ජීවිතාවර්ජනය

උණහපුළුවාට උගේ පැටියා මැණිකක් ලු, වියවහරෙ අපිට කියනවා ඇහෙන්නේ එහෙමයි. ඉතින් තමන් දරුවකු පිළිසිඳගත් දා සිට මෙලොව එළිය දකිනතුරු අම්මා තම දරුවව ගොඩක් පරිස්සම් කරනවා. තමන් ආස කරන කෑම බීම පවා වෙනස් කරනවා. අඳින පළඳින විදිහ ටිකය් කාලයකට වෙනස් කරනවා. හිතින් දරුවා කුස දරාගෙන පරිස්සම් කරන අම්මා, නාදුනන ලෝකෙට දරුවා ආවහම   කොච්චර නම් පරිස්සම් කරනවද.. ඒත් විසකුරු දේ වලින් පිරුණු ලෝකය දරුවන්ව ඩැහැ ගන්න විවිධ විදිහට බලාගෙන ඉන්නවා. අම්මා නොදැනුවත්වම සමහර දරුවෝ වැරදි පාරවල් වලට වැටෙනවා. එසේ වැරැද්දට යොමුවන දරුවන් යහළුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, සමාජයෙන් කොපමණ ප්‍රතික්ෂේපයන්ට ලක්වුවත් හැමදාමත් වගේ තනි නොකරන එකම කෙනා අම්මා විතරයි. ඉතින් මත් රකුසාට බිලි වූ තරුණයෙකු එයින් මුදවා ගැනීමට අනික කැපකිරීම් කල  දිරිය මවකගේ කතාවයි මේ. මතට ඇබ්බැහි වූවන්ගේ ආදරණීයයන් කල කැපකිරීම් නොවන්නට තරුණ වටිනා ජීවිත සමාජයට පිළිලයක් වී අකාලේ මිය යන්නට තිබිණි. එහෙත් ඔවුන් නැවත සමාජගත කරන්නට වෙහෙස වූවන්ට වචනයෙන් හෝ වටිනාකමක් එක් කරන්නට ගත් උත්සාහයකි මේ.

අද අපත් සමග එකතු වන මව රීටා නමින් හඳුන්වමු.

1. අම්මා ගැන අපිට පොඩි හැඳින්වීමක් කරන්න.

මගේ නම රීටා. ගම්පළාත ජාඇල. මගේ මහත්තයා 2006 නැති වුණා. පුතා විතරයි මට දැන් ඉන්නෙ.

2. අම්මා ,පුතා ගැන අපිට විස්තර ටිකක් කියන්න

පුතාගේ නම දුමින්ද . වයස අවුරුදු 35 යි. එයා හොඳ රස්සාවක් කළා. තාත්තටයි මටයි හොදට සැලකුවා.  කසාදයක් බැඳපු දවසට මට මෙහෙම උදව් කරන්න බැරි වෙයිනෙ කියලා මට වළලු දෙකකුයි තාත්තා  ට බ්‍රේස්ලට් එකකුයි අරගෙන දුන්නා. හරිම හොඳ දරුවෙක් එයා. වටේ පිටේ අයත් එකත් හරි සමගියෙන් හිටියා.  කොහොම ඇබ්බැහි වුනාද කියලා හිතාගන්න බැහැ. තාත්තා නැතිවුණා  ට පස්සේ තමයි මේ හැම දෙයක්ම උනේ.

3. පුතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්තේ කොහොමද?

කිසිම වෙනසක් ගෙදරදි තිබුණේ නැහැ. උදේට වැඩට ගිහිල්ලා හවසට ගෙදර එනවා.  සල්ලි දින එක ටික ටික අඩු උනා. මම ඒත් ඇහුවහම  යාලුවෙකුට හදිස්සියකට දුන්නා වගේ උත්තර තමයි මට ලැබුනෙ. පස්සේ පස්සේ අහල පහල අය මට කිව්වා පුතා මොනාහරි පාවිච්චි කරනවා හොයලා බලන්න කියලා. ඒත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.  දවසක් වැඩ ඇරිලා එනකොට මෙයා ඇක්සිඩන්ට් වුණා. සති තුනක් විතර ඉස්පිරිතාලෙ ඉන්න වුණා. ඉස්පිරිතාලෙන් මෙඩිකල් දුන්නේ නැහැ. ඒ හින්ද රස්සාවෙන් අස් කරල තිබුණා. ඒත් එයා නිකං නිකන් හිටියේ නැහැ. මේසන් වැඩ කරන්න පටන් ගත්තා. ඒත් කලින් වගේ පුතා අතේ සල්ලි ගැවසුණේ නැහැ.  ඊට පස්සේ නිතර නිතර මගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා. සල්ලි නැහැ කියනකොටත් අනේ අම්මෙ දෙන්නකෝ මට ඉන්න බැහැ කියලා කිය කියා කරදර කරන්න ගත්තා. පස්සේ මං කෙලින්ම ඇහුවා එයාගෙන් පුතේ ඔයා මොන හරි හොඳ නැති දෙයක් පාවිච්චි කරනවද කියලා. එයා ඔව් කියලා පිළිගත්තා. එයා ඒකට ඇබ්බැහි වෙලා තියෙන්නේ වැඩට යන කාලේ. වැඩට යන කාලේ සල්ලි අඩු වෙලා තියෙන්නේ යාළුවන්ටත් එක්ක මෙයා වියදම් කරලා.

4. දුමින්දව පුනරුත්ථාපනයට යොමු කළේ කොහොමද?

පුතා මට ගෙදරදි කිසිම විදියකින් කරදරයක් කළේ නැහැ. ගහලා බැනලා නැහැ. ඒත් ගෙදර බඩු නැතිවෙන්න ගත්තා. මේ දේවල් නෑදෑයන්ට  ආරංචි වෙලා අපිව පවුලෙන් ඈත් කළා. අපේ පවුල්වල කිසිම කෙනෙක් මෙහෙම දේවල් කරලා නෑ කියලා. මම හැමදාම අඬඅඬා දෙවියන්ගෙන් ඉල්ලුවා මගේ දරුවෝ දරුවා  බේරලා දෙන්න . ඔය අතරේ මට කිහිප කිහිපදෙනෙක් කිව්වා පුනරුත්ථාපනය කරන මේ තැන ගැන. මේ කාලේ වෙනකොට පුතාටත් ඕනවෙලා තිබුණා මේ ඇබ්බැහි වීමෙන් මිදෙන්න. ඉතින් එයාගෙ කැමැත්ත ඇතිව මම එයාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කළා. ඒ වෙනකොට එතනට දෙන්න තරම් මුදල් මා ළඟ තිබුණෙ නැහැ. ඒත් මගේ හිතවත් අය මට උදව් කළා.

5. පුනරුත්ථාපනය උන කාල සීමාව ගැන විස්තර ටිකක් කියන්න.

පුතා අවුරුද්දක කාලයක් වන පුනරුත්ථාපනය වුණා. ඒ කාලෙදි එයාව බලන්න නියමිත දවස් වලට මං නොවරදවාම ගියා. එයා දැන් පුනරුත්ථාපනය වෙලා අවුරුදු තුනක් වෙනවා. ඒත් එයාව තාම ගෙදර ගෙනාවේ නැහැ. අපිට ගමට ගිහින් ඉන්න සුදුසු තත්ත්වයක් නැහැ. මිනිස්සු තාමත් කුඩුකාරයා කියලා හංවඩු ගහනවා. ඒ අවට හැමතැනම මත්ද්‍රව්‍ය. ඉතින් බොහොම දුක් විඳලා බේරගත්ත දරුවව ආයෙත් එතෙන්ට ගෙනියන්න මට බයයි. මමත් දැන් අවුරුදු එක හමාරක ඉඳලා පුතා ඉන්න මධ්‍යස්ථානයට ම ඇවිල්ලා ඒ අයට උදවු කරගෙන පුතත් එක්කම ඉන්නවා. පුතා ඒ මධ්‍යස්ථායෙ කාර්ය මන්ඩලේ සේවය කරනවා.

6. කොච්චර කාලයක් ඔතන ඉන්න බලාපොරොත්තු වෙනවාද?

පුතාව  පිළිවෙලක් කරලා වෙන ගම් පළාතක ට යවන්න කන් මේ මධ්‍යස්ථානයට වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉතිං මට සැනසිල්ලෙ තාත්තා ගිය තැනට යන්න පුලුවන්. එළියට යනවට වඩා මෙතන හරිම ආරක්ෂිතයි. අපි දෙන්නම දැන් හරි සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

7. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන අයගේ ආදරණීයයන්ට අම්මට මොනවද කියන්න තියෙන්නේ.

පුතේ, තාත්තත් නැතුව මගේ දරුවාව බේරගන්න මං ගොඩක් දුක්වින්දා. ශාරීරිකව නෙමෙයි මානසිකව. කියන්න කෙනෙක් නැහැ කතා කරන්න කෙනෙක් නැහැ. නෑදෑයො බලන්නෙවත් නැහැ. පුදුම අසරණකමක් දැනුනේ. ඒත් අම්මෙක් විදිහට මට මගේ දරුවා අතාරින්න බැහැනෙ. මගේ අතපසුවීමකින් වෙන්නත් ඇති එයාට එහෙම වෙන්න ඇත්තෙ. තාත්තත් නැතුව ඉන්නකොට එයට තනිකමක් දැනෙන්න ඇති. යාලුවොත් එක්ක එකතු වෙන්න ඇති. එයාලා කරන දේවල් කරන්න ඇති.

මම දෙමව්පියන්ගෙන් විශේෂයෙන් ඉල්ලනවා දරුවන්ට තව තවත් ලං වෙන්න. හැමදේම දෙන ආදරේට වඩා ඒ අය වෙනුවෙන් කාලය වැය කරන්න. දරුවන්ට ඇහුම්කන් දෙන්න. ඔවුන් ආදරයෙන් පිළිගන්න. ඔවුන්ගේ වැරදි වලට සමාව දුන් ව කියන්න. නිතරම තමන් අදහන දෙවියන් බුදුන් ගෙන් ආරක්ෂාව ඉල්ලන.  ඒ පිළිගැනීමත් එක්ක ඒ අයට තමන් ගැන විශ්වාසයක් ඇති වෙයි. ඒ තුළින් ඔවුන්ට නැවත මතට ඇබ්බැහි වීමට හිතක් ඇති නොවෙයි.  එතකොට තමන්ගේ කඳුළු, කැප කිරීම් වලට, වටිනාකමක් එක් කරන්නට දරුවන්ට ආසාවක් ඇතිවෙයි. ඒ වගේම  දෙමාපියන් දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. විනාඩි කිහිපයක් ඇති දරුවෝ විනාස වෙන්න. ඉතින් දෙයක් වෙලා දුක් වෙනවට වඩා ඒ දේවල් නොවෙන්න වග බලාගන්න.

ස්තුතියි

පියුමි සිල්වා

හදිස්සි වෙන්න එපා..

(ආකර්ෂණයයි , ප්‍රේමයයි , විවාහයයි )

උදේට නැගිටිනවා , කනවා , බොනවා , ඔෆිස් යනවා , ජීවිතේ ලොකු වෙනසක් නැතුව හැමදාම පුරුදු විදිහටම ගෙවිලා යනවා නේද ?

කිසිම  වෙනසක් නැහැ, හරිම ඒකාකාරියි  කියල හිතුනට ,

අවුද්දකට දෙකකට කලින් හිටපු ඔයයි අද , මේ මොහොතේ ඉන්න ඔයයි එක සමානමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ,  

දවස සාමාන්‍ය විදිහට ගෙවුනට  පස්ස හැරිලා බලද්දී අපිටත් නොදැනී අපි ගොඩක්  වෙනස් වෙලා , අපේ ජීවිත වෙනස් වෙලා , එදා  කැමති දේවල් වලට අද අකමැති වෙලා , එදා අකමැති දේවල් වලට අද කැමති වෙලා ,සමහර දේවල් ඇයි කලේ කියලා දුක හිතෙනවා වගේම තවත් සමහර දේවල් නොකළේ ඇයි කියලා පසුතැවෙනවා , කවදා කොහොම වෙනස් උනාද කියලා නොදන්නවා උනාට කාලයත් එක්ක අපිටත් නොදැනී  අපි වෙනස් වෙලා ..

 ජීවිතේ හැටි එහෙම තමයි ඒකට ,අත්දැකීම් , පළපුරුද්ද , පරිණතවීම , අවබෝධය , වයස ඔය මොකක් හරි  ඔයා කැමති වචනයක් දාගන්න .

මේ කතාවත් ඒ වගේ ,

යන්තන් අවුරුදු 14 ක් 15ක් වෙලා  ජීවිතේට පය තියනකොට අපිට ඉතින් අමුතු අමුතු හැඟීම් දැනෙන්න ගන්නවා , ජෙල් නාපු කොණ්ඩයක් , ඝනකම් රැවුලක් , ගිටාර් එකක් ගහන  අත්දෙකක් , වල ගැහෙන කම්මුලක් දැක්කත් ඇති කොල්ලෙක්ට හිත යන්න , කොල්ලොත් එහෙමයි , දත් ටිකක් , හිනාවක් , එක බැල්මක් ඇති කෙල්ලෙකුට හිත යන්න , ඉතින් ඒ වෙලේ ඉඳලා තමන් තමයි සත්‍ය ප්‍රේම භුංග රාජයා කියලා හිතලා තමයි අපි හැසිරෙන්නේ , ඔය අතරේ ශාරුක් කාන් ගේ රොමැන්ටික් මූවි එකක් බලපු ගමන් අර CRUSH එක කැලේ , එදා ඉඳන් ඉතින් ශාරුක් කාන් තමයි සිහින කුමාරයා , තව දවසකින් දෙකකින් ගමේ සංගීතේ බලන්න ගිහින් ඒකෙ KEY  BOARD ගහපු කොන්ඩ කුරුල්ලා දැක්ක ගමන් ශාරුක් කානුත් පට ගාල   DIVORCE, ඔහොම කී දෙනෙකුට කියල  crush වෙලා ඇතිද ?  

සමහරු ඕකට  ආදරේ ආදරේ කියලා හිතාගෙන රැවටුනාට ඒ  ආදරේ නෙමෙයි ඒකට කියන්නෙ  ආකර්ෂණය , 

දැනෙන වෙලාවට පපුව සිදුරු කරගෙන ගියාට , ආකර්ෂණය කියන්නේ හරිම තාවකාලික හැඟීමක් විතරයි .ඒක ඕනෑම මොහොතක ඕනෑම කෙනෙක් වෙනුවෙන් ඇති වෙන්න පුළුවන් වගේම ඕනෑම මොහොතක නැති වෙලා ශුන්‍ය වෙලා යන්නත් පුළුවන් , ආකර්ෂණය ආදරය කියලා හිතාගෙන ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග ගිහින් සැනසුන සෙට් එකට වඩා වැනසුණ සෙට් එක තමයි වැඩි .

එතකොට මොකද්ද ඔය ආදරේ කියන්නේ ?? චන්දන ලියනආරච්චිත් ඕක  සෑහෙන්න හොයලා තිබ්බා , අන්තිමට , එනමුදු ප්‍රේමය

කිමැයි කියා හඳුනා ගත් කිසි කෙනෙකු නැති ..කියල හිත හදාගත්තා ..

ආදරේ කියන්නේ ආකර්ෂණයට එහා ගියපු හරි  අමුතු එකක් , ආකර්ෂණය දැනෙන්න මූණ,හිනාව , කතාව වගේ එක එක හේතු තිබ්බට ආදරේ දැනෙන්න එහෙම හේතු නැහැ , දත් නැති , ඇස් පෙන්නේ නැති , කෙනෙක් ගැන  උනත් ආදරේ කියන දේ දැනෙන්නේ පුළුවන්, දැන් කාලේ ඉන්න ගොබිලෝ , මාව බැන්දේ නැත්තම් මරනවා , ගිනි තියනවා , විනාශ කරනවා , කියලා ලතෝනි දුන්නට ආදරේ කියන්නේ තණ්හාවෙන්  බදා ගන්න එකට නම්  නෙමෙයි , අනිත් පාර්ශවය කැමති උනත් , අකමැති උනත් , ලැබුනත් නොලැබුනත් , ඒ කෙනා කෙරෙහි ඇතිවන පහන් හැඟීම , ඒ කෙනාගේ සතුට දිහා බලාගෙන සතුටු වෙන එක තමයි මම දන්න විදිහට  ආදරේ කියන්නේ , 

එතකොට විවාහය , 

එහෙන් මෙහෙන් වයර් ඇදලා අපි  විවාහය කියන එක ප්‍රේමය එක්ක සම්බන්ධ කරන්න හැදුවට , ඒ දෙකේ ඒ හැටි ලොකුම ලොකු  සම්බන්ධයක් නැහැ , ගොඩක් වෙලාවට  විවාහය කියන්නේ ප්‍රේමයේ මළගෙදර , ආදරේ උපරිමයට ගිහින් බැඳලා ,බැන්ද දවසේ ඉඳන් ප්‍රේම කරනවා වෙනුවට ගොඩක් උන් කරන්නේ කා කොටා ගෙන වයිර කරන එක , 

ප්‍රේමය ලොකු කරගෙන කසාද බැන්දට ඇත්තටම කසාද ජීවිතේට ප්‍රේමය විතරක් තිබිලා මදි , අවබෝධය , කැපවීම , ඉවසීම , දරාගැනීම මේ ඔක්කොම ටික  ඕන , ඒ ඔක්කොටම වැඩියෙන් යථා ස්වභාවයට එකඟ වෙන්න පුළුවන් වෙන්න ඕනේ , යාලු වෙලා ඉන්න කාලේ පෙරුම් පුරලා හම්බෙන්න එන කොට තියන හොඳම ඇඳුම ඇඳගෙන ගෙදර තියන ඔක්කොම සුවඳ ගාගෙන රැස් විහිදගෙන හිටියට , එක ගෙදර ජීවත් වෙනකොට දත් නොමැදපු , කොන්ඩේ  ගෙඩියක් බැඳගත්ත , රැවුල කපපු නැති ආදරේ දකිනකොට , අප්පිරියා හිතෙනවනම් , තරහ එනවනම් අපෝ මන් ආදරේ කලේ මූටද කියල හිතෙනවනම් ඒ කියන්නේ එකිනෙකාගේ යථා  ස්වභාවය දරාගන්න බැරි නම් ඒ විවාහය එකෙන්ම ෆේල් , ආදරේ ආදරේ කියලා අනිත් හැමදේම සතේකට වත් ගණන් නොගෙන  බැඳගත්තට මාසෙකින් දෙකකින් කසාදෙ කියන එකේ තියන අර  අමුතු මොරාල් එකේ උපයෝගිතාවය හීන වෙලා , ගෙවල් දොරවල් , කාර් බාර් , සල්ලි , රත්තරන් බඩු ඉස්සරහට එනවා , කොටින්ම කිව්වොත් අපේ දෙමව්පියෝ ගහපු ගේම ටම ම අපිටත් enter වෙන්න  වෙනවා , පාරේ බස් එකේ යන්න පුරුදු නැතිම  කෙනෙක් ආදරේ නිසා ෆුට් බයිසිකලයක් වත් නැති කෙනෙක්ව බැන්දා කියන්නකෝ , ටික දවසකින් එක්කෝ කෙල්ල තීරණය කරනවා බස් එකේ යනවද  නැත්තම් එපා වෙලා කොල්ලව දාලා ආයේ ගෙදර යනවද කියල  , කෙල්ලගේ කොන්ඩෙ දිග හින්දා හම සුදු හින්දා ආදරේ කරලා උයන්න බැරිනම්  බඩගින්නේ ඉමු කියලා බැඳගත්ත්ට දවස් දෙක තුනක් ගියාම කොන්ඩෙ දැක්කා කියලා බඩ පිරෙන්නේ නැහැ කියලා තේරුනාම එක්කෝ ගෑණිට උයන්න ඉගනගන්න කියලා රණ්ඩු වෙනවා  වෙනවා නැත්තම් පිටින් කන්න පුරුදු වෙනවා ,එහෙමත් නැත්තම් බඩගින්න දරාගන්න හුරුවෙන්න වෙනවා , ඉතින් ඔය සාස්තරේ දන්නැති තැන් වල   ආදරේ පැදුරටත් නොකියා හොරෙන්ම යනවා , යනවා කිව්වට හිමින් යනවා නෙමෙයි දුවනවා …

අන්න ඒ නිසා තමයි කියන්නේ විවාහය කියන්නෙ ප්‍රේමය කියන කෑල්ල  විතරක්ම  නෙමෙයි කියලා ,

ආදරේ මේක , ආකර්ෂණය මේක , විවාහය මේක කියල  පොත් ලියලා කිව්වත් කිරි කජු කෙල්ලෝ කොල්ලන්ට ආදරේ , ආකර්ෂණය , විවාහය කියන්නේ එකක් නෙමෙයි තුනක් කියලා තේරෙන්නේ නැහැ , ඕකුන් ඒක තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නැහැ , මොකද අම්මා තාත්තාගෙන් කාලා බීලා ලව් කරන කාලේ වෙන බරපතල වැඩ මුකුත්  නැහැනේ , ඒ නිසා උන් ජීවිතේ කියල හිතන්නෙ  උන්ට දැනෙන දේ විතරයි , හැබැයි වයසින් මුහුකුරා ගිහින් අත්දැකීම් ලබලා ජීවිතේ ටික දුරක් යනකොට , තමන්ම හම්බකරලා ජීවිතේ කියන ගේම් එකට එන්ටර් උනහම තමයි නියම ආදරය ආකර්ෂණය කියන දෙක වෙන් කරලා අඳුරගෙන  විවාහ වෙන්න ඕනේ කොයි වගේ කෙනෙක්වද කියලා හරියටම තේරෙන්න පටන්  ගන්නේ , 

අන්න ඒ නිසා තමයි , විවාහ වෙන්න වයසක් නැහැ කියල කියන්නේ , තමන්ට ජීවිතේ හරියට දැනෙන්නේ 25  දීද 30 දීද 50 දීද එදාට තමයි විවාහ වෙන්න ඕනේ , එතන ආදරේ තිබුනොත් ඒක ගොඩක් ලේසියි වගේම  පහසුයි , හැබැයි ආදරේ තිබිලා අනිත් හැමදේම නැත්තම් ඒක අමාරුයි , ආදරේ නැතුව අනිත් හැමදේම තිබ්බත් ඒත් ඉතින් ලේසි නැහැ ,

ඔන්න ඕක හරියටම තේරුම් බේරුම් ගන්න පුළුවන් වෙන්නේ අඩුම ගානේ ජීවිතේ දශක දෙක හමාරක්වත් ගියාට පස්සේ තමයි , ඒක නිසා තමයි , 18 ට වැඩි අයට කසාද බඳින්න නීතියෙන් අවසර තිබ්බත් ඒ වයසෙන්  කසාද බඳින එක මෝඩකමක් කියලා කියන්නේ ,

මොකද අවුරුදු 18 දී 20දී අතින් අල්ලාගෙන තුරුල් කරගෙන ඉන්න එක තමයි ආදරේ කියලා හිතුවට  ඇත්තම තත්වේ තේරෙන්න තව ටිකක් කල් යනවා , ඒත් ඒ වෙනකොට පොතක අත්සන් කරලා නීතියට කොටු වෙලා ඉවරයි නම් ඉතින් සොරිම තමයි , ඒ කියන්නේ බොහෝ විට  ජීවිතේ පැටලිලා ඉවරයි ..

ආකර්ෂණය කියන්නේ එකක් , ආදරය කියන්නේ වෙන එකක් , විවාහය කියන්නේ වෙනම එකක් , ඔය තුන එකයි කියල ඔයාට හිතුනට , ඔය තුනේ වෙනස හරියට තිතටම තේරෙන්න නම් ඔයා ජීවිතේ දශක දෙකක් වත් ඉවර කරන්නම ඕනේ , ඒ නිසා ඉක්මනට පවුල් වෙලා ජීවිතේ  අවුල් කරගන්න  හදිස්සි වෙන්න එපා , 

බැඳෙන්න කලින් ,  බඳින්න කලින් , තවත් තව තවත් හිතන්න , ඉක්මනට බැඳෙන ඒවා හරිම ඉක්මනට බිඳෙනවා ඒකයි ..

පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා කිව්වට  ජීවිතේ හරිම තැන අහුවෙන්නෙ කොහොමත් ටිකක් පහුවෙලා,එතකන් අහු නොවී ඉන්න එක තමයි වෙන්න ඕනේ ..

Anisha

ජනප්‍රිය ‍රංගන ශිල්පිනියක් වෙනවාට වඩා චරිතාංග රංගන ශිල්පිනියක් කියන ගුණාංග හදා ගන්නට මම කැමතියි.

වැව් බැදි රාජ්‍යයෙන් කලා අඹරට විටින් විට පායන තරු අතරින් ඉතාමත් කැපී පෙනෙන දක්ශතාවයන් බොහෝ ඇති දිදුලන තරුවක් පහුගිය වකවානුවේදි පුංචි තිරයෙන් අපට දකින්නට ලැබුනා.

මෑත කාලයේදි අපේ හිත් සොරකම් කල නිර්භීත ගැහැණිය අග්නි පියාපත් හි සරෝජනි, පාර වසා ඇත ටෙලිනාට්‍යයේ අහිංසකාවිය සදමිණි, වීදුරු මල් හි ආන්දෝලාත්මක නීතිඥවරිය රෝසා සහ මෙම දිනවල විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයයේ කටකාර ඩාලිං අක්කා මෙවැනි එකිනෙකට සම්පුර්ණයෙන් වෙනස් වු චරිත තාත්විකව නිරූපණයෙන් ඇය කැළණිය සරසවියෙන් උගත් රංගනය පිළිබද පරිපුර්ණ අධ්‍යාපනය සහ වේදිකාවෙන් ලබාගත් ප්‍රායෝගික අත්දැකීම් සහ දැනුම මනාවට පෙන්නුම් කරනවා.

මෙම ටෙලිනාට්‍යයන් තුලින් කලාවට ලැබැදි ප්‍රේක්ෂක සිත් ‍රසවින්දනයෙන් ඉතා ඉහල තැනකට ඔසවා තබන්න ඇයට හැකිවු බව අපි කවුරුත් දන්න රහසකි.

ගුණ සපිරි සුන්දර හදවතක් ඇති දැකුම්කලු රුවැත්ති චන්දිමා කරුණාදාසගේ තොරතුරු බිදක් ඔබ සමග බෙදා ගන්නටයි අපගේ සුදානම….

🔸වැව් බැදි රාජ්‍යයේ ගෙවුනු ඔබේ ළමා කාලය පිළිබදව සහ පවුලේ තොරතුරු ටිකක් අපිට කියමුද?

මගේ ගම පූනෑව. මගේ පවුලේ ඉන්නේ තාත්තයි අම්මයි අක්කලා තුන්දෙනායි මමයි. මගේ ළමා කාලය හරිම සුන්දරයි. දැන් නම් ළමයින්ට එහෙම ළමා කාලයක් ලැබෙන්නේ නැති තරම්. මට නිවාඩුවක් ලැබුනාම අපි අම්මලාව බලන්න යනවා. මගේ කාර්යබහුලත්වය නිසා ගමේ යන්න බැරි වුනොත් අපිව බලන්න අම්මලා මෙහෙ ඇවිල්ලා යනවා.

🔸ඔබේ දැනට පදිංචිය කොහෙද? ආදරණීය සැමියා සමග ගෙවන සුන්දර කැදැල්ලේ තතු මොනවාද?

මගේ ස්ථිර පදිංචිය කඩවත. විවාහයෙන් පස්සේ අපි කොළඹ පදිංචියට ආවා. කොළඹ පදිංචිව සිටිම මගේ රාජකාරි කටයුතු සහ කලා ක්ශේත්‍රයේ වැඩ කටයුතු සදහා හරිම පහසුයි.

මගේ සැමියා තරිඳු ගංගානාත් දිසානායක. අපි දෙන්නාම කැලණි විශ්ව විද්‍යාලයේ එකම කණ්ඩායමේ

නාට්‍යය හා රංග කලාව පිළිබදව උපාධිය හැදැරුවා.

අපි විවාහ වුනේ අවුරුදු 7 ක ප්‍රේම සම්බන්ධයකින් පසුවයි. දැනට විවාහ වෙලා අවුරුදු 4 ක් වෙනවා.

මගේ සැමියාගෙන් කලා වැඩ කටයුතුවලට මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒවගේම ඔහු මා ගැන තියන විශ්වාසයත්, අවබෝධයත් නිසා මට නිදහසේ නිරවුල් මනසකින් වැඩ කටයුතු කරගෙන යන්න පුලුවන්. මම අද යම් තැනක ඉන්නවා නම් ඒ ගෞරවය මගේ අම්මාට තාත්තට වගේම මගේ සැමියාටත් ලැබෙන්න ඕනේ.

🔸 තාත්වික රංගනයෙහි ඉතා සාර්ථකව නියැලිමට නාට්‍යය හා රංග කලාව පිළිබදව විශ්වවිද්‍යාල අධ්‍යාපන ඔබට කෙතරම් ඉවහල් වුනාද?

මම උසස්පෙළ විභාගයෙන් පළමු වතාවෙම කැලණිය විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

ඉතින් ඒක මම ගමෙන් නගරයට එන පළවෙනි අවස්ථාව. මගේ විශ්වවිද්‍යාල කාල සිමාව හරිම සුන්දරයි. නාට්‍යය හා රංග කලාව පිළිබදව ශාස්ත්‍රිවේදි උපාධිය හදාරා ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබා ගන්න මට හැකි වුනා. ඒ සුදුසුකමත් සමගම මගේ විශ්වවිද්‍යායේ නාට්‍ය හා රංග කලාව අධ්‍යන අංශයේම තාවකාලික කතිකාචාරවරියක් විදියට වසර තුනක් පමණ කාලයක් මට වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඉන් පසුව මම ශාස්ත්‍රිපති උපාධිය හදාරා අවසන් කලා. මගේ ඊලග උපාධිය පිළිබදව අධ්‍යාපන කටයුතු කලා කටයුතු එක්ක කාල වේලාව හොයා ගන්න අමාරු නිසා ටික කලකට නතර කරලා තියනවා.

නමුත් ඉදිරියේදී එම වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රංගනය සදහා මට මුල්ම අඩිතාලම ලැබෙන්නේ විශ්වවිද්‍යාලයෙන්. මම පාසල් කාලයේදි විෂයක් විදියට නාට්‍යය හා රංග කලාව ඉගෙන තිබුනත් විශ්වවිද්‍යාලයට ඇව්ත් තමයි ප්‍රායෝගිකව වේදිකාවක නිර්මාණයකට දායක වන්න ඉගෙන ගත්තේ. තාත්වික රංගනයේ යෙදෙන්න මට ගොඩක් උපකාරි වුනේ වේදිකාවෙන් මා ලැබු අධ්‍යාපන සහ අත්දැකිම් සමුදායයි. චරිතයක් ගොඩනගන අවස්ථාවේදි මම උගත් දේවල් යම් යම් වශයෙන් භාවිතා කර ගන්නවා. මගේ රංගන ජිවිතයේ යම් සාර්ථකත්වයක් ලබලා තියනවා නම් ඒ සදහා ගෞරවය මට උගන්නපු ගුරුවරු හැමදෙනාටමත්, මගේ විශ්වවිද්‍යාලයටත් හිමි වෙන්න ඕනේ.

🔸ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ අධක්ෂණයෙන් නිර්මාණය වුනු “අග්නි පියාපත්, පාර වසා ඇත සහ පාර දිගේ” ටෙලිනාට්‍යයවලට සම්බන්ධ වන්නට අවස්ථාව ලැබුනේ කොහොමද? ඔහු සමග කටයුතු කිරිමේදී ලැබුනු අත්දැකීම් මොනවාද?

ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතා එක්ක වැඩ කරන්න කලින් මම අධ්‍යක්ෂකවරු කිපදෙනෙක් සමග වැඩ කටයුතු කරලා තිබුනා. මම රංගනයෙන් දායක වුන “අවසන් හුස්ම තෙක්” නාට්‍යයේ සහය අධ්‍යක්ෂණය කල අමිල ප්‍රේමරත්න අයියා තමයි මාව සිවගුරුනාදන් මහතාට හදුන්වලා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් මම අමිල අයියාට ස්තුතිවන්ත වෙනවා.

සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කල “අග්නි පියාපත්, පාර දිගේ, පාර වසා ඇත” නාට්‍යයන්වල මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. තාත්විකව රංගනයෙ යෙදෙන්න තිබුනු චරිතයන් වන අග්නි පියාපත්හි සරෝජනීට, පාර වසා ඇත නාට්‍යයේ සදමිණිට සහ දැනටමත් විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ ඩාලිං අක්කාට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

සිවගුරුනාදන් මහතා රංගන ශිල්පිනියට, ශිල්පියාට චරිතය පිළිබදව අදහස් දිලා ලොකු නිදහසක් දෙනවා චරිතය ගොඩ නගා ගන්න. රංගන ශිල්පිනියගේ හෝ ශිල්පියාගේ අඩුපාඩුවක් තිබුනත් පෞද්ගලික කතා කරලා පැහැදිලි කරලා දෙනවා. අපි චරිතයේ සාර්ථකත්වයක් ලබනවා නම් ඒ ලබාදෙන නිදහස, සහයෝගය සීයට සීයක්ම බලපානවා. ඉතින් ඔහුට ඒ ගෞරවය මම ලබා දෙන්න ඕනේ. ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතා වැනි සොදුරු, නිහතමානී අධ්‍යක්ෂණයවරයෙක් සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබිම මගේ ලොකු වාසනාවක් කියලා මම හිතනවා.

🔸ඔබ මෙතෙක් ඉතා සාර්ථකව රංගන‍යේ යෙදුනු සරෝජනි, සදමිණි සහ ඩාලින් අක්කා චරිත වෙනුවෙන් ඔබට ලැබුනු ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවාද?

සරෝජනි, සදමිණි සහ ඩාලින් අක්කා එකම අධ්‍යක්ෂකවරයෙකු යටතේ ගොඩ නැගුන චරිත තුනක්.

අග්නි පියාපත් ටෙලිනාට්‍යයේ සරෝජනිගේ චරිතය ගොඩ නගන්න මට සම්පුර්ණ නිදහස ලැබුනා. ඉන්පසු මම දායක වු ටෙලිනාට්‍යයේදි සිවගුරුනාදන් මහතා මට දෙන පළවෙනි උපදෙස තමයි “අග්නි පියාපත්හි සරොජිනිගේ කිසිම ගති ලක්ෂණක් පාර වසා ඇත නාට්‍යයේ සදමිණිට එන්න බැ” කියලා. ඉතින් මම එය හොදට මතකයේ තියා ගත්තා.

ඩාලිං අක්කගේ සහ සදමිණිගේ චරිතවල ස්වරුපය තේරුම් ගෙන අංග චලනයන්, දෙබස් කියන විදිය, හඩෙහි උස් පහත් කම්, එම චරිතවලට අනන්‍ය වු ගති ලක්ෂණ තේරුම ගෙන එකිනෙකට වෙනස් අයුරින් නිරුපණය කරන්න මම ගොඩක් මහන්සි වුනා. ඒ සදහා මට ලොකු සහයෝගයක් සිවගුරුනාදන් මහතා ලබා දුන්නා.

සරෝජනිටත්, සදමිණිටත් සහ ඩාලින් අක්කාටත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා. මෙම චරිත අතුරින් ඩාලින් අක්කාගේ චරිතයට මට වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා. සැමියාටත් ආදිපත්‍යය පෙන්නන කටකාර චරිතයක් නේ ඩාලිං අක්කා කියන්නේ. ඉතින් මම ඇත්තටම හිතුවේ නැ එම චරිතයට ප්‍රේක්ෂකයන් මෙච්චර ආදරේ කරයි කියලා. ඩාලිං අක්කාගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබදව මම හරිම නිහතමානිව සතුටු වෙනවා.

🔸ස්වාධීන රූපවාහිනි නාලිකාවෙහි විකාශනය වුන “වීදුරු මල්” ටෙලි නාට්‍යය සදහා ආරාධනා ලැබුනේ කොහොමද? ඔබේ චරිතය පිළිබදව ටිකක් කිවුවොත්…

වීදුරු මල් ටෙලිනාට්‍යයේ මම නිරුපණය කරන්නේ රෝසා කියන චරිතය. ඒ සදහා මට ආරාධනාව කරන්නේ විදුරු මල් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකතුමා වන චාමර ජනරාජ් පීරිස් මහතා. චාමර අයියාත් රංගන ශිල්ප, ශිල්පිනියන්ට නිදහසේ චරිතය ගොඩ නගන්න ලොකු අවස්ථාවක් ලබා දෙනවා.

වීදුරු මල් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකතුමා චාමර අයියාටත්, රෝසාගේ චරිතය සදහා මාව යෝජනා කිරිම සම්බන්ධයෙන් ධනංජය සිරිවර්ධන අයියාටත්, නාට්‍යයේ මට සහයෝගයක් ලබා දුන් සියලුම දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා.

රෝසාගේ චරිතය සදහාද මට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා. ඩාලිං අක්කාගේ චරිතයට වෙනස් වන අයුරින් රෝසාගේ චරිතය පෝෂණය කරන්න මට හැකි වුනා කියලා මම හිතනවා.

🔸 චරිතාංග රංගනයේ යෙදීමේදි ඔබට ලැබුනු අමතක නොවන අත්දැකීම් මොනවාද?

රංගන ශිල්පිනියෙක් විදියට මම පෞද්ගලිකව කැමතියි ජනප්‍රිය ‍රංගන ශිල්පිනියක් වෙනවාට වඩා චරිතාංග රංගන ශිල්පිනියක් කියන ගුණාංග හදා ගන්නට විවිධ ස්වරූපයේ චරිත ලැබෙනවාට.

දැනට විකාශනය වන ඩාලිං අක්කගේ චරිතය නිරුපණයේදි ගොඩ දෙනෙක් මගෙන් අහනවා ඔයා ඇත්තටම අගුලානෙද කියලා. ඒකට හේතුව මම නිරූපණය කරන චරිතයෙහි හැසිරිම, කතා විලාසය අගුලානේ කෙනෙක් වගෙයි කියලා. ඩාලිං අක්කගේ චරිතයෙහි ගොඩක් වෙලාවට කෑගහලා රංඩු කරන අවස්ථාවන් තියනවා. එවැනි රූපගත කිරිම්වල යෙදෙන විට අවට කට්ටිය බලන් ඉදිද්දි සමහර වෙලාවට මට ලැජ්ජා හිතිලා තියනවා. ගොඩ දෙනෙක් මගෙන් අහනවා ඔයා ඇත්තටම ඩාලිං අක්කා වගේද කියලා. ඩාලිං අක්කගේ තියන කිසිම ගති ලක්ෂණයක් මගේ පෞද්ගලික ජිවිතේ නැහැ. ඩාලිං අක්කා කියන්නේ මම රංගනයෙන් දායක වන තවත් එක් චරිතයක් විතරයි.

තවත් අමතක නොවන සිදුවිමක් වුනා අම්බලන්ගොඩ ප්‍රදේශයේදි “අවසන් හුස්ම තෙක්” ටෙලිනාට්‍යය රූපගත කිරිමට සහභාගි වුන අවස්ථාවකදි. එක දවසක් රූපගත කිරිම් ටිකක් කලින් ඉවර වුන නිසා කට්ටියම කතා වෙලා මුහුදේ නාන්න ගියා. මට හොදට පීනන්න පුලුවන් ඒත එක තැනකදි මාව පාවෙලා යනවා වගේ දැනිලා එක පාරම කකුල තිබ්බා. කකුල තියලා තියෙන්නේ ඉකිරියො කියන සත්තු ගොඩක් ඉන්න තැනකට. කකුලේ ඉකිරියොන්ගේ කට්ටක් ඇනිලා තිබ්බා. ඉතින් ඇනිලා තිබුන කට්ට රෝහලකට ගිහින් තමයි අයින් කරන්න වුනේ. එදා නම් මම හොදටම බය වුනා. ඒක නම් මගේ ජිවිතයට අමතක වෙන් නැ. කකුලේ තුවාලෙත් තියාගෙනම ඊලග දවසේ රූපගත කිරිමට සහභාගි වෙලා නර්තනයක යෙදෙන්නත් වුනා.

🔸ඔබ පැමිණි සාර්ථක ගමන දෙස බලලා මෙහෙම අහන්න හිතුනා. චන්දිමා ආනගතයේදි වෘත්තීමය රංගන ශිල්පිනීයක්විමට බලාපොරොත්තුවක් තියෙනවාද?

දැනට නම් මම වෘත්තීමය රංගන ශිල්පිනීයක් නෙවෙයි. මම රජයේ ආයතනයක රැකියාවක් කරනවා. මම රැකියාව කරන ගමන් තමයි කලා ක්ශේත්‍රයේ කටයුතු සමග සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්නේ. මගේ කාර්යබහුලත්වය නිසා මට සමහර තැන්වලදි හිතිලා තියනවා වෘත්තීමය රංගන ශිල්පිනියෙක් වුනොත් හොදයි කියලා. නමුත් වර්තමානය වනවිට අපේ රටේ තත්වය එක්ක මට එම තිරණයට එන්න අපහසු වෙලා තියනවා. ආනාගතේදි අපේ රටේ ගැටලු යම් තරමකට හෝ යථා තත්වයට පත්වෙලා මෙම ආර්ථික ගැටලුකාරි ස්වභාවය නිරාකරණය වුනොත් යම් දවසක මමත් වෘත්තීමය රංගන ශිල්පිනියක් වේවි. මෙම තත්වය නිසා අපේ රටේ ගොඩක් දුක් විදින මිනිස්සු ඉන්නවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් කාලයක් ඉක්මනින්ම උදා වෙන්න කියලා.

🔸ඔබ ඉතාමත් දකින්නට ප්‍රිය උපදවන යුවතියක්? ඔබ රූපලාවණ්‍යය සහ ශරීරය යෝග්‍යතා ගැන සැලකිලිමත් වෙනවාද?

මම හරිම කැමතියි ලස්සනට ඉන්න. මට ව්‍යායාම කරන්න යන්න නම් වෙලාවක් ලැබෙන්නේ නැ. අපේ ගෙදර ඉදලා ප්‍රධාන පාරට පොඩි දුරක් යන්න තියනවා. ඉතින් මම උදේට රැකියාවට යනකොට ඒ පොඩිදුර පයින් යනවා.

මම වතුර ගොඩක් බොනවා. පලතුරු කනවා. රෑ කෑම අඩුවෙන් ගන්නේ. තෙල් සහිත ආහාර සහ එලියෙන් කෑම අර ගන්න එක මම නතර කරලා තියෙන්නේ. ඇගෙහි හැඩය වෙනස් නොවි තියා ගන්න කෑම බීම ගැනිමේදි මම ගොඩක් පරිස්සම් වෙනවා. ඒවගේම මගේ ඇගට ගැලපෙන ඇදුම් විලාසිතා කරන්න මම කැමතියි.

🔸වේදිකාව සහ ටෙලිනාට්‍යය ඉතා සාර්ථකව ස්පර්ශ කල ඔබගේ රංගනයන් අපිට රිදි තිරයෙන් දකින්නට අවස්ථාවක් ලැබෙයිද? ඔබට ඉදිරියේදී දැක ගන්න ලැබෙන නිර්මාණ මොනවාද?

මම වේදිකාවේ පය තියලා ඒ ලැබුනු පන්නරයත් එක්ක තමයි අනෙක් මාධ්‍යයන් සදහා පිවිසෙන්නේ. වේදිකා නාට්‍යයන් කිපයක් සදහා මට ආරාධනා ලැබුනා. මෙම දිනවල මගේ කාල වේලාව වෙන් කර ගැනිමේ අපහසුතාය නිසා නිර්මාණයක් සදහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනේ නැහැ. නමුත් මම හැදුනු තැන වේදිකාව මම කවදාවත් වේදිකාවෙන් අයින් වෙන් නැහැ.

මම Newspaper චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. තවත් ච්ත්‍රපට කිපයක් සදහා ආරාධනා ලැබුනත් කාල වේලාවෙ ගැටලු නිසා නිර්මාණය කිපයක්ම භාර ගන්න නොහැකි වුනා.

මෙම දිනවල ටෙලි නිර්මාණ සමග තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉදිරියේදී වේදිකාව, ටෙලිනාට්‍යය සහ චිත්‍රපටවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. එම අවස්ථාවන් සදහා උපරිමයෙන් සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.

අවසාන වශයෙන් මෙම තැනට එන්න මට උදව් කරපු හැමෝටම ස්තුතියි කියන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

අමා නාකන්දලගේ

බ්‍රිතාන්‍යයේ කුලී ගෙවල් ගැටළුව

බ්‍රිතාන්‍යයට එහෙම නැත්තම් එංගලන්තයට මෑතකදී සංක්‍රමණය උනු ශ්‍රි ලාංකිකයන් ඇතුළු විශාල පිරිසකට මෑත කාලයේදී මුහුණ දෙන්න වෙන ලොකු ගැටළුවක් තමයි කුලී නිවසක් එහෙම නැත්තම් කාමරයක්, ඇනෙක්සියක් හොයා ගන්න බැරුව සිදුවන අපහසුතාවය. එක පැත්තකින් මේ වෙනකොට එංගලන්තයේ විශාල කුලි නිවාස හිඟයක් තියනවා. ඒ වගේම අනික් පැත්තෙන් නිවාස කුලියත් ඉතා ඉහළ අගයකින් වැඩි වෙමින් යනවා.

මේ ගැන මම විස්තර ටිකක් ලියන්න හිතුවේ මේ කාලේ ලංකාවෙනුත් ලොකු පිරිසක් එක්සත් රාජධානියට එනවා. ඒ වගේම ඒ අයත් මේ කුලී නිවාස ගැටළුවට ඉතා බරපතල විදියට මූණ දෙනවා. බ්‍රිතාන්‍යය මාධ්‍ය දා බ්‍රිතාන්‍යය රජය මේ කුලී නිවාස ගැටළුව ගැන මොනවද කියලා තියෙන්නේ කියලා හොයද්දි දැන ගත්ත ප්‍රධාන කාරණා දෙකක් තමයි එක පැත්තකින් ඉතා වේගයෙන් කුලී නිවාස සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා වගේම අනික් පැත්තෙන් කුලියට දීම සඳහා තියන නිවාසත් අඩු වෙමින් යනවා.

කුලියට දීම සඳහා වන නිවාස අඩුවීමට ලොකුම හේතුවක් තමයි එංගලන්තයේ මේ වන විට තියන ආර්ථික අර්බුදය. ඒ එක්කම රටේ පොලී මට්ටම් ඉතා වේගයෙන් ඉහළ යන නිසා නිවාස ණය (Mortgage) පොලියත් දරා ගන්න බැරි විදියට ඉහළ යනවා. ඒ නිසා කුලියට දීම සඳහාම නිවාස මිලදී ගන්නන් එහෙම නැත්තම් ආයෝජකයන් නිවාස වල ආයෝජනය කරන්න මැලිකමක් දක්වනවා. ඔවුන්ට නිවාස ම්ලදී ගෙන කුලියට දීමෙන් ලාබ ලබන්න බැරි තැනට ආවම ඔවුන් ඒ මත සිදුකර ආයෝජන නතර වීමෙන් කුලියට දීම සඳහා වන නිවාස හිඟයක් ඇති වෙලා තියනවා.

අනික් පැත්තෙන් කොහොමත් ඉල්ලුම වැඩිවෙනකොට මිළ ඉහළ යනවා. කුලී නිවාස මිළ ඉහළ යන්න ඒකත් හේතුවක්. ඒ වගේම අධිකව ලෙස ඉහළ ගිය විදුලිය හා ගෑස් බිල් නිසාත් කුලී නිවාස හිමියන් නිවාස කුලී කිහිප වරක්ම ඉහළ දමන්න තීරණය කරා. කොහොම උනත් රජයේ අවධානය මේ වෙත යොමු උන නිසා අළුත් චාන්සලර්වරයා තමන්ගේ කුඩා අයවැය මගින් වසරකට නිවාස කුලී ඉහළ දැමිය හැකි සීමාව 7% දක්වා සීමා කලා.

ඒ අතර ලන්ඩන් නගරාධිපතිවරයාගේ අවධානයත් මේ නිවාස කුලී ඉහළ යාම කෙරෙහි යොමුවෙලා තියනවා . ඔහු කියන්නේ වසර දෙකක් තුල ලන්ඩන් නගරයේ සාමාන්‍ය මාසික නිවාස කුලිය පවුම් 200කින් පමණ ඉහළ ගිහින් තියනවා කියලා. ඔහු ඒ සඳහා ඉහළම මිළ සීමාවක් පනවන්න අදහස් කරගෙන සිටිනවා කියලා කියන අතරෙම ඒ සඳහා බ්‍රිතාන්‍යය රජයේ අවසරයත් බලාපොරොත්තු වෙනවා.

කුලී නිවාස හිඟය සඳහා බලපාපු අනික් ප්‍රධාන හේතුව තමයි ඉල්ලුම ඉහළ යාම.බ්‍රිතාන්‍යය ඉතිහාසයේ වසරක් තුල සිදුවූ වැඩිම ශුද්ධ සංක්‍රමණ වාරතා වෙන්නේ පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල. එය සංඛ්‍යාත්මකව 504,000. ඒ කියන්නේ අළුතින් බ්‍රිතාන්‍යයට මිනිස්සු ලක්ෂ 5කටත් වඩා වසරක් තුල ඇවිල්ලා තියනවා. ඒ අතරේ පකිස්තාන යුක්රේන සරණාගතයන් වගේම ශිෂ්‍යන් විදියට මේ රටට ආපු විශාල පිරිසකුත් ඉන්නවා. 

එම වසර තුල Student වීසා මත ආපු ප්‍රමාණය 277,000. මේ හැමෝම කුලී ගෙවල් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශීය ශිෂ්‍යන් අතර ජනප්‍රිය විශ්ව විද්‍යාල කිහිපයක් අවට තමයි මේ තදබදය වැඩියෙන්ම ඇති වෙන්න. ඉල්ලුම වැඩිවීමත් සැපයුම අඩුවීමත් එකම කාලයකදී සිද්ධ වීම නිසා කුලී නිවාස ගැටළුව නිවාස අර්බුදයක් බවට පත්වෙලා තියනවා. මේකට විසඳුමක් ලෙස වසරකට නව නිවාස ලක්ෂ 3ක් ඉදිකරන්න බ්‍රිතාන්‍යය රජයේ එලක්කයක් තිබුනත් ඒ ඉලක්කයත් මෙ දක්වා සාර්ථක කරගන්න රජය අසමත්.

Thilan jayasekara

සාලිස් වසරක සාඩම්බර අභිමානයයෙන්

මහා බ්‍රිතාන්‍ය සිසාරා නොයෙක් පෙදෙස් වල විසූ ආදි ආනන්දීයන් එක රොදකට එක් කරමින්  1982 වස⁣රේදී ලන්ඩන් නුවරදී “එක්සත් රාජධානියේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමය”පිහිටුවා ගන්නා ලදි. තමන් ශිල්පීය ඥානය ලද අනඳ මැණියන් ඉහලින් ඔසවා තබමින් අවශ්‍ය මොහොතක ඇයට සවියක් වන්නට මෙන්ම තමන් අනඳ බිමෙන් ලත් දෙයට වැඩි යමක් අනඳ බිමට පාතබන අළුත් පරම්පරාව වෙනුවෙන් ලබා දීම මුලික අරමුණ කරගෙන මෙම සංවිධානය පිහිටුවා ගන්නා ලදී. එසේම එක්සත් රාජධානිය තුල වෙසෙන ආදි ආනන්දීයන්ගේ සහෝදරත්වයේ බැදීම වැඩි කිරීම මෙන්ම ඔවුන්ගේ ශුභ සාධනයද අපට අනන්‍යවු අපේ දේ මහා බ්‍රිතාන්‍ය තුල රැකගැනීමද

මෙහි තවත් අරමුණක් විය.

කේ.ජි.ආර්.ඩබ්ලියු ධර්මවර්ධන සහ වෛද්‍ය ජීවා සිරිවර්ධන දෙපල මුලාරම්භක සභාපතිවරැන් වු මෙම සංගමය අද වන විට සභාපතිවරැන් තිස්තුන්දෙදෙනෙකු යටතේ කල කාර්යයන් බොහෝය.මෙහි වත්මන් සභාපතිවරයා වන්නේ දිමුත් ජයවීර මහතායි. එදා මෙදාතුර ආනන්දය වෙනුවෙන් මෙන්ම මව්බිමට උදව් අවැසි හැම මොහොතකම ඒ වෙනුවෙන්ද එක්සත් රාජධානියේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමය පෙරට පැමිණ තිබේ. එසේම මහා බ්‍රිතාන්‍යය තුල ආගමික සංස්කෘතික හා සාමාජීය වශයෙන් අපගේ අනන්‍යතාව පෙරට ගෙන එමින් පවත්වන්නට යෙදුණු නොයෙක් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව ආදරයට පත්ව තිබේ.

1988 වසර ආදි ආනන්දීයන්ට සුවිශේෂ වසරක් විය. වෛද්‍ය නාරද විජේතිලකයන්ගේ මුලිකත්වයෙන් පටන් ගන්නා ලද සිංහල අවුරුදු උත්සවය ඉන් පලමුවැන්නයි. එය එක්සත් රාජධානිය තුල එදා මෙදා තුර නොකඩවා පැවත්වෙන පැරණිතම අවුරුදු උත්සවය ලෙස සැලකේ.ආනන්දීයන්ටම සීමා නොවී බ්‍රිතාන්‍යයේ තුල වෙසෙන සියලු ලාංකිකයන්ටම තම පැරනි මතකයන් අවධි කිරීමට එය ඉටු කර ඇත්තේ ඉතා මහගු කාර්යයකි. විටෙක සහෝදර පාසල්ද සම්බන්ධ කරගනිමින් ඔවුන්ටද මග පෙන්වීමට සමත්වීම අගය කල යුත්තකි.

දෙවැන්න වන්නේ ජි.සි.පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් සහෝදර රාජකීය , ශාන්ත තෝමස්,ශාන්ත පීතර , ශාන්ත අන්තෝනි ,ත්‍රිත්ව ආදි ශිෂ්‍ය සංගම් එකතු කරගනිමින් පිහිටුවා ගන්නා ලද ක්‍රිකට් සැණකෙළියයි.Festival Of Cricket (FOC) අදටද ශ්‍රී ලාංකිකයන් වැඩිම ප්‍රමාණයක් එකට එක්රොක් වන උත්සවය බවට පත්ව තිබේ. අද වනවිට මෙම මහා පාසල් ක්‍රිකට් ක්‍රිඩා සැණකෙළියට පාසල් ආදි ශිෂ්‍ය සංගම් 33ක් පමණ එකතුවී සිටින අතර මෑතක සිට කාන්තා පාසල් සදහාද  ක්‍රිකටි තරගාවලියක්ද පවත්වන්නට කටයුතු යොදා තිබේ.සැණෙකලියෙන් ලැබෙන ආදායම පාසල් ආදි ශිෂ්‍ය සංගම් අතරේ මෙන්ම මහරගම පිලිකා රෝහල වැනි පුණ්‍ය ආයතන වෙතද ලබා දෙමින් තිබේ.

එසේම ආදී ආනන්දීය ශිෂ්‍ය සංගමය එංගලන්තයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ කළා රසාස්වාදනය සදහා ලාංකික කළාකරැවන් සංගීතවේදීන් මහා බ්‍රිතාන්‍යයට ගෙන්වා ප්‍රමිතියකින් යුක්තව ඒවා සංවිධානය කිරීම පසුගිය කාලය පුරාවට සිදුකොට තිබේ.

එක්සත් රාජධානීය ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමයේ වසරේ දින පොතේ ප්‍රධානතම අංගය වන්නේ ඕල්කට්තුමා ප්‍රධාන ආදී කතෘවරුන් සිහිකිරීම උදෙසා සිදුකරනු ලබන දානමය පිංකමයි. එය සෑම වසරේම ලංඩන් බෞද්ධ විහාරස්ථානයේදි නාහිමියන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදය සමගින් සිදුකරනු ලබයි. එසේම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව රන් ආලේපනය කිරීමේ අරමුදලට මෙන්ම මෑතකදී සම්පුර්ණ කල විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ අරමුදල වෙනුවෙන්ද ආනන්දීයන් සැලකියයුතු ආධාරයන් ලබාදී තිබේ.

මෙම සංගමයේ දායකත්ව දශක හතරකට ආසන්න කාලායක් පුරාවට පාසල් මෑණියන්ට පමණක් නොව ශ්‍රී ලංකා මැණියන් වෙතද අවැසි මොහොතේදී  ලබා දී තිබේ. යුද්ධය පැවැති කාලයේදී ආභාධිත රණවිරුවන් වෙනුවෙන් ඇරබී “අප වෙනුවෙන් අප” අරමුදල වෙනුවෙන්ද සුනාමි ව්‍යසනයේදී මෙන්ම  කොවිඩ් 19 ජනාධිපති අරමුදල වෙනුවෙන් විශාල මුදල් ආධාරයන් ලබාදී තිබේ. එසේම  හෝමාගම කොවිඩ් රෝහල වෙනුවෙන් විශාල පිරිවැයක් දරා එයට අවශ්‍ය  Mindray uMEC 10 HDU monitors යන්ත්‍ර  3ක් ලබාදීමටද කරාපිටිය රෝහල සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය බෙහෙත් ලබාදීමටද කටයුතු කරනලදී.

මේ සෑම කටයුත්තකදීම ආදි ශිෂ්‍ය සංගමයත් ආදි ආනන්දීයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් මෙන්ම හිතවතුන්ගෙන්ද විශාල සහයෝගයක් ලැබී තිබේ. ආනන්දය යනු තවත් එක පාසලක් පමණක් නොවනවා සේම එක්සත් රාජධානියේ ආනන්ද ආදි ශිෂ්‍ය සංගමයද තවද එක් සංගමයක් පමණක් නොවන බව පෙනීයයි. උගත් පාසලට පමණක් නොව උපන් දේශයටද ණයනැති තම පාසලේ  මෙන්ම තම රටේ උන්නතිය සදහාද දශක හතරක්  තිස්සේ ඉතා සක්‍රීයව පවතින සංගමයකි මෙය. මෙම සියලු සත්ක්‍රියාවන් ආනන්දයටත්, රටදැයටත් තව චිරාත් කාලයක් කිරීමට හැකිවේවා යනු සැමගේ පැතුමයි.

කලා ලොවෙහි තරු වතගොත Digital media වෙහි අකුරු කරන අමා නාකන්දලගේ

🔸අපි මුලින්ම දැන ගන්න කැමති අමාගේ පවුලේ විස්තර ටිකක්…

මම ඉපදුනේ මහනුවර. මගේ පවුලේ ඉන්නේ අම්මියි, තාත්තියි, නංගි. දැනට අවුරුදු 3 කට විතර කලින් මගේ තාත්ති අපි අතරින් සමු ගත්තා. මගේ නංගි අම්මිව බලාගෙන අපේ නුවර මහගෙදර ජිවත් වෙනවා.

ඒවගේම අපේ පවුලට මෑතකදි එකතු වුනු මගේ සැමියාගේ පවුලේ අම්මා, තාත්තා ඇතුළු සියලු දෙනාමත් ආදරයෙන් මතක් කරනවා.

මහනුවර කියන්නේ ලංකාවේ තියෙන අලංකාර පුජනීය නගරයක්. ඉතින් මගේ පවුලේ අයත් එක්ක ගෙවුනු කාලයෙහි ඉතාම සුන්දර මතකයන් ගොඩක් තියනවා. විවාහ වෙලා ගෙදරින් ගොඩක් ඈතක ජිවත් වෙන්න වුනත් දිනපතා ගෙදරට කතා කරන්න, සැප දුක අහලා බලන්න මම අමතක කරන්නේ නැහැ.

🔸අමාගේ ආදරණීය සැමියා ගැන අපිට කියන්න කැමතියිද?

මගේ සැමියා ජනක නාකන්දලගේ, Gloucester Royal Hospital හි සේවය කරනවා.

අපි හමුවුනේ විවාහ යෝජනාවකින්. අදුන ගෙන කෙටි කාලයකින් අපි විවාහ වුනා. විවාහයෙන් පස්සේ මම එංගලන්තයට පදිංචියට ආවා.

අපි මුලින්ම හමුවුන දවසේ ඉදලා අද දවස දක්වා එකිනෙකා කෙරෙහි තිබෙන “ආදරය, විශ්වාසය, ගෞරවය” අපේ බැදිම ශක්තිමත් කලා කියලා මම හිතනවා.

මම හැදී වැඩුනේ බුදු දහමට ඉතාමත් කිට්ටු පරිසරයක. මගේ සැමියත් බුද්ධ දර්ශනය හොදින් අදහන කෙනෙක්, ඉතින් මම විවාහ වුනා කියලා මගේ පුරුදු පවත්වාගෙන යන්න අපහසු වුනේ නැහැ.

මගේ සැමියා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ආදර්ශමත් ස්වාම්පුරුෂයෙක්. ඔහු වැනි කෙනෙක් ලැබිමට මම වාසනාවන්ත බිරිඳක් වුනා කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඒවගේම එයා මගේ අම්මිට තාත්තිට හොද පුතෙක්, මගේ නංගීට හොද සහෝදරයෙක් වුනා.

🔸ඔබට ලියන්න හිතුනේ කොයි කාලයේද?

මම පොඩිකාලේ ඉදලාම ලියන්න, පොත්පත් කියවන්න හරිම කැමතියි. මගේ අම්මි ගොඩක් කියවන්න කැමති කෙනෙක්. පොඩිකාලේ ඉදලාම කියවන්න හොදයි කියලා හිතන පොත්, පත්තර අම්මි මට තෝරලා දුන්නා. පොත් කියවන අතරතුරේ නිසදැස්, විශේෂ සිදුවිම ගැන මම ලියන්නත් පුරුදු වුනා. කියවිම තුලින් ලිවිමට ආසාවක් ඇති වුනා කියලා මම හිතනවා.

විවාහයෙන් පස්සේ මෙහෙ සිංහලෙන් ලියවුනු පොත්, පත්තර කියවන්න හොයා ගැනිමේ අපහසුතාය නිසා එම අවස්ථාව නම් ටිකක් ගිලිහි ගියා.

පහුගිය කාලයේ නවලිය සහ තරුණී

කාන්තා පුවත්පත් සදහා අත්කම් නිර්මාණය පිළිබදව ලිපි කිපයක්ම මට ලියන්න අවස්ථාව ලැබුනා. මගේ වැඩිම ලිපි ප්‍රමාණයක් පළවුනේ නවලිය පුවත්පතෙහි. එම අවස්ථාවන් මට ලබා දිම පිළිබදව නවලිය පුවත්පතෙහි ප්‍රධාන කතෘතුමිය හරින්දි ලියනගේ මහත්මියට සහ තරුණී පුවත්පතෙහි ප්‍රධාන කතෘතුමා ඉදුනිල් වීරරත්න මහතාට ස්තුතිවන්ත වෙනවා.

ඒ අතරතුරේ දි එංගලන්තයේ පළවන “අපි Magazine” හි ප්‍රධාන කතෘතුමා ගයාන් කරුණාරත්න මහතා හරහා මට එම සගරාව සමග සම්බන්ධ වි වැඩ කරන්න අවස්ථාව ලැබුනා. මාව සම්බන්ධ කර ගැනිම පිළිබදව මේ මොහොතේ දි ඔහුටත් ස්තුතිවන්ත වෙනවා.

ඒවගේම මම ආසාවෙන් ලියන දේවල් කියවන්න Ama Nakandalage facebook පිටුව සමග සම්බන්ධ වෙන්න ඔබටත් ආදරයෙන් ආරාධනා කරනවා.

🔸අපි Magazine හරහා මොනවද ඔබ පාඨකයන්ට ලබා දෙන්නේ?

ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ, විවිධ හැකියාවන්ගෙන් පරිපුර්ණ චරිතවල වතගොත පිළිබදව මම අපි Magazine හරහා පාඨකයන් හට ලබා දෙනවා. මම zoom තාක්ෂණය හරහා ඔවුන් සමග සම්බන්ධ වෙලා තොරතුරු වාර්තා කර ගන්නවා. කලාවෙහි ප්‍රවීන ප්‍රසිද්ධ චරිත සමග කතා කරන්න, දැන අදුන ගන්න ලැබිම සතුටක්. ඉතින් මම හරිම අසාවෙන් ඒ කටයුත්ත කරගෙන යනවා.

ලිපිය සම්පුර්ණ කලාට පස්සේ තොරතුරු වල නිවැරදිභාවය පරික්ෂා කරන්න මම අදාල කලාකරුවාට ලබා දෙනවා. ලිපිය නිවැරදි සහ පළ කිරිමට සුදුසු බව ඔවුන් තහවුරු කලාට පසුවයි මම ලිපිය පළ කිරිම සදහා භාර දෙන්නේ. ප්‍රසිද්ධ චරිතවල ගෞරවය සහ කීර්තිනාමය සුරක්ෂිත වන ආකාරයට නිවැරදි තොරතුරු පාඨයන් වෙත ලබා දිමට මම සැලකිලිමත් වෙනවා.

මගේ අම්මි මම ලියන ලිපිවල සදහන් සියලුම දේ කියවලා වචන සහ අකුරුවල අඩුපාඩුකම් තිබුනොත් පෙන්වා දෙනවා. ඉතින් මගේ පිටුපස හැමදාම ඉදලා මට සහය වන මගේ අම්මිව ආදරයෙන් මතක් කරන්න ඕනේ.

🔸ඔබ අත්කම් නිර්මාණ කරනවා අප දැක තිබෙනවා. ඒ ගැන විස්තර ටිකක් කියමුද?

ඔව්, මම Quilling නිර්මාණ කලාව සහ අත්කම් නිර්මාණකරණය විනෝදාංශයක් වශයෙන් ගොඩක් ආසාවෙන් කරන දෙයක්.

මම හිතන්නේ කලාත්මක නිර්මාණ හැකියාව මගේ අම්මිගෙන්, අත්තම්මාගෙන් මට උප්පත්තියෙන් ම දයාද වුන දෙයක්.

මගේ අත්තම්මා විශ්‍රාමික පේෂ කර්ම ගුරු උපදේශිකාවක්. ඒවගේම මගේ අම්මි කලා හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක්. අදටත් මම නිර්මාණ කිරිමේදි අවශ්‍ය උපදෙස් අම්මිට කතා කරලා දැන ගන්නවා.

අත්කම් නිර්මාණකරණය පිළිබද දැනුම කලාවට ලබැදි අය සමග බෙදා ගැනිමේ අරමුණින් මම Ama’s HomeMade නමින් Youtube නාලිකාවක් පවත්වාගෙන ‍යනවා. එහිදි නිර්මාණකරණය, රූපරාමු පටිගත කිරිම, සංස්කරණයේ සිට සියලුම කටයුතු මගේ අතින්මයි සිදු වෙන්නේ. ඉතින් ඒ සදහා විශාල කාලයක් වැය වෙනවා.

මගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න සිදුවෙන නිසා කාලය ලැබෙන හැටියට හැකි අයුරින් අලුත් නිර්මාණ කරමින් Youtube නාලිකාව පවත්වාගෙන ‍යන්න බලාපොරොත්තු වෙනවා.

තවද මම ඇනවුම් සදහා Quilling නිර්මාණය භාර ගන්නවා. ඔබටත් නිර්මාණයක් කරවා ගැනිමට අවශ්‍ය නම් පහත සදහන් email id එක හරහා මා වෙත ඇනවුම යොමු කල හැකිය.

amas.homemade@gmail.com

🔸ඔබගේ ව්‍යාපාර කටයුතු පිළිබදව කිවුවොත්..

මගේ නිර්මාණ හැකියාව උපයෝගී කරගෙන online ව්‍යාපාරයක් පවත්වාගෙන ‍යනවා. ව්‍යාපාරය ආරම්භ කරලා දැනට කෙටි කාලයක් වෙනවා. නිර්මාණකරණය සහ එහි ප්‍රචාරණ වැඩ කරයුතු සදහා මෙම දිනවල මගේ කාලයෙන් වැඩි වෙලාවක් වැය වෙනවා. ඒ අතරම නිර්මාණ කිරිම සදහා අවශ්‍ය අධ්‍යාපන කටයුතු කිපයක්ම කරගෙන යනවා.

🔸ඔබ කාලය සැලසුම් කර ගන්නේ කොහොමද?

මගේ තාත්ති පිළිවෙලට වෙලාවට වැඩ කරපු කෙනෙක්. ඉතින් නංගියි මමයි පොඩිකාලේ ඉදලා ම තාත්තිගෙන් කාළය කලමනාකාරණය කර ගන්න, පිලිවෙලට වෙලාවට වැඩ කරන්න ඉගෙන ගත්තා. කාලය සැලසුම් කර ගන්න මම අනුගමනය කරන ක්‍රමවලින් කිපයක් ඔයාලට කියන්නම්.

මම බොහෝ වෙලාවට ඉදිරි සතියක දෙකක කරන්න තියන විශේෂ දේවල් පොතක සටහන් කර පෙළ ගස්වා ගන්නවා. එහෙම කලාම අමතක වෙන්න, මග හැරෙන්නේ තියන ප්‍රතිශතය අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම වැඩි අවධානයක් දෙන්න ඕන වැඩ මුලින්ම නිම කර ගන්න පුළුවන්.

අපේ පවුලේ සියලු දෙනාගේම විශේෂ දිනයන් මට මතකයි. ඉතින් කලින් ඉදලාම තෑගි අරන් දිනය සැලසුම් කරලා එයාලව සතුටු කරන්න මම හරිම කැමතියි. මම කවදාවත් අපේ පවුලේ අයගේ, අපිට කිට්ටු හිතවත් අයගේ විශේෂ දිනයන් අමතක කරන්නේ නැහැ. සැලසුම් කිරිම මගින් අනවශ්‍ය පීඩනයක්, කලබලයක් නැතුව විශේෂ අවස්ථාවන් සමරන්න පුලුවන්.

මම ආහාර පිසිම සදහා ඉදිරි සතියක කාල සටහනක් හදා ගන්නවා. එමගින් ඉදිරි සතියට අවශ්‍ය දේවල් පමණක් මිලදි ගැනිමට පුළුවන් එමෙන්ම අනවශ්‍ය බඩු මිලදි ගැනිම වලකා ගන්නත් පුලුවන්. ඒවගේම නිතර නිතර බඩු නැවත මිලදි ගැනිමට යාම වළක්වා ගැනිම තුලින් කාලය ඉතිරි කර ගන්නත් පුළුවන්. මෙම ක්‍රම ඔබටත් ප්‍රයෝජනවත් වේවි යැයි සිතනවා.

🔸ඔබ නිවාඩු වෙලාව ගත කරන්න කැමති කොහොමද?

මම නිවාඩුවක් ලැබුනාම කරන්න කැමති දේවල් කිපයක් ම තියනවා.

අපි දෙන්නාම ගොඩක් කැමති ච්ත්‍රපට බලන්න. ච්ත්‍රපටයේ අන්තර්ගතය අර්ථානුකුලයි නම් ඕනෑම භාෂා මාධ්‍යයක ච්ත්‍රපට අපි නරඹනවා.

ඒවගේම මම නිතරම ගීත අහන සංගීතයට ගොඩක් ප්‍රිය කෙනෙක්. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට ගීත ගායනා කරන්නත් අපි දෙන්නා කාලය වෙන් කර ගන්නවා.

ඊට අමතරව අපි දෙන්නා හරිම කැමතියි නිවාඩුවක් ලැබුනාම විවිධ තැන්වල සංචාරය කරන්න. දැනට අපි මෙහෙ බොහෝ තැන්වල සහ යුරෝපීය රටවල් කීපයකම සංචාරය කරලා තියනවා. නිවාඩුවක් ලැබුනාම ලංකාවේ ඉන්න අපේ ආදරණීයන් බලන්න යන්නත් අපි අමතක කරන්නේ නැ.

ඒවගේම මම හරි කැමතියි ගෙදර ලස්සනට තියා ගන්න. Interior designing කියන්නේ මම ආසම විෂයක්. Interior designs පිළිබද අන්තර්ගත රූපවාහිනි වැඩසටහන් සහ සගරා මම නිරන්තරයෙන් ම බලනවා. ඒ පිළිබදව ආසාව නිසාම ඊට සම්බන්ධ පාඨමාලාවන් හදාරලා තියනවා.

🔸අපි Magazine එකට සම්බන්ධවිම පිළිබදව ඔබේ අදහස…

මම අපි Magazine සමග සම්බන්ධ වුනේ එහි ප්‍රධාන කතෘතුමා ගයාන් කරුණාරත්න මහතා මාර්ගයෙන්. එංගලන්තයේ සහ ලංකාවේ වෙසෙන විද්වත් කතුවරයන් සමුහයක් සමග සම්බන්ධ වි වැඩ කර ලැබිම සතුටක්. මට මේ අවස්ථාව ලබාදිම පිළිබදව ගයාන් කරුණාරත්න මහතාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් “අපි Magazine” කියවන්න පාඨක ඔබ සියලු දෙනාට ආරාධනා කරන අතර ඔබ වෙනුවෙන් “අපි Magazine” චිරාත් කාලයක් වැජබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

දිදුල ඉදුවරගේ

ලාංකීය ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයේ පායන යෞවන තරු අතර බොහොම කැපී පෙනෙන අපූරු තරුවක් පහුගිය වකවානුවේදි ස්වර්ණවාහිණි නාලිකාවෙහි විකාශනය වු “පාර වසා ඇත” ටෙලිනාට්‍යය තුලින් ප්‍රේක්ෂක අපට දැක ගන්න ලැබුනා.

“පාර වසා ඇත” ටෙලිනාට්‍යයෙහි බිංදුගේ චරිතය ඉතා සාර්ථකව පණ පෙවු ඔහුගේ රංගන කුසලතාවය දකින ඕනෑම කෙනෙකුට මෙය ඔහුගේ කුළුදුල් නිර්මාණය නොවන බව අවබෝධ වෙන කරුණක් වනවා.

පාසල් වේදිකාවෙන් රංගනයට අවතීර්ණ වී ළමා නාට්‍යය උළෙලවලදි විවිධ ඇගයිම් ලබමින්, රංගනය තම ජිවිතයේම කොටසක් කරගත් ඔහු මේ වනවිට කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ සිනමා අධ්‍යනය පිළිබදව හදාරමින් සිටිනවා.

රංගන පිළිබදව කුඩා කල සිට ලබාගත් අත්දැකිම් සහ අධ්‍යාපනයෙන් පරිපුර්ණ වු ඔහු අද වනවිට දක්ෂ තරුණ රංගන ශිල්පයෙකු පමණක්ම නොව තිර පිටපත් රචකයෙකු මෙන්ම කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකුද වනවා.

අපගේ ප්‍රයත්නය ඔබ ආදරය කරන දිදුල ඉදුවරගේ ජිවිතයෙන් බිදක් ඔබ හමුවට ගෙන එන්නටයි…

🔸 දිදුලගේ රංගන හැකියාවන් මුලින්ම හදුනා ගත්තේ කවුද? ඔබගේ පාසල සහ ගුරුවරුන් පිළිබදව මතක් කලොත්…

මම පොඩිකාලේ ඉදලාම අවුරුදු උත්සව, සාහිත්‍ය උත්සව වැනි විශේෂ අවස්ථාවන්වලදි විවිධ අංගයන් සදහා ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි කලා විෂයන් සදහා යොමුවිමට මගේ අරමුණක් තිබුනේ නැ. 6 වෙනි ශ්‍රේණියේ ඉදලා ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා මම හොරණ විද්‍යාරත්න විශ්ව  විද්‍යාපීඨයට ඇතුලත් වෙනවා. පාසලේදි පැවති සාහිත්‍ය සමිතියක දි හමුදා සොල්දාදුවෙකුගේ චරිතයක් සදහා රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබෙනවා. එහිදි මගේ ඉදිරිපත් කිරිම අපේ පාසලේ නාට්‍ය භාර පුබුදු සුභාෂණ කුරුගල ගුරුතුමා දකිනවා. මගේ රංගන හැකියාව සහ දක්ශතාවය එතුමා හදුනා ගෙන ඉන්පසු පාසල් මට්ටමෙන් නිර්මාණය වන නාට්‍යවල විවිධ චරිත සදහා මාව තෝරා ගන්නවා. මගේ රංගන කටයුතු ආරම්භ වෙන්නේ අපේ පාසැල් වේදිකාවෙනුයි.

🔸දිදුලගේ රංගනයන් නරඹන ප්‍රේක්ෂකයන් වන අපට නිතර්කයෙන්ම වැටහෙනවා ඔබට රංගනය පිළිබදව

ප්‍රායෝගික දැනුමක් සහ අධ්‍යාපන පසුබිමක් ඇතිබව. මම නිවැරදියි නේද?

පාසැල් වේදිකාවට සම්බන්ධවිමත් සමග රංගනය මගේ ජිවිතයේම කොටසක් බවට පත් වෙනවා. අපේ නාට්‍ය කණ්ඩායම පුබුදු සුභාෂණ කුරුගල ගුරුතුමාගේ මග පෙන්විම යටතේ පුහුණුවිම ලබමින් ඉදිරිපත් කල නාට්‍යය සදහා විවිධ ජයග්‍රහණ ලබලා තිබෙනවා. ඒත් සමගම මම සිනමාවට ගොඩක් ආදරය කරන්න පටන් ගන්නවා. මම සාමාන්‍යයෙන් ගොඩක් චිත්‍රපට බලනවා. චිත්‍රපට බලන ගමන් එහි එන චරිත අධ්‍යනය කරනවා.

මම දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබනවා. රංගනයට වගේම සිනමා නිර්මාණකරණයට මම ගොඩක් කැමතියි. එවගේම කෙටි චිත්‍රපට අධක්ෂණය සහ තිර පිටපත් රචනා කිරිමට මම යොමු වි තිබෙනවා. ඒ අංශවලට කැමති නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු සදහා ප්‍රධාන වශයෙන් “සිනමා අධ්‍යනය” තෝර ගන්නවා.

ප්‍රේක්ෂකයන් මගේ රංගනය පිළිබදව තෘප්තියක් ලබනවා නම් මම හිතන්නේ මගේ රංගනය සාර්ථකයි කියලා.

🔸දිදුලගේ රංගන හැකියාවන් සදහා සම්මානයෙන් ඇගයිම් ලැබුනු අවස්ථාව පිළිබදව අප දැන ගන්න කැමතියි.

2011 වසරේදී රාජ්‍ය ළමා නාට්‍යය උළෙලේදි “චුටි බබා ලොකු ළමයෙක්” නාට්‍යයේ රංගනය වෙනුවෙන් මට විශිෂ්ට රංගන කුසලතා සහතිකයක් ලැබෙනවා.

එමෙන්ම 2012 වසරේදි රාජ්‍ය ළමා නාට්‍යය උළලේදි “මමයි මමයි හරි යාළුයි” නාට්‍යයේ රංගනය වෙනුවෙන් මට හොදම නළුවා සම්මානය දිනා ගන්න පුළුවන් වෙනවා.

සමස්ථ ලංකා මට්ටමෙන් පැවැත්වුනු පාසල් නාට්‍ය උළෙලේදි මට හොදම නළුවා සම්මානය සහ ඉංග්‍රීසි අංශයෙන් ඉදිරිපත් කරන ලද නාට්‍යයකින් විශිෂ්ට රංගන කුසලතාවක් ද ලබා ගන්න හැකියාව ලැබෙනවා.

එමෙන්ම පාසල් නාට්‍යය උළලේදි ඉංග්‍රීසි නාට්‍යයක රංගනය වෙනුවෙන් හොදම සහාය නළුවා සම්මානය ලැබෙනවා. 2013 වසරේදීත් රංගන වෙනුවෙන් මට සහතික පත්‍රයක් ලබා ගන්න හැකි වෙනවා.

ඉන්පසු අපේ ගුරුතුමාගේ උපදේශනය යටතේ පාසැල් නාට්‍ය අධක්ෂණය සදහා මම යොමු වෙනවා. 2017 වසරේදී මගේ යාළුවායි මමයි එකතු වෙලා රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සදහා නාට්‍යයක් අධක්ෂණය කරනවා. ළමා නාට්‍යය උළලේදි ඒ නාට්‍යය සදහා හොදම අධක්ෂණය සදහා සම්මානයක් දිනා ගන්න මට පුළුවන් වෙනවා.

ඒත් එක්කම අපේ ගුරුතුමාගේ නාට්‍යයක රංග වින්‍යාස ශිල්පියා විදියට වැඩ කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ වෙනුවෙන් හොදම රංග වින්‍යාසය ශිල්පයාට හිමි සම්මානය ලබා ගන්න මට හැකි වෙනවා.

මම පාසැල් වේදිකාවේන් සමු ගැනිමෙන් පස්සේ ශාරද් චන්දුම මල්ලි සමග එකතු වෙලා “Money for life” නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා.

අපි එම කෙටි චිත්‍රපටය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් පැවැත්වුනු තරගාවලියකට ඉදිරිපත් කරනවා. එහිදි හොදම අධක්ෂණය, හොදම නිෂ්පාදනය, හොදම තිර පිටපත, හොදම නළුවා යන සම්මාන ලබා ගන්න අපිට හැකියාව ලැබෙනවා.

සම්මාන සහ සහතික පත්‍ර කුසලතා ගැන කිවොත් ඔහොම තමයි.

🔸මෑත කාලයේදී විකාශනය වු ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන “පාර වසා ඇත” ටෙලි නාට්‍ය සදහා රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුනේ කොහොමද?

2012 වසරේදි සමන් කුමාර ලියනගේ මහතාගේ “පිත්තල කොණ්ඩෑරුම” ටෙලි නිර්මාණය ඔස්සේ ටෙලිනාට්‍යය රංගනය සදහා මට මුලින්ම අවස්ථාව ලැබෙනවා. ඉන්පසු සමන් කුමාර ලියනගේ මහතාගේ “සදසාවී” ටෙලිනාට්‍යයට සහ සුරංග සතරසිංහ මහතාගේ “නාටක මාරයි නවයහමාරයි” නිර්මාණය සදහා මට රංගන දායකත්වය ලබා දෙන්න පුළුවන් වෙනවා.

2014 දී ජයප්‍රකාෂ් සිවගුරුනාදන් මහතාගේ “නිර්භීතයි අපි” නම් ළමා නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ නාට්‍යයත් සමග සම්බන්ධවිමෙන් මම ශිවා මාමාව අදුර ගන්නවා. අවුරුදු 7 කට පස්සේ ශිවා මාමා ආයේ මට කතා කරලා කියනවා “මම වැඩක් පටන් ගන්නවා. ඒකේ මේ වගේ චරිතයක් තියනවා. මේ චරිතෙට හරියන්නේ ඔයා. මොකද කියන්නේ? ” කියලා.

ශිවා මාමාගේ නිර්මාණයක් කිවාම ඒක අනිවාර්යයෙන් ම සුපිරි ම වැඩක්. ඒකේ ආයේ අහන්න දෙයක් නැ. ඉතින් මම වැඩේ භාර ගත්තා.

🔸”පාර වසා ඇත” ටෙලි නාට්‍යයේ ඔබට මුණ ගැසුණු ක්ෂේත්‍රයේ ප්‍රවීන රංගන ශිල්ප ශිල්පිනියන්ගෙන් ඔබට ලැබුනු සහයෝගය කොහොමද?

මම රංගනයෙන් දායක වු ටෙලිනාට්‍යයක් රූපවාහිනි තිරයක විකාශනය වි අවුරුදු 7 කට පස්සේ මට ආයෙත් අවස්ථාව ලැබෙනවා නිර්මාණයකට දායක වෙන්න.

“පාර වසා ඇත” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ලංකාවේ ඉන්න විශිෂ්ටම රංගන ශිල්පියෙකු වන බිමල් ජයකොඩි මහතා. ටෙලිනාට්‍යයේ ‍බොහෝමයක් අවස්ථාවල මට රංගනයේ යෙදෙන්න තිබුනේ බිමල් අයියා සමග. බිමල් අයියා වැනි ප්‍රවීණ රංගන ශිල්පියකු සමග සහය රංගනයේ යෙදීම මට විශාල අභියෝගයක් වුනා. රංගනයේ යෙදෙන අවස්ථාවලදි බිමල් අයියා, “මේ දෙබස ඔයා මෙහෙම කියන්න, ඔයාගේ රංගනය තව ටිකක් මෙහෙම කරන්න, ඔයාට මීට වඩා දෙයක් මෙහෙම කරොත් කරන්න පුලුවන්” ආකාරයට මගේ අඩුපාඩුවක් තියනවා නම් ඒවා මට නිර්ලෝභීව පෙන්නලා දීලා මගේ රංගනය සදහා සහයෝගයක් ලබා දුන්නා. බිමල් අයිය මම දැකපු නිහතමානීම රංගන ශිල්පයෙක්.

ඒ වගේම චන්දිමා අක්කා, ශෙහානි අක්කා, ජයනි අක්කා, ආනන්ද මාමා, සමාධි අක්කා සහ සෙසු රංගන රංගන ශිල්ප ශිල්පින් කණ්ඩායම, අධ්‍යක්ෂකවරයා ශිවා මාමා, පිටපත් රචනයෙන් සද්ධා සර්, සහය අධක්ෂණය සහ අනෙකුත් කණ්ඩායමේ සියලුම දෙනා මගේ රංගනයට සාර්ථක කර ගන්න විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ සියලු දෙනා සමගම වැඩ කිරිම මට ඉතාම පහසු වුනා.

🔸මෑතකදී විකාශනය වු ටෙලි නාට්‍යයන්ගේ දකින්නට ලැබුනු විවිධ චරිත අතර “පාර වසා ඇත” ටෙලි නාට්‍යයේ “බිංදුගේ චරිතය” ප්‍රේක්ෂකයන් විසින් ඉහල තැනකට ඔසවා තබා තියනවා. කොහොමද ඔබට ලැබුනු ප්‍රතිචාර?

“පාර වසා ඇත” ටෙලිනාට්‍යයේ මම නිරූපණය කල බිංදුගේ චරිතය සදහා ඇත්තටම මට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. මම අවුරුදු 7 කට පස්සේ ටෙලිනාට්‍යයක් සදහා සම්බන්ධ වුනේ. මම හිතුවේ නැ ප්‍රේක්ෂකයන්ට මාව මතක තියෙයි කියලා. ඒවාගේම

බිංදුගේ චරිතය තුලින් මාව මොන විදියට ප්‍රේක්ෂකයන් වැලද ගනිද කියලා මට ප්‍රශ්නයක් තිබුනා. හැබැයි නාට්‍යය දවසක් දෙකක් විකාශනය වෙද්දී මට ගොඩක් ප්‍රතිචාර ලැබුනා. මම එහි රංගනයෙන් දායකවන නිසා ටෙලිනාට්‍යය වටා නරඹන පිරිසකුත් එකතු වුනා.

අද වෙනකොට නාට්‍යය අවසන් වෙලත් බිංදුගේ චරිතය ගැන අපේ රටේ ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි පිටරට වල ජිවත් වෙන අය පවා කතා කරනවා. මම ඇත්තටම හිතුවේ නැ බිංදුගේ චරිතය ප්‍රේක්ෂකයන් මේ තරම් වැලද ගනි කියලා. මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් හොද නිසා මම හිතනවා මගේ රංගන සාර්ථකයි කියලා.

🔸දිදුල මෙතෙක් කල් පැමිණි ජයග්‍රාහී ගමනේ පිටුපස සිටින්නේ කවුද? පවුලේ විස්තර ටිකක් කියමුද?

මට ඉන්නේ අම්මායි, අප්පච්චියි, නංගියි. මේතරම් දුර ගමනක් එන්න පවුලේ අයගෙන් මට ගොඩක් ලොකු සහයෝගයක් ලැබුනා. මට සුදුසුම විෂය රංගනය බව තේරුම ගෙන එම විෂය සදහා මාව යොමු කල පුබුදු සුභාෂණ කුරුගල අපේ ගුරුතුමාව සහ මගේ යාලුවෝ ඇතුළු නාට්‍යය කණ්ඩායමේ සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා.

මාව “පාර වසා ඇත” ටෙලිනාට්‍යයට සම්බන්ධ කර ගත්ත ආදරණීය ශීවා මාමා, පිටපත් රචක සද්ධා සර්, සහය නිශ්පාදක ශ්‍රිලාල් අයියා සහය අධ්‍යක්ෂණය ධනංජය මංචනායක අයියා සහ රංගන ශිල්පීන් ඇතුලු නාට්‍යය කණ්ඩායමේ සියලු ම දෙනාට ස්තුතිවන්ත වෙනවා.

ප්‍රේක්ෂකයන් බිංදුගේ චරිතය වැලද ගැනිම නාට්‍යය පුරාම එම චරිතය දකින්න ලැබිමට විශාල හේතුවක් වුනා කියලා මම විශ්වාස කරනවා. පාර වසා ඇත ටෙලිනාට්‍යය සමග රැදිලා හිටපු ප්‍රේක්ෂකයන් සියලු දෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

මා වටා ඉන්න මම නිරූපණය කල චරිත ඇද බැද ගත්

ප්‍රේක්ෂකයන් නිසා තමයි අද දිදුල කියන චරිතයක් මෙවැනි තැනකට ආවේ. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ සහයෝගයට ගොඩක් ස්තුතියි.

🔸ඔබගේ රංගන හැකියාවන් ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී දකින්නට ලැබෙන නිර්මාණ මොනවාද?

ඉදිරියේදී විකාශනයවිමය නියමිත සහ රංගනයෙන් දායක වන්නට තෝර ගත් නිර්මාණ කිපයක්ම තියෙනවා.

ඒ වගේම තවත් කෙටි චිත්‍රපට නිර්මාණයක් සදහා අදහසක් තියනවා. ප්‍රේක්ෂකයන්ට මගේ Youtube නාලිකාව හරහා මගේ නිර්මාණ බලන්න එකතු වෙන්න පුලුවන්.

පහුගිය කාලයේ විශ්වවිද්‍යාල විභාග වෙනුවෙන් කාලය ටිකක් වෙන් කරන්න වුනා. කලා කටයුතු සහ අධ්‍යාපන කරයුතු සමබරව කරගෙන හෙමින් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

🔸රංගන ජිවිතයේදී අමතක නොවන ඇත්දැකිම් මොනවාද?

“පාර වසා ඇත” බොක්සිං ක්‍රීඩාව ආශ්‍රිතව නිර්මාණය වු ටෙලිනාට්‍යයක්. සමහර අවස්ථාවලදි තාත්විකවම පහරවල් වැදිලා තියනවා. එවැනි අවස්ථාවක් මතක් කලොත් ශෙහානි අක්කා මට පහර දෙන දර්ශනයක් තිබුනා. පළවෙනි දර්ශනයෙන්ම එම කොටස රූගත කරන්න තමයි අපි උත්සාහ කරේ. නමුත් ඇත්තටම පහර වැදිලා මම ඒකට ප්‍රතිචාර දක්වන්න ගිහින් රූප රාමුවෙන් පිටතට ගියා. දෙවෙනි වරටත් එතෙන්ටම පහර දෙන්න වුනා.

තවත් දවසක චන්දිමා අක්කගේ ගෙදරට හොරෙන් යන අවස්ථාවක් රූපගත කරන වෙලාවෙදි වලව්වේ තියෙන තණකොල බිස්සක ලිස්සලා වැටුනා. ඒ වගේ අත්දැකීම් ලැබිලා තියනවා.

ඒවගේම බිමල් අයියා එක්ක වැඩ කරද්දී ලැබුනු අමතක නොවන මතක සටහන් කිපයක්ම තියනවා.

🔸දිදුලව ඉදිරි අනාගතයේදි වෘත්තීය රංගන ශිල්පියෙකු වශයෙන් ප්‍රේක්ෂක අපට දකින්නට ලැබෙයිද? ඔබගේ අනාගතය බලාපොරොත්තු මොනවාද?

රංගනය සහ සිනමා නිර්මාණකරණය, මෙම අංශවලින් මාව ඉදිරියේදීත් ඔබට හමු වේවි.

අමා නාකන්දලගේ

ජීවිතාවර්ජනය

මිනිස් ජීවිතයක් ලබන්න අපි මැරි මැරී කී වාරයක් ඉපදෙනවා ඇත්ද? එසේ කල්ප කාලයක් පෙරුම් පුරා ලබන ජීවිතය කීදෙනෙක් නම් විවිධ වූ හේතුන් නිසා අකාලයේ විනාශ කරගන්නවා ද? ඔබත් මාත් අතර මත් රකුසාට ගොදුරු වී එයින් මිදීමට නොහැකිව විනාශය කරා තම ජීවිත ගෙනයන බාල තරුණ මහලු අය සේම එයින් මිදී යහපත් ජීවිත ගත කරන පුද්ගලයින්ගේ ජීවිතාවර්ජනය තුළින් සමාජයට ආදර්ශයක් වන්නට ගත් තවත් උත්සාහයකි මේ. කතාව ඉදිරියට පවත්වාගෙන යාමේ පහසුව සඳහාත් ඔහුගේ අනන්‍යතාවය සුරැකීම සඳහාත් අද කතා නායකයා සාලිය ලෙස හඳුන්වමු.

1. සාලිය ඔයාගේ වයස කීයද?

ගම කියන්න කැමති නම්

වයස අවුරුදු 55 යි. ගම වත්තල.

2. මොනවටද ඇඩික්ට් වෙලා හිටියෙ?

මත්පැන්, මත්ද්‍රව්‍ය, සිගරට්

කොච්චර කල් ඉදලා ද? කොහොමද එක උනේ..

මම අවුරුදු දොළහේදී තමයි සිගරට් බොන්න පටන් ගත්තේ O/Ls ඉවර වෙලා යාළුවොත් එක්ක එකතුවෙලා ගන්ජා ගැහුවා. මම හොදට sports කරපු කෙනෙක්. O/Ls ඉවරවෙලා අවුරුදු දාහතේදී මම club එකකට soccer සෙල්ලම් කෙලා. දවසක් මම දැක්කා එතන ලාම්පුවක් පත්තු වෙනවා. එතන මම දන්න කෙනෙකුත් හිටියා. එයා එතනට වෙලා ඊයම් කොළයක් නහයට ලං කරන ගමනුයි හිටියේ. මටත් එහෙම කරන්න දුන්නා. එදා තමයි මම ඉස්සෙල්ලම හෙරොයින් පාවිච්චි කලේ. ඒ යාලුවා මට curry බෑග් එකක හෙරොයින් ගෙනත් දුන්නා. සල්ලි ගත්තෙ නැහැ. ඒ කාලෙත් ඒක කෝටි ගාණක් වටින්න ඇති. ඒ ටික මම ගොඩක් කල් යාලුවොත් එක්ක බිවුවා. ඊට පස්සේ ඉතින් දන්නවනේ කුඩු දවසක් කිව්වා කියන්නේ ඇබ්බැහි වුණා තමයි. මාත් එක්ක මගේ යාළුවොත් මේකට ඇබ්බැහි වුණා. 

ඔය අතර මම අරක්කුත් බිව්වා. අවුරුදු දාහතරක් ඔය විදිහට ඇබ්බැහි වෙලා හිටියා.1983 කලබල කාලෙ අපේ ගෙදර ගිනි තිබ්බා. ඒත් තාත්තා රැකියාව කළ ආයතනයෙන් අපිට  නැවත ගේ හදලා දුන්නා. මේ සිද්ධීන් එක්ක අපේ පවුලේ ඔක්කොම ඉන්දියාවේ පදිංචියට ගියා. ඒත් මම ටික දවසක් ඉදලා ,ඉන්න බැහැ කියලා ආයෙත් ලංකාවට ආවා. අම්මෝ ඒ ආවාට පස්සෙ මට පුදුම නිදහසක් තිබ්බේ. කවුරුත් මං ගැන හොයන්න හිටියේ නැහැ. මම ඇති තරම් කුඩු ගැහුවා. අම්මලා මාව පුනරුත්ථාපනය වෙන්න centers කිහිපයකටම දැම්මා ඉන්දියාවේ යන්න කලින්. ඒත් ඒ හැම  තැනින් ම මං පැනලා ආවා. මෙහෙම කාලයක් ඉඳිද්දි කුඩු ගහන්න සල්ලි හොයාගන්න මං හොරකන් කලා. රස්සාවල් කළා. ඒත් හැම එකක්ම වැඩිම මාස තුනයි. එතන ඉන්න අයගෙන් සල්ලි ඉල්ල ගන්නවා. ඒ වැඩේ චාටර් උනහම මාව එතනින් අයින් කරනවා. ඔහොම කාලයක් ඉන්නකොට අම්මලත් ඉන්දියාවේ settle වෙන්නේ නැතුව ආයෙත් ලංකාවට එනවා. ඒ ආවට පස්සේ අම්මලා මං ගැන නිර්නාමික මත් ලෝලීන් මුදවා ගැනීමේ සංසදයට කියලා එතන කීපදෙනෙක් මාව හම්බවෙන්න එනවා. මං ඒ අයවත් ගෙදරින් එලව ගන්නවා.

3.ඔයා පුනරුත්ථාපනය වුන කෙනෙක් නෙමෙයි. ඒ ගැන විස්තර කියන්න.

ඔව් ඒක ටිකක් වෙනස් කතාවක්. 2001 අවුරුද්ද වෙනකොට මං ගෙදර අයට කියනවා මට මේ ඇබ්බැහිවීමෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. මගේ අයියලයි අක්කයි අහනවා ඇත්තටමද මේ කියන්න කියලා. මං ඔව් කියනවා. මෙහෙම කියලා දවස් තුනකින් මට ඉන්දියාවේ යන්න ඒගොල්ලො ලෑස්ති කළා. මං ගියේ ඉන්දියාවේ කේරළයේ තියෙන Divine Retreat Centre එකට. යනකොටත් මම හෙරොයින් අරගෙනයි ගියෙ. මේ ස්ථානය කතෝලික පියතුමන්ලා විසින් පවත්වාගෙන යන තැනක්. මෙතන පුනරුත්ථාපනය වන තැනක් නෙවෙයි. නමුත් මේ ස්ථානයට ජීවිත අරගලයන්ට මුහුණ දුන් අය පැමිණෙනවා. අධ්‍යාත්මික සුවය බලාපොරොත්තුවෙන් ඕන කෙනෙකුට මේ ස්ථානයට එන්න පුළුවන්. මෙතෙන්ට ආගම් භේදයකින් තොරව විවිධ රටවල අය එනවා. මෙතන තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. මම කතෝලික. මගේ ආගමික විශ්වාසයන් ගැන මේක කියවන අය කොහොම තේරුම් ගනීද කියන්න දන්නෑ. ඒත් මම කියන්නේ ඇත්ත. මෙතන තිබුන දේශනා, මෙහෙයන් හා විවිධ වැඩසටහන් එක්ක ජීවමාන ක්‍රිස්තුස්  වහන්සේගේ වැඩ සිටීම තුළින් මට එක රැයකින් මේ ඇබ්බැහිවීමෙන් මිදෙන්න පුළුවන් වුණා. මම ගෙදරින් පාවිච්චියට ගෙනිච්ච දේවල් මම එතනදි විසි කලා. එතන වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මාස තුනකින් පස්සේ මම නැවත ලංකාවට ආවා.

4.මතින් තොර වෙන එක තනියම කරන්න පුලුවන්ද?

බැහැ. ඒකට ශාරීරික මානසික හා අධ්‍යාත්මික සුවය ඉතා වැදගත්. ඒ වගේම පවුලේ සාමාජිකයින්ගෙන් ලැබෙන සහාය හා පිළිගැනීමත් හරිම වැදගත්.

5.මේ ඇබ්බැහි වීමත් එක්ක ඔයාට අහිමි වුණ දේවල් මොනවාද?

ජීවිතයේ ඇරෙන්න හැමදේම නැති වුණා. තනි උනා, depression ආවා,ගෙදර පිළිගැනීම නැති වුණා, රැකියාව නැති වුණා.

6.අහිමිවන දේවල් නැවත ලඟා කරගන්න ඔයා මොනාද කලේ?

මම ඉන්දියාවේ ඉඳලා ආවාට පස්සෙත් නිර්නාමික මත්ලෝලීන් මුදවා ගැනීමේ සංසදයෙන් මාව හම්බවෙන්න ආවා. කලින් සැරේ වගේ නෙමෙයි මම මේ සැරේ ඒ අයව හොඳින් පිළිඅරගත්තා. ඒ අයත් එක්ක මං එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. අත්දැකීම් බෙදා ගත්තා. මතට ඇබ්බැහි වෙච්ච අයට මමත් දේශන කළා. මේ නිසා මට ආයෙත් මතට ඇබ්බැහි නොවී ඉන්න ලොකු උදව්වක් වුණා. අදටත් මම මේ සංසදයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වගේම අධ්‍යාත්මික ජීවිතයත් හරිම වැදගත්. මේ හැම දේමත් එක්ක මං ගැන ලොකු විශ්වාසයක් අනිත් අයට ඇති වුණා. දැන් මම හොඳ රැකියාවක් කරනවා. 2004 අවුරුද්දේ මම විවාහ වුණා. මමත් බිරිඳත් මගේ දුවත් දැන් හරිම සතුටින් ජීවත් වෙනවා.

7.ඔයා මතට ඇබ්බැහි වෙලා හිටපු කාල පරිච්ඡේදය තුළ ඔයාගේ අන් අයට වුණු අපහසුතා මොනවාද?

විශේෂයෙන් ගෙදර අයට ඕනෙ වුණා මාව මේ ඇබ්බැහි වීමෙන් ගලවගන්න. ඒ නිසා නිතර නිතර ගෙදර රණ්ඩු ඇති වුණා. මමත් කුඩු ගන්න සල්ලි ඉල්ලලා ගෙදර අයත් එක්ක රණ්ඩු කළා. ගෙදර තියන සල්ලි, බඩු හොරකම් කළා. දවසක් තාත්තා මාව පොලිසියටත් අල්ලලා දුන්නා. ඒත් දවස් දෙක තුනකින් ආයෙත් මාව නිදහස් කර ගත්තා.

8.මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද?

මිනිස් ජීවිත විනාශ කරන දෙයක්. මේක නෙමෙයි ඇත්ත ජීවිතේ.

9.ඔයා ලබපු අලුත් ජීවිතේ ගැන මොනවද හිතෙන්නේ? 

පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. මාස ගානක් රස්සාව කරලා ලොකු බෝනස් එකක් අතට ලැබුණාම දැනෙන සතුට වගේ…😀

10.තරුණ පරපුරට ඔයාට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?

නිකරුණේ කාලය ගත කරන්නැතුව හොඳ දේකට හිත යොදවන්න. එහෙම නැත්නම් නිකම්ම මේ දේවල් වලට හිත ඇදිල යනවා. ප්‍රශ්නයක් තියෙනවනම් ඒ ගැන කාත් එක්ක හරි කතා කරන්න. තමන්ම තමන්ගේ ජීවිතය විනාශ කරගන්න එපා. සතුටින් ඉන්න.

                          ස්තුතියි

                      පියුමි සිල්වා