මහා බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් සමඟින් අපි

එක්සත් රාජධානිය තුළ ශ්‍රී ලාංකේය සප්ත ස්වරයේ අනන්‍යතාවය විදහා දක්වමින් ඉතාමත් කෙටි කාලයක් තුළ ස්ථාවර හා ශක්තිමත් ගමනක් යාමට වෙර දරණ සංගීත කණ්ඩායමක් ලෙස ” Roots සංගීත කණ්ඩායම ” හඳුන්වා දිය හැකි ය. 

2019 වර්ෂයේදී සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත ව කැල්ෆ්සෝ සංගීත කණ්ඩායමක් ලෙස තම මූලික ප්‍රවිශ්ඨය තබන්නට ඔවුනට හැකි විය.

චිලාන් ඩි සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් රූට්ස් සංගීත කණ්ඩායම ආරම්භ වේ. සමන් ඩි සිල්වා නම් වූ ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතය හා බයිලා සංගීත කලාව තුළ නොමැකෙන මතකයන් සනිටුහන් කළ දක්ශ කලාකරුවාගේ අඩිපාරේ යමින් ඒ ගුරුහරුකම් සහ ආභාසයන් උකහා ගනිමින් තමන්ට ආවේණික ලෙස ඉතාම කෙටි කාලයක් තුළ සංගීත ලොව දිග්විජය කරන්නට Roots සංගීත කණ්ඩායමට හැකි විය.

මේ වන විට Roots සංගීත කණ්ඩායම රාත්‍රී ප්‍රිය සම්භාෂණ , උපන්දින සාද, විවිධ උත්සව අවස්ථා සඳහා සමස්ත සංගීත කණ්ඩායම වශයෙන් මෙන්ම ඔබගේ අවශ්‍යතාවයට අනුකූල ව හා උචිත ආකාරයට කණ්ඩායම් සාමාජිකයන් දෙදෙනෙකු – තිදෙනෙකු වශයෙන් වුවද සංගීතය සපයන්නට සූදානමින් සිටින අතර ඔබගේ උත්සව ස්ථානය අනුව නිවෙස්- එළිමහන් හෝ හෝටල් පරිශ්‍රය තුළ ආදී වූ මේ සෑම ආකාරයකින් ම ඔවුන්ගේ රසික ප්‍රජාව වෙත ස්වකීය සේවාවන් සැපයීමට අනලස් ව සැදී සිටියි. එලෙස සංගීතය සැපයීම සඳහා දිනෙන් දින යාවත්කාලීන වන සංගීතමය මෙවලම් හා නවීන තාක්ෂණය මනා ලෙස සම්මිශ්‍රණය කරමින් අපූර්වතම සංගීත රසයක් සිය ප්‍රේක්ෂක රසිකයන්ට තිළිණ කරන්නට ඔවුන්ට හැකි වී ඇත.

එසේම Roots සංගීත කණ්ඩායම ඉදිරියේදී තමන්ටම ආවේණික වන අයුරින් සුවිශේෂී වූ නිර්මාණ කිහිපයක් සිදුකිරීමේ අපේක්ෂාවෙන් පසු වේ. 

වර්තමානයේදී එතරම් නො ඇසෙන පැරණි ගීත නව සංගීත ශෛලියකට මුසු කොට නවමු ආකාරයකින් – නව රසයකින් යුතුව ප්‍රේක්ෂක හදවත් තුළට ගෙන එමින් ස්වකීය රසික ප්‍රජාව ආමන්ත්‍රණය කරන්නට ඔවුන් සූදානමින් සිටී. 

එසේම Roots සංගීත කණ්ඩායමට ධ්වනික- Acoustic වාද්‍ය වෘන්දයක් ලෙස English , Tamil , Hindi, Baila mix යන ආකාරයේ විවිධ ශෛලීන්ගෙන් හා විවිධ භාෂාවන්ගෙන් තම රසික ප්‍රජාව අමන්දානන්දයට පත් කරන්නට හැකියාව ලැබී ඇත.

තවද Roots සංගීත කණ්ඩයම ස්වකීය නාද මාලාවන් හරහා ලංකාවේ සිට එක්සත්‍ රාජධානියේ සංගීත ප්‍රසංගයන් සඳහා සහභාගී වන ප්‍රවීණ – ජනප්‍රිය – රසික ඔබේ සිත් අමන්දනන්දයට පත්කරවන ඔබ කැමතිම කලාකරුවන් සඳහා පසුබිම් සංගීතය සැපයීමේ කටයුතු වල ද නියැලෙන්නේ රසිකයන්ගේ තෘප්තිය උපරිම කරලමින් මියුරු සංගීත අත්දැකීමක් ලබා දෙන බලාපොරොත්තු ඇතිවයි. 

හිරු නො බසින අධිරාජ්‍යයේ ශ්‍රී ලාංකේය සන්නාමය ලොවට විදහා පාමින් , විවිධ භාෂා ශෛලීන් උපයෝගී කොට ගනිමින් , තමන්ට ආවේණික ලෙස ඉතාම ශක්තිමත් සහ සාර්ථක මෙන් ම ස්ථාවර ගමනක් යන්නට වෙර දරණ චිලාන් ඩී සිල්වා ප්‍රමුඛ Roots සංගීත කණ්ඩායමට උණුසුම් සුබපැතුම් පිරිනමන අතර තමන්ගේ හැකියාවන් උපරිමයෙන් විදහා දක්වමින් සෙසු සංගීත කණ්ඩායම් අභිබවමින් ඉදිරියට පැමිණීමටත් හැකියාව ලැබේවා’යි ඉතාම නිහතමනී ව හා ආදරයෙන් යුක්ත ව ප්‍රාර්ථනා කරමි.

Sri Lanka’s Cinema

ශ්‍රී ලාංකීය සිනෙමාව

ශ්‍රී ලාංකීය සිනමාව ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය ආවරණය කරයි. වර්ෂ 1947 දී චිත්‍ර කලා මූවිටෝන් හි

එස්. එම්. නායගම් විසින් නිෂ්පාදනය කරන ලද “කඩවුනු පොරොන්දුව” චිත්‍රපටයත් සමඟ ආරම්භ කළ දා සිට

පාදම සොයා ගැනීමට අරගල කළ නව සිනෙමා කර්මාන්තයකි. සාමාන්‍යයෙන් චිත්‍රපට නිර්මාණය වන්නේ

රටේ ප්‍රමුඛ භාෂාව වන සිංහල භාෂාවෙන් ය. ආරම්භක අවදියේදී සිනමාවේ වැජඹුණු බොහෝ ප්‍රසිද්ධ

නළුවන්ට "F" අකුරින් වාසගම තිබූ බැවින් ඇතැම්හු එකළ ශ්‍රී ලංකාවේ සිනමාව Follywood ලෙසද හඳුන්වනු

ලැබිණි.

පළමු වසර නවය තුළ බොහෝ චිත්‍රපට නිපදවන ලද්දේ අසල්වැසි දකුණු ඉන්දියාවේ වන අතර ඉන්දියානු

සිනමාවේ සම්මුතීන් සමීපව අනුගමනය කරන ලදී. චිත්‍රාගාර රූගත කිරීම් සාමාන්‍ය දෙයක් වූ අතර

චිත්‍රාගාර තුළ සියළුම දෑ පාහේ ඉන්දියානු ශෛලිය නිරූපණය වෙන සේ ඉදිකර තිබුණි. 1956 දී පුරෝගාමී

අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද “රේඛාව” චිත්‍රාගාරයෙන් පිටත

සම්පූර්ණයෙන්ම රූගත කළ පළමු සිංහල චිත්‍රපටය බව බොහෝ දෙනා විශ්වාස කළත් එය 1950 දී කිංස්ලි

ජයසේකර සහ ශීලා පීරිස් රඟපෑ "ගම්බද සුන්දරී" චිත්‍රපටය බව බොහෝදෙනෙක් නොදනී. එය රේකාව

චිත්‍රපටයේ මෙන් දෙබස් එම ස්ථානයේදීම පටිගත කළ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටයද විය. මෙයට හේතුව

වූයේ Kinevox 35mm චුම්බක රෙකෝඩරයක ශබ්දය පටිගත කරන ලද අවස්ථාවේ මෙන් නොව 16mm

පටලයේ ශබ්දය දෘශ්‍යමය වශයෙන් පටිගත කරන ලද Auricon sound-on-film කැමරාවක් භාවිතයෙන්

චිත්‍රපටය 16mm මත රූගත කර තිබීමයි. මෙම චිත්‍රපටය පසුව මිලිමීටර් 35 දක්වා blow up වූ අතර 1950

වර්ෂයේදී කොළඹදී තිරගත විය.

රේකාව දේශීය හා ජාත්‍යන්තර විචාරකයන්ගේ පැසසුමට ලක් වුවද චිත්‍රපටය මෙරට ප්‍රේක්ෂකයින්

ආකර්ෂණය කරගැනීමට අපොහොසත් වූ අතර එය බොක්ස් ඔෆිස් වාර්ථා අතරට යාමට සමත් නොවිණ.

"සංදේශය” සහ “කුරුළු බැද්ද” වැනි චිත්‍රපට නිර්මාණය කිරීමට උත්සාහයන් දැරීමට පෙර 1960 ගණන්වල

මුල් භාගය දක්වාම ඉන්දියාවෙන් ණයට ගත් සූත්‍ර කථාන්තරයන් අනුගමනය කරමින් චිත්‍රපට නිර්මාණය

කිරීම සිදුකෙරිණි.

1964 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් නැවතත් ශ්‍රී ලාංකේය සිනමාවේ අභිවර්දනයට දායක වූයේ චිත්‍රාගාරයෙන්

පිටතදී ගීතයක්ද අන්තර්ගත නොකොට රූගත කළ පළමු සිංහල චිත්‍රපටය ලෙස "ගම්පෙරළිය" නිර්මාණය

කරමිණි. එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීම හේතුවෙන් ඉමහත් ප්‍රශංසාවට ලක්

වූ අතර විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් විසින් ද එකසේ පැසසුමට ලක් විය. ගම්පෙරළිය චිත්‍රපටය

වෙනුවෙන් එහි නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී රිදී මයුර

සම්මානයෙනද පිදුම් ලැබීම ශ්‍රී ලාංකීය සිනෙමාවේ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි. මින්පසුව 1960 දශකයේ

අග භාගයේ දී “සත් සමුදුර” ඇතුළු කලාත්මක සිංහල චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරන ලද්දේ මහාචාර්ය

සිරි ගුණසිංහයන් විසින් වෙන අතර කැමරාකරණයෙන් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් දායක විණි.

1970 දශකයේදී තවත් දක්ෂයින් කිහිප දෙනෙක් ඉදිරියට පැමිණි අතර ඉන්දියානු චිත්‍රපටවල ආභාශය රැගත්

කථා තේමාවන් මෙන්ම කතාන්දරයන් ඔස්සේ වාණිජ දාරාවේ සිනෙමාව අඛණ්ඩව වර්දනය විණි. 1972 දී

ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්ගේ "වැලිකතර" චිත්‍රපටය සිනමාස්කෝප් අනුපාතය යටතේ පුළුල් තිරයේ

ප්‍රදර්ශනය වුණු පළමු චිත්‍රපටයයි. "වෙස් ගත්තෝ" චිත්‍රපටයෙන් සාර්ථක ඇරඹුමක් ලබාගත් වසන්ත

ඔබේසේකරයන් 1979 දී "පළඟැටියෝ” චිත්‍රපටය ඇතුළුව තවත් විශිෂ්ඨ චිත්‍රපට රැසක් දායාද කරමින් ජනතා

ප්‍රසාදය දිනාගන්නා ලදි. මේ කාලයේ ඉදිරියට පැමිණි තවත් ප්‍රධාන අධ්‍යක්ෂවරයකු වන්නේ “බඹරු ඇවිත්”

සහ "අහස් ගව්ව" වැනි කෘතීන් තුළින් පූර්ණ සහ අර්දව නාගරීකරණය වූ යොවුන් ප්‍රජාවේ මානසික ආතතිය

විමසා බැලූ ධර්මසේන පතිරාජයනුයි. දේශීයව සුපතල කවියෙකු වන මහගමසේකරයන්ගේ එකම චිත්‍රපටිය

වූ "තුන් මං හන්දිය” ද 1970 දී තිරගත වුණු අතර එය ශ්‍රී ලාංකේය සිනමාවේ තවත් සුවිශේෂී සංදිස්ථානයකි.

1970 දශකයේදීම ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් ද සමාජයේ ගැටුම්කාරී

භූමිකාවන් පිළිබඳව විමර්ශනාත්මක නිර්මාණ ඉදිරිපත් කිරීම තුළින් ඉදිරියට පැමිණි අතර ඇය

සිනෙමාකරුවන්ගේ ප්‍රථම කාන්තා නියෝජනය වීමද කැපී පෙනුණි. “ගැහැණු ළමයි" සහ “ගඟ අද්දර” ඒවා

අතරින් ප්‍රමුඛ වේ.

ඉදිරි දශක කිහිපය තුළ තිස්ස අබේසේකර, චන්ද්‍රන් රත්නම්, ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, උදයකාන්ත

වර්ණසූරිය, එච්.ඩී.ප්‍රේමරත්න, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන

සිනෙමාකරුවන් කර්මාන්තයට නව ජීවයක් ලබා දීමට මහත්වෙහෙසක් දරණලදි. ඩී. බී. නිහාල්සිංහයන්

අතිදක්‍ෂ කැමරා අධ්‍යක්ෂවරයකු මෙන්ම සංස්කාරකවරයකු ද වූ අතර එබැවින් ඔහුගේ චිත්‍රපට සුවිශේෂ

ආකෘතියකින් සමන්විත වෙන අතර ඔහුගේ බොහොමයක් චිත්‍රපටවල සමාජයේ සූරාකෑමට ලක් වූ කාන්තාවන්

ප්‍රදාන ප්‍රස්තූතය විණි.

ප්‍රසන්න විතානගේගේ “පුරහඳ කළුවර” චිත්‍රපටය ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ හොඳම චිත්‍රපටවලින්

එකක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර විචාරකයන් සළකයි. විමුක්ති ජයසුන්දරගේ "සුළඟ එනු පිණිස"

චිත්‍රපටය 2005 කෑන්ස් සිනෙමා උළෙලේ ඇගයීමට පාත්‍ර විය.

අශෝක හඳගමයන් විසින් ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරාවට පැවතුණු සිවිල් යුද්ධය සමාජයේ මූලික තැනුම්

ඒකකය වෙන පවුල තුළ ගොඩනැගෙන මිනිස් අන්තර් සබඳතාවයන් කෙරෙහි කෙතරම් අහිතකර අයුරින්

බලපැවැත්වූයේද යන්න පිළිබඳව වඩාත් යථාර්ථවාදී ලෙස සාකච්ඡා කිරීමට පටන් ගත්තේය. එවැනි

ආන්දෝලනාත්මක කරුණු කාරණා හඹා යෑම සම්බන්ධයෙන් විවිධාකාර පාර්ශවයන්ගෙන් දැඩි විවේචන එල්ල වූ

අවස්ථාද නැතුවා නොවේ.

මෑත වසරවලදී ශ්‍රී ලාංකීය වීර කාව්‍යයන් මෙන්ම ඉතිහාස පුවත් පදනම් කරගත් “අබා", "මහරජ ගැමුණු"

සහ "ආලෝකෝ උදපාදි” වැනි දැවැන්ත පිරිවැයකින් යුත් වාණිජ දාරාවේ චිත්‍රපට විශාල සාර්ථකත්වයක්

අත්කරගෙන තිබීමද සුවිශේෂී කරුණකි. තවද පසිගිය වකවානුවේ පැවති Covid-19 වසංගතය හේතුවෙන්

චිත්‍රපට කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්වූවත් ඉන් අනතුරුව 2022 වසරේදී දැවැන්ත ආදායමක් ඉපැයීමට

ආදරනීය ප්‍රාර්ථනා” චිත්‍රපටයට හැකියාව ලැබුණි.

රුසියානු ආක්‍රමණයට

ලෝකය යුද්ධයකට ඇද දැමූ රුසියානු ආක්‍රමණයට අවුරුද්දක්.

මීට වසරකට පෙර, එනම් 24/02/2022 දින රුසියාව විසින් අසල්වැසි යුක්රේනයට එරෙහිව පූර්ණ ආක්‍රමණයක් දියත් කල අතර පුටින් ගේ එම ආක්‍රමණය දෙවන ලෝක යුද්ධයෙන් දශක ගණකාවකට පසු යුරෝපය නැවතත් මහාපරිමාණ යුද්ධයකට ගෙන ගියේය. එතැන් සිට වසරක් ගතවන විට දස දහස් ගණනක් මිනිසුන් මිය ගිය අතර යුක්රේනයේ නගර රැසක් සුන්බුන් ගොඩවල් බවට පත්වී ඇත. මිලියන ගණනක් යුක්රේන ජනතාව රටින් පලා ගියා. එක්සත් ජාතීන්ගේ ගණන් බැලීමට අනුව මේ වන විට මිලියන 13 කට වැඩි යුක්රේන ජනතාවක් ලොව පුරා සරණාගතයන් බවට පත්වී ඇත.

රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් පසුගිය වසරේ පෙබරවාරි 24 වන දින යුක්රේනයට සොල්දාදුවන් 200,000 ක් යැවූ විට ඔහු උපකල්පනය කලේ දින කිහිපයකින් කියෙව් අගනුවර වටලා එරට පාලනය පෙරලා දමා බලය අත්පත්කරගත හැකි බවයි. එහෙත් ආක්‍රමණයෙන් වසරක් ගතවන විටද පුටිංට සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාගත නොහැකි වූ අතර කීප වරක්ම අල්ලාගත් ප්‍රදේශ අතහැර රුසියානු හමුදා පසුබැසීමට තීරණය කලේය.

මේ වන විට යුද්ධයෙන් දෙරටේම සොල්දාදුවන් 175,000- 200,000 අතර ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තා වේ. රුසියානු ප්‍රහාර වලින් යුක්රේන සිවිල් වැසියන් 8000 ක් පමණ මියගොස් 13,000 පමණ තුවාල ලබා ඇත. ආක්‍රමණයේ මුල සිටම යුක්රේනය සමඟ සිටගත් ඇමරිකාව හා බටහිර රටවල් මෙම යුද්ධයෙන් කිසිවිටකත් යුක්රේනය පරාජය නොවිය යුතු බව තරයේ විශ්වාස කරයි. එම විශ්වාසයන් අනුව යමින් ඩොලර් බිලියන ගණනක යුධ ආධාර සැපයීමට මේ වන තෙක් එම රටවල් කටයුතු කර ඇත.

කෙසේ නමුත් යුද්ධයේ අවසානයක් මේ දක්වා පෙනෙන්නට නැත. යුක්රේනය විශ්වාස කරන්නේ සාමය ඇතිවීමට නම් රුසියානු හමුදා ජාත්‍යන්තරව පිලිගත් යුක්රේන දේශසීමා ඉක්මවා ආපසු යායුතු බවයි. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයද එම අදහසට පිටුබලයක් ලැබෙන පරිදි යෝජනා දෙකක් සම්මත කරගෙන ඇත. මේ වන විට චීනය මැදිහත්ව දෙරට අතර සාම සාකච්ඡා ආරම්භකිරීමට උත්සාහ කරන නමුත් චීනයේ අවංකභාවය පිලිබඳව යුක්රේනය සහ බටහිර සැක පළකරමින් තිබේ.

තිලාන් ජයසේකර

ඔයාගෙ කථාව ඔයාගෙ රටාවට ලියන්න

අවුරුදු 15 වයසැති එමානුවෙල් ප්‍රංශයේ අමියෙන්ස් හි පාසලක ඉගන ගන්නා කොලු ගැටයෙකි .39 හැවිරිදි බ්‍රිජට් මාරි ක්ලෝඩ් මැක්‍රෝන් ඒ පාසලේ නාට්‍ය ගුරුවරියයි .

එමානුවෙල් ඇගෙන් ඉගන ගත්ත නාට්‍ය කලාවක් නැහැ .ඔහු කලේ ඔහේ ඇස් වලින් ඇය දිහා බලාන හිතෙන් බොහො දුර යාම විතරයි.

මොහුගේ අනිසි බැල්ම විෂයට පරිබාහිර බව සහ බොහෝ බර බව මාරිටත් දැනුණා ,නමුත් මේ තමන්ගේ ලොකු පුතාටත් වඩා අවුරුදු දෙකක් බාල මේ හිච්චි teenage කොලුවා ගේ හෝමෝන විකාශන අවස්තාවක් යයි සිතා හිනැහී ඇය ඉවත බලාගත්තා .

දරුවන් තුන් දෙනෙකුගේ අම්මෙක් වුනු ඇයට එමානුවෙල් තවත් දරුවෙක් පමණයි කියා හිතෙන්න ඇති.

ඒත් වයසෙන් කුඩා මේ කොලුවාගේ හදවත නම් මහ විශාල එකක් උනා.

තමන්ගේ දරුවක් සේ ආදරෙන් තම හිස අත ගෑ මාරි ක්ලෝඩ් මැක්‍රෝන් හෙවත් තම ගුරුවරියගේ හිස ආදරෙන් සිඹින්න සහ ඇය තම පෙම්වතිය බවට පත් කරගන්න තවත් අවරුදු දෙකක් ඇතුලත් ඔහු සමත් වෙනවා .ඒක වෙච්ච විදිහ දන්නේ ඒ හදවත්ම පමණයි.

ඔන්න මේ හරියේදී ලංකා වාසී අපිට නම් ටොන් ගානක ප්‍රශ්න මතුවෙනවා .

අප්පෝ මුන් මොන ගුරුවරුද ? ඔව්වා හෙණගහන අපරාධ

ඒ නාකි ටීචර් පොඩි එකාව රවට්ට ගන්න ඇති.

කොල්ලව එයාගේ ලිංගික ඕන එපාකම් වලට හුරු කරගන්න ඇති.

ඔව්වා මානසික ලෙඩ 

මොකද ඔය පොඩි කොල්ලා ඒ ගෑණිව කසාද බඳියි කියල යෑ …බ්ලා බ්ලා බ්ලා …..

හැබැයි අපි එහෙම කිව්වට කතාවෙ අවසානය අපි හිතුවට වඩා ගොඩක් වෙනස් ..ඒක අමුතුම රහක් .

වෙන්න ඕන විදිහටම පවුල් වල හැමෝම මේ ආදරේට විරුද්ධ උනා .සමහරු හිනා උනා .එමානුවෙල් ගේ දෙමව්පියෝ මේ සම්බන්ධෙ  නවත්තන්න එයාලට කරන්න පුළුවන් ලොකුම දේ කළා, ඒ එමනුවෙල්ව වෙන පාසලකට මාරු කරපු එක , දෙමාපියන්ගේ පැත්තේ හිටගෙන බැලුවම ඔවුන් කලේ කල යුතු නිවැරදිම දේ උනත් , ඉස්කෝලේ වෙනස් කරපු පමණින් හදවත් වෙනස් වෙන්නේ නැති බව ඔවුන් දැන හිටියේ නැහැ .

එමානුවෙල් ඉස්කෝලෙන් යන්න කලින් මාරිට පොරොන්දුවක් වෙනවා ” මම කවදහරි බඳින්නේ ඔයාව තමයි ,ඔව් මම ඒක කරනවාමයි.

