දිදුලන කෙස් කළඹකට රහස්

කාන්තා පිරිමි දෙපාර්ශවයට ම තම හිසකෙස් යනු තම පෙනුම අඩු හෝ වැඩි කරන තීරණාත්මක සාධකයකි. විශේෂයෙන් කාන්තා පාර්ශ්වය තමන්ගේ රුව පිළිබඳව වඩාත් උනන්දුවන අතර, එහි දී නිරෝගී දිදුලන කෙස් කළඹක් යනු බොහෝ දෙනෙකුගේ සිහිනයකි. ඉතින් ඒ සිහිනය සිහිනයක් ම නොවන්නට නම්  පිළිපැදිය යුතු පහසු සත්කාර කිහිපයක් පිළිබඳව අපි අද කතා කරමු.

* තෙල්සත්කාර

ඔබට නිරෝගී සුන්දර කෙස්කළඹක් අවශ්‍යය නම් පළමුව කෙස්වල තෙතමනය රැකගතයුතු වේ. ඒ සඳහා  ගුණාත්මක තෙල්වර්ග හිස ගැල්වීමෙන් ලබාගන්නා පෝෂණය ඉතා ම වැදගත් ය. ඔලිව්තෙල්, පොල්තෙල්, එඬරු (castor oil) තෙල්, වැනි පෝෂණ ගුණයෙන් වැඩි තෙල්වර්ගයක් ඇඟිලිතුඩුවලට ගෙන හොඳින් හිස්කබලේ සහ කෙස්වල ගල්වන්න. අනතුරුව සෙමින් හිස්කබල සම්බාහනය කර පැය භාගයකට පසුව සෝදාහැර තෙත මාත්තු කරන්න. සතියකට වරක් හෝ දෙවරක් මෙසේ නෑමට පෙර තෙල් ගැල්වීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිවනු ඇත.

* හිසකෙස් සේදීම

නෑමේදී, හිසකෙස් සේදීමේ දී එය හිසකෙස් මත තැවරුණු ෂැම්පු සහ වෙනත් සේදුම්කාරක හොඳින් ඉවත්වන පරිදි සෝදාහරින්න. හැමවිට ම හිස සේදීමේ දී උණුසුම් සහ තද උණුසුම් වතුර භාවිතය අත් හරින්න. හිසකෙස් අගට ෂැම්පූ යෙදීමෙන් වළකින්න. ඔබට උණුසුම් වතුර ස්නානයෙන් වැළකීමට අපහසු නම් නෑමේ දී “ෂවර් කැප්” එකක් භාවිත කරන්න.

* නිවැරැදිව හිස පීරන්න.

හිසකෙස්වල ස්වාභාවය අනුව පනාව තෝරාගන්න. පළමුව මෙහි දී දැති ලොකු පනාවක් ආධාරයෙන් හිසකෙස් අග සිට ගැට සෙමින් ඉවත් කර අනතුරුව කේෂමූලයන් පිහිටාඇති හිස් කබලේ වදින ආකාරයට මුල සිට අගට සෙමින් කෙස් පීරන්න. නෑමෙන් අනතුරුව කෙස් සම්පූර්ණයෙන් ම වියළීමට ප්‍රථම ආගන් ඔයිල් වැනි තෙල් බිංදු කිහිපයක් හිස කෙස්වල යන්තමින් තවරා හිසකෙස් පීරීමෙන් ඔබට පහසුවෙන් කෙස් ගැටගැසීම වළක්වාගත හැකි ය.

* කොණ්ඩා මෝස්තර .

හැකි හැමවිට ම සරල සහ ලිහිල් කොණ්ඩා මෝස්තර භාවිත කරන්න. High ponytail සහ බැක්කෝම්බ් වැනි හෙයාර් ස්ටයිල්වලින් හැකි තරම් ඈත්වන්න. එසේ ම හෙයාර් ස්ප්‍රේ, සහ නොයෙකුත් harsh Chemicals  අඩංගු නිෂ්පාදන භාවිතය අව ම කරන්න. ඔබ නොහිතන පරිදි ඔබේ හිසකෙස්වලට මෙම නිෂ්පාදන හානි කරනු ලබ යි. 

* හිසකෙස් සම්බාහනය.

හැකි පරිදි සතියකට වරක්වත් ඔබේ හිස හොඳින් මසාජ් කරන්න. මෙම සම්බාහනය මඟින් ඔබගේ හිස්කබලෙහි ඇති  කේෂ්මූල මනාව උත්තේජනය වන අතර එමඟින් ලේ ගමනාගමනයට මනා රුකුලක් ලබා දේ. ඔබට නිවසේ දී මෙන් ම වඩා ප්‍රතිඵලදායක සේවයක් සුදුසුකම් ලත් රූපලාවන්‍යාගාරයක දී වුව ලබාගත හැකි අතර මෙමඟින් ඔබට සැහැල්ලුවක් ද ලබාදෙනු ඇත. 

