සුදුපාට අවස්ථාවාදියෙක් වෙන්න

අද උදේ බස් රථයේ ගමන් කරන විට එක්තරා ගුවන්විදුලි චැනලයක ඇහුණ මෙන්න මේ දේ නිසා ලියන්න හිතුන කරුණක් මේ. 

     එක්තරා ස්ථානයක තිබුණු කිලෝ මීටර් ගණනක ඉන්ධන පෝලිමක සිටි එක්තරා පුද්ගලයෙකු පෝලිමේ ඉන්නා අනෙක් අයගෙන් “කෑවද” යන්න විමසමින් ගමන් කර ඇති බවත් , ඒ වන තෙක්ම කෑමක් නොගෙන පැය ගණනක් පෝලිමේ සිටි අය තමන් හා එකතු කරගෙන ඔහු නිවසින් ගෙනා එකම බත් පැකට්ටුව බෙදාහදාගෙන ආහාරයට ගත් බව එහි සඳහන් වුණා.

      ත්‍රීරෝද රියැදුරෙකු වූ ඔහුගේ මෙම ක්‍රියාව පැසසුමට ලක් කරන්නට වටිනා එකක් බව පැහැදිලිවම සඳහන් කළ යුතුයි. “අවස්ථාවාදියෙකු” යන වචනය ඇහෙද්දිම අපගේ මනසට ඇතුල් වන්නේ කලු චරිතයකි. නමුත් තමන් මෙන්ම අසීරු අවස්තාවක සිටින්නා වූ අනෙක් අය ගැනද සිතමින් තමන් සතු දෑ බෙදාගන්නා මෙවන් අය අනිවාර්යයෙන් ම “සුදු පාට අවස්ථාවාදීන්” වන්නේය.

     ඔබට හැකි සෑම විටම සුදුපාට අවස්ථාවාදියෙකු වන්න. ඔබ භාණ්ඩ මිළදි ගන්නා වෙළඳ පලේ ඉතිරිව ඇති සියලුම සබන්කැට  මිළදී ගන්නා,  අවස්ථාවාදියෙකු නොවන්න. 

      එදා වේල සරි කරගන්නා අසරණ මිනිසෙකු වෙනුවෙන් , යමක් කමක් කරගත හැකි ඔබගේ කුඩා අවශ්‍යතාවයක් කැප කරන්න. ඔබගේ දරුවන් වෙනුවෙන් මිළ දි ගන්නා අමතර “අත්‍යාවශ්‍ය නොවන” ආහාර වර්ග වලින් කොටසක් කැප කර මේ අසීරු වකවානුවේ බත් ඇටයක් ඇහැටවත් නොදකින දහස් ගණනක් දරුවන්ගෙන් කෙනෙක් වෙනුවෙන් යුතුකමක් ඉටු කරන්න.

     ඔබේ නිවසේ අමතරව වැය වන අනවශ්‍ය සියලු විදුලි බුබුලු හැකි සෑම වේලාවකම

නිවා දමා දහසක් රටවැසියන් වෙනුවෙන් විදුලිය බිඳක් හෝ ඉතිරි කරන්න.

    ඔබේ දරුවන් පුරුදු වී ඇති ජීවන රටාව මදක් හෝ වෙනස් කර ඔවුනට රටේ වාතාවරණය පිලිබඳව කියා දෙන්න. ඔවුන්ගේ ඉල්ලීම් කෙතරම් වුණත් ඒවායේ අත්‍යාවශ්‍ය බව අනුව ප්‍රමුඛත්වය දෙන්න.

       ඔබේ වාහනයට ඉන්ධන තිබේ නම් මහමහ අසරණ වූ කවුරුන් හෝ ඈත්නම් ඔබට ඔවුන්ට ප්‍රවාහණ පහසුකම් ලබා දියහැකි වාතාවරණයක් ඇත්නම් එය දෙන්න.

    මොන යම් අවස්තාවකදී වුවද ඔබට අන් අයෙක් වෙනුවෙන් පෙනී සිටිනනට හෝ උදව් කරන්නට හැකි නම් දෙවරක් නොසිතා එය කරන්න. මනුස්සකම වපුරන්නටත් , හොඳම හා අවශ්‍යම කාලයක් මේ.

        අවස්තාවාදීන් බොහොමයක් මැද ඔබ “සුදු අවස්ථාවාදියෙක්” වෙන්න.


දිගැසි පබසරා අමරසිංහ

නායකත්වය හෙට නෙවේ අදම ලබා ගමු

නායකත්වය යනු යම්කිසි පොදු අරමුණක් ඉටු කර ගැනීමට තව පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට කරන බලපෑමක් ලෙස සාමාන්‍යයෙන් නිර්වචනය කරන්න පුළුවන්. මේ නායකත්වය දරන නායකයා ඒ අදාළ කණ්ඩායමේ බලවත් ස්ථානය නිතැතින්ම හොබවන අතර, වර්තමානය වන විට නායකත්වය සඳහා තරුණ තරුණියන් තෝරා පත් කර ගැනීමට වැඩි වශයෙන් පෙළැඹෙන බවක් පෙන්නුම් කරයි. නායකයන් හට නිතැතින්ම අනුගාමිකයන් පිරිසක් සිටින අතර එසේම ඔවුන්ට අනික් අයට බලපෑමක් කළ හැකියි. වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක්ලවා යම් කිසි කාර්‍යක් කරවා ගැනීමේ හැකියාව නායකත්වයට පවතියි. මේ අනුව බලන කල නායකත්වය යනු යම් සුවිශේෂී සමාජ තත්ත්වයක් බව පැහැදිලි වේ.

වත්මන් සමාජයේ තරුණ තරුණියන් හට මේ නායකත්වය දැරීම සදහා පවත්නා ඉඩකඩ වැඩිය. ඔවුන්ට පවත්නා ඉල්ලුමද වැඩිය. මෙනිසාම තරුන තරුණියන් හට සමාජය තුළ ජීවත් වීමේදී නායකත්ව කුසලතා ඔප්නැංවීම වැදගත්. එවිට අවශ්‍ය අවස්ථාවලදී මේ තරුණ තරුණියන්ට නායකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව පවතී. මෙනිසා වැඩිහිටි පරපුරට තම බාල පරපුර නායකත්ව ගතිගුණවලින් හෙබි තත්ත්වයට පත් කිරීමේ වගකීමක් ඇත. තවද ඒ සඳහා තරුණ පරපුර පුහුණ කිරීම් වැනි දෑද සිදු කළ හැකිය.

එසේම නායකත්වය දරන පුද්ගලයෙකු තුළ ප්‍රධාන වශයෙන්ම තිබිය යුතු ලක්ෂණ තිබෙනවා. ‘ඔහු/ඇය උපතින්ම නැත්නම් ස්වභාවයෙන්ම නායකයෙක්’ යමෙක් පෙරමුණ ගෙන වැඩ කරද්දී ඔබේ කණට මෙවැනි වදන් ඇසී තිබෙන්නට පුළුවන්. නායකත්වය සඳහා අනුගාමිකයින් පිරිසක්ද අරමුණකට අරමුණු කීපයක්ද තිබිය හැකිය. මේ පිළිගැනීමට අනුව නායකයෙක් තුළ විශේෂිත නැත්නම් සුවිශේෂිත ගති ලක්ෂණ තිබිය යුතු යැයි සමාජය පිළිගන්නාවූ කාරණයක්. ඒවා සුලබ කාරණාවන් වූවත් එයින් කීපයක් ලෙස පෞරුෂත්වය, කථිකත්වය, නොසිතාම කැපී පෙනෙන ලෙස කටයුතු කිරීම, ආත්ම විශ්වාසය, ආධිපත්‍යය ආදී ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ ගති ලක්ෂණ තරුණ පරපුරේ දක්නට ලැබෙන්නා වූවත්; ලැජ්ජාශීලීකම නිසා මේ ගුණාංගයන් යටපත්වූ අවස්ථාවන්ද තියෙනවා. එනිසා මේ ගුණාංගයන් ඔප්නංවා ගැනීමට අප තරුණ තරුණියන්ට මග පෙන්විය යුතුයි.

නායකයින් ගත් කල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. තමන් දරන තත්ත්වය අනුව වන නායකත්වය හා මතුවී එන නායකත්වය යනු ඒ ආකාර දෙකයි. කණ්ඩායම් නායකයින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් මෙයට කදිම නිදසුන්. හේතුව නම් මෙහිදී තමන් දරන තත්ත්වය අනුව වන නායකත්වයක් මෙහිදී දක්නට ඇත. යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට බලපෑමක් කළ හැකි පුද්ගලයා ‘මතුවී එන නායකයා’ වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙහිදී ඔහුගේ චර්‍යාවන් සෙස්සන් පිළගත යුතුයි. ඔහුගේ/ ඇගේ පෞරුෂයද මෙම කැපී පෙනෙන නායකත්වයට හේතු සාධක වෙයි. මේ නායකත්වය අපට බොහෝ විට දේශපාලනයේදී දක්නට ලැබේ. එහිදී තරුණ තරුණියන් දේශපාලනයට ප්‍රවිශ්ට වන්නේ මෙම මතුවී එන නායකයන් ආකාරයෙනි.

නායකත්වය හා බලය එකිනෙකට සම්බන්ධිත තත්ත්වයන්. බලය කියන්නේ යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට බලපෑම් කිරීමට නායකත්වයට, නායකයාට, පුද්ගලයෙකුට පවතින හැකියාව හෝ ශක්තියයි. වෙනත් අයගේ විශ්වාස, ආකල්ප කෙරේ බලපෑම් කිරීම හැකි පුද්ගලයා, බලසතු පුද්ගලයෙක් වශයෙන් සමාජයේ පිළිගන්නා කාරණයක්. ඇමතිවරුන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් ආදී පිරිස මේ සඳහා ගත හැකි නිදසුන්.

බලය පස් වැදෑරුම් වශයෙන් පර්‍යේෂකයින් විශ්ලේෂනය කරනවා. ඒවා පහත පරිදි දක්වන්න පුළුවන්. ඒවානම් ‘උපදේශන බලය’ යනු උපදෙස් දීම සඳහා පවත්නා බලයයි. ‘ඒකාධිපති බලය’ ලෙස බලයෙන් පාලනය කරන්නන් දැක්විය හැකියි. ‘නීත්‍යනුකූල බලය’ ලෙසින් කිසියම් තනතුරක් නිසා ඇති වන්නාවූ බලය දැක්විය හැකියි. අන් අය තමන් වෙත යොමු කර ගන්නා ආකර්ෂණීය බලය ‘පෞරුෂත්වය නිසා ලැබෙන බලය’ වන අතර යම් විෂයක් පිළිබඳ ප්‍රාගුණ්‍යත්වය නිසා ලැබෙන්නාවූ බලය ‘විශේෂණ බලය’යි. මේ ආකාරයෙන් බලයන් ආකාර පහක් අද සමජගතව පවතින අතර මෙම බලයන් දරන අයට අනෙක් කෙනෙකුගේ ආකල්ප, චර්‍යාවන් හා වටිනාකම් වෙනස් කිරීමට ශක්තියක් හෝ හැකියාවක් ඇති වේ. තවද බලය ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්නා මෙවලමක් බවට පත්ව ඇත. මෙනිසා තරුණ තරුණියන් නිවැරැදි ලෙස නායකත්වය හා බලය පරිහරණය සඳහා යොමු කිරීම වැදගත්.

තරුණ පරපුර නිවැරදි නායකත්වයට යොමු කිරීම මෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුනට වහාම බලය ලබාදී කටයුතු කිරීමට ඉඩ සැලැස්වීමෙන් ඔවුන්ගේ නායකත්ව හැකියා ප්‍රවර්ධනය කිරීමත් රටක් වශයෙන් ඉතාමත් වැදගත් කරුණක් බව සියල්ලෝම සිත්වල තබා ගෙන, නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැදගත් වේ.

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

කිසිවිටෙකත් අතනොහරින්න..

එක රළක් බිඳෙන මෘදු බව දැක මහ මුහුදම දුර්වල යැයි නොසිතන්න…..

“කිසිවිටෙක අත්නොහරින්න.”යනු  කුමන තත්වයකට කුමන තරාතිරමක දේකට මුහුණ දුන්නත් තම ජීවිතය දරාගෙන සිටිය යුතුය යන තේමාවයි දුෂ්කරතා හා සටන් කරමින් පොරබඳින්නේ නම් ඔහු හෝ ඇය තම ජීවිතයේ නිසැකවම සොයන දේ  සොයාගැනීමට හැකියාව ලැබෙයි.ඒ මන්දයත් ඔවුන් සටන් කරන්නෙ කටුක පොළවක වුවද පසුව පය තබන්නේ තණ පලසක බැවිනි.

අසාර්ථකවීම කිසිවෙකුට කඩා වැටීමට හෝ ජීවිතේ අඩියට වැටීමට හේතුවක් නොවේ.මොන යම් ක්‍රියාවක දී හෝ අසාර්ථක වුවද ඔබ නැවත නැගී සිට එය කළ යුතුය.නමුත් ඕනෑම අවස්ථාවක එක පිට එක කඩා වැටීමක දී වුවද ඔබ කිසිවිටෙකත් ඔබේ සිහින අත් නොහැරිය යුතුය.,

ඔබ කිසි විටෙක තම අරමුණු,සිහින අත් නොහැරිය යුතු අතර ජීවිතයට එන ඕනෑම අරගලයක් කිසි විටෙකත් අත් නොහැරිය යුතුය,කෙසේ හෝ ඒවා ජයග්‍රහණය කළ යුතුය.කිසිවිටෙක අත්නොහැරීම සමාජයේ බොහෝ දෙනකුට නැති ගුණාංගයකි.( “Never give up”)ආකල්පය තිබේ නම් ඔබට කළ නොහැක්කක් නොමැත.මෙම ගුණය සැම අතින්ම අපට උපකාරී වේ සෑම කෙනෙකුම තම සිතේ තබාගත යුතු දෙයක් නම් මේ මුළු මහත් ලෝකයේම කිසිවක් සර්ව සම්පූර්ණ කෙනෙකු නොමැති අතර,කිසිවක් කිසිදා සර්ව සම්පූර්ණ නොවේයි.සෑම කෙනෙකුන් අතින්ම වැරදි වේ නමුත් ඔවුන් එම වැරදි යලි වතාවක් තමන් අතින් සිදු නොවන ලෙසට වග බලා ගන්නේ නම් ඔබේ සිහින ඉලක්ක  ඔබට පහසුවෙන් සාක්ෂාත් කරගත හැකිය,.

ඔබේ අතින් සිදුවන කුමක් හෝ අතපසුවීමක් වැරැද්දක් නිසා ඔබේ සිහින , ඉලක්ක ඔබ අත්හරින්නේ නම් ඔබ කිසිවිටෙකත් ඉලක්ක හෝ සිහිනයක් නොතිබුණු කෙනෙකි. ඒ මන්දයත් කුමන බාධාවක් ආවත් සිහිනය හඹා යන තැනැත්තා කිසිවිටෙක තම සිහිනය අත්නොහරියි.

ඔබ ඔබේ ඉලක්ක සිහින සඳහා වෙහෙස මහන්සි වීමේදී. ඔබට වඩා තව කෙනෙකුන් ඉදිරියට යන්න උත්සාහ කරනවා නම්,ඔබ තීරණය කළ යුතුය. ඔබ විසින් ඔබේ සිහින අත්හරිනවා ද, නැතහොත් සටන් කර දිනනවාද යන්න.

ඔබ සිහින,ඉලක්ක,අරමුණු කරා යන ගමනේදී  ඔබට මුහුණ දීමට සිදුවන කුමන තරාතිරමක බාධාවට,ගැටලුවකට,අරගලයකට,වැරදීමක්මට,අතපසුවීමට   පොරබදිමින් සටන් කර ඒය ජයග්‍රහණය කරනවා මිස;ඔබේ ජීවිතය කිසි විටෙකත් අත් නොහැරීමට වගබලාගන්න….

එක රළක් බිඳෙන මෘදු බව දැක මහ මුහුදම දුර්වල යැයි නොසිතන්න…..

සටහන,නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ…

ඔයාගෙ Comfort Zone එකෙන් මිදෙන්නෙ කවද්ද?

‘අනේ මට නම් හරිම කම්මැලියි’, ‘අනේ මට නම් එහෙම වැඩ කරන්න බෑ මහන්සියි’, ‘ඇයි ඔයා ඔච්චර මහන්සි වෙන්නෙ?’ ……

වගේ කතා ඔයත් ඔයාගෙ ජීවිතේ ඕනි තරම් අහලා ඇති. ඔයා අනිත් අයටත් කියලා ඇති. ඇයිඅපිට මෙහෙම හිතෙන්නෙ. හිතන්න මොළයක් තිබෙන ඕනිම සත්ත්වයෙක් කැමතියි අයිස් ගහන්න. ඒ කිව්වෙ වැඩ නොකර හරිම පහසුවට ඉන්න. ඒකෙනුත් මේ වැඩේ නියමෙටම කරන්නෙ මනුස්සයා කිව්වොත් මම හටියටම හරි. ඇත්තටම අපි සැප පහසුවට ඉන්න හොඳ නැද්ද වගේ දෙයක් ඔයාගෙ හිතට යන්න පුළුවන්. සැප පහසුවට ඉන්න. ඒත් ඒක ඔයාගෙ සාර්ථකත්වයට යන ගමනට බාධාවක් කර නොගෙන ඉන්නෙ කොහොමද? ඒකට මොනවද කරන්න ඕනි කියලා තමයිනපිබද සාකච්චා කරන්නෙ.

මොකක්ද මේ Comfort Zone එක කියන්නෙ? අපිට සැපපහසුවක් දැනෙන පරාසය අපි මේ දිදිහට හඳුන්වනවා. මේකෙදි අපි කැමතියි කාලා බීලා, හොඳට නිදාගෙන බොහෝම සැප පහසුවෙන් ඉන්න. ඒ එක්කම Risk එකක් ගන්න අකමැත්තත් තියෙනවා. ඒ හින්දා අලුත් අලුත් අත් හදාබැලීම් කරන්න පෙළඹෙන්නෑ. ඒවට බයයි. ඒ නිසාම ඒ වගෙ අය ළිඳේ ඉන්න මැඩියෙක්ට සමාන කළත් වරදක් නැහැ. මොකද ඒ අය දකින්නෙ තමන් වටේ තියෙන බොහෝම සුළු පරාසයක්. එතනින් එහාට හිතන්න වගේම රිස්ක් එකක් අරන් දෙයක් කරන්න පුදුම බයක් තියෙන්නෙ.

අපි මොළයක් තියෙන හොඳින් හිතලා මතලා වැඩ කරන්න පුළුවන් අය විදිහට මේ Comfort zone එකෙන් එළියට ඒම කියන්නෙ ජීවිතේට අත්‍යවශ්‍යය දෙයක්. ඔයාට දියුණුවෙන්න ඕනි නම් අනිවාර්‍යෙන් ම කරන්න ඕනි දෙයක්. එහෙම නැතුව එක තැනක හිර වෙලා, කොටු වෙලා ඉන්නවා කියන්නෙ ම ඒක ඔයාගෙ දියුණුවට බාධාවක්. ඉතින් මේ Comfort Zone එකෙන් ඔයා මිදුණ දවසට තමයි ඔයාට ඔයාගෙ ජීවිතේ දියුණුවට යනවා කියලා හිතන්නවත් පුළුවන්.

දැන් අපි බලමු ඔයාත් මේ Comfort Zone එකේ හිර වෙලා නම් ඔයාගෙන් දකින්න ලැබෙන්න දීන ලක්ෂණ මොනවද කියලා. නිදාගන්න අසීමිතව කැමතියි, සැප කෑම බීම ජාති වලට ලොල් වෙලා ඉන්නෙ, ඒ වගේම කිසිම මහන්සියක් නොවී රස්සාවක් නොකර ඉන්න ගොඩාක් කැමතියි, රස්සාවක් කළත් නිකරුණේ ගත කරන වෙලාව වැඩියි, ඕනිම වැඩක් කරන්නෙ හරිම අලසකමින්, අනිත් ආශ්‍රය කරන අයත් කම්මැලි කරනවා, ඒ විතරක් නෙවෙයි නෙගටිව් දේවල් විතරයි කතා කරන්නෙත්. තව තවත් මේ ලක්ෂණ වැඩි වෙලා හිතන්න අලුත්දේවල් කරන්න පවා කම්මැලි වෙනවා. දවසේ වැඩි කාලයක් නිදාගන්නට ම යොමු වෙනවා. ඉතින් එහෙම කෙනෙක් දියුණු වේවිද? සාර්ථක වේවිද?

ඔයාගෙත් මේ ලක්ෂණ අඩුවෙන් හෝ වැඩියෙන් ඇති. ඇත්තටම අපි අපේ Comfort Zone එකෙන් එහෙම නැත්නම් කලින් කිව්ව දේවල් වලින් මිදෙන්නෙ කොහොමද? කියන්න හරිම පහසු ක්‍රමයක්. ඒ වගේ ම කරන්න ගියාම ගොඩාක් අමාරු ක්‍රමයක්. ඒ මොකක්ද ඒ? ඒ ක්‍රමය තමයි ‘ස්ථාවර සිතුවිලි’ ගොඩ නගා ගන්න එක. ඒ කිව්වෙ ඔය කලින් කිව්ව ලක්ෂණ වලට ප්‍රතිවිරුද්ධ සිතුවිලි අපේ යටි සිතට ඇතුල් කරන එක. මේක කරන්න පටන් ගන්නෙ කොහොමද කියලා අපි දැන් බලමු. මුලින්ම ඔයාට සාර්ථක වෙන්න නැත්නම් දියුණු වෙන්න ඕනි කියන සිතුවිල්ල නිතර නිතරම හිතන්න ඕනි. ඉඩක් ලැබෙන හැම වෙලාවකම. මුලදි මේක අමාරුයි. නමුත් දවස් කීපයක් කරද්දි අපේ මස මේ විදිහට ම හිතන්න හුටු වෙනවා. ඊට පස්සෙ හිතට එන නෙගටිව් සිතුවිලි ඒ කිව්වෙ දැන් නිදියන්න ඕනි, අනේ බඩගිනියිනෙ, මට මේක කරන්න පුළුවන් වෙයිද දන්නෑ….etc වගෙ සිතුවිලි හිතට එන හැම වෙලාවකම, ඒක අ විරුද්ධ විදිහට හිතන්න. මට බඩගිනි නෑ, මට නිදිමත නෑ තව ටිකක් වැඩ කරන්න ඕනි….etc වගෙ සුබ සිතුවිලි හෙවත් ධනාත්මක සිතුවිලි සිතන්නට පටන් ගන්න. මේකත් දවස් කීපයක් මනසට හුරු කරද්දි යටි සිතට ඇතුල් වෙනවා.

ඊට පස්සෙ ඔයාගෙ ධනාත්මක වෙච්ච යටි සිතෙන් ඔයාගෙ ඉදිරි බලාපොරොත්තු මොනවද?, ඒවට යන්නෙ කොහොමද කියලා හොඳට හිතලා Plan එකක් ගහගන්න. අමතක වෙන්න පුළුවන්නෙ. ඒ හින්දා ලියල ම තියා ගත්තත් කමක් නෑ. ඊට පස්සෙ step by step, අදාළ කාල වලදී plan එකට ව්ඪ කරන්න. ඒ වගේමයි අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න. අලුත් දේවල් හිතන්නත් වෙලාවක් ඒ කිව්වෙ දවසකට විනාඩි 5- 10ක් වත් වෙන් කරන්න. මෙහෙම ටික ෆ්හවසක් කරන් යනකොට ඔයාටම තේරේවි ඔයාගෙ හිතේ කලින් නොතිබ්බ විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඔයා කලින්ට වඩා උනන්දුවෙන් දැන් වැඩ කරනවා. ඔව්! ඔයාට සතුටු වෙන්න පුළුවන්. මොකද දියුණු වෙන්න ඔයා පටන් අරන්. ඉතින් මේ යන ගමනෙදි අමතක නොකර ඔයාට දියුණුවෙන්න වචනෙකින් හරි උදවු කරන අය ඔයා වටේට තියා ගන්නත්, එයාලගෙ උපදෙස් සහ උදවු ගන්නත් අමතක කරන්න එපා. ළිඳට වැටිච්ච එකා ගොඩට එන්න ඕනි ළිං කටෙන්ම යි. ඇවිත් ලෝකය දිහා බලන්න. වේගෙයෙන් දියුණු වෙනවා. ඒකට අනුලෝමව අපිත් දියුණු වෙන්නට අවශ්‍ය යි. ඔබට ජය!

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology