‘අර්ශස්’ රෝගයෙන් ඔබත් පීඩා විඳිනවාද?

‘අර්ශස්’ රෝගයෙන් ඔබත් පීඩා විඳිනවාද?

වත්මන් සමාජයේ ඉතා සුලභ, ඉක්මන් නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවන රෝගී තත්ත්වයක් ලෙස ‘අර්ශස්’ රෝගය හැදින්වීමට පිළිවන. ප්‍රසිද්ධියේ මෙම රෝගී තත්ත්වය පිළිබඳ කතා කිරීමට රෝගීන් පසුබට වුවද අද සමාජයේ බොහෝ දෙනෙක් අර්ශස් රෝගයෙන් පීඩා විඳින බව නොරහසකි. 

කුඩා අවධියේ සිට වයස් ගත වියපත් අවධිය දක්වා පුද්ගලයින් හට අර්ශස් රෝගය වැළඳීමට හැකියාව ඇති බැවින් ස්ත්‍රී – පුරුෂ භේදයකින් හා වයස් භේදයකින් තොරව මෙම රෝගයෙන් පීඩා විඳින රෝගීන් අද සමාජය තුළ බහුලව වාර්තා වේ. නමුත් අර්ශස් රෝගය යනු කල්තියා නිවැරදි රෝග විනිශ්චය තුළින් හඳුනාගෙන ඉතා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් ඉක්මනින් සුව කර ගැනීමේ හැකියාව පවතින රෝගී තත්ත්වයකි.

ආයුර්වේද මතානුකූලව අර්ශස් රෝගය, වාතාදී දෝෂයන් විෂම වී සම, මස, මේදස් දූෂණය කොට ගුද මාර්ගය ආශ්‍රය කොට ගෙන ඇතිවන රෝගී තත්ත්වයකි. 

‘අරිවත් ප්‍රාණාත් ශෘණාති හිනස්ති ඉති අර්ශඃ’

ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වන අයුරින් ‘සතුරෙක් මෙන් පණ නසාලනුයේ, එය අර්ශස් නම් වේ’.

අර්ශස් අංකුර නොහොත් ගෙඩි(ඛීල)වලින් ගුද මාර්ගය අවුරා පුද්ගලයාට සතුරෙකු මෙන් හිංසා කරන හෙයින් මෙම සංස්කෘත නිර්වචනය ලබා දී ඇත. එමගින් රෝගියා අර්ශස් රෝගයෙන් පීඩාවට පත්වන ප්‍රබලත්වය හා අර්ශස් රෝගයේ බැරෑරුම්කම කියා පානු ඇත.

රෝගියා කායිකව හා මානසිකව පීඩාවට පත් කරමින් හට ගන්නා වේදනාකාරී රෝගී අවස්ථාවක් වූ හෙයින් අර්ශස් රෝගය ආයුර්වේදයේ සඳහන් ‘මහා රෝග’ වන 

‘වාත ව්‍යාධීෂ්මරී කුෂ්ඨ ප්‍රමේහෝදර භගන්දරම් ග්‍රහණ්‍යාර්ශාංසි..’  යන රෝග 8න් එක් රෝගයක් ලෙසට සැළකේ.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව අර්ශස් රෝගය Piles හෝ Hemorrhoids ලෙස හැඳින්වෙන අතර සාමාන්‍ය ව්‍යවහාරයේ මූලගාය, මූලග්ගින්න ලෙසද, සංස්කෘතික පර්‍යාය ලෙසට දුර්නාම, මූල ව්‍යාධී, මාංසාංකුර, ගුදාංකුර, මාංස ප්‍රරෝහ ලෙසද අර්ශස් රෝගය හඳුන්වනු ලැබේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අර්ශස් රෝගය ගුද මාර්ගයට පමණක් සීමා නොවන රෝගී තත්ත්වයකි. එනම් ගුදය, ලිංග, යෝනි, නාසා, තාලු, ගෙල, චර්මය, මුහුණ, ඇස්, කන්, අත්, පා ආදියෙහි ද අප්‍රධාන වශයෙන් අර්ශස් හට ගැනෙන බව ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වේ.

ශරීරයේ නොයෙකුත් තැන්හි, නොයෙක් ඉන්ද්‍රියයන් ඇසුරු කොට ගනිමින් අර්ශස් රෝගය හට ගත්තද පොදුවේ ‘අර්ශස්’ යැයි කියූ පමණින් එය ගුද මාර්ගය හා සම්බන්ධ රෝගී තත්ත්වය ලෙසට බහුලව සළකනු ලැබේ.

මහාන්ත්‍රයේ අවසාන කොටසෙහි එනම් ගුදයේ ඉහළ සිට පහළට පිහිටා ඇති මල කොටස් බැහැරට ඇද දැමීම සිදුකරන රැලි ගැසුනු පිහිටීම් ගුද වලි ලෙසට හඳුන්වන අතර එම වලි ත්‍රිත්ත්වය ප්‍රවාහිණී, විසර්ජණී, සංවරණී ලෙසට නම් කෙරේ. ගුද අර්ශස් ඇතිවනුයේ මෙම ගුද වලිත්‍රය ආශ්‍රය කොටගෙනය.

ආයුර්වේද මූල ග්‍රන්ථයන්හි සඳහන් අයුරින්,

ප්‍රවාහිණී- ගුදය අභ්‍යන්තර වලිය ලෙස හැඳින්වේ. තැටමීමේදී මල පහළට තෙරපා හරිනුයේ මෙම වලියෙනි. මෙහි හටගැනෙන අර්ශස් සුව කිරීම අපහසු බව ආයුර්වේද ග්‍රන්ථයන්හි දක්වා ඇත.

විසර්ජණී- ගුදයේ මැද වලියයි. තැටමීමේදී මල පදාර්ථ නිසා දිග හැරී මල පිට කිරීම මෙම වලියෙන් සිදුවේ. මෙහි හටගන්නා අර්ශස් සුව කිරීම පහසු වන අතර උග්‍ර වුවහොත් ශල්‍යකර්ම කිරීමෙන් සුව කළ හැක.

සංවරණී- ගුදයේ අවසාන වලිය වේ. තැටමීමේදී මල පිටවූ පසු මල මාර්ගය වසාලීම කරනුයේ සංවරණී වලියෙනි. මෙහි හටගන්නා අර්ශස් කෂාය, ලේප, ධූම, ස්වේද, ගුද වැටි යන ආයුර්වේද ප්‍රතිකර්මයන් මගින් පහසුවෙන් සුවකළ හැකිය.

මෙම වලි තුන ආශ්‍රය කරමින් එම බිත්ති වල තිබෙන ශිරා හා ඇතැම් කේෂ නාලිකා රුධිරය එකතු වී පිම්බීම හා තැටමීමේදී රුධිර නාලයන් ගුද විවරය තුළින් පිටතට පැමිණීම සිදුවේ. ඒවා අර්ශස් ගෙඩි ලෙසට සැළකේ.

එමෙන්ම බටහිර මතයට අනුව ගුද මාර්ගයේ හෝ ගුදය අවට රුධිර නාල හා පටක ප්‍රදාහයට ලක් වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස අරශස් රෝගය වර්ධනය වන බව දක්වයි. ගුදය අවට ශිරාග්‍රන්ථිමය තත්ත්වයක් හට ගැනීමෙන් රුධිරය පිරුණු රුධිර නාල ගුද විවරයෙන් පිටතට තල්ලු වීමෙන් රුධිරය පිරි ගෙඩි ගුද මාර්ගයේ හා ඒ අවට පිහිටීමෙන් රෝගියා හට මල පිටකිරීම වේදනාකාරී අත්දැකීමක් බවට පත්කිරීම මෙම රෝගයේ ප්‍රධානතම ලක්ෂණයයි.

අර්ශස් රෝගයේ ප්‍රබේද 6ක් පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව විස්තර වේ. එනම් වාතජ, පිත්තජ, කඵජ, ත්‍රිදෝෂජ, රක්තජ හා සහජ අර්ශස් වේ.

මෙම ප්‍රබේදයන් ගුද ඛීලයන්ගේ වර්ණය, ස්වභාවය, හැඩය, තද හෝ මෘදු බව, වේදනාව පවතීද, දැවිල්ල පවතීද යන බව, රුධිරය වහනය වන්නේද යන බව සළකා ප්‍රමුඛ දෝෂ තත්ත්වය අනුව ප්‍රබේද කොට ඇත.

වයස් භේදයකින් තොරව අර්ශස් රෝගය උපතේදීම සහජයෙන් උරුම වන අවස්ථාවන්ද වාර්තා වේ. තවද ගර්භනී කාලයේදී ගර්භයේ වැඩීමත් සමග ඒ ආසන්නයේ ශිරාවන්ගේ තද වීම හේතුවෙන් ගර්භනී මව් වරුන් අර්ශස් රෝගයෙන් පීඩා විඳීම බහුලව ප්‍රකට වේ.

රක්තජ අර්ශස් ප්‍රබේදය වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන අතර මල පිට කිරීමට අධිකව තැටමීමේදී බද්ධ මල හේතුවෙන් ගුද චක්‍රයේ ලේ පිරී ඇති රුධිර වාහිනී තෙරපීමට ලක්වේ. එහිදී රුධිර වාහිනී බිඳ වැටීමෙන් වේදනාවෙන් මල සමඟ ලේ පිටවීම ආරම්භ වේ.

පිත්තජ හා රක්තජ අර්ශස් වලදී වෙනත් අර්ශස් ප්‍රබේද වලට වඩා අධික ලෙස රුධිරය වහනය වීම, ගුද මාර්ගය අවට අසාමාන්‍ය ලෙස තැනින් තැන ඉදිමීම් නිරීක්ෂණය සහ මල පිටකිරීමට පෙර හා පිටකල පසුව අධික දැවිල්ලක් හට ගැනීම දක්නට ලැබේ.

වාතජ අර්ශස් අවස්ථාවේදී ගුද මාර්ගය අවට ව්‍යාප්තව කුඩා ඉන්නන් වැනි ස්වරූපගත් අර්ශස් ඛීල පවතී.

කඵජ අර්ශස් තරමක් විශාල අර්ශස් ගෙඩි වන බැවින් ගුද මාර්ගයෙන් පිටතට පහසුවෙන් පැමිණේ. ගෙඩි වලින් ලේ ගැලීමක් නොවුනද තෙත් බවින් යුක්ත වේ. එමනිසා යට ඇඳුම් නිතර තෙත් වීම රෝගී ලක්ෂණයක් ලෙසට රෝගීන් ප්‍රකාශ කරයි.

අර්ශස් රෝගයේ ප්‍රමුඛ රෝග ලක්ෂණ 

මල පහ කිරීමේදී වේදනාව, දැවිල්ල, ගුද මාර්ගයේ තෙතමනය හා කැසීම.

මල පහ කිරීමේදී රුධිරය පිටවීම.

අර්ශස් ගෙඩි ආකාරයෙන් ගුදයෙන් පිටතට පැමිණීම.

මල බද්ධය.

බඩ පුරවා දැමීම.

නිතර කේන්තියාම හා අධික නොසන්සුන් බව.

මල පහ කිරීමේදී හෝ කිරීමෙන් පසු යටිබඩ හා කොන්ද ආශ්‍රිතව අධික වේදනාවක් දැනීම.

මල පිටකළ පසු තවදුරටත් මල පිට කිරීමේ අවශ්‍යතාව දැනීම.

ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයෙන් දීර්ඝ කාලයක් පීඩා විදීම.

අර්ශස් රෝගීන් තුළ බොහෝ විට මලබද්ධය නොහොත් මල පිටකිරීමේ අපහසුව දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයකි.

රෝගියා මල පිට කිරීමට අධිකව තටමන විට ගුද මාර්ගය අභ්‍යන්තරයේ අර්ශස් ගෙඩි පවතීනම් එතුළින්ද මල පිටතට ඇද දැමීමට බාධා ඇති කෙරේ. එබැවින් රෝගියාට ඇතිවෙන වේදනාකාරී තත්ත්වය අතිමහත්‍ ය. මෙම අවස්ථා වලදී ගුද මාර්ගයෙන් රුධිරය පිටව යාම සිදුවේ.

මෙම රෝග ලක්ෂණ සමග රෝගියාගේ කායික, මානසික සමතුලිත බව සහමුලින්ම බිඳ වැටෙන්නට හේතු වේ.

බටහිර මතය අනුව External Haemorroids සහ Internal Haemorroids ලෙස අර්ශස් දෙයාකාරයකි.

External Haemorroids එනම් බාහිර අර්ශස් යනු ගුද මාර්ගයේ බාහිරින් පවතින අර්ශස් වේ. ආයුර්වේදානුකූලව සංවරණී වලිය ආශ්‍රිතව හටගන්නා අර්ශස් මේ යටතට ගැනේ. මෙම අර්ශස් ප්‍රබේදය වේදනාවෙන් හා ප්‍රාමාණිකව විශාලත්වයෙන් වැඩි වේ. රුධිර වහනය අවම අතර පිටතට විදාරණය වීම පහසුවෙන් සිදුවේ.

Internal Haemorroids නොහොත් අභ්‍යන්තර අර්ශස් ගුද මාර්ගයේ අභ්‍යන්තරයේ ඇතිවේ. වේදනාවෙන් අඩු අතර විශාලත්වයෙන් කුඩා අර්ශස් වේ. නමුත් රුධිර වහනය වැඩි අර්ශස් අංකුර ලෙසට සැළකේ. ප්‍රවාහිණී හා විසර්ජණී ගුද වලි ආශ්‍රය කරමින් ඇතිවන අර්ශස් හා සමාන ලක්ෂණ පෙන්නුම් කෙරේ.

අර්ශස් ඇතිවීමට මූලික හේතු

1. ඇතැම් උදරගත අර්බුද නිසා අන්ත්‍රවල සිට අක්මාව වෙත රුධිරය ගෙන යන ප්‍රතිහාරිණී මහා ශිරාව ඇහිරීමෙන් අධෝගත ප්‍රදේශයේ පීඩනය වැඩිවී ගුද ශිරා තුළ රුධිරය රැස්ව පැවතීම

2. දීර්ඝ කාලීනව පවතින මලබද්ධතාව (Habitual constipation)

3. අධික මද්‍යයපානය, දුම් පානය

4. කෙඳි සහිත ආහාර භාවිතය අවම වීම

5. දවසේ වැඩි කාලයක් කය වෙහෙසීමකින් තොරව එක තැන වාඩිවී සිටීම (එම නිසා ඉහළ අවයව වල බර උසුළා සිටීමෙන් ගුද කලාව තෙරපීමට ලක් වීම)

6. මල-මූත්‍ර වේගධාරණය කිරීම

7. ව්‍යායාම නොකිරීම 

8. සහජ හේතු- දෙමාපියන්ට රෝගය පැවතීම හේතුවෙන් දරුවන්ට රෝගය උරුම වීම (ප්‍රවේණිගත හේතු)

වර්තමානයේ අර්ශස් රෝගී තත්ත්වය මෙතරම් බහුල වීමට හේතුව වනුයේ වත්මන් සමාජය තුළ අනුගමනය කරන අක්‍රමවත් ආහාර හා විහරණයි. විශේෂයෙන්ම වයස්ගත වීමේදී අර්ශස් රෝගය වැළඳීමේ වැඩි ස්ම්භාවිතාවයක් පැවතුනද ඕනෑම වයස් කාණ්ඩයකදී පත්‍ය නොවූ ආහාර-විහරණ හේතුකොට ගෙන අර්ශස් රෝගය හට ගනී.

ලාංකික වැඩිහිටි ජනගහණයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් අර්ශස් රෝගයෙන් පීඩා විඳින බවත්, නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු නොවීමත් කණගාටුවට කාරණයකි. තවද, රෝගය සඳහා ප්‍රතිකාර අඛණ්ඩව සිදු නොකිරීමත්, රෝගය ඇති වීමට බලපාන හේතූන්ගෙන් වැළකීම සිදු නොකිරීමත් නිසා රෝගය නැවත හටගැනීමට හේතු සැකසේ.

ඇතැමෙක් ගුද මගින් රුධිරය පිටවීම දුටු සැනින් අර්ශස් ලෙසට රෝග විනිශ්චය කරනු ඇත. නමුත් එය එසේ නොවන අවස්ථා රාශියකි. භගන්දර(Fistula), ගුදාර්බුධ (tumours), ගුදමග පැලීම්(Anal fissures), ගුද පිඩකා(Anal abscess), ගුදගත පිළිකා(Anal cancers) යන රෝග අවස්ථාවන්හිදීත් ගුද මාර්ගයෙන් රුධිරය වහනය බහුලව සිදුවේ. රුධිරය විදීමක් හෝ වැඩි පරිමාවකින් රුධිරය(Fresh blood) ගුද මාර්ගය ඔස්සේ පිටවීම එහිදී සිදුවේ.

එමෙන්ම, මල කළු පැහැයෙන් හෝ තාර පැහැයෙන් වර්ණ ගැන්වී පිටවේ නම් එම තත්ත්වය අර්ශස් තත්ත්වයක් නොව ආහාර ජීර්ණ පද්ධතියේ ගුදයට ඉහළ අන්ත්‍ර කොටසේ රෝගී තත්ත්වයක් හේතු කොටගෙන විය හැකිය.

එමනිසා රෝගියා විසින් කළයුතු වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී රෝග ලක්ෂණ නිවැරදිව, නොසඟවා පවසා නිවැරදි රෝග විනිශ්‍චය අප්‍රමාදව ලබා ගෙන ප්‍රතිකාර සඳහා යොමුවීමය.

