දියඇලි පාරදීසයක් දිගේ

සමහර වෙලාවට මට ඕනි කරන්නේ ඇත්තටම හොඳ හුස්මක් ගන්න ඉතින් ඒ වෙනුවෙන් ඕන දෙයක් මට කරන්න පුළුවන්..ඉතිං අද මම කියන්නේ යන්නේ අන්න ඒ වගේ හොද හුස්මක් හොයන් ගිය සුන්දර ලස්සනම ඉසව්වක් ගැන…
දොළොස්භාගේ දේදුගල මාර්ගය… ඇත්තටම මේ මාර්ගය සුරපුරයක් කියලා කියන්න පුළුවන් මම ඇවිද ගියපු මාර්ග අතර තවත් සුන්දර මාර්ගයක් තමයි මේ දොළොස්භාගේ මාර්ගය… 

 ඇත්තටම ඇවිදින අයට මම ආදරෙන් ආරාධනා කරනවා. යන්න ඒ මාර්ගයේ දොළොස් භාගේ පාරේ දේදුගල බුලත් කෝපිටිය පැත්තෙන් ඇත්තටම පුදුම තරම් ලස්සනයි…

මීදුමත් එක්ක වැස්ස මැදින් මේ පාරේ යන්න ඕනේ. ඒ තරමට මේ පාර වැස්සට මීදුමට පුදුම තරම් හිත නිවනවා..
නිදහසේ හරි ලස්සන සින්දුවක් අහගෙන යන්න තියෙනවනම් ඇත්තමයි හිත නිවෙනවා…
කිසිම කලබලයක් නැතුව මේ පාරෙ යන ඔයාලට දිය ඇලි බොහොමයක් දැක ගන්න පුළුවන්..
එ විතරක් නෙවෙයි දිය දහාරාවන් තියෙනවා මේ පාරේ යනකොට ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ තැන්වලින් ඔයාලට කිසිම කරදරයක් නැතුව නා ගන්න පුළුවන් සීතල වතුර ටිකක්….
දිය නෑ මට සුදුසුයි කියලා බෝඩ් ගහලා තියෙනවා.. ඉතින් ඒකම ගොඩක් වටිනවා….

මනුස්සයෙක්ගෙ හිත සනසන්න ඒ වගේම හිත නලවන්න පුළුවන් එකම දේ මේ සොබාදහම කියලා මේ වෙනකොට මම තේරුම් අරන් තියෙන්නේ… ඉතින් මගේ හිත සනසන්න මගේ හිත නලවන්න මේ වගේ සුන්දර මාර්ගයක් කියන්නේ ඇත්තටම මට වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් සම්පතක්…..

හැබැයි එක දෙයක් කියන්න ඕනේ අපිට සුන්දරත්වය ගේන මේ ප්‍රදේශ ඇත්තටම හරි දුෂ්කරයි මොකද මම එනකොට දැකපු දේවල් ගොඩක් තිබුනා… තේ වතු විතරක් නෙවෙයි මං දැක්කා සමහර තැන්වල රබර් තියෙනව… ඒ වගේම මේ පැත්තේ ඉන්න මිනිස්සු ජීවත් වෙන්න ගන්න ලොකු උත්සාහය ඇත්තටම යන එනකොට අපිට බලාගන්න පුළුවන්..  වැඩි හරියක් මං හිතන විදිහට මේ පැත්තේ ඉන්නේ දමිළ ජනතාව…

මේ මාර්ගයේ මේ දේදුගල පැත්තේ ඉන්නේ දමිළ මිනිස්සු තේ දළු ටික නෙළාගෙන ඒ තේ දළු පොහොර බෑග් වලට දාගෙන එක එක ස්ථානවල දළු ලොරි එනකමි බලන් ඉන්නවා මම දැක්කා…  මාසෙ වියදම හොයාගන්න වෙහෙසෙන මේ මිනිස්සු මේ වගේ පැත්තක තියන සුන්දරත්වය විඳින අපි වගේ අය වගේ නෙවෙයි එයාලා ලොකු දුෂ්කරතාවයකට මුහුණ දෙනවා… 

ඉතින් මේ පාරේ බුලත් කොහු පිටිය පැත්තට යනකොට දිය ඇලී පාරාදීසයක් කිව්වනේ ඒ දියඇලි පාරාදීසෙන් ඉස්සෙල්ලාම හම්බවෙන්නේ සුරබ ඇල්ල , ඊළඟට විලද ඇල්ල හම්බවෙනවා. ආයෙ රිකිළි අල්ල හම්බවෙනවා.

තව නලඟන ඇල්ල.. ඉතින් මේ නාලඟන ඇල්ල ටිකක් විශේෂයි මොකද මේ ඇල්ල ගොඩක් අය අතර ජනප්‍රියයි.. කියනවනෙ නළගනක් වගේ කියලා හැබැයි ඉතින් එදා අපි යනකොට නම් තනිකර මඩ පාටයි… මොකද අපි ගියේ වැස්සෙ නිසා වැස්සට වතුර පාර වැඩී ඉතින් මඩ වතුරත් එක්ක තමයි තිබුනේ… නළඟන ඇල්ල විතරයි හැබැයි එහෙම මඩ වතුර අපි දැක්කේ මොනවා වුනත් හරි සුන්දර පැත්තක් මොකද නළඟන ඇල්ලට යන්න චුට්ටක් යන්න තියෙනවා පයින්.. ඒ පයින් යන ටික රබර් වතු මැද්දෙන් තමයි යන්න තියෙන්නේ.. රබර් ගස්වල කිරි කපලා එවාට ඉටිරෙදි බැදලා තිබුණා.. මම දැක්කේ හරියට රබර් ගස්වලට යටසායවල් අන්දවලා වගේ..