* නිවැරදි ආහාරරටාව සහ පෝෂණය.

ශරීරයට පිටතින් කෙතරම් සත්කාර කළ ද, අභ්‍යන්තරයෙන් අවශ්‍යය පෝෂණය සහ යහගුණය ලබා නොදේ නම් ඉහත කිසිවක් ප්‍රත්ඵලදායී නොවනු ඇත.  එබැවින් නිසි සමබල ආහාර, ධාන්‍යය, සහ ඇටවර්ග භාවිතය පළතුරු එළවලු වැඩිපුර ආහාරයට ගැනීම මෙන් ම මනා ලෙස ජලය පානය කිරීම ද ඉතා මත් ම වැදගත් ය. යම් හෙයකින් ඔබට ඔබේ ආහාර සහ පෝෂණය මඟ හැරෙනවානම් ඔබේ වෛද්‍යවරයා හමු වී සුදුසු විටමින් වර්ග භාවිතයට ගන්න

ඉතින්, කාන්තා පිරිමි භේදයකින් තොරව පහසුවෙන් ඔබට නිරෝගී අලංකාර කෙස් කලඹක් ලබාගැනීමට ඉහත උපදෙස් මනා පිටිවහලක් වනු ඇතැ යි මා බලාපොරොත්තු වනවා.සුන්දර දිනයක් පතමින් ඊළඟ කලාපයෙන් හමුවනතුරු මා අදට මේ කතාබහ නවත්වනවා. !

Sameera Jayasinghe

තමන්ගේ මට්ටම් තම්මට්ටම්

දියුනු වෙමින් පවතින රටක් විදිහට ලේබල් ගැහුවට අපේ රට දිඋනු කරන්න කවදාවත් පුළුවන් වෙයි කියලනම් හිතෙන්නේ නැහැ.එහෙම උනත් ඒක පන පිටින් දකින්න මේ ආත්මේ අපිටනම් හම්බෙන එකක් නැහැ , එකට හේතුව රටක දියුනුව කියන්නේ ආර්ථික වෂයෙන්  වන අංකමය දියුනුවක  පමණක් නොව සමාජයීය අකල්පමය සහ සංකල්ප වල  දියුනුවත් මේ සඳහා බලපාන නමුත් ආකල්පමය වශයෙන් අපි ඉන්නේ තවමත් බාලාංශේ නිසාය.

Economical system එක පාලකයෝ හදල දුන්නත් attitude වෙනස් කර ගැනීම අපි තනි තනිවම කරගන්න ඕන දෙයක්.

❤️අපේ තියන ලොකුම වැරැද්ද තමයි අපි හරි කියල කියන දේ හැමෝම  පිළිගන්න ඕනේ කියල හිතන එක සහ හැමෝම අපිට එකඟ වෙන්න ඕනේ කියල විස්වාසයක් තියන එක.

එහෙම දෙයක් නැහැ දෙයියනේ?     මිනිස්සු තීරණ වලට එන්නේ තමන් ඉන්න සමාජ මට්ටමට ,උගත් කමේ මට්ටමට, සහ තමාට ජීවිතයේ ලැබුණු සහ තමන් මුහුණ දුන් අත්දැකීම වල මට්ටමට අනුවයි.

උදා – දරුවන් සමග අනුරාධපුරේ විනෝද චාරිකාවක් යන එක මාස් පඩියක් ගන්න සාමාන්‍ය ආර්ථිකයක් තියන කෙනෙකුට ඉතා විශේෂ  දෙයක් වෙන්න පුළුවන් ,මොකද හිතිච්ච ගමන් මොන්ටෙරෝ එකට නැගල උදේ ගිහින් හවස එන්න අනුරාධපුරේ යන ධනවත් පව්ලක අයෙකුට තරම් සාමාන්‍ය පව්ලක කෙනෙකුට වත්කමක් නැති නිසා.ඉතින් අනේ.. අපි අනුරාධපුරේ ගියා , අපි තේ බිව්වා ,කියල ඒ ගමන ගැන කියන විස්තර ටික කිව්වම  හැම වෙලාවේම දෙස් විදෙස් සංචාරවල නිරත වෙන කෙනෙකුට විහිළුවක් වගේ දැනෙන්න පුළුවන්,මොකද ඒ අයට එක විශේෂ දෙයක් නොවන නිසා .. ඒ එක එක අයගේ ජීවිත රටාවන් වෙනස් නිසා.සම සිතින් ඒ දෙදෙනා දෙසම බලා  දෙදෙනාටම සුබ පැතීමට තරම් අපේ හිත සොඳුරු නොවන තාක් කල් අපිට කලක් යයිද?

