Category: Daily-Topics
අන් අයගේ වහලෙක් නොවී හැම වෙලේම ඔබ ඔබම වෙන්න උත්සාහ කරන්න.
“To shine your brightest light is to be who you truly are.”
Roy T.Bennett
අද සමාජයේ දැකගන්න තියෙන ප්‍රධානතම කාරණාවක් තමයි බොහෝ මිනිසුන් අන් අයට අවශ්‍ය පරිදී ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔබ ඔවුන් කියන විදියට ජීවත් වෙනවා කියලා නෙමෙයි. නමුත් ඔබ ඔවුන් කියන විදියට ජීවත් නොවුනට ඔබ හැමවෙලේම ඔවුන්ව කොපි කිරීමට එහෙමත් නැත්නම් ඔවුන්ව අනුගමනය කිරීමට උත්සාහ කරනවා.ඉතින් එලෙස අනුගමනය කිරීමට යෑමෙන් තමා තුළ සිටින දක්ෂයා තමන් තුළ තිබෙන හැකියාවන් තමන් විසින් නිර්මාණය කරගෙන ඉන්න ගති පැවතුම් තමන්ට නැති වෙනවා.
ඉතින් ඒ නිසාම අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන තමා තුළ සිටින තමන්ව අඳුරගෙන ජීවත් වෙන්න.
ඔබ ඔබව අඳුර ගන්නේ කොහොමද?
1.මං එහෙම කරොත් මිනිස්සු මොනවා හිතයිද?
මං එහෙම කළොත් මිනිස්සු මොනවා හිතයිද කියන සංකල්පය ඔබ තුළ බොහෝ අවස්ථාවල ඇතිවෙනවා ඇති.නමුත් අපි නැති කරගත යුතු දේ අතර ප්‍රධාන වශයෙන්ම තියෙන්නෙත් මේකම තමයි. මොකද මිනිස්සුන්ට ඕන විදියට අපිට ජීවත් වෙන්න බැරි බව ඉස්සෙල්ලාම ඔබ වටහා ගන්න ඕන.ඔබ ඔබේ පවුලේ මිනිසුන් ඇරුණු කොට අනවශ්‍ය වටේ ඉන්න මිනිස්සු ගැන හිතන එකම ඔබේ ගමන් මාර්ගයට බාධාවක්. ඔබට ඔබව සොයාගෙන යන ගමනට බාධාවක්.මොකද මේ සමාජයේ ඉන්න මිනිසුන් විවිධාකාරයි.ඉතින් ඒ නිසා හැම වෙලේම ඔබගේ ඔළුවේ තියෙන්න ඕනේ මිනිස්සු මොනවා හිතුවත් මං මගේ ගමන යනවා කියන එක.මිනිස්සු ඔබව මනින්නේ ඔවුන්ගේ තරාතිරමෙන් බව ඔබ ඉස්සෙල්ලාම වටහාගන්න ඕනේ. අධ්‍යාපනය නොලබපු මිනිසුන් ගොඩක් මැද ඔබ අධ්‍යාපනය ලබනවනම් ඒක ඔවුන්ට විහිළුවක් , ආදරයක් කරල නැති මිනිස්සුන්ට ආදරේ කියනදේ විහිළුවක්,ජීවිතය ඒකාකාරව එකම තැනින් නවතා සිටින මිනිස්සුන්ට ඔබ තව තවත් ඉදිරියට යන එකම විහිළුවක්.ඒ නිසාම ඔබ කරන්න ඕන දේ ඔබට සුදුසුයි නම් ඔබට ඔබව විශ්වාසයි නම් ඔබ කරන්න තමන්ගේ වටේ සිටින අයව තැකීමෙන් වළකින්න.
2.අනවශ්‍ය පුද්ගලයින් අයින් කරන්න අවශ්‍ය පුද්ගලයින් පමණක් ඇසුරු කරන්න.
ඔයා කොච්චර හිත ශක්තිමත්ව වැඩක් කරන්න ගියත් ඔයාගේ අවට සිටින පිරිස නිසා වේලාවකට ඔයා කඩා වැටෙන්න අවස්ථාව ඉඩකඩ වැඩියි.එක්කෝ යාළුවො ,නෑදෑයෝ,අසල්වාසියෝ වගේ අය කියන නිසා ඔයා කඩා වැටීමකට ලක් වෙන්න පුළුවන්. මොකද සමහර අවස්ථා වලදී ඔවුන් ඔබට එල්ල කරන විවේචන නින්දා අපහාස ගැරහුම් වගේ දේවල් ඔබ කොච්චර ශක්තිමත් කෙනෙක් වුණත් ඔබගේ හිතටත් ඇතුල් වෙනවා.ඉතින් ඒ නිසා හැම වෙලේම ඔබගේ ඇදකුද හොයන ඔබව විවේචනයට ලක් කරන මිනිසුන් මැද ඔබට අවශ්‍යයි කියලා සිතන ඔබට නැගිටින්න ඔබට ශක්තිය ධෛරිය දෙන උපදෙස් දෙන මිනිසුන් පමණක් ඔබ වටේ තියාගන්න ඒවගේම ඔබ ඇසුරු කරන්න වග බලා ගන්න. ඒ නිසා හැම වෙලේම අවශ්‍ය මිනිසුන් පමණක් තියාගෙන
අනවශ්‍ය මිනිසුන් ඔබගෙන් ඈත් කර තබාගන්න.
3.ඔබගේ දක්ෂතාවය හඳුනාගන්න එය නිර්මාණය කරගන්න.
අපි ඕනම කෙනෙකුට දක්ෂතාවයක් තියෙනවා.සමහරවිට ඒ දක්ෂතාවය අපිටවත් නොතේරෙන්න පුළුවන් නමුත් අපි එය හොයාගන්න ඕනේ.හරියට කාන්තාරවල මල් පිපෙනවා වගේ.හැබැයි ඔබට මේකට හොඳ ශක්තිමත් හිතක් පමණක් තිබිලම ප්‍රමාණවත් වන්නේ නැහැ.ඔබේ දක්ෂතාවය හඳුනා ගන්න ඔබට සුදුසුකම් කීපයකුත් අවශ්‍ය වෙනවා.ඒ අතරින් අධ්‍යාපනය,රැකියාව,ඔබේ විනෝදාංශය මේ වගේ දේවල් කීපයක්ම ඔයාට අවශ්‍ය වෙනවා ඉතින් මේ වගේ දේවල් ඔයා තුළ නැත්නම්, ඒවා නිර්මාණය කරගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැතිනම් ඔයා තුළ ඉන්න දක්ෂයා ඔයාට හොයාගන්න අමාරුයි.ඔබට නැති දේවල් හැමවිටම නිර්මාණය කරගත හැක්කේ ඔබටම පමණයි.
4. ඔබ ආසකරන දේ කරන්න
ඔබට විශාල මුදලක් ලැබුණත් ඔබ අප්‍රිය කරන රැකියාවක නිරත වන්නේ නම් එය ඔබව මානසිකව විඩාබර තැනැත්තෙකු බවට පත් කරනු ඇත. මේ නිසා හැකි සෑම විටම ඔබ කැමති දේ කරන්න. නමුත් ඒ තුළින් ඉදිරියට යෑමට උත්සාහ කරන්න. සැමදා එකම තැන රැඳී නොසිට තමන් ප්‍රිය කරන දේ තවත් දියුණු කරගත හැකි ආකාරය සිතා
බලන්න. එය ක්‍රියාත්මක කරන්න. ඒ තුළින් මූල්‍ය අවස්ථා මෙන්ම හදවතේ සැනසීම ද ඔබට ලැබෙනු ඇත.
5.පෙනුම හදාගන්න, අන් අයට නොව තමන්ට අවශ්‍ය පරිදි.
අපි නිකමට කතාවක් අහලා තියෙනවා ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනේ නැහැ කියලා.නමුත් ඔබගේ බාහිර පෙනුමත් ලෝකයා ඔබව මනින මිනුමක් බවට පත්වෙලා තියෙනවා.
මේ බාහිර පෙනුම හදාගන්න අන් අයගේ ඒවා අනුගමනය කරන්න ගිහින් කැලෑ පාරවල්වල ගියපු මිනිස්සුත් නැතුවම නෙමෙයි.
මිනිස්සු ඔබ ගැන හිතන එක ඔබට අදාල නැති වුණාට ඔබ හැමවිටම අවස්ථානුකූලව අවස්ථාවට අනුව ඇඳ පැළඳ සිටීම වැදගත් වෙනවා.නමුත් අපි හොඳට අඳින්නේ අවස්ථාවට ගැලපෙන පුද්ගලයෙක් වීමට මිස ඇඳුමේ හොඳ අසා ගැනීමට නොවන බව ඔබ තරයේ මතක තබා ගත යුතුයි.
අවසාන වශයෙන් අපි අමතක නොකළ යුතු තව කාරණාවක් තියෙනවා.ඉහත සඳහන් කළ උපදෙස් පිළිපදිනකොට අපේ වටිනාකම ගැන හොඳ හැඟීමක් ඇතුව හොඳ ආත්ම විශ්වාසයක් ඇතුව අපට ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙනවා.ඉතින් තවදුරටත් අන් අය කියන දේවල් අන් අයගේ විවේචන අන් අයගේ නින්දා අපහාස අන් අයගේ ගැරහුම් ගැන වද නොවී තමන්ට තමන් විදිහටම ජීවත් වෙන්න පුළුවන්.
ඔබ ඔබව ඉතා හොඳින් හඳුනාගෙන සිටින නිසා අනෙක් අය ඔබ ගැන කියන කථා වලින් දැන් ඔබට වැඩක් නැහැ. ඔවුන් හොඳ කිව්වත්, නරක කිව්වත් ඉන් නොසැලී ඉන්නට දැන් ඔබට හැකියාව ලැබී තියෙනවා ඔබේ වටිනාකම් හොඳින් හඳුනාගෙන ඒවාගෙන් තමන් තමන් වෙලා ඉදිරියට යන්න.
ඉතින් සැම විටම අන් අයගේ වහලෙක් නොවී ඔබ ඔබම වෙන්න උත්සාහ කරන්න.
ඔබට ජය!
සටහන
නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ
හාස්කම් සපිරි මාරවිල කුරුස පල්ලිය
දුර්ලභ වූ මිනිසත්බව ලැබ මේ පොළොව මත ජීවත් වන ඔබටත් මටත් මේ ජීවන චාරිකාව තුළ යම් යම් අවස්ථාවන්හිදී දුර්වල වීම්, කඩා වැටීම් දරා ගනිමින් දුෂ්කර කාර්තු පසු කරගෙන යා යුතුව ඇත. මනුෂ්‍යයින් ලෙස අප කෙතරම් ශක්තිමත් යැයි සිතා සිටියත් යම් අවස්ථාවන්වලදී අපට තවකෙකුගේ සහාය පැතීමට සිදුවන අවස්ථා උදාවන අතර එබඳු අවස්ථාවන්වලදී අප පුරුදුවී ඇත්තේ අප අදහන ආගමක් හෝ විශ්වාසයක් මගින් අපගේ මනසේ බර සැහැල්ලු කර,සැනසිල්ල ලබාගෙන ජීවන වෙහෙස නිවා ගැනීමට උපකාර හා පිහිට පතා සිටීමයි.
එලෙස අපගේ ජීවන බර සැහැල්ලු කර වෙහෙස නිවන හාස්කම් සපිරි ආශ්චර්යමත් බිමක් ලෙස “මාරවිල කුරුස පල්ලිය” හඳුන්වා දිය හැකිය. මාරවිල කුරුස පල්ලියට පිවිසෙන විටම “වෙහෙසවන, බර උසුලන, සියල්ලනි මා වෙතට එන්න” බයිබලීය පාඨය අපට දැකගත හැකිය. අනේක දුක්දොම්නස් හදෙහි දරාගෙන මාරවිල පල්ලියේ හාස්කම් සොයා ඇදෙන සුවහසක් ජනයාගේ නෙත ගැටෙන උක්ත බයිබල් පාඨය විස්තර කරමින්ම “මාරවිල කුරුස පල්ලිය” පිළිඹඳ කතිකාවකට මුලපිරීම යෝග්‍යය වනු ඇත.
“වෙහෙසවන්නා වූ, බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින් , මගේ විය ගහ නුඹලා පිටට ගෙන මගෙන් ඉගෙන ගන්න. එයිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය. මාගේ බරද සැහැල්ලුය”
(මතෙව් 11:28,29,30) මෙම බයිබලීය වදනින් පවසනුයේ මෙම බයිබලයේ වදනින් පැවසෙන පැවසෙන්නේ ජීවිතයේ අනේකවිධ දුක් පීඩා විඳ ජීවිතය නිරස වී වෙහෙසට පත් වූ මිනිස්නුට සහනයක් ඇති බවයි. එමෙන්ම ජීවිතයේ අනේකවිධ ප්‍රශ්න කන්දරාවකට මැදිව ජීවන බර හදවතටද, සිරුරටද පීඩාවක් වූවන්ට දෙවියන්වහන්සේගේ ඒකජාත පුත්‍රයා වූද ගැලවුම්කරුවාණන් වූද ජේසුතුමන් අභිමුව සතුටක් සැනසීමක් ලැබෙන බවයි.අප මහා දෙව් සමිඳාණන්ගේ පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස් කුරුසපත්ව වේදනා වින්දේ ද කුරුසය කර තබාගෙන කල්වාරිය තරණය කළේ ද මනුෂ්‍යය වර්ගයා පාපයෙන්ද ශාපයෙන්ද සදාකාලික සරණය හෙවත් නිරයෙන්ද ගලවාගනු පිණිසය. ජේසුස් වහන්සේගේ “ජීවිත පූජාව” හුදු මරණයක් නොව, සකල ලෝක සත්ත්වයාගේ නිදහස පිණිස කළ උතුම් පරිත්‍යාගයක් බව දතයුතුය.
ඒ අසමසම පරිත්‍යාගයේ හාස්කම් සපිරි මාරවිල කුරුස පල්ලිය කතෝලික බැතිමතුන් අතර පමණක් නොව ආගම් භේදයකින් තොරව සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූද, ආගම් භේදයකින් තොරව මිනිසුන්ට හාස්කම් සිදුවූ, දුක්ගිණි නිවූ ජාතික සිද්ධස්ථානයකි.
ශ්‍රී කුරුස ජාතික සිද්ධස්ථානයේ සියවස් ජුබිලි මංගල්‍යය වෙනුවෙන් ගරු ශිරාන් චාමික පියතුමන් නිර්මාණය කරන ලද ඉහත ජුබිලි ගීතය ඔබත් එක්වරක් හෝ අසා ඇතිවාට සැකයක් නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය කිසිදා නොනිවෙන විශ්වාසයේ පහන්සිලකි. දැවීතැවෙන හදවත් සිහිල් ඔසුවෙන් නහවා සුවපත් කරනව පිං බිමකි.
පුත්තලම කොළඹ පාරේ මාරවිල ටවුමෙන් බැස මඳ දුරක් හලාවත පැත්තට ඇවිදගෙන යනවිට මාරවිල හතරමං හන්දියෙන් වම් අත පැත්තේ පිහිටි පාරෙන් කිලෝමීටර් එකහමාරක් පමණ ගිය විට මාරවිල කුරුස පල්ලිය දැකගත හැකිය. පල්ලියේ ඉදිරිපස බැලූ විට ලතින් බසින් ලියැවුණු පාඨයක් දැකිය හැකිය.එහි අරුත “මේ සලකුණෙන් ඔබ ජය ගනී” යන්නයි. ඉතින් භෞතික මෙන්ම ආත්මික ජීවිතයද ජය ගැනීමට අවැසි නම් මාරවිල කුරුස පල්ලිය නම් ශුද්ධ වූ භූමිය කරා පැමිණිය යුතුමය.
මෙම ආශීර්වාදලත් පුදබිමේ සිනිදු වැල්ලේ දෙපා තබමින් සිද්ධස්ථානය ඇතුළට යන ඔබේ දෙපයට පෑගෙන්නේ ටයිල් හෝ සිමෙන්ති ඇතිරූ බිමක් නොවේ. සිද්ධස්ථානය මැද පමණක් සිමෙන්ති තීරුවක් තිබෙන අතර එහි දෙපසම ඇත්තේ සිනිදු වැල්ලය. හිඳගන්නට බංකු හෝ අසුන් පනවා නැත. බොහෝ සිද්ධස්ථානවල මෙන් ලොකු පල්ලි, පොඩි පල්ලි කියා කොටස් දෙක තුනක් නැත. එකම ශාලාවක් ලෙසට ඉදිකර ඇති කුඩා පල්ලියේ අල්තාරය පිටුපසින් පෙනෙන්නේ කුරිසපත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විශාල ප්‍රතිමාවකි.
වර්තමානයේ මෙය දේවස්ථානයක් වුවද අතීතයේ මෙහි තිබී ඇත්තේ කුරුස පත් ජේසුස්වහන්සේගේ සුරුවමක් පමණි. තම දුකට පිහිට පතා මිනිසුන් මේ සුරුවම ඉදිරිපිට වැඳ වැටී යාඥා කළ බවත් පසු කලෙක එම සුරුවම පිහිටි බිම මත පල්ලියක් කර වූ බව ඉතිහාසයේ සඳහන්ය. සිද්ධස්ථානය දෙපස ඇත්තේ විවිධාකාර සොහොන්කොත් සහිත සුසානයයි. ජීවිතයේ විවිධාකාර ප්‍රශ්නවලින් සහනය පතා දෙවිඳුන් යදින්නන්ට එය සුසානයක් වීම කිසිසේත්ම ගැටලුවක් නොවන බව පසක් කරමින් දිවයිනේ නන් දෙසින් බැතිමත්හු දිනපතා වේලාවක් අවේලාවක් නැතිව මෙම ශ්‍රී කුරුස සිද්ධස්ථානය කරා පැමිණෙති.
මාරවිල කුරුස පල්ලියේ හාස්කම් පිළිඹඳ පණිවුඩය සමාජගත වන්නේ දහඅට වැනි සියවසේදී පමණය. එකල වසූරිය වසංගතය නිසා විශාල පිරිසක් මාරවිල රජයේ රෝහල වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි අතර එක් කාන්තාවක් තම දරුවාට වසූරිය වැලඳී ඇති බැවින් දෙවි පිහිට පතා මේ සුසාන භූමිය වෙත පැමිණ යාඥා කර ඇත. ඇයට පෙර එතැනට පැමිණි එක් අයෙක් සුසාන භූමියෙහි වූ ජේසුස්වහන්සේගේ සුරුවමට තෙල් වක්කර තිබූ අතර මේ කාන්තාව වැඩි භක්තියකින් යුතුව එම තෙල් තම දරුවාගේ ඇඟේ ආලේප කර ඇත. දැඩි දේව භක්තියත් අචල විශ්වාසයත් හමුවේ දරුවාගේ වසූරි තත්ත්වය යහපත් අතට හැරී සුවය ලැබී ඇත. මේ ප්‍රාතිහාර්යයේ පුවත මුළු මාරවිල අස්සක් මුල්ලක් නෑරම විදුලි වේගයෙන් ව්‍යාප්ත වී ඇත. ඉන් පසුවද මෙම පුදබිමෙහි මෙම සුරුවම ස්පර්ශ කිරීමෙන් නොසිතු විරූ ප්‍රාතිහාර්යයන් සිදුවූ බව ඉතිහාසයේ කියැවේ.
මාරවිල දෙව්මැඳුර පිටුපසින් මුතු පන්තිය ලෙස විරුදාවලි ලත් හලාවත මුහුදු තීරයට අයත් සුන්දර මාරවිල මුහුදු වෙරළ දිස්වෙයි. එය මෙම දෙව් මැඳුරට එන බැතිමතුගේ දුක් සංකා නිවාලයි. දෙවියන්ගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ වැඩ සිටින ප්‍රතිමා බොහොමයක් දෙව් මැඳුරු තුළ දැකිය හැකිය. නමුදු එම ප්‍රතිමාවන්හි උන්වහන්සේගේ මුහුණ වේදනාත්මක සහ තැතිගන්වනසුලු ස්වරූපයක් පෙන්නුම් කරයි. එවැනි ප්‍රතිමාවල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිර්මාණය කර ඇත්තේ උන්වහන්සේ ශ්‍රී දෙනෙත වසාගෙන සිටිනා අයුරිනි. නමුදු මාරවිල සිරි කුරුස දේවස්ථානයෙහි ඇති ප්‍රතිමාවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෘදුකමින් හා දයාවෙන් ලෝකය දෙස බලා සිටින බවක් පෙන්නුම් කරයි. එය එම ප්‍රතිමාවෙහි විශේෂ ලක්ෂණයකි. මෙම මාරවිල කුරුස පල්ලියේ වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් මස පැවැත්වෙන අතර එයට කිතුනුවන් පමණක් නොව අනෙකුත් ආගමික භක්තිකයෝද පැමිණෙති. මෙම දේවස්ථානයේ තවත් විශේෂ දෙයක් ලෙස, මුහුදු වෙරළේ තිබෙන දේව මෑණියන්ගේ සුරුවම පෙන්වා දිය හැකිය. එම සුරුවම් මාතාවද බැතිමතුන්ගේ නොමඳ ආදරය දිනාගෙන ඇත.