නලගෙන ඇල්ල පහු කරලා යනකොට හම්බවෙන්නේ රුක්මල් ඇල්ල.. ඉතින් මෙතන රොටී කඩයක් තියෙනවා. ඒ රොටි කඩෙන් ලුණු මිරිස් එක්ක රොටියක් කාලා ප්ලේන්ටියක් බීලා එතන ටිකක් වෙලා ගිමන් හැරලා අපි ආයෙත් එන්න පටන් ගත්තා. ඇත්තටම මේකනම් සුරපුරයක් කියලා කියන්න පුළුවන්..

කියන්නම ඕනේ. දොළොස්භාගෙට යන පාර නම් මාරම ලස්සනයි. ඒක හරියට වෙනම ලෝකයක් වගේ තමයි මම දැක්කේ. එක පැත්තකින් මීදුම අනිත් පැත්තෙන් තනිකරම කොළ පාට ඒ කොල පාටත් එක්ක මීදුම ගලාගෙන යනකොට ඇත්තටම මේක වෙනම ලෝකයක් කියලා හිතෙනවා…

 දවසක ඔයාලත් යන්න දොළොස් භාග පාරේ මේ ලස්සන බලන්න… ඔයාලට පුළුවන් යන්න නාවලපිටියට ගිහින් දොළොස්භාගේ පාරේ යන්න… එහෙමත් නැත්නම් කෑගල්ලේත් දොළොස්භාගේ පාරේ ගිහින් නාවලපිටිය පැත්තේ ඇවිදින්න ඔයාලට පුළුවන් ඉතින් දවසක යන්න මේ සුන්දරත්වය විඳින්න… හැබැයි කියන්නම ඕනි දෙයක් තියෙනවා නලඟන ඇල්ල ළඟ පරිසරය නම් විනාස කරල තියනව දැක්කා. පොලිතීන් ප්ලාස්ටික් බිස්කට් කවර එතන නැති දෙයක් නෑ. ඉතින් යන තැන පරිස්සම් කරන්න මොකද මේ සොබාදහම අයිති අපිට විතරක් නෙවෙයි මේ සොබාදහම අපි පරිස්සම් කරන්න ඕනේ අපි මේ සොබාදහමේ එක කොටසක් විතරයි. ඒ නිසා එ පරිසරයත් පරිස්සම් කරගෙන එ සුන්දරත්වය විදින්න යන්න කියලා මං ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා..


නිසංසලා රණසිංහ 

Pareidolia

මෙහෙම වෙනවද බලන්න ඔයාටත්..බිම වතුර ටිකක් වැටිලා තියෙනවා දකිනකොට, අහසේ වළාකුළු දකිනකොට, ගස් අතරින් බිමට හෝ බිත්තියකට වැටිලා තියෙන සෙවණැලි දකිනකොට, සමහර ගස්වල අතු විහිදී ඇති අයුරු දකිනකොට යම් අර්ථාන්විත රූප පේනවද ? ඔව් මට පේනවා..දකිනකොටම පේනවා..රූප විතරක් නෙවෙයි නොකඩවා ඇසෙන ශබ්ද වලින් යම් රටාවකට තාලයක් සිතෙන් ගොඩනැගීමත් එක් අංගයක්.

ඔන්න එක දවසක් මරු වැඩක් වුණා.. අපේ ගෙදර කුස්සියට යාබදව තබා තිබෙන මේසය අසල මම ඉඳගෙන ඉන්නකොට අම්මා ඇවිල්ලා දුන්නා මට කිරි තේ එකක්. ඒක ගන්නකොටම පොඩි අත්වැරදීමකින් කිරි තේ මේසය මත ඉහිරුණා. අම්මා වහාම එය පිසදාන්න රෙදි කැබැල්ලක් ගේන්න එන්න ගිය පොඩි වෙලාවට ඔන්න මට පේන්න ගන්නවා මේ ඉහිරුණු කිරි තේ ටිකෙන් මිනිස් රූපයක්..තව පොඩ්ඩක් ඇඟිල්ලෙන් කිරි තේ රේඛා යා කළා නම් අතිශය තාත්ත්වික රූපයක් ගොඩනගන්න පුළුවන් වගත් මට එකවරම පේන්න ගන්නවා. ඒත් එක්කම අම්මා ආවා.

” ඔය මොනවද කරන්නෙ පොඩි එකෙක් වගේ ? කෝ අත ගන්න ඕක පිහිදාලා දාන්න..” 

“පොඩ්ඩක් ඉන්න අම්මේ..මේක ඉවර කරනකම්..අම්මට මේකෙන් මුකුත් පේන්නේ නැද්ද ?”

” පේනවා..තේ හැලිලා කියලා..”

” නෑ නෑ අම්මේ..රූපයක් “

ඔල්මාදෙද කොල්ලෝ ?..ඕන එකක් කරගන්නවා..විකාර..”

ඇත්තටම මේක පිස්සුවක්ද ? මම හෙව්වා තොරතුරු.. මේකට කියන්නේ “Pareidolia” කියලා..සෑහෙන පිරිසකගෙන් බොහොම ටික දෙනෙකුට මේක පිහිටනවා. කිසිදු සම්බන්ධයක් නොමැති දේ වලින් අර්ථාන්විත චිත්ත රූප නිර්මාණය වීමයි. මුල් කාලයේදී Pareidoilia තත්ත්වය පාකින්සන් සහ විශාදය ඇති පුද්ගලයන්ට ඇතිබව කියැවුණත් පසුව එම පරීක්ෂණවලට යොදාගත් නියැඳි පරීක්ෂාවේ අඩුපාඩුවක් නිසා ඒ නිගමනයට ආ බව තහවුරු වී තිබෙනවා. නවීන වෛද්‍ය විද්‍යාව මෙය රෝගී තත්ත්වයක් නොවන වගත් මොළයේ ඉතා ඉහළ නිර්මාණශීලීත්වයක ලක්ෂණ වගත් තහවුරු වී තිබෙනවා. 

මේ පිළිබඳව ලෝක තොරතුරු සෙවීම අතිශය රසවත් අත්දැකීමක් වුණා. අතිශය විශාල තොරතුරු ප්‍රමාණයකින් මගේ සිත් ඇද බැඳ තබාගත් තොරුතුරු දෙකක් කියන්නම්. 

ඔන්න කැනඩාවේ 1954 දි නිකුත්වුණ මුදල් නෝට්ටුවල දෙවන එළිසබෙත් රැජිනගේ රුව යොදාගෙන මුද්‍රණය කර තිබුණා. එම නෝට්ටු මාලාව මුදල් නෝට්ටු එකතු කරන්නන් අතර ඉතා ජනප්‍රිය වුණා. හේතුව සොයා බලනවිට එම නෝට්ටුවල එළිසබෙත් රැජිනගේ හිසේ කෙස් කළඹෙ යක්ෂයකුගේ රුවක් ” Devil’s Head ” ලෙස දිස්වීමයි. පසුව මෙම නෝට්ටු මාලාව වෙනුවට අලුත් නෝට්ටු මාලාවක් මුද්‍රණය කිරීමට පවා කැනේඩියානු රජයට සිදුවිය. 

එවැනිම රසවත් තොරතුරක් තමයි ” හිට්ලර්ගේ තේ පෝච්චිය “. මෙම කේතලයට සමාජ මාධ්‍ය තුළින් ලැබුණ අවධානයද “Pareidolia” තත්ත්වයකට නිදසුනක් ලෙස ප්‍රචලිතය.

මෙම Pareidolia තත්ත්වය ඇති පුද්ගලයන්ට අනෙකාගේ චිත්ත වේගය, ඔවුන්ගේ ඊලඟ හැසිරීම ක්ෂණයෙන් හඳුනාගත හැකි විශේෂිත හැකියාවන්ද ඇති අතර මෙම තත්ත්වය විවිධ වෛද්‍ය විද්‍යා පරීක්ෂණයන් වලට උපකාර කරගැනීම දක්වා දියුණු වී ඇත. 

මේක දැක්කම ඔබටත් මේ හැකියාව ඇති කියලා හිතේවි. ඒත් ඇත්තටම ඔබට මේ අත්දැකීම තිබුණද කියලා හිතලා බලන්න..☺

Charith Wijemanna

චරියාගේ පන්හිඳ

නත්තලේ උණුසුම හැඟීම් හරහා ගමනක්

නත්තල පැමිණෙන්නේ සියුම් රහසක් මෙන් වන අතර, අප අවට ලෝකය එහි අද්විතීය මැජික් සහ මතකයන් සමඟ පරිවර්තනය කරයි. එය නිකම්ම නිවාඩු දිනයක් පමණක් නොවේ—එය මෘදු, සැනසිලිදායක බ්ලැන්කට්ටුවක් මෙන් අපගේ හදවත් වටා ප්‍රීතියේ, බලාපොරොත්තුවේ සහ සම්බන්ධතාවයේ නූල් එකට බැඳ තබන හැඟීමකි.

සමය ආරම්භ වන්නේ අපේක්‍ෂාවෙන්, සියුම් විදුලියක් දෙසැම්බරයේ මුලදී යම් වේලාවක නාද වීමට පටන් ගනී. දරුවන්ගේ ඇස් උද්යෝගයෙන් බබළයි, ඔවුන්ගේ පරිකල්පනයන් දිලිසෙන විදුලි පහන් සහ ඔතා ඇති තෑගි දර්ශන සමඟ නටති. වැඩිහිටියන්ට ද වෙනසක් දැනේ – නාඳුනන අය මඳක් උණුසුම් ලෙස සිනහවක් ඇති කරන හදවත මෘදු වීම, අසල්වැසියන් තව ටිකක් උනන්දුවෙන් අත වනයි.

ලොව පුරා නිවෙස්වල, සම්ප්‍රදායන් සැමරීමේ හද ගැස්ම බවට පත්වේ. නත්තල් ගස අලංකාර කිරීමේ චාරිත්‍රය හැඟීම්වල සංධ්වනියකි – සෑම ආභරණයක්ම මතකයක්, සෑම විදුලි පහනක්ම අතීත සැමරුම් සමඟ සම්බන්ධ වේ. පවුල් රැස්ව, ඔවුන්ගේ සිනහවෙන් කාමර උණුසුම්ව පුරවයි, එය ශීත ඍතුවේ සීතල පසුපසට තල්ලු කරයි. ආච්චිලා සීයලා කතන්දර බෙදාහදා ගනී, දෙමාපියන් ළමා සම්ප්‍රදායන් ප්‍රතිනිර්මාණය කරයි, සහ දරුවන් මිශ්‍රණයට ඔවුන්ගේම දීප්තිමත් ශක්තියක් එක් කරයි.

දීමේ ආත්මය සාමාන්‍ය අවස්ථාවන් අසාමාන්‍ය ඒවා බවට පරිවර්තනය කරයි. එය තෑග්ගක මිල ගැන නොවේ, නමුත් එය පිටුපස ඇති චින්තනය – ප්රවේශමෙන් තෝරා ගැනීම, වෙනත් කෙනෙකුට ප්රීතිය ගෙන ඒමේ අපේක්ෂාව. දරුවෙකුගේ අතින් සාදන ලද කාඩ්පතක්, සීයා ආච්චිගෙන් පරිස්සමින් ගෙතූ ලේන්සුවක්, යමෙකු ඔබව සැබවින්ම තේරුම් ගන්නා බව පෙන්වන පුදුම තෑග්ගක් – මේවා නත්තලේ සැබෑ නිධානයයි.

මෙම කන්නයේ දී ආහාර ආදරයේ භාෂාවක් බවට පත් වේ. මුළුතැන්ගෙයි කවුන්ටර සූපශාස්ත්‍ර කාර්ය සාධනයේ අදියර බවට පත්වේ, වට්ටෝරු පරම්පරාවෙන් සම්ප්‍රේෂණය වේ. නැවුම්ව බේක් කරන ලද කුකීස්වල සුවඳ, ඇඹරූ වයින් බඳුනකින් නැඟෙන වාෂ්ප, බැදපු කළුකුමෙකුගේ සිසිලනය – මේවා නත්තල නිර්වචනය කරන සංවේදී මතකයන් වේ. පවුල් සහ මිතුරන් මේස වටා එක්රැස් වන අතර, ආහාර වේලකට වඩා වැඩි යමක් බෙදා ගනී, නමුත් සැබෑ සම්බන්ධතාවයේ අවස්ථා.

එහෙත්, නත්තල එහි සංකීර්ණ හැඟීම්වලින් තොර නොවේ. සමහරුන්ට එය ආවර්ජනය කිරීමේ සහ සිහිපත් කිරීමේ කාලයකි. මේසයේ ඇති හිස් පුටු අපට මතක් කරන්නේ ආදරණීයයන් තවදුරටත් නොසිටින අතර, සැමරුමට තිත්ත මුදු මොළොක් බවක් ගෙන එයි. තවත් සමහරුන්ට තනිකම දැනෙනවා විය හැක, උත්සව ප්‍රීතියේ වෙනස ඔවුන්ගේ හුදකලාව ඉස්මතු කරයි. නමුත් මේ මොහොතේ පවා, නිවාඩු කාලය තුළ පිපෙන බව පෙනෙන විශ්වීය අවබෝධයක්, සාමූහික සංවේදනයක් ඇත.

නත්තලේ මැජික් එක තියෙන්නේ බලාපොරොත්තුවක් ඇති කිරීමේ හැකියාව තුළයි. මිනිස්සු තව ටිකක් විශ්වාස කරන, ටිකක් ලොකු හීන දකින, තව ටිකක් ගැඹුරට ආදරය කරන කාලයක්. දරුවන්ගේ අහිංසක පුදුමය, ත්‍යාගශීලීත්වයේ ආත්මය, සරල කරුණාවන්ත ක්‍රියාවන්-මේවා සමයෙහි සැබෑ ත්‍යාග වේ.

නත්තල් සැන්දෑවේ රාත්‍රිය උදා වන විට, ලෝකය විරාමයක් ඇති බව පෙනේ. වීදි නිශ්ශබ්ද වේ, නිවෙස් මෘදු ආලෝකයෙන් බබළයි, සහ සාමකාමී අපේක්ෂාව පිළිබඳ හැඟීමක් ඇත. ආගමික සම්ප්‍රදාය හෝ ලෞකික සැමරුම හරහා වේවා, නත්තල අපට නවතින්න, කල්පනා කිරීමට, සම්බන්ධ වීමට ආරාධනා කරයි.

අවසානයේදී, නත්තල යනු එක් දිනක් නොව හැඟීමකි – අපගේ හවුල් මනුෂ්‍යත්වය අපට මතක් කර දෙන සාමූහික චිත්තවේගීය අත්දැකීමකි. එය එහි පිරිසිදු ස්වරූපයෙන් ආදරය ගැන ය: කොන්දේසි විරහිත, ත්යාගශීලී සහ උණුසුම්.

අහිමි හිමිකරු

එංගලන්තයට දැනෙන්න සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ බ්‍රිතාන්‍ය සංක්‍රමණ

බ්‍රිතාන්‍යයට සිදුවන සංක්‍රමණ වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීම සිදුකල යුතු බව දැන් වසර කිහිපයක් පුරා සාකච්ඡා වන ප්‍රධාන මාතෘකාවක් වනවා. එහෙත් පසුගිය රජයත් වර්ථමානයේ පවතන කම්කරු රජයත් බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේක්ෂා කරන මට්ටමට සංක්‍රමණ සීමා කිරීමට අසමත් වී ඇති බව නිරන්තරයෙන් හෙලිදරව් වන ආගමන විගමන සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා. පසුගියදා නිකුත් කරන ලද නවතම සංඛා දත්ත වලට අනුව 2024 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල මෙරටට පැමිණි ශුද්ධ සංක්‍රමණ සංඛාව 728,000  බවයි සදහන් වෙන්නේ.

ඒ අතර අපිට වැදගත්ම කාරණාව වන්නේ ඒ පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කොපමණ ප්‍රමාණයක් වාර්ෂිකව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වනවාද යන්නයි. ලෝකයේ රටවල් 200 කට අධික සංඛාවක් තිබියෙදී බ්‍රිතාන්‍යයට වැඩිම විදේශිකයන් සංක්‍රමණය වන මුල් රටවල් 10 අතර රැදීමට ශ්‍රී ලාංකිකයන් සමත්ව තිබෙනවා. එහි අර්ථය නම් 2021 වසරෙන් පසුව මේ දක්වා කාලය තුල අති විශාල ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී ඇති බවයි. රැකියා වීසා යටතේ මෙන්ම අධ්‍යාපන වීසා යටතේද ශ්‍රි ලාංකිකයන් දස දහස් ගණනක් මෙරටට සංක්‍රමණය වී ඇති අතර සංචාරක වීසා මතද ගෙවුනු කාලය තුල ශ්‍රී ලාංකිකයන් රැසක් මෙරටට පැමිණි බව සංඛා ලේඛන පෙන්වා දෙනවා.

බ්‍රිතාන්‍යයේ ආගමන විගමන ආයතනය ප්‍රකාශයට පත්කල නවතම දත්ත අනුව 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නිකුත් කල රැකියා වීසා (work visa) සංඛාව 10,492 ක් වනවා. ඒ තුලට රැකියා වීසාලාභීන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ද අයත් වනවා. එම වීසා සංඛාව අතරින් වීසා 9,459 ක් skill work visa යටතේ නිකුක් කර තිබෙනවා. එම සංඛ්‍යා දෙක අතර වෙනස බොහෝ විට ආයෝජන වීසා හෝ Business වීසා විය හැකි වේ. Work visa යටතේම ගැනෙන temporary work visa හෙවත් සෘතුමය රැකියා වීසා යටතේ යටතේ ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් කල බවක් සදහන් නොවේ.

පසුගිය වසරේ work visa යටතේ මෙරටට පැමිණි පිරිස අතර 9 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන අතර පළමු ස්ථින තුනෙහි පිළිවෙලින් ඉන්දියාව, පකිස්ථානය හා නයිජීරියාව පසුවනවා. ඒ අතර අධ්‍යාපනය ලැබීම සදහා students visa  යටතේ 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල මෙරටට පැමිණි සංඛාව 4,842 ක් වනවා. එම සංඛාව අතරට ශිෂ්‍යන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ද ඇතුලත් වන බවයි සදහන් වන්නේ.  සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර සදහා අධ්‍යාපන වීසා මත මෙරටට පැමිණි පිරිස අතර 12 වන ස්ථානයේ පසුවීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ඒ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල family වීසා මත මෙරටට පැමිණි පිරිස 1,306 ක් බවයි සදහන් වන්නේ. Family වීසා මත එම කාලය තුල මෙරටට පැමිණි පුද්ගලයන් අතර 18 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවනවා. බ්‍රිතාන්‍යයේ දැනට ජීවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් හෝ ස්ථිර පදිංචිය හිමි පුරවැසියන්ගේ පවුල් වල සාමාජිකයන් වෙත මෙලෙස family වීසා නිකුත් කරන අතර බොහෝ දුරට විවාහයන් මත මෙරටට සංක්‍රමණය වන පුද්ගලයන්ට මෙම නීසා නිතුක් කරනු ඇති.

2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලංකිකයන් සදහා සංචාරක වීසා 23,718 ක් බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කර ඇති අතර මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් අතර 15 වන ස්ථානයේ ශ්‍රී ලාංකිකයන් පසුවනවා. ඒ අතර එම කාලය තුලදීම බ්‍රිතාන්‍යයට නීත්‍යානුකූලව විවිධ වීසා මත ඇතුළුවීමට උත්සාහ කල ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු තෙටුපළ තුලදීම හරවා යැවීමට බ්‍රිතාන්‍ය ආගමන විගමන අංශය කටයුතු කර ඇති බව එම වාර්ථා සදහන් කරනවා.

2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලැබීමේ බලාපොරොත්තුවෙන් සරණාගතභාවය අයදුම් කල ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය 2,726 ක් වනවා. එම කාලසීමාව තුල ශ්‍රී ලාංකිකයන් 1,136 දෙනෙකුට විවිධ වර්ගයේ සරණාගතභාවය පිරිනමා ඇති අතර  ප්‍රතික්ශේප වූ හා ඉල්ලා අස්කරගත් ප්‍රමාණය 1,992 ක් වනවා. මේ ආකාරයට බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ සංඛා තුල ශ්‍රි ලාංකිකයන්ද දැවැන්ත භූමිකාවක් හොබවන අතර අනාගතයේදී බ්‍රිතාන්‍ය රජය සංක්‍රමණ සීමා කිරීම තවත් දැඩි කලහොත් නැවත වරක් පදිංචිය සදහා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය අවම වනු ඇති.

තිලාන් ජයසේකර 

අසම්මතයේ පබැදුමක්

ඇහි දාර තෙමි තෙමී

මන්දාරමේ ගුලිවෙලා

වැසිදාක නොතෙමිච්ච 

හිත් කෝඩුවී තනිවෙලා

කිසිදාක නොදැනුනත්

අපි ආගන්තුක වෙලා

ඉස්සරම ඉස්සරක

ලියු කවිත් සේදී ගියා…

සම්මතයට පිටුපා හිත ගියාම

රැදුනාවේ ඒ ප්‍රේමේ හැමදාම

හීනෙකට විත් ආයේ යනදාක

ලියාගන්නද ප්‍රේමේ හිත පුරාම…

බොදවෙවී සිත්තම් මැවී

පහනකුත් ඇත දැවි දැවී

අසම්මත ප්‍රේමයට වී

ලැබුයේද සැනසුමක් කොහී…

රීනා

දේශසීමාවට කොටු නොවූ අමරණීය ආදරය ‘අමරන්’

සිනමාව ප්‍රේක්ෂක හදවත සියුම් ලෙස ස්පර්ශ කිරීමට සමත් කලාවකි. සිනමා නිර්මාණ අතර ඉන්දීය සිනමා නිර්මාණයන් සුවිශේෂී වන්නේ ඊටම අනන්‍ය වූ අපූර්වත්වය  හේතුවෙනි. පසුගිය දීපවාලී දිනයේ රිදී තිරයට පැමිණි Amaran චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂක හදවත් සංවේදී කෙරූ එවැනි අපූරු නිර්මාණයකි.

Amaran චිත්‍රපටයට පාදක වන්නේ ‘මුකුන්ද් වරදරාජ්’ නම් ඉන්දීය මේජර්වරයාගේ සත්‍ය කතාවයි .ඔහු ඉන්දු කාශ්මීර යුද සමයේ ජීවිත පරිත්‍යාගයෙන් රට රැකගත් උදාර මිනිසෙකි.මෙය  රාජ්කුමාර් පෙරියසාමී විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර කමල් හසන් විසින් නිෂ්පාදනය කර ඇත.කතාවේ ප්‍රධාන චරිත දෙක  මේජර් මුකුන්ද් වරදරාජ් සහ ඔහුගේ බිරිඳ වන ඉන්දු රෙබේකා වර්ගීස් වේ.

මුකුන්ද් වරදරාජ්  1983 කරේ ද්‍රවිඩ යුවළවකට දාව උපත ලබයි.කුඩා කල සිටම ඔහුගේ සිහිනය වන්නේ හමුදා සෙබළෙකු වීමයි.උසස් අධ්‍යාපනයට පිවිසෙන මුකුන්ද් සහ ඉන්දු රෙබේකා වර්ගීස් ආදරයෙන් බැදෙන අතර ඉන්දු තම පෙම්වතාට ඔහුගේ සිහිනය හඹා යාමට දිරි දෙයි.නමුත් රෙබේකාගේ මවුපියන් හමුදා නිලධාරියෙකු සමග සිය එකම දියණිය විවාහ කර දීමට අකමැති වන නිසා ඔවුන්ගේ ආදර කතාව හැල හැප්පීම් හමුවේ ගලායයි.පසුව මෙම බාධක මැඩ ගෙන සියල්ලන්ගේම ආශිර්වාදය සමග විවාහ වන ඔවුන් දෙදෙනාගේ සතුට දෙගුණ කරමින් නොබෝ කලකින්  කැදැල්ලට ආදරණීය  දියණියක් එක්වේ.2006 වසරේ හමුදාවට බැදෙන මුකුන්ද් එතැන් සිය ජීවිතය රට වෙනුවෙන් පරිත්‍යාග කරයි.ඔහුගේ එම උදාර පරිත්‍යාගයට ප්‍රාණ සම බිරිඳගෙන් ලැබෙන්නෙ අප්‍රමාණ කැපකිරීමකි.සහයකි.

“මේ මුහුදයි අහසයි අතට දුර එයාටයි මටයි.මං ඉන්නෙ මගේ ආදරය එක්ක සදාකාලික දුරස්ථ ප්‍රේමයක”

   -රෙබේකා-

දේශසීමාවලින් වෙන් වූ ඔවුන්ගේ ආදර කතාවේ ඉරණම කුමක්ද දැනගැනීමට අමරන් නරඹන මෙන් ඉල්ලා සිටිමි.

චිත්‍රපටයේ මුකුන්ද් ලෙස චරිත නිරූපණය කරන ශිවකාර්තිකේයන්ගේ  රංගන ජීවිතයේ අද්විතීයම චරිත නිරූපනය ලෙස මෙය දැක්විය හැකිය.වරෙක යුද නිලධාරියකු සතු වීරත්වය ද,තවත් වරෙක පියෙකු,සැමියෙකු සහ පුතෙකු ලෙස සිය පවුලට නොඅඩුව යුතුකම් ඉටු කරන මුකුන්ද්  නම් ආදරණීය සහ මානුෂීය මිනිසාව ඔහු නොමැකෙන ලෙස තිරයෙහි ප්‍රතිනිර්මාණය කර ඇත.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ සිට විරෝධාර මේජර්වරයෙකු දක්වා මුකුන්ද් ගේ පරිවර්තනය අපූරුව ලෙස ඉදිරිපත් කිරීමට ඔහු සමත්‍ ය.එමෙන්ම ඔහුගේ බිරිඳගේ චරිතයට පණ පොවන සායි පල්ලවි ප්‍රේක්ෂක දෑස් කඳුළින් තෙමීමට සමත් සංවේදී සහ සියුම් රංගනයක නියැලෙයි.හමුදා බිරිඳක සතු එම අසහාය දරා ගැනීම සහ කැප කිරීම සිය අනර්ඝ සතර අභිනයන් තුළින් මනාව නිරූපණය කිරීමට ඇය දක්වා ඇති දක්ෂතාවය ප්‍රශංසනීය වේ.

චිත්‍රපටයේ සංගීතය ද එහි භාවයන් ප්‍රේක්ෂකයාට වඩාත් දැනවීමට රැකුල් වේ.ජී.වී ප්‍රකාශ් කුමාර් විසින් මෙහි සංගීත අධ්‍යක්‍ෂණය සිදුකර ඇත.සුන්දර කාශ්මීරයේ දසුන් සමග එම සංගීතය මුසු වූ විට සිනමාපටයට ලැබෙන්නෙ කදිම මිහිරියාවකි.

කාශ්මීරයේ සුන්දරත්වය ද,යුද බිමේ භීතිය ද සිය කැමරාකාචයට හසුකර ගැනීමට කැමරාකරු දක්වා ඇති දක්ෂතාවය මෙන්ම නළු නිළි කැල මනා ලෙස හසුරවමින් යුද සිදුවීමක් සාර්ථකව ප්‍රතිනිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා දැක්වූ හැකියාව ද අගය කල යුතුය.

අමරණීය ආදර කතාවක රසය විද ගැනීමටත්, යුද විරුවන් සතු අප්‍රමාණ කැපකිරීමට මොහොතකට උපහාර කිරීමටත් අමරන් නරඹන ලෙසට ප්‍රේක්ෂක ඔබට ඇරයුම් කරමි.

-පියුමි නෙළුමිකා –

 ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මුනිවත (Silence)

මුනිවත හෙවත් කතා නොකර සිටීම ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තියකි. එය බුද්ධ ධර්මයෙහි හැඳින්වෙන්නේ ‘මෝනෙය්ය වත/වෘතය (vow of silence) ලෙසය. එය කෙතරම් ශ්‍රේෂ්ඨ ද කිවහොත් සෑම බුදුරජාණන්වහන්සේ නමකගේ ම ශාසනය තුළ මෝනෙය්ය වත තුළින් උන්වහන්සේගෙන් ඒ සඳහා අග තනතුර ලබන භික්ෂූන්වහන්සේ නමක් සිටිති. සුත්තනිපාතයේ නාලක සූත්‍රයෙහි බුදුරජාණන්වහන්සේ මෙසේ මෝනෙය්ය වත මෙසේ විස්තර කරති:

“මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්සං – දුක්කරං දුරභිසම්භවං

හන්ද තෙ නං පවක්ඛාමි – සන්ථම්භස්සු දළ්හො භව”

එහි තේරුම නම් මුනිවත ඉතා දුෂ්කර බව ය. ආධ්‍යාත්මික ප්‍රතිපදාවේදී රහත්බව ලබන තුරුම ‘දළ්හ’ හෙවත් දැඩි (steady) ලෙස ප්‍රතිපත්තිගරුක වීමය. ගෝතම බුද්ධ ශාසනයෙහි මුනිවත අගතැන් ලැබුවේ නාලක මහ රහතන්වහන්සේය. නාලක සූත්‍රය යනු බුදුරජාණන්වහන්සේ විසින් නාලක මහ රහතන්වහන්සේට කළ දේශනාවකි.

ධර්මානුකූලව සහ මනෝවිශ්ලේෂණාත්මකව මුනිවතෙහි පරමාර්ථය කෙලෙස් හෙවත් සිත දූෂණය කරන දෙයින් වැලකීමය. සුත්තනිපාතයෙහි කලහවිවාද සූත්‍රයට අනුව සියළු වාද විවාද භේද ඇති වන්නේ නුසුදුසු කතා නිසාය. නිවන් අවබෝධ නොකළ පුද්ගලයාගේ චින්තනය ආත්මකේන්ද්‍රීය හෙවත් subjective ය. ඒ නිසා හැම දෙයක් ගැනම හිතන්නට පෙළඹෙන්නේ තමන් උසස් තැනක තබාගෙන හෙවත් egocentric ලෙසය. කොතරම් අනතුරු ඇඟවීම ලැබුනද සමහරු කතාවට ගොස් කරදරයට පත්වෙති. බුද්ධ ධර්මයෙහි මුනිවත හැඳින්වෙන්නේ කරදරවලින් වැළකීමේ ශිල්පක්‍රමයක් (trouble prevention technique) ලෙසය. කතා නොකර සිටීම මෙයින් අදහස් නොකෙරේ. කතාව ඵලදායි සංනිවේදන ශිල්පක්‍රම (effective communication techniques) ලෙස භාවිත කළ යුතු අයුරු බුදුරජාණන්වහන්සේ විසින් නොයෙක් තැන දේශනා කර තිබේ.

මෙහිදි සඳහන් කළ යුත්තේ මුනිවත ද බෞද්ධ මනෝ විශ්ලේෂණයට අනුව ඉතා ඵලදායි සංනිවේදන ශිල්පක්‍රමයක් බවයි. කතාවෙන් කළ නොහැකි බොහෝ දේ මුනිවතින් කළ හැකිය. නිශේධාත්මක (pessimistic) සිතුවිලි ඇති අය ඔබව කෙසේ හෝ කතාවට පටලවාගෙන විෂාදය නමැති මඩ වගුරට (quagmire of depression) ඇද දැමීමට උත්සාහ කරති. Egocentric වුවහොත් ඔබ ලෙහෙසියෙන්ම ඒ මඩවගුරට වැටේ. 

Egocentric වීම පෞරුෂයෙහි අත්‍යවශ්‍ය අංගයක් යැයි වරදවා වටහා ගත් අය තමන්ගේ තත්ත්වය උසස් යැයි ඔප්පු කිරීමට කතාවට පැටලෙති. එයින් සිදුවන්නේ පෞරුෂය පිරිහීමය. බොහෝ තැන්වලදී මුනිවත නිසා පෞරුෂය ආරක්ෂා වීම පමණක් නොව එහි වර්ධනයද ඇතිවේ. 

අප කතාව වැඩි එහෙත් ක්‍රියාවෙන් අඩු ජාතියකි. 2025 වසරේදී කතාව අඩුකර මුනිවත වැඩිකර තමන්ගේ තම ආදරණීයයන්ගේත් ජීවිත කෙලෙස්වලින් වළකා ගනිමු. නිෂේධය තුළ ජීවත්වන අයගේ කතා උගුලට හසු නොවෙමු. 

සුබ 2025 වසරක් වේවා! 

තෙරුවන් සරණයි!

– ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි, බෞද්ධ සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක

දෙවිඳුන් දෙස බලන්න

දෙවිඳුන් දෙස බලන්න

ජීවිතය ජය ගන්න..

(උත්පත්ති 42:1)

"නුඹලා එකිනෙකා දිහා බලා සිටින්නේ මක්නිසාද?"

ඔබ සැමටම ආශිර්වාදමත් මාසයක් වේවා!!

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයිනි ඉහත බයිබල් පදය දෙස මොහොතක්

ඔබගේ මනස යොමු කරන්න එවිට ඔබට බොහෝ දේ පැහැදිලි වෙනවා නොවේද?

නුඹලාගේ ජීවිතයේ එන ප්‍රශ්න, පීඩා, කරදර, වේදනා සියල්ලේ දී ඔබ බැලිය

යුත්තේ මනුෂ්‍යයන් දෙස නොවේ. මන්ද ඔබ මනුෂ්‍යයන් දෙස බලා ගෙන යන

සෑම විටම ඔබ තවත් ප්‍රශ්න රාශියකට මුහුණ පානවා ඇත. එම නිසා ඉහත

බයිබල් පදය දෙස ඉතා ඕනෑ කමින් බලා එය හිතට ගෙන ඔබ සෑම ප්‍රශ්නයක්

ම දෙවිඳුන්ට බාර දී උන්වහන්සේ දෙස පමණක් බලා ගෙන ගමන් කරන්න. එවිට

ඔබ ජීවිත ගමන ජය ගන්නවා ඇත.

(ගීතාවලිය 25:15)

"මාගේ ඇස් නිතරම ස්වාමීන් වහන්සේ වෙතට යොමුව තිබේ. මක්නිසාද උන්වහන්සේ මාගේ

පාද දැලෙන් මුදා ගන්නා සේක."

බලන්න මෙහි දී අපට පෙන්වා දෙනවා දෙවිඳුන් දෙස බලා සිටින විට

උන්වහන්සේ අපව ආරක්ෂා කරන්නේ කෙසේ ද කියා.

(ගීතාවලිය 141:8)

"මාගේ ඇස් ඔබ වෙත යොමු වී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි."

ඉතින් මාගේ සෙනෙහෙවන්තයිනි ඔබ බැලිය යුත්තේ දෙවිඳුන් දෙසය මන්ද

උන්වහන්සේ මා ළඟ දෙන්ට යමක් නැත කියා කිසි දා නොකියන දෙවියන්

වහන්සේය උන්වහන්සේ දෙසම බලන්න..

(ගීතාවලිය 46:1)

"ස්වාමීන් වහන්සේ අපේ සරණ හා ශක්තිය ය. දුකේ දී ඉතා ළං වූ පිහිටක්ය."

ඔබ සැමට ජේසු පිහිටයි!!

ඉවැන්ජලිස්ත අමිල දිසානායකමාර්ගය සහෝදරත්වය සභාව – මහරගම