ප්‍රතිකාර ප්‍රමාද වීමේදී කුඩා අර්ශස් අංකුර ක්‍රමයෙන් විශාලත්වයෙන් වැඩි වේ. කාලයක් තිස්සේ රුධිර වහනය වීම නිසා රක්තහීනතාවය (Anemia) ඇතිවේ.

එමෙන්ම අත් පා ඉදිමීම, කාමලා නොහොත් සෙංගමාලය (Jaundice), ශරීරය කෘශවීම හා දුර්වල වීම හා පසු කාලීනව භගන්දර(Fistula), පරිකර්තිකා(Anal fissure), ගුද භ්‍රංශ(Anal prolapse) වැනි වෙනත් ගුදගත රෝග ඇතිවීමද සුලභ වේ.

පෙර සඳහන් අයුරින් අර්ශස් රෝගය මල බද්ධය නිසා ඉතා පහසුවෙන් හට ගැනෙන අතර, රෝගය නිසා නැවත රෝග ලක්ෂණයක් ලෙසද මලබද්ධය හට ගනී. එමනිසා අර්ශස් සුව කිරීමේදී මල බද්ධය තුරන් කිරීම ප්‍රධාන ලෙසම කළ යුතුය. නැතහොත් චක්‍රානුකූලව නැවත මලබද්ධය හේතුකොට ගෙන අර්ශස් නැවත නැවතත් හට ගනු ඇත. එබැවින් සුව වීමක් සිදු නොවනු ඇත.

අර්ශස් රෝගයේ මුල් අවස්ථාවේදී අර්ශස් ගෙඩි ගුද මාර්ගය තුළින් එළියට පැමිණීමක් සිදු නොවේ. නමුත් ගෙඩි පිහිටන ස්ථානය අනුව හා රෝගය උග්‍ර වීම අනුව මලපහ කිරීමේදී අර්ශස් ගෙඩි ගුද විවරයෙන් එළියට පැමිණෙන අතර තවදුරටත් රෝගය උත්සන්න වීමේදී මලපහ කිරීමේදී පිටතට පැමිණෙන අර්ශස් ගෙඩි නැවතත් ගුද වලි තුළට ගමන් කිරීම සිදු නොවී පිටතම රැඳී තිබෙනු ඇත. එයින් රෝගියා අධික ලෙස පීඩා විඳී.

බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලෙස අර්ශස් ගෙඩි බැඳතැබීම, රබර් පටි යෙදීම, ස්ටේප්ලර් යෙදීම, එන්නත් කිරීම, ලේසර් ප්‍රතිකාර හා ශල්‍ය කර්ම මගින් කපා ඉවත් කිරීම සිදු කරයි.

අර්ශස් ප්‍රබේදය, පැවති කාලය, සාධ්‍ය අසාධ්‍යතාව අනුව අර්ශස් සඳහා ආයුර්වේද ප්‍රතිකාරය වෙනස් වේ. වස්ති, විරේක, රක්ත ශෝධන හා ත්‍රිදෝෂ ශමන ප්‍රතිකාර අර්ශස් රෝගය සඳහා සුදුසු ආයුර්වේද ප්‍රතිකාරයන් වේ.

කෂාය ආදී ඖෂධ ප්‍රතිකාර මගින් සුව නොවන අර්ශස් ශල්‍ය, ක්ෂාර(භාෂ්මික් ද්‍රව්‍ය යෙදූ ප්‍රතිකාර), අග්නි(පිළිස්සුම් මගින් ප්‍රතිකාර කිරීම) චිකිත්සා ක්‍රම මගින් සුව කළ හැකිය.

බාහිර ප්‍රතිකාර ලෙස ආයුර්වේද ඖෂධීය තෙල් හෝ ලේප, ඒකීයව තලතෙල්, ඔලිව්තෙල් වැනි තෛල ගුදය වටා ආලේපය, කෝමාරිකා මද ස්ථානිකව ආලේප කිරීම, මද උණුසුම් ඖෂධීය ද්‍රවයක දිනපතා අවගාහය නොහොත් විනාඩි 15-20ක කාලයක් වාඩිවී සිටීමෙන්(Sit bath) ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැක.

අර්ශස් රෝගීන්ට සුදුසු ආහාර

කොහිල අල, කොහිල දළු, ගම් කිඩාරම් අල, හබරල අල, බතල, රතුළූණු, මුකුණුවැන්න, ගොටුකොළ, කතුරුමුරුංගා වැනි පලා වර්ග, හීන් උඳුපියලිය, කරල්සැබෝ කැඳ, කෙහෙල්මුව, දඹළ, වැටකොළු, නෙළුම්අල වැනි කෙඳි බහුල එළවළු, අළුපුහුල්, කැකිරි, ලබු, පිපිඤ්ඤා වැනි ජල ප්‍රතිශතය වැඩි එළවළු, ගස්ලබු, කොමඩු, බෙලි, කෙසෙල් වැනි පලතුරු, කොළකැඳ වර්ග පත්‍ය ආහාර වේ.

විටමින් C හා K, ෆෝලේට්, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් බහුල ආහාර මල බැහැර කිරීමේ ක්‍රියාව පහසු හා ක්‍රමවත් කරන බව නවීන වෛද්‍ය විද්‍යාවට අනුව පිළිගන්නා බැවින් අර්ශස් රෝගීන් සඳහා හිතකර වේ.

විටමින් K රුධිර කැටිගැසීම් නියාමනය කරන අතර රක්ත අර්ශස් අවස්ථාවේදී රුධිර වහනය අඩු කිරීමට හේතු වේ. එනිසා පලා වර්ග හා කොළ පැහැති එළවළු භාවිතය ඉතාමත් සුදුසු වේ.

අර්ශස් රෝගීන්ට නුසුදුසු ආහාර

ඉස්සන්, දැල්ලන්, බල මාළු, බල කරවල, සැමන්, හුරුල්ලන්, ඌරුමස්, හරක් මස්, අන්නාසි, තක්කාලි, අච්චාරු, විනාකිරි දැමූ ආහාර, දෙල්, මුරුංගා, ඇඹරැල්ලා වැනි උෂ්ණාධික ආහාර නිතර භාවිතය නුසුදුසුය. කෘත්‍රිම ආහාර පාන, රසකාරක යෙදූ අහාර, ක්ෂ්ණික ආහාර, තෙල් අධික බැඳුම් වර්ග, තේ, කෝපි, මත්පැන් පානය අර්ශස් රෝගයට සුදුසු නොවේ. මෙම ආහාර නැවත භාවිතයෙන් අර්ශස් රෝගී තත්ත්වය වැඩිවීමටත්, නැවත හටගැනීමටත් හේතු සැළසේ.

අර්ශස් රෝගීන්ට සුදුසු විහරණ

ව්‍යායාම වල නිරතවීම, නිතර නිතර ජලය පානය කිරීම, මල මූත්‍ර වේග දරා නොසිට වැසිකිලි යාමේ අවශ්‍යතාව දැනුන විටදී ප්‍රමාද නොකොට මලපහ කිරීම, මානසික සන්සුන් බව රැකගැනීමට භාවනා හා යෝග ක්‍රම අනුගමනය කිරීම පත්‍ය විහරණයන් වේ.

අර්ශස් රෝගීන්ට නුසුදුසු විහරණ

අධිකව කය වෙහෙසීම, බර ඉසිලීම, බොහෝවේලා ඇවිදීම හෝ බොහෝ වේලා හිඳගෙන සිටීම, මලපිට කිරීමේදී අධික තැටමීම, අධික මෙවුන්දම් සේවනය, තද ආසනයන්හි බොහෝ වේලා වාඩිවී සිටීම අපත්‍ය / නුසුදුසු විහරණයන් වේ.

අර්ශස් රෝගී තත්ත්වය මාරාන්තික රෝගයක් නොවුනද ඉන් පැන නගින උපද්‍රව මාරාන්තික වීමේ ප්‍රවණතාවක් පැවතිය හැකි බැවින් සුපරික්ෂාකාරීව නිසි ඉක්මන් ප්‍රතිකාර වලට යොමුවීම ඉතා වැදගත් වේ. 

වර්තමාන පුද්ගල ජීවන රටාවේ අනුචිත ආහාර විහරණ වෙනස්කම් නිසා සමාජය තුළ ප්‍රචලිත වූ ගුද රෝගයක් වන අර්ශස් රෝගය ආයුර්වේද වෛද්‍ය චිකිත්සා ක්‍රම මගින් දෝෂානුරූපීව යෙදෙන සුවිශේෂී ප්‍රතිකාර පද්ධතීන් ඔස්සේ සාර්ථක සුවයක් ලබා දිය හැකි රෝගී තත්ත්වයකි. කෙසේ වෙතත් රෝගය පිළිබඳ නිසි දැනුවත්භාවය තුළින් රෝගය ඇතිවීම වළක්වා ගැනීමත්, යම්හෙයකින් රෝගය හට ගතහොත් ඒසඳහා ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවීම තුළින් රෝගීබව නැවත ඇතිනොවන සේ නීරෝගී බව රැක ගැනීමත් පුද්ගල වගකීමකි.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

නිසි ආයුර්වේද ප්‍රතිකාර හමුවේ සම්පූර්ණයෙන් සුවකළ හැකි ‘අම්ලපිත්ත’ රෝගය

වර්තමානයේ සමාජය තුළ බහුලව දක්නට ලැබෙන රෝගී අවස්ථාවක් ලෙසට ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය හැඳින්වීමට පුළුවන. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව එය ‘අම්ලපිත්ත’ නම් රෝගයේ එක්තරා අවස්ථාවක් ලෙසට විග්‍රහ කෙරේ. 

අම්ලපිත්ත රෝගය ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රය කොට ගනිමින් හට ගන්නා අතර වයස් භේදයකින් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් හෝ තොරව හට ගනී.

ආයුර්වේද මතානුකූලව පිත දෝෂය ප්‍රමුඛ කොට හටගන්නා රෝග තත්ත්වයක් වුවද අනෙකුත් දෝෂයන් වන වාත දෝෂ හා කඵ දෝෂ වල අනුබන්ධතාවයක්ද අම්ලපිත්ත රෝගී තත්ත්වය හා බැඳේ. 

ආහාර නිසි පරිදි දිරවීමට ශරීරයේ පිත දෝෂය ප්‍රමුඛත්වයක් ගන්නා බැවින් ‘ප්‍රකෘති පිත’ එනම් විකෘති නොවූ පිත් දෝෂය මගින් ආහාර දිරවීම සිදු කෙරේ. නමුත් පිත් දෝෂය විකෘති වූ කල්හි පිතෙහි ආම්ලික බව අධික වීමෙන් අම්ලපිත්ත රෝගය හට ගැනීමට හේතු සැළසේ.

‘විදග්ධ පිත්තං අම්ලපිත්තං’ යන සංස්කෘත අර්ථ දැක්වීමට අනුව විදග්ධ වූ පිත නොහොත් ‘ඇඹුල් පිත’ හටගැනීම ‘අම්ලපිත්ත’ ලෙසට හැඳින්වේ.

ආමාශය තුළ ආහාර ජීර්ණ ක්‍රියාවට උපකාරී වන ‘පාචක පිත’ සමඟ ආහාරය නිසිලෙස නොපැසී පල් වීම නිසා අම්ලපිත්ත රෝගය උපදනා බව සරලව කිව හැක.

රෝගය ඇතිවීමට හේතු කාරණා කල්තියා හඳුනා ගැනීම රෝගය ඇතිවීම වළක්වා ගැනීමේ පළමු පියවරයි.

කුසගිනි දැනෙන අවස්ථාවන්හි ආහාර නොගෙන සිටීමෙන් අමාශය තුළ දිගින් දිගටම ශ්‍රාවය වන ආමාශයික අම්ලය හේතුවෙන් ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්මල පටලයට හානි වීම සිදුවේ. තවද, අමාශය, ගලනාලය, ග්‍රහණිය හා කුඩා අන්ත්‍රය යන ඉන්ද්‍රියයන් මෙමගින් පීඩාවට පත්වේ. ආමාශය තුළ නිපදවෙන මෙම අධික ආම්ලිකතාවය (Hyper acidity) හේතුවෙන් පිළිස්සී තුවාල වූ, අමාශයේ ඇතුල් බිත්ති වල Helicobacter pylori (H pylori) වැනි වූ බැක්ටීරියා ආසාධන ඉතා පහසුවෙන් සිදු වේ.

ගලනාලය පහළ කෙළවර පවතින කපාටයේ ක්‍රියාකාරීත්වයේ හා ව්‍යුහාත්මක වෙනස්කම් ද අම්ලපිත්ත රෝගය ඇති වීමට හේතු වේ. එවැනි වූ අවස්ථාවල දී අමාශය තුළ නිපදවී ඇති අම්ලය ගලනාලය තුළට පහසුවෙන් ඇතුල්වීම සිදුවේ. එවිට ගලනාලයේ ඇතුල් බිත්ති හානි වී ගලනාලය ප්‍රදාහ වීම, උගුර දැවිල්ල, ඔක්කාරය, වමනය ඇති වීම (Gastroesophageal Reflex Disease-GORD) සිදුවිය හැක.

අම්ලපිත්ත රෝගීන්ගේ බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ ලෙසට ආහාර ගත්පසු බඩ පුරවා දැමීම, කටට තික්ත හෝ අම්ල රස නිතර දැනීම, පපුවේ හෝ උදරයේ වේදනාව, වමනය, ඔක්කාරය, නොදිරවූ ආහාර මල සමග පිටවීම හා මලබද්ධය හැඳින්විය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඌර්ධවගත අම්ලපිත්ත හා අධෝගත අම්ලපිත්ත ලෙස දෙයාකාරයකි.

ඌර්ධවගත අම්ලපිත්ත රෝගය සඳහා විකෘති වූ පිත හා සෙම සම්බන්ධ වේ. අම්ලපිත්ත රෝගයේ වඩා සුලභ රෝගී අවස්ථාව මෙය වන අතර එය ආමාශය හා ගලනාලයේ පහළ කොටස් කෙරෙහි බලපායි. සෙම සහිත වමනය, ඔක්කාරය සමඟ උගුරට ඒම, බඩ, පපුව හා උගුර දැවිල්ල, තදබල හිසේ වේදනාව හා කල් යාමේදී ආමාශගත තුවාල ඇතිවීම ඌර්ධවගත අම්ලපිත්තයේදී බහුලව දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයකි.

අධෝගත අම්ලපිත්තය එතරම් සුලභ නොවුනද එම රෝගී අවස්ථාවේදී දැවිල්ල, ඔක්කාරය, කුසගිනි අඩු වීම, මල මාර්ගයේ දැවිල්ල හා වේදනාව, මලබද්ධය හා දියරමය මල පිටවීම, මල මාර්ගයේ තුවාල, පැලීම්, බිබිලි හටගැනීම, අරශස්, ගුද මාර්ගය පහත්වීම යන අපහසුතා ඇතිවිය හැක.

නිසිලෙස වෛද්‍ය ප්‍රතිකාර නොකිරීමෙන්, ආමාශ බිත්තියේ ලේ ගැලීම්, තුවාල හටගැනීම් (Peptic ulcer) දක්වා රෝගය උත්සන්න වීම සිදුවිය හැක. 

මෙහිදී, තුවාල වූ ග්‍රහණිය හා අන්ත්‍ර කොටස් මගින් ආහාරයේ පෝෂ්‍ය කොටස් නිසිලෙස උරාගැනීමට නොහැකි වීමෙන් ශරීරයට අවශ්‍ය පෝෂණය නිසිලෙස නොලැබී යාමත්, රුධිර වහනය හේතුවෙන් රක්ත හීනතාවයත් (Anemia) ඇති විය හැක.

මානසික ආතතිය හා චිත්ත ආවේග අධිකව දීර්ඝ කාලයක් පැවතීම, නිසිවේලාවට ආහාර නොගැනීම, සමබල ආහාර වේලක් නොගැනීම, ආහාර දිරවීමට පෙර වරින් වර ආහාරයට පෙළඹීම, ක්ෂ්ණික ආහාර නිතර ගැනීම, අධික මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැනීම, දුම්පානය, විෂ ද්‍රව්‍ය ආහාර මාර්ග ගත වීම, කෘතිම රසකාරක අඩංගු ආහාර හා බීම වර්ග භාවිතය, රාත්‍රී නිදි මැරීම හා දහවල නිදීම, අධික අම්ල, ලවණ හා තීක්ෂණ ආහාර ගැනීම, අධික කුළුබඩු යෙදූ ආහාර, තෙල් බැඳුම් වර්ග නිතර භාවිතය, නරක් වූ පිළුණු ආහාර ගැනීම, තේ, කෝපි නිතර භාවිතය, අධික හිරු එළියට නිරාවරණය වීම, අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම, ඖෂධ වර්ග නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිතය යන හේතූන් නිසා අම්ලපිත්ත රෝගය පහසුවෙන් හට ගනු ඇත.

රෝග ලක්ෂණ හටගත් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී නිවැරදි රෝග විනිශ්චය සිදුකොට වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතුය.

හෘදයාබාධ, ආමාශයේ තුවාල හෝ ව්‍රණ, ආමාශයේ පිළිකා, අග්න්‍යාශ ප්‍රදාහ යන වෙනත් රෝගී අවස්ථාවන්හිදීද මෙම රෝග ලක්ෂණයන්ට සමාන ලක්ෂණ හටගන්නා බැවින් කල්තියා නිවැරදි රෝග විනිශ්චය සිදු කිරීම අතිශය වැදගත් වේ.

අම්ලපිත්ත රෝගීන් පත්‍ය අපත්‍ය ආහාර හා විහරණයන් කෙරෙහි සැළකිලිමත් වීම අනිවාර්‍ය වේ. ආහාර වේල් නිසි වේලාවට ගැනීම, ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම, තෙල් අඩු, අධික ලෙස මිරිස් තුනපහ නොයෙදූ ආහාර ගැනීම, තේ, කෝපි වැනි පානයන් වෙනුවට පලතුරු යුෂ, ඔසු පැන්, කොත්තමල්ලි පානය කිරීම නිතර පුහුණු කිරීම කළ යුතුය.

නිවුඩු හාල් බත්, පලා වර්ග, කැකිරි, පිපිඤ්ඤා, පුහුල්, වැටකොළු, බණ්ඩක්කා, බතල, කොහිල, කෙහෙල්මුව, නෙළුම් අල, තැඹිලි, කුරුම්බා, සව්, බාර්ලි, කව්පි, මුං ඇට, අනෝදා, කොමඩු, ගොටුකොළ, මුකුණුවැන්න, හාතවාරිය, පොල්පලා, ඉරමුසු, බෙලිමල්, විෂ්ණුක්‍රාන්ති, කෝමාරිකා, ඉදුණු බෙලි, දෙළුම් වැනි ආහාර අම්ලපිත්ත රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ.

තවද, දියබත් සාදා නිතර අනුභවයෙන් ආමාශගත තුවාල සුව වීම් සිදුවේ.

තක්කාලි, අන්නාසි, ඉස්සන්, දැල්ලන්, බල මාළු, හරක් මස්, ඌරු මස්, දෙල්, මුරුංගා, අඹ, ඇඹරැල්ලා, අබ, විනාකිරි, අච්චාරු, මාළුමිරිස්, ලුණු මිරිස්, කොච්චි මිරිස්, කරවල, පාන්පිටි ආහාර, ජාඩි, චොක්ලට් වර්ග ආහාරයට ගැනීම අහිතකර වේ.

මනස විවේකීව තබා ගැනීම, යෝග ව්‍යායාම් වල නිරත වීම, රාත්‍රී නිදිමැරීම හා දිවා නිද්‍රාව සිදු නොකිරීම යන විහරණයන් පුරුදු කිරීමද හිතකර වේ.

රෝගියා විසින් අහිතකර ආහාර විහරණයන්ගෙන් ඈත්ව, හිතකර ආහාර විහරණයන් කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම තුළින් ගැස්ට්‍රයිටිස් රෝගය නැවත ඇතිවීම වළක්වා ගත හැකි අතර නිසි ආයුර්වේද ප්‍රතිකාර හමුවේ අම්ලපිත්ත රෝගී තත්ත්වය ප්‍රත්‍යක්ෂ ලෙස සුව කළ හැකි රෝගයකි.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

නිරෝගී දරු පරපුරක් උදෙසා රත කල්කයේ ආයුර්වේදීය වටිනාකම

රටක යහපත් වූ අනාගතය තීරණය කරනුයේ නිරෝගී දරු පරම්පරාවක් විසිනි. රටක් භෞතික තත්වයන්ගෙන් කෙතරම් සශ්‍රීක වුවත්, සම්පත් නිවැරදිව කළමණාකාරණය තුළින් අනාගත සුරක්ෂිත බාවය කරා රැගෙන යන්නේ වර්තමානයේ බිහිවන නිරෝගී දරු සම්පත මගිනි. එනම් නිරෝගී දරුවන් යනු අනාගතය වෙත සිදුකරන මිල කළ නොහැකි ආයෝජනයකි.

එම නිසා සෑම රටක්ම තම සංවර්ධනයේ ප්‍රමුඛ ස්ථානයක් නිරෝගී දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් ලබා දීමට නිරන්තරයෙන් වෙහෙස වේ.

මවකගේ නිරෝගී ගර්භනී කාලයත්, ප්‍රසව කාලයත්, ඉන් පසුව එළඹෙන පසු ප්‍රසව කාලයත් අළුත උපන් බිළිඳකුගේ නීරෝගී බාවය කෙරෙහි අතිශය බලපාන අවධීන් ය. ප්‍රසවයෙන් පසු බිලිඳුන් හට ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් මඟහරවා ගැනීමේ අදහසින් අතීතයේ සිටම අළුත උපන් බිළිදාට රත කල්කය ලබා දීම සිරිතක්ව පැවතිණි. 

කුඩා බිළිඳකුගේ දිවේ, උගුරේ මැලියම් බැඳී ඇතිවිට, බඩගින්න අඩු අවස්ථා වලදී බඩගින්න වර්ධනය වීමට, බඩ පිපුමට, ඉස්මුරුත්තාවට, වියළි මල පිටවීමට, ඇගමැලි කැඩීමට, කැස්සට, සෙමට, උණට, සමෙහි රතු බිබිලි හෝ පලු මතු වීමට යනාදී නොයෙක් රෝග ලක්ෂණ සඳහා දේශීය වෙදකමෙහි සඳහන් රත කල්කය වසර ගණනක සිට භාවිතා වූ අද්විතීය ඖෂධයකි. 

ගැමි ව්‍යවහාරයේ තවමත් ප්‍රචලිත ‘රත ගාය’ නමින් හැඳින්වෙන රෝගී තත්ත්වය සඳහා ජනප්‍රිය ඖෂධය ‘රත කල්කය’යි. එය දෙසඳුන් කල්කය, රත් හඳුන් කල්කය, බිළිඳු කල්කය, කොත්තමල්ලි කල්කය යනාදී අන්වර්ථ නාමයන්ගෙන් ප්‍රචලිතය. 

රත් හඳුන් හා සුදු හඳුන් අන්තර්ගත ඖෂධයක් වූ නිසා දෙසඳුන් කල්කය ලෙසට ප්‍රකට වූවා විය හැක. පැහැයෙන් රත් පැහැ ගන්නා කල්කයක් වූ නිසාද, කුඩා බිළිඳුන්ට මව් කිරෙන් දිය කර පෙවීම නිසාද, අවුරුද්දකට වැඩි ළඳරුවන් හට කොත්තමල්ලි තම්බා අනුපාන ලෙස කල්කය සමග පෙවීම නිසාද අනෙක් පර්‍යාය නම් ලැබෙන්නට ඇති බව විශ්වාස කල හැක.

කාලයක් තිස්සේ භාවිතා කළ රත කල්කයෙහි බිළිඳු රෝග සුව වීමේ සාඵල්‍යතාවය සායනිකවද පරීක්ෂා කොට ඇත.

වර්තමානයේ රත කල්කයේ යෝග්‍යතාව හා එහි ගුණාත්මක බාවය පරීක්ෂා කොට ඉදිරිපත් කළ පර්‍යේෂණ නිබන්ධන රාශියක් පවතී. 

සුදු හඳුන්, රත් හඳුන්, කොල්ලු, වැල්මී, වදකහ, සහිඳ ලුණු සියුම් චූර්ණය ගෙන දෙහි යුෂෙන් අඹරා ඉතා පිරිසිදුව තනා ගන්නා රත කල්කය වර්තමානයේදී කුඩා ළඳරුවන්ගේ සමේ රෝග බොහොමයක් සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දේ.

නිසි වෛද්‍ය නිර්දේශ මත, නියමිත මාත්‍රාවෙන්, නියමිත ප්‍රමිතියකින් යුතු රත කල්කය දරුවන් වෙත ලබා දීමෙන් ළඳරු කාලයේ චර්ම රෝග වලින් ආරක්ෂා වීමට පමණක් නොව ළඳරු උණ, ශ්වසන ව්‍යුහගත රෝග, ආහාර මාර්ගගත රෝග, ආසාදන තත්ත්ව නිසා හටගන්නා රෝග වලින් ආරක්ෂා වීමටද ඉවහල් වේ.

නිරෝගී, නියමිත උපත් බර සහිත බිළිඳුන් හට සති දෙකෙන් පසු රත කල්කය ලබා දීම පිළිගත් ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයෙක් පරීක්ෂා කොට නිර්දේශ කෙරේ. මාස02 සිට අවුරුදු 02 දක්වා බුද්ධි වර්ධන කාලයේ රත කල්කය භාවිතය ඉහළ ප්‍රතිඵල ගෙන දෙන බව සායනිකව සනාථ කොට ඇත.

අඩු උපත් බර සහිත, නොමේරූ, දිගු කාලීන රෝගයන්ට ගොදුරු වූ, ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවන අන්ත්‍රගත රෝග සහිත ළඳරුවන්ට රත කල්කය ලබා දීම තීරණය කිරීම විශේෂිත අවධානයක් යටතේ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු තීරණය කළයුතු වේ. එමනිසා හිතුමතේ ඖෂධ ලබාදීම අනුමත නොකරන අතර නියමිත ප්‍රමිතියකින් යුතු ඖෂධ ලබා දීම මගින් ළදරුවාගේ ප්‍රතිශක්තිය වර්ධන හැකියාව වැඩිවී රෝග වලින් ආරක්ෂා වීම නොහොත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් ව්‍යාධි ක්ෂමත්වය ගොඩනැංවීම රත කල්කය භාවිතයෙන් සිදුවේ. 

ක්ෂුද්‍ර ජීවී ආසාදන වලින් වැළකී, බෝ වන රෝග වලින් ආරක්ෂා වී, මල-මූත්‍ර හොඳින් බැහැර වී, රක්තය ශෝධනය වී නිරෝගී ළඳරු කාලයක් හිමි කර දීමට රත කල්කයේ ඖෂධීය වටිනාකම අතිමහත් ය. 

අතීතයේ සිට වර්තමානය දක්වා ප්‍රතිශක්ති වර්ධක ඖෂධයක් ලෙසට ප්‍රචලිත වූ රත කල්කය ළඳරු කාලයේ හටගන්නා බොහෝ රෝග වලින් බිළිඳුන් ආරක්ෂා කොට නිරෝගී ළමා පරපුරක් ගොඩනැඟීමට ඉවහල් වූ බව අතීත ප්‍රයෝගයන් සාක්ෂි දරනු ඇත. 

සායනිකව සනාථ කොට ඇති එවන් වටිනා ඖෂධයක ඖෂධීය ගුණය ළදරුවන් වෙත ලබා දීම මඟින් ළඳරු කාලයේ බිළිඳුන්ගේ රෝග බොහොමයක් වළක්වා ගැනීමට හැකියාව ලැබේ. වර්තමානයේද තරුණ දෙමාපියන් රත කල්කය තම දරුවන් වෙත ලබාදීමට පෙළඹීම දක්නට ලැබීම සතුටට කාරණයකි.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

මානසික සංකූලතා හඳුනා ගැනීමෙන් සිය දිවි නසා ගැනීම් අවම කිරීමට පියවර ගැනීම

වත්මන් සමාජය තුළ සමාජයීය සෞඛ්‍යය ඉහළ දැමීම තුළින් පුද්ගල නිරෝගී බාවය කෙරෙහි ඇති කළ හැකි ධනාත්මක බලපෑම ඉතාමත් ඉහළ අගයක පවතී.

Depression, Anxiety disorders, Dipolar disorders, Post traumatic stress disorder, Schizophrenia, Personality disprders යනාදී නොයෙකුත් මානසික ව්‍යාකූල තාවයන් නිසා පුද්ගලයින් සියදිවි නසා ගන්නා ප්‍රවනතාව වත්මන් සමාජයේ ඉතා ඉහළ අගයක් ගෙන ඇත. වර්තමානයේ පවතින රෝගී තාවයක් වන Dipression බොහෝ පුද්ගලයන් රෝගී බවින් පෙළෙන බහුලම මානසික රෝගයයි. ජනග්‍රහණයෙන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් මෙම රෝගී තත්ත්වයෙන් පීඩාවිඳී. මානසික රෝග සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් 15%ක් විෂාදය සඳහා වේ. ඔවුන්ගෙන් බොහොමයක් සියදිවි නසාගැනීම හෝ නසාගැනීමට තැත්කිරීම සිදු කර ඇත.

සියදිවි නසා ගැන්මට තැත් කරන්නන්ට මෙන්ම එය වැළැක්වීමට දායක විය හැකි පිරිසට ද ඒ පිළිබඳ වගකීමක් පවතී.

සියදිවි නසාගැනීම වනාහි නැවත ලබාගත නොහැකි ලෙස පුද්ගල ජීවිතයක් මරණයෙන් කෙළවර වීමකි. සමාජයේ කාර්‍ය භාරය වූ කලී මේ සිදුවීමේ කුමන හෝ අවස්ථාවකට මොනයම් හෝ අයුරකින් මැදිහත් වීමෙන් එය වළක්වාලීමට පියවර ගැනීමයි.

අඩු අධ්‍යාපනය, අඩු ආදායම් තත්ත්වය, උග්‍ර නෛතික ගැටලු, ක්ෂ්ණික බිඳ වැටීම්, වෙන්ව යාම්(separation), දික් කසාද වීම්, ප්‍රේම සබඳතා බිඳ වැටීම්, දුක, කලකිරීම, කෝපය, වේදනාව යනාදී නොයෙකුත් කාරණා හේතු කොටගෙන පුද්ගලයින් සියදිවි නසාගත් පුවත් නිරන්තරයෙන් වාර්තාවේ.

සියදිවි නසාගැනීමට ඉඩ සහිත අවදානම් අවස්ථාවේ දී පුද්ගලයන් හඳුනා ගැනීම මෙහිදී අතිශය වැදගත් වේ. පෙර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින්, පවුල් පසුබිම තුළ සියදිවි නසා ගැනීමේ ඉතිහාසයක් සහිත පුද්ගලයින්, අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්, මානසික මට්ටම පහත වැටී ඇති ශාරීරික හා මානසික රෝගී අවස්ථාවන් වලින් පීඩා විඳින්නන් සියදිවි නසා ගැනීමේ ප්‍රයත්නයන්ට පහසුවෙන් එළඹීමට හැකියාව පවතී.

සමාජයේ පවතින ඇතැම් මිත්‍යා මතයන් නිසා සමාජය විසින් මෙම තත්ත්වය බරපතල තත්ත්වයක් ලෙස සැළකිල්ලට නොගන්නා අවස්ථාවන් පවතී. එනිසා පුද්ගලයින් මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමේ අවස්ථා මඟ හැරී යාම්ද වාර්තා වේ.

යම්කිසි පුද්ගලයෙක් තමා කවරදාක හෝ සියදිවි නසා නොගනිම් යැයි කියයි ද එවැන්නවුන් සියදිවි හානි කරගැනීමට ඉඩක් නොමැති යයි සිතීම එවැනි දුර්මතයකි. අප ශක්තිමත්ව සිටින තාක් එය යථාර්තයක් නොවුනද දුර්වල තැන්හි එය එසේ නොවීමට ඉඩක් පවතී.

තවද, සියදිවි නසා ගනිමියි නිතර ප්‍රකාශ කරන අය එසේ නොකරන අතර සියදිවි හානිකරගන්නා අය එය ප්‍රකාශ නොකර සියදිවි නසා ගන්නා බව ද එසේ පවතින මිත්‍යාවකි.

අනෙක් මිත්‍යාව වනුයේ සියදිවි නසා ගැනීම පිලිබඳ සමාජයේ කතිකාවතක් ගොඩ නැගීම හේතුවෙන් සියදිවි නසාගැනීම ප්‍රවර්ධනය කිරීමට හේතු දෙන බවය.

නමුත් සමාජයීය සිදුවීම් විශ්ලේෂණය කිරීමේදී ඉහත කාරණයන් මිත්‍යා මත ලෙස බැහැර කිරීම කාලෝචිතය.

මේ පිළිබඳ සමාජයේ නිවැරැදි දැනුවත් භාවය අතිශය අවශ්‍ය ය. ඔබට හෝ මට කවර හෝ අවස්ථාවක උද්ගත විය හැකි පොදු කාරණයක් වන සියදිවි නසාගැනීමේ සිතුවිල්ල පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති කිරීම සමාජ වගකීමකි.

සියදිවි නසාගැනීමේ චේතනාව වැළක්වීම හා සියදිවි නසාගැනීම් ක්‍රියාත්මක කිරීමේ සැළසුම ව්‍යර්ත කිරීම මඟින් සියදිවි නසා ගැනීම වළක්වාලීම පියවර ගැනීම මෙහිදී අතිශය වැදගත් වේ.

මෙම කරුණු පිළිබඳ දැන සිටීම තම පවුල තුළ, පාසල තුළ, රැකියා ස්ථානය තුළ හෝ මොනයම් ස්ථානයක ඔබට පැවරී ඇති සමාජයීය මෙහෙවර ඉටු කිරීම උදෙසා බෙහෙවින් උපකාරී වනු ඇත.

පුද්ගලයෙක් තුළ සියදිවි නසා ගැනීමේ චේතනාව වරින් වර ඇතිවන්නක් හෝ නිරන්තර දින චරියාවේ අංගයක් ලෙස ඇති විය හැක. එමෙන්ම එය අපැහැදිලි චේතනාවක සිට පැහැදිලි සුවිශේෂී චේතනාවක් දක්වා වර්ධනය වන්නක් විය හැක.

තවද සියදිවි නසා ගැනීමේ සැළසුම යතාර්ථවාදී නොවන සැළසුමක සිට ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි නිරවුල් සුවිශේෂ සැළසුමක් දක්වා ගොඩ නැගූවක් වන්නට පිළිවන. ඔවුන්ගේ එම සැලසුම් අප නොසිතූ අවස්ථාවක ක්‍රියාත්මක විය හැක.

එවැනි පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කොට ඔවුන් හැකි ඉක්මනින් මනෝ වෛද්‍ය වරයෙකු වෙත හෝ පිළිගත් මනෝ උපදේශකයෙකු වෙත යොමු කිරීම අතිශය වැදගත් වේ.

එමනිසා, මානසිකව ව්‍යාකූල මොහොතක සියදිවි නසා ගැනීම නිසා ඔබ ආසන්නතමයා ඔබෙන් වෙන්ව යාමට ඉඩ ඇති බැවින් එය වළක්වා ගැනීමත්, එතුළින් සමස්ත සමාජය තුළ මෙම තත්ත්වය අඩු ප්‍රවණතාවක් දක්වා ගෙන ඒමත් උදෙසා වූ සමාජයීය මෙහෙවර ඔබටත් මටත් පැවරෙනා වගකීමකි. එම වගකීම නිසි ලෙස ඉටු වන සමාජයක ශාරීරික, මානසික, ආධ්‍යාත්මික හා සමාජයීය නීරෝගීබව නිතැතින්ම ස්ථාපිත වනු නිසැක ය.

නාලිකා හංසිනී ජයතිලක

හිස්හොරි වදේ නිසා සමාජෙට මූණ දෙන්න බයෙන්ද?

හිස්හොරි හැදෙන්නෙ කොහොමද? ඔබට තිබෙන්නෙ කුමන හිස් හොරි වර්ගයද? හිස්හොරි මෙ තරමටම ඔබට ඇතිවෙල තියෙන්නෙ ඇයි? කියන දේවල් පිළිබඳව ඔයා මුලින්ම දැනගන්න අවශ්‍යයි. එවිට පිළියම්/ ප්‍රතිකාර කිරීම පහසුයි.

ඔබේ නියපොතු හා උරහිස්වල සුදු පිටි තැන්පත් වී තිබුණු ආකාරයත් ඉන් ඔබ අපහසුතාවයට පත් වූ ආකාරයත් ඔබට මතක ද? හිස්හොරි ප්‍රශ්නය නිසා ඔබ කැමතිම විලාසිතා, ප්‍රිය සම්භාෂණ කොපමණක් නම් සිතින් අත් හැර දැමුවා ද? සම්පූර්ණ බියකරු සිහිනයක් ලෙසින් පැමිණි හිස්හොරි, ඔබේ ජිවිතයට සීමා පණවා අවසන් ද? වෙළඳපොලේ ඇති විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පූ සහ නොයෙක් ආලේපන වර්ග ඔබේ හිස්කබලේ සෞඛ්‍යය නරක අතට හරවන බව තවමත් අවබෝධ වී නැති ද???

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්වය හැඳින්වෙන්නේ “දාරුණක” ලෙසින්. දාරුණක නැතහොත් හිස්හොරි ආයුර්වේදයේ ක්ෂුද්‍ර රෝග යටතේ කාණ්ඩ ගත කර ඇත. තවද ආයුර්වේදයේ දාරුණක, ත්‍රිදෝෂජ රෝගයක් ලෙස විස්තර කෙරේ, එනම්,ඔබේ දෝෂ (ශාරීරික බලවේග – වාත, පිත්ත, කඵ ) තුනෙහි ඇති වූ අසමතුලිතතාවය නිසා ඇතිවූ රෝග තත්වයක් ලෙස.

ඔබට වියළි හිස්හොරි ඇති විට, එය සිදුවන්නේ පිත්ත සහ වාත දෝෂ වල උග්‍රවීම හේතුවෙනි. ඒ හා සමානව, ඔබ තෙත් / තෙල් සහිත හිස්හොරි ඇති විට, එය සිදුවන්නේ කඵ-වාත දෝෂවල අසමතුලිතතාවය නිසාය. දෝෂ වල අසමතුලිතතාවය හේතුවෙන් හිස්කබල  හා එහි ගැඹුරු පටක දූෂණයට පත් වේ. ඔබේ ශරීරය, එහි ස්වාභාවික සුව කිරීමේ ක්‍රියාවලියේදී, දූෂිත අපිච්ඡද සෛල සාමාන්‍ය තත්වයට වඩා විශාල ප්‍රමාණයකින් ඉවත් කිරීමට ගන්නා උත්සාහයේදී හිස්කබලේ කැසීම නැතහොත් හිස්හොරි තත්වය ඇති වෙයි.

පොදුවේ ගත් කල, නිරෝගී හිස්කබලේ ඇති මිය ගිය සෛල, මාසයක් තුළ ගැලවී යයි. නමුත් ඔබට හිස්හොරි ඇති නම්,සෑම දින 2-7 කට වරක්ම මෙම ක්‍රියාවලිය  සිදු වේ. ආයුර්වේදයට අනුව, දාරුණක හෝ හිසරදය පහත රෝග ලක්ෂණ පෙන්වයි.

 කැසීම

 සුදු පැහැති කොරපොතු – පිටි වැනි ව්‍යුහයන්

 හිස්කබලේ වියළි බව

 හිස්කබලේ හිරිවැටීම

 හිසකෙස් ගැලවී යාම

 සමහර අවස්ථාවලදී ඇසිපිය ඉදිමීම

දැන් අපි ඔබ සැලකිල්ලක්  නොදක්වන, එමෙන්ම  ඔබේ හිස්හොරි තත්වය  වඩාත් නරක අතට හැරවිය හැකි සාධක කිහිපයක් සොයා බලමු.

සාමාන්‍යයෙන් අපේ සම මැරුණ සෛල ස්ථරය සෑම දින 28කට වරක්ම ඉවත් කරනවා.ඒක අපි හැමෝම දන්නවා. අපේ හිස් කබලත් මේ විදියට මැරුණ සෛල ඉවත් කරනවා. ඉතිං මේ ඉවත් කරන මැරුණ සෛල අක්‍රමවත් ආකාරයට සිදුවීම හිස්හොරි ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙසේ ඇතිවන්නාවූ හිස්හොරි වර්ග කිහිපයක් තියෙනවා.

1. හිස්කබල දැඩිව වියළිීම නිසා ඇතිවන හිස්හොරි:

නිතරම උණු වතුර නාන කෙනෙක් නම්, නිතර නිතර අව්වේ යන කෙනෙක් නම් මේ ප්‍රශ්නෙ අනිවාර්යෙන්ම ඇති. ඉතිං මේකට විසඳුමක් විදියට හොඳ මොයිස්චරයිසර් අඩංගු ෂැම්පූ එකක් භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම තමයි දැඩි රස්නෙන් කරන ස්ට්‍රේට්, පර්ම් වගේ දේවල් නොකර ඉන්නවා නම් ගොඩක් හොඳයි.

2. ස්‍රාවයන් නිසි පරිදි ඉවත් නොකිරීම නිසා හටගන්නා හිස්හොරි:

හිස් කබලෙත් තියෙන්නෙත් සාමාන්‍ය සමක්. එහි ඝනකම අඩුයි. සීබම් කියන ස්‍රාවයන් මේ ආශ්‍රිතවද නිපදවෙනවා. මේ නිසා මුහුණේ සම වගේම හිස් කබලත් තෙල්/ ඇලෙන සුළු ස්‍රාව සහිත වෙන්න පුලුවන්. මේ තෙල් එක්ක, කුණු දූවිලි එකතු වෙලා මේ තත්වය නරක අතට හැරිලා හිස්හොරි වගේ ආසාදන ඇතිවෙන්න පුලුවන්. මේ නිසා නළලේ, බෙල්ලේ වගේම පිටේ බිබිලි තත්වයන් ඇතිවෙන්න පුලුවන්. හොඳම දේ හැමදාම නාලා පිරිසිදුව ඉන්න එක.

3. දිලීර වැනි රෝග තත්වයන් නිසා හටගන්නා හිස්හොරි:

ගොඩක් වෙලාවට මේ හිස්හොරි කියන තත්වයන් ඇතිවෙන්නෙ තරුණ වියට එළඹීමත් එක්කම. ඒ කාලෙදි ඇතිවන හෝමෝන අසමතුලිත තත්වයන් නිසා දිලීර ක්‍රියාකාරී වීමෙන් ඒ දිලීරය මගින් ස්‍රාවය වන ඇසිඩ් මගින් හිස් කබල ආසාදනය වෙලා තෙත් ගතියක් සමඟ හිස්හොරි ඇතිවෙන්න පුලුවන්. මෙහිදී නිසි ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.

4. අපි හිස කෙස් සඳහා භාව්තා කරන විවිධ නිෂපාදන නිසා හටගන්නා හිස්හොරි:

හිසකෙස් විවිධ විලාසිතා වලට හැඩගන්වද්දි අපි විවිධ රසායනික දේවල් භාවිතා කරනවා.මේ දේවල් හිස් කබලෙ රැඳුනම ඒත් එක්ක කුණු දූවිලි රැඳෙන්න පුලුවන් වගේම මේ දේවල් නිසා හිස් කබල වියළි වෙන්නත් පුලුවන්. එයිනුත් හිස්හොරි ඇති වෙනවා. කිසියම් නිෂ්පාදනයක් භාවිතා කළාට පසුව හිස හොඳින් ෂැම්පු කර සෝදන්න. අමතක නොකර කන්ඩිෂනර් කරන්න.

5. හිස්හොරි නොවන විවිධ ආසාදන: Seborrheic Dermatitis  යන ක්ෂුද්‍ර ජීවී විශේෂය ආසාදනය වීමෙන් හිස්හොරි වලට සමාන ආසාදන තත්වයක් හිසේ ඇති වෙනවා. හිස මෙන්ම කන, නාසය දෙපස හා බෙල්ල දක්වාත් මෙය ව්‍යාප්ත වෙන්න පුලුවන්. මේක හිස්හොරි තත්වයක් නොවන නිසා වෛද්‍ය ප්‍රතිකාර අනිවඑයෙන්ම ගත යුතුයි. සමේ පැහැයට ගොඩක් සමාන හෝ යන්තම් රතු රෝස පැහැයකින් මේක මුලින්ම දකින්න පුලුවන්.

6. මානසික ආතතිය නිසා ඇතිවන හිස්හොරි:

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව යමෙකු ආතතියට පත්වන විට ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව අඩු කර පිත්ත දෝෂය  ඉහළ යන බවයි. මෙවැනි අවස්ථාවකදී හිස්හොරි ඇතිවීමේ හා වැඩි වීමේ සම්භාව්‍යතාවය අතිශය වැඩියි.

මෙන්න මේ තත්ව වලින් ඔයාට තියෙන්නෙ මොකක්ද කියලා හඳුනාගෙන, නිසි ප්‍රතිකාරයට යොමු වීම ඉතා වැදගත්. මෙහිදී ඔබ ඔබ තුළින්ම දෛන්ක ජීවිත චර්‍යාව හැඩගස්වා ගැනීමත් වැදගත්. තවද ප්‍රතිකාරයේදී නියමිත වෛද්‍ය උපදෙස් ක්‍රමානුකූලව ප්‍රතිකාර අවසන් වනතුරු පිළිපැදීමත් වැදගත්.

[ඔබටත් මේ සඳහා ප්‍රතිකාර අවශ්‍යවේ නම් Dr. Chandhi Rajapakshe

(https://www.facebook.com/drchandhirajapakshe/) FB පිටුව සමග සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිනවා.]

Dr. (Mrs) R. Chandrika Rajapakshe

Senior Lecturer | Doctor of Ayurveda

M. Sc. (UoP-SL),

BAMS (UoC-SL),

B. Sc. (YSU-USA),

Ad. Dip. in Psychotherapy & Dip. in Counselling (MHF-SL)

ගැහැණු පිරිමි භේදයෙන් තොරව වැළදෙන ‘අර්ශස්’


වර්තමාන සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝගයක්. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව, ලොකු කුඩා භේදයෙන් තොරව ඇති වන්නක්. බොහෝ දෙනෙක් මෙය මුල් කාලයේදී නොසලකා හරින නිසා ඉතා පීඩාකාරී තත්ත්වයක් තෙක් වර්ධනය වෙන්නත් පුළුවන්. එහෙත් ඔබ මෙය නිවැරදිව හදුනා ගෙන, ප්‍රතිකාර කොට සුවය ලැබිය හැකි රෝගයක්. 

ආයුර්වේදීය මූල ග්‍රන්ථ වල සදහන් ආකාරයට ‘අර්ශස්’ යන්නෙහි සරලම තේරුම වන්නේ සතුරෙකු මෙන් ශරීරය පෙළන රෝගයක් බවයි. ඔබ දැනටමත් මේ රෝගයෙන් පෙළෙන්නෙක් නම් මෙහිවූ වේදනාත්මක බව අත්විද ඇති. අර්ශස් ගුද මාර්ගයේ අවසාන කොටසේ, එනම් මහාන්ත්‍රයේ අවසාන කෙළවරේ සිට අගල් 5-6ක් අතර සංවරණී, විසර්ජණී හා ප්‍රවාහිණී යන ගුදවලි තුනෙහි හට ගන්නාවූ රෝගයක්. මිනිස් සිරුර ඉතා පීඩාවට පත් කරන්නාවූ මේ රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ මලබද්ධ තත්ත්වයයි. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම, කෘත්‍රිම ආහාර රටාවන්ට යොමුවීම, කෙදි සහිත ආහාර නොගැනීම, මළ මූත්‍ර පිට කිරීමේ අවශ්‍යතාව දැනුණු විට පිට නොකර සිටීම, අධිකව නිදි වැරීම, එකදිගට හිදගෙන හෝ සිටගෙන සිටීම, බර ඉසිලීම, අධික ලෙස මත්පැන් පානය, උෂ්ණාධික ආහාර එනම්; ඉස්සො, දැල්ලො, බලමාළු, අන්නාසි, අච්චාරු, තක්කාලි ආදිය අධිකව ආහාරයට ගැනීම, අපිරිසිදු බව, පණු රෝග දීර්ඝකාලීනව පැවතීම, මානසික ආතතිය අධික වීම ආදිය මේ රෝගය සදහා හේතූන් වේ. 

අර්ශස් රෝගය ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුලුවන්. ඒ අභ්‍යන්තර අර්ශස් හා බාහිර අර්ශස් ලෙසයි. අභ්‍යන්තර අර්ශස් තත්ත්වය ඔබට පිටතින් දැකගන්නට බෑ. මෙහිදී ඔබට සාමාන්‍යයෙන් වේදනාවක් නොදැනුනත්, මලපහ කිරීමේදී රුධිරය පිටවීමක් දකින්නට පුලුවන්. මෙය ඉතා වැඩිවූ අවස්ථාවක් නම් අර්ශස් ගෙඩි විශාලවී ගුද මාර්ගයෙන් පිටතට ඇවිත් වේදනාවක් ගෙන දෙන්නටත් පුලුවන්. බාහිර අර්ශස් තත්ත්වයේදී සිරුර අභ්‍යන්තරයේ සිට ඇතිවන මාංශපේශි ඉදිමුම ගෙඩි මෙන් ගුදය වසා විසිර තිබෙනවා. බහුලවම පවතින්නේ මේ තත්ත්වයයි. 

අර්ශස් තත්ත්වයක් ඇත්නම් එවැනි රෝගියෙක් පහත ලක්ෂණ පෙන්වනවා. මූලිකවම මලබද්ධය හා බඩ පුරවා දැමීමත්, ගුද මාර්ගයෙන් ලේ ගැලීම, සැරව ගැලීම, සීදන් යාම, දණහිස් වේදනාව, මූත්‍ර අඩස්සිය, නොසන්සුන් බව, අධිකව තරහ යාම, හිසේ බර ගතිය ආදියයි. ඔබටත් මේ රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් ඇත්නම් අනිවාර්‍යයෙන්ම ඔබේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කර ප්‍රතිකාරයට යොමු විය යුතුයි. 

අර්ශස් රෝගය සදහා ප්‍රතිකාරයේදී මුලින්ම ආහාර පිළිබද සැලකිලිමත්විය යුතුයි. කෙදි සහිත ආහාර වැඩිපුර ගැනීමත්, ජලය වැඩියෙන් පානයට යොමු වීමත් ඒ අතරින් ප්‍රධානයි. මලපහ තද ගතියෙන් තිබීම අර්ශස් උත්සන්න කරන අතර, ඒ සදහා මලපහ මෘදු කරන ඖෂධ ඉතාමත් යෝග්‍යයි. ඉතා උත්සන්නවූ අවස්ථාවක් නම් මද රස්නය සහිත ලුණු මිශ්‍ර  ජලයෙහි විනාඩි 15- 20ක් පමණ වාඩිවීසිටීමෙන් ක්ෂණික සහනයක් ලැබේ. ජලය ලීටරයට ලුණු හැදි 2- 3ක් පමණ එකතු කල යුතුයි. දිනකට මෙය දෙතුන් වරක් කිරීමෙන් අර්ශස් තත්ත්වය උත්සන්න වීම වලක්වා ගන්න පුලුවන්. තවද නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග Chemotherapy, Rubber band ligation, Heat coagulation, Hemorrhoidectomy වැනි ආකාර වලින් අර්ශස් අංකුර ඉවත් කිරීමටද දැන් හැකියාවක් ඇත. අර්ශස් තත්ත්වය සදහා ආයුර්වේදීයව විශේෂ ප්‍රතිකාර පද්ධතියක් ඇත. එහිදී බාහිර මෙන්ම අභ්‍යන්තරවද ඖෂධ ලබා දෙන අතරම, අග්නි කර්ම ආදී ප්‍රතිකාර මගින් අර්ශස් රෝගය මනාව ක්‍රමානුකූලව සුව කර ගත හැක.


වෛද්‍ය ආර්. චන්ද්‍රිකා රාජපක්ෂ

BAMS ( කොළඹ විශ්වවිද්‍යාලය )

M. Sc. Ph. B. ( පේරාදෙණිය විශ්වවිද්‍යාලය )

Ad. Dip. in Psychotherapy & Dip. in Counselling Psychology (MHF- SL)

CCHRM (IPM- SL)