ඔත්තුව

අප්පා නැති වුන් දෙන්නා එක්කම

රැක්කෙ දිවි මම තට්ට තනියම

මහ ඇතා ළඟ පාත නැතුවම

තනි එකා අනෙ වුණේ “තනියා” ම

කෑම වේලක් මගහැරෙනකොට

ගඩා ගෙඩියක් හොරෙන් කෑවට

ලොකු වැරැද්දක් කරලා නෑ ඌ

පිටින් ගියෙ නෑ මගේ වචනෙට

ටිකින් ටික උස් වෙලා කර දඬු

හම්බ කෙරුවේ කරලා වැඩ වඩු

මටයි දූටයි කෙරුවෙ නෑ අඩු

කොහේවත් උට තිබ්බෙ නෑ නඩු

ඉඳලා හිටලා ටිකක් බිව්වට

කොල්ලො එක්කලා කරක් ගැහුවට

මේ ලඟක් වෙනකල්ම නොතිබුණි

කිසිම නරකක් උට කියන්නට

ලඟදි ඉඳලා වැඩි කතා නෑ

නිදාගන්නෑ, බඩගිනිත් නෑ

හේතු කිසිවක් කිව්වෙවත් නෑ

යකෙක් වැහුණද කියා දන්නෑ

සල්ලි ඉල්ලා කලත් කරදර

උකස් කෙරුවත් මගේ කණකර

දරුව හින්දා ඉවසුවේ මං

සියලු දුක් ගිනි හිතේ තදකර

අයියගෙයි නංගිගෙයි රණ්ඩුව

ඇවිලුවා මගෙ හිතේ ගින්දර

තව පමා වූවොතින් බැරිවෙයි

රකින්නට කෙල්ලගේ නම්බුව

සර් මම මයි දුන්නෙ ඔත්තුව

කසුන් ජයතිලක

සුබ අලුත් අවුරුද්දක් වේවා

නවමු බලාපොරොත්තු, අභිලාෂ, ඉලක්ක වගේම අභියෝග මේ අවුරුද්දටත් පොදුයි. විය යුත්තේ එළඹෙන දින 365කට ආසන්න කාලපරාසය ඵලදායී ලෙස කළමනාකරණය කර ගැනීම තුළින්, තමාට අවැසි ඉලක්ක කරා සාර්ථකව ළඟා වීමට ක්‍රියාත්මක වීමයි.

ගතවුන අවුරුද්ද තුළ ලද ජයග්‍රහණ යලි යලිත් සමරමින්, තමාට දිය යුතු උපරිම වටිනාකම දෙමින්, අතප්සුවීම් සහ පරාජයන් හමුවේ ලද අත්දැකීම් මේ අවුරුද්ද තුල සාර්ථක වීමට උපයෝගී කර ගත හැකියි. ඒවා පිළිසකර කරගෙන ඉදිරියට යාමම ජීවිතය දිනවීමක්.

සිත පිනවූ අවස්ථාවන් වගේම තවමත් සුව නොවුන සිත් පෑරීම්ද මේ අතරින් පතර ඇති. සර්ව සම්පූර්ණ කිසිවක් නොමැති අවකාශයක පරාජිත සිතිවිලි වලට ඔබව අඩපණ කරන්නට ඉඩත් ඇති. අවසානයේ සංයමයෙන් ඒ හැම දේකටම සුබවාදී පිළිතුරක් නිර්මාණය කරගත යුත්තේ ඔබමයි.

කෙසේහෝ, පුද්ගලයකු ලෙස අවංකවම ඔබට ඔබ ගැන තක්සේරුවක් කල හැකි, ඒ තුලින් නොමදව සතුටු විය හැකි, අභියෝග ජයගත් සැමරුම්ම බහුල නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!

දිමුතු සේනාදි

Bellwood / බෙල්වුඩි

Bellwood…. මෙික යන්නම ඔින ගමනක්….ඇත්තටම මට එහෙම හිතුනා එ කොළපාට ලොකයට ගියාම… නුවර ඉදන් අමිපිටිය තලාතුඔය පහු කරලා 20km ගිය තැන හමු වෙන සුන්දර පරිසරයක්…. උස් බිමක පිහිටි වැවත් එක්ක තියන කදු ගැටය නිසා බොහො දේශිය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තියන තැනක් තමයි මෙි බෙල්වුඩි කියන්නේ …. ⁣


ඉතිං මම ගියා මෙි සුන්දර පරිසරය හොයාගෙන එ පැත්තට… තනියම නමි නෙවෙයි ගිය වර මගෙත් එක්ක ගල්බොඩ ඇල්ල බලන්න ගිය මිතුරිය වගේම කබරගල , අවාරේ සිරිපාදේ ගිය මිත්‍රයෙක් මෙි ගමනට මාත් එක්ක එකතු උනා…

ඉතිං කතා කරගත්ත විදිහට මුලින්නම මම ආවෙි නුවරට….නුවරින් බෙල්වුඩි බලා යන බස් රථයට ගොඩ උනේ මිතුරියත් එක්ක… එ මොහොතේ තමයි කලින් පැවසු මිත්‍රයාත් මෙි ගමනට අපි එක්ක සමිබන්ද ⁣වන බව පැවසුවෙි… ඉතිං ඔහු පැමිණෙන තුරු අපි බස් රථයෙන් ගමන ආරම්භ කලා…

උදේ 7.40ට නුවරින් පිටත්වු බස් රථය හෙමින් ගමනින් අමිපිටිය තලාතුඔය හරහා ආවා බෙල්වුඩි වලට.. බස් එකෙන් බහිද්දි උදේ නමයයි.. එතන ඉදන් අපි දෙන්නා සීතල ෆයිනස් කැලේ මැදින් වැටිලා තියන පාර දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා… ඇත්තමයි එ ෆයිනස් යාය නමි මගේ දැස් පිනෙවුවා හරි අපූරුවට….. එ සීතල වගේම ෆයිනස් ගස්වල අතු ⁣හුළං සැරට දෙන ශබ්දය වගේම කුරුළු හඬ මගේ ගතයි සිතයි ප්‍රබෝධමත් කලා…

දැනගන්න ලැබුණු විදිහට මෙි ෆයිනස් කැලේ මැදින් වැටි ඇති මාර්ගයේ දුර 2km කියලා කිවුවත් මට නමි හිතුනේ ඊට වඩා වැඩි ඇති කියලා… කොහොම හරි අපි මෙි සුන්දර ෆයිනස් කැලේ පහු කරගෙන ආවා කාපටි පාරට… වාහන වලින් එන අයට ෆයිනස් කැලේ මඟහැරෙනවා.. මොකද එයාලට එන්න වෙන්නේ කාපටි පාරේ නිසා… මට හිතෙනවා ෆයිනස් කැලේ මැදින් වැටුණු පාරට වඩා කාපටි පාර ලගයි කියලා.. අපි එද්දි ආවෙි එ මාර්ගයේ නිසා.. හැබැයි ⁣සුන්දරම මාර්ගය ෆයිනස් කැලේ මැදින් වැටුණු මාර්ගය තමයි…

කාපටි පාර අයිනේ තියන පොඩි කඩෙන් රොටියක් වඩෙි එකක් කාලා ප්ලෙන්ටියකුත් බඩට දාගෙන ඉතිරි කිලෝමිටරය යන්න ගත්තේ ඉර මාමා අපිව හොදටම තෙහෙටිටු කරද්දි…. මොකද පුදුම අවුව සැරක් තිබුණේ… කොහොම හරි අපි එ ලස්සන මුතුකෙලින වැව ලගට ආවාම අවුව සැර නිසා දැණුන වෙහෙස නැත්තටම නැති වෙලා ගියා… එක තනිකරම කොළපාට පාරාදීසයක්…

බෙල්වුඩි කියන්නේ කාලෙකට කලින් හොද සාරවත් තේ වගාවක් තිබුණු අක්කර 500ක භුමියක්… එ ප්‍රදේශයේ ජිවත් වෙන ජනතාව තමන්ගේ ආදයමි මාර්ගය විදිහට තේ දළු නෙලා ගැණිම තමයි ජිවනොපාය විදිහට කරගෙන ගිහින් තියෙන්නේ, නමුත් කාලයාගේ ඇවැමෙන් තේ වගාව නැත්තටම නැති වෙලා… තාමත් දැකගන්න පුළුවන් තේ වගාවන් සදහා බිමි සකස් කර තිබු අන්දම…

තේ වගාව නැති වෙද්දි එහි මිනිස්සු ගවයන් වගේම එළුවන් කුකුලන් හදන්න පටන් ගෙන.. දැන් ඔවුන් ජිවත් වෙන්න මුදල් හොයාගන්නේ එ සතුන්ගෙන්.. දුෂ්කරයි කියලා හිතුවාට නුවරට ඇත්තේ 20kmක දුරක් නිසා දුෂ්කරතාවයක් නෑ…

මුතුකෙලින වැව අසල ඇති කුඩා කදු ගැටය මතට නැග ගත් විට හාත්පසම දැකගත හැකියි.. ජලාශ වගේම මා නමි නොදන්නා කදු ගැට පිරිවරා අපුර්වත්වයක් දැස් මානයේ දිස් වෙන්නේ දැඩි අවු රශ්මියත් නොදැනි යද්දි….

මම දුටුවා එක් කණ්ඩායමක් මුතුකෙලින වැවෙ අයිනෙන් නානවා.. එත් මම නමි හිතන්නේ එක එ තරමි සුදුසු නෑ කියලයි.. එන අතරමග තියනවා ලස්සන දියපාරක් නාන්න අවශ්‍ය නමි එ දිය පාරෙන් නාන්න පුළුවන් යන අයට…

එ වගේම මතක් කරන්නම ඔින එහි කඳවුරු බැදීමට හො නැරඹීමට යනවා නමි තමන්ගේ ආරක්ෂාව වගේම තමන් රැගෙන යන දේ ගැනද අවදානයෙන් සිටින්න… මෙි ගමිමු කීප දෙනෙක් පුරුදු වෙලා තියනවා සංචාරකයන්ගේ දේවල් සොරාගන්න.. මටත් එහි ගිය පසුයි දැනගන්න ලැබුණේ….

ඉතිං යන්න එ සුන්දර කොළපාට පරිසරය විදගන්න වගේම රසවිදින්න… හැබැයි මතක ඇතුව තමන්ගේ කුණු නැවත රැගෙන එන්න තරමි කාරුණික වෙන්න.. මොකද මෙි සුන්දරත්වය විදින්න අයිතිය තියෙන්නේ ඔබට මට විතරක් නෙවෙයි අපි හැමොටම……

නිසංසලා රණසිංහ

අරවින්ද නම් පතාක යෝධයා

ලක් මෑණිට ජය ගෙනෙන්න වරෙන්     ගුරා

අණසක පතුරවමු අපි දෙන්නා පිටිය    පුරා

මේ පිත්තෙන් නෙළනවා අද වගකීම    දරා

පර සුද්දනි තොපි දැනගව් මමයි         අරා

1996 මාර්තු 17 කියන්නේ ලංකාවට නිදහස ලැබුණ දිනය වගේ මතකයේ රැඳුණ තවත් දිනයක්.. මේක ලියන මම එතකොට හිටියේ හයේ පංතියේ..දැන් වගේ නෙවෙයි ඉස්සර දකින දකින තැන කතා කළේ ක්‍රිකට් ගැන. ඒ කාලේ අද වගේ තාක්ෂණය දියුණු නැති නිසා score එක බලන්නවත් ජංගම දුරකථනයක් අතේ තිබුනේ නෑ. නමුත් එසේ කියා ගැටලුවක් නොවූයේ මැච් එකක් තියෙන දවසට පාරට බැස්ස වෙලේ ඉඳලා අඩියෙන් අඩියට score එක දැනගන්න පුළුවන් වුණ නිසා. ඒ Singer, Abans showrooms වලට සහ ස්වීප් ටිකට් විකුණපු මහත්තුරුන්ට පිං සිද්ධ වෙන්නටය. අපේ ගෙදර..ඒක වෙනමම ආතල් එකක්..තාත්තා මුලසුන හොබවන එහි ක්‍රිකට් විස්තර විචාරක අට්ටාලයක සිට මැච් එක බලන අත්දැකීමක් හා සමය. තාත්තාට ක්‍රිකට් කිව්වොත් ඉතින් වෙන දෙයක් අවැසි නැත. 

” මාගේ මතකය දිව යනවා එදා පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංඟනයේ අරවින්ද ද සිල්වා දියත් කළ මනරම් පිතිහරඹය වෙත..” 1996 න් පසුව පැවති සෑම මැච් එකකම පාහේ පේමසර ඈපාසිංහ නම් වූ අද්විතීය නිවේදක මහතාගෙන් ඇසුණ සුන්දර වාක්‍ය කොටසක් තමයි ඒ.. කොහොමෙන් කොහොමහරි 96 ලෝක කුසලානය දිනන එක තමයි අපිට තිබුන ලොකුම දේ..කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස්හී ඉන්දියාවත් එක්ක ගහපු සෙමියේ ආතල් එක පස්සේ කාලෙක ලැබුණා නම් ලැබුනේ 2014 T20 ලෝක කුසලානයේ නවසීලන්ත මැච් එකේදී විතරයි. ඊඩ්න් ගාඩ්න්ස් මැච් එකේ අරවින්දගේ ඉනිම දියත් කරන්න ඔහු පිටියට ආවේ හරියට මහා යෝධයෙක් විලසටය. ජවගල් ශ්‍රීනාත්ටයි, වෙන්කටේෂ් ප්‍රසාද්ටයි අනිල් කුම්ලෙටයි පහර පිට පහර ගැහුවේ උන් හිටි තැන් අමතක වෙන්නටය. විකට් දෙකක් වැටිලා තියෙන වෙලාවක බෝල 47කින් ගහපු ඒ ලකුණු 66 ඇත්තටම අමතක කරන්නම බැරි වුණේ බලන් ඉන්න අපිට හිතුනේ අරවින්ද ගහන්නේ නිකං හරියට ” දාපන් ඕන බෝලයක් මම ගහනවා පැලෙන්න ” වගේ හින්ඳා. ගෙදර රූප පෙට්ටියේ එක බෝලයක්වත් මිස් නොකර බලන් ඉන්න අපිට ඒ ගැහිල්ල තව තවත් ආශ්වාදජනකව දැනුනේ මේ ගහන්නේ ඉන්දියාවටනේ කියලා මතක්වෙද්දි. ඒ ලකුණු 66 ඇතුලේ විල්ස් ලෝක කුසලානයේ බලාපොරොත්තුව රැඳුනා. අමන්දානන්දයට පත්වෙලා හිටපු ඉන්දීය ප්‍රේක්ෂකයෝ ඉකි ගගහා අඬන තත්ත්වයටත්, විනෝද් කම්බ්ලිලාගේ ගෙවල් උමතු වූ ප්‍රේක්ෂකයන් ගිනි තියන තත්ත්වයකටත් පත් කරන්න අරවින්දගේ ඒ ඉනිම දැඩි බලපෑමක් කළා කිව්වොත් නිවැරදියි. 

ඔන්න පුතේ ලක් ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන අවසන් මහා තරඟයකට අපි එනවා. අස්සක් මුල්ලක් නෑර සියලුම ශ්‍රී ලාංකිකයෝ එකම බලාපොරොත්තුවකට රොඳ බැඳ ගත්තේ හිත් වල මරණ බයත් තියාගෙන. ඒ කාලේ යුද්ධයකින් බැට කන අපිට ක්‍රිකට් කියන්නේ හිත නිවන භාවනාවක් වගේ. හිතේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න අමතක කරන්න පුළුවන් අමුතුම දෙයක් ඒ කාලේ ක්‍රිකට් වල තිබුණා. මහා ප්‍රතාපවත් නායකයෙක් එක්ක ගඩාෆි පිටියට බැස්ස අපේ කොල්ලෝ සුද්දන්ව හොල්මන් කරනවා.

තම්බපු කඩල ටිකකුයි, උලුප්පපු පොල් කෑලි ටිකකුයි සූදානම් කරගෙන අපේ ගෙදර ඔක්කොම ටීවි එක ඉස්සරහින් වාඩි වුණේ කිසිදා ජීවිතයේ දෙවරක් දකින්න නොලැබෙන අත්දැකීමකට සාක්ෂිකරුවන් වීමේ අටියෙනි. විටින් විට අම්මාගෙන් ලද තේ පැන් සංග්‍රහයෙන් නව ජීවයක් ලද තාත්තා සහ මම අපේ කොල්ලන්ට චියර් එක දුන්නේ මහ හයියෙන් කෑ ගසමින් සහ අත්පුඩි තලමින්‍ ය. තම්බාගත් කඩල ඇටයක් කටට දාගන්නටත් පෙරාතුව නොසිතූ ලෙස සනා සහ කලූගේ දැවීයාම් තුලින් බලාපොරොත්තු සුන් වූ අපි අරවින්දගේ පැමිණීම ගැන දැඩි අවධානයෙන් බලාසිටියේ අප සතුව සිටි එකම ගැලවුම්කාරයා ඔහු වූ බැවිනි. මේ දිනවල සමාජජාලාවල ඇති අරවින්දගේ පහත සඳහන් ඡායාරූපය දුටු විගස මෙකී මතකයන් යළි ආවර්ජනය වූ බව කිව යුතුමය. මුළු කණ්ඩායමේම බර තම දෙඋර මතට ගත් අරවින්ද ගුරාද කැටුව සුද්දන්ට එළව එළවා ගැහුවේ එවකට ක්‍රිකට් පිටියේ රඟ දැක්වූ ශේන් වෝන්ලාට, ග්ලෙන් මැග්‍රාත්ලාට, ඩේමියන් ෆ්ලෙමින්ලාට අම්මා මුත්තා සිහිගැන්වෙන ආකාරයටය. නිරන්තරව ක්‍රීඩා කරන්නට මැච් ලැබුන සචින්ලාව ගවස්කාර්ලාව ඉන්දියානුවන් දේවත්වයෙන් සැලකූ නමුදු එවකට ඉන්දියානු කණ්ඩායමට අරවින්ද ක්‍රීඩා කළා නම් සචින්ලා ගවස්කාර්ලා යනු සිප්පි කටු බඳුය. අතිශය දුෂ්කර කාලපරිච්ඡේදයන් පසුකරමින් අද තිබෙන තත්ත්වයට ක්‍රිකට් ගෙන ඒමට වෙන කවුරුත් නොව අරවින්දලාගේ දායකත්වයම අතිවිශාලය.

1996 ලෝක කුසලානය ජයගත් පසු අරවින්ද අයියා සහ හෂාන් අයියා පිලිගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පිලිගැනීමේ උත්සවයක් සංවිධානය වුණා. එහිදී අප පාසලේ නිර්මාතෘ දිවංගත ආර්. අයි. ටී. අලස් ගුරුපියාණන් හරිම රසවත් තොරතුරක් හෙළි කරනවා. සර් මෙහෙම කියනවා. එදා මාර්තු 17 රෑ ඕස්ට්‍රේලියා ඉනිම ඉවර වුණාට පසුව මම අරවින්ද පුතාට දුරකථනයෙන් කතා කළා. 

පුතා අරවින්ද.. උඹ තමයි අපේ බලාපොරොත්තුව..උඹ තමයි ලෝක කුසලානේ අරගෙන එන්න ඕන. උඹේ උරහිසේ තමයි වගකීම තියෙන්නේ..

සර්..සර් බයවෙන්න එපා.. මම මගේ රටට කුසලානය ගේනවා.. අද මම හොඳට සෙල්ලම් කරලා මගේ වගකීම මම අකුරටම ඉටු කරනවා සර්..

එතෙක් වේලා ගිනි අව්වේ පිට්ටනිය මැද්දෙ දූවිලි කකා උත්සව කටයුතු දෙස බලාගෙන හිටපු මා ඇතුළු දහස් ගණනක් ඩී. එස් කොල්ලෝ සර්ගේ ඒ වචන ටිකෙන් ප්‍රිතියෙන් ඉපිලව ඔල්වරසන් දෙන්නට වූහ. අරවින්ද කියන්නේ ලෝක ක්‍රිකට් වංශකතාවේ පතාක යෝධයෙක් කියලා මට එදා හිතුණා.

ක්‍රීඩාව වෙනුවෙන් අසීමිත කැපවීම, අධිෂ්ඨානය සහ තමන් කරන කාර්ය පිළිබඳ විශ්වාසය අරවින්දගෙන් සහ එවකට සිටි සෙසු ක්‍රීඩකයන්ගෙන් පිළිබිඹු වූහ. මේ තොරතුරු සමාජගත කරන්නේ හුදෙක්ම වත්මන් දරුවෝ, තරුණයෝ මේ ඉතිහාසය ගැන දැන සිටිය යුතුම බැවිනි. අරවින්ද වැනි ක්‍රිකට් වංශකතාවේ පතාක යෝධයෙක් ක්‍රීඩා කරන සැටි සියැසින් දැකබලා ගැනීමට තරම් අපි වාසනාවන්ත විය.

චරිත් විජේමාන්න – චරියාගේ පන්හිඳ

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුල්ගල වන අතර, ජනතා නියෝජනය111, නීති සම්පාදනය කරන සහ රජය වගකිව යුතු මූලික ආයතනය ලෙස සේවය කරයි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ආයතනය ලෙස, එය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහතික කිරීම, යහපාලනය ප්‍රවර්ධනය කිරීම සහ නීතියේ ආධිපත්‍යය පෝෂණය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පාර්ලිමේන්තුව එහි ව්‍යවස්ථාදායක, නියෝජිත සහ අධීක්ෂණ කටයුතු හරහා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ සම්ප්‍රදායන්හි ආරක්ෂකයා ලෙස ක්‍රියා කරයි.

 පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ එහි ව්‍යවස්ථාදායක භූමිකාවයි. ජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂයන් පිළිබිඹු කරන නීති වාද විවාද කිරීම සහ සම්මත කිරීම එහි වගකීම වේ. නිදසුනක් වශයෙන්, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සහ පොදු තොරතුරු වෙත ප්‍රවේශ වීමට පුරවැසියන් බලගැන්වීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත (2016) වැනි වැදගත් නීති පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මෙම නීතිය දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ රජය කෙරෙහි මහජන විශ්වාසය වැඩි කිරීමට ඉවහල් වී ඇත. ඒ හා සමානව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත (2005) වැනි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආමන්ත්‍රණය කරන නීති පාර්ලිමේන්තුව සමාජ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය සහ මූලික අයිතිවාසිකම් සුරැකීම සහතික කරන ආකාරය පෙන්නුම් කරයි.

 පාර්ලිමේන්තුවේ තවත් තීරණාත්මක කාර්යයක් වන්නේ නියෝජනයයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන්නේ ඔවුන්ගේ අවශ්‍යතා සහ උත්සුකයන් නියෝජනය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් මගිනි. නිදසුනක් වශයෙන්, පාර්ලිමේන්තුවේ දෙමළ සහ මුස්ලිම් නියෝජිතයින් තම ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, ඇතුළත් කිරීම සහ සමාජ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය, තවමත් සීමිත වුවද, ප්‍රතිපත්ති සම්පාදනයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඉදිරිදර්ශනවල වැදගත්කම ද ඉස්මතු කර ඇත.

 ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තවත් වැදගත් කාර්යභාරයක් වන්නේ අධීක්ෂණයයි. පාර්ලිමේන්තු කමිටු සහ ප්‍රශ්න සැසි හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විධායකයේ ක්‍රියාවන් විමර්ශනය කර වගවීම සහතික කරයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) වැනි කමිටු මූල්‍ය අක්‍රමිකතා අනාවරණය කර ගැනීමට සහ පාලනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර නිර්දේශ කිරීමට මූලික වී ඇත. උදාහරණයක් වශයෙන්, රාජ්‍ය ආයතනවල වැරදි කළමනාකරණය පිළිබඳ කෝප් විමර්ශන මගින් රජයේ මෙහෙයුම්වල ප්‍රතිසංස්කරණ හා වැඩි විනිවිදභාවයක් අවශ්‍ය බව අවධාරණය කර ඇත.

 විශේෂයෙන්ම පශ්චාත් ගැටුම් ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ දී ද පාර්ලිමේන්තුව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. 2009 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුව සංහිඳියාව, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ බලය බෙදා හැරීම පිළිබඳ සාකච්ඡා සඳහා වේදිකාවක් බවට පත් විය. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) වැනි ආයතන පිහිටුවීමට දරන උත්සාහයන් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ දුක්ගැනවිලි විසඳීමට සහ සුවය ප්‍රවර්ධනය කිරීමට පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබිඹු කරයි. අභියෝග පවතින නමුත්, මෙම මුල පිරීම් දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ වැදගත්කම අවධාරණය කරයි.

 මීට අමතරව, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැඩගැස්වීමේදී සහ ගෝලීය ක්‍ෂේත්‍රය තුළ එහි තත්ත්වය පවත්වා ගැනීමට පාර්ලිමේන්තුව තීරණාත්මක වේ. ජාත්‍යන්තර ගිවිසුම්, වෙළඳ ප්‍රතිපත්ති සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වාද විවාද සහ තීරණ හරහා රටේ අවශ්‍යතා සුරක්ෂිත බව පාර්ලිමේන්තුව සහතික කරයි. නිදසුනක් වශයෙන්, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම පිළිබඳ සාකච්ඡා ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා විදේශ ගනුදෙනු ඇගයීමේ දී පාර්ලිමේන්තු අධීක්ෂණයේ වැදගත්කම අවධාරණය කළේය.

 එහි සැලකිය යුතු දායකත්වයක් තිබියදීත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායී ලෙස ශක්තිමත් කිරීමට ඇති හැකියාවට බාධා කරන අභියෝගවලට මුහුණ දෙයි. දේශපාලන ධ්‍රැවීකරණය, දූෂණය සහ කාන්තා නියෝජනයේ ඌනතාවය වැනි ප්‍රශ්න එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ කනස්සල්ල මතු කර ඇත. තවද, මන්ත්‍රීවරුන් ජාතික අවශ්‍යතාවයට වඩා පක්ෂ පක්ෂපාතිත්වයට මුල්තැන දෙන අවස්ථා ආයතනය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කර ඇත. මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා මැතිවරණ ප්‍රතිසංස්කරණ, වැඩි විනිවිදභාවයක් සහ පාර්ලිමේන්තු ක්‍රියාවලීන් සඳහා සක්‍රීය මහජන සහභාගීත්වය දිරිගැන්වීම සඳහා මුල පිරීම් අවශ්‍ය වේ.

 අවසාන වශයෙන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය සහතික කිරීම, නීති සම්පාදනය කිරීම, රජයට වගවීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එහි ක්‍රියාවන් පුරවැසියන්ගේ ජීවිතවලට සහ ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයට සෘජු බලපෑමක් ඇති කරයි. අභියෝග පවතින අතරම, පාර්ලිමේන්තුවට වඩාත් ඇතුළත්, විනිවිද පෙනෙන සහ ඵලදායී ආයතනයක් බවට පරිණාමය වීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාව ශක්තිමත් සහ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් සාක්ෂාත් කර ගැනීම සඳහා එහි කාර්යභාරය ශක්තිමත් කිරීම සහ එහි අඩුපාඩු සපුරාලීම අත්‍යවශ්‍ය වේ.

පවිත්‍රා රණතුංග

සම්මානයක් එක්කම අවුරුදු 5 සමරණ අපි

අපි මැගසින් ආරම්භ වෙන්නේ 2020 ජනවාරි පළවෙනිදා. 

ඒක ආරම්භ වෙන්නේ මගේ හිතට ආපු සිතුවිල්ලක ප්‍රතිඵලයක් විදිහට. පිටරටක ජීවත් වෙන කෙනෙක් විදිහට ශ්‍රී ලාංකික පිරිස එකට එකතු කරවන  ක්‍රමයක් හිත හිත ඉන්නකොට තමයි මගේ ඔලුවට ආවේ magazine එකක් කරන්න ඕනේ කියලා.  මැගසීනයකින් මිනිස්සුන්ට දෙයක් දීලා මිනිස්සුන් එකතු කරගන්න පුලුවන් කියන එක මට ඔලුවට ආවා. magazine කියන එක ඔලුවට එනවත් එක්කම, තේරුණ දෙයක් තමයි මිනිස්සුන්ට කාලය කියන එක ගොඩක් අඩුයි මේ කාලයේ පත්තරයක් අතට අරන් කියවන්න. දිනෙන් දින අලුත් වෙන තාක්ෂණයත් එක්ක මම හිතුවා අපි මේක ඊ මැගසින් එකක් විදියට සමාජයට දෙන්න පුළුවන් කියල. අන්න ඒ කන්සෙප්ට් එකේ ඉඳලාම තමයි මම මැගසින් පටන් ගන්නේ. මේ magazine එකේ තියෙන විශේෂත්වය තමයි රටවල් කිහිපයක් එකතු වෙලා කරන වැඩක්. මට මුල ඉඳලම ඕන වුණේ මේක මගේ නෙවෙයි අපේ කියල කියන්න. අන්න ඒක නිසා තමයි මේ මැගසින් එකට අපි මැගසින් කියලා නම දාන්න හිතුවේ.  රටවල් වලින් කිහිපයකින් එකතුවෙලා ලියන මේ මැගසින් එකේ ලොකු විශේෂත්වයක් ගන්නවා ඒ ලියන අය එම විෂයේ  ප්‍රවීණයවීමයි.  අදටත් මම ගොඩාක් සතුටින් කියන්න ඕනෙ මට ඉන්නවා මටත් වඩා උනන්දුවෙන් magazine එක ගැන කැපවෙන පිරිසක්.   මේ අවුරුදු පහ ඇතුළත ගොඩක් අඩියෙන් අඩිය උඩට ආවා. ඒ හැමෝගෙම අදහස්වල එකතුවෙන්.  ඉතින් අපේ වාසනාවත් එක්ක අපිට මේ අවුරුදු පහ ඇතුළත අපි මැගසින් එකට සම්මානයක් හිමිකරගන්න තැනටම එන්න පුළුවන් උනා. එංගලන්තය ඇතුළු වෙනත් රටවල් ගණනාවක් අතරේ දිගහැරෙන මෙම magazine එක තාක්ෂණය ඔස්සේ තමන්ගෙ තමන්ගේ ඇගිලි තුඩු වලට අරන් කියවන්න පුළුවන් තැනකට අපි ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ දුරකථනයට හෝ පරිගණකයට ලැප්ටොප් එකකට ඕනම විදිහකින් මේක බලන්න පුලුවන් විදියට අපි අද හදලා තියෙනවා. අපි මැගසින් කියන්නේ creative දක්ෂ ප්‍රවීණ කණ්ඩායමක එකතුවීමක්. ඉතින් ඉදිරියටත් තවත් අලුත් දේ එකතු කරගෙන දුර ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැමදෙනාම මේ හිටියා වගේම , ඉදිරියටත් අපි මැගසින් එකත් එක්ක එකතුවෙලා ඉන්න!, අපිව දිරිමත් කරන්න කියලා ඉල්ලා සිටින අතරම, මේ අලුත් අවුරුද්ද අලුත් බලාපොරොත්තු එක්ක ජය ගන්න ඉදිරියට යන්න ඔබට හැකි වේවා කියලත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා !.

ස්තුතියි !!

මම

ග‍යාන් කරුණාරත්න.

Q20 with අමා

මෙම දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි සහ සින්ටෝ ටෙලිනාට්‍යය ද්ව්ත්වය තුලින් පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට එන විවිධ ස්වරූපයේ චරිතයන් අතර තම රංගන කෞෂල්‍ය ශුක්ෂමව හසුරවමින් ප්‍රේක්ෂක සිත් තුල මතක සටහන් එකතු කල නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පි චතුර රාජපක්ෂ සමග Q20 with අමා ආරම්භක සොදුරු කතා බහ…

1. නිවාඩු දවසට යන්න ආසම තැන
මුහුද පෙනෙන තැනකට

2. ඔබ අදින්න කැමති විදිය
මගේ විදියට

3. ඔබ කැමතිම කෑම වර්ගය
පලතුරු

4. ඔබ ව්‍යායාම කරන කෙනෙක්ද
ඔව්

5. ඔබට කතා කිරිමට හැකි භාෂාවන්
සිංහල, දෙමළ, ඉංග්‍රීසි

6. මෙම දිනවල ඔබ මුමුණන ගීතය
චරිත අතලගේ ගයන ගලන ගග

7. ඔබ ආදරය ලබන කෙනෙක්ද
ඔව් ආදරය ලබන කෙනෙක්

8. ඔබ කේන්ති යන කෙනෙක්ද
කේන්ති යනවා

9. ලෝකයේ කොහේ හිටියත් ඔබට අමතක නොවන කෙනෙක්
අමතක නොවන කෙනෙක් ඉන්නවා

10. දිනපතා පූරුද්දක් ලෙස කරන දෙයක්
දුරකථනය අතට ගන්නවා

11. ඔබ ගාව නිතරම තියන දෙයක්
මගේ හිනාව

12. ඔබ නැවත කියවන්න කැමති පොතක්
මක්සිම් ගොර්කිගේ “අම්මා”

13. ඔබ දුරකථනයෙන් වැඩිපුරම අමතන ඔහු හෝ ඇය
අම්මා

14. ඔබ නිතර භාවිතා කරන සමාජ මාධ්‍ය අවකාශය

Instagram

15. ඔබේ දුරකථනයෙහි දවසක screen time පැය ගණන
දන්නේ නැහැ

16. Me time ගැන ඔබේ අදහස
මට අදාල නැහැ

17. ඔබ අධ්‍යනයෙහි යෙදෙන්න හිතන දෙයක්
චෙස්

18. ප්‍රේක්ෂකයන් ඔබ ගැන නොදන්නා දෙයක්
මට හිතා ගන්න බෑ

19. සමාජයට ඔබෙන් ආදර්ශයක්
අත් හරින්න එපා. උත්සාහ කරන්න. කවදා හරි දවසක ජය ගන්න.

20. ඔබේ ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක්
ඔබව විශ්වාස කරන්න

අමා නාකන්දලගේ

පිළිකාවට ආයුර්වේද ප්‍රතිකාර තිබේ ද?

වර්තමාන සමාජය තුළ පිළිකා රෝගයේ ව්‍යාප්තිය ඉතා සීඝ්‍රව වැඩිවෙමින් පවතී.

පිළිකා රෝගය නිසා වසරකට ලෝකයේ මිලියන 10කට අධික මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර වර්තමානයේ පිළිකා රෝගයෙන් පීඩා විඳින බොහෝ රෝගීන් දක්නට ලැබේ.

සිරුරේ සෛල ස්වභාවිකත්වයෙන් මිදී අස්වාභාවික හැසිරීමකට යොමු වීම පිළිකා රෝගයේ මූලාරම්භය යි. 

ක්‍රමයෙන් විකසනය වන සෛල වර්ධනයක් සිදු වී, සිරුර තුල සමස්ථ ක්‍රියාවලියේ අසමතුලිත බවක් හටගැනීම මෙම රෝග තත්ත්වයේ ස්වභාවය යි. 

ආයුර්වේද මූලග්‍රන්ථයන්හි පිළිකා රෝගය පිළිබඳව ග්‍රන්ථි හා අර්බුද යටතේ පුළුල්ව හා විස්තරාත්මකව දක්වා ඇති අතර *අර්බුද චිකිත්සාව* , පිළිකාමය තත්ත්වයන් සඳහා සාර්ථක ප්‍රතිඵල ලබා දේ.

දේශීය හෙළ වෙදකම තුල පාරම්පරික වෛද්‍යවරු විසින් ඔඩු, වණ, ඇටපලා ගෙඩි, ගඩු බන්ධන යන නාමකරණයන්ගෙන් දක්වා ඇත්තේද මෙම රෝගී තත්ත්වය බව පිළිගැනේ.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සෛල විභාජනය නොනවත්වා සීඝ්‍රව සිදුවෙමින් සිරුර තුල ඇතිවන ආගන්තුක වර්ධනයක් පිළිකාමය තත්ත්වයක් ලෙස හැඳින්වේ.

නිදානාදී කාරණා වලින් වාතාදී දෝෂයන් දූෂණය නිසා රක්ත, මාංශ හා මේදස් ධාතූන් දූෂණය වී යම් ශෝඵයක් (ඉදිමුම සහිත වර්ධනයක්) ඇති වීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල අර්බුදයක් ලෙසට සැලකේ.

අක්මාගත, අන්ත්‍රගත, පෙනහලුගත, ගර්භාෂගත, මුඛය ආශ්‍රිත, අස්ථි ආශ්‍රිත, පියයුරු හා පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත ලෙසට සිරුරේ එක් එක් ඉන්ද්‍රියන්හි පිළිකා හටගැනීමේ හැකියාව පවතී. 

ශරීරයේ ස්වභාවිකත්වය රැක ගැනීමට සිරුර අසමත් වීමෙන් සිරුරේ සෛල වල ස්වභාවිකත්වය ගිලිහී යාමෙන් විකෘති සෛල හටගැනීම නිසා පිළිකා තත්ත්ව ඇති වන බව ආයුර්වේදය තුළ පිළිගැනේ.

වර්තමානයේ ස්වභාවිකත්වයෙන් තොර ව සකසන ලද ආහාර සුලභ අතර එම ආහාර සංස්කරණයේදී කෘත්‍රිම රසකාරක, වර්ණකාරක හා කල්තබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය එක් කරනු ලැබේ.

එම ආහාර විවිධ විකරණයන්ට බඳුන් වී තව දුරටත් ස්වභාවික තත්ත්වය නොමැතිව අස්වාභාවික තත්ත්වයකට පත් වී ඇත.

කෘත්‍රිම පරිසරයන්හි ජීවත් වන, අස්වාභාවික ආහාර හා නොයෙකුත් හෝර්මෝන ලබා දුන් ස්වභාවික නොවන ලෙස වර්ධනය වූ සත්ත්වයන්ගේ මස්, මාංශ පරිභෝජනයද අද සමාජයේ බහුලව සිදු කෙරේ.

මෙලෙස සිරුරට සුළු ප්‍රමාණ වලින් එක් වන ඇතැම් රසායනික ද්‍රව්‍ය සිරුර තුළ ‘විෂ’ ලෙස තැන්පත් වී පවතින අතර ඒවායේ අධික පරිභෝජනය හේතුවෙන් කල් යාමේදී ක්‍රමයෙන් විෂ තත්ත්වය වැඩි වී නොහිතෙනා මොහොතක දී ‘ගර විෂක්’ ලෙස ක්‍රියා කල හැකි බව ආයුර්වේද වෛද්‍ය වේදය තුළ දක්වා ඇත. මෙම විෂ යම් මට්ටමකට වඩා වැඩි වීමෙන් පසු සෛලීය මට්ටමේ වෙනස් කම් ඇති කල හැක.

එමෙන්ම වත්මන් සමාජය කාර්‍ය්යබහුල ඒකාකාරී ජීවන රටාවකට හුරුවීමත්, ස්වභාවධර්මයෙන් ඈත් වීමත් නිසා නිරන්තර මානසික ආතතියට ලක් වීමත් සිදු වේ. 

කාන්තාවන්ට හටගන්නා ගර්භාෂගත හා පියයුරු පිළිකා තත්ත්ව සඳහා ප්‍රධාන හේතුවක් ලෙස මානසික ආතතිය හේතු කොට ගෙන සිරුරේ ඇතිවන හෝර්මෝන අසමතුලිතතාවය දැක්විය හැක.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක වලට අනුව රතු මාංශ පරිභෝජනය අන්ත්‍රගත පිළිකා තත්ත්ව ඇති කිරීමට හේතු වන බව දක්වන අතර, සුශ්‍රැත ආචාර්‍ය වරයා විසින් වසර 5000 ට පෙර දී සුශ්‍රැත සංහිතාවේ මස්, මාංශ පරිභෝජනය අර්බුද ඇතිවීමට ප්‍රධාන හේතු ලෙසට දක්වා ඇත.

එමෙන්ම, ආහාර අරුචිය, මල පිටවීමේ අසාමන්‍යතා, කෘෂ හා දුර්වල බව, මානසික ආතතිය, ප්‍රතිශක්තිය අඩු වීම යනාදී නොයෙක් රෝග ලක්ෂණ පිළිකා රෝගීන් අතර බහුලව වාර්තා වේ.

සිරුර තුළ පිළිකා සෛල ඇති වුවද ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවත්වා ගැනීමෙන් එම සෛල මර්දනය කිරීමේ යාන්ත්‍රණයක් මිනිස් සිරුර සතු වේ. එබැවින් ප්‍රතිශක්ති ජනක ආහාර පාන ලබා ගැනීම ඉතා සුදුසු ය.

බටහිර වෛද්‍ය ප්‍රතිකාරයේදී ඖෂධ එන්නත් කිරීම-Chemotherapy, ශල්‍ය කර්ම හා විකිරණ ප්‍රතිකාරය සිදු කරන අතර මෙම අවස්ථාවන්හී දී රෝගියාගේ ප්‍රතිශක්තිය දුර්වල වීමත් අතුරු ආබාධ ඇතිවීමත් බොහෝ විට සිදු වේ.

පිළිකා සෛල විනාශ කිරීමේදී සාමාන්‍ය නිරෝගී සෛල හානි වීම ද සිදු විය හැක.

ප්‍රතිශක්තිය දුර්වල පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිය තව තවත් පහළ යෑමේ අවධානම පවතී.

පිළිකා රෝගය සම්පූර්ණ ලෙස සුව නොවූවද රෝගය  පාලනය කිරීමත්, රෝගියාගේ ජීවන තත්ත්වය නංවාලමින් ආයුෂ කාලය දීර්ඝ කිරීමටත්, රෝග පීඩාවන්ට සහනයක් ලබා දෙමින් ඉදිරි කාලය තුළ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගැනීමට අවස්ථාවක් ලබා දීමත් ප්‍රතිකාරයේ අරමුණ විය යුතු ය.

ප්‍රතිශක්තිය නංවාලීමට පෝෂ්‍යදායි ආහාර ලබා ගත යුතු බැවින් ආහාර රුචිය වර්ධනය, බඩගින්න ඇති කිරීම සඳහා ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ.

රෝගයේ අවසන් ප්‍රතිඵලය පිළිකාව ලෙස දැකිය හැකි වුවත් සිරුරේ සමස්ථ අසමතුලිතතාවය නිවැරදි කිරීමට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරය තුළ ප්‍රතිකාර පද්ධතියක් අඩංගු වේ. එමෙන්ම රසකිඳ, අශ්වගන්ධ, බිංකොහොඹ, පෙරුංකායම්, තිප්පිලි යන රක්ත ශෝධන ඖෂධ බහුල ලෙස ප්‍රතිකාරයේදී යොදා ගැනේ. 

වෛද්‍යවරයා විසින් රෝග-රෝගී බලාබලත්වය සළකා බලා විරේචන, නස්‍ය, රක්තමෝක්ෂණ යන පංච කර්ම ප්‍රතිකාර ශෝධන ප්‍රතිකාර ලෙස සිදු කරන අතර, ප්‍රතිශක්ති වර්ධක, රුචි කාරක, දීපන, පාචන ඖෂධ අභ්‍යන්තරව ලබා දීම සිදු කෙරේ.

එමෙන්ම විකෘති වූ සෛල විනාශ කිරීම සඳහා කෂාය වර්ග ලබා දේ.

ඉතා විශේෂ ක්‍රමවේදයකට අනුව විෂ මාරණය කළ සිවංගුරු, සාදිලිංගම්, ගන්ධක, රසදිය වැනි වීර්‍ය්ය අධික රස ඖෂධ වර්ග ලබා දීමත් ප්‍රතිකාරයේදී සිදු කෙරේ.

පිළිකා රෝගය වළක්වා ගැනීම සඳහා:-

– කෘත්‍රිම ආහාර, රසකාරක, වර්ණකාරක හා රසායන ද්‍රව්‍ය යෙදූ ආහාර භාවිතය අවම කිරීම

– ස්වභාවික ආහාර, පාන වලට යොමු වීම

– මස්, මාංශ වලින් වැළකීම

– ගැඹුරු තෙලේ බදින ලද ආහාර ගැනීමෙන් වැළකීම

– දෙමුහුම් ප්‍රබේද වලින් ඈත් වී දේශීය ප්‍රබේද වලින් සැකසූ ආහාර වලට යොමු වීම (උදාහරණ ලෙස, දේශීය සහල් භාවිතය- හීනැටි, පච්ච පෙරුමාල්, මඩතවාලු)

– දේශීය අල වර්ග භාවිතය- රාජාල, මඤ්ඤොක්කා, ඉන්නල, බතල

– දේශීය කුළුබඩු භාවිතා කොට සැකසූ තැම්බුම් හොදි භාවිතය

– කොළ කැඳ පානය කිරීම- (එළබටු කොළ, මොණර කුඩුම්බිය, කටුපිල, කෝවක්කා, දිවුල් කොළ, කරපිංචා අඩංගු කොළ කැඳ)

– තමන් ජීවත් වන ප්‍රදේශයේ හැදෙන වැවෙන දේශ සාත්ම්‍ය ආහාර, එළවළු, පලතුරු ආහාරයට ගැනීම (උදා:- නෙල්ලි, බෙලි, අනෝදා, වෙරළු, නමිනං, ස්ට්‍රෝබෙරි)

– මානසික ආතතිය, ක්‍රෝධ, කෝප, ශෝක, භය, තරහව වැනි මානසික ආවේගයන් අවම කරගැනීම

– ස්වභාවික පරිසරයට නැඹුරු වීම

– භාවනා ක්‍රම හා යෝග අභ්‍යාස වලට යොමු වීම

පිළිකා රෝග සඳහා ප්‍රතිකාරයේදී ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන්නේ වෛකල්පිත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වේදයකි.

බටහිර හා ආයුර්වේද ප්‍රතිකාර වල එක්වීමක් තුලින් ප්‍රතිකාරයේ සාර්ථකත්වය නංවාලීමේ හැකියාව පවතින බව සායනික ප්‍රතිකාර මගින් සනාථ කිරීමේ හැකියාව පවතී.

ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීමේ දී ව්‍යාජ වෛද්‍ය වරුන්ට නොරැවටී සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍ය වරයෙක් වෙත ගොස් රෝග අවස්ථාවට නිසි ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්‍යෙන්ම මතක තබා ගත යුතු කරුණකි.

වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක

BAMS-Colombo (SL)

ජීවිතයේ නිවුනු දවස්

ජාති කුල ආගම් දුප්පත් පොහොසත් ආදී භේද පසෙක තබා බැලීමේදි කවුරුත් තම ජීවිතයේ අතීතයේ තිබුණු ශාන්ත, නිවුනු දවස් ගැන කතා කරති. එම දවස් නැවත නොඑන බව සිතා දුක් වෙති. එහෙත් බුද්ධ දේශනාව අනුව එම දවස් අතීතයේ කොටසක් ලෙස සැළකීම නොකළ යුතුය. අතීතය බවට පත්වන්නේ වර්තමානය සහ අනාගතයම ය. හැල්සියන් දවස් නැවතත් අත්දැකීමට ඔබට හැකිය. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ආකල්පමය ප්‍රයෝගයක් හෙවත් attitudinal shift ය. 

ධම්මපදයේ 76 වෙනි ගාථාවෙන් බුදුරජාණන්වහන්සේ විසින් පෙන්වාදෙනු ලබන්නේ ඒ සඳහා ගුණාංග තුනකින් යුතු පුද්ගලයන් ඇසුරු කළයුතු බවය. එම ගුණාංග මෙසේය:

1. නිධානයක් ඇති තැනක් පෙන්වාදෙන කෙනෙකු මෙන් ජීවිතයට මග පෙන්වීම (නිධීනං’ව පවත්තාරං)

2. ඔබේ වරද දුටු තැන පෙන්වා දිම (යං පස්සේ වජ්ජ දස්සිනං)

3. ඔබව ධනාත්මකව විවේචනය කිරීම (නිග්ගය්ය වාදීං මේධාවිං)                                   

ඔබට කුඩා කල මව්පියන් ගුරුවරුන් මනා ජීවිතයට මඟ පෙන්නූවිට ඔබ ඔවුන් සමඟ අමනාපයට  පත් වන්නට ඇත. එහෙත් ඔබ අද ඒ ළමා කාලය දකින්නේ සොඳුරු නිවුනු දවස් ලෙසය. ඒ ජීවිතයේ හැල්සියන් දවස් ය. ඔබව ආර්ථිකව සහ සදාචාරයෙන් වල පල්ලට ගෙන යන ඊනියා මිතුරන් සහ නෑයන්ගෙන් ඉවත්වීමෙන් නැවතත් හැල්සියන් දවස් උදාකර ගත හැකිය. ඔබ සුන්දර යැයි සිතන අය ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ඔබව පාවිච්චි කරනවා විය හැකිය. සැබෑ නිදන් පෙන්නන්නා අමාරුවෙන් උපයාගත් මුදල විනාශ කිරීමට මඟ පෙන්වන්නා නොව මුදල් විනාශය වළක්වා ගැනීමට මග පෙන්වන්නා ය.

බොහෝ අය තමන්ට වරද පෙන්වා දෙන අය සමඟ අමනාප වෙති. එහෙත් ඔබේ වරද සාධාරණීකරණය කරන අය මී පැණි ලෙස ඔබ සිතන්නට පෙළඹීම විය හැක්කකි. ඔබ ගරු කළ යුත්තේ එබඳු මාරයන්ට නොව ආදරය නිසා අවංකව රළු වචනයෙන් හෝ ඔබේ වැරදි පෙන්වාදෙන අයට ය. 

බොහෝ අය ධනාත්මක විවේචනය (constructive criticism) නුරුස්සති. එහෙත් බොරුවට වර්ණනා කරන අයට ආදරය කරති. Constructive criticism අපේ ජීවිතයට අවශ්‍ය ය. 

ඉහත ගුණාංගත්‍රයයෙන් යුතු අය ඇසුරු කිරීමෙන් ඔබට නැවතත් හැල්සියන් දවස් නැවතත් උදාකර ගැනීමට හැකිය. ඒ සඳහා නව වසරේ මුල් දිනයේ සිටම ඉහළ ගුණාංගත්‍රයෙන් යුතු අය ඇසුරු කරමින් ජීවන රටාවේ  වෙනසක් (lifestyle change) සඳහා අවතීර්ණ වෙන්න. 

-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි