2026-01-30

ඩූම්ස්ක්‍රෝලිං (Doomscrolling) අඳුරු ආකල්පයය

ඇතැම් රටවල් වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම්
කිරීමේ අණ පණත් හඳුන්වා දෙමින් සිටියි. එය මේ ඩිජිටල් යුගයේ තරුණ පරපුර
අතර නිහඬව පැතිර යන නව අඳුරු පුරුද්දක් සහ ආකල්පයක් මැඬ පැවැත්වීමට
යම් තරමකින් හෝ උපකාර කරනු ඇත. එය doomscrolling ලෙස හඳුන්වන,
අසත්‍ය, බියජනක, අඳුරු පුවත් සහ සමාජ මාධ්‍ය අන්තර්ගතය නිරන්තරයෙන්
පහළට යමින් සළකා බැලීමේ පුරුද්ද සහ ඒ මඟින් තමන් දකින ලෝකය අඳුරු
ලොවක් වේවා යනුවෙන් බැලීමේ ආකල්පයයි. මුලින්ම එය පුරුද්දක් වන අතර
ආකල්පයද එයින් බිහිවේ.
බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, මෙය සුන්දර ළමා සිත් අඳුරු කරන මානසික
ගැටළු ඇතිකරන අකුසල චිත්ත ඇති කරයි. ගැඹුරින් බැලීමේදී doomscrolling
කෙලෙස් (කිලේස) වලින් සිත පුරවන අතර සන්තානයේ නිදාසිටින අභ්‍යන්තර
යක්ෂයන් වන අනුසය (dormant destructive forces) පෝෂණය කරයි. අනුසයවල
ස්වභාවය නම් පුද්ගලයාට නොදැනී ඔහුව අනුසය විසින් පාලනය කරනු ලැබීමයි.
ඩූම්ස්ක්‍රෝලින් තුළින් පමණක්ම තම ජීවිතය සහ ලෝකය දෙස බලන දරුවන් මට
හමුවී තිබේ. ඒ මනෝ උපදේශනය සඳහා ඔවුන් හමුවූ විට ය.
බෞද්ධ මනෝවිද්‍යාවට අනුව, මනස නැවත නැවත සිදු කරන දෙයින් අවධානය,
ඇබ්බැහිවීම සහ අත් හදා බැලීමේ ජීවන රටාව නිර්මාණය වේ. අඳුරු හා
විරෝධාත්මක පුවත් සහ ක්‍රීඩා නිරන්තරයෙන් දකිමින් සිටීමෙන් සැකය, කෝපය,
සහ පළිගැනීම වර්ධනය වේ. මේ නිසා ඇතිවන නිශේධාත්මක මානසික පෙරලිය
පාප විතක්ක ලෙස හැඳින්වේ. පාප විතක්ක තුළින් සිදුකරන ඝාතන ආදි අපරාධ,
විශේෂයෙන්ම බාලවයස්කාරයන් විසින් සිදුකරන ඒවා සඳහා පැහැදිලි හේතුවක්
අවශ්‍ය නොවේ. තනියම හෝ කණ්ඩායමක් ලෙස එම අපරාධ සිදුකිරීමේදි ඔවුනට
අවශ්‍ය වන්නේ පහසු ඉළක්කයක් පමණි. අපරාධ වාර්තා අනුව ඇතැම් දරුවන්ට
අවශ්‍ය වූයේ තමන් ඩූම්ස්ක්‍රෝලින් තුළින් දුටු දේ අත් හදා බැලීම පමණි.
බ්‍රහ්මවිහාර හෙවත් මිනිස් ජීවිතය තුළ දෙවියන් බිහි කරන මෙත්තා
(unconditional universal love), කරුණා (compassion, empathy for others), මුදිතා
හෙවත් අනුන්ගේ දියුණුවේදී සතුටුවීම (altruistic joy) සහ උපෙක්ඛා (emotional
balance before life situations) ජනප්‍රිය කරවන දේ සමාජ මාධ්‍ය තුළ විරල ය.
ප්‍රාථමික වයසේ දරුවන්ට හාවා සමඟ සෙල්ලම් කරන සිංහයා හෝ කොටියා
සිටින වැඩ සටහන් තිබුණද භද්‍ර යෞවනත්වයට පත්වන දරුවන් සඳහා ඇත්තේ
ඩූම්ස්ක්‍රෝලින්වලින් පිරිණු දේ ය. මාර්ගගත ක්‍රීඩා (online games) ඒ අතර
ප්‍රධාන ය.

දින කීපයකට පෙර වයස 14 – 15 ක දරුවන් 26 දෙනෙකු සඳහා වැඩ මුළුවක්
කළෙමි. ඒ අය අතරින් 5 දෙනෙකු සිටියේ ඩූම්ස්ක්‍රෝලින් නිසා තමන්ගේම
සහෝදරයාට හෝ සහෝදරියට පහරදීමේ ආකල්පයකිනි. සහජයෙන්ම එන sibling
rivalry හෙවත් සහෝදර සහෝදරියන් අතර ඇතිවන තරඟමය ආකල්පයට සහ
sibling jealousy due to parental attention හෙවත් මව්පියන්ගේ අවධානය අඩුවීම
නිසා සහෝදර සහෝදරියන් අතර ඇතිවන ඉරිසියාවට ඩූම්ස්ක්‍රෝලින් ඉන්ධන
සපයයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මනස නිතර යොමු කරන දේ අනුවම හැඩ
ගනී.
එබැවින්, මනසට ආලෝකය දෙන දේ තෝරා ගැනීම ධර්මමාර්ගයේ අත්‍යවශ්‍ය
පියවරකි. එම මාර්ගය පෙන්වීම මේ ඩිජිටල් යුගයේදී දුෂ්කර වුවත් එය
මව්පියන්ගේ සහ භාරකාරයන්ගේ වගකීමයි. බොහෝ මව්පියෝ ටැබ්
පරිගණකයක් හෝ ස්මාට් ෆෝන් දරුවන්ට දී දරුවන් නිහඬ කිරීම parenting
හෙවත් දරුවන් හැදීම යැයි සිතති. ඒ parenting නොව දරුවාට අඳුරු ලෝකයකට
යාමට මඟ පෙන්වීමක් විය හැකිය.
මේ මව්පියන් අවදි වියයුතු කාලයයි.


සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක 
ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

2026-01-29

සැබෑ නායකයා

“දෙවියන් වහන්සේ කැඳවන්නේ වයසින් නොව, හදවතින් නායකත්වයට”

(1 තිමෝති 4 : 12)
" නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත්
ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක්
වෙයන්න."

අද අපි ජීවත් වන්නේ නායකත්වය අර්ථකථනය වීම අර්බුදයකට පත්
වූ යුගයකය.
බොහෝ අය සිතන්නේ නායකයෙක් වීමට වයස, තනතුර, හෝ බලය
තිබිය යුතුය කියාය.
නමුත් දෙවියන් වහන්සේගේ වචනය අපට පැහැදිලිව කියාදෙන්නේ
සත්‍ය නායකත්වය එන්නේ හදවතින් හා චරිතයෙන් බවයි.

1. දෙවියන් වහන්සේ තරුණයන් භාවිතා කරයි

(ජෙරමියා 1 : 7 – 8)
"නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින්
නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියාපන්න.
ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමග සිටිමියි
ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක."

දෙවියන් වහන්සේ අපගේ වයසට වඩා බලන්නේ
✔️ අපගේ කැමැත්ත
✔️ අපගේ යටත්වීම

✔️ අපගේ විශ්වාසය

2. නායකත්වය ආරම්භ වන්නේ චරිතයෙන්

(හිතෝපදේශ 4 : 23)
"සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න; මක්නිසාද එයින් ජීවනය
නික්මෙන්නේය."

තරුණ නායකයෙක් වීමට
• හොඳ කථාව
• පවිත්‍ර ජීවිතයක්
• ආදරයෙන් පිරුණු හැසිරීමක්
• දෙවියන් වහන්සේට විශ්වාසවන්ත බව

මිනිසුන් ඔබ අසන්නේ නැති වෙලාවලදීත්, ඔබ ජීවත්වන ආකාරයයි
සත්‍ය නායකත්වය.

3. නායකයෙක් යනු සේවකයෙකි

(මතෙව් 20 : 25 – 27)

"නුමුත් යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: අන්‍යජාතීන්ගේ
ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන්
කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. නුඹලා අතරේ එසේ නොවන්නේය.
නුඹලා අතරේ යමෙක් උතුම් වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා
වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානයා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ
දාසයා වන්නේය."

යේසුස් වහන්සේ නායකත්වය පෙන්වූයේ
�� සිංහාසනයකින් නොව
��‍♂️ පාද සේදීමෙන්ය.

තරුණ නායකයෙකු වීමට කැමති නම්, පළමුව සේවකයෙකු වීමට
සූදානම් වන්න.

තරුණ නායකයාණනි,
දෙවියන් වහන්සේ ඔබව අදම කැඳවයි.
හෙටට නොව — අද.

“දෙවියන් වහන්සේ මට භාර දී ඇති ස්ථානයේ, මම විශ්වාසවන්තව,
පවිත්‍රව, ආදරයෙන් නායකත්වය ගන්නෙමි”

අවසානය

(පිලිප්පි 4 : 13)

"මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන."

2026-01-28

ආදරවන්තයන්ගේ දිනය – ආදරය, සෙනෙහස සහ මානව සබඳතා සැමරෙන දිනය

පෙබරවාරි 14 වන දින ලොව පුරා ජනතාව විසින් සැමරෙන ආදරවන්තයන්ගේ
දිනය (Valentine’s Day) ආදරය, සෙනෙහස, විශ්වාසය සහ මානව සබඳතා
වටිනාකම මතක් කරවන විශේෂ දිනයක් වේ. මෙම දිනයේදී පෙම්වතුන් තම
ආදරණීයයන්ට ආදරය ප්‍රකාශ කිරීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරති. මල්,
චොකලට්, තෑගි, සුභ පැතුම් කාඩ්පත් සහ ආදරණීය පණිවිඩ හුවමාරු කිරීම මෙම
දිනයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අංගයන් වේ.

ආදරවන්තයන්ගේ දිනයේ ඉතිහාසය පුරාණ රෝම යුගය දක්වා දිව යයි. ශාන්ත
වැලන්ටයින් නම් පූජකවරයෙකු මෙම දිනයට සම්බන්ධ ප්‍රධාන චරිතය ලෙස
සැලකේ. රෝම අධිරාජ්‍යයා විසින් සොල්දාදුවන්ට විවාහ වීම තහනම් කර තිබූ
කාලයක, ශාන්ත වැලන්ටයින් ආදරයෙන් බැඳුණු යුවළන්ට රහසිගතව විවාහ කර
දීම සිදු කළ බව කියවෙයි. ඒ හේතුවෙන් ඔහු දඬුවම් ලැබ මරණයට පත් වූ අතර,
ඔහුගේ කැපවීම සහ ආදරය වෙනුවෙන් කළ පූජාව මතක් කරමින් මෙම දිනය
ආදරය සැමරෙන දිනයක් ලෙස හඳුනාගෙන ඇත.

වර්තමාන සමාජයේදී ආදරවන්තයන්ගේ දිනය වෙළඳාමටද දැඩි ලෙස සම්බන්ධ වී
ඇති දිනයක් බවක් පෙනේ. වෙළඳසැල්, හෝටල් සහ විවිධ ආයතන මෙම දිනය
ආශ්‍රිතව විශේෂ ප්‍රචාරණ වැඩසටහන් සංවිධානය කරති. එහෙත්, ආදරය
කියන්නේ මුදල් හෝ වටිනා තෑගි මත පදනම් වූ දෙයක් නොව, හදවතින් හදවතට
ගලා යන සත්‍ය හැඟීමක් බව අප මතක් කරගත යුතුය.

ආදරය යනු පෙම්වතුන් අතර පමණක් සීමා වන හැඟීමක් නොවේ. මව්පියන්ගේ
ආදරය, ගුරුවරුන්ගේ කැපවීම, මිතුරන්ගේ සෙනෙහස සහ සමාජයේ එකිනෙකාට
දක්වන කරුණාවද ආදරයේ විවිධ ආකාර ලෙස සැලකිය හැක. එබැවින්
ආදරවන්තයන්ගේ දිනය අපට අපගේ ජීවිතයට වටිනාකම එක් කරන සියලු
දෙනාට ස්තූතිය පළ කිරීමටත්, ඔවුන්ට අපගේ සෙනෙහස පෙන්වීමටත් හොඳ
අවස්ථාවක් වේ.

අවසානයේදී, ආදරවන්තයන්ගේ දිනය අපට උගන්වන්නේ ආදරය කියන්නේ එක්
දවසකට පමණක් සීමා කළ හැකි දෙයක් නොව, සෑම දිනකම ක්‍රියාවලියෙන්

පෙන්විය යුතු අගනා ගුණාංගයක් බවයි. එකිනෙකාට ගරු කිරීම, තේරුම් ගැනීම
සහ සමාව දීම තුළින් සත්‍ය ආදරය පෝෂණය කළ හැකි අතර, එවැනි ආදරයක්
ඇති සමාජයක් බිහිකිරීමට මෙම දිනය අපට ආශ්වාදයක් විය හැක.
අහිමි හිමිකරු

2026-01-21

වික්ටෝරියා ස්පොන්ජ් කේක්

සුභ නව වසරක් සහ 2026 ට සාදරයෙන් පිළිගනිමු! ඔබ සැවොම අපූරු උත්සව
සමයක් ගත කරන්නට ඇතැයි බලාපොරොත්තු වෙමි. මා දැන් වසර දෙකක් තිස්සේ
කේක් පිළිබදව ලියමින් සිටින අතර, පළමු වසරේ අපගේ තේමාව ශ්‍රී ලංකා කේක්
වට්ටෝරු වූ අතර පසුගිය වසරේ අපි ලොව පුරා කේක් වර්ග ආවරණය කළෙමු.
2026 සඳහා, අපගේ වට්ටෝරු නැවත එක්සත් රාජධානියට ගෙන ඒමට මම
තීරණය කළෙමි. මෙම වසරේ, අපි බ්‍රිතාන්‍ය උරුමයක් සහිත විවිධ කේක්
ගවේෂණය කරන්නෙමු. වසර ආරම්භ කිරීම සඳහා, අපි බොහෝ සෙයින් ආදරය
කරන වික්ටෝරියා ස්පොන්ජ් කේක් දෙස බලමු.
වික්ටෝරියා ස්පොන්ජ් යනු බ්‍රිතාන්‍යයේ වඩාත්ම සංකේතාත්මක කේක් එකක්
වන අතර එය වික්ටෝරියා රැජිනගේ නමින් නම් කර ඇත. ඇය ඇගේ දහවල් තේ
සමඟ කේක් පෙත්තක් අනුභවයට ප්‍රිය කළ අතර, එය ඉක්මනින් 19 වන සියවසේ
සංකේතයක් බවට පත්විය. එම යුගයේ ඝන පලතුරු කේක් මෙන් නොව, ස්පොන්ජ්
කේක්, වාතය සහිත, සැහැල්ලු සහ සැමරුම් සහිත විය – මහා මංගල්‍යයන්ට වඩා
එදිනෙදා ප්‍රීතිය සඳහා එය කදිම කේක් එකක්.
අවශ්‍ය අමුද්‍රව්‍ය:
* සෙල්ෆ්‍ රේසිං පිටි ග්‍රෑම් 200
* කැස්ටර් සීනි ග්‍රෑම් 200
* බටර් ග්‍රෑම් 200
* බිත්තර 4
* බේකිං කුඩු තේ හැඳි 1
* රාස්ප්බෙරි ජෑම් මේස හැඳි 3
* ඩබල් ක්‍රීම් 150ml, විප්ඩ්
සාදන ක්‍රමය:
1. උඳුන 180°C ට කලින් රත් කරන්න. 20cm ටින් දෙකක් බටර් ගා සකස් කරන්න.
2. බටර් සහ සීනි ලාපැහැ වන තුරු ක්‍රීම් කරන්න. බිත්තර එකින් එක එකතු
කරන්න.
3. පිටි + බේකිං කුඩු එකතු කරන්න.
4. ටින් වලට බෙදන්න, විනාඩි 20-25 අතර කාලයක් පුළුස්සන්න.
5. පුළුස්සා ගත් කේක් එක සිසිල් කර ජෑම් සහ ක්‍රීම්, සැන්ඩ්විච් එකට ආලේප
කරන්න. ඉන්පසු අයිසිං සීනි ඉසිය යුතු ය.

පිළිගැන්වීමේ ක්‍රමය : නවීන අලංකාරයක් සඳහා නැවුම් බෙරි හෝ ආහාරයට ගත
හැකි මල් වලින් සරසා ගන්න.
විශේෂ ඉඟි:
* අමුද්‍රව්‍ය හරියටම කිරා මැන බලන්න.
* බටර් සහ සීනි ලාපැහැ වන තුරු ක්‍රීම් කරන්න.
* පිටි එකතු කළ පසු වැඩිපුර මිශ්‍ර නොකරන්න.
* ස්ථාවර 180°C දී පිළිස්සීම.

චාරුණී පෙරේරා