනෙන්නට ඉඩ දී නැත.

සමාජ මත ඉදිරිදියේ නොසෙල්විය හැකි මනසක් හදාගන්න තාක් කල් ඔබ පරාජිතයෙකි.ලොවම එරෙහි වුවත් ඔබට ඔබ ලෙස කෙලින් සිට ගත හැකි දිනක පමණක්  ඔබ ජයග්‍රහණය කරයි.

කෙටියෙන්ම කියතහොත් අපේ මේ සමුහයේ , වෙනත් සමුහවල , සමාජයේ , හෝ  වාචික , ගනුදෙනු සිදුවන සියලුම අංශ කෙරෙහි මේ කරුණු පොදුය.   

සමාජය විෂම ආකල්ප ඇති මිනිසුන් පිරිසකගෙන් සැදුම්ලත් බව තේරුම් ගන්න.තමාගේ අදහස් සමාජ ගත කිරීමට උවමනා මිනිසුන්  ඒවාට ඇති විරුද්ධ  මත වලට මුහුණ දීමටද සුදානම් වන්න .අනෙකාට ගරු කිරීමට නොදන්නා කිසිවෙකුට සමාජයෙන් ගරුත්වයක් හිමි නොවේ.

තමාගේ නිදහසේ සීමාව අනෙකාගේ නහය ලඟින් අවසන් වන බව සිහියට ගන්න.

අනිශා ජයකොඩි