
කාලෙකට කලින් චාල්ස් කුමාරයා ලීක් කරගත්ත කෝල් එකක් ගැන මේ දවස් වල එංගලන්තයේ මිනිස්සු ආයෙත් කතා වෙන්න පටන් අරගෙන. කෝල් රෙකෝඩින් තියා මං හිතන්නේ මොබයිල් ෆෝන්වත් හරියට නැති කාලෙක චාල්ස් කුමාරයා ලීක් කරගත්ත කෝල් එක ගැන ආයෙත් මිනිස්සු උනන්දු වෙන්න පටන් ගන්නේ Netflix හී විකාශනය වන ‘The Crown’ season five එකේ ඒ කෝල් රෙකෝඩිං එක ගැන කතාංගයක් නැවතත් ප්‍රචාරය වීමත් එක්ක.
Camillagate නමින් ප්‍රචලිත මේ සිදුවීම සිද්ද වෙන්නේ 1989 දි. නත්තල් ආසන්න දිනක දෙසැම්බර් මාසයේදී. ඒ වෙනකොට චාල්ස් කුමාරයා විවාහකයි. ඒ ඩයනා කුමරිය සමඟ. කැමිලා පාකර් කියන්නත් එවකට විවාහක කාන්තාවක්. ඒ බ්‍රිගේඩියර් ඇන්ඩෲ පාකර් සමඟ. දෙදෙනා අතර දුරකථන සංවාදය පටන් ගන්නේ චාල්ස් කුමාරයා ඉදිරි දිනකදී ඔක්ස්ෆර්ඩ් හීදී පැවැත්වීමට නියමිත කතාවක් ගැන. ඒ ගැන ඔහු ටිකක් චකිතයකින් පසුවන බව ඔහු කැමිලට කියනවා. කැමිලා ඔහුට ඒක කරන්න පුළුවන් කියලා ඔහුව දිරිගන්වනවා.
ඒත් ටික වේලාවකින්ම දෙදෙනා අතර දුරකතන ඇමතුම බොහොම සරාගික තැනකට යනවා. චාල්ස් සහ කැමිලා නව යොවුන් පෙම්වතුන් දෙදෙනෙකු මෙන් කතා කරන්න පටන් ගන්නවා. ඇතනදි ඔහු ඇයට කියනවා මට ඔබගේ කලිසම ඇතුලේ ජීවත් වෙන්න හිතෙනවා කියලා. ඇය එතකොට ඔහුගෙන් අහන්නේ ඔයාට පෑන්ටියක් එහෙම නැත්තම් මගේ යට ඇඳුමක් වෙන්න ඕනිද කියලා . චාල්ස් ඒකට පිළිතුරු දෙන්නේ නෑ මට නිතර උඩ පහළ යන්න පුළුවන් වෙන ඔයා පාවිච්චි කරන ටැම්පොන් එකක් වෙන්න ඕනි කියලා.
දෙදෙනා අතර ඒ තරම් සරාගිකව සිදුවූ අතිශය පෞද්ගලික දුරකථන ඇමතුම එලියට ආවේ කොහොමද? නැත්නම් රෙකොඩ් කලේ කවුද. ඇත්තටම එම දුරකථන ඇමතුම රෙකොඩ් කරලා තිබුනේ ලන්ඩන් නුවරින් ඉතා ඈත ගම්බදව ජීවත් වූ පුද්ගලයෙක්. ඔහු රේඩියෝ සහ පටිගතකිරීමේ උපකරණ සහිතව රේඩියෝ සංඛාත අතර ටොංගල් කරමින් ඉන්න අතරේ හදිසියේම චාල්ස් කුමරුගේ කටහඬ අඳුනාගෙන ඉතා ඉක්මනින්ම ඒ ඇමතුම පටිගත කරන්න පටන් ගන්නවා.
ඒක ඉතා අහඹු සිදුවීමක් උනත් රාජකීය පවුලේ ඉතිහාසයේ ඉතා තදින් සනිටුහන් වෙච්ච කලු පැල්ලමක් බවට එම දුරකථන ඇමතුම පත්වෙනවා. ඒ ඇමතුම පටිගත කරපු පුද්ගලයා ඊට පහුවෙනිදාම එම කැසට් එකත් අරගෙන ලන්ඩන් නුවරට එනවා. ඇවිත් එවකට බ්‍රිතාන්‍යයේ දැවැන්තම පුවත්පත වෙච්ච ඩේලි මිර පුවත්පතට ඒ කැසට් එක විකුණනවා.
පුවත්පත එම චාල්ස් කුමරුගේ හඬ සහිත කැසට්පටය මිලදීගත්තත් එහි කතෘවරයා ඒ වෙලාවේ ඒ හඬපටය ගැන පුවතක් පලනොකිරීමට හෝ එය ප්‍රසිද්ධියට පත් නොකිරීමට තීරණය කරනවා. ඒ එම පුවත මාධ්‍යයේ පළ කිරීමත් සමඟ ඒ මත චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය අතර විවාහය දෙදරා ගියහොත් රාජකීය විවාහයක් කඩා ඉහිරවීමේ වගකීම පුවත්පත මතට පැටවෙන නිසා.
කෙසේ නමුත් චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය සිය වසර 11 ක අසාර්ථක විවාහ දිවිය අවසාන කරමින් 1992 වසරේදී වෙන්වෙන්න තීරණය කරනවා. මේ පිලිබඳව රටට කියන්න එවකට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ජෝන් මේජර් ඒ එම වසරේ දෙසැම්බර් 9 වනදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා විසින් අනාගත රජුගේ විවාහයේ අවසානය ප්‍රකාශ කරනවා.
ඒ එක්කම වගේ එතෙක් කලක් රහසක්ව පැවති චාල්ස්- කැමිලා දුරකථන ඇමතුම ගැන බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වල පලවෙනවා. එහෙම සිදුවීමක් සිදුවූ බවත් ඒ ඇමතුම පටිගත වී ඇති බවත් සාරාංශගතව මාධ්‍ය වල පලවීමත් එක්ක රටේම මිනිස්සුන්ගේ මෙන්ම රාජකීය පවුලේ අවධානයත් මේ ඇමතුම වෙත යොමු වෙනවා.
පසුව 1993 වසරේ සම්පූර්ණ දුරකථන ඇමතුම ඕස්ට්‍රේලියාවේ පලවන සඟරාවක් සම්පූර්ණ දුරකථන ඇමතුමේ විස්තරයක් මාධ්‍ය වල පලකිරීමත් එක්ක ලොව පුරා රටවල් කිහිපයකම පුවත් පත් චාල්ස් කැමිලා සරාගික දුරකතන ඇමතුම ඒ වචන වලින්ම සිය පුවත්පත් වල පල කරනවා.
අවසානයේදී ඒ හඳපටය මිලදීගත් මිර්ර පුවත්පත සමන්ගේ සති අන්ත Sunday Mirror පුවත්පතේ දෙදෙනා අතර සිදුවූ දෙබස ‘Camillagate’ නමින් ඒ විදියටම පළ කරන අතරම තමන් සතුව තිබූ හඬපටය ප්‍රසිද්ධ කරන්නත් තීරණය කරනවා. තමන්ගේ ඒ තීරණය සාදාරණිකරනය කරන පුවත්පතේ කතෘවරයා කියන්නේ තමන්ව කියවන මිලියන 9කට අධික පාඨකයන්ට රටේ අනාගත රජුගේ ක්‍රියාකලාපය ගැන දැනගැනීමට තියෙන අයිතිය තහවුරු කිරීම පුවත් පතේ අයිතියක් කියක එක.
ඔන්න ඔහොමයි කාලෙකට කලින් චාල්ස් රජතුමත් ලීක් කරගත්තේ.
Thilan Jayasekara
මාතරං පත්තිනිං වන්දේ
සර්ව සත්ව ශිවංකරං
දදතාං සතතං මය්‍යහං
ආරෝග්‍යං රක්ෂණං බලම්
පෙබරවාරි මාසේ කියන්නේ මාතලේට නමි එක්තරා සුවිශේෂී මාසයක්.. එ මාතලේ නඟරය පුරාම අමුතුම අලංකාරයක් ගන්නා උත්සවයක් නිසා…. එ තමයි ශ්‍රී මුත්තුමාරි අමිමාන් කොවිලේ වාර්ෂික තේරු උත්සවය.. නම එහෙම උනාට මාතලේ අපි නමි කියන්නේ පත්තිනි දේවාලේ කියලා…. මාතලේ පුරවරයට විශේෂ මාසයක් නිසාම මම හිතුවා මෙි මුත්තුමාරි අමිමාන් කොවිල ගැනත් සත්පත්තිනි මැණියන් ගැනත් විස්තර ටිකක් අපි මැගසින් එක ඔස්සේ මෙවර ඔයාලට අරන් එන්න…
මම බෞද්ධයෙක් උනත් මෙි තේරු උත්සවයට හරිම ආසයි… මම පුංචි කාලේ ඉදන්ම දකින අලංකාර උත්සවයක් තමයි මෙි උත්සවය.. ඇත්තටම එකත් එක්තරා වාසනාවක් , පත්තිනි දේව ප්‍රතිමාව පමණක් නොවෙයි තවත් දේව ප්‍රතිමා මෙි තේරු උත්සවයෙන් නඟරයේ විදි පුරා සංචාරය කරන තේරු කරත්ත වල තැන්පත් කරලා තියනවා.. එ හැම තේරු කරත්තයක්ම බෞද්ධයෙක් උන මමත් භක්තියෙන් “හරෝ හරා” ඇදලා තියන බව කියන්නේ ආඩමිබරයෙන්.. එ මොහොතේ හිතට දැනෙන සිතුවිලි නමි පුදුමාකාරයි… ඉතිං මෙවරත් මං එ සදහා සහාබාගි වෙනවා…
හින්දු දහමේදී දෙවඟනන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්. ලක්ෂ්මි, සරස්වතී, දුර්ගා දේවීයන් පිළිවෙළින් ධනය, අධ්‍යාපනය, ශක්තිය ගෙන දෙන බවට විශ්වාස කරනවා වගේම කරුණාව දයාව ඉස්මතු කරන පත්තිනි මෑණියන් මඟින් මාතෘත්වය පිළිබිඹු කරන අන්දම හදුනාගන්න පුළුවන්….
ඉන්දියාවේ වැසියෝ පත්තිනි මෑණියන්ට කමාච්චි, කාන්චි යන නමි වගේම මදුරාසියේදී මීනාච්චි නමින්, කාසි ප්‍රදේශයේදී විශාලච්චි නමින් හඳුන්වනවා……. මෙහිදී පත්තිනි මෑණියන් විශේෂයෙන් පතිවෘත්තා මෑණියන් ලෙස හඳුන්වනු ලබන අතර, ස්වාමි භක්තියෙන් වැඩුණු පවිත්‍රතත්වය උතුම් ලෙස ආරක්ෂා කළ දෙවඟනක වන ඇය නමස්කාර කිරීමෙන් කාන්තාවෝ යහපතත් ශාන්තියත් බලාපොරොත්තු වෙනවා…..
ඉතිං පත්තිනි මැණියන් ගැන කතා වස්තුව ඔයාලා දැනටමත් අහලා ඇතිනේ……. පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කථාව පිලිබද මත කීපයක් සමාජයේ පවතිනවා…. තමාගේ බල සම්පන්න කම ගැන උදම්වූ පඬි රජුගේ විනාෂකාරි ක්‍රියා නැවත්වීම සඳහා ශක්‍රයාගේ ආරාධනයෙන් මනු ලොව උප්පත්තියක් ලැබූ බලවත් යෝගි වරියක් ලෙසද, ඇය අඹයක් තුලින් බිහිවූ බවද පොත පතේ සඳහන් වෙනවා… දැඩි පතිවතක් රැක්කවූ ඇය කන්නගී නමින් සමහර පොත පතේ සඳහන් වන අතර එතුමියගේ සැමියා සමහර පොත් වල කෝවලන් ලෙසත් සමහර පොත් වල පලඟ ලෙසත් සඳහන් වෙනවා.
ඇය දැඩි පතිවෘත තාවක් රැක්කද ඇගේ සැමියාගේ නොමනා ක්‍රියා (කාමය වරදවා හැසිරීම ,සූදුව) නිසා ඔවුන් ඉතා දුප්පත් වන අතර ඇය සතු වූ රන් සලඹවත් විකුනා යම් මුදලක් සොයා එන ලෙස සැමියාව පිටත් කල අවස්ථාවේ පඬි රජුගේ බිසවගේ නැතිවූ පාසලඹ යැයි බොරු සැකයක් මත කෝවලන්ව මරා දමනවා, සැමියාගේ ප්‍රමාදය නිසා සැමියා සොයා එන විට ඔහු මරා දැමු පුවත සැලවී දැඩි ශෝකයට පත්වන ඇය සිය වම් පියයුර කඩා පොළොවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනි ගනීවා කියමින් ශාප කර තිබෙනවා…. පෙර ආත්මයේ ධ්‍යාන ලත් යෝගි වරියක වු ඇයගේ මේ සාපය නිසා පඬි නුවර ගිනිබත් වෙලා පඬි රජු මිය යනවා..
එම ශාප කිරිමේ දී දරුවන්, ගැබිනියන්, සතුන් බේරාදෙන ලෙස ප්‍රාර්ථනාවක් ද කල බවත් සදහන්…. ඒ අනුව මධුරාපුරයම ගිනි ගන්නා විට දී රජු විසින් කන්නගිගෙන් මෙම ගින්න නිවා දමන ලෙස ඉල්ලීමක් කළ බව සඳහන් වෙනවා… නැවුම් එළදෙනකුගේ නැවුම් කිරි ගෙන කිරි උතුරවා මුළු මධුරාපුරයේ ම ඉසීම හේතුවෙන් ගින්න මැඩ පැවැත් වූ බවත් මෙි කතාවල සදහන්…. නව නිවසකට යෑමේ දී කිරි ඉතිරවීම, නිවසකට මුල් ගලක් තබන විට දී කිරි ඉතිරවීම, නව අවුරුදු උදාව ලබන විටදි කිරි ඉතිරවීම අදටත් අපේ රටෙි පැවැත්වෙන්නේත් එ නිසාම විය හැකියි….
ඉතිං පත්තිනි මෑණියන්ගේ උපත මෙහෙම සිදුවු අතර පසුව තිසරන සරණ ගොස් ඇති බවත් බුද්ධත්වය සඳහා පිරිමි ආතමයක් ප්‍රාර්ථනා කරමින් තමා වෙතට එන අයට සෙත සලසන බවත් සඳහන් වෙනවා….. බොහො අය පත්තිනි මැණියන්ගෙ මෙි කතාව අසා ඇතුවාට සැක නැ… එ නිසයි කතාව මම මෙහි කෙටියෙන් සදහන් කලේ….
මෙම දේවිය සත්වාරයක් උපන් නිසා සත් පත්තිනි ලෙසත්, දොළොස් වාරයක් උපන් හෙයින් දොළොස් පත්තිනි ලෙසටත් හැදින්වෙනවා….. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි යනුවෙන් නම් හතක් තිබෙන්නේ එ නිසයි…. දෙමටමලෙන්, ගින්නෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, දළයෙන්, උපන් බව ද පැරණි ජන කතාවලින් කියැවෙනවා…
දමිළ ජනයාත් සිංහල ජනයාත් පත්තිනි මැණියන්ට පුද පුජා පවත්වන විදි වෙනස්.. දියණියක් මල්වරවු විට බෞද්ධ අය නමි මුල්න්ම කරන්නේ පත්තිනි මැණියන්ට බාර වෙලා පඩුරක් අයින් කරන එක… වැඩිවියට පත්වු දියණියව තුන් මසකින් පළතුරු වටිටියක් හො වෙනත් දෙයක් රැගෙන පත්තිනි දේවාලයට පැමිණෙන බවට බාර වෙන්නේ මල්වර නැකතේ දොස් පත්තිනි දේව ආරක්ෂාවෙන් දුරු වන බවට ඇති විස්වාසයක් නිසා… එ වගේම තමයි දියණියක් මල්වරවු විට ඇය මාතෘත්වයට සුදුසු නිසාම ඇයට ඇතිවන අපල උපද්‍රවයන් පමණක් නෙවෙයි අමනුෂ්‍ය බලපෑමි පවා පත්තිනි මැණියන්ගෙ ආරක්ෂාවෙන් දුරුවී ඇය මවක් වන තෙක්ම පත්තිනි මැණියන්ගෙ ආරක්ෂාව දෙමව්පියන් අපේක්ෂා කරනවා… එ නිසාමයි දරුවෙකු පිලිසිදගත් මොහොතේ පටන් දරුවා බිහිවන තුරුත් පත්තිනි මැණියන්ට පඩුරක් වෙන් කර බාරහාර වෙන්නේ…
පත්තනි මෑණියන් වෙනුවෙන් අපේ රටෙි ප්‍රධාන දේවාලය වන්නේ නවගමුව පත්තිනි දේවාලය……. මෙි දේවාලයට අමතරව ලංකාවේ විවිධ වු ස්ථානවල පත්තිනි දේවාල දැකිය හැකියි…… පත්තිනි මෑණියන් ගැන සඳහන් කරන විට දී ක්‍රි.ව 02 වැනි සියවසේ මෙරට රජ කළ ගජබා රජතුමා දකුණු ඉන්දියාවට ගොස් තම පියා වු වංකනාශීක තිස්ස රජුගේ කාලයේ දී දකුණු ඉන්දියාවේ රජකළ කරිකාලන් නමැති නපුරු රජෙක් මෙරටට පැමිණ මෙරටින් වහලුන් ලෙස රැගෙන ගිය මිනිසුන් 12000ත් එම පිරිසට හිලව් ලෙස තවත් 12000ක පිරිසකුත් සමඟ මෙරටට එන ගමනේ දී එවකට එරට රජකළ සෙන්ගුත්තවාන් රජ පිරිනැමූ පත්තිනි දෙවියන්ගේ පා සළඹ ද වෙනත් දෙවිවරුන්ගේ රන් ආභරණ ද රැගෙන පැමිණිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා….
මෙම පුවත පූජාවලිය, පැරකුම්බා සිරිත, වැනි මෙරට ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රයන් හි සඳහන් වෙනවා….
ලංකාවෙි පත්තිනි දේවාල තවත් බොහොමයක් තිබෙනවා…. එත් ඓතිහාසික මාතලේ පුරවරයේ සුන්දර කඳුවළල්කට මැදිව ඉදි කර ඇති ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයටත් හිමි වන්නේ නමි සුවිශේෂ ස්ථානයක්….. අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක්…. පත්තිනි මැණියන් වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා……
මේ කෝවිල පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්න හේතුවුණු යම් නිමිත්තක් තියෙනවා…… එ කියන්නේ මෙි කොවිල මාතලේ පුරවරයෙ ඉදිකරන්නත් අතීත කතාවක් තියනවා…. දැනට වසර 200කට වගේ කලින්, ඒ කියන්නේ කෝවිල නිර්මාණය කරන්න කලින් මේ කෝවිල තියෙන භූමියේ කොහොඹ ගහක් ලග දවසක් ඉතාම ලස්සන ඇඳුමෙන් සැරසුණු පුංචි ගැහැණු ළමයෙක් ඉඳලා තියෙනවා…. පහුවෙනිදා උදේ බලනකොට මේ ළමයාගේ ඇඳුන් එහෙමත් හොඳටම පරණ වෙලා නිකං හිඟන ගැහැණු දරුවෙක් වගේ පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ…..
මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා නල්ලමුත්තු කියලා ඉතාමත් භක්තිවන්ත දෙමළ කෙනෙක්….. මේ කෙනා මේ ගැහැණු දරුවාව ඔය කියන ලස්සනට සහ වැරහැලි ඇඳගෙන ඉන්න දවස් දෙකේම දැකලා තියෙනවා….. දවසක් නල්ලමුත්තු හීනෙන් පත්තිනි දේවියව දැක ඇති බවත් , පත්තිනි දේවිය නල්ලමුත්තුට එදා ඒ කෝවිල තියෙන භූමියේ කොහොඹ ගහ ලග ඉන්නවා දැක්ක ගැහැණු ළමයා තමන් බවත් පවසා ඇති බවයි කොවිලේ ඉතිහාස කතාවෙි සදහන් වෙන්නේ……. ඒ භූමිය ශුද්ද භූමියක්, ඒ නිසා එතන පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිලක් හදවන්නැයි පවසා ඇති බවත් සදහන්…..
මේ කාලේ වෙනකොට මේ ප්‍රදේශයේ හිටපු දෙමළ ජනතාව සහ වෙළඳම් කරන්න ආව දකුණු ඉන්දීය දෙමළ ජනතාව මේ කෝවිල හදන්න දායක වෙලා තියෙනවා මේ කතාව ප්‍රසිද්ධ වුණාට පස්සේ….. කලින් මේ ස්ථානය වෙල් යායක් විදියට තමයි තිබිලා තියෙන්නේ….. ඒත් ඊට පස්සේ 1852 වසරේ තමයි මේ ඉඩම හිමි අය මේ කෝවිලට මේ ඉඩම පවරලා දීලා තියෙන්නේ…. කෝවිල ඉදිකරලා තියෙන්නේ 1874 වසරේ….. තාමත් අර කියන කොහොඹ ගහේ කඳ කොටස දේවාලය ඇතුලේ තියනවා… ගිය කෙනෙක්ට දකින්න පුළුවන්…..
අද වෙනකොට කෝවිලේ පෙනුම ගැන බලනකොට විශේෂයෙන්ම කැපිලා පෙන්නේ කෝවිලේ තියෙන සුවිශාල ගෝ පුරය….. මේ ගෝපුරය අඩි 108ක් උස වෙනවා…… ඒවගේම තමයි කුඩා කුඩා පිළිම 1008ක් මේ ගෝපුරයේ අන්තර්ගත වෙනවා….. දැනට ලංකාවේ තියෙන උසම ගෝපුර වලින් එකක් කියලා තමයි මේ කෝවිලේ ගෝ පුරය හඳුන්වන්නේ….. මේ ගෝපුරය නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නේ දකුණු ඉන්දීය නිර්මාණ ශිල්පී නාගලිංගම් සහ ඔහුගේ පුත් රාමනාදන් කියන මූර්ති ශිල්පීන් දෙදෙනා . මේ දෙදෙනාට 100ක පමණ පිරිසක් උදවු උපකාර කරලා තියෙන බවයි සදහන් වෙන්නේ මේ කටයුත්ත සම්පූර්ණ කරන්න…..
2007 වසරේ තමයි කෝවිලේ ගෝපුරයේ වැඩ කටයුතු සම්පූර්ණ කරලා අවසන් වෙලා තියෙන්නේ….. ඒ වෙනකොට මේ නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 150ක් පමණ වියදම් වෙලා තියෙනවා….. මේ ගෝපුරය නිර්මාණය කරලා සායම් වලින් පින්තාරු කිරීමට කේරලීය ශිල්පීන් සහ ශ්‍රී ලාංකික ශිල්පීන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙන බවයි සදහන්…
මෙි තමයි මාතලේ ශ්‍රි මුත්තුමාරි අමිමාන් කොවිල ගැන ගැන මට හොයාගන්න පුළුවන් උන දේවල්… කොවිල වගේම වාර්ෂිකව පවත්වන මෙි අලංකාර උත්සවය බලන්න ඔයාලත් එන්න…. තේරු කරත්ත විදි සංචාරය කරන විට ගොඩක් අය භාරහාර වෙනවා.. ආගමි බෙිද පසෙකලා මෙි උත්සවයට හැමොම සහාබාගි වෙන්නේ එ තරමට කොවිල ගැන ඇති විස්වාසය නිසා.. කොටින්ම මාතලේ පුරවරයට කිසිදු කරදරයක් නොවන්නෙත් පත්තිනි දේවාලය නිසා කියලා සියළු ජනයා විස්වාස කරනව….. එ තරමි සත්‍යක් මෙි දේවාලය කෙරෙහි බැදි තිබෙනවා….. එ නිසාමයි වාර්ෂික තේරු මංගල්‍යය දවසට මුළු මාතලේ නඟරයම එකම හිස් ගොඩක් බවට පත් වන්නේ… මංමාවත් පවා අතුරු සිදුරු නැතුව මහා ජනතාවගෙන් පිරි යන්නේ එ අසිරිය නිසාමයි..
එන්න දවසක පෙබරවාරි මාසෙක තේරු දවසට හැබැයි රෑට… එ අලංකාර ලස්සන පෙරහැර දකින්න වගේම තේරු කරත්තයක් ඇදලා දෙවියන්ගෙ ආශිර්වාදය ලබා ගන්න….. ඔබ සැමට සත්පත්තිනි දේවි පිහිටයි
නිසංසලා රණසිංහ
මාව රංගන ක්ෂේත්‍රයට හදුන්වා දිම පිළිබදව සුරාජ් මාපා අයියාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා
මෙම දිනවල ස්වර්ණවාහිණි නාලිකාවෙහි ඉතා සාර්ථක ලෙස විකාශනය වන “නොනිමි” ටෙලිනාට්‍යය තුලින් ටෙලි තරු පිරිවරට අලුත් රුවැත්තියක් හදුන්වා දුන්නා.
නොනිමි ටෙලිනාට්‍යයෙහි ශෙනාලි සමරසිංහගේ චරිතය ඇයගේ කුළුදුල් නිර්මාණය ලෙස ප්‍රේක්ෂක අපට නොදැනෙන්නේ ඇයගේ රංගන කුසලතාවය සහ එම චරිතය සදහා ඇය ලබා දෙන අති සාර්ථක දායකත්වය නිසාවෙන් බව නොරහසකි.
ශෙනාලි සමරසිංහගේ චරිතයෙන් ඇයව දකින ප්‍රේක්ෂක ඔබගේ හිතේ “රංගන දක්ෂතාවයෙන් පරිපුර්ණ වු රුවැති ඇය කවුරුන්ද, ඇය කොහොමද නොනිමි ටෙලිනාට්‍යය කණ්ඩායම සමග සම්බන්ධ වුනේ ” වැනි ප්‍රශ්නාර්ථයන් නැගෙනවා ඇති නේද?
ඇයට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ඇයගේ වතගොත ඔබට දැන ගන්නට අපි මෙවර සම්බන්ධ කර ගන්නේ කන්ද උඩරටින් ටෙලි තරු අඹරට පායා ආ රුවැත්තිය නෙත්මි සංජනාවයි.
▪️ස්වර්ණවාහිනි නාලිකාවෙහි මෙම දිනවල සාර්ථක ලෙස විකාශනය වන නොනිමි ඔබගේ ප්‍රථම ටෙලිනාට්‍යය සමග ඔබ සම්බන්ධ වුනේ කොහොමද?
පොඩිකාලේ ඉදලාම මට ලොකු ආසාවක් තිබුනා කලා ක්ෂේත්‍රය සමග සම්බන්ධ වෙන්න. සුරාජ් අයියා අලුත් ටෙලිනාට්‍යයක් සදහා ගැහැණු ළමයෙක් හොයනවා කියලා මගේ යෙහෙළියෙකු මාර්ගයෙන් මට ආරංචි වෙනවා. මම රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන මුලින්ම මගේ අම්මිගෙයි තාත්තිගෙයි වැඩි කැමත්තක් නොතිබුනත් පසුව එයාලගේ අවසරය ඇතුව මගේ යෙහෙළිය චවිනි මාර්ගයයෙන් සුරාජ් අයියාව හදුනා ගෙන සම්මුඛ පරික්ෂණයකට සහභාගිවිමෙන් පස්සේ නොනිමි ටෙලිනාට්‍යයේ ශෙනාලි සමරසිංහගේ චරිතය නිරූපණය සදහා මට අවස්ථාව ලැබෙනවා. නොනිමි ටෙලිනාට්‍යය සමග සම්බන්ධ කර ගනිමින් මාව රංගන ක්ෂේත්‍රයට හදුන්වා දිම පිළිබදව සුරාජ් මාපා අයියාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
▪️සුරාජ් මාපා, දිල්හානි ඒකනායක වැනි ප්‍රවීන රංගන ශිල්ප ශිල්පිනියන් සමග රංගනයේදි ලැබුනු සහයෝගය සහ අත්දැකිම් මොනවාද?
සුරාජ් අයියා නොනිමි ටෙලිනාට්‍යය අධක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතය වන නිමිනාදගේ චරිතයටද පණ පොවනවා. “ඕවා නංගි කට පාඩම් කරන්න එපා. ඔයා මේ විදියට කරන්න. මෙහෙම කරොත් හොදයි” වැනි උපදෙස් නිරන්තරයෙන්ම ලබා දෙමින් මගේ චරිතය ගොඩ නගා ගන්න ඔහු මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.
ඒවගේම දිල්හානි අශෝකමාලා මහත්මිය හොද ගතිගුණවලින් පරිපුර්ණ වු නිහතමානි රංගන ශිල්පිනියක්. ඇය මට මගේ අම්මා හා සමානයි. ඇයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
එමෙන්ම නොනිමි නාට්‍යයේ සම අධක්ෂකතුමා චන්දන ජයසිංහ මහතා ඇතුලු නොනිමි කණ්ඩායමේ සියලුම දෙනාව මම ආදරයෙන් මතක් කරන්න ඕනේ. මම ක්ෂේත්‍රයට ආදුනික කෙනෙක් වුවත් ඔවුන් සියලු දෙනාම ඉතාමත් සුහදශිලිව මගේ චරිතය ගොඩ නගා ගන්න මට විශාල සහයෝගයක් ලබා දෙනවා.
▪️නෙත්ම් සැබෑ ජිවිතයේත් නොනිමි හි ශෙනාලි වගේ අහිංසක තරුණියක් ද?
මමත් ශෙනාලි වගේම ආදරයට ආදරය කරන සංවේදි කෙනෙක් කියලා කියන්න පුලුවන්. හැබැයි මම ශෙනාලි වගේ මුරංඩු වැඩ එහෙම කරනවා ගොඩක් අඩුයි. මම අම්මියි තාත්තියි කියන දේ අහන එයාලගේ විශ්වාසය බිදෙන දේවල්, එයාලට දුක හිතෙන දේවල් කරන්න අකමැති කෙනෙක්. මම නිදහසේ ඉන්න ගොඩක් කැමතියි ඒවගේම විවේකයක් ලැබුන වෙලාවට ගීත ගායනය, නර්තනය සහ පොත් කියවන්න මම හරිම කැමතියි.
▪️අපි කැමතියි දැන ගන්න ශෙනාලිගේ පවුලේ විස්තර, පාසල් කාලය පිළිබදව සහ උසස් අධ්‍යාපන කාල සමය පිළිබදව තොරතුරු ටිකක්…
මගේ ගම මහනුවර. මගේ පවුලේ ඉන්නේ අම්මියි, තාත්තියි, මල්ලියි, මමයි. මගේ අම්මි ගෘහණියක්, තාත්ති රජයේ රැකියාවක නියැලෙනවා. මගේ මල්ලි මෙම දිනවල සාමාන්‍ය පෙළ විභාගය සදහා සුදානම් වෙනවා.
මම ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගන්නේ Tiny tots පෙර පාසලෙනුයි. ඉන්පසු මහනුවර Hillwood College හි පළමු වසරේ සිට උසස්පෙළ දක්වා ඉගෙනුම ලබනවා. මේ වනවිට මම කැලණිය විශ්වවිද්‍යාලයෙහි Bachelor of arts උපාධිය සදහා අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.
විශේෂයෙන්ම මගේ අම්මියි තාත්තියි ගැන කියන්න ඕනේ. “පුතේ ඔයා බය වෙන්න එපා. ඕන දේකට අපි ඉන්නවා” කියලා හැම දේකටම මගෙ ලගින් ඉදලා එයාලා මාව දිරි ගන්වනවා. ඉතින් මේ අවස්ථාවේදි මගේ අම්මියි තාත්තියි ආදරයෙන් මතක් කරන්න ඕනේ.
▪️නෙත්මි “ශෙනාලි වගේම ආදරයට ආදරය කරන කෙනෙක්” කිවුව නිසා අහන්න හිතුවේ, නෙත්මි පෙම්වතියක්ද? නෙත්මි බලාපොරොත්තු වෙන අනාගත සහකරුවා කොයි වගේ කෙනෙක්ද?
මම තවම පෙම්වතියක් නෙවෙයි. මම බලාපොරොත්තු වෙන්නේ මාව හොදින් තේරුම් ගන්න පුලුවන්, හොද විශ්වාසයක් තියන, තමන් ආදරය කරන තමන්ගේ පවුල වෙනුවෙන් කාලය වෙන් කරන්න පුලුවන්, මට වගේම මගේ දෙමාපියන්ටත් ආදරය කරන කෙනෙක්වයි.
▪ඉදිරියේදි ශෙනාලිව අපිට දකින්නට ලැබෙන නිර්මාණය මොනවාද? ඔබ රංගනයෙන් දායකවන්නට වඩාත් ප්‍රිය කරන චරිතයක් තියනවාද?
මම නවක රංගන ශිල්පිනීයක්. මාව තාම ලොකු පිරිසක් දන්නේ නැහැ. මම සමාජ මාධ්‍ය භාවිතය පටන් ගෙනත් වැඩි කාලයක් නැහැ.
මම විවිධ චරිත රගපාන්න ලැබෙනවා නම් කැමතියි. විශේෂයෙන් කටකාර චරිතයකට රංගනයෙන් දායක වෙන්න ලැබෙනවා නම් මම හරිම කැමතියි. මට දැනට නිර්මාණයක් සදහා සහ Music videos කිපයක් සදහා ආරාධනා ලැබිලා තියනවා.
ඉදිරියේදි මට ආරාධනා ලැබෙන නිර්මාණ සදහා සාර්ථකව දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මට අවස්ථාවක් ලැබුනොත් නිවේදන කටයුතු සමග සම්බන්ධ වෙන්නත් ආසාවෙන් බලන් ඉන්නවා.
අමා නාකන්දලගේ
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි නාට්‍යය, මුද්‍රා නාට්‍යය හා නූතන නර්තන අංශයෙහි අධ්‍යාපනය ලබමින් දෙවන පෙළ ඉහල සාමාර්ථක් සමග ප්‍රාසාංගික කලා විශේෂවේදි උපාධිය ලැබු ඔහු එහිදි ලබාගත් දැනුම, පුහුණුව සහ අත්දැකීම් සම්භාරය භාවිතයෙන් “මරා උපන් කුමරා” කෙටි නාට්‍යය රචනයෙන් සහ අධක්ෂණයෙන් නාට්‍යය නිර්මාණ කරලියට පැමිණෙමින් සම්මානයට පාත්‍ර වනවා. එමෙන්ම සමකාලින දේශපාලනික සහ සමාජිය සිදුවිම සම්බන්ධයෙන් ඒකල අභිවහන නාට්‍යයක් වන “මම අඩ කුඹයි” නිර්මාණය සදහාද ඔහුට සම්මාන ලබා ගන්න හැකියාව ලැබෙනවා.
ඔහුට වේදිකාවෙහි රංගනයෙන් දායකවන්නට ලැබුන අනර්ඝ අවස්ථාවන් ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නගේ “සෙල්ලම් නිරිඳු”, රාජිත දිසානායගේ “සිරිවර්ධන පවුල” “මට වෙඩි තියන් නැද්ද” “සිහින හොරු අරං”, චාමික හත්ලහවත්තගේ “මකරට”, මංගල සේනානායකගේ “ජුලියස් සීසර්”, කුසුම්සිරි ලියනඅරාච්චි සහ යශෝධරා සරච්චන්ද්‍රගේ “දඟයා සහ පුංචි අන්දරේ” යන නාට්‍යයන් නම් කල හැකිය.
එමෙන්ම පසුගිය වකවානුවේදි ස්වර්ණවාහිනි නාලිකාවෙහි අති සාර්ථක ලෙස විකාශනය වු “නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍යයෙහි ජයන්තගේ චරිතය තුලින් ප්‍රේක්ෂක සිත්තුල අමතක නොවන රංගවේදියෙක් වන්නට ඔහුට හැකියාව ලැබුනා.
ඔහු මෙම දිනවල අධ්‍යනයෙහි නියැලෙන දර්ශනපති උපාධිය සදහා උණුසුම් සුභ පැතුම් එක් කරමින් මොනොලොග් සාම්ප්‍රදායට අයත් නාට්‍යය නිර්මාණ අධ්‍යනය සදහා ඔහුගේ අතින් ලියවුනු “තෙස්පිස්ගෙන් උපන් ස්වයංකතනය” නමි ග්‍රන්ථය පිළිබදව සහ 2023 වසරේ ඉන්දියාවේ කල්කටා නුවර පැවැත් වෙන “රංගසේනා” අන්තර්ජාතික නාට්‍යය උළෙල සදහා ලංකාවේ එකම නියෝජනය වශයෙන් තේරිපත් වු ඔහුගේ සම්මානලාභී නාට්‍යය “මම අඩකුඹයි” පිළිබදව විශ්ලේෂණයක් සදහා අපි Magazine අපේ ආරාධනය කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය දේවින්ද වික්‍රමසිංහ මහතාටයි.
____________________________________
තෙස්පිස්ගෙන් උපන් ස්වයංකතනය නමින් මෙම ග්‍රන්ථය රචනා කරන්නේ මම නිර්මාණය කල “මම අඩකුඹයි” කියන ඒකල අභිවාහන නාට්‍යය පදනම් කරගෙනයි.
“මම අඩකුඹයි” කියන්නේ තනි නළුවෙකු පමණක් රංගනයෙන් දායක වන ඒකල අභිවාහනය නොහොත් මොනලොග් (One Actor Play) ශානරයට අයත් වන පර්යේෂනාත්මක නාට්‍යය නිර්මාණයක්. මෙම නාට්‍යය සදහා 2015 දි ජාතික යෞවන සම්මනා උළලේ සම්මානය හයක් සමඟ වසරේ විශිෂ්ටතම නාට්‍යය සඳහා සම්මාන ලබන අතර 2017 රාජ්‍ය නාට්‍ය උළලේදි ද ඇගයිමට පාත්‍ර වෙනවා.
“මම අඩකුඹයි” නම් මොනොලොග් සාම්ප්‍රදායට අයත් නාට්‍යය මම නිර්මාණය කරන්නේ කොලඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වකවානුවේදි. එම ශානරයෙහි අධ්‍යන කටයුතු සදහා විදේශ කෘති තිබුනත් ලංකාව තුල ලියවුන පොතක් හොයා ගන්න අපහසු වෙනවා. ඒ අඩුපාඩුව පුරවන්න උත්සාහයක් විදියට මගේ “මම අඩකුඹයි” නාට්‍යය පදනම් කරගෙන”තෙස්පිස්ගෙන් උපන් ස්වයංකතනය” නමින් මෙම ග්‍රන්ථය මම රචනා කරනවා.
තෙස්පීස්ගේ පලමුවෙනි රංගනය වශයෙන් “මමයි දියෝනිසස්” කියන දියෝනිසස් දේවාලය අසල කරන අනුකරණාත්මක රංගනය හදුවනවා. ලෝකයේ පළවෙනි නළුවා බිහි වෙන්නේ තනියම කරන රංගයක් වන මොනලොග් නාට්‍යය සම්ප්‍රදායට අනුකූලවයි. ලෝකයේ පළවෙනි නළුවා බිහිවෙනවාය කියන්නේ ලෝකයේ පළවෙනි නාට්‍යයත් එතන බිහි වෙනවා කියලා. එම අදහස මෙම ග්‍රන්ථයට “තෙස්පිස්ගෙන් උපන් ස්වයංකතනය” නම යොදන්න හේතු පාදක වෙනවා.
මෙම ග්‍රන්ථය සමග “මම අඩකුඹයි” කියන මගේ සාම්මානනීය නාට්‍යයෙහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පිටපත අන්තර්ගත වෙනවා. ඒවගේම 2014 දි සම්මානයට පාත්‍රවූ “මරා උපන් කුමරා” කෙටි නාට්‍යය පිටපත, “හු නියම් නාමලක්” නමින් නිර්මාණය වු මගේ අලුත්ම ස්වයංකතනය නිර්මාණයෙහි පිටපතත් අන්තර්ගත වෙනවා.
මෙම නාට්‍යය සියල්ලම ලියවිලා තියෙන්නේ ලංකාවේ සිදුවෙච්ච සමකාලින දේශපාලනික සමාජිය සිදුවිම සම්බන්ධ කරලා. උදාහරණයක් විදියට “මම අඩකුඹයි” නාට්‍යයේ සංකල්පය තියෙන්නේ සිංහ කොඩියේ ඉන්න සිංහයා බිමට බැහැලා කරණ පාපොච්චාරණයක්. ඒකට ඉවහල් වෙන්නේ පසුගිය දවස් වල කොලඹ කෞතුකාගාරයේ කඩුව නැතිවිම සම්බන්ධව තුඩු දුන් ආන්දෝලාත්මක පුවතකයි.
එමෙන්ම “මරා උපන් කුමරා” ඇල්පිටියේ දි හමුදා සෙබලෙකු අතින් සිදුවුන ඝාතනයක් ආශ්‍රය කර ගනිමින් නිර්මාණය වෙලා තියනවා. එහි සම්පුර්ණ විස්තර මෙම පොතෙහි සදහන් වෙනවා.
මෙම ග්‍රන්ථයෙහි පසුවදන මහාචාර්ය සෞම්‍ය ලියනගේ අතින් ලියවිලා තියනවා. ඒවගේම කතිකාචාර්ය පියල් කාරියවසම්, ප්‍රවීන නාට්‍යවේදි කේ බි හේරත්, ප්‍රවීන නාට්‍යවේදි ධනංජය කරුණාරත්න, නාට්‍යවේදි චාමික හත්ලහවත්ත, කතිකාචාර්ය ප්‍රියංකර රත්නායක, විචාරක වංගීස සුමනසේකර, විචාරක විදර්ශන කංනන්ගර, යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසුරිය, කතිකාචාර්ය රංග මනුප්‍රිය වැනි ලංකාවේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීන නාට්‍යයකරුවන්, දේශකයන් සහ විචාරකයන්ගේ ලිපි මාලාවක් ම මෙහි අන්තර්ගත විම තවත් විශේෂිතම කාරණයක් වනවා.
මේ වනවිට මෙම ග්‍රන්ථයට සම්බන්ධව හොද ප්‍රතිචාර මට ලැබිලා තියනවා. මෙහි දෙවෙනි මුද්‍රාවද අවසන් වෙමින් යනවා. පාසල් විෂය නිර්දේශයේ සහ විශ්වවිද්‍යාලයෙහිත් ස්වයංකතනය සම්බන්ධව ඉගැන්විම් කරන නමුත් එම අධ්‍යන කටයුතු සදහා මිට පෙර ස්වයංකතනය සම්බන්ධව පොතක් ලංකාව තුල ලියවිලා නැති නිසා ඒ සදහා පිටිවහලක් විදියට එම ශානරයන් වෙන් වෙන්ව හදුනා ගන්නේ කොහොමද කියලා පැහැදිලිවම අදහස් දෙමින් මම මෙම ග්‍රන්ථය රචනා කරලා තියනවා.
“මම අඩකුඹයි” නාට්‍යය ලංකාවේ එකම නියෝජනය විදියට 2023 වසරේ ඉන්දියාවේ කල්කටා නුවර පැවැත් වෙන “රංගසේනා” අන්තර්ජාතික නාට්‍යය උළෙල සදහා වේදිකාගත වෙන්න තේරි පත්වෙලා තියනවා. ඒ සදහා අපි පෙබරවාරි 5 වෙනිදා ඉන්දියාව කල්කටාව බලා පිටත් වෙන්න මෙම දිනවල සුදානම් වෙමින් ඉන්නවා.
නාට්‍යය කලාව පිළිබදව නව දැක්මකින් සිතන, පර්යේෂණාත්මක වැඩ කරන්න කැමති විශේෂයෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාතයින්ට සහ පාසල් සිසුන්ට මෙම පොත කියවන්න කියලා මම ආරාධනා කරනවා.
අමා නාකන්දලගේ
පස්වාන් දහසකට ආවඩා ආයු බෝ වේවා… ආයු බෝ වේවා…. ආයු බෝ වේවා….
ශිව මස්තු නමෝ රාමා
කන්ද සේනා සමාගමා
වඩිග තන්ත්‍ර මණි කන්ඨ
ඔඩිඩී මංගල නමෝ නමං
අග්නී කන්දන්ච හස්තේන
හස්තේන වඩිග කර්ගිතේ
මුඛෙින විෂ කේශකේ
ශිර්ශේ පංච කේශකේ
උදරේ නාග බන්දාමී
නීලෝත්තුරග වාහනං
සුනියමි දේවතා නාම
මයිහං ත පාදතේ නමං
ඉතිං ඔන්න අද මං අපි මැගසින් එක ඔස්සේ ඔයාලට අරන් ආවෙි දේව පුරාණ කතාවක්…… ඉතිං දෙවියන් කිවුවාම සමහර අයගේ හිත් වල ඇති වෙන්නේ පුදුමාකාර ගෞරවයක්… තවත් සමහර අය නමි ගණන් නොගන්නා තරමි…. කෙසේ උවත් ඉන්නවා කියනා තිස්තුන්කොටියක් දෙවිවරුන් අතරින් අද මම ඔයාලට කියන මෙි දෙවියන් ගැන මගේ හිතෙත් තියෙන්නේ ලොකු බක්තියක්…. එ තමයි සිද්ධ සුනියමි දිව්‍යරාජයා, එහෙමත් නැත්තමි ගමිභාර දෙවියන්
සූනියම් දෙවියන්ගේ උපත පිළිබඳව ජනප්‍රවාදයෙන් විවිධ කතා තිබෙනවා… මේ දෙවියන්, වසඟපුර විචිල රජුගේ සහ නිර්මලා දේවියගේ පුතෙක් ලෙස උපන් බවත් ඔඩ්ඩි දේශයේ ඔඩ්ඩි නම් රජුට දාව යදම්බරී නම් බිසවුන් වහන්සේගේ කුසයෙන් මෙලොවට පහළ වූ බවත් සඳහන් වෙනවා.. ජනප්‍රවාද කතාවල එහෙමයි… එ වගේම විස්වාස කල හැකි රසවත්ම කතාවකුත් තියනවා..
මිනිසුන්ගෙ ගෞරවයටත් භක්‌තියටත් පාත්‍ර වී ඇති මෙි දෙවියන් යුක්‌තිය පසිඳලන්නා වූද යහපත කරන්නන්ට යහපත් ප්‍රතිඵල ද අයහපත කරන්නන්ට අයහපත් ප්‍රතිඵලද ලබා දෙනු ලබන බවයි සඳහන් වන්නේ. සූනියම් දෙවියන්, අර්ධ දේව ස්‌වරූපයක්‌ද අර්ධ යක්‍ෂ ස්‌වරූපයක් ද සහිත දෙවි කෙනක් බව කිව යුතුයි…
සූනියම් දෙවියෝ, රාත්‍රි කාලයේ සුදුවන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී ඉතා ශාන්ත ස්‌වරූපයෙන් ගම් බිම් වල සැරිසරණ විට පිච්චමල් සුවඳ විහිදෙන බවත් ගැමි ජනයා අතර ප්‍රකට කරුණක්.. උන්වහන්සේ වෙත බුරාගෙන පනින සුනඛයන්ට තම අත රැඳි සෝලු ලීයෙන් පහර දෙන බවත් එසේ පහර කෑ සතුන් හඳුනාගත නොහැකි කොන්ද අප්‍රාණික වන රෝගයකින් මියයන බවත් මිනිසුන් තුළ දැඩි විශ්වාසයක් පවතිනවා….
භයංකාර පෙනුමකට හිමිකම කියන සූනියම් දෙවියන් නීල වර්ණ ශරීරයකින්ද, හිස පැළදි සුදු ජටාවකින්ද, දිවියකුගේ සමින් නිර්මිත සළුවකින්ද සැරැසී සිටීනවා…. සුදු අශ්වයා වාහනය කරගත් සූනියම් දෙවියන්ගේ කරේ නාගයන්ගෙන් සෑදුණු නාග මාලයක් හා මුඛයේ සපාගෙන සිටින නාගයෙක්ද සිටිනවා… එසේම දෙඋර මත කරවලුන් සිව් දෙනා බැගින්ද, දෙඅතේ කරවලුන් අට දෙනෙක්ද වෙළාගෙන සිටිනවා වගේම ඉණේ කොට නාගයන් කිහිපදෙනකුද වෙළාගෙන සිටිනවා….
මේ සියලු නාගයන්ට අතිරේකව දෙපතුල ළඟද නාගයෙක් සිටිනවා… ලේ පොළඟුන් දහතුන් දෙනෙක් සිරුර පුරා සිටිනවා වගේම, හිස සිට දෙපතුල දක්වාම දිග නාගයන් දෙදෙනෙක්ද සිටිනවා…. භයංකාර රාක්‍ෂ මුහුණකින් යුතු සූනියම් දෙවියන්ගේ හිස හැඩපළු 13කින් යුතුයි.. සුරතේ තියුණු වඩිග කඩුවකින්ද, වමතේ ගිනිගෙන දැවෙන කබලක්ද දරා සිටින සූනියම් දෙවියන් සූකරාකාර පාද යුගලකටද හිමිකම් කියනවා.
නාමයන් රැසකින් හඳුන්වනු ලබන සූනියම් දෙවියෝ මතු බුදු බව පතන දෙවි කෙනෙක් බවයි සදහන් වෙන්නේ.. සූනියම් දෙවියෝ ප්‍රාදේශීයව විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබනවා… කබලෑමුත්තා, කබලෑ දෙවියන්, කබලෑ අප්පච්චී, ගම්භාර සුද්ධ සූනියම්, ගම්බාරු මුත්තා, සුද්ධ සූනියම්, වඩිග සූනියම්, ඔඬිඩි වඩිග සූනියම්, ඔඬිඩියා, ඔඬිඩි මස්සිනා, ඔඬිඩි දේවතාවා, ඔඬිඩි යකා හා ගම්බාර දෙවියන් ලෙසයි හදුන්වන්නේ…
ඉතිං උන්නාන්සේ ගැන තව විස්තර කියනවා නමි සූනියමි දෙවියන්ද විෂ්ණු කරගම දැඩිමුණ්ඩ ආදි දෙවිවරුන් මෙන් ගෞරවය ලබන දෙවි කෙනෙක්.. සූනියමි දෙවියන් කතරගම දෙවියන්ගෙ සෙමිපති ලෙසද , දැඩිමුණ්ඩ දෙවියන්ගෙ අධිකාරමි ලෙසද , එම පොත්ගුල් සතරේ භාරකරු ලෙසද, උපුල්වන් දෙවියන්ගෙ පණිවිඩකරු ලෙසද කටයුතු කරන බවයි ජනප්‍රවාද වල සදහන් වෙන්නේ…
සුනියමි දෙවියන්ගෙ බලය තේජස ශක්තිය විශේෂිතයි.. අන් දෙවිවරුන් වගේ නොවෙයි උන්වහන්සේගේ ආඩමිබර ගතිය වැඩියි.. අන් අයට පහන් දැල්විමට පෙර සුනියමි දෙවියන්ට පහන් දැල්වීම මන්ත්‍රවෙිදීන්ගේ සිරිතක්… එ ඇයි කියනවා නමි උන් වහන්සේ කිසිවෙකුට දෙවනි විමට අකමැති නිසා… එ වගේමයි සුවදට කැමති දෙවතාවුන් වහන්සේ කෙනෙක්.. අවෙිලාවෙි පිචිච මල් සුවද අපේ නාසයට දැනෙන විට අපේ පරණ ගැමියන් පවසනවා එ තමයි සුනියමි දෙවියන් වඩිනා බවට දන්වන පෙර ලකුණු බව….
එ වගේමයි සුබ දේට සූනියමි දෙවියන් ලෙසද, අසුබ දෙයට ඔඬ්ඩි යක්ෂයා ලෙසින් ස්වරූපය වෙනස් කරගන්නා බව සදහන්….. ගුප්ත කර්ම කටයුතු වලදි උන්වහන්සේ නොමැතිව වින කැපිම කල නොහැකි බවයි මන්ත්‍ර කරුවන් පවසන්නේ.. අදුරු ආරක්ෂාව වගේම ආතුරයන්ගේ ආරක්ෂාව උන්වහන්සේ සතු බැවින් ගුප්ත කර්ම කල නොහැකි බවයි පැවසෙන්නේ.. එ නිසාම උන්වහන්සේට ඇත්තේ විශේෂ තැනක්…
අද වන විට ලංකාවෙි වැඩිම පිරිසක් පුද පුජා කරන දෙවියන් සුනියමි දෙවියන් බව රහසක් නොවෙයි.. ඉස්සර අපේ ගෙදරත් සුනියමි දෙවියන්ට පහනක් පත්තු කල බවක් ආචිචි අමිමා මට පැවසූවා…. මන්ත්‍ර විද්‍යාව දන්නා අයෙක් වෙි නමි ඔහු හො ඇය සුනියමි දෙවියන්ගෙ එක මන්ත්‍රයක් හො කට පාඩමි කරගෙන සිටින බව රහසක් නෙවෙයි.. එයින්ම උන්වහන්සෙගේ තේජස පිහිට කෙතරමිදැයි වටහා ගත හැකි බවයි පවසන්නේ…
සුනියමි දෙවිදුන්ගේ බැල්ම ආකර්ෂණය ඇති මන්ත්‍ර රාශියක් තියනවා…. නිල් හත, නිල් විසි එක, නවනීලය, මහීපාලය, අංගාරුඪය, සිවපාදය, ඔඩිඩිකුමාර බන්ධනය, නාඟවෛයිරොඬිය, ඔඩිඩිප්‍රලය, සුනියමි දේවශාන්තිය, සුනියමි දැහැන, සුනියමි බන්ධනය, හන්තු දැහැන, නමාමි දැහැන, මල් යහන් ප්‍රලය, භාවිතා කරන මන්‍ත්‍ර නාම කිපයක් මට විස්තර සොයා යෑමෙිදි දැනගත හැකිවුවා….
තවද මන්ත්‍ර ස්තොත්‍ර මල් යහන් කවි විශාල ප්‍රමාණයක් තිබෙනවා….
ඉතිං දැන් තමයි හොදම කතාව මං කියන්න හදන්නේ.. සුනියමි දෙවියන්ගෙ තවත් කතාවක්… කෙටියෙන් කියන්නමි…
පුරාවෘත වල කියන විදිහට ඈත අතීතයේ ඉන්දියාවෙි වඩිග කියන දේශයේ වඩිග කියලා රජ කෙනෙක් රජකමි කරන කාලෙක සිද්ධ උන දෙයක් මෙි.. එ රජතුමාගේ බිසවගේ නම යවුදගිරි.. ඉතිං මෙි යවුදගිරි බිසව ගොඩක් ලස්සනයිලු. දවසක් අහසේ ගමන් කරන මහේශාක්‍ය දෙවි කෙනෙක් මෙි බිසවගේ ලස්සනට වශි වෙලා, බිසවගේ ඇගට ආවෙිස වෙලා.. දෙවියො ආවෙිස උන නිසා බිසවට සිහි නැති වෙලා… සිහි නැතුව ඉන්න බිසවව සනීප කරගන්න රජතුමා සෘෂිවරු ගෙන්නලා මන්ත්‍ර මතුරලා දෙවියට සිහිය අරගෙන… ඉට පස්සේ තමයි දෙවියට දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගෙන තියෙන්නේ.. කතාවෙි කියන විදිහට දේවියට ඇඹුල් ජාති කන්න දොලදුකක් ඇවිත් එවත් සංසිදවලා.. එත් තවත් දොලදුකක් ඇවිත්, එ තමයි රත්තරන් වලින් සැරසිලා සර්පයන් ඇගේ ඔිතාගෙන නුවර වටෙි ඇවිදින්න ඇතිවුන ආසාව… හැබැයි රජතුමා නමි මෙිකට කැමති වෙලා නැ. රජතුමා නියොග කරලා දේවියව මරන්න.. නමුත් දේවිය ඉල්ලීමක් කරලා දරුවා ලැබෙන තුරු ජිවිතේ නැති කරන්න එපා කියලා.. එකට රජතුමා කැමති වෙලා
කොහොම හරි දරුවා ඉපදිලා වසර දහයක් ගියාට පස්සේ මෙි වඩිග කුමාරයා කැලේ ඇවිදින්න ගිහින්. එ යද්දි කැලේ හිටිය විස සර්පයන්ගේ දල කඩලා එ විස උරා බිලා. දල කඩපු සර්පයන්ව ඇඟ වටෙි ඔිතාගෙන… නයි , පොලොංගු , කරවලයො ඇගේ ඔිතාගෙන, ටික ටික විස ශරිරයට ඇතුල් වෙද්දි මෙි කුමාරයා යක්ෂ අවතාරයක් බවට පත්වෙලා… ඉතිං මුලින්ම මෙි යක්ෂ අවතාරය යන්නේ වඩිග දේශයට. එ ගිහින් වඩිග රජතුමා ඇතිලු මුලු නුවරම වනසන්නේ මිනිස්සු මරා දාලා..
මිනිස්සු මර මර ආහාරයට ගත් මෙි වඩිග යක්ෂයා තමන්ගේ සේනාව වැඩි කරගන්න අමතක කරන්නේ නැ. වෙසමුනි රජු මුනගැහෙනන ගිහින් එතනත් දොරට පයින් ගහලා කලබල කරලා තමයි වෙස්මුනිගෙන් වරමි ගන්නේ. එ මොහොතේ වෙසමුනි අහලා තියනවා ” මෙච්චර ලොකු සද්ද දාලා වැඩ පෙන්නන හෙතුව මොකද” කියලා. එතකොට යකා කියලා තියනවා වඩිග දේසේ වඩිග රජාට දාව යවුදගිරි බිසවගේ කුසේ ඉපදුණ ඔඩිඩි වඩිග සිද්ධ සුනියමි යක්ෂයා මමයි මට නරලොව මිනිමස් කන්නට වරමි ඔින ” කියලා . පස්සේ එ වරම වෙසමුනි දුන්නා කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා..
එ වගේම තමන්ගේ සේනාව වැඩි කරගන්න මහාකෙල නාගරාජයාගෙ දල හතරේ දූවරුන් හතර දෙනාව සේනාවට එකතු කරගන්නවා.. එ තමයි තකරී, මකරී, යාමී, යමදූතී… තව යක්ෂණියො අට දෙනෙක් එකතු කරගන්නවා. එ තමයි අයිලක්කණ්ඩි, මයිලක්කණ්ඩි, වචක්කණ්ඩි, තොටක්කණ්ඩි, අසේනි, විසේනි, කාලරත්ති, තස්මාදේවි කියන අට දෙනා.. තව තවුතිසාවෙන් දෙවියන් බිය ගන්වලා එහෙනුත් සේනාවට එකතු කරගන්නවා සිරටිටා, වාරටිටා, ගොරාටිටා කියන දෙවිවරුන් තිදෙනා. මෙි සේනාවත් එක්ක මහාපොළවට ඇවිත් විශාලා මහානුවර ගමි නියන්ගමි වල ඉන්න මිනිස්සු මරලා මිණි මස් කනවා. ළදරුවො පවා අතුරුදහන් වෙනවා.
ගමෙි අයට තව දුරටත් මෙික බලන් ඉන්න බැරි නිසා මන්ත්‍ර ගුරුකමි දන්න තෙලිඟු රටෙන් අති දක්ෂ යකදුරෙක් ගෙන්නලා යකාව බන්ධනය කරන්න මන්තර අලුතින් හදනවා.. මෙි මන්තර හද හද පුස්කොල පොත් වල ලියද්දී යකදුරා අතින් මන්ත්‍ර ලක්ෂ ගාණක් ලියැවිලා, මෙි මන්ත්‍ර ජප කර කර අදාල ගුරුකමි කරද්දි සුනියමි යකා මෙි පුස්කොල පොතට ඇදිලා ඇවිත්. පස්සේ රත්තරන් නුලකින් මෙි පොත තද කරලා ගැට ගහලා මුහුදට දාලා තියනවා..
මෙි පුස්කොල පොත පා වෙලා ලංකාවෙි දකුණු වෙරළට තමයි එන්නේ… සුනියමි යකා ලංකාවට එන්නෙත් එ විදිහට.. මාතර ප්‍රදේශයේ පුද්ගලයෙක්ට තමයි මෙි පොත හමුවෙන්නේ.දෙවියන් හිනෙන් එ පුද්ගලයාට කියලා තියනවා මෙි පුස්කොල පොත විවෘත කරන්න එපා කියලා.. එ හින්දා එ පුද්ගලයා පොත විවෘත නොකර රහාසේ තියා ගන්නවා. නමුත් දෙවුන්දරට වන්දනාවෙි එන කුලියාපිටිය කියන ගමෙි උපාස කෙනෙක් ගැන හිත පැහැදිලා පුස්කොල පොත එ උපාසක මහාත්තයාට දෙනවා පරිස්සමෙන් ආරක්ෂා කරන්න කියලා. පුස්කොල පොත දිග නොහරින බවට පොරොන්දු කරගත් පසු මෙි පුද්ගලයා උපාසක මහාත්තයාට පොත දෙනවා. උපාසක මහාත්තයා මෙි පොත අරන් ගිහින් පරිස්සමට පෙටිටගමකට දාලා වහලා තිබුණත් එ පැත්තේ හොරෙක්ට මෙි පොත ගැන දැනගන්න ලැබෙනවා.. ඉතිං හොරා නිකමි ඉන්නේ නැ. පොත හොරකමි කරලා පොත විවෘත කරනවා.. මොකද හොරා හිතන්නේ එක මහා බලගතු මන්ත්‍ර තියන මන්ත්‍ර පොතක් කියලා.
සුනියමි යක්ෂයා බන්ධනයෙන් නිදහස් වෙද්දි දෙවිවරුන් ඝොසා කරලා ” කඹ ලා හිර කරනු , කඹ ලා හිර කරනු ” කියලා. එත් යකා එලියට ගිහින් ඉවරයි. විශාලා මහානුවර විනාස කරා වගේම මෙි යකා ලංකාවෙි කුලියාපිටිය පැත්තේ මිනිස්සු මරාලා කන්න පටන් ගත්තේ මිනිස් ජිවිත භීතියෙන් ඇලලි යද්දි. වාසනාවක වගේ එ පැත්තේ හිටපු දෙවියන්ගෙන් වරමි ගත්ත සිල්වත් මන්තර සාස්තර දන්න රාජපද්ම මුදියන්සේ කියලා උපාසක මහත්තයෙක් ඔහුගේ දේව වරම උපයොගි කරගෙන පත්තිනි දෙවියන්ට කන්නලව් කරනවා… පස්සේ පත්තිනි මැණියන් මෙි උපාසක මහාත්තයාට කියනවා නවගුණ මන්ත්‍රයෙන් ලක්ෂ වාරයක් ජිවමි කරපු නවගුණ වැල් හත් පටක් ලබා දෙන්න කියලා,
ලක්ෂ හත් පාරක් මතුරපු මෙි නවගුණ වැල් හත්පොට උපාසක මහාත්තයා ලබා දෙනවා පත්තිනි මැණියන්ට… පත්තිනි මැණියන් අමාරුවෙන් අහසට පැනලා මෙි සුනියමි යකාගේ බෙල්ලට නවගුණ වැල් හත්පට දානවා.. එත් එ හත්පොටෙන් හතර පොටක් යකා කඩා දානවා. එත් තුන් පොටක් ඉතිරි වෙනවා.. පස්සේ රාජපද්ම මුදියන්සේ උපාසක මහත්තයා ඇතුළු පිරිසක් යකාව මතුරපු කඹ වලින් බන්ධනය කරලා හිර කරනවා. එදා ඉදන් තමයි එ ප්‍රදේශය කඹලෑව කියලා ප්‍රසිද්ධ වෙන්නේ..
පත්තිනි මැණියො මෙි යකාගේ බලය දැකලා තීරණය කරනවා දේව වරමක් දෙන්න. නැවතත් කිසිම දවසක මිනීමස් නොකන බවට පොරොන්දු කරගත්තාට පස්සේ පත්තිනි මැණියො සුනියමි යකාට දේව වරමක් දිලා කියනවා සුනියමි විදිහට අරක්ගෙන දොළ පිදේනි ගන්න , ලෙඩිඩු සුවපත් කරන්න, ආතුරයින්ට වැහෙන යක්ෂ දෝෂ දුරු කරන්න, සෑම මන්ත්‍රයකටම අරක්ගෙන ඉන්න කියලා….
මෙන්න මෙහෙමයි සුනියමි දෙවියන් ලංකාවෙි දේවත්වයට පත් වෙන්නේ.. එදා වැටුණු තැන කඹලෑව ( කබල්ලෑව) කියන ප්‍රදේශය තමයි එතුමාට කැපඋන ප්‍රධාන තැන.. තව ඔරුගොඩවත්ත ලුනාව සුනියමි දේවාලයත් එහෙම තැනක් කියලා විස්තර හොයද්දි මට මගේ මිත්‍රයෙක් පැවසුවා.. එ වගේම තමයි ඔඩිසි සිද්ධ සුනියම එනකොට විස ඝොර සර්පයෝ පිරිවරාගෙන එන බවත් කියනවා. එ තරමි එ පෙණුම බියකරු බවයි ඔහු මට පැවසුවෙි..
සිදුහත් කුමරු ගිහිගෙයින් නික්‌ම ගියේ කන්ථක නම් අශ්වයා රැගෙන බව අපි කවුරුත් දන්නවා.. කන්ථක අශ්වය ලය පැලිලා මිය යැමෙන් පසු සූනියම් දෙවියන්ගෙ නාමයෙන් දේවත්වයක් ලබා පුද සත්කාර ලබන බව පැරණි දේවකතාවල සඳහන් වෙනවා. සූනියම් දෙවියන් ගමන් බිමන් යැමට සිය වාහනය ලෙස තෝරාගෙන ඇත්තේද සුදු අශ්වයෙක්.. මේ නිසා අශ්වයන්ට සූනියම් දෙවියන්ගේ බැල්ම ඇති බව මිනිසුන්ගෙ විස්වාසය… අශ්වයන් හට ගසා ඇති ලාඩම් ඉබේ හැලී ගිය පසු ඒවා රැගෙන පිරිසුදු කොට ජීවම්කර නිවෙස්වල, ව්‍යාපාරික ස්‌ථානවල ඉදිරිපස එල්ලන්නේ එ නිසයි. මේ එල්ලීමෙන් ඇස්‌වහ කටවහ දුරුවී සොර සතුරු බියෙන් මිදී සෞභාග්‍ය උදාවී සූනියම් දේවතාවුන්ගේ ආරක්‌ෂාව ලැබෙන බවට ඇති විශ්වාසය නිසාමයි…..
සූනියම් දෙවියන්ට පින් දෙන ගාථාව
නානාවණ්ණෝ මහා තේජෝ
ඕදාතහය වාහනෝ
ගාම සංචාරකෝ දේවෝ
ඉමං පුඤ්ඤානුමෝදතෝ
නිසංසලා රණසිංහ
අද වන විට ලංකාවේ ප්‍රධාන මාතෘකාව අයිස්. මොනවද මේ අයිස්? ලොව ප්‍රබල වූ මත්ද්‍රව්‍යයක්. කුඩා දරුවන්ගේ සිට මිනිස් ජීවිත ගැහැනු පිරිමි භේදයකින් තොරව බිලිගන්නා මත් රකුසා. මෙය පාසල් වල දැන් දැන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව අපට අසන්නට ලැබෙනවා. වැඩි කාලයක් යන්නට මත්තෙන් ජීවිත මුළුමනින් විනාශ කර දමන්නට අයිස් වලට පුළුවන්. මේ මත්ද්‍රව්‍ය වලට දවසින් දෙකෙන් ඇබ්බැහි වන්නට විශේෂම හේතුව වන්නේ ඒ තුළ අන්තර්ගත වී ඇති රසායනික සංයෝගය බව සොයාගෙන ඇත.
මගේ පෞද්ගලික අදහස නම් අයිස් පිළිබඳව විද්‍යුත් මාධ්‍ය තුළ නිතර නිතර සිදුකරන ප්‍රචාරණය තුළින් වයස අවුරුදු 10 – 18 ත් අතර ළමයින් හා තරුණ තරුණියන් හට එය වරක් හෝ භාවිත කර බැලීමට පෙළඹවීමක් ඒ තුළින් ඇති වන බවයි. එබැවින් අයිස් පමණක් නොව සියලු මත්ද්‍රව්‍ය අප රටින් තුරන් කිරීමට මාධ්‍යයට ලොකු මෙහෙවරක් කළ හැකියි.
දිනෙන් දින වැඩි වන මේ මත්ද්‍රව්‍ය පිළිබඳ කතා කළත් එය රට තුළට පැමිණෙන්නේ කෙසේද යන්න සොයා බැලුවත් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග අප රට තුළ ගන්නා බවක් නම් අපට පෙනෙන්නට නැහැ. වටලනු ලබන මත්ද්‍රව්‍ය ඇත්තටම විනාස කරනවද? කාලයක් යද්දි නැවත එය වෙළඳපොළට ම පැමිණෙනවාද? මේ පිළිබඳ අපට ඇත්තේ ලොකු ප්‍රශ්නාර්ථයකි.
මේ වන විට අප රටේ ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ කතාබහක නියැලෙන්න ටයි මේ සූදානම. මත් වතුරට ඇබ්බැහි වී එයින් මිදුණු පුද්ගලයෙකු වසර 38 පුරා නොබී එය පවත්වාගෙන යන්නේ කෙසේද? ඇබ්බැහි වීමෙන් මිදීමට ඇත්තටම හැකිද? යන ප්‍රශ්න වලට ඔහු අපට පිළිතුරු සපයනු ඇත. ඔහුගේ නිර්ණාමිකත්වය රැක ගැනීම සඳහාත්, සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යාමේ පහසුව සඳහාත් මා ඔහුට ජෝර්ජ් ලෙස ආමන්ත්‍රණය කරමි.
ජීවිතාවර්ජනය .. ඇබ්බැහි වීමෙන් මිදුණු ජීවිත වල පසු විපරම..
1. ජෝර්ජ් මහත්තයාගෙ වයස කීයද? ගම කියන්න කැමතිනම්.
මගේ වයස දැන් අවුරුදු 71
ගම කොළඹ
2. මොනවටද ඇඩික්ට් වෙලා හිටියෙ?
මත්පැන් , කසිප්පු
කොච්චර කල් ඉදලා ද? කොහොමද එක වුනේ
මම පාසල් ගියේ කොළඹ ප්‍රසිද්ධ පෙළේ පාසලකට. පාසලේදී තරුණ ගුරුවරුන් කිහිප දෙනෙකු සමග පාසල් කාල වේලාවෙන් පස්සේ මත්පැන් පානය කරලා ප්‍රින්සිපල්ට අහුවෙලා මාවත් ගුරුවරුන් වත් පාසලෙන් ඉවත් කළා. මේ සිද්ධිය වෙනකොට මගේ වයස අවුරුදු 16ක් විතර. මගේ අම්මා මට අවවාද කරලා මාව හෝටල් ශේස්ත්‍රයට යොමු කලා. ඒ කාලේ ලංකාවේ සංචාරක හෝටල් හැදෙමින්, සංචාරක ව්‍යාපාරය දියුණු වෙමින් තිබුණු කාලයක්. මෙය මගේ ජීවිතේට ලොකු අවස්ථාවක් වුණත් ඒ සුදු මහත්වරු නෝනලා හවස 7 , 8 වෙද්දි කාලා පාන්දර 2, 3 වෙනකන් මත්පැන් තොල ගානවා මම දැක්කා. ඒ ජීවිතය ට මම ආස කලා. රස්සාවට ගිය මම රෑ වෙද්දි සුදු මහත්තුරු එක්ක බොන්න පටන් ගත්තා. ඒ අය ශොට් එකක් දානකොට මටත් අරගෙන දුන්නා. හතර පස් දෙනෙක් බොද්දි මට ඒ හැමෝගෙන්ම ශොට් එක ගානේ ලැබුණා. එතකොට තේරෙනවනෙ ඒ අයට වඩා මම මත් වෙලා පිස්සු නටන්න ගත්තා. මේ නිසා මට මගේ පළමු රැකියාව අහිමි වුණා. ඔය වගේ සංචාරක හෝටල් දහයක විතර මම වැඩ කළා. හැමතැනින්ම මගේ බීමත්කම නිසා රැකියාව අහිමි වුණා. තරු පහේ හෝටල් වලින් බොන්න පටන් ගත්ත මම අවසානයේ කස්සිප්පු පොලවල් වලට යන්න පටන් ගත්තා. අතේ සල්ලි නැති වෙනකොට හොරකමට පුරුදු වුනා. මම අවුරුදු 22 දි විවාහ වුණා. අවුරුදු 25 වෙනකොට වෙනකොට මට දරුවෝ තුන් දෙනෙක් හිටියා. මගේ දරුවොත් එක්ක මගේ බිරිඳ ගොඩක් දුක් වින්දා. මට වයස අවුරුදු තිස් 31 වෙනකොට මගේ බිරිඳ මාව දාලා ගියා. මගේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියොයි මාව ප්‍රතික්ෂේප කළා. යාලුවෝ මං එනකොටත් මූ මාර ඇණයක් කියලා මාව කොන් කළා. මට අවසානයට ඉතුරු වුනේ මං විතරයි.
3. ඔබ පුනරුත්ථාපනය වුන කෙනෙක් නෙවෙයි. ඒ ගැන අපිට විස්තර කරන්න.
ඔව් මං පුනරුත්ථාපනය වුණේ නැහැ. මට බොන්න සල්ලි නැති වෙනකොට මම ගෙදර බඩු විකුනුවා. අහල පහල අය මගින් ඇයි ඇහුවහම , මම කිව්වේ Wife දරුවෝ නැතුව මේ බඩුවලින් ඇති වැඩක් තියෙනවද කියලා. මගේ මේ වැඩේ දැකලා හිතවත් කෙනෙක් මාව නිර්නාමික මත්ලෝලීන් ගේ රැස්වීමකට එක්කගෙන ගියා. එතන හිටිය හැමෝම ඇබ්බැහි වීමි වල සිට එයින් මිදුණු අය. ඒ අය අත්දැකීමක් බෙදා ගන්නකොට මට දැනුනේ මගේ ජීවිත කතාව කියනවා වගේ. මොකද ඒ අයටත් මට වගේම කතාවක් තිබුණා. නමුත් ඒ අය ඒ වෙනකොට ලබපු නිදහස සතුට දැක්කහම මටත් ඒ නිදහස සතුට ලබන්න ලොකු ආසාවක් ඇති වුණා. මොකද ඒ වෙනකොට මට හැමදේම නැති වෙලා. මත්පැන් මත්ද්‍රව්‍ය නවත්තන්න ලේසියි. අමාරුයි. නොබී දවස දවස ජීවත් වෙන්න මට ශක්තියක් වුනේ මං වගේම අත්දැකීමක සිටි අයයි. අදටත් මේ වයසක මට නොබී ඉන්න මේ නිර්ණාමික මත්ලෝලීන් ගේ සංසදය උදව් කරනවා. ඒ වගේම මාත් ඇතුළු එම කණ්ඩායම ඇබ්බැහි වී සිටින අයට එයින් මිදීමට අත දෙනවා.
4. මතින් තොර වෙන එක තනියම කරන්න පුලුවන්ද?
බැහැ. ඒකට ශාරීරික මානසික හා අධ්‍යාත්මික සුවය ඉතා වැදගත්. ඒ වගේම පවුලේ සාමාජිකයින්ගෙන් ලැබෙන සහාය හා පිළිගැනීමත් හරිම වැදගත්.
5.මේ ඇබ්බැහි වීමත් එක්ක ඔයාට අහිමි වුණ දේවල් මොනවාද?
ජීවිතයේ ඇරෙන්න හැමදේම නැති වුණා. තනි උනා, බිරිඳ දරුවන් දෙමව්පියන්. ගෙදර පිළිගැනීම නැති වුණා, රැකියාව නැති වුණා.
6 මේ අහිමි වුන දේවල් නැවත ළගා කරගන්න ඔයා මොනාද කලේ?
කලින් කිව්වා වගේ AA එකේ සහයෝගයත් එක්ක මං අතින් සිදුවන වැරදි මං පිළිගත්තා. මගේ දුර්වලකම තේරුම් ගත්තා. මං නිසා අනිත් අයට වුණු අපහසුතාවයන් ගැන අවංකවම දුක් වුණා. මේ නිසා මට නැවත පිළිගැනීමක් ලැබුණා. නැතිවුණු දේවල් නැවත ලඟා කරගන්න අධිෂ්ඨානයක් ඇති වුණා.
7. ඔයාගේ ඒ අඳුරු කාල පරිච්ඡේදය තුළ ඔයාගෙන් අන් අයට වුන අපහසුතා මොනවද?
ගොඩක් දේවල් වුනා. ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන්න සිදුවුණා. බිරිඳ දරුවො ලොකු මානසික පීඩාවන්ට මුහුණ දුන්නා. සමාජයෙන් කොන් වුණා.මං නිසා ලැජ්ජාවට පත්වුණා.
8. මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද?
මිනිස් ජීවිත විනාශ කරන දෙයක්. ජීවිතය විඳින්න ඕන කාලේ විඳවන්න වෙන දෙයක්.
9. ඔයා ලබපු අලුත් ජීවිතේ ගැන මොනාද හිතෙන්නේ?
පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. හැමදේම නැති වෙච්ච මං ව්‍යාපාරයක් කරනවා. දැන් නං මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ. මං ඇබ්බැහිවීමෙන් මිදුනාම ඒ අයට පුදුම සතුටක් දැනුණා. මට පුදුම විදියට විදිහට ආදරය කරන්න පටන් ගත්තා. මගෙ බිරිඳ මගෙන් වෙන්වුනත් අදටත් මට කතා කරනවා. මගේ දරුවෝ මං ගැන හොයලා බලනවා. මේ ලඟදි මට ඔපරේශන් එකක් කලා. ඒකට වියදම් කළේ මගේ පුතා. අපි අතර අතරේ ලොකු බැඳීමක් දැන් තියෙනවා. මේ ටිකම ඇති දැන් මට සතුටු වෙන්න.
10. තරුණ පරපුරට ඔබට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?
නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදයට සම්බන්ධව වැඩ කරන කෙනෙක් හැටියට කිසිම විටෙක මම කාටවත් බොන්න එපා කියන්නැහැ. මොකද සමාජයේ කොටස් තුනක් ඉන්නවා.
* බොන්නෙම නැති අය
* සමාජශීලී මත්ලෝලීන්
* මතට ඇබ්බැහිවූවන්
තමන්ගේ පමණ ඉක්මවා බොන අය තමයි ඇබ්බැහිවුවන් වෙන්නේ. ඊට පස්සේ ඒ අයට, පවුලේ අයට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. මේ අය සමහර විට විවිධ හේතූන් නිසා මතට ඇබ්බැහිවූවන් වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න, සම්බන්ධතා බිඳවැටීම් උදාහරණ විදිහට දෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ට ඇහුම්කන් දෙන තේරුම් ගන්න පුළුවන් කෙනෙක් සමග කතා කරන්න. ඇබ්බැහිවීම් වලින් ඇත්තටම මිදෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ශාරීරික මානසික හා අධ්‍යාත්මික ශක්තිමත්භාවයයි. ඇබ්බැහිවීම ක සිටිනවානම්, එහෙම කෙනෙක්, ඒ අයට සමීපතමයෙක්, එහෙමත් නැත්තං ඔබේ පවුලේ කෙනෙක් මිතුරෙක් මිතුරියක් මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටිනවා නම් ,ඔවුන්ට ඇත්තටම ඉන් මිදීමට අවශ්‍ය නම් ” අනේ මට මේක නවත්ත ගන්න බැහැ” කියලා හිතන්න එපා. ඔබට පුළුවන්.. ඔව් ඔබට එය නවත්වන්න පුළුවන්. නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදය සහෝදරත්වයේ දෑත් ඔබ වෙත දිගු කරනවා ඔබ එයින් මුදවා ගැනීමට සහාය වන්නට.
අවබෝධයෙන් අවධානයෙන් සතුටින් ජීවත් වෙන්න.
ස්තුතියි
පියුමි සිල්වා
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් උගත් නාට්‍ය හා රංගනය පිළිබඳ අධ්‍යාපනය, රංගන අභ්‍යාස සහ අත්දැකිම් තම රංගන ජිවිතයෙහි ප්‍රායෝගික භාවිතයෙන් ඔහු වේදිකාව, පුංචි තිරය සහ රිදිතිරය එක ලෙස ස්පර්ශ කරමින් නිර්මාණවලට දායකත්වය ලබා දි තිබෙනවා.
පුංචි තිරයෙහි එතෙක් මෙතෙක් විකාශනය වුන ටෙලිනාට්‍යය රාමුන්වලට නව මුහුණුවරක් ගෙන දෙමින් 2017 සහ 2018 වර්ෂයන්වලදි විකාශනය වු විශේෂ නිර්මාණය කුඹියෝ ටෙලිනාට්‍යයෙහි ජෙහාන් ෆනෑන්ඩුගේ චරිතයට පන පොවමින් සුවිශේෂී හැඩයක් එක් කල ඔහුට එහි සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය මෙන්ම සම්මානයන්ගෙන්ද
පිදුම් ලබන්න හැකියාව ලැබෙනවා.
ප්‍රේක්ෂක ජනාදරයට පත් වු දක්ෂ, රුවැති බිරිඳක් සහ පුංචි පුතෙකුගෙන් පරිපුර්ණ වු සුන්දර පවුලක් ලැබිමේ වාසනාවද ඔහුට නොඅඩුව ලැබි තිබෙනවා.
එසේනම් මෙවර අපි Magazine ජනවාරි කලාපය තුලින් අප කතා බහ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යතුමා ඔබ කවුරුත් ආදරය කරන රංගනවේදි තුමිදු දොඩන්තැන්න මහතා සමගයි.
🔸 තුමිදු දොඩන්තැන්න මේ දවස්වල අපිට දකින්න නැත්තේ ඇයි?
මම දැනට එංගලන්තයේ University Of London හි ආචාර්ය උපාධිය (PHD) වෙනුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. මේ සදහා මම අවුරුදු ගානක් තිස්සේ සැලසුම් කරමින් සුදානම් වුනා. එම කාලය ඇතුලත මම ලංකාවේ හිටියත් ගොඩක් අඩුවෙන් නිර්මාණ සදහා සහභාගි වුනේ.
මම පසුගිය කාලයේ ලක්මාල් ධර්මරත්නගේ ච්ත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කරලා තිබුනත් Covid කාල වකවානුවේදි එම චිත්‍රපටයෙහි සහ තව සම්බන්ධ වෙන්න සැලසුම් කරලා තිබුන නිර්මාණවල වැඩ කටයුතු ප්‍රමාද වුනා. ඒ අතරතුරදි මට අධ්‍යාපන කටයුතු සදහා එංගලන්තයට එන්න සිදුවුනා.
මම කතිකාචාරවරයෙක් වශයෙන් කොලඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයෙහි සේවය කරන අතරතුර නිවාඩු ලබා ගෙනයි එංගලන්තයට පැමිණියේ. මම සැලසුම් කරලා තියෙන්නේ අධ්‍යාපන කටයුතු හොදින් අවසන් කරගෙන සුපුරුදු පුරුදු පරිදි නැවත මගේ රැකියා කටයුතු සමග සම්බන්ධ විම සහ කලා කටයුතුවල නියැලිමටයි.
🔸ඔබගේ පවුලේ තොරතුරු, පාසල් ජිවිතය සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබදව විස්තර ටිකක් කියමුද?
මගේ ගම බලංගොඩ. මගේ අම්මාගේ තාත්තාගේ පාර්ශවයේ සියලුම නැදැයන් ඉන්නේ බලංගොඩ නමුත් මම ඉපදෙන්නේ සහ මගේ ළමා කාලය ගත කරන්නේ අනුරාධපුරයේ. ඒකට හේතුව මගේ අම්මායි, තාත්තායි ගුරුවරුපත්විම් ලැබිලා සේවය කලේ අනුරාධපුරයේ වීම. මම ළමා කාලයේදි අනුරාධපුරයේ St. ජෝසප් විදුහලෙන් අධ්‍යාපන ලැබුවා.
පසු කාලෙක මගේ තාත්තාට ජාතික අධ්‍යාපන ආයතනයේ පත්විමක් ලැබුන නිසා අපි කොළඹ පදිංචියට ආවා. ඉන්පසු මම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ උසස්පෙළ දක්වා ඉගෙනුම ලබා කැලණි විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා. එහිදි මම
නාට්‍යය හා රංග කලාව පිළිබදව special degree සහ Masters, MPhil උපාධි හදාරනවා. ඒ සමගම මට කැලණි විශ්වවිද්‍යායේ තාවකාලික කතිකාචාරවරයෙකු වශයෙන් වැඩ කරන්න අවස්ථාව ලැබුනා. පසුව මම කතිකාචාරවරයෙකු වශයෙන් කොලඹ විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වෙනවා.
මගේ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මයි, අයියයි, නංගියි. මගේ තාත්තා 2012 දි අප අතරින් සමු ගත්තා. අම්මා අපිත් එක්ක ජිවත් වෙනවා. ඔබ කවුරුත් දන්නා කුඹියෝ ටෙලිනාට්‍යය නිෂ්පාදකවරයා මගේ අයියා පදිංචි වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවෙහි. නංගි මේ දවස්වල අයර්ලන්තයේ එයාගේ ආචාර්ය උපාධිය සදහා අධ්‍යාපනය ලබනවා.
🔸ඔබගේ ආදරණීය බිරිඳ අපි කවුරුත් ආදරය කරන ආදරණීය කලණිව හමු වුනේ කොහොමද?
මම රංගනයෙන් දායක වුන නාට්‍යයක් බලන්න කලණි ඇවිත් තිබුනා. නාට්‍යය අවසානයේදි එයා මට සුභ පතන්න කතා කලා. එතනදි දැන ඇදින ගෙන කාලයත් සමග අපේ කතා බහ ආදර සම්බන්ධයක් බවට පත්වුනා.
කලණි චිත්‍ර ශිල්පිනියක්. ඇය උපාධිය හැදැරුවෙත් ඒ සම්බන්ධවමයි. එමෙන්ම ඇය Art therapy කියන විෂයත් ඉගෙන ගත්තා. දැන් ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ දියගම පීඨයෙහි වෘත්තීය උපදේශකවරියක් ලෙස සේවය කරනවා.
අවුරුදු 3ක් විතර කාලයක් ආශ්‍රය කරලා 2014 දි අපි විවාහ වුනා. අපිට දැන් අවුරුදු 4ක විතර පුංචි පුතෙක් ඉන්නවා. මම දැනට එංගලන්තයෙහි ජිවත් වන නිසා මගේ අම්මා, කලණි සහ පුතා ලග නැති අඩුව මට සැහෙන්න දැනෙනවා. ඉදිරි කාලයේදි කලණි සහ අපේ පුතා අපූර්ව එංගලන්තයට ගෙන්න ගන්න මම සැලසුම් කරලා තියනවා.
🔸ඔබගේ නම කියු සැනින් අපට සිහියට නැගෙන ඔබ සම්මානයට පාත්‍රවූ කුඹියෝ ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වුනේ කොහොමද? ඔබට ලැබුනු ප්‍රතිචාර සහ කුඹියෝ 2 එනකම් බලන්න ඉන්න ප්‍රේක්ෂකයන්ට දෙන පණිවිඩය මොකක්ද?
කුඹියෝ ටෙලිනාට්‍යය මගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් වෙනවා මොකද මාව ගොඩක් අය දැන ගත්තේ කුඹියෝ ටෙලිනාට්‍යයෙන් පස්සේ. රංගන ශිල්පියෙකු විදියට ප්‍රේක්ෂකයන් අපිව දැන ගන්න එක ලොකුම ජයග්‍රහණයක් කියලා මම හිතනවා.
කුඹියෝ ටෙලිනාට්‍යය සදහා ලක්මාල් ධර්මරත්න මට කතා කරන කාලයේදි මම පශ්චාත් උපාධිය සදහා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කෙටි කාලයකට ඔස්ට්‍රේලියාවට යන්න සුදානම් වෙමින් හිටියේ. ලක්මාල් කතා කරපු ගමන් මම කිවේ “Sorry ලක්මාල් මට එන්න බැහැ. මම ලොකු වැඩක් එක්ක ඉන්නේ. මට studies එක්ක දෙකක් කරන්න බැහැ. ඒ හින්දා ඔයා වෙන actor කෙනෙක් ගන්න මේ වැඩේට මට රගපාන්න බැහැ” කියලා.
ලක්මාල් කියන්නේ එහෙම වචනෙන් බැහැ කිවාට ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි. ඒක ඇත්තටම මම පස්සේ තමයි දැන ගත්තේ. එතන ලක්මාල් සහ දමිත් චන්ද්‍රසිරි දෙදෙනාම හිටියා. මට කිවා පිටපත කියවලා බලන්න කියලා. ඉතින් මම කිවා “කිසිම හේතුවක් නිසා මට පිටපත එවන්න එපා. මොකද මම දන්නවා ඔයගොල්ලෝ ලියන ඒවා මාර රහයි කියලා. පිටපත කියෙවුවොත් මට ඕක කරන්න ආස හිතෙනවා” කියලා.
දවසක මගේ facebook massenger එකට ලිපි
ගොනු වගයක් එවලා තිබ්බා. මම දැනගෙන හිටියේ නැහැ කවුද එවලා තියෙන්නේ කියලා. මම බැලුවම පිටු 300 ගානක පිටපතක්. මම ඒ වෙලාවෙම පිටපත කියවන්න පටන් ගත්තා. ඇත්තටම නවත්තන්න හිතුනේ නැ. පැය කිපයක් ඇතුලත පිටු 300 ගානම කියවලා ඉවර කලා. එතනදි තමයි ලක්මාල්ගේ ගේම් එකට මම අහු වුනේ. ඉතින් ඒ විදියට තමයි මම කුඹියෝ ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වුනේ.
ඔය අතරතුරේ දි මට අධ්‍යාපන කටයුතු සදහා මාස 6 කට ඔස්ට්‍රේලියාවට යන්න වුනා. ඒ අවස්ථාවෙත් මම ලක්මාල්ට කිවා වෙන රංගන ශිල්පියෙකු හොයා ගන්න කියලා. ඒත් ලක්මාල් මම එනකම් හිටියා. නමුත් මම ආපහු එනකොට නිශ්පාදකවරයා අයින් වෙලා තිබුනා. ඒ නිසා තමයි මම මගේ අයියාට අරාධනා කලේ ටෙලිනාට්‍යයෙහි නිශ්පාදන කටයුතු සමග සම්බන්ධ වෙන්න.
ලක්මාල්, දමිත, කලණ ඇතුලු කුඹියෝ කණ්ඩායම එක්ක වැඩ කරපු වකවානුව හරිම රසවත්, මිත්‍රශිලි, සුන්දර කාලයක්. කුඹියෝ නිසා මට ජනප්‍රියම නළුවා සම්මානය සහ හොදම නළුවා සම්මාන දෙවතාවක් ලැබුනා. කුඹියෝ ටෙලිනාට්‍යය නිසා මට ලැබුන හැමදේටම මම කුඹියෝ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා.
කුඹියෝ 2 එනවා. ඇත්තටම කුඹියෝ 2 ක මීට ගොඩ කාලයකට කලින් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න තිබුනා.
කුඹියෝ 2 හි වැඩ පටන් ගන්න කලින් අපේ කණ්ඩායම සැලසුම් කරලා තිබ්බේ ච්ත්‍රපටයක් කරන්න. එම ච්ත්‍රපටයේ වැඩ COVID වසංගතය නිසා ප්‍රමාද වුනා නමුත් මේ වනවිට ච්ත්‍රපටයෙහි වැඩ අවසන් කරගෙන යනවා. ඊට පස්සේ අපි කුඹියෝ 2 රූපගත කිරිම් පටන් ගන්නවා. ඇත්තටම ලක්මාල් මේ වනවිට පිටපතෙහි සෑහෙන ප්‍රමාණයක් ලියලා තියෙන්නේ. ලක්මාල් හිතන විදිය ගැන මට අදහසක් තියන නිසා මම හිතනවා කුඹියෝ 1 ටෙලිනාට්‍යය වගේම කුඹියෝ 2 ටෙලිනාට්‍යයත් සාර්ථක වෙයි කියලා. එමෙන්ම ප්‍රේක්ෂකයන් ආදරය කරයි කියලා. කුඹියෝ 2 රූපගත කිරිම් සදහා මම ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
🔸 ඔබේ රංගනය ජිවිතයේ ආරම්භය පිළිබදව සහ එතෙක් මෙතෙක් රංගනයෙන් දායක වුන වේදිකා නාට්‍යය, ටෙලිනාට්‍යය සහ චිත්‍රපට පිළිබදව කිවුවොත්..
මට රගපෑම ගැන ආසාවක් ඇතිවුනේ ධර්මපාල විද්‍යාලයට ආවාට පස්සේ. අපේ පාසලේ තිබුනා වාර්ෂික නාට්‍යය තරඟයක්. මම යාළුවන් එක්ක එකතු වෙලා වාර්ෂික නාට්‍යය තරගයට නාට්‍යයක් ඉදිරිපත් කලා. එය එතරම් සාර්ථක වුනේ නැහැ හැබැයි මට ඊට පස්සේ අදහසක් ආවා ඒ පිළිබදව ඉගෙන ගන්න. ඊට පස්සේ මම පාසලේ හැදෙන නාට්‍යයවලට සම්බන්ධ වෙලා රංගන පිළිබදව ටික ටික ඉගෙන ගත්තා.
උසස්පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න කලින් අවුරුදු 2ක විතර කාලයක් මට ගෙදර ඉන්න සිද්ධ වුනා. එම කාලයේදි මම ටවර් හෝල් රඟහල පදනම සමග සම්බන්ධ වෙලා අවුරුද්දක පමණ පාඨමාලාවක් හැදැරුවා. එහිදි ඒ වෙනකොට ලංකාවේ හිටපු මහා නාට්‍යයකරුවන්ගෙන් ගුරුහරුකම් ලබා ගන්න මට අවස්ථාව ලැබුනා.
පිටපත් රචනය, අධක්ෂණය සහ මගේ තාත්තාගේ උදව්වෙන් නිශ්පාදනයද කරමින් මම 1999 දි අරුන්දති නමින් මගේ ප්‍රථම නාට්‍යය නිර්මාණය කලා. අරුන්දති නාට්‍යය සදහා සම්මාන කිපයක්ම ලබා ගන්නටත් මට පුලුවන් වුනා.
හෙන්ඩ්‍රි ජයසේන මහතාගේ හුනු වටයේ කතාව, අපට පුතේ මගක් නැතේ, බන්දුල ජයවර්ධන මහතාගේ බෙර හඩ, ලුෂන් බුලත්සිංහල නාට්‍යයකරුවාගේ තාරාවෝ ඉගිලෙති, රතු හැට්ටකාරි වැනි ඒ වෙනකොටත් ඉතාමත් ජනප්‍රිය නාට්‍යයන්ගේ අලුත් නිෂ්පානයන්වල මට රංගනයෙන් දායක වෙන්න ලැබිම මගේ ජිවිතයේ මට ලැබුන ලොකු අවස්ථාවන් කියලා මම හිතනවා.
ඒ වගේම රාජිත දිසානායක, අතුල පතිරණ, ප්‍රියංකර රත්නායක වැනි නාට්‍යයකරුවන් බොහෝමයක් සමග මට වැඩ කරන්න අවස්ථාව ලැබුනා. වේදිකාවෙන් ලැබුන අත්දැකිම් නම් මට අමතක වෙන්නේ නැහැ.
ප්‍රසන්න ජයකොඩිගේ සංකාර ච්ත්‍රපටයෙන් මට ප්‍රථම වරට රිදි තිරයෙහි රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉන්පසු බුඩි කිර්තිසේනගේ මාතා, අනුර ජයවර්ධනගේ නිකිණි වැස්ස, සුමිත්‍රා පිරිස්ගේ වෛෂ්ණාවී, චන්න දේශප්‍රියගේ U Turn වැනි ච්ත්‍රපට කිපයකම රංගනයෙන් දායක වෙන්න මට හැකියාව ලැබුනා.
ප්‍රේම කුමාර ජයවර්ධනගේ දිය මත රුව, නමවෙනි කඩුල්ල, පිනිබර යාමය වැනි ටෙලිනාට්‍යය කිපයකම රංගනයෙන් දායකත්වය ලබා දෙන්න මට හැකි වුනා.
ඒ අතරතුර තමයි මට කුඹියෝ ටෙලිනාට්‍යය සදහා ආරාධනාව ලැබෙන්නේ. ඒවගේම මමයි කලණියි අපි දෙන්නම නාමල් ජයසිංහගේ සහෝදරයා ටෙලිනාට්‍යයට දායක වුනා. ඊට අමතරව මම කරපු කෙටි චිත්‍රපට කිපයකුත් තියනවා.
🔸 ඔබව පුංචි තිරයේ සහ රිදි තිරයේ ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට ලැබෙන නිර්මාණ මොනවාද?
මම කලින් කියපු විදියට මගේ ආචාර්ය උපාධිය සදහා සුදානම් වුන නිසා සහ දැනට එංගලන්තයෙහි ජිවත් වන නිසා මගේ නිර්මාණ ගොඩක් නම් ඉදිරියේදි දකින්නට නැති වෙයි. මම රංගනයෙන් දායක වෙන ලක්මාල් ධර්මරත්නගේ ච්ත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදි මාව දකින්නට ලැබේවි.
අමා නාකන්දලගේ
මගේ හිතට ආව සිතුවිල්ලක ප්‍රතිපලයක් විදියට තමයි ” අපි magazine ” එලිදැක්වෙන්නෙ .
එහි නමේම තියෙනවා සමුහිකත්වය කියන ආකල්පය. මට හිතුනත් .. මගේ නෙමෙයි, “අපේ” කියන හැගීම. අන්න ඒ “අපි” කියන හදවතට කතා කරන වචනෙත් එක්ක ආරම්භ වුණ අපි සගරාවට අවුරුදු තුනක් දැන්.තෙවැනි අවුරුද්ද සමරන මේ වෙලාවෙ මුලින්ම ආදරයෙන් මතක් කරන්න ඕනෙ චන්දන සහ චමින්ද මගේ සහෝදර මිතුරන් දෙදෙනාව. මගේ සිතුවිල්ලට පනක් දෙන්න ඒ දෙදෙනාගෙන් ලැබුනු නොමසුරු සහය අපරිමිතයි.
එතනින් ගත්ත ආරම්භය මේ වෙනකොට අවුරුදු තුනක දුර ගමනක් අරන් එන්න කොහෙත්ම පුලුවන්කමක් නැතිවෙන්න තිබුනා, මාත් එක්ක දිගටම හෙවනක් වගේ සඟරාව තමන්ගෙම දෙයක් වගේ ආදරයෙන් හොයලා බලලා අඩුපාඩු හදාගෙන, අලුත් අදහස් එක්ක ඉන්න මගේම සහෝදර සහෝදරියන් වගේ ඉන්න අපි ටීම් එක. පුරා අවුරුදු තුනක්ම මා සමඟ හිටිය සහ ඒ වගේම , අලුතින් එකතුවුනු අපි ටීම් එකේ හැමෝවම මේ වෙලාවේදි ආදරෙන් මතක් කරනවා.
මට හැමදාම ඕන වුණේ පිට රට ඉන්න ලංකාවෙ අය එකම තැනකට එකතු කරන්න ක්‍රමයක්. මේ ගෙවුන අවුරුදු තුනේදී අපි ටීම් එකට ඒ දේ හිතුවටත් වඩා සාර්තකත්වයකට යන්න පුලුවන් වුණා කියලා හිතනවා.
රටවල් ගනනාවකින් ලැබෙන ප්‍රතිචාරත් එක්ක හිතට දැනෙන සතුටත් එක්ක මේ වැඩේ අපි ටීම් එකට ලස්සනට කරගෙන යන්න පුලුවන් වෙලා තියෙනවා. තව දෙයක් ගොඩක් ආඩම්බරෙන් කියන්න ඕන. ඒ තමයි මගේ කතෘ මන්ඩලය. අපි සඟරාව වර්ණවත් සහ හරවත් කරන අපි කතෘ මන්ඩලය ඒ ඒ ලියන විෂයන්වල ප්‍රවීනයන් වීම මට තියෙන ලොකුම ආඩම්බරයක්.
ඒ අයගෙ දැනුම අපි අතරෙ කිසිම පැකිලීමකින් තොරව බෙදාගන්න හරිම ආසාවකින් බලගෙන ඉන්නවා .
ඉදිරි වසරෙත් අලුත් ලිපි සහ මාධ්‍ය කරනයේ තවත් එක් සංදිස්ථානයක් සලකුනු කිරීමට බලපොරොත්තුවෙන් සිටිනවා. නව ආරෙකින් ,නවමු අත්දැකීම් එකතුවක් සමඟින් තවත් අවුරුද්දක් අපි සඟරාව ඔබ අතට පත්කරන බලාපොරොත්තුවත් එක්ක, අපි සඟරාව සමග එකතු වෙන්න කියල ආදරයෙන් ආරාධනා කරනවා.
ස්තූතියි !
මම,
ගයාන් කරුණාරත්න.