❤️අනික සියල්ලෝම මට එකඟ වේවා , කියල බුදුහාමුදුරුවෝ වත් වදාලේ නැත. කලින් ලිපියකත් මන් සඳහන් කළා වගේ ඔබ කන්න කැමති පාන් සමග පරිප්පු වූ කල අනෙක් සියල්ලෝම පාන් කෑ  යුතු යයි සිතීම විහිළුවකි.කෙනෙකුට සොසේජස් කෑමටද තවත් කෙනෙකුට බඩගින්නේ සිටීමටද සාදාරන අයිතියක් ඇත. ඒ නිසා අනිත් අයගේ  අදහස් වලට එකඟ වීමට සහ විරුද්ද වීමටද  අපි හැමෝටම අයිතියක් ඇත.විරුද්ද මත පිළිගන්න .

❤️අපේ සමාජේ තියන අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි අනුන්ගේ වැදගත්කම හොයන්නට යාම.

මේකට අපේ කට්ටිය නිර්ණායක ටිකකුත් හදන ඉන්නේ ..කොන්ඩේ පාට කරපු, කොන්ඩේ  අමුතු විදිහට කපපු , ටැටෝ ගහපු ,කොටට අඳින අය වැදගත් නැත කියල ,ඒ එක්ක  බැලුවම මන් නම් කිසිම වැදගත් කමක් නැහැ .මොකද මන් ඔය ටික ඔක්කොම කරලා ඉන්නේ ..

මන් මේ ජීවිතේ මට සන්තෝෂ වෙන්න පුළුවන් කියල හිතෙන හැමදේම කරලා බලනවා ඒ තුල නියම සතුට තියනවද කියල.හැබැයි ඒවා කළා කියල මගේ වැදගත්කමට නම් අබ මල් රේණුවක වත් හානියක් මන් කරගෙන නැහැ, මැරෙන තුරාවට කරන්නෙත් නැහැ.මට අනුව වැදගත් කම මනින්නේ තමාගේ මානුෂිකතවය , හැසිරීම ,චරිතවත් බව   වගේ එකිනෙකාට අනන්‍ය වූ කරනු ගොන්නක් එක්ක.මස් ගොබ වසාගෙන සිටි පමණින් වැදගත් යයි කිව හැකි කිසි කෙනෙක් මෙතෙක් මගේ ජීවිතයේ හමු වී නැත.වැදගත්ම දේ අනුන්ගේ වැදගත් කම් , උගත්කම් , ධනවත්කම් අපි මහා ලොකුවට අදාල කර නොගැනීමයි..එතකොට සමජෙත් එක්ක වැඩ කරන්න හරිම ලේසියි.

❤️සමාජ ජාලයක එකට බැඳුනු පුරුක් ලෙස  එකිනෙකාට උදව්  කරගැනීමට සිනහවීමට , ජීවිතය බෙදාගැනීමට , උගත්කම , ධනවත්කම, චරිතවත් කම මහා ලොකුවට අදාල කරගත් යුතු නොවේ.අනික බාහිරව බලා සියල්ල තීරණය කල හැකිද නොවේ.

❤️අපේ වචනෙකින් අපේ බැල්මකින් සිදුවන්නේ තවත් කෙනෙකුගේ හිත රිදීමක් , හිත තැලීමක් පමණක් නම් තර්කමය වශයෙන් ඔබ දිනුවාද  ඉන් පලක් නැත.අවසානයේ ඉතුරු වන්නේ තේරුම්ගැනීමට නොහැකි පසුතැවීමක් පමණි.

අනෙකාගේ  හොඳ අගයන්න.ඔබ අකමැතිනම් ඍජුව අකමැත්ත ප්‍රකාශ කරන්න.ප්‍රතික්ෂේප කරන්න.නමුත් සිත් රිදවීම නම් පලක් නොවෙයි.

❤️යක්කුන්ට බය අය  සොහනක ගෙයක් හදන එක පලක් නැත.සමාජයේ නිතර ගැටෙන පුද්ගලයෙක් නම් ඕනෑම දෙකට ඔරොත්තු දෙන ආකාරයට තමාගේ සිත පුහුණු කරවා ගත යුතුයි.බුද්ධ වචනයට අනුව නින්දා ප්‍රශංසා දෙකෙහි නොසැලී සිටිය යුතුයි.අපොයි මේක කැතයි කිව්වා ,මේක වැරදියි කියල මට බැන්නා , කියමින් හොටු පෙර පෙර අඬන බබාලාට මේ සමාජයේ බෙල්ල ගැසීමට අසීරුය.මමම ඊයේ ගත්ත ගව්මට මම අද කැමති නැත ,තමාගේ සිතුවිලි පවා දිනෙන් දින වෙනස් වෙයි ,ඉතින් සමාජය ගැන කවර කතාද ? මට අකමැති දහසක් ඉරිදියේ වුවද සිනහ සීමට හැකි නිසා මමනම් කිසිඳු දිනක සමාජය නිසා මගේ  හදවතට දුකක් දැනෙන්නට ඉඩ දී නැත.

සමාජ මත ඉදිරිදියේ නොසෙල්විය හැකි මනසක් හදාගන්න තාක් කල් ඔබ පරාජිතයෙකි.ලොවම එරෙහි වුවත් ඔබට ඔබ ලෙස කෙලින් සිට ගත හැකි දිනක පමණක්  ඔබ ජයග්‍රහණය කරයි.

කෙටියෙන්ම කියතහොත් අපේ මේ සමුහයේ , වෙනත් සමුහවල , සමාජයේ , හෝ  වාචික , ගනුදෙනු සිදුවන සියලුම අංශ කෙරෙහි මේ කරුණු පොදුය.   

සමාජය විෂම ආකල්ප ඇති මිනිසුන් පිරිසකගෙන් සැදුම්ලත් බව තේරුම් ගන්න.තමාගේ අදහස් සමාජ ගත කිරීමට උවමනා මිනිසුන්  ඒවාට ඇති විරුද්ධ  මත වලට මුහුණ දීමටද සුදානම් වන්න .අනෙකාට ගරු කිරීමට නොදන්නා කිසිවෙකුට සමාජයෙන් ගරුත්වයක් හිමි නොවේ.

තමාගේ නිදහසේ සීමාව අනෙකාගේ නහය ලඟින් අවසන් වන බව සිහියට ගන්න.

අනිශා ජයකොඩි

3රැජිණගේ නික්මයාමෙන් පසු ලෝකය

වසර 70 ක් පුරා බ්‍රිතාන්‍යයේ රාජ්‍යත්වයේ කිරුළ දැරූ දෙවන එලිසබෙත් මහ රැජිණ පසුගිය සැප්තැම්බර් 8 වන දා අභාවප්‍රාප්ත වුනා. ඒ වන විට 96 වන වියෙහි පසුවූ එලිසබෙත් මහ රැජිණ මිය යාමට දින දෙකකට පෙරදීත් රාජ්‍යයේ ප්‍රධානියා ලෙස සිය වගකීම් ඉටුකරමින් එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරිය මුණගැසී නව රජයක් පිහිටුවන්නට ආරාධනා කලා. එක්සත් රාජධානියේදී සෑම විටකම තේරී පත්වන අග්‍රාමාත්‍යවරයාට රැජිණ හෝ රජු විසින් රජයක් පිහිටුවීමට ආරාධනා කල යුතු වෙනවා.

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය එක්සත් රාජධානියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන එමෙන්ම මුළු ලෝකයම කම්පාකරවන සිදුවීමක් උනා. එලිසබෙත් මහ රැජිණ එක්සත් රාජධානියට අමතරව තවත් රාජ්‍යයන් 15ක රාජ්‍යයේ ප්‍රධානියා හෙවත් රැජිණ ලෙස කටයුතු කල අතර ඊට අමතරව වසර 70 ක් පුරාවටම රටවල් 54කින් සැදි පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙසද කටයුතු කලා. ලොව පුරා ජනාධිපතිවරුන් අගමැතිවරුන් දහස් ගණනක් සිය පාලන කාලයන් තුල රැජිණ සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව ගණුදෙනු කර තිබුනා.

සැප්තැම්බර් 8 වෙනිදා ස්කොට්ලන්තයේ බැල්මරෝ මාලිගයේදී අභාවප්‍රාප්ත වූ රැජිණගේ අවසන් කටයතු සිදුකෙරුනේ පසුගිය සැප්තැම්බර් 19 වනදා එංගලන්තයේ වින්සර් හී පිහිටි වින්සර් මාලිගයේදී. රාජකීය පවුලේ සාමාජිකයන්ගේ භූමිදාන කටයුතු සිදුකෙරෙන රාජකීය සොහොන්ගැඹ පිහිටා ඇත්තේ වින්සර් මාