රුසියානු ආක්‍රමණයට

ලෝකය යුද්ධයකට ඇද දැමූ රුසියානු ආක්‍රමණයට අවුරුද්දක්.

මීට වසරකට පෙර, එනම් 24/02/2022 දින රුසියාව විසින් අසල්වැසි යුක්රේනයට එරෙහිව පූර්ණ ආක්‍රමණයක් දියත් කල අතර පුටින් ගේ එම ආක්‍රමණය දෙවන ලෝක යුද්ධයෙන් දශක ගණකාවකට පසු යුරෝපය නැවතත් මහාපරිමාණ යුද්ධයකට ගෙන ගියේය. එතැන් සිට වසරක් ගතවන විට දස දහස් ගණනක් මිනිසුන් මිය ගිය අතර යුක්රේනයේ නගර රැසක් සුන්බුන් ගොඩවල් බවට පත්වී ඇත. මිලියන ගණනක් යුක්රේන ජනතාව රටින් පලා ගියා. එක්සත් ජාතීන්ගේ ගණන් බැලීමට අනුව මේ වන විට මිලියන 13 කට වැඩි යුක්රේන ජනතාවක් ලොව පුරා සරණාගතයන් බවට පත්වී ඇත.

රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් පසුගිය වසරේ පෙබරවාරි 24 වන දින යුක්රේනයට සොල්දාදුවන් 200,000 ක් යැවූ විට ඔහු උපකල්පනය කලේ දින කිහිපයකින් කියෙව් අගනුවර වටලා එරට පාලනය පෙරලා දමා බලය අත්පත්කරගත හැකි බවයි. එහෙත් ආක්‍රමණයෙන් වසරක් ගතවන විටද පුටිංට සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාගත නොහැකි වූ අතර කීප වරක්ම අල්ලාගත් ප්‍රදේශ අතහැර රුසියානු හමුදා පසුබැසීමට තීරණය කලේය.

මේ වන විට යුද්ධයෙන් දෙරටේම සොල්දාදුවන් 175,000- 200,000 අතර ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තා වේ. රුසියානු ප්‍රහාර වලින් යුක්රේන සිවිල් වැසියන් 8000 ක් පමණ මියගොස් 13,000 පමණ තුවාල ලබා ඇත. ආක්‍රමණයේ මුල සිටම යුක්රේනය සමඟ සිටගත් ඇමරිකාව හා බටහිර රටවල් මෙම යුද්ධයෙන් කිසිවිටකත් යුක්රේනය පරාජය නොවිය යුතු බව තරයේ විශ්වාස කරයි. එම විශ්වාසයන් අනුව යමින් ඩොලර් බිලියන ගණනක යුධ ආධාර සැපයීමට මේ වන තෙක් එම රටවල් කටයුතු කර ඇත.

කෙසේ නමුත් යුද්ධයේ අවසානයක් මේ දක්වා පෙනෙන්නට නැත. යුක්රේනය විශ්වාස කරන්නේ සාමය ඇතිවීමට නම් රුසියානු හමුදා ජාත්‍යන්තරව පිලිගත් යුක්රේන දේශසීමා ඉක්මවා ආපසු යායුතු බවයි. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයද එම අදහසට පිටුබලයක් ලැබෙන පරිදි යෝජනා දෙකක් සම්මත කරගෙන ඇත. මේ වන විට චීනය මැදිහත්ව දෙරට අතර සාම සාකච්ඡා ආරම්භකිරීමට උත්සාහ කරන නමුත් චීනයේ අවංකභාවය පිලිබඳව යුක්රේනය සහ බටහිර සැක පළකරමින් තිබේ.

තිලාන් ජයසේකර

ඔයාගෙ කථාව ඔයාගෙ රටාවට ලියන්න

අවුරුදු 15 වයසැති එමානුවෙල් ප්‍රංශයේ අමියෙන්ස් හි පාසලක ඉගන ගන්නා කොලු ගැටයෙකි .39 හැවිරිදි බ්‍රිජට් මාරි ක්ලෝඩ් මැක්‍රෝන් ඒ පාසලේ නාට්‍ය ගුරුවරියයි .

එමානුවෙල් ඇගෙන් ඉගන ගත්ත නාට්‍ය කලාවක් නැහැ .ඔහු කලේ ඔහේ ඇස් වලින් ඇය දිහා බලාන හිතෙන් බොහො දුර යාම විතරයි.

මොහුගේ අනිසි බැල්ම විෂයට පරිබාහිර බව සහ බොහෝ බර බව මාරිටත් දැනුණා ,නමුත් මේ තමන්ගේ ලොකු පුතාටත් වඩා අවුරුදු දෙකක් බාල මේ හිච්චි teenage කොලුවා ගේ හෝමෝන විකාශන අවස්තාවක් යයි සිතා හිනැහී ඇය ඉවත බලාගත්තා .

දරුවන් තුන් දෙනෙකුගේ අම්මෙක් වුනු ඇයට එමානුවෙල් තවත් දරුවෙක් පමණයි කියා හිතෙන්න ඇති.

ඒත් වයසෙන් කුඩා මේ කොලුවාගේ හදවත නම් මහ විශාල එකක් උනා.

තමන්ගේ දරුවක් සේ ආදරෙන් තම හිස අත ගෑ මාරි ක්ලෝඩ් මැක්‍රෝන් හෙවත් තම ගුරුවරියගේ හිස ආදරෙන් සිඹින්න සහ ඇය තම පෙම්වතිය බවට පත් කරගන්න තවත් අවරුදු දෙකක් ඇතුලත් ඔහු සමත් වෙනවා .ඒක වෙච්ච විදිහ දන්නේ ඒ හදවත්ම පමණයි.

ඔන්න මේ හරියේදී ලංකා වාසී අපිට නම් ටොන් ගානක ප්‍රශ්න මතුවෙනවා .

අප්පෝ මුන් මොන ගුරුවරුද ? ඔව්වා හෙණගහන අපරාධ

ඒ නාකි ටීචර් පොඩි එකාව රවට්ට ගන්න ඇති.

කොල්ලව එයාගේ ලිංගික ඕන එපාකම් වලට හුරු කරගන්න ඇති.

ඔව්වා මානසික ලෙඩ 

මොකද ඔය පොඩි කොල්ලා ඒ ගෑණිව කසාද බඳියි කියල යෑ …බ්ලා බ්ලා බ්ලා …..

හැබැයි අපි එහෙම කිව්වට කතාවෙ අවසානය අපි හිතුවට වඩා ගොඩක් වෙනස් ..ඒක අමුතුම රහක් .

වෙන්න ඕන විදිහටම පවුල් වල හැමෝම මේ ආදරේට විරුද්ධ උනා .සමහරු හිනා උනා .එමානුවෙල් ගේ දෙමව්පියෝ මේ සම්බන්ධෙ  නවත්තන්න එයාලට කරන්න පුළුවන් ලොකුම දේ කළා, ඒ එමනුවෙල්ව වෙන පාසලකට මාරු කරපු එක , දෙමාපියන්ගේ පැත්තේ හිටගෙන බැලුවම ඔවුන් කලේ කල යුතු නිවැරදිම දේ උනත් , ඉස්කෝලේ වෙනස් කරපු පමණින් හදවත් වෙනස් වෙන්නේ නැති බව ඔවුන් දැන හිටියේ නැහැ .

එමානුවෙල් ඉස්කෝලෙන් යන්න කලින් මාරිට පොරොන්දුවක් වෙනවා ” මම කවදහරි බඳින්නේ ඔයාව තමයි ,ඔව් මම ඒක කරනවාමයි.

කොහොමත් වයසත් එක්ක මිනිස්සු හිතන පතන දේවල් වල හැඩය වෙනස් වෙනවා .මුහුකුරා යනකොට බලාපොරොත්තු වල ස්වරුපය වෙනස් වෙනවා .තිස් ගණන් වෙනකොට විසි ගණන් වලදී හිතිච්ච දේවල් මතක් වෙද්දීත් සමහරවිට හිනා යනවා,

අනික සමහර වෙලාවට ආදරේදී පොරොන්දු කියන්නේ ඇස් දිහා බලන් ඉන්නකොට ඔහේ කියවෙච්ච දේවල් විතරයි ,එව්වා ඉෂ්ට කරන්න බෑ කියල හොඳටම දැන දැන උනත් පපුවේ බල කිරිල්ලට ඔහේ කියල දානවා .

තමාට වඩා දශක දෙක හමාරකින් බාල තම ගැටවර පෙම්වතාගේ මේ පොරොන්දුව ගැනත් ඇයට එහෙම හිතෙන්න ඇති.

නමුත් වෙන්නෙ ඒක නෙමයි .

පොරොන්දු වෙච්ච විදිහටම ඔහු ඇයව විවාහ කරගන්නවා .

ඔහුට වයස අවුරුදු 30දී ඇයට වයස අවුරුදු 54 දී දෙමව්පියන්ගේ කැමැත්තත් අරන් ප්‍රංශයේ තවත් සොඳුරුතම ප්‍රේම වුර්තාන්තයක් අනාගතයට දායාද කරමින් එමානුවෙල් මැක්‍රෝන් බ්‍රිජට් මාරි ක්ලෝඩ් මැක්‍රෝන් හා විවාහ වෙනවා .

අත්දැකිම් බහුල ඇයගේ බහුශ්‍රුත ප්‍රේමය ඔහුව බොහෝ දුර ගෙනියනවා .

ඔහු තමයි වර්තමාන ප්‍රංශයේ ජනාධිපති .

දැන් ඔහුට අවුරුදු 43 යි ඇයට 67යි ..ඒත් අදටත් ඔවුන් ආදරෙන් ඉන්නවා .ඉමනුවල්ගෙන් එයාගෙ  බිරිඳ ගැන ඇහුවම ” මේ සියල්ලම ඇය වෙනුවෙන් ,ඇය තමා මගේ සියල්ලම ,ඇය නැත්තම් අද  මම මෙතන නැහැ ..” කියල ඔහු හරි ආඩම්බරයෙන් අදටත්  කියනවා. 

                              ………………

පොඩි කතාවක කොටස් දෙකක් රඟපාපු ගමන් , රස්සාවක ප්‍රමෝෂන් එකක් හම්බෙලා අතට කීයක් හරි වැඩිපුර හම්බෙච්ච ගමන් හරි නැත්තන් ළමයෙක් දෙන්නෙක් හම්බෙලා ටිකක් බඩ කඳ ආරපු ගමන් තමන් එක්ක මුල ඉඳන් කට්ට කාපු ගෙදර ගෑණි ව අමතක කරලා , ඒ ගෑණි ට ලෝකෙ නැති චෝදනා කරලා අත ඇරල දාන පිරිමින්ට එමානුවෙල් උඩ පැනලා කණට ගැහුවා. 

වයස වැඩි කෙනෙක් බැඳලා , ඒක ලෝකයා දැනගනියි කියල බයේ ,උප්පැන්න වෙනස් කරන්න ,උපන් දින වෙනස් කරන්න ට්‍රයි කරන , තමන්ට වඩා වැඩිමල් තමන්ගේ වයිෆ් ගේ වයස හංගන්න අසහාය උත්සහයක් ගන්න , ඇත්ත පිළිගන්න බය පවුර්ශයෙන් හීන සමහරක් ටත් වයස කියන්නේ එච්චර අමාරුවෙන් හංගන්න ඕනේ නැති තවත් එක නොම්මරයක් විතරයි කියල මේ කතාව දැක්කම වත් තේරෙයි.

තමන්ට වැඩිය වයසින් වැඩි හරි අඩු හරි මොකක් හරි කමක් නැහැ , විවාහයට තෝරාගන්න ඕනේ තමන්ව සතුටෙන් තියන්න පුළුවන් කෙනා ,සහ තමන්ට සතුටෙන් ඉන්න පුළුවන් කෙනා ,

ඒ නැතුව ලෝකෙට ලස්සනට පෙන්නන්න පුළුවන් කෙනා නෙමෙයි.ලස්සන තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි තමන්ගෙම ඇස්වල.

ඔයාලා අගමැති වෙන්න හිතාගෙන ගව්රවනීය ගුරුවරුන්ට ආදරේ කරන්න, විවාහ කරගන්න හිතන්න ඕනෙ නැහැ,  ලෝකේ දියුණු රටක පොරක් මොනවහරි  කලාම ඒ ගැන අගය කලාට ,අල්ලපු ගෙදර සුමනසිරි ගේ කොල්ලා අඟලක් උස කෙල්ලෙක් බැන්දම ගම පුරා ගතු කියවන්නේ නැතුව , දික්කසාද වෙච්ච නිළියයක් අයෙ බැන්දම එයාලට චරිත සහතික දෙන්න යන්නෙ නැතුව , දුවගෙ පෙම්වතා ගෙදරට එන්නත් කලින් හඳහන් කොපිය ඉල්ලන්නේ නැතුව අපිත් එමානුවෙල් වගේම ආදරණීය මිනිස්සු බව ප්‍රයෝගිකවම පෙන්නන්න අපිට පුළුවන් .

ජීවිතේ කියන්නේ අමුතුම රහක් ..ඒක එක එක්කෙනාට දැනෙන්නේ එක එක විදිහට , තමන්ට දැනිච්ච විදිහට තමන් විඳින විදිහටම අනිත් අය ඒක විඳින්න ඕනේ කියල එකක් නෑ .අනුන්ගේ කථා ඇතුලට  එළියෙන් ඉඳලා ඇඟිලි ගහල ඒවෑ රහ කියන්න අපි කාටවත් බෑ .

මොකද එමානුවෙල්ගෙ කුළේ මිනිස්සු ලෝකෙට ඕන විදිහට ජීවත් වෙන්නේ නැහැ .ඒ ගොල්ලෝ ඒගොල්ලන්ගේ ක්‍රමේට ජීවිතේ විඳිනවා .වෙන්න ඕනේ ඒකයි ,තමන්ට දැනෙන විදිහට, තමන්ට දැනෙන තැනක රහට  ජීවිතේ විඳින එක විතරයි .

ඔයාගෙ කථාව ඔයාගෙ රටාවට ලියන්න, එතකොට කැමති අය කියවාවි, අනිත් අය විඳවාවි..එච්චරයි 

අනිශා ජයකොඩි ✍️

හොඳටම ලීක් කරගත්ත III වන චාල්ස් රජතුමා

කාලෙකට කලින් චාල්ස් කුමාරයා ලීක් කරගත්ත කෝල් එකක් ගැන මේ දවස් වල එංගලන්තයේ මිනිස්සු ආයෙත් කතා වෙන්න පටන් අරගෙන. කෝල් රෙකෝඩින් තියා මං හිතන්නේ මොබයිල් ෆෝන්වත් හරියට නැති කාලෙක චාල්ස් කුමාරයා ලීක් කරගත්ත කෝල් එක ගැන ආයෙත් මිනිස්සු උනන්දු වෙන්න පටන් ගන්නේ Netflix හී විකාශනය වන ‘The Crown’ season five එකේ ඒ කෝල් රෙකෝඩිං එක ගැන කතාංගයක් නැවතත් ප්‍රචාරය වීමත් එක්ක.

Camillagate නමින් ප්‍රචලිත මේ සිදුවීම සිද්ද වෙන්නේ 1989 දි. නත්තල් ආසන්න දිනක දෙසැම්බර් මාසයේදී. ඒ වෙනකොට චාල්ස් කුමාරයා විවාහකයි. ඒ ඩයනා කුමරිය සමඟ. කැමිලා පාකර් කියන්නත් එවකට විවාහක කාන්තාවක්. ඒ බ්‍රිගේඩියර් ඇන්ඩෲ පාකර් සමඟ. දෙදෙනා අතර දුරකථන සංවාදය පටන් ගන්නේ චාල්ස් කුමාරයා ඉදිරි දිනකදී ඔක්ස්ෆර්ඩ් හීදී පැවැත්වීමට නියමිත කතාවක් ගැන. ඒ ගැන ඔහු ටිකක් චකිතයකින් පසුවන බව ඔහු කැමිලට කියනවා. කැමිලා ඔහුට ඒක කරන්න පුළුවන් කියලා ඔහුව දිරිගන්වනවා.

ඒත් ටික වේලාවකින්ම දෙදෙනා අතර දුරකතන ඇමතුම බොහොම සරාගික තැනකට යනවා. චාල්ස් සහ කැමිලා නව යොවුන් පෙම්වතුන් දෙදෙනෙකු මෙන් කතා කරන්න පටන් ගන්නවා. ඇතනදි ඔහු ඇයට කියනවා මට ඔබගේ කලිසම ඇතුලේ ජීවත් වෙන්න හිතෙනවා කියලා. ඇය එතකොට ඔහුගෙන් අහන්නේ ඔයාට පෑන්ටියක් එහෙම නැත්තම් මගේ යට ඇඳුමක් වෙන්න ඕනිද කියලා . චාල්ස් ඒකට පිළිතුරු දෙන්නේ නෑ මට නිතර උඩ පහළ යන්න පුළුවන් වෙන ඔයා පාවිච්චි කරන ටැම්පොන් එකක් වෙන්න ඕනි කියලා. 

දෙදෙනා අතර ඒ තරම් සරාගිකව සිදුවූ අතිශය පෞද්ගලික දුරකථන ඇමතුම එලියට ආවේ කොහොමද? නැත්නම් රෙකොඩ් කලේ කවුද. ඇත්තටම එම දුරකථන ඇමතුම රෙකොඩ් කරලා තිබුනේ ලන්ඩන් නුවරින් ඉතා ඈත ගම්බදව ජීවත් වූ පුද්ගලයෙක්. ඔහු රේඩියෝ සහ පටිගතකිරීමේ උපකරණ සහිතව රේඩියෝ සංඛාත අතර ටොංගල් කරමින් ඉන්න අතරේ හදිසියේම චාල්ස් කුමරුගේ කටහඬ අඳුනාගෙන ඉතා ඉක්මනින්ම ඒ ඇමතුම පටිගත කරන්න පටන් ගන්නවා.

ඒක ඉතා අහඹු සිදුවීමක් උනත් රාජකීය පවුලේ ඉතිහාසයේ ඉතා තදින් සනිටුහන් වෙච්ච කලු පැල්ලමක් බවට එම දුරකථන ඇමතුම පත්වෙනවා. ඒ ඇමතුම පටිගත කරපු පුද්ගලයා ඊට පහුවෙනිදාම එම කැසට් එකත් අරගෙන ලන්ඩන් නුවරට එනවා. ඇවිත් එවකට බ්‍රිතාන්‍යයේ දැවැන්තම පුවත්පත වෙච්ච ඩේලි මිර පුවත්පතට ඒ කැසට් එක විකුණනවා.

පුවත්පත එම චාල්ස් කුමරුගේ හඬ සහිත කැසට්පටය මිලදීගත්තත් එහි කතෘවරයා ඒ වෙලාවේ ඒ හඬපටය ගැන පුවතක් පලනොකිරීමට හෝ එය ප්‍රසිද්ධියට පත් නොකිරීමට තීරණය කරනවා. ඒ එම පුවත මාධ්‍යයේ පළ කිරීමත් සමඟ ඒ මත චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය අතර විවාහය දෙදරා ගියහොත් රාජකීය විවාහයක් කඩා ඉහිරවීමේ වගකීම පුවත්පත මතට පැටවෙන නිසා. 

කෙසේ නමුත් චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය සිය වසර 11 ක අසාර්ථක විවාහ දිවිය අවසාන කරමින් 1992 වසරේදී වෙන්වෙන්න තීරණය කරනවා. මේ පිලිබඳව රටට කියන්න එවකට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ජෝන් මේජර් ඒ එම වසරේ දෙසැම්බර් 9 වනදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා විසින් අනාගත රජුගේ විවාහයේ අවසානය ප්‍රකාශ කරනවා. 

ඒ එක්කම වගේ එතෙක් කලක් රහසක්ව පැවති චාල්ස්- කැමිලා දුරකථන ඇමතුම ගැන බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වල පලවෙනවා. එහෙම සිදුවීමක් සිදුවූ බවත් ඒ ඇමතුම පටිගත වී ඇති බවත් සාරාංශගතව මාධ්‍ය වල පලවීමත් එක්ක රටේම මිනිස්සුන්ගේ මෙන්ම රාජකීය පවුලේ අවධානයත් මේ ඇමතුම වෙත යොමු වෙනවා.

පසුව 1993 වසරේ සම්පූර්ණ දුරකථන ඇමතුම ඕස්ට්‍රේලියාවේ පලවන සඟරාවක් සම්පූර්ණ දුරකථන ඇමතුමේ විස්තරයක් මාධ්‍ය වල පලකිරීමත් එක්ක ලොව පුරා රටවල් කිහිපයකම පුවත් පත් චාල්ස් කැමිලා සරාගික දුරකතන ඇමතුම ඒ වචන වලින්ම සිය පුවත්පත් වල පල කරනවා.

අවසානයේදී ඒ හඳපටය මිලදීගත් මිර්ර පුවත්පත සමන්ගේ සති අන්ත Sunday Mirror පුවත්පතේ දෙදෙනා අතර සිදුවූ දෙබස ‘Camillagate’ නමින් ඒ විදියටම පළ කරන අතරම තමන් සතුව තිබූ හඬපටය ප්‍රසිද්ධ කරන්නත් තීරණය කරනවා. තමන්ගේ ඒ තීරණය සාදාරණිකරනය කරන පුවත්පතේ කතෘවරයා කියන්නේ තමන්ව කියවන මිලියන 9කට අධික පාඨකයන්ට රටේ අනාගත රජුගේ ක්‍රියාකලාපය ගැන දැනගැනීමට තියෙන අයිතිය තහවුරු කිරීම පුවත් පතේ අයිතියක් කියක එක.

ඔන්න ඔහොමයි කාලෙකට කලින් චාල්ස් රජතුමත් ලීක් කරගත්තේ.

Thilan Jayasekara

සත් පත්තිනි මැණියන්

මාතරං පත්තිනිං වන්දේ

සර්ව සත්ව ශිවංකරං

දදතාං සතතං මය්‍යහං

ආරෝග්‍යං රක්ෂණං බලම්

          පෙබරවාරි මාසේ කියන්නේ මාතලේට නමි එක්තරා සුවිශේෂී මාසයක්.. එ මාතලේ නඟරය පුරාම අමුතුම අලංකාරයක් ගන්නා උත්සවයක් නිසා…. එ තමයි ශ්‍රී මුත්තුමාරි අමිමාන් කොවිලේ වාර්ෂික තේරු උත්සවය.. නම එහෙම උනාට මාතලේ අපි නමි කියන්නේ පත්තිනි දේවාලේ කියලා….  මාතලේ පුරවරයට විශේෂ මාසයක් නිසාම මම හිතුවා මෙි මුත්තුමාරි අමිමාන් කොවිල ගැනත් සත්පත්තිනි මැණියන් ගැනත් විස්තර ටිකක් අපි මැගසින් එක ඔස්සේ මෙවර ඔයාලට අරන් එන්න…

           මම බෞද්ධයෙක් උනත් මෙි තේරු උත්සවයට හරිම ආසයි… මම පුංචි කාලේ ඉදන්ම දකින අලංකාර උත්සවයක් තමයි මෙි උත්සවය.. ඇත්තටම එකත් එක්තරා වාසනාවක් , පත්තිනි දේව ප්‍රතිමාව පමණක් නොවෙයි තවත් දේව ප්‍රතිමා මෙි තේරු උත්සවයෙන් නඟරයේ විදි පුරා සංචාරය කරන තේරු කරත්ත වල තැන්පත් කරලා තියනවා.. එ හැම තේරු කරත්තයක්ම බෞද්ධයෙක් උන මමත් භක්තියෙන් “හරෝ හරා” ඇදලා තියන බව කියන්නේ ආඩමිබරයෙන්.. එ මොහොතේ හිතට දැනෙන සිතුවිලි නමි පුදුමාකාරයි… ඉතිං මෙවරත් මං එ සදහා සහාබාගි වෙනවා…

          හින්දු දහමේදී දෙවඟනන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්. ලක්ෂ්මි, සරස්වතී, දුර්ගා දේවීයන් පිළිවෙළින් ධනය, අධ්‍යාපනය, ශක්තිය ගෙන දෙන බවට විශ්වාස කරනවා වගේම කරුණාව දයාව ඉස්මතු කරන පත්තිනි මෑණියන් මඟින් මාතෘත්වය පිළිබිඹු කරන අන්දම හදුනාගන්න පුළුවන්….

      ඉන්දියාවේ වැසියෝ පත්තිනි මෑණියන්ට කමාච්චි, කාන්චි යන නමි වගේම මදුරාසියේදී මීනාච්චි නමින්, කාසි ප්‍රදේශයේදී විශාලච්චි නමින් හඳුන්වනවා……. මෙහිදී පත්තිනි මෑණියන් විශේෂයෙන් පතිවෘත්තා මෑණියන් ලෙස හඳුන්වනු ලබන අතර, ස්වාමි භක්තියෙන් වැඩුණු පවිත්‍රතත්වය උතුම් ලෙස ආරක්ෂා කළ දෙවඟනක වන ඇය නමස්කාර කිරීමෙන් කාන්තාවෝ යහපතත් ශාන්තියත් බලාපොරොත්තු වෙනවා…..

       ඉතිං පත්තිනි මැණියන් ගැන කතා වස්තුව ඔයාලා දැනටමත් අහලා ඇතිනේ……. පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කථාව පිලිබද මත කීපයක් සමාජයේ පවතිනවා…. තමාගේ බල සම්පන්න කම ගැන උදම්වූ පඬි රජුගේ විනාෂකාරි ක්‍රියා නැවත්වීම සඳහා ශක්‍රයාගේ ආරාධනයෙන් මනු ලොව උප්පත්තියක් ලැබූ බලවත් යෝගි වරියක් ලෙසද, ඇය අඹයක් තුලින් බිහිවූ බවද පොත පතේ සඳහන් වෙනවා… දැඩි පතිවතක් රැක්කවූ ඇය කන්නගී නමින් සමහර පොත පතේ සඳහන් වන අතර එතුමියගේ සැමියා සමහර පොත් වල කෝවලන් ලෙසත් සමහර පොත් වල පලඟ ලෙසත් සඳහන් වෙනවා.

       ඇය දැඩි පතිවෘත තාවක් රැක්කද ඇගේ සැමියාගේ නොමනා ක්‍රියා (කාමය වරදවා හැසිරීම ,සූදුව) නිසා ඔවුන් ඉතා දුප්පත් වන අතර ඇය සතු වූ රන් සලඹවත් විකුනා යම් මුදලක් සොයා එන ලෙස සැමියාව පිටත් කල අවස්ථාවේ පඬි රජුගේ බිසවගේ නැතිවූ පාසලඹ යැයි බොරු සැකයක් මත කෝවලන්ව මරා දමනවා, සැමියාගේ ප්‍රමාදය නිසා සැමියා සොයා එන විට ඔහු මරා දැමු පුවත සැලවී දැඩි ශෝකයට පත්වන ඇය සිය වම් පියයුර කඩා පොළොවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනි ගනීවා කියමින් ශාප කර තිබෙනවා…. පෙර ආත්මයේ ධ්‍යාන ලත් යෝගි වරියක වු ඇයගේ මේ සාපය නිසා පඬි නුවර ගිනිබත් වෙලා පඬි රජු මිය යනවා..

       එම ශාප කිරිමේ දී දරුවන්, ගැබිනියන්, සතුන් බේරාදෙන ලෙස ප්‍රාර්ථනාවක් ද කල බවත් සදහන්…. ඒ අනුව මධුරාපුරයම ගිනි ගන්නා විට දී රජු විසින් කන්නගිගෙන් මෙම ගින්න නිවා දමන ලෙස ඉල්ලීමක් කළ බව සඳහන් වෙනවා… නැවුම් එළදෙනකුගේ නැවුම් කිරි ගෙන කිරි උතුරවා මුළු මධුරාපුරයේ ම ඉසීම හේතුවෙන් ගින්න මැඩ පැවැත් වූ බවත් මෙි කතාවල සදහන්…. නව නිවසකට යෑමේ දී කිරි ඉතිරවීම, නිවසකට මුල් ගලක් තබන විට දී කිරි ඉතිරවීම, නව අවුරුදු උදාව ලබන විටදි කිරි ඉතිරවීම අදටත් අපේ රටෙි පැවැත්වෙන්නේත් එ නිසාම විය හැකියි….

  ඉතිං පත්තිනි මෑණියන්ගේ උපත මෙහෙම සිදුවු අතර පසුව තිසරන සරණ ගොස් ඇති බවත් බුද්ධත්වය සඳහා පිරිමි ආතමයක් ප්‍රාර්ථනා කරමින් තමා වෙතට එන අයට සෙත සලසන බවත් සඳහන් වෙනවා….. බොහො අය පත්තිනි මැණියන්ගෙ මෙි කතාව අසා ඇතුවාට සැක නැ… එ නිසයි කතාව මම මෙහි කෙටියෙන් සදහන් කලේ….

         මෙම දේවිය සත්වාරයක්‌ උපන් නිසා සත් පත්තිනි ලෙසත්, දොළොස්‌ වාරයක්‌ උපන් හෙයින් දොළොස්‌ පත්තිනි ලෙසටත් හැදින්වෙනවා….. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි යනුවෙන් නම් හතක් තිබෙන්නේ එ නිසයි…. දෙමටමලෙන්, ගින්නෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, දළයෙන්, උපන් බව ද පැරණි ජන කතාවලින් කියැවෙනවා…

      දමිළ ජනයාත් සිංහල ජනයාත් පත්තිනි මැණියන්ට පුද පුජා පවත්වන විදි වෙනස්.. දියණියක් මල්වරවු විට බෞද්ධ අය නමි මුල්න්ම කරන්නේ පත්තිනි මැණියන්ට බාර වෙලා පඩුරක් අයින් කරන එක… වැඩිවියට පත්වු දියණියව තුන් මසකින් පළතුරු වටිටියක් හො වෙනත් දෙයක් රැගෙන පත්තිනි දේවාලයට පැමිණෙන බවට බාර වෙන්නේ මල්වර නැකතේ දොස් පත්තිනි දේව ආරක්ෂාවෙන් දුරු වන බවට ඇති විස්වාසයක් නිසා… එ වගේම තමයි දියණියක් මල්වරවු විට ඇය මාතෘත්වයට සුදුසු නිසාම ඇයට ඇතිවන අපල උපද්‍රවයන් පමණක් නෙවෙයි අමනුෂ්‍ය බලපෑමි පවා පත්තිනි මැණියන්ගෙ ආරක්ෂාවෙන් දුරුවී ඇය මවක් වන තෙක්ම පත්තිනි මැණියන්ගෙ ආරක්ෂාව දෙමව්පියන් අපේක්ෂා කරනවා… එ නිසාමයි දරුවෙකු පිලිසිදගත් මොහොතේ පටන් දරුවා බිහිවන තුරුත් පත්තිනි මැණියන්ට පඩුරක් වෙන් කර බාරහාර වෙන්නේ…

     පත්තනි මෑණියන් වෙනුවෙන් අපේ රටෙි ප්‍රධාන දේවාලය වන්නේ නවගමුව පත්තිනි දේවාලය…….  මෙි දේවාලයට අමතරව ලංකාවේ විවිධ වු ස්ථානවල පත්තිනි දේවාල දැකිය හැකියි……  පත්තිනි මෑණියන් ගැන සඳහන් කරන විට දී ක්‍රි.ව 02 වැනි සියවසේ මෙරට රජ කළ ගජබා රජතුමා දකුණු ඉන්දියාවට ගොස් තම පියා වු වංකනාශීක තිස්ස රජුගේ කාලයේ දී දකුණු ඉන්දියාවේ රජකළ කරිකාලන් නමැති නපුරු රජෙක් මෙරටට පැමිණ මෙරටින් වහලුන් ලෙස රැගෙන ගිය මිනිසුන් 12000ත් එම පිරිසට හිලව් ලෙස තවත් 12000ක පිරිසකුත් සමඟ මෙරටට එන ගමනේ දී එවකට එරට රජකළ සෙන්ගුත්තවාන් රජ පිරිනැමූ පත්තිනි දෙවියන්ගේ පා සළඹ ද වෙනත් දෙවිවරුන්ගේ රන් ආභරණ ද රැගෙන පැමිණිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා….

මෙම පුවත පූජාවලිය, පැරකුම්බා සිරිත, වැනි මෙරට ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රයන් හි සඳහන් වෙනවා….

    ලංකාවෙි පත්තිනි දේවාල ⁣තවත් බොහොමයක් තිබෙනවා…. එත් ඓතිහාසික මාතලේ පුරවරයේ සුන්දර කඳුවළල්කට මැදිව ඉදි කර ඇති ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයටත් හිමි වන්නේ නමි සුවිශේෂ ස්ථානයක්….. අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක්…. පත්තිනි මැණියන් වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා……

          මේ කෝවිල පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්න හේතුවුණු යම් නිමිත්තක් තියෙනවා…… එ කියන්නේ මෙි කොවිල මාතලේ පුරවරයෙ ඉදිකරන්නත් අතීත කතාවක් තියනවා…. දැනට වසර 200කට වගේ කලින්, ඒ කියන්නේ කෝවිල නිර්මාණය කරන්න කලින් මේ කෝවිල තියෙන භූමියේ කොහොඹ ගහක් ලග දවසක් ඉතාම ලස්සන ඇඳුමෙන් සැරසුණු පුංචි ගැහැණු ළමයෙක් ඉඳලා තියෙනවා…. පහුවෙනිදා උදේ බලනකොට මේ ළමයාගේ ඇඳුන් එහෙමත් හොඳටම පරණ වෙලා නිකං හිඟන ගැහැණු දරුවෙක් වගේ පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ…..

          මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා නල්ලමුත්තු කියලා ඉතාමත් භක්තිවන්ත දෙමළ කෙනෙක්….. මේ කෙනා මේ ගැහැණු දරුවාව ඔය කියන ලස්සනට සහ වැරහැලි ඇඳගෙන ඉන්න දවස් දෙකේම දැකලා තියෙනවා….. දවසක් නල්ලමුත්තු හීනෙන් පත්තිනි දේවියව දැක ඇති බවත් , පත්තිනි දේවිය නල්ලමුත්තුට එදා ඒ කෝවිල තියෙන භූමියේ කොහොඹ ගහ ලග ඉන්නවා දැක්ක ගැහැණු ළමයා තමන් බවත් පවසා ඇති බවයි කොවිලේ ඉතිහාස කතාවෙි සදහන් වෙන්නේ……. ඒ භූමිය ශුද්ද භූමියක්, ඒ නිසා එතන පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිලක් හදවන්නැයි පවසා ඇති බවත් සදහන්…..

          මේ කාලේ වෙනකොට මේ ප්‍රදේශයේ හිටපු දෙමළ ජනතාව සහ වෙළඳම් කරන්න ආව දකුණු ඉන්දීය දෙමළ ජනතාව මේ කෝවිල හදන්න දායක වෙලා තියෙනවා මේ කතාව ප්‍රසිද්ධ වුණාට පස්සේ….. කලින් මේ ස්ථානය වෙල් යායක් විදියට තමයි තිබිලා තියෙන්නේ….. ඒත් ඊට පස්සේ 1852 වසරේ තමයි මේ ඉඩම හිමි අය මේ කෝවිලට මේ ඉඩම පවරලා දීලා තියෙන්නේ…. කෝවිල ඉදිකරලා තියෙන්නේ 1874 වසරේ….. තාමත් අර කියන කොහොඹ ගහේ කඳ කොටස දේවාලය ඇතුලේ තියනවා… ගිය කෙනෙක්ට දකින්න පුළුවන්…..

         අද වෙනකොට කෝවිලේ පෙනුම ගැන බලනකොට විශේෂයෙන්ම කැපිලා පෙන්නේ කෝවිලේ තියෙන සුවිශාල ගෝ පුරය….. මේ ගෝපුරය අඩි 108ක් උස වෙනවා…… ඒවගේම තමයි කුඩා කුඩා පිළිම 1008ක් මේ ගෝපුරයේ අන්තර්ගත වෙනවා….. දැනට ලංකාවේ තියෙන උසම ගෝපුර වලින් එකක් කියලා තමයි මේ කෝවිලේ ගෝ පුරය හඳුන්වන්නේ….. මේ ගෝපුරය නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නේ දකුණු ඉන්දීය නිර්මාණ ශිල්පී නාගලිංගම් සහ ඔහුගේ පුත් රාමනාදන් කියන මූර්ති ශිල්පීන් දෙදෙනා . මේ දෙදෙනාට 100ක පමණ පිරිසක් උදවු උපකාර කරලා තියෙන බවයි සදහන් වෙන්නේ මේ කටයුත්ත සම්පූර්ණ කරන්න…..

         2007 වසරේ තමයි කෝවිලේ ගෝපුරයේ වැඩ කටයුතු සම්පූර්ණ කරලා අවසන් වෙලා තියෙන්නේ….. ඒ වෙනකොට මේ නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 150ක් පමණ වියදම් වෙලා තියෙනවා….. මේ ගෝපුරය නිර්මාණය කරලා සායම් වලින් පින්තාරු කිරීමට කේරලීය ශිල්පීන් සහ ශ්‍රී ලාංකික ශිල්පීන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙන බවයි සදහන්…

        මෙි තමයි මාතලේ ශ්‍රි මුත්තුමාරි අමිමාන් කොවිල ගැන ගැන මට හොයාගන්න පුළුවන් උන දේවල්… කොවිල වගේම වාර්ෂිකව පවත්වන මෙි අලංකාර උත්සවය බලන්න ඔයාලත් එන්න…. තේරු කරත්ත විදි සංචාරය කරන විට ගොඩක් අය භාරහාර වෙනවා.. ආගමි බෙිද පසෙකලා මෙි උත්සවයට හැමොම සහාබාගි වෙන්නේ එ තරමට කොවිල ගැන ඇති විස්වාසය නිසා.. කොටින්ම මාතලේ පුරවරයට කිසිදු කරදරයක් නොවන්නෙත් පත්තිනි දේවාලය නිසා කියලා සියළු ජනයා විස්වාස කරනව….. එ තරමි සත්‍යක් මෙි දේවාලය කෙරෙහි බැදි තිබෙනවා….. එ නිසාමයි වාර්ෂික තේරු මංගල්‍යය දවසට මුළු මාතලේ නඟරයම එකම හිස් ගොඩක් බවට පත් වන්නේ… මංමාවත් පවා අතුරු සිදුරු නැතුව මහා ජනතාවගෙන් පිරි යන්නේ එ අසිරිය නිසාමයි..

        එන්න දවසක පෙබරවාරි මාසෙක තේරු දවසට හැබැයි රෑට… එ අලංකාර ලස්සන පෙරහැර දකින්න වගේම තේරු කරත්තයක් ඇදලා දෙවියන්ගෙ ආශිර්වාදය ලබා ගන්න….. ඔබ සැමට සත්පත්තිනි දේවි පිහිටයි

නිසංසලා රණසිංහ

සුනියමි දෙවියන් නොහොත් ගමිභාර දෙවියෝ

පස්වාන් දහසකට ආවඩා ආයු බෝ වේවා… ආයු බෝ වේවා…. ආයු බෝ වේවා….

ශිව මස්තු නමෝ රාමා

කන්ද සේනා සමාගමා

වඩිග තන්ත්‍ර මණි කන්ඨ

ඔඩිඩී මංගල නමෝ නමං

අග්නී කන්දන්ච හස්තේන

හස්තේන වඩිග කර්ගිතේ

මුඛෙින විෂ කේශකේ

ශිර්ශේ පංච කේශකේ

උදරේ නාග බන්දාමී

නීලෝත්තුරග වාහනං

සුනියමි දේවතා නාම

මයිහං ත පාදතේ නමං

        ඉතිං ඔන්න අද මං අපි මැගසින් එක ඔස්සේ ඔයාලට අරන් ආවෙි දේව පුරාණ කතාවක්…… ඉතිං දෙවියන් කිවුවාම සමහර අයගේ හිත් වල ඇති වෙන්නේ පුදුමාකාර ගෞරවයක්… තවත් සමහර අය නමි ගණන් නොගන්නා තරමි…. කෙසේ උවත් ඉන්නවා කියනා තිස්තුන්කොටියක් දෙවිවරුන් අතරින් අද මම ඔයාලට කියන මෙි දෙවියන් ගැන මගේ හිතෙත් තියෙන්නේ ලොකු බක්තියක්…. එ තමයි සිද්ධ සුනියමි දිව්‍යරාජයා, එහෙමත් නැත්තමි ගමිභාර දෙවියන්

සූනියම් දෙවියන්ගේ උපත පිළිබඳව ජනප්‍රවාදයෙන් විවිධ කතා තිබෙනවා… මේ දෙවියන්, වසඟපුර විචිල රජුගේ සහ නිර්මලා දේවියගේ පුතෙක්‌ ලෙස උපන් බවත් ඔඩ්ඩි දේශයේ ඔඩ්ඩි නම් රජුට දාව යදම්බරී නම් බිසවුන් වහන්සේගේ කුසයෙන් මෙලොවට පහළ වූ බවත් සඳහන් වෙනවා.. ජනප්‍රවාද කතාවල එහෙමයි… එ වගේම විස්වාස කල හැකි රසවත්ම කතාවකුත් තියනවා..

මිනිසුන්ගෙ ගෞරවයටත් භක්‌තියටත් පාත්‍ර වී ඇති මෙි දෙවියන් යුක්‌තිය පසිඳලන්නා වූද යහපත කරන්නන්ට යහපත් ප්‍රතිඵල ද අයහපත කරන්නන්ට අයහපත් ප්‍රතිඵලද ලබා දෙනු ලබන බවයි සඳහන් වන්නේ. සූනියම් දෙවියන්, අර්ධ දේව ස්‌වරූපයක්‌ද අර්ධ යක්‍ෂ ස්‌වරූපයක්‌ ද සහිත දෙවි කෙනක්‌ බව කිව යුතුයි…

සූනියම් දෙවියෝ, රාත්‍රි කාලයේ සුදුවන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී ඉතා ශාන්ත ස්‌වරූපයෙන් ගම් බිම් වල සැරිසරණ විට පිච්චමල් සුවඳ විහිදෙන බවත් ගැමි ජනයා අතර ප්‍රකට කරුණක්.. උන්වහන්සේ වෙත බුරාගෙන පනින සුනඛයන්ට තම අත රැඳි සෝලු ලීයෙන් පහර දෙන බවත් එසේ පහර කෑ සතුන් හඳුනාගත නොහැකි කොන්ද අප්‍රාණික වන රෝගයකින් මියයන බවත් මිනිසුන් තුළ දැඩි විශ්වාසයක්‌ පවතිනවා….

භයංකාර පෙනුමකට හිමිකම කියන සූනියම් දෙවියන් නීල වර්ණ ශරීරයකින්ද, හිස පැළදි සුදු ජටාවකින්ද, දිවියකුගේ සමින් නිර්මිත සළුවකින්ද සැරැසී සිටීනවා…. සුදු අශ්වයා වාහනය කරගත් සූනියම් දෙවියන්ගේ කරේ නාගයන්ගෙන් සෑදුණු නාග මාලයක් හා මුඛයේ සපාගෙන සිටින නාගයෙක්ද සිටිනවා… එසේම දෙඋර මත කරවලුන් සිව් දෙනා බැගින්ද, දෙඅතේ කරවලුන් අට දෙනෙක්ද වෙළාගෙන සිටිනවා වගේම ඉණේ කොට නාගයන් කිහිපදෙනකුද වෙළාගෙන සිටිනවා….

මේ සියලු නාගයන්ට අතිරේකව දෙපතුල ළඟද නාගයෙක් සිටිනවා… ලේ පොළඟුන් දහතුන් දෙනෙක් සිරුර පුරා සිටිනවා වගේම, හිස සිට දෙපතුල දක්වාම දිග නාගයන් දෙදෙනෙක්ද සිටිනවා…. භයංකාර රාක්‍ෂ මුහුණකින් යුතු සූනියම් දෙවියන්ගේ හිස හැඩපළු 13කින් යුතුයි.. සුරතේ තියුණු වඩිග කඩුවකින්ද, වමතේ ගිනිගෙන දැවෙන කබලක්ද දරා සිටින සූනියම් දෙවියන් සූකරාකාර පාද යුගලකටද හිමිකම් කියනවා.

නාමයන් රැසකින් හඳුන්වනු ලබන සූනියම් දෙවියෝ මතු බුදු බව පතන දෙවි කෙනෙක් බවයි සදහන් වෙන්නේ.. සූනියම් දෙවියෝ ප්‍රාදේශීයව විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබනවා… කබලෑමුත්තා, කබලෑ දෙවියන්, කබලෑ අප්පච්චී, ගම්භාර සුද්ධ සූනියම්, ගම්බාරු මුත්තා, සුද්ධ සූනියම්, වඩිග සූනියම්, ඔඬිඩි වඩිග සූනියම්, ඔඬිඩියා, ඔඬිඩි මස්සිනා, ඔඬිඩි දේවතාවා, ඔඬිඩි යකා හා ගම්බාර දෙවියන් ලෙසයි හදුන්වන්නේ…

     ඉතිං උන්නාන්සේ ගැන තව විස්තර කියනවා නමි සූනියමි දෙවියන්ද විෂ්ණු කරගම දැඩිමුණ්ඩ ආදි දෙවිවරුන් මෙන් ගෞරවය ලබන දෙවි කෙනෙක්.. සූනියමි දෙවියන් කතරගම දෙවියන්ගෙ සෙමිපති ලෙසද , දැඩිමුණ්ඩ දෙවියන්ගෙ අධිකාරමි ලෙසද , එම පොත්ගුල් සතරේ භාරකරු ලෙසද,  උපුල්වන් දෙවියන්ගෙ පණිවිඩකරු ලෙසද කටයුතු කරන බවයි ජනප්‍රවාද වල සදහන් වෙන්නේ…

      සුනියමි දෙවියන්ගෙ බලය තේජස ශක්තිය විශේෂිතයි.. අන් දෙවිවරුන් වගේ නොවෙයි උන්වහන්සේගේ ආඩමිබර ගතිය වැඩියි.. අන් අයට පහන් දැල්විමට පෙර සුනියමි දෙවියන්ට පහන් දැල්වීම මන්ත්‍රවෙිදීන්ගේ සිරිතක්… එ ඇයි කියනවා නමි උන් වහන්සේ කිසිවෙකුට දෙවනි විමට අකමැති නිසා… එ වගේමයි සුවදට කැමති දෙවතාවුන් වහන්සේ කෙනෙක්.. අවෙිලාවෙි පිචිච මල් සුවද අපේ නාසයට දැනෙන විට අපේ පරණ ගැමියන් පවසනවා එ තමයි සුනියමි දෙවියන් වඩිනා බවට ⁣දන්වන පෙර ලකුණු බව….

     එ වගේමයි සුබ දේට සූනියමි දෙවියන් ලෙසද, අසුබ දෙයට ඔඬ්ඩි යක්ෂයා ලෙසින් ස්වරූපය වෙනස් කරගන්නා බව සදහන්….. ගුප්ත කර්ම කටයුතු වලදි උන්වහන්සේ නොමැතිව වින කැපිම කල නොහැකි බවයි මන්ත්‍ර කරුවන් පවසන්නේ.. අදුරු ආරක්ෂාව වගේම ආතුරයන්ගේ ආරක්ෂාව උන්වහන්සේ සතු බැවින් ගුප්ත කර්ම කල නොහැකි බවයි පැවසෙන්නේ.. එ නිසාම උන්වහන්සේට ඇත්තේ විශේෂ තැනක්…

     අද වන විට ලංකාවෙි වැඩිම පිරිසක් පුද පුජා කරන දෙවියන් සුනියමි දෙවියන් බව රහසක් නොවෙයි.. ඉස්සර අපේ ගෙදරත් සුනියමි දෙවියන්ට පහනක් පත්තු කල බවක් ආචිචි අමිමා මට ⁣පැවසූවා…. මන්ත්‍ර විද්‍යාව දන්නා අයෙක් වෙි නමි ඔහු හො ඇය සුනියමි දෙවියන්ගෙ එක මන්ත්‍රයක් හො කට පාඩමි කරගෙන සිටින බව රහසක් නෙවෙයි.. එයින්ම උන්වහන්සෙගේ තේජස පිහිට කෙතරමිදැයි වටහා ගත හැකි බවයි පවසන්නේ…

       සුනියමි දෙවිදුන්ගේ බැල්ම ආකර්ෂණය ඇති මන්ත්‍ර රාශියක් තියනවා…. නිල් හත, නිල් විසි එක, නවනීලය, මහීපාලය, අංගාරුඪය, සිවපාදය, ඔඩිඩිකුමාර බන්ධනය, නාඟවෛයිරොඬිය, ඔඩිඩිප්‍රලය, සුනියමි දේවශාන්තිය, සුනියමි දැහැන,  සුනියමි බන්ධනය, හන්තු දැහැන, නමාමි දැහැන, මල් යහන් ප්‍රලය,  භාවිතා කරන මන්‍ත්‍ර නාම කිපයක් මට විස්තර සොයා යෑමෙිදි දැනගත හැකිවුවා….

තවද මන්ත්‍ර ස්තොත්‍ර මල් යහන් කවි විශාල ප්‍රමාණයක් තිබෙනවා….

ඉතිං දැන් තමයි හොදම කතාව මං කියන්න හදන්නේ.. සුනියමි දෙවියන්ගෙ තවත් කතාවක්… කෙටියෙන් කියන්නමි…

     පුරාවෘත වල කියන විදිහට ඈත අතීතයේ ඉන්දියාවෙි වඩිග කියන දේශයේ වඩිග කියලා රජ කෙනෙක් රජකමි කරන කාලෙක සිද්ධ උන දෙයක් මෙි.. එ රජතුමාගේ බිසවගේ නම යවුදගිරි.. ඉතිං මෙි යවුදගිරි බිසව ගොඩක් ලස්සනයිලු. දවසක් අහසේ ගමන් කරන මහේශාක්‍ය දෙවි⁣ කෙනෙක් මෙි බිසවගේ ලස්සනට වශි වෙලා, බිසවගේ ඇගට ආවෙිස වෙලා.. දෙවියො ආවෙිස උන නිසා බිසවට සිහි නැති වෙලා… සිහි නැතුව ඉන්න බිසවව සනීප කරගන්න රජතුමා සෘෂිවරු ගෙන්නලා මන්ත්‍ර මතුරලා දෙවියට සිහිය අරගෙන… ඉට පස්සේ තමයි දෙවියට දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගෙන තියෙන්නේ.. කතාවෙි කියන විදිහට දේවියට ඇඹුල් ජාති කන්න දොලදුකක් ඇවිත් එවත් සංසිදවලා.. එත් තවත් දොලදුකක් ඇවිත්, එ තමයි රත්තරන් වලින් සැරසිලා සර්පයන් ඇගේ ඔිතාගෙන නුවර වටෙි ඇවිදින්න ඇතිවුන ආසාව… හැබැයි රජතුමා නමි මෙිකට කැමති වෙලා නැ. රජතුමා නියොග කරලා දේවියව මරන්න.. නමුත් දේවිය ඉල්ලීමක් කරලා දරුවා ⁣ලැබෙන තුරු ජිවිතේ නැති කරන්න එපා කියලා.. එකට රජතුමා කැමති වෙලා

කොහොම හරි දරුවා ඉපදිලා වසර දහයක් ගියාට පස්සේ මෙි වඩිග කුමාරයා කැලේ ඇවිදින්න ගිහින්. එ යද්දි කැලේ හිටිය විස සර්පයන්ගේ දල කඩලා එ විස උරා බිලා. දල කඩපු සර්පයන්ව ඇඟ වටෙි ඔිතාගෙන… නයි , පොලොංගු , කරවලයො ඇගේ ඔිතාගෙන, ටික ටික විස ශරිරයට ඇතුල් වෙද්දි මෙි කුමාරයා යක්ෂ අවතාරයක් බවට පත්වෙලා… ඉතිං මුලින්ම මෙි යක්ෂ අවතාරය යන්නේ වඩිග දේශයට. එ ගිහින් වඩිග රජතුමා ඇතිලු මුලු  නුවරම වනසන්නේ මිනිස්සු මරා දාලා..

මිනිස්සු මර මර ආහාරයට ගත් මෙි වඩිග යක්ෂයා තමන්ගේ සේනාව වැඩි කරගන්න අමතක කරන්නේ නැ. වෙසමුනි රජු මුනගැහෙනන ගිහින් එතනත් දොරට පයින් ගහලා කලබල කරලා තමයි වෙස්මුනිගෙන් වරමි ගන්නේ. එ මොහොතේ වෙසමුනි අහලා තියනවා   ” මෙච්චර ලොකු සද්ද දාලා වැඩ පෙන්නන හෙතුව මොකද” කියලා. එතකොට යකා කියලා තියනවා වඩිග දේසේ වඩිග රජාට දාව යවුදගිරි බිසවගේ කුසේ ඉපදුණ ඔඩිඩි වඩිග සිද්ධ සුනියමි යක්ෂයා මමයි මට නරලොව මිනිමස් කන්නට වරමි ඔින ” කියලා . පස්සේ එ වරම වෙසමුනි දුන්නා කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා..

එ වගේම තමන්ගේ සේනාව වැඩි කරගන්න මහාකෙල නාගරාජයාගෙ දල හතරේ දූවරුන් හතර දෙනාව සේනාවට එකතු කරගන්නවා.. එ තමයි තකරී, මකරී, යාමී, යමදූතී… තව යක්ෂණියො අට දෙනෙක් එකතු කරගන්නවා. එ තමයි අයිලක්කණ්ඩි, මයිලක්කණ්ඩි, වචක්කණ්ඩි, තොටක්කණ්ඩි, අසේනි, විසේනි, කාලරත්ති, තස්මාදේවි කියන අට දෙනා.. තව තවුතිසාවෙන් දෙවියන් බිය ගන්වලා එහෙනුත් සේනාවට එකතු කරගන්නවා සිරටිටා, වාරටිටා, ගොරාටිටා කියන දෙවිවරුන් තිදෙනා. මෙි සේනාවත් එක්ක මහාපොළවට ඇවිත් විශාලා මහානුවර ගමි නියන්ගමි වල ඉන්න මිනිස්සු මරලා මිණි මස් කනවා. ළදරුවො පවා අතුරුදහන් වෙනවා.

ගමෙි අයට තව දුරටත් මෙික බලන් ඉන්න බැරි නිසා මන්ත්‍ර ගුරුකමි දන්න තෙලිඟු රටෙන් අති දක්ෂ යකදුරෙක් ගෙන්නලා යකාව බන්ධනය කරන්න මන්තර අලුතින් හදනවා.. මෙි මන්තර හද හද පුස්කොල පොත් වල ලියද්දී යකදුරා අතින් මන්ත්‍ර ලක්ෂ ගාණක් ලියැවිලා, මෙි මන්ත්‍ර ජප කර කර අදාල ගුරුකමි කරද්දි සුනියමි යකා මෙි පුස්කොල පොතට ඇදිලා ඇවිත්. පස්සේ රත්තරන් නුලකින් මෙි පොත තද කරලා ගැට ගහලා මුහුදට දාලා තියනවා..

මෙි පුස්කොල පොත පා වෙලා ලංකාවෙි දකුණු වෙරළට තමයි එන්නේ…  සුනියමි යකා ලංකාවට එන්නෙත් එ විදිහට.. මාතර ප්‍රදේශයේ පුද්ගලයෙක්ට තමයි මෙි පොත හමුවෙන්නේ.දෙවියන් හිනෙන් එ පුද්ගලයාට කියලා තියනවා මෙි පුස්කොල පොත විවෘත කරන්න එපා කියලා.. එ හින්දා එ පුද්ගලයා පොත විවෘත නොකර රහාසේ තියා ගන්නවා. නමුත් දෙවුන්දරට වන්දනාවෙි එන කුලියාපිටිය කියන ගමෙි උපාස කෙනෙක් ගැන හිත පැහැදිලා පුස්කොල පොත එ උපාසක මහාත්තයාට දෙනවා පරිස්සමෙන් ආරක්ෂා කරන්න කියලා. ⁣පුස්කොල පොත දිග නොහරින බවට පොරොන්දු කරගත් පසු මෙි පුද්ගලයා උපාසක මහාත්තයාට පොත දෙනවා. උපාසක මහාත්තයා මෙි පොත අරන් ගිහින් පරිස්සමට පෙටිටගමකට දාලා වහලා තිබුණත් එ පැත්තේ හොරෙක්ට මෙි පොත ගැන දැනගන්න ලැබෙනවා.. ඉතිං හොරා නිකමි ඉන්නේ නැ. පොත හොරකමි කරලා පොත විවෘත කරනවා.. මොකද හොරා හිතන්නේ එක මහා බලගතු මන්ත්‍ර තියන මන්ත්‍ර පොතක් කියලා.

සුනියමි යක්ෂයා බන්ධනයෙන් නිදහස් වෙද්දි දෙවිවරුන් ඝොසා කරලා ” කඹ ලා හිර කරනු , කඹ ලා හිර කරනු ” කියලා. එත් යකා එලියට ගිහින් ඉවරයි. විශාලා මහානුවර විනාස කරා වගේම මෙි යකා ලංකාවෙි කුලියාපිටිය පැත්තේ මිනිස්සු මරාලා කන්න පටන් ගත්තේ මිනිස් ජිවිත භීතියෙන් ඇලලි යද්දි.  වාසනාවක වගේ එ පැත්තේ හිටපු දෙවියන්ගෙන් වරමි ගත්ත සිල්වත් මන්තර සාස්තර දන්න රාජපද්ම මුදියන්සේ කියලා උපාසක මහත්තයෙක් ඔහුගේ දේව වරම උපයොගි කරගෙන පත්තිනි දෙවියන්ට කන්නලව් කරනවා… පස්සේ පත්තිනි මැණියන් මෙි උපාසක මහාත්තයාට කියනවා නවගුණ මන්ත්‍රයෙන් ලක්ෂ වාරයක් ජිවමි කරපු නවගුණ වැල් හත් පටක් ලබා දෙන්න කියලා,

ලක්ෂ හත් පාරක් මතුරපු මෙි නවගුණ වැල් හත්පොට උපාසක මහාත්තයා ලබා දෙනවා පත්තිනි මැණියන්ට… පත්තිනි මැණියන් අමාරුවෙන් අහසට පැනලා මෙි සුනියමි යකාගේ බෙල්ලට නවගුණ වැල් හත්පට දානවා..  එත් එ හත්පොටෙන් හතර පොටක් යකා කඩා දානවා. එත් තුන් පොටක් ඉතිරි වෙනවා.. පස්සේ රාජපද්ම මුදියන්සේ උපාසක මහත්තයා ඇතුළු පිරිසක් යකාව මතුරපු කඹ වලින් බන්ධනය කරලා හිර කරනවා. එදා ඉදන් තමයි එ ප්‍රදේශය කඹලෑව කියලා ප්‍රසිද්ධ වෙන්නේ..

    පත්තිනි මැණියො මෙි යකාගේ බලය දැකලා තීරණය කරනවා දේව වරමක් දෙන්න. නැවතත් කිසිම දවසක මිනීමස් නොකන බවට පොරොන්දු කරගත්තාට පස්සේ පත්තිනි මැණියො සුනියමි යකාට දේව වරමක් දිලා කියනවා සුනියමි විදිහට අරක්ගෙන දොළ පිදේනි ගන්න , ලෙඩිඩු සුවපත් කරන්න, ආතුරයින්ට වැහෙන යක්ෂ දෝෂ දුරු කරන්න, සෑම මන්ත්‍රයකටම අරක්ගෙන ඉන්න කියලා….

මෙන්න මෙහෙමයි සුනියමි දෙවියන් ලංකාවෙි දේවත්වයට පත් වෙන්නේ.. එදා වැටුණු තැන කඹලෑව ( කබල්ලෑව) කියන ප්‍රදේශය තමයි එතුමාට කැපඋන ප්‍රධාන තැන.. තව ඔරු⁣ගොඩවත්ත ලුනාව සුනියමි දේවාලයත් එහෙම තැනක් කියලා විස්තර හොයද්දි මට මගේ මිත්‍රයෙක් පැවසුවා.. එ වගේම තමයි ඔඩිසි සිද්ධ සුනියම එනකොට විස ඝොර සර්පයෝ පිරිවරාගෙන එන බවත් කියනවා. එ තරමි එ පෙණුම බියකරු බවයි ඔහු මට පැවසුවෙි..

A picture containing text

Description automatically generated

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්‌ම ගියේ කන්ථක නම් අශ්වයා රැගෙන බව අපි කවුරුත් දන්නවා.. කන්ථක අශ්වය ලය පැලිලා මිය යැමෙන් පසු සූනියම් දෙවියන්ගෙ නාමයෙන් දේවත්වයක්‌ ලබා පුද සත්කාර ලබන බව පැරණි දේවකතාවල සඳහන් වෙනවා. සූනියම් දෙවියන් ගමන් බිමන් යැමට සිය වාහනය ලෙස තෝරාගෙන ඇත්තේද සුදු අශ්වයෙක්.. මේ නිසා අශ්වයන්ට සූනියම් දෙවියන්ගේ බැල්ම ඇති බව මිනිසුන්ගෙ විස්වාසය… අශ්වයන් හට ගසා ඇති ලාඩම් ඉබේ හැලී ගිය පසු ඒවා රැගෙන පිරිසුදු කොට ජීවම්කර නිවෙස්වල, ව්‍යාපාරික ස්‌ථානවල ඉදිරිපස එල්ලන්නේ එ නිසයි. මේ එල්ලීමෙන් ඇස්‌වහ කටවහ දුරුවී සොර සතුරු බියෙන් මිදී සෞභාග්‍ය උදාවී සූනියම් දේවතාවුන්ගේ ආරක්‌ෂාව ලැබෙන බවට ඇති විශ්වාසය නිසාමයි…..

සූනියම් දෙවියන්ට පින් දෙන ගාථාව

නානාවණ්ණෝ මහා තේජෝ

ඕදාතහය වාහනෝ

ගාම සංචාරකෝ දේවෝ

ඉමං පුඤ්ඤානුමෝදතෝ

නිසංසලා රණසිංහ

ජීවිතාවර්ජනය

අද වන විට ලංකාවේ ප්‍රධාන මාතෘකාව අයිස්. මොනවද මේ අයිස්? ලොව ප්‍රබල වූ මත්ද්‍රව්‍යයක්. කුඩා දරුවන්ගේ සිට මිනිස් ජීවිත ගැහැනු පිරිමි භේදයකින් තොරව බිලිගන්නා මත් රකුසා. මෙය පාසල් වල දැන් දැන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව අපට අසන්නට ලැබෙනවා. වැඩි කාලයක් යන්නට මත්තෙන් ජීවිත මුළුමනින් විනාශ කර දමන්නට අයිස් වලට පුළුවන්. මේ මත්ද්‍රව්‍ය වලට දවසින් දෙකෙන් ඇබ්බැහි වන්නට විශේෂම හේතුව වන්නේ ඒ තුළ අන්තර්ගත වී ඇති රසායනික සංයෝගය බව සොයාගෙන ඇත.

මගේ පෞද්ගලික අදහස නම් අයිස් පිළිබඳව විද්‍යුත් මාධ්‍ය තුළ  නිතර නිතර සිදුකරන ප්‍රචාරණය තුළින් වයස අවුරුදු 10 – 18 ත් අතර ළමයින් හා තරුණ තරුණියන් හට එය වරක් හෝ භාවිත කර බැලීමට පෙළඹවීමක් ඒ තුළින් ඇති වන බවයි. එබැවින් අයිස් පමණක් නොව සියලු මත්ද්‍රව්‍ය අප රටින් තුරන් කිරීමට මාධ්‍යයට ලොකු මෙහෙවරක් කළ හැකියි.

දිනෙන් දින වැඩි වන මේ මත්ද්‍රව්‍ය පිළිබඳ කතා කළත් එය රට තුළට පැමිණෙන්නේ කෙසේද යන්න සොයා බැලුවත් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග අප රට තුළ ගන්නා බවක් නම් අපට පෙනෙන්නට නැහැ. වටලනු ලබන මත්ද්‍රව්‍ය ඇත්තටම විනාස කරනවද? කාලයක් යද්දි නැවත එය වෙළඳපොළට ම පැමිණෙනවාද? මේ පිළිබඳ අපට ඇත්තේ ලොකු ප්‍රශ්නාර්ථයකි.

මේ වන විට අප රටේ ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ කතාබහක නියැලෙන්න ටයි මේ සූදානම. මත් වතුරට ඇබ්බැහි වී එයින් මිදුණු පුද්ගලයෙකු වසර 38 පුරා නොබී එය පවත්වාගෙන යන්නේ කෙසේද? ඇබ්බැහි වීමෙන් මිදීමට ඇත්තටම හැකිද? යන ප්‍රශ්න වලට ඔහු අපට පිළිතුරු සපයනු ඇත. ඔහුගේ නිර්ණාමිකත්වය රැක ගැනීම සඳහාත්, සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යාමේ පහසුව සඳහාත් මා ඔහුට ජෝර්ජ් ලෙස ආමන්ත්‍රණය කරමි.

ජීවිතාවර්ජනය .. ඇබ්බැහි වීමෙන් මිදුණු ජීවිත වල පසු විපරම..

1. ජෝර්ජ් මහත්තයාගෙ වයස කීයද? ගම කියන්න කැමතිනම්.

මගේ වයස දැන් අවුරුදු 71 

ගම කොළඹ 

2. මොනවටද ඇඩික්ට් වෙලා හිටියෙ?

මත්පැන් , කසිප්පු

කොච්චර කල් ඉදලා ද? කොහොමද එක වුනේ

මම පාසල් ගියේ කොළඹ ප්‍රසිද්ධ පෙළේ පාසලකට.  පාසලේදී තරුණ ගුරුවරුන් කිහිප දෙනෙකු සමග පාසල් කාල වේලාවෙන් පස්සේ මත්පැන් පානය කරලා ප්‍රින්සිපල්ට අහුවෙලා මාවත් ගුරුවරුන් වත් පාසලෙන් ඉවත් කළා. මේ සිද්ධිය වෙනකොට මගේ වයස අවුරුදු 16ක් විතර. මගේ අම්මා මට අවවාද කරලා මාව හෝටල් ශේස්ත්‍රයට යොමු කලා. ඒ කාලේ ලංකාවේ සංචාරක හෝටල් හැදෙමින්,  සංචාරක ව්‍යාපාරය දියුණු වෙමින් තිබුණු කාලයක්. මෙය මගේ ජීවිතේට ලොකු අවස්ථාවක් වුණත් ඒ සුදු මහත්වරු නෝනලා හවස 7 , 8 වෙද්දි කාලා පාන්දර 2, 3 වෙනකන් මත්පැන් තොල ගානවා මම දැක්කා. ඒ ජීවිතය ට මම ආස කලා. රස්සාවට ගිය මම රෑ වෙද්දි සුදු මහත්තුරු එක්ක බොන්න පටන් ගත්තා. ඒ අය ශොට් එකක් දානකොට මටත් අරගෙන දුන්නා. හතර පස් දෙනෙක් බොද්දි මට ඒ හැමෝගෙන්ම ශොට් එක ගානේ ලැබුණා. එතකොට තේරෙනවනෙ ඒ අයට වඩා මම මත් වෙලා පිස්සු නටන්න ගත්තා. මේ නිසා මට මගේ පළමු රැකියාව අහිමි වුණා. ඔය වගේ සංචාරක හෝටල් දහයක විතර මම වැඩ කළා. හැමතැනින්ම මගේ බීමත්කම නිසා රැකියාව අහිමි වුණා. තරු පහේ හෝටල් වලින් බොන්න පටන් ගත්ත මම අවසානයේ කස්සිප්පු පොලවල් වලට යන්න පටන් ගත්තා. අතේ සල්ලි නැති වෙනකොට හොරකමට පුරුදු වුනා. මම අවුරුදු 22 දි විවාහ වුණා. අවුරුදු 25 වෙනකොට වෙනකොට මට දරුවෝ තුන් දෙනෙක් හිටියා. මගේ දරුවොත් එක්ක මගේ බිරිඳ ගොඩක් දුක් වින්දා. මට වයස අවුරුදු තිස් 31 වෙනකොට මගේ බිරිඳ මාව දාලා ගියා. මගේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියොයි මාව ප්‍රතික්ෂේප කළා. යාලුවෝ මං එනකොටත් මූ මාර ඇණයක් කියලා මාව කොන් කළා. මට අවසානයට ඉතුරු වුනේ මං විතරයි.

3. ඔබ පුනරුත්ථාපනය වුන කෙනෙක් නෙවෙයි. ඒ ගැන අපිට විස්තර කරන්න.

ඔව් මං පුනරුත්ථාපනය වුණේ නැහැ. මට බොන්න සල්ලි නැති වෙනකොට මම ගෙදර බඩු විකුනුවා. අහල පහල අය මගින් ඇයි ඇහුවහම , මම කිව්වේ Wife දරුවෝ නැතුව මේ බඩුවලින් ඇති වැඩක් තියෙනවද කියලා. මගේ මේ වැඩේ දැකලා හිතවත් කෙනෙක් මාව නිර්නාමික මත්ලෝලීන් ගේ රැස්වීමකට එක්කගෙන ගියා. එතන හිටිය හැමෝම ඇබ්බැහි වීමි වල සිට එයින් මිදුණු අය. ඒ අය අත්දැකීමක් බෙදා ගන්නකොට මට දැනුනේ මගේ ජීවිත කතාව කියනවා වගේ. මොකද ඒ අයටත් මට වගේම කතාවක් තිබුණා. නමුත් ඒ අය ඒ වෙනකොට ලබපු නිදහස සතුට දැක්කහම මටත් ඒ නිදහස සතුට ලබන්න ලොකු ආසාවක් ඇති වුණා. මොකද ඒ වෙනකොට මට හැමදේම නැති වෙලා. මත්පැන් මත්ද්‍රව්‍ය නවත්තන්න ලේසියි.  අමාරුයි. නොබී දවස දවස ජීවත් වෙන්න මට ශක්තියක් වුනේ මං වගේම අත්දැකීමක සිටි අයයි. අදටත් මේ වයසක මට නොබී ඉන්න මේ නිර්ණාමික මත්ලෝලීන් ගේ සංසදය උදව් කරනවා. ඒ වගේම මාත් ඇතුළු එම කණ්ඩායම ඇබ්බැහි වී සිටින අයට එයින් මිදීමට අත දෙනවා.

4. මතින් තොර වෙන එක තනියම කරන්න පුලුවන්ද?

බැහැ. ඒකට ශාරීරික මානසික හා අධ්‍යාත්මික සුවය ඉතා වැදගත්. ඒ වගේම පවුලේ සාමාජිකයින්ගෙන් ලැබෙන සහාය හා පිළිගැනීමත් හරිම වැදගත්.

5.මේ ඇබ්බැහි වීමත් එක්ක ඔයාට අහිමි වුණ දේවල් මොනවාද?

ජීවිතයේ ඇරෙන්න හැමදේම නැති වුණා. තනි උනා,  බිරිඳ දරුවන් දෙමව්පියන්. ගෙදර පිළිගැනීම නැති වුණා, රැකියාව නැති වුණා.

6 මේ අහිමි වුන දේවල් නැවත ළගා කරගන්න ඔයා මොනාද කලේ?

කලින් කිව්වා වගේ AA එකේ සහයෝගයත් එක්ක මං අතින් සිදුවන වැරදි මං පිළිගත්තා. මගේ දුර්වලකම තේරුම් ගත්තා. මං නිසා අනිත් අයට වුණු අපහසුතාවයන් ගැන අවංකවම දුක් වුණා. මේ නිසා මට නැවත පිළිගැනීමක් ලැබුණා. නැතිවුණු දේවල් නැවත ලඟා කරගන්න අධිෂ්ඨානයක් ඇති වුණා.

7. ඔයාගේ ඒ අඳුරු කාල පරිච්ඡේදය තුළ ඔයාගෙන් අන් අයට වුන අපහසුතා මොනවද?

ගොඩක් දේවල් වුනා. ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන්න සිදුවුණා. බිරිඳ දරුවො ලොකු මානසික පීඩාවන්ට මුහුණ දුන්නා. සමාජයෙන් කොන් වුණා.මං නිසා ලැජ්ජාවට පත්වුණා.

8. මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද? 

මිනිස් ජීවිත විනාශ කරන දෙයක්. ජීවිතය විඳින්න ඕන කාලේ විඳවන්න වෙන දෙයක්.

9. ඔයා ලබපු අලුත් ජීවිතේ ගැන මොනාද හිතෙන්නේ? 

පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. හැමදේම නැති වෙච්ච මං ව්‍යාපාරයක් කරනවා.  දැන් නං මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ.  මං ඇබ්බැහිවීමෙන් මිදුනාම ඒ අයට පුදුම සතුටක් දැනුණා. මට පුදුම විදියට විදිහට ආදරය කරන්න පටන් ගත්තා. මගෙ බිරිඳ මගෙන් වෙන්වුනත් අදටත් මට කතා කරනවා.  මගේ දරුවෝ මං ගැන හොයලා බලනවා. මේ ලඟදි මට ඔපරේශන් එකක් කලා. ඒකට වියදම් කළේ මගේ පුතා. අපි අතර අතරේ ලොකු බැඳීමක් දැන් තියෙනවා. මේ ටිකම ඇති දැන් මට සතුටු වෙන්න.

10. තරුණ පරපුරට ඔබට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? 

නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදයට සම්බන්ධව වැඩ කරන කෙනෙක් හැටියට කිසිම විටෙක මම කාටවත් බොන්න එපා කියන්නැහැ. මොකද සමාජයේ කොටස් තුනක් ඉන්නවා. 

* බොන්නෙම නැති අය

* සමාජශීලී  මත්ලෝලීන්

* මතට ඇබ්බැහිවූවන්

තමන්ගේ පමණ ඉක්මවා බොන අය තමයි ඇබ්බැහිවුවන් වෙන්නේ. ඊට පස්සේ ඒ අයට, පවුලේ අයට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. මේ අය සමහර විට විවිධ හේතූන් නිසා මතට ඇබ්බැහිවූවන් වෙන්න පුළුවන්.  ආර්ථික ප්‍රශ්න, සම්බන්ධතා බිඳවැටීම් උදාහරණ විදිහට දෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ට ඇහුම්කන් දෙන තේරුම් ගන්න පුළුවන් කෙනෙක් සමග කතා කරන්න. ඇබ්බැහිවීම් වලින් ඇත්තටම මිදෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ශාරීරික මානසික හා අධ්‍යාත්මික ශක්තිමත්භාවයයි. ඇබ්බැහිවීම ක සිටිනවානම්, එහෙම කෙනෙක්, ඒ අයට සමීපතමයෙක්, එහෙමත් නැත්තං ඔබේ පවුලේ කෙනෙක් මිතුරෙක් මිතුරියක් මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටිනවා නම් ,ඔවුන්ට ඇත්තටම ඉන් මිදීමට අවශ්‍ය නම් ” අනේ මට මේක නවත්ත ගන්න බැහැ” කියලා හිතන්න එපා. ඔබට පුළුවන්.. ඔව් ඔබට එය නවත්වන්න පුළුවන්. නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදය සහෝදරත්වයේ දෑත් ඔබ වෙත දිගු කරනවා ඔබ එයින් මුදවා ගැනීමට සහාය වන්නට. 

අවබෝධයෙන් අවධානයෙන් සතුටින් ජීවත් වෙන්න.

ස්තුතියි

පියුමි සිල්වා

මගේ හිතට ආව සිතුවිල්ලක

මගේ හිතට ආව සිතුවිල්ලක ප්‍රතිපලයක් විදියට තමයි  ” අපි magazine ”  එලිදැක්වෙන්නෙ . 

එහි නමේම තියෙනවා සමුහිකත්වය කියන ආකල්පය. මට හිතුනත් .. මගේ නෙමෙයි, “අපේ” කියන හැගීම. අන්න ඒ “අපි” කියන හදවතට කතා කරන වචනෙත් එක්ක ආරම්භ වුණ අපි සගරාවට අවුරුදු තුනක් දැන්.තෙවැනි අවුරුද්ද සමරන  මේ වෙලාවෙ මුලින්ම ආදරයෙන් මතක් කරන්න ඕනෙ චන්දන සහ චමින්ද මගේ සහෝදර මිතුරන් දෙදෙනාව. මගේ සිතුවිල්ලට පනක් දෙන්න ඒ දෙදෙනාගෙන් ලැබුනු නොමසුරු සහය අපරිමිතයි.

එතනින් ගත්ත ආරම්භය මේ වෙනකොට අවුරුදු තුනක දුර ගමනක් අරන් එන්න කොහෙත්ම පුලුවන්කමක් නැතිවෙන්න තිබුනා, මාත් එක්ක දිගටම හෙවනක් වගේ සඟරාව තමන්ගෙම දෙයක් වගේ ආදරයෙන් හොයලා බලලා අඩුපාඩු හදාගෙන, අලුත් අදහස් එක්ක ඉන්න මගේම සහෝදර සහෝදරියන් වගේ ඉන්න අපි ටීම් එක. පුරා අවුරුදු තුනක්ම මා සමඟ හිටිය සහ ඒ වගේම , අලුතින් එකතුවුනු අපි ටීම් එකේ හැමෝවම මේ වෙලාවේදි ආදරෙන් මතක් කරනවා.

මට හැමදාම ඕන වුණේ  පිට රට ඉන්න ලංකාවෙ අය එකම තැනකට එකතු කරන්න ක්‍රමයක්. මේ ගෙවුන අවුරුදු තුනේදී අපි ටීම් එකට ඒ දේ හිතුවටත් වඩා සාර්තකත්වයකට යන්න පුලුවන් වුණා  කියලා හිතනවා. 

රටවල් ගනනාවකින් ලැබෙන ප්‍රතිචාරත් එක්ක හිතට දැනෙන සතුටත් එක්ක මේ වැඩේ අපි ටීම් එකට ලස්සනට කරගෙන යන්න පුලුවන් වෙලා තියෙනවා. තව දෙයක් ගොඩක් ආඩම්බරෙන් කියන්න ඕන. ඒ තමයි මගේ කතෘ මන්ඩලය. අපි සඟරාව වර්ණවත් සහ හරවත් කරන අපි කතෘ මන්ඩලය ඒ ඒ ලියන විෂයන්වල ප්‍රවීනයන් වීම මට තියෙන ලොකුම ආඩම්බරයක්. 

ඒ අයගෙ දැනුම අපි අතරෙ කිසිම පැකිලීමකින් තොරව බෙදාගන්න හරිම ආසාවකින් බලගෙන ඉන්නවා . 

ඉදිරි වසරෙත් අලුත් ලිපි සහ මාධ්‍ය කරනයේ තවත් එක් සංදිස්ථානයක් සලකුනු කිරීමට බලපොරොත්තුවෙන් සිටිනවා. නව ආරෙකින් ,නවමු අත්දැකීම් එකතුවක් සමඟින් තවත් අවුරුද්දක් අපි සඟරාව ඔබ අතට පත්කරන බලාපොරොත්තුවත් එක්ක, අපි සඟරාව සමග එකතු වෙන්න කියල ආදරයෙන් ආරාධනා කරනවා. 

ස්තූතියි !

මම,

ගයාන් කරුණාරත්න.