මංගල ශාලාවම එකම කසු කුසුවකි. මොහොතකට පමා වුනු වැඩ කටයුතු අමුත්තන්ගේ හිත් තුල ප්‍රශ්නාර්ථයක් ඇති කල හැඩකි. බොඳ වූ දෑස් අතරින් පෙනෙන්නේ අම්මාගේත්, අප්පච්චීගේත්,නංගීගේත් රුවය. දෑස් සෙමෙන් විවර කරගත්තත් ගතට වාරුවක් නැත. එහෙත් මගේ ඇස් හෙව්වේම ඔහුය. ඒ අර්ථ විජේමාන්නය. සත් වසරක ප්‍රේමයකින් පසුව අද දිනයේ මගේ ස්වාමි පුරුෂයා වූයේ ඔහුය.
‘චූටි දූ, නැගිට ගන්න පුලුවන්ද මගේ මැණික?’
සිද්ද වූයේ කුමක්ද කියා වත් මතක නැති මොහොතක ඇහෙන්නේ අප්පච්චීගේ ආදරණීය හඩය. සිරුරට දැනෙන පණ මදි කමත් එක්කම මට අද දිනය මතක් විය. සුළු මොහොතකට පෙර මා වුන්නේ පෝරු මස්ථකයේය. ඒ තනිව නොව අර්ථ සමඟය. එක දිගට ඇසුනු අෂ්ඨක අතරින් මගේ වත පණ නැති වූ අයුරු ටිකෙන් ටික මතක් විය. තෙදිනක් පුරා වූ තෙහෙට්ටුව මගේ වතින් බැහැර වන්නට ඇත්තේ පෝරු මස්තකයේදීය. අපහසුවෙන් නමුත් මම ආයාසයෙන් සිනා සුනෙමි. අම්මාගේත්,අප්පච්චීගේත් ,නංගීගේත් වෙනසක් නොවුනද අර්ථගේ අම්මාගේ මුහුණේ හැඟීම් මට තේරුම් ගන්නට අපහසු විය. තාමත් අර්ථ පේන්නට නැත.
‘දැන් දුවට මොකද?
අර්ථගේ මව ඇහුවේ ඕනෑවට එපාවටය.
‘දැන් හොඳයි අම්මේ. මට නින්දක් තිබුනේ නෑ.. ඒහින්දා….
‘එහෙනම් වර්ෂාගේ අම්මා දුවව ලෑස්ති කරා නම් පෝරුවට.. තවත් රට්ටු හිනස්සන්නෙ නැතුව…
‘කවුද ආන්ටි රට්ටු හිනැස්සුවේ. අක්කා කලන්තේ දාන එක රට්ටු හිනා වෙන වැඩක්ද? වෙඩින් එකේ වැඩ වලට තනියම නැහිලා මෙතන….
‘චූටි කට වහගන්න..මම දුව අරගෙන එන්නම්….
කියාගෙන ආ දේ අවසන් කරන්නට නොදී අර්ථගේ අම්මා එකට එක වචන පැවසුවේ එලෙසය. මගේ කලන්තය රට්ටු හිනස්සවන තැනට පත් වූයේ කොහොමදැයි කියා මට නොතේරුනත් අනික් පැත්තට නංගිගේ වචන වලින් යම් තාක් දුරකට තේරුම් ගන්නට හැකි විය. තවත් එතන කලබලයක් ඇති නොකර තත්වය සමතයකට පත් කලේ අම්මාය.
කෙලින් හිටගන්නවත් පණක් නැතිව උන් මගේ පෝරුවේ චාරිත්‍රත්, විවාහයේ සියළු වැඩ කටයුතුත් අවසන් වූයේ බොහෝ දෙනෙකුගේ අමුතු බැල්ම වලට හසු වෙමිනි. ශාලාවේ අය පමනක් නොව අර්ථ පවා උන්නේ කියාගන්න බැරි මොකද්දෝ නොකියා කියමිනි. මධුසමය බලා ශාලාවෙන් පිටත් වන්නට ඔන්න මෙන්න තිබියදී පවා ඔහු උන්නේ මැණිකේ කුමාරිහාමි නම් වූ ඔහුගේ මවත් සමග කසු කුසුවකය.
‘අක්කා, ඔයා පරිස්සමින් යන්න. අද ඉදන් මට තමයි පාලු’
නංගී එහෙම කියද්දී මම ඇයව වැළඳගෙන හැඬුවෙමි. අනතුරුව පිළිවෙලින් අම්මාටත් අප්පච්චීටත්, මගේ යහළුවන්ටත් සමුදුන් මම අර්ථගේ අතින් අල්ලාගෙන මලින් සරසා තිබුනු වාහනයට ගොඩ වුනෙමි.
‘අර්ථ, මට අද හරි සතුටුයි රත්තරං….
මඟුල් රථයට ටික දුරක් යද්දී මම ඔහුට කීවෙමි.
‘හ්ම්ම්, මටත් එහෙමයි…
‘එහෙමද? ඒක ඉතින් ආදරෙන් කියන්නකෝ…
‘හ්ම්ම්… අපි හොටෙල් එකට ගිහින් කතා කරමු වර්ෂා…
ඕනෑවට එපාවට හූල්ලමින් අර්ථ කියද්දී මගේ හිත ඇතුලාන්තයෙන් දැවෙන්නට විය. පෝරුවේ සිරිතෙන් පසුව අර්ථගේ හැසිරීමේ වෙනස පෙරටත් වඩා තදින් දැනෙද්දී තවත් කඳුලු හිර කරගෙන හිදින්නට මට අපහසු විය.
‘අර්ථ, මට තේරෙනවා ඔයා මාර සැකේකින් ජීවත් වෙන්නෙ නේද? ඔයා අවුරුද්දක මාස්ටර් එකකට රට ගිහින් එනකම් බලාගෙන හිටපු මට හොඳ වැඩේ. මම මෙතන නැහිලා නැහිලා වෙඩින් එකේ වැඩ කලේ. පෙරේදා ඉදන් හරි කෑමක් නෑ, නින්දක් නෑ..පෝරුවේ කලන්තේ දැම්මෙ මට තිබුනු මහන්සියට මිසක් වෙන….
‘කවුද වර්ෂා එහෙම කිව්වේ? ඔයා නිකම් රට පටලවගෙන..
අර්ථ එහෙම කියද්දී මම එතනින් එහාට කතාවට නොගියෙමි. අර්ථ මට මුණ ගැහුනේ විශ්ව විද්‍යාලයේදියි. පිළියන්දල ඉදන් පේරාදෙණියට ආව මට නුවර හරි පුරුදු තැනක් කලේ අර්ථ. මගේ ප්‍රථම ප්‍රේමය අර්ථ වෙද්දී මම ඔහුගේ ජීවිතයේ උන් තෙවනි පෙම්වතිය වූයෙමි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව මම බැන්කුවක රැකියාව ඇරඹූ අතර අර්ථ වැඩි දුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට ගියේය. එසේ ගිය ඔහු හරියටම අධ්‍යාපන කටයුතු නිම කර පැමිනියේ මංගල්‍යට දින කීපයකට පෙරය. මම උපන්නේ කොළඹ මැද්දේ වීමත්, අර්ථ කන්ද උඩ රට වීමත් මුලින් අපේ මංගල්‍යට බාධාවක් රැගෙන ආවත් ඒ හැම දෙයක්ම හිතේ හැටියට විසදාගන්නට අපට පුලුවන් විය. එහෙත් අද දිනයේ සිදු වූ සමහර දේවල් එක්ක, නංගී විටින් විට මගේ කනට කර පැවසූ දේවල් නිසා මගේ හිත ඇත්තේ ලෝක දෙකකය.
‘මුන් නම් මහ කපටි අක්කෙ. මෙයාලා මේ කලින් ඔයාට අකමැති වෙන්න හේතුව පෝරුවේ කලන්තේ දාපු එක පිටින් යවන්න හදන්නෙ. මහ ගෑණි කියනවා කොළඹ දිහා සක්කරවට්ටමක්නෙ, මට හිතුනා ඔහොම වෙයි කියලලු. මම කිව්වා ඔව් ඉතින් ඒක ඔයාගෙ පුතාගෙන් අහගන්න කියලා. මඟුල් ගෙවල් වල මට රණ්ඩු වෙන්න බෑ අක්කේ. මේ වගේ මිත්‍යාද්ෘෂ්ටික දෙයක් ගාවගෙන මෙයාලා හදන්නෙ ඔයාගේ ජීවිතේ කාලකණ්නි කරන්න. පරිස්සමින් මේ අම්මණ්න්ඩි එක්ක. ඊට හපන් අර්ථ අයියගේ නැන්දලා, පුංචිලා ටික. ඒ ඉන්නෙ ගෑණු නෙවෙයි ගිණි කඳු!