කොහොමත් වයසත් එක්ක මිනිස්සු හිතන පතන දේවල් වල හැඩය වෙනස් වෙනවා .මුහුකුරා යනකොට බලාපොරොත්තු වල ස්වරුපය වෙනස් වෙනවා .තිස් ගණන් වෙනකොට විසි ගණන් වලදී හිතිච්ච දේවල් මතක් වෙද්දීත් සමහරවිට හිනා යනවා,

අනික සමහර වෙලාවට ආදරේදී පොරොන්දු කියන්නේ ඇස් දිහා බලන් ඉන්නකොට ඔහේ කියවෙච්ච දේවල් විතරයි ,එව්වා ඉෂ්ට කරන්න බෑ කියල හොඳටම දැන දැන උනත් පපුවේ බල කිරිල්ලට ඔහේ කියල දානවා .

තමාට වඩා දශක දෙක හමාරකින් බාල තම ගැටවර පෙම්වතාගේ මේ පොරොන්දුව ගැනත් ඇයට එහෙම හිතෙන්න ඇති.

නමුත් වෙන්නෙ ඒක නෙමයි .

පොරොන්දු වෙච්ච විදිහටම ඔහු ඇයව විවාහ කරගන්නවා .

ඔහුට වයස අවුරුදු 30දී ඇයට වයස අවුරුදු 54 දී දෙමව්පියන්ගේ කැමැත්තත් අරන් ප්‍රංශයේ තවත් සොඳුරුතම ප්‍රේම වුර්තාන්තයක් අනාගතයට දායාද කරමින් එමානුවෙල් මැක්‍රෝන් බ්‍රිජට් මාරි ක්ලෝඩ් මැක්‍රෝන් හා විවාහ වෙනවා .

අත්දැකිම් බහුල ඇයගේ බහුශ්‍රුත ප්‍රේමය ඔහුව බොහෝ දුර ගෙනියනවා .

ඔහු තමයි වර්තමාන ප්‍රංශයේ ජනාධිපති .

දැන් ඔහුට අවුරුදු 43 යි ඇයට 67යි ..ඒත් අදටත් ඔවුන් ආදරෙන් ඉන්නවා .ඉමනුවල්ගෙන් එයාගෙ  බිරිඳ ගැන ඇහුවම ” මේ සියල්ලම ඇය වෙනුවෙන් ,ඇය තමා මගේ සියල්ලම ,ඇය නැත්තම් අද  මම මෙතන නැහැ ..” කියල ඔහු හරි ආඩම්බරයෙන් අදටත්  කියනවා. 

                              ………………

පොඩි කතාවක කොටස් දෙකක් රඟපාපු ගමන් , රස්සාවක ප්‍රමෝෂන් එකක් හම්බෙලා අතට කීයක් හරි වැඩිපුර හම්බෙච්ච ගමන් හරි නැත්තන් ළමයෙක් දෙන්නෙක් හම්බෙලා ටිකක් බඩ කඳ ආරපු ගමන් තමන් එක්ක මුල ඉඳන් කට්ට කාපු ගෙදර ගෑණි ව අමතක කරලා , ඒ ගෑණි ට ලෝකෙ නැති චෝදනා කරලා අත ඇරල දාන පිරිමින්ට එමානුවෙල් උඩ පැනලා කණට ගැහුවා. 

වයස වැඩි කෙනෙක් බැඳලා , ඒක ලෝකයා දැනගනියි කියල බයේ ,උප්පැන්න වෙනස් කරන්න ,උපන් දින වෙනස් කරන්න ට්‍රයි කරන , තමන්ට වඩා වැඩිමල් තමන්ගේ වයිෆ් ගේ වයස හංගන්න අසහාය උත්සහයක් ගන්න , ඇත්ත පිළිගන්න බය පවුර්ශයෙන් හීන සමහරක් ටත් වයස කියන්නේ එච්චර අමාරුවෙන් හංගන්න ඕනේ නැති තවත් එක නොම්මරයක් විතරයි කියල මේ කතාව දැක්කම වත් තේරෙයි.

තමන්ට වැඩිය වයසින් වැඩි හරි අඩු හරි මොකක් හරි කමක් නැහැ , විවාහයට තෝරාගන්න ඕනේ තමන්ව සතුටෙන් තියන්න පුළුවන් කෙනා ,සහ තමන්ට සතුටෙන් ඉන්න පුළුවන් කෙනා ,

ඒ නැතුව ලෝකෙට ලස්සනට පෙන්නන්න පුළුවන් කෙනා නෙමෙයි.ලස්සන තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි තමන්ගෙම ඇස්වල.

ඔයාලා අගමැති වෙන්න හිතාගෙන ගව්රවනීය ගුරුවරුන්ට ආදරේ කරන්න, විවාහ කරගන්න හිතන්න ඕනෙ නැහැ,  ලෝකේ දියුණු රටක පොරක් මොනවහරි  කලාම ඒ ගැන අගය කලාට ,අල්ලපු ගෙදර සුමනසිරි ගේ කොල්ලා අඟලක් උස කෙල්ලෙක් බැන්දම ගම පුරා ගතු කියවන්නේ නැතුව , දික්කසාද වෙච්ච නිළියයක් අයෙ බැන්දම එයාලට චරිත සහතික දෙන්න යන්නෙ නැතුව , දුවගෙ පෙම්වතා ගෙදරට එන්නත් කලින් හඳහන් කොපිය ඉල්ලන්නේ නැතුව අපිත් එමානුවෙල් වගේම ආදරණීය මිනිස්සු බව ප්‍රයෝගිකවම පෙන්නන්න අපිට පුළුවන් .

ජීවිතේ කියන්නේ අමුතුම රහක් ..ඒක එක එක්කෙනාට දැනෙන්නේ එක එක විදිහට , තමන්ට දැනිච්ච විදිහට තමන් විඳින විදිහටම අනිත් අය ඒක විඳින්න ඕනේ කියල එකක් නෑ .අනුන්ගේ කථා ඇතුලට  එළියෙන් ඉඳලා ඇඟිලි ගහල ඒවෑ රහ කියන්න අපි කාටවත් බෑ .

මොකද එමානුවෙල්ගෙ කුළේ මිනිස්සු ලෝකෙට ඕන විදිහට ජීවත් වෙන්නේ නැහැ .ඒ ගොල්ලෝ ඒගොල්ලන්ගේ ක්‍රමේට ජීවිතේ විඳිනවා .වෙන්න ඕනේ ඒකයි ,තමන්ට දැනෙන විදිහට, තමන්ට දැනෙන තැනක රහට  ජීවිතේ විඳින එක විතරයි .

ඔයාගෙ කථාව ඔයාගෙ රටාවට ලියන්න, එතකොට කැමති අය කියවාවි, අනිත් අය විඳවාවි..එච්චරයි 

අනිශා ජයකොඩි ✍️

හොඳටම ලීක් කරගත්ත III වන චාල්ස් රජතුමා

කාලෙකට කලින් චාල්ස් කුමාරයා ලීක් කරගත්ත කෝල් එකක් ගැන මේ දවස් වල එංගලන්තයේ මිනිස්සු ආයෙත් කතා වෙන්න පටන් අරගෙන. කෝල් රෙකෝඩින් තියා මං හිතන්නේ මොබයිල් ෆෝන්වත් හරියට නැති කාලෙක චාල්ස් කුමාරයා ලීක් කරගත්ත කෝල් එක ගැන ආයෙත් මිනිස්සු උනන්දු වෙන්න පටන් ගන්නේ Netflix හී විකාශනය වන ‘The Crown’ season five එකේ ඒ කෝල් රෙකෝඩිං එක ගැන කතාංගයක් නැවතත් ප්‍රචාරය වීමත් එක්ක.

Camillagate නමින් ප්‍රචලිත මේ සිදුවීම සිද්ද වෙන්නේ 1989 දි. නත්තල් ආසන්න දිනක දෙසැම්බර් මාසයේදී. ඒ වෙනකොට චාල්ස් කුමාරයා විවාහකයි. ඒ ඩයනා කුමරිය සමඟ. කැමිලා පාකර් කියන්නත් එවකට විවාහක කාන්තාවක්. ඒ බ්‍රිගේඩියර් ඇන්ඩෲ පාකර් සමඟ. දෙදෙනා අතර දුරකථන සංවාදය පටන් ගන්නේ චාල්ස් කුමාරයා ඉදිරි දිනකදී ඔක්ස්ෆර්ඩ් හීදී පැවැත්වීමට නියමිත කතාවක් ගැන. ඒ ගැන ඔහු ටිකක් චකිතයකින් පසුවන බව ඔහු කැමිලට කියනවා. කැමිලා ඔහුට ඒක කරන්න පුළුවන් කියලා ඔහුව දිරිගන්වනවා.

ඒත් ටික වේලාවකින්ම දෙදෙනා අතර දුරකතන ඇමතුම බොහොම සරාගික තැනකට යනවා. චාල්ස් සහ කැමිලා නව යොවුන් පෙම්වතුන් දෙදෙනෙකු මෙන් කතා කරන්න පටන් ගන්නවා. ඇතනදි ඔහු ඇයට කියනවා මට ඔබගේ කලිසම ඇතුලේ ජීවත් වෙන්න හිතෙනවා කියලා. ඇය එතකොට ඔහුගෙන් අහන්නේ ඔයාට පෑන්ටියක් එහෙම නැත්තම් මගේ යට ඇඳුමක් වෙන්න ඕනිද කියලා . චාල්ස් ඒකට පිළිතුරු දෙන්නේ නෑ මට නිතර උඩ පහළ යන්න පුළුවන් වෙන ඔයා පාවිච්චි කරන ටැම්පොන් එකක් වෙන්න ඕනි කියලා. 

