

බැංකුවෙන් මම එලියට එද්දි දවල් කෑම වෙලාවටත් ලං වෙලා. පැයක් විතර පෝලිමේ හිටගෙන ඉදලා ගත්තු පෙන්ශන් එක ආයෙත් වතාවක් ගනං කරලා පර්ස් එකට දාගත්තු මම ඔරලෝසුව දිහා බැලුවේ ඊළඟ බස් එකට නගින්න තියෙන වෙලාව බලන්න. තවත් එහෙමම විනාඩි හතලිස් පහක් තියෙනවා. පරිසරයේ තියෙන ගිනි රස්නෙ තව වැඩි වෙන්නෙ ඇතාගල හින්දයි. මොන තරම් කාෂ්ඨකයක් තිබුනත් ඇතාගල මුදුනේ තම්පත් කරලා තියෙන බුදු පිලිම වහන්සේ දිහා බැලුවම හිතේ තියෙන සියලු දුක්ඛ දෝමනස්සයන් වගේම විඩාවත් මොහොතකට දුරුවෙනවා.
බැංකුවේ හිටපු පැයට මගේ උගුර කටත් වේලිලා ගිහින්. බස් එකටත් තව වෙලාව එහෙමම තියෙන එකේ මම හෙමින් හෙමින් ඇවිදගෙන ගියේ කූල්ස්පොට් එකක් හොයාගෙන. යන ගමන් අතේ තිබුනු පොඩි නොකියා එකෙන් කුමාරිට ඇමතුමක් ගත්තේ මම එනකම් ඇය බත් කටක් නොකන නිසයි.
‘මහත්තයා…
වචනයක් කියන්නත් කලින් ඇය මාව හදුනනවා..
‘කුමාර්‍රි..මම පෙන්ශන් එක ගත්තා…බස් එකට එහෙමමයි වෙලාව. මම මොනවා හරි බීලම එන්නම්. එතකම් ඔයා කන්න..
‘එහෙම ඕන නෑ. මාත් තේ බිව්වා. තාම බඩගිනි නෑ.. මහත්තයා හෙමින් එන්නකෝ..
‘එද්දි මොනවාහරි ගේන්න තියෙනවද?
‘හ්ම්ම්.. එහෙම මොකුත් නෑ. මහත්තයා පරිස්සමට එන්න. වැඩිය තෙල් ජාති එහෙම කන්න එපා.. මහත්තයට හොඳ නෑ…
කුමාරි එහෙම කියද්දි මම ඇමතුම විසන්දි කලේ හිනාවෙමින්. මටත් වඩා මම ගැන හිතන කුමාරි අවුරුදු තිස්පහක් මාත් එක්ක එකට ජීවත් වෙන ප්‍රිය බිරිඳයි. තරුණ කාලේ ඉදන් මේ වෙනකම් ඇය මගේ හොඳම යෙහෙලියයි. පිරිමියෙක්ට ලබන්න පුලුවන් උතුම් ගනයේ ගැහැණියක් තමයි කුමාරි කියන්නෙ. කාලයක් මම හින්දා, ඊටපස්සෙ දරුවෝ නිසා ජීවිතේ පුදුමාකාර කැපකිරීම් කරපු කුමාරි ගැන මගේ හිතේ තියෙන්නෙ වචන වලින් කියලා නිම කරන්න බැරි ආදරයක්.
‘ආහ් විජේදාස සර් දැක්කේ සෑහෙන කාලෙකින්…
කුමාරි ගැන හිත හිතම මම කූල්ස්පොට් එක ළඟට ඇවිත්.අවුරුදු ගානක් තිස්සෙ මේ කඩේ කලේ සමරවීර. මාත් එක්කම ඔහුත් වයසට ගිහින්. ඒත් පුරුදු ලෙංගතුකම තාමත් එහෙමමයි.
‘ඉස්කෝලේ කාලේ වගේ නිතර දෙවේලේ දැන් ටවුමට එන්නෙ නෑ සමරේ. නෝනා හදලා දෙන කෑමක් කාලා මම වත්තේ පිටියේ වැඩක් කරනවා. දරුවොත් ලංකාවේ නෑ. එයාලත් බලන්න යනවා..
දරුවෝ දෙන්නම පිටරට වල උන්නත් මටවත් කුමාරිටවත් විශේෂ සැලකිලි ඔවුන්ගෙන් ලැබුනේ නෑ. කටට ආවට දරුවෝ බලන්න රට රට වලට යනවා කියලා සමරෙ එක්ක කිව්වා මිසක් මමවත් කුමාරිවත් දුව ඉන්න කැනඩාව වගේම පුතා ඉන්න ඇමරිකාවත් දන්නේ ලෝකසිතියමෙන් දැකලා විතරයි. ඒ හැරුනම අපි දෙන්නා ඒ රටවල් පැත්තේ පස් පාගලා නෑ. ඒත් මේක ලංකාව. සමහර දේවල් ඒ විදියට තවත් අයට කියද්දි කතාව එතනින් නතර වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගෙ සැලකිලි ගැන.
‘විජේ ඉස්කෝලේ මහත්තයයි නෝනයි දැන් දුව හරි පුතා හරි ළඟ පදිංචි වුනා නම් හොඳයිනේ. මෙහේ ඉතින් ජීවත් වෙන්නත් අමාරුයි නේ..
සමරේගේ කතාව තවත් නවතින්නෙ නැති හැඩයි.
‘ ඉපදුනු පොළව දාලා ඔය සීතලේ ගිහින් ඉන්න අපට බෑ සමරේ. මට කල්කිරි එකයි සමරෙගෙ එලවලු රොටියකුයි ගේන්නකෝ. අම්මපා මට තාමත් ගෙදර ඉද්දි වෙලාවකට මෙහෙට ඇවිත් එළවලු රොටී කාල යන්න හිතෙනවා….
‘විජේ ස’ ආසම දේනේ.. ආහ් මහත්තයෝ.. තව මොනවා හරි ඕන නම් කියන්න. බස් එක එන්න වෙලාව එහෙමමයිනේ..
සමරෙගෙ කතාව එතනින් අවසන් වුනු එක මගේ හිතට පුදුම සැනසීමක් එකතු කලා. සති අන්තයේ ලංකාදීප පත්තරය කියවන ගමන් කල්කිරි බොන එක මගේ ඉස්සර ඉදන්ම පුරුද්දක්. කුමාරි බනින්නෙම මේ පුරුදු වලට. ඒත් සමහර ඇබ්බැහිවීම් නවත්තන්න අමාරුයි කියන එක කුමාරි තවම දන්නෙ නෑ.
පත්තරේ මුල් පිටු වල තිබුනෙම දේශපාලනය ගැන. ඊටපස්සෙ දරුවො දෙමව්පියන්ට නොසලකල පාරට දාන සිදුවීම්, ඒ හැරුනු කොට රසවත් කිසිම දෙයක් පත්තරේ තිබුනෙත් නෑ. දරුවො නිසා මොහොතකට හිත රිද්දගත් මම එකම දියනිය පියාව බලුකූඩුවට දාපු විස්තරය පත්තරේ කියවන්න ගියේ නෑ. කුමාරි කියනවා වගේ පෙන්ශන් එකෙන් ජීවත් වෙන අපි දෙන්නා පාරට ඇදලා දාන්න කාටවත් බෑ.
පත්තරේ එහෙමම පැත්තකින් තියපු මම හිස එසෙව්වේ උපැස් යුවල ගලවන්න. දැකලා පුරුදු රූපයක් මගේ ඇස් ඉස්සරහා පෙනෙද්දි බාගෙට ගලවපු ඇස් කණ්ණාඩි දෙක ආයෙත් දාගත්තේ හිතට ආවේ හරිම නමමද කියලා තහවුරු කරගන්න.
මගේ මතකය, ගෙවුනු අතීතය වගේම හර්ද සාක්ෂිය නිවැරදි නම් ඒ ඇයමයි. මම තරම් වයසට නොගියත් වල යන්තමින් සුදු වුනු කොණ්ඩයට, රැලි වැටුනු හමට බෑ අයගේ සුන්දරත්වය නැති කරන්න. තාමත් ඒ කාලේ වගේමයි ඇය. ඉස්සරට වඩා ඕන නම් අගල් දෙකක් තුනක් මහත් වෙලා ඇති.
‘ සුනේත්‍රා…
මටත් නොදැනීම ඒ නම මගේ මුවෙන් ගිලිහෙද්දි ඇය මුව පුරා සිනාසුනා. ඒ හිනාවෙන්ම ඇය මගේ ඉදිරිපිට වාඩි වෙද්දි මම ගොළුවෙක් වගේ ඇය දිහා බලාගෙන උන්නා.
‘මහී නේද? කොච්චර කාලෙකින්ද? මම ඒත් ඔයා ගැන නිමල් ගෙනුත් ඇහුවා. එයා කිව්වෙ මලියදේවෙන් පෙන්ශන් ගියාට පස්සෙ ඔයා ටියුශන් නැවැත්තුවා කියලා. ඉතින් මහී, කුමාරි හොඳින්ද?
මම අපහසුවෙන් සිනාවෙන්න උත්සහා කලා. පෙනුමෙන් යන්තම් වෙනස් වුනාට ඇයගේ වචන නම් තාමත් එහෙමයි.මීට අවුරුදු ගානකට කලින් ඇය ඉදිරියේ ගොලු වුනු මම එදා වගේම අදත් ගොළු වෙලා.
‘කුමාරි හ්ම්ම්.. ගෙදර.. සුනේ..ත්…රා කොහේ ආව ගමන්ද?
අමාරුවෙන් ගොතා ගත්ත වචන ටික යම් සහනයක් මගේ හිතට ගෙනාවත් සුනේත්‍රා දැකීමෙන් හිරිවැටුනු හිත තාමත් එහෙමමයි.
දෙවනි කොටස ඊළග කලාපයෙන්
තක්ෂිලා ඒකනායක
කාන්තා පිරිමි දෙපාර්ශවයට ම තම හිසකෙස් යනු තම පෙනුම අඩු හෝ වැඩි කරන තීරණාත්මක සාධකයකි. විශේෂයෙන් කාන්තා පාර්ශ්වය තමන්ගේ රුව පිළිබඳව වඩාත් උනන්දුවන අතර, එහි දී නිරෝගී දිදුලන කෙස් කළඹක් යනු බොහෝ දෙනෙකුගේ සිහිනයකි. ඉතින් ඒ සිහිනය සිහිනයක් ම නොවන්නට නම් පිළිපැදිය යුතු පහසු සත්කාර කිහිපයක් පිළිබඳව අපි අද කතා කරමු.
* තෙල්සත්කාර
ඔබට නිරෝගී සුන්දර කෙස්කළඹක් අවශ්‍යය නම් පළමුව කෙස්වල තෙතමනය රැකගතයුතු වේ. ඒ සඳහා ගුණාත්මක තෙල්වර්ග හිස ගැල්වීමෙන් ලබාගන්නා පෝෂණය ඉතා ම වැදගත් ය. ඔලිව්තෙල්, පොල්තෙල්, එඬරු (castor oil) තෙල්, වැනි පෝෂණ ගුණයෙන් වැඩි තෙල්වර්ගයක් ඇඟිලිතුඩුවලට ගෙන හොඳින් හිස්කබලේ සහ කෙස්වල ගල්වන්න. අනතුරුව සෙමින් හිස්කබල සම්බාහනය කර පැය භාගයකට පසුව සෝදාහැර තෙත මාත්තු කරන්න. සතියකට වරක් හෝ දෙවරක් මෙසේ නෑමට පෙර තෙල් ගැල්වීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිවනු ඇත.
* හිසකෙස් සේදීම
නෑමේදී, හිසකෙස් සේදීමේ දී එය හිසකෙස් මත තැවරුණු ෂැම්පු සහ වෙනත් සේදුම්කාරක හොඳින් ඉවත්වන පරිදි සෝදාහරින්න. හැමවිට ම හිස සේදීමේ දී උණුසුම් සහ තද උණුසුම් වතුර භාවිතය අත් හරින්න. හිසකෙස් අගට ෂැම්පූ යෙදීමෙන් වළකින්න. ඔබට උණුසුම් වතුර ස්නානයෙන් වැළකීමට අපහසු නම් නෑමේ දී “ෂවර් කැප්” එකක් භාවිත කරන්න.
* නිවැරැදිව හිස පීරන්න.
හිසකෙස්වල ස්වාභාවය අනුව පනාව තෝරාගන්න. පළමුව මෙහි දී දැති ලොකු පනාවක් ආධාරයෙන් හිසකෙස් අග සිට ගැට සෙමින් ඉවත් කර අනතුරුව කේෂමූලයන් පිහිටාඇති හිස් කබලේ වදින ආකාරයට මුල සිට අගට සෙමින් කෙස් පීරන්න. නෑමෙන් අනතුරුව කෙස් සම්පූර්ණයෙන් ම වියළීමට ප්‍රථම ආගන් ඔයිල් වැනි තෙල් බිංදු කිහිපයක් හිස කෙස්වල යන්තමින් තවරා හිසකෙස් පීරීමෙන් ඔබට පහසුවෙන් කෙස් ගැටගැසීම වළක්වාගත හැකි ය.
* කොණ්ඩා මෝස්තර .
හැකි හැමවිට ම සරල සහ ලිහිල් කොණ්ඩා මෝස්තර භාවිත කරන්න. High ponytail සහ බැක්කෝම්බ් වැනි හෙයාර් ස්ටයිල්වලින් හැකි තරම් ඈත්වන්න. එසේ ම හෙයාර් ස්ප්‍රේ, සහ නොයෙකුත් harsh Chemicals අඩංගු නිෂ්පාදන භාවිතය අව ම කරන්න. ඔබ නොහිතන පරිදි ඔබේ හිසකෙස්වලට මෙම නිෂ්පාදන හානි කරනු ලබ යි.
* හිසකෙස් සම්බාහනය.
හැකි පරිදි සතියකට වරක්වත් ඔබේ හිස හොඳින් මසාජ් කරන්න. මෙම සම්බාහනය මඟින් ඔබගේ හිස්කබලෙහි ඇති කේෂ්මූල මනාව උත්තේජනය වන අතර එමඟින් ලේ ගමනාගමනයට මනා රුකුලක් ලබා දේ. ඔබට නිවසේ දී මෙන් ම වඩා ප්‍රතිඵලදායක සේවයක් සුදුසුකම් ලත් රූපලාවන්‍යාගාරයක දී වුව ලබාගත හැකි අතර මෙමඟින් ඔබට සැහැල්ලුවක් ද ලබාදෙනු ඇත.
* නිවැරදි ආහාරරටාව සහ පෝෂණය.
ශරීරයට පිටතින් කෙතරම් සත්කාර කළ ද, අභ්‍යන්තරයෙන් අවශ්‍යය පෝෂණය සහ යහගුණය ලබා නොදේ නම් ඉහත කිසිවක් ප්‍රත්ඵලදායී නොවනු ඇත. එබැවින් නිසි සමබල ආහාර, ධාන්‍යය, සහ ඇටවර්ග භාවිතය පළතුරු එළවලු වැඩිපුර ආහාරයට ගැනීම මෙන් ම මනා ලෙස ජලය පානය කිරීම ද ඉතා මත් ම වැදගත් ය. යම් හෙයකින් ඔබට ඔබේ ආහාර සහ පෝෂණය මඟ හැරෙනවානම් ඔබේ වෛද්‍යවරයා හමු වී සුදුසු විටමින් වර්ග භාවිතයට ගන්න
ඉතින්, කාන්තා පිරිමි භේදයකින් තොරව පහසුවෙන් ඔබට නිරෝගී අලංකාර කෙස් කලඹක් ලබාගැනීමට ඉහත උපදෙස් මනා පිටිවහලක් වනු ඇතැ යි මා බලාපොරොත්තු වනවා.සුන්දර දිනයක් පතමින් ඊළඟ කලාපයෙන් හමුවනතුරු මා අදට මේ කතාබහ නවත්වනවා. !
Sameera Jayasinghe
දියුනු වෙමින් පවතින රටක් විදිහට ලේබල් ගැහුවට අපේ රට දිඋනු කරන්න කවදාවත් පුළුවන් වෙයි කියලනම් හිතෙන්නේ නැහැ.එහෙම උනත් ඒක පන පිටින් දකින්න මේ ආත්මේ අපිටනම් හම්බෙන එකක් නැහැ , එකට හේතුව රටක දියුනුව කියන්නේ ආර්ථික වෂයෙන් වන අංකමය දියුනුවක පමණක් නොව සමාජයීය අකල්පමය සහ සංකල්ප වල දියුනුවත් මේ සඳහා බලපාන නමුත් ආකල්පමය වශයෙන් අපි ඉන්නේ තවමත් බාලාංශේ නිසාය.
Economical system එක පාලකයෝ හදල දුන්නත් attitude වෙනස් කර ගැනීම අපි තනි තනිවම කරගන්න ඕන දෙයක්.
❤️අපේ තියන ලොකුම වැරැද්ද තමයි අපි හරි කියල කියන දේ හැමෝම පිළිගන්න ඕනේ කියල හිතන එක සහ හැමෝම අපිට එකඟ වෙන්න ඕනේ කියල විස්වාසයක් තියන එක.
එහෙම දෙයක් නැහැ දෙයියනේ? මිනිස්සු තීරණ වලට එන්නේ තමන් ඉන්න සමාජ මට්ටමට ,උගත් කමේ මට්ටමට, සහ තමාට ජීවිතයේ ලැබුණු සහ තමන් මුහුණ දුන් අත්දැකීම වල මට්ටමට අනුවයි.
උදා – දරුවන් සමග අනුරාධපුරේ විනෝද චාරිකාවක් යන එක මාස් පඩියක් ගන්න සාමාන්‍ය ආර්ථිකයක් තියන කෙනෙකුට ඉතා විශේෂ දෙයක් වෙන්න පුළුවන් ,මොකද හිතිච්ච ගමන් මොන්ටෙරෝ එකට නැගල උදේ ගිහින් හවස එන්න අනුරාධපුරේ යන ධනවත් පව්ලක අයෙකුට තරම් සාමාන්‍ය පව්ලක කෙනෙකුට වත්කමක් නැති නිසා.ඉතින් අනේ.. අපි අනුරාධපුරේ ගියා , අපි තේ බිව්වා ,කියල ඒ ගමන ගැන කියන විස්තර ටික කිව්වම හැම වෙලාවේම දෙස් විදෙස් සංචාරවල නිරත වෙන කෙනෙකුට විහිළුවක් වගේ දැනෙන්න පුළුවන්,මොකද ඒ අයට එක විශේෂ දෙයක් නොවන නිසා .. ඒ එක එක අයගේ ජීවිත රටාවන් වෙනස් නිසා.සම සිතින් ඒ දෙදෙනා දෙසම බලා දෙදෙනාටම සුබ පැතීමට තරම් අපේ හිත සොඳුරු නොවන තාක් කල් අපිට කලක් යයිද?
❤️අනික සියල්ලෝම මට එකඟ වේවා , කියල බුදුහාමුදුරුවෝ වත් වදාලේ නැත. කලින් ලිපියකත් මන් සඳහන් කළා වගේ ඔබ කන්න කැමති පාන් සමග පරිප්පු වූ කල අනෙක් සියල්ලෝම පාන් කෑ යුතු යයි සිතීම විහිළුවකි.කෙනෙකුට සොසේජස් කෑමටද තවත් කෙනෙකුට බඩගින්නේ සිටීමටද සාදාරන අයිතියක් ඇත. ඒ නිසා අනිත් අයගේ අදහස් වලට එකඟ වීමට සහ විරුද්ද වීමටද අපි හැමෝටම අයිතියක් ඇත.විරුද්ද මත පිළිගන්න .
❤️අපේ සමාජේ තියන අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි අනුන්ගේ වැදගත්කම හොයන්නට යාම.
මේකට අපේ කට්ටිය නිර්ණායක ටිකකුත් හදන ඉන්නේ ..කොන්ඩේ පාට කරපු, කොන්ඩේ අමුතු විදිහට කපපු , ටැටෝ ගහපු ,කොටට අඳින අය වැදගත් නැත කියල ,ඒ එක්ක බැලුවම මන් නම් කිසිම වැදගත් කමක් නැහැ .මොකද මන් ඔය ටික ඔක්කොම කරලා ඉන්නේ ..
මන් මේ ජීවිතේ මට සන්තෝෂ වෙන්න පුළුවන් කියල හිතෙන හැමදේම කරලා බලනවා ඒ තුල නියම සතුට තියනවද කියල.හැබැයි ඒවා කළා කියල මගේ වැදගත්කමට නම් අබ මල් රේණුවක වත් හානියක් මන් කරගෙන නැහැ, මැරෙන තුරාවට කරන්නෙත් නැහැ.මට අනුව වැදගත් කම මනින්නේ තමාගේ මානුෂිකතවය , හැසිරීම ,චරිතවත් බව වගේ එකිනෙකාට අනන්‍ය වූ කරනු ගොන්නක් එක්ක.මස් ගොබ වසාගෙන සිටි පමණින් වැදගත් යයි කිව හැකි කිසි කෙනෙක් මෙතෙක් මගේ ජීවිතයේ හමු වී නැත.වැදගත්ම දේ අනුන්ගේ වැදගත් කම් , උගත්කම් , ධනවත්කම් අපි මහා ලොකුවට අදාල කර නොගැනීමයි..එතකොට සමජෙත් එක්ක වැඩ කරන්න හරිම ලේසියි.
❤️සමාජ ජාලයක එකට බැඳුනු පුරුක් ලෙස එකිනෙකාට උදව් කරගැනීමට සිනහවීමට , ජීවිතය බෙදාගැනීමට , උගත්කම , ධනවත්කම, චරිතවත් කම මහා ලොකුවට අදාල කරගත් යුතු නොවේ.අනික බාහිරව බලා සියල්ල තීරණය කල හැකිද නොවේ.
❤️අපේ වචනෙකින් අපේ බැල්මකින් සිදුවන්නේ තවත් කෙනෙකුගේ හිත රිදීමක් , හිත තැලීමක් පමණක් නම් තර්කමය වශයෙන් ඔබ දිනුවාද ඉන් පලක් නැත.අවසානයේ ඉතුරු වන්නේ තේරුම්ගැනීමට නොහැකි පසුතැවීමක් පමණි.
අනෙකාගේ හොඳ අගයන්න.ඔබ අකමැතිනම් ඍජුව අකමැත්ත ප්‍රකාශ කරන්න.ප්‍රතික්ෂේප කරන්න.නමුත් සිත් රිදවීම නම් පලක් නොවෙයි.
❤️යක්කුන්ට බය අය සොහනක ගෙයක් හදන එක පලක් නැත.සමාජයේ නිතර ගැටෙන පුද්ගලයෙක් නම් ඕනෑම දෙකට ඔරොත්තු දෙන ආකාරයට තමාගේ සිත පුහුණු කරවා ගත යුතුයි.බුද්ධ වචනයට අනුව නින්දා ප්‍රශංසා දෙකෙහි නොසැලී සිටිය යුතුයි.අපොයි මේක කැතයි කිව්වා ,මේක වැරදියි කියල මට බැන්නා , කියමින් හොටු පෙර පෙර අඬන බබාලාට මේ සමාජයේ බෙල්ල ගැසීමට අසීරුය.මමම ඊයේ ගත්ත ගව්මට මම අද කැමති නැත ,තමාගේ සිතුවිලි පවා දිනෙන් දින වෙනස් වෙයි ,ඉතින් සමාජය ගැන කවර කතාද ? මට අකමැති දහසක් ඉරිදියේ වුවද සිනහ සීමට හැකි නිසා මමනම් කිසිඳු දිනක සමාජය නිසා මගේ හදවතට දුකක් දැනෙන්නට ඉඩ දී නැත.
සමාජ මත ඉදිරිදියේ නොසෙල්විය හැකි මනසක් හදාගන්න තාක් කල් ඔබ පරාජිතයෙකි.ලොවම එරෙහි වුවත් ඔබට ඔබ ලෙස කෙලින් සිට ගත හැකි දිනක පමණක් ඔබ ජයග්‍රහණය කරයි.
කෙටියෙන්ම කියතහොත් අපේ මේ සමුහයේ , වෙනත් සමුහවල , සමාජයේ , හෝ වාචික , ගනුදෙනු සිදුවන සියලුම අංශ කෙරෙහි මේ කරුණු පොදුය.
සමාජය විෂම ආකල්ප ඇති මිනිසුන් පිරිසකගෙන් සැදුම්ලත් බව තේරුම් ගන්න.තමාගේ අදහස් සමාජ ගත කිරීමට උවමනා මිනිසුන් ඒවාට ඇති විරුද්ධ මත වලට මුහුණ දීමටද සුදානම් වන්න .අනෙකාට ගරු කිරීමට නොදන්නා කිසිවෙකුට සමාජයෙන් ගරුත්වයක් හිමි නොවේ.
තමාගේ නිදහසේ සීමාව අනෙකාගේ නහය ලඟින් අවසන් වන බව සිහියට ගන්න.
අනිශා ජයකොඩි
දුටුගැමුණු රජතුමාගේ නාග බිසව
ඔන්න අද නමි මං ඔයාලාට අරන් ආවේ ජනප්‍රවාද කතාවක්…. එ දුටුගැමුණු රජතුමාගේ ජීවිතය බිලිගත් නාග කන්‍යාව මණිමේඛලා ගැන…. හරි අපුරු කතාවක්…. අද කාලේ නමි සමාජයට ආදර්ශවත් කතාවක්…
දන්නවා ඇතිනේ දුටුගැමුණු රජතුමාට කොයිතරමි නමි පරිවාර ස්ත්‍රීන් සිටියාද කියන්න .. පරිවාර ස්ත්‍රීන් 16000ක් සිටි බව ථුපවංශයේ සදහන් වෙනවා… හමිමො මාර ගොඩක් නේද?
එ වගේම ඔයාලට මතක ඇති රුවන්වැලි මහා සෑය පිළිබදව පෙර මා ලියු ලිපිය, එහි සටහන් කරන්නට නොහැකිවුවක් අද මුලින්ම කියන්නමි… ස්වර්ණමාලී මහා සෑයට නම ලැබුණු හැටි… එකත් අපුරු කතාවක්….
මහා සෑය හදන්න මහමෙවුනා උයනේ ඇති වසර සිය දහස් ගණනක් පැරණි තෙළඹු ගසක් කපා ඉවත් කිරීමට රජතුමාට සිදුවුවා…. ඉතිං මෙි ගස කපා ඉවත් කිරීමට විරුද්ධව දෙපාර්ශ්වයකගේ දැඩි විරෝධයට මුහුණ දීමට රජතුමාට සිදු උනේ අනපෙක්ෂිත විදිහට.
එ ඇයි කියනවානමි මෙි ගස කපා ඉවත් කරන්නට විරුද්ධ උනේ, රන් තෙළඹුව වසර දහස් ගණනක් සිය වාස භාවන කර ගෙන සිටි ස්වර්ණමාලි නම් වූ වෘක්ෂ දේවතාවිය ගෙන් සහ වසර සිය ගණනක් මෙම වෘක්ෂයට වැඳුම් පිදුම් කළ ගාඬි ජනතාව ගෙන්…
රජතුමා ස්වර්ණමාලි වෘක්ෂ දේවතාවියට තෙළඹු වෘක්ෂයෙන් බැස වෙනත් විමානයකට වඩින ලෙසට ආරාධනය කළේ පොරොන්දු පිට පොරොන්දු දිලයි… වෘක්ෂ දේවතාවියගේ නමින් චෛත්‍යය නම් කරන්නත්, කිසිදු කුල භේදයකින් තොරව, ගාඩි ජනතාවට ද චෛත්‍යය වැඳීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බවටත් රජතුමා පොරොන්දුවු නිසා විරෝධතාවන් නිමාකර ගැනීමට රජතුමා එදා සමත්වි තිබුණා… එයයි ස්වර්ණමාලී නාමය මහා සෑයට ලැබුණු හේතුව…
ඉතිං කවුද මෙි මණිමේඛලා … කවුද මෙි දුටුගැමුණු රජතුමාගේ රහස් බිරිය…. එ ජනප්‍රවාද කතාවට අද යමු අපි…..
දවසක් අනුරාධපුර රජ මාළිගාව පිහිටි ඇතුළු නුවර සතර වාහල්කඩ දොරටුවලින් අඬ බෙරකරුවන් සිව් දෙනකු, රැකවලුන් සමග අනුරාධපුර පසල් දනව් කරා පියමන් කළේ, රාජ නියෝගයක් ඉටු කිරීමට.. එදා ගම් දනව් සිසාරා අඬබෙර ගසමින් ඔවුන් නිවේදනය කළේ, මහමෙවුනා උයනේ පිපෙන මල් කිසියම් අයෙක් විසින් හොර රහසේ නෙළා ගෙන යන නිසා, එ හොරා අල්ලා දෙන කෙනෙකුට රජතුමා විසින් ඇතෙක් බරට වස්තු දෙන බවට කල නිවෙිදනය….
එකාලේ රාජකීය මල් උයන හැඳින්වූයේ, මහමෙවුණා උයන නමින් කියලා ඔයාලා දන්නවානේ… වසරේ සෑම දිනකම මෙි උයනේ විවිධ මල් වර්ග දැක ගන්න පුළුවන්.. දැන් නමි ඉතිං එහෙම නෑ…….
උද්‍යානය රැක බලා ගැනීමට රැකවළුන් යොදා සිටියත්, මෑතක සිට කවුරුන් හෝ මල් සොරා ගෙන යන බවක් රජතුමාට සැලවි තිබුණා.. එත් ඉතිං මල් සොරා අල්ලා ගැනීමට දිවා රැ රැකවළුන් යෙදුවත් මල් සොරා අල්ලා ගැනීමට තබා දැක බලා ගැනීමටවත් නොහැකි උනා ඔවුන්ට … එ නිසයි අවසානයේ මෙලෙස අඬබෙර ගසා හෝ සොරා හෝ සොරුන් අල්ලා ගැනීමට මහජන සහාය පැතීමට රජතුමාට සිදු උනේ….
මෙහෙම අඬබෙර ගසා යද්දි එක් පසල් දනව්වක ආත්තම්මා කෙනෙක් (මහලු ස්ත්‍රියක්) අඬබෙරය නවතා, තමන්ට මල් හොරා අල්ලාදීමට හැකි බව ප්‍රකාශ කර තිබුණා… රාජ පුරුෂයන් ඇය රජතුමා හමුවට රැගෙන ආ පසු, ඇය රජතුමාට කියා සිටියා තමන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නේ නම්, මල් හොරා අල්ලා දිය හැකි බව…
ඉතිං මෙි ආත්තම්මාගේ උපදෙස් අනුව සති පිරිත් දේශනාවක් සඳහා ජය ශ්‍රී මහා බෝධි මළුවේ පිරිත් මණ්ඩපයක් ද ඉදි කළා… උත්සවශ්‍රීයෙන් සති පිරිත් දේශනය ආරම්භ කළ අතර විශාල පිරිසක් එය ශ්‍රවණය කිරීමට පැමිණ සිටියේ අත්තමිමා බලාපොරොත්තු උනා වගේමයි…..
ඉතිං මෙහෙම ආත්තම්මා පිරිත් ශ්‍රවණාගාරයේ පිටුපසටම වී ඉතාමත් විමසිල්ලෙන් යුතුව පිරිත් ශ්‍රවණය කරන විට නොසිතු ලෙස, මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්ම රූමත් තරුණියක පැමිණ වටපිට බලා ආත්තම්මා අසලින්ම වාඩි ගත්තේ එතැන ඉඩ තිබුණු නිසා.. නිල් නුවන් දෙනෙතකින් සහ පුළුල් නළල් තලයකින් හෙබි, ඉතාමත් සුන්දර යෞවනියක වූ ඇය, පිරිත් දෙසුම ශ්‍රවණය කිරීමට පැමිණ තිබුණේ තනිවමයි…
එකලත් දැන් මෙන්ම යුවතියක රැයක නොව දිවා කාලයේද තනියම ගමන් බිමන් ගියේ නෑ., එසේ ගමන් ගියේ නම් ඒ වැඩිහිටියන් සමගයි.. මෙම රූමතිය ගැන ආත්තම්මාට කිසියම් සැකයක් සහ කුතුහලයක් ඇති වුණත්, ඇයට නොදැනෙන්නට විමසිල්ලෙනුයි සිටියේ..
මේ සුරූපිනිය පිරිත් දේශනයට සවන් දුන්නේ ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුවයි… හිරු නැඟෙන්නට පෙර ඇය මණ්ඩපයෙන් පිටව යන සැටිත් අත්තමිමා බලාගෙනයි සිටියේ…. පසු දින සොයා බැලීමේ දී පෙනී ගියේ, පෙර දින රාත්‍රියේ කිසිවකුත් මල් සොරකම් කර නැති බවයි.
පසු දින ද ඇය පිරිත් ශ්‍රවණය කිරීමට සුපුරුදු වෙිලාවට පැමිණියා, නමුත් එදා තනිව නොවෙයි ඇය මෙන්ම රුවැති සම වයස් ඇත්තියක සමග… පැමිණි දෙදෙනාම ආත්තම්මා වාඩිවී සිටි පැදුරේම වාඩි වූයේ ලෙන්ගතු සිනහවකින් මුව සරසා ගෙනමයි….
මේ විදියට තවත් දින කිහිපයක් ගතවෙද්ම මෙම සුරූපි නන්නාඳුනන්නිය සමග ආත්තම්මා මිතුරු වෙන්න උත්සාහ කලා…. තමන් අනුරපුරට තරමක් ඈත ගම්මානයක වෙසෙන නිසා වේලාපහින් ඒමට නොහැකි බව අත්තමිමාට කියා සිටියා.. දින ගෙවමින් සති පිරිත් දේශනාවෙි අවසන් දිනට එළඹුණා. මේ සත් දින තුළ කිසිවකුත් උයනින් මල් නමි සොරා ගෙන ගොස් නැති බව අත්තමිමාට දැනගන්න ලැබි තිබුණා..
වෙනදා මෙන් සුපුරුදු වෙිලාවට පිටත්ව යැම සඳහා ඇයත් ඇයගේ මිතුරියත් නැගී සිටිනවාත් සමගම ආත්තම්මා ක්‍රියාත්මක උනා ඉක්මනින්…තරුණියගේ උතුරු සළුව තමන්ගේ අතට ගත්තා.. යුවතිය සළුව දෙන ලෙස ඉල්ලා සිටිමින් බැගෑපත්ව හැඬුවත් අත්තමිමා නෙවෙයි ඇයට සළුව දුන්නේ… මෙි සිදුවිම නිසා ඇය සමග පැමිණි අනෙක් යුවතිය සැණෙකින් පැනලා ගියා…
එහෙත් ආත්තම්මා මේ කිසිවක් නොඇසුනු කනින් යුතුව උතුරු සළුව ගෙන ගොස් රජතුමා අතට පත්කර කියා සිටියෙ මෙතෙක් කල් මල් උයනේ මල් සොරකම් කළ මල් හොරා මැය බව ස්ථිරවම පවසාමයි… ඉන්පසුයි රජතුමා ඇය ගෙන් කරුණු විමසුවෙි..
ඇය මල් උයනේ මල් සොරකම් නොකළ බවත්, කඩා ගත් මල් ජයසිරිමාබෝ සමිඳුන්ට සහ ස්වර්ණමාලී මහා සෑ රදුන්ට පූජා කල බවත් ඇය පැවසූවා… රජතුමා දැඩිව ඇගෙන් ප්‍රශ්න කලා…. බොහෝ වෙිලාවක් නිහඬව සිටි ඇය තමා කාගේ කවුරුදැයි රජතුමාට හෙළිදරව් කලේ බියෙන්….
ඇය කල්‍යාණ පුරවරයේ ජයසේන නම් වූ නා රජුගේ දියණිය වන නමින් මණිමේඛලා බව පැවසු පසු, රජතුමා ඇයට කියා සිටියේ නැවතත් නා ලොවට යාමට දිය නොහැකි බවයි…. තමන් ඇය විවාහකර ගන්නා බවත් රජතුමා පැවසූවා… ඇය කොතරම් බැගෑපත් වුවත් රජතුමා තමන්ගේ තීරණය නමි වෙනස් කලේ නෑ….
මණිමේඛලා කුමරියට සිදු වූ අකරතැබ්බය ඇයගේ යෙහෙළිය විසින් කාල්‍යණ පුරවර ජයසේන රජතුමාට දන්වා සිටියේ හඬා වැළපෙමින්… සිද්ධිය ඇසූ නා රජතුමා, ඉමහත් කෝපයට පත්වි නාග (සේවක) යෙකු කැඳවා කියා සිටියේ කෙසේ හෝ සිය දියණිය රැගෙන ගෙන එන ලෙසයි…
මේ වනවිට දුටුගැමුණු රජතුමා දිවා රෑ කාලය ගත කළේ රත්නමාලි සෑ මළුවේය. එතුමාගේ අභිප්‍රාය වූයේ හැකි පමණ ඉක්මණින් මෙම චෛත්‍ය රාජයාගේ වැඩ නිම කිරීමයි. බොහෝ අවස්ථාවල රාජ සභාව පැවැත්වූයේද සෑ මළුවේමයි…
එක්තරා දිනෙක මහ සෑ මළුවේදී නාගයකු රජතුමාට දෂ්ඨ කලේ කාටත් කිසිවත් සිතාගත නොහැකි වද්දි…. කපුරුනාථ නම් වූ රාජකීය විෂ වෛද්‍යවරයා, ක්ෂණයකින් කරන ලද ප්‍රතිකාර නිසා රජතුමා ඉක්මනින් සුවපත් උනා. මේ ආදි වශයෙන් වරින්වර සය වතාවක් රජතුමාට විවිධ ස්ථානවල සිට නාගයන් දෂ්ට කළත්, රාජ වෛද්‍ය කපුරුනාථ විසින් රජතුමාව සුවපත් කරා…
මෙතරම් අවස්ථා ගණනක් නාගයින් දෂ්ට කිරීමට හේතුව, නාග කුමරියක සිරකර ගෙන සිටීමේ හේතුවෙන් කරන ලද නාග ශාපයක්, බව රාජ වෛද්‍යවරයා ඇතුළු රටවැසියන්ගේ රජුට සැළකර සිටියත් රජු ගණන් ගත්තේ නෑ…. නාගයන් දෂ්ට කිරීමට පැමිණි සෑම අවස්ථාවකම එම නාග පෝතකයන් ඉතාමත් රහසිගතව මණිමේඛලා බිසව හමු වී යම් යම් උපදෙස් ගත්තේ ඉක්මනින් රජු මරා දමන්නයි…
සය වැනි වරටද නාගයකු දෂ්ඨ කිරීමෙන් පසු, මණිමේඛලා (නාග) බිසව මුදා හරින ලෙස රාජ සභාවේ උපදේශකයන් ද රජතුමාට උපදෙස් දුන්නත් එතුමා එය ඉවත දැම්මේ, මේ වනවිට මේ බිසව ගැබ් ගෙන සිටි නිසායි… සය වරක්ම නාගයන්ගේ දෂ්ට කිරීම්වලට ගොදුරු වුවත්, කපුරුනාථ රාජ වෛද්‍යවරයා නිසා දුටුගැමුණු රජතුමාගේ ජිවිතය බෙිරුණා… මේ නිසා රාජ වෛද්‍ය කපුරුනාථයන් සමගද නා රජතුමා සිටියේ දැඩි කෝපයෙන්…. මේ සෑම වරකම නාගයන් දෂ්ඨ කළේ මහ සෑ මළුවේදී හෝ ඒ ආසන්නයේමයි….
සත්වැනි වරටත් නාගයකු යෑවීමට නා රජු පියවර ගත් අතර, මෙවර ඒ සඳහා තෝරා ගත්තේ, වාසුල, නම් වූ, තම ඥාති පුත්‍රයෙකු වූ නාග මානවකයෙක්…… රජතුමාට දෂ්ට කිරීමට පෙර ඔහු සිය ඥාති නාග බිසව හමුවුවෙි සැළසුම් සකස් කරන්න.. නමුත් ඇය ඔහුට කීවේ, තමා මේ වනවිට ගැබ් ගෙන ඇති බවයි… පුතෙක් ඉපදුණහොත් අනාගතයේ මෙරට රජකම් කිරීමට රජතුමා එකග කරවා ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇය කියා සිටියා… එ නිසා අනතුරක් නොකරන ලෙසට ඉල්ලා සිටින බව පිය රජතුමන්ට දන්වන ලෙස මණිමේඛලා උපදෙස් දී තිබුණා…
කල් යත්ම දුටුගැමුණු රජතුමාට දාව මණිමේඛලා නාග බිසව පිරිමි දරුවෙකු ප්‍රසූත කළා… කල් යල් බලා එක්තරා දිනයකදී ඇය සිය පුත්‍රයා අනාගතයේදී මෙරට රජු බවට ප්‍රකාශයට පත් කරන මෙන් රජතුමාගෙන් ඉල්ලා සිටියා.. එයට පිළිවඳන් දෙමින් රජතුමා නමි කියා සිටියේ, ඔහු තමාගේ පුත්‍රයා වුවත් රාජ වංශයෙන් පිට කෙනෙකුට මෙරට පවතින සම්ප්‍රදායට විරුද්ධව ක්‍රියා කළ නොහැකි බවයි. රජතුමාගේ ප්‍රකාශයෙන් නා බිසව පත් උවෙි කම්පනයකට… එමෙන්ම ඇය සිය පියාණන්ට සම්පූර්ණ විස්තරයම පණිවිඩකරුවෙකු මගින් දැන්වුවෙි කෙන්තියෙන්…
සිය දියණියගෙන් ලද පණිවිඩයෙන් දැඩි ලෙස කිපුණු නා රජතුමා පෙර සඳහන් කළ තම ඥාති පුත්‍ර වාසුල කැඳවා මෙවර දුටුගැමුණු රජතුමා කෙසේ හෝ මරා දමන ලෙසට උපදෙස් දුන්නා… රජතුමාට දෂ්ට කිරීමට පෙර, රාජකීය විෂ වෛද්‍ය කපුරුනාථ මරා දමන ලෙසටත් ඔහු නියෝග කලා…
විෂ වෛද්‍ය කපුරුනාථයන් දිනක් නිවසේ සිට රජ මැඳුරට යන අවස්ථාවක මහමග ඇති අම්බලමක මොහොතකට නතරවි ගිමන් නිවා ගත්තා. ඒ මොහොතේ එහි රූමත් කඩවසම් තරුණයෙකු ද ගිමන් නිවා ගැනීමට නතරව සිටියේ කපුරුනාථ එක්ක මිත්‍රකමක් ආරම්භ කරමින්…. ඔවුන් දෙදෙනා ආගිය තොරතුරු කතා කරන අතර වාරයේ, තරුණයා කීවේ, කැලණියේ සිට ස්වර්ණමාලි චෛත්‍ය වන්දනාමාන කිරීමට යන බවයි. තමා දැනට සර්ප විෂ වෙදකම ගැන ඉගෙන ගන්නා බවද තරුණයා පැවසූවා..
කපුරුනාථ වෛද්‍යවරයාගේ සිහියට ආවේ තරුණ වියට එළඹෙමින් සිටින සිය දියණිය… ඇය ද මේ වනවිට තමන්ගෙන් සර්ප විෂ වෙදකම හදාරන නිසාත්, තරුණයාගේ ගති පැවතුම් සහ හැසිරීම් රටාවෙන් පෙනෙන ඔහු ඉතාමත් හොඳ පුද්ගලයකු බව නිසාත්, තමන්ගේ බෑනා කරගන්න කපුරුනාථට සිතුනා…. එ නිසමායි කපුරුනාථ තමන් රාජකීය විෂ වෛද්‍යවරයා බව පැවසුවේ. තරුණයා ඔහුගේ දෙපා නැමද තමන්ට අභිනවයෙන් ගුරුවරයෙකු හමුවුන බව ප්‍රකාශ කලේ සතුටින්..
නොයෙක් කතා මධ්‍යයේ වෙදැදුරූ තැන ප්‍රකාශ කළේ, රජතුමාට මේ වනවිට සය වතාවක් නාගයන් දෂ්ඨ කළත්, තමන් ඔහු බේරා ගත් බවත්, තමන් ජීවත්ව සිටින තුරු කිසිම නාගයකුට රජතුමා මරා දැමිය නොහැකි බව ප්‍රකාශ කළේ මහා උද්දාමයෙන්..
තරුණයා විෂ වෙදකම ඉගෙන ගන්නා අයෙකු නිසා, අමාවක දිනෙක එළඹෙන විෂ හෝරාවේ දී නයකු දෂ්ඨ කළහොත් අනිවාර්යෙන්ම මියයන බව තමන්ගේ නවක ගෝලයාට කියා දුන්නේ ගුරු මුෂ්ඨියකින් තොරවයි… තරුණයාට අවශ්‍ය සියලු තොරතුරු දැන් සම්පූර්ණයි. වෛද්‍යවරයාගේ සඳහන් කිරීමට අනුව අද අමාවක පෝය දිනයයි. තවත් ස්වල්ප මොහොතකින් අවශ්‍ය විෂ හෝරාව එළඹෙන නිසා ඉතුරුව ඇත්තේ ක්‍රියාවට නැංවීම පමණයි….
විෂ හෝරාව එළඹුන සැණෙකින් නාග වෙස් ගත් තරුණයා ප්‍රථමයෙන්ම වෙදදුරාට දෂ්ඨ කලා.. තමන්ට වැරදුන බව වෙදදුරුට පසක් උවත් ඔහු ප්‍රමාදයි… ඔහු අසල තිබුණු ඖෂධ පැළෑටියකට අත දිගු කර ගෙන මැරී වැටුනා..
නාගයා ඒ සමගම සෑ මළුවට ගොස් එහි වාහල් දොරටුවකට නැග, තවත් ස්වල්ප මොහොතකින් රජතුමා එම වාහල් දොරටුවෙන් පිටවෙද්දීම ඔහුගේ හිසටම දෂ්ඨ කලා.. රජතුමාට සිහි විසඥ විමත් සමග රාජ පුරුෂයන් විෂ වෛද්‍යවරයා සොයා ඔහුගේ නිවසට යන අතර මගදී දුටුවේ, මාවතක් අයිනේ මැරී වැටී සිටින වෛද්‍යවරයාව. ඉන්පසුයි ඔවුන් නිවසට ගොස් වෙදැදුරුගේ දියණියට සිද්ධිය පැවසූවෙි..
ප්‍රතිකාර කිරීමට පැමිණෙන දියණිය දුටුවේ තම පියා එක්තරා දිසාවකට අත දිගුකර ගෙන මැරී සිටින ආකාරයයි. ඒ ගැන විපරම් කළ ඇයට දැක ගත හැකි වූයේ, විෂකුම්බා නම් ඖෂධ පැළෑටිය. එම පැළෑටිය උගුලා ගෙන රජ මාළිගාවට ගිය ඇයට දැක ගන්නට ලැබුණේ සිහි විසඥව සිටින රජතුමා… ඇය රජතුමාව තනකිරි මිශ්‍ර බෙහෙත් ඔරුවක බහා අවශ්‍ය උපදෙස් ලබා දී ආපසු නිවසට ගියේ සිය පියාණන්ගේ අවසන් කටයුතු සිදු කිරීමටය.
රජතුමාට සිහිය ලැබුණත් ඔහු සිටියේ බරපතළ රෝග තත්ත්වයකින්. වෙදැදුරු දියණිය කියා සිටියේ තවත් සත් දිනකින් ස්ථිර වශයෙන්ම රජතුමා මිය යන බවයි. සියල්ල එසේ සිදු වෙත්දී, මණිමේඛලා නාග බිසව, සිය පුත්‍රයා ද සමගින් මාළිගාවෙන් රහසේම පලා ගොස් ඇති බව දැනගන්නට ලැබි තිබුණා..
රජතුමාගේ මලනුවන් වූ සද්ධාතිස්ස කුමාරයා මේ වනවිට සිටියේ දිගාමඩුල්ල ප්‍රදේශයේ ගොවිතැන් ඇතුළු සංවර්ධන කටයුතුවල නියෑලෙමින්ය. රජතුමාගේ උපදෙස් පරිදි වහාම ඔහු අනුරාධපුරයට කැඳවා, තමන් මිය යන්නට පෙර මහසෑයේ වැඩ නිමකරන මෙන් සද්ධාතිස්ස කුමාරයාට උපදෙස් දි ඇති බව සදහන්…
ලෝවාමහාපායත්, රත්නමාලි මහ සෑයත් අතර මැද ස්ථානයක තාවකාලික මණ්ඩපයක් ඉදිකර රජතුමා එහි සැතපූවා.. රජතුමාට එක් පසකින් මහ සෑයත්, අනෙක් පසින් ජයසිරිමාබෝ සමිඳුන් සහ ලෝවාමහපායත්, හිස කෙළින් කළ විට ඉදිරියෙන් මිරිස්වැටි දාගැබත් රජතුමාට පහසුවෙන් පෙණුනා… රජතුමාගේ සිත බොදු බැතියෙන් පිරීඉතිරි ගොසින්… භික්ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම එම මණ්ඩපයේ රැඳී පිරිත් දේශනා කලේ තව තවත් රජතුමාගේ සිත සැණසෙද්දියි…
” මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය පිණිසයි” යනුවෙන් ප්‍රකාශ කළ දුටුගැමුණු රජතුමා ක්‍රි.පූ 161 සිට 137 දක්වා වසර 24ක් රාජ්‍යත්වය හොබවා මැළුම් වයසේ දී අකාලයේම මිය ගියේ ස්ත්‍රීයක් නිසමද?….. එය තාමත් රහසක් නොවෙිද?
වංශ කතාවල දැක්වෙන්නේ හදිසියේම ඔත්පල වූ රජතුමා දින කිහිපයකින් මියගිය බවයි. නමුත් ඔත්පල වූ රෝගය කුමක්දැයි සඳහන් නොවේ. කෙසේ වුවද බොහෝ දෙනකුගේ මතය රජතුමාගේ අකල් මරණයේ හේතුව මහාවංශ කතුවර මහානාම හිමියන් සගවා ලියා ඇති බවයි…. එය අභිරහසක්..
එහෙත් ජනප්‍රවාද තොරතුරු බොහෝමයක දැක්වෙන්නේ ඉහත දැක්වූ කතා පුවතට අනුව, එතුමාට නාගයකු දෂ්ඨ කිරීම නිසා මියගිය බවය. ජනප්‍රවාද තොරතුරු, ජනප්‍රවාද සේ සලකා ඉවත නොදැමිය යුතු බවත්, ඒ ගැන ද සලකා බැලීම ඉතිහාසඥයන්ගේ වගකීමක් බව, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා සඳහන් කළේ, “සීගිරි පවත” නම් නම් ග්‍රන්ථයකට පෙරවදනක් සපයමින්… එතුමාගේ අදහසට අනුව අපි මෙම පුවත ද ඉවත නොදමා මේ ගැන තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීම කොයිතරමි නමි වැදගත් වන්නේදැයි ඉතිහාසය සොයා යන මට නමි නිතරම හිතෙනවා…… එ නිසාම කිසිදාක ජනප්‍රවාද කතා පුස්සක් සේ සලකා ඉවත දැමිය නොහැක….
නිසංසලා රණසිංහ
වසර 70 ක් පුරා බ්‍රිතාන්‍යයේ රාජ්‍යත්වයේ කිරුළ දැරූ දෙවන එලිසබෙත් මහ රැජිණ පසුගිය සැප්තැම්බර් 8 වන දා අභාවප්‍රාප්ත වුනා. ඒ වන විට 96 වන වියෙහි පසුවූ එලිසබෙත් මහ රැජිණ මිය යාමට දින දෙකකට පෙරදීත් රාජ්‍යයේ ප්‍රධානියා ලෙස සිය වගකීම් ඉටුකරමින් එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරිය මුණගැසී නව රජයක් පිහිටුවන්නට ආරාධනා කලා. එක්සත් රාජධානියේදී සෑම විටකම තේරී පත්වන අග්‍රාමාත්‍යවරයාට රැජිණ හෝ රජු විසින් රජයක් පිහිටුවීමට ආරාධනා කල යුතු වෙනවා.
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය එක්සත් රාජධානියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන එමෙන්ම මුළු ලෝකයම කම්පාකරවන සිදුවීමක් උනා. එලිසබෙත් මහ රැජිණ එක්සත් රාජධානියට අමතරව තවත් රාජ්‍යයන් 15ක රාජ්‍යයේ ප්‍රධානියා හෙවත් රැජිණ ලෙස කටයුතු කල අතර ඊට අමතරව වසර 70 ක් පුරාවටම රටවල් 54කින් සැදි පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙසද කටයුතු කලා. ලොව පුරා ජනාධිපතිවරුන් අගමැතිවරුන් දහස් ගණනක් සිය පාලන කාලයන් තුල රැජිණ සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව ගණුදෙනු කර තිබුනා.
සැප්තැම්බර් 8 වෙනිදා ස්කොට්ලන්තයේ බැල්මරෝ මාලිගයේදී අභාවප්‍රාප්ත වූ රැජිණගේ අවසන් කටයතු සිදුකෙරුනේ පසුගිය සැප්තැම්බර් 19 වනදා එංගලන්තයේ වින්සර් හී පිහිටි වින්සර් මාලිගයේදී. රාජකීය පවුලේ සාමාජිකයන්ගේ භූමිදාන කටයුතු සිදුකෙරෙන රාජකීය සොහොන්ගැඹ පිහිටා ඇත්තේ වින්සර් මාලිගයේය. ඊට අමතරව දෙවන එලිසබෙත් මහ රැජිණ වඩාත් ප්‍රියකරන මෙන්ම අවසාන කාලයේදී ඇයගේ නිළ වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුනේද වින්සර් මාලිගය වේ.
වින්සර් හීදී අවසන් කටයුතු සිදුකිරීමට පෙර ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් නුවරට රැගෙන ආ රාජකීය දේහය දින 6කට අධික කාලයක් බකිංහැම් මාලිගයේත් ඉන්පසුව මහජන ගෞරවය සඳහා වෙස්මින්ස්ටර් ශාලාවේත් තැම්පත් කර තිබුනා. දින හතරහමාරක් පුරාවට රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ දෙකහමාරකට අධික පිරිසක් එකතුවී සිටි බව මාධ්‍ය වාර්තා කරා.
රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවීමට රජ පවුලේ ආරාධනයෙන් ලොව පුරා රටවල රාජ්‍ය නායකයන් හා රජ පවුල් වල සාමාජිකයන් 500 දෙනෙකු ලන්ඩන් නුවරට රැස්ව සිටියා. ශ්‍රි ලංකාවේ ජනාධිපති රනිල් වික්රමසිංහද ඒ අතර උනා. දශක ගණනාවකට පසුව බ්‍රිතාන්‍යය සංවිධානය කරන ලද වැඩිම රාජ්‍ය නායකයන් ප්‍රමාණයක් සහභාගී වූ උත්සවය රැජිණගේ අවමංගල්‍ය නිසාවෙන් එම දින කිහිපය තුල ලන්ඩන් නුවරට පෙර නොවූ විරූ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා තිබුනා.
රැජිණගේ අභාවයත් සමඟම ඇයගේ පුත් චාලස් කුමරු තුන්වන චාල්ස් රජු නමින් රාජ්‍යත්වයට පත්වුනා. රැජිණගේ අභාවය සහ නව රජතුමාගේ පත්වීමත් සමඟ වසර 70ක් පුරා අප මෙතෙක් දැක තිබූ ලෝකයේ බොහෝ දේවල් වෙනස්වීමට නියමිතව තිබෙනවා. සමහර වෙනස්කම් එංගලන්තයට පමණක් බලපාන අතර සමහර වෙනස්කම් මුළු ලෝකයටම බලපානු ඇති.
සමහර වෙනස්කම් එක රැයකින් සිදුවූ අතර සමහර වෙනස්කම් සිදුවීමට දශක කිහිපයක් ගතවනු ඇති.
සිදුවීමට නියමිත වෙනස්කම් අතර රජ පවුලේ සේවකයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමේ සිට රැජිණගේ කිරීටය යටතේ පාළණය වූ සමහර රටවල් කිරීටයේ පාලනයෙන් ඉවත්ව ජනරජයක් බවට පත්වීම දක්වා පරාසයකට විසිර යනවා. මේ වන විටත් සිදුවූ වෙනස්කම් අතරට එක්සත් රාජධානියේ ජාතික ගීය වෙනස්වීම, ‘රැජිණගේ නීතිඥයන්’ යනුවෙන් හැඳින්වූ පිරිස ‘රජුගේ නීතිඥයන්’ යනුවෙන් හැඳින්වීම දැක්විය හැකියි.
කාලයක් ගතවන වෙනස්කම් අතරට රැජිණගේ රූපය සහිතව මුද්‍රණය වී ඇති එක්සත් රාජධානියේ මුදල් නෝට්ට, කාසි හා මුද්දර ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කර නව රජුගේ රූපය සහිතව මුද්‍රණය වීමට නියමිතයි. එහෙත් දැනට භාවිතයේ පවතින මුදල් කිසිවක් අවලංගු නොවන අතර නව නෝට්ටු හා කාසි පමණක් රජුගේ රූපය සහිතව මුද්‍රණය වනු ඇති.
රැජිණගේ කිරීටය යටතේ පාලනය වූ රටවල් අතරට එක්සත් රාජධානියට අමතරව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව ඇතුළු රටවල් 15ක් ඇතුලත් උනා. මේ අතරින් සමහර රටවල් කිරීටයෙන් නිදහස් වීමට දැනටමත් තීරණය කර තිබුණද රැජිණට තිබූ ගෞරවය හේතුවෙන් එම තීරණ ක්‍රියාත්මක නොවී පැවතුනා. එහෙත් එම රටවල් තව දුරටත් චාල්ස් රජතුමා යටතේ පාළනය වීමට තීරණය නොකරනු ඇති.
ඕස්ට්‍රේලියාව මේ වන විටත් කිරීටයෙන් ඉවත්වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කර අවසන්. ඊට අමතරව බහමාස්, පැපුවානිව්ගිනියාව, ජැමෙයිකාව ඇතුළු තවත් රටවල් 6ක් පමණ කිරීටයෙන් නිදහස්ව ජනරජයන් බවට පත්වීමට තීරණය කර තිබෙනවා. මේ ආකාරයට වෙනස් වන ලෝකයත් සමඟ නව රජුගේ භූමිකාව මෙන්ම ඔහුගේ වගකීම් රාජකාරිද වෙනස්වනු ඇති. ඊට අමතරව එලැඹෙන ගිම්හානයේදී නව රජතුමාගේ රාජ්‍යත්වයට පත්වීමේ උත්සවයද සංවිධානය වීමට නියමිත අතර ඒ විස්තරත් සමඟින් ඉදිරි කලාපයකදී මුණගැසෙමු
මම තිලාන් ජයසේකර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට
(යෙරෙමියා 29:11)
මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මාගේ ප්‍රේමවන්ත දේව දරුවනේ අද දවසේත් ඔබව දෙවියන්වහන්සේගේ පණිවිඩයක් තුළින් ඔබව ධෛර්යමත් කිරීමට කැමැත්තෙමි.අද දවසේත් ඔබ මොහොතක් නැවතී නිදහසේ මෙම පණිවිඩය දෙස ඔබගේ මනස යොමු කරන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිමි.
ඉහත බයිබල් පදය දෙස අපගේ නෙත් හොඳින් යොමා බලන විට අපට පෙනී යනවා දෙවියන් වහන්සේට අප කෙරෙහි ඉතා යහපත් අනර්ඝමත් සැලැස්මක් ඇති බව.ඉතින් අප සියලු දෙනාම ඉපදී ඇත්තේ අරමුණක් ඇතුවයි.ඒ වගේම තමයි උන්වහන්සේගේ කැමැත්ත නම් අපට හොඳ අනාගතයක් දී අපව සඵලවත් කිරීමයි.ඒ වගේම තමයි උන්වහන්සේ කැමති නැහැ අපි ජීවිතයේ බන්ධන වලට,දිළිඳුභාවයට හා අන්ත අසරණ බවට පත්ව සිටිනවට.ඉතින් එම නිසාම ඔබ හොඳින් තේරුම් ගන්න ඔබ ගැන දෙවියන් වහන්සේට ඉතා විශාල සැලැස්මක් ඇති බව.ඒ වගේම එම සැලැස්මේ දී උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබට විශාල ලෙස ආශිර්වාද කිරීමටයි.
නමුත් අද අපි බොහෝ දෙනාට මෙම ආශිර්වාදයට හිමිකම් කර ගැනීමට බැරිව සිටිනවා.එසේනම් ඇයි අපිට මෙම ආශිර්වාදය හිමි කර ගැනීමට අපහසු.එයට තිබෙන එකම හේතුව තමයි අපි දේව සැලැස්ම තුළ ජීවත් නොවීම.උන්වහන්සේගෙන් සැලැස්මට අකිකරු වීම.එම නිසා ඔබ හොඳින් ජීවිතය අවබෝධ කරගෙන ජීවිතයේ ඉදිරිය ආශිර්වාදයක් හිමිකරගැනීමට සූදානම් වන්න.දේව සැලැස්මට කීකරු වන්න.එවිට ඔබ සෑම කෙනෙකුම බලවත් පුදුම ආශිර්වාදයන් හිමි කර ගනු ඇත.
ඔබ සැමට ජේසු පිහිටයි!
ඉවැන්ජලිස්ත අමිල දිසානායක
මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම
(whatsapp) +94774682729
අපාය හා දිව්‍යලෝක අපට නො යා හැකි ඈත යම් කිසි ප්‍රදේශයක ඇති ඒවා නොව, මේ මිනිස් ලොව ඇති ඒවා යයි ඇතැම්හු කියති. ඔවුන්ගෙන් ඇතමෙක්; ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රියක් කරුණාවක් නැතිව නිතර ඔවුනොවුන් දබර කර ගනිමින් අග හිඟකම්වලින් මිරිකී දුකින් වාසය කරන මිනිසුන් ඇති ගෙය අපාය යයි ද, ඔවුනොවුන් අතර මෛත්‍රිය කරුණාව ඇතිව ආහාරපානාදියෙන් හිඟයක් නැතිව ඔවුනොවුන් සමගියෙන් සතුටින් වාසය කරන මිනිසුන් ඉන්නා ගෙදර දිව්‍යලෝකය ය යි ද කියති. තවත් සමහරු මේ බණපොත්වල දිව්‍යලෝකය යි කියා තිබෙන්නේ අතීතයේ දියුණු මිනිසුන් වාසය කළ ප්‍රදේශවලට ය යි ද දෙවිවරුය යි කියා තිබෙන්නේ ඒ දියුණු මිනිසුන්ටය යි ද කියති. මේවා නවීන මතයෝ ය. මේ මත එකක්වත් බුදුදහමට සැසඳෙන්නේ නැත.
නරකය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය කියා අපාය සතරතක් බුදු දහමෙහි දක්වා ඇත්තේ ය. පොළොවෙහි මිනිසුන් හැසිරෙන ප්‍රදේශවල තිරිසනුන් ද වෙසෙන බැවින් තිරිසන් අපාය මිනිස් ලොව ඇත ය යි කිය හැකි ය. එසේ ම ප්‍රේතයනුත් වෙසෙන බැවින් ප්‍රේත අපායත් මිනිස් ලොව ඇත ය යි කිය හැකි ය. අසුරයනුත් ප්‍රේත කොටසක් බැවින් අසුර අපායත් මිනිස් ලොව ඇත ය යි කිය හැකි ය. සාමාන්‍ය ජනයා අපාය ය යි කියන්නේ නරකයට ය. සංජීව කාල සුත්තාදි වශයෙන් මහා නරක අටක් හා ඒ එක එකක් අවට කුඩා නරක සොළොස බැගිනුත් පිහිටා ඇති බව බෞද්ධ පොත්වල කියා තිබේ. නරකයන්හි සැටිත් ඒවායේ සත්ත්වයන් දුක් විඳින සැටිත් ඒවායේ ඉපදීමට හේතුවන පව්කමුත් ඒවායේ ආයුඃ ප්‍රමාණයත් බුද්ධ දේශනාවෙහි දක්වා ඇත්තේ ය. එහෙත් ඒවා ඇත්තේ අසවල් තැනය කියා කෙලින් ම දැක්වෙන බුද්ධ දේශනාවක් පිටකත්‍රයෙහි දක්නට නැත. විභංගප්රකරණයේ ධම්මහදය විභංගයෙහි-
“හෙට්ඨතො අවීචිනිරයං පරියන්තං කරිත්වා උපරිතො පරනිම්මිතවසවත්තිදෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධා ධාතු ආයතනා රූපා වේදනා සඤ්ඤා සංඛාරා විඤ්ඤාණං ඉමෙ ධම්මා කාමාවචරා.”
යන පාඨය වදාරා ඇත්තේ ය. “යටින් අවීචිමහා නරකය සීමා කොට උඩින් පරනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකය ඇතුළු කොට මේ දෑතුරෙහි හැසිරෙන එහි ඇතුළත් වන යම් ස්කන්ධ ධාතු ආයතන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කෙනෙක් වෙත් නම් ඒ සියල්ල කාමාවචර වන්නාහ” යනු එහි තේරුම යි. මේ පාඨයෙහි කාමධාතුවේ යට සීමාව අවීචිමහානරකය සැටියටත් උඩ සීමාව පරනිර්මිත වශවර්ති දිව්‍යලෝකය සැටියටත් දක්වා තිබීමෙන් පෙනෙන්නේ නරකයන් මිනිස් ලොවින් යට තිබෙන ඒවා බව ය. බෞද්ධාචාර්ය්යවරයන් විසින් පළි ගන්නේත් නරකයන් මිනිස් ලොවින් යට පොළොව තුළ ඇති සැටියට ය. ලෝ තතු විස්තර කරන බෞද්ධ ග්රන්ථ වල සංජීවාදි නරකයන් එකිනෙකට යටින් පොළොව තුළ පිහිටා ඇති බව දක්වා තිබේ.
චතුක්කණ්ණො චතුද්වාරො විභත්තො භාගසො මිතො
අයොපාකාර පරියන්තො අයසා පටිකුජ්ඣිතො.
තස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා
සමන්තා යොජන සතං එරිත්වා තිට්ඨති සබ්බදා
මේ දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇති ගාථා දෙකකි. මේ ගාථාවලින් දැක්වෙන්නේ මහානරකය දිග පුළුනින් යොදුන් සියය බැගින් ඇති යකඩ පොළොව හා යකඩ බිත්ති ඇති යකඩ වැස්මක් ඇති දොර සතරක් ඇති නිතර ගිනි ඇවිලෙමින් පවතින ස්ථානයක් බව ය. එබඳු තැන් මිනිස් ලොව කොතැනකවත් නැත. එබැවින් අපාය ඇත්තේ මිනිස් ලොවය යන්න බුද්ධ දේශනාවට නො ගැලපෙන කරුණක් බව කිය යුතු ය.
දිව්‍ය ලෝකවල සැටි බුදුරජාණන් වහන්සේ විශාඛුපෝසථ සූත්‍රයෙහි වදාරා තිබේ.
“යානි භික්ඛවෙ! මානුස්සකානි පඤ්ඤාස වස්සානි චාතුම්මහාරාජිකානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදස මාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි පඤ්චවස්ස සතානි චාතුම්මහාරාජිකානං දෙවානං ආයුප්පමාණං”
මේ තථාගතයන් වහන්සේ විසින් චාතුර් මහා රාජික දෙවියන් ගේ ආයුෂය දක්වා වදාළ පාඨයෙකි. මේ පාඨයෙන් දැක්වෙන්නේ මිනිස් ලොව අවුරුදු පනසක් චාතුර් මහා රාජිකයේ එක් රාත්‍රියක් හා දවාලක් ය. එබඳු දින තිසක් එහි මාසයක් ය. මාස දොළසක් අවුරුද්දක් ය. එබඳු අවුරුදුවලින් අවුරුදු පන්සියයක් චාතුර් මහා රාජික දෙවියන් ගේ ආයුෂය ය කියා ය. මේ ගණන මනුෂ්‍ය ලෝකයේ ගණනින් අවුරුදු අනූලක්ෂයක් වන්නේ ය. අනික් දිව්‍යලෝකවල ආයුෂයත් එකිනෙකට සතර ගුණයකින් වැඩි බව ඒ සූත්‍රයෙන් පෙනේ. එබඳු ආයුෂයක් ඇති මනුෂ්‍ය කොටසක් මේ මිනිස් ලොව කොතැනකවත් නැත. එ බැවින් මිනිස් ලොව යම්කිසි ප්‍රදේශයක් දිව්‍ය ලෝකය වශයෙන් ගැනීම බුදුදහමට එකඟ නො වන බව කිය යුතු ය.
මිනිස්ලොව උසස් ම තත්ත්වය චක්‍රවර්ති රජ බව ය. සප්තරත්නයක් ඇත්තා වූ සෘද්ධි සතරක් ඇත්තා වූ චක්‍රවර්ති රජු ඒවා නිසා ලබන ප්‍රීතිය තරම් මහත් ප්‍රීතියක් මිනිස්ලොව අනිකකුට නැත.
“යං රාජා චක්කවත්ති සත්තහි රතනෙහි චතූහිච ඉද්ධීහි සමන්නාගතො තතො නිදානං සුඛං සෝමනස්සං පටිසංවෙදෙති, තං දිබ්බස්ස සුඛස්ස උපනිධාය සංඛම්පි න උපෙති කලභාගම්පි න උපෙති උපනිධිම්පි න උපෙති.
යනුවෙන් සප්තරත්නයෙන් හා සෘද්ධි සතරෙන් යුක්ත වූ චක්‍රවර්තී රජු ඒවා නිසා ලබන සැපය සතුට දිව්‍ය සුඛයෙන් දහසින් දසදහසින් ලක්ෂයෙන් පංගුවක් තරමවත් නො වන බව ‘බාලපණ්ඩිත සූත්‍රයෙහි’ වදාරා ඇත්තේ ය. එතරම් උසස් සුවයක් ලබන පිරිසක් මිනිස් ලොව කොතැනකවත් නැති බැවින් මිනිස්ලොව ම දෙව්ලොව ඇතය යන කීම බුදු දහමට කොහෙත් ම ගැළපෙන්නේ නැත. එය ඔවුන් ගේ අදහසක් පමණෙකි.
(ධර්ම විනිශ්චය – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි)
ඔබ ගැන හැඳින්වීමක් කරොත්?
මම ප්‍රසංග මධුශංක. දැනට පදිංචිව ඉන්නේ මහනුවර. ගොඩක් නිදහස්ව වගේම සාමාන්‍ය විදියට ඉන්න කැමති කෙනෙක් ඒ වගේම ගොඩාක් ආදරණීය බිරිදක් වගේම සුරතල් පුංචි පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. ගොඩක් අය මාව දන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය සම්බන්ද කෙනෙක් විදියටයි.දැනට මගේම Web Design & Development ආයතනයක් පවත්වාගෙන යනවා.
පවුලේ විස්තර කිවුවොත්?
මගේ පවුලේ අම්මා සහ මගේ නංගි ඉන්නවා. නංගි (නිසංසලා මධුමාලි)දැනට විවාහ වෙලා පිළිමතලාව පදිංචිය.ඇය වෘත්තීයෙන් රුපලාවන්‍ය ශිල්පිනියෙක්.
මගේ බිරිඳ උදේශිකා ආරියසිංහ ගොඩාක් මගේ වැඩ කටයුතු වලට උදවු කරනවා සහ චුටි පුතා කීවෙන් යෙශ්මිත.
ඔබේ වෘත්තීය ජීවිතය ගැන සඳහන් කලොත්?
මගේ වෘත්තීය ජිවිතයට ආසන්න වශයෙන් වසර 10ක් පමණ වෙනවා දැන්. විවිධ පැතිවල වගේම ගොඩාක් ආයතනවල මම සේවය කරලා තියෙනවා.
මුලින්ම මම මගේ වෘත්තීය දිවියට පා තබන්නේ මහනුවර උසස් තාක්ෂණ ආයතනය හරහා (SLIATE) වසර 02 ක අධ්‍යාපනික කාලයක් සහ මාස 06ක ප්‍රයෝගික පුහුණුවක් (ගැටඹේ ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය – තොරතුරු තාක්ෂණ අංශය) ලබා ගන්නවා.ඒ වගේම AATSL ආයතනයේ සාමාජිකයෙකුද වෙනවා.
ඊට පසුව දිනපාල සමුහ ව්‍යාපාරය සමග එකතු වෙනවා.
මගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය විදියට මට දැනෙන්නේ පන්නිපිටිය Ebeyonds ආයතනය සමග මා වැඩ කල කාලයයි. එහිදී Web Design & Development සම්බන්දව මනා දැනුමක් සහ පළපුරුද්දක් මා ලබාගන්නවා.
ඒ වගේම වැඩි කාලයක් මා සම්බන්ද වී සිටියේ සංචාරක ක්ෂේත්රය . තොරතුරු තාක්ෂණ විධායක නිලධාරියෙක් ලෙස මා වසර ගණනාවක් Theme Resort & Spa (Aliya Resort, Maalu Maalu Resort,Kithala Resort, Ayurview Weligama) සහ Connaissance De Ceylon ආයතනයේ සේවය කලා.
Ceylon Hotel Cooperation (Hotel Queen සහ Suisse) හි System Administrator සහ Mr.Sujeewa Palliyaguruge යටතේ OakRay සමුහ වියාපාරයේ සේවය කිරීමටත් අවස්ථාව ලැබෙනවා.
ඔබ වෘත්තීය වශයෙන් දැන් මොනවද කරන්නේ?
දැනට මම Web Design & Development ආයතනයක් පවත්වාගෙන යනවා. ආයතනයේ නම Digital My Business (PVT) Ltd. 2019 වසරේ අග භාගයේ පමණ අපි වැඩ කටයුතු ආරම්භ කලේ. දැනට වසර 3 ක වගේ කාලයක් සමග 50 කට වැඩි ආයතන සහ පුද්ගලයන් අපෙන් සේවය ලබාගන්නවා. Sri Lanka ව United Kingdom සහ China හි අපේ සේවය ලබා දෙනවා.
ඇත්තටම අපිට මුලින්ම අවස්ථාව ලැබෙන්නේ මගේ යහළුවෙක් වන චන්දන අයියා හරහා UK හි සිටින ඔහුගේ යාලුවෙකුට වෙබ් අඩවියක් නිර්මානකරනයටයි. එදා ගත්තු ඒ අවස්ථව එක්ක අපි අද මේ තත්වයට ඇවිත් ඉන්නේ.
ඔබ ආයතනය ලබා දෙන සේවාවන් මොනවද?
අපි ප්‍රධාන වශයෙන් ව්‍යාපාර සඳහා වෙබ් අඩවි නිර්මාණය කරනවා ඒ වගේම ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දෙනවා අන්තර්ජාලය හරහා ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනයට.
අපගේ සේවාවන්
Web Design & Development
E-Commerce Web Development
Web Application Development
Social Media Marketing
Graphic Designing
අපගේ වෙබ් අඩවිය www.digitalmybusiness.lk
ඔබ විශේෂයෙන් සඳහන් කරන්න ඕනි සහ ස්තුතිවන්ත වෙන්න ඕන පුද්ගලයන් කවුද?
ඔව් මුලින්ම මගේ ගෙදර අය අම්මා, නංගි සහ මගේ බිරිඳ.
ගොඩාක් සුවිශේෂී චරිත මාගේ වෘත්තීය ජිවිතයේ මට මුණගැහිලා තියෙනවා ඒ වගේම වැඩ කරලා තියෙනවා.
Theme Resort & Spa හි Mr.Sujeeva Basnayake (DO) සහ Mr.Chamin wickramasighe (CEO) විශේෂයෙන් මතක් කරන්න ඕනි.
OakRay සමුහ ව්‍යාපාරයේ Mr.Sujeewa Palliyaguruge මහතා තවත් සුවිශේෂී චරිතයක් .
ඒ වගේම මගේ අවසාන සේවා ස්ථානය බවට පත් උනේ Royal International පාසල් ජාලය එහි Mr.Shan(ITM) මට හමුවු විශේෂ චරිතයක් ඒ වගේම Mr.Ravianth Peiris (MD).
චන්දන අයියා සහ Mr.Kanishka (Smart Memory) මතක් කරන්න ඕනි.
ඒ වගේම අප ආයතනයක් වශයෙන් වැඩ කටයුතු කරද්දී මේ කාලයේදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕනි අපිට උදවු කරපු, අපි සාර්ථකත්වයක් ලැබුවානම් එයට සහයෝගයන් දුන් දැනට United Kingdom හි පදිංචි සිටින සහ ව්‍යාපාරික කටයුතු කරන්න Mr.Sudesh (HandyClick), Mr.Nuwan(ZoneCrew), Mr.Manjula(Sylvia Lanka Foundation), Ms.Wathsala (Helabhoomi) ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න අපිත් එක්ක හැමදාම වැඩ කරන Mr.Gayan (අපි Magazine)
ගොඩාක් සුවිශේෂී චරිත තියෙනවා.(නම් සඳහන් නොකළ)
මොනවද අනාගත බලාපොරොත්තු ?
අපේ අරමුණ වන්නේ වඩා හොද , සේවාවක් ලබා දෙමින් අප පාරිභෝගික ආයතන සේවාවන් ප්‍රවර්ධනය කිරීම අන්තර්ජාලය හරහා වගේම අපේ සේවාවන් තවත් පුළුල් කරමින් රටට යම් කිසි ප්‍රමාණයක දියුණුවට උදවු වීමයි.
අවසාන වශයෙන් අපි Magazine එකට සම්බන්ධ වීම ගැන ඔබේ අදහස?
මුලින්ම මම ස්තුති වන්ත වෙනවා අපි Magazine නිර්මාතෘ ගයාන් මහතාට මෙම අවස්ථාව ලබා දීම ගැන. වත්සලා අක්කා මගින් තමා මම මුලින්ම දැන ගත්තේ අපි Magazine ගැන.
ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි ලංකා වේ නොහිටියත් ලංකාවේ අපේ Community එකට මේ කරන සේවය පිළිබඳව.
ගොඩාක් වටිනා,යාවත්කාලින,දැනුම් සම්භාරයක් සහිතව කරන අපි Magazine සහ එහි කර්තෘ මණ්ඩලයටත් සුභාශින්ෂණ එක් කරනවා ඉදිරියටත් මේ කටයුත්ත කරගෙන යන්න සහ ජයග්‍රාහී ගමනක් යන්න.
ප්‍රසංග මධුශංක
Digital My Business (PVT) Ltd
www.digitalmybusiness.lk