ස්වාභාවික ෆේස් මාස්ක්

කුරුළෑ ලප, කැළැල්වලින් තොර දිදුලන පැහැපත් නිරෝගී සමක් යනු ඕනෑ ම කෙනෙකුගේ සිහිනයක් බව නොඅනුමාන ය.  විශේෂයෙන් ම තරුණ යුවතියන් සහ කාන්තාවන් තමන්ගේ රුව පිළිබඳව ඉමහත් සැලකිල්ලක් උනන්දුවක් දක්වන අතර ඒ සඳහා වෙළෙඳපොළ තුළ පවතින නොයෙකුත් ආලේපන සඳහා  අධික මිලක් ගෙවන අවස්ථා බහුල ය. එහෙත් කාලානුරූපීව ඇතැමෙකුට ඒ සඳහා වියදම් කිරීම ගැටළු සහගතවිය හැකි නමුත් ඉතා ම අව ම වියදමකින් ස්ථිර ප්‍රතිඵල පහසුවෙන් ළඟාකරගත හැකි සත්කාර ක්‍රම පිළිබඳව ඔබ සිතා බැලුවා ද? 

     අද මේ ලිපිය තුළින් අපි ඒ ගැන කතාකරමු. 

නිරෝගී පැහැපත් සමක් සඳහා ඔබගේ වයස, රැකියාව, රෝගී නිරෝගී බව මෙන් ම තීරණාත්මක සාධකයක් ලෙස ආහාර පාන රටා සහ ජීවන රටා බලපානු ලබ යි. මෙහි දී නිසි ව්‍යායාම, නින්ද, ආහාර, සිතිවිලිවල ධනාත්මක් බව අතිශයින් ම වැදගත් කරුණු වේ. ඒ සියලු කාරණා අතරට ඔබේ මුහුණ සහ සම පිරිසිදුව සහ දීප්තිමත්ව පවත්වාගෙන යාමට උපකාරවන ස්වාභාවික face masks සත්කාර කිහිපයක් පිළිබඳව යි මම අද ඔබට පවසන්නට සූදානම් වන්නේ. මෙහි විශේෂත්ත්වය  නම් නිවසේ එදිනෙදා භාවිතයට නිවසේ ඇති අමුද්‍රව්‍යය භාවිතයෙන් මේ masks සකසාගත හැකි වීම යි. එමෙන් ම සියයට සීයක් ම ස්වාභාවික සහ සාර්ථක ප්‍රථිපල අතුරු ආබාධ රහිතව ලබාගැනීමට හැකිවී ම යි. 

* දීප්තිමත් සමක් සඳහා : 

1.  ක්‍රමය – නැවුම් තක්කාලි යුෂ මේස හැන්දක්, පොල් කිරි මේස හැඳි දෙකක් සමඟ හොඳින් කළවම්කර පිරිසුදු කරගත් මුහුණේ සම මත ආලේප කරන්න. විනාඩි විස්සකට පසු සෝදා හැර තෙත මාත්තු කරන්න.

2. සීනි, වර්ණකාරක රහිත යෝගට් මේස හැඳි දෙකක්,  ලෙමන් යුෂ තේ හැඳි හා මිශ්‍රකරගෙන ඉහත ආකාරයට ම ආලේප කර සෝදාහරින්න. 

* තෙල් සහිත සමකට :

පිරිසුදු කහ කුඩු තේ හැන්දකට කෝමාරිකා යුෂ මේසහැඳි දෙකක් මිශ්‍රකර මුහුණේ ආලේපකර විනාඩි 20කට පසුව පිරිසුදු ඇල්වතුරෙන් සෝදා හැර තෙත මාත්තු කරන්න.

* සමේ වියපත්බව දුරුකිරීමට:

1. කෝපි කුඩු මේස හැඳි දෙකක් මීපැණි මේස හැඳි දෙකක් සමඟ මිශ්‍රකර මුහුණේ ආලේපකර විනාඩි විස්සකට පසුව ඇල්වතුරෙන් සෝදාහරින්න. 

