‘පාණ්ඩුව’ යනු රෝගී තත්ත්වයක් ද?

මිනිස් සිරුරේ කායික වර්ධනය මෙන්ම බුද්ධි වර්ධනය සඳහා යකඩ අත්‍යවශ්‍ය පෝෂකයකි. එමෙන්ම රුධිරයේ ප්‍රධාන සංඝටකයක් වන හිමොග්ලොබින් නිපදවීම සඳහා යකඩ අත්‍යවශ්‍ය වේ. යකඩ, විටමින් B12 හා ෆෝලික් ඇසිඩ් යන සංඝටකයන් රුධිරයේ රතු රුධිරාණු නිපදවීමට මූලික වන අතර මෙම සංඝටකයන්ගේ ඌනතාවය මිනිස් සිරුරේ නොයෙක් සංකූලතා ඇතිකිරීමට හේතු වේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරණායක වලට අනුව රක්තහීනතාවය නොහොත් නීරක්තිය යනු රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය පුරුෂයන් සඳහා 13.0g/dL වඩා අඩුවීමත්, කාන්තාවන් සඳහා 12.0g/dL වඩා අඩුවීමත් නිසා වන රෝගී අවස්ථාවකි.

රක්තහීනතාවය ඇතිවීමට බොහොමයක් හේතූන් හේතුසාධක වුවද ඇතැම් ජාතීන්ට අනුව හා පරිසර තත්ත්ව වලට අනුවද මෙම සාමාන්‍ය අගයන්ගේ වෙනස් වීම් දැකිය හැකි නමුත් එවැනි අවස්ථාවලදී එය රෝගී තත්ත්වයක් ලෙසට නොසැලකේ. 

ගර්භණී කන්තාවන්ගේ රුධිරගත හිමොග්ලොබින් අගය 11.0g/dL මට්ටමට වඩා වැඩි වීම සතුටුදායී තත්ත්වයක් වුවත් ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වීම ගර්භණී කාලයේදී නොයෙකුත් සංකූලතා ඇති කලහැකි බැවින් ඒ පිලිබඳ අවධානය ලබාදීම අතිශය වැදගත් ය.

රුධිරගත හිමොග්ලොබින් හෝ රතු රුධිරාණු ප්‍රමාණවත් තරම් නොමැතිවීම රක්තහීනතාවය නොහොත් ඇනීමියාව ඇතිවීමට ප්‍රධානතම හේතුවයි. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය ප්‍රමාණාත්මකව ඉහළ අගයක පැවතීමෙන් ආශ්වාසයේදී පෙනහලු මඟින් හුවමාරු වන ඔක්සිජන් වැඩි වශයෙන් රුධිරය ඔස්සේ පටක කරා පරිවහනය හා කාබන්ඩයොක්සයිඩ් හුවමාරු කිරීමේ හැකියාව

මැනවින් පවතී. එබැවින් රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය නියමිත මට්ටමේ පැවතීම අතිශය වැදගත් ය.

රක්තහීනතා ලක්ෂණ 

• හුස්ම හිරවීම 

• හුස්ම ගැනීමේ අපහසුව (කෙටි හුස්ම ගැනීම)

• හිසරදය

• ආහාරමය නොවන ආගන්තුක ද්‍රව්‍යය ආහාරයට ගැනීමට රුචිකත්වයක් ඇතිවීම

• නොරිස්සුම් ස්වභාවය

• ආහාර රුචිය හීනවීම

• ශරීරය සුදුමැලිවීම 

• පපුවේ වේදනාව වැනි රෝගී තත්ත්වයන් රක්තහීනතාවයෙන්/ නීරක්තියෙන් පෙලෙන පුද්ගලයන් හට නිතර ඇතිවිය හැකිය. 

රක්තහීනතාවය සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක අතුරෙන් යකඩ ඌනතාවය ප්‍රධාන සාධකයක් ලෙසට සැලකේ.

යකඩ ඌනතාවය මඟහරවා ගැනීමට යකඩ අඩංගු ආහාර ආහාරයට එක් කරගැනීම අනිවාර්යය වේ. එපමණක් නොවේ, යකඩ අවශෝෂණය සඳහා විටමින් C බහුල ආහාර කෑමට එකතු කර ගැනීම ද අනිවාර්යයෙන්ම සිදුකල යුතු වේ. නැවුම් එලවළු, පලතුරු ආහාරවේලට එක් කර ගැනීමෙන් විටමින් C අවශ්‍යතාවය සපුරාගත හැකිවන අතර, ප්‍රධාන ආහාරවේල් වලට පසු ඇඹුල් රසැති පලතුරක් ආහාරයට ගැනීම සිදුකල හැකිය. එමෙන්ම මැල්ලුම්, සලාද සඳහා දෙහි එක් කිරීමෙන් ශරීරයට යකඩ අවශෝෂණය වැඩි කිරීම සිදුවේ.

මීට අමතරව විටමින් B12 ඌනතාවය, ෆෝලික් ඇසිඩ් ඌනතාවය, කාලීන රෝගාබාධ, රතු රුධිරාණුවල ව්‍යුහාත්මක විෂමතා, තැලිසීමියා වැනි රෝගහේතූන් නිසාත් රක්තහීනතාවය ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී. 

ආහාර වේල තුල ප්‍රමාණවත් පෝෂණයක් නොමැතිවීම, ආමාශය හා අන්ත්‍ර මඟින් පෝෂක කොටස් නිවැරදි ලෙස අවශෝෂණය සිදු නොවීම, ඇතැම් ඖෂධ භාවිතය, ප්‍රතිශක්තිකරණය දුර්වල කරන ඇතැම් රෝග, වකුගඩු රෝග, පිළිකා, අමාශගත හා අන්ත්‍රගත කල්ගතවූ රෝග අවස්ථාවන්, ඇටමිදුළු සම්බන්ධ රෝග, ගර්භනීභාවය හා මාසික ඔසප්වීම, අර්ශස්, ලේ අතීසාර වැනි අධික රුධිර වහනය වන රෝග අවස්ථාවන් නිසා සිරුර තුල රක්තහීනතා තත්ත්වයක් පහසුවෙන් ගොඩනැගේ.

රෝගී පරීක්ෂාවේදී, සමේ වර්ණය, නාඩි, රුධිර පීඩනය, හෘත් ශබ්ද හා හෘත් ස්ඵන්ධන වේගය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන අතර, රුධිර පරීක්ෂාවක් මඟින් රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය සලකා බලා රෝගය නිශ්චිතව හා පහසුවෙන් හඳුනා ගැනීම සිදුකෙරේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන්  ‘පාණ්ඩු රෝගය’, ඇනීමියාව/ රක්තහීනතාවය නොහොත් නීරක්තිය යන රෝග අවස්ථාවට බොහෝසෙයින් සමාන රෝගී අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යා මූලග්‍රන්ථයන්හි සඳහන් පරිදි සුදුමැලි පාටින් සම යුක්ත වන රෝග තත්ත්වය පාණ්ඩු රෝගය බවත්, රුධිරයේ මද බව හේතුවෙන් පාණ්ඩු වර්ණයක් තොල්, දිව, ඇස් වල පෙන්නුම් කරන බවත් පැහැදිලිව දක්වා ඇත. 

පාණ්ඩු රෝගය සඳහා හේතූන් ප්‍රධාන ලෙස ආහාරමය හේතු, විහරණමය හේතූන් ලෙස ශාරීරික හා මානසික හේතූන් මෙන්ම ඇතැම් බාහිර හේතූන් ප්‍රධානව දැක්විය හැක.

අධික අම්ල, ලවණ අඩංගු ද්‍රව්‍ය , අධික මද්‍ය භාවිතය, අසාත්මික, දූෂිත ආහාර, නොදිරවන ආහාර ගැනීම, දහවල් නිදීම, රාත්‍රී නිදිවැරීම, අධික ව්‍යායාම් වල නිරතවීම, අධික වෙහෙසවීම, උෂ්ණාධික ආහාර, අබ, මිරිස් වැනි තීක්ෂ්ණ බවින් අධික ආහාර ගැනීම, කාම, චින්තා, භය, ක්‍රෝධ, ශෝක යන සිතිවිලි වල නිතර එල්බ සිටීම, පංච කර්ම සිදුකිරීමේ විෂමතාවන් යන හේතූන් නිසා වාතාදී දෝෂ කෝප වීමෙන් රක්තය දූෂණය වී සමේ පඬුවන් වර්ණ ඇති කිරීම පාණ්ඩු රෝගයට හේතු වන බව ආයුර්වේදය තුල දක්වා ඇත.

ඉහත හේතූන්ගෙන් සාධක පිත හා රංජක පිත කෝප වී, ව්‍යාන වාතය මගින් ධමනි ආශ්‍රය කොට මුළු සිරුර පුරා පැතිරගොස් සම හා මාංශ ඇසුරු කරන කඵ දෝෂය, වාත දෝෂය හා රක්ත ධාතුව දූෂණය වීමෙන් සමේ විවර්ණ බව නැතහොත් සුදුමැලිවීම ඇති කර පාණ්ඩු රෝගය හට ගැන්ම සිදු වේ.

මීට අමතරව ඇතැම් රෝග තත්ත්ව පාණ්ඩු රෝගයට හටගැනීමට හේතු වන අවස්ථාවන් ලෙස ද දක්වා ඇත. එනම්, ක්‍රිමි/පණු රෝග, අර්ශස්, රක්තප්‍රදර, රක්තපිත්ත, ග්‍රහණි, රාජයක්ෂ්මා(ක්ෂයරෝගය), යකෘත්-ප්ලීහා රෝග, අතීසාර, මධුමේහ, ජීර්ණ ජ්වර යන රෝග අවස්ථා හේතුවෙන් පාණ්ඩු රෝග තත්ත්වය හට ගැනීමේ අවධානම පවතින බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක ඉගැන්වීමයි.

ආයුර්වේදයේ සඳහන් රක්ත ධාතුව මඟින් ශරීර බලය, වර්ණ ප්‍රසාදනය, ආයුෂ, ජීවනය, මාංශ පෘෂ්ඨිය, අග්නි දීපනය යන ශරීරයේ ප්‍රධාන ක්‍රියා සිදුවේ.

නමුත් පාණ්ඩු රෝගී තත්ත්වය නිසා රක්ත ධාතුව හීන වී ඉහත ක්‍රියාවන්ගේ දුර්වලතා හටගනී. එමෙන්ම ධාතූන්ගේ ක්ෂය වීම් සිදුවන අතර සමේ සිනිඳු බව නැතිවී සම රූක්ෂ වීම, සම පිපිරීම, මාංශ පේශි ක්ෂය, අස්ථි-සංධි වේදනා, අවයව වල හිරිය පවා හට ගන්නා අවස්ථා පවතී.

රෝගයේ මුල් අවස්ථාවේදී පූර්ව ලක්ෂණ ලෙස 

• සම පැලීම

• අත් පා වල දුර්වලතා

• ඇස් වටා ඉදිමීම

• ආහාර දිරවීමකින් තොරව පිටවීම

• තමන්ගේ හෘද ස්පන්දනය තමාටම දැනීම(Palpitation)

• දහඩිය දැමීම අවම වීම

• අධික විඩාව ඇතිවීම 

හඳුනාගත හැක.

පාණ්ඩු රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙසට පෙර සඳහන් රක්තහීනතාවය හේතුවෙන් හටගන්නා රෝග ලක්ෂණ සඳහන් වන අතර මැටි කෑමට රුචියක් ඇතිවීම හේතුවෙන් මෘද් භක්ෂණ ජන්‍ය පාණ්ඩුව ලෙසට ප්‍රබේදයක් පිලිබඳව විශේෂයෙන් සඳහන් වේ. කුඩා දරුවන්ට බහුලව වැලඳෙන පාණ්ඩු රෝග ප්‍රබේදයක් ලෙසට මෙය දක්වා ඇත.

දීර්ඝ කාලයක් පැවති පාණ්ඩු රෝගී තත්ත්ව, සිරුර ඉදිමී මල බද්ධය හෝ දියරමය මල පිටවන රෝගී තත්ත්ව, ඉතාමත් සුදුමැලි, දුර්වල සිරුරක් සහිත, වමන, භ්‍රම, පිපාස තත්ත්ව සහිත රෝගී තත්ත්ව හා අත්, පා, හිස හා ශරීරයේ මධ්‍ය කොටස හා ලිංග ප්‍රදේශ ඉදිමුම් සහිත, උණ, අතීසාර සහිත පාණ්ඩු රෝගී තත්ත්වය සුව කිරීමට අපහසු අසාධ්‍ය රෝග අවස්ථා බවට ආයුර්වේද මූලග්‍රන්ථයන්හි දක්වා ඇත. 

රෝග ප්‍රතිකාර :-

පාණ්ඩු රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාරයේදී රෝග හේතු වලින් වැලකී සිටීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු වේ. සංශෝධන හා සංශමන කර්ම සිදුකිරීම මගින් පාණ්ඩු රෝගයට ප්‍රතිකාර සිදු කල හැක.

කෝප වූ දෝෂ ශරීරයෙන් බැහැර කර සිරුර ශෝධනය කිරීමෙන් පසු සුදුසු ඖෂධ ප්‍රතිකාර සිදු කරනු ලැබේ. 

වමන, විරේචන යන පංච කර්ම ප්‍රතිකාරයන්ද ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දෙන අතර ඝෘත වර්ග ලබාදී ඉන්පසුව විරේචනය සිදුකොට රක්ත ශෝධනය සිදුකරන ප්‍රතිකාර ක්‍රමයක්ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දක්වා ඇත.

“පාණ්ඩු ලෙඩ ඇති සතහට

ගිතෙල් පොවා පළමුව කොට

වමන විරේචන පසුවට

කරවනු දොස් දුටු පමණට”

දිනකට දෙවරක්, අවුන්ස 1-2 ප්‍රමාණයක් කල්‍යාණ ඝෘත, පංච තික්තක ඝෘත යන ඝෘත පාණ්ඩු රෝගීන්ට ප්‍රත්‍යක්ෂ ගුණ ලබාදේ. 

සුදුසු ආහාර- 

කිරි, මෝරු, ගිතෙල්, මස් වර්ග, පීකුදු වර්ග, බිත්තර, මීපැණි, ධාන්‍ය වර්ග- මුං, මෑ, තිරිඟු, කඩල, කව්පි, පරිප්පු, පැරණි සහල්, ඕට්ස්, එලවළු වර්ග- සාරණ, නිවිති, කතුරුමුරුංගා, මුරුංගා කොළ, මුකුණුවැන්න, කරවිල, බෝංචි, බීට්, කැරට්, තුඹ, රතු තම්පලා, කංකුං, ගොටුකොළ, පලතුරු යුෂ-පැපොල්, දෙළුම්, නෙල්ලි, ඇපල්, තැඹිලි, රට ඉඳි

නුසුදුසු ආහාර – 

අබ, මද්‍ය වර්ග, ලවණ වර්ග, අම්ල වර්ග, විදාහී ආහාර, තල, උඳු

නුසුදුසු විහරණ – 

අධික ව්‍යායාම, අධික අව්වේ බොහෝ වේලා සිටීම, දුම් පානය, අධික ලිංගික හැසිරීම්, දහවල නිදීම, මුත්‍රා, මල වැනි වේග ධාරණය, මැටි, හාල් වැනි ආගන්තුක ද්‍රව්‍ය කෑමට ගැනීම

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් පාණ්ඩු රෝග චිකිත්සා පද්ධතිය නීරක්තිය නොහොත් රක්තහීනතාවය යන රෝග අවස්ථාව සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දෙන බැවින් පත්‍ය අපත්‍ය ආහාර විහරණ වලට එලඹීමෙන් රෝගය වැලඳීම පහසුවෙන් වලක්වා ගත හැකිය. එමෙන්ම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත යොමු වී ප්‍රතිකාර ලබාගැනීමෙන් රුධිරගත හිමොග්ලොබින් මට්ටම ඉහළ නංවාගැනීමෙන් රක්තහීනතාවය පහසුවෙන් මඟහරවා ගැනීමේ හැකියාව පවතී.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

පුරුෂ මදසරුබාවය පරදවන ආයුර්වේද ප්‍රතිකාර 

ලෝකය තුල මනුෂ්‍ය  වර්ගයාගේ පැවත්ම රඳා පවතිනුයේ ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ ප්‍රජනන ක්‍රියාවලිය මත ය. එබැවින් ස්ත්‍රිය මෙන්ම පුරුෂයාත් ඒ සඳහා වගකිව යුතු කාර්‍ය්ය භාරයක් ඉටු කල යුතුය.

යුවලකගේ විවාහයෙන් පසු දරුවන් නොමැති වීමේ ගැටළුවට අතීතයේ සිටම කාන්තාව දැඩි අපහසුතා වලට ලක්වීම සුලබ කරුණක් වූ නමුත් 50% බැගින් කාන්තා පිරිමි දෙපාර්ශයම වෙන් වෙන් වශයෙන් මේ සඳහා දායක විය යුතු බව පැහැදිලි කරුණකි.

ලිංගික අධ්‍යාපනය ඉතා දුර්වල මට්ටමක පවතින ලාංකීය ජන සමාජය තුල, පුරුෂයන්ගේ මදසරුබාවය කෙරෙහි හේතු වන රෝග අවස්ථාවන් සඳහා අවධානය යොමු කිරීම ළදරුවියේ සිට සිදුකල යුතුය. 

පිරිමි දරුවන් වැඩිවිය පැමිණි පසු ඒ පිලිබඳ නිසි අධ්‍යාපනය ලබා දීම හා හිතකර/අහිතකර ආහාර විහරණ කෙරෙහි අවධානය යොමු කිරීම මගින් පුරුෂ මදසරුබාවය ඇතිවීම වළක්වා ගත හැකිය.

ලෝකයේ වත්මන් සමාජය තුල විවාහක යුවල අතරින් 30%කට ආසන්න ප්‍රමාණයක් දරුවන් නොමැතිවීමේ ගැටළුවලින් පීඩා විඳින අතර මේ සඳහා ප්‍රධානතම හේතුව වන්ද්‍යාබාවය නොහොත් මදසරුබාවය යි.

ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්වචනයට අනුව වන්ද්‍යාබාවය යනු විවාහක යුවලක් කිසියම් වූ උපත්පාලන ක්‍රමයක් අනුගමනය නොකරමින්, දරුවන් බලාපොරොත්තුවෙන් ක්‍රමානුකූල ලිංගික සංසර්ගයක් පැවැත්වුවද අවුරුද්දක් ගතවනතුරුත් දරුවෙක් පිළිසිඳ නොගැනීමයි. 

ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ සෘතු, බීජ සහ කාලයේ අවෑමෙන් ගර්භයක් හට ගැනෙන බවත්, සෘතුවීම නොහොත් කාන්තාවකගේ ඩිම්බ මෝචනයෙන් පමණක් ගර්භෝත්පත්තිය ඇති නොවන බවයි. මෙහි බීජ යන අර්ථයෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම බීජ පිළිබඳ සලකා ඇත. එනම්, ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම ඩිම්බ හා ශුක්‍ර ශුද්ධ හා පූර්ණ වූ විට ගර්භය හට ගන්නා බව පෙන්වා දේ. 

නවතම සොයාගැනීම් අනුව වන්ද්‍යාබාවය සඳහා පුරුෂ පාර්ශවයේ බලපෑම 30-35%ක අගයක් ගනී. එමෙන්ම සෑම පුරුෂයින් 20 දෙනෙක්ගෙන් එක් අයෙක් පුරුෂ මදසරුබවින් පෙලෙන බවද හඳුනාගෙන ඇත.

ආයුර්වේද ශාස්ත්‍රීය ග්‍රන්ථයන්හි පුරුෂ ධාතුන්ගේ ශක්තිය හා  ලිංගික ශක්තිය වර්ධනය සඳහා බොහොමයක් ඖෂධ වට්ටෝරු හා ප්‍රතිකාර ක්‍රම දක්වා ඇත. ලිංගික ක්‍රියාවන්හි සත්වයන් අතුරින් ඉදිරියෙන්ම සිටින අශ්වයකු සේ ජවසම්පන්න ලෙස ලිංගික එක්වීමකදී පුරුෂයා සමර්ථ කිරීමට එම ඖෂධ වල ශක්‍යතාව ඇතිබව ආයුර්වේදයේ පිළිගැනීමයි. 

තාරුණ්‍ය ආරක්ෂා කරමින් ශරීර ශක්තිය වර්ධනය කරගැනීම, කාන්තා හා පුරුෂ ධාතු වල ගුණාත්මක බව වැඩි දියුණු කරගැනීම උදෙසා රසායන හා වාජීකරණ තන්ත්‍රය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ අෂ්ටාංග ආයුර්වේද ඉගැන්වීම් තුල අන්තර්ගතය.  

නිරෝගී උසස් ගුණාත්මක ශුක්‍රාණු නිපදවීමට මෙන්ම ඒවා ස්ත්‍රී යෝනියෙහි ඉහල කොටසේ තැන්පත් කිරීමද නිරෝගී කළලයක් හටගැන්මට සඳහා වැදගත් වේ. 

එම නිසා වර්තමානයේ මදසරු යුවලක් පරීක්ෂාවේදී පුරුෂයාගේ ධාතු ශක්තිය මෙන්ම සංසර්ග ශක්තිය පිලිබඳ විශේෂ අවධානය යොමුකිරීම සිදු කෙරේ.

පුරුෂ මදසරුබාවයට හේතු

1. පුරුෂ ශුක්‍රයෙහි විෂමතා

ශුක්‍රාණු සංඛ්‍යාත්මකව හා ගුණාත්මකව අඩුවීම හෝ වෙන් වෙන් වශයෙන් අඩුවීමයි.

බොහෝ පුරුෂයින් ස්වයංවින්දනයේදී, ලිංගික සංසර්ගයේදී ලැබෙන ලිංගික උත්තේජනයන් හමුවේ ශුක්‍ර තරලය පිටකිරීම තුලින් තමන් මදසරුබවින් තොර පුද්ගලයෙක් බවට තමන් විසින්ම පූර්ව විනිශ්චයට එලඹේ. නමුත් ශුක්‍ර තරලය පිටකිරීමෙන් පමණක් පුරුෂයෙක්ගේ සරුබව කිසිසේත් නිර්ණය කළ නොහැක. 

නිරෝගී දරුවෙකු බිහිකිරීමේ හැකියාව තීරණය සඳහා එම ශුක්‍ර තරලය තුල ජීවී ශුක්‍රාණු වල පැවැත්ම සංඛ්‍යාත්මකව හා ගුණාත්මකව පරීක්ෂා කිරීම  අනිවාර්යයෙන්ම කලයුතු වේ.

ශුක්‍ර තරලයේ පරිමාව, ද්‍රාවණයට ගතවන කාලය, ශුක්‍රාණුවල රූපාකාරය, චලන හැකියාව, ශුක්‍ර තරලයෙහි pH අගය, අඩංගු ෆ්‍රක්ටෝස් ප්‍රමාණය සහ අනෙකුත් සංඝටක පිලිබඳ පරීක්ෂා කොට බැලීම මෙහිදී සිදුකෙරේ.

2. සංසර්ගයේදී ඇතිවන විෂමතා

ලිංගික උත්තේජනයන්ගෙන් ප්‍රාණවත් වූ පුරුෂ ලිංගේන්ද්‍රිය යෝනි මාර්ගයට ඇතුළත් කොට එහි ඉහළ කොටසේදී ශුක්‍රාණු මුදා හැරීම තුලින් ගැබ්ගෙල හරහා පිහිනා යන ශුක්‍රාණු ගර්භාෂය හරහා ගොස් පැලෝපීය නාලයන්හි ඇතුලත කෙලවර සිට 1/3 ක දුරකදී කාන්තාවකගේ සෘතු කාලයේ මෝචනය වූ පරිණත ඩිම්බය හා සංසේචනය වීමෙන් නිරෝගී කලළයක් නිර්මාණය කෙරේ. යෝනිමාර්ගයේ ඉහල කොටසේදී ශුක්‍රාණු මුදා හැරීමට නොහැකිවීමද පුරුෂ වන්ද්‍යාබාවයට ප්‍රධාන හේතුවක් සේ සැලකේ. 

මීට අමතරව ව්‍යුහාත්මක වෙනස්කම් පැවතිය හැකිය. මව්කුස තුල වැඩෙන දරුවෙකුගේ වෘෂණ උදර කුහරය තුල තිබී දරුවා බිහිවීමත් සමඟ වෘෂණ කෝෂ තුලට ප්‍රාප්තවීම සිදුවේ. නමුත් ඇතැම් අවස්ථාවන්හිදී undescended testicles ලෙසට පැවතීම ශුක්‍රාණු නිෂ්පාදනයට බාධා ඇති කෙරේ. එමෙන්ම වෘෂණ කෝෂයන්හි වෙනත් ශරීර ව්‍යුහාත්මක විෂමතා නිසාත් මදසරුබාවය ඇති කලහැක.

එමෙන්ම ශුක්‍රාණු සතු වර්ණදේහයන්හි විකෘතිතා මෙන්ම පුරුෂයන් සඳහා හටගන්නා ඇතැම් රෝගාබාධ නිසාත් වර්තමානයේ පුරුෂයන් අතර මදසරුබාවය දක්නට ලැබේ. 

තරුණ වියේදී වැළඳෙන කම්මුල් ගාය රෝගය, දියවැඩියා රෝගී තත්තවය, වෘෂණ කෝෂ ආශ්‍රිතව නහර ගැටගැසීම් තත්ත්ව, වෘෂණ වලට සිදුවන අනතුරු නිසා ශුක්‍රාණු ජනන නාලිකා විනාශ වීම හා අවරෝධ වීම, හෝර්මෝන විෂමතා, අධික උණ, වෘෂණ ආශ්‍රිත සැත්කම් හා ඇතැම් ඖෂධ හේතුවෙන් පවා නිරෝගී ශුක්‍ර ජනනය කෙරෙහි නොයෙකුත් බාධා ඇතිකල හැක.

එමෙන්ම වෘෂණ කෝෂ ආශ්‍රිතව උණුසුම අධික වීම නිරෝගී ශුක්‍රාණු ඇතිවීම අවුරුවාලන තවත් ආකාරයකි. වර්තමානයේ ක්ෂේත්‍ර රාජකාරීන්ගේ නියුතු පුද්ගලයන් දැඩි හිරුරශ්මියට නිරාවරණය වීම, තද යට ඇඳුමින් බොහෝ වේලාවක් සිටීම, නිතර දිගු වේලාවක් වාහන පැදවීම, දවස මුළුල්ලේ ක්‍රියාන්විත රාජකාරින්වල නිරතවීම, උකුල මත ලැප්ටොප් පරිඝණක තබා ගනිමින් බොහෝ වේලා සිටීම, රත්වූ වාහන එන්ජින්, බේකරි උඳුන්, ගඩොල් පෝරණු, රත්වූ යන්ත්‍ර හා උපකරණ ආසන්නයේ දවසේ බොහෝවේලාවක් ගතකිරීම යන හේතූන් නිසාත් නිරෝගී ශුක්‍ර නිපදවීම සිදු නොවනු ඇත.

මීට අමතරව මානසික ගැටලු, වයස්ගතවීම, මන්දපෝෂණය, පිළිකා, සමාජ රෝග, සුෂුම්නාගත රෝග, අංශභාග තත්ත්ව, අධික ලිංගික සේවනය, අධික මානසික ආතතිය යන හේතූන්ද මදසරුබාවය කෙරෙහි සෘජු සම්බන්ධතා දැක්විය හැක.

අධික දුම්පානය, අධික මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය, දීර්ඝකාලිනව විවිධ ඖෂධ භාවිතය යන අයහපත් පුරුදු නිසාත් මදසරුබාවයට හේතු යෙදේ.

පුරුෂ මදසරුබාවය කෙරෙහි ඉහත සඳහන් නොයෙකුත් හේතුසාධක බලපාන අතර වර්තමාන සමාජයේ පාරිසරික දූෂණය , ආසනික්, කැඩ්මියම් වැනි විෂ රසායනික ද්‍රව්‍යය භාවිතය මෙන්ම තරඟකාරී ජීවන රටාව ප්‍රධාන ලෙසම බලපෑම් ඇතිකරනු ලැබේ.

හිතකර ආහාර –

එළකිරි, බටර්, චීස්, යෝගට්, මුදවපු කිරි, කිරි ආශ්‍රිත නිෂ්පාදන, එලඟිතෙල්, මුංඇට කැඳ, වැල්පෙනෙල, හාතවාරිය කොළකැඳ, ඉරමුසු, පොල්පලා, මොණරකුඩුම්බිය කැඳ, පැරණි සහල් වර්ග, මයිසූර් පරිප්පු, කොල්ලු, කඩල, උඳු පිටි යෙදූ ආහාර, ඕලු බත්, පොලොස්, කොස්, කිඩාරන් අල, දඹල, වඳුරු මෑ, වට්ටක්කා, පැළමුං ව්‍යාංජනය, වැල්පෙනෙල කොළ සම්බෝලය, ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා මල්, තම්පලා, කංකුන්, නිවිති, සාරණ, වට්ටක්කා දළු, ගම් කුකුළු බිත්තර, වටු බිත්තර, තෝර, මෝර, තලපත් මාලු, මාළු බිත්තර, ගම් කුකුළු මස්, එළු මස්, පේර, දෙළුම්, දූරියන්, කෝලිකුට්ටු කෙහෙල්, රත්කෙහෙල්, ලාවුළු, අලිගැටපේර, අඹ, ගස්ලබු, බෙලි, දුවුල්, කොමඩු, කළු උක්, ආමන්ඩ්, කජු මද, මුද්දරස්පලම්, රටඉඳි, ඇඹුල් රසැති පලතුරු- වෙරලු, නෙල්ලි, ඇඹරැල්ල, පැඟිරි කුලයේ පලතුරු- දොඩං, නාරං

සව්කැඳ, සුප් වර්ග, බාර්ලි තම්බා, රතුපොකුරු වදමල් පානය- නටන උණුවතුර බදුනක් ටික වේලාවක් නිවෙන්නට හැර උණුසුම්ව තිබියදීම එයට රතු පොකුරු වදමල් පෙති දමා විනාඩි 10-15 ක් තැම්බෙන්නට වසා තබා දෙහි, ලුණු හා සීනි ස්වල්පයක් එක්කර පානය කිරීම.

අහිතකර ආහාර –

අහිතකර කෘමිනාශක වර්ග යෙදූ කෘෂි නිෂ්පාදන, කෘතිම රසකාරක, වර්ණකාරක යෙදූ ආහාර, කෘතිම ආහාර පාන, බලමාලු, දැල්ලො, හුරුල්ලො, සැමන්, බොයිලර් කුකුල් මස්, දෙල්, මුරුංගා, තක්කාලි, අන්නාසි, රඹුටන්, දෙහි විනාකිරි යෙදූ චට්නි වර්ග, අච්චාරු, ලුණුදෙහි, කෝපි, අධික සීනි, තෙල් යෙදූ ආහාර

හිතකර ක්‍රියාවන් –

පැය 6කට නොඅඩු සුවදායි නින්දක් ලැබීම

සැහැල්ලු, කපු යට ඇඳුම් භාවිතා කිරීම

දිනපතා ස්නානය කිරීම

සිසිල් ජලයේ ගිලී නෑම

ව්‍යායාම් වල නිරතවීම

මානසික විවේකය සඳහා භාවනා ක්‍රම, යෝග ව්‍යායාම් සිදුකිරීම

ආගමික කටයුතු වල නිරතවීම

අහිතකර ක්‍රියාවන් –

මානසික ආතතියෙන් සිටීම

රාත්‍රී නිදි වැරීම හා දහවල් නිදාගැනීම

තද-ඝන යට ඇඳුම් බොහෝ වේලාවක් ඇඳ සිටීම

අපිරිසිදු යට ඇඳුම් භාවිතා කිරීම

අධික ව්‍යායාම කිරීම

අධික බර ඉසිලීම

නිතර උණුවතුර ස්නානය කිරීම

වෛද්‍ය උපදෙස් වලින් තොරව හෝර්මෝන අඩංගු ආහාර, ඖෂධ ලබා ගැනීම

ලිංගික හැසිරීම් අධිකව සිදුකිරීම

ලිංගික අවශ්‍යතා දරා සිටීම,

නිතර රූපවාහිනී යන්ත්‍ර, ලැප්ටොප් පරිඝණක භාවිතය

මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්පානය කිරීම

තවද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඖෂධ වර්ග ප්‍රබේදකරණයේදී ජීවනීය ගණය ලෙසට ආයුෂ පැවැත්වීමට හිතකර වූ, ජීවත්වීමට හිත වූ ඖෂධ දක්වා ඇත.

උදා: කිරිබදු අල, කිරි

එමෙන්ම බල්‍ය / බල වර්ධක ඖෂධ ගණය දක්වා ඇත. එනම් ශරීර බලය වැඩිදියුණු කරන ඖෂධ වේ. 

උදා: හාතවාරිය, අශ්වගන්ධ

වාජීකරණ/ වෘෂ්‍ය ඖෂධ ගණයේ ඖෂධ ලබාගැනීම හේතුවෙන් ලිංගික ක්‍රියාවන්හි ස්ත්‍රී, පුරුෂ දෙදෙනාටම අධික ප්‍රීතියක් හා සතුටක් ඇතිකරමින් නැවත නැවත සංසර්ගයේ යෙදීමේ ආශාව පුරුෂයා කෙරෙහි ඇතිකිරීම සිදුකෙරේ.

උදා: කිරිබදු අල, අශ්වගන්ධ

ශුක්‍ර නිපදවීම වැඩි කරවන ශුක්‍රවර්ධක ද්‍රව්‍යය පිළිබඳවද ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන්‍ ය. උදා: එලඟිතෙල්, උඳු, වඳුරු මෑ 

කාම උත්තේජකර ද්‍රව්‍යය ලෙසට ශුක්‍ර ශ්‍රැතිකර ද්‍රව්‍ය ගණයක්ද හඳුන්වා දී ඇත. කස්තුරි, මකරධ්වජ, අක්‍රපට්ටා, වැනි ඖෂධ වර්ග රාශියක් ඒ අතර වේ.

රෝග නිදාන සලකාබලා පුද්ගල ප්‍රකෘතිය, රෝග රෝගී බලාබලත්වය අනුව ශුක්‍ර වල විෂමතා දුරු කිරීමටත්, සංසර්ගයේදී ඇතිවන ගැටලු අවම කරමින් පුරුෂ මදසරුබාවය ඇතුලු ලිංගික ගැටලු රාශියක් සඳහා ඉහත ඖෂධ වර්ග විවිධාකාරයෙන් සංස්කරණය කොට ආයුර්වේද චිකිත්සාවේදී ප්‍රයෝග කරනු ලැබේ.

එමෙන්ම තවමත් ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ග හා චිකිත්සා ක්‍රමවේද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල අන්‍තර්ගත වන බැවින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපමාව යොමුවීමෙන් මදසරුබාවය තුරන් කොට සුරතල් දරුවෙකු වෙනුවෙන් ඔබ දකින සිහිනය සැබෑ කරගත හැකි වනු ඇත.

ආයුර්වේද වෛද්‍ය නාලිකා ජයතිලක

BAMS -Colombo University

2024 – Jan – 14

රක්ත ප්‍රදර රෝගයෙන් කාන්තා ඔබත් පීඩා විඳිනවාද?

බොහෝ කාන්තා රෝග කාන්තාවකගේ ඔසප් වීම හා සම්බන්ධව බැඳී පවතී.

‘රක්ත ප්‍රදර’ නොහොත් ‘අසෘක්ධර’ යනු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ස්ත්‍රී රෝගයන් අතුරින් ප්‍රධානතම රෝගී තත්ත්වයකි.

ප්‍රදර යනු බොහෝ සෙයින් වැගිරීම යන්නයි. අසෘක් යනු රුධිරය සඳහා පර්‍යාය නාමයකි. එනම් රක්ත ප්‍රදර/ අසෘක්ධර යනු ඔසප්වීමේදී රුධිරය බොහෝ සෙයින් පිටවීම හා සම්බන්ධ කාන්තා රෝගයකි.

මෙම රෝගය වැලඳී ඇති බව හඳුනා ගැනීමට පලමුව සාමාන්‍ය ඔසප් වීම පිලිබඳ අවබෝධයක් කාන්තා ඔබට තිබීම අනිවාර්‍යය වේ.

සාමාන්‍ය ඔසප්වීමක් දින 3-7 දක්වා ඕනෑම කාලයක් පවතින අතර පිටවන රුධිරය සඳහා දිනකට අවශ්‍ය සනීපාරක්ෂක තුවා ගණන 3-4කට සීමාවේ. (35ml ක් පමණ සමාන්‍ය රුධිර වහනයක්) 

නමුත් ප්‍රායෝගිකව ඔබට,

–  පැය 2න් 2ට නිතර නිතර සනීපාරක්ෂක තුවා මාරු කිරීමට සිදුවීම (90ml ක් පමණ රුධිර වහනය වීම හේතුවෙන්),

–  එදිනෙදා කටයුතුවලට පවා බාධාවක් වන අයුරින් රුධිර වහනය වීම,

–  සතියකට වඩා වැඩි කාලයක් ඔසප් වීම පැවතීම,

–  ඔසප් චක්‍රය අතර මැද දිනවලදී ද රුධිර වහනයන් පැවතීම,

–  අක්‍රමවත් ඔසප් චක්‍ර පැවතීමෙන් පසු දීර්ඝ රුධිර වහනයන් පැවතීම,

වැනි ලක්ෂණ පවතීනම් එය රක්තප්‍රදර රෝගී අවස්ථාවක් ලෙස දැක්විය හැක.

ඔසප් කාලයේදී හෝ නියමිත ඔසප් කාලයෙන් අතර කාලයක කිහිපවරක් හෝ අසාමාන්‍ය ලෙස රුධිරය පිටවීම රක්ත ප්‍රදර රෝගය ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. 

මාසික ඔසප් වීමේදී ඔසප් රුධිරය අධිකව පිටවීමෙන් ඇතැම් කාන්තාවන් අධිකව පීඩා විඳී. 

එනම්, ඔසප් රුධිරය අසාමාන්‍ය ලෙස ප්‍රමාණාත්මකව වැඩි වීම හෝ ඔසප් වීම අවසන් නොවී වැඩි දින ගණනක් දීර්ඝ ඔසප් වීම් පැවතීම හේතුවෙනි.

අතීතයේ දී දේශීය ව්‍යවහාරයේ ‘ලේ මාලය’, ‘කඳ ගැට ශුද්ධ වීම’ යනුවෙන්ද හඳුන්වා දී ඇත්තේ මෙම රෝගී තත්ත්වය බවට පිලිගැනේ.

බටහිර වෛද්‍ය විද්‍යාත්මකව දිර්ඝ කාලීන ඔසප් වීම Menorrhagia ලෙස හඳුන්වන අතර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පිත හා වාත දෝෂය මෙන්ම රක්තය විකෘති වීම නිසා ඔසප් රුධිරයේ අතිප්‍රවෘත්තිය රක්තප්‍රදර රෝගය සඳහා හේතු වේ.

රෝග හේතු~

–  දිගු වේලාවක් නිරාහාරව සිටීම

–  විදාහී තීක්ෂ්ණ ආහාර, සැර අධික, තෙල් සහිත ආහාර, ඇඹුල් ආහාර වැඩිවශයෙන් හා නිතර නිතර ආහාරයට ගැනීම

–  අධික වෙහෙසවීම හා අතිව්‍යායාමය

–  මානසික ආතතිය

–  පාලනයකින් තොරව ලිංගික එක්වීම්වල නිරතවීම

මීට අමතරව, හෝර්මෝන අසමතුලිතතා, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු හේතුවෙන්, Endometriosis තත්තව නිසාවෙන්, ඇතැම් උපත්පාලන ක්‍රම හේතුවෙන් (Intra uterine contraceptive devices), ඇතැම් ගර්භණී මව්වරුන් හට ප්‍රසවයෙන් පසු පවතින රුධිර වහනය, වැදෑමහ කොටස් ගැබ තුල රැඳීම, ආර්තවාභාවයට ආසන්න අවධියේ සිදුවන හෝර්මෝන වෙනස්වීම්, ගර්භාෂගත පිළිකා, අර්බුද හා ගෙඩි, ඇතැම් ඖෂධ භාවිතය යන හේතූන් නිසාත් යෝනි මාර්ගයෙන් අධිකව රුධිරය පිටවීමේ තත්ත්වයක් හට ගැනීමට පුළුවන.

රෝග ලකෂණ

–  ඇගපත වේදනාව, මලානික බව,

–  නාභියට පහල ප්‍රදේශයේ ඉදිමුම

–  තදකර ඇල්ලීමේදී වේදනාව තීව්‍ර වීම

–  උදරය පුරවා දැමීම

–  ශරීරය දුබලවීම

–  ක්ලාන්තය

–  අසහනකාරී ස්වභාවය

රුධිරය අධිකව පිටවීම නිසා ශරීරය සුදුමැලි වීම, අප්‍රාණික බව, ක්ලාන්තය, ආහාර අරුචිය, කුසගිනි නොදැනීම, ශරීරය ඉදිමුම් ස්වභාවයක් ගැනීම වැනි පාණ්ඩු රෝග ලක්ෂණ පවා දක්නට ලැබිය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රක්තප්‍රදර රෝගී තත්ත්වය සඳහා රක්තය හා පිත ශමන ප්‍රතිකාර පද්ධතියක් මුලිකව සිදුකරනු ලැබේ.

අධික රුධිර වහනය සඳහා රක්ත ස්තම්භන ඖෂධ හා ශීත ගුණ ආහාර හා විහරණ මූලික කොටගෙන චිකිත්සාව අභ්‍යන්තර හා බාහිරව සිදුකරනු ලැබේ.

කෂාය, අරිෂ්ඨ, ආසව චූර්ණ, ගුලි, කල්ක, එළකිරි වලින් නිර්මිත ඝෘත වර්ග හා ඇතැම් රස ඖෂධ වර්ග මෙන්ම ඉරමුසු, සැවැන්දරා, හාතාවාරිය, බැබිල, ගොකටු වැනි ඖෂධ ඒකීයව තම්බා පානය කිරීම යෝග්‍ය වේ.

එළකිරි, තැබිලි, පලාවර්ග, කොළකැඳ, සව් කැඳ, අලුකෙසෙල් අල ව්‍යාංජන රෝගයට ගුණදායක වන අතර උෂ්ණාධික ආහාර-මිරිස්, විනාකිරි, ඇඹුල් අධික ආහාර, බලමාළු, ජාඩි, බල කරවල, අන්නාසි, තක්කාලි, ඉස්සො, දැල්ලො, අච්චාරු, ලුණුදෙහි, චට්නි වර්ග හා අධික තෙල් යෙදූ තෙම්පරාදු කල ආහාර නුසුදුසු වේ.

රක්තප්‍රදර තත්ත්වය සඳහා ප්‍රධාන හේතූන් සලකා බලා ඒ සඳහා ප්‍රතිකාර යෙදීමත්, දෝෂ අසමතුලිතබව සලකා බලා සිරුරේ දෝෂ සම තත්තවයට ගෙන ඒමත්, රක්ත ස්ථම්බනය සිදුකර රුධිර වහනය අවුරා ශරීර බලකාරක, රක්ත වර්ධක ඖෂධ යොදමින් රක්ත වර්ධනය සිදු කිරීමත් විශේෂිත වේ.

පසු කාලීනව උපද්‍රව ලෙස රක්තහීනතාවය ඇතිවීමේ ප්‍රවණතාවයක් ද පවතින අතර මුල් අවස්ථාවේදීම වෛද්‍යවරයෙක් හමුවට ගොස් පරීක්ෂාවට ලක්කොට ඉක්මන් ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

විලුඹේ අධික වේදනා ගෙනදෙන ‘වාත කණ්ඨක’ රෝගය

උදෑසන අවදි වී ඇඳෙන් බැස ඇවිද යාමට පාද බිම තැබීමේදී විලුඹ හා යටිපතුල් ආශ්‍රිතව ඇතිවන අධික වේදනාව වර්තමානයේ මැදි වයසේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.

දිගු වේලාවක් ඇවිදීමෙන් හෝ හිටගෙන සිටීමෙන් පසු විලුඹේ ඇතිවන අධික වේදනාව ඇතැම් විට ඔබත් අත්විඳිනවා විය හැක. 

ඇතැම් විට වයස් භේදයකින් තොරව මෙන්ම ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරවද මෙම රෝගී තත්ත්වය දක්නට ලැබේ.

මුල් අවස්ථාවේදී උදෑසනට පමණක් වේදනාව දැනෙන අතර ටික දුරක් ඇවිදීමත් සමඟ වේදනාව කෙමන් පහව යනු ඇත. නමුත් කල්යත්ම රෝගය උත්සන්න විය හැකි බැවින්

මෙවැනි රෝග ලක්ෂණ පවතීනම් ඉක්මන් ප්‍රතිකාර වලට යොමුවීම සිදුකල යුතුය. 

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර නොකර සිටීමෙන් වේදනාව ක්‍රමයෙන් තීව්‍ර වන අතර, උදෑසනට පමණක් නොව දවස පුරාම වේදනාව පැවතීම හා විලුඹට පමණක් සීමා නොවී යටිපතුල් පුරා වේදනාව ව්‍යාප්‍ත වීම දක්වා මෙම රෝගයේ ලක්ෂණ වර්ධනය විය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සමතලා නොවූ බිමෙහි එනම් වල ගොඩැලි සහිත අක්‍රමවත් බිම් වල ඇවිදීමෙන් හා නිතර පය වෙහෙසවන ක්‍රියාවන්හි නිරත වීමෙන් වාත දෝෂය කෝප වී ගුල්ඵ සන්ධිය (Ankle joint) හා විලුඹ ප්‍රදේශය ආශ්‍රිතව අධික වේදනාවක් ගෙනදෙන රෝගී තත්ත්වයක් ලෙස ‘වාත කණ්ඨක’ රෝගය හැඳින්වේ.

නව්‍ය මතානුකූලව විලුඹ අස්ථිය පීඩාවට පත් වීමෙන් හා යටිපතුලේ අස්ථි කණ්ඩරා හානිවී නැවත සැකසීමේ දී එනම් හානි වූ පටක ප්‍රතිනිර්මාණයේදී අස්ථියේ අධිවර්ධනයක් ලෙසට Calcaneus bone ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීම් සිදුවිය හැක.  

විලුඹ අස්ථියේ ඇතිවන bony spur/ osteophytes තත්ත්වයක් හටගැනීමෙන් අස්ථියේ නෙරීමක්/ ඝන වූ කටු ආකාර ඉලිප්පීමක් ඇතිවීම මෙම රෝග තත්ත්වයට හේතුවන බව පිළිගැනේ.

එබැවින් මෙම තත්ත්වය Calcaneal spur/ Heel spur ලෙසටද හැඳින්වේ.

තවද යටිපතුල හා විලුඹ ආශ්‍රිතව පවතින කණ්ඩරාවක් වන Plantar fascia හි ඇතිවන ප්‍රදාහ තත්ත්වයක් එනම් Plantar fasciitis අවස්ථාවේදී ද විලුඹ හා යටිපතුල් ආශ්‍රිත අධික වේදනාවක් ගෙනදෙන බැවින් එම රෝගී අවස්ථාවද වාත කණ්ඨක රෝග ලක්ෂණ හා සැසඳේ.

කෙසේ වෙතත් නව්‍ය වෛද්‍ය විද්‍යාත්මකව ඉහත රෝගී තත්ත්වයන් හා වාත කණ්ඨක රෝගය ස්ථිරවම සමපාත කල හැකි නොවුවද ඉහත සඳහන් රෝග ලක්ෂණ වාත කණ්ඨක චිකිත්සා ක්‍රමවේද මගින් පහසුවෙන් සුව කර ගැනීමේ හැකියාව පැවතීම විශේෂිත වේ.

බොහෝවිට මළල ක්‍රීඩකයන්, නර්තන ශිල්පීන්, සොල්දාදුවන් හා පාද වෙහෙසවන රැකියාවල නිරතවන්නන් හට මෙම රෝග තත්තවය පහසුවෙන් හටගැනීමේ නැඹුරුතාවක් පවතී.

මීට අමතරව ඇතැම්විට විලුඹ අස්ථියේ ව්‍යුහාත්මක වෙනසක් හේතුවෙන් (flat feet/high arches) පාදයේ යටිපතුල මත ඇතිකරන පීඩනය නිසාත් ඉහත රෝග ලක්ෂණ ඇතිවිය හැක.

එමෙන්ම විලුඹ හා වළළුකර සන්ධි ආශ්‍රිතව ඇතිවන ආමවාත, සන්ධිගත වාත, ගම්භීර වාතරක්ත යන රෝග අවස්ථාවලදීත් ඉහත සඳහන් රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කල හැකි වුවද, X-කිරණ ඡායාරූප පරීක්ෂණයක් මගින් වාත කණ්ඨක රෝග අවස්ථාවක් ලෙසට පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව පවතී.

රෝගය හට ගැනීමට හේතු:-

• හදිසි අනතුරු හේතුවෙන් යටිපතුල් හා විලුඹ ආශ්‍රිතව සිදුවන අනතුරු/ පෙර සිදු වූ අස්ථි බිඳී යාම්

• සමතලා නොවූ අක්‍රමවත් පොළවේ ඇවිදීම

• අධික වේලාවක් ඇවිදීම/ වැඩි වේලාවක් හිටගෙන සිටීම

• අධික තරබාරුව

• වාත කුපිත ආහාර නිතර ගැනීම (වම්බටු, මෑකරල්, අල, මඤ්ඤොක්කා, කොස්, මුංඇට)

• තද පෘෂ්ඨ සහිත සෙරෙප්පු, අඩි උස සපත්තු නිතර පැළඳීම හා දිනයේ වැඩිවේලාවක් ඒවා පැළඳ ඇවිදීම/ සිටගෙන සිටීම

වාත කණ්ඨක රෝගය සඳහා ආයුර්වේද ප්‍රතිකාර:-

ස්ථානිකව බාහිර ප්‍රතිකාර සිදු කරනු ලබන අතර අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස කෂාය, ක්වාත, ගුලි, කල්ක, චූර්ණ ලබා දීම සිදු කරයි.

බාහිර ප්‍රතිකාර ලෙස- 

ගුල්ඵ සන්ධි ආශ්‍රිතව ශිරා විද රුධිරය බැහැර කිරීම (රක්ත මෝක්ෂණය)

අග්නි කර්ම (ගින්නෙන් රත් කල ශලාකාවන්ගෙන් තැවීම)

අශ්මග්න ස්වේද (රත් කල ගල් මගින් තැවීම)

තෙල් ගැල්වීම හා රූක්ෂ තැවිලි මගින් තැවීම

ඖෂධීය ද්‍රවයක පාද බහා සිටීම (ද්‍රව ස්වේද)

ඖෂධීය වාෂ්ප ඇල්ලීම

මැල්ලුම්/පත්තු බැඳීම

රෝගය සුව කරගැනීමට මෙන්ම රෝගය ඇතිවීම වළක්වා ගැනීමට:-

• සිරුරේ බර පාලනය කිරීම

• වල ගොඩැලි සහිත බිම්වල ඇවිදීමේදී පාවහන් පැළඳීම

• පාද වලට නිසි විවේකය ලබාදීම 

• සුමට පෘෂ්ඨ සහිත යටිපතුල් පීඩා නොකරන සුවපහසු පාවහන් පැළඳීම

• අඩි උස පාවහන් පැළඳීම අවම කිරීම

• ඖෂධීය තෙල් අභ්‍යංග කිරීම

• පාද සම්භාහන සත්කාර සිදු කිරීම

• පාදයේ ගුල්ඵ සන්ධි ආශ්‍රිතව ව්‍යායාම සිදුකිරීම

ඉහත කී රෝග ලක්ෂණ ඔබ සතුවේ නම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත ගොස් නොපමාව ප්‍රතිකාර ලබා ගැනීම මඟින් වාත කණ්ඨක රෝගී තත්ත්වය සඳහා ඉක්මන් සුවය ලබා ගත හැක.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

දියවැඩියාව සඳහා ආයුර්වේද ප්‍රතිකාර මූලධර්ම 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල රෝග සඳහා ප්‍රතිකාර යෙදීමේදී රෝග සම්ප්‍රාප්ති ඛණ්ඩණය හා නිදාන පරිවර්ජනයට ප්‍රමුඛත්වයක් ලබා දේ.

සම්ප්‍රාප්ති ඛණ්ඩණය යනු, යම් රෝගයක් වා-පිත්-සෙම් නම් වූ ත්‍රිදෝෂය විෂම කරමින්, පූර්ව රෝග ලක්ෂණ, රෝග ලක්ෂණ ප්‍රකට කරමින් ශරීරයේ ඉන්ද්‍රිය පටක ඇසුරු කරමින් සිරුර පුරා පැතිරී යාම වැළැක්වීමයි. එනම් රෝගයේ ප්‍රාප්තවීම නොහොත් ඇතිවීම හා ව්‍යාප්‍ත වීම වළකාලීමට පිළියම් යෙදීමයි.

නිදාන පරිවර්ජනය යනු, යම්කිසි රෝගයක් ඇතිවීමට හේතු පාදක වන ආහාර විහරණ හේතූන් කෙරෙහි අවධානය යොමු කරමින් ඒවායෙන් හැකිතාක් ඈත් වෙමින් රෝගය හට ගැනීම වළක්වා ගැනීමයි.

යම්කිසි රෝගයක් වැළදීමෙන් පසු ප්‍රතිකාර ලබාගැනීමට වඩා රෝග ඇතිවීම වළක්වා ගැනීම මගින් පුද්ගල නීරෝගී බව රැක ගැනීම ආයුර්වේදය තුළ ප්‍රමුඛත්වයක් ලබාදේ. ඒ සඳහා පුද්ගල සෞඛ්‍ය අධ්‍යාපනය අතිශය වැදගත් කොට සැළකේ.

දියවැඩියා රෝගීන් සම්බන්ධ ආයුර්වේද චිකිත්සාවේදී රුධිරගත සීනි මට්ටම අඩුකිරීම පමණක් පාදක කොටගෙන ප්‍රතිකාර සිදු නොකරන අතර, රෝගයට හේතු වූ විකෘති වූ දෝෂ තත්ත්වය ශමනය කිරීමත්, රෝගයේ ව්‍යාප්තිය ඛණ්ඩනය කිරීමත්, විෂ කොටස් සිරුරෙන් ඉවත් කොට හානි වූ පටක නැවත පිළිසකර කිරීමත්, රෝග උපද්‍රව සඳහා පිළියම් යෙදීමත් යන සියළු කාරණා කෙරෙහි විශේෂ අවධානය යොමු කොට ප්‍රතිකාරය සිදුකෙරේ.

රෝග-රෝගී ලක්ෂණයන්ට අනුව පුද්ගලානුබන්ධ චිකිත්සාවක් යටතේ පංච කර්ම චිකිත්සාව සිදු කරනු ලබන අතර රසායන චිකිත්සාව මගින් ශරීර බලය හා ශරීර ශක්තිය ආරක්ෂා කොට ප්‍රතිශක්තිය වර්ධනයද මධුමේහ චිකිත්සාවේ තවත් එක් සුවිශේෂී අංගයක් වේ.

එමෙන්ම, දියවැඩියා රෝගය වැළදීම වළක්වා ගැනීමට රෝග නිදානාදී කාරණා රෝගියාගෙන් ඉවත් කිරීම නොහොත් වර්ජනය හැකිතාක් සිදුකළ යුතුවන අතර පත්‍ය අපත්‍ය ආහාර හා විහරණ කෙරෙහි අවධානය නිසිලෙස යොමු කිරීම අනිවාර්‍යය වේ. 

රෝගයක් වැළඳුණු පසු රෝගී බවින් මිදීමට මෙන්ම රෝගය උත්සන්න වීම වැළැක්වීමට හා නැවත රෝගය වැළඳීමට ඇති ඉඩකඩ අවම කිරීමට ආයුර්වේද වෛද්‍ය වරුන් පත්‍ය- අපත්‍ය ආහාර-විහරණ අනුගමනය අනිවාර්යයෙන්ම නිර්දේශ කරනු ලැබේ. එනම් රෝගී තත්ත්වයට හිතකර ආහාර හා යහපත් ඇවතුම්-පැවතුම් අනුගමනය කිරීම හා අහිතකර ආහාර හා අයහපත් පුරුදු වලින් ඈත්වීමෙන් නීරෝගී බව රැකගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරයි.

දියවැඩියාව සඳහා පත්‍ය-අපත්‍ය ආහාර හා විහරණ

හිතකර ආහාර තෝරාගැනීමේදී ආයුර්වේද මූලධර්ම වල අඩංගු ෂඩ් රසයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුවේ. එනම් මධුර, අම්ල, ලවණ, කටු, තික්ත, කෂාය යන රස වර්ග 6න්, කටු, තික්ත, කෂාය රස බහුල ආහාර මධුමේහය සඳහා හිතකර ආහාර ලෙස සැළකේ.

යව(බාර්ලි), කොල්ලු, උඳු, මුංඇට, තල, පැරණි වූ ධාන්‍ය-කුරක්කන්, මෙනේරි හා ඒවායින් සෑදූ ආහාර, පැරණි සහල් වර්ග (හැටදා හාල්) -හීනැටි, මසුරං, මඩතවාළු, කුරුළුතුඩ, සුවදැල්, පැරණි මී පැණි, ත්‍රිඵලා ( අරළු, බුළු, නෙල්ලි ), තික්ත, කහට රස අධික පලා වර්ග හා එළවළු- අගුණ කොළ, පැෂන් කොළ, තෙබු කොළ, කුරිඤ්ඤං කොළ, කෝවක්කා කොළ, කොස් දළු, කතුරුමුරුංගා, මුකුණුවැන්න, ගොටුකොළ, කූර තම්පලා, සාරණ, මැල්ල කොළ, කංකුං, තැල් කොළ, එරබදු කොළ, තුඹ දළු, අඹරැල්ලා, කරවිල, තුඹ කරවිල, අට්ටික්කා ගෙඩි යන ආහාර නිසි වෛද්‍ය උපදෙස් යටතේ පෝෂ්‍ය ගුණය රැකෙන පරිදි දියවැඩියා රෝගීන් ආහාරයට එක් කර ගැනීම උචිතය.

පැඟිරි කුලයේ පලතුරු වර්ග (දෙහි, ඇඹුල් දොඩම්, නාරං, නස්නාරං, ජමනාරං), අනෝදා, වෙරළු, පේර, නෙල්ලි, කාමරංකා, නමිනං, මාදං, ජම්බු, කජු පුහුලන්, ගස්ලබු, දෙළුම්, උගුරැස්ස යන පලතුරු වර්ගද හිතකර වේ.

උළුහාල්, කරපිංචා, සුදුළූණු, රතුළූණු, කුරුඳුපොතු යන කුළුබඩු වර්ග මෙන්ම බෙලි මල් හා කොළ, රණවරා, කොතලහිඹුටු, රසකිඳ, වල්කොත්තමල්ලි, මාදං පොතු, අට්ටික්කා පොතු තම්බා ඖෂධීය පාන ලෙස භාවිතා කිරීමද සුදුසු වේ.

දියවැඩියා රෝගීන්ට නිතර කුසගිනි ඇතිවිය හැකි බැවින් හැකිතාක් පිෂ්ඨය අඩු ආහාර, ස්වල්ප ප්‍රමාණයක්, වේල් කිහිපයක් ලෙස ආහාරයට ගැනීම සිදු කළ හැක.

මෙහිදී ගන්නා ආහාරය පෝෂ්‍යදායී ආහාරයක් විය යුතු අතර කෙඳි බහුල ආහාර වන පලා වර්ග, දඹල, කොහිල, කෙසෙල්මුව වැනි තන්තුමය ආහාර වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් අනවශ්‍ය ලෙස ආහාර නිතර නිතර ගැනීම පාලනය කරගත හැක.

නිවුඩු සහිත තැම්බූ රතු සහල් ඉතා යෝග්‍ය වන අතර ප්‍රෝටීන අඩංගු ආහාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

පිෂ්ඨය අධික අර්තාපල්, මඤ්ඤොක්කා වැනි අලවර්ග ආහාරයට නුසුදුසු වන අතර, නෙළුම් අල, කිරිඅල, රාජා අල, හුළංකීරිය අල, ඉන්නල ආහාර ලෙස ගැනීම සුදුසු වේ.

මෙම හිතකර ආහාරයන් ප්‍රමාණාත්මකව අනවශ්‍ය ලෙස නිතර නිතර එකදිගට ආහාරයට නොගෙන වෛද්‍ය උපදෙස් මත විවිධත්වයකින් යුතුව ආහාරයට එකතු කරගැනීමට රෝගීන් වගබලා ගත යුතුවේ.

දියවැඩියා රෝගීන් සඳහා අහිතකර ආහාර- මධුර රස එනම් පැණි රස, පිෂ්ඨය අධික ආහාර ගැනීම, කිරි ආහාර, මුදවපු කිරි, එළඟිතෙල්, තෙල් සහිත ආහාර ගැනීම මධුමේහ රෝගීන්ට නුසුදුසු ආහාර වේ.

දුම්පානය, මත්පැන් පානය, කෘතිම රසකාරක, වර්ණකාරක යෙදූ කෝලා වර්ග, පැණිබීම, බිස්කට්, කේක්, අයිස්ක්‍රීම්, පාන් පිටි වලින් නිපදවූ බේකරි නිෂ්පාදන හා ක්ෂණික ආහාර වර්ග දියවැඩියා රෝගීන් හට අහිතකර වේ.

ව්‍යායාම වල නිරතවීම, යෝග ව්‍යායාම වලට යොමුවීම, හොදින් ජලය පානය කිරීම, මානසික ආතතිය පාලනය සඳහා භාවනා කිරීම, මිහිරි සංගීතයන්ට සවන්දීම, විවේකය නිස්කලංක පරිසරයක ගතකිරීම, ස්වභාව සෞන්ධර්‍යය සුන්දරව විඳීම හා රාග, ද්වේශ, ශෝක, වෛරී සිතුවිලි වලින් ඈත්වීම මධුමේහ රෝගීන් හට හිතකර වූ හැසිරීම් වන අතර රාත්‍රී නිදිවැරීම, පමණ ඉක්මවා වෙහෙසීම, දහවල නිදීම හා නිතර කිපෙනසුළු, ආවේගකාරී සිතුවිලි වලින් යුක්තවීම නුසුදුසු විහරණ ලෙස හඳුන්වා දියහැක. අසීමිතව ආශාවන් පසුපස හඹා යෑමෙන් ඇතිවන මානසික ආතතිය රෝගය ඇතිවීමට මෙන්ම රෝගී තත්ත්වය උත්සන්න වීමටද හේතු විය හැක.

ඔබ දැනටමත් මධුමේහ රෝගියෙක්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු අතර ආහාර පරිභෝජනය පිළිබඳ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගැනීම තුළින් ප්‍රතිකාරයේ උපරිම සාර්ථකත්වයක් කරා එළැඹීමේ හැකියාව පවතී.

මධුමේහ රෝගය යනු ශරීරයේ සංකූලතා රාශියක් ඇතිකළ හැකි, අසාධ්‍ය රෝගී අවස්ථාවක් ලෙසට වර්ධනය විය හැකි බැවින් දියවැඩියා රෝගීන් නිවැරදි ආහාර රටාවකට හුරුවී, යහපත් විහරණයන්ට පුරුදුව, නිවැරදි ඖෂධීය ප්‍රතිකාරයන්ට යොමුවී රෝගය පාලනය කරගැනීමට උත්සහ දැරිය යුතු වේ.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක

BAMS (Colombo)

දියවැඩියාව සඳහා නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමුවී සංකූලතා අවම කරගනිමු

දියවැඩියාව සඳහා නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමුවී සංකූලතා අවම කරගනිමු

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන වලට අනුව පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින බව පිළිගැනේ. එමෙන්ම දියවැඩියා රෝගය නිසා හටගන්නා අතුරු ආබාධ හා සංකූලතා හේතුවෙන් සිදුවන පුද්ගල මරණ ගණනද සංඛ්‍යාත්මකව දිනෙන් දින ඉහල අගයක් ගනී. 

වර්තමානයේ දියවැඩියාව යනු වයස් හෝ ලිංග භේදයකින් තොරව හටගන්නා රෝගී තත්ත්වයකි. පාසැල් වියේ පසුවන දරුවන්ට පවා පහසුවෙන් වැළඳෙන රෝග අවස්ථාවක් ලෙස මෙය ප්‍රකට වේ. 

වත්මන් සමාජය තුල අනුගමනය කරන සුඛෝපභෝගී ජීවන රටාව හා වැරදි ආහාර පාන රෝගය හටගැනීම කෙරෙහි ඍජුවම බලපායි. එමෙන්ම නිසි ව්‍යායාම නොලැබීම, මානසික ආතතිය, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය හා ජානමය පසුබිම රෝගයට හේතු කාරක වේ. 

බොහෝ දෙනා දියවැඩියාව මධුමේහය ලෙසට හැඳින්වුවද ආයුර්වේද මත අනුකූලව මධුමේහය යනු ප්‍රමේහ රෝග විස්සෙන් එක් රෝගයක් පමණි. එය වාතජ ප්‍රමේහ රෝග අතරින් එකකි. 

වාතජ ප්‍රමේහ රෝග ප්‍රබේද 4ක් ලෙස ද, පිත්තජ ප්‍රමේහ රෝග ප්‍රබේද 6ක් හා කඵජ ප්‍රමේහ රෝග ප්‍රබේද 10ක් ලෙස ප්‍රමේහ රෝග වර්ග කල හැක. මෙම විසි වැදෑරුම් ප්‍රමේහයන් සඳහා නිසි ප්‍රතිකාර සිදු නොකරන කල්හි ද මධුමේහ තත්ත්වයට පත් විය හැකි බව ආයුර්වේදයේ පිලිගැනීමයි. 

එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ දී දියවැඩියාව ලෙස හැඳින්වෙන තත්ත්වය කල්යාමෙන් (Chronic) මධුමේහ අවස්ථාව බවට වර්ධනය විය හැක. 

වාතජ ප්‍රමේහ මධුමේහය අසාධ්‍ය හෙවත් සුව කිරීමට අපහසු රෝග තත්ත්වයකි. එනම්, ප්‍රතිකාර යෙදීමෙන් යම් සුවයක් ලබාගනු විනා සම්පූර්ණයෙන්ම සුව කිරීම අපහසු යැයි ආයුර්වේද මූල ග්‍රන්ථ වල සඳහන් රෝගී අවස්ථාවකි. 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන ආකාරයට අලුත් සහලේ බත්, පස්ගෝරස, ගව/එළු/කුකුළු හා ජලජ මාංශ, පැණි/හකුරු යෙදූ ආහාර (වර්තමානයේ නම් සීනි හා මාංශ අධිකව අඩංගු ක්ෂණික ආහාර පාන ආදිය) නිතර භාවිතා කිරීමත්, ව්‍යායාම වලින් තොර වීමත්, අධිකව නිදා ගැනීමත්, සැප අධික ලෙස දිවි ගෙවීමත් ප්‍රමේහයන්ට හේතු ගෙනෙන බව දක්වා ඇත. 

බටහිර වෛද්‍ය මතයට අනුව රුධිරයේ ඇති ග්ලූකෝස් යාමනය සඳහා අග්න්‍යාශය විසින් ශ්‍රාවය කරන ඉන්සියුලින් හෝමෝනය වැදගත් වේ. මෙම පරිවෘත්තිය ක්‍රියාවලියෙහි හටගන්නා විකෘති තත්ත්වයක් හේතුවෙන් ඉන්සියුලින් මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියමිත පරාසයක රඳවා ගැනීමට අපොහොසත් වීමෙන් දියවැඩියාව ඇති වේ. ඒ අනුව දියවැඩියාව,

 type 1 – ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් ශරීරය තුල නිපදවීමට නොහැකි වීමෙන්,

Type 2 – දේහ සෛල වල ඉන්සියුලින් වලට ප්‍රතිචාර දැක්වීම දුර්වල වීමෙන්,

Secondary – වෙනත් රෝගී තත්ත්වයක සංකූලතාවයක් හේතුවෙන්,

Gestational – ගර්භණී භාවය සමඟ රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහල යාමෙන් 

ලෙස ප්‍රධාන ආකාර 4කින් හටගත හැක. 

රෝග ලක්ෂණ –

• දිනකට වැඩි වාර ගණනක් මුත්‍රා පිටවීම

• අධික පිපාසය හා තොලකට වේලීම

• එකවර සිරුරේ බර අඩු වී කෘශ වීම

• අධික තෙහෙට්ටුව හා අප්‍රාණික බව

• සුව නොවන තුවාල පැවතීම හා ආසාදන වලට පහසුවෙන් ගොදුරු වීම

• අසාමාන්‍ය ලෙස නිතර නිතර කුසගිනි දැනීම

• මුත්‍රා වල ගන්ධය ඇපල් ගන්ධයෙන් යුක්ත වීම

• මුත්‍රා කල පසු වැසිකිලියට තුල කුහුඹුවන්/මැස්සන් අධිකව ගැවසීම

• පෙනීමේ දුර්වලතා ඇතිවීම

• පාද හිරිවැටීම

• කෙණ්ඩ පෙරලීම නිතරම සිදුවීම

• චර්ම රෝග පහසුවෙන් වැළඳීම

• ලිංග ප්‍රදේශයන්හි කැසීම් පැවතීම හා ලිංගාශ්‍රිතව තුවාල ඇතිවීම 

පුද්ගල ප්‍රතිශක්තිය දුර්වල කර ශරීරයේ සියලුම පද්ධතීන් කෙරෙහි බලපෑම් ඇති කරන දියවැඩියා රෝගී තත්ත්වය මිනිස් සිරුර නොයෙක් අයුරින් පීඩාවට පත් කරනු ඇත. තව ද, රුධිරගත අධික ග්ලූකෝස් පිළිකා සෛල කෙරෙහි ඇතිකරන බලපෑමෙන් ප්ලීහාව ආශ්‍රිත පිළිකා, මුත්‍රා මාර්ගගත පිළිකා, සමේ පිළිකා හා පියයුරු පිළිකා ඇති කිරීමට ඍජු හා වක්‍රාකාරයෙන් හේතු සපයන බවට නව්‍ය පර්‍යේෂණ මගින් හඳුනාගෙන ඇත. දියවැඩියා රෝගීන්ගේ සම තුනී වීම හේතුවෙන් පහසුවෙන් තුවාල වීම, සම වියළීම, තුවාල ඉක්මනින් සුව නොවීම, සම මත දිලීර/බැක්ටීරියා ආසාදන පහසුවෙන් ඇති වීම සිදු වේ. තව ද, සංවේදනය හානි වී හිරිය පැවතීම හේතුවෙන් යටි පතුල් නිතර තුවාල වී, තුවාලයන් ඔඩු දුවන තැනට පත් වන තුරු රෝගියාට හඳුනාගැනීමට නොහැකි වන අවස්ථා පවතී. අවසානයේ ඇඟිලි හෝ පාද ශරීරයෙන් ඉවත් කිරීමට පවා මෙනිසා සිදු විය හැක. පුරුෂයින්ගේ ශිෂ්ණය වෙත සැපයෙන රුධිර සැපයුම අවහිර වීමත්, ස්නායු ආවේගයන්හි ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවීමත් හේතුවෙන් දියවැඩියාව ලිංගික අප්‍රාණිකත්වය ද හේතු විය හැක. දීර්ඝකාලීන දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩිවීම නිසා මුඛය අභ්‍යන්තරයේ අහිතකර බැක්ටිරියා වර්ධනය වීමත්, දත් දිරායාම ඉක්මන් වීමත් සිදුවේ. දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලුකෝස් සෛල වලට උරා නොගැනීම නිසා රුධිරගත ග්ලූකෝස් මට්ටම සැම විටම අධික වේ. එමනිසා සෛල වලින් නිපදවන ශක්තිය හීන වේ. රෝගීන් කෘශ/දුර්වල තත්ත්වයට පත් වේ. 

රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වීමෙන් මොළයේ සෛල වල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති වීමෙන් ක්ෂණික ආඝාත (Stroke) හෝ හෘදය වෙත බලපෑම් ඇති වීමෙන් හෘදයාබාධ ඇතිවීම මෙම රෝගයේ අවදානම් අවස්ථාවන් වේ. කාලයක් පුරාවට දියවැඩියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳීම නිසා වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වී අකර්මණ්‍ය වීම ද සිදුවිය හැක. තව ද ග්ලූකෝමා තත්ත්වය හේතුවෙන් පූර්ණ දෘෂ්ටි නාශනය නොහොත් ඇස් නොපෙනී යාම පවා සිදුවිය හැක. එබැවින් දියවැඩියාව Diabetic neuropathy (ස්නායු පද්ධතිය ආශ්‍රය කරගනිමින්), Diabetic nephropathy (වකුගඩු ආශ්‍රය කරගනිමින්) හා  Diabetic retinopathy (ඇසේ දෘෂ්ටි විතානය ආශ්‍රය කරගනිමින්) යන ආකාර වලින් සංකූලතා ඇති කරනු ලැබේ.

දෙමාපියන්ගෙන් එක් අයෙක්ට අවුරුදු 50ට පෙර දියවැඩියාව වැලඳුනි නම් දරුවන්ට වැළඳීමේ හැකියාව 14%ක් වන අතර අවුරුදු 50ට පසු වැළඳුනි නම් දරුවන්ට වැළඳීමට ඇති හැකියාව 8%ක් පමණ වන බවත්, දෙමාපියන් දෙදෙනාටම දියවැඩියාව වැලඳී තිබේ නම් 50%ක ප්‍රවණතාවකින් ද දරුවන්ට රෝගය වැළඳෙන බව පර්‍යේෂණ මගින් පෙන්වා දී ඇත. එබැවින් පවුලේ රෝග ඉතිහාසයක් පවතින පුද්ගලයින් රෝගය පිලිබඳ සැලකිලිමත් වීම අනිවාර්යය වේ. 

ජානගත හේතූන් මත හටගන්නා දියවැඩියා තත්ත්වය සුව කිරීම ඉතා අපහසු අවස්ථාවක් බැවින් නිතර මනස නිරවුල්ව තබා ගැනීම, රෝගයට හිතකර ආහාර පාන හා විහරණ වෙත නැඹුරුවීම, අහිතකර ආහාර පානයන්ගෙන් හා විහරණයන්ගෙන් ඈත් වීම, ව්‍යායාම සිදු කිරීම හා යෝග අභ්‍යාස වල නිරත වීම මගින් වෛද්‍ය ප්‍රතිකාර වල සාර්ථක ප්‍රතිපල උදෙසා ඉවහල් වේ. 

මුල් අවස්ථාවේදී ම දියවැඩියාව හඳුනා ගැනීමෙන් සංකූලතාවයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙන අතර සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ඉක්මනින් යොමු වී නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීම අතිශය වැදගත් වේ. (දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ප්‍රතිකාර පිලිබඳව ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.)

– ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක

BAMS Colombo

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව දීර්ඝ කාලීන පීඩා ඇති කරන ඇදුම රෝගය

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා “ශ්වාස” රෝගය නොහොත්, සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන පරිදි “ඇදුම” රෝගය වත්මන් සමාජය තුල ඉතා සුලබව වැලඳෙන බෝ නොවන රෝගී තත්ත්වකි. නාසයෙන් ආශ්වාස කල වාතය පෙනහලු කරා රැගෙන යන ශ්වාසනාලය හා අනෙකුත් ශ්වාස නාලිකා ආශ්‍රිතව හටගන්නා මෙම රෝගී තත්ත්වය ආසාත්මිකතාවයන් ප්‍රමුඛ කොට ගෙන වැළඳීමේ ප්‍රවණතාවක් ද පවතී. ශ්වාසනාලය හා ශ්වාසනාලිකා වල අධි සංවේදීතාව හේතු කොට ගෙන හෝ ශරීර අභ්‍යන්තර හා බාහිර හේතූන් කරණ කොට ගෙන ශ්වසන පද්ධතිය ආශ්‍රිතව යම් ආසාත්මිකතාවයන් පහසුවෙන් හටගත හැක. එමනිසා හුස්ම ගැනීම හා පිටකිරීම එනම්, ආශ්වාස හා ප්‍රශ්වාසයට බාධා ඇතිවීම මෙම රෝගයේ ප්‍රධානතම ලක්ෂණයයි. ආයුර්වේද වෛද්‍යානුකූලව මෙම රෝගය ශරීරයේ “කඵ” දෝෂය හේතුවෙන් වාතයේ ක්‍රියාව හානි වීමෙන් හට ගනී.

ශ්වසන නාලයන්හි තාවකාලික හෝ ස්ථිර හැකිලීම් නිසා අභ්‍යන්තර විවරයේ පටු වීම්, අධිකව ස්‍රාවයන් ගැලීම, ආසාත්මිකතා හේතුවෙන් ඉදිමීම හා ආසාදනය වීම් නිතර නිතර සිදුවීම නිසා මෙම රෝගී තත්ත්වය කල් පවත්නා රෝගී තත්ත්වයක් ලෙස වර්ධනය විය හැක. ශරීරයේ බාහිරව ඇතිවන ආසාත්මිකතාවයකදී එනම්, Allergy අවස්ථාවකදී ඉදිමීම්, රතු වීම්, කැසීම් වැනි අපහසුතා ඇතිවන්නා සේම මෙම රෝගී අවස්ථාවේදී ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඉදිමීම්, ස්‍රාව ගැලීම් දක්නට ලැබේ. මෙය සිදුවන්නේ ශරීරයට ඇතුලු වූ ආසාත්මික ද්‍රව්‍ය ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් ලෙසටය. 

දුම්, දූවිලි, සුවඳ විලවුන්, සුරතල් සතුන්ගේ ලොම් හා මලද්‍රව්‍ය, මල් වල පරාග, වී කාටු, මකුළු දැල්, ලී කුඩු, සිමෙන්ති කුඩු, ඇස්බැස්ටස් කුඩු, උදෑසන පින්න ආදී නොයෙකුත් හේතූන් ආසාත්මිකතාවයන් ඇති කිරීම නිසා ශ්වසන නාල ඔස්සේ වාතයේ සාමාන්‍ය ගමන් මග අවරෝධ වීම සිදුවේ. මෙවිට ශ්වසන නාල ආශ්‍රිත මාංශපේශීන්ගේ තද බව (tightness) ඇති වීම, ශ්වාසනාල අභ්‍යන්තර ආස්තරය (inside lining) රතු වී ඉදිමීමට ලක්වීම හා නාල අභ්‍යන්තරයේ ශ්ලේෂ්මල (sputum) වැඩි වශයෙන් එකතු වීම සිදු වේ. මෙහි දී ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා පැමිණීම නිසා,

• හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවීම

• පපු ප්‍රදේශයේ තද බව නොහොත් හිරවීම

• කෙටි හුස්ම වැඩි වාර ගණනක් ගැනීම 

• හුස්ම ගන්නා විට පපුවේ රාං රූං ශබ්දයක් ඇසීම

• කැස්ස පැවතීම 

• එකදිගට කතා කිරීම අපහසු වීම

• නිදන ඉරියව්වේ දී හුස්ම ගැනීමෙ අපහසුතාවය වැඩිවීම නිසා රාත්‍රියට නින්ද නොයාම

වැනි රෝගී ලක්ෂණ ප්‍රකට වේ.

වයස් භේදයකින් තොරව දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද රෝග ලක්ෂණ මතුවීමට බලපාන සාධක කොතෙකුත් පවතින අතර එය පුද්ගලානුබන්ධ වේ. බොහෝවිට නිශ්චිතව හඳුනාගැනීමට පවා අපහසුය. ඇතැම්විට ස්වාමි පුරුශයා භාවිතා කරන සුවඳ විලවුන් වර්ගය හේතුවෙන් බිරිඳ රෝගී වන අවස්ථා ද, කුඩා දරුවා රාත්‍රියට තුරුළු කර ගන්නා සුරතල් ටෙඩී බෙයාර් නිසා  රාත්‍රියේදී ඇදුම රෝගය උත්සන්න වන දරුවන් ද, මෙට්ට වල බුමුතුරුණු වල ජීවත් වන කීඩෑවන් වැනි සතුන්ගේ අපද්‍රව්‍ය හේතුවෙන් රෝගී වන වැඩිහිටියන් ද, ගොයම් කපන කාලයට ඇදුම රෝගය උත්සන්න වන ගොවි මහතුන් ද හඳුනා ගත හැක. ඇතැම් රෝගීන් සඳහා ඉහත හේතු කිහිපයක් බලපානු ඇත. ඇතැමෙක් ට එක් හේතුවක් පමණක් ද රෝගය ඇතිවීමට හෝ උත්සන්න වීමට ප්‍රමාණවත් විය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල ශ්වාස රෝගය ප්‍රභේද පහකින් දක්වා ඇති අතර, සාමාන්‍ය ව්‍යවහාරයේ ඇදුම ලෙසට හඳුන්වන රෝගී තත්ත්වය “තමක ශ්වාස” රෝගී තත්ත්වයයි. එය බටහිර වෛද්‍ය විද්‍යාත්මකව “Bronchial asthma” ලෙසට හදුන්වයි. වර්තමාන පරිසරය තුල අධික ලෙස වාතය දූෂණය වීම ශ්වාස රෝගය ඇතුලු අනෙකුත් පෙනහළුගත රෝග ඇතිවීම කෙරෙහි සෘජුව බලපා ඇති බව විද්‍යාත්මක පර්‍යේෂණ මගින් අනාවරණය කර ඇත. එනම්, දූෂිත වාතයේ ඇති අහිතකර රසායනික සංඝටක ආසාත්මිකතාවයන්ට හා අධිසංවේදීතාවයන්ට හේතු වීමෙන් නිදන්ගත ශ්වාස නාලිකා ප්‍රදාහ රෝගය (Chronic bronchitis), ඇදුම (Asthma) හා නිදන්ගත පෙනහළු ධමනි ප්‍රදාහ (Chronic obstructive pulmonary disease – COPD) වැනි රෝග වර්තමාන සමාජය තුල බහුලව වැලඳෙන බව වෛද්‍ය පර්‍යේෂණ මගින් පෙන්වා දී ඇත. එබැවින් ශ්වාස රෝගීන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ ඉතා සුළු රෝග ලක්ෂණ වල සිට ජීවිත අවදානමක් ඇතිකරන බරපතල රෝග ලක්ෂණ දක්වා පරාසයක පෙන්නුම් කෙරේ. 

දීර්ඝ කාලීනව ඇදුම රෝගයෙන් පීඩා විඳින රෝගියෙකු සතු රෝග ලක්ෂණ –

• අධික හතිය

• ප්‍රශ්වාසය දීර්ඝ වීම

• හෘත් ස්ඵන්දනය වේගවත් වීම

• උරස් කුහරය සාමාන්‍ය පරිදි පිම්බී නොතිබීම

ශ්වසනය සඳහා උපකාර වන අතිරේක පේශීන් එනම් බෙල්ල ආශ්‍රිත පර්ශු, ගෙල ආශ්‍රිත හා පපු ප්‍රදේශයේ අස්ථි අතර මාංශ පේශීන් ගිලී යාම

• ඔක්සිජන් හුවමාරුව නිසියාකාරව සිදු නොවීම නිසා රුධිරයේ ඔක්සිජන් හිඟ වීමෙන් රෝගියා නිල්පැහැ ගැන්වීම. – මේ අවස්ථාවේදී රෝගය මාරාන්තික තත්ත්වයට වුව ද ලඟා විය හැක.

රෝගය උත්සන්න විය හැකි අවස්ථා – 

• ශීත ගුණ ආහාර නිතර ගැනීම

• උෂ්ණ ගුණ අධික ආහාර වන බලමාළු, ඉස්සන්, කකුළුවන්, කෙලවල්ලන් ආදී ආහාර නිතර ගැනීම (එම ආහාර වල ඇති හිස්ටැමීන් රසායනික සංඝටකය මගින් පහසුවෙන් ආසාත්මිකතාවයන් ඇතිකරනු ලැබේ)

• අලුයම හෝ රාත්‍රියේ ජල ස්නානය කිරීම

• නිතර වැලඳෙන ප්‍රතිශ්‍යාව, පීනස සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගැනීම

• බියර්, සිසිල් බීම, කිරි වර්ග නිතර පානය කිරීම

• දුම් පානය කිරීම

• දුම්, දූවිලි, මකුළු දැල්, සුරතල් සතුන් හා සෙල්ලම් සතුන්ගේ ලොම් ශ්වසන පද්ධතියට ඇතුළු වීම

• ඇතැම් ඖෂධ වර්ග භාවිතය 

මීට අමතරව ව්‍යායාම කිරීම, මානසික හේතූන්, බියවීම්, තැතිගැනීම් හා දේශගුණික වෙනස්වීම් ද ඇදුම රෝගය වර්ධනය වීමට හේතු විය හැක.

වලක්වා ගැනීම සඳහා – 

~ දහවල් කාලයේ ස්නානය කිරීම

~ අධික ශීත ගුණැති ආහාර වන කිරිබත්, මුංඇට, තැඹිලි, නිවිති, සව් නිතර ආහාරයට නොගැනීම

~ අධික උෂ්ණ ගුණැති ආහාර අවම කිරීම

~ ඇඳ ඇතිරිලි, මදුරු දැල් නිතර පිරිසිදු කිරීම

~ මුව ආවරණ භාවිතා කිරීම

~ මකුළු දැල් කැඩීමේදී, පොත් රාක්ක හෝ පරණ ඇඳුම් අස් කිරීම, මිදුල ඇමදීම ආදී කටයුතු වලදී අනිවාර්යයෙන් මුව ආවරණ පැලඳීම

~ කුඩා දරුවන් හට ඇඳ මත සුරතල්/සෙල්ලම් සතුන් තබාගැනීමට ඉඩ නොදීම

ශ්වාස රෝගය සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලෙසට..

– ඖෂධීය තෙල් ගැල්වීම

– ස්වේද ප්‍රතිකාර කිරීම

– වාත අනුලෝමනය සලකා බලා ස්නිග්ධ ලවණ යෙදීම

– ශක්තිමත් ශරීර ඇති අයට ඌර්ධව හා අධඃ ශෝධන කර්ම සිදු කිරීම

– දුර්වල ශරීර ඇති අයට ශමන ප්‍රතිකාර කිරිම 

සිදුකල හැක.

තමක ශ්වාස නොහොත් ඇදුම රෝගී අවස්ථාව සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පවතින බැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය පහසුවෙන් සුවකර ගැනීමේ හැකියාව පවතී.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)