සප්තස්වරයේ සාහිත්‍යවේදියා ඔහුයි. නදීක ගුරුගේ
ඒ සාහිත්යවේදියා කවුදැයි ඔබට පවසන්නට මත්තෙන් මේ සටහන මම මෙහෙම පටන් ගන්නම්. නින්දට යනවිට පමණක්ම නොව නිදහසේ සිටිනවිටත් ඇඟිල්ලක් මුවෙහි රුවාගෙන ඉරීම බොහෝ කුඩා දරුවන්ගේ ඇබ්බැහියකි. මේ හේතුවෙන් මුඛයෙහි දත් ඉදිරියට නෙරා ඒම වැනි අලකලංචීන් සිදුවිය හැකි බැවින් මව්වරුන් උත්සහා කරන්නේ කෙසේ හෝ මෙම නරක පුරුද්ද නතරකර ගැනුමටයි. මෙහිදී ඇඟිල්ලේ තිත්ත දෑ ඉලීම,ඇඟිල්ලේ පාන්කඩ එතීම වැනි ක්රම භාවිතය ඉතාමත් සුලබය. එහෙත් මගේ මේ සටහනේ කතානායකයාගේ මව සිදුකොට තිබුණේ අප හීනෙන් හෝ නොසිතනා ක්රියාවකි. එමෙන්ම ආන්දෝලනයකට පවා තුඩුදිය හැකි තරමක මුරණ්ඩු එමෙන්ම ළමා හිංසාවක් යැයි සැලකිය හැකි ක්රියාවකි. එනම් මෙම නොදරුවා අතට ගීතාරුවක් ලබා දීමයි. ගිතාරුවේ ඇදී ඇති තත් අතර තම ළපටි අතැඟිලි යවන දරුවාගේ ඇඟිලි ඉන් කැපී තුවාළ වූ විට ඒවා ඉරීම නවතනු ඇති බව මවගේ හැඟීම විය. ඈ සිතූ පරිදිම ඇඟිලි ඉරීම නතර වී තිබූ අතර තවත් සුවිශේෂි ආශ්චර්යමත් දෙයක්ද ඊට සමගාමීව සිදු වී තිබිණ. එනම් මෙම ළදරුවා ගිතාරුව වැයීමට පෙම් බැඳීමයි. එනයින්ම පසුකළෙක හේ ප්රතිභාපුර්ණ ගිතාරුවාදකයෙකු පමණක් නොව අමුතුම මාදිලියේ සංගීතවේදියෙකුද බවට පත්වීමයි. එහෙයින් මව ගත් තරමක් දරුණු තීරණය අපේ රටට තවත් අපූරු සංගීතඥයෙකු බිහිකිරීමට ඉවහල් වූයේ දෛවයේ සරදමක් විලස නොව දෛවයේ ලියා තිබූ ලෙසටය.
එදා ඇඟිලි කපාගෙන ඒවා ඉරීම අතහැර ඒ වෙනුවට ඒවායින් ගිතාරු තත් පිරිමැද අපූරු නාද රටා මවන්නට පටන් ගත්තේ වෙන කවුරුන් හෝ නොව අද අපේ රටම දන්නා නදීක ගුරුගේ නම්වූ ප්රතිභාසම්පන්න ගිතාරු වාදකයාය. අපූරු සංගීතඥයා හා ගායනවේදියාය. ප්රභල සාහිත්යධරයාය. සුන්දර මිනිසාය.
රටේ පිනට පහළ වූ ආචාර්ය ප්රේමසිරි කේමදාසයන් යටතේ ගීත ගායනයෙන් සංගීත ලොවට පා තැබූ නදීක තරුණයා තම වැඩිමහල් සොයුරු සුමුදු ගුරුගේ ගේ මගපෙන්වීමෙන් ගිතාරු වාදනයටද කුඩා කල පටන්ම හුරු වූයේය. නදීකම පවසනා පරිදි ඔහුගේ සොයුරා ඔහුට පෙන්වා දී තිබුණේ එකම එක ගිතාරු ස්වරයකි. ඉන්පසු ස්වයං අධ්යනයත් සහජ දක්ෂතාවයත් විසින් ඔහු අද සිටිනා සුපිරි තත්ත්වය ඔසවාලනු ලැබිණ.
ඔහුගේ අතලොස්සක් වූ ගීත සහ ඒවා බහුතරයක තිබෙන ඔහුගේම පද රචනා වෙනනම කතාකළ යුතු එමෙන්ම ඇගැයිය යුතු මාතෘකාය. එමෙන්ම ඔහුගේ සිනමා සංගීතයද ඉතාමත් අපූරු විශාල කතාකාවකට බඳුන් විය යුතු සංගීත වියමන්ය. එහෙත් අපේ රටේ තවමත් එවන් කතිකාවක්, සාකච්ඡාවක් ඇතිවී ඇතිදැයි සැක සහිතය. ඔහුගේ ගැඹුරු හඬ හා හුරුබුහුටි ගිතාරු වාදනය ඔහුටම ආවේනිකය. එයයි ඔහු සතු සුවිශේෂී ගුණය.
අපේ රටේ සංගීතයේ හැරවුම් ලක්ෂ වූ සුනිල් සාන්තයන් හා ක්ලැරන්ස් විජේවර්ධනයන් නදීකගේ සංගීත ගමනට ආලෝකය සපයන හිරු සඳු වැනිය. ඔහු ඔවුන් ගැන පවසන්නේ ඉමහත් ගෞරවයෙනි. එමෙන්ම නදීකගේ සංගීතයේ ගැබ්වෙන අපේ ජන සංගීතය හා ලෝක සංගීතයේ නාද මාලා වෙන වෙනම විශ්ලේෂණය කොට කිරා මැන බලා කතා කළ යුතුමය. එපමණක් නොව සිංහල හා ඉංග්රීසි බස හැසිරවීමේ ඔහු සතු හැකියාව අද්විතීයය. ඔහු සතු ගැඹුරු සාහිත්‍ය ඥානය, ඔහුගේ ලිවීමේ හැකියාව ආදිය තවමත් ඇගැයීමට තබා කතාබහටවත් හසු නොවූ මාතෘකා බැව් කණගාටුවෙන් යුතුව උවද පැවසිය යුතුමය.
දැනට කෘති කිහිපයක්ම මුද්රණද්වාරයෙන් ලියා පළකොට ඇති නදීක මේ දිනවල තවත් විසල් එමෙන්ම බරසාර කෘතීන් කිහිපයක්ම රචනාකොට අවසන්කොට ඇතිබව මා හට පැවසුවේය. සංගීතය පිළිබඳව කෘතියක් හා අපේ රටේ මිත්යා මතයන් පදනම්කරගත් ප්රබන්ධ නවකතාවක් සිංහලෙන් මෙන්ම ඉංග්රීසියෙන්ද රචනාකොට ඇති හෙතෙම දැන් ඒවයේ සංස්කරණ කටයුතු කරමින් පසුවෙයි. එළැඹෙන සැප්තැම්බරයේ ඒවා පාඨක ඔබ අතට පත්කිරීම ඔහුගේ අරමුණයි.
ඔහු පිළිබඳව තව නම් ලිවිය යුතු දෑ බොහෝයි. එහෙත් මේ සටහන මා අවසන් කළ යුතුව ඇත. ඉඳින් මා තුළ නලියනා මේ ප්රශ්ණ ඔබටත් ප්රශ්ණයක් සේ ඉතිරි කරමින් හා නදීක ගුරුගේ නම්වූ ඒ අපූරු කලාකරුවාට සුබ අනාගයක් පතමින් නතර වීමට මත්තෙන් මෙම ප්රශ්ණ ටික මම මෙසේ ලියා තබමි.
නදීක ගුරුගේගේ සංගීත භාවිතය හා ගී පද රචනා අප හරියට කියවාගෙන තිබේද? ඔහුගේ සිනමා සංගීතය පිළබඳව ගැඹුරු කතාබහක් ඇතිවීද? මේ මහා බරසාර සාහිත්යවේදියාව අපි හඳුනාගෙනද?
චන්දන ගුණසේකර