නිරෝගී දරු පරපුරක් උදෙසා රත කල්කයේ ආයුර්වේදීය වටිනාකම

රටක යහපත් වූ අනාගතය තීරණය කරනුයේ නිරෝගී දරු පරම්පරාවක් විසිනි. රටක් භෞතික තත්වයන්ගෙන් කෙතරම් සශ්‍රීක වුවත්, සම්පත් නිවැරදිව කළමණාකාරණය තුළින් අනාගත සුරක්ෂිත බාවය කරා රැගෙන යන්නේ වර්තමානයේ බිහිවන නිරෝගී දරු සම්පත මගිනි. එනම් නිරෝගී දරුවන් යනු අනාගතය වෙත සිදුකරන මිල කළ නොහැකි ආයෝජනයකි.

එම නිසා සෑම රටක්ම තම සංවර්ධනයේ ප්‍රමුඛ ස්ථානයක් නිරෝගී දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් ලබා දීමට නිරන්තරයෙන් වෙහෙස වේ.

මවකගේ නිරෝගී ගර්භනී කාලයත්, ප්‍රසව කාලයත්, ඉන් පසුව එළඹෙන පසු ප්‍රසව කාලයත් අළුත උපන් බිළිඳකුගේ නීරෝගී බාවය කෙරෙහි අතිශය බලපාන අවධීන් ය. ප්‍රසවයෙන් පසු බිලිඳුන් හට ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් මඟහරවා ගැනීමේ අදහසින් අතීතයේ සිටම අළුත උපන් බිළිදාට රත කල්කය ලබා දීම සිරිතක්ව පැවතිණි. 

කුඩා බිළිඳකුගේ දිවේ, උගුරේ මැලියම් බැඳී ඇතිවිට, බඩගින්න අඩු අවස්ථා වලදී බඩගින්න වර්ධනය වීමට, බඩ පිපුමට, ඉස්මුරුත්තාවට, වියළි මල පිටවීමට, ඇගමැලි කැඩීමට, කැස්සට, සෙමට, උණට, සමෙහි රතු බිබිලි හෝ පලු මතු වීමට යනාදී නොයෙක් රෝග ලක්ෂණ සඳහා දේශීය වෙදකමෙහි සඳහන් රත කල්කය වසර ගණනක සිට භාවිතා වූ අද්විතීය ඖෂධයකි. 

ගැමි ව්‍යවහාරයේ තවමත් ප්‍රචලිත ‘රත ගාය’ නමින් හැඳින්වෙන රෝගී තත්ත්වය සඳහා ජනප්‍රිය ඖෂධය ‘රත කල්කය’යි. එය දෙසඳුන් කල්කය, රත් හඳුන් කල්කය, බිළිඳු කල්කය, කොත්තමල්ලි කල්කය යනාදී අන්වර්ථ නාමයන්ගෙන් ප්‍රචලිතය. 

රත් හඳුන් හා සුදු හඳුන් අන්තර්ගත ඖෂධයක් වූ නිසා දෙසඳුන් කල්කය ලෙසට ප්‍රකට වූවා විය හැක. පැහැයෙන් රත් පැහැ ගන්නා කල්කයක් වූ නිසාද, කුඩා බිළිඳුන්ට මව් කිරෙන් දිය කර පෙවීම නිසාද, අවුරුද්දකට වැඩි ළඳරුවන් හට කොත්තමල්ලි තම්බා අනුපාන ලෙස කල්කය සමග පෙවීම නිසාද අනෙක් පර්‍යාය නම් ලැබෙන්නට ඇති බව විශ්වාස කල හැක.

කාලයක් තිස්සේ භාවිතා කළ රත කල්කයෙහි බිළිඳු රෝග සුව වීමේ සාඵල්‍යතාවය සායනිකවද පරීක්ෂා කොට ඇත.

වර්තමානයේ රත කල්කයේ යෝග්‍යතාව හා එහි ගුණාත්මක බාවය පරීක්ෂා කොට ඉදිරිපත් කළ පර්‍යේෂණ නිබන්ධන රාශියක් පවතී. 