දෙදෙනා අතර ඒ තරම් සරාගිකව සිදුවූ අතිශය පෞද්ගලික දුරකථන ඇමතුම එලියට ආවේ කොහොමද? නැත්නම් රෙකොඩ් කලේ කවුද. ඇත්තටම එම දුරකථන ඇමතුම රෙකොඩ් කරලා තිබුනේ ලන්ඩන් නුවරින් ඉතා ඈත ගම්බදව ජීවත් වූ පුද්ගලයෙක්. ඔහු රේඩියෝ සහ පටිගතකිරීමේ උපකරණ සහිතව රේඩියෝ සංඛාත අතර ටොංගල් කරමින් ඉන්න අතරේ හදිසියේම චාල්ස් කුමරුගේ කටහඬ අඳුනාගෙන ඉතා ඉක්මනින්ම ඒ ඇමතුම පටිගත කරන්න පටන් ගන්නවා.

ඒක ඉතා අහඹු සිදුවීමක් උනත් රාජකීය පවුලේ ඉතිහාසයේ ඉතා තදින් සනිටුහන් වෙච්ච කලු පැල්ලමක් බවට එම දුරකථන ඇමතුම පත්වෙනවා. ඒ ඇමතුම පටිගත කරපු පුද්ගලයා ඊට පහුවෙනිදාම එම කැසට් එකත් අරගෙන ලන්ඩන් නුවරට එනවා. ඇවිත් එවකට බ්‍රිතාන්‍යයේ දැවැන්තම පුවත්පත වෙච්ච ඩේලි මිර පුවත්පතට ඒ කැසට් එක විකුණනවා.

පුවත්පත එම චාල්ස් කුමරුගේ හඬ සහිත කැසට්පටය මිලදීගත්තත් එහි කතෘවරයා ඒ වෙලාවේ ඒ හඬපටය ගැන පුවතක් පලනොකිරීමට හෝ එය ප්‍රසිද්ධියට පත් නොකිරීමට තීරණය කරනවා. ඒ එම පුවත මාධ්‍යයේ පළ කිරීමත් සමඟ ඒ මත චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය අතර විවාහය දෙදරා ගියහොත් රාජකීය විවාහයක් කඩා ඉහිරවීමේ වගකීම පුවත්පත මතට පැටවෙන නිසා. 

කෙසේ නමුත් චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය සිය වසර 11 ක අසාර්ථක විවාහ දිවිය අවසාන කරමින් 1992 වසරේදී වෙන්වෙන්න තීරණය කරනවා. මේ පිලිබඳව රටට කියන්න එවකට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ජෝන් මේජර් ඒ එම වසරේ දෙසැම්බර් 9 වනදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා විසින් අනාගත රජුගේ විවාහයේ අවසානය ප්‍රකාශ කරනවා. 

ඒ එක්කම වගේ එතෙක් කලක් රහසක්ව පැවති චාල්ස්- කැමිලා දුරකථන ඇමතුම ගැන බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වල පලවෙනවා. එහෙම සිදුවීමක් සිදුවූ බවත් ඒ ඇමතුම පටිගත වී ඇති බවත් සාරාංශගතව මාධ්‍ය වල පලවීමත් එක්ක රටේම මිනිස්සුන්ගේ මෙන්ම රාජකීය පවුලේ අවධානයත් මේ ඇමතුම වෙත යොමු වෙනවා.

පසුව 1993 වසරේ සම්පූර්ණ දුරකථන ඇමතුම ඕස්ට්‍රේලියාවේ පලවන සඟරාවක් සම්පූර්ණ දුරකථන ඇමතුමේ විස්තරයක් මාධ්‍ය වල පලකිරීමත් එක්ක ලොව පුරා රටවල් කිහිපයකම පුවත් පත් චාල්ස් කැමිලා සරාගික දුරකතන ඇමතුම ඒ වචන වලින්ම සිය පුවත්පත් වල පල කරනවා.

අවසානයේදී ඒ හඳපටය මිලදීගත් මිර්ර පුවත්පත සමන්ගේ සති අන්ත Sunday Mirror පුවත්පතේ දෙදෙනා අතර සිදුවූ දෙබස ‘Camillagate’ නමින් ඒ විදියටම පළ කරන අතරම තමන් සතුව තිබූ හඬපටය ප්‍රසිද්ධ කරන්නත් තීරණය කරනවා. තමන්ගේ ඒ තීරණය සාදාරණිකරනය කරන පුවත්පතේ කතෘවරයා කියන්නේ තමන්ව කියවන මිලියන 9කට අධික පාඨකයන්ට රටේ අනාගත රජුගේ ක්‍රියාකලාපය ගැන දැනගැනීමට තියෙන අයිතිය තහවුරු කිරීම පුවත් පතේ අයිතියක් කියක එක.

ඔන්න ඔහොමයි කාලෙකට කලින් චාල්ස් රජතුමත් ලීක් කරගත්තේ.

Thilan Jayasekara