කොන්ද කෙලින් තියන් කසාද බඳින්න

වයිෆ්  කියනවා අපි වෙනම පදිංචි වෙමු කියලා , මට පුලුවන්ද මගේ අම්මා තනිකරන්න ,ගෑණිට ඕන කුදයක් ගහගන්න කියලා දික්කසාද නඩු දැම්මා , අපි බැන්දේ ආදරේ කරලා , ඒත් මටනම් දැන් එයාව තිත්තයි ,අපේ අම්මා ඔය ඉඳලා හිටලා එක එක අවකැපෙන කතා කියනවා තමයි ,

මොකද වචනයක් දෙකක් කිව්වා කියලා  ඉතින් ඇඟේ වැදෙන වයෑ , ගෑණු උනාම පොඩ්ඩක් ඉවසන්න බැරිද ?

ගෑණු නම් ඕන තරම් හොයාගන්න බැරි යෑ , හැබැයි අම්මලා එහෙමද , උපන්දා ඉඳලා කන්න බොන්න දීලා හදපු අම්මට සමාන කරන්න පුළුවන් ද මේ  කොහෙවත් හිටපු ගෑණු .

ගෑණු වගේද අම්මා ..????

මේ ටික මෙහෙම කිව්වේ දන්න කියන පිරිමි යාලුවෙක් උනාට , මේ කතාව මීටත් වඩා බරට කියන පිරිමි අපේ සමාජයේ තොග පිටින් ඉන්නවා .

ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා , නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා කියලා,නෝනයි අම්මයි අතර ලස්සනට ජීවිතේ බැලන්ස් කරන්න ගොඩක් පිරිමින්ට බැහැ ,ඇත්තම කිව්වොත් ගොඩක් පිරිමින්ට එහෙම කරන්න කොන්දක් නැහැ .

අන්න ඒ නිසා,

ලංකාවේ බහුතරයක්  කසාද ජීවිතවල ,   ” නැන්දම්මා ” හිටගෙන ඉන්නේ හරිම අවලස්සන තැනක .

එකෙනුත් සාපේක්ෂව ගත්තහම දරුණුවටම රිදෙන  තැනක හිටගෙන ඉන්නේ  ඉන්නේ  ” පිරිමියාගේ අම්මා ” 

නැන්දම්මා මෙහෙමයි , ඇරෙහෙමයි , කියලා නන්දම්මලගෙන් දුක්විඳපු ගැහැණු පිරිමි දෙපැත්තට බෙදුවොත් , නැන්දම්මලා නිසා දුක් විඳින ගැහැණු ගාන  , පිරිමි ගානට වඩා දහස් ගුණයකින් විතර වැඩිවෙලා තියෙයි .

මහත්තයාගේ අම්මා බැන්නා  , හස්බන්ඩ්ගේ අම්මා හින්ට් ගැහුවා , වද දුන්නා කියලා කවුරුමහරි ගැහැණියෙක් අඬනවනම් දුක් විඳිනවනම් ,  සම්පුර්ණයෙන්ම ඒ වගකීම ගන්න ඕනේ ඒ ” පිරිමියා” මිසක් අර නැන්දම්මා නෙමෙයි .

සරළවම කිව්වොත් ,බැන්දට පස්සේ නැන්දම්ම නිසා කවුරුම හරි ගැහැණියකගේ ජීවිතේ අවුල් වෙනවනම් ඒ වගකීම  200% ම පිරිමියා දරන්න ඕනේ. අම්මට තාත්තට ඕන විදිහට විතරක්ම ජීවත් වෙන්න හිතන් ඉන්න පිරිමි කසාද බඳින එක අපරාදේ , තවත් ගැහැණු ජීවිතයක් අසරණ කරන්නේ නැතුව එයාලා සදාකාලිකවම අම්මාගේ ඔඩොක්කුවලම ඉන්න එක තමයි හොඳම දේ .

කසාදයක් බඳින්න නම් අවුරුදු 16 සම්පුර්ණ වෙන්න ඕනේ කියලා නීතියක් දාලා තියෙන්නේ , කෙනෙකුට ස්වාදීනව ජීවිතේ තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ යමක් කමක් තේරෙන්නේ අවුරුදු 16ක් වත් උනාට පස්සේ කියලා දන්න හින්දා.

හැබැයි දාසයෙන් පස්සේ ගන්න තීරණත් මඩේ හිටවපු ඉනි එක එක්කෙනා තට්ටු කරනකොට  එහාට මෙහාට වැනේනවානම් වයස ගියාට ඒ වගේ මිනිස්සු කාසද බඳින්න සුදුසු නැහැ .

ලංකාව වගේ ආසියාතික රටවල් වල තදින්ම මුල් බැහැලා තියන “මාතෘත්වය “කියන කාරණාව ඉස්සරහ , දරුවෝ බිරිඳ නෙමෙයි , දෙවියෝ  බුදුන් වත් සමාන නැහැ කියලා තමයි සම්මතය හැදිලා තියෙන්නේ .

අන්න ඒක නිසා , අම්මාද බිරිඳද කියලා තීරණයක් ගන්න වෙන වෙලාවේදී ,පුරුද්දට වගේ මුළු සමාජයම ගන්නේ ” අම්මා “කියන චරිතය පැත්ත තමයි .

හැබැයි , තමන්ගේ බිරිඳත් අම්මා කෙනෙක් කියන එක ගොඩක් පිරිමින්ට මතක නැහැ , එහෙම මතක් උනත් ඒක ප්‍රසිද්දියේ පිළිඅරගෙන බිරිඳගේ පැත්තේ හිටගන්න ගොඩක් පිරිමින්ට හයියක් නැහැ .

එන්න ඒ වගේ කශේරුකාවක් නැති පිරිමියෙක්ගේ බිරිඳක් වෙනවා කියන්නේ ඉතින් ජීවිත කාලෙම පවක් ගෙවන්න ලැස්ති වෙනවා කියන එක තමයි .

අන්න ඒ නිසා , ගැහැණියෙක් විදිහට   විදිහට ආදරේ කරන්න , හරි කසාද බඳින්න හරි පිරිමියෙක් තොරගන්නකොට උප්පැන්න සහතිකේ පුරුෂ කියල තිබ්බට , ජීවිතේ තීරණයක් ගන්න වෙන වෙලාවක නියම පිරිමියෙක් විදිහට තීරණයක් ගන්න බැරි පිරිමියෙක්ව නම් ජීවිතයට ලන්කරගන්න එපා .

අවුරුදු දහසය පහුවෙලා ස්වාදීන මිනිහෙක් විදිහට සමාජ ගත උනාට පස්සෙත් , අම්මගේ උකුලේ හුරතල් වේවි , චාටු බස් අහ අහ , උක්කුන් බිබී  අම්මගේ සියලු තීරණ වලට හිස නමා අම්මව සනසවා , බිරිඳව රිදවුවාට කමක් නැහැ කියලා  විශ්වාස කරන,නමට පිරිමි වුන පිරිමි ආත්ම කසාද බඳින්න හිතන එක ගැහැණු ආත්ම තමන්ටම කරගන්න අවැඩක් .

තමන් පිරිමියෙක් විදිහට තමන්ට කැමති කාන්තාවක් එක්ක විවාහ වෙලා , තමන් හදපු කුටුම්බය ඇතුලේ තීරණ ගන්නකොට , ඉන්නේ කොහෙද , කන්නේ මොනවද , ළමයි කී දෙනෙක්ද , කියන එක තීරණය කරන්න ඕනේ සැමියා සහ බිරිඳ මිසක් , අම්මා , තාත්තා , අයියා , අක්කා නෙමෙයි .

එහෙම ස්වාදීනව තීරණ ගන්න බැරි කසාද ජීවිත නූල් කැඩිච්ච සරුංගල් වගේ , හුළඟ හැරෙන හැරෙන පැත්තට වැනෙනවා .

මේ මගේ කොල්ලා , එයා වෙනුවෙන් මම අච්චර දුක් වින්දා , මෙච්චර වින්දා , ඒ නිසා කොල්ලා ඉන්න ඕනේ මගේ ළඟ , කියලා සැමියාගේ අම්මා පුතාව ළඟ තියාගන්න ඉල්ලන  ඉල්ලීම සාදාරණයි නම් , මේ මගේ කෙල්ල , කෙල්ල වෙනුවෙන් මම මෙච්චර කළා , අච්චර විඳේව්වා , මගේ දුව මට ඇස් දෙක වගේ , දුව ඉන්න ඕනේ මගේ ළඟ කියලා , දුවගේ අම්මා ඉල්ලන ඉල්ලීමත් ඒ තරමටම සාදාරන වෙන්න ඕනේ .

එතකොට අපිව හැදුවා , අපි වෙනුවෙන් දුක් වින්දා කියලා ඒ වෙනුවට හිලව් වෙන්න  දෙමව්පියෝ ළඟ ජීවත් වෙන්න , එයාලගේ අදහස් වලට ජීවත් වෙන්න පටන් ගත්තොත් , කුටුම්බය ඇතුලේ , සැමියා , බිරිඳ දරුවෝ කියන න්‍යාය වෙනුවට , සැමියාගේ අම්මා , සැමියාගේ තත්තා , සැමියා බිරිඳ , බිරිඳගේ අම්මා , බිරිඳගේ තත්තා , දරුවෝ වෙන්න ඕනේ නේද ?

 ඔහොම අච්චාරු වෙච්ච ජීවිත ඉන්දියාවේ කතා වල වල තිබ්බට , ප්‍රයෝගිකව එහෙම හවුලේ ජීවත්වෙන්න විසිඑක්වෙනි සියවසේ මිනිස්සුන්ගේ මනස  සුදානම් නැහැ . 

දෙමව්පියෝ වයසට ගිහාම , අත පය වාරු නැති උනාම දරුවෝ එයාලව බලාගන්න ඕනේ , ඒක සාදාරණයි වගේම මානුශීයයි .

එහෙම අවස්ථාවක දරුවෝ එක්ක ජීවත්වෙන්න අම්මා ත්තත්ට අවශ්‍යතාවය වගේම අවස්තාවත් ලැබෙන්නත් ඕනේ,

 හැබැයි ඒකේ තේරුම ඒ පවුලේ තීරණ වලට ඇඟිලි ගහන්න දෙමව්පියන්ට අවස්ථාව ලැබෙනවා කියන එක නෙමෙයි කියන දේ දෙමව්පියෝ වගේම පවුලේ ගෘහමුලිකයත්  තේරුම ගන්න ඕනේ .

ගැහැණු කසාද බඳින්න පිරිමියෙක් හොයනකොට , රැවුල තියනවද , ගෙයක් දොරක් රස්සාවක් තියනවද කියලා බලනවා වගේම , පිරිමියෙක් වගේ තීරණයක් ගන්න පුළුවන් කොන්දක් තියනවද කියලත් නිකමට වගේ බලන්න .

මොකද ශුක්‍රානු වලින් දරුවෙක් හැදුව පලියට මිනිහෙක් පිරිමියෙක් වෙන්නේ නැහැ , තමන් කසාද බැඳලා , බලාගන්නවා ආදරේ කරනවා , ජීවිතේ බාරගන්නවා කියලා පොරොන්දු වෙචච ගැහැණියට තමන්ගේ අම්මාගෙන් උනත් වැරද්දක් අවැඩක් වෙනවනම් , එයා අම්මනේ , මොනවා උනත් අම්මනේ කියල නං පචන් ගාන්නේ නැතුව , කරුණාකරලා අම්මා අපේ ජීවිතවලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්න කියලා කෙලින්ම කියන්න පුළුවන් කමක් ඕනෑම පිරිමියෙකුට තියෙන්න ඕනේ ,

ඒකෙ තේරුම බැන්දට පස්සේ අම්මට තාත්තට නොසලකනවා කියන එක නෙමෙයි .

හැබැයි ආම්මට තාත්තට සලකනවා කියලා කියන්නේ තමන්ගේ බිරිඳට, පවුලට, එයාලගෙන් වෙන අනිසි බලාපෑම් දිහා කට උඩ තියාගෙන බලන් ඉන්න එකත්  නෙමෙයි .

ඔව් මම ඔබේ පුතා ,දරුවෙක්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුකම් මම  ඉටු කරනවා, නමුත් මම දැන් ස්වාදීන පුද්ගලයෙක් , විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ ගැන තීරණ ගන්නේ මම සහ බිරිඳ , කරුණාකර ඒවාට අනිසි බලපෑම් කිරීමෙන් වලකින්න , කියලා  කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ අම්මට තාත්තට කියන්න බැරි පිරිමි , තමන්ගේ බිරිඳට තමන්ගේ පවුලෙන් වෙන හිරිහැර නවත්තන්න බැරි පිරිමි , තමන් කසාද බඳින ගැහැණියට ඒ අයිතිවාසිකම් පුර්ණව දෙන්න බැරි පිරිමි , සර්ව සම්පුර්ණ  පිරිමි නෙමෙයි .

ඔයා,ගැහැණියෙක් විදිහට කසාද ජීවිතේ සතුටෙන් සැහැල්ලුවෙන් සැනසීමෙන් ගත කරන්න හීන දකිනවනම් ,කසාද බඳින්න කලින් අනිත් දේවල් බලනවා වගේම ඒ බඳින පිරිමියාගේ කොන්දයී කශේරුකාවයිත් කෙලින් තියනවද කියලත් නිකමට වගේ බලන්න .


අනීෂා ජයකොඩි

පහතරට මූකලන් තෙලිස්සා

Lowland hump nosed pit viper 

Hypnale zara (Gray,1849)

උග්‍ර විෂ සහිත

ශ්‍රී ලංකාවේ හමුවන තෙලිස්සන් / කුණකටුවන්  විශේෂ තුන අතුරින් වැසි වනාන්තර ප්‍රදේශ තුල සුලබව හමුවන ලංකාවට ආවේණි තෙලිස්සන් විශේෂයක් ලෙස මොවුන් හැඳින්විය හැකි වේ. තෙලිස්සන් විශේෂ අනෙක් සර්පයන්ගෙන් වෙන් කොට හඳුනාගැනීමට හැකි ප්‍රධානතම ලක්ෂණ වශයෙන් හොඳින් ගෙලින් වෙන් වූ ත්‍රිකෝණාකාර හිසක් දැරීම සහ පාර්ශ්විකව බැලූ විට හොම්බ අගින් ඉහලට එසවී තිබීම ( තොල ඉහලට එසවුණු යන අරුත ලැබෙන පරිදි තෙලිස්සා යනුවෙන් මොවුන් පොදුවේ හැදින්වීමට හේතුව මෙයයි) සහ මොවුන් බොහෝවිට පොළවට අංශක 45 ක කෝණයකින් හිස ආනතව තබාගෙන සිටීම සහ ශ්‍රී ලංකාව තුල හමුවන වල පොළොඟුන් / pit vipers  සතු විශේෂ ලක්ෂණයක් වන තාප සංවේදී ලෝරියල් ජිද්‍ර / Loreal pits දැරීම ( මෙම ලෝරියල් ජිද්‍රය ඇස සහ නාස් කුහරය අතරමැදි කලාපයේ දක්නට ලැබේ) දැක්විය හැකි වේ.

කඳුකර මූකලන් තෙලිස්සා / Hypnale nepa සහ පොළොන් තෙලිස්සා / Hypnale hypnale දෙදෙනාගෙන් පහතරට මූකලන් තෙලිස්සා / H. zara වෙන් කොට හඳුනාගැනීමට හැකි ප්‍රධාන ලක්ෂණ වශයෙන් අනෙක් තෙලිස්සන් විශේෂ දෙකට සාපේක්ෂව ඉහලට එසවුණු හොම්බක් සහිත වීම සහ ලෝරියල් කොරල වලට ඉදිරියෙන් අනෙක් තෙලිස්සන් විශේෂ දෙකේ දක්නට ලැබෙන විශේෂිත කොරළ සැකැස්ම දක්නට නොලැබීම ප්‍රධානම ලක්ෂණ දෙක වශයෙන් දැක්විය හැකි වේ. මීට අමතරව බොහෝ අවස්ථා වලදී මොවුන්ගේ ගෙල දෙපස අඳුරු පැහැති විචිත්‍රවත් වයිරම් රටාවක් සහිත වීමද විශේෂ ලක්ෂණයකි. මෙම ලක්ෂණය සහිත වීම නිසාවෙන් පහතරට මූකලන් තෙලිස්සාට වයිරම් ගෙලැති කුණකටුවා යන නාමයද භාවිතා වේ.වැඩුණු සතෙකුගේ දේහ ප්‍රමාණය ආසන්නව සෙන්ටිමීටර 30ක් පමණ වේ. 

මොවුන්ගේ පෘෂ්ඨීය  වර්ණය කහ දුඹුරු කළු සහ රතු පැහැය දක්වා පුළුල් වර්ණ පරාසයකින් දැකගත හැකි අතර උදරීය වර්ණය කහ මිශ්‍ර සුදු පැහැයක් සහ කළු පැහැති තිත් සළකුණු සහිතව දක්නට ලැබේ.වල්ගයේ පැහැය බොහෝවිට කළු පැහැති හෝ කහ පැහැයෙන් යුක්ත වේ.

මොවුන් බොහෝවිට වැසි වනාන්තර ආශ්‍රිතව දිරාගිය කොළරොඩු සහ කොටන් අතර දිවි ගෙවන සර්ප විශේෂයක් වන අතර අනෙක් තෙලිස්සන් විශේෂ දෙකට සාපේක්ෂව ආවේගශීලී හැසිරීම් රටා දක්වනු ලබයි. නමුත් ඇතැම් අවස්ථා වලදී 60cm පමණ උස් වූ ශාක පඳුරු මත මොවුන් හමුවී ඇති බව දක්වා තිබේ (Maduwage et al. 2009)

දැනට වසර කිහිපයකට පෙරදී Hypnale zara විශේෂය මධ්‍යස්ථ විෂ සහිත සර්ප විශේෂයක් ලෙස වර්ගීකරණය කලද මෑතකදී හඳුන්වා

දුන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණය යටතේ ලංකාවේ හමුවන තෙලිස්සන් විශේෂ තුනෙන් H. zara විශේෂය සහ H. hypnale විශේෂය සිදුවන මිනිස් මරණ සහ ඇතිවන සංකූලතා තත්ව සළකා බලා උග්‍ර විෂ සහිත සර්පයන් ලෙස නම් කරන ලදී.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

ආවර්ජනා- කෙටි කතාව

අවසාන කොටස. 

මම ජීවත් වුනේ පුදුමාකාර නිදහසකින්. ඒ නිදහස ගෙවුනු අවුරුද්දක කාලයකදි නැත්තටම නැති වෙලා ගියේ මගේ හිතුවක්කාරකම් නිසාද නැත්නම් ඕනෑවටත් වඩා තිමිරට අවනත වුනු නිසාද කියන්න මම තාමත් දන්නෙ නෑ. 

‘බලපන්, දිනූශා අක්කයි තිමිරයි ඉන්න විදිය. උන් දෙන්නා ඉන්න හැටි දැක්කම බදින්න ආස හිතෙනවා.. 

‘කෝ..කෝ කොහෙද ඉන්නේ?

‘අර අතන කොනේ.. දෙන්නා මොනවදෝ කකා මයිලෝ බොනවා.. එහෙම තමා ඉන්න ඕනි.. 

මගේ මිතුරියක වුනු සචිනි තිමිරත් දිනූශාත් දිහා බලාගෙන කියද්දී ඒ පැත්ත නොබලා ඉන්න, ඒ ගැන දැනෙන වේදනාව යටපත් කරගන්න මම පුදුම විදියට උත්සහා කලා. ඒත් මගේ ඒ වෙනස සචිනිටත් දැනුනු නිසාද කොහෙද ඇය මගේ අතින් අල්ලා ගත්තේ හරිම ලෙන්ගතුකමින්. 

‘ටික දවසක් තිස්සේ මම උඹේ ලොකු වෙනසක් දකිනවා බන්ධනා. තිමිර කියන නම ඇහුනත් උඹ ගැස්සෙනවා. මට ඇත්ත කියපන්. මොකද්ද මේ වෙලා තියෙන්නේ?’

එක හුස්මට සචිනි මගේ ඇස් දිහා බලාගෙන අහද්දි මට හැඬුම් වාවාගන්න බැරි වුනා. එහෙමම අවන්හලෙන් පිටතට දුවගෙන එද්දි මම කාගෙදෝ ඇඟකත් හැප්පුනා. ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්න වත් නොඉද මම දුවගෙන ඇවිත් නතර වුනේ බෝඩිම් කාමරයේ. එදා හවස මම හැමදේම සචිනි එක්ක කිව්වා. කාලෙකට පස්සේ කෙනෙක් ඉස්සරහා හිතේ හැටියට ඇඬුවා. මගේ කතාවට සචිනි බාධා කලේවත් බැන්නෙ වත් නෑ. ඒත් අන්තිමට ඇය කිව්ව දෙයින් මම තීරණය කලා මම තව දුරටත් තිමිරගේ අනියම් බිරිඳ භූමිකාවෙන් ඉවත් විය යුතු බව. ඒ වචන ඒ තරමටම මගේ හිතට කතා කලා. 

‘දිනූශා අක්කා ප්‍රෙග්නන්ට්… උඹව තිමිර යූස් කරනවා විතරයි. අනික බන්ධනා, කසාද බැඳපු මිනිහෙක් තමන්ගේ ගෑණිව දාලා තව ගෑණියෙක් ළඟට යන්නේ ඒ ගෑණිව හොර ගෑණි විදියට තියාගන්න මිසක් ආදරේට නෙවෙයි. උඹම හිතලා බලපන්. එච්චර උඹට ආදරෙයි නම් දිනූශාට කොහොමද බබාල හම්බවෙන්නේ? ආදරේ කියන්නෙ ඇස් මානේ තියාගෙන පරිස්සම් කරන දෙයක්.. උඹට ඒ විදියේ ආදරයක් ලැබුනු කාලෙක තේරෙයි. අනික, නිකමට හිතපන්. උඹ තිමිරව බැඳලා දිනූශා තුන්වෙනියෙක් වෙනවට කැමතිද ආහ්?

එදා සචිනි ඒ ටික කියද්දි මම ඒ වචනයක් ගානේ අහගෙන උන්නේ මට මම ගැනම පිළිකුලක් දැනෙද්දි‍යි. අවුරුද්දක් පුරාවට තිමිරගේ හොර වැඩ වලට මාත් කොටස් කාරයෙක් වුනා නේද කියන හැඟීම මගේ පපුවට තදින්ම දැනෙන්න වුනා. මට නිදහසේ හිතන්න ඉඩ දීලා සචිනි කාමරයෙන් යද්දී මම අවසාන වතාවට තිමිරට ඇමතුමක් ගත්තා. 

‘ඔව් කියපන්.. මම මේ ගෙදර..මොකද වෙන්නේ?

මෙච්චර කල් මේ වගේ කතා මට ලොකුවට නොතේරුනත් අද අනියම් බිරිඳක් වීම මොන තරම් පහත්ද කියලා තේරුනේ තිමිරගේ කතාවෙන්. ආයෙත් සචිනිගේ වචන මගේ කන් වල දෝංකාර දෙන්න වුනා..

‘කසාඳ බැදපු පිරිමි තමන්ගෙ ගෑණිව අත් ඇරලා වෙන ගෑනියෙක්ව කසාද බදින්නේ ඒකට සාධාරණ හේතු තිබුනොත් විතරයි. තිමිර කියන්නෙ දිනූශාව කවදාවත් අත අරින කෙනෙක් නෙවෙයි…

…………………………………………..

‘භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා…..’

පෝරු මස්තකයේ ඉදන් මම මගේ අනික් පසින් සිටින රූපය දිහා බලාගෙන උන්නේ හරි ආදරෙයෙන්. අවුරුදු ගානක් තිස්සේ මගේ ආදරය පතාගෙන ආව එරංග මගේ එහා පැත්තෙන් හිටගෙන ඉන්නවා දකිද්දි මට දැනෙන්නෙ පුදුමාකාර ආඩම්බරයක්. මගේ ජීවිතේ සිද්ද වුනු හැමදෙයක්ම අඩුවක් නැතිව දැනගෙනත් එ‍රංගගේ ආදරේ දවසින් දවස වැඩි වුනා මිසක් අඩුවුනේ නෑ. කාලයක් තිමිර සහ දිනූශගෙයි ආදරේ ගැන කතා කරපු අය මමයි එරංගයි ගැන කියද්දි මගේ ඇස් කඳුලින් තෙත් වුනේ මටත් නොදැනීමයි. වැහි පොදේකින් පවා මාව පරිස්සම් කරපු එරංග නතර වුනේ මාව පෝරුවට නග්ගලමයි. 

සචිනිගේ වචන වලින් පස්සේ තිමිරව මම මඟ හරින්න පුලුවන් හැම විදියටම මඟ හැරියා. තිමිර සෑහෙන්න උත්සහ කලා මාව මුණගැහෙන්න වගේම එක එක දුරකථන අංක වලින් ඇමතුම් ගන්නත්. ඒත් අන්තිමට එයාටම හති වැටුනා. ඊටපස්සේ මමත් තිමිරත් එකම රෝහලක හැසිරුනේ නන්නාදුනන අය ලෙසිනි. 

අතීතය ගැන මට දුකයිද?

ඇත්තටම නෑ. තිමිර ගැන නොතේරෙන්න මම එරංගට කවදාවත් ලං වෙන්නෙ නැති වෙයි. මේ තරම් හොඳ රැකියාවක් කරද්දිත් සමාජයට මම අනියම් බිරිඳක් වෙන්න තිබුනා. කිසිම සතුටක් නැතිව රෑ ගනං අඩපු මට රෑ ගණං හිනා වෙන්න ඉගෙන්නුවේ එරංගයි. ඉතින් මට අතීතය ගැන දුකක් නෑ. 

අතීතයේ බර බිමින් තියලා වර්තමානයට ඇවිත් මම ගොඩාක් දවස්. පෝරුවේ චාරිත්‍ර වල අවසානයට ලන් වෙද්දි මම සෙනඟ අතරින් බැලුවේ සචිනි දිහා. ඒ ඇස් වල තියෙන අව්‍යාජ සතුට දිහා මම බලාගෙන උන්නේ හරි ආදරයෙන්. ඇය නොහිටින්න මගේ ජීවිතේ මේ තරම් සුන්දර නෑ. මගේ දිහා බලාගෙන ඇය මොනවාදෝ කියද්දි මම හිනා වුනා. ඒත් එක්කම එරංග මගේ අතින් අල්ලා ගත්තා. 

‘පිස්සි, කොයි ලෝකේ ඉන්නවද මන්දා. දැන් පෝරුවෙන් බහිමු. මේක උඩම ඉන්නද කල්පනාව?

‘ඔයා ඉන්නවා නම් කොහේ හිටියත් එකයි මට ‘

එරංගට ලං වෙලා එහෙම කිව්ව මම පෝරුමස්තකයෙන් බැස්සෙ මුළු ජීවිතයම මින් මතුවට අපි වෙනුවෙන් කැපවෙන බවට පොරොන්දුවෙමින්. 

අවසානයි. 


තක්ෂිලා ඒකනායක.

ඉතාම කෙටි කාලයකින් සිත එකඟ කර ගන්නා ක්‍රමවේදය

මාතලේ දිස්ත්‍රික්කයට අයත් උඩස්ගිරිය ගම්මානයේ පිහිටා ඇති

රිදීකන්ද ආරණ්‍යයහි  සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව “අපි සගරාවේ” 26 වෙනි දිගහැරුම ඔස්සේ ඉදිරිපත් කළ “භාවනාව සහ විවිධ භාවනා ක්‍රම” පිළිබදව කරුණු විග්‍රහ කෙරුණු ලිපියට අනුකූලව මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ “ඉතාම කෙටි කාලයකින් සිත එකඟ කර ගන්නා ක්‍රමවේදය” පිළිබදවයි.

1. ඒකාග්‍ර සිතක් යනු කුමක්ද?

සාමාන්‍ය සිතක ස්වභාවය නම්, විවිධ අරමුණු ඔස්සේ සිත විසිරවීමයි. වර්ණයන්, ශබ්දයන්, ගන්ධයන්, රසයන්, ස්පර්ශන් සහ මතකයන් තුලින් අපගේ සිත විවිධ අරමුණු ඔස්සේ මෙහෙයවමින් සිත බලවත් වෙහෙසකට පත් කරයි. සිතෙහි වෙහෙසකාරි බව, සැම විටම ච්ත්ත පීඩාව, අලස බව, කලබල ගතියෙන් යුක්තව සිත ක්‍රියාත්මක වේ. විසිරුණු සිතක චිත්ත ශක්තියෙහි ද ප්‍රභලතාවය අඩුයි.

යමෙකු විසින් විවිධ අරමුණු බැහැර කොට, එක් අරමුණක් වෙත පමණක් සිහිය පවත්වනවාද, එය ඒකාකාරි අරමුණු රටාවකින් යුක්තව ‍යම් පාලනයකින් යුත් සිතකි. එවැනි සිතක විවේකිබව, ප්‍රබෝධමත්බව මෙන්ම මනා සතිමත් බවකින් යුක්ත වු චිත්ත ප්‍රවාහයක් ක්‍රියාත්මක විම දැකිය හැක. එකඟ සිතෙහි චිත්ත ශක්තිය, ලෞකික ජිවිතයේ විවිධ බාධක හා අභියෝග පහසුවෙන් ජයගැනීමටත්, කායික හා මානසික නිරෝගීභාවය පිණිසත් මහෝපකාරී වේ.

2. සිතක එකඟ බව, කායික සහ මානසික නිරෝගි බව පිණිස හේතු වීම පිළිබද නවීන විද්‍යාත්මක පරියේෂණයන් කෙසේ සාක්ෂි දරයිද?

ඒකාග්‍ර සිතක ස්වභාවය පිළිබදව සිදුකල ඇති විද්‍යාත්මක පරියේෂණයන්ට අනුව, එකඟ සිතක් ඇතිකර ගැනීම තුලින්, මිනිස් මොළයේ ස්නායු ආවේගයන්ගේ සැලකිය යුතු වෙනසක් සහ ප්‍රීතිය, සැපය, මද්‍යස්ථබව වැනි ධනාත්මක සිතුවිලි වල උත්තේජනයන් දැකිය හැකි බව නිරික්ෂණය කර ඇත. චිත්ත ‍ඒකාග්‍රතාවය විවිධ මට්ටම් වලින් කෙනෙකුට වර්ධනය කල හැකි අතර, එම විවිධ ඒකාග්‍ර මට්ටම් වෙනස් විමට අනුකුලව, මොළයේ ස්නායු තරංගයන්ගේ සංඛ්‍යාතයන් ක්‍රමානුකූලව අඩුවන බව පරියේෂණවලින් සොයාගෙන ඇත.

ඒ ඒ ඒකාග්‍රතා මට්ටම් අනුව සිතෙහි විවිධ බලයන් හා ගුණාංග ඇතිවීම හා ඒවා තුලින් ලැබෙන විවිධ හැකියාවන් සහ ප්‍රායෝජනයන් පහත පරිදි දැක්විය හැක.

ගැමා තරංග මට්ටම් (තරංග ආයාමය 38-42 අතර)

මෙම අවස්ථාවේදී මොළයේ ක්‍රියාකාරීත්වය සක්‍රීයව ක්‍රියාත්මක වීම නිසා සතිමත් බව සමග ක්‍රියාශිලිව යම් කටයුත්තක් සාර්ථකව කිරිමේ ශක්තිය වර්ධනය වේ. විශේෂයෙන් රැකියා ස්ථානයේදී රැකියා කටයුතු වලදි නිවැරැදි සහ ක්ෂණිකව ගැටලු විසදීමේ හැකියාව දැනුවත් බව සහ මනා අවධානය, පරීක්ෂාකාරී බව මෙන්ම මතක් ශක්තිය හොදින් ක්‍රියාත්මක විම සිදු වේ.

බීටා තරංග මට්ටම (තරංග ආයාමය 12-38 අතර)

මෙම අවස්ථාවේදි මනාව තීන්දු තිරණ ගැනීම, නිවැරැදි විනිශ්චයන් ගැනිම, යම් ඉලක්ක ගත අරමුණක් නිවැරැදිව යමක් සැලසුම් කිරිම සහ එය සම්පුර්ණ කිරිම ආදිවු හැකියාවන් සාක්ෂාත් කිරිමට අවශ්‍ය සතිමත් බව ලැබේ.

ඇල්ෆා තරංග (තරංග ආයාමය 8-12 අතර)

මෙම අවස්ථාවේදී ඇතිවන සිතෙහි එකඟ බව, තුලින් කය සහ සිත යන දෙපාර්ශවයේ මනා ඒකාබද්ධභාවය සහ සමබරතාවය තහවුරු කරයි. ඒ ඔස්සේ කායික මානසික සන්සුන් බව සහ විවේකි බව අත්විඳිය හැක. මෙම අවස්ථාවෙ ස්නායු පද්ධතිය සමතුලිතබව සහ ආතතිය වඩවන හෝමෝන ක්‍රියාකාරිත්වය අඩුවන බව සොයා ගෙන ඇත.

තීටා තරංග මට්ටම (තරංග ආයාමය 4-8 අතර)

තීටා අවස්ථාවේදී ඇතිවන සිතෙහි එකඟ බව, ගැඹුරු සමාධි ස්භාවයකට පත්වීමත්, ඒ තුලින් ධනාත්මක ආකල්ප, නිර්මාණශිලීත්වය වැනි අභ්‍යන්තර කුසලතාවන් වර්ධනය වීම සිදුවන බව සොයාගෙන ඇත. මෙම අවස්ථාව, කෙනෙකුගේ තෙවෙනි ඇස ඉපදීම ලෙසද වේද ශාස්ත්‍රියේ සදහන් වී ඇත.

ඩෙල්ටා තරංග මට්ටම (තරංග ආයාමය 1-4 අතර)

ඩෙල්ටා අවස්ථාවේ සිතෙහි එකඟ බව සුවිශේෂී අවස්ථාවකී, මෙහි ගැඹුරු සමාධි මට්ටමක් වන අතර, උපේක්ෂාව, මෛත්‍රීය, කරුණාව, මුදිතා ආදී විශේෂය ගුණංග සහිත සිතුවිලි ධාරා ඉපදීම, වගේම ගැඹුරු සුවපත් බවක් මෙම මට්ටමේදි ලැබෙයි. කායික හා මානසික ආබාධ සුවවීමේ හැකියාවක් මෙම අවස්ථාවට පත්විම තුල ඇතිකල හැක. සියුම් විමර්ශනශිලිත්වයක් මෙන්ම යමක් ගැඹුරින් අවබෝධ කර ගැනීම සදහා අවශ්‍ය චිත්ත ශක්තිය මෙම මට්ටමේදි ලඟා කරගත හැක.

3. බෞද්ධ දර්ශනය තුල සමත භාවනාවේ උපයෝගීතාවය කෙසේද?

බෞද්ධ සතිය, එළඹ සිටි සිහිය, සමාධිය ආදී වශයෙන් ඉදිරිපත් කෙරෙන අදහස් තුල මතුවන්නේද, සිතහේ එකඟ බව වේ. ලෝකයේ සත්‍යතාවය ගවේෂණය කිරිමට අවශ්‍ය ගැඹුරු සිහිය, සතිමත් බව, සමථ භාවනාව තුලින් වර්ධනය කරවයි. සමථ භාවනාවෙන් ලැබෙන එම සතිමත් බව, තුලින් විදර්ශනා දර්ශනයන් විමර්ශන කිරිම ධර්ම මාර්ගය වඩන භාවනා යෝගීන් විසින් සිදු කරයි. ඒනිසා, ධර්ම මාර්ගය සදහා අවශ්‍ය මූලික පදනම ලෙස ඒකාග්‍ර සිත හදුන්වා දිය හැකිය.

4. එදිනෙදා ජිවිතයේදී සියලු දෙනාට සරලව භාවිතා කල හැකි භාවිනා ක්‍රමයක් නිර්දේශ කල හැකිද?

සියලු වයස් වල අයට වැඩීමට පහසු අභ්‍යාසයක් ලෙස හුස්ම මුලික කොට ගණන් කිරිමේ ක්‍රමයක් මෙලෙස ඉදිරිපත් කල හැකිය.

මෙම භාවනා අභ්‍යාසය සදහා පිට කොන්ද ඍජුව සහ හේත්තු නොවි තබා ගැනීම වැදගත්ය.

සුදුසු පරිදි ආසනයක හිද ඇස් දෙක වසා ගන්න.

හොදින් දීර්ඝ හුස්මක් ආශ්වාස කර ප්‍රාශ්වාස කරන්න.

මෙම දීර්ඝ හුස්ම ගැනීම තුන්වරක් පමණක් සිදු කරන්න.

ඉන්පසු නිරායාසයෙන් වැටෙන හුස්ම ‍රටාව හදුනා ගන්න උත්සාහ කරන්න.

හුස්මේ අශ්වාසය වැටෙන හැටි හදුනා ගන්න.

හුස්මේ ප්‍රාශ්වාසය වැටෙන හැටි හදුනා ගන්න.

ඉන්පසු, නිරායාසයෙන් වැටෙන අශ්වාසය ” එක, දෙක, තුන, හතර, පහ” නමින් ගණන්  කරන්න.

එලෙසම, නිරායාසයෙන් වැටෙන ප්‍රාශ්වාසයටද ” එක, දෙක, තුන, හතර, පහ” නමින් ගණන් කරන්න.

මෙම එකේ සිට පහට ගණන් කිරිම නොනවත්වාම, අශ්වාසයට සහ ප්‍රාශ්වාසයට සිදු කරන්න.

මෙය විනාඩි පහේ සිට විනාඩි 30ක් දක්වා වැඩි දියුණු කරන්න.

මෙම ලිපිය මගින් ඉතාමත් වටිනා ධර්මානුකූල කරුණු රැසක් “අපි සගරාව” කියවන ඔබ වෙත ඉදිරිපත් කිරිම පිළිබදව අපගේ ගෞරවනීය ස්තුතිය රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!


අමා නාකන්දලගේ

ඔබගේ සෑම දුකක්ම දෙවියන්වහන්සේට භාර දෙන්න.

(ගීතාවලිය :25 22)

දෙවියන්වහන්ස, ඊශ්‍රායෙල් ඔහුගේ සියලු දුක්වලින් මිදුව මැනව.

ඇත්තෙන්ම මම අද දවසේ ඔබත් සමඟ බෙදාගන්නට සිතුවේ ඔබගේ ජීවිතයේ සෑම දුකක්ම සෑම වේදනාවක්ම දෙවියන්වහන්සේ හට භාර දෙන්න කියාය.ඇත්තෙන්ම අපි ඉහත බැලු බයිබල් පදයට අනුව අපිට පෙනී යන දෙයක් නම් අද සමාජයේ අපිට අපගේ දුකක්,ප්‍රශ්නයක් ගැන කියන්න කෙනෙක් නොමැති කාලයක ඔබගේ ප්‍රශ්නය ගැන කතා කරන්න කියන්න විශ්වාසවන්තම කෙනෙක් සිටිනවා.ඉහත බයිබල් පදයට අනුව අපි දකිනවා ඊශ්‍රායල් සෙනග කරන්නාවු කන්නලව්ව.ඉන් මා ඔබට කියන දෙයනම් ඔබගේ ජීවිතයේ ඔබට තිබෙන ප්‍රශ්න,වේදනා සියල්ල භාර දෙන්න යේසුස් හට.උන්වහන්සේ ඔබව පිළිගෙන ඔබට ආශිර්වාද කරනවා ඇත.

ඉතින් ඔබ මොහොතක් කල්පනා කරන්න ඔබගේ ජීවිතයට ජය දෙන ඔබව විශ්වාස කරන ඔබට ඇහුම්කන් දෙන කෙනෙකු සිටීම කොපමණ යහපත් දෙයක්ද කියා.ඉතින් ඔබ තවත් දුක් විය යුතු නැහැ මක්නිසාද ඔබ දෙවියන්වහන්සේව තදින් අල්ල ගන්න උන්වහන්සේ ඔබට ජය දෙනවා ඇත.

ඒවගේම ඉහත බයිබල් පදය දෙස බලන විට ඔබට සිතිය හැකියි මෙම පදය ඔබට අදාළ නැතැයි කියා.මෙය අයිති ඊශ්‍රායල්වරුන්ට පමණක් බව ඔබ සිතනවා වන්නට පුළුවන්.නමුත් මෙම පදය අපි සියලු දෙනාටම අදාළයි.හොදයි අපි තවත් දේව වචනයක් දෙස අපගේ හදවත යොමු කරමු.

(යෙරෙමියා :32 27)

බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේය.මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද? 

ඉතින් ඔබ මොහොතක් කල්පනා කරන්න උන්වහන්සේ අපි සැවොමගේ දෙවියන්වහන්සේ බව.උන්වහන්සේ අපි හැමෝම වෙනුවෙන් ජීවිතය පූජා කරපු දෙවිඳුන් ලෙසට උන්වහන්සේ අපි හැමෝටම පුදුම ලෙස ප්‍රේම කරන යේසුස්වහන්ස වේ.

ඉතින් අවසාන වශයෙන් ඔබට කියන්නට තිබෙන්නේ යේසුස් වහන්සේව විශ්වාස කරමින් ඔබගේ සෑම දුකක්ම උන්වහන්සේට භාර දී ජීවිතය ජය ගන්න.


ඔබ සැමට ජේසු පිහිටයි!

Overnight Coconut Oil Beauty Tips

කාන්තාවන් තමන්ගෙ රුව රැකගැනීම පිළිබඳව නිරන්තරයෙන් උනන්දුවක් දක්වන අතර ඒ සඳහා වයස් බේදයක් නැත. වෙළෙඳපොළ තුළ විවිධ නම්වලින් , විවිධ සන්නාමවලින් සහ විවිධ වර්ගීකරණයන් යටතේ රූපලාවණ්‍යය නිෂ්පාදන දහස්ගණනක් විවිධ මිල ගණන් යටතේ පවතී. ඒ අතර ඉතා ම මිල අධික නිෂ්පාදන මෙන් ම ඉතා ම අඩු මුදලකට විකිණෙන නිෂ්පාදන ද තිබේ. සමහර විටෙක ඔබ මිල දී ගන්නා නිෂ්පාදනවලින් ඔබ අපේක්ෂා කරන ප්‍රථිපල ළඟාකරගැනීම ඉතා සෙමින් සිදුවන්නක් හෝ සමහරවිට ඒ නිසා අතුරුප්‍රථිඵල ලෙස විවිධ ගැටළු ද මතු විය හැක. එහෙත් ඉතා මිල අධික නොවන, පහසුවෙන් සපයාගත හැකි ස්වාභාවික නිෂ්පාදන තුළින් එදිනෙදා නිවසේ දී ම පහසුවෙන් ඔබගේ රුව වඩවාගත හැකි ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් අද කතාබහ කරමු. මෙහි ඇති විශේෂත්ත්වය නම් ඉතා පහසුවෙන් සපයාගත හැකිවාක් මෙන් ම හිසකෙස්වල සිට දෙපතුල වනතෙක් ම මෙම බොහෝ නිෂ්පාදන ඉතා අව ම අතුරු ආබාධ සහිතව පාවිච්චිකළ හැකි වීම යි. ඉතා පහසුවෙන් ගුණ රැසක් ඇති පොල්තෙල් භාවිතයෙන් පහසුවෙන් ම ඔබට ඇති රූපලාවණ්‍යය ගැටළු රාශියකට පිළිතුරු මෙම ලිපියෙන් අනාවරණය කිරීම ට යි මේ සූදානම් වන්නෙ. 

Dry Hair

ඔබ නින්දට යාමට පෙර coconut oil ප්‍රමාණයක් ගෙන මද ක් උණුසුම් කොට නින්දට යාමට පෙර හිස්කබලේ හොදින් අලේප කර ,පසුදා උදැසන shampo ,conditionaer යොදා හොදින් wash කරගැනීම මගින් නිරෝගිමත් හිසකෙස් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත . (මෙහි දී ඔබට ඉතා තදින් සෙම්‍ රෝග සහ පීනස් රෝග ඇති නම් පොල්තෙල් ඇතුළු තෙල් වර්ග භාවිතයේ දී ඉතා සැළැකිලිමත් වන්න. දිගුවේලාවක්  තෙල් හිස ගල්වා තැබීම එවැනි රෝගී තත්ත්ව උත්සන්න කිරීමට හේතු විය හැකි බැවින්)

Dandruff 

ඔබට හිස්හොරි සහිත හිස්කබලක් ඇත්තේ නම් උණුසුම් coconut oil ටිකක් ගෙන එයට tea three oil මිශ්‍රකර හොදින් හිස්කබලේ අලේප කර පැයක් පමණ කාලයක් තබා හොදින් shompo ,conditioner දම හිසකෙස් සෝදා පිරිසුදු කරගැනීම මගින් ඔබට dandruf තත්වය වලකා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Hair falls 

ඔබට හිසකෙස් ගැළැවීයාම පිළිබද තත්වයක් ඇතිනම් එය වලක්වාගැනීම සදහා coconut oil සහ fenugreek water ගෙන හොදින් මිශ්ර කර පැයක පමණ කාලයක් තබා shampo ,conditioner කිරීම මගින් ඔබට හිසකෙස් වැටීයාම අව ම කරගෙන දිදුලන නිරෝගී හිසකෙස් ලබාගත හැකි ය. 

Creaked heels 

විවිධ දේශගුණික වෙනස්කම්වලට ලක්වන අපේ ශරීරය සමහර අවස්ථාවන්වල ඒවා දරාගන්නා ආකරය නිසා මුහුණ , දෑත් දෙපතුල් ආදී අවයව කොටස් අධික වියළිබවට පත්වීම සාමාන්‍යය යි. එවන් අවස්ථාවකට නිදසුනක් වන්නේ දෙපතුල් පැලීම යි.  ඔබේ දෙපා අධික වියළි සහ වේදනාකාරී ලෙස පැලීයාමට ලක්ව ඇත්නම්  ,නින්දට යාමට පෙර හොදින් පිරිසිදු කල දෙපතුල්වල පොල්තෙල් ආලේප කොට මේස්දෙකක් පැළඳීමෙන් අනතුරුව රාත්‍රී නින්දට යාම මගින් ඔබට දෙපතුලු පැලී යාම වලක්වා ගැනීමට හැකියාව ලැබේ.

Mouth ulcers 

විවිධ ආසාත්මිකතා නිසා හෝ වියළිබව නිසා හටගන්නා වේදනාකාරී තොල් පැලීම් සහ දෙතොල්මත ඇතිවන කුඩා වේදනාකාරී තුවාල සඳහා ද ඉක්මන් සහ සාර්ථක ප්‍රථිපල පොල්තෙල් භාවිතයෙන් ලැබේ. එමෙන් ම මුඛයේ ඇතුළු පැත්තේ හටගන්නා mouth ulcersවලට ද පොල්තෙල් මඟින් සහනයක් ලබාගත හැකි ය. ඔබ mouth ulcers වලින් පීඩාවිදින්නේ නම් pure coconut oil ගෙන mount ulcer මත රාත්‍රියක් දී ආලේප කිර්‍ර්මෙන් ඔබට ඉක්මන් සහනයක් ලැබේවි. 

Healthy Teeth 

නිතිපතා දවසට දෙවරක්වත් දත් මැදියයුතු බව විශේෂඥ මතය යි. එහෙත් වර්තමානයේ වැරැදි ආහාර රටා හෝ වෙනත් සෞඛ්‍යය ම ය ගැටළු නිසා අදවන විට මුඛ රෝග බහුල ය. එහෙත් ඔබ දිනපතා උදැසන දත් මැදීමෙන් පසුව  extra verging coconut oil බිඳක් ගෙන හොදින් දත්වල ආලේප කර පිරිමැදීමෙන් නිරෝගිමත් දත් පෙළක් සහ නිරෝගී විදුරුමස් ලබාගැනීමට හැකියාව ලැබේ. 

ඉතින් කාලයට ගැළැපෙන ලෙස ඉතා ම අඩු වියදමකින් ඔබේ ආහාර රසවත් කරන ගුණදායක පොල්තෙල් භාවිතයෙන් බොහෝ රුවවඩන සත්කාර කිරීමට ද හැකිබව මෙම ලිපියෙන් ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මා විශ්වාසකරනවා. මෙවැනි ම ලිපියකින් නැවත හමුවන තුරු ඔබට සුබ දිනක් !

Sameera Jayasinghe