ජීවිතාවර්ජනය

මිනිස් ජීවිතයක් ලද අප සෑම කෙනෙකුම කුමන හෝ ඇබ්බැහි වීමකින් පෙලෙනවා. සමාජ සම්මතයට පටහැනි නොවන ඒවා මෙන්ම, සමාජ සම්මතයට පටහැනි ඇබ්බැහිවීම් ලෙස මේවා හඳුන්වා දීමට පුළුවන්. මේ ගැන පුළුල් කතිකාවතක් අප සමාජය තුළ සිදු නොවන්නේ හුදෙක් ඒ පිළිබඳ මිනිසා තුළ ඇති අනවබෝධය නිසයි. බොහෝ දෙනා කතා කිරීමට පුරුදු වී ඇත්තේ දුරකථනයට ඇබ්බැහි වීම, ලිංගික ආශාවන්ට හා නිල් චිත්‍රපට නැරඹීමට ඇති ඇබ්බැහි වීම හා මත්ද්‍රව්‍ය වලට ඇති ඇබ්බැහි වීම් පිළිබඳව පමණයි. 

මේ ජීවිතාවර්ජනය පිටුව වෙන් කර ඇත්තේ ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම් පිළිබඳ කතා කරන්නටයි. පිළිතුරු සේයාවක් නොපෙනෙන මේ මත් රකුසා දිනෙන් දින මේ ලෝකය ගිල ගන්නේ හිසරදයට පැනඩෝල් පෙත්තක් කඩේකට ගිහින් ගන්න සුලභ සිද්ධීන් ලෙසයි. දෙමව්පියන් ලෙස, වැඩිහිටියන්ට ලෙස, සමස්ත සමාජයක් ලෙස අප කොපමණ අවාසනාවන්තද? මේ පිළිබඳ වගකිව යුතු බලධාරීන් තවමත් නින්දේ ය. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, පානය කිරීම හා ප්‍රවාහනය ආදියට පනවා ඇති නීති රීති එසේ තිබියදී එම නීතිරීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනවාද යන්න ප්‍රශ්නාර්ථයකි. ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගනු ලැබුවද මත්ද්‍රව්‍ය භාවිතයෙහි වැඩිවීම නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමුවීමට බාධාවක් වී ඇත.

පුනරුත්ථාපනය වූවන් හා පුනරුත්ථාපනයට යොමු කිරීම සම්බන්ධ පාර්ශවයන් සමඟ ගනුදෙනු කිරීමට ලැබෙන මට, සිදු ආසන්නතම සිද්ධිය ඔබ වෙත ගෙන එන්නේ ඔබෙත් මගෙත් සමස්ත දරු පරපුර මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට ගන්නා පුංචි උත්සාහයක් ලෙසයි.

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබා තිබෙන දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවායි අද කතාවේ ප්‍රධානියා. ශෙහාන් දෙස ඔහු ආමන්ත්‍රණය කරමි. ඔහු කාර්මික විද්‍යාලයක වාහන අළුත්වැඩියාව හා ටින්කරින් පිළිබඳ විශේෂ හැකියාවක් හා දැනුමක් ලබා ගත්ත කෙනෙක්. පවුල් පසුබිමත්, මව කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුම ලද හා දැනට ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වන ගුරු මවක්. පියා ව්‍යාපාරිකයෙක්. 

මේ අම්මා දරුවො කුඩා කාලයේ ඉඳලා ගුරු වෘත්තියේ නියැලුනා. මේ දරු තිදෙනා ගේ අවශ්‍යතා වැඩි වශයෙන් ඉටුවුණේ ඔවුන් රැක බලා ගැනීමට හිටපු ඥාතී නැන්දණියක් විසින්. කොච්චර මහන්සි උනත් අම්මා අතින් දරුවන්ගෙ වැඩ කටයුතු ගිලිහෙන්න නරකයි. කවුරුන් අතින් හෝ එම කටයුතු ඉටු වුවත් දරුවන් හා මව අතර ඇතිවන සම්බන්ධතාවය මේ හේතූන් නිසා නැති වෙන්න පුළුවන්. හැම දරුව ම එක වගේ නැහැ. පිරිමි දරුවො වැඩිපුර අම්මගේ සෙනෙහස, අවධානය, ආදරය  බලාපොරොත්තු වෙනවා. මේ දේවල් නොලැබෙන තැන දරුවෝ නොමඟ යන එක වලක්වන්න බැහැ.

අද වන විට ශෙහාන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අවුරුදු දහයක් පමණ වෙනවා. මේ පිළිබඳව ඔහුගේ දෙමාපියන් වැඩි වශයෙන් අවධානය යොමු කරල තියෙන්නේ ප්‍රශ්නෙ උත්සන්න උනාට පස්සෙයි. ශෙහන් ගේ දෙමාපියන් ඔහුව යොමු කිරීමට බලාපොරොත්තුවන පුනරුත්ථාපන  ආයතනය අදාල පුද්ගලයාගේ අකමැත්ත ඇතිව ඇතුළු කර ගන්නේ නැහැ. ඒ වගේම අවම වශයෙන් මාස නමයක  කාලසීමාවක් පුනරුත්ථාපනය විය යුතුයි. ඉතින් ශෙහාන් කැමැත්ත ඇතිව එම ආයතනයේ පවත්වනු ලබන වැඩසටහනකට ඔහුව මෑතකදී සම්බන්ධ කරගන්නට හැකියාව ලැබුණා. නමුත් අද වන විට ඔහුත් සමග හිතවත්ව ආයතනයට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන පාර්ශවයන් ගේ දුරකථන ඇමතුමකට වත් ඔහු ප්‍රතිචාර දක්වන්නේ නැහැ. 

වර්තමානයේ සිට වසර දහයක් අතීතයට යමු. එම කාල පරාසය තුළ සිදු වූ සිදුවීම් ඔබට ඔහුගේ ජීවිතය තුළ කොතනද වැරදුනේ යන්න යම් තරමකට හෝ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

මීට වසර දහයකට පෙර ශෙහාන් පාසලේ විශිෂ්ට ලෙස ක්‍රීඩාවේ නිරත වී ඇති අතර එම කාලය තුළ ඔහු මිතුරන් සමඟ මත්ද්‍රව්‍ය භාවිත කර පාසලට හසුවී ඇත. ඉන්පසු ඔහුගේ මව පාසලට කැඳවා අවවාද කර ඇත. මේ සිදුවීමට පස්සේ ශෙහාන් ගෙ මව පාසලට පැමිණ කතා කළ දේවල් නැවත ශෙහාන්ට දැනගන්නට ලැබිලා තියෙනවා. මවක් විදිහට ඇය ඔහුට තරවටු කරලා. මේ ගැන ශෙහාන්ට ඇති වූ කෝපය ක තරම, ඔහු මවත් සමග අද වන තුරුත් අවශ්‍යම දේකට හැරෙන්නට කතාකරන්නේ නැහැ. මව සමග පුදුම තරහකින් ඉන්නේ. මව නිවසේ පිසින ආහාර ගන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔහු ක්ෂණික නූඩ්ල්ස් හෝ වෙනත් දෙයක් ආහාරයට ගන්නවා. ඔබට දැන් ප්‍රශ්නයක් වෙයි කොහෙන්ද ඔහුට මේ සඳහා මුදල් කියලා? ඔව් මටත් මේ ප්‍රශ්නෙම ආවා. ඔහුට මුදල් දෙනනෙ ඔහුගේ පියා. ඒ ශෙහාන් කාගෙන් හෝ ඉල්ලයි එහෙමත් නැත්නම් හොරකම්  කරයි කියන බියට. ඒත් දැන් වෙනකොට ඔහු දෙමාපියන් බියවද්දා මුදල් ලබා ගන්නා තත්වයකට පත්වෙලා. 

ශෙහාන් පාසලෙන් ඉවත් වූ පසු වැඩිදුර අධ්‍යාපනය හදාරා තිබෙනවා. නමුත් ඔහුගේ නොමනා ක්‍රියා කලාපයන් නිසා ඔහු රැකියාවකට යොමු වන්නේ නැහැ. ශෙහාන් පිළිබදව ඔහුගේ දෙමව්පියන් වැඩි යමක් කියන්නට දන්නේ නැහැ. මොකක්ද ඔහු භාවිතා කරන මද්ද්‍රව්‍ය වර්ගය? ඔහුට සිටින මිතුරන් කවුද? ඔහු යන එන ගමන් බිමන් මොනවාද? තරුණ දරුවකු ලෙස ඔහු කාමරය තුළ කුමක් කරන්නේ ද? ආදී සරල දේවල්  වත් ඔවුන් දන්නේ නැහැ. මට වැටහුන විදිහට ඒ අය දරුවන් ගැන සොයා බලා නැහැ. දෙමාපියන් ලෙස ඔවුන්ගේ වගකීම් හරිහැටි ඉෂ්ට වෙලා නැහැ. මුදල්, කෑම බීම, අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලබාදීම ආදරය ලෙස සලකන විට මම මෙවැනි සිදුවීම් සිදු වන්නට පුළුවන්. ශෙහාන්ට ළමා බයිසිකලයක් අවශ්‍ය අවධියේ දී මවුන්ටන් බයිසිකලයක්, මවුන්ටන් බයිසිකලයක් ලබාදෙන වයසේදී මෝටර් බයිසිකලයක් ආදී වශයෙන් වයසට නොගැලපෙන දේ එම දෙමව්පියන් විසින් ලබාදී තිබුණා. මේ සිදුවීම් අද වෙනවිට ඔහුව විනාශය කරා ගෙන ගිහින් අවසන්. වසර ගණනාවක් ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇති බව දැන දැනත් ඔහුගේ දෙමව්පියන් කිසි කෙනෙකු ගෙන් උපකාරයක් බලාපොරොත්තු වී නැහැ. ඔවුන් තම පුතණුවන්ගේ වරද සඟවා තබාගෙන තිබුණා. මෙයින් හැඟී යන්නේ දෙමාපියන් වශයෙන් මෙවැනි මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්න ගැන ඔවුන් තුළ ඇති නොදැනුවත් කමයි. නියපොත්තෙන් කඩන්නට තිබූ ප්‍රශ්නයක් දැන් පොරවෙන් කපා ඉවත් කරන්නට බැරිතරම් වී අවසන්. 

ජූලි මස දෙවන සතියේ දී ශෙහාන් ලඟ අයිස් මත්ද්‍රව්‍ය තිබී පොලිස් භාරයට බාරයට ගෙන තිබුණා. දිනක් රිමාන්ඞ් භාරයේ සිටි ඔහු රු.4,500.00 ක් පමණ වූ සුලු මුදල් ඇපයක් මත නිදහස් කරනු ලැබුවා. ඔහුගේ දෙමව්පියන්ට පොලිසියේ උදව් ඇතිව ශෙහාන් ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කිරීමට හැකියාව තිබුණා. මොකද මෙවැනි අවස්ථාවලදී පුනරුත්ථාපන මධ්‍යස්ථානය අදාල පුද්ගලයාගේ කැමැත්ත විමසන්නේ නැහැ. නමුත් මේ දෙමව්පියන් එසේ කිරීමට අපොහොසත් වුණා. “අපි කොහොමද පුතා එහෙම තැනක ඉන්නවා බලන්නෙ” කියන ප්‍රශ්නය ඔවුන්ට ආවා. මවට තම පුතාව හොඳ මාර්ගයට ගැනීමට   ඇති වුවමනාව හා උනන්දුව තාත්තා ළඟ නැති බවක් බවක් මට වැටහුණා. ඒ වගේම ඒ දෙමව්පියන්  අතර අන්‍යෝන්‍ය බැඳීමක් හා එකඟතාවයක් නොමැති බවත් වැටහී ගියා. දෙමාපියන් තුළ යහපත් බැඳීමක් නොතිබීමත්, පවුලේ විශේෂයෙන් දරුවන්ගේ ප්‍රශ්න වලට දෙන්න දෙපැත්තට ඇදීමත් යන හේතු මෙවැනි ඇබ්බැහිවීම් වල සිටින අයට තවත් ලේසි වෙනවා තම අවශ්‍යතා ඉටු කර ගැනීමට. පවුලක් ලෙස  එක වහලක් යට සිටියත් පවුලක් ලෙස එකමුතු වීම හා දරුවන් සමග අදහස් හා ඔවුන්ට ඇති ප්‍රශ්න ගැටලු පිළිබඳව විවෘත වීමත් යහපත් දරුවන් සමාජගත කිරීමට අවැසි බව මෙහිදී මට වැටහී ගියා.

මේ දෙමාපියන් දරුවාව ඔවුන් විසින් පුනරුත්ථාපනයට යොමු කිරීමටද පසුබෑමක් දක්වනවා. ඒ ඔවුනට තම ජීවිත පිළිබඳව ඇති බියයි. කෙසේ හෝ ශෙහාන්ට ඔවුන් ගැන ඇති වෛරය නිසා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්සුව වීමට පෙර පැන ආවොත් ඔවුන්ගේ ජීවිතවලට හානියක් සිදු කරයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

තවමත් නොවිසඳුණු මෙම ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය යුත්තේ ද එම දෙමාපියන්ය. අවසානයට මා ඔවුනට පැවසුවේ “ඔය දෙන්නා කතා කරලා එකඟතාවයකට එන්න. මේ ඔයාලගේ දරුවා. ඔයාලට දරුවා සුව කරගෙන යහපත් දරුවෙක් කරගන්න අවශ්‍ය නම් ගෙදර පරිසරය දැන්වත් හදාගන්න. දරුවා ඔයාලව ප්‍රතික්ෂේප කළත් අම්මා තාත්තා  විදිහට ටිකක් ඉවසන්න. මොකද දරුවා නොමඟ යන්න ඔයාලත් වක්‍රාකාරයෙන් හෝ හේතුවක් වුණ බව පිළිගන්න. දරුවාට තවමත් ආදරේ බව අඟවන්න. කවුරු නැතිවුනත් දෙමාපියන් ලෙස ඔබ දෙපළ ඔහු සමග මැරෙන තුරාවට සිටින බව දැනෙන්න දෙන්න. පවසන්න. මේ තුළින් ටිකක් හෝ ඔහුගේ සිත වෙනස් වී පුනරුත්ථාපනය වීමට කැමැත්තක් දැක්වීමට පුළුවන්” යන්නයි.

නැවත නැවතත් මට කියන්න තියෙන්නෙ සමස්ත සමාජයටම තම දරුවන් ගැන සොයා බලන්න. අවධානය දෙන්න. කුටුම්භය තුළින් යහපත් දරුවන් බිහි වන විට සමාජයට යහපත් දරු පරපුරක් බිහිවීම නිතැතින්ම  සිදුවේවි. මිල මුදලට ගත නොහැකි ආදරය හා කාලය දරුවන්ට දෙන්න.

ස්තුතියි..

පියුම් සිල්වා

ආදරේ ද? ආදරෙයි ද?

ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ලැබෙන පිළිතුරු එකකට එකක් වෙනස්.‍ යමෙකුට ආදරය ආත්මාර්ථකාමී හැඟීමක් වෙද්දි තවත් අයෙක්ට ඒ ආදරයම පරිත්‍යාගයක් වෙන්න පුළුවන්. විවිධාකාර වූ ආදරයන් අතර ලෝකයම හැඩ කරන සුන්දර ආදරයක් තමයි තාරුණ වියේ ආදරය කියන්නෙ. තාරුණ විය කියන්නේ සැබැවින්ම බොහොම දඟකාරී සුන්දර කාලයක්. නමුත් මේ ආදරයම ඔවුන් වටා පාරාවළල්ලක් වෙමින් තරුණ ජීවිත සිය ජීවිතය පවා හානිකර ගැනීමට පොළොඹවන ඛේදවාචකයක් බවට අද වෙද්දි පත්වෙලා.

වත්මන් කාලයේ රටේ සංස්කෘතියට සාපේක්ෂවයි ආදරය හැඩගැසීම සිදු වන්නේ. ආසියාතික සමාජයට සාපේක්ෂව බටහිර සමාජය තුළ ආදරය වෙනස් හැඟීමක්. බටහිර සමාජයේ තාරුණ්‍යට ආදරය සැහැල්ලු හැඟීමක් වෙද්දී ආසියානු සමාජයේ පෙම්වතුන්ට ආදරය තමන්ගෙ මුළු ජීවිතේ ම බවට පත්වී ඇත. අප සමාජයේ ආදරයේ පිරිසිදුකම ගැන දීර්ඝ ප්‍රේම කතා ලියවෙයි. ඒවා ඇතුළත සිටින පෙම්වතුන් බොහෝ අහිංසක චරිත. තරුණ තරුණියන් අතරේ මේ ආදරේ කියන්නේ හිමි කර ගැනීමක්ය යන ප්‍රතිරූපය එතනින් නිර්මාණය කර ඇත. මෙය ආසියාතික සමාජයේ පෙම්වතුන්ගේ මූලිකම ලක්ෂණයක්. එමෙන්ම ලංකාවේ සමාජ සංස්කෘතිය තුළ තරුණිය තරුණයාගෙන් කැමැත්ත ඇසීමට මුලින්ම පෙළඹෙන්නේ නැහැ. ගැහැණු ළමයා ඉස්සර වුණොත් අපේ සමාජය එය මහා බරපතළ වරදක් ලෙස දකිනවා. මේ නිසාම විවාහවීම් සදහා විරුද්ධ පාර්ශවය තෝරා ගැනීමේදී බරපතල ගැටලුමය තත්ත්වයන් ඇතිවූ අවස්ථාද ඔබ අසා ඇති. 

දකුණු ආසියාතික සමාජය  නවීකරණය කළත් විසි එක් වැනි සියවසේ හිනිපෙත්තේ සිටියත් අභිචාර විධි වල වෙනසක් සිදු වී නොමැත. ආදරය යන සංකල්පයේ දී අදටත් සාම්ප්‍රදායික රටාවට මුල් තැන දීම දක්නට හැකි පැහැදිලි කරුණකි. ඊට හේතු වී හේතුවී තිබෙන්නේ භෞතික සංස්කෘතියට සාපේක්ෂව අභෞතික සංස්කෘතිය වෙනස් නොවීමයි. සාම්ප්‍රදායික සමාජය තුළ අවිධිමත් සමාජ පාලන උපක්‍රම වලට ප්‍රබල ස්ථානයක් හිමිව පැවතිණි. සංස්කෘතිකමය සිරිත් විරිත් වලින් සමාජයෙහි යම්කිසි ආකාරයක පාලනයක් නිර්මාණය වීම දක්නට පුළුවන. උදාහරණයක් වශයෙන් තරුණියකට තරුණයෙකු මුණ ගැසී කතාකිරීමට පැවතුණේ ඉතා සීමිත නිදහසකි. වක්‍රාකාර අවිධිමත් සමාජ උපක්‍රම හරහා තාරුණ්‍ය යම් පාලනයක රැඳවීමට එදා සමාජයට හැකියාව ලැබිණි. ඒ හේතුව මත ආදරය යන සංකල්පයේ රාගය මිශ්‍ර වූ අවස්ථාවන් ඉතා අවම විය. 

මෙහිදී මතු වන ප්‍රබල ගැටලුව නම් ලිංගික අධ්‍යාපනේ අවම බවයි. වැඩිවියට පත් වීමත් සමඟ ඇතිවන කායික මානසික වෙනස්කම් පිළිබඳ ඔවුන්ට පවතින්නේ අවම අවබෝධයකි. වැඩිවියට පත් වීමත් සමඟ දැනෙන හැඟෙන සිතුවිලි ආකල්ප පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැතිවීම මත ඔවුන් නිතැතින්ම ආදරයෙන් වල්මත් වීම හා අතරමං වීම සාමාන්‍ය තත්ත්වයක්. එය එසේ නොවුනහොත් අසාමාන්‍ය තත්ත්වයක්. වත්මන් තාරුණ්‍යයේ ආදරය සිවදිවි නසා ගැනීමට තරම් සාහසික තත්ත්වයට පත් ව පවතී. මෙය පැහැදිලි වශයෙන් කායික හා මානසික සුරක්ෂිතතාව අහිමි වීම හා සමාජ සම්බන්ධතා බිඳ වැටීමෙහි ප්‍රතිඵලයකි. ආසියාතික සමාජයේ පෙම්වතුන් ඇත්ත ජීවිතයේ කිරීමට අපහසු දේ පිළිබඳ තෘප්තිමත්භාවයට පත් වන්නේ සිහින තුළ ජීවත් වීමෙනි. ඔවුන් තුළ ප්‍රේම සම්බන්ධතාවයෙහි අවිනිශ්චිත බව පිළිබඳ කිසිඳු හැඟිමක් නැත. පෙම් සබඳතාව බිඳ වැටුණහොත් කරකියා ගත හැකි කිසිවක් ඔවුනට නැති වීම ස්වභාවිකය. මෙහි ඇති ශෝචනීය තත්ත්වය නම් එවැනි අවස්ථාවක ඒ පිළිබඳ කතා කරන්නට විසඳුම් දෙන්නට කෙනෙකු ඔවුන් අසල නොමැති වීමයි. යමෙකු ගැටලුවට විසඳුම් නො දුන්න ද තම දුක වේදනාව අසා සිටීම පමණක් ම එම පුද්ගලයා හට යම්කිසි සහනයක් නිතැතින්ම හිමි වෙනවා. එනම් පවතින තරඟකාරී සමාජ ක්‍රමය ඇතුළත කෙනෙකුට තවකෙකු වෙනුවෙන් වැය කරන්නට කාලය නොමැති වීම මෙයට බලපානවා. සංකීර්ණ සමාජ සබඳතා ඇතුළත තාරුණ්‍යය සැහැල්ලුව විඳින්නේ තම ආදරය තුළින්. එය අහිමි වීම ඔවුන්ට තවදුරටත් මානසික සුවය පිළිබඳ අපේක්ෂාවන් තබා ගැනීමට නොහැකි තත්ත්වයක්. 

තාරුණ්‍යය ස්වභාවයෙන් ම ආවේගශීලීයි. ඔවුන් ඕනෑම අවස්ථාවක ක්ෂණික ව තීරණ ගැනීමට පෙළඹෙයි. නූතන තරඟකාරී සමාජ රටාව තුළ ඔවුන් ක්ෂණික සියදිවි නසා ගැන්මට යොමුව ඇත. මෙවැනි අවස්ථාවක රටක මාධ්‍යයට පැවරී තිබෙන වගකීම සුළුපටු නැත. ආදරය අහිමි වීම මූලික කරගෙන සියදිවි නසා ගත් සිදුවීම් මාධ්‍ය තුළින් උලුප්පා පෙන්වීම අද විලාසිතාවක් වී ඇත. එයින් සිදු වන්නේ සමාජයේ අනිත් තරුණයන්ට ද එය සාමාන්‍ය කරැණක් බවට පත් වීමයි. ප්‍රථම පෙම විවාහ කර ගත යුතුයි යන සිතුවිල්ල ආසියාතික සමාජයෙන් අපට හිමිව පවතින්නක්. නමුත් විය යුතු වන්නේ එය නො ව ඔවුන් අතර ඇති නොගැලපීම්, ගැටළු දෙදෙනා විසින් මනා ලෙස අවබෝධ කර ගැනීමයි. එමඟින් තරුණ ජීවිතවල පමණක් නොව සමස්ථ සමාජය තුළ උද්ගතව ඇති සෝචනීය් තත්ත්වය වළක්වා ගැන්මට හැකියාව ලැබේ.

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology