දැන් මොකද්ද මේ ජීවිතේ කියල කියන්නේ ??

අනිත් රටවල අයට කෙසේ වෙතත් ලංකාවේ ආපිට නම් ජීවිතේ කියල කියන්නේ වෙනම ම එකක් ,

ඒක වෙන්නෙ මෙහෙමයි .

අවුරුදු විස්සක් විසිපහක් විතර වෙනකන් ඉගෙනගෙන රස්සාවක් එහෙම හොයන් අතට කීයක් හරි එනකොටම ඔන්න ඉතින් කසාදයක් බඳිනවා ,

එදා ඉඳන් ඉඩම් ගන්නවා ,ගෙවල් හදනවා ,වාහන ගන්නවා ,අවුරුද්දක් දෙකක් යද්දී තමන්ට ඕන උනත් එපා උනත් රටේ ඈයොන්ගේ කයි කතන්දර වලින් බේරෙන්න ළමයි දෙතුන් දෙනෙකුත් හදනවා ..

ඉතින් ඊට පස්සේ,

හරියට කන්නේ නෑ ,අඳින්නේ නෑ , ගමනක් බිමනක් යන්නේ නෑ ,එදා ඉඳන්   ළමයි ලොකු කරනවා , උන්ට උගන්නනවා , ළමයින්ට  ගෙවල් හදනවා ,ළමයින්ගේ ළමයින්ටත් දේපල එකතු කරනවා .

දරුවො ලොකු වෙලා කසාද බැඳලා එයාලගේ ලෝක වලට ගියාම, තමන් තනිවෙනවා

ඔන්න එතකොට මග ඇරිච්ච,අමතක වෙච්ච ඒවා මතක් වෙන්න ගන්නවා ,

 අපි මොනවා කලත්, මෙච්චර හම්බ කලත්,පිනක් දහමක් කරගන්න, ජීවිතේ විඳින්න අමතක උනානේ කියල හිතෙනවා .

එතකොට ඉතින් පෙරහැර ගිහින්, පෙරහැර බලන්න ආපු අය ගෙදරත් ගිහින්..

ඒ වෙද්දී ගතේ හයියත් හිතේ හයියත් දෙකම නැහැ .ජීවිතේ හොඳ හරිය ගිහින් .

ජීවත් වෙනවා කියන්නේ ඉගන ගෙන කසාද බැඳලා දරුවෝ රොත්තක් හදල ,දේපල එකතු කරනවා කියන එකම නෙමෙයි.

ඒක ඊට එහා ගිය අද්‍යාත්මික වින්දනයක් .

ජීවිතේ විඳින්න පැන්ෂන් යනකන් ඉන්න ඕනේ නෑ ,අතේ තියන විදිහට හිතේ හැටියට කල් දදා නොයිඳ  ජීවිතේ විඳින්න .

තරුණ කාලේ තියන පුළුවන් විදිහට ජීවිතේ හැම දේම විඳපු දැකපු මිනිස්සු වයසට ගියාම ලේලිලට, බෑනලට ,කුහක කම් කර කර හුල්ලන්නෙ නෑ ,තමන්ගේ අතීතය මතක් කරලා සතුටු වෙනවා මිසක්.

මොන දේ කල් දැම්මත් ජීවිතේ විඳින එක කල් දාන එපා ,හෙටත් ඉර පානවා කියලා ෂුවර් උනාට ඒ වෙනකොටත් අපි ජීවත් වෙයි කියලා කාටවත්ම ෂුවර් කරලා කියන්න බැහැ.

ඔය අනිත් අය වගේ ලෝකෙට බම්බු ගහන්න කියන්න ඕනේ නැහැ, ඔයාට කැමති විදිහට ජීවිතේ විඳින්න

ඒ ඇති..

පැන්ෂන් ගිහින් හවස් වෙලා ජීවිතේ විඳින්න හිතන් ඉන්නවනම් පල්ලෙහා තියන පොටෝ එක බලන්න .

දත් වැටුනට පස්සේ මස් හපන්න බෑ

අනිශා ජයකොඩි

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය තරඟය

බ්‍රිතාන්‍යයේ කෙටිම කාලයක් අග්‍රාමාත්‍යධුරය දැරූ තැනත්තා විදියට දින 45 ක කාලයක් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කල ලිස් ට්‍රස් පසුගිය දා තමන්ගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරා. 2019 ජුලි මාසයේ දී පැවති මහ මැතිවරණයේදී ඉතා ඉහළ ජනවරමක් සහිතව තේරීපත් වූ කොන්සර්වේටිව් පක්ෂයට වසර තුනක් තුල සිය තුන්වන අග්‍රාමාත්‍යවරයාත් තෝරාපත් කර ගන්නට සිදුවීම මේ වන විට එක්සත් රාජධානිය මුහුණ දෙන දේශපාලන අර්බුදය මැනවින් කියා පානවා.

 හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීමත් සමඟ මහ මැතිවරණයකින් තොරව කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂ සාමාජිකයන්ගේ ඡන්දයෙන් ප්‍රථමයෙන් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයටත් එනයින් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යධුරයටත් පත්වූ ලිස් ට්‍රස් අග්‍රාමාත්‍යධුරය නමින් බාරගත්තේම කටු ඔටුන්නක්. ඇය ඉල්ලා අස්වෙමින් නොම්බර 10 අග්‍රාමාත්‍ය කාර්‍ය්ලය ඉදිරිපිට පැවැත්වූ කතාවේදී සඳහන් කල පරිදිම යුක්රේන යුද්ධය උපරිමයට ගියපු, ජීවන වියදම අහස උසට නැගුනු ඒ වගේම විශාල ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගී තියන වෙලාවක තමයි ඇය බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය බවට පත්වෙන්නේ.

අපේ අර සිංහල කියමනක් තියනවා නේ ‘බල සුබ නිමිති පෙර මග නැඟතටත් වැඩී’ කියලා. බ්‍රිතාන්‍යය ජාතිකයන් ඒ කතාව විශ්වාස කරත් නැතත් ට්‍රස් බ්‍රිතාන්‍යයේ දවන එලිසබෙත් මහ රැජිණ මුණගැසී සිය ධූරය බාරගෙන දින දෙකක් ඇතුලත වසර 96 ආයු වැලඳූ රැජිණ අභාවප්‍රාප්ත වෙනවා. අග්‍රාමාත්‍යවරිය සිය පලමු නිළ රාජකාරිය ලෙස කරන්කට සිද්ද වෙන්නේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අවමංගල උත්සවය සංවිධානය කරන්න. ඒතනින් පස්සේ තමයි ඇය තමන් බාරගත්ත රාජකාරි කරන්න ආරම්භ වෙන්නේ.

ඊට අදාළව යමින් ඇය අග්‍රාමාත්‍යවරණයට ඉදිරිපත් වෙච්ච පොරොන්දු ඉටු කරමින් විශාල බදු කලා හැරීමක් සහිතව කුඩා අයවැයක් ඇයග්‍රෙ චාන්සලර්වරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අවාසනාවකට එම අයවැය ඉදිරිපත් කරපු දා ඉඳන් ඒ සඳහා විශාල විරෝදයක් දසතින්ම එල්ල උනා. විශේෂයෙන්ම බදුකපා හැරීම් වලට එරෙහිව. ඊට ප්‍රතිචාර වශයෙන් බ්‍රිතාන්‍ය පවුමත් විශාල ලෙස එකවරම කඩා වැටුනා.

කොහොම උනත් අවසානයේදී ඇයට සිද්ද වෙනවා තමන් ඉදිරිපත් කරපු අයවැය සම්පූර්ණයෙන්ම වගේ ආපසු හරවන්න.ඒ විතරක් නෙමෙයි ඇය සිය චාන්සලරවරයා ලෙස පත්කරපු තමන්ගේ විශ්වාසවන්තම සගයෙක් වූ ක්වාසි ක්වාටෙන්ග් ධූරයෙන් පහ කරන්නත් ඇය කටයුතු කරනවා. ඊට පස්සේ ඇයගේ රජයේ තවත් කැබිනට් අමාත්‍යවරියක වූ ස්වදේශ කටයුතු ලේකම් සුවෙල්ලා බ්‍රාර්වමන් මහත්මියත් අග්‍රාමාත්‍යවරියට දොස් පවරමින් සිය ධූරයෙන් ඉල්ලා අස් වෙනවා.

මේ ලිපිය ලියන මොහොත වෙන විට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය තරඟය නැවතත් විවෘත වෙලා තියනවා. ඒ සඳහා හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ නමත්, ඔහුග් රජයේ හිටපු චාන්සලර් වගේම ලිස්ගේ ප්‍රතිවාදියා වූ රිෂි සුනක්ගේ නමත් ඉහලින්ම කියවෙනවා. පරාජිතයන්, තනතුරු අතහැරලා ගිහිපු අය නැවතත් එම තනතුරු වලට තරඟ කිරීම බ්‍රිතාන්‍යයේ දේශපාලන සම්ප්‍රධාය නොවුනත් මේ වෙලාවේ විශාල අර්බුදයකට මුහුණ දීලා ඉන්න බ්‍රිතාන්‍යයයේ දේශපාලනය ස්ථාවර කරන්න සම්ප්‍රදායන් පසෙකලා කටයුතු කරන්න බ්‍රිතාන්‍යයේ දේශපාලඥයන්ට සිද්ද වෙනවා. ඒ වගේම ඇමරිකාව, ප්‍රංශය ඇතුලු මිත්‍ර රටවල් රැසක් ඉතා ඉක්මනින් බ්‍රිතාන්‍යයේ දේශපාලන ස්ථිරත්වයක් ඇතිකර ගන්න කියලා බ්‍රිතාන්‍යය රජයට දැනුම් දීලත් තියනවා.

තිලාන් ජයසේකර

බය නොවන්න

(2 තිමෝති 1:6 – 7)

ඒ කාරණය නිසා මාගේ අත්තැබීම

කරණකොටගෙන ඔබ තුළ තිබෙන

දෙවියන්වහන්සේගේ දීමනාව පුබුදුකරන හැටියට

ඔබට සිහිකරවමි. මක්නිසාද දෙවියන්වහන්සේ

අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව

බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙනි ඔබගේ සියලුම

කාරණාවල් දෙවිඳුන් තුළ නිසියාකාරව ශක්තිමත්ව ජය

අත්පත් කරගන්නා දිනයක් වේවා!

අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවත් වූ පුදුම දේ

කරන දෙවිදුන් බැවින් උන්වහන්සේගේ දරුවකු වීමේ

ආශිර්වාදය ලබා ඇති ඔබ කිසිවෙකුගේ කිසිදු ප්‍රකාශයකට

බිය නොවන්න.මන්ද  අද දින ඉහත ප්‍රධාන දේව වචනය

වන 2 තිමෝති 1:6,7 හී සදහන්ව ඇත්තේ දෙවියන්

වහන්සේ අපට දුන්නේ බයාදු කමේ ආත්මයක් නොව

බලයෙන් ප්‍රේමයෙන් හික්මීමෙ ආත්මයක්ය කියාය.එබැවින්

අදත් ඔබගේ සිත නොකැළඹේවා.මාගේ සහෝදර

සහෝදරියනි ඔබ යන ජීවන ගමනේදී  ඔබ බියට පත්වන

ප්‍රශ්නයක දී, කරදරයක දී, පීඩාව කදි දේව වචනය

මෙනෙහි කරමින් දේව අභිමුඛත්වයේ  හිඳිමින් යාඥා

කරන්නේ නම් දේව ආත්මයාණන් තුළ තිබෙන්නා වූ

ජ්වලිතකම  හා එඩිතරකම උන්වහන්සේ ඔබට ලබා දෙන

සේක.

එසේ උවද ලෝකාකාරව ජීවත්වන අනෙකුත් මනුෂ්‍යයන්

ඔවුන්ට මුහුණ පෑමට සිදුව ඇති විවිධ අභියෝගයන් නිසා

බයාදු කමට පත්ව සිටිති.ඇතැම් මනුෂ්‍යයන් කවුරුන් විසින්

හෝ ශබ්ද නගා කතා කළ විට පවා මහත් වූ බියකට

පත්වේ.දෙවියන් වහන්සේව අදහන ඔබත් මෙවැනි දේ

වලට බිය වන්නේ ද? එසේනම්

(ක්‍රියා 1: 8)

නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ සැම

කෙරෙහි පැමිණි කල ඔබ සැම බලය ලබන්නහුය.

එවිට ඔබ සැම යෙරුසලමෙහිද මුළු යුදයෙහිද

සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ

සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

මෙම දේව වචනයේ පවසා තිබෙන්නේ

"ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල

නුඹලා බලය ලබන්නහුය" කියාය.ඔබ සෑම මොහොතේම

දෙවිඳුන් තුළ ධෛර්යමත්ව, ශක්තිමත්ව,

ඇදහිල්ලෙන්,විශ්වාසයෙන්,නොබිය ව සිටින්න.ඔබ

උන්වහන්සේව විශ්වාස කරනවා නම් අවසාන මොහොතේ

හෝ උන්වහන්සේ ක්‍රියා කරන්න යනවා.මෙය සිදුවන්නේ

ඔබගේ විශ්වාසය තුළයි.

එම නිසාම ඔබ අද දින ඔබගේ දුර්වලතාවය අවබෝධ

කරගන්න.ඔබ උදෑසන අවදිවී දණ ගසමින් සමිදානෝ

ඉදිරියේ පසුතැවිලි වෙමින් ඔබගේ හදවත උන් වහන්සේට

භාර දෙන්න.එවිට ඔබගේ හදවත දෙස බලන්නා වූ සමිදුන්

ඒ තුළ උන්වහන්සේට නොගැලපෙන යම් කිලිටි දෙයක් වේ

නම් ඉන් පවිත්‍ර වීමට ඔබට උපකාර කරන සේක.එසේම

උන්වහන්සේගේ බලවත් දේව ආත්මයාණන්

කරණකොටගෙන ඔබ තුළ ඇති බයාදුකමේ ආත්මය පහ

කරන සේක.ඔබ උන් වහන්සේව පිළිගෙන උන් වහන්සේව

අනුගමනය කරනවා නම් උන්වහන්සේ මේ හැම බියකින්ම

ඔබව නිදහස් කර ඔබට ජය අත්පත් කර ගැනීමට බලය

නිදහස් කරන සේක.උන් වහන්සේව පමණක් විශ්වාස

කරන්න.

(යෙසායා 41:13)

මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම:

භය නොවෙන්න, මම ඔබට පිහිටවන්නෙමියි

කියමින් ඔබේ දකුණත අල්ලන්නෙමි.

ඔබට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

සර්වඥතාඥානය

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නො දන්නා ලද්දක්, නො දක්නා ලද්දක්, ඥානයෙන් නො පැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නො කරන ලද්දක්, ඥානයෙන් ස්පර්ශ නො කරන ලද්දක් නැත. අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූද සකලධර්මයෝ සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥාන මුඛයෙහි පෙනී සිටින්නාහ.

නෙය්‍ය නම් වූ යම් කිසිවක් ඇති නම් ඒ දත යුතු සියල්ල ආත්මාර්ථය හෝ වේවා, පරාර්ථය හෝ වේවා. උභයාර්ථය හෝ වේවා, දෘෂ්ටධර්මිකාර්ථය හෝ වේවා, සාම්පරායිකාර්ථය හෝ වේවා, නො ගැඹුරු අර්ථය හෝ වේවා, ගම්භීරාර්ථය හෝ වේවා, ගූඪාර්ථය හෝ වේවා, ප්‍රච්ඡන්නාර්ථය හෝ වේවා, නෙය්‍යාර්ථය හෝ වේවා, නීතාර්ථය හෝ වේවා, අනවද්‍යාර්ථය හෝ වේවා, නික්ලේශාර්ථය හෝ වේවා, ව්‍යවදානාර්ථය හෝ වේවා, නිර්වාණසංඛ්‍යාත පරමාර්ථය හෝ වේවා, ඒ සියල්ල බුද්ධ ඥානය තුළ පරිවර්තනය වෙයි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කායකර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වාක්කර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මනඃකර්ම සියල්ල ඥානය අනුව පවතී.

භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අතීතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අනාගතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය වර්තමානයෙහි සැපීමක් නැත.

ඥෙය යම් පමණ නම් ඥානය ද එපමණ වේ. ඥෙය, ඥානය හිමි කොට ඇත්තේ ය. ඥානය, ඥෙයය හිමි කොට ඇත්තේ ය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ ඔවුනොවුන් පර්යන්ත කොට සිටින්නාහ. කටවල් මැනවින් හේත්තු වන සේප්පුවක් වැසූ කල්හි යම් සේ උඩුපියන යටිපියන ඉක්මවා නොසිටී ද, යටිපියන උඩුපියන ඉක්මවා නොසිටී ද, යම් සේ ඒ දෙක ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ වේ ද, එමෙන්ම භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය හා ඥෙයය ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ ය. යම් පමණ ඥෙයය වේද ඥානයද එපමණ වේ. ඥානය යම් පමණද ඥෙයය එපමණය. ඥානය, ඥෙයය කෙළවර කොට ඇත්තේය, ඥෙයය, ඥානය කෙළවර කොට ඇත්තේය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන් කෙළවර කොට සිටින්නෝ ය. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය සකල ධර්මයන්හි පවත්නේය.

සර්වඥතාඥානය සකලධර්ම විෂයෙහි කිසි තැනක පැකිළීමක් ගැටීමක් ආවරණයක් නැතිව ගමන් කරන බැවින් එයට අනාවරණඥාන යයි ද කියනු ලැබේ. සර්වඥතාඥානය ඇති බැවින් බුදුරදුන්ට සියල්ල නිරතුරුව පෙනෙමින් පවත්නේ නොවේ. ඒ ඥානය ඇති කල්හි නො දත හැකි නො දැකිය හැකි දෙයක් ද නැත. ආවර්ජනා කරන කරන සියල්ල ඉතා පිරිසිදු ලෙස ඒ ඥානයට පෙනෙන්නේය. එය ලොවුතුරා බුදුනට පමණක් ඇති අන් කිසිවකුට නැති විශේෂ ඥානයෙකි. එහි තතු සෙස්සන් විසින් නො දැකිය හැකිය. ඒ ඥානයේ සැටි කෙසේද? එක් පුද්ගලයෙකුට පමණක් එබඳු ඥානයක් ඇතිවිය හැකිද? බුදුරදුන් ඒ ඥානයෙන් එක විටම සියල්ල දුටුයේද? එකිනෙක වෙන් වශයෙන් බලා දැන සර්වඥ වූයේද? යනාදීන් සාමාන්‍ය ජනයා විසින් නො සිතිය යුතුය. ඒ සිතීම අනර්ථකරය. එබැවින් තථාගතයන් වහන්සේ විසින්,

“බුද්ධානං භික්ඛවෙ, බුද්ධවිසයො අචින්තෙය්‍යො. න චින්තිතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස”

(අංගුත්තර චතුක්කනිපාත 238)

යනු වදාරන ලදී. “මහණෙනි, බුදුන්ගේ බුද්ධවිෂය නො සිතිය යුතු ය. එය සිතන්නේ උමතු බවටත් වෙහෙසටත් පත්වන්නේ ය” යනු එහි තේරුම ය.

සූවිසි මහ ගුණය – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි

මම පරාද වුනෙමි…

මම පරාද වුනෙමි…

නුඹේ මතකයෙන් සැඟවෙන්නට

වෙර දරන මොහොතක් පාසාම

මම පරාද වුනෙමි….

නුඹෙන් ඈතටම 

දිව යන මොහොතක් පාසාම

මම පරාද වුනෙමි…

නුඹ ගැන තරහවකින්

හිත පුරවගන්නට

වෙර දරන මොහොතක පාසාම

මම පරාද වුනෙමි…

ඉදින්..

මම පැරදුම බාර ගනිමි

මියෙන තුරුම මම

පැරදීමට කැමැත්තෙමි…

සුරේඛා

රේන්ද-ත‍ටුවා

Lacewing

(Cethosia nietneri)

රේන්ද-ත‍ටුවා

දැනට ශ්‍රී ලංකාවේ හමුවන සමනල් විශේෂ අතුරින් Nymphalidae කුලයේ හමුවන අලංකාර වර්ණ රටාවකට හිමිකම් කියන සමනල විශේෂයක් ලෙස මෙම විශේෂය හදුන්වා දිය හැක. Lacewing නොහොත් රේන්ද-ත‍ටුවා වනාන්තර ප්‍රදේශ වලට බෙහෙවින් ප්‍රිය කරන අතර ශ්‍රී ලංකාවේ තෙත්, වියලි කලාපයේ හා අන්තර්මැදි කලාපයේ හමුවන අලංකාරවත් සමනල විශේෂයකි.   

මොවුන් හදුනා ගැනිමේදි ඔවුන්ගේ වර්ණයන් වි‌ශේෂයෙන්ම භාවිතා කරන අතර තැඹිලි කලු හා සුදු පැහැය මොවුන්ගේ පියාපන් පුරාම දැක ගත හැකි වේ. ගැහැණු හා පිරිමි පාරිශව දෙකේම වර්ණයන් හා වර්ණ රටාවන් සියල්ලම එක සමාන වන අතර පියාපත් වල ඇති වර්ණ පරාසයන්ගෙන් ඔවුන් වෙන් තර ගත හැක. සෙමෙන් මෙන්ම නිදහසේ පියාසර කරන  මොවුන් සාමාන්‍යයෙන් වනාන්තර ඇසුරේ සැරිසරන අතර වැඩි වශයෙන් ඉහල ස්ථර වල රැදීමට ප්‍රිය කරත් ඇස ගැටෙන වාර ගනන බොහොම දුලභ වේ. සිමින් පියාසර කලත් විලෝපිකයින්ගේ ප්‍රහාර වලට ලක් නොවී සිටීමට ප්‍රධානතම හේතුව වන්නේ මොවුන්ගේ පියාපත් මත ඇති වර්ණයන්ය. 

මොවුන් මල් පැනි හා ශාක කදන් මතින් වෑහෙන යුශ උරා බොමින් පෝෂණයවේ. ගැහැණු සතුන් හොඩල ශාකයේ බිත්තර දමන අතර එයින් පැමිණෙන දැලඹුවන් එහි පත්‍ර අහාරයට ගෙන වැඩේ.