වර්තමානයේ මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානය වෙත පැමිණෙන බොහොමයක් බැතිමතුන් ඇතුලුවන තැන සිට අපමණ බැතියකින් සිනිදු වැල්ල මත දණින් ගමන් කරමින් දෙව් සමිඳුන් අබියස තම ඉල්ලීම් ඉල්ලා සිටීමටත්, අචල විශ්වාසයකින් යුතුව ඉටිපන්දම් දැල්වීමත් සිදු කරති. බොහෝදෙනා පවසන්නේ එලෙස ඉල්ලාසිටින සෑම යහපත් දෙයක්ම ඉටවූ බවය. මාරවිල වැල්ලේ දණගසා අයදින කිසිවක් වැරදී නැති බවත් හාස්කම් බලයෙන් තමන්ගේ දුක් කරදර දුරුවූ බවත් බැතිමතුන් පවසයි. අදටත් අනේකවිධ කරදරවලින් පීඩාවිඳින මිනිසුන් තමන්ගේ සැනසුම පතා මාරවිල කුරුස පල්ලිය කරා පැමිණෙති.
” නිල් මහ සයුරේ
රළපෙල ගානට..
පයගැසු පොලවේ
වැලිකැට ගාණට..
නොනිමී දැල්වෙන
විස්වාසයේ පහන් සිල..
කුරුස පල්ලියේ
හාස්කම් ගොඩයි..
දේව මහිමේ ලොවට
කියන කුරුස යාගයයි…//”
මංගලා පවිත්‍රානි
2004 විනාශකාරී සුනාමිය: ශ්‍රී ලංකාවේ අඳුරුතම දිනය
2004 දෙසැම්බර් 26 වන දින ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසයේ වඩාත්ම ව්‍යසනකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණ දුන්නේය. ඉන්දුනීසියාවේ සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් වූ රිච්ටර් මාපක 9.1 ක දැවැන්ත භූමිකම්පාවකින් ඇති වූ ඉන්දියන් සාගර සුනාමිය පෙර නොවූ විරූ කෝපයකින් දූපත් ජාතියට පහර දුන්නේ සිතාගත නොහැකි විනාශයක් සහ ශෝකයක් ඉතිරි කරමිනි.
ක්ෂණික බලපෑම:
– ශ්‍රී ලංකාවේ මුළු මරණ සංඛ්‍යාව: ආසන්න වශයෙන් පුද්ගලයන් 35,000ක්
– අවතැන් වූ ජනගහනය: පුද්ගලයන් 500,000 කට වඩා
– දිවයිනේ දකුණු, නැගෙනහිර සහ උතුරු වෙරළ තීරය හරහා වෙරළබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
භූගෝලීය ප්රවේශය:
සුනාමිය ශ්‍රී ලංකාවේ සමස්ත වෙරළ තීරයටම පාහේ බලපෑ අතර, විශේෂයෙන් දරුණු හානි සිදු වූයේ:
– ගාල්ල දිස්ත්‍රික්කය
– මාතර කලාපය
– ත්‍රිකුණාමලය
– මුලතිව්
– මඩකලපුව
– මීගමුව
– කල්මුණේ
තරංග ලක්ෂණ:
– සමහර ස්ථානවල රළ උස මීටර් 10-12 (අඩි 33-39) දක්වා ළඟා විය
– සමහර විට භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත ඇදහිය නොහැකි වේගයකින් සහ බලයෙන් තරංග පහර වැදී ඇත
– සමහර වෙරළබඩ ප්‍රදේශවල කිලෝමීටර 2 ක් දක්වා අභ්‍යන්තරයට විනිවිද යාම
මානව පිරිවැය:
සුනාමිය සියලු ප්‍රජාවන්ට බලපාන පරිදි වෙනස් කොට සැලකුවේ නැත:
– සමස්ත ධීවර ගම්මාන අතුගා දැමුවා
– එක මොහොතකින් පවුල් ගණනාවකට පරම්පරා කිහිපයක් අහිමි විය
– බොහෝ දරුවන් අහිමි වූ දෙමාපියන් හෝ මුළු පවුල සමඟ විශේෂයෙන් අවදානමට ලක් විය
– වෙරළබඩ ප්‍රජාවන්ගේ ආර්ථික හා සමාජීය දේහය මූලික වශයෙන් කඩාකප්පල් විය
අද්විතීය අභියෝග:
ශ්‍රී ලංකාව අමතර සංකූලතාවලට මුහුණ දුන්නේ:
– එවකට පැවති සිවිල් යුද්ධය
– සීමිත ආපදා ප්‍රතිචාර යටිතල පහසුකම්
– සංකීර්ණ ජනවාර්ගික හා දේශපාලන භූ දර්ශනය
ජාත්‍යන්තර ප්‍රතිචාර:
– දැවැන්ත ගෝලීය මානුෂීය උත්සාහයක්
– ඩොලර් බිලියන ගණනක ජාත්‍යන්තර ආධාර
– නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සහ රටවල් ක්ෂණික සහ දිගු කාලීන ආධාර සපයයි
– ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන වැඩසටහන් ලොව පුරා දියත් කර ඇත
දිගු කාලීන බලපෑම්:
– දිවි ගලවා ගත් අය සඳහා සැලකිය යුතු මානසික කම්පනයක්
– වෙරළබඩ ප්‍රජාවන්ට ආර්ථික විනාශයක්
– දැවැන්ත නැවත ගොඩනැඟීමේ සහ නැවත පදිංචි කිරීමේ අභියෝග
– වැඩිදියුණු කළ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සංවර්ධනය කරන ලදී
– වැඩිදියුණු කළ ආපදා පෙර සූදානමේ යාන්ත්‍රණ ක්‍රියාවට නංවා ඇත
කැපී පෙනෙන පැවැත්ම පිළිබඳ කථා:
අතිවිශාල විනාශය නොතකා, පැවැත්ම සහ මානව ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ වාර්තා රාශියක් තිබුණි. ප්‍රජාවන් එකට එකතු වූ අතර, ජාත්‍යන්තර ආධාර ගලා ආ අතර, සුව කිරීමේ සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ විය.
භූ විද්යාත්මක වැදගත්කම:
2004 සුනාමිය ඇති වූයේ ඉන්දියන් සාගරයේ භූමිකම්පා තහඩු මායිම් දිගේ ඇති වූ දැවැන්ත මුහුද යට භූමිකම්පාවකින් වන අතර එය නූතන ඉතිහාසයේ වාර්තා වූ බලවත්ම භූමිකම්පා වලින් එකකි.
අනුස්මරණය:
දෙසැම්බර් 26 වෙනිදා දැන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිහිපත් කරනු ලබන්නේ අහිමි වූවන් සිහිපත් කිරීමේ දිනයක් සහ ජාතියේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සාක්ෂියක් වශයෙනි.
G.S.K
දැන් එංගලන්තයට Friday කියන්නෙ අලුත්ම රහක්
සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුක්ත Friday සංගීත කණ්ඩායමේ විශේෂත්වය වන්නේ බහුතරයක් සාමාජිකයින් අද්දැකීම් බහුල මෙන්ම සංගීතය පිලිබද හදාරා මනා දැනුමක් ඇති තාරුණ්‍යයේ පසුවන ශීල්පීන් වීමයි. තවත් විශේෂිත කරුනක් වන්නේ බේස් ගිටාරය වාදනය කරනු ලබන්නේ තරුන දක්ශ කාන්තාවක් වීමයී. ඇය දක්ෂ සංගීත අත්දැකීම් බහුල ලංකාවේ සුප්‍රකට සංගීත කණ්ඩායමක් වන චාන්දනි හෙට්ටිආරච්චි ප්‍රමුඛ C & C සංගීත කණ්ඩායමේ හිටපු බේස් ගිටාර් වාදන ශිල්පිනියයි. ඒවගේම කීබෝඩ්වාදනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ Derna Battle of the band තරගාවලියේ Electronic සංගීත කණ්ඩායම් අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් D7th සංගීත කණ්ඩායමේ හිටපු කීබෝඩ්වාදන ශිල්පියයි. ඊට අමතරව වසර 10 කට අධික අත්දැකීම් බහුල දක්ෂ සංගීත ශිල්පීන් කිහිප දෙනෙක්ම අප කණ්ඩායමේ සිටියි.
අපගේ සංගීත කණ්ඩායමේ ගායනය සහ Rhythm Guitar වාදනය කරනු ලබන්නේ මලින්ත ගමාරච්චි. ඔහුත් වසර 10 පමණ සංගීත
අත්දැකීම් තිබෙන Multi-instrumentalist කෙනෙකි. පාසල් කාලයේ සිට සංගීතය හැදෑරු ඔහු අවුරුදු 14 දී වයලීන් විශාරද සම්පූර්ණ කරන ලදි. ඔහු පාසල් කාලයේ සිටම බටහිර සංගීතය හදාරා ඇති අතර ඔහු Trinity Piano Grade 4 දක්වාද සම්පූර්ණ කර ඇත. ශ්‍රි ලංකාවේ සහ ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලබන අතර තුර
සංගීත කණ්ඩායම් කිහිපයක් සමග වාදනයෙන් සහ ගායනයෙන් දායක වී ඇත. ඔහුට ඔහුගේම ශ්‍රී ලංකාවේ Decibel නමින් music Studioවක් සහ Pearl නමින් සංගීත කණ්ඩායමක් තිබූ අතර ඔහුට ශබ්ද පරිපාලනය පිළිබඳවද මනා දැනුමක් තිබේ. ඔහු එංගලන්තයට පැමිණ පසුවද දමිල සංගීත කණ්ඩායමක් සමග ප්‍රසංග කිහිපයකටම ගිටාර් වාදනයෙන් දායක වී ඇත.
ඔහු දැනට එංගලන්තයේ තිබෙන බහුජාතික සමාගමක ඉංජිනේරු උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටි.
Lead Guitar වාදනය කරනු ලබන්නේ දමිත් සංජය. ඔහුත් වසර 10 වැඩි සංගීත
අත්දැකීම් සහිත Multi instrumentalist
කෙනෙක් වන අතර ඔහුට බටනලා වාදනයට ද
විශේෂ හැකියාවක් ඇත. 2011 වසරේදි ජාතික තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායම සමඟ එකතු වන ඔහු Lead Guitar වාදනයෙන් මෙන්ම
බටනලා වාදනයෙන් වසර කිහිපයක් පුරාවට ප්‍රවීණ ගායන ශිල්පීන් සහ ශිල්පීනියන් විශාල ප්‍රමාණයකට සංගීතය සපයමින් අත්දැකීම් විශාල ප්‍රමාණයක් හිමිකරගත් වාදන ශිල්පියෙකි.
ඉන්පසුවද ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායම් කිහිපයක Lead Guitar වාදනයෙන් සම්බන්ධ වෙමින් කටයුතු කර ඇත. ඔහු එංගලන්තේ පැවති ප්‍රවීණ ගායන ශිල්පින් සහභාගි වූ ප්‍රසංග කිහිපයක වාදනයෙන් සහභාගි වී ඇත. ඔහු එංගලන්තයේ තිබෙන ප්‍රමුඛතම සංගීත විශ්ව විද්‍යාලය වන Royal College of Music හි පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරයි.
Bass Guitar වාදනය කරනු ලබන්නේ හිරුණි ප්‍රනාන්දු. වයස 24 වියේ පසුවන ඇය සංගීත කණ්ඩායමේ ලාබාලතම සාමාජිකාවයි. ඇයගේ පියා Yamaha School of Music හි වසර 15 ක් සංගීත ගුරුවරෙක් ලෙස කටයුතු කර ඇති අතර කුඩා අවධියේ සිට ඇය සංගීතමය පරිසරයක් තුල හැදී වැඩී ඇත. ඇය Bass Guitar වාදනයට මුලපුරන්නේ ඇගේ පාසලෙන්. ඇය ඇයගේ පියාගෙන් සහ Hussain Jiffry වැනි ප්‍රවීණයන්ගෙන් බේස් ගිටාරය සහ ජෑස් සංගීතය පිළිබඳව හදාරා ඇත. ශ්‍රී ලංකාවේ පාසල් කිහිපයක බටහිර සංගීත ගුරුවරිය ලෙස කටයුතු කර ඇති ඇය Piano , Music Theory සහ Classical Guitar Grade 8 දක්වා සම්පූර්ණ කර ඇත.ඇය එංගලන්තයේද Visiting Music Instructor කෙනෙකු ලෙස Music Academy කිහිපයක කටයුතු කරයි. ශ්‍රී ලංකාවේදී සංගීත කණ්ඩායම් කිහිපයක Lead ගිටාර් වාදන ශිල්පිනියක් සහ Bass Guitar වාදන ශිල්පිනියක ලෙස කටයුතු කර ඇති අතර ඇයට Mantra නමින් කාන්තා සංගීත කණ්ඩායමක් තිබී ඇත. ඇය චාන්දනි හෙට්ටිආරච්චී ප්‍රමුඛ C & C සංගීත කණ්ඩායමේ හිටපු බේස් ගිටාර් වාදන ශිල්පිනියයි. ලාබාල වුවත් ප්‍රවීන සංගීත ශිල්පින් සමඟ කටයුතු කරමින් ප්‍රවීන සංගීත ශිල්පින් සඳහා සංගීතය සපයමින් අත්දැකීම් රාශිතක් ඇත. තවද ගලදාරි හෝටලයේ පියනෝ වාදන ශිල්පිනියක ලෙස වසර කිහිපයක් කටයුතු කර ඇත. ඇය එංගලන්තයට පැමිණි පසුවද එංගලන්තේ පැවති ප්‍රවීණ ගායන ශිල්පින් සහභාගි වූ ප්‍රසංග කිහිපයක වාදනයෙන් සහභාගි වී ඇත.
කීබෝඩ්වාදනය කරනු ලබන්නේ අසංක පෙරේරා.
ඔහු දෙරණ Battle of the Band Electronic අංශයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කල D7th සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා වශයෙන්
වසර 14 අඛණ්‌ඩව කටයුතු කර ඇත. ඔහු එම කාලය තුල ලංකාවේ ප්‍රවීණ ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයකට සංගීතය සපයා ඇති අත්දැකීම් බහුල කීබෝඩ්වාදන ශිල්පියෙකි. එමෙන්ම නව තාක්‍ෂණයත් සමඟ යාවත්කාලීන ඉතාමත් දක්ෂ කීබෝඩ්වාදන ශිල්පියෙකි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලද ඔහු පාසල් කාලයේ ” SAGA ” වාදන කණ්ඩායමේ වයලීන් වාදනය කර ඇති අතර ඔහු පාසල් කාලයේ සිටම සංගීත කණ්ඩායම් සමඟ කටයුතු කර ඇත.
Percussion වාදනය කරනු ලබන්නේ Benedict Francis. ඔහු එංගලන්තයේ වසර 10ක් පුරාවට පැවති K S Chitha, Mano වැනි ප්‍රවීණ ඉංදියානු ගායක ගායිකාවන් ගායනයෙන් සහභාගි වුනු ප්‍රසංග ගනනාවකටම Drums සහ Percussion වාදනයෙන් සහභාගිවී ඇත. ඔහුගේ පියා සැමවිටම ඔහුට පලමු drums වාදන පුහුනුවේ සිට අද ප්‍රසංග වේදිකාවේ වාදනය දක්වා ලබාදුන් සහය ඉතා විශාල බව ඔහු සදහන් කරයි. ඔහුට ශබ්ද පරිපාලන පිලිබද මනා දැනුමක් ඇති අතර ඔහු Studio 35 නමින් ඔහුගේම Music Studio එකක් පවත්වාගෙන යනු ලබයි. ශ්‍රී ලාංකික පව්ලක එංගලන්තයේ උපත ලද ඔහු ඉතාමත් උනන්දුවෙන් ශ්‍රී ලංකාවේ සංගීතය පිලිබද අද්‍යනය කරමින් අප සමග එක්ව කටයුතු කරයි.
Drums වාදනය කරනු ලබන්නේ රවින්ද්‍ර සදරුවන්. ඔහු පාසල් කාලයේ මෙන්ම විශ්ව විද්‍යාල සමයේදීත් සංගීත කටයුතුවල නිරත වී ඇත. ඔහු Uplift සහ marveric වැනි සංගීත කණ්ඩායම් සමඟ මෙන්ම වසර ගණනාවක් ශ්‍රි ලංකාවේ දැනට ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම්වල නවක වාදන ශිල්පින් කිහිප දෙනෙක් සමග එක්ව වාදනය කර ඇති අතර දිවයිනේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් වන Centigradz , Tharuka Nayanajith වැනි ගායක ගායිකාවන් සඳහා සංගීතය සපයා අත්දැකීම් ලබා ඇත. ඔහුගේ සුවිශේෂතාවය වන්නේ ඔහු නව ශිල්පීය ක්‍රම භාවිතා කරමින් Drums වාදනය කිරීමයි.
Rhythm ගිටාර් වාදයෙන් හා ගායනයෙන් එකතු වෙන්නේ ඉෂංක ජයවර්ධන (ටෙඩී). පාසල් කාලයේ සිටම කන්ඩායම් සංගීතයට යොමු වී පසුව ලංකාවේ ද ඉතාලියේද සංගීත කන්ඩායම් කිහිපයක ගායනයෙන් සහ වාදනයෙන් සම්බන්ධ වී ඇති අයෙකි. ඔහුට ඉතාමත් ආකර්ෂණීය හඩක් සහ ගිටාර් වාදනයට සුවිශේෂි හැකියාවක් තිබේ. මේ වන විට වෙනත් ශේත්‍රයක වෘත්තීයෙන් නියැලී සිටියත් සංගීතය අත් නොහැර තමන්ගේම ගීත නිර්මානය කරන අතරම අප සමඟ Friday සංගීත කන්ඩායමට එකතු වී සිටී.
සංගීත කණ්ඩායමක් ලෙස අපි හැම විටම උත්සාහ කරන්නේ අපව රසවිඳින සැමට සවන් දීම සඳහා ගුණාත්මකභාවයෙන් යුක්ත සංගීතයක් ලබා දීමටයි. එලෙස සංගීතය පිලිබද දැනුමෙන් මෙන්ම පලපුරුද්ද සහිත තරුන සංගීත ශිල්පීන් කන්ඩායමක් එක්ව නිර්මානය වූ Friday සංගීත කණ්ඩායම ඔබගේ ප්‍රසංගයක් , විවාහ මංගල උත්සවයක්, වර්ණවත් කිරීමට සම්බන්ද කරගැනීම සඳහා විමසන්න.
දුරකථන : 07746613993
Email : info.fridaysl@gmal.com
Facebook : FridaySL
YouTube : @Friday-SL
TikTok : @fridaysl.uk
Instagram : fridaysl.uk
වින්සන්ට් වැන් ගෝ
ලෝකය නම් හිස් පිටුවේ ජීවිතය නම් පින්සලෙන් යථාර්ථය පින්තාරු කළ
වින්සන්ට් වැන් ගෝ
මානව පරිකල්පනය තුළට නිර්මාණශීලීත්වය මුසු වීම මගින් ගොඩ නැගෙන, ලොව ඇති අලංකාරතම
භාව ප්‍රකාශනය කලාව ලෙසින් හැඳින්වේ. එකී කලාව ලෝකයේ විවිධ තේමාවන් ඔස්සේ සැරිසරමින්
මිනිසුන් අතරම ගලා යයි. මේ ආකාරයට 19 වන සියවසේ මුල් භාගයේදී යුරෝපයේ බිහි වූ කලා
නිර්මාණ අතර වැජඹුන තවත් එක් ප්‍රධාන තේමාවක් වූයේ 'යථාර්ථවාදය' නම් ගැඹුරු සංකල්පය යි.
මෙම තේමාවේ ඇති සුවිශේෂත්වය වන්නේ එකී යථාර්ථය නිරූපණය කිරීම සඳහා එකල විසූ
කලාකරුවන් ආලෝකමය සහ අඳුරු පසුබිම් අතර දෝළනය වන, විවිධ හැඩතල උපයෝගී කර ගනිමින්
සිතුවම්කරනයේ නිරත වීමයි.
ඒ ආකාරයට ලෝකය දෙස අපට වඩා හාත්පසින්ම වෙනස් කෝණයකින් දුටු විරල කලාකරුවන් අතරට
වින්සන්ට් වැන් ගෝ ද එක් වන්නේ සුවහසක් වූ ඔහුගේ රසික රසිකාවියන්ගේ ආදරය සමගිනි.
වින්සන්ට් වැන් ගෝ යනු බටහිර කලා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් පුද්ගලයින් අතර සිටින
ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පියෙකි. මෙහෙදී වින්සන්ට් වැන් ගෝ සුවිශේෂී චරිතයක් බවට පත් වන්නේ
සිය මනෝ ලෝකයේ එහා මෙහා අතර ගැවසෙන සිතිවිලි, තෙලි තුඩක ආධාරයෙන් රූපකායකට
පරිවර්තනය කොට අපගේ ජීවිතයේ අප නොදකින පැතිකඩක් එයටම සුදුසු වර්ණ සුසංයෝජනයකින්
ඔහු එළි දැක්වීම නිසාය. චිත්‍ර ශිල්පියෙකු ලෙස සිය ආරම්භක අවධියේ පටන්, වින්සන්ට් වැන් ගෝ හට
අවශ්‍ය වූයේ අඳුර මුසු නිරූපණයන් තුළින් සමාජයේ වූ යථාර්ථවාදී අංගයන් සිතුවම් කිරීමට ය.
ඔහුගේ එම කාර්යය තම සිතුවම් මත ඇඳි තද වර්ණයන්, කැරකෙන බුරුසු පහරවල් මගින් මනාව
ගම්‍යමාන වේ.
අප කාටත් හුරු පුරුදු මෙම සිත්තරුවා වැන් ගෝ නමින් ප්‍රසිද්ධියට පත් වුවත් ඔහුගේ සම්පූර්ණ නම
වින්සන්ට් විලියම් වැන් ගෝ ය. වර්ෂ 1853 ක් වූ මාර්තු 30 වන දින නෙදර්ලන්තයේ Zundert හි උපත
ලැබූ ඔහු දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා විය. ඔහුගේ පියා රෙපරමාදු පූජකයෙකු වූ
අතර ඔහුගේ මව ගෘහණියකි. දුෂ්කර ළමා කාලයක් ගත කළ ඔහු ඉතා ලැජ්ජාශීලී මෙන්ම තම පවුලේ
අයගෙන් සහ මිතුරන්ගෙන් හුදකලා වූ ජීවිතයක් ගත කළහ.
වැන් ගෝ සිය චිත්‍ර ඇඳීම සහ පින්තාරු කිරීම ආරම්භ කළේ ඔහුගේ යොවුන් වියේ දී ය. වැන් ගෝ
බොහෝ දුරට සිතුවම්කරණය පිළිබඳ තමාගේම වූ ස්වයං-අධ්‍යනයන් තුළින් පන්නරය ලබමින් තම
හැකියාවන් ඔප් නංවා ගත් සිත්තරුවෙක් විය. කලාව සඳහා ඔහු තුළ වූ දක්ෂතාවයන් හේතුවෙන්
පසුකාලීනව ප්‍රංශයේ පැරිස් නුවර වෙත සංක්‍රමණය වූ වැන් ගෝ, ජූලියන්‍හිදී චිත්‍ර කලාව
හදාරමින් ඔහුටම ආවේණික ශෛලියක් නිර්මාණය කර ගත්තේය. සිය හැදෑරීම් වලින් අනතුරුව 1888 දී
ඔහු ප්‍රංශයේ Arles වෙත පදිංචියට ගියේ කලාකරුවන්ගේ ජනපදයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙනි.
ඒ සඳහා ඔහු සමඟ ඔහුගේ මිතුරෙකු වූ පෝල් ගෝගුයින් ද එක් වූ නමුත් ඔවුනතර වූ මත ගැටීම්
හේතුවෙන් එම අරමුණ නිෂ්ඵල විය.
1889 දී, ඔහුගේ මානසික තත්ත්වය පිරිහීම නිසා මානසික රෝගීන් රැකබලා ගන්නා
මධ්‍යස්ථානයකට ඇතුළත් කරන ලදී. නමුත් එහිදී ද සිය පින්තාරුකරණය ඔහු දිගටම කළේය. මෙම
කාලය තුළ ඔහු "Starry Night" සහ "Sunflowers" ඇතුළු ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ චිත්‍ර කිහිපයක්
නිර්මාණය කළේය. 1890 දී, එම මධ්‍යස්ථානයෙන් නික්ම ගිය වැන්ගෝ පැරිසිය අසල පිහිටි Auvers-
sur-Oise නම් ගම්මානයට පිවිසියේය. ඔහු එහි ජීවත් වූයේ කලාව කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ
හෝමියෝපති වෛද්‍ය පෝල් ගැචෙට් සමඟ ය.
මෙම කාලය තුළ වැන් ගෝ ගේ මානසික සෞඛ්‍යය නැවත වරක් පිරිහී ගිය අතර ඔහු මානසික
බිඳවැටීම් මාලාවකට ගොදුරු විය. මානසික අර්බුදවල ප්‍රතිඵලයක් ලෙස වින්සන්ට් වැන් ගෝ කිහිප
වතාවක්ම රෝහල් ගත විය. ඔහුගේ මානසික තත්ත්වය ඉතා දුර්වල වූ අතර එය කෙතරම් ද යත් ඔහු
තම එක් කණක් කපා එය අභිසුරු ලියක් වෙත යැවීමට කටයුතු කිරීමට තරම් මානසිකව බිඳ වැටිණි.
නමුත් ඒ කිසිවක් ඔහුගේ සිතුවම්කරනයට බාධාවක් නොවූ අතර තම පින්තාරුකරණය දිගටම සිදු
කරගෙන ගියහ. මෙහි ඇති තවත් එක් විශේෂත්වයක් වන්නේ පසුකාලීනව ජනප්‍රිය වූ ඔහුගේ
විශිෂ්ඨතම සිතුවම් කිහිපයක්ම ඔහු මෙම කාලය තුළදී නිර්මාණය කොට තිබීමයි.
ඔහුගේ සිතුවම් අතර Starry Night, Cafe Terrace at Night, Terrasse, Houses at Auvers,
Restaurant De La Sirene At Asnieres, Sunflowers යනු රසිකයන් අතර වඩාත්ම ප්‍රසිද්ධ සිතුවම්
වන අතර ඒවා බොහොමයක් ඔහුගේ ජීවිතයේ අවසාන වසර දෙක තුළ නිර්මාණය වීම සුවිශේෂීය. එම
සිතුවම් දෙස තියුණු අවධානයක් යොමු කළහොත් අපට දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂනයක් නම්
ආලෝකය සහ අඳුර අතර සංකලනයන්ගෙන් ඔහු තම අවට වටපිටාව විස්තර කොට එතුළින්
“සංකේතාත්මක පණිවිඩයක්” සිය ප්‍රේක්ෂකයන්ට ලබා දීමට කටයුතු කර ඇති අයුරුය. ඒ පිළිබඳව
තවදුරටත් සොයා බැලීමේ දී හඳුනාගත හැක්කේ වැන් ගෝගේ චිත්තවේගීය තත්වයන් ද ඔහුගේ
කලාත්මක කාර්යයට බෙහෙවින් බලපෑ බවත් එතුළින් ඔහු තුළ වූ අවිඥානක මනස තම සිතුවම් මගින්
නරඹන්නාට ගැඹුරු පණිවිඩයක් ලබා දීමට සමත් වන බවයි.
වැන් ගෝ සංකීර්ණ මානසික රෝගවලින් පීඩා වින්දේය. ඔහුව පීඩාවට පත් කළ මානසික රෝග
ඔහුගේ කලා කටයුතුවලට ද බලපෑවේය. වැන් ගෝ ඔහුගේ වේදනාව සහ බලාපොරොත්තු සුන්වීම
කැන්වසය මත පින්තාරු කළේය. කැපී පෙනෙන සහ බොර පැහැ ගැන්වූ වර්ණ, තෙල් සායමින්
නැහැවුන බුරුසු පහරවල් සහ විකෘති හැඩතල ඔහුගේ කැළඹුණු මනස විද්‍යමාන කරයි. එළෙස ඔහු
මානසික අවපීඩනයෙන් විඳී පීඩාව ඔහුගේ කලා නිර්මාණ තුළින් නිරූපණය කළහ. පසුකාලීනව ඔහුගේ
"බොහෝ විටෙක මා දුක්ඛිත වූ ගැඹුරක සිටියත්, මා තුළ තවමත් සන්සුන්කම, පිරිසිදුවන් සමගිය සහ
සංගීතවත් ස්වරූපයකින් රැඳී පවතියි.." වැනි ප්‍රකාශ තුළින් ද එවැන්නක් අපට තහවුරු කර ගත
හැක. ඒ අනුව බැලූ බැල්මට පෙනී යන්නේ ඔහුගේ කලා කටයුතු සඳහා මෙම මනෝ ගතික සාධකයන් ද
තදින්ම බලපාන්නට ඇති බවයි.
සුප්‍රසිද්ධ ජර්මානු නාට්‍ය රචකයෙක් වන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කලාව යන්න සැලකුවේ යථාර්ථය
විදාරණය කෙරෙන තවත් එක් දර්පණ තලයකකට වඩා යථාර්ථය නිර්මාණය කරන සහ එය
හැඩගන්වන මිටියක් ලෙස ය. මෙම සන්දර්භය තුළ වැන් ගෝ ගේ කලා නිර්මාණ තුළින් ද අපට
නිරූපණය කරන්නේ සිය මනස සමග ඇතිකර ගත් ගැඹුරු මනෝවිද්‍යාත්මක සටනක තවත් එක්
ස්වරූපයක් ලෙසයි. මෙලෙස ජීවිතයේ ඉරා අඳුරු පට අතර සක්මන් කරමින්, ඔහුගේ කටුක ජීවිතය තළ
වූ සිය ආත්මය සෙවීමේ කර්තව්‍යය, සිය කලා නිර්මාණ වල ඉතිරි කර ඇති බව අපට දක්නට ලැබේ.
වැන් ගෝ ඔහුගේ ජීවිත කාලය තුළම කලාකරුවෙකු ලෙස සිය අනන්‍යතාව තහවුරු කරගෙන ඇතත්
බැලූ බැල්මට පෙනී යන්නේ ඔහු බොහෝ විට දරිද්‍රතාවයෙන් ද බැට කමින් ජීවත් වූ බවයි. ඔහුගේ
ප්‍රසිද්ධ තෙල් සායම් සිතුවමක් වන "The Potato Eaters" මගින් සිත්තරුවෙකු අත්විඳින එම
දුප්පත්කම සහ අසරණකම ඉතා මැනවින් නිරූපණය කරයි. ඔහු ගෙවූ ඛේදනීය ජීවිතය සාරාංශගත
කළහොත් අපට ඉන් දැක ගත හැකි ප්‍රධාන හැරවුම් ලක්ෂයන් අතර විධිමත් අධ්‍යාපනයෙන් ඔහු
ඉක්මනින්ම ඉවත්වීම, සිය ජීවිත කාලය තුළ වාණිජමය වශයෙන් සාර්ථක වූ කලාකරුවෙකු නොවීම,
පුද්ගලික දිවිය සහ පවුල් සබඳතා වල ඇති වූ දුර්වලතා, සහ අධික ලෙස මත්පැන් සහ දුම් පානයට ඔහු
නැඹුරු වීම මගින් ඔහුගේ සෞඛ්‍යය අයහපත් අතට හැරී තිබූ අයුරු දක්නට ලැබේ.
වැන් ගෝ ගේ මෙම ව්‍යක්තික කලාව එහි වූ බලගතුමය සහ චිත්තවේගීය ශෛලිය මගින් නිර්වචනය
කල හැකිය. වැන්ගෝ වරක් මෙසේ පැවසීය: "අපි අපගේ මුළු ජීවිතයම ගත කරන්නේ අපගේ සිතුවිලි
වචන ආධාරයෙන් ප්‍රකාශ කිරීමේ කලාවේ අවිඥානික අභ්‍යාසවල ය." ඔහු මිනිසා සහ මිනිස්
ස්වභාවය අතර ඇති අරගලය, යථාර්ථය සහ ඔහුගේ අවිඥානික මානසික ගැටුම් තම නිර්මාණ හරහා
නිරූපනය කිරීමට සමත් විය.
ඔහු තම අභ්‍යන්තර මනස සමඟ නිතරම සටන් කළේය. මෙම ස්වභාවය ඔහුගේ චිත්‍ර හරහා ද
නිරීක්ෂණය විය. විටෙක ඔහුගේ වර්ණවල වූ තීව්‍රතාවය නැති වී ගොස් ඇත. තවත් විටෙක ඔහුගේ
රේඛා නොසන්සුන් විය. ඔහු ඝන ස්ථර අතර වඩාත් ප්‍රචණ්ඩ ලෙස සායම් ගැල්වීය. ඒ අතර වැන් ගෝ
පෙළුන දැඩි ආතතිය හේතුවෙන් නිර්මාණකරණයේ දී ඔහු නිරායාසයෙන්ම සොබාදහමේ වස්තූන් වෙත
ඇදී ගියේය. භ්‍රමණය වන හිරු, ඇඹරී ගිය සයිප්‍රස් ගස් සහ උල් වූ කඳු මුදුන් ආදී රූපක වැන් ගෝ ගේ
මානසික ගැටුම්වලින් පිරී තිබුණ ඔහුගේ ජීවිතය නිරූපනය කරමින් වඩාත් ප්‍රචණ්ඩ ලෙස මතු විය.
එතුළින් The Reaper, Cypresses, The Red Vineyard සහ ඔහුගේ සුප්‍රසිද්ධ Starry Night වැනි
විශිෂ්ට ගණයේ නිර්මාණයන් බිහි විය.
Starry Night (1889) සිතුවම ගත් කල එහි මුළු ලෝකයම වෘත්තාකාර චලනයන් මගින් ගිලී ගොස් ඇති
බව පෙනේ. ඊටත් වඩා Starry Night යනු වැන් ගෝ ගේ ජීවිතය මැනවින්ම විදහා දක්වන චිත්‍රය
බවට සැකයක් නැත. එය ඔහුගේ වඩාත්ම ජනප්‍රිය නිර්මාණය සහ ඉතිහාසයේ වඩාත් බලපෑම් ඇති
කළ චිත්‍රයක් ලෙස ද නම් කළ හැක. අහසේ කැරකෙන රේඛා ඔහුගේ මානසික තත්වයේ නිරූපණයකි.
එය ඔහුගේ ආත්මීය ප්‍රකාශනය ප්‍රතිමූර්තිමත් කරයි. වින්සන්ට් වැන් ගෝ වරක් මෙසේ පවසයි "මා
සෑම විටකම පාපොච්චාරණය කරන්නේ ඇයිදැයි මම නොදනිමි, නමුත් තරු දෙස බැලීමට මම සැමවිටම
සිහින දකිමි." දුක්ඛිත මෙන්ම ඉතාමත් පාළු ජීවිතයක් ගත කළ ඔහු මෙම දුක් වේදනාවන් කලාත්මක
ලෙස පින්තාරු කරන ලදී. එය කෙතරම්ද යත් වින්සන්ට්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රයත්නයන් පවා
ඔහුගේ අවසන් සිතුවම්වල නිරූපණය කර තිබේ. ඔහු අඳුරු සහ කුණාටු සහිත අහස යට විශාල තිරිඟු
කෙත්වල පින්තාරු කරමින් “මාගේ සම්පූර්ණ දුක සහ අධික තනිකම මෙහි ප්‍රකාශ කිරීම අපහසු
නැත” කියා කීවේය. ඔහුගේ අවසන් චිත්‍රවලින් එකක් වන Wheat Field With Crows, කළු
කුරුල්ලෝ තරු නැති අහසක පියාසර කරති. එමගින් ඔහුගේ හදවතේ පැවති හිස් බව මනා ලෙස අර්ථ
දැක්විය හැකිය
නිවහනක් නොමැතිව ගෙවූ රස්තියාදු ජීවන රටාව, කාන්තාවන් සමඟ පැවැත්වූ සබඳතාවල
අසාර්ථකත්වය, මනෝ ව්‍යාකූලතාවන්, සිය මිත්‍රයා සමග වූ අමනාපනම් සහ බංකොළොත් භාවයට
පත්වීම වැනි තත්වයන් වැන් ගෝ සියදිවි නසාගැනීමට පෙළඹවූ මානසිකත්වය තව තවත් තියුණු
කළේය. කෙසේ වෙතත්, ඔහු දිගටම මානසික ආබාධයකින් පෙළුණි. 1890 ජූලි 27 වන දින වැන්ගෝ සිය
පපුවට වෙඩි තබා ගත්තේය. ඉන් දින දෙකකට පසු, එනම් තම වයස අවුරුදු 37 දී ඔහු මිය ගියේය.
කෙසේ වෙතත්, ඔහුගේ සිතුවම් නිර්මාණ එතැන් පටන් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය හා වටිනා ඒවා
බවට පත් විය. අද වන විට, වැන්ගෝ යනු යුගයේ විසූ විශිෂ්ටතම කලාකරුවන්ගෙන් කෙනෙකු ලෙස
සැලකේ.
මානසික ආබාධයකට ගොදුරු වුවද වින්සන්ට් මිය යන තුරුම අතිශය නිර්මාණශීලී විය. ඔහු ජීවත් වූයේ
කෙටි කාලයක් වුවද ඔහුගේ සිතුවම් නිර්මාණ පසුකාලීන පරම්පරාවේ කලාකරුවන් කෙරෙහි ද ප්‍රබල
බලපෑමක් ඇති කර ඇති අතර, එය අදටත් මිනිසුන්ව විශ්මයට පත් කරයි. ඇම්ස්ටර්ඩෑම් හි වැන්ගෝ
කෞතුකාගාරය ලෝකයේ වඩාත්ම ජනප්‍රිය කෞතුකාගාරවලින් එකක් වන අතර වැන්ගෝගේ
විශාලතම සිතුවම් සහ චිත්‍ර එකතුව එහි ප්‍රදර්ශනය කර ඇත.
සුප්‍රසිද්ධ ලන්දේසි චිත්‍ර ශිල්පියෙකු වන වින්සන්ට් වැන් ගෝ ගේ ජීවිත කතාව ඇසුරින් Irving Stone
විසින් 1934 දී ‘Lust for life’ නමින් චරිතපදාන නවකථාවක් රචනා කර ඇත. තවද Don McLean ගේ
ජනප්‍රිය ගීතයක් වන Vincent (Starry, Starry Night) හි ගී පද වැන් ගෝ ගේ සැබෑ කතාන්දරය
නැවත නැවතත් රසිකයන්ගේ හදවත් අතර ජීවත් කරවයි. ඔහු චිත්‍ර කලාවට ප්‍රිය කළත් ඔහු
ඔහුගේ සිතුවම්වලට නම් කිසිදා ආදරය නොකළ බවක් පෙනී යයි. වැන් ගෝ අකාලයේ මිය ගියද
වැන්ගෝ යුරෝපයේ විසූ විශිෂ්ටතම කලාකරුවෙකු ලෙස නමක් දිනාගෙන තිබේ. එහෙත් තම ජීවිත
කාලය තුළ ඒවායේ සාර්ථකත්වය දැක ගැනීමට ඔහුට නොහැකි විය. ඇතැම් කලාකරුවන්ගේ ජීවිත සේම
එය වැන් ගෝ ගේ ජීවිතයේ ද සිදු වූ විශාලතම ඛේදවාචකයයි.
මොහොමඩ් මිනාස්
Pareidolia
මෙහෙම වෙනවද බලන්න ඔයාටත්..බිම වතුර ටිකක් වැටිලා තියෙනවා දකිනකොට, අහසේ වළාකුළු දකිනකොට, ගස් අතරින් බිමට හෝ බිත්තියකට වැටිලා තියෙන සෙවණැලි දකිනකොට, සමහර ගස්වල අතු විහිදී ඇති අයුරු දකිනකොට යම් අර්ථාන්විත රූප පේනවද ? ඔව් මට පේනවා..දකිනකොටම පේනවා..රූප විතරක් නෙවෙයි නොකඩවා ඇසෙන ශබ්ද වලින් යම් රටාවකට තාලයක් සිතෙන් ගොඩනැගීමත් එක් අංගයක්.
ඔන්න එක දවසක් මරු වැඩක් වුණා.. අපේ ගෙදර කුස්සියට යාබදව තබා තිබෙන මේසය අසල මම ඉඳගෙන ඉන්නකොට අම්මා ඇවිල්ලා දුන්නා මට කිරි තේ එකක්. ඒක ගන්නකොටම පොඩි අත්වැරදීමකින් කිරි තේ මේසය මත ඉහිරුණා. අම්මා වහාම එය පිසදාන්න රෙදි කැබැල්ලක් ගේන්න එන්න ගිය පොඩි වෙලාවට ඔන්න මට පේන්න ගන්නවා මේ ඉහිරුණු කිරි තේ ටිකෙන් මිනිස් රූපයක්..තව පොඩ්ඩක් ඇඟිල්ලෙන් කිරි තේ රේඛා යා කළා නම් අතිශය තාත්ත්වික රූපයක් ගොඩනගන්න පුළුවන් වගත් මට එකවරම පේන්න ගන්නවා. ඒත් එක්කම අම්මා ආවා.
” ඔය මොනවද කරන්නෙ පොඩි එකෙක් වගේ ? කෝ අත ගන්න ඕක පිහිදාලා දාන්න..”
“පොඩ්ඩක් ඉන්න අම්මේ..මේක ඉවර කරනකම්..අම්මට මේකෙන් මුකුත් පේන්නේ නැද්ද ?”
” පේනවා..තේ හැලිලා කියලා..”
” නෑ නෑ අම්මේ..රූපයක් “
ඔල්මාදෙද කොල්ලෝ ?..ඕන එකක් කරගන්නවා..විකාර..”
ඇත්තටම මේක පිස්සුවක්ද ? මම හෙව්වා තොරතුරු.. මේකට කියන්නේ “Pareidolia” කියලා..සෑහෙන පිරිසකගෙන් බොහොම ටික දෙනෙකුට මේක පිහිටනවා. කිසිදු සම්බන්ධයක් නොමැති දේ වලින් අර්ථාන්විත චිත්ත රූප නිර්මාණය වීමයි. මුල් කාලයේදී Pareidoilia තත්ත්වය පාකින්සන් සහ විශාදය ඇති පුද්ගලයන්ට ඇතිබව කියැවුණත් පසුව එම පරීක්ෂණවලට යොදාගත් නියැඳි පරීක්ෂාවේ අඩුපාඩුවක් නිසා ඒ නිගමනයට ආ බව තහවුරු වී තිබෙනවා. නවීන වෛද්‍ය විද්‍යාව මෙය රෝගී තත්ත්වයක් නොවන වගත් මොළයේ ඉතා ඉහළ නිර්මාණශීලීත්වයක ලක්ෂණ වගත් තහවුරු වී තිබෙනවා.
මේ පිළිබඳව ලෝක තොරතුරු සෙවීම අතිශය රසවත් අත්දැකීමක් වුණා. අතිශය විශාල තොරතුරු ප්‍රමාණයකින් මගේ සිත් ඇද බැඳ තබාගත් තොරුතුරු දෙකක් කියන්නම්.
ඔන්න කැනඩාවේ 1954 දි නිකුත්වුණ මුදල් නෝට්ටුවල දෙවන එළිසබෙත් රැජිනගේ රුව යොදාගෙන මුද්‍රණය කර තිබුණා. එම නෝට්ටු මාලාව මුදල් නෝට්ටු එකතු කරන්නන් අතර ඉතා ජනප්‍රිය වුණා. හේතුව සොයා බලනවිට එම නෝට්ටුවල එළිසබෙත් රැජිනගේ හිසේ කෙස් කළඹෙ යක්ෂයකුගේ රුවක් ” Devil’s Head ” ලෙස දිස්වීමයි. පසුව මෙම නෝට්ටු මාලාව වෙනුවට අලුත් නෝට්ටු මාලාවක් මුද්‍රණය කිරීමට පවා කැනේඩියානු රජයට සිදුවිය.
එවැනිම රසවත් තොරතුරක් තමයි ” හිට්ලර්ගේ තේ පෝච්චිය “. මෙම කේතලයට සමාජ මාධ්‍ය තුළින් ලැබුණ අවධානයද “Pareidolia” තත්ත්වයකට නිදසුනක් ලෙස ප්‍රචලිතය.
මෙම Pareidolia තත්ත්වය ඇති පුද්ගලයන්ට අනෙකාගේ චිත්ත වේගය, ඔවුන්ගේ ඊලඟ හැසිරීම ක්ෂණයෙන් හඳුනාගත හැකි විශේෂිත හැකියාවන්ද ඇති අතර මෙම තත්ත්වය විවිධ වෛද්‍ය විද්‍යා පරීක්ෂණයන් වලට උපකාර කරගැනීම දක්වා දියුණු වී ඇත.
මේක දැක්කම ඔබටත් මේ හැකියාව ඇති කියලා හිතේවි. ඒත් ඇත්තටම ඔබට මේ අත්දැකීම තිබුණද කියලා හිතලා බලන්න..
Charith Wijemanna
චරියාගේ පන්හිඳ
නත්තලේ උණුසුම හැඟීම් හරහා ගමනක්
නත්තල පැමිණෙන්නේ සියුම් රහසක් මෙන් වන අතර, අප අවට ලෝකය එහි අද්විතීය මැජික් සහ මතකයන් සමඟ පරිවර්තනය කරයි. එය නිකම්ම නිවාඩු දිනයක් පමණක් නොවේ—එය මෘදු, සැනසිලිදායක බ්ලැන්කට්ටුවක් මෙන් අපගේ හදවත් වටා ප්‍රීතියේ, බලාපොරොත්තුවේ සහ සම්බන්ධතාවයේ නූල් එකට බැඳ තබන හැඟීමකි.
සමය ආරම්භ වන්නේ අපේක්‍ෂාවෙන්, සියුම් විදුලියක් දෙසැම්බරයේ මුලදී යම් වේලාවක නාද වීමට පටන් ගනී. දරුවන්ගේ ඇස් උද්යෝගයෙන් බබළයි, ඔවුන්ගේ පරිකල්පනයන් දිලිසෙන විදුලි පහන් සහ ඔතා ඇති තෑගි දර්ශන සමඟ නටති. වැඩිහිටියන්ට ද වෙනසක් දැනේ – නාඳුනන අය මඳක් උණුසුම් ලෙස සිනහවක් ඇති කරන හදවත මෘදු වීම, අසල්වැසියන් තව ටිකක් උනන්දුවෙන් අත වනයි.
ලොව පුරා නිවෙස්වල, සම්ප්‍රදායන් සැමරීමේ හද ගැස්ම බවට පත්වේ. නත්තල් ගස අලංකාර කිරීමේ චාරිත්‍රය හැඟීම්වල සංධ්වනියකි – සෑම ආභරණයක්ම මතකයක්, සෑම විදුලි පහනක්ම අතීත සැමරුම් සමඟ සම්බන්ධ වේ. පවුල් රැස්ව, ඔවුන්ගේ සිනහවෙන් කාමර උණුසුම්ව පුරවයි, එය ශීත ඍතුවේ සීතල පසුපසට තල්ලු කරයි. ආච්චිලා සීයලා කතන්දර බෙදාහදා ගනී, දෙමාපියන් ළමා සම්ප්‍රදායන් ප්‍රතිනිර්මාණය කරයි, සහ දරුවන් මිශ්‍රණයට ඔවුන්ගේම දීප්තිමත් ශක්තියක් එක් කරයි.
දීමේ ආත්මය සාමාන්‍ය අවස්ථාවන් අසාමාන්‍ය ඒවා බවට පරිවර්තනය කරයි. එය තෑග්ගක මිල ගැන නොවේ, නමුත් එය පිටුපස ඇති චින්තනය – ප්රවේශමෙන් තෝරා ගැනීම, වෙනත් කෙනෙකුට ප්රීතිය ගෙන ඒමේ අපේක්ෂාව. දරුවෙකුගේ අතින් සාදන ලද කාඩ්පතක්, සීයා ආච්චිගෙන් පරිස්සමින් ගෙතූ ලේන්සුවක්, යමෙකු ඔබව සැබවින්ම තේරුම් ගන්නා බව පෙන්වන පුදුම තෑග්ගක් – මේවා නත්තලේ සැබෑ නිධානයයි.
මෙම කන්නයේ දී ආහාර ආදරයේ භාෂාවක් බවට පත් වේ. මුළුතැන්ගෙයි කවුන්ටර සූපශාස්ත්‍ර කාර්ය සාධනයේ අදියර බවට පත්වේ, වට්ටෝරු පරම්පරාවෙන් සම්ප්‍රේෂණය වේ. නැවුම්ව බේක් කරන ලද කුකීස්වල සුවඳ, ඇඹරූ වයින් බඳුනකින් නැඟෙන වාෂ්ප, බැදපු කළුකුමෙකුගේ සිසිලනය – මේවා නත්තල නිර්වචනය කරන සංවේදී මතකයන් වේ. පවුල් සහ මිතුරන් මේස වටා එක්රැස් වන අතර, ආහාර වේලකට වඩා වැඩි යමක් බෙදා ගනී, නමුත් සැබෑ සම්බන්ධතාවයේ අවස්ථා.
එහෙත්, නත්තල එහි සංකීර්ණ හැඟීම්වලින් තොර නොවේ. සමහරුන්ට එය ආවර්ජනය කිරීමේ සහ සිහිපත් කිරීමේ කාලයකි. මේසයේ ඇති හිස් පුටු අපට මතක් කරන්නේ ආදරණීයයන් තවදුරටත් නොසිටින අතර, සැමරුමට තිත්ත මුදු මොළොක් බවක් ගෙන එයි. තවත් සමහරුන්ට තනිකම දැනෙනවා විය හැක, උත්සව ප්‍රීතියේ වෙනස ඔවුන්ගේ හුදකලාව ඉස්මතු කරයි. නමුත් මේ මොහොතේ පවා, නිවාඩු කාලය තුළ පිපෙන බව පෙනෙන විශ්වීය අවබෝධයක්, සාමූහික සංවේදනයක් ඇත.
නත්තලේ මැජික් එක තියෙන්නේ බලාපොරොත්තුවක් ඇති කිරීමේ හැකියාව තුළයි. මිනිස්සු තව ටිකක් විශ්වාස කරන, ටිකක් ලොකු හීන දකින, තව ටිකක් ගැඹුරට ආදරය කරන කාලයක්. දරුවන්ගේ අහිංසක පුදුමය, ත්‍යාගශීලීත්වයේ ආත්මය, සරල කරුණාවන්ත ක්‍රියාවන්-මේවා සමයෙහි සැබෑ ත්‍යාග වේ.
නත්තල් සැන්දෑවේ රාත්‍රිය උදා වන විට, ලෝකය විරාමයක් ඇති බව පෙනේ. වීදි නිශ්ශබ්ද වේ, නිවෙස් මෘදු ආලෝකයෙන් බබළයි, සහ සාමකාමී අපේක්ෂාව පිළිබඳ හැඟීමක් ඇත. ආගමික සම්ප්‍රදාය හෝ ලෞකික සැමරුම හරහා වේවා, නත්තල අපට නවතින්න, කල්පනා කිරීමට, සම්බන්ධ වීමට ආරාධනා කරයි.
අවසානයේදී, නත්තල යනු එක් දිනක් නොව හැඟීමකි – අපගේ හවුල් මනුෂ්‍යත්වය අපට මතක් කර දෙන සාමූහික චිත්තවේගීය අත්දැකීමකි. එය එහි පිරිසිදු ස්වරූපයෙන් ආදරය ගැන ය: කොන්දේසි විරහිත, ත්යාගශීලී සහ උණුසුම්.
අහිමි හිමිකරු
එංගලන්තයට දැනෙන්න සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ බ්‍රිතාන්‍ය සංක්‍රමණ
බ්‍රිතාන්‍යයට සිදුවන සංක්‍රමණ වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීම සිදුකල යුතු බව දැන් වසර කිහිපයක් පුරා සාකච්ඡා වන ප්‍රධාන මාතෘකාවක් වනවා. එහෙත් පසුගිය රජයත් වර්ථමානයේ පවතන කම්කරු රජයත් බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේක්ෂා කරන මට්ටමට සංක්‍රමණ සීමා කිරීමට අසමත් වී ඇති බව නිරන්තරයෙන් හෙලිදරව් වන ආගමන විගමන සංඛ්‍යා දත්ත පෙන්වා දෙනවා. පසුගියදා නිකුත් කරන ලද නවතම සංඛා දත්ත වලට අනුව 2024 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල මෙරටට පැමිණි ශුද්ධ සංක්‍රමණ සංඛාව 728,000 බවයි සදහන් වෙන්නේ.
ඒ අතර අපිට වැදගත්ම කාරණාව වන්නේ ඒ පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කොපමණ ප්‍රමාණයක් වාර්ෂිකව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වනවාද යන්නයි. ලෝකයේ රටවල් 200 කට අධික සංඛාවක් තිබියෙදී බ්‍රිතාන්‍යයට වැඩිම විදේශිකයන් සංක්‍රමණය වන මුල් රටවල් 10 අතර රැදීමට ශ්‍රී ලාංකිකයන් සමත්ව තිබෙනවා. එහි අර්ථය නම් 2021 වසරෙන් පසුව මේ දක්වා කාලය තුල අති විශාල ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී ඇති බවයි. රැකියා වීසා යටතේ මෙන්ම අධ්‍යාපන වීසා යටතේද ශ්‍රි ලාංකිකයන් දස දහස් ගණනක් මෙරටට සංක්‍රමණය වී ඇති අතර සංචාරක වීසා මතද ගෙවුනු කාලය තුල ශ්‍රී ලාංකිකයන් රැසක් මෙරටට පැමිණි බව සංඛා ලේඛන පෙන්වා දෙනවා.
බ්‍රිතාන්‍යයේ ආගමන විගමන ආයතනය ප්‍රකාශයට පත්කල නවතම දත්ත අනුව 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නිකුත් කල රැකියා වීසා (work visa) සංඛාව 10,492 ක් වනවා. ඒ තුලට රැකියා වීසාලාභීන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ද අයත් වනවා. එම වීසා සංඛාව අතරින් වීසා 9,459 ක් skill work visa යටතේ නිකුක් කර තිබෙනවා. එම සංඛ්‍යා දෙක අතර වෙනස බොහෝ විට ආයෝජන වීසා හෝ Business වීසා විය හැකි වේ. Work visa යටතේම ගැනෙන temporary work visa හෙවත් සෘතුමය රැකියා වීසා යටතේ යටතේ ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් කල බවක් සදහන් නොවේ.
පසුගිය වසරේ work visa යටතේ මෙරටට පැමිණි පිරිස අතර 9 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන අතර පළමු ස්ථින තුනෙහි පිළිවෙලින් ඉන්දියාව, පකිස්ථානය හා නයිජීරියාව පසුවනවා. ඒ අතර අධ්‍යාපනය ලැබීම සදහා students visa යටතේ 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල මෙරටට පැමිණි සංඛාව 4,842 ක් වනවා. එම සංඛාව අතරට ශිෂ්‍යන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ද ඇතුලත් වන බවයි සදහන් වන්නේ. සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර සදහා අධ්‍යාපන වීසා මත මෙරටට පැමිණි පිරිස අතර 12 වන ස්ථානයේ පසුවීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
ඒ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල family වීසා මත මෙරටට පැමිණි පිරිස 1,306 ක් බවයි සදහන් වන්නේ. Family වීසා මත එම කාලය තුල මෙරටට පැමිණි පුද්ගලයන් අතර 18 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවනවා. බ්‍රිතාන්‍යයේ දැනට ජීවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් හෝ ස්ථිර පදිංචිය හිමි පුරවැසියන්ගේ පවුල් වල සාමාජිකයන් වෙත මෙලෙස family වීසා නිකුත් කරන අතර බොහෝ දුරට විවාහයන් මත මෙරටට සංක්‍රමණය වන පුද්ගලයන්ට මෙම නීසා නිතුක් කරනු ඇති.
2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලංකිකයන් සදහා සංචාරක වීසා 23,718 ක් බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කර ඇති අතර මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් අතර 15 වන ස්ථානයේ ශ්‍රී ලාංකිකයන් පසුවනවා. ඒ අතර එම කාලය තුලදීම බ්‍රිතාන්‍යයට නීත්‍යානුකූලව විවිධ වීසා මත ඇතුළුවීමට උත්සාහ කල ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු තෙටුපළ තුලදීම හරවා යැවීමට බ්‍රිතාන්‍ය ආගමන විගමන අංශය කටයුතු කර ඇති බව එම වාර්ථා සදහන් කරනවා.
2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලැබීමේ බලාපොරොත්තුවෙන් සරණාගතභාවය අයදුම් කල ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය 2,726 ක් වනවා. එම කාලසීමාව තුල ශ්‍රී ලාංකිකයන් 1,136 දෙනෙකුට විවිධ වර්ගයේ සරණාගතභාවය පිරිනමා ඇති අතර ප්‍රතික්ශේප වූ හා ඉල්ලා අස්කරගත් ප්‍රමාණය 1,992 ක් වනවා. මේ ආකාරයට බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ සංඛා තුල ශ්‍රි ලාංකිකයන්ද දැවැන්ත භූමිකාවක් හොබවන අතර අනාගතයේදී බ්‍රිතාන්‍ය රජය සංක්‍රමණ සීමා කිරීම තවත් දැඩි කලහොත් නැවත වරක් පදිංචිය සදහා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය අවම වනු ඇති.
තිලාන් ජයසේකර
දේශසීමාවට කොටු නොවූ අමරණීය ආදරය ‘අමරන්’
සිනමාව ප්‍රේක්ෂක හදවත සියුම් ලෙස ස්පර්ශ කිරීමට සමත් කලාවකි. සිනමා නිර්මාණ අතර ඉන්දීය සිනමා නිර්මාණයන් සුවිශේෂී වන්නේ ඊටම අනන්‍ය වූ අපූර්වත්වය හේතුවෙනි. පසුගිය දීපවාලී දිනයේ රිදී තිරයට පැමිණි Amaran චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂක හදවත් සංවේදී කෙරූ එවැනි අපූරු නිර්මාණයකි.
Amaran චිත්‍රපටයට පාදක වන්නේ ‘මුකුන්ද් වරදරාජ්’ නම් ඉන්දීය මේජර්වරයාගේ සත්‍ය කතාවයි .ඔහු ඉන්දු කාශ්මීර යුද සමයේ ජීවිත පරිත්‍යාගයෙන් රට රැකගත් උදාර මිනිසෙකි.මෙය රාජ්කුමාර් පෙරියසාමී විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර කමල් හසන් විසින් නිෂ්පාදනය කර ඇත.කතාවේ ප්‍රධාන චරිත දෙක මේජර් මුකුන්ද් වරදරාජ් සහ ඔහුගේ බිරිඳ වන ඉන්දු රෙබේකා වර්ගීස් වේ.
මුකුන්ද් වරදරාජ් 1983 කරේ ද්‍රවිඩ යුවළවකට දාව උපත ලබයි.කුඩා කල සිටම ඔහුගේ සිහිනය වන්නේ හමුදා සෙබළෙකු වීමයි.උසස් අධ්‍යාපනයට පිවිසෙන මුකුන්ද් සහ ඉන්දු රෙබේකා වර්ගීස් ආදරයෙන් බැදෙන අතර ඉන්දු තම පෙම්වතාට ඔහුගේ සිහිනය හඹා යාමට දිරි දෙයි.නමුත් රෙබේකාගේ මවුපියන් හමුදා නිලධාරියෙකු සමග සිය එකම දියණිය විවාහ කර දීමට අකමැති වන නිසා ඔවුන්ගේ ආදර කතාව හැල හැප්පීම් හමුවේ ගලායයි.පසුව මෙම බාධක මැඩ ගෙන සියල්ලන්ගේම ආශිර්වාදය සමග විවාහ වන ඔවුන් දෙදෙනාගේ සතුට දෙගුණ කරමින් නොබෝ කලකින් කැදැල්ලට ආදරණීය දියණියක් එක්වේ.2006 වසරේ හමුදාවට බැදෙන මුකුන්ද් එතැන් සිය ජීවිතය රට වෙනුවෙන් පරිත්‍යාග කරයි.ඔහුගේ එම උදාර පරිත්‍යාගයට ප්‍රාණ සම බිරිඳගෙන් ලැබෙන්නෙ අප්‍රමාණ කැපකිරීමකි.සහයකි.
“මේ මුහුදයි අහසයි අතට දුර එයාටයි මටයි.මං ඉන්නෙ මගේ ආදරය එක්ක සදාකාලික දුරස්ථ ප්‍රේමයක”
-රෙබේකා-
දේශසීමාවලින් වෙන් වූ ඔවුන්ගේ ආදර කතාවේ ඉරණම කුමක්ද දැනගැනීමට අමරන් නරඹන මෙන් ඉල්ලා සිටිමි.
චිත්‍රපටයේ මුකුන්ද් ලෙස චරිත නිරූපණය කරන ශිවකාර්තිකේයන්ගේ රංගන ජීවිතයේ අද්විතීයම චරිත නිරූපනය ලෙස මෙය දැක්විය හැකිය.වරෙක යුද නිලධාරියකු සතු වීරත්වය ද,තවත් වරෙක පියෙකු,සැමියෙකු සහ පුතෙකු ලෙස සිය පවුලට නොඅඩුව යුතුකම් ඉටු කරන මුකුන්ද් නම් ආදරණීය සහ මානුෂීය මිනිසාව ඔහු නොමැකෙන ලෙස තිරයෙහි ප්‍රතිනිර්මාණය කර ඇත.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ සිට විරෝධාර මේජර්වරයෙකු දක්වා මුකුන්ද් ගේ පරිවර්තනය අපූරුව ලෙස ඉදිරිපත් කිරීමට ඔහු සමත් ය.එමෙන්ම ඔහුගේ බිරිඳගේ චරිතයට පණ පොවන සායි පල්ලවි ප්‍රේක්ෂක දෑස් කඳුළින් තෙමීමට සමත් සංවේදී සහ සියුම් රංගනයක නියැලෙයි.හමුදා බිරිඳක සතු එම අසහාය දරා ගැනීම සහ කැප කිරීම සිය අනර්ඝ සතර අභිනයන් තුළින් මනාව නිරූපණය කිරීමට ඇය දක්වා ඇති දක්ෂතාවය ප්‍රශංසනීය වේ.
චිත්‍රපටයේ සංගීතය ද එහි භාවයන් ප්‍රේක්ෂකයාට වඩාත් දැනවීමට රැකුල් වේ.ජී.වී ප්‍රකාශ් කුමාර් විසින් මෙහි සංගීත අධ්‍යක්‍ෂණය සිදුකර ඇත.සුන්දර කාශ්මීරයේ දසුන් සමග එම සංගීතය මුසු වූ විට සිනමාපටයට ලැබෙන්නෙ කදිම මිහිරියාවකි.
කාශ්මීරයේ සුන්දරත්වය ද,යුද බිමේ භීතිය ද සිය කැමරාකාචයට හසුකර ගැනීමට කැමරාකරු දක්වා ඇති දක්ෂතාවය මෙන්ම නළු නිළි කැල මනා ලෙස හසුරවමින් යුද සිදුවීමක් සාර්ථකව ප්‍රතිනිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා දැක්වූ හැකියාව ද අගය කල යුතුය.
අමරණීය ආදර කතාවක රසය විද ගැනීමටත්, යුද විරුවන් සතු අප්‍රමාණ කැපකිරීමට මොහොතකට උපහාර කිරීමටත් අමරන් නරඹන ලෙසට ප්‍රේක්ෂක ඔබට ඇරයුම් කරමි.
-පියුමි නෙළුමිකා –
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය