අළු රදනකයා 

Common wolf snake 

අළු රදනකයා 

Lycodon aulicus (Linnaeus, 1758)

Forma typica morph

ශ්‍රී ලංකාවේ හමුවන රදනකයන් 6 අතුරින් දිවයින පුරා පුළුල් ව්‍යාප්තියක් සහිත රදනක විශේෂයක් ලෙස අළු රදනකයා හැඳින්විය හැකි අතර මොවුන් උග්‍ර විෂ සහිත කරවැලුන්ගේ වර්ණ රටා අනුකරණය / mimicking කරන්නාවූ කිසිම විෂක් රහිත නිර්විෂ සර්ප විශේෂයකි. මොවුන් රූපීය ලක්ෂණ ඔස්සේ කරවැලුන්ට සමාන වූවත් අනන්‍ය වූ දේහ ලක්ෂණ කිහිපයකින් සාමාන්‍ය අයෙකුට වූවද පහසුවෙන් වෙන් කොට හඳුනාගැනීමට හැකියාව පවතී..

* කැපී පෙනෙන පෙයාර්ස් හැඩැති හිස

බොහෝවිට උග්‍ර විෂ සහිත කරවැලුන්ගේ පැහැදිලි ගෙලක් හඳුනාගැනීමට අපහසු වන නමුත් අළු රදනකයාගේ හිස පෙයාර්ස් ගෙඩියක හැඩයෙන් පැහැදිලිව ගෙලෙන් වෙන් වී දිස්වෙනු දැකගත හැකි වේ.

* දේහ කොරළ වල ස්වභාවය

අළු රදනකයාගේ සහ කරවැලුන්ගේ පෘෂ්ඨීය කොරල සුමට වූවත් කරවැලුන්ගේ පෘෂ්ඨීය කොරළ වල ඇති ඉතාම විශේෂ ලක්ෂණය වන්නේ කෂේ කොරළ වල ස්වභාවය ශඩාස්‍රාකාර වීමයි. බැලූ බැල්මට කරවැලෙකුගේ කොඳු නාරටිය ඔස්සේ අටපට්ටම් හැඩැති අනෙක් දේහ කොරළ වලට වඩා විශාල වූ කැපීපෙනෙන කොරළ පේලියක් ඉතා හොඳින් දැකගත හැකි වේ.

එමෙන්ම ඔබ සර්පයන් පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කරන්නෙක් නම් කරවැලුන්ගේ සහ රදනකයන්ගේ මධ්‍ය දේහයේ හරස් කොරල ප්‍රමාණය සහ කරවැලුන්ගේ මධ්‍ය දේහයේ හරස් කොරළ ප්‍රමාණයෙහි පවතින්නාවූ වෙනස අනුවද මොවුන් වෙන් කොට හඳුනාගැනීමට හැකියාව පවතී.

අළු රදනකයන්ගේ පෞච්ච උදරීය කොරළ / subcaudal scales බෙදුනු ස්වභාවයක් ගන්නා අතර කරවැලුන්ගේ නොබෙදුණු පෞච්ච උදරීය කොරළ වින්‍යාසයක් දැකගත හැකි වේ.

* දේහයේ හැඩය

අළු රදනකයන්ගේ දේහයේ හැඩය කරවැලුන්ගේ තරම් දිගු නොවන අතරම සිලින්ඩරාකාර දේහය උදරීයව තරමක් පළල් වී  දේහයේ අපර කොටසට යන විටදී ක්‍රමයෙන් සිහින්ව යන නමුත් කරවැලුන්ගේ දේහය හිසේ සිට දේහයේ අපර කොටස දක්වාම ඒකාරී සිලින්ඩරාකාර බවකින් යුක්ත වී වල්ගය කොටසේදී පමණක් තරමක් සිහින් ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි.

වර්ණය

අළු රදනකයන්ගේ වර්ණ ප්‍රභේද කිහිපයක්ම හඳුනාගත හැක.

• Forma typica morph – මෙම වර්ණ ප්‍රභේදයේ හරස් පටි අපැහැදිලි දාරයකින් සීමා වන අතර දේහයේ හරස් පටි 35 ක් හෝ ඊට වඩා දැකගත  හැකි වේ. උදරීය පැත්තට ආසන්න වන විටදී මෙම හරස් පටි දෙකට බෙදී ත්‍රිකෝණාකාර ලෙස දක්නට ලැබෙන අතර පෙයාර්ස් හැඩැති හිස වෙන් වන ගෙල ප්‍රදේශයේ පැහැදිලි සුදු පැහැති කොලරයක් වැනි පටියක් දක්නට ලැබේ.

• Oligozonatus morph – මෙම වර්ණ ප්‍රභේධය ඉහළ කඳුකර ප්‍රදේශ වල සුලභ බව දක්වා තිබුනද සබරගමුව පලාත තුලද යම් ව්‍යාප්තියක් සහිත බව මගේ මතයයි. මෙම වර්ණ ප්‍රභේධයේ සුදු පැහැති හරස් පටි කිහිපයක් පමණක් පවතින අතර හරස් පටි වල පැහැදිලි දාරයක් සහිත වේ.

• Unicolour morph – මෙම වර්ණ ප්‍රභේදයේ සුදු පැහැති හරස් පටි කිසිවක් නොපිහිටන අතර පෘෂ්ඨීයව ඒකාකාර පැහැයක් සහිත වේ. මොවුන්ගේ තොල් සුදු පැහැති වන බව දක්වා තිබුණද තොල් වල පැහැයද දේහයේ පැහැයට සමාන සතුන් ලංකාවේ මෙන්ම ඉන්දියාවේද වාර්තා වී ඇත.

හැසිරීම් රටා 

මොවුන් ප්‍රධාන වශයෙන් නිශාචර සර්පයන් වූවද දිවා කාලයේද සංචරණය කරන අවස්ථා හමුවේ. භෞමික සර්ප විශේෂයක් වූවද ඉතා හොඳින් ගස් මත නැඟීමේ හැකියාව පවතී.  ප්‍රධාන ආහාරය ලෙස හූනන් දැක්විය හැක. මීට අමතරව කටුස්සන් කුඩා මීයන් වැනි සතුන්ද ආහාර ලෙස ගනී. වෙනත් කුඩා සර්ප විශේෂද ආහාර වශයෙන් ගන්නා අවස්ථා ද වාර්තා වී ඇත.

බොහෝවිට මිනිස් ජනාවාස ආශ්‍රිතව ව්‍යාප්තිය ඉහල වීමට හේතුව වන්නේ මොවුන්ගේ ගොදුරු නිවෙස් ආශ්‍රිතව සුලභ වීම නිසාවෙන් වන අතරම නිවෙස් වල ඇති කපරාරු නොකල රළු පෘෂ්ඨ ඔස්සේ ඉතා හොඳින් ඉහළට නැඟීමේ හැකියාව මොවුන්ට පවතී.

නිර්විෂ සර්පයෙක් වූවද බොහෝ අවස්ථා වලදී මොවුන් හපකෑමට පෙළඹෙන සර්ප විශේෂයක් වන නිසාවෙන් නිදහස් අතින් මොවුන් හැසිරවීමේදී කල්පනාකාරී විය යුත්තේ මොවුන්ගේ පවතින රදනක දත් වලින් තියුණු ලෙස තුවාලයක් සිදු වන ලෙස හපාකෑමට හැකියාව සහිත හෙයින් බව මතක තබාගත යුතු වේ.

මොවුන්ගේ ගැහැණු සතුන් වරකට බිත්තර 3 – 11 ක් පමණ [ශ්‍රීලංකාවේ සර්පයන් ආචාර්ය රුචිර සෝමවීර] දමන බව වාර්තා වේ. මොවුන් බියට පත්වූ අවස්ථා වලදී වේගවත්ව පලා යාමට උත්සාහ කලද එසේ නොහැකි අවස්ථා වලදී ගුලිවී හිස සඟවාගැනීමට උත්සාහ දරයි. 

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

ඉතින් මම සමුගනිමි…

සමහර කොල්ලන්ට පුලුවන් කෙල්ලෝ දාහක් වුනත් පිස්සු වට්ටවන්න..කඩවසම් කමින්ම නෙවෙයි සමහර කොල්ලො දැක්ක ගමන් කෙල්ලන්ට හිතෙනවා අමුතු ආකර්ශනයක් මේ කොල්ලගේ තියෙනවා කියලා . එහෙම කොල්ලෙක් ලබපු කෙල්ලෙක් මමත්.. 

නිර්මාල් රන්දෙනිගල…කොලබ රාජකීය විද්‍යාලයේ උසස්පෙල පන්තියේ සිසුවෙක්… ඔහුත් අර මම කලින් කිව්ව විදියේ කොල්ලෙක්.. හරිම දක්ශයි.. විවාද කණ්ඩායම් , නිවේදන කටයුතු විතරක් නෙවෙයි ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා..ඒ වගේම ආකර්ශණීයයි..

එතකොට මම සේමිණී  වංශනාථ.. කොළඹ විශාකා විද්‍යාලයේ මම ඉගෙන ගත්තේ.. මට ඉන්නේ අයියා විතරයි . අම්මයි තාත්තයි මේ ලෝකේ අත හැරලා ගියේ මම සාමාන්‍ය පෙල ඉවර කරපු දවසෙමයි. අදටත් දන්නේ නෑ කහ ඉරෙන් පාර පැනපු මගේ දෙමව්පියන්ගේ ජීවිතේ බිලිගත්තේ කවුද කියලා… ජීවිතේ අන්තෙටම කඩාවැටුනු මම උසස්පෙල කලා විශයන් තෝරාගත්තේ ජීව විද්‍යාව වැනි බරපතල විශයන් එක්ක මට හැප්පෙන්න හයියක් නැති නිසා.. 

අදටත් මට මතකයි උසස් පෙල ඉවර වෙලා අයියාගේ පොලිස් ජීප් එක මාව එක්ක යන්න එනකම් බලාගෙන ඉද්දි නිර්මාල් ඇවිත් මට ආදරෙයි කියලා ලියුමක් අතේ ගුලි කරපු විදිය තාම මතකයි..අයියාට බයේ ගැහි ගැහී ඒ ලියුම ගත්තත් හිත ඇතුලෙන් නිර්මාල්ට ආදරේ කලත් ඒ ආදරේ ප්‍රකාශ කරන්න මට මාස හයක් කල් ගියා.. හරියටම උසස්පෙල ප්‍රථිපල බලලා එද්දී තමයි මම එයාට කැමැත්ත දුන්නේ.. අදටත් මතකයි ඒ ඇස් සංතෝසෙන් දිලිසුනු හැටි.. එදා පටන්ගත්ත අපේ ආදරේ මුලු ලෝකෙටම හොරා ගලාගෙන ගියේ හරි අපූරුවට.

මගේ අයියා මේ වෙද්දී උප පොලිස් පරීක්ෂකවරයෙක් බොරැල්ල පොලීසියේ. අයියගේ යාලුවෝ හැමතැනම… අඩි පහයි අගල් පහක් උස, දිග කලු කොන්ඩය වගේම ඇත් දල පාට හමක් මට උරුම වෙලා තිබුනු නිසාම අයියාගේ යාලුවන්ගේ බැල්ම වුනත් මට වැටුනා මේ කාලේ වෙද්දි . හැමදේම මට නොතේරෙන විදියට මග හැරියේ නිර්මාල් මගේ ජීවිතයට ඇවිත් හිටිය නිසා..

නිර්මාල් මුනගැහෙන්න ඕන නිසාම මම මැහුම් පංතියකට යන්න පටන්ගත්තා.. ඒකට අයියා කිසිම විදියකින් විරුද්ධ නොවුනේ  කැම්පස් යවන්න කල් තිබුනු නිසා.. 

මැහුම් පංතිය ඉවර වෙලා මම දුවන්නේ නිර්මාල් හොයාගෙන..

” ඔහොම දුවන්න එපා බෝනික්කි.. දිග ගවුම් ඇදගෙන…”  බෝනික්කි.. ඉස්කෝලේ කාලේ ඉදන්ම මට හැමෝම කතා කලේ එහෙම..ඉතින් සේමිනි කියන නමටත් වඩා මම ප්‍රසිද්ධ වුනේ බෝනික්කි කියන අන්වර්ථ නමින්..

” අපි යමුකෝ ගෝල්ෆේස් ඉක්මනින්…. ” නිර්මාල්ට උත්තර දෙනවා වෙනුවට මම එයාගේ බයිසිකලේට නගින්නේ වටපිට බල බලා.. 

කවදාවත් හෝටල් කාමර අස්සේ, වැටකෙයියා පදුරු අස්සේ අරගෙන ගිහින් නෑ නිර්මාල්. ටෙලිෆෝන්  නැති නිසාම හැමරෑටම කියවලා තුරුලු කරගෙන නිදාගන්න මට එයා ලියුමක් දෙනවා.. 

අපි හැමදාම යන්නේ ගෝල්ෆේස් , එහෙම නැත්නම් විහාරමහාදේවි පාක්. මෙහෙම ගියාම මුලු අනාගතේම අපි ප්ලෑන් කරනවා. ආදරේ වැඩිම වුනාම නිර්මාල් මගේ නලල සිපගන්නවා.. පැය ගනන් අපි, අපි දෙන්නා දිහා බලන් ඉන්නවා වචනයක් වත් නොකියා.කොච්චර බැලුවත් එපා නොවෙන ඒ පෞරුෂයට මම වශී වෙලා හිටියේ.. කොටින්ම කියනවා නම් වැඩිය යාලුවෝ නොහිටිය මට හිටිය එක්කෙනා දෙන්නා වුනත් ඉරිසියා කම් කලා නිර්මාල් එක්ක සම්බන්ධය පටන්ගත්තම..මම ඒ දේවල් ගනන් නොගත්ත නිසාම ඉස්කෝලේ ගිහින් ඉවර වුනාට පස්සේ ඒ අය කතා කරන එක එහෙමම නැවතුනා. 

”  මගේ බොනික්කි… අපි කැම්පස් ගිහින් ඉවර වුනාම ගෙවල් වලින් පර්මිශන් ගමු… ” 

” අපි එකම කැම්පස් එකට තේරෙයිද නිර්මාල්…”

” ඔව්.. එක ලග ඩිස්ට්‍රික්ට් රෑන්ක්නේ තියෙන්නේ….” 

” මාව දාලා යන්න එපා නිර්මාල්…මම කාටවත් කලින් ආදරෙ කරලා නෑ… අන්තිම වගේම අවසන් ආදරෙත් ඔයා විතරයි….”

” මගෙත් එහෙමයි විශාකා එකේ ලස්සනම කෙල්ල, වෙන කාටවත් අයිති වෙයි කියලා මම බයේ හිටියේ… ආයේ කාටවත්ම ඔයා දෙන්නේ නෑ  ….” මේ වගේ ප්‍රේම කතා එක්ක හරිම සුන්දර විදියට අපේ ආදරේ ගලාගෙන ගියා..  ඒත් වැඩි කල් නෙවෙයි….

” මේ බලපිය මම දිහා…මම තෝව මරනවා.. රන්දෙනිගල මුදලාලියගේ පුතා එක්ක තොට තියෙන සම්බන්ධේ මොකද්ද… කියපිය…එක දවසක් යකෙක් වගේ ආවේශ වෙලා ආව අයියා කෙලින්ම අල්ලගත්තේ මගේ කොන්ඩේ.. 

” අයියේ…අනේ ගහන්න එපා…මම වදින්නම්… මම …..

” ඔව් කියපන්…මොකද්ද ඒකාගෙයි උබෙයි සම්බන්ධේ ?මම ඕකව එලොව යවන්න කලින් ඇතත කියපන්…. ” අයියා අහන්නෙ මගේ කම්මුල පුපුරන්න පහරක් ගසමින්. 

” අනේ අයියේ…එයාට මොකුත් කරන්න එපා.. මම ආදරෙයි නිර්මාල්ට… ” ඊට වඩා මට කිසිවක් කියන්නට නොලැබුනි..කම්මුල හරහා වැදුනු පහරින් මම කැරකී ගොස් වැටුනි. එතනින් මා නැගුටවූ ඔහු මගේ හිස බිත්තියේ ගසාගෙන ගියේ පුපුරා ලේ එද්දීය.. ඔහුටම සිතී ඔහු නවතා මට පයින් පහරකුත් ගසා කාමරයෙන් එලියට ගියේය.. 

මගේම ලේ මට දැකිය නොහැකි වුවද මම අමාරුවෙන් ගොස් හිසේ පැලීගිය තැන සෝදාහැරියා. ඉස්කෝලේ බාලදක්ෂ කණ්ඩායමෙන් ඉගෙන ගත්ත වෙදහෙද කම් නිසා පැලුනු නලලට මම තනියම බෙහෙත් දාගත්තා.. 

මුලු රැයක්ම හැඩුව මම කීයට නිදාගත්තද කියන්න මම දන්නේ නැහැ . උදේ පාන්දරම මම නැගිට්ටේ අයියගේ තර්ජනාත්මක හඩින්.. 

” නැගිටලා වැඩ කරපිය.. ගෙදරින් එලියට යන්න හිතන්නවත් එපා.උබට කොහොමත් යන්න බෑ…මම යතුරු අරගෙන යන්නේ..  ” 

…………………………………………………………………………………

එදා ඒ රෑ වෙච්ච දෙයින් පස්සේ මම හිරකාරියෙක් වුනා.. මම මගේ නිර්මාල් නොදැක අදට මාස තුනක් ගත වෙලා.දින සති ගෙවුනේ හරි හෙමින් වුනත් මම ආදරේ වෙනුවෙන් ඉවසුවා….අයියගේ පොලිස් නීති නිසා මගේ කැම්පස් ගමනත් නැති වුනා.. උදේට ගෙදරින් යන්නේ අයියා දොරවල් දෙකේම යතුරු අරගෙන.. අයියා ආවම මම එලියට බහින්නේ මල් වලට වතුර දාන්න. ඒකත් අයියා බලාගෙන ඉන්නේ.. රැවිලි ගෙරවිලි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙද්දි ලැබෙන ගුටිබැට වලට මම හරි ඉක්මනින් හුරු වුනා..ඒවගේම මම අම්මා තාත්තාට තනියම බැන බැන ඇඩුවා මාව දාලා ගියාට. පවුලේ හුරතලේට හැදුනු මට මගේම අයියා සලකන විදිය ගැන පුදුම කලකිරීමක් තිබුනේ.. 

වෙනදා වගේම ගෙවල් දොරවල් අතුගෑව මම ගැස්සිලා ගියේ මගේ කාමරේ ජනේලයට කවුදෝ තට්ටු කරනවා ඇහිලා.. අපිට හිතවත් අසල්වැසියෝ හිටියට මේ වෙලාවට එයාලා එන්නේ නෑ..ඒවගේම ලයිට් බිල්,ලියුම් වගේ දේවල් තැපැල් පෙට්ටියට දාන නිසාත් මට හරි පුදුම හිතුනා මේ තට්ටු කරනකෙනා ගැන. කොහොම වුනත් මම ජනේලේ ලගට ගියා.. 

” කවුද? “

” බෝනික්කි…මම…ඔයාගේ නිර්මාල් මැනික….ඒ හඩ ඇහුනේ හීනෙන් වගේ.. මාස ගනනක් හිරකරගෙන හිටිය ඒ ආදරේ ශක්තියට මම දෙපාරක් නොහිතාම ජනේලය ඇරියේ හරි හදිස්සියකින්..

” මගේ බෝනික්කි… මගේ කෙල්ල..අනේ ඇදිලා ගිහින් …මම නිසා නේද මේ දුක්….මාව දැක්ක ගමන්ම නිර්මාල් කියන්න ගත්තේ ජනෙල් කූරු අතරින් මාව අල්ලගෙන..

” අනේ නිර්මාල්…මගේ මහත්තයෝ . මම හිරකාරියෙක් වගේ..ඇයි රත්තරං අයියා මෙහෙම කරන්නේ….මට බෑ මෙහෙම ඉන්න…. ” 

” තාත්තා එක්ක තරහයි මැනික ඔයාලගේ අයියා…අම්මාවත් ඒ තරහට හේතු දන්නේ නෑ… මගේ බෝනික්කි .මම ඉක්මනින් එන්නම් වස්තුවේ එක්ක යන්න… අනේ මේ අයියා ගහලද මැනික  ” 

ජීවිතේට නිර්මාල්ගේ ඇස් දෙකෙන් කදුලු නොදැකපු මම එදා එයා ඉකි ගහ ගහා අඩනවා බලාගෙන හිටියේ ඒ හා සමානවම මමත් කදුලු දියකරමින්.. 

මම ජනෙල් කූරු වලින් පුලුවන් විදියට නිර්මාල් සිපගත්තා.. ඔහුත් එහෙමයි..මේ ආත්මේ මම ආදරේ  කරන පිරිමියා කොහොම නම් මම නැති කරගන්නද? අයියාත්  රන්දෙණිගල මුදලාලිගේත් වෛරය වෙනුවෙන් අපේ ආදරයෙන් පලිගන්නට තරම් අයියා කොයිතරම් ආත්මාථකාමීද ? 

කොච්චර වෙලා ජනෙල් කූරු අල්ලගෙන හිටියද කියන්න මතක නෑ…ඒ තරමට අපි අපේ ලෝකේ හිටියෙ..ඒ නිසාම වෙන්න ඇති අය්යගේ ජීප් එකේ හඩ ඇහුනේ නැත්තේ…

” කාලකන්නියා ….. තොට මම…. සාජන් දාගනින් මේකා ජීප් එකට….” 

මමත් නිර්මාලුත් නොහිතපු විදියට අයියා ගෙදරට ඇවිත් තිබුනා.. ඒ අත් දෙක මම ජනෙල් කූරු අතරින් මම අල්ලාගෙන හිටියා…අයියාගේ මූන එදාටත් වඩා පුදුම තරහකින් පිරිලා තිබුනේ.. 

ලගට ආව සාජන් කෙනෙක් මගේ නිර්මාල්ව ඇදලා ගත්තේ හිත් පිත් නැති මිනිහෙක් වගේ..ඒ වගේම තව කොහෙන්දෝ ඉදලා ආව කොස්තාපල්ලා දෙන්නෙකුත් අල්ලගත්තා නිර්මාල්ව.. නිර්මාල් ගැලවෙන්න හදනකොට අයියා  ගහපු පාරකින් ඔහුගේ තොල පිපුරුවා.

“අයියේ….අනේ  මගේ නිර්මාල් දෙන්න…. කොහෙද ඔය ගෙනියන්නේ…..” ඔවුන් නිර්මාල් ඇදගෙන යද්දී මම කෑගැහුවා..

” බෝනික්කි… මම ආදරෙයි…. මැනික පරිස්සමින් ……

” අයියෙ… උඹ මගේ නිර්මාල් කොහෙද ගෙනියන්නේ….අනේ කවුරුත් නැද්ද… අම්මේ…. අනේ බලන්නකෝ….මගේ අහින්සකයා….” උගුර ලේ රහ වෙනකම් මම කෑගැහුවා මගේ නිර්මාල් ගෙනියන්න එපා කියලා. එකෙක් මට කන්දුන්නේ නෑ.. කොළබ උස් තාප්ප නිසා අල්ලපු ගෙදර මිනිහෙක් මලත් මිනිස්සු දන්නේ පත්තරෙන්…

උන් මගේ නිර්මාල් අරගෙන ගියා..මහ දවල් පොලිස් ජීප් එකෙන්ම.. මම වරුවක් ඇඩුවා.. මගේ නිර්මාල් මතක් කර කර ඇඩුවා.. කරගන්න දෙයක් නෑ…කොච්චර අසරණ වුනාද මම දහස් වාරයක් මම හිතුවා.

” අයියේ… මගේ නිර්මාල් කෝ…අනේ එයා ගෙදර යැව්වා නේද ? ඔයාලා එයාට මොකුත් කලේ නෑ නේද ? අයියා හවස ගෙදර ආව ගමන් මම ඇහුවේ ඒ කකුල් දෙක අල්ලගෙන.. වෙනදා වගේ මට පාරක් ගහනවා වෙනුවට අයියා මගේ ඔලුව අතගෑව හරි ආදරෙන්..

” නැ මගේ බෝනික්කි..මම මේවා පිලිවෙලක් කරනකම්… මගේ කෙල්ල… පරිස්සමින් ඉන්න.නිර්මාල් පරිස්සමින් ගෙදර යැව්වා..මම පොඩ්ඩක් බැන්නා…එච්චරයි …” 

අයියා කිව්වේ හරිම නිවිච්ච විදියට..  කාලෙකට පස්සේ ඒ ඇස් වල මම සහෝදර ප්‍රේමය දැක්කා..මම අයියට පිං දි දී තුරුලු වුනා… 

මේ සිදුවීමෙන් පස්සේ අයියා  මාව ගෙදර ලොක් කරලා ගියත් මට නිදහසේ ටීවි බලන්න රේඩියෝ අහන්න තහනම් කලා. කොටින්ම පත්තර ගෙනාවේ බත් ඔතන්න… විදුලි උපකරණ අයියා ගෙදරින් අරගෙන ගියා.. කොටින්ම කියනවා නම් බාහිර ලෝකය එක්ක මගේ සම්බන්ධකම් නැවතුනා.. මම හිටියට වඩා හිරකාරියෙක් වුනත් අයියා ඉස්සර වගේ මට ආදරේ කලා.. හැමදාම රෑට මම නිර්මාල්ගේ ලියුම් කියෙව්වා.. ඒ අකුරු දිහා බල බල මම ඇඩුවා.. ආදරෙන් ගෙවපු කාලේ මතක් කලා.. මගේ නිර්මාල් දැන් කැම්පස් යනවා ඇති..එයත් අඩනවා ඇති මම වගේම.කමක් නෑ..අයියා කිව්වනේ මගේ නිර්මාල් මට ගෙනත් දෙනවා කියලා.. මම එහෙම හිත හදාගත්තා.. 

………………………………………………………………………………..

මාස තුනකට පසුව..

” ඩොක්ටර් මගේ නංගිට කොහොමද ?” 

” අපිට ඔයාගේ උදව් ඕනේ මිස්ටර් වංශනාථ …. මෙයා කියන්නේ එකම එක නමයි…ඒ නිර්මාල්…ඒ බෝයි කෝ…?”

” ඩොක්ටර් එයා ….මේ ර….ටේ නෑ…..” 

” එයා නැතුව මෙයාව හොද කරන්න බෑ….. බෙහෙත් දෙන්නම්.. මෙයාව ඩිස්චාජ් කරනවා අද මම. වරද්දන්නේ නැතිව ක්ලිනික් එක්ක එන්න.. අර බෝයි ගෙන්නවාගන්න බලන්න….” මනෝවෛද්‍ය නිමල් දේශබංදු එහෙම කියද්දී උප පොලිස් පරීක්ෂක වංශනාථ සේමිනීගේ හිස අතගෑවේ නංගියේ මට සමාවෙයන් කියමින් හිතෙන් මුමුනමින්…

………………………………………………………………………………….

” කොළබ රාජකීය විදුහල් හිටපු ශිෂ්‍යනායක නිර්මාල් රන්දෙනිගලගේ සිරුර අද උදෑසන ගල්කිස්ස වෙරළ තීරයට ගසාගෙන පැමින ඇත..මෙය  ඝාතනයක් වගට රජයේ රසපරීක්ශක වරයා තහවුරු කල බැවින් පොලීසිය මේ වෙද්දීත් හෝඩුවාවල් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.. ..” 

අහම්බෙන් මේ පුවත මගේ ඇස ගැටුනේ බත් ඔතන්න අයියා ගෙනත් දුන් පුවත් පතකදීය.. අයියා ගේන පත්තර වල පිටු අඩු වී තිබුනද ඒගැන මම අහන්නට ගියේ නැත්තේ ඒවා පරන පත්තර නිසා…ඒත් මේ පුවත දුටු මම එක හුස්මට කියවාගෙන ගියා.. මගේ නිර්මාල්ගේ ෆොටෝ එකක් පත්තරේ තිබුනා.. ශිෂ්‍යනායක ඇදුමෙන් සැරසුනු…

” කාලකන්නි මගේ නිර්මාල්ව මරලා දාලා…. ”  මම කෑගහලා හඩද්දී හිසට දැනුනු දරුණු පීඩනයක් නිසා මම එහෙමම ඇදගෙන වැටුනා..

…………………………………………………………………………………..

” මචං අර කාලකන්නියා නිසා නංගි අසනීපයි.. එදා කොහොමද ඒ මිස්ටේක් එක වුනේ? ” ඒ උප පොලිස් පරික්ශක වංශනාථ . 

“අර සාජන්ට අමතක වෙලා… මුලු පත්තරේම දාලා. මදැයි බත් ඔතන්න පත්තර ඉල්ලුවා….. “

” මගේ නංගි මාස තුනක් අංගොඩ ඉදලා අද මම එක්ක ආවා ගෙදර… බලපන් ඉන්න හැටි..මලක් වගේ…ශිට් කාලකන්නියා මරලා මුහුදට නෙවෙයි ගිනි තිබ්බත් මදි… ” වංශනාථ කියන්නේ වියරුවෙනි.. 

” ඇයි බං ඌ එක්ක ඔච්චර තරහා?”  වංශනාථගේ මිතුරු සුධීර අසන්නේ මත්පැන් තොලගාමින්..

” ඔය රන්දෙනිගලගේ වාහනේට තමයි මගේ අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් වුනේ.. ඕකා ඒ මිනිස්සු ඉස්පිරිතාලෙට වත් අරන් ගියේ නෑ… ඒ මදිවට සාක්ශි වෙනස් කරා.. ඔවුන්ගේ පවුලම එක්ක මට තියෙන්නේ වෛරයක්…..මම ඒකේ පලිය ගත්තා…ඌ කරපු විදියටම …. උගේම පුතාගේ මරනය මම අභිරහසක් කරලා…” උප පොලිස් පරීක්ෂක වංශනාථ අවසන් මත්පැන් උගුරත් උගුරටම හලාගනිමින්  කීවේ බලාගත් අත බලාසිටින සේමිනී දෙස බලමින්..

………………………………………………………………………………..

මගේ නිර්මාල් මැරිලා නෑ.. හැමවෙලේම මට කතා කරනවා.. කවුද කියන්නේ… අයියා කිව්වා මාව බන්දලා දෙනවා කියලා.. එන්න මගේ රත්තරං මගේ ලගට… ඔයාගේ බෝනික්කි අපි ඉස්සර හිටිය තැනට ආවා… මේ බලන්න ලස්සනයි අද ගෝල්ෆේස් එක…

අද ලස්සනයි නිර්මාල් මෙතන… ඉර බැහැගෙන යනවා.. 

” අන්න මගේ නිර්මාල්…. ඉන්න රත්තරං …. මම මෙගේ නිර්මාල් මුහුදේ රැලි අතර හිටගෙන ඉන්නවා දැක්ක.. ඒ හිනාව , ඒ බැල්ම…. මම නැගිට්ටා හිටිය තැනින්…

නිර්මාල් අත් දෙක දික් කරගෙන බලාගෙන ඉන්නවා මම එනකම්… හිනාවෙවී…

මම එනවා මහත්තයෝ …..අනේ ලස්සන ඔයාගේ…මගේ හීන කුමාරයා… ඉන්න වස්තුවේ…” මම දුවගෙන ගියා මුහුද මැද්දටම… ටිකක් දුවගෙන යද්දී මම වැටුනත් මහ රැලි මාව නිර්මාල් ලගට ඇදගෙන ගියා.. මහ රැලි අතරින් මමයි නිර්මාලුයි එකතු වුනා..එයා තාම හිනාවෙනවා…

මාව බදාගන්න නිර්මාල්..බෝනික්කි ආවා ඔයාගේ… චුට්ටක් අමාරුයි… හුස්ම ගන්න බෑ….සීතලයි….. මම ගොඩාක් ආදරෙයි …..”  එහෙම කියද්දී මහ රැල්ලක් මගේ ඔලුවට උඩින් ගියේ  මහ සයුර මැද මාව ගිලගනිමින්..

………………………………………………………………………………..

” නංගී….. නංගී…… නංගි නෑ බං ගෙදර…. කරුමේ අද මට ගෙදර ලොක් කරගන්න බැරි වුනානේ….  යකෝ කොහෙද මේ කෙල්ල ගියේ… වංශනාථ හිසේ කෙස් අදිමින් කෑගසයි.. නිවස දෙවනත් කරයි..

” මචං…නංගි කොහේ යන්නද වැඩියෙන් ආස?….” ඒ සුධීරයි..

” මම දන්නේ නැහැ …ගනිං ජීප් එක…කොළබ පීරලා හරි මම මගේ නංගි හොයාගන්නවා… අම්මා තාත්තා මට සමාව දෙන්නේ නෑ ඒකිට මොනා හරි වුනොත්…. කලින් දවසකත් නිර්මාල් කිය කිය තනියම කතාව ගේට්ටුව ලග.. ඒකි හිතෙන් මවාගෙන ඉන්නේ අරූව..මට බයයි අනතුරක් වෙලාද කියලා.. වංශනාථ කියන්නේ ගැහෙමින්..

තවත් වෙලා නාස්ති නොකර  ජීප් රථයට නැගි වංශනාථ හා සුධීර දූවිලි අවුස්සමින් වාහනය මහ පාරට දැමුවේ තමන් පොලිස් නිලධාරීන්  වග අමතක කරමිනි.. 

…………………………………………………………………………………

පසු දින…

“සේමිනි වංශනාථ නැමති  දහ නව හැවිරිදි තරුනියගේ දේහය අද උදෑසන ගල්කිස්ස වෙරළ තීරයේදී සොයාගනු ලැබීය..ඇය පසුගිය කාලයේ සිය පෙම්වතාගේ වියෝගය නිසා සිහි මද ගතියෙන් පසු වූ වග ඇගේ සහෝදරයා වන උප පොලිස් පරීක්ෂක තේමිය වංශනාථ පවසයි… මෙය සියදිවි නසාගැනීමක් බවට මීට මොහොතකට පෙර රජයේ අදිකරණ වෛද්‍ය නිලධරී වරයා තහවුරු කලේය… තවද දේහය….”

සේමිනිගේ දේහය කල්තබා ගැනීමට නොහැකි නිසා එදිනම බොරැල්ල සුසාන භූමියේ තැන්පත් කරන ලෙස නියෝග කෙරිනි. සිය නැගනියගේ නිසල දේහය දෙස බලාගෙන වචනයක් වත් නොකියා තේමිය වංශනාථ හිතේ දුක කදුලු වලට පමනක් පරිවර්තනය කලේය..

” නංගී….. උඹ දුන්නු දඩුවම ලොකු වැඩී කෙල්ලේ…..” මහාමේරු පර්වතය තරම් දුකක් හිතේ තබාගෙ 

සිටියද   වංශනාථ මහතාට බොරැල්ල සුසාන භූමියේදි වචන වලට පෙරලුවේ එපමනකි.. 

Thakshila Ekanayake

මීපැණි සත්කාරය

මීපැණි පිළිබඳව නොදන්නා අයෙක් සිටිය නොහැක. මී පැණි යනු එතරම් ම ජන ජීවිතය හා සබැඳි වටිනා ඖෂධයකි.  එහි ඇති අගනා ඖෂධීය ගුණය නිසා ම විවිධ රූපලාවණ්‍යය නිෂ්පාදන සඳහා ද භාවිතයට ගැනේ. එහෙත් සැබෑ ලෙස ම මීපැණිවල ඇති ඖෂධීය ගුණය එම නිෂ්පාදනවල අඩංගු වී ඇති දැ යි අප නොදන්නා නමුත් , නිවසේ දී ම අප කරන රූපලාවණ්‍යය සත්කාර සඳහා මීපැණි භාවිතයෙන් වඩා ඉක්මන් සහ ප්‍රතිඵලදායී සත්කාරයක් ලබාගත  හැකි වේ. ඉතින් සුපුරුදු රූපලාවණ්‍යය ලිපිපෙළින් අද මී පැණි භාවිතයෙන් නිවසේ දී ම ඔබේ රුව වඩවාගැනීමට කළ හැකි සත්කාර පිළිබඳව දැනුවත් වෙමු. 

මීපැණිවල ඉතිහාසය පාරාවෝ රජ දවස දක්වා දිවෙන අතර එහි ඇති මහඟු ගුණාත්මක බව ඔබේ සමට, ශරීරයට ඉමහත් පෝෂණයක් සහ නීරෝගීබවක් එක් කරනු ඇති. 

*) පිරිපුන් සුන්දර දෙතොලක් සඳහා : 

දෙතොල් අවපැහැගනීම, වියළී ම සහ දෙතොල් පැලීම වැනි ගැටළු සඳහා මීපැණි යනු මහත් ප්‍රතිඵලදායක ඖෂධයකි. දිනපතා රාත්‍රි නින්දට පෙර දෙතොලේ මී පැණි ආලේපකර එහි ම වියැළෙන්නට තැබීමෙන් උදෑසන ඔබට වේදනාකාරී තොල් පැලීම් සුවකරගැනීමට සහ දෙතොල මෘදු හා වියළි බවින් තොරබව අත්දකින්නට හැකිවනු ඇත. මෙය දිනපතා කිරීමෙන් ඔබේ දෙතොලේ අවපැහැයත් ඉතා පහසුවෙන් හා ඉක්මනින් ඉවත් වී යනු ඇත. විශේෂයෙන් ම ශීත සෘතුවේ දී බොහෝ දෙනෙක් මුහුණපාන දෙතොල් පැලීම සහ වියළීමට ද මීපැණි ඉතා ම පහසු සහ ඉක්මන් විසඳුමකි.

*)කුරුළෑ සඳහා :

මීපැණි යනු කුරුළෑ සඳහා සාර්ථක ප්‍රතිකර්මයකි. කුරුළෑවක් හටගත් දිනයේ ම මුහුණ පිරිසුදු කිරීමෙන් අනතුරුව රාත්‍රි කාලයේ දී කුරුළෑව මත මී පැණි බිඳුවක් ආලේප කර කුඩා බැන්ඩේජ් කැබැල්ලකින් ආවරණය කර නින්දට ‍යන්න. පසුදා බැන්ඩේජ් කැබැල්ල ප්‍රවේශමින් ඉවත්කර මුහුණ පිරිසුදු කරන්න. 

*) දීප්තිමත් සමකට:

රාත්‍රී නින්දට පෙර මීපැණි මේස හැන්දකට ස්වාභාවික කෝමාරිකා මද මේස හැඳි දෙකක් මිශ්‍රකර පිරිසුදු කරගත් මුහුණේ ආලේප කර නින්දට යන්න. පසුවදා පිරිසුදු වතුරෙන් සෝදාහැර තෙත මාත්තු කරන්න. දිනපතා මෙම සත්කාරය කිරීමෙන් ඔබේ සමෙහි  සිදුවන වෙනස අත්විඳ බලන්න .

*)නීරෝගී කෙස් කලඹක් සඳහා:

Chamomile tea සමඟ මීපැණි කළවම් කර හිස් කබලේ සහ කෙස්වල තැවරෙන පරිදි ස්ප්‍රේ කරන්න. හොඳින් සම්බාහනය කිරීමෙන් අනතුරුව මඳ උණුසුමැති තුවායකින් හෝ shower cap එකකින් ආවරණය කර ටික වේලාවක් තිබෙන්නට හරින්න. දීප්තිමත් නීරෝගී කෙස්කලඹක් ලබාගැනීමට මෙම සත්කාරය සතියකට කිහිපවරක් කරන්න. 

*) බ්ලැක් හෙඩ්ස් සඳහා : 

රාත්‍රි කාලයේ දී නින්දට පෙර මීපැණි සහ ලෙමන් යුෂ එකට මිශ්‍රකර මුහුණේ black heads ඇති ප්‍රදේශවල ආලේප කර තබන්න. පසුවදා උදෑසන සෝදාහරින්න. පහසුවෙන් සහ ස්වාභාවිකව ම බ්ලැක් හෙඩ්ස් ඉවත්කරගැනීමට හැකිවනු ඇත. 

*) තුවාල කැළැල් ඉවත් කරගැනීමට. 

ශරීරයේ ඇති ලප කැළැල් ඉවත්කරගැනීමට ද මීපැණි උපකාර කරගතහැක . දිනපතා රාත්‍රී නින්දට පෙර කැළැල් මත ආලේප කර පසුවදා සෝදාහරින්න. 

ඉතින් දිව්‍ය ම ය ගුණ ඇති මීපැණි අඩංගු සත්කාර තුළින් ඔබේ රුව රැකගැනීමට , රුව වඩවාගැනීමට හැකිවනු ඇතැයි මා බලාපොරොත්තු වනවා. ඉතින් සුබ දවසක් ඔබ හැමට ම පතමින් නැවතත් මෙවැනි ම ලිපියකින් ඔබ හමුවීමට බලාපොරොත්තු වනවා!!

Sameera Jayasinghe 

යකා

වෙස්මුහුණු 

  පන්දමි අරගෙන

  ගිණිකෙළි අරගෙන

  යක්කුත් පිටියට ආවා

       එහෙම කියනකොට අමුතු ගැමිමක් හිතට එනවා නේද… කාලෙන් කාලෙට එක එක රැලි එනවා…. සමහර දෙවල් ටික කාලෙකින් මිනිස්සුන්ට අමතක වෙලා යනවා..  එත් අද මම අපි මැගසින් එක හරහා කතා කරන්න යන්නේ එහෙම රැල්ලකට හසුවුන සුන්දර අපේ රටෙි නිර්මාණයක් ගැන…

          වෙස්මුහුණු කිවුවාම කාටත් මතක් වෙන්නේ අමිබලන්ගොඩ , එ වගේමයි ගිණි රාක්ෂ මුහුණ.. ගිණි රාක්ෂ මුහුණ කොයිතරමි නමි ප්‍රසිද්ධියට පත්වි ඇතිදැයි කිවයුතු නෑ , අද වන විට විදේශිකයන්ගෙත් නෙත් සිත් වසඟ කරගන්නට වෙස් මුහුණු සමත්⁣ වෙලා තියෙනවා..

    අද ⁣වන විට මෙි යක්ක මුහුණු යොදාගෙන කරන දේවල් නමි බොහොමයි…. ඇත්තටම මට වෙස්මුහුණු ගැන ලියන්න හිතුනෙත් මැතකදි බොහො අයගේ නෙත් සිත් වසග කරගත්ත එක carnival එකක් නිසා. මතක ඇති විශාල වෙිදිකාවක් ලෙස ගිණි රාක්ෂ මුහුණ ඉදිකර තිබුණු අන්දම…. එ නිසාමයි මෙවර කලාපයෙන් වෙස්මුහුණු ගැන තොරතුරු බිදක් ගෙන එන්න තීරණය කලේ…

       ඉතිං මම අපි මැගසින් එක ඔස්සේ අද ඔබට ගෙන එන්නේ අපේ සාම්ප්‍රදායික වෙස්මුහුණු කලාව පිළිබඳ තොරතුරු… 

     අපේ රටෙි පහතරට ප්‍රදේශයට ආවේණික වූ වෙස්මුහුණු කලාව කවදා කෙසේ ආරම්භ වූවා දැයි කිව නොහැකි වුවත් දීර්ඝ කාලයක් තිස්සේ විනෝදාස්වාදයට මෙන් ම ශාන්තිකර්ම වලට වෙස්මුහුණු යොදාගෙන තිබෙනවා….

         රාක්ෂ වෙස්මුහුණු වලට නමි කාගෙත් සිත් වසඟ වෙනවා… එ අතර කාගෙත් හිත් දිනාගෙන ඇත්තේ ගිණි රාක්ෂ වෙස්මුහුණ…. ගිණි රාක්ෂ වෙස්මුහුණ යොදාගෙන අද වන විට ඇදුමි නිර්මාණය වනවා…. එ අතර ප්‍රධාන තැනක් ගන්නේ සරමි… එ වගේම වාහනවලත් මෙි ගිණි රාක්ෂ වෙස්මුහුණුනේ ස්ටිකර් අලවා තිබෙනවා, නිවෙස් වල වගේම හොටල් වලත් ගිණි රාක්ෂ වෙස්මුහුණ කාටත් පෙණෙන ස්ථානයක ප්‍රදර්ශනය කර තිබෙනවා දැකලා ඇති.. එ තරමට ගිණි රාක්ෂ වෙස්මුහුණට බොහො අය ඇලුමි කරනවා.. එ නිසාම අද වෙළදසැල් වල යකා ඇදුමි පැලදුමි වලින් නමි අඩුවක් නෑ…

           ඇත්තටම වෙස්මුහුණු කියන්නේ මොනවා ද? මේ වන විට ඔබ වෙස්මුහුණු එකක් හෝ පැළදලත් ඇති․…  අපි පුංචි කාලේ වෙසක්‚ පොසොන් තොරණ් බලන්න ගිහින් වෙස්මුහුණක් ගෙදර අරන් ඇවිත් දාගෙන යාළුවෝ බය කර තියෙනවා…. එ වගේම ශාන්තිකර්ම‚ තොවිල් වලදී වෙස්මුහුණු පැළදගෙන නර්තනයේ යෙදෙනවත් ඔබ දැකලා ඇති..․  ඒත් ඔබ දන්නවාද වෙස්මුහුණු කලාව යනු  ලෝකය ම පිළිගත් අපේ ම සංස්කෘතිකාංගයක් බව..․

          වෙස් මුහුණු කලාව සිංහල ජනතාවගේ සාම්ප්‍රදායික කලාවක්…  උඩරට, පහතරට, සබරගමු ආදී නර්තන සම්ප්‍රදායන් සමඟ බැදිලයි පවතින්නේ… වෙස් මුහුණු කලාවේ ඉතිහාසය කොතරම් අතීතයට දිව යන්නේ දැයි අපට කිව නොහැකි වුවත් මහා සමිමත මනු රජ සමය දක්වා දිව යන බවනමි සිතිය හැකියි.

           අපේ රටෙි මුතුන් මිත්තන් ලෙස සැලකෙන වැදි ජනතාව සමඟ ද මෙම වෙස් මුහුණු බැදී පැවතුනුබව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේ දී පෙනී යන කාරණක්… ඔවුන්ගේ පූජා කර්ම සිදු කිරීම සඳහා ඔවුන් විසින්ම සොබාවික දෙවල් වලින් තමාගේ ශරීරය සහ මුහුණ පාට කරගත් බවට ඉතිහාසය සාක්ෂි දරනවා…. ඔයාලට මතක ඇති ගිය කලාපයේ මම අරන් ආව සොකරි ශාන්තිකර්ම… එහිදීත් වෙස්මුහුණු භාවිතා වන බව මම පැවසූවා..

        වෙස්මුහුණු නිර්මාණය සදහා ප්‍රසිද්ධ අමිබලන්ගොඩ නඟරය වෙස් මුහුණු කැටයම් කිරීම සඳහා පමණක් නොව වෙස් මුහුණු අලෙවි කිරීම සඳහාත් ඉතාමත් ප්‍රසිද්ධයි.. විදේශීය සංචාරකයන් නෙත් සිත් පැහැර ගන්නා තරමට එ නිර්මාණ විශිෂ්ඨයි…. අද වන විට වෙස් මුහුණු දීප්තිමත් වර්ණ යොදා අලංකාර කර තිබෙන්නේ සංචාරකයින් වෙස් මුහුණු අලෙවිය ‍සඳහා ඈදා ගැනීමට යොදා ගන්නා උපක්‍රමයක් ලෙස බවයි එ පිලිබදව සොයා යාමෙිදි මට දැනගත හැකි උනේ…

          වෙස් මුහුණු වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික වර්ණ බෙහෝ විට යොදාගනු ලබනවා….  එ එම වෙස් මුහුණු වල ස්වභාවිකත්වය සහ සංස්කෘතික බව ඔප් නංවන්නට…  යක්ෂයන් දෙවියන් වැනි අදෘශ්‍යමාන බලවේග පිදීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දූපතක් ලෙස අපේ රට ලොකයේ ප්‍රසිද්ධියට පත්වි ඇති බව කිවයුතු නෑනේ… එ නිසාමයි වෙස් මුහුණු බොහෝ විට යොදාගනු ලබන්නේ නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග සදහාම…..

        අපේ ජනශ්‍රැතියේ වෙස්මුහුණු බිහිවීම පිළිබඳව අපූරු  සදහනක් තිබෙනවා․. එ ගැන කියනවා නමි මහ සම්මත රජ්ජුරුවන්ගේ බිසවට නාට්‍ය දැක සිනාසීමට දොළදුකක් ඇතිවිම․…. එය සංසිදුවීමට විශ්වකර්මයා ලවා සක් දෙවියන් විසින් වෙස්මුහුණු හා කෝලම් නාට්‍ය නිර්මාණය කල බව සඳහන් වෙනවා..․ එ නිසයි වෙස්මුහුණු බොහොමයක් කෝලම් නාට්‍ය හා සම්බන්ධ වෙන්නේ․… එ විතරක් නොවෙයි තවත් මූලාශ්‍රයක සඳහන් වන්නේ රාවණා රජු ද වෙස්මුහුණු යොදාගෙන සතුරන් පරාජය කළ බවයි․

        වෙස්මුහුණේ බියකරු පෙනුම වැඩි දියුණු කරනුයේ නැටුම්කරු වෙස්මුහුණු පැළද ගයන විවිධ වූ ගීත‚ දීර්ඝ වූ යාගහෝම ඉදිරිපත් කිරීමෙන්․… යකුන් සහ ප්‍රේතයන් පළවාහැරීම ඈත අතීතයේ සිටම තිබුණ දෙයක්…. ගම්බද පෙදෙස්වල පැවති දුර්භික්ෂ‚ රෝග බියවලට ප්‍රධාන හේතුව වශයෙන් ගම්වැසියන් විශ්වාස කලේ යකුන් හා ප්‍රේතයින්ගේ බලපෑමි..

       ඉතිං තව දුරටත් වෙස්මුහුණු වර්ග ගැන සදහන් කලොත් සැහැල්ලු‚ කල්පවත්නා ලී වර්ගයක් වන වෙල්කදුරු සහ රුක්අත්තන යන ලී වලිනුයි වර්තමානයේ වෙස්මුහුණු නිර්මාණය කරන්නේ..․ මෙම ලීය වෙස් මුහුණ කැටයම් කිරීමට පෙර දුමෙන් වියලනු ලබන අතර, ඇතුළත කුහරයක් සහිතව නිර්මාණය කරන බවයි දැනගත හැකිවුවෙි…… වෙස් මුහුණෙහි ඇස් නිර්මාණය කිරීම සඳහා බොහෝ විට වීදුරු යොදා ගනු ලබන අතර එමගින් වෙස් මුහුණට තාත්ත්වික පෙනුමක් ලැබෙන බවයි පැවසෙන්නේ……. වර්ණ සංයෝජනය වෙස් මුහුණු කලාවේ ප්‍රධාන තැනක් ගනු ලබනවා….. මෙහිදී රතු , කලු සහ කහ වර්ණ භාවිත කරන අතර නිල් පැහැය භාවිත වන්නේ ඉතාම කලාතුරකින්…..

         වෙස්මුහුණු වර්ග ගැන කියනවා නමි සන්නි වෙස්මුහුණු, කෝලම් වෙස්මුහුණු , රාක්ෂ වෙස්මුහුණු, සත්ව වෙස්මුහුණු, යක්ෂ වෙස්මුහුණු, මිත්‍යා වෙස්මුහුණු, මනුෂ්‍ය වෙස්මුහුණු, පාලිය වෙස්මුහුණු, දේව වෙස්මුහුණු හදුන්වා දිය හැකියි…

       මේ අතරින් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන වෙස්මුහුණු වර්ග දෙකක් ලෙස සන්නි වෙස්මුහුණු වගේම  කෝලම් වෙස්මුහුණු හැදින්වීමට පුලුවන්․… මේවා නමි වැඩිපුර ම භාවිත කරන්නේ ශාන්තිකර්මවලට.

කෝලම් වෙස්මුහුණු -: කෝලම් වෙස්මුහුණු භාවිත කරනු ලබන්නේ හාස්‍ය ජනිත කරවීම උදෙසා․.. සමාජයේ ඇති විවිධ චරිත උපහාසයට ලක් කිරීමත් අධිරාජ්‍ය පාලනය උපහාසයට ලක්කිරීමත්‚ කෝලම් නාට්‍ය සම්ප්‍රදාය භාවිත කරනු ලබනවා..

රාක්ෂ වෙස්මුහුණු :- මෙම වෙස්මුහුණු නිවෙස්වල තබාගැනීමෙන් වාසනාව උදාවන අතර ආරක්ශාව ද සැලසෙන බවයි පැරණි හෙළයා විශ්වාස කරන්නේ․ඇස්වහ කටවහ දෝශ සහ රෝගවලින් ද ආරක්ශාව සැලසෙන බව අපේ පැරැන්නන්ගේ අදහස.

ගුරුළු රාක්ෂ -: ගුරුළු රාක්ෂ මිත්‍යා සත්වයෙක් වන අතර නාගයින්ගේ දෂ්ට කිරීම්වලින් ආරක්ශාවීමට ගම්වල මෙම වෙස්කෝලම් නැටුම නටනු ලබනවා․ විශ්ණු දෙවියන්ගේ වාහනය ලෙසත් ගුරුළා හැදින්වෙනවා..

නාග රාක්ෂ-: ගුරුළු රාක්ෂ හා ප්‍රතිවාදී කෝලම් නැටුමට මෙම වෙස්මුහුණ යොදාගන්නවා․ නයිපෙන හතකින් සමන්විත මෙම වෙස්මුහුණ නිවෙස්වල ඔබ දැක ඇතුවාට සැක නෑ.․ මෙම වෙස්මුහුණ නිවසේ තබාගැනීමෙන් සියළු අනතුරුවලින් වැලකී සිටිය හැකිබවයි විශ්වාස කරන්නේ.

මයුර රාක්ෂ-: මොණරකුගේ හැඩතලවලින් යුතු මෙම වෙස්මුහුණ සාමය‚ සතුට‚ සෞභාග්‍ය උදාකර ගැනීමට නිවෙස්වල තබාගන්නවා․

ගිනි රාක්ෂ:- සතුරු කරදර මගහැරී නිවසට සාමය හා මිත්‍රත්වය උදාකරන බවයි මෙමඟින් සංකේතවත් කරන්නේ.. වෙස්මුහුණු අතර ජනප්‍රියම වෙස්මුහුණත් මෙයයි.. මමත් පුද්ගලිකවම ප්‍රිය කරන වෙස්මුහුණක්.

ගරා යක් මුහුණු:- ඇස්වහ කටවහ දෝශ මගහැරීමට මෙම ගරා යකුන්ගේ වෙස්මුහුණ නිවෙස්වල එල්ලා තිබෙනවා․ කෝලම් නැටුම්වල එක් නර්තන අංගයක් ලෙස ගරා යක් නැටුම හදුන්වා දෙන්න පුළුවන්.

යක්ෂ වෙස්මුහුණු:- පෙර ඡන්මවල දී කළ පාපකර්ම හේතුවෙන් යකුන්ට හිමිවන්නේ පහත් තත්ත්වයක්. මිනිසුන් බිය ගැනිමත් යකුන් මිනිසුන්ට ආරූඪ වීමෙන් මිනිසුන් ලෙඩකිරීමේ අපූරු බලයක් මොවුන්ට ⁣තිබෙන බවයි සැළකෙන්නේ. යකුන් පස්දෙනෙකු මෙහිදී දැක්විය හැකියි. කළු යකා, රීරි යකා, මහාසෝනා. හුනියමි යකා, අභිමාන යකා,

කළු යකා :- කුඩා දරුවන් හා ගැහැණු පක්ෂය රෝගාතුර කරවයි.එ වගේම තරුණ අයට රාග අධික සිහින දැකීමට සැලැස්වීමටත් මොහු දක්ෂ යි. කළු කුමාරයා කියලා කියන්නෙත් මෙයාට තමයි.

රීරි යකා :- ලේ ආශ්‍රිත රෝග සෑදීම මොහුගේ කාර්යයි.

මහසෝනා :- මොහු මිනිසුන් බියගන්නා උණ කරවයි. මහාසොන් යකා ගැන නමි තියනවා රසවත් කතාවක්. එ ගැනත් මම ඉදිරියෙදි ඔයාලාට කියලා දෙන්නමි.

හූනියම් යකා :- ප්‍රධාන යකුන් පස්දෙනාගෙන් කෲර ම යකා මොහු. මොහු දවල් කාලයේ සූනියම් දේවතාව ලෙස සිටියි, රාත්‍රියේදී මිනිසුන් ලෙඩ කර මිනිසුන් බිය කරන බවයි පැවසෙන්නේ. විෂ්ණු දෙවියන්ගෙ පණිවිඩකරුත් මොහුමයි..

අභිමාන යකා:-මොහු මිනිසුන්ගේ මනස ලෙඩ කරවා මිනිසුන් බිය ගන්වන බවයි පැවසෙන්නේ

       රෝගයන් සුවපත් කිරීමේ අරමුණින් ශාන්තිකර්මයක් කිරීමේ දී මෙම ප්‍රධාන යකුන් තොවිල්පලට කැදවනු ලබනවා…. එහිදී මහඇදුරා එම යකාගේ ක්‍රියාවන් ආතුරයාට බලපාන ආකාරය විස්තරාත්මකව ඉදිරිපත් කරන්තෙ යමි අවස්ථාවන් වල කවියෙන්…. මෙම යකුන් යාගපොළට පැමිණි පසු ඔවුනට අයත් දොලපිදේනි ආදිය පුද කිරීමෙන් අනතුරුව ආතුරයා අතහැර යා යුතුයි.. එය ඔවුන් අතරේ ඇති නිතීයක්.

           වෙස් මුහුණු යොදා ගනිමින් කරනු ලබන ශාන්ති කර්ම අතරින් සන්නි යකුම ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලනු ශාන්තිකර්මයක්…. මෙහිදී සියලුම යක්ෂයින්ට පිළිවෙලින් පූජා කරනුලබන අතර ඔවුන් වෙනුවෙන් විවිධාකාරවූ පිළිවෙත් ද යොදාගනු ලබනවා.. මෙය සන්නි යකුම හෙවත් දහ අට සන්නිය නමින් ද ව්‍යවහාර කරනව….. මෙම සන්නියකුම සදහා පදනම් වූ අතීත කතා වෘතාන්තයක් අපට අසන්නට ලැබෙන්නේ ඉන්දියාවෙන්…. එ දඹදිව සංඛපාල රජුගේ කතාවයි…..  පුරාවෘත්තයට අනුව එදා පටන් සන්නි රෝග සඳහා ඇදුරන් විසින් ඒ ඒ සන්නි යකුන්ගේ නාමයෙන් පුද පූජා පවත්වනු ලබන බව සදහන්…. මෙම සන්නි යකුමට අයත් නැටුම් ‍කොටස් ලෙස

සැන්දෑ සමයම, යහන් දැක්ම, සොළොස් පාලිය ආදිය දැකිවිය හැකියි….

      සන්නි යකුම හෙවත් දහඅට සන්නියේ සන්නි දහ අට ගැන කියනවා නමි භූත සන්නිය, අභූත සන්නිය, අමුක්කු සන්නිය, වෙඩි සන්නිය, වාත සන්නිය, කණ සන්නිය, පිත් සන්නිය, බිහිරි සන්නිය, ගොලු සන්නිය, මුර්තු සන්නිය, දෙමළ සන්නිය, නාග සන්නිය, කොර සන්නිය, ගිනිජල සන්නිය, ගුල්ම සන්නිය, සීතල සන්නිය, දේව සන්නිය, කෝල සන්නිය ලෙස දක්වන්න පුළුවන්…

         වෙස්මුහුණු වල සංකේතාත්මක අර්ථය ලාංකීය වෙස් මුහුණු කලාවෙි වෙස්මුහුණු අධ්‍යයනය කිරීමේදී පෙනී යන ලක්ෂණයක් වන්නේ ඒවා අධි යථාර්ථවාදී ලෙස නිර්මාණය කර තිබීමයි. විශාල ඇස්, පුළුල් සිනහව හා වර්ණ මිශ්‍රණයන් ඒ අතුරින් ප්‍රමුඛත්වයක් ගන්නවා…….

            වෙස්මුහුණු වල වර්ණයෙන් නිරූපණය වන්නේ යක්ෂයාගේ වර්ණය බවයි පැරැන්නන් පවසන්නේ…..  වෙස් මුහුණු එකම ආකාරයේ පෙනුමක් ගන්නා අතර ඒවා දිගු, පටු සහ තියුණු අයුරින් යුක්තයි…. වෙස් මුහුණු ඉරියව් වලට ඇත්තේ ඊටම ආවේණික වූ ශෛලයක්…. සමහර වෙස් මුහුණු වලට ඇත්තේ බිය උපදවන සුලු පෙනුමක්….  හැබැයි බිය උපදවන පෙණුමක් වගේම හාස්‍ය මතුකරණ පෙණුමක් කැටමි කිරිම නමි ඉතිං කැටයමි ශිල්පීන්ගේ ඇති විශිෂ්ඨ දක්ෂතාවයක්… අපේ රටට එවැනි අය සමිපතක් ලෙසයි මම නමි දකින්නේ…

           මේ සියල්ල අනුව වෙස් මුහුණු කලාව ලාංකීය ජන සමාජය සමග කෙතරම් බද්ධ වී ඇත්දැයි මනාව පැහැදිලි වෙනවා…. ශ්‍රී ලාංකීය නිමැවූම් කරුවන් අතින් නිමවෙන මෙම වෙස් මුහුණු ලංකාවෙි අපට මහත්වු සමිපතක්.. තව විස්තර බෙහොමයක් වෙස්මුහුණු පිළිබඳව තිබෙනවා.. මෙවැනි වටිනා කලාවක් ආරක්ෂා කරගැනීම කොයිතරමි නමි වටිනවාද… තවත් දවසක එ පිළිබදව අපි තවත් විස්තර කතා කරමු…නිසංසලා රණසිංහ