ශාස්ත්‍රපති පූජ්‍ය තවලම බන්දුල ස්වාමින්වහන්සේ…

එදා 1953 වසරේ පොසොන් මස දෙවැනිදාවක් විය. දකුණු ලක ගාල්ල නඟරයේ උඩුගම ග්‍රාමයේ පිහිටි කුඩා රෝහලකින් ඇසුණු බිළිඳු හඬකි. එදා වාතලයට මුහුවු ඒ හඬ දිනෙක හිරු නොබසින අධිරාජ්‍යයේ හඬ නගාවියැයි ඒ බිළිඳා මෙළොවට බිහිකළ පෙම්බර මෑණියෝවත් සිතන්නට නැත. පොසොන් මස උදා වී ඇහැල මලින් පරිසරය කහපාටින් බැබලෙද්දී,රජයේ සේවකයකු වූ ජේ. ඊ. අමරසිංහ සහ පද්මාවතී විජේසේකර ඒකනායක නම් වූ එම දම්පතීන්ගේ තෙවැනි පිරිමි දරුවා ලෙස උපන් මේ කුල කුමරාට බන්දුල යැයි නම් තබනු ලැබිණ. 

දකුණු පලාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම්‍ පත්තුවේ තවලම නම් වූ සුන්දර ගම්මානය මේ ළඳරු බන්දුලගේ දෙමාපියන්ගේ ගම විය. මනබඳිනා සුන්දර කඳු වළල්ලකින් වටවු තවලම ගම්මානය සිංහරාජ වනය ආසන්නයේම පිහිටි අතර ගම මැදින් ගලා ගිය ගිං ගං කොමළිය ගමේ සුන්දරත්වය  තව තවත් ඉහළ නැංවීමට සමත්‍ වූවද අධික වැසි සමයන්හිදී ගංවතුර තර්ජනයෙන් ගම බිළිගැනීමටද අමතක නොකලාය. හැම වසරකම මෙය සිදු වූවත් ගම්මු කිසිදාක ගඟ හා උරණ නොවූයේ පරිසරයට පෙම් බැඳි ඔවුන් එහි අගය දැන උන් හෙයිනි. 

රජයේ සේවකයකු වීමේ වරදට කුඩා බන්දුලගේ පියාට රටේ තැනින් තැනට මාරු වී යාමට සිදු වූ අතර හෙතෙම ඒ යන සෑම තැනකටම තම දරු පවුළද රැගෙන ගියේ පවුළකට පියෙකුගේ ආදරය හා රැකවරණය නිරතුරුවම අවැසි බව එතුමන් ඇදැහූ සත්‍යක්ම වූ බැවිනි. එහෙත් මෙම සංචාරක දිවි පෙවෙත නිසා කුඩා බන්දුලට තවලම සුන්දර ගම්මානයේ එතරම් කාලයක් විසීමට නොලැබිණ. එමෙන්ම පස්වන වසරට සමත් වෙද්දී රට පුරාම පිහිටි පාසල් පහකට යෑමටද ඔහුට සහ ඔහුගේ සොයුරු සොයුරියන්ට සිදු විය. කුඩා බන්දුලට වැඩිමහළු සොයුරන් දෙදෙනකු උන් අතර ඔහුට බාල මලනුවන් දෙදෙනකු හා නැගෙණියන් සය දෙනෙකු සිටියහ. මව පියා ඇතුළු සාමාජිකයින් දහතුන් දෙනෙකු උන් එම පවුළ ඉතාමත් සතුටින් දිවි ගෙවූයේ කොයි පලාතට මාරුකර යැවූවද ඒ යන තැන දෙව්විමන තනා ගනිමිනි. 

පුංචි සංන්දියේ බන්දුල ළදරුවාට තිබූ ග්‍රහ අපලයක් නිදහස් කර ගැනීම සඳහා ඔහුව ආරණ්‍යකට පූජා කිරීමට දෙමාපියන්ට සිදු වූවද ඔහුව මහණ කිරීම සඳහා කැමැත්‍තක් මෙන්ම අකමැත්තක්ද ඔවුන්ගේ හදවත් තුළ නොතිබිණ. එහෙත් අනෙක් දරුවන්‍ අතරේ ඔහුට යම් විශේෂත්වයක් නම් දෙමාපියන්ගෙන් ලැබිණ. එනම් ඔහුට දඬුවම් ආදිය අඩුවෙන් දීමයි. කෙසේ වෙතත් උපතින්ම නිවුණු දරුවකු වූ පුංචි බන්දුලට දඬුවම් කිරීමේ අවශ්‍යතාවයක් දෙමාපියන්ට පැන නැඟුනේ නැත. 

කුඩා බන්දුල පාසල් යන වයසට කෙමෙන් ළඟා වූ අතර ඔහුගේ පියා ඔහුව ගාල්ලේ කලේගාන කතෝලික විද්‍යාලයට  නමෝවිත්තියෙන්ම ඇතුළත් කරනු ලැබිණ. ප්‍රාථමික පාසලක් වූ එහි ඔහුට ඉගෙන ගන්නට ලැබුණේ වසරකි. 

ඉන්පසුව ඔහුව සහ ඔහුගේ වැඩිමහල් සොයුරන් දෙදෙනාව ගාල්ලේ රිච්‍මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කිරීමට කුඩා බන්දුලගේ පියා සමත් විය. එහි එක දිඟට වසර කිහිපයක්ම ඉගෙනුම ලැබුමට තුන් සොහොයුරන් වාසනාවන්ත වූහ. 

එහෙත් හදිසියේම පියා රජයේ සේවකයකු වීමේ අභාග්‍යට මුහුණ දීමට ඔවුන් තිටදනාට සිදු විය. මෙවර පියාට මාරු වීම ලැබී තිබුණේ ඇතුගල් පුරයටය. ඒ, 1963 වසරේදීය. එහිදී දස හැවිරිදි බන්දුල කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් කරනු ලැබිණ. එහෙත් අවාසනාවකට එහි ඔහුට රැඳෙන්නට හැකි වූයේ වසරක වැනි කෙටි කාලයක් පමණි. ඒ, ඔහුගේ පියාට පොලොන්නරුවට මාරුවීමක් ලැබුණු බැවිනි. 

සිය පවුළම කැටුව පොලොන්නරුවට ගිය පියා කුඩා බන්දුලව පොලොන්නරුව තෝපාවැව මහා විදුහලට ඇතුළත් කළේය. එහිදි ඔහුට ඉගෙන ගැනීමට ලැබුණේ එකම එක වසරක් පමණි. ඉන්පසු ඔහුට යෑමට සිදුවූයේ කඳුරුවෙල මහා විද්‍යාලයටයි. වසරින් වසර එක් එක් පාසලට මාරු වී යාම බන්දුල දරුවාට දැනුනේ මහා වදයක් ලෙසිනි. තනිකරම දඬුවමක් විලසිනි. එමෙන්ම රිච්මන්ඩ් සහ මලියදේව වැනි ඉහල පාසල්වල ලැබූ අධ්‍යාපනයත් සමඟ සසැඳීමේදී මෙම කුඩා පාසල්වල ඉගෙනුම ඔහුට වහකදුරු මෙන් තිත්ත වීමට වැඩි දොහක් ගියේ නැත. ඒත් සමඟම ඔහුගේ සිතට ආවෙ කඳිම අදහසකි. එනම් මහනවීමට යෑමයි. 

හොඳ දිනයක් එනතුරු ඇඟිලි ගනිමින් හුන් බන්දුල ගැටවරයා තම අදහස දෙමාපියන් හමුවේ තැබුවත් ඔවුන් ඊට කැමති වූයේ නැත. එහෙයින් දිඟටම ඒ ගැන කන්නලව් කරන්නට ඔහුට සිදු විය. අවසානයේ මෙය වදයක් වනතුරුම උග්‍ර වූ විට එක පොරොන්දුවක් මත මහන වීම සඳහා ඔහුට අවසර ලැබිණ.  එනම් කිසිමදාක සිවුරු නාරින බවට වූ පොරොන්දුවයි. 

මේ කාලයේ මහන වීමට මාර්ගයක් සොයමින් හුන් බන්දුල කොලු ගැටයාට දිනෙක පුවත්පතක පළ වී තිබූ දැන්වීමක් අහම්බෙන් ඇස ගැටුණේ දෛවයේ සරදමක්‍ විලසිනි. එනම් මහන කිරීම සඳහා යම් පිරිවෙනකින් කුළ දරුවන් සොයනා බවයි. වහා ක්‍රියාත්‍මක වූ හෙතෙම තම දෙමාපියනට මේ බැව් දැන්වීය. මහනවීම සඳහා අම්බලන්ගොඩ මහාචේතිය පිරිවෙනට යා යුතු වූ අතර 1964 වසරේ දිනෙක දෙමාපියන් සහ නෑදෑයින්ද කැටුව ඔහු එහි ගියේය. මහනවීමට සූදානම්වීමක් වශයෙන් මාස දෙකක පමණ කාලයක් පිරිවෙනේ නතර වී සිටීමට කුඩා බන්දුලට සිදු විය. ඉන්පසු එම වසරේම දිනෙක ඔහුව මනකරනු ලැබූවත් වැඩි දොහක් එම පිරිවෙනේ සිටීමට පොඩි හාමුදුරුවන්ට නොහැකි විය. ඒ විහාරස්ථානයේ ඇතිවූ අරබුද තත්ත්වයක් හේතුවෙනි. ඔහුගේ පියා වහා පැමිණ පොඩි හාමුදුරුවන්ව පොළොන්නරුවට කැටුව ගිය නමුදු හාමුදුරුවන්ට කුමක් කළ යුතුදැයි නිශ්චිත සැලසුමක් ඔහු තුළ නොවීය. 

මෙසේ කාලය ගතවෙද්දී පුංචි හාමුදුරුවන්ගේ මෑණියන්ගේ ඥාතීන් දෙදෙනකු වූ එවකට ප්‍රසිද්ධ සඟරුවන් ද්විත්වයක් පිළිබඳව ඔවුන්ට සිහිපත් විය. ඉන් එක හාමුදුරුනමක් වූයේ ගාලු පලාතේ ප්‍රධාන සංඝනායක වූ නෙලුවේ ශ්‍රී ගුණානන්දාබිධාන මහා නායක ස්වාමින් වහන්සේය. උඩුගම ශ්‍රී සාසනාලංකාරාමයෙහි වාසය කළ උන්වහන්සේ ඉතාමත් චතුර ලෙස ධර්මදේශනාවේ සමතකු වූ අතර පළාතේම ඉතාමත් ප්‍රසිද්ධ සඟරුවනක් විය. උන්වහන්සේ අනගාරික ධර්මපාල තුමන් සමඟ එකට කටයුතු කරමින් හා එතුමා අනුව යමින් පාසල් රාශියක් පලාතේ ඇරඹීමට මූලිකව ක්‍රියාකළ අතර සමාජයට සිදුකළ මෙහෙය අපමණ විය. 

අනෙක් ඥාති ස්වාමින්වහන්සේ වූ නෙළුවේ ශ්‍රී ජිනරතන ස්වාමින් වහන්සේ ඉන්දියාවේ කල්කටා නුවර පංසලක විසූ අතර අනගාරික ධර්මපාල තුමන් ඇරඹූ ඉන්දියානු මහාබෝධි සමාඟමේ ලේකම්වරයා විය. 

ඉඳින් , පුංචි හාමුදුරුවන්ව උඩුගම සාසනාලංකාරාමයට ගෙනගොස් ඇරලීමට පියා කටයුතු කළ අතර 1966 වසරේදී නැවතත් පැවිදි දිවියට ඇතුළත්කරනු ලැබිණ. එහිදී මෙම කටයුත්තට නාකියාදෙණිය ශ්‍රී සරණපාල පිරිවෙනේ නායක හාමුදුරුවන් වූ කදුරුපොකුණේ ධම්මාවංස හාමුදුරුවන් මූලික වී කටයුතු කළ අතර කුඩා හාමුදුරුවන්ගේ සිවුරුපටිය කරේ බඳින ලද්දේද උන්වහන්සේ විසිනි. මෙහිදී පොඩි හාමුදුරුවන්ට නමක් ලබා නොදුන් අතර ඕනෑ නමක් දමාගැනීමට අවසර දෙනු ලැබිණ. එහෙයින් උන්වහන්සේගේ ගිහි කල නම වූ බන්දුල යන නමම පාවිච්චියට ගැනුනු අතර දෙමාපියන්ගේ ගමේ නමද මුලට යොදා තවලම බන්දුල නමින් දෙවැනි වරට පැවිදි දිවිය ඇරඹූ සේක. 

ඉන්පසු නාකියාදෙණිය ශ්‍රී සරණපාල පිරිවෙනින් අධ්‍යාපනය ලැබීම ඇරඹූ තවලම බන්දුල ස්වාමින් වහන්සේ එහිදී හොඳින් ඉගෙනීමේ කටයුතු කරමින් ප්‍රාචීන ප්‍රාරම්භක විභාගය සහ ප්‍රාචීන මධ්‍යම විභාගයද සමත්ව අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළද ඉහලින්ම සමත් වීමට හැකියාව ලබා ගත්හ. 

1974 වසරේදී මහණුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාවද ලබා ගත් තවලම බන්දුල ස්වාමින් වහන්සේ 1975 වසරේදී පේරාදෙණිය සරසවියේ කලා පීඨයට ඇතුළු වූහ. එහිදී වසර 4 ක් පුරා සමාජ විද්‍යා විෂය හදාරා 1979 වසරේදී දෙවැනි පෙළ ගෞරව උපාධියක්ද සමඟින් තම උපාධිය සම්පූර්ණ කළේ උන්වහන්සේ සතු නිසර්ග හැකියාවන් ප්‍රදර්ශනය කරමිනි. 

1979 වසර වෙනවිට රටේ ඇතිවූ ආරථික සහ සාමාජීය වෙනස්කම් සහ තම ගුරුදේවයන් වූ නෙළුවේ ශ්‍රී ගුණානන්ද යතිවරයානන්ගේ අපවත්වීම ආදිය හමුවේ මේ ලිපියේ කතානායක ස්වාමින්වහන්සේ වූ තවලම බන්දුල හාමුදුරුවන්ට තම දිවියේ යම් වෙනසක් ඉතාමත් තදබල ලෙසින් දැනෙන්නට විය. එනම් මව්බිමෙහිම මෙලෙසින් වසනවාද නැතිනම් ලෝකයේ වෙන රටකට ගොස් ධර්මප්‍රචාර කටයුතු කරමින් ලෝකයට සමාජයට සේවයක් කරනවාද යන්නයි. 

මේ මොහොතේ උන්වහන්සේගේ මතකයට එකවරම ආවේ කල්කටාවේ සිටින තම ඥාති ස්වාමින් වහන්සේ වූ නෙළුවේ ශ්‍රී ජිනරතන හාමුදුරුවන්වය. වහා තම අදහස එනම් අධ්‍යාපන හමාරකොට ඇතිබව, ශ්‍රී ගුණානන්ද හාමුදුරුවන්ගේ අභාවය සහ තමන් පිටරටක ධර්මප්‍රචාරයට ඇති කැමැත්ත යන කාරණා දක්වා ලියමනක් තැපැල් කළේ ලැබෙන ඕනෑම පිළිතුරක් බලාපොරොත්තුවෙනි. එහෙත් ලැබුණු පිළිතුර බන්දුල හාමුදුරුවන්ගේ බලාපොරොත්තු පුබුදුවාලීමට සමත් විය. 

ලැබුණු ඇරයුම ඉතසිතින් බාරගත් බන්දුල හාමුදුරුවෝ තමන්ගේ මිත්‍ර හිමිනමක් වූ අත්තනගල්ලේ ලංකානන්ද ස්වාමින් වහන්සේත් සමඟ කොළඹ කොටුව දුම්රියපළින් ප්‍රවේශපත්‍ර ගෙන තලේමන්නාරම දක්වා දුම්රියෙන් ගොස් එතැන සිට බෝට්ටුවක දකුණු ඉන්දියාවේ චෙන්නායී නුවරට ළඟා වූහ.  එතැනිනි කල්කටාව බලා ගිය උන්වහන්සේලා දෙනම ශ්‍රී ජිනරතන හාමුදුරුවන් බැහැදැක කල්කටාවේ එම විහාරස්ථානයේ දින කිහිපයක් ලැගුම් ගත්හ. 

ඉන්පසු ගුණානන්ද හාමුදුරුවන්ගේ මඟපෙන්වීම යටතේ ලංකාවෙන් පැමිණි මෙම නව යොවුන් හාමුදුරුවරු දෙනම කල්කටාවෙ වෙනත් ප්‍රාදේශීය විහාරස්ථානයක වැඩකටයුතු බලාකියාගෙන ධර්මප්‍රචාරක කටයුතු කිරීම සඳහා යවනු ලැබිණ. එතැන ටික දිනක් ඒ වැඩ කරමින් සිටිනා විට බන්දුල හාමුදුරුවන්ට සිතුනේ තම අධ්‍යපන සුදුසුකම් හා දැණුම අනුව මීට වඩා වැඩි සේවයක් සමාජයට හා බෞද්ධ ප්‍රජාවට කළ හැකි බවයි. එහෙයින් මේ ගැන දන්වා එම විහාරස්ථානයේ කටයුතු ලංකානන්ද හාමුදුරුවන්ට පැවරූ බන්දුල හාමුදුරුවෝ ආපසු කල්කටා විහාරයට වැඩමකොට  එහි උප ප්‍රධාන සංඝනායක තනතුරද හොඹවමින් එහි වසර අටක කාලයක් ගත කළේ තමන් සතු ආගමික හා පරිපාලන හැකියාවන් මොනවට ප්‍රදර්ශනය කරමිනි. 

ඒ කාලයේ දී කල්කටා විශ්ව විද්‍යාලයටද ඇතුළත් වූ උන්වහන්සේ පුස්තකාල සම්බන්ධ උපාධියක් සම්පූර්ණ කර ගැනීමට සමත් වූ අතර තමන් උපාධිය ගෙන තිබූ සමාජ විද්‍යා විෂයෙන්ම ශාස්ත්‍රපති උපාධියද දිනා ගැනීමට කටයුතු කළහ. 

කල්කටාවේ විහාරස්ථානයේ වැඩවසන සමයේ නෙළුවේ ශ්‍රී ජිනරතන ලොකු හාමුදුරුවන්ගේ මඟපෙන්වීම යටතේ කල්කටාවේද අනාථ නිවාසයක් නිර්මාණය කර ඒ තුළින් අන්ත අසරණ කාත්කවුරුත් නොමැති ළමුන්ට සරණක් වූයේ අනගාරික ධර්මපාල තුමන් ගත් මඟ යමිනි. අනගාරික ධර්මපාල පදනමේ උදව්වෙනි. 

මෙසේ කාලය ගෙවී ගිය අතර 1983 වසරේ දී නෙළුවේ ශ්‍රී ජිනරතන ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමත් සමඟම එම විහාරස්ථානයේ පරිපාලන කටයුතුවල විශාල වෙනස්කමක් සිදුවිය. පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් මහා බෝධි සමාගමේ නව ලේකම් ධූරයට පත් වී පැමිණි අතර උන්වහන්සේ සමඟද අපේ තවලම බන්දුල ස්වාමීන්වහන්සේ තමන්ට පැවරුණු  වගකීම් ඉටුකරමින් විහාරස්ථානයේ සහ සමාජයේ දියුණුවට කටයුතු කළහ. එහෙත් තම දෙවැනි ගුරුදේවයන්ගේද අභාවයෙන් පසු වෙනත් තැනකට යෑමට කාලය පැමිණ ඇතිබව උන්වහන්සේට සිතිණ. මේ අදහස මාපලගම විපුලසාර ස්වාමීන්වහන්සේට සැලකළ විට උන්වහන්සේ ඉතාමත් කරුණාවෙන් යුතුව ලංඩනයේ බෞද්ධ විහාරයේ පුරප්පාඩුවක් ඇතිබව සැලකර සිටියේ බන්දුල හාමුදුරුවන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. 

එකල ලංඩන් බෞද්ධ විහාරය බටහිර ලංඩනයේ චිසික් නගරයේ හීත්ෆීල්ඩ් ගාඩ්න්ස් පාරේ පිහිටි අතර එහි නායකත්වය දැරුවේ පූජ්‍ය මැදගම වජිරඥාණ ස්වාමීන්වහන්සේ විය. විපුලසාර හිමියන් වජිරඥාණ හිමියන්ට ලිපියක් යැවූ අතර ඊට කැමැත්ත පළකෙරුනෙන් ලංඩනයට යෑම සඳහා වීසා ගැනීමට අපගේ බන්දුල හාමුදුරුවන්ට ලංකාවට යෑමට සිදු විය.  ඒ 1987 වසරේ දීය. කොළඹදී සම්මුඛ පරීක්ෂනයකට මුහුණදුන් බන්දුල හිමියන් එයින් සමත්ව තෙවසරක කාලයක් සඳහා ලංඩනයට පා තැබුවේ 1987 වසරේදීමය. 

එවකට ලංඩන් විහාරයේ දායක පිරිස දෙකට බෙදී යම් අරබුධකාරී තත්ත්වයක් පැන නැගී තිබිණ. සමාජ විද්‍යාව හා පරිපාලනයේ හසල දැණුමක් තිබූ බන්දුල ස්වාමින් වහන්සේ වජිරඥාණ නායක හාමුදුරුවන්ගේද අනුශාසනය යටතේ මෙම අරබුදකාරී තත්ත්වය සමනය කොට දායකයන් අතර සමගිය ගොඩනැඟීමට සමත් වූහ. එහිදී විහාරස්ථානයේ අයවැය කටයුතු හා ප්‍රචාරක කටයුතු ආදිය කිරීම බන්දුල හාමුදුරුවන්ට පැවරුණු අතර උන්වහන්සේ විහාරස්ථානයේ දහම්පාසල ඇරඹීමටද මූලික වී ක්‍රියා කළහ. මේ අතර කොම්පියුටර් තාක්ෂණයද ඉගෙන ගත් අපේ බන්දුල ස්වාමීන්වහන්සේ දායකයන්ගේ දත්ත ගබඩාකර ගැනීම ඔවුන්ට ඊමේල් යැවීම ආදි කටයුතුද මැනවින් ඉෂ්ඨ කරමින් විහාරස්ථානයේ දියුණුවට උර දුන්හ. වසර කිහිපයකට පසු 1994 දී ලංඩන් බෞද්ධ විහාරය එය වර්ථමානයේ පිහිටි දි ඇව්නිව් පාරට ගෙන එනු ලැබිණ. 

එතැන්පටන් විහාරයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොව සුදු ජාතිකයින්ටද ධර්මය කියාදෙමින් ඒ සැමටම සැනසීමක් ලබාදීමට අපේ බන්දුල හාමුදුරුවෝ කටයුතු කළහ. එමෙන්ම විහාරයට අඩුවක්ව තිබූ වෙබ් අඩවිය නිර්මාණය කිරීම, දායකයන්ගේ දත්ත ගබඩා කිරීම, ඊමේල් යැවීම ආදිය උන්වහන්සේගේ ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා දැණුම ලබා ගත්තේ තේම්ස් වැලි විශ්ව විද්‍යාලයට ඇතුල් වී උන්වහන්සේ ලබාගත් පුස්තකාල සහ තාක්ෂණ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා උපාධියට පිංසිදු වන්නටය. මෙයින් අපට පෙනී යන්නේ ඉගෙනුමට සහ තමන් සිටිනා ආයතනයේ දියුණුව සඳහා උන්වහන්සේගේ ඇති කැපවීම සහ නොපසුබට උත්සහයේ තරමයි. 

විහාරස්ථානයේ දියුණුවට ,ආගමික සහ සාමාජික කටයුතු සඳහා තම දිවියම කැප කළ උන්වහන්සේ තමන් කල්කටාවේදී ක්‍රියත්මක කළ සුබසාදන වැඩකටයුතු අනුව යමින් රාහුල අරමුදල නමින් සුබසාදන අරමුදලක් පිහිටුවීමට මූලික වී කටයුතු කළ සේක. දායකයන්ගේ සහ වර්ථමාන ලංඩන් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල ස්වාමින්වහන්සේගේද සහය ඇතිව ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන රාහුල පදනමින් ලංකාවේ පමණක් නොව නේපාලයේ පවා නැතිබැරි ළමුන්ගේ සුබසාධනය හා ඉගෙනීමේ කටයුතු සඳහා සලසනුලබන සේවය අතිමහත්ය. දැනට ළමුන් දාහක් පමණ මෙම අරමුදලින් පිහිට ලබන අතර ඉන් ආධාර උපකාර ලබා තම දිවිය සාර්ථක කරගත් ළමුන්ද බොහෝ පිරිසකි. වසර 22 ක් පුරා අඛණ්ඩව  ක්‍රියත්මකවන රාහුල පදනමේ නිර්මාතෘ අපේ බන්දුල හාමුදුරුවන් බව ගෞරවපූර්වකව නැවතත් සිහිපත් කරනුයේ උන්වහන්සේට කෘතවේදීත්වය පළකිරීමක් වශයෙනි. 

ඔබ දැන් කියවා අවසන් කළේ මේ වසරේ පොසොන් මස දෙවැනිදාට තම දිවියේ සැත්තෑවන සැතපුම් කනුවට පියනඟන ශාස්ත්‍රපති පූජ්‍ය තවලම බන්දුල ස්වාමින්වහන්සේ මෙතෙක් පැමිණි ගමන් මඟයි.  බොහෝ ස්වාමීන්වහන්සේලා මෙන් තමන්ගේම කියා පන්සලක් තනාගැනීම තම දිවියේ මූලිකම දෙය වශයෙන් සලකා ඒ සඳහා උනන්දු නොවූ අපේ බන්දුල හාමුදුරුවෝ තමන් වැඩවසනා විහාරස්ථානයේ දියුණුවට සහ එයට අනුබද්ධිත දායක දායිකාවන්ට ආගමික හා සාමාජීය සැනසීමක් උදාකර දීම තම දිවියේ උතුම්ම යුතුකම හා වගකීම ලෙස සිතා කටයුතු කළ සේක. උන්වහන්සේගේ ජීවන ගමන් මඟ අප කාටත් ආදර්ශ ලබාගත හැකි ඉතාමත් සාරථක ගමන් මඟක් වන්නේ එහෙයිනි. මෙම සටහන අවසන් කිරීමට මත්තෙන් මේ සඳහා මට තොරතුරු ලබා ගැනීමට දායක වූ ලංඩනයේ කිරණ ටීවී ජාලයේ විසින් උන්වහන්සේගේ දිවිය අළලා නිර්මාණය කරන ලද “යතිවර ගවේෂණය” වැඩසටහන වෙනුවෙන් කිරණ ටීවී ජාලයට මගේ ස්තූතිය පුදකරමි. මෙම සාසනික හා සමාජීය සේවාව තව තවත් ඉදිරියටම රැගෙන යමින් තව තවත් අපේ රටට හා සමාජයට සේවය කිරීමට අවශ්‍ය කායික හා මානසික නිදහස පූජ්‍ය තවලම බන්දුල ස්වාමින් වහන්සේට ලැබේවායි සහ උන්වහන්සේට නිදුක් නිරෝගී සුබම සුබ හැත්තෑවෙනි ජන්ම සංවත්සරයකට සුබාසිරි පතමින් මම මේ සටහන අවසන් කරමි.

සටහන- චන්දන ගුණසේකර

හුලංගල Mini Worlds End

ඉතිං ආයුබොවන්……. මම නිසංසලා….

ඔන්න අදත් මං අරන් ආවා අපේ රටෙි තවත් සුන්දර ලස්සන තැනක් ගැන විස්තර……. හැබැයි මෙි ගමන නමි මං ගියේ තනියම… ගමන යන්න කලින් මං කීපදෙනෙක්ගෙන් විස්තර ඇහුවා… මොකද අපි කොහේ හරි මිට කලින් ගියෙ නැති තැනකට ඇවිදින්න තනියම යනවා නමි එ යන තැන ගැන අවබොදයක් අරන් යන්න ඔින.. මුලින්ම ස්තුති කරනවා මඟ විස්තර දුන්න කීපදෙනාට විශේෂයෙන් solo traveling පිස්සුව youtube channel එක කරන මිත්‍රයාට…

      ඉතිං මුලින්ම මෙි ගමන මම තනියම යනවා කිවුවාම කිපදෙනෙක් මට තනියම යන්න එපා කිව්වා. බීපු මිනිස්සු ඉන්නවා කිවුවා.. තවත් එක එක දේ කිව්වා.. එ නිසාමයි මං විස්තර හොයා බැලුවෙි… ඉතිං මං ගියා තනියම.. ජිවිතේ එක පාරක් හරි තනියම travel කරන්න ඔින…මොකද එ මානසික නිදහස කවුරුත් කිවුවාට වැඩක් නැ තමන්ම විදලා බලන්න ඔින…. මං නමි ඉතිං කොහොමත් ඇවිදිනවානේ.. තනියම යනවා වගේම යාළුවො එක්කත් මං යනවා..

       මාතලෙන් මම ගමන පටන්ගත්තෙ හරියටම මගේ උපන්දිනය දවසේ මැයි හතර වෙනිදා උදේ හතට.. ඉතිං මං ආවෙි නකල්ස් කදු පන්තියේ දකුණු කෙළවරේ තියන හුලංගල පුංචි ලෝකාන්තය හොයාගෙන, හුලංගලට නැවුගල කියලත් කියනවා… මාතලේ ඉදන් උදේ හතට මං ගමන පටන් ගත්තේ, හරියටම හත වෙද්දි මාතලෙන් එනවා බස් එකක් සැලගමට..

බස් එක හරියටම අට වෙද්දි ලගා උනා සැලගම වතුයායට යන මාර්ගය තියන නා ගහා ලගට… එ ලග පන්සලකුත් තියනවා… බය වෙන්න දෙයක් නැ නිතරම මිනිස්සු ගැවසෙන මාර්ගයක්….. නා ගහා ලග ඉදන් වතුයායේ ටිකටි ගන්න තැනට 3km විතර යන්න තියනවා, ටිකක් කන්ද.. එතන ඉදන් ත්‍රිවිල් එකකින් යන්න පුළුවන් ටිකටි ගන්න තැනට.. ත්‍රිවිල් එකට රුපියල් 500ක් ගන්නවා. මං නමි ඔයාලට විස්තර කියන්න ඔිනම නිසා පයින් ආවා.. එ යන පාරෙත් ලස්සන view එකක් බලාගන්න පුළුවන්.. හුන්නස්ගිරි කන්ද පෙනවා එ හරියට හරි අපුරුවට ඈතින්.. මං ටික දුරක් පයින් එද්දි ත්‍රිවිල් එකක් ඇවිත් නතර කලා. එකේ හිටියෙ ලයිමි නිවාස වලට පහලින් තියන දෙමළ පාසලේ ගුරුවරියක්.. ඇය හිටිය හින්දා මං ත්‍රිවිල් එකට ගොඩ උනා.. හුලංගල ටිකටි ගන්න තැනට මං ගියේ එහෙම. රුපියල් 200යි මගෙන් ගත්තේ…

      හුලංගල viewpoint එකට යන්න එක්කෙනෙකුට ටිකටි එක රුපියල් සියයි.. කොහොම හරි ත්‍රිවිල් එකෙනුත් ආව නිසා 8.30 වෙද්දි මං ටිකටි ගන්න තැනින් ටිකටි එකත් අරන් ගමන පිටත් උනා එ හීන දැකපු ලස්සන තැනට යන්න… මගෙ උපන්දිනයට මම මටම තැග්ගක් දෙන්න… මාරම ලස්සන වටපිටාවක් පහු කරන් මං ඉදිරියට ගියේ මගේ තනියට ආව බලු යාළුවො හතර දෙනෙක් එක්ක. එයාලා ගැන නමි කියන්නම ඔින. මට පාර පෙන්නුවෙි එක්කෙනෙක් මටත් කලින් ඉදරියෙන් ගිහින්…

ලස්සන වටපාටාවක්.. මං හිතන්නේ 3kmක් විතර දුරක් තියනවා ටිකටි ගන්න තැන ඉදන් viewpoint එකට…. මහන්සි දැනුනත් වටපිටාව දැක්කාම එ මහන්සිය නැති වෙලා යනවා… එ තරමි සුන්දරයි… තනියක් දැනුණේම නැ මට.. හෙමින් ගීතයක් මුමුණාගෙනම මාත් එක්ක ආව බලු යාළුවන් එක්කත් කතා කර කර මං හරියටම විනාඩි හතලිහක් ඇතුලත viewpoint එකට ආවා.. මගේ මහන්සිය තනිකම කොහෙන් ගියාද කියලා මටවත් හිතාගන්න බෑ… මං කෑ ගැහුවා සතුටට.. මුළු හුලංගලටම හිටියේ මං විතරයි…. මගේ උපන්දිනේට මං දුන්න ලස්සනම තැග්ග එක…

     හුලංගලට එන්න පාරවල් දෙකක් තියනවා එකක් කුරුණෑගල පැත්තෙන් අනිත් එක මාතලේ පැත්තෙන්. කුරුණෑගලින් 40km.. මාතලෙන් 25.5km.. හුලංගල බැවුම තියෙන්නේ කුරුණෑගල පැත්තට… හැබැයි මෙි තැනට එන්න තියෙන්නේ මාතලේ පැත්තෙන්.. හුලංගල අයිතිය කොහාටද හරියටම කියලා හොයනවාට වඩා මෙි සුන්දරත්වය විදිමයි මට නමි වැදගත් උනේ…

      පුංචි ලෝකාන්තය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදන් මීටර් 760 (අඩි 2500) ක් උසින. කොහොම උනත් හුලංගල කන්ද මීටර් 1025 (අඩි 3360) දක්වා ඉහළ යනවා…  හැම වාහනේකටම නමි ලයිමි නිවාස පහු කරලා මෙි තැනට එන්න බෑ… මෝටර් බයිසිකල්, රෝද 3 සහ 4 × 4 වාහන වලින් බැවුම ලගටම එන්න පුළුවන්…. හැබැයි ස්කුටි වල නමි ගමන අමාරු බව මම පහළට බහිද්දි දැක්කා මට පස්සේ ආව පොඩි මල්ලිලා දෙන්නා පහළට ආව විදිහෙන්.. වාහනෙන්ම යන්න පුළුවන් නිසා එකත් වෙනස්ම අත්දැකීමක් උනත් පා ගමනින් යන එකයි වඩාත් සුදුසුම.. වටපිටාවෙි ලස්සන බලන්න පුළුවන්.. ඈතින් නකල්ස් කදු පන්තිය වගේම අපුරුවට හුන්නස්ගිරි කන්ද පෙනවා ටවර් එක්කම..

හුලංගල viewpoint එක නමි ඇත්තටම පුංචි ලෝකාන්තයක්…. වට පිටාවෙි තියන කදු ගැන නමි කියන්න තරමි දැනිමක් මට නැති උනත් මං දැක්කා ඈතින් රිදිවිහාරය එ වගේම තවත් පන්සලක් මං දැක්කා. එ වෙලාවෙි නමි එ පන්සල මොකක්ද කියලා දැනන් හිටියේ නැති උනත් දැන් දන්නවා එ දොළුකන්ද විහාරය කියලා.. තව ඈතින් බතලගොඩ වැවත් දැකගන්න පුළුවන්….

නැවුගල කියලා මෙි කන්දට කියනවා ඇත්තේ සමහර විට කුරුණෑගල පැත්තට මෙි කන්ද නැවක් වගේ පෙන නිසා වෙන්න ඇති. හැබැයි හුලංගල කියලා මෙි තැනට නම වැටිලා තියෙන්නේ නමි හුළග නිසා කියලයි මට ටිකටි ගන්න තැන ඉන්න හෂාන් පැවසුවෙි.. හෂාන් කියන්නේ සැලගම ගමෙි කෙනෙක්. ඔහු කියපු විදිහට ඉස්සර ඔහුගේ පුංචි දවස්වල මෙි හුලංගල දැනට වඩා

හුළගක් තිබිලා තියනවා.. හුළග එන්නේ මෙි ගල් පර්වතය ඇතුලෙන් කියලත් ඔහු පැවසූවා.. ඉස්සර මෙි ස්ථානයට ගිය පසු ඔවුන් ඇද සිටින ටිෂර්ටි ගලවා දානවාලු මෙි ගලෙන් පහළට,එත් ටික වෙලාවකින් ලොකු හුළගක් එක්ක එ ටිෂර්ටි උඩට ඇදි එනවාලු.. එ නිසාම නැවුගල හුලංගල ලෙසට පටබැදුනු බවයි ඔහු පැවසුවෙි…… මං තවත් දේවල් ඇහුවා ඔහුගෙන්… මෙි හුලංගලත් අයිති සෙමිබුවත්තට.. ඉතිං මෙි තේවතු දෙකත් එක්ක වතු තමයක අයිතිය තියෙන්නේ ඇල්කඩුව සෙමිබුවත්තට..

හුලංගල එනවා නමි එක් අයෙක්ට රුපියල් සියක ටිකටි එකක් කඩනවා.. තව අපෙන් අත්සනකුත් ගන්නවා අපිට අනතුරක් උවහොත් හුලංගල පාලනාධිකාරිය වෙත එය නොපවරණ බවට… තමන්ගේ ආරක්ෂාව ඉතිං තමන්ම බලාගන්න ඔින තමයි… camping කරනවා නමි දහා දෙනෙක් වෙනකමි කණ්ඩායමකට රුපියල් 5000ක් වගේම වැඩිවෙන එක්කෙනා ගානේ සියක මුදලක් අය කරනවා.. තව drone යවනවා නමි රුපියල් 3000ක මුදලක් අය කරනවා. එයට හෙතුව විදිහට හෂාන් මට පැවසුවෙි drone ලැයිමි නිවාස දෙසට එවන නිසා එ නිවාස වල ජිවත් වෙන මිනිසුන්ගෙන් හුලංගල පාලනාධිකාරියට ප්‍රශ්න පැමිණි බවයි… මං ඉතිං අහන්නේ මොකටද අනේ ලස්සන දේවල් තියෙද්දි ලයිමි නිවාස පැත්ත විඩියෝ ගත කරන්න යන්නේ ..

ඉතිං අවසානයට මං මෙි ටිකත් කියන්නම ඔින…. හුලංගල බලන්න එන්න… එ සුන්දරත්වය විදින්න.. මම නමි ආයෙත් තනියම හො යාළුවන් එක්ක හුලංගල යනවා , මොකද මට මීදුම දැකගන්න ලැබුණේ නෑ. එ වගේම හුළග විදින්න ලැබුණේ නෑ.. එ නිසා මං ආයෙමත් යනවා.. ඉල්ලන්නේ එක දෙයයි… යන්න එ සුන්දර පරිසරය විදින්න . නමුත් විනාස කරන්න එපා. එ වගේම තමයි තමන්ගේ වගේම තමන්ගේ කණ්ඩායමෙි ආරක්ෂාව ගැනත් පළමුව සැලකිලිමත් වෙන්න…..

නිසංසලා රණසිංහ

රුවැත්තියනි, මේ වැරදි සිදුවන්නට දෙන්න එපා!

කාන්තාවක්, යුවතියක් ලෙස වර්තමානයේ සැවො ම පාහේ තම රුව රැකගැනීමට අපරිමිත උනන්දුවක් දක්වන බව පෙනේ. ඒ අතර රූපලාවණ්‍යයාගාර සත්කාර , වෛද්‍යය උපදෙස් මත සිදුකරන රූපලාවණ්‍යය ම ය ප්‍රතිකාර මෙන් ම තමන් විසින් ම නිවසේදී සිදුකරගන්නා සත්කාර ද ඒ අතර වේ. මේ ඕනෑ ම සත්කාරයක දී ඔබ ඒ පිළිබඳව දැනුවත් වීම සහ ඉතා ම සැලැකිළිමත් වීම අතිශයින් ම වැදගත් වේ. මක් නිසාද යත් සම, හිසකෙස් ආදිය එකිනාගෙන් එකිනෙකාට වෙනස්වන අතර ම ඒ සඳහා සත්කාර කිරීමේ දී තම තමන් ගේ සම සහ හිසකෙස් හොඳින් හඳුනාගෙන තිබී ම ප්‍රථිඵලදායී වන නිසාවෙ නි. එබැවින් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන කරුණු ඔබට වටහාගැනීමට හැකිවෙතැ යි මා විශ්වාස කරනවා. ඉතින් රුව රැකගැනීමේ දී ඔබ අතින් මේ වැරැදි සිදුවනවා දැ යි විමසා බලන්න….

සම පිරිසුදු කිරීම

ඔබේ මුහුණේ ස්වාභාවය සහ ජීවනරටාවේ ස්වාභාවය අනුව යම් අවස්ථාවන්හි දී දිනකට කිහිපවරක් සම cleanse කරමින් මුහුණ සේදීමට ඔබ පුරුදු වී සිටිනවා නම්, හැකිතරම් දුරට එය අව ම කිරීමට උත්සාහ ගන්න. මක්නිසා ද යත් නිතර ම සේදුම්කාරක භාවිතයෙන් සහ වතුර භාවිතයෙන් මුහුණේ සම අධික ලෙස වියළිබවට හැරීමට ඉඩ ඇති බැවිනි. එමෙන් ම සමට හිතකර සෛල වියළීයාමෙන් අනවශ්‍යය ගැටළු පවා ඇතිවීමට මෙය බලපානු ඇති. 

Sun cream භාවිත නොකිරී ම

ඔබ නිතර එලිමහනේ ගැවසෙන අයෙකු නම් ඔබ අනිවාර්යයෙන් ම හිරුකිරණින් ඔබේ සමට සිදුවන හානිය වළක්වාගැනීමට sun block පාවිච්චි කිරී ම ඉතා වැදගත් ය. මෙහි දී සමේ Ph අගයට සහ ඉහළ ආරක්ෂාවක් ලබාදෙන හොඳ ම තත්ත්වයේ sun block එකක් ම මිල දී ගැනීමට වග බලාගන්න. 

අධික සීනි, තෙල් සහ ලුණු භාවිතය

රසට කන්න අකැමැති කවුද? එහෙත් කෑම රස ගැන ම සිතා ඔබ අධික ලෙස සීනි ප්‍රතිශතය ඉහළ කෑමවර්ග නිතර ආහාරයට ගන්නේ නම් ඔබේ රූපලාවණ්‍යය සහ සෞඛ්‍යය ගැන වඩා සැලකිලිමත් වන්න. 

හිස තබන කොට්ට සහ ඇතිරිලි නිතර පිරිසුදු නොකිරී ම

කාර්‍යයබහුල ජීව්තයක දී ඔබට මඟහැරෙන නොයෙකුත් කාරණා තිබෙනවා ඇති. එහෙත් සතියකට වරක් හෝ දෙවරක් හැකි හැමවිට ම කොට්ටඋර සහ ඇතිරිලි මාරුකරමින් පිරිසුදු ඇඳ ඇතිරිලි සහ කොට්ටඋර භාවිත කරන්න. මක් නිසා ද යත් එමඟින් ඉස්හොරි , කුරුළෑ වැනි ගැටළුවලට ද විසඳුමක් ලැබේ. 

නිතර උණුසුම් වතුර භාවිතයෙන් ස්නානය 

මෙමඟින් හිසකෙස් සහ ශරීරයේ සම අධික වියළිබවට හැරෙන බැවින් හැකි හැමවිට ම උණුසුම අඩු ම වතුර භාවිතයෙන් ශරීරය සහ හිසකෙස් පිරිසුදුකරගැනීමට සැළකිලිමත් වන්න

නිසි සොයාබැලීමකින් තොරව skin care routine අනුගමනය කිරීම

සෑම කෙනෙක්ට ම එකිනෙකාට ආවේණික සමක්, රුවක් හිසකෙස් ආදිය තිබේ. එබැවින් හැමවිට ම පවතින රැල්ලට අනුගත වී සොයා බැලීමකින් තොරව සිදුකරන ඕනෑ ම ක්‍රියාවලියක අවසානය හැමවිට ම සාර්ථක වන්නේ නැත. එබැවින් දැන් මෙව් මොහොතේ පවතින trend එක අනුව ඔබේ රූපලාවණ්‍යය නිෂ්පාදන තෝරාගැනීම සහ භාවිතය සිදුකරන්න එපා. එමඟින් ඔබ හිතනවාට වඩා අයහපත් ප්‍රථිඵල ඔබ නොදැනුවත්ව ම ලැබෙන්නට ඉඩ ඇත. එමෙන් ම ඒ මඟින් දීර්ඝකාලීන අයහපත් ප්‍රථිඵල මෙන් ම නැවත කිසිදිනෙක ආපසු හැරවිය නොහැකි ප්‍රථිඵල වුව ලැබෙන්නට ඉඩ ඇත. එබැවින් හැමවිට ම ඔබේ රූපලාවණ්‍යය ශිල්පියාගෙ හෝ dermatology උපදෙස් අනුව ම පමණක් කටයුතු කරන්න. මක්නිසා ද යත් සමහර රසායනික සංයෝග ඔබේ පවුලේ ම කෙනෙකුට සාර්ථක ප්‍රථිඵල ලබා දුන්න ද ඔබට එය අහිතකර වීමට ඇති සම්භාවිතාව ඉහළ වන බැවිනි. 

ප්‍රමාණවත් නොවන නින්ද

කාර්‍යයබහුල ජීවිතයක් ගත කරන ඔබට රැකියාව්ද් හෝ වෙනයම් ගැටළුවක් නිසා අඩු නින්දක් නම් ලැබෙන්නේ, එය ඔබේ සෞඛ්‍යයට සහ රූපයට දැඩිව බලපාන බව ඔබ දන්නවා ඇති. දිනය පුරාවට නොයෙකුත් දේශගුණික කාලගුණික විපර්‍යාස මැද අධික මහන්සිය , තෙහෙට්ටුව්ව සහ මානසික , කායික පීඩා මැද ඔබ ගැටෙනා විට ඔබේ ශරීරය මෙන් ම මනස ද දුර්වල වන්නෙ ඔබටත් නොදැනි ම යි. ශරීරාභ්‍යන්තරය මෙන් ම ඉහත කී කාරණාවලදී බොහෝවිට නිරාවරණය වන ඔබේ සම, හිසකෙස් පවා මේ ගැටළු නිසා විඩාවට පත්වේ. එහි දී ප්‍රමාණවත් සුව නින්දකට පිරිසුදුකරගත් ඔබේ සම සහ ශරීරය නැවත නැවුම්බවකින් පුබුදුවන්නට හැකි ය. එබැවින් හැකි හැමවිට ම සුව නින්දක් ලබාගන්න සැලසුම් කරන්න.

Make up සමඟ නින්දට යාම

ඔබ කෙතරම් කාර්‍යයබහුල වුවත්, කෙතරම් විඩාවට පත්වුවත් කිසිදිනක මෙය නම් කරන්නට එපා. දිගු වේලාවක් ඔබේ සම මත රැඳුණ මේක් අප් නිසා ඔබේ සමට බොහෝ හානි සිදුවිය හැකි ය. එමෙන් ම දවස පුරා රැඳුණ කුණු දූවිලඑමෙන් ම දවස පුරා රැඳුණ කුණු දූවිලි ආදිය මෙන් ම මේක් අප් නිසා විඩාවට පත් සම තව තවත් අයහපත් තත්ත්වයකට හැරීමට මේ නිසා ඉඩ කඩ ලැබේ. Pimples, acne, black heads ආදිය මෙන් ම සම රැලිවැටී ම දුර්වර්ණ වීම මේ නිසා ඉක්මනින් සිදුවනු ඇති. එබැවින් නිවැරදිව මේක් අප් ඉවත් කර සැහැල්ලු නැවුම්බවකින් නින්දට යන්න. නින්දේ දී විඩාවට පත් සම ප්‍රකෘතිමත් කරමින් ඔබට නැවුම්බවක් ලබාදෙනු ඇත. 

ඉතින් මෙලෙස තවත් වැදගත් කාරණා රැසක් සමඟ නැවත්වරක් ඔබ හමුවන බලාපොරොත්තු ඇතිව මා අදට සමුගන්නවා. සුබ දවසක් !

සමීරා ජයසිංහ

කාන්තා මදසරු බවට හේතුවන PCOS

වර්තමාන සමාජය තුල විවාහක, දරුවන් අපේක්ෂිත යුවල සංඛ්‍යාවෙන් 30%ක ට ආසන්න ප්‍රමාණයක් දරුවන් නොමැති වීමේ ගැටලුවට මුහුණ දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තහවුරු කොට ඇත. ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන් 7%ක්  පමණ ද මදසරු බාවයට හේතු යෙදෙන “ඩිම්බ නොමේරීම” හෙවත් PCOS (Polycystic Ovarian Syndrome) යන රෝගී තත්ත්වයෙන් පෙලෙන අතර අවුරුදු 18-44 අතර වයසේ පසුවන කාන්තාවන් තුල මෙම තත්ත්වය සුලබව දක්නට ලැබේ. 

ස්ත්‍රී හෝමෝනයන්ගේ සමතුලිතතාවය බිඳ වැටීම හේතුවෙන් නිසියාකාරව ඩිම්බ පරිණත වීම සිදු නොවීම මෙම රෝගී තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවයි. ඩිම්බ කෝෂය මතුපිට ස්වාභාවිකව පවතින සුමට බව නොමැති වී පරිණත ඩිම්බයක් වෙනුවට “Cyst” එනම් තරල පිරි කුඩා ගෙඩි ඩිම්බ කෝෂ පුරා පැවතීම ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස හඳුනා ගත හැක. TAS/ TVS ස්කෑන් පරීක්ෂණ මගින් මෙම තත්ත්වය නිවැරැදිව පරීක්ෂා කොට තහවුරු කරගත හැක.

මෙම රෝගී තත්ත්වයේදී කාන්තා ශරීරයේ අභ්‍යන්තර මෙන්ම බාහිර රෝග ලක්ෂණ දක්නට ලැබෙන අතර, ඒවා ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙම තත්ත්වය පහසුවෙන් මගහරවා ගත හැක. PCOS රෝගී තත්ත්වය පිටියුටරි ග්‍රන්ථිය, ඩිම්බ කෝෂ, තයිරොයිඩ් ග්‍රන්ථි හා අග්න්‍යාශය ආදී අන්තරාසර්ග ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරීත්වයේ විෂමතා නිසා හටගනී. මීට අමතරව වත්මන් සමාජය තුළ මෙම රෝගී තත්ත්වය සඳහා බලපාන ප්‍රධාන හේතූන් ලෙස අධික තරබාරු බව, වැරදි ආහාර විහරණ හා ජානමය හේතු හඳුනාගත හැක.

කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වාගෙන යන ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන ඩිම්බ කෝෂ මගින් නිපදවන අතර සාමාන්‍ය තත්ත්ව යටතේ සුලු ප්‍රමාණයකින් නිපදවන  Androgen හෝමෝනය අධිකව ස්‍රාවය වීම නිසා ඩිම්බ පරිණත වීමට බාධා පැමිණීම PCOS තත්ත්වයේදී සිදුවේ. නිරෝගී කාන්තාවකගේ ඩිම්බ කෝෂයකින් මසකට පිටවන නිරෝගී, පරිණත ඩිම්බයක් නිරෝගී ශුක්‍රාණුවක් සමඟ සංසේචනයෙන් නිරෝගී කළලයක් හටගනී. නිරෝගී පරිණත ඩිම්බයක් ලැබීමටත්, එය නිවැරැදි කාලයේදී මෝචනය වීමටත් හෝමෝනමය සමතුලිතතාවය අතිශය වැදගත් වේ. ඩිම්බ නිපදවීම හා ඒවායේ පරිණත භාවය සඳහා  FSH හෝමෝනය හා ඩිම්බ මෝචනය සඳහා  LH හෝමෝනය යන හෝමෝන වල නිවැරැදි ක්‍රියාකාරීත්වය මෙහිදී වැදගත් සාධකයක් වන අතර PCOS තත්ත්වයේදී  FSH හා LH හෝමෝනයන්ගේ අසමතුලිතතාවයන් ද දක්නට ලැබේ. එමනිසා ඩිම්බ පරිණත වීම නිසියාකාරව සිදුනොවේ.

එමෙන්ම, අග්න්‍යාශයික ක්‍රියාකාරීත්වයේ විෂමතා හේතුවෙන්  ඉන්සියුලින් හෝමෝනයේ බලපෑමෙන් ඩිම්බ කෝෂ වලින් වැඩි වශයෙන් පිරිමි හෝමෝන ස්‍රාවය උත්තේජනය වීම සිදු වේ. එහි බලපෑමෙන්, ඩිම්බ නිසිලෙස පරිණත නොවීම, ඩිම්බ මුදාහැරීම නිවැරැදිව සිදු නොවීම හේතුවෙන් දරුවෙකු පිළිසිඳ ගැනීමට බාධා ඇතිවේ. 

PCOS රෝග ලක්ෂණ –

• අක්‍රමවත් ඔසප් චක්‍රයක් පැවතීම (ඔසප් චක්‍රය සිදු නොවීම, ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම)

• මුහුණේ අසාමාන්‍ය ලෙස කුරුලෑ හට ගැනීම

• මුහුණේ සහ ශරීරයේ ඇතැම් ස්ථාන වල (උඩුතොල, නිකට, පපුව, තට්ටම් ආදී ) අනවශ්‍ය ලෙස රෝම හට ගැනීම

• ගෙල, ඉකිලි හා කිහිලි ආශ්‍රිත සම කලු, වියළි, ගොරෝසු වීම

• අධික තරබාරු බව

• අධිකව හිසකෙස් ගැලවී යාම හා හිසකෙස් මෘදු වීම

PCOS තත්ත්වය නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ –

• මදසරු භාවය 

• ගබ්සා වීම් (Abortion)

• ගර්භාෂ හා ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා තත්ත්ව

• දියවැඩියාව 

• අධි රුධිර පීඩනය 

• කොලෙස්ටරෝල් 

• විශාදය ඇතුළු මානසික සංකුලතා 

රුධිරගත FSH, LH හෝමෝන සාන්ද්‍රණය ( Hormone profile) පරීක්ෂා කිරිම මගින් මෙන්ම රුධිරගත තයිරොක්සින් හෝමෝන මට්ටම (Thyroid profile) මගින් මෙම රෝගී තත්ත්වය පහසුවෙන් නිශ්චය කරගත හැක. 

ආයුර්වේද ප්‍රතිකාර –

සුවිශේෂී ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් තුළින් PCOS තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවකර ගත හැක. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් “ආර්ථව ව්‍යාපත්” සඳහා වන චිකිත්සා පද්ධතිය ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දේ. 

බාහිර ප්‍රතිකාර ලෙස නස්‍ය ප්‍රතිකාර (අසමතුලිත වූ හෝමෝන සමතුලිත කිරීම සඳහා), ශිරෝධාරා (මර්ම උත්තේජනය හා ත්‍රිදෝෂ ශමනය කිරීම සඳහා), උද්වර්තනය (ඖෂධීය චූර්ණ අභ්‍යංගය), තෛල අභ්‍යංගය හා ස්වේදනය (ස්‍රෝතස් ශෝධනය හා මේද දහනය සඳහා),ඖෂධීය කෂාය මගින් ශේක, පිචු, අවගාහ, වස්ති කර්ම ඇතුළු පංචකර්ම ප්‍රතිකාර හැඳින්විය හැක.

අභ්‍යන්තර ඖෂධ යෙදීමෙන් රෝගියාගේ ශරීරය ශෝධනය නොහොත් විෂ ඉවත් කොට පිරිසිදු කිරීම, රෝගියාගේ ශරීර අග්නිය නිසි ලෙස සැකසීම, දෝෂ ශමනය මගින් අසමතුලිත දෝෂ සමතුලිත කිරීම සිදුකරනු ලැබේ. එමෙන්ම රෝගියාගේ මානසික සෞඛ්‍ය සුරැකීම කෙරෙහි ද ප්‍රතිකාරයේදී විශේෂයෙන් අවධානය යොමුකල යුතු වේ. 

PCOS රෝගී තත්ත්වය ඇතිවීම වලක්වා ගැනීම සඳහා,

• අධික සීනි/තෙල්/පිටි සහිත ආහාර ගැනීමෙන් වැළකීම

• උෂ්ණාධික මාංශ වර්ග (ගව මස්, ඌරු මස්) හා උෂ්ණාධික මාළු (බලමාළු, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්) ගැනීමෙන් වැළකීම

• ක්ෂණික ආහාර, කෘතිම රසකාරක/වර්ණකාරක යෙදූ ආහාර, ගැඹුරු තෙලේ බදින ලද ආහාර ගැනීමෙන් වැළකීම 

සිදු කල යුතුය.

• රතු කැකුළු හෝ දේශීය සහල්, ධාන්‍ය වර්ග, තන්තු අධික එළවළු, පලතුරු, පලා, කුඩා මසුන් (හාල්මැස්සන් වැනි) වැඩි වශයෙන් ආහාරයට ගැනීම.

• වැඩිපුර ජලය පානය කිරීම

• ඖෂධීය කොළ කැඳ (කරපිංචා, යකි නාරං, හීන් බෝවිටියා) හා ඔසුපැන් (කොත්තමල්ලි, ඉරමුසු, පොල්පලා) පානය කිරීම

• ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම හා දවල් කාලයේදී නිදා නොගැනීම

• ව්‍යායාම කිරීම 

• භාවනා කිරීම හා යෝග අභ්‍යාස වල නිරත වීම යෝග්‍ය වේ.

නිරෝගී දරු පිළිසිඳ ගැනීමක් සඳහා පරිණත ඩිම්බයක් නිසි කල නිසි අයුරින් ඩිම්බ කෝෂයෙන් මුදාහැරීම කාන්තාවකට අතිශය වැදගත් වේ.එබැවින් ඉහත සඳහන් රෝග ලක්ෂණ සහිත කාන්තාවක් වේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වී නිසි ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමෙන් PCOS රෝගී තත්ත්වය හේතුවෙන් ඇතිවන මදසරු භාවය ඇතුළු අනෙකුත් අතුරු ආබාධ තුරන් කොට ඉක්මන් සුවය ලඟාකර ගත හැක.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

බිලේශා විජේරත්න

කලා ලෝකයට පායා දීර්ඝ කාලයක් වුනත් නිර්මාණ තුලින් නිතර ඇයව අපට දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඉතා සීමිත ජනප්‍රසාදයට පත් විශේෂ නිර්මාණ කිපයකින් ප්‍රේක්ෂක හිතේ සදා රැදි ඉන්නට ඇය සමත් වුනා. කූඹියෝහි සුදු නංගි, යං ටෙලිනාට්‍යයෙහි නන්දනි, ශ්‍රී සිද්දාර්ථ ගෞතම ටෙලිනාට්‍යයෙහි බද්‍රා කුමරිය සහ මෑතකදි විකාශනය වු වීදුරු මල්හි බිනුරි වැනි ලාංකික ටෙලි නාට්‍යය අඹරේ ඉතා ප්‍රසිද්ධියට පත් නිර්මාණයන් තුලින් ඇය පෙන්නුම් කල රංගන හැකියාවන් අප කෙසේ අමතක කරන්නද?

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි නාට්‍යය හා රංග කලාව විශේෂවේදී උපාධියකට හිමිකම් කියන ඇය එහිදි උගත් දැනුම, වෘත්තීමය වශයෙන් සේවය කරමින් ලාංකික දරු දැරියන් හට බෙදා දිමේ වගකිම ඉතා මැනවින් ඉටු කරනවා.

රංගන විෂයෙහි උගත්කම සහ ගායන, නර්තන දක්ෂතාවයන් මෙන්ම ඇය තුලින් දකිනා විශේෂ ලක්ෂණක් වන්නේ කරුණාවන්තකමයි. දරු දැරියන් වෙනුවෙන් සේවය කරන ගමන් සතුන් වෙනුවෙන්ද තමන්ගේ වටිනා කාලය වෙන් කරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වි වැඩ කිරිම ඇයගේ අප දකිනා තවත් විශේෂත්වයක් වෙනවා.

මෙවර අපි Magazine හරහා විස්තර ගෙන එන්නට අප සම්බන්ධ කර ගන්නේ කලා ලෝකයෙහි රංගන ශිල්පිනියන් අතර ඉතා වෙනස් ලස්සන ඇස් දෙකක් හිමි අහිංසකාවිය බිලේශා විජේරත්නයි.

🔸බිලේශා මේ දවස්වල මොනවාද කරන්නේ? ප්‍රේක්ෂක අපට ඔබව වැඩිය දකින්න නැත්තේ ඇයි?

මම රංගන ක්ශේත්‍රයට සම්බන්ධ වෙලා දැනට අවුරුදු නමයක් විතර වෙනවා නමුත් මම ඉතාම සිමිත නිර්මාණ ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙන්නේ.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍යය හා රංග කලාව විශේෂවේදී උපාධිය හදාරලා අවසන් කලාට පස්සේ මට පුලුවන් වුනා වැඩිපුර කාලයක් රංගන කටයුතු සදහා වෙන් කර ගන්න. වෘත්තීය රංගන ශිල්පිනියක් වශයෙන් අවුරුදු කිපයක්ම මම වැඩ කලා නමුත් පසුව මම තීරණය කලා ස්ථිර රැකියාවක් කරන්න. මම දැනට සපුගස්කන්ද මහා විද්‍යාලයේ සේවය කරනවා. මට නිවාඩු ලැබෙන ආකාරයට තෝරා ගත් ඉතාම සීමිත නිර්මාණ කිපයකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා.

🔸පහුගිය වකවානුවේදි ඉතා සාර්ථකව නිමාවු වීදුරු මල් සමග ගෙවුන කාලය කොහොමද?

චාමර ජනරාජ් පීරිස් මහතාට මාව හදුන්වා දුන්නේ වීදුරු මල් ටෙලිනාට්‍යයෙහි කලා අධක්ෂණය කල මලිත් පීරිස් අයියා. චාමර අයියා බිනුරි කියන චරිතයට මාව තෝර ගත්තා. ඔහු ඉතාමත් සුහදශිලි කෙනෙක්. ඔහු සමග වැඩ කටයුතු කරන්න හරිම පහසුයි. ඒවගේම ධනංජය අයියා ඇතුලු වීදුරුමල් ටෙලිනාට්‍යයෙහි මා සමග වැඩ කරපු සියලුම රංගන ශිල්ප, ශිල්පිනියන්ගෙන් සහ ටෙලිනාට්‍යය කණ්ඩායමෙන් මට විශාල සහයෝගයක් ලැබුනා.

වීදුරු මල්හි බිනුරිගේ චරිතයට මට ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කරනකොට රූපවාහිනියක් බලලා කෙනෙකුව මතක තියා ගන්න පුලුවන් වෙයි කියලා හිතන් නැති තරම් ඉතාම කුඩා වයසක දරුවෙක් මාව දැකලා අදුන ගෙන මට කතා කලා. එය මට මෑත කාලයේදි වුන අමතක නොවන සිදුවිමක් වෙනවා. ඉතින් මම හිතනවා බිනුරිගේ චරිතයට මම සාධාරණයක් කලා කියලා.

🔸ඉදිරියේදි රංගනයෙන් දායකවන්නට කැමති, හමු වෙනකම් බලාගෙන ඉන්න චරිතයක් තියනවාද? ඒවගේම ඔබ සම්බන්ධ වි වැඩ කරන්න කැමති අධක්ෂණකවරයෙකු ඉන්නවාද?

මම හරිම කැමති විවිධ ශෛලියේ චරිතයන් සදහා දායක වෙන්න. දැනට මම සම්බන්ධ වෙලා වැඩ කරපු සහ වෙනත් දක්ෂ අධක්ෂකවරුන්ගේ නිර්මාණ සදහා අවස්ථාව ලැබුනොත් තෝරාගෙන භාර ගන්නවා.

🔸ඔබ ආදරවන්තියක් ද? නැතිනම් ඔබ හොයන ආදරවන්තයාව කොහොම කෙනෙක්ද?

මම ආදරවන්තියක් වෙලා ඉදලා තියෙනවා නමුත් මම දැන්නම් ආදරවන්තියක් නෙවෙයි. මම විශේෂ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ ආදරය තේරුම් ගන්න පුලුවන්, මට ආදරය කරන කෙනෙක්ට මම ආදරය කරනවා.

🔸බිලේශා ගැන ප්‍රේක්ෂක අප නොදන්නා දෙයක් කියන්න කිවුවොත්…

මම සතුන්ට හරිම කැමතියි. පාරවල්වල ඉන්න අසනිප සත්තු ගෙදර ගෙනල්ලා මම බෙහෙත් කරනවා. දැනට මගේ ගාව පාරේ ඉදපු, ගෙවල් වලින් එපා කියලා අයින් කරන්න හදපු සාමාන්‍ය අහිංසක පුස් පැටව් කිපදෙනෙක් ඉන්නවා. මම දැනට කුලි නිවසක ජිවත් වන නිසා බලු පැටව්ව ගෙදර හදන්න අපහසුයි. ඉතින් පාරේ ඉන්න බලු යාළුවන්ට කෑම දීලා එයාලා ගැන බලනවා.

මම සතුන්ට ආදරෙයි, එයාල එක්ක කාලය ගත කරන්න කැමති ඒ නිසාම පහුගිය කාලයේ කඩවත Dr Pet සත්ව රෝහලෙහි සේවය කලා. එහිදි එයාලව හසුරුවා ගන්න, බෙහෙත් කරන්න වගේ දේවල් ඉගෙන ගත්තා. ඒවගේම විශාල අත්දැකීමක් ලබා ගත්තා. ඇත්තටම සතුන් බලා ගන්න එක මම හිතුවට වඩා සෑහෙන්න වගකීමකින් කරන්න ඕනේ කාර්ය්‍යක් වෙනවා. විශේෂයෙන් ලෙඩ උන සතුන් බලාගන්න එක අවධානයෙන් කරන්න ඕනේ. ඉතින් Dr pet හි වෛද්‍යවරු සහ කාර්‍යමණ්ඩලය විශාල කැපකිරිමක් ඒ වෙනුවෙන් කරනවා. තවත් රැකියාවක් කරන ගමන් මට එච්චර කැපකිරීමක් කරන්න අසීරු නිසා මම එතනින් අයින් උනා.

🔸ඔබගේ ගීත ගායන සහ නර්තන හැකියාව පිළිබදව මතක් කරමුද?

මම සුමන බාලිකාවෙහි අධ්‍යාපනය ලබන කාලයේදි නාට්‍යය, සංගීතය සහ නර්තනය තරගවලට සහභාගි වුනා. මම කථක් නර්තනය පිලිබඳ සාදර සුපැතුම් පීරිස් අයියා යටතේ ඉගෙන ගත්තා. සංගීත තරගවලින් මුළු දිවයිනෙන්ම පළවෙනි ස්ථානය ලබා ගත්ත අවස්ථාවන් තියනවා. දැනට අවුරුදු කිපයකට කලින් ජිනිදු ප්‍රවින් අයියා සමග දියමල නමින් ගීතයක් ගායනා කලා. ඒවාගේම තව ගීත නිර්මාණයක් සදහා මෙම දිනවල සුදානම් වෙමින් ඉන්නවා.

🔸ඔබේ තනි නොතනියට ඔබේ ලගින් හැමදාම ඉන්න පවුලේ අය ගැන මතක් කරමුද?

මගේ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මයි, අයියයි, අක්කයි, මමයි. ඒවගේම මම ආදරයෙන් බලා ගන්න මගේ පූස් යාළුවෝ ටිකකුත් අපේ ගෙදර ඉන්නවා.

කලා වැඩ කටයුතු හැමදේකටම විශේෂයෙන්ම අම්මා මට උදව් කරනවා. අම්මාට කොච්චර ‍වැඩ තිබුනත් හැමදාම වගේ මගේ වැඩ කටයුතුවලට මූලිකත්වය දෙනවා. මගේ පවුලේ හැමෝම මම ආදරයෙන් මතක් කරනවා.

🔸බිලේශාව අපට ඉදිරියේදී දකින්නට ලැබෙන නිර්මාණය මොනවාද?

මම රංගනයෙන් දායක වුන ලෝචන සෙනෙවිරත්න මල්ලි අධක්ෂණය කරපු Second shy web series එක මෙම දිනවල විකාශනය වෙනවා. අනුෂ්ක ඉදුනිල් මෙම web series එකෙහි නිශ්පාදකතුමාගේ Youtube channel එක හරහා ඔබට එය නරඹන්න පුලුවන්.

අනුජ ප්‍රියභානු මහතාගේ ටැක්සිකාරයා ටෙලිනාට්‍යය ඉදිරියේදි විකාශනයවිමට නියමිතව තියනවා. තවත් කෙටි චිත්‍රපට සහ නිර්මාණය කිපයක් විකාශනයවිමට නියමිතයි නමුත් මම කලින් කියපු විදියට මගේ රැකියාවේ කාර්යබහුලත්වය නිසා නිර්මාණ බොහෝමයකින් නම් මාව ඉදිරියේදි දකින්නට නොලැබේවි.

අමා නාකන්දලගේ