පෝරුවේ කලන්තය දැමීම ගැන වතාවක් මම කියවූ පුවත්පතක තිබුනි. විවාහ වන ගැහැණු ලමයා චරිතවත් නැති කෙනෙක් නම් ඇය පෝරුවේ කලන්තය දාන බව එකල ගැමියන් අතර තිබුනු ප්‍රවාදයක් බවත් අද වෙද්දී එලෙස කලන්තය දැමීමට හේතු ලෙස වෛද්‍යවරයෙක් සටහන් කල ප්‍රකාශයත් මට මේ සිද්දියෙන් මතක් විය.
‘ඕවා පීත්ෲ මූලික සමාජයක දකින්න තියෙන ලක්ෂණ. ඉස්සර කාලේ විවාහ වෙද්දි ගෑණු ළමයි තමයි විවාහය වෙනුවෙන් තිබුනු බොහෝ දේවල් කලේ. තනියම සැරසිලි කටයුතු කරගත්තා විතරක් නෙවෙයි බොහෝමයක් දරුවෝ තමන්ගෙ අදින ඇඳුම පවා හදාගත්තේ තනියම. ඒ විතරක් නෙවෙයි මංගල්‍යට කලින් දවසේ මේ දේවල් එක්ක මහන්සි වෙන මනමාලි පහුවදාට පෝරුවට නගින්නේ තෙහෙට්ටුවෙන්. වටේට පත්තු කරලා තියෙන පහන් වල රස්නය, ඇඳගෙන ඉන්න ඇඳුමේ වගේම ආභරණ වල ඇති අපහසුකාරී බවත්, එකම ඉරියව්වෙන් බොහෝ වෙලා හිටගෙන හිදීමත් නිසා විශේෂයෙන්ම ගැහැණු කෙනාට කලන්තය ඇති වෙන්න පුලුවන්. එහෙම නැතුව චරිතවත් බව වගේ කතා නම් අමූලික බොරුවක්. මේ දේම පිරිමි කෙනාටත් වෙච්ච අවස්තා ඇති. හැබැයි හැමදාම නරකකදි හයිලයිට් වුනේ ගැහැණු කෙනා විතරයි…
විවාහයෙන් පසුව අද වෙද්දී හය මසක් ගෙවී ගියේ මගේ විවාහ ජීවිතයම උඩු යටිකුරු කරමිනි. මධුසමය දවසේ තෙහෙට්ටුවටම නිදාගත් මම පහුවෙනිදා අවදි වූයේ හොඳටම අසනීපයෙනි. එතැන් පටන් බොහෝ ප්‍රශ්න ආරම්භ වුනේ අර්ථගේ අම්මාගේ මැදිහත් වීමෙනි. කොටින්ම ගෙවුනු මාස හය ඇතුලතදී නාමිකව ඔහු මගේ සැමියා වූවා පමණි. අප අතර කිසිදු කායික සම්බන්ධයක් ඇති නොවූයේ අර්ථගේ දෙබිඩි හැසිරීම නිසාවෙනි. මා වරදක් නොකරම අර්ථගේ මවගේ අවලාද වලට ලක්වෙද්දී අර්ථ උන්නෙ ඒ කිසිවක් නොඇසුනු ආකාරයටයි. හත් අවුරුද්දක් මා පණ මෙන් ආදරය කල පුද්ගලයා මා වෙනුවෙන් එකම එක වචනයක් වත් නොකීම විවාහ ජීවිතය ඇතුලේ මා පුදුම ලෙස හුදෙකලා කල වග කිව යුතුමය.
‘ඔයා ඔහොම මිනිහෙක් එක්ක ඉන්න ඕන නෑ. මගෙ පුතා එන්න ගෙදර’
අවසානයට අම්මාත් අප්පච්චීත් මා ඔවුන් ලඟට ගත්තේ එලෙසිනි. විවාහ වී හය මසක් තුල මා දික්කසාද ගැහැණියකද වූයේ අර්ථගේ කොන්ද පණ නැති කම නිසා මා නොකල වරදකට වැරදි කාරියක වෙමිනි.
‘ඔයා ඕවා හිතන්න එපා අක්කෙ. ඔයාටත් හොඳ කෙනෙක් ලැබෙයි…
දික්කසාද නඩුව අවසන් වී නිවසට එද්දී නංගි කී වචන මගේ හිතේ තදින් තැම්පත් වුනි. ඊටත් තුන් අවුරුද්දක් ගෙවී යද්දී මට සේවා ස්ථනයට නිතර දෙවේලේ පැමිනි ව්‍යාපාරිකයෙකු වූ කළන මුන ගැසුනි. මුලින් අප අතර මිත්‍රත්වයක් ගොඩ නැඟුනු අතර අනතුරුව ඔහු මගේ අප්පච්චී මුණ ගැසී මා විවාහ කර ගැනීමට සූදානම් වග පැවසුවේය.
‘දුවට පොඩි පොඩි කරදර ටිකක් වුනා පුතා. ඒවා මේ ළමයා දන්නවා නම්, ඒ දේවල් මේ ළමයගේ ගෙදර අයට ප්‍රශ්නයක් නැති නම් අපෙන් කිසි ප්‍රශ්නයක් නෑ.
මටත් කළණටත් අප්පච්චීගේ අනුමැතිය එසේ ලැබුනි. ඊටත් දෙවසකට පසුව මගේත් කළණගේත් විවාහය අද දිනයේ සිනමන් හෝටල් පරිශ්‍රයේදී පැවැත් වීමට නියමිතය.
‘බබා බය වෙන්න එපා. මම ඔයාව පෝරුවට නග්ගවන්නේ එදා ඔයාට හිනා වුනු සමහර අයට අද තමන්ගෙම කනට පාරක් ගහන්න. ඒ නැතත් ඔයාමනේ පෝරුවෙ චාරිත්‍ර කරන්න ඕනි කිව්වෙ. මට නම් ඔයා එක්ක පැනලා ගියත් එකයි කියන මතේ තමයි දැනටත් ඉන්නේ…
‘නිළමේ ඇඳුම් ඇඳලා පැනලා යන්න බෑනේ. ඔන්න ඔහේ මේක ඉවර කරලම අපි වාහනේ පැනලා යමු…
ඒ පෝරුවට නඟින්නට පෙර මාත් කලනත් අතර සිදු වුනු අවසන් වචන හුවමාරුවයි. අප්පච්චීගේ අතින් අල්ලාගෙන සුබ මොහොතින් පෝරුවට නැඟපු මම මා දිහා බලාගෙන උන් සෙනඟ දෙස එක එල්ලේ බැලුවෙමි. එක එක මුහුණු එක එක කතා කියයි. පසෙකින් උන් කලණගේ මව දෙස බලා සිනාසුනෙමි. ඇය මට දෑස් වලින් සංසුන් වන්නට කියා සිනාසුනාය. මම යලිත් කලන දෙස බැලුවෙමි. ඔහු පෝරුවේදීම මගේ සුළැගිල්ල අල්ලාගත්තේය.
පෝරුවේ චාරිත්‍ර නිමා වනවා වත් මට නොදැනිනි. කලණ වැනි කෙනෙක් මගේ ජීවිතයට ලැබීමම මා පෙර ආත්මය කල පිනකි. විවාහයේ වැඩ කටයුතු හිතුවාටත් වඩා හොඳින් අවසන් වෙද්දී මාත් කළණත් මධුසමය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ හැමෝගේම ආශිර්වාදය මැද්දෙනි.
අද වෙද්දී මාත් කළණත් විවාහ වී තෙවසරකි. අම්මාත් අප්පච්චීත් සමග ගෙවූ කාලයෙන් පසුව මා සතුටින්ම ගත කලේ කලණ සමග බව අවිවාදයි. කළණගේ අම්මා මගේ අම්මා මෙන් මට සැලකූ අතර ඔහුගේ නංගී මගේ නංගී වගේම මට සමීප වූවාය. කළණත් මමත් අතර ඇති වුනු සුළු අමනාපකම් වලදී ඇය මගේ පැත්තේ වූවාය. ජීවිතේ පුදුම තරම් සුන්දරව ගෙවී යද්දී මම අතීතයට හිනා වුනේ මාස ගානක් වයසැති සිඟිති පුතු තුරුළට ගනිමිනි.
‘මම මේ ජීවිතේට හරි ආදරෙයි වර්ෂා.. පරක්කු වෙලා හරි ඔයාව මගේ ජීවිතේට ආව එකම මට ඇති..
පෙරදා රාත්‍රියේ මා තුරුළු කරගෙන කලණ පැවසුවේ එලෙසිනි. මේ ජීවිතය මට ලබා දුන්නාට අර්ථටත් පුහු මාන්නයෙන් ඉදිමුනු, මිත්‍යාවෙන් අන්ධ වුනු ඔහුගේ මවටත්, කුමක් හෝ හේතුවක් නිසා එදා මට කලන්තය දැමූ පෝරු මස්තකයටත් සිය දහස් වතාවක් ස්තූතිවන්ත වෙමි.
තක්ෂිලා ඒකනායක