සුදු හඳුන්, රත් හඳුන්, කොල්ලු, වැල්මී, වදකහ, සහිඳ ලුණු සියුම් චූර්ණය ගෙන දෙහි යුෂෙන් අඹරා ඉතා පිරිසිදුව තනා ගන්නා රත කල්කය වර්තමානයේදී කුඩා ළඳරුවන්ගේ සමේ රෝග බොහොමයක් සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දේ.

නිසි වෛද්‍ය නිර්දේශ මත, නියමිත මාත්‍රාවෙන්, නියමිත ප්‍රමිතියකින් යුතු රත කල්කය දරුවන් වෙත ලබා දීමෙන් ළඳරු කාලයේ චර්ම රෝග වලින් ආරක්ෂා වීමට පමණක් නොව ළඳරු උණ, ශ්වසන ව්‍යුහගත රෝග, ආහාර මාර්ගගත රෝග, ආසාදන තත්ත්ව නිසා හටගන්නා රෝග වලින් ආරක්ෂා වීමටද ඉවහල් වේ.

නිරෝගී, නියමිත උපත් බර සහිත බිළිඳුන් හට සති දෙකෙන් පසු රත කල්කය ලබා දීම පිළිගත් ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයෙක් පරීක්ෂා කොට නිර්දේශ කෙරේ. මාස02 සිට අවුරුදු 02 දක්වා බුද්ධි වර්ධන කාලයේ රත කල්කය භාවිතය ඉහළ ප්‍රතිඵල ගෙන දෙන බව සායනිකව සනාථ කොට ඇත.

අඩු උපත් බර සහිත, නොමේරූ, දිගු කාලීන රෝගයන්ට ගොදුරු වූ, ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවන අන්ත්‍රගත රෝග සහිත ළඳරුවන්ට රත කල්කය ලබා දීම තීරණය කිරීම විශේෂිත අවධානයක් යටතේ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු තීරණය කළයුතු වේ. එමනිසා හිතුමතේ ඖෂධ ලබාදීම අනුමත නොකරන අතර නියමිත ප්‍රමිතියකින් යුතු ඖෂධ ලබා දීම මගින් ළදරුවාගේ ප්‍රතිශක්තිය වර්ධන හැකියාව වැඩිවී රෝග වලින් ආරක්ෂා වීම නොහොත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් ව්‍යාධි ක්ෂමත්වය ගොඩනැංවීම රත කල්කය භාවිතයෙන් සිදුවේ. 

ක්ෂුද්‍ර ජීවී ආසාදන වලින් වැළකී, බෝ වන රෝග වලින් ආරක්ෂා වී, මල-මූත්‍ර හොඳින් බැහැර වී, රක්තය ශෝධනය වී නිරෝගී ළඳරු කාලයක් හිමි කර දීමට රත කල්කයේ ඖෂධීය වටිනාකම අතිමහත් ය. 

අතීතයේ සිට වර්තමානය දක්වා ප්‍රතිශක්ති වර්ධක ඖෂධයක් ලෙසට ප්‍රචලිත වූ රත කල්කය ළඳරු කාලයේ හටගන්නා බොහෝ රෝග වලින් බිළිඳුන් ආරක්ෂා කොට නිරෝගී ළමා පරපුරක් ගොඩනැඟීමට ඉවහල් වූ බව අතීත ප්‍රයෝගයන් සාක්ෂි දරනු ඇත. 

සායනිකව සනාථ කොට ඇති එවන් වටිනා ඖෂධයක ඖෂධීය ගුණය ළදරුවන් වෙත ලබා දීම මඟින් ළඳරු කාලයේ බිළිඳුන්ගේ රෝග බොහොමයක් වළක්වා ගැනීමට හැකියාව ලැබේ. වර්තමානයේද තරුණ දෙමාපියන් රත කල්කය තම දරුවන් වෙත ලබාදීමට පෙළඹීම දක්නට ලැබීම සතුටට කාරණයකි.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

මානසික සංකූලතා හඳුනා ගැනීමෙන් සිය දිවි නසා ගැනීම් අවම කිරීමට පියවර ගැනීම

වත්මන් සමාජය තුළ සමාජයීය සෞඛ්‍යය ඉහළ දැමීම තුළින් පුද්ගල නිරෝගී බාවය කෙරෙහි ඇති කළ හැකි ධනාත්මක බලපෑම ඉතාමත් ඉහළ අගයක පවතී.

Depression, Anxiety disorders, Dipolar disorders, Post traumatic stress disorder, Schizophrenia, Personality disprders යනාදී නොයෙකුත් මානසික ව්‍යාකූල තාවයන් නිසා පුද්ගලයින් සියදිවි නසා ගන්නා ප්‍රවනතාව වත්මන් සමාජයේ ඉතා ඉහළ අගයක් ගෙන ඇත. වර්තමානයේ පවතින රෝගී තාවයක් වන Dipression බොහෝ පුද්ගලයන් රෝගී බවින් පෙළෙන බහුලම මානසික රෝගයයි. ජනග්‍රහණයෙන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් මෙම රෝගී තත්ත්වයෙන් පීඩාවිඳී. මානසික රෝග සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් 15%ක් විෂාදය සඳහා වේ. ඔවුන්ගෙන් බොහොමයක් සියදිවි නසාගැනීම හෝ නසාගැනීමට තැත්කිරීම සිදු කර ඇත.

සියදිවි නසා ගැන්මට තැත් කරන්නන්ට මෙන්ම එය වැළැක්වීමට දායක විය හැකි පිරිසට ද ඒ පිළිබඳ වගකීමක් පවතී.

සියදිවි නසාගැනීම වනාහි නැවත ලබාගත නොහැකි ලෙස පුද්ගල ජීවිතයක් මරණයෙන් කෙළවර වීමකි. සමාජයේ කාර්‍ය භාරය වූ කලී මේ සිදුවීමේ කුමන හෝ අවස්ථාවකට මොනයම් හෝ අයුරකින් මැදිහත් වීමෙන් එය වළක්වාලීමට පියවර ගැනීමයි.

අඩු අධ්‍යාපනය, අඩු ආදායම් තත්ත්වය, උග්‍ර නෛතික ගැටලු, ක්ෂ්ණික බිඳ වැටීම්, වෙන්ව යාම්(separation), දික් කසාද වීම්, ප්‍රේම සබඳතා බිඳ වැටීම්, දුක, කලකිරීම, කෝපය, වේදනාව යනාදී නොයෙකුත් කාරණා හේතු කොටගෙන පුද්ගලයින් සියදිවි නසාගත් පුවත් නිරන්තරයෙන් වාර්තාවේ.

සියදිවි නසාගැනීමට ඉඩ සහිත අවදානම් අවස්ථාවේ දී පුද්ගලයන් හඳුනා ගැනීම මෙහිදී අතිශය වැදගත් වේ. පෙර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින්, පවුල් පසුබිම තුළ සියදිවි නසා ගැනීමේ ඉතිහාසයක් සහිත පුද්ගලයින්, අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්, මානසික මට්ටම පහත වැටී ඇති ශාරීරික හා මානසික රෝගී අවස්ථාවන් වලින් පීඩා විඳින්නන් සියදිවි නසා ගැනීමේ ප්‍රයත්නයන්ට පහසුවෙන් එළඹීමට හැකියාව පවතී.

සමාජයේ පවතින ඇතැම් මිත්‍යා මතයන් නිසා සමාජය විසින් මෙම තත්ත්වය බරපතල තත්ත්වයක් ලෙස සැළකිල්ලට නොගන්නා අවස්ථාවන් පවතී. එනිසා පුද්ගලයින් මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමේ අවස්ථා මඟ හැරී යාම්ද වාර්තා වේ.

යම්කිසි පුද්ගලයෙක් තමා කවරදාක හෝ සියදිවි නසා නොගනිම් යැයි කියයි ද එවැන්නවුන් සියදිවි හානි කරගැනීමට ඉඩක් නොමැති යයි සිතීම එවැනි දුර්මතයකි. අප ශක්තිමත්ව සිටින තාක් එය යථාර්තයක් නොවුනද දුර්වල තැන්හි එය එසේ නොවීමට ඉඩක් පවතී.

තවද, සියදිවි නසා ගනිමියි නිතර ප්‍රකාශ කරන අය එසේ නොකරන අතර සියදිවි හානිකරගන්නා අය එය ප්‍රකාශ නොකර සියදිවි නසා ගන්නා බව ද එසේ පවතින මිත්‍යාවකි.

අනෙක් මිත්‍යාව වනුයේ සියදිවි නසා ගැනීම පිලිබඳ සමාජයේ කතිකාවතක් ගොඩ නැගීම හේතුවෙන් සියදිවි නසාගැනීම ප්‍රවර්ධනය කිරීමට හේතු දෙන බවය.

නමුත් සමාජයීය සිදුවීම් විශ්ලේෂණය කිරීමේදී ඉහත කාරණයන් මිත්‍යා මත ලෙස බැහැර කිරීම කාලෝචිතය.

මේ පිළිබඳ සමාජයේ නිවැරැදි දැනුවත් භාවය අතිශය අවශ්‍ය ය. ඔබට හෝ මට කවර හෝ අවස්ථාවක උද්ගත විය හැකි පොදු කාරණයක් වන සියදිවි නසාගැනීමේ සිතුවිල්ල පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති කිරීම සමාජ වගකීමකි.

සියදිවි නසාගැනීමේ චේතනාව වැළක්වීම හා සියදිවි නසාගැනීම් ක්‍රියාත්මක කිරීමේ සැළසුම ව්‍යර්ත කිරීම මඟින් සියදිවි නසා ගැනීම වළක්වාලීම පියවර ගැනීම මෙහිදී අතිශය වැදගත් වේ.

මෙම කරුණු පිළිබඳ දැන සිටීම තම පවුල තුළ, පාසල තුළ, රැකියා ස්ථානය තුළ හෝ මොනයම් ස්ථානයක ඔබට පැවරී ඇති සමාජයීය මෙහෙවර ඉටු කිරීම උදෙසා බෙහෙවින් උපකාරී වනු ඇත.

පුද්ගලයෙක් තුළ සියදිවි නසා ගැනීමේ චේතනාව වරින් වර ඇතිවන්නක් හෝ නිරන්තර දින චරියාවේ අංගයක් ලෙස ඇති විය හැක. එමෙන්ම එය අපැහැදිලි චේතනාවක සිට පැහැදිලි සුවිශේෂී චේතනාවක් දක්වා වර්ධනය වන්නක් විය හැක.

තවද සියදිවි නසා ගැනීමේ සැළසුම යතාර්ථවාදී නොවන සැළසුමක සිට ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි නිරවුල් සුවිශේෂ සැළසුමක් දක්වා ගොඩ නැගූවක් වන්නට පිළිවන. ඔවුන්ගේ එම සැලසුම් අප නොසිතූ අවස්ථාවක ක්‍රියාත්මක විය හැක.

එවැනි පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කොට ඔවුන් හැකි ඉක්මනින් මනෝ වෛද්‍ය වරයෙකු වෙත හෝ පිළිගත් මනෝ උපදේශකයෙකු වෙත යොමු කිරීම අතිශය වැදගත් වේ.

එමනිසා, මානසිකව ව්‍යාකූල මොහොතක සියදිවි නසා ගැනීම නිසා ඔබ ආසන්නතමයා ඔබෙන් වෙන්ව යාමට ඉඩ ඇති බැවින් එය වළක්වා ගැනීමත්, එතුළින් සමස්ත සමාජය තුළ මෙම තත්ත්වය අඩු ප්‍රවණතාවක් දක්වා ගෙන ඒමත් උදෙසා වූ සමාජයීය මෙහෙවර ඔබටත් මටත් පැවරෙනා වගකීමකි. එම වගකීම නිසි ලෙස ඉටු වන සමාජයක ශාරීරික, මානසික, ආධ්‍යාත්මික හා සමාජයීය නීරෝගීබව නිතැතින්ම ස්ථාපිත වනු නිසැක ය.

නාලිකා හංසිනී ජයතිලක

හිස්හොරි වදේ නිසා සමාජෙට මූණ දෙන්න බයෙන්ද?

හිස්හොරි හැදෙන්නෙ කොහොමද? ඔබට තිබෙන්නෙ කුමන හිස් හොරි වර්ගයද? හිස්හොරි මෙ තරමටම ඔබට ඇතිවෙල තියෙන්නෙ ඇයි? කියන දේවල් පිළිබඳව ඔයා මුලින්ම දැනගන්න අවශ්‍යයි. එවිට පිළියම්/ ප්‍රතිකාර කිරීම පහසුයි.

ඔබේ නියපොතු හා උරහිස්වල සුදු පිටි තැන්පත් වී තිබුණු ආකාරයත් ඉන් ඔබ අපහසුතාවයට පත් වූ ආකාරයත් ඔබට මතක ද? හිස්හොරි ප්‍රශ්නය නිසා ඔබ කැමතිම විලාසිතා, ප්‍රිය සම්භාෂණ කොපමණක් නම් සිතින් අත් හැර දැමුවා ද? සම්පූර්ණ බියකරු සිහිනයක් ලෙසින් පැමිණි හිස්හොරි, ඔබේ ජිවිතයට සීමා පණවා අවසන් ද? වෙළඳපොලේ ඇති විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පූ සහ නොයෙක් ආලේපන වර්ග ඔබේ හිස්කබලේ සෞඛ්‍යය නරක අතට හරවන බව තවමත් අවබෝධ වී නැති ද???

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්වය හැඳින්වෙන්නේ “දාරුණක” ලෙසින්. දාරුණක නැතහොත් හිස්හොරි ආයුර්වේදයේ ක්ෂුද්‍ර රෝග යටතේ කාණ්ඩ ගත කර ඇත. තවද ආයුර්වේදයේ දාරුණක, ත්‍රිදෝෂජ රෝගයක් ලෙස විස්තර කෙරේ, එනම්,ඔබේ දෝෂ (ශාරීරික බලවේග – වාත, පිත්ත, කඵ ) තුනෙහි ඇති වූ අසමතුලිතතාවය නිසා ඇතිවූ රෝග තත්වයක් ලෙස.

ඔබට වියළි හිස්හොරි ඇති විට, එය සිදුවන්නේ පිත්ත සහ වාත දෝෂ වල උග්‍රවීම හේතුවෙනි. ඒ හා සමානව, ඔබ තෙත් / තෙල් සහිත හිස්හොරි ඇති විට, එය සිදුවන්නේ කඵ-වාත දෝෂවල අසමතුලිතතාවය නිසාය. දෝෂ වල අසමතුලිතතාවය හේතුවෙන් හිස්කබල  හා එහි ගැඹුරු පටක දූෂණයට පත් වේ. ඔබේ ශරීරය, එහි ස්වාභාවික සුව කිරීමේ ක්‍රියාවලියේදී, දූෂිත අපිච්ඡද සෛල සාමාන්‍ය තත්වයට වඩා විශාල ප්‍රමාණයකින් ඉවත් කිරීමට ගන්නා උත්සාහයේදී හිස්කබලේ කැසීම නැතහොත් හිස්හොරි තත්වය ඇති වෙයි.

පොදුවේ ගත් කල, නිරෝගී හිස්කබලේ ඇති මිය ගිය සෛල, මාසයක් තුළ ගැලවී යයි. නමුත් ඔබට හිස්හොරි ඇති නම්,සෑම දින 2-7 කට වරක්ම මෙම ක්‍රියාවලිය  සිදු වේ. ආයුර්වේදයට අනුව, දාරුණක හෝ හිසරදය පහත රෝග ලක්ෂණ පෙන්වයි.

 කැසීම

 සුදු පැහැති කොරපොතු – පිටි වැනි ව්‍යුහයන්

 හිස්කබලේ වියළි බව

 හිස්කබලේ හිරිවැටීම

 හිසකෙස් ගැලවී යාම

 සමහර අවස්ථාවලදී ඇසිපිය ඉදිමීම

දැන් අපි ඔබ සැලකිල්ලක්  නොදක්වන, එමෙන්ම  ඔබේ හිස්හොරි තත්වය  වඩාත් නරක අතට හැරවිය හැකි සාධක කිහිපයක් සොයා බලමු.

සාමාන්‍යයෙන් අපේ සම මැරුණ සෛල ස්ථරය සෑම දින 28කට වරක්ම ඉවත් කරනවා.ඒක අපි හැමෝම දන්නවා. අපේ හිස් කබලත් මේ විදියට මැරුණ සෛල ඉවත් කරනවා. ඉතිං මේ ඉවත් කරන මැරුණ සෛල අක්‍රමවත් ආකාරයට සිදුවීම හිස්හොරි ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙසේ ඇතිවන්නාවූ හිස්හොරි වර්ග කිහිපයක් තියෙනවා.

1. හිස්කබල දැඩිව වියළිීම නිසා ඇතිවන හිස්හොරි:

නිතරම උණු වතුර නාන කෙනෙක් නම්, නිතර නිතර අව්වේ යන කෙනෙක් නම් මේ ප්‍රශ්නෙ අනිවාර්යෙන්ම ඇති. ඉතිං මේකට විසඳුමක් විදියට හොඳ මොයිස්චරයිසර් අඩංගු ෂැම්පූ එකක් භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම තමයි දැඩි රස්නෙන් කරන ස්ට්‍රේට්, පර්ම් වගේ දේවල් නොකර ඉන්නවා නම් ගොඩක් හොඳයි.

2. ස්‍රාවයන් නිසි පරිදි ඉවත් නොකිරීම නිසා හටගන්නා හිස්හොරි:

හිස් කබලෙත් තියෙන්නෙත් සාමාන්‍ය සමක්. එහි ඝනකම අඩුයි. සීබම් කියන ස්‍රාවයන් මේ ආශ්‍රිතවද නිපදවෙනවා. මේ නිසා මුහුණේ සම වගේම හිස් කබලත් තෙල්/ ඇලෙන සුළු ස්‍රාව සහිත වෙන්න පුලුවන්. මේ තෙල් එක්ක, කුණු දූවිලි එකතු වෙලා මේ තත්වය නරක අතට හැරිලා හිස්හොරි වගේ ආසාදන ඇතිවෙන්න පුලුවන්. මේ නිසා නළලේ, බෙල්ලේ වගේම පිටේ බිබිලි තත්වයන් ඇතිවෙන්න පුලුවන්. හොඳම දේ හැමදාම නාලා පිරිසිදුව ඉන්න එක.

3. දිලීර වැනි රෝග තත්වයන් නිසා හටගන්නා හිස්හොරි:

ගොඩක් වෙලාවට මේ හිස්හොරි කියන තත්වයන් ඇතිවෙන්නෙ තරුණ වියට එළඹීමත් එක්කම. ඒ කාලෙදි ඇතිවන හෝමෝන අසමතුලිත තත්වයන් නිසා දිලීර ක්‍රියාකාරී වීමෙන් ඒ දිලීරය මගින් ස්‍රාවය වන ඇසිඩ් මගින් හිස් කබල ආසාදනය වෙලා තෙත් ගතියක් සමඟ හිස්හොරි ඇතිවෙන්න පුලුවන්. මෙහිදී නිසි ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.

4. අපි හිස කෙස් සඳහා භාව්තා කරන විවිධ නිෂපාදන නිසා හටගන්නා හිස්හොරි:

හිසකෙස් විවිධ විලාසිතා වලට හැඩගන්වද්දි අපි විවිධ රසායනික දේවල් භාවිතා කරනවා.මේ දේවල් හිස් කබලෙ රැඳුනම ඒත් එක්ක කුණු දූවිලි රැඳෙන්න පුලුවන් වගේම මේ දේවල් නිසා හිස් කබල වියළි වෙන්නත් පුලුවන්. එයිනුත් හිස්හොරි ඇති වෙනවා. කිසියම් නිෂ්පාදනයක් භාවිතා කළාට පසුව හිස හොඳින් ෂැම්පු කර සෝදන්න. අමතක නොකර කන්ඩිෂනර් කරන්න.

5. හිස්හොරි නොවන විවිධ ආසාදන: Seborrheic Dermatitis  යන ක්ෂුද්‍ර ජීවී විශේෂය ආසාදනය වීමෙන් හිස්හොරි වලට සමාන ආසාදන තත්වයක් හිසේ ඇති වෙනවා. හිස මෙන්ම කන, නාසය දෙපස හා බෙල්ල දක්වාත් මෙය ව්‍යාප්ත වෙන්න පුලුවන්. මේක හිස්හොරි තත්වයක් නොවන නිසා වෛද්‍ය ප්‍රතිකාර අනිවඑයෙන්ම ගත යුතුයි. සමේ පැහැයට ගොඩක් සමාන හෝ යන්තම් රතු රෝස පැහැයකින් මේක මුලින්ම දකින්න පුලුවන්.

6. මානසික ආතතිය නිසා ඇතිවන හිස්හොරි:

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව යමෙකු ආතතියට පත්වන විට ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව අඩු කර පිත්ත දෝෂය  ඉහළ යන බවයි. මෙවැනි අවස්ථාවකදී හිස්හොරි ඇතිවීමේ හා වැඩි වීමේ සම්භාව්‍යතාවය අතිශය වැඩියි.

මෙන්න මේ තත්ව වලින් ඔයාට තියෙන්නෙ මොකක්ද කියලා හඳුනාගෙන, නිසි ප්‍රතිකාරයට යොමු වීම ඉතා වැදගත්. මෙහිදී ඔබ ඔබ තුළින්ම දෛන්ක ජීවිත චර්‍යාව හැඩගස්වා ගැනීමත් වැදගත්. තවද ප්‍රතිකාරයේදී නියමිත වෛද්‍ය උපදෙස් ක්‍රමානුකූලව ප්‍රතිකාර අවසන් වනතුරු පිළිපැදීමත් වැදගත්.

[ඔබටත් මේ සඳහා ප්‍රතිකාර අවශ්‍යවේ නම් Dr. Chandhi Rajapakshe

(https://www.facebook.com/drchandhirajapakshe/) FB පිටුව සමග සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිනවා.]

Dr. (Mrs) R. Chandrika Rajapakshe

Senior Lecturer | Doctor of Ayurveda

M. Sc. (UoP-SL),

BAMS (UoC-SL),

B. Sc. (YSU-USA),

Ad. Dip. in Psychotherapy & Dip. in Counselling (MHF-SL)

ගැහැණු පිරිමි භේදයෙන් තොරව වැළදෙන ‘අර්ශස්’


වර්තමාන සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝගයක්. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව, ලොකු කුඩා භේදයෙන් තොරව ඇති වන්නක්. බොහෝ දෙනෙක් මෙය මුල් කාලයේදී නොසලකා හරින නිසා ඉතා පීඩාකාරී තත්ත්වයක් තෙක් වර්ධනය වෙන්නත් පුළුවන්. එහෙත් ඔබ මෙය නිවැරදිව හදුනා ගෙන, ප්‍රතිකාර කොට සුවය ලැබිය හැකි රෝගයක්. 

ආයුර්වේදීය මූල ග්‍රන්ථ වල සදහන් ආකාරයට ‘අර්ශස්’ යන්නෙහි සරලම තේරුම වන්නේ සතුරෙකු මෙන් ශරීරය පෙළන රෝගයක් බවයි. ඔබ දැනටමත් මේ රෝගයෙන් පෙළෙන්නෙක් නම් මෙහිවූ වේදනාත්මක බව අත්විද ඇති. අර්ශස් ගුද මාර්ගයේ අවසාන කොටසේ, එනම් මහාන්ත්‍රයේ අවසාන කෙළවරේ සිට අගල් 5-6ක් අතර සංවරණී, විසර්ජණී හා ප්‍රවාහිණී යන ගුදවලි තුනෙහි හට ගන්නාවූ රෝගයක්. මිනිස් සිරුර ඉතා පීඩාවට පත් කරන්නාවූ මේ රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ මලබද්ධ තත්ත්වයයි. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම, කෘත්‍රිම ආහාර රටාවන්ට යොමුවීම, කෙදි සහිත ආහාර නොගැනීම, මළ මූත්‍ර පිට කිරීමේ අවශ්‍යතාව දැනුණු විට පිට නොකර සිටීම, අධිකව නිදි වැරීම, එකදිගට හිදගෙන හෝ සිටගෙන සිටීම, බර ඉසිලීම, අධික ලෙස මත්පැන් පානය, උෂ්ණාධික ආහාර එනම්; ඉස්සො, දැල්ලො, බලමාළු, අන්නාසි, අච්චාරු, තක්කාලි ආදිය අධිකව ආහාරයට ගැනීම, අපිරිසිදු බව, පණු රෝග දීර්ඝකාලීනව පැවතීම, මානසික ආතතිය අධික වීම ආදිය මේ රෝගය සදහා හේතූන් වේ. 

අර්ශස් රෝගය ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුලුවන්. ඒ අභ්‍යන්තර අර්ශස් හා බාහිර අර්ශස් ලෙසයි. අභ්‍යන්තර අර්ශස් තත්ත්වය ඔබට පිටතින් දැකගන්නට බෑ. මෙහිදී ඔබට සාමාන්‍යයෙන් වේදනාවක් නොදැනුනත්, මලපහ කිරීමේදී රුධිරය පිටවීමක් දකින්නට පුලුවන්. මෙය ඉතා වැඩිවූ අවස්ථාවක් නම් අර්ශස් ගෙඩි විශාලවී ගුද මාර්ගයෙන් පිටතට ඇවිත් වේදනාවක් ගෙන දෙන්නටත් පුලුවන්. බාහිර අර්ශස් තත්ත්වයේදී සිරුර අභ්‍යන්තරයේ සිට ඇතිවන මාංශපේශි ඉදිමුම ගෙඩි මෙන් ගුදය වසා විසිර තිබෙනවා. බහුලවම පවතින්නේ මේ තත්ත්වයයි. 

අර්ශස් තත්ත්වයක් ඇත්නම් එවැනි රෝගියෙක් පහත ලක්ෂණ පෙන්වනවා. මූලිකවම මලබද්ධය හා බඩ පුරවා දැමීමත්, ගුද මාර්ගයෙන් ලේ ගැලීම, සැරව ගැලීම, සීදන් යාම, දණහිස් වේදනාව, මූත්‍ර අඩස්සිය, නොසන්සුන් බව, අධිකව තරහ යාම, හිසේ බර ගතිය ආදියයි. ඔබටත් මේ රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් ඇත්නම් අනිවාර්‍යයෙන්ම ඔබේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කර ප්‍රතිකාරයට යොමු විය යුතුයි. 

අර්ශස් රෝගය සදහා ප්‍රතිකාරයේදී මුලින්ම ආහාර පිළිබද සැලකිලිමත්විය යුතුයි. කෙදි සහිත ආහාර වැඩිපුර ගැනීමත්, ජලය වැඩියෙන් පානයට යොමු වීමත් ඒ අතරින් ප්‍රධානයි. මලපහ තද ගතියෙන් තිබීම අර්ශස් උත්සන්න කරන අතර, ඒ සදහා මලපහ මෘදු කරන ඖෂධ ඉතාමත් යෝග්‍යයි. ඉතා උත්සන්නවූ අවස්ථාවක් නම් මද රස්නය සහිත ලුණු මිශ්‍ර  ජලයෙහි විනාඩි 15- 20ක් පමණ වාඩිවීසිටීමෙන් ක්ෂණික සහනයක් ලැබේ. ජලය ලීටරයට ලුණු හැදි 2- 3ක් පමණ එකතු කල යුතුයි. දිනකට මෙය දෙතුන් වරක් කිරීමෙන් අර්ශස් තත්ත්වය උත්සන්න වීම වලක්වා ගන්න පුලුවන්. තවද නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග Chemotherapy, Rubber band ligation, Heat coagulation, Hemorrhoidectomy වැනි ආකාර වලින් අර්ශස් අංකුර ඉවත් කිරීමටද දැන් හැකියාවක් ඇත. අර්ශස් තත්ත්වය සදහා ආයුර්වේදීයව විශේෂ ප්‍රතිකාර පද්ධතියක් ඇත. එහිදී බාහිර මෙන්ම අභ්‍යන්තරවද ඖෂධ ලබා දෙන අතරම, අග්නි කර්ම ආදී ප්‍රතිකාර මගින් අර්ශස් රෝගය මනාව ක්‍රමානුකූලව සුව කර ගත හැක.


වෛද්‍ය ආර්. චන්ද්‍රිකා රාජපක්ෂ

BAMS ( කොළඹ විශ්වවිද්‍යාලය )

M. Sc. Ph. B. ( පේරාදෙණිය විශ්වවිද්‍යාලය )

Ad. Dip. in Psychotherapy & Dip. in Counselling Psychology (MHF- SL)

CCHRM (IPM- SL)