කිරි සුදු බැටළුවා

පුංචි දුවලා පුතාලා, අද කතාව ඔයාලා වගේම පුංචි බබෙක් ගැන. බැටළු බබෙක් ගැන තමයි අද කතාව කියන්න යන්නේ.

ඔන්න ඉතින් අපේ මේ පුංචි බැටළු පැටියා ජීවත් වුණේ ලොකු බැටළු රංචුවක් සමඟයි.

මේ බැටළු රංචුවේ ඉන්න ගොඩක් බැටළුවන් කලු පාටින් ලොම් තිබෙන බැටළුවන්. තවත් කොටසක් දුඹුරු පාටට හුරුයි. නමුත් මේ බැටළු පැටියාට තිබුණේ කිරි සුදු පාට ලොම්.

ඉතින් බැටළු පැටිය හරිම ආඩම්බර යෙන් උන්නා අනිත් අයට වඩා තමන් වෙනස් නිසා.

නිතරම බැටළු පැටියා අනෙක් අයට නැති තමන්ගේ මේ කිරි සුදු ලොම් ගැන ආඩම්බර යෙන් කතා කලා. තමන් විශේෂ කෙනෙක් බවත් අනෙක් බැටළුවන්ට කීවා.

එක දවසක් උදෙන්ම බැටළු පැටියා හොඳ අලුත් තණකොළ කන්න ඕන නිසා ටිකක් ඈතින් පිහිටි තණබිමකට ගියා. හොඳට බඩ පිරෙන්න තණකොළ කාපු බැටළු පැටියා ගෙදර එන්න පිටත් උනා.

ගොඩක් තණකොළ කාපු නිසා බඩ හොඳින් පිරී තිබුණා. හෙමි හෙමින් තණබිම් වෙන් කරන වැට මායිම් වෙත ආව බැටළුවන් පැටියා කටු වැටමායිම තුළින් රිංගා එළියට එන්න උත්සාහ කලා.

බැටළු ලොම් කටු වැටේ පැටලුනා. එයින් නිදහස් වෙන්න කියලා එහෙට මෙහෙට දඟලලා තව තවත් එහිම පැටලුනා. කිරි සුදු පාට ලොම් කිළිටි වුණා .

බැටළු පැටියා හරිම දුකෙන් ඉන්න වෙලාවේ අනෙක් බැටළුවන් තණ බිම වෙත ආවා. හොඳටම පැටලී දුකෙන් ඉන්න බැටළු පැටියට නිදහස් වෙන්න උදවු කලා.

අපේ පුංචි බැටලු පැටියාට හරිම දුක හිතුනා ලොම් කිළිටි වී තිබුණු නිසා.

නමුත් ගොඩක් ස්තූති වන්ත වුණා අනෙක්‌ බැටළුවන්ට ඔහුව පැටලුම් වලින් නිදහස් කල නිසා.

බැටලු පැටියා ආයේ කවදාවත් තනියම තණබිම් වෙත ගියේ නෑ.

හැමෝම එක්ක එකතු වෙලා වැඩ කලා.

තමන් ලොම් වල පාටින් විශේෂ කෙනෙක් වෙන්නෙත් නැති බව තෙරුම් ගත්තා.

පුංචි දුවලා පුතාලාත් ආඩම්බර නොවී   ගුණ දහම් වැඩි කරගෙන හොඳ යහපත් දරුවන් වෙන්න.

අලුත් කතාවක් එක්ක ආයෙත් හමු වෙමු. සතුටින් ඉන්න. තිලෝෂි ප්‍රනාන්දු.

යහපත් කුරුළු පැටියා

ඔන්න දරුවනේ ලොකු රූස්ස ගස් තියන කැලෑවක උන්නා පුංචි කුරුල්ලෙක්. මේ කුරුළු පැටියා තනිවම තමයි ජීවත් උනේ.  ටික ටික සීත කාලය ලං උනා. 

ඉතින් සීත කාලය ලං වෙද්දී කුරුළු පැටියා ඈත ලඳූ කැලෑවන් වෙත පියාසර කර කෑමට ගන්න පුළුවන් මල්, පලතුරු එකතු කර ගත්තා. මොකද, ගොඩක් සීත‍ උනාම හිම වැටෙනවා. එතකොට කෑම සොයන් පියඹා යන්න ලේසි පහසු කටයුත්තක් නොවේ. 

 අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මල්,   පලතුරු වර්ග එකතු වී තිබුණා. කුරුළු පැටියට හරිම සතුටුයි. දැන් ඉතින් ඉන්න පුළුවන් උණුසුමට කූඩුව ඇතුලට වෙලා. පැංචා සතුටින් හිතුවා.

ඔහොම ඉන්න අතරේ කුරුළු පැටියා දැක්කා අමාරුවෙන් හෙමි හෙමින් පියඹා යන කුරුල්ලෙක්. ඒ කුරුල්ලා ට තව දුරටත් පියඹා යන්න බැරිව බිම 

වැටුණා. කුරුළු පැටියා ඉක්මනින් එදෙසට පියඹා ගියා.

කොහොමද ඔබට? මොකද උනේ? කුරුළු පැටිය ඇහුවා. 

වයසක කුරුල්ලා ඉතා අමාරුවෙන් නැගිට කතා කලා. 

“අර පෙනෙන විශාල ගසේ මම වගේම දුබල වයසක කුරුල්ලන් කිහිප දෙනෙක්ම ඉන්නවා. අපිට හිම වැටෙන්න කලින් කෑම සොයා ගැනීමට අපහසුයි.”

වයසක කුරුල්ලා අමාරුවෙන් නැවත පියඹා කැදැල්ල වෙත ගියා.

කුරුළු පැටියා කල්පනා කලා. මට පුළුවන් ඔවුන්ට උදවු කරන්න. 

තවම හිම වැටෙන්න පටන් අරන් නැ. ඉතින් කුරුළු පැටියා ඉක්මනින් පියඹා ගිහින් වයසක කුරුල්ලන් සඳහා කෑම සොයා ගෙනැවිත් දුන්නා.

වයසක කුරුල්ලන් හැමෝම ගොඩක් ස්තුති කලා කුරුළු පැටියට. හරිම මහන්සියෙන් කුරුළු පැටියා තම කූඩුවට ආවා. ගොඩක් ඈතට පියඹා ගිය නිසා මහන්සි දැනුනත්, හිතට හරිම සතුටුයි. වයසක කුරුල්ලන්ට සීත කාලය ට අවශ්‍ය කෑම තිබෙන නිසා. 

ටික වෙලාවකින් හිම වැටෙන්න පටන් ගත්තා. හොඳින් උණුසුම පිරුණු පුංචි කූඩුවට වෙලා කුරුළු පැටිය සීත කාලය සතුටින් ගතකලා. 

පුංචි දුවලා පුතාලාත් මතක ඇතිව ඔයාලගෙ වයසක දෙමව්පියන් සීයා ආච්චි ගැන හොයලා බලන්න. අසරණ අයට උදවු උපකාර කරන්න. හොඳ ගුණ යහපත් දරුවන් වෙන්න. 

සුබ අලුත් අවුරුද්දක් වේවා. 

තිලෝෂි ප්‍රනාන්දු.

සිංහ පැංචාගේ සෙල්ලම් බඩු

ඔන්න දරුවනේ අද කතාව අපේ සිංහ පැංචා ගැනයි.

දවසක් උදෙන්ම අවදි වුණ සිංහ පැංචා, සෙල්ලම් බඩු ඔක්කොම ටික එළියට ගත්තා. විශාල සෙල්ලම් බඩු ප්‍රමාණයක් අපේ මේ සිංහ පැංචාට තියෙනවා.

නමුත් සිංහ පැංචා සෙල්ලම් බඩු කිහිපයක් විතරක් අරගෙන සෙල්ලම් කරනවා. අනෙක් සෙල්ලම් බඩු ඔක්කොම හැම තැනම.

සිංහ පැංචා ගෙ අම්මා ඇවිත් බැලුවා සිංහ පැංචා මොකද කරන්නේ කියලා. පැංචා සෙල්ලම් කරනවා පැත්තකට වෙලා. නමුත් සෙල්ලම් බඩු ගොඩක් හැමතැනම අපිළිවෙළට තියනවා.

පැංචො අපි මේ අනෙක් සෙල්ලම් බඩු වලට මොනාද කරන්නේ දැන්?  පැංචා ඒවායින් සෙල්ලම් කරන්නේ නෑ නේ දැන් නේද කියලා ඇහුවා.

අනේ අම්මා ඒවා මගේ සෙල්ලම් බඩු. මම ඔක්කොම සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරනවා. පැංචා එහෙම කිව්වට පැංචා දන්නවා එයා මේ විශාල සෙල්ලම් බඩු තොගය එක්කම සෙල්ලම් කරන්නේ නෑ කියලා.

පැංචා ඔයා කැමැතිම සෙල්ලම් බඩු ටික තියා ගන්න. ඔයා සෙල්ලම් කරන්නේ නැති ඒවා අපි සෙල්ලම් බඩු නැති බබෙක් ට දෙමු. පැංචා කැමැති ද එහෙම? අම්මා ඇහුවා.

පැංචා ටිකක් කල්පනා කළා. ඒත් මේ මගේ සෙල්ලම් බඩු නේ.. පැංචා හිතුවා.

තමන්ට වැඩි දෙයක් වගේම තවදුරටත් පාවිච්ච් නොකරන දෙයක්, තව කෙනෙකුට දෙන එක ගොඩක් වටිනවා. දෙයක් දෙන විට හිතට ගොඩක් සතුටු දැනෙනවා.

ඉතින් අපි උත්සාහ කරලා බලමුද? අම්මා යෝජනා කලා.

අම්මයි පැංචා යි එකතු වෙලා ලොකු මල්ලක් පිරෙන්න සෙල්ලම් බදු එකතු කලා. සෙල්ලම් කරන්න හොඳ ඉඩකුත්   තියනවා දැන්. පැංචා ට සතුටුයි.  සෙල්ලම් බඩු නැති බාබා ලා කිහිප දෙනෙක් ට පැංචා ගෙ සෙල්ලම් බඩු බෙදා දුන්නා. පැංචා ට හරිම සතුටුයි. මට හරිම සතුටුයි අම්මා ස්තූතියි එහෙම කලාට කියලා පැංචා අම්මා ව ආදරෙන් වැලඳ ගත්තා.

පුංචි දුවලා පුතාලාත් මේ වගේ හොඳ දේවල් කරන්න පුරුදු වෙන්න. එයින් හිතට දැනෙන සතුට හොඳින් විඳගන්න. අලුත් කතාවක් එක්ක ආයෙත් හමු වෙමු. සතුටින් ඉන්න.

තිලෝ ප්‍රනාන්දු.

වඳුරු පැටියා

ඔන්න දරුවනේ එක කැලෑවක වඳුරු රංචුවක් හිටියා. මේ රංචුවේ ඉන්න පොඩිම  වඳුරු පැටියා අනෙක් වඳුරන්ට වඩා ක්‍රියාශීලි බවෙන් අඩුයි.

ගස් උඩ නගින්නේත්හරිම හෙමින්. වැල් අල්ලන් පනිමින් යන්නත් බෑ. බිමට වැටෙනවා.

එහෙම අකරතැබ්බ වෙන වෙලාවට අනෙක් වඳුරන් මේ කුඩා වඳුරාට හිනා වෙන්න වගේම උසුළු විසුළු කරන්නත් පටන් ගත්තා.

පුංචි වඳුරු පැටියට හොඳටම දුක හිතුනා.

මම මොකද කරන්නෙ දැන්, කොහොමද මම මේ හැම දෙයක්ම හරියට කරන්න පුරුදු වෙන්නේ, කියලා  කල්පනා කරන්නට වුණා.

වැඩි හිටි නායක වඳුරකු දැක්කා මේ දුකෙන් ඉන්න පැටියව. ළඟට ගිහින් විමසුවා ඇයි මේ දුකෙන් කියලා. මට  ඉක්මනින් ගස් නගින්න වත්, වැල් අල්ලන් පනිමින් යන්නවත් බැරි නිසා හැමෝම හිනා වෙනවා කියලා කිව්වා.

ටිකක් කල්පනා කරපු වැඩිහිටි වඳුරා මෙහෙම දෙයක් කිව්වා ”   ටික ටික වැටෙමින් නැගිටීමින් තමයි හොඳින් පුහුණු වෙන්නේ. කවුරුත් හිනා වුණ නිසාවත් , විහිළු කරන නිසාවත් පුරුදු පුහුණු වෙන එක අත්නොහැරිය යුතුයි.”

 වඳුරු පැටියා ධෛර්යමත් වුණා. නැවත තම රංචුව සමගින් වැල් වල එල්ලී සෙල්ලම් කලා. අනෙක් වඳුරන් උසුළු විසුළු කරන විට කුඩා වඳුරු පැටියා මෙහෙම කිව්වා

” මට වරදින, වැටෙන අවස්ථාවල හිනා වෙනවා, උසුළු විසුළු කරනවා වෙනුවට  මාව ධෛර්යමත් කරන්න පුළුවන් නම්.. මට උපක්‍රම කියලා දෙන්න පුලුවන් නම් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා කියලා.”

 අනෙක් වඳුරන්ට ඔවුන් ගැන ලැජ්ජාවක් ඇති වුණා.

වඳුරු පැටියාට සහයෝගය ලබා දෙන්න හැමෝම එකඟ වුණා.

ඉතින් දුවේ පුතේ අපිත් අනෙක් අය අපහසුවට පත් නොකර, යාළුවන් ධෛර්යමත් කරමින්, සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න  පුරුදු වෙමු.

නැවත අලුත් කතාවක් එක්ක හමු වෙමු.

තිලෝ ප්‍රනාන්දු.

තනිවූ කොටි හාමි


පුංචි දුවලා පුතාලා ඔන්න අද අලුත් කතාවක් කියලා දෙන්නයි මේ හදන්නේ.

මේ කතන්දරය කැලෑවක තනි වූ කොටි හාමි කෙනෙක් ගැනයි.

ඔන්න ඉතින් කොටි හාමිට හරිම කම්මැලියි ඒ වගේම දුකයි. මොකද දන්නවාද කොටිහාමි ගොඩ දවසක් තනියෙම ම ජීවත් වුණ නිසා. තවදුරටත් මෙහෙම ඉන්න බෑ කියලා හිතුනා. ඉතින් කොටිහාමි හිතුවා මේ කැලෑවේ ඉන්න අනෙක් සතුන් සමඟ යාලු වෙන්න ඕන කියලා. 

නමුත් කොටිහාමි ට බයයි අනෙක්‌ සතුන් මා එක්ක මිතුරු වෙයි ද?. මට බය වෙයි ද කියලා.. 

ඔහොම කල්පනා කරමින් යන විට දැක්ක අලි රංචුවක්  සෙල්ලම් කරනවා. හෙමි හෙමින් කොටිහාමි ලොකු කොළ කිහිපයක් අරන් ඇඟේ දවටා ගත්තා. දැන් මාව අලියෙක් වගේ පෙනේවි යයි කියා හිතුවා. හොඬවැල වෙනුවට ලී කැබැල්ලක් ගෙන කටින් අල්ලා ගත්තා. 

වෙස්වළා ගැනීම නම් විශිෂ්ටයි ඔහු හිතුවා. 

ටික ටික අලි රංචුව ළඟට කිට්ටු උනා. මේ යාලුවනේ මොකද්ද අද අපි කරන සෙල්ලම ඔහු ඇහුවා. 

අලි රාළ කෙනෙක් හොඳින් කොටි හාමි දිහා බැලුවා. ඔබ අලියෙක් නොවෙයි. කොටියෙක් ඉතින් අපි ඔබ සමඟ සෙල්ලම් කරන්නේ නෑ. අලි රාළ කිව්වා. කොටි හාමි ට දුක හිතුනා. ඔහු හෙමි ට එතනින් ඉවත් උනා. 

මේ විදියට එක් එක් ආකාරයේ සතුන් ලෙස වෙස් වෙලාගෙන එම සතුන් එක්ක මිත්‍ර වෙන්න කොටි හාමි උත්සාහ කළා. නමුත් ඔබ කොටියෙක් කවුද කොටියෙක් සමඟ මිතුරු වෙන්නේ කියලා සතුන් හැමෝම ඔහුව තනිකර දමා ගියා. 

කොටි හාමි හරිම දුකෙන් ආපසු ගුහාව වෙත ගියා.  

ටික වෙලාවක් යද්දි කැලෑව ඇතුලෙන් ශබ්දයක් ආවා. හිස ඔසවා බැලුවා මෙතරම් විශාල ශබ්දයක් මොකද්ද මේ..  අහා.. මම වගේමයි… කොටි රංචුවක් නේද.. කොටි රාළට හිතා ගන්න බැරි වුණා. ඔහුට හරිම සතුටු හිතුනා දුවගෙන ගියා එදෙසට… 

නමුත් ඒ හිටියේ කොටි හාමිලා නම් නොවේ. ඇඟේ ඉරි ඇඳගෙන වෙස්වළාගෙන ඉන්න අනෙක් සතුන්. 

ඒ හැමෝම ඇවිත් තියෙන්නේ කොටි හාමි දුකෙන් තනියම ඉන්නවා දැක්ක නිසා. ඔහුට ඇති බිය නිසා ඔහුව ප්‍රතික්ෂේප කළත්, අනෙක් සතුන් කොටි හාමි ට අවස්ථාවක් දෙන්න ඕන කියලා තීරණය කර තිබුණා. 

ඉතින් කොටි හාමි ට හරිම සතුටුයි. ස්තූති කලා ඔහුව හොයන් ආවට. ඒ වගේම ඔහු පොරොන්දු වුණා ඔහු ගෙන් කිසිම අනතුරක් අනෙක් සතුන් ට නොවන බවටත්.. 

 ඉතින් ඔන්න කොටි හාමි හැමෝ එක්කම සතුටින් සෙල්ලම් කළා. ආයේ කවදාවත් තනිවම දුකින් හිටියේ නෑ. 

අලුත් කතාවක් එක්ක නැවැතත් හමු වෙමු. 

පුංචි දුවලා පුතාලා සතුටින් ඉන්න. 

තිලෝ ප්‍රනාන්දු.

අතරමන් වූ මුව පැටියා.


අතරමන් වූ මුව පැටියා. 

ඔන්න දරුවනේ අද කතාව මුව පැටියෙක් ගැනයි. 

මුව පැටිය යි, අම්මයි, තාත්තයි රසම රස දළු කොළ කඩන් කෑවා. හොදටම බඩ පිරුනා. කෑම කාලා ඉවරයි. දැන් ඉතින් ටිකක් සෙල්ලම් කරන්න තිබුණා නම් හොඳයි. මුව පැටියා හිතුවා. 

 “මම ටිකක් සෙල්ලම් කරන්න යන්නම්” 

කියලා අම්මගෙන් ඇහුවා. හා යන්න වැඩි ඈතකට යන්න එපා. කියලා අම්මා කිව්වා. 

මුව පැටියා දුව පනිමින් සෙල්ලම් කලා. 

මුව පැටියා දැක්ක ලස්සන සමනලයෙක් පියඹා යනවා. ඉතින් මුව පැටියා සමනලයා යන දිහාට දුවමින් ගියා.මුව පැටියා ටත් නොදැනීම ටික ටික ඈතට ගියා.

සමනළයා ඈතට පියාඹා ගියා.

මුව පැටියා ට සමනලයා ව හොයාගන්න බැරි වුණා. හැමතැනම හෙව්වා ඒත් නැහැ. ටිකක් වටපිටාව බලද්දී තමයි මුව පැටියා දැක්කේ අම්මවත් තාත්තාවත් පේන්න නෑ කියලා. මුව පැටියා ගොඩක් කැලෑව තුළට ඇවිදගෙන ඇවිත් තියෙනවා කියලා.

දැන් නම් මුව පැටියා හොඳටම බය වුණා. පැටියට මතක් වුණා අම්මා  ඈතට යන්න එපා කිව්වා කියලා.

“අනේ අම්මා ඔයා කොහෙද”  මුව පැටියා දුකෙන් වගේම බයෙන් එහෙට මෙහෙට ඇවිද්ද.

ටික වෙලාවක් යද්දි ගස් වැල් අතරින් පෙනෙන රුව හඳුනා ගැනීමට මුව පැටියාට වැඩි වෙලාවක් ගියේ නෑ.

“අම්මා” කියලා කෑගහලා සතුටු කඳුළු ඇස් වල පුරෝගෙන දුවගෙන ගිහින් අම්මට තුරුල් වුණා.

අනේ අම්මා මාව අතරමන් වුණා. ලස්සන සමනලයාව මඟ හැරුණා. මුව පැටියා දුකෙන් කිව්වා.

පැටියො අපි එළියේ ඉන්න වෙලාවට හොඳ සිහියෙන් යුතුව ඉන්න ඕන. අම්මා තාත්තා නැතුව තනියම දන්නේ නැති පැති වලට යන්න හොඳ නැහැ. ඒ නිසා හොඳ සිහියෙන් හා නුවණින් යුතුව කටයුතු කරන්න ඕන කියලා මුව පැටියා ට අම්මා උපදෙස් දුන්නා.

පුංචි දුවලා පුතාලා ත් හොඳ සිහියෙන් හා නුවණින් යුතුව වැඩ කටයුතු කරන්න. අම්මා තාත්තා වැඩිහිටියන් නැතුව කොහේවත් නොදන්නා තැන් වලට යන්න එපා හොඳද. ඉතින් 

අලුත් කතාවක් එක්ක නැවත හමුවෙන තුරු සතුටින් ඉන්න.

තිලෝ ප්‍රනාන්දු.