ජීවිතාවර්ජනය

උණහපුළුවාට උගේ පැටියා මැණිකක් ලු, වියවහරෙ අපිට කියනවා ඇහෙන්නේ එහෙමයි. ඉතින් තමන් දරුවකු පිළිසිඳගත් දා සිට මෙලොව එළිය දකිනතුරු අම්මා තම දරුවව ගොඩක් පරිස්සම් කරනවා. තමන් ආස කරන කෑම බීම පවා වෙනස් කරනවා. අඳින පළඳින විදිහ ටිකය් කාලයකට වෙනස් කරනවා. හිතින් දරුවා කුස දරාගෙන පරිස්සම් කරන අම්මා, නාදුනන ලෝකෙට දරුවා ආවහම   කොච්චර නම් පරිස්සම් කරනවද.. ඒත් විසකුරු දේ වලින් පිරුණු ලෝකය දරුවන්ව ඩැහැ ගන්න විවිධ විදිහට බලාගෙන ඉන්නවා. අම්මා නොදැනුවත්වම සමහර දරුවෝ වැරදි පාරවල් වලට වැටෙනවා. එසේ වැරැද්දට යොමුවන දරුවන් යහළුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, සමාජයෙන් කොපමණ ප්‍රතික්ෂේපයන්ට ලක්වුවත් හැමදාමත් වගේ තනි නොකරන එකම කෙනා අම්මා විතරයි. ඉතින් මත් රකුසාට බිලි වූ තරුණයෙකු එයින් මුදවා ගැනීමට අනික කැපකිරීම් කල  දිරිය මවකගේ කතාවයි මේ. මතට ඇබ්බැහි වූවන්ගේ ආදරණීයයන් කල කැපකිරීම් නොවන්නට තරුණ වටිනා ජීවිත සමාජයට පිළිලයක් වී අකාලේ මිය යන්නට තිබිණි. එහෙත් ඔවුන් නැවත සමාජගත කරන්නට වෙහෙස වූවන්ට වචනයෙන් හෝ වටිනාකමක් එක් කරන්නට ගත් උත්සාහයකි මේ.

අද අපත් සමග එකතු වන මව රීටා නමින් හඳුන්වමු.

1. අම්මා ගැන අපිට පොඩි හැඳින්වීමක් කරන්න.

මගේ නම රීටා. ගම්පළාත ජාඇල. මගේ මහත්තයා 2006 නැති වුණා. පුතා විතරයි මට දැන් ඉන්නෙ.

2. අම්මා ,පුතා ගැන අපිට විස්තර ටිකක් කියන්න

පුතාගේ නම දුමින්ද . වයස අවුරුදු 35 යි. එයා හොඳ රස්සාවක් කළා. තාත්තටයි මටයි හොදට සැලකුවා.  කසාදයක් බැඳපු දවසට මට මෙහෙම උදව් කරන්න බැරි වෙයිනෙ කියලා මට වළලු දෙකකුයි තාත්තා  ට බ්‍රේස්ලට් එකකුයි අරගෙන දුන්නා. හරිම හොඳ දරුවෙක් එයා. වටේ පිටේ අයත් එකත් හරි සමගියෙන් හිටියා.  කොහොම ඇබ්බැහි වුනාද කියලා හිතාගන්න බැහැ. තාත්තා නැතිවුණා  ට පස්සේ තමයි මේ හැම දෙයක්ම උනේ.

3. පුතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්තේ කොහොමද?

කිසිම වෙනසක් ගෙදරදි තිබුණේ නැහැ. උදේට වැඩට ගිහිල්ලා හවසට ගෙදර එනවා.  සල්ලි දින එක ටික ටික අඩු උනා. මම ඒත් ඇහුවහම  යාලුවෙකුට හදිස්සියකට දුන්නා වගේ උත්තර තමයි මට ලැබුනෙ. පස්සේ පස්සේ අහල පහල අය මට කිව්වා පුතා මොනාහරි පාවිච්චි කරනවා හොයලා බලන්න කියලා. ඒත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.  දවසක් වැඩ ඇරිලා එනකොට මෙයා ඇක්සිඩන්ට් වුණා. සති තුනක් විතර ඉස්පිරිතාලෙ ඉන්න වුණා. ඉස්පිරිතාලෙන් මෙඩිකල් දුන්නේ නැහැ. ඒ හින්ද රස්සාවෙන් අස් කරල තිබුණා. ඒත් එයා නිකං නිකන් හිටියේ නැහැ. මේසන් වැඩ කරන්න පටන් ගත්තා. ඒත් කලින් වගේ පුතා අතේ සල්ලි ගැවසුණේ නැහැ.  ඊට පස්සේ නිතර නිතර මගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා. සල්ලි නැහැ කියනකොටත් අනේ අම්මෙ දෙන්නකෝ මට ඉන්න බැහැ කියලා කිය කියා කරදර කරන්න ගත්තා. පස්සේ මං කෙලින්ම ඇහුවා එයාගෙන් පුතේ ඔයා මොන හරි හොඳ නැති දෙයක් පාවිච්චි කරනවද කියලා. එයා ඔව් කියලා පිළිගත්තා. එයා ඒකට ඇබ්බැහි වෙලා තියෙන්නේ වැඩට යන කාලේ. වැඩට යන කාලේ සල්ලි අඩු වෙලා තියෙන්නේ යාළුවන්ටත් එක්ක මෙයා වියදම් කරලා.

4. දුමින්දව පුනරුත්ථාපනයට යොමු කළේ කොහොමද?

පුතා මට ගෙදරදි කිසිම විදියකින් කරදරයක් කළේ නැහැ. ගහලා බැනලා නැහැ. ඒත් ගෙදර බඩු නැතිවෙන්න ගත්තා. මේ දේවල් නෑදෑයන්ට  ආරංචි වෙලා අපිව පවුලෙන් ඈත් කළා. අපේ පවුල්වල කිසිම කෙනෙක් මෙහෙම දේවල් කරලා නෑ කියලා. මම හැමදාම අඬඅඬා දෙවියන්ගෙන් ඉල්ලුවා මගේ දරුවෝ දරුවා  බේරලා දෙන්න . ඔය අතරේ මට කිහිප කිහිපදෙනෙක් කිව්වා පුනරුත්ථාපනය කරන මේ තැන ගැන. මේ කාලේ වෙනකොට පුතාටත් ඕනවෙලා තිබුණා මේ ඇබ්බැහි වීමෙන් මිදෙන්න. ඉතින් එයාගෙ කැමැත්ත ඇතිව මම එයාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කළා. ඒ වෙනකොට එතනට දෙන්න තරම් මුදල් මා ළඟ තිබුණෙ නැහැ. ඒත් මගේ හිතවත් අය මට උදව් කළා.

5. පුනරුත්ථාපනය උන කාල සීමාව ගැන විස්තර ටිකක් කියන්න.

පුතා අවුරුද්දක කාලයක් වන පුනරුත්ථාපනය වුණා. ඒ කාලෙදි එයාව බලන්න නියමිත දවස් වලට මං නොවරදවාම ගියා. එයා දැන් පුනරුත්ථාපනය වෙලා අවුරුදු තුනක් වෙනවා. ඒත් එයාව තාම ගෙදර ගෙනාවේ නැහැ. අපිට ගමට ගිහින් ඉන්න සුදුසු තත්ත්වයක් නැහැ. මිනිස්සු තාමත් කුඩුකාරයා කියලා හංවඩු ගහනවා. ඒ අවට හැමතැනම මත්ද්‍රව්‍ය. ඉතින් බොහොම දුක් විඳලා බේරගත්ත දරුවව ආයෙත් එතෙන්ට ගෙනියන්න මට බයයි. මමත් දැන් අවුරුදු එක හමාරක ඉඳලා පුතා ඉන්න මධ්‍යස්ථානයට ම ඇවිල්ලා ඒ අයට උදවු කරගෙන පුතත් එක්කම ඉන්නවා. පුතා ඒ මධ්‍යස්ථායෙ කාර්ය මන්ඩලේ සේවය කරනවා.

6. කොච්චර කාලයක් ඔතන ඉන්න බලාපොරොත්තු වෙනවාද?

පුතාව  පිළිවෙලක් කරලා වෙන ගම් පළාතක ට යවන්න කන් මේ මධ්‍යස්ථානයට වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉතිං මට සැනසිල්ලෙ තාත්තා ගිය තැනට යන්න පුලුවන්. එළියට යනවට වඩා මෙතන හරිම ආරක්ෂිතයි. අපි දෙන්නම දැන් හරි සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

7. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන අයගේ ආදරණීයයන්ට අම්මට මොනවද කියන්න තියෙන්නේ.

පුතේ, තාත්තත් නැතුව මගේ දරුවාව බේරගන්න මං ගොඩක් දුක්වින්දා. ශාරීරිකව නෙමෙයි මානසිකව. කියන්න කෙනෙක් නැහැ කතා කරන්න කෙනෙක් නැහැ. නෑදෑයො බලන්නෙවත් නැහැ. පුදුම අසරණකමක් දැනුනේ. ඒත් අම්මෙක් විදිහට මට මගේ දරුවා අතාරින්න බැහැනෙ. මගේ අතපසුවීමකින් වෙන්නත් ඇති එයාට එහෙම වෙන්න ඇත්තෙ. තාත්තත් නැතුව ඉන්නකොට එයට තනිකමක් දැනෙන්න ඇති. යාලුවොත් එක්ක එකතු වෙන්න ඇති. එයාලා කරන දේවල් කරන්න ඇති.

මම දෙමව්පියන්ගෙන් විශේෂයෙන් ඉල්ලනවා දරුවන්ට තව තවත් ලං වෙන්න. හැමදේම දෙන ආදරේට වඩා ඒ අය වෙනුවෙන් කාලය වැය කරන්න. දරුවන්ට ඇහුම්කන් දෙන්න. ඔවුන් ආදරයෙන් පිළිගන්න. ඔවුන්ගේ වැරදි වලට සමාව දුන් ව කියන්න. නිතරම තමන් අදහන දෙවියන් බුදුන් ගෙන් ආරක්ෂාව ඉල්ලන.  ඒ පිළිගැනීමත් එක්ක ඒ අයට තමන් ගැන විශ්වාසයක් ඇති වෙයි. ඒ තුළින් ඔවුන්ට නැවත මතට ඇබ්බැහි වීමට හිතක් ඇති නොවෙයි.  එතකොට තමන්ගේ කඳුළු, කැප කිරීම් වලට, වටිනාකමක් එක් කරන්නට දරුවන්ට ආසාවක් ඇතිවෙයි. ඒ වගේම  දෙමාපියන් දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. විනාඩි කිහිපයක් ඇති දරුවෝ විනාස වෙන්න. ඉතින් දෙයක් වෙලා දුක් වෙනවට වඩා ඒ දේවල් නොවෙන්න වග බලාගන්න.

ස්තුතියි

පියුමි සිල්වා

හදිස්සි වෙන්න එපා..

(ආකර්ෂණයයි , ප්‍රේමයයි , විවාහයයි )

උදේට නැගිටිනවා , කනවා , බොනවා , ඔෆිස් යනවා , ජීවිතේ ලොකු වෙනසක් නැතුව හැමදාම පුරුදු විදිහටම ගෙවිලා යනවා නේද ?

කිසිම  වෙනසක් නැහැ, හරිම ඒකාකාරියි  කියල හිතුනට ,

අවුද්දකට දෙකකට කලින් හිටපු ඔයයි අද , මේ මොහොතේ ඉන්න ඔයයි එක සමානමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ,  

දවස සාමාන්‍ය විදිහට ගෙවුනට  පස්ස හැරිලා බලද්දී අපිටත් නොදැනී අපි ගොඩක්  වෙනස් වෙලා , අපේ ජීවිත වෙනස් වෙලා , එදා  කැමති දේවල් වලට අද අකමැති වෙලා , එදා අකමැති දේවල් වලට අද කැමති වෙලා ,සමහර දේවල් ඇයි කලේ කියලා දුක හිතෙනවා වගේම තවත් සමහර දේවල් නොකළේ ඇයි කියලා පසුතැවෙනවා , කවදා කොහොම වෙනස් උනාද කියලා නොදන්නවා උනාට කාලයත් එක්ක අපිටත් නොදැනී  අපි වෙනස් වෙලා ..

 ජීවිතේ හැටි එහෙම තමයි ඒකට ,අත්දැකීම් , පළපුරුද්ද , පරිණතවීම , අවබෝධය , වයස ඔය මොකක් හරි  ඔයා කැමති වචනයක් දාගන්න .

මේ කතාවත් ඒ වගේ ,

යන්තන් අවුරුදු 14 ක් 15ක් වෙලා  ජීවිතේට පය තියනකොට අපිට ඉතින් අමුතු අමුතු හැඟීම් දැනෙන්න ගන්නවා , ජෙල් නාපු කොණ්ඩයක් , ඝනකම් රැවුලක් , ගිටාර් එකක් ගහන  අත්දෙකක් , වල ගැහෙන කම්මුලක් දැක්කත් ඇති කොල්ලෙක්ට හිත යන්න , කොල්ලොත් එහෙමයි , දත් ටිකක් , හිනාවක් , එක බැල්මක් ඇති කෙල්ලෙකුට හිත යන්න , ඉතින් ඒ වෙලේ ඉඳලා තමන් තමයි සත්‍ය ප්‍රේම භුංග රාජයා කියලා හිතලා තමයි අපි හැසිරෙන්නේ , ඔය අතරේ ශාරුක් කාන් ගේ රොමැන්ටික් මූවි එකක් බලපු ගමන් අර CRUSH එක කැලේ , එදා ඉඳන් ඉතින් ශාරුක් කාන් තමයි සිහින කුමාරයා , තව දවසකින් දෙකකින් ගමේ සංගීතේ බලන්න ගිහින් ඒකෙ KEY  BOARD ගහපු කොන්ඩ කුරුල්ලා දැක්ක ගමන් ශාරුක් කානුත් පට ගාල   DIVORCE, ඔහොම කී දෙනෙකුට කියල  crush වෙලා ඇතිද ?  

සමහරු ඕකට  ආදරේ ආදරේ කියලා හිතාගෙන රැවටුනාට ඒ  ආදරේ නෙමෙයි ඒකට කියන්නෙ  ආකර්ෂණය , 

දැනෙන වෙලාවට පපුව සිදුරු කරගෙන ගියාට , ආකර්ෂණය කියන්නේ හරිම තාවකාලික හැඟීමක් විතරයි .ඒක ඕනෑම මොහොතක ඕනෑම කෙනෙක් වෙනුවෙන් ඇති වෙන්න පුළුවන් වගේම ඕනෑම මොහොතක නැති වෙලා ශුන්‍ය වෙලා යන්නත් පුළුවන් , ආකර්ෂණය ආදරය කියලා හිතාගෙන ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග ගිහින් සැනසුන සෙට් එකට වඩා වැනසුණ සෙට් එක තමයි වැඩි .

එතකොට මොකද්ද ඔය ආදරේ කියන්නේ ?? චන්දන ලියනආරච්චිත් ඕක  සෑහෙන්න හොයලා තිබ්බා , අන්තිමට , එනමුදු ප්‍රේමය

කිමැයි කියා හඳුනා ගත් කිසි කෙනෙකු නැති ..කියල හිත හදාගත්තා ..

ආදරේ කියන්නේ ආකර්ෂණයට එහා ගියපු හරි  අමුතු එකක් , ආකර්ෂණය දැනෙන්න මූණ,හිනාව , කතාව වගේ එක එක හේතු තිබ්බට ආදරේ දැනෙන්න එහෙම හේතු නැහැ , දත් නැති , ඇස් පෙන්නේ නැති , කෙනෙක් ගැන  උනත් ආදරේ කියන දේ දැනෙන්නේ පුළුවන්, දැන් කාලේ ඉන්න ගොබිලෝ , මාව බැන්දේ නැත්තම් මරනවා , ගිනි තියනවා , විනාශ කරනවා , කියලා ලතෝනි දුන්නට ආදරේ කියන්නේ තණ්හාවෙන්  බදා ගන්න එකට නම්  නෙමෙයි , අනිත් පාර්ශවය කැමති උනත් , අකමැති උනත් , ලැබුනත් නොලැබුනත් , ඒ කෙනා කෙරෙහි ඇතිවන පහන් හැඟීම , ඒ කෙනාගේ සතුට දිහා බලාගෙන සතුටු වෙන එක තමයි මම දන්න විදිහට  ආදරේ කියන්නේ , 

එතකොට විවාහය , 

එහෙන් මෙහෙන් වයර් ඇදලා අපි  විවාහය කියන එක ප්‍රේමය එක්ක සම්බන්ධ කරන්න හැදුවට , ඒ දෙකේ ඒ හැටි ලොකුම ලොකු  සම්බන්ධයක් නැහැ , ගොඩක් වෙලාවට  විවාහය කියන්නේ ප්‍රේමයේ මළගෙදර , ආදරේ උපරිමයට ගිහින් බැඳලා ,බැන්ද දවසේ ඉඳන් ප්‍රේම කරනවා වෙනුවට ගොඩක් උන් කරන්නේ කා කොටා ගෙන වයිර කරන එක , 

ප්‍රේමය ලොකු කරගෙන කසාද බැන්දට ඇත්තටම කසාද ජීවිතේට ප්‍රේමය විතරක් තිබිලා මදි , අවබෝධය , කැපවීම , ඉවසීම , දරාගැනීම මේ ඔක්කොම ටික  ඕන , ඒ ඔක්කොටම වැඩියෙන් යථා ස්වභාවයට එකඟ වෙන්න පුළුවන් වෙන්න ඕනේ , යාලු වෙලා ඉන්න කාලේ පෙරුම් පුරලා හම්බෙන්න එන කොට තියන හොඳම ඇඳුම ඇඳගෙන ගෙදර තියන ඔක්කොම සුවඳ ගාගෙන රැස් විහිදගෙන හිටියට , එක ගෙදර ජීවත් වෙනකොට දත් නොමැදපු , කොන්ඩේ  ගෙඩියක් බැඳගත්ත , රැවුල කපපු නැති ආදරේ දකිනකොට , අප්පිරියා හිතෙනවනම් , තරහ එනවනම් අපෝ මන් ආදරේ කලේ මූටද කියල හිතෙනවනම් ඒ කියන්නේ එකිනෙකාගේ යථා  ස්වභාවය දරාගන්න බැරි නම් ඒ විවාහය එකෙන්ම ෆේල් , ආදරේ ආදරේ කියලා අනිත් හැමදේම සතේකට වත් ගණන් නොගෙන  බැඳගත්තට මාසෙකින් දෙකකින් කසාදෙ කියන එකේ තියන අර  අමුතු මොරාල් එකේ උපයෝගිතාවය හීන වෙලා , ගෙවල් දොරවල් , කාර් බාර් , සල්ලි , රත්තරන් බඩු ඉස්සරහට එනවා , කොටින්ම කිව්වොත් අපේ දෙමව්පියෝ ගහපු ගේම ටම ම අපිටත් enter වෙන්න  වෙනවා , පාරේ බස් එකේ යන්න පුරුදු නැතිම  කෙනෙක් ආදරේ නිසා ෆුට් බයිසිකලයක් වත් නැති කෙනෙක්ව බැන්දා කියන්නකෝ , ටික දවසකින් එක්කෝ කෙල්ල තීරණය කරනවා බස් එකේ යනවද  නැත්තම් එපා වෙලා කොල්ලව දාලා ආයේ ගෙදර යනවද කියල  , කෙල්ලගේ කොන්ඩෙ දිග හින්දා හම සුදු හින්දා ආදරේ කරලා උයන්න බැරිනම්  බඩගින්නේ ඉමු කියලා බැඳගත්ත්ට දවස් දෙක තුනක් ගියාම කොන්ඩෙ දැක්කා කියලා බඩ පිරෙන්නේ නැහැ කියලා තේරුනාම එක්කෝ ගෑණිට උයන්න ඉගනගන්න කියලා රණ්ඩු වෙනවා  වෙනවා නැත්තම් පිටින් කන්න පුරුදු වෙනවා ,එහෙමත් නැත්තම් බඩගින්න දරාගන්න හුරුවෙන්න වෙනවා , ඉතින් ඔය සාස්තරේ දන්නැති තැන් වල   ආදරේ පැදුරටත් නොකියා හොරෙන්ම යනවා , යනවා කිව්වට හිමින් යනවා නෙමෙයි දුවනවා …

අන්න ඒ නිසා තමයි කියන්නේ විවාහය කියන්නෙ ප්‍රේමය කියන කෑල්ල  විතරක්ම  නෙමෙයි කියලා ,

ආදරේ මේක , ආකර්ෂණය මේක , විවාහය මේක කියල  පොත් ලියලා කිව්වත් කිරි කජු කෙල්ලෝ කොල්ලන්ට ආදරේ , ආකර්ෂණය , විවාහය කියන්නේ එකක් නෙමෙයි තුනක් කියලා තේරෙන්නේ නැහැ , ඕකුන් ඒක තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නැහැ , මොකද අම්මා තාත්තාගෙන් කාලා බීලා ලව් කරන කාලේ වෙන බරපතල වැඩ මුකුත්  නැහැනේ , ඒ නිසා උන් ජීවිතේ කියල හිතන්නෙ  උන්ට දැනෙන දේ විතරයි , හැබැයි වයසින් මුහුකුරා ගිහින් අත්දැකීම් ලබලා ජීවිතේ ටික දුරක් යනකොට , තමන්ම හම්බකරලා ජීවිතේ කියන ගේම් එකට එන්ටර් උනහම තමයි නියම ආදරය ආකර්ෂණය කියන දෙක වෙන් කරලා අඳුරගෙන  විවාහ වෙන්න ඕනේ කොයි වගේ කෙනෙක්වද කියලා හරියටම තේරෙන්න පටන්  ගන්නේ , 

අන්න ඒ නිසා තමයි , විවාහ වෙන්න වයසක් නැහැ කියල කියන්නේ , තමන්ට ජීවිතේ හරියට දැනෙන්නේ 25  දීද 30 දීද 50 දීද එදාට තමයි විවාහ වෙන්න ඕනේ , එතන ආදරේ තිබුනොත් ඒක ගොඩක් ලේසියි වගේම  පහසුයි , හැබැයි ආදරේ තිබිලා අනිත් හැමදේම නැත්තම් ඒක අමාරුයි , ආදරේ නැතුව අනිත් හැමදේම තිබ්බත් ඒත් ඉතින් ලේසි නැහැ ,

ඔන්න ඕක හරියටම තේරුම් බේරුම් ගන්න පුළුවන් වෙන්නේ අඩුම ගානේ ජීවිතේ දශක දෙක හමාරක්වත් ගියාට පස්සේ තමයි , ඒක නිසා තමයි , 18 ට වැඩි අයට කසාද බඳින්න නීතියෙන් අවසර තිබ්බත් ඒ වයසෙන්  කසාද බඳින එක මෝඩකමක් කියලා කියන්නේ ,

මොකද අවුරුදු 18 දී 20දී අතින් අල්ලාගෙන තුරුල් කරගෙන ඉන්න එක තමයි ආදරේ කියලා හිතුවට  ඇත්තම තත්වේ තේරෙන්න තව ටිකක් කල් යනවා , ඒත් ඒ වෙනකොට පොතක අත්සන් කරලා නීතියට කොටු වෙලා ඉවරයි නම් ඉතින් සොරිම තමයි , ඒ කියන්නේ බොහෝ විට  ජීවිතේ පැටලිලා ඉවරයි ..

ආකර්ෂණය කියන්නේ එකක් , ආදරය කියන්නේ වෙන එකක් , විවාහය කියන්නේ වෙනම එකක් , ඔය තුන එකයි කියල ඔයාට හිතුනට , ඔය තුනේ වෙනස හරියට තිතටම තේරෙන්න නම් ඔයා ජීවිතේ දශක දෙකක් වත් ඉවර කරන්නම ඕනේ , ඒ නිසා ඉක්මනට පවුල් වෙලා ජීවිතේ  අවුල් කරගන්න  හදිස්සි වෙන්න එපා , 

බැඳෙන්න කලින් ,  බඳින්න කලින් , තවත් තව තවත් හිතන්න , ඉක්මනට බැඳෙන ඒවා හරිම ඉක්මනට බිඳෙනවා ඒකයි ..

පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා කිව්වට  ජීවිතේ හරිම තැන අහුවෙන්නෙ කොහොමත් ටිකක් පහුවෙලා,එතකන් අහු නොවී ඉන්න එක තමයි වෙන්න ඕනේ ..

Anisha

බ්‍රිතාන්‍යයේ කුලී ගෙවල් ගැටළුව

බ්‍රිතාන්‍යයට එහෙම නැත්තම් එංගලන්තයට මෑතකදී සංක්‍රමණය උනු ශ්‍රි ලාංකිකයන් ඇතුළු විශාල පිරිසකට මෑත කාලයේදී මුහුණ දෙන්න වෙන ලොකු ගැටළුවක් තමයි කුලී නිවසක් එහෙම නැත්තම් කාමරයක්, ඇනෙක්සියක් හොයා ගන්න බැරුව සිදුවන අපහසුතාවය. එක පැත්තකින් මේ වෙනකොට එංගලන්තයේ විශාල කුලි නිවාස හිඟයක් තියනවා. ඒ වගේම අනික් පැත්තෙන් නිවාස කුලියත් ඉතා ඉහළ අගයකින් වැඩි වෙමින් යනවා.

මේ ගැන මම විස්තර ටිකක් ලියන්න හිතුවේ මේ කාලේ ලංකාවෙනුත් ලොකු පිරිසක් එක්සත් රාජධානියට එනවා. ඒ වගේම ඒ අයත් මේ කුලී නිවාස ගැටළුවට ඉතා බරපතල විදියට මූණ දෙනවා. බ්‍රිතාන්‍යය මාධ්‍ය දා බ්‍රිතාන්‍යය රජය මේ කුලී නිවාස ගැටළුව ගැන මොනවද කියලා තියෙන්නේ කියලා හොයද්දි දැන ගත්ත ප්‍රධාන කාරණා දෙකක් තමයි එක පැත්තකින් ඉතා වේගයෙන් කුලී නිවාස සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා වගේම අනික් පැත්තෙන් කුලියට දීම සඳහා තියන නිවාසත් අඩු වෙමින් යනවා.

කුලියට දීම සඳහා වන නිවාස අඩුවීමට ලොකුම හේතුවක් තමයි එංගලන්තයේ මේ වන විට තියන ආර්ථික අර්බුදය. ඒ එක්කම රටේ පොලී මට්ටම් ඉතා වේගයෙන් ඉහළ යන නිසා නිවාස ණය (Mortgage) පොලියත් දරා ගන්න බැරි විදියට ඉහළ යනවා. ඒ නිසා කුලියට දීම සඳහාම නිවාස මිලදී ගන්නන් එහෙම නැත්තම් ආයෝජකයන් නිවාස වල ආයෝජනය කරන්න මැලිකමක් දක්වනවා. ඔවුන්ට නිවාස ම්ලදී ගෙන කුලියට දීමෙන් ලාබ ලබන්න බැරි තැනට ආවම ඔවුන් ඒ මත සිදුකර ආයෝජන නතර වීමෙන් කුලියට දීම සඳහා වන නිවාස හිඟයක් ඇති වෙලා තියනවා.

අනික් පැත්තෙන් කොහොමත් ඉල්ලුම වැඩිවෙනකොට මිළ ඉහළ යනවා. කුලී නිවාස මිළ ඉහළ යන්න ඒකත් හේතුවක්. ඒ වගේම අධිකව ලෙස ඉහළ ගිය විදුලිය හා ගෑස් බිල් නිසාත් කුලී නිවාස හිමියන් නිවාස කුලී කිහිප වරක්ම ඉහළ දමන්න තීරණය කරා. කොහොම උනත් රජයේ අවධානය මේ වෙත යොමු උන නිසා අළුත් චාන්සලර්වරයා තමන්ගේ කුඩා අයවැය මගින් වසරකට නිවාස කුලී ඉහළ දැමිය හැකි සීමාව 7% දක්වා සීමා කලා.

ඒ අතර ලන්ඩන් නගරාධිපතිවරයාගේ අවධානයත් මේ නිවාස කුලී ඉහළ යාම කෙරෙහි යොමුවෙලා තියනවා . ඔහු කියන්නේ වසර දෙකක් තුල ලන්ඩන් නගරයේ සාමාන්‍ය මාසික නිවාස කුලිය පවුම් 200කින් පමණ ඉහළ ගිහින් තියනවා කියලා. ඔහු ඒ සඳහා ඉහළම මිළ සීමාවක් පනවන්න අදහස් කරගෙන සිටිනවා කියලා කියන අතරෙම ඒ සඳහා බ්‍රිතාන්‍යය රජයේ අවසරයත් බලාපොරොත්තු වෙනවා.

කුලී නිවාස හිඟය සඳහා බලපාපු අනික් ප්‍රධාන හේතුව තමයි ඉල්ලුම ඉහළ යාම.බ්‍රිතාන්‍යය ඉතිහාසයේ වසරක් තුල සිදුවූ වැඩිම ශුද්ධ සංක්‍රමණ වාරතා වෙන්නේ පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල. එය සංඛ්‍යාත්මකව 504,000. ඒ කියන්නේ අළුතින් බ්‍රිතාන්‍යයට මිනිස්සු ලක්ෂ 5කටත් වඩා වසරක් තුල ඇවිල්ලා තියනවා. ඒ අතරේ පකිස්තාන යුක්රේන සරණාගතයන් වගේම ශිෂ්‍යන් විදියට මේ රටට ආපු විශාල පිරිසකුත් ඉන්නවා. 

එම වසර තුල Student වීසා මත ආපු ප්‍රමාණය 277,000. මේ හැමෝම කුලී ගෙවල් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශීය ශිෂ්‍යන් අතර ජනප්‍රිය විශ්ව විද්‍යාල කිහිපයක් අවට තමයි මේ තදබදය වැඩියෙන්ම ඇති වෙන්න. ඉල්ලුම වැඩිවීමත් සැපයුම අඩුවීමත් එකම කාලයකදී සිද්ධ වීම නිසා කුලී නිවාස ගැටළුව නිවාස අර්බුදයක් බවට පත්වෙලා තියනවා. මේකට විසඳුමක් ලෙස වසරකට නව නිවාස ලක්ෂ 3ක් ඉදිකරන්න බ්‍රිතාන්‍යය රජයේ එලක්කයක් තිබුනත් ඒ ඉලක්කයත් මෙ දක්වා සාර්ථක කරගන්න රජය අසමත්.

Thilan jayasekara

සාලිස් වසරක සාඩම්බර අභිමානයයෙන්

මහා බ්‍රිතාන්‍ය සිසාරා නොයෙක් පෙදෙස් වල විසූ ආදි ආනන්දීයන් එක රොදකට එක් කරමින්  1982 වස⁣රේදී ලන්ඩන් නුවරදී “එක්සත් රාජධානියේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමය”පිහිටුවා ගන්නා ලදි. තමන් ශිල්පීය ඥානය ලද අනඳ මැණියන් ඉහලින් ඔසවා තබමින් අවශ්‍ය මොහොතක ඇයට සවියක් වන්නට මෙන්ම තමන් අනඳ බිමෙන් ලත් දෙයට වැඩි යමක් අනඳ බිමට පාතබන අළුත් පරම්පරාව වෙනුවෙන් ලබා දීම මුලික අරමුණ කරගෙන මෙම සංවිධානය පිහිටුවා ගන්නා ලදී. එසේම එක්සත් රාජධානිය තුල වෙසෙන ආදි ආනන්දීයන්ගේ සහෝදරත්වයේ බැදීම වැඩි කිරීම මෙන්ම ඔවුන්ගේ ශුභ සාධනයද අපට අනන්‍යවු අපේ දේ මහා බ්‍රිතාන්‍ය තුල රැකගැනීමද

මෙහි තවත් අරමුණක් විය.

කේ.ජි.ආර්.ඩබ්ලියු ධර්මවර්ධන සහ වෛද්‍ය ජීවා සිරිවර්ධන දෙපල මුලාරම්භක සභාපතිවරැන් වු මෙම සංගමය අද වන විට සභාපතිවරැන් තිස්තුන්දෙදෙනෙකු යටතේ කල කාර්යයන් බොහෝය.මෙහි වත්මන් සභාපතිවරයා වන්නේ දිමුත් ජයවීර මහතායි. එදා මෙදාතුර ආනන්දය වෙනුවෙන් මෙන්ම මව්බිමට උදව් අවැසි හැම මොහොතකම ඒ වෙනුවෙන්ද එක්සත් රාජධානියේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමය පෙරට පැමිණ තිබේ. එසේම මහා බ්‍රිතාන්‍යය තුල ආගමික සංස්කෘතික හා සාමාජීය වශයෙන් අපගේ අනන්‍යතාව පෙරට ගෙන එමින් පවත්වන්නට යෙදුණු නොයෙක් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව ආදරයට පත්ව තිබේ.

1988 වසර ආදි ආනන්දීයන්ට සුවිශේෂ වසරක් විය. වෛද්‍ය නාරද විජේතිලකයන්ගේ මුලිකත්වයෙන් පටන් ගන්නා ලද සිංහල අවුරුදු උත්සවය ඉන් පලමුවැන්නයි. එය එක්සත් රාජධානිය තුල එදා මෙදා තුර නොකඩවා පැවත්වෙන පැරණිතම අවුරුදු උත්සවය ලෙස සැලකේ.ආනන්දීයන්ටම සීමා නොවී බ්‍රිතාන්‍යයේ තුල වෙසෙන සියලු ලාංකිකයන්ටම තම පැරනි මතකයන් අවධි කිරීමට එය ඉටු කර ඇත්තේ ඉතා මහගු කාර්යයකි. විටෙක සහෝදර පාසල්ද සම්බන්ධ කරගනිමින් ඔවුන්ටද මග පෙන්වීමට සමත්වීම අගය කල යුත්තකි.

දෙවැන්න වන්නේ ජි.සි.පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් සහෝදර රාජකීය , ශාන්ත තෝමස්,ශාන්ත පීතර , ශාන්ත අන්තෝනි ,ත්‍රිත්ව ආදි ශිෂ්‍ය සංගම් එකතු කරගනිමින් පිහිටුවා ගන්නා ලද ක්‍රිකට් සැණකෙළියයි.Festival Of Cricket (FOC) අදටද ශ්‍රී ලාංකිකයන් වැඩිම ප්‍රමාණයක් එකට එක්රොක් වන උත්සවය බවට පත්ව තිබේ. අද වනවිට මෙම මහා පාසල් ක්‍රිකට් ක්‍රිඩා සැණකෙළියට පාසල් ආදි ශිෂ්‍ය සංගම් 33ක් පමණ එකතුවී සිටින අතර මෑතක සිට කාන්තා පාසල් සදහාද  ක්‍රිකටි තරගාවලියක්ද පවත්වන්නට කටයුතු යොදා තිබේ.සැණෙකලියෙන් ලැබෙන ආදායම පාසල් ආදි ශිෂ්‍ය සංගම් අතරේ මෙන්ම මහරගම පිලිකා රෝහල වැනි පුණ්‍ය ආයතන වෙතද ලබා දෙමින් තිබේ.

එසේම ආදී ආනන්දීය ශිෂ්‍ය සංගමය එංගලන්තයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ කළා රසාස්වාදනය සදහා ලාංකික කළාකරැවන් සංගීතවේදීන් මහා බ්‍රිතාන්‍යයට ගෙන්වා ප්‍රමිතියකින් යුක්තව ඒවා සංවිධානය කිරීම පසුගිය කාලය පුරාවට සිදුකොට තිබේ.

එක්සත් රාජධානීය ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමයේ වසරේ දින පොතේ ප්‍රධානතම අංගය වන්නේ ඕල්කට්තුමා ප්‍රධාන ආදී කතෘවරුන් සිහිකිරීම උදෙසා සිදුකරනු ලබන දානමය පිංකමයි. එය සෑම වසරේම ලංඩන් බෞද්ධ විහාරස්ථානයේදි නාහිමියන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදය සමගින් සිදුකරනු ලබයි. එසේම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව රන් ආලේපනය කිරීමේ අරමුදලට මෙන්ම මෑතකදී සම්පුර්ණ කල විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ අරමුදල වෙනුවෙන්ද ආනන්දීයන් සැලකියයුතු ආධාරයන් ලබාදී තිබේ.

මෙම සංගමයේ දායකත්ව දශක හතරකට ආසන්න කාලායක් පුරාවට පාසල් මෑණියන්ට පමණක් නොව ශ්‍රී ලංකා මැණියන් වෙතද අවැසි මොහොතේදී  ලබා දී තිබේ. යුද්ධය පැවැති කාලයේදී ආභාධිත රණවිරුවන් වෙනුවෙන් ඇරබී “අප වෙනුවෙන් අප” අරමුදල වෙනුවෙන්ද සුනාමි ව්‍යසනයේදී මෙන්ම  කොවිඩ් 19 ජනාධිපති අරමුදල වෙනුවෙන් විශාල මුදල් ආධාරයන් ලබාදී තිබේ. එසේම  හෝමාගම කොවිඩ් රෝහල වෙනුවෙන් විශාල පිරිවැයක් දරා එයට අවශ්‍ය  Mindray uMEC 10 HDU monitors යන්ත්‍ර  3ක් ලබාදීමටද කරාපිටිය රෝහල සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය බෙහෙත් ලබාදීමටද කටයුතු කරනලදී.

මේ සෑම කටයුත්තකදීම ආදි ශිෂ්‍ය සංගමයත් ආදි ආනන්දීයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් මෙන්ම හිතවතුන්ගෙන්ද විශාල සහයෝගයක් ලැබී තිබේ. ආනන්දය යනු තවත් එක පාසලක් පමණක් නොවනවා සේම එක්සත් රාජධානියේ ආනන්ද ආදි ශිෂ්‍ය සංගමයද තවද එක් සංගමයක් පමණක් නොවන බව පෙනීයයි. උගත් පාසලට පමණක් නොව උපන් දේශයටද ණයනැති තම පාසලේ  මෙන්ම තම රටේ උන්නතිය සදහාද දශක හතරක්  තිස්සේ ඉතා සක්‍රීයව පවතින සංගමයකි මෙය. මෙම සියලු සත්ක්‍රියාවන් ආනන්දයටත්, රටදැයටත් තව චිරාත් කාලයක් කිරීමට හැකිවේවා යනු සැමගේ පැතුමයි.

ජීවිතාවර්ජනය

මිනිස් ජීවිතයක් ලබන්න අපි මැරි මැරී කී වාරයක් ඉපදෙනවා ඇත්ද? එසේ කල්ප කාලයක් පෙරුම් පුරා ලබන ජීවිතය කීදෙනෙක් නම් විවිධ වූ හේතුන් නිසා අකාලයේ විනාශ කරගන්නවා ද? ඔබත් මාත් අතර මත් රකුසාට ගොදුරු වී එයින් මිදීමට නොහැකිව විනාශය කරා තම ජීවිත ගෙනයන බාල තරුණ මහලු අය සේම එයින් මිදී යහපත් ජීවිත ගත කරන පුද්ගලයින්ගේ ජීවිතාවර්ජනය තුළින් සමාජයට ආදර්ශයක් වන්නට ගත් තවත් උත්සාහයකි මේ. කතාව ඉදිරියට පවත්වාගෙන යාමේ පහසුව සඳහාත් ඔහුගේ අනන්‍යතාවය සුරැකීම සඳහාත් අද කතා නායකයා සාලිය ලෙස හඳුන්වමු.

1. සාලිය ඔයාගේ වයස කීයද?

ගම කියන්න කැමති නම්

වයස අවුරුදු 55 යි. ගම වත්තල.

2. මොනවටද ඇඩික්ට් වෙලා හිටියෙ?

මත්පැන්, මත්ද්‍රව්‍ය, සිගරට්

කොච්චර කල් ඉදලා ද? කොහොමද එක උනේ..

මම අවුරුදු දොළහේදී තමයි සිගරට් බොන්න පටන් ගත්තේ O/Ls ඉවර වෙලා යාළුවොත් එක්ක එකතුවෙලා ගන්ජා ගැහුවා. මම හොදට sports කරපු කෙනෙක්. O/Ls ඉවරවෙලා අවුරුදු දාහතේදී මම club එකකට soccer සෙල්ලම් කෙලා. දවසක් මම දැක්කා එතන ලාම්පුවක් පත්තු වෙනවා. එතන මම දන්න කෙනෙකුත් හිටියා. එයා එතනට වෙලා ඊයම් කොළයක් නහයට ලං කරන ගමනුයි හිටියේ. මටත් එහෙම කරන්න දුන්නා. එදා තමයි මම ඉස්සෙල්ලම හෙරොයින් පාවිච්චි කලේ. ඒ යාලුවා මට curry බෑග් එකක හෙරොයින් ගෙනත් දුන්නා. සල්ලි ගත්තෙ නැහැ. ඒ කාලෙත් ඒක කෝටි ගාණක් වටින්න ඇති. ඒ ටික මම ගොඩක් කල් යාලුවොත් එක්ක බිවුවා. ඊට පස්සේ ඉතින් දන්නවනේ කුඩු දවසක් කිව්වා කියන්නේ ඇබ්බැහි වුණා තමයි. මාත් එක්ක මගේ යාළුවොත් මේකට ඇබ්බැහි වුණා. 

ඔය අතර මම අරක්කුත් බිව්වා. අවුරුදු දාහතරක් ඔය විදිහට ඇබ්බැහි වෙලා හිටියා.1983 කලබල කාලෙ අපේ ගෙදර ගිනි තිබ්බා. ඒත් තාත්තා රැකියාව කළ ආයතනයෙන් අපිට  නැවත ගේ හදලා දුන්නා. මේ සිද්ධීන් එක්ක අපේ පවුලේ ඔක්කොම ඉන්දියාවේ පදිංචියට ගියා. ඒත් මම ටික දවසක් ඉදලා ,ඉන්න බැහැ කියලා ආයෙත් ලංකාවට ආවා. අම්මෝ ඒ ආවාට පස්සෙ මට පුදුම නිදහසක් තිබ්බේ. කවුරුත් මං ගැන හොයන්න හිටියේ නැහැ. මම ඇති තරම් කුඩු ගැහුවා. අම්මලා මාව පුනරුත්ථාපනය වෙන්න centers කිහිපයකටම දැම්මා ඉන්දියාවේ යන්න කලින්. ඒත් ඒ හැම  තැනින් ම මං පැනලා ආවා. මෙහෙම කාලයක් ඉඳිද්දි කුඩු ගහන්න සල්ලි හොයාගන්න මං හොරකන් කලා. රස්සාවල් කළා. ඒත් හැම එකක්ම වැඩිම මාස තුනයි. එතන ඉන්න අයගෙන් සල්ලි ඉල්ල ගන්නවා. ඒ වැඩේ චාටර් උනහම මාව එතනින් අයින් කරනවා. ඔහොම කාලයක් ඉන්නකොට අම්මලත් ඉන්දියාවේ settle වෙන්නේ නැතුව ආයෙත් ලංකාවට එනවා. ඒ ආවට පස්සේ අම්මලා මං ගැන නිර්නාමික මත් ලෝලීන් මුදවා ගැනීමේ සංසදයට කියලා එතන කීපදෙනෙක් මාව හම්බවෙන්න එනවා. මං ඒ අයවත් ගෙදරින් එලව ගන්නවා.

3.ඔයා පුනරුත්ථාපනය වුන කෙනෙක් නෙමෙයි. ඒ ගැන විස්තර කියන්න.

ඔව් ඒක ටිකක් වෙනස් කතාවක්. 2001 අවුරුද්ද වෙනකොට මං ගෙදර අයට කියනවා මට මේ ඇබ්බැහිවීමෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. මගේ අයියලයි අක්කයි අහනවා ඇත්තටමද මේ කියන්න කියලා. මං ඔව් කියනවා. මෙහෙම කියලා දවස් තුනකින් මට ඉන්දියාවේ යන්න ඒගොල්ලො ලෑස්ති කළා. මං ගියේ ඉන්දියාවේ කේරළයේ තියෙන Divine Retreat Centre එකට. යනකොටත් මම හෙරොයින් අරගෙනයි ගියෙ. මේ ස්ථානය කතෝලික පියතුමන්ලා විසින් පවත්වාගෙන යන තැනක්. මෙතන පුනරුත්ථාපනය වන තැනක් නෙවෙයි. නමුත් මේ ස්ථානයට ජීවිත අරගලයන්ට මුහුණ දුන් අය පැමිණෙනවා. අධ්‍යාත්මික සුවය බලාපොරොත්තුවෙන් ඕන කෙනෙකුට මේ ස්ථානයට එන්න පුළුවන්. මෙතෙන්ට ආගම් භේදයකින් තොරව විවිධ රටවල අය එනවා. මෙතන තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. මම කතෝලික. මගේ ආගමික විශ්වාසයන් ගැන මේක කියවන අය කොහොම තේරුම් ගනීද කියන්න දන්නෑ. ඒත් මම කියන්නේ ඇත්ත. මෙතන තිබුන දේශනා, මෙහෙයන් හා විවිධ වැඩසටහන් එක්ක ජීවමාන ක්‍රිස්තුස්  වහන්සේගේ වැඩ සිටීම තුළින් මට එක රැයකින් මේ ඇබ්බැහිවීමෙන් මිදෙන්න පුළුවන් වුණා. මම ගෙදරින් පාවිච්චියට ගෙනිච්ච දේවල් මම එතනදි විසි කලා. එතන වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මාස තුනකින් පස්සේ මම නැවත ලංකාවට ආවා.

4.මතින් තොර වෙන එක තනියම කරන්න පුලුවන්ද?

බැහැ. ඒකට ශාරීරික මානසික හා අධ්‍යාත්මික සුවය ඉතා වැදගත්. ඒ වගේම පවුලේ සාමාජිකයින්ගෙන් ලැබෙන සහාය හා පිළිගැනීමත් හරිම වැදගත්.

5.මේ ඇබ්බැහි වීමත් එක්ක ඔයාට අහිමි වුණ දේවල් මොනවාද?

ජීවිතයේ ඇරෙන්න හැමදේම නැති වුණා. තනි උනා, depression ආවා,ගෙදර පිළිගැනීම නැති වුණා, රැකියාව නැති වුණා.

6.අහිමිවන දේවල් නැවත ලඟා කරගන්න ඔයා මොනාද කලේ?

මම ඉන්දියාවේ ඉඳලා ආවාට පස්සෙත් නිර්නාමික මත්ලෝලීන් මුදවා ගැනීමේ සංසදයෙන් මාව හම්බවෙන්න ආවා. කලින් සැරේ වගේ නෙමෙයි මම මේ සැරේ ඒ අයව හොඳින් පිළිඅරගත්තා. ඒ අයත් එක්ක මං එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. අත්දැකීම් බෙදා ගත්තා. මතට ඇබ්බැහි වෙච්ච අයට මමත් දේශන කළා. මේ නිසා මට ආයෙත් මතට ඇබ්බැහි නොවී ඉන්න ලොකු උදව්වක් වුණා. අදටත් මම මේ සංසදයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වගේම අධ්‍යාත්මික ජීවිතයත් හරිම වැදගත්. මේ හැම දේමත් එක්ක මං ගැන ලොකු විශ්වාසයක් අනිත් අයට ඇති වුණා. දැන් මම හොඳ රැකියාවක් කරනවා. 2004 අවුරුද්දේ මම විවාහ වුණා. මමත් බිරිඳත් මගේ දුවත් දැන් හරිම සතුටින් ජීවත් වෙනවා.

7.ඔයා මතට ඇබ්බැහි වෙලා හිටපු කාල පරිච්ඡේදය තුළ ඔයාගේ අන් අයට වුණු අපහසුතා මොනවාද?

විශේෂයෙන් ගෙදර අයට ඕනෙ වුණා මාව මේ ඇබ්බැහි වීමෙන් ගලවගන්න. ඒ නිසා නිතර නිතර ගෙදර රණ්ඩු ඇති වුණා. මමත් කුඩු ගන්න සල්ලි ඉල්ලලා ගෙදර අයත් එක්ක රණ්ඩු කළා. ගෙදර තියන සල්ලි, බඩු හොරකම් කළා. දවසක් තාත්තා මාව පොලිසියටත් අල්ලලා දුන්නා. ඒත් දවස් දෙක තුනකින් ආයෙත් මාව නිදහස් කර ගත්තා.

8.මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද?

මිනිස් ජීවිත විනාශ කරන දෙයක්. මේක නෙමෙයි ඇත්ත ජීවිතේ.

9.ඔයා ලබපු අලුත් ජීවිතේ ගැන මොනවද හිතෙන්නේ? 

පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. මාස ගානක් රස්සාව කරලා ලොකු බෝනස් එකක් අතට ලැබුණාම දැනෙන සතුට වගේ…😀

10.තරුණ පරපුරට ඔයාට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?

නිකරුණේ කාලය ගත කරන්නැතුව හොඳ දේකට හිත යොදවන්න. එහෙම නැත්නම් නිකම්ම මේ දේවල් වලට හිත ඇදිල යනවා. ප්‍රශ්නයක් තියෙනවනම් ඒ ගැන කාත් එක්ක හරි කතා කරන්න. තමන්ම තමන්ගේ ජීවිතය විනාශ කරගන්න එපා. සතුටින් ඉන්න.

                          ස්තුතියි

                      පියුමි සිල්වා

දිදුලන කෙස් කළඹකට රහස්

කාන්තා පිරිමි දෙපාර්ශවයට ම තම හිසකෙස් යනු තම පෙනුම අඩු හෝ වැඩි කරන තීරණාත්මක සාධකයකි. විශේෂයෙන් කාන්තා පාර්ශ්වය තමන්ගේ රුව පිළිබඳව වඩාත් උනන්දුවන අතර, එහි දී නිරෝගී දිදුලන කෙස් කළඹක් යනු බොහෝ දෙනෙකුගේ සිහිනයකි. ඉතින් ඒ සිහිනය සිහිනයක් ම නොවන්නට නම්  පිළිපැදිය යුතු පහසු සත්කාර කිහිපයක් පිළිබඳව අපි අද කතා කරමු.

* තෙල්සත්කාර

ඔබට නිරෝගී සුන්දර කෙස්කළඹක් අවශ්‍යය නම් පළමුව කෙස්වල තෙතමනය රැකගතයුතු වේ. ඒ සඳහා  ගුණාත්මක තෙල්වර්ග හිස ගැල්වීමෙන් ලබාගන්නා පෝෂණය ඉතා ම වැදගත් ය. ඔලිව්තෙල්, පොල්තෙල්, එඬරු (castor oil) තෙල්, වැනි පෝෂණ ගුණයෙන් වැඩි තෙල්වර්ගයක් ඇඟිලිතුඩුවලට ගෙන හොඳින් හිස්කබලේ සහ කෙස්වල ගල්වන්න. අනතුරුව සෙමින් හිස්කබල සම්බාහනය කර පැය භාගයකට පසුව සෝදාහැර තෙත මාත්තු කරන්න. සතියකට වරක් හෝ දෙවරක් මෙසේ නෑමට පෙර තෙල් ගැල්වීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිවනු ඇත.

* හිසකෙස් සේදීම

නෑමේදී, හිසකෙස් සේදීමේ දී එය හිසකෙස් මත තැවරුණු ෂැම්පු සහ වෙනත් සේදුම්කාරක හොඳින් ඉවත්වන පරිදි සෝදාහරින්න. හැමවිට ම හිස සේදීමේ දී උණුසුම් සහ තද උණුසුම් වතුර භාවිතය අත් හරින්න. හිසකෙස් අගට ෂැම්පූ යෙදීමෙන් වළකින්න. ඔබට උණුසුම් වතුර ස්නානයෙන් වැළකීමට අපහසු නම් නෑමේ දී “ෂවර් කැප්” එකක් භාවිත කරන්න.

* නිවැරැදිව හිස පීරන්න.

හිසකෙස්වල ස්වාභාවය අනුව පනාව තෝරාගන්න. පළමුව මෙහි දී දැති ලොකු පනාවක් ආධාරයෙන් හිසකෙස් අග සිට ගැට සෙමින් ඉවත් කර අනතුරුව කේෂමූලයන් පිහිටාඇති හිස් කබලේ වදින ආකාරයට මුල සිට අගට සෙමින් කෙස් පීරන්න. නෑමෙන් අනතුරුව කෙස් සම්පූර්ණයෙන් ම වියළීමට ප්‍රථම ආගන් ඔයිල් වැනි තෙල් බිංදු කිහිපයක් හිස කෙස්වල යන්තමින් තවරා හිසකෙස් පීරීමෙන් ඔබට පහසුවෙන් කෙස් ගැටගැසීම වළක්වාගත හැකි ය.

* කොණ්ඩා මෝස්තර .

හැකි හැමවිට ම සරල සහ ලිහිල් කොණ්ඩා මෝස්තර භාවිත කරන්න. High ponytail සහ බැක්කෝම්බ් වැනි හෙයාර් ස්ටයිල්වලින් හැකි තරම් ඈත්වන්න. එසේ ම හෙයාර් ස්ප්‍රේ, සහ නොයෙකුත් harsh Chemicals  අඩංගු නිෂ්පාදන භාවිතය අව ම කරන්න. ඔබ නොහිතන පරිදි ඔබේ හිසකෙස්වලට මෙම නිෂ්පාදන හානි කරනු ලබ යි. 

* හිසකෙස් සම්බාහනය.

හැකි පරිදි සතියකට වරක්වත් ඔබේ හිස හොඳින් මසාජ් කරන්න. මෙම සම්බාහනය මඟින් ඔබගේ හිස්කබලෙහි ඇති  කේෂ්මූල මනාව උත්තේජනය වන අතර එමඟින් ලේ ගමනාගමනයට මනා රුකුලක් ලබා දේ. ඔබට නිවසේ දී මෙන් ම වඩා ප්‍රතිඵලදායක සේවයක් සුදුසුකම් ලත් රූපලාවන්‍යාගාරයක දී වුව ලබාගත හැකි අතර මෙමඟින් ඔබට සැහැල්ලුවක් ද ලබාදෙනු ඇත. 

* නිවැරදි ආහාරරටාව සහ පෝෂණය.

ශරීරයට පිටතින් කෙතරම් සත්කාර කළ ද, අභ්‍යන්තරයෙන් අවශ්‍යය පෝෂණය සහ යහගුණය ලබා නොදේ නම් ඉහත කිසිවක් ප්‍රත්ඵලදායී නොවනු ඇත.  එබැවින් නිසි සමබල ආහාර, ධාන්‍යය, සහ ඇටවර්ග භාවිතය පළතුරු එළවලු වැඩිපුර ආහාරයට ගැනීම මෙන් ම මනා ලෙස ජලය පානය කිරීම ද ඉතා මත් ම වැදගත් ය. යම් හෙයකින් ඔබට ඔබේ ආහාර සහ පෝෂණය මඟ හැරෙනවානම් ඔබේ වෛද්‍යවරයා හමු වී සුදුසු විටමින් වර්ග භාවිතයට ගන්න

ඉතින්, කාන්තා පිරිමි භේදයකින් තොරව පහසුවෙන් ඔබට නිරෝගී අලංකාර කෙස් කලඹක් ලබාගැනීමට ඉහත උපදෙස් මනා පිටිවහලක් වනු ඇතැ යි මා බලාපොරොත්තු වනවා.සුන්දර දිනයක් පතමින් ඊළඟ කලාපයෙන් හමුවනතුරු මා අදට මේ කතාබහ නවත්වනවා. !

Sameera Jayasinghe

තමන්ගේ මට්ටම් තම්මට්ටම්

දියුනු වෙමින් පවතින රටක් විදිහට ලේබල් ගැහුවට අපේ රට දිඋනු කරන්න කවදාවත් පුළුවන් වෙයි කියලනම් හිතෙන්නේ නැහැ.එහෙම උනත් ඒක පන පිටින් දකින්න මේ ආත්මේ අපිටනම් හම්බෙන එකක් නැහැ , එකට හේතුව රටක දියුනුව කියන්නේ ආර්ථික වෂයෙන්  වන අංකමය දියුනුවක  පමණක් නොව සමාජයීය අකල්පමය සහ සංකල්ප වල  දියුනුවත් මේ සඳහා බලපාන නමුත් ආකල්පමය වශයෙන් අපි ඉන්නේ තවමත් බාලාංශේ නිසාය.

Economical system එක පාලකයෝ හදල දුන්නත් attitude වෙනස් කර ගැනීම අපි තනි තනිවම කරගන්න ඕන දෙයක්.

❤️අපේ තියන ලොකුම වැරැද්ද තමයි අපි හරි කියල කියන දේ හැමෝම  පිළිගන්න ඕනේ කියල හිතන එක සහ හැමෝම අපිට එකඟ වෙන්න ඕනේ කියල විස්වාසයක් තියන එක.

එහෙම දෙයක් නැහැ දෙයියනේ?     මිනිස්සු තීරණ වලට එන්නේ තමන් ඉන්න සමාජ මට්ටමට ,උගත් කමේ මට්ටමට, සහ තමාට ජීවිතයේ ලැබුණු සහ තමන් මුහුණ දුන් අත්දැකීම වල මට්ටමට අනුවයි.

උදා – දරුවන් සමග අනුරාධපුරේ විනෝද චාරිකාවක් යන එක මාස් පඩියක් ගන්න සාමාන්‍ය ආර්ථිකයක් තියන කෙනෙකුට ඉතා විශේෂ  දෙයක් වෙන්න පුළුවන් ,මොකද හිතිච්ච ගමන් මොන්ටෙරෝ එකට නැගල උදේ ගිහින් හවස එන්න අනුරාධපුරේ යන ධනවත් පව්ලක අයෙකුට තරම් සාමාන්‍ය පව්ලක කෙනෙකුට වත්කමක් නැති නිසා.ඉතින් අනේ.. අපි අනුරාධපුරේ ගියා , අපි තේ බිව්වා ,කියල ඒ ගමන ගැන කියන විස්තර ටික කිව්වම  හැම වෙලාවේම දෙස් විදෙස් සංචාරවල නිරත වෙන කෙනෙකුට විහිළුවක් වගේ දැනෙන්න පුළුවන්,මොකද ඒ අයට එක විශේෂ දෙයක් නොවන නිසා .. ඒ එක එක අයගේ ජීවිත රටාවන් වෙනස් නිසා.සම සිතින් ඒ දෙදෙනා දෙසම බලා  දෙදෙනාටම සුබ පැතීමට තරම් අපේ හිත සොඳුරු නොවන තාක් කල් අපිට කලක් යයිද?

❤️අනික සියල්ලෝම මට එකඟ වේවා , කියල බුදුහාමුදුරුවෝ වත් වදාලේ නැත. කලින් ලිපියකත් මන් සඳහන් කළා වගේ ඔබ කන්න කැමති පාන් සමග පරිප්පු වූ කල අනෙක් සියල්ලෝම පාන් කෑ  යුතු යයි සිතීම විහිළුවකි.කෙනෙකුට සොසේජස් කෑමටද තවත් කෙනෙකුට බඩගින්නේ සිටීමටද සාදාරන අයිතියක් ඇත. ඒ නිසා අනිත් අයගේ  අදහස් වලට එකඟ වීමට සහ විරුද්ද වීමටද  අපි හැමෝටම අයිතියක් ඇත.විරුද්ද මත පිළිගන්න .

❤️අපේ සමාජේ තියන අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි අනුන්ගේ වැදගත්කම හොයන්නට යාම.

මේකට අපේ කට්ටිය නිර්ණායක ටිකකුත් හදන ඉන්නේ ..කොන්ඩේ පාට කරපු, කොන්ඩේ  අමුතු විදිහට කපපු , ටැටෝ ගහපු ,කොටට අඳින අය වැදගත් නැත කියල ,ඒ එක්ක  බැලුවම මන් නම් කිසිම වැදගත් කමක් නැහැ .මොකද මන් ඔය ටික ඔක්කොම කරලා ඉන්නේ ..

මන් මේ ජීවිතේ මට සන්තෝෂ වෙන්න පුළුවන් කියල හිතෙන හැමදේම කරලා බලනවා ඒ තුල නියම සතුට තියනවද කියල.හැබැයි ඒවා කළා කියල මගේ වැදගත්කමට නම් අබ මල් රේණුවක වත් හානියක් මන් කරගෙන නැහැ, මැරෙන තුරාවට කරන්නෙත් නැහැ.මට අනුව වැදගත් කම මනින්නේ තමාගේ මානුෂිකතවය , හැසිරීම ,චරිතවත් බව   වගේ එකිනෙකාට අනන්‍ය වූ කරනු ගොන්නක් එක්ක.මස් ගොබ වසාගෙන සිටි පමණින් වැදගත් යයි කිව හැකි කිසි කෙනෙක් මෙතෙක් මගේ ජීවිතයේ හමු වී නැත.වැදගත්ම දේ අනුන්ගේ වැදගත් කම් , උගත්කම් , ධනවත්කම් අපි මහා ලොකුවට අදාල කර නොගැනීමයි..එතකොට සමජෙත් එක්ක වැඩ කරන්න හරිම ලේසියි.

❤️සමාජ ජාලයක එකට බැඳුනු පුරුක් ලෙස  එකිනෙකාට උදව්  කරගැනීමට සිනහවීමට , ජීවිතය බෙදාගැනීමට , උගත්කම , ධනවත්කම, චරිතවත් කම මහා ලොකුවට අදාල කරගත් යුතු නොවේ.අනික බාහිරව බලා සියල්ල තීරණය කල හැකිද නොවේ.

❤️අපේ වචනෙකින් අපේ බැල්මකින් සිදුවන්නේ තවත් කෙනෙකුගේ හිත රිදීමක් , හිත තැලීමක් පමණක් නම් තර්කමය වශයෙන් ඔබ දිනුවාද  ඉන් පලක් නැත.අවසානයේ ඉතුරු වන්නේ තේරුම්ගැනීමට නොහැකි පසුතැවීමක් පමණි.

අනෙකාගේ  හොඳ අගයන්න.ඔබ අකමැතිනම් ඍජුව අකමැත්ත ප්‍රකාශ කරන්න.ප්‍රතික්ෂේප කරන්න.නමුත් සිත් රිදවීම නම් පලක් නොවෙයි.

❤️යක්කුන්ට බය අය  සොහනක ගෙයක් හදන එක පලක් නැත.සමාජයේ නිතර ගැටෙන පුද්ගලයෙක් නම් ඕනෑම දෙකට ඔරොත්තු දෙන ආකාරයට තමාගේ සිත පුහුණු කරවා ගත යුතුයි.බුද්ධ වචනයට අනුව නින්දා ප්‍රශංසා දෙකෙහි නොසැලී සිටිය යුතුයි.අපොයි මේක කැතයි කිව්වා ,මේක වැරදියි කියල මට බැන්නා , කියමින් හොටු පෙර පෙර අඬන බබාලාට මේ සමාජයේ බෙල්ල ගැසීමට අසීරුය.මමම ඊයේ ගත්ත ගව්මට මම අද කැමති නැත ,තමාගේ සිතුවිලි පවා දිනෙන් දින වෙනස් වෙයි ,ඉතින් සමාජය ගැන කවර කතාද ? මට අකමැති දහසක් ඉරිදියේ වුවද සිනහ සීමට හැකි නිසා මමනම් කිසිඳු දිනක සමාජය නිසා මගේ  හදවතට දුකක් දැනෙන්නට ඉඩ දී නැත.

සමාජ මත ඉදිරිදියේ නොසෙල්විය හැකි මනසක් හදාගන්න තාක් කල් ඔබ පරාජිතයෙකි.ලොවම එරෙහි වුවත් ඔබට ඔබ ලෙස කෙලින් සිට ගත හැකි දිනක පමණක්  ඔබ ජයග්‍රහණය කරයි.

කෙටියෙන්ම කියතහොත් අපේ මේ සමුහයේ , වෙනත් සමුහවල , සමාජයේ , හෝ  වාචික , ගනුදෙනු සිදුවන සියලුම අංශ කෙරෙහි මේ කරුණු පොදුය.   

සමාජය විෂම ආකල්ප ඇති මිනිසුන් පිරිසකගෙන් සැදුම්ලත් බව තේරුම් ගන්න.තමාගේ අදහස් සමාජ ගත කිරීමට උවමනා මිනිසුන්  ඒවාට ඇති විරුද්ධ  මත වලට මුහුණ දීමටද සුදානම් වන්න .අනෙකාට ගරු කිරීමට නොදන්නා කිසිවෙකුට සමාජයෙන් ගරුත්වයක් හිමි නොවේ.

තමාගේ නිදහසේ සීමාව අනෙකාගේ නහය ලඟින් අවසන් වන බව සිහියට ගන්න.

අනිශා ජයකොඩි

3රැජිණගේ නික්මයාමෙන් පසු ලෝකය

වසර 70 ක් පුරා බ්‍රිතාන්‍යයේ රාජ්‍යත්වයේ කිරුළ දැරූ දෙවන එලිසබෙත් මහ රැජිණ පසුගිය සැප්තැම්බර් 8 වන දා අභාවප්‍රාප්ත වුනා. ඒ වන විට 96 වන වියෙහි පසුවූ එලිසබෙත් මහ රැජිණ මිය යාමට දින දෙකකට පෙරදීත් රාජ්‍යයේ ප්‍රධානියා ලෙස සිය වගකීම් ඉටුකරමින් එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරිය මුණගැසී නව රජයක් පිහිටුවන්නට ආරාධනා කලා. එක්සත් රාජධානියේදී සෑම විටකම තේරී පත්වන අග්‍රාමාත්‍යවරයාට රැජිණ හෝ රජු විසින් රජයක් පිහිටුවීමට ආරාධනා කල යුතු වෙනවා.

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය එක්සත් රාජධානියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන එමෙන්ම මුළු ලෝකයම කම්පාකරවන සිදුවීමක් උනා. එලිසබෙත් මහ රැජිණ එක්සත් රාජධානියට අමතරව තවත් රාජ්‍යයන් 15ක රාජ්‍යයේ ප්‍රධානියා හෙවත් රැජිණ ලෙස කටයුතු කල අතර ඊට අමතරව වසර 70 ක් පුරාවටම රටවල් 54කින් සැදි පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙසද කටයුතු කලා. ලොව පුරා ජනාධිපතිවරුන් අගමැතිවරුන් දහස් ගණනක් සිය පාලන කාලයන් තුල රැජිණ සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව ගණුදෙනු කර තිබුනා.

සැප්තැම්බර් 8 වෙනිදා ස්කොට්ලන්තයේ බැල්මරෝ මාලිගයේදී අභාවප්‍රාප්ත වූ රැජිණගේ අවසන් කටයතු සිදුකෙරුනේ පසුගිය සැප්තැම්බර් 19 වනදා එංගලන්තයේ වින්සර් හී පිහිටි වින්සර් මාලිගයේදී. රාජකීය පවුලේ සාමාජිකයන්ගේ භූමිදාන කටයුතු සිදුකෙරෙන රාජකීය සොහොන්ගැඹ පිහිටා ඇත්තේ වින්සර් මාලිගයේය. ඊට අමතරව දෙවන එලිසබෙත් මහ රැජිණ වඩාත් ප්‍රියකරන මෙන්ම අවසාන කාලයේදී ඇයගේ නිළ වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුනේද වින්සර් මාලිගය වේ.

වින්සර් හීදී අවසන් කටයුතු සිදුකිරීමට පෙර ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් නුවරට රැගෙන ආ රාජකීය දේහය දින 6කට අධික කාලයක් බකිංහැම් මාලිගයේත් ඉන්පසුව මහජන ගෞරවය සඳහා වෙස්මින්ස්ටර් ශාලාවේත් තැම්පත් කර තිබුනා. දින හතරහමාරක් පුරාවට රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ දෙකහමාරකට අධික පිරිසක් එකතුවී සිටි බව මාධ්‍ය වාර්තා කරා.

රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවීමට රජ පවුලේ ආරාධනයෙන් ලොව පුරා රටවල රාජ්‍ය නායකයන් හා රජ පවුල් වල සාමාජිකයන් 500 දෙනෙකු ලන්ඩන් නුවරට රැස්ව සිටියා. ශ්‍රි ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහද ඒ අතර උනා. දශක ගණනාවකට පසුව බ්‍රිතාන්‍යය සංවිධානය කරන ලද වැඩිම රාජ්‍ය නායකයන් ප්‍රමාණයක් සහභාගී වූ උත්සවය රැජිණගේ අවමංගල්‍ය නිසාවෙන් එම දින කිහිපය තුල ලන්ඩන් නුවරට පෙර නොවූ විරූ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා තිබුනා.

රැජිණගේ අභාවයත් සමඟම ඇයගේ පුත් චාලස් කුමරු තුන්වන චාල්ස් රජු නමින් රාජ්‍යත්වයට පත්වුනා. රැජිණගේ අභාවය සහ නව රජතුමාගේ පත්වීමත් සමඟ වසර 70ක් පුරා අප මෙතෙක් දැක තිබූ ලෝකයේ බොහෝ දේවල් වෙනස්වීමට නියමිතව තිබෙනවා. සමහර වෙනස්කම් එංගලන්තයට පමණක් බලපාන අතර සමහර වෙනස්කම් මුළු ලෝකයටම බලපානු ඇති.

සමහර වෙනස්කම් එක රැයකින් සිදුවූ අතර සමහර වෙනස්කම් සිදුවීමට දශක කිහිපයක් ගතවනු ඇති.

සිදුවීමට නියමිත වෙනස්කම් අතර රජ පවුලේ සේවකයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමේ සිට රැජිණගේ කිරීටය යටතේ පාළණය වූ සමහර රටවල් කිරීටයේ පාලනයෙන් ඉවත්ව ජනරජයක් බවට පත්වීම දක්වා පරාසයකට විසිර යනවා. මේ වන විටත් සිදුවූ වෙනස්කම් අතරට එක්සත් රාජධානියේ ජාතික ගීය වෙනස්වීම, ‘රැජිණගේ නීතිඥයන්’ යනුවෙන් හැඳින්වූ පිරිස ‘රජුගේ නීතිඥයන්’ යනුවෙන් හැඳින්වීම දැක්විය හැකියි.

කාලයක් ගතවන වෙනස්කම් අතරට රැජිණගේ රූපය සහිතව මුද්‍රණය වී ඇති එක්සත් රාජධානියේ මුදල් නෝට්ට, කාසි හා මුද්දර ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කර නව රජුගේ රූපය සහිතව මුද්‍රණය වීමට නියමිතයි. එහෙත් දැනට භාවිතයේ පවතින මුදල් කිසිවක් අවලංගු නොවන අතර නව නෝට්ටු හා කාසි පමණක් රජුගේ රූපය සහිතව මුද්‍රණය වනු ඇති.

රැජිණගේ කිරීටය යටතේ පාලනය වූ රටවල්‍ අතරට එක්සත් රාජධානියට අමතරව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව ඇතුළු රටවල් 15ක් ඇතුලත් උනා. මේ අතරින් සමහර රටවල් කිරීටයෙන් නිදහස් වීමට දැනටමත් තීරණය කර තිබුණද රැජිණට තිබූ ගෞරවය හේතුවෙන් එම තීරණ ක්‍රියාත්මක නොවී පැවතුනා. එහෙත් එම රටවල් තව දුරටත් චාල්ස් රජතුමා යටතේ පාළනය වීමට තීරණය නොකරනු ඇති.

ඕස්ට්‍රේලියාව මේ වන විටත් කිරීටයෙන් ඉවත්වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කර අවසන්. ඊට අමතරව බහමාස්, පැපුවානිව්ගිනියාව, ජැමෙයිකාව ඇතුළු තවත් රටවල්‍ 6ක් පමණ කිරීටයෙන් නිදහස්ව ජනරජයන් බවට පත්වීමට තීරණය කර තිබෙනවා. මේ ආකාරයට වෙනස් වන ලෝකයත් සමඟ නව රජුගේ භූමිකාව මෙන්ම ඔහුගේ වගකීම් රාජකාරිද වෙනස්වනු ඇති. ඊට අමතරව එලැඹෙන ගිම්හානයේදී නව රජතුමාගේ රාජ්‍යත්වයට පත්වීමේ උත්සවයද සංවිධානය වීමට නියමිත අතර ඒ විස්තරත් සමඟින් ඉදිරි කලාපයකදී මුණගැසෙමු

මම තිලාන් ජයසේකර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

ජීවිතාවර්ජනය

විසි එක්වන සියවසේ ගෝලීකරණය වුණු සමාජයක අපි ජීවත් වුණත් තවමත් හණමිටි අදහස් දරන සමාජ තත්වයන් ගැන මහ ලොකුවට හිතන අනෙකාව හෙළා දකින මිනිසුන් කොට්ඨාසයක්. මම මෙහෙම කියන්නේ ඔයාලා ගොඩක් උනන්දුවෙන් කියවන “ජීවිතාවර්ජනය” ට මේක ගොඩක් ගැළපෙන නිසයි. මේ මම මීට සති කිහිපයකට උඩදී ලබපු අත්දැකීමක්. මගේ කිට්ටු මිතුරියකගේ සොහොයුරියක් ආදර සම්බන්ධයක් පටන් ගෙන. ඒ ගැන වැඩි විස්තර හොයාගෙන යනකොට මේ පිරිමි ළමයා මත්ද්‍රව්‍ය ගත්ත ඒත් මේ වෙනකොට ඒක අත්හැරපු කෙනෙක් විදියටයි දැනගන්න ලැබුණේ. මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් යාලුවගෙ ගෙදර අයට තිබුණෙ මේ ගැන ලොකු ප්‍රශ්නයක්. ඒක ඇත්තටම සාධාරණයි. ඒත් මට කියන්න ඕන වුනේ, මතට ඇබ්බැහි වී ඉන් මිදුණු කෙනෙකුට ජීවිතයක් නැද්ද? සමාජයේ පිළිගැනීමක් නැද්ද? හැමදාටම කුඩුකාරයා,බේබද්දා කියන ලේබලයම වදිනවද? ඇත්තටම තවමත් අපේ සමාජය ඔවුන්ව පිළිගන්න සූදානම් නැහැ. ඒත් බොහොම ආදරෙන් ආයාචනාවක් කරන්න කැමතියි. බාල, තරුණ, මහලු සියලු දෙනාටම මතට ඇබ්බැහි වී ඉන් මිදුණු අයට අනුකම්පා කරන්න. ඔවුන් සමාජයේ ම කොටසක් ලෙස ආදරයෙන් පිළිගන්න. ඔවුන් මතින් තොර විමට ගත් උත්සාහය අගයන්න. එසේ නැතහොත් නැවතත් ඔවුන් මතට ඇබ්බැහි වී මුළු මහත් සමාජයටම වෛර කරන මිනිසුන් කොට්ඨාසයක් වීම නියත යි. අද ජීවිතාවර්ජන යේ කතා නායකයා එරන්ද..

1. එරන්ද ඔයාගේ වයස කීයද? ගම කියන්න කැමති නම්

අවුරුදු 46යි. ගම ගම්පහ.

2. මොනවටද addict  වෙලා හිටියෙ?

මත්පැන් වලට

කොච්චර කල් ඉදලා ද? කොහොමද එක උනේ..

O/L ඉවර වෙලා results එනකං ඉන්න කොට තමයි ඉස්සෙල්ලාම බොන්න පටන් ගත්තේ. ඒ කියන්නේ අවුරුදු දාසයේ දී. මම ගියේ කොළඹ පාසලකට. ඒ කාලයේදී කොටුවෙ යාළුවෙක්ව අඳුනගන්න ලැබුණා. එයා සල්ලාල මිතුරෙක්. එයාට කොටුවෙ කඩයක් තිබුනා. එතන එයාටම කියලා කාමරේ කුත් තිබුනා. ඒ කාමරේ තමයි අපි දෙන්න එකතු වෙලා බොන්නේ. අපි දෙන්නා දවසකට බෝතලයක් බොනවා. එයා මාව යාලුවෙකුට අඳුන්වලා දෙනවා. ඒ  යාළුවා වයින් ස්ටෝස් අයිතිකාරයෙක්. ඉතින් එතනින් අපිට නිකං බෝතල් ලැබුණා. ඒත් ඒ කාලේ මං ඇඩික්ට් වෙලා හිටියෙ නැහැ. Results ආවට පස්සෙ මම

 A/L කරන්න ආයෙත් ඉස්කෝලෙ යන්න ගත්තා. සතියකට සැරයක් විතර යාලුවොත් එක්ක එකතු වෙලා බිවුවා. ජොබ් එකකුත් කරන්න පටන් ගත්තා. මම අවුරුදු 22 දී  විවාහ වුණා. අවුරුදු තුනකින් ඒ විවාහය දෙදරා ගියා. මේ සිදුවීමත් එක්ක මම ඇල්කොහොල් වලට ඇඩික් වුනා. දවස ගානේ බොන්න පටන් ගත්තා. මගේ අම්මා හැමවෙලේම කිව්වා හොද  මිනිහෙක් වෙන්න කියලා. අවුරුදු හතරකට පස්සේ මං ආයෙත් විවාහ වුණා. addiction එක එහෙමම තිබුණා. බොරු ප්‍රශ්න දාගෙන ගෙදරින් එළියට ගියා බොන්න. යාලුවෝ නැත්නම් තනියම හරි බිවුවා.

3. පුනරුත්ථාපනය වෙන්න තීරණය කළේ ඇයි? 

මට මාව control  නැති තත්ත්වයකට ආවා. ගෙදර අයට ගොඩක් කරදර කළා. මගෙ නංගි, wife මට පුනරුත්ථාපනය වෙන්න කියලා කිව්වා. මගේ ලොකු දුව ( අවුරුදු 13) මට කිව්වා තාත්ති මට දැන් ඔයාව එපා වේගෙන එන්නේ ඒ හින්දා පුනරුත්ථාපනය වෙන්න යන්න කියලා. ඇත්තටම ඒ නිසයි මම ගියේ.

4. මතින් තොර වෙන එක තනියම කරන්න පුලුවන්ද? 

තමන්ගේ අධිෂ්ඨානයයි කැපවීමයි අනිවාර්යෙන්ම තියෙන්න ඕන. පුනරුත්ථාපනය වෙනවා කියන එක ලේසි නැහැ. එතැනදි අපි හරියට විඳවනවා. තමන්ගේ කියන කවුරුත් නැහැ. දරුවො, පවුල, මගෙ නංගි, තාත්තා හරියට මට මතක් උනා. මං නිසා ඒ අය විඳපු දුක මතක් උනා. හෘද සාක්ෂිය කතා කරන්න ගත්තා. මෙතැනදි මතින් තොර වෙන එක විතරක්ම නෙමෙයි, අපි කොහොමද තමන්ව පාලනය කරගන්නේ, ඉවසීම පුරුදු වෙන්නේ කියන දේවල් අපිට කියලා දෙනවා. එතනදි කරන වැඩසටහන් අපේ ජීවිතේට හරි වැදගත්. ඒ වගේම කියන්න ඕනේ දෙවියන් බුදුන් ගෙන් මේ ගමන යන්න අපිට ලැබෙන ආශිර්වාදයත් හරිම වැදගත්.

5. මේ ඇබ්බැහි වීමත් එක්ක ඔයාට අහිමිවුණු දේවල් මොනවද?

මට මගේ අම්මව නැතිවුණා. එයා මං  ගැන ගොඩක් දුක්වුණා. ඒකත් එක්කම එයා අසනීප වෙලා අපි අතරින් සදහටම වෙන් වුනා. මට මාව නැති වුණා. මම අමනුස්සයෙක් ගානට වැටුනා. දරුවන්ට මාව එපා වුණා.  රැකියාව අහිමි වුණා. ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන්න වුනා.

6. අහිමි වුන දේවල් නැවත ලඟා කරගන්න ඔයා මොනවද කළේ?

පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිය අලුත හිතේ තිබුනෙම එතනින් පැනගන්න. ඒත් wife  මාව බලන්න ආවම කිව්වා, අපි හරි සැනසීමෙන් දැන් ගෙදර ඉන්නවා. ඔයා නැති උනත් අපි මෙච්චර කැපකිරීම් කරන හින්දා කොහොමහරි ඉන්න ඕන නියමිත කාලේ ඉඳලම එන්න කියලා කිව්වා. ඒ නිසා මං අවංකවම මතින් තොර වෙන්න කටයුතු කළා. මේ නිසා පවුලේ විශ්වාසය දිනාගන්න මට පුළුවන් වුණා.

7.එරන්ද ,ඔයා මතට ඇබ්බැහි වෙලා හිටපු කාලපරිච්ඡේදය තුළ ඔයාගෙන් අන් අයට වුණු අපහසුතා මොනවද?

ගොඩක් අපහසුතාවලට මුහුණ දුන්නා. හැමදාම ගෙදර ගිහින් රණ්ඩු වුණා. තාත්තත් එක්ක රණ්ඩු වුණා. තාත්තට ගැහුවා. දවසක් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා පිහිය අරගෙන වයිෆ්ට  අනින්නත් ගියා.ලොකු දුව තමයි බේරුවේ. දැන් ඒව මතක් වෙද්දිත් මට ඒ අය ගැන දුකක් වගේම මං ගැන  ලැජ්ජාවක් ඇති වෙනවා.

8. මත්පැන්,මත් ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද?

විහින් නාස්ති වෙන දෙයක් කියලයි හිතෙන්නේ. Social drinking වුණත් මං වගේ කෙනෙකුට ගැළපෙන් නැහැ.

9.ඔයා ලබපු අලුත් ජීවිතේ ගැන මොනවද හිතෙන්නේ?

මේ අලුත් ජීවිතේ නිසා ලොකු සැනසීමක් සතුටක් දැනෙනවා. මානසික නිදහසක් දැනෙනවා. චාටර් චරිතයක් වෙලා හිටපු මං ගැන මගේ දරුවෝ, බිරිඳ, නංගි, තාත්තා වගේම මගේ නෑදෑයොත් සතුටු වෙනවා. මං operations manager කෙනෙක් විදිහට ප්‍රධාන පෙළේ ආයතනයක රැකියාව කලා. ඇබ්බැහිවීම නිසා රැකියාව නැති වුනත්, මගේ අලුත් ජීවිතය නිසා නැවතත් මට එම ආයතනයේ ම රැකියාවක් ලැබුණා. ඉතින් මට මේ හැම දෙයක් ගැනම සතුටුයි.

10. තරුණ පරපුරට ඔයාට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? 

මත්පැන්, මත්ද්‍රව්‍ය කියන්නේ මහ බොරු දෙයක්, විහින් නාස්ති වෙන දෙයක්. ටිකවෙලාවකට මත් වෙලා ඉන්නවට වඩා හොඳ සිහියෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්.

                            ස්තුතියි

                       පියුමි සිල්වා

දරුවන්ට ෆෝන් දෙන්නද

දරුවන්ට ෆෝන් දෙන්නද ?එපාද ?

මේ දවස් වල නැවතත් ,දරුවන්ට මොබයිල් ෆෝන් අරන් දීම හොඳද නැද්ද කියල කථිකාව හැදිලා .

ඒකට ආසන්නතම හේතුව වුනේ , ෆෝන් එකක් සම්බන්ධ සිද්ධියක් නිසා තරුණ දරුවෙක් ජීවිතය නැති කරගෙන තිබීම .ඉතින් මේ මාසේ අපි ” අපි “එකේ ඒ ගැන කථා කරමු .

පුතාට අවුරුදු 15යි

එයා හැමදාම පන්තියේ පළවෙනියා,

ඉස්කෝලේ වැඩට අරන් දීපු ෆොන් එකෙන්, පාඩම් වැඩ නොකර ගේම් ගගහ ඉන්න නිසා මම ෆොන් එක ආපහු ගත්තා,

ෆොන් එක නොදීපු නිසා පුතා එල්ලිලා මැරිලා,

දැන් අපිට ළමයින්ට ෆොන් දීලත් බෑ නොදීත් බෑ..

මේ මැරිච්ච දරුවගෙ දෙමව්පියෝ කිව්වෙ එහෙමයි.

💊ජංගම දුරකථන ළමයින්ට දෙනකොට ඒ ගැන හොඳ සෝදිසියෙන් ඉන්න ඕනෙලු,

💊දරුවො විනාශ වෙන්නේ ෆොන් නිසාලු,

💊අපි පොඩි කාලෙ නම් ඔහොම නැහැ ලු

මේවා කියන්නෙ සමාජයේ සමහරු..

එක එක පැති වලින් බැලුවම ඔය ඔක්කොම දේවල් හරි ඇති, සාදාරණත් ඇති.

ඒත් එතනින් එහාට ප්‍රයෝගිකව විවුර්ත වෙලා බැලුවොත් තත්වේ ඊට වඩා වෙනස්.. 👇

ළමයෙක්, අවුරුදු 13 ක්‌ විතර පහුවෙලා teenage වයසට එනවා කියන්නෙ  ඇතුලෙන් පිටින් දෙකෙන්ම හැඟීම් දැනීම් හැසිරීම් වෙනස් වෙන්න පටන් ගන්න කාලෙ,

ඉලන්දාරි කම් ඉහට ගහලා කියලා අම්මලා තාත්තලා කෑ ගැහුවට ඒක එහෙම වෙන්නේ හෝමෝනවල වෙනස් වීම  නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.

ඉතින්, ඒ කාලෙදි එක එක පරිමාණයෙන් දරුවන්ගේ හැසිරීම වෙනස් වෙනවා, කථා බහ අඩු වෙනවා, නිශ්ශබ්ද වෙනවා, අළුත් තාක්ෂණය එක්ක ගැටීම රැඳීම වැඩි වෙනවා, විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වෙනවා.

ඔය කාලෙදි   දරුවෝ එක්ක ගණුදෙණු කරන්න ඕනෙ හැඟීම් වලින් නෙමෙයි බුද්ධියෙන්,

අපි නම් කලේ මෙහෙම නෙමෙයි, අපි තමයි හොඳටම කලේ..

ඒ කාලෙ අපි මෙහෙම නැහැ, ෆොන් එබුවේ නැහැ, ගේම් ගැහුවේ නැහැ, කුණුහරප බැලුවේ නැහැ, කාමර අස්සෙ රිංගන් හිටියෙ නැහැ කියලා චෝදනා කළාට ඇත්තටම ඒ කාලෙ උනෙ ඒක නෙමෙයි,

ඒ කාලෙ ෆොන් tab, lap ඕවා තිබ්බේ නැහැ,

ඒ කාලෙ හැටියට තිබ්බ ලොකුම නසාරානි වැඩ තමයි, ගස් නගිනවා, ගෙඩි කඩනවා, ගඟේ පීනනවා, ෆිල්ම් හෝල් වලට රිංගනවා, හන්දි, බෝක්කු ගානේ රස්තියාදු ගහනවා..

ඉතින් ඕවා තමයි ඒ කාලෙ තිබ්බ නසරානිම වැඩ, ෆොන් එබුවේ නැති උනාට ගේම් නොගහුවට නිල් පාට ඒවා නොබැලුවට කාලෙට අනුව තිබ්බ ඔක්කොම කොලු කම් අඩු නැතුව කරල අම්මලාගෙන් ගුටී කාලා තෙම්පරාදු වෙලා රස්තියාදු ගහල අද දෙමව්පියෝ බවට පත් වුනාම දරුවන්ගේ තරුණ සෙල්ලක්කාරකම් එක්ක ගණුදෙනු කරද්දී  ඒ කාලෙ අපි මෙහෙමයි ඇරෙහෙමයි කියලා එදා අද එක්ක සංසන්දනය කරන එක කොහොමත්  සාදාරණ  නැහැ,

සියල්ල තාක්ෂණික මෙවලම් අතර රැඳීච්ච රොබෝවරුන්ගේ යුගයක දරුවො හදලා, ඒ දරුවෝ සිරිමත්ලා වගේ යහපත්ව කොන්ඩේ තෙල් ගාල පීරලා විනීත, සුසිල්වත්,ඉතා කීකරු,ඉස්කෝලේ වැඩ විතරක්ම කරන අර බලන්න නයනා අමර සල් ගස යට කියලා සල් මල් නෙලන දරුවෝ වෙයි කියලා හිතනවානම් ඉතින්,ඒක ලොකු විහිළුවක්.

කාලයේ තාලෙට ලෝකෙ වෙනස් වෙනකොට තමන්ගේ ළමයි විතරක් වෙනස් නොවී ඉඳියි කියලා හිතන එක දෙමව්පියන්ගේ අඩුපාඩුවක්,

තරුණ දරුවෝ ෆොන් පාවිච්චිය, ගේම් ගහන එක, අන්තර්ජාලයට රිංගන එක මේ කාලෙ අහස පොළව නුහුලන පට්ට අපරාධයක් නෙමෙයි,

දරුවෝ එක්ක හොඳින් කතාකරලා, තේරුම් කරල දීලා ඒවාට සීමාවක් දාන්න බලන එක වෙනස්,

හැබැයි බකස් ගාල එකපාරටම ඒවා 

නවත්තල දාලා දෙමව්පියෝ, දෙමව්පියන්ගේ බලය පෙන්නන්න ගියාම වෙන්නේ, දරුවෝ තමන්ගේ මුරණ්ඩුකම් වල උපරිමයටම යන එක විතරයි.

කාළයත් එක්ක හැමදේම වෙනස් වෙනවා වගේ,අපේ දෙමව්පියෝ දරුවෝ එක්ක ගණුදෙනු කරන විදිහෙත් වෙනසක් ඇති වෙන්න ඕනෙ,

එහෙම නොවී  තාක්ෂණයට බැනලා මෙවලම් වලට සීමා දාලා නම් මේ වගේ සිද්ධි වෙන එක නවත්තන්න බැහැ.

අලුතෙන් ජීවිතේට පය ගහපු තරුණ ළමයින්ට වඩා, ඒ යුගය පහු කරන් ගිය දෙමව්පියෝ මීට වඩා ඉවසීම, තේරුම් ගැනීම, ප්‍රගුණ කරල ප්‍රයෝගිකව යතාර්ථවාදීව දරුවෝ දිහා බලන්න ඕනෙ,

අන්තිමට හැමදේටම වැරදි දෙමව්පියෝද කියලා කෙනෙක් ඇහුවොත්, උත්තරය ඔව්, දරුවෝ හදනවා කියන්නෙ සියළු වගකීම් බාරගෙන බැනුම් අහන්න ලෑස්ති වෙලා කරන්න ඕන වැඩක්,

හොඳ හෝ නරක දරුවො වැඩිහිටියෝ වෙනකම් දෙමව්පියෝ වග කියන්න ඕනෙ තමයි.

අනිශා ජයකොඩි ✍️