දරුවෙකු අපේක්ෂා කරන කාන්තා ඔබට ආයුර්වේද ප්‍රතිකාර

නිරෝගී දරු උපතක් යනු බොහොමයක් විවාහක යුවලකගේ අපේක්ෂාවක් වුවත් වර්තමාන සමාජයේ පුද්ගලයන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් මදසරුබාවයෙන් පීඩා විඳී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව කාන්තා මදසරුබාවය යනු පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නොකරන යුවලක් දරුවෙක් අපේක්ෂාවෙන් සරු කාලයේ දී ලිංගික සංසර්ගයේ යෙදීමෙන් වසරක කාලයක් ගත වුවද දරුඵල අහිමිවීම යි.

මදසරුබාවයේදී නිසි ප්‍රතිකාර යෙදීමෙන් පසුව හෝ පසුකාලීනව දරුවෙකු පිළිසිඳ ගැනීමේ හැකියාවක් ඇත. 

වන්ද්‍යත්ව නැතහොත් සාමාන්‍ය ව්‍යවහාරයේ වඳබව ලෙස හැඳින්වෙන්නේ මොනයම් හෝ ප්‍රතිකාරයක් හමුවේ දරුවෙක් පිළිසිඳ නොගන්නා අවස්ථාව යි. 

එය බොහෝ දුරට ජානගත කරුණු හේතුවෙන් සිදුවේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව බීජෝපගත, දෛවජ, කර්මජ හේතු කාරණා විය හැකිය.

නීරෝගී කාන්තාවක් හට ගැබ් ගැනීමක් සඳහා සෘතු, ක්ෂේත්‍ර, බීජ, අම්බු යන සාධකයන්හි ප්‍රශස්ත මට්ටම් ලඟා කරතිබීම අනිවාර්‍ය්ය බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල සඳහන් වේ. 

එනම් කාන්තාව ‘සෘතු’ කාලයේ පසුවීම විය යුතුය. එනම් මල්වර වීමෙන් පසු සහ ආර්තවහරණයට පෙර කාලයේ කාන්තාවක් විය යුතු අතර, සරුකාලය එනම් දින 28ක ක්‍රමවත් ආර්තව චක්‍රයක් සහිත කාන්තාවකගේ සරු කාලය දින 11 සිට 18 දක්වාත්, ආර්තව චක්‍රය දින 35 ක් පවතින කාන්තාවකගේ සරු කාලය දින 18 සිට 25 අතර කාලයේ පසුවීම සපුරා ගත යුතු වේ.

එමෙන්ම ‘ක්ෂේත්‍රය’ ලෙස සඳහන් වනුයේ ප්‍රධානවම නීරෝගී ගර්භාෂයක් හිමි වීමයි. ගර්භාෂයේ ව්‍යුහාත්මක වෙනස්කම් වලින් තොරවීම, අභ්‍යන්තර බිත්තිය (endometrium) නිවැරදි ඝනකමෙන් යුක්තව වර්ධනය වීම, ගර්භාෂගත අර්බුද, ග්‍රන්ථි, නෙරීම් වලින් තොරවීම නිරෝගී දරු පිළිසිඳ ගැන්මට හේතු යෙදේ.

එපමණක් නොව ඩිම්බ කෝෂ, පැලෝපීය නාල, යෝනි මාර්ගය ඇතුළු ස්ත්‍රී ලිංගික පද්ධතියේ නීරෝගී බව ද මෙහිදී සැලකේ.

මෙම ව්‍යුහයන්ගේ විකෘතිතා හේතුවෙන් මදසරුබාවය ඇතිවීමේ අවදානමක් පවතී. තවද යෝනි මාර්ගය ආශ්‍රිතව පවතින pH අගයේ වෙනස් වීම් නිසා ජීවී ශුක්‍රාණු වල ක්‍රියා හානිවීම වැනි හේතූන් නිසාත් සංසේචනයට බාධා ඇතිවිය හැක. එමනිසා නීරෝගී ස්ත්‍රී ප්‍රජනන පද්ධතියක පිහිටීම හා ක්‍රියාකාරීත්වය ගර්භයක් හටගැන්මට අත්‍යවශ්‍ය අංගයකි.

එමෙන්ම ස්ත්‍රී හා පුරුෂ ‘බීජ’ නොහොත් ඩිම්බ හා ශුක්‍රාණු නිරෝගී තත්ත්වයෙන් පසුවීම නිරෝගී දරු උපතකට හේතු වේ. මව් හා පිය පාර්ශවයන්ගෙන් උරුමවන නිරෝගී ජාන මෙහීදී අදහස් කෙරේ. 

එමෙන්ම දරුවෙක් පිළිසිඳ ගැනීම වෙනුවෙන් වැදගත්වන ස්ත්‍රී හෝර්මෝන ප්‍රශස්ත මට්ටමෙන් පැවතීම ‘අම්බු’ ලෙසට සැලකේ.

ඉහත සඳහන් දරු පිළිසිඳ ගැනීමකට බලපාන ප්‍රධාන සාධකයන්ගේ ප්‍රශස්ත බව මෙන්ම නිරෝගී ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය වීමෙන් යුක්තාණුවක් සෑදුන පමණින්ම දරු ගැබක් හට නොගන්නා බව ආයුර්වේදය තුල සඳහන් වේ. එනම් ‘ශුක්‍ර, ශ්‍රෝණිත, ආත්ම’ සංයෝගයේ වැදගත්කම දක්වා ඇත. සම්පූර්ණ දරුගැබක් පිහිටීමට ‘ආත්ම’ කොටස එක්වීම සිදුවීම අනිවාර්යය බව පිළිගැනේ.

මදසරුබාවයට හේතු:-

• ස්ත්‍රිය නිසි වයස් සීමාවේ නොමැතිවීම

• ඩිම්බකෝෂ, පැලෝපීය නාල, ගර්භාෂය, යෝනි මාර්ගය ආශ්‍රිතව පවතින රෝග තත්ත්ව

• හෝර්මෝන ආශ්‍රිත රෝග තත්ත්ව (PCOS, Thyroid ග්‍රන්ථි ආශ්‍රිත රෝග)

•ශරීරයේ දෝෂ තත්ත්වය

•ශරීරයේ පවතින වෙනත් රෝග තත්ත්ව

•පෝෂණ ඌනතා

මීට අමතරව වැරදි ආහාර-විහරණ, ඇතැම් ඖෂධ වර්ග පවා මදසරුබවට හේතු විය හැක.

අතීතයේ සිට පැවති ආර්තව චර්‍යයා නොහොත් ආර්තව කාලයේදී අනුගමනය කලයුතු ඇවතුම්-පැවතුම් වල වෙනස් වීම් (උෂ්ණ, තීක්ෂ්ණ ආහාර ගැනීම, ආර්තව දින වලදී ස්නානය කිරීම, ආර්තවය ඖෂධ මගින් කල් දැමීම), උෂ්ණ, විදාහී ආහාර නිතර නිතර පරිභෝජනය, මානසික ආතතිය, ලිංගික සංසර්ගයේ දෝෂ නිසාත් මදසරුබාවය ඇති විය හැක.

ඉහත සඳහන් කිසිම හේතු කාරණාවක් නොයෙදී වුවද දරු ගැබක් පිළිසිඳ නොගනී නම් එය කර්මජ රෝග අවස්ථාවක් ලෙස ආයුර්වේදයේ පිලිගැනේ.

මදසරුබාවයට ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වී රෝග හේතු හඳුනාගැනීම අනිවාර්යයෙන්ම ප්‍රථමයෙන් සිදු කලයුතු වන අතර දරුවෙකු පිළිසිඳ ගැනීමට අපේක්ෂාවෙන් පසුවෙනවානම් වෛද්‍ය උපදෙස් නියමාකාරයෙන් පිලිපැදීම ද නොවැරදීම සිදු කල යුත්තකි.

වර්තමානයේ සිදුකරන රුධිර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ හා Laparoscopy පරීක්ෂණ මගින් මදසරුබවට හේතු වන ගැටලු පහසුවෙන් හඳුනා ගැනීමට හැකි අතර ලිංගික හෝර්මෝන වල ප්‍රශස්ත මට්ටම පරීක්ෂා කිරීමෙන් පසු නිවැරදිම ප්‍රතිකාර සඳහා රෝගියා යොමු කිරීම සිදුවේ.

ආයුර්වේද වෛද්‍ය මූලධර්ම වලට අනුව ශෝධන, ශමන, තර්පණ ප්‍රතිකාර වලට රෝගියා ක්‍රමයෙන් යොමු කරනු ලබන අතර අභ්‍යන්තරව කෂාය, ගුලි, කල්ක, චූර්ණ, මෝදක, ඝෘත වර්ග ලබා දීම සිදු කෙරේ.

එමෙන්ම බාහිරව ස්නේහ ප්‍රතිකාර ලෙස ඖෂධීය තෛල අභ්‍යංග හා සම්භාහන සිදු කරන අතර ස්වේද ප්‍රතිකාර ලෙසට පොට්ටනි තැවිලි මෙන්ම වාෂ්ප ස්වේද (ස්වේද කුටියක ස්වේද දීම-steam bath), ද්‍රව ස්වේද දීම (herbal bath) සාර්ථක ප්‍රතිඵල ලබා දේ.

මෙමගින් ශරීරයේ පවතින විෂ කොටස් ශරීරයෙන් බැහැර කිරීමත්, ක්‍රමවත් සංසරණයන් සඳහා ශරීරය සැකසීමත් සිදු කෙරේ.

මදසරුබාවයට හේතු දෙන PCOS (ඩිම්බ නොමේරීමේ තත්ත්ව), Fibroid (ගර්භාෂගත අර්බුද), Cyst (ගර්භාෂගත ග්‍රන්ථි), Polyps (ගර්භාෂ බිත්තියේ නෙරීම්) වැනි රෝග තත්ත්වයන් පවතින අවස්ථාවන් වලදී ඒ සඳහා විශේෂිත ප්‍රතිකාර වලට රෝගියා යොමු කිරීමත්, රෝගියාගේ ප්‍රකෘතිය, ශාරීරික හා මානසික දෝෂ තත්ත්වය, අනෙකුත් රෝගී තත්ත්ව පිළිබඳ සැලකිල්ලට ගෙන පුද්ගලානුබන්ධ ප්‍රතිකාර පද්ධතියක් වෛද්‍යවරයා විසින් සකස් කරනු ලැබේ.

පංච කර්ම ප්‍රතිකාර වල අයත් තර්පණ නස්‍ය ලබා දීමෙන් පිටියුටරි හෝර්මෝන උත්තේජනය කිරීම හා වස්ති කර්ම සිදු කිරීමෙන් වාත දෝෂයේ ක්‍රමවත් බව ඇති කිරීමත් සිදු කෙරේ.

එමෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල අන්තර්ගත  ‘උත්තර වස්ති’ නම් වූ සුවිශේෂී ප්‍රතිකර්මය මඟින් පැලෝපීය නාලයන්හි පවතින අවහිරතා මඟහරවා ගැනීමේ හැකියාව පවතින බැවින් මදසරුබාවය සඳහා ප්‍රතිකාරයේදී මෙම ප්‍රතිකර්ම සාර්ථක ප්‍රතිඵල ලබාදේ.

ඇතැම් සේදුම් කාරක හා සබන් වර්ග භාවිතය, තද යට ඇඳුම් භාවිතය, නයිලෝන් වැනි දහඩිය උරා නොගන්නා යට ඇඳුම් භාවිතය මෙන්ම ශුක්‍ර තරලයේ අධික භාෂ්මිකත්වය හේතුවෙන් ද ස්ත්‍රී යෝනි මාර්ගය ආසන්නයේ පවතින ආම්ලිකතාවයේ වෙනස් වීම් ඇතැම් විට සිදුවිය හැක.

මෙවැනි අවස්ථාවකදී යෝනි මාර්ගය අවට කැසීම, දැවිල්ල, යෝනි ස්‍රාවයන්ගේ වර්ණය වෙනස් වීම (කහ, සුදු හෝ අළු පැහැ ගැනීම), ඇතැම්විට යෝනි ස්‍රාවයන්ගේ දුර්ගන්ධතාවය ද ඇතිවිය හැක. මීට අමතරව ඇතැම් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අවස්ථාවන් ද යෝනි මාර්ගයේ pH අගයේ වෙනස්වීම (ආම්ලිකතාවය) සඳහා හේතු විය හැක. යෝනි මාර්ගයේ ආම්ලිකතාවයේ වරින්වර සිදුවන මෙවැනි වෙනස්වීම් දරු පිළිසිඳ ගැනීමකට බාධා ගෙනදෙනු ඇත. එවැනි අවස්ථාවකදී ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දෙන ආයුර්වේද ප්‍රතිකාරයන් ලෙසට බාහිර ප්‍රතිකාර ලෙස සිදුකරන යෝනි ශේක, යෝනි පිචු හා ඖෂධීය ජලයේ අවගාහ දීම (sitz bath) හැඳින්විය හැක.

මදසරුබාවය වළක්වා ගැනීමට අනුගමනය කලයුතු දේ :-

• උසට සරිලන බර පවත්වා ගැනීම

• සක්‍රීය හෝ අක්‍රීය දුම්පානයේ නොයෙදීම

• දහවල් නිදා ගැනීමෙන් වැළකීම 

• රාත්‍රියට නිසි නින්දක් ලැබීම

• මානසික පීඩා තත්ත්වයන්ගෙන් ඈත්වීම

• මානසික සෞඛ්‍ය ඉහල තත්ත්වයක පවත්වා ගැනීම

• මෛත්‍රී සිතුවිලි වලින් යුක්ත වීම

• කණස්සලු ස්වභාවයෙන් ඈත්වී දරුවෙකු පිළිසිඳගැනීමේ ආශාව සිත තුල ඇතිකර ගැනීම

• හැකිතරම් සතුටින්, සැහැල්ලුවෙන්, විවේකීව කාලය ගත කිරීම

සුදුසු ආහාර :-

දේශීය සහල් වර්ග (කුරුලු තුඩ, ඇල් හාල්, සුවඳැල්, මඩතවාලු), ධාන්‍ය වර්ග (මුංඇට, කව්පි, උඳු, සෝයා, පරිප්පු), දේශ සාත්ම්‍ය (තමන් උපන් ප්‍රදේශයට ආවේණික එලවළු, පලතුරු, පලා වර්ග) ආහාර පාන, හාතවාරිය, සාරණ, නිවිති, තම්පලා, කංකුං, කතුරුමුරුංගා, ගොටුකොළ, වැල්පෙනෙල, ඉරමුසු, කිරි අඟුණ, එළකිරි, ගිතෙල්, වියලි මිදි, රටඉඳි, කජු, නෙල්ලි, නාරං, දොඩම්, තැඹිලි, බෙලි, දිවුල්, අලිගැටපේර, කොමඩු, කොස්, පොළොස්, බතල, නෙළුම් දඬු, කොහිල අල, වැටකොළු, අලු කෙහෙල්, හිඟුරල, ගම් කුකුල් මස්, බිත්තර, කිරිමාලු සහ පීකුදු වැනි ආහාර වර්ග අඩංගු පෝෂණ ගුණයෙන් යුතු ආහාර වේලක් ලබා ගැනීම ඉතා සුදුසුය.

නුසුදුසු ආහාර :-

උෂ්ණ ගුණ අධික බලමාළු, කෙලවල්ලන්, හුරුල්ලන්, ඉස්සො, දැල්ලො, කකුළුවන්, සැමන්, අච්චාරු, අන්නාසි, තක්කාලි, දෙල්, මුරුංගා, අඹ, කෘත්‍රිම රසකාරක, වර්ණකාරක යෙදූ ආහාර පාන, තේ, කෝපි, කැෆේන් අඩංගු පාන වර්ග නිතර නොගත යුතුයි.

මදසරුබාවය යනු මිත්‍යා අහාර විහරණ, හෝර්මෝනමය හේතූන්, ඩිම්බ හා ශුක්‍ර දෝෂ පමණක් නොව දෛවෝපජ හේතූන් නිසාත් ඇතිවිය හැකි රෝග අවස්ථාවක් බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල දක්වා ඇති බැවින් නිසි ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු අතරම කුසල් වැඩීමට හේතු වන පුණ්‍ය කටයුතු වල යෙදීමත්, යහපත් ගුණධර්ම වැඩීමත් දරු සම්පත්තියක් අපේක්ෂා කරන යුවලක් අනුගමනය කල යුතු බව පිලිගත යුතුය.

මදසරුබාවය සඳහා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සතුවන බැවින් දරුවෙකු අපේක්ෂාවෙන් පසුවෙන කාන්තා ඔබ ඒ සඳහා පෙර සූදානමින් යුතුව සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීමෙන් මවක වීමේ ඔබගේ සුන්දර සිහිනය සැබෑ කරගත හැක.

වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක

BAMS – Colombo (SL)

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීමේ වැදගත්කම සහ පවතින අභියෝග

මානව හිමිකම් යනු සෑම පුද්ගලයෙකුගේම ගෞරවය, නිදහස සහ සමානාත්මතාවය සහතික කරන මූලික මූලධර්ම වේ. මෙය සාධාරණ සහ සාමකාමී සමාජයක පදනම වන බැවින්, ලොව පුරා ජාතීන් මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතිමය රාමු සහ සම්මුතීන් අනුගමනය කර ඇත. පොහොසත් ඉතිහාසයක් සහ විවිධ සංස්කෘතික උරුමයක් ඇති රටක් වන ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සදාචාරාත්මක වගකීමක් පමණක් නොව තිරසාර සාමය, සංවර්ධනය සහ සමාජ සහජීවනය සඳහා වන තීරණාත්මක පියවරකි. මෙම ලිපිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම, මෙහිදී මුහුණ දෙන අභියෝග සහ සෑම පුරවැසියෙකුටම ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් ජීවත් විය හැකි සමාජයක් පෝෂණය කිරීමේ හැකියාව ගවේෂණය කරයි.

මානව හිමිකම් යන්නෙන් අදහස් කරන්නේ ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගිකත්වය, ආගම හෝ ජාතිකත්වය නොසලකා සෑම පුද්ගලයෙකුම උපත ලබන මූලික නිදහස සහ හිමිකම් ය. මෙම අයිතිවාසිකම්වලට ජීවත්වීමේ අයිතිය, කතා කිරීමේ නිදහස, සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය සහ ගමන් කිරීමේ නිදහස වැනි සිවිල් නිදහස ඇතුළත් වේ. අධ්‍යාපනයට ඇති අයිතිය, සෞඛ්‍ය රැකවරණය සහ ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් වැනි සමාජ, සංස්කෘතික සහ ආර්ථික අයිතීන් ද මානව හිමිකම්වල අනිවාර්ය අංග වේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය (UDHR) වැනි ජාත්‍යන්තර ගිවිසුම් සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) වැනි කලාපීය ගිවිසුම් මෙම අයිතිවාසිකම් තහවුරු කිරීමේදී ජාතීන්ට මඟ පෙන්වන රාමු සපයයි. ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු සහ විවිධ මානව හිමිකම් ගිවිසුම් වලට අත්සන් කර ඇති රටක් ලෙස, එහි සියලුම පුරවැසියන් සඳහා මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට බැඳී සිටී.

සෑම පුද්ගලයෙකුගේම ගෞරවය සහ වටිනාකම සහතික කිරීම සඳහා මානව හිමිකම් අත්‍යවශ්‍ය වේ.  ඔවුන් නොමැතිව, සමාජයන් අසමානතාවයට, වෙනස් කොට සැලකීමට සහ පීඩනයට ගොදුරු වනු ඇත.  ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, දීර්ඝ සිවිල් ගැටුමක්, වාර්ගික ආතතීන් සහ පවතින සමාජ හා දේශපාලන අභියෝග ඇතුළත් රටේ ඓතිහාසික පසුබිම අනුව මානව හිමිකම් ආරක්ෂා කිරීම විශේෂයෙන් වැදගත් වේ.  සාමය ප්‍රවර්ධනය කිරීම, සමානාත්මතාවය සහතික කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීම සහ රටේ සමාජ හා ආර්ථික සංවර්ධනය පෝෂණය කිරීම සඳහා මානව හිමිකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාව විවිධ ජනවාර්ගික, ආගමික සහ භාෂාමය කණ්ඩායම්වල නිවහන වන අතර එය බහු සංස්කෘතික සමාජයක් බවට පත් කරයි.  කෙසේ වෙතත්, මෙම විවිධත්වය ආතතියේ කාල පරිච්ඡේදවලට ද හේතු වී ඇති අතර, ඇතැම් කණ්ඩායම් වෙනස් කොට සැලකීමට හෝ ආන්තිකකරණයට මුහුණ දී ඇත.  නිදසුනක් වශයෙන්, අධ්‍යාපනය, රැකියා සහ දේශපාලන නියෝජනය සඳහා ප්‍රවේශ වීමේදී දෙමළ ප්‍රජාව ඓතිහාසික වශයෙන් අභියෝගවලට මුහුණ දී ඇත.  සියලු පුද්ගලයන්ට, ඔවුන්ගේ පසුබිම කුමක් වුවත්, නීතිය යටතේ සමානව සැලකීම සහ එකම අවස්ථාවන්ට ප්‍රවේශ වීම සහතික කිරීම සඳහා මානව හිමිකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.  වෙනස්කම් නොකිරීමේ මූලධර්මය මානව හිමිකම්වල මූලික  දෙයක් වන අතර සෑම කෙනෙකුටම සමෘද්ධිමත් විය හැකි සාධාරණ හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම සඳහා එය ආරක්ෂා කළ යුතුය.

ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගෙන්නේ මානව හිමිකම් යන පදනම මතය.  ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා කතා කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස, දේශපාලන ක්‍රියාවලියට සහභාගි වීමේ අයිතිය වැනි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ.  පුද්ගලයන්ට තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමටත්, රජය විවේචනය කිරීමටත්, සාමකාමී විරෝධතාවල නිරත වීමටත් හැකි වූ විට, ඔවුන් නායකයින් වගකිව යුතු අතර වඩාත් විනිවිදභාවයෙන් යුත් පාලනයකට දායක වේ.  කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන අභියෝග, එනම් භාෂණයේ නිදහස හෝ මාධ්‍ය සීමා කිරීම, මෙම ප්‍රයත්නයන් අඩපණ කළ හැකිය.  ප්‍රජාතන්ත්‍රවාදය සමෘද්ධිමත් වන බව සහතික කිරීම සහ පුරවැසියන්ට රටේ අනාගතය හැඩගැස්වීම සඳහා ක්‍රියාකාරීව සහභාගී විය හැකි බව සහතික කිරීම සඳහා මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.

මානව හිමිකම් සිවිල් සහ දේශපාලන නිදහස පමණක් නොව ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතීන් ද ඇතුළත් වේ.  ශ්‍රී ලංකාව තුළ, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ රැකියා සඳහා ප්‍රවේශය වැනි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.  මිනිසුන්ට මෙම මූලික අයිතිවාසිකම් සඳහා ප්‍රවේශය ඇති විට, ඔවුන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට, දරිද්‍රතාවයේ චක්‍රය බිඳ දැමීමට සහ ජාතියේ ආර්ථික වර්ධනයට දායක විය හැකිය.  එපමණක් නොව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම සමාජයට පරිවර්තනීය බලපෑමක් ඇති කළ හැකිය.  ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රචණ්ඩත්වය, වෙනස් කොට සැලකීම සහ සම්පත් සඳහා අසමාන ප්‍රවේශය සම්බන්ධ අභියෝගවලට දිගින් දිගටම මුහුණ දෙයි.  මානව හිමිකම් ආරක්‍ෂාව තුළින් මෙම ගැටලු ආමන්ත්‍රණය කිරීම වඩාත් සාධාරණ සහ සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම තිබියදීත්, ශ්‍රී ලංකාව සිය සියලු පුරවැසියන් සඳහා මෙම අයිතිවාසිකම් සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීමේදී අභියෝග කිහිපයකට මුහුණ දෙයි.  මෙම අභියෝගවලින් සමහරක් ජනවාර්ගික කණ්ඩායම් අතර පවතින ආතතීන්, සිවිල් යුද්ධය ජාතියේ සමාජ ව්‍යුහයට ඇති කරන බලපෑම සහ දූෂණය සහ දේශපාලන අස්ථාවරත්වය වැනි පාලනයට සම්බන්ධ ගැටළු ඇතුළත් වේ.  මීට අමතරව, මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා නීතිමය රාමු පවතින අතර, මෙම නීති ක්රියාත්මක කිරීම සහ ක්රියාත්මක කිරීම බොහෝ විට අඩු වේ.  වාර්ගික සුළුතරයන්, කාන්තාවන් සහ ආර්ථික වශයෙන් අවාසි සහගත පුද්ගලයන් ඇතුළු ආන්තික ප්‍රජාවන් ඔවුන්ගේ අයිතීන් වෙත ප්‍රවේශ වීමේදී දිගින් දිගටම බාධකවලට මුහුණ දෙති.

අවසාන වශයෙන්, සාමය පෝෂණය කිරීම, සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ සමාජ හා ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම අතිශයින් වැදගත් වේ.  එය රජයේ, සිවිල් සමාජයේ සහ රටේ සෑම පුද්ගලයෙකුගේම කැපවීම අවශ්‍ය වන අඛණ්ඩ ක්‍රියාවලියකි.  සියලුම පුරවැසියන් සඳහා මානව හිමිකම් ආරක්ෂා කර ඇති බව සහතික කිරීමෙන්, ශ්‍රී ලංකාවට වඩාත් සාධාරණ, සියල්ල ඇතුළත් සහ සමෘද්ධිමත් අනාගතයක් ගොඩනගා ගත හැකිය.

පවිත්‍රා රනතුංග

ඇයගේ ආදරය

ආදරේ විතරයි ඕන 

කාටවත් අයිතියක් 

නොදීම …

කියව කියවා

ළඟින් ඉන්නමයි ඕන 

නිතරෝම …

හිත රිදුනම

කියවන එකමයි සමාවක්

නොහිතාම …

එපා උනොත් 

එපාමයි කලකිරවා ගනී

ජීවිතේම …

ගැහැණු හිත් පුදුමයි 

ලෝබ නැතුව දෙන හැටි

හැමදේම …

ගගන ගුරුගේ

අවස්ථාවන් හඹා යන්නෝ

ද්විතීක හෝ තෘතීක අධ්‍යාපනයෙන් අනතුරුව මෙන්ම කිසිදු අධ්‍යාපන පසුබිමක් නැතිව වුවද වෘත්තිමය වශයෙන් සාර්ථක වූ මිනිසුන් ‍, ගැහැණුන් අප දකිනවා. ව්‍යවසායකයෙක් ලෙස ⁣හෝ වෘත්තිකයෙක් ලෙස තමාගේ රාජකාරියේ හැඩතලය සොයාගෙන ඒ ඔස්සේ මූල්‍ය නිදහස කරා ළඟාවීමට ඕනෑම පුද්ගලයකුට හැකියාව තියනවා. ඒ සඳහා අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංගය ලෙස මා දකින්නේ උවමනාවයි.

අත්දැකීම් වලින් පරිණත වෙත්ම‍, ඇතමෙක් විවිධ වෘත්තීන් හෝ ව්‍යාපාර අවස්ථාවන් අත්හදා බැලීමද සිදු කරනවා. ඒ ඔස්සේ සාපේක්ෂව වාසිදායක අවස්ථාවන් ග්‍රහණය කරගන්නට සමත් වෙනවා. 

මෙහිදී තමාගේ ශක්‍යතා‍, දුර්වලතා මැනවින් අවබෝධය කරගැනීම වෘත්තිමය වශ⁣යෙන් සාර්ථක වීමට අවශ්‍ය තවත් එක් සාධකයක් .

මෙසේ වෘත්තිමය වශයෙන් ස්ථාවරත්වයක් ⁣ගොඩනගා ගන්නා අතරතුර තවත් අවස්ථාවන් නිරතුරුවම පිරික්සන ‍, ඒ වෙනුවෙන් සාධාරණ කාලයක් කැපකරන පුද්ගලයන් වේගයෙන් ආර්ථික‍,සමාජයීය හා මානසික නිදහස කරා ළඟා වෙනවා. සාම්ප්‍රදායිකව එකම රැකියාවක හෝ ව්‍යාපාරයක නියැලීමෙන් මදක් ඉදිරියට ගොස්‍, නවමු අධ්‍යාපන‍, රැකියා‍, නිර්මාණශීලී හෝ ආකල්ප සංවර්ධන අවස්ථාවන් උකහා ගන්නට සමතෙක් වීම තුළින් ඔබේ සැබෑම හැකිවන්ගේ පරිමාව ඔබටම මැනවින් අවබෝධ වේවි.

අද දවස වනවිට පුළුල් තොරතුරු ජාලයක් කරා ළඟා වීමට වැය කිරීමට සිදුවන්නේ සාපේක්ෂව සුළු මුදලක්. ඇතැම් අවස්ථාවන් වල නොමිලේ මෙ⁣ම දත්ත ලබා ගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. උදාහරණයකට අන්තර්ජාල පහසුකම වෙනුවෙන් වැයකිරීමට සිදුවන වියදමට සාපේක්ෂව අපට ලබාගතහැකි තොරතුරු ප්‍රමාණය දක්වන්න පුළුවන් .

ඉතින් අලුත් අවස්ථාවන් පිරික්මීමට‍, නිරික්සීමට හා ඒ තුළින් ආර්ථික‍, සමාජයීය හා ආකල්පමය වශයෙන් සාර්ථක වීමට තීරණය කිරීම ඔබ සතුයි. එය හුදෙක්ම ඔබ තුළින් නිර්මාණය විය යුත්තක්. අවශ්‍ය වන්නේ අද දවසට වඩා ශක්තිමත්‍, සාමකාමී සහ සතුටුදායී පුද්ගලයකු ඔබ තුළ නිර්මාණය කරගැනීමට අවශ්‍ය අවස්ථාවන් සොයා යෑමේ පිපාසය හා ක්‍රියාත්මක වීමට උවමනා නිවැරදි  යාන්ත්‍රණයයි.

දිමුතු

කව්ද මේ හිස්බුල්ලා

හිස්බුල්ලා යනු මැද පෙරදිග කලාපය තුළ ලෙබනනය පදනම් කරගත් ෂියා මුස්ලිම් දේශපාලන පක්ෂයක් සහ සටන්කාමී කණ්ඩායමක් වන අතර එය “රාජ්‍යයක් තුළ රාජ්‍යයක්” ලෙස කීර්තියක් ගොඩනගා ගෙන ඇත. හිස්බුල්ලා “දෙවියන්ගේ පක්ෂය” ලෙසද හැදින්වේ. ඉරානයේ පිටුබලය ලබන ලෙබනන් ෂියා මිලීෂියාව සහ එක්සත් ජනපදය විසින් නම් කරන ලද විදේශ ත්‍රස්තවාදී සංවිධානය ලෙස මෙය හැදින්වේ. 

ලෙබනන් සිවිල් යුද්ධයේ (1975-1990) අවුල් සහගත කාලය තුළ ආරම්භ කරන ලද ඉරානයේ පිටුබලය ලබන මෙම කණ්ඩායම ඊශ්‍රායලයට එහි ප්‍රචණ්ඩ විරෝධය සහ මැද පෙරදිග බටහිර බලපෑමට ඇති ප්‍රතිරෝධය මගින් මෙහෙයවනු ලබයි. 

හිස්බුල්ලා සංවිධානය එක්සත් ජනපදය සහ තවත් බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකනු ලබන අතර ඉරානයේ සහ සිරියාව තුළ ඊශ්‍රායල විරෝධී පාලන තන්ත්‍රයන් සමඟ ගැඹුරින් සන්ධාන ගතව ගණුදෙනු කරනු ලබයි. විශේෂයෙන්ම ගාසා තීරයේ හමාස් සංවිධානය ඊශ්‍රායලය සමග පවතින යුධමය වාථාවරණය මධ්‍යයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර දේශසීමා ගැටුම් උත්සන්න විමෙන් පෙනී යන්නේ පොදු සතුරාගේ අවධානය වෙනස් කිරීමට ඔවුන් දරණ ප්‍රයත්නයයි.

නායකත්වය, ව්‍යුහය සහ ප්‍රමාණය-

1982 ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කිරීමෙන් පසුව පිහිටුවන ලද මෙම කණ්ඩායම ඊශ්‍රායල සහ බටහිර ඉලක්ක වෙත ප්‍රහාර ගණනාවක් සිදු කර ඇත. හසන් හසරල්ලා හිස්බුල්ලා සංවිධානයේ නායකයා වන්නේ 1992 දී ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් ඔහුගේ පූර්වගාමියා වූ අබ්බාස් අල්-මුසාවි ඊශ්‍රායල හෙලිකොප්ටර් ප්‍රහාරයකින් ඝාතනය කිරීමෙන් පසුවයි. ඒ වන විට ඔහු සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. ලෙබනනයේ ප්‍රදේශ අල්ලාගෙන සිටි ඊශ්‍රායල් හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා පිහිටුවන ලද සන්නද්ධ කණ්ඩායමක සිට ලෙබනන් රාජ්‍ය හමුදාවට වඩා ශක්තිමත් යුධ හමුදාවක් දක්වා ඔහු හිස්බුල්ලා සංවිධානය පරිණාමය සඳහා මෙහෙයවීය. වර්ථමාන හිස්බුල්ලා සහ ඊශ්‍රායලය අතර ගැටුම් උත්සන්නවීමත් සමග ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ අගනුවර වන බේරූට්හිදී හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කර ඇත. හසන් නසරල්ලා මිය යාමෙන් අනතුරුව හිස් වූ ධුරය වෙනුවෙන් අනුප්‍රාප්තිකයෙකු ලෙස හෂෙම් සෆීඩීන් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

හිස්බුල්ලා  සටන්කාමීන් 100,000 ක් වන බව එම සංවිධානයේ නායක හසන් නස්රල්ලා 2021 දී පවසා තිබුණා. 

එම සංඛ්‍යාවට විශේෂ මෙහෙයුම් සිදු කිරීම සඳහා පුහුණු කරන ලද ප්‍රභූ ඒකකයක් වන රඩ්වාන් බලකාය ඇතුළත් වේ. හිස්බුල්ලාගේ රොකට්, මිසයිල සහ ඩ්‍රෝන අවි ගබඩාව 150,000කට අධික බව ගණන් බලා ඇත. ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය ගාසා තීරයේ හමාස් සංවිධානය මෙන් දස ගුණයක් ශක්තිමත් බව ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොව් ගලන් පවා ප්‍රකාශ කර ඇත. 

අරමුණ, මෙහෙයුම් සහ දේශපාලනය – 

මොවුන්ගේ ප්‍රධාන අරමුණු අතර බටහිර බලපෑම් නෙරපා හැරීම, ඊශ්‍රායලය විනාශ කිරීම, ඉරානයේ උත්තරීතර නායකයාට පක්ෂපාතී වීම සහ ඉරානයේ බලපෑමෙන් යුත් ඉස්ලාමීය රජයක් පිහිටුවීම හදුන්වාදිය හැක. දශක දෙකකට ආසන්න කාලයක් හිස්බුල්ලාගේ ප්‍රකාශිත අරමුණ වූයේ දකුණු ලෙබනනයෙන් IDF හමුදා පලවා හැරීමයි. 2000 දී ඊශ්‍රායලය ඉවත් වූ දා සිට හිස්බුල්ලා සංවිධානය ඉරානයේ දෘෂ්ටිවාදය සමඟ පෙලගැසී ඇති අතර ඉරාන රජයේ මූලෝපායික අරමුණු ශක්තිමත් කරයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදය පිළිබඳ 2022 වාර්තාව පවසන්නේ ඉරානය හිස්බුල්ලා සංවිධානයට අරමුදල්, පුහුණුව, ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, රාජ්‍යතාන්ත්‍රික, මූල්‍ය සහ සංවිධානාත්මක ආධාර සපයන බවයි.

එක්සත් ජනපද බුද්ධි අංශයේ 2024 වාර්ෂික තර්ජන තක්සේරුව (The 2024 Annual Threat Assessment of the U.S. Intelligence – ATA) ප්‍රකාශ කරන්නේ “හිස්බුල්ලා සංවිධානය සහ පුළුල් මැද පෙරදිග විසින් එක්සත් ජනපදයේ බලපෑම සීමා කිරීමට උත්සාහ කරයි” එය ඉරාන රජය සමඟ බෙදා ගන්නා ඉලක්ක බවයි. හිස්බුල්ලා ගෝලීය අපරාධ-මූල්‍ය ජාලයක් ක්‍රියාත්මක වන බවද අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ වාර්තා වූ කේන්ද්‍රස්ථාන ඇති බවද සනාථ කරයි. 2022 යුරෝපෝල් වාර්තාවට අනුව හිස්බුල්ලා සංවිධානය විසින් ගොඩනඟන ලද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය යුරෝපා සංගමයට ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම, කළමනාකරණය කිරීම, ගිනි අවි ජාවාරම සහ මුදල් විශුද්ධිකරණ කටයුතු සම්බන්ධයෙන් සැක කරන බවයි. 

හිස්බුල්ලා සංවිධානය 1992 සිට ලෙබනන් මැතිවරණවලට සහභාගී වී ඇති අතර පාසල්, සායන, තරුණ වැඩසටහන් සහ අනෙකුත් සමාජ සේවා ජාලයන් ගෙන් මහජන සහයෝගය ලබා ගෙන ඇත. 1992 මැතිවරණයෙන් එහි සාමාජිකයින් අට දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, පක්ෂය 2005 සිට කැබිනට් තනතුරු හොබවා ඇත. ඔවුන් 2009 වසරේදී ප්‍රධාන ධාරාවේ දේශපාලනයට ඒකාබද්ධ වීම සලකුණු කළේ අඩු ඉස්ලාම්වාදී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමඟිනි. 2022 දී පැවති වඩාත්ම මෑත ජාතික මැතිවරණයේදී හිස්බුල්ලා ලෙබනනයේ මන්ත්‍රීවරුන් 128 කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 13 ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. 

වත්මන් යුධ තත්ත්වය ( ඊශ්‍රායලය සහ හිස්බුල්ලා ) – 

ඊශ්‍රායලයේ අඛණ්ඩ ගුවන් ප්‍රහාර හේතුවෙන් දැනටමත් ලෙබනනයේ මිලියනයකට අධික ජනතාවකට සිය නිවෙස්වලින් ඉවත් වීමට සිදු වී ඇත. එරට අගමැති නජීබ් මිකාටි ප්‍රකාශ කර සිටියේ “රට තුළ සිදුවූ විශාලතම අවතැන්වීම මෙයයි.”  තවදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ ගුවන් ප්‍රහාර රැල්ල නිසා මිනිසුන්ට බේරූට් අගනුවරින් සහ දකුණු දේශසීමා ප්‍රදේශවලින් පලා යාමට සිදු වූ බවයි. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉහළ හමුදා අණදෙන නිලධාරී Ali Karaki සහ ජ්‍යෙෂ්ඨ පූජකයකු වන Sheikh Nabil Qaouk ද මියගිය බව හිස්බුල්ලා සංවිධානය තහවුරු කරඇත. 

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පවසන්නේ වැඩි විස්තර ලබා නොදී ලෙබනනයේ බේරූට් අගනුවර ඉලක්ක කරන බවයි. ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානී හර්සි හැලෙව් පැවසුවේ “අපි හිස්බුල්ලාට දැඩි ලෙස පහර දිය යුතුයි.” යනුවෙනුයි. ඒ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර සිටියේ “ඉරානය සතුරන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තම රටේ ඇති අධිෂ්ඨානය තේරෙන්නේ නැති බවයි.” තවදුරටත් ඔහු කියා සිටියේ “කවුරුන් අපට පහර දුන්නත් අපි ඔවුන්ට පහර දෙනවා” යනුවෙනුයි. 

ලෙබනනයේ අගනුවර සහ විශාලතම නගරය වන බේරූට් වසර 5,000 කට වැඩි කාලයක් තිස්සේ ජනාවාස වී ඇති අතර එය ලෝකයේ පැරණිතම නගරවලින් එකකි. මිලියන 2.5 ක ජනගහනයක් ජීවත්වන අරාබි ලෝකයේ දහතුන්වන විශාලතම නගරය වන මෙය පිහිටා ඇත්තේ ලෙබනනයේ මධ්‍යධරණී වෙරළ තීරයේ මැද භාගයේ අර්ධද්වීපයකය. 

ඊශ්‍රායල් ප්‍රහාරයන්ට ගොදුරු වන ලෙබනනයේ ප්‍රධාන ඉලක්කය වී ඇති බේරූට් අතහැර යෑමට බොහෝ මිනිසුන්ට සිදුවී ඇත. 34 හැවිරිදි මාධ්‍යවේදියෙකු වන සාරා ටොමාස් BBC පුවත් සේවයට පැවසුවේ පසුගිය සිකුරාදා ඇය සිය මව සහ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු සමඟ බේරූට් අගනුවර පිහිටි නිවසින් පිටත් වූ බවයි. සිරියාව හරහා ජෝර්දානයට පැනගත් ඇය කියා සිටියේ “ඊළඟට කුමක් සිදුවේදැයි අපි නොදනිමු, අපි නැවත පැමිණෙන්නේ කවදාදැයි නොදනිමු,” යනුවෙනි. 

තුෂාර පෙරේරා

ළමා සෞඛ්‍ය ගැන හිතන එංගලන්ත ආණ්ඩුවෙන් දැවන්ත පියවරක්

ලබන වසර ආරම්භයේ සිට online platforms වල ප්‍රදර්ශණය කරන junk food හෙවත් කෙටි ආහාර පිළිබදව වන දැන්වීම් තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. එක්සත් රාජධානියේ දරුවන් අධික තරබාරුකමින් මුදවා ගැනීම අරමුණු කරගනිමින් ගෙන ඇති මෙම තීරණයට අනුව දරුවන් ඉලක්ක කර නිර්මාණය කර ඇති මෙවැනි වෙලද දැන්වීම් YouTube වෙනි අවකාශ වල ප්‍රදර්ශණය කිරීම මේ අනුව තහනම් වනු ඇති. ඊට අමතරව එවැනි වෙලද දැන්වීම් රූපවාහිනියේ ප්‍රදර්ශණය කිරීම මේ මාසයේ සිට ආරම්භ කෙරුනු අතර එංගලන්තයේ බොහෝ ප්‍රදේශ වල දුම්රිය හා බස් වැනි පොදු ප්‍රවාහන සේවාවන් වල ප්‍රදර්ශණය කෙරෙන junk food දැන්වීම්ද ලබන ජනවාරියේ සිට තහනම් කිරීමට තීරණය කර ඇත.

රජයේ මෙම තීරණය සාධාරණීකරනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය ඇන්ඩෘ ග්වින් පවසා ඇත්තේ මෙම වෙලද දැන්වීම් කුඩා කාලයේ සිටම දරුවන්ගේ ආහාර රුචිය කෙරෙහි බලපෑම් ඇති කරන බවත් එයින් දරුවන් මුදා ගැනීමට මෙම තීරණය මහත් පිටිවහලක් වනු ඇති බවත්ය. එංගලන්තයේ සෑම දරුවන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙක් ප්‍රථමික අධ්‍යාපනය ආරම්භ කරන අවධිය වන විට අධික තරබාරු බවන් පෙලෙන බව සොයා ගෙන ඇති අතර ප්‍රථමික අධ්‍යාපනය අවසන් කරන අවධිය වන විට මෙරට දරුවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් අධික තරබාරු බවින් පෙලෙන බව සංඛාලේඛන පෙන්වා දේ.

නව නීතිය අනුව වෙලද දැන්වීම් ප්‍රදර්ශනය කිරීම තහනම් වන ආහාර වර්ග මේ වන විටත් හදුනාගෙන ඇති අතර ආහාර වල අඩංගු ලුනු, සීනි, මේද හා ප්‍රොටීන් ප්‍රමාණය මත රජය විසින් “අඩු සෞඛ්‍ය සම්පන්න ආහාර” ලෙස වරග කෙරෙන ආහාර වර්ග රැසක වෙලද දැන්වීම් ප්‍රදර්ශණය කිරීම මේ අනුව තහනම් වනු ඇති. ඊට අමතරව රජය විසින් හදුනාගෙන ඇති ආහාර කාණ්ඩ 13 කට අයත් කෙටි ආහාර වල දැන්වීම් ප්‍රදර්ශනය කිරීමද තහනම් කෙරෙනු ඇති. 

එම ආහාර කාණ්ඩ 13 වන්නේ සිසිල් බීම, snacks, චොකලට් සහ අනෙකුත් රසකැවිලි, අයිස්ක්‍රීම්, කේක් සහ කප්කේක්, පීසා, අතුරුපස වර්ග සහ පුඩිං, යෝගට්, බිස්කට්, කලින් පිළියෙල කල ආහාර, අල පෙති ඇතුළු වර්ග කිහිපයක් යටතේ වැටෙන ආහාර රැසක් වේ. වෙලද දැන්වීම් තහනම් කිරීම ළමයින්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කරන පළමු වැඩසටහන නොවන අතර 2009 වසරේ සිට එංගලන්තයේ දරුවන් ඉලක්ක කර විකාශනය කරන රූපවාහිනී වැඩසටහන් වල මෙවැනි දැන්වීම් ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇත.

ඊට අමතරව 2016 වසරේදී සිසිල් බීම සදහා බ්‍රිතාන්‍ය රජය විසින් නව බද්දක් හදුන්වා දී ඇති අතර එමගින් 2019 වසර වන විට එංගලන්තෙයේ අළවි කරන සිසිල් පීම වලින් සීනි ටොන් 45,000 පමණ ඉවත් කිරීමට හැකියාව ලැබී ඇත. එයට හේතුව වන්නේ බද්දෙන් බේරීම සදහා සිසිල් බීම නිශ්පාදකයන් බීම වල සීනි ප්‍රමාණය විශාල ලෙස අඩුකර තිබීමයි. තවද 2022 වසරේ සිට ආපනශාලා සහ විශාල දාම වෙලද ජාල වල ආහාර මෙනුවේ අඩංගු ආහාර වල ඇතුලත් කැලරි ප්‍රමාණය සදහන් කිරීම අනිවාර්‍ය කිරීමද එංගලන්තයේ ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් රජය ගත් තවත් වැදගත් පියවරක් වේ. රජය මෙවැනි නීති පැනවීමට සෞඛ්‍ය වාර්තා පදනම් කර ගන්නා අතර එවැනි සෞඛ්‍ය වාර්තාවක් පෙන්වා දී ඇත්තේ 2001 සිට එංගලන්තයේ ජනතාවගේ තරබාරුකම තුන් ගුණයකින් වැඩිවී ඇති බවයි.

තිලාන් ජයසේකර