2. බිත්තර සුදුමද මේස හැඳි එකකට කෝමාරිකා යුෂ මේස හැඳි දෙකක් එකතුකර සාදාගන්නා මිශ්‍රණය ඉහත ආකාරයට ම මුහුණේ ආලේප කර සෝදා හරින්න

* අධික කුරුලෑ සහිත සමකට: 

කුරුඳුකුඩු තේ හැඳි 1/4 ක්, මීපැණි මේස හැඳි දෙකක් සමඟ මිශ්‍රකර පිරිසුදු කරගත් මුහුණේ ආලේපකරන්න. මිනිත්තු විස්සකට පසුව සෝදාහරින්න. 

* Blackheads සඳහා:

ලෙමන් යුෂ තේ හැඳි එකක්, බිත්තර සුදුමද මේසහැඳි දෙකක් සමඟ මිශ්‍රකර පිරිසුදු කරගත් මුහුණේ blackheads ඇති areaවල ආලේප කරන්න. විනාඩි 15කට පසුව peel කර සුදුමදය ඉවත්කරගන්න. ඇල්වතුරෙන් මුහුණ සෝදා තෙතමාත්තු කර සුදුසු moisturizer cream එකක් ආලේප කරන්න

* පැහැපත් සමකට: 

ලෙමන් යුෂ තේ හැන්දක් සහ මීපැණි මේස හැඳි දෙකක් මිශ්‍රකර මුහුණේ ආලේපකර විනාඩි විස්සකට පසු සෝදාහැරීමෙන් පැහැපත් clear බවක් ඔබේ සමට ලැබෙනු ඇත. 

* ලප, කැළැල් මඟහරවා ගැනීමට: 

කුඩු කරගත් ඕට්ස් මේස හැඳි එකකට වර්ණ, පැණි රස රහිත යෝගට් මේස හැඳි දෙකක් එකතුකර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි විස්සකින් සෝදාහැර තෙත මාත්තු කරන්න. සතියකට කිහිපවරක් කිරීමෙන් ඔබට පැහැදිලි වෙනසක් දැකිය හැකිවනු ඇත.

ඉතින් මේ ආකාරයට ඉතා පහසුවෙන් අධික වියදමක් සහ කාලයක් වැයකිරීමෙන් තොරව ම ස්වාභාවික සත්කාරයක පහස ලැබීමෙන් ඔබේ සමට සිදුවන යහපත් වෙනස අත්විඳ බලන්න. 

ඔබට සුබ දවසක් !

සම පැහැ ගැන්වීම

සම පැහැ ගැන්වීම සඳහා අපේ රටේ භාවිත කරන  ඇතැම් ක්‍රීම් වර්ගවල එහෙම නැත්නම් [whitening Cream] 

දවසින් දෙකකින් ප්‍රතිඵල දෙන සුදු වෙන ක්‍රීම් කිව්වම ගැහැණු පිරිමි භේදයක් නැතුවම ඇබ්බැහි වීමක් වගේ දෙයක් වෙලා . ඉක්මනින් සුදු වෙනව කිව්වම කිසිම දෙයක්  හොයා බලන්නේ නැතිව විවිධ අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග(Bleaching Cream) භාවිතා කරනවා

ඇත්තටම මේ බ්ලීචින් ක්‍රීම් වලින් සුදු වෙනවද?

ඇත්තටම කිව්වොත් ඔබේ සම සුදු වෙනව තමයි ,ඒත් 

බ්ලීචින් ක්‍රීම් මගින් සිද්ධ වෙන්නේ සමේ තිබෙන ස්වාභාවික මෙලනින් පාලනය කරමින් පිළිස්සුම් ක්‍රියාවලියක් හරහා ඉතා කෙටි කාලයකින් සම සුදු පැහැයට හැරවීමයි.

ඒවගේම මේ පිළිබඳව කල පරීක්ෂණ වලින් පවා සොයාගෙන තිබෙනවා මෙම සුදු ගැන්වෙන ක්‍රීම් වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා පනස් එක්දහස් ගුණයක් පමණ රසදිය අඩංගු බව.

ඒවගේම බ්ලීචින් අඩංගු ක්‍රීම් වර්ග දිගු කාලයක් භාවිතා කර නතර කිරීමෙන් පසුව, ඔබේ සමේ තිබෙන පැහැය අඩුවී දුර්වර්ණ වී අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. 

ඒ විතරක් නෙමේ බ්ලීචින් ක්‍රීම්  වල අඩංගු අහිතකර රසායනික ද්‍රව්‍ය මගින්  ඔබට ලැබෙන භයානක ප්‍රතිපල ගැන ඔබ දැනුවත් නැතුව ඇති .

මේ වන විට  වෙළඳ පොලේ මෙවැනි ක්‍රීම් වර්ග රාශියක් තිබෙන අතර , බ්ලීචින් ක්‍රීම් වර්ග බොහොමයක ප්‍රධානවම අන්තර්ගත වන්නේ Hydroquinone, Mercury, Steroids සහ Hydroxy Acid යන ද්‍රව්‍ය වේ.

 මේවායින්

* Hydroquinone ඉතාමත්  කෙටි කාලයකින් මෙලනින් පාලනය කර සම සුදු කරයි. මේම  රසායනිකය ආලේපනයක අඩංගු විය යුත්තේ 2% නොවැඩි ප්‍රමාණයක් විය යුතුමයි .

අවධානම් සහිත පිළිකා කාරකයක් ලෙස හැදින්විය හැකි මෙය  අඩංගු ආලේපනයක්  දිගු කාලීනව භාවිතයෙන් 

සමේ තැනින් තැන පුල්ලි ආකාරයෙන් සුදු සහ කළු පැල්ලම් දැක ගත හැකියි. 

එමෙන්ම

*Mercury අඩංගු ආලේපන භාවිතයෙන් ඔබ නොදැනුවත්ව වකුගඩුවල ක්‍රියාකාරිත්වයට ඉතාමත් අහිතකර බලපෑම් එල්ල වන්නට පුළුවන්. 

*Steroids මගින් සම තුනී කරන අතර කෙටි කාලයකින්ම මුහුණේ නහර පෙනීමට පටන් ගනියි.

* Hydroxy Acid මගින් මැරුණු සෛල ඉවත් කිරීම සිදු වුනත් පසු කාලීනව සමේ  කොරල මෙන් පොතු ගැලවී යාම දකින්නට පුළුවන්.

සමේ ආලේප කරන ප්‍රමිතියෙන් තොර ක්‍රීම් සහ දියර වර්ග නිසා අසාත්මිකතා, දරුණු රෝගාබාධ මෙන් ම ජීවිත හානි පවා වාර්තා වී ඇත.

සම පැහැපත් කර ගැනීමේ හා සම සුදු වීම යනු කාරාණා දෙකක් වන අතර ඔබ කල යුත්තේ සම සුදු කර ගැනීම නොව ඔබට ලැබී ඇති සමේ ස්වභාවික  පැහැය ඔපනන්වා ගැනීමයි.මේ සදහා ඔබේ සමෙහි ස්වභාවය හදුනාගෙන ඒසදහා සුදුසු ආලේපනයක් තෝරා ගැනීමයි.මේ සදහා ඔබට සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ලබාගන්නත් පුළුවන් .

ඒවගේම ඔබ මොනයම් හෝ ආලේපනයක් තෝරා ගැනීමේදී ඒවායේ ප්‍රමිතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි .

එසේම 

නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, අඩංගු රසායනික ද්‍රව්‍ය සහ භාවිතයට උපදෙස් ලේබලයේ අඩංගු වී ඇත්දැයි පරික්ෂා කර බැලීම ඉතාමත්  වැදගත් .

මෙම සම සුදු ගැන්වෙන ක්‍රීම් බොහොමයක් නිෂ්පාදිත දිනයක් ,කල් ඉකුත් වීමේ දිනයක් ,නිෂ්පාදිත ආයතනයක් සදහන් නොකරයි,එසේම Home made ක්‍රීම් විශාල වශයෙන් අලවි වන්නේ අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය හරහායි,

දවසකින් දෙකකින් සුදු වෙන්න ගිහින් ඔබ විසින් ඔබේ ජීවිතයට අහිතකර දේවල් වලට මුදල් නාස්ති කර විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවාට වඩා ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු හිතකර නිෂ්පාදනන් භාවිත කරන්නේනම්  සුදුසුයි මෙන්ම අවසානයේ ඔබ නොදැනුවත්වම පිළිකා රෝගියෙකු නොවී ඉන්නත් පුළුවන් .

නිශා

පොහොය දිනයේ සිල් සමාදන් වීමේ වැදගත්කම

ලෝකවාසී සැදැහැවත් බෞද්ධයන්ට සෑම මසකම පැමිණෙන සුවිශේෂී දිනයක් ලෙස “පොහොය දිනයන්” නම් කිරිමට පුලුවනි.

ඈත අතීතයේ සිටම පොහොය දිනයන්හීදි බොහෝ විට බෞද්ධ පිරිස අනෙකුත් දෛනික වැඩ කටයුතුවල නොයෙදි සිල්සමාදන්විමට පුරුදු කරගෙන තිබෙනවා.

එසේ ගිහි ජීවිතයේ දෛනික වැඩ කටයුතු සමග සිල්සමාදන්විමට විවේක කාලයක් සොයා ගැනිමට නොහැකි පිරිස පොහොය දිනයනවල විහාරස්ථානවලට ගොස් මල් පහන් පුජා කිරිම, දන් පිළිගැන්විම, බණ ඇසිම වැනි විවිධ පුණ්‍යය කටයුතු කිරිම සදහා වෙන්කර ගන්නවා.

එවගේම බෞද්ධයන් අනිකුත් දිනයන්වලට වඩා පොහොය දිනයන්වලදී අකුසල ක්‍රියාවලින් වැලකි සිටිමට ඉතාමත් සැකලිමත් වනවා.

මෙවර අප සාකච්ඡා කිරිමට තෝරගත් මාතෘකාව වන

“පොහොය දිනයන්හිදි සිල් සමාදන්වීමේ වැදගත්කම” පිළිබදව විශේෂ කරුණු කිපයක් පැහැදිලි කිරිමට අපගේ ගෞරවනීය ආරධනය

 “අපි” සගරාව සමග නිරන්තරයෙන් සම්බන්ධ වි පාඨක ඔබ වෙනුවෙන් ධර්මානුකූල කරුණු විග්‍රහකිරිමට අපට සහය වන අපගේ පින්වත් රිදීකන්ද ආරණ්‍යය හි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ වූ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේටයි.

පොහොය දිනයේ වැදගත්කම සහ එයට යම් විද්‍යාත්මක පසුබිමක් තියෙනවද ?

බෞද්ධයනට පොහොය දිනය වැදගත් කමක් ගන්නේ, ශාසනික ඉතිහාසයේ විශේෂ කර්තව්‍යන් සිදුවෙන නිසාය. එවැනි ශාසනික සිදුවීම් පොහොය දිනයක් තුලදීම සිදුවීමේ විද්‍යාත්මක සුවිශේෂීත්වයකුත් පවතිනවා. පෘථිවිය කේන්ද්‍රව චන්ද්‍රයාගේ ගමන් මාර්ගය දින 29 පමණ වූ කාලය තුල සූර්ය ආලෝකය පරිපුර්ණ ලෙස චන්ද්‍රයා මත වැටෙන ආකාරයට සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා පිහිටීමේ විශේෂ අවස්ථාව, පොහොය දිනය ලෙස සලකන්න පුළුවන්. මේ අවස්ථාවේ පුර්ණ චන්ද්‍රයා දිස්වීම පුර පොහොය දවස ලෙස අපි සලකනවා. මෙම පිහිටීම නිසා ස්වභාවධර්මයේ මෙන්ම පුද්ගල, සත්ව චර්යාවන්ගේ යම් වෙනස්කම් සිදුවීම අපිට දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස, පොහොය දිනයක මුහුදේ කැළඹීම, රළ නැඟීමේ ඉහළ යාම දකින්න පුළුවන්. ඒ වගේම සත්වන්ගේ ක්‍රියාකාරකම් වල යම් උද්යෝගීබවක් පොහොය දිනයක අපට දකින්න පුළුවන්. සමහර විස සහිත සත්වයින්ගේ විෂ උග්‍ර වීම, ඒ වගේම සමහර සත්වයින් උඩු බිරීම ආදී විශේෂ හැසිරීම පෙන්වනවා. පුද්ගලයෙක්ගේ හැසිරීම් දිහා බැලුවත්, අපට ඒ විශේෂ හැසිරීම දකින්න පුළුවන්, විශේෂයෙන් සාමාන්‍ය කටවහරේ කියනවා, පොහොය දිනයක සමහර අයකුගේ උමතු බව වැඩිවෙනවා කියල. ඒ විතරක් නෙවෙයි, යම් ආදරය වැනි හැඟීම් උද්දීපනය වීම විතරක් නෙවෙයි, යම් වෛරී හැඟීම් පවතිනවනානම් එයත් උද්දීපනය වීම දකින්න පුළුවන්.

එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙර උන්වහන්සේගේ උත්පත්තිය පිණිස පස්මහ බැළුම් (කාලය, දීපය,දේශය, කුලය, මව්)  බලනවා කියල ධර්මයේ විස්තර කරනවා. එතනදී කාලය විදිහට අපි දකිනවා උන්වහන්සේගේ උපත පොහොය දවසක සිදුවෙලා තියෙනවා, උපත විතරක් නෙවයි, බුද්ධත්වය, පරිනිර්වාණය වගේ සුවිශේෂී සිදුවීම් රාශියක් මෙලෙස පොහොය දිනය තුලම තෝරා ගැනීම සඳහා, පොහොය දිනය විශේෂ වෙලා තියෙනවා.

එක හේතුව විදිහට, අපිට දකින්න පුළුවන් පුද්ගලයාගේ කායික සහ මානසික ක්‍රියාකාරීත්වයේ යම් උත්තේජනයක්, යම් වර්ධනයක් පොහොය දවස තුල ලබා ගැනීමට පුළුවන් කමක් තියෙනවා. පුද්ගලයන් මෙන්ම අජීව සියලු ස්වභාව ධර්මයන් නිර්මාණය වෙලා තියෙන්නේ ශක්තීන් මත, පොහොය දිනයේ දී පෘථිවි

ගුරුත්වාකර්ෂණය ප්‍රභලතාවය අභිබවා චන්ද්‍රයා මත යම් ගුරුත්වාකර්ෂණය බලශක්තියේ යම් නැඟීමක් දකින්න පුළුවන්. ඒ තුල ශක්තීන්ගේ යම් විපර්යාසයක් වන බව තේරුම් ගන්න පුළුවන්.

සම්බුදුරාජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුවත් උන්වහන්සේ ශ්‍රාවකයන්ගේ ආධ්‍යාත්මික වර්ධනය පිණිස පොහොය දවස තෝරා ගැනීම තුල, පුද්ගලයාගේ චිත්ත ශක්තිය වර්ධනය කරගැනීමට පොහොය දවස උපකාරී කරගෙන ඇති බව තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නොවේ, විශේෂයෙන් පුර්ණ චන්ද්‍රයාගෙන් නික්මෙන ආලෝකය රාත්‍රී කාලයේම පැවතීම තුල බොහෝ පිරිසක් ඒකරාශී කරගැනීමත්, රාත්‍රී කාලයම අධ්‍යාත්මික ගුණයන් වර්ධනය කරගැනීම පොහොය දවස උපයෝගී කරගත්තා.

ඒ වගේම, පොහොය දිනයකදී භාවනා ආදී අභ්‍යාසයන් ප්‍රගුණ කරන කෙනෙකුට එම භාවනාව මනාකොට සංවර්ධනය කරගැනීම කල හැකියි. ඒ වගේම සියළු යහපත් හැඟීම තීව්ර කරගැනීමට පොහොය දවස සුවිශේෂීයව උපයෝගී කරගන්න පුළුවන්.

පොහොය දිනයේ සිල් සමාදන් වීමේ අරමුණ කුමක්ද?

කලින් සාකච්ඡා කල වගේ, ඔබ තුල යම් ගුණ ධර්මයක් පවතිනවනම් එය තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන් විශේෂ දවසක් ලෙස පොහොය දවස හඳුන්වන්න පුළුවන්. බෞද්ධයන් විදිහට අප නිති පන්සිල් සමාදන්ව කටයුතු කරන නිසා, අපට පුළුවන් නම් ඊටත් එහා සීලයක් සමාදන් වෙන්න, එය ඔබේ ජීවිතයට යම් දියුණුවක් ලබාදෙන්න, යම් ජීවිත තෘප්තිමක් ලබාදෙන්න පුළුවන් වෙනවා. ඊටත් වඩා ජීවිතය පිලිබඳ ගැඹුරින් කල්පනා කරන්න එහි සත්‍යතාවය විමර්ශනය කරන්න අපිට යම් කාලයක්, පරිසරයක්, යම් විවේකයක් අපි හදාගන්න ඕන. එම විවේකය කායික වශයෙන් මෙන්ම මානසික වශයෙනුත් අපි හදාගන්නට ඕන. ඒ සඳහා තමයි අපි සීලයක සමාදන් වෙන්නෙ. ‘පොහොය’ කියන වචනයට පාලි භාෂාවෙන් කියන්නේ ‘උපෝසථ’ කියල. උපෝසථ යනු ‘උපවාස’ කියන අර්ථයත් තියෙනවා. උපවාස කියන්නේ වාරණය කරනවා කියන අර්ථයයි. මොනවද වාරණය කරන්නේ? ආහාර වාරණය වෙන්න පුළුවන්. මොනවද මේ ආහාර? ධර්මයේ සඳහන් වෙනවා සතර ආහාරයන් පිළිබඳව. මොනවද මේ සතර ආහාරයන්? සරලව විස්තර කරනවා නම් ඇසට වර්ණයන් ආහාරයක්, කනට ශබ්ද ආහාරයක්, දිවට රසය ආහාරයක්, නාසයට ගන්ධය ආහාරයක්, කයට පහස ආහාරයක්, මනසට විවිධ මනෝ සංකල්පයන් ආහාරයක්. එහෙනම් වාරණය කරන්නේ ඔබේ ඉන්ද්‍රීයයන්. උපොසථ සීලය කියන්නේ එහෙනම් ඉන්ද්‍රීය වාරණය කිරීම. එය ඔබ පංච සීලයකට වඩා ගැඹුරින් ප්‍රගුණ කරමින් කෙනෙකුගේ චිත්ත විවේකය, සමාධිය වර්ධනයට දායක කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එම චිත්ත විවේකය තුලින් ජීවිතය පිළිබඳව පහසුවෙන් ගැඹුරින් විමර්ශනය කරන්න එම පරිසරය හේතු කරගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරි සාකච්ඡාවකදී ඒ පිළිබඳවත් විස්තරාත්මකව සිදුකරමු.

උපාසක සහ උපාසිකා නමින් සිල්සමාදන් වූ අය හැඳින්වීමේ විශේෂත්වය කුමක්ද?

‘උපාසක’ යන අර්ථය තුල උපායට අනුව සකස්වන යන අදහස තියෙනවා. ඉන්ද්‍රීය සංවර කර ගැනීම පිණිස උපායශීලීයව කටයුතු කිරීමට වීර්ය කිරීම  පොහොය දවසේ සිල සමාදන් වූ උපාසක සහ උපාසිකාවන්ගේ විශේෂත්වයයි. ඒ විතරක් නෙවෙයි, අපි හැමෝම විවිධ නම්ගොත් වලින් ආමන්ත්‍රණය  කරගැනීම තුල පුද්ගලභාවය ඉස්මතු වීම වැළක්වීමේ උපායක් විදිහටත් පොදුවේ සෑම දෙනාම උපාසක සහ උපාසිකා නමින් හඳුන්වනු ලබනවා. උදාහරණයන් විදිහට, භික්ෂුවක් පැවදි වීමට කලින් විවිධ නම්ගොත් වලින් හඳුන්වනු ලැබුවත්, පැවදි බව සමඟ උන්වහන්සේට වෙනම පැවිදි නාමයක් ලබාදෙන්නේ, ගිහි ගතිය, ගිහි මතකය ආවර්ජනය වීම වැලැක්වීමත්, පැවදි බව නිරතුරුව ස්මරණය කිරීම පිණිසත්ය. ඒවගේම උපාසක සහ උපාසිකා නමින් තමන් කල්පනා කිරීම තුල. එදා දවසේ ගිහිගෙවල් වල කටයුතු කරමු ඒ හැඟීම්, එදා දවසට අමතක කරන්නත්, තමන් එදා දවස තුල උතුම් ගුණ වර්ධනය කිරීමේ උපාය සොයමින් කටයුතු කරන්න පහසු කරන්න මෙම ආමන්ත්‍රණය උදව් වෙනවා.

පොහොය දිනයේ සිල් සමාදන් වීමේ වැදගත්කම”

පිළිබදව ඉතාමත් වටිනා කරුණු කිපයක් ධර්මානුකූලව විස්තර කර කියා දෙන්න “අපි” සගරාව සමග සම්බන්ධ වීම පිළිබදව අපගේ ගෞරවපූර ස්තුතිය රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!

පහත සදහන් මාධ්‍යයන් ඔස්සේ රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්බන්ධවි “භාවනා වැඩසටහන් පිළිබදව” තොරතුරු දැන ගැනිම ඔබට පුලුවන.

Contact (SL): +94 763229860

Contact (UK): +44 7525843376

Email: rideekanda@gmail.com

Web: www.rideekanda.com
අමා නාකන්දලගේ

තිලෝෂි ප්‍රනාන්දු

තිලෝෂි ප්‍රනාන්දු කියන්නේ කවුද ඔයාගේ වචනයෙන් කිව්වොත්?

මාව නිර්වචනය කරන්න ඇත්තටම දන්නේ නැහැ මම. නමුත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක් කියලා කියන්න පුලුවන්.

තිලෝෂිගේ පවුලෙ විස්තර ගැන ටිකක් කතා කලොත්?

අම්මා සහ මල්ලී ඉන්නවා . දැන් මගේ Husband, පුතා, දුව එක්ක එංගලන්තයේ ජීවත් වෙනවා.

කොහොමද මෙච්චර ලස්සනට වචන ගළපන්නේ, කොයි කාලයේදීද ලියන්න පටන්ගත්තෙ?

ලියන්න පටන් ගත්තේ… ම්.. සාමාන්‍ය පෙළ කරන කාලේ වගේ මම මගෙ හොඳම මිතුරිය නිසදැස් ලියනවා බලලා ආසාවට ලියන්න ගත්තා. ඊට පස්සේ ඒක හරිම naturel දෙයක් උනා. මගේ තාත්තාගෙ පැත්තෙන් ඒක එන්න ඇති කියලා මම හිතනවා. මොකද මගේ නැන්දා ට සහ අයියට හොඳට ලියන්න පුළුවන්. මට ඒ ආභාෂය තියෙනවා කියලා මම හිතනවා . උසස් පෙළ කරන කාලේ කෙටි කතා ලියනවා. අම්මාට තමයි කියවන්න දීලා හොඳ නරක අඩු පාඩු අහ ගන්නේ. ඒ වගේම උසස් පෙළ අවසන් ව්‍යාපෘතිය සඳහා කලෙත් නිසදැස් එකතුවක් . ඉතින් එහෙම ටික ටික ලියන්න පටන් ගත්තා.

ඔබ ආඩම්බර වන  ඔබ ලියා ඇති හොදම නිර්මාණය .

මම ලියපු මුල්ම ලමා කතාව “සිංහ පැංචා” ඒක ලිව්වේ මගේ පුතාගෙ පලමු වන උපන්දිනය වෙනුවෙන්. 

මම හරිම කැමතියි ඒ පුංචි කතාවට.

පොඩි අයට  ලියන්නේ විශේෂයක් තියෙනවද?

මම ප්‍රාථමික අංශයේ ගුරුවරියක්.  කුඩා දරුවන් එක්ක වැඩ කරන්න තියන්නෙ. ගොඩක්ම කියවන්න ලැබෙන්නේ ලමා කතන්දර. ඉතින් මට කිසිම වෙහෙසක් නැතිව ලමා කතා ලියන්න ඉඩ හසර ලැබෙනවා. ඒ වගේම මගේ පුතා, දුව ඉන්න නිසාත් වෙන්න ඇති හරිම ආසාවෙන් ඒ කතා ලියනවා.

පොඩි අයට හොඳ නරක කියලා දෙන්න පුලුවන් හොඳම මාර්ගයක් තමයි ලමා කතන්දර. මේ හැම කතාවක්ම ඉතාම සරලව වගේම හොඳ පුරුදු සහ ගුණ ධර්ම දියුණු කිරීම ගැන ලියන්න මම උත්සාහ කරනවා. කතාව කියවලා, අහලා පුංචි ම හොඳ දෙයක් හරි දරුවන් එයාලගෙ ජිවිතයට එකතු කර ගනීවි

කියලා මම විශ්වාස කරනවා.

ඉදිරියේදී තිලෝෂිගේ අලුත් නිර්මාන වෙනම තැනකට ගේන්න අදහසක් නැත්ද?

ඔව් ඇත්තටම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ලමා කතන්දර පොතක් එළි දක්වන්න. මේ දවස් වල ඒ ගැන තොරතුරු එකතු කරමින් ඉන්නවා.

මිනිස්සුන්ට කියවීම ලිවීම තව දියුණු කරගන්න ඔයාට දෙන්න පුළුවන් උපදෙස් මොනවද?

උපදෙස් දෙන්න තරම් ලොකු දැනුමක් නම් නැ මට නමුත්, අපි කැමති දෙයක් ටික ටික ලියන්න කියවන්න පුරුදු උනා නම් හොඳයි. අපි අපේ කැමති අංශයන් මොනාද කියලා හඳුනාගෙන

ඒ අනුව ඊට අදාල පොත් පත් කියවන්න පටන් ගන්න පුළුවන්. තමන් කැමති දේ මූලින් ම කියවන්න ලියන්න. එක පිටුවක් දවසට කියවන්න පුරුදු උනා නම්, ක්‍රමානුකූලව කියවන්න ඉබේම පුරුදු වෙනවා. අපිට හිතෙන සහ දැනෙන දෙයක් ලියන්න පටන් ගත්තා නම් ඒකත් එහෙමයි. හරිම නිදහසක් සැනසීමක් දැනෙනවා කියවීම ලිවීම තුළින්.

පොඩි අයට කියවීමට පුරුදු කරවන්න  තිලෝෂි ළඟ තියෙන tricks මොනවද?

හොඳ ප්‍රශ්නයක්. මම දැනට කරන සහ සාර්ථක උන trick එකක්‌ කියන්නම්.

කතාව කියවද්දී ඒ චරිතයට අදාළව හඬ වෙනස් කරමින් කතාව කියලා දෙන විට ඒක හරිම රසවත් වෙනවා කුඩා දරුවන්ට. එයාල හරිම කැමැත්තෙන් සහ උනන්දුවෙන් අහන් ඉන්නවා.

ඒ වගේම අපිට පුලුවන් කතන්දරයට අදාළව එහි ඉන්න චරිත අත් මේස් සහ සමාන්‍ය මේස් යොදා ගෙන නිර්මාණය කරන්න.මේස් puppet එකක් හදා ගන්න පුළුවන්. පොඩි අයට කියලම පාට කරලා හෝ ඇස් දෙකක් කටක් මේස් එකේ අලවන්න කියලා එය තවත් විනෝදය පිරි ක්‍රියාකාරකමක් කර ගන්න පුළුවන්. අත් මේස් එකෙන් ඇඟිලි පහට එක එක චරිත අපට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්. කුඩා දරුවන් හරිම ආසාවෙන් එය රස විඳිනවා නොඅනුමානයි.

අපි Magazine එකට සම්බන්ධ වීම ගැන අද දැනෙන දේ කිව්වොත්.:

ඇත්තටම ඒක අහම්බයක්. මට හරිම සතුටු හිතුනා එංගලන්තයේ මෙහෙම සිංහල මැගසින් එකක් දකිද්දි. ගයාන් සහෝදරයා මට මේ අවස්ථාව දීපු එක මම ගොඩක් අගය කරනවා හැම විටම. මොකද මුලින්ම කතා කරලා මැගසින් එකට ලමා පිටුවක් හදමු කියලා යෝජනා කරද්දී මම එකම එක ලමා කතාවක් විතරයි ලියලා තිබ්බේ. ඉතින් අපි මැගසින් එකට ලියන්න ආසාවෙන් එකතු උන නිසාම මට පුංචි සරල ලමා කතා ලියන්න හුරු උනා. එ හැම කතාවක්ම කියවද්දි මම පුදුම ආත්ම තෘප්තියක් ලබනවා. ඉතින් මම හිතන්නේ මගේ වාසනාවට මට අපි මැගසින් එකට එකතු වෙන්න පුළුවන් උනේ කියලා. මොකද හරිම ලස්සනට ලිපි,නවකතා ,කෙටි කතා , සහ කාලීන මාතෘකා ලියන ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ලේඛකයන් ඉන්න Team එකකට එකතු වෙන්න ලැබුන එක හරිම භාග්‍යයක්.බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තාට.

හරිම ආදරෙන් සුබ පතනවා අපි මැගසින් එකට සහ ප්‍රධාන කර්තෘ ගයාන් කරුණාරත්න සොයුරාට ඉතාමත් හොඳින් අපි මැගසින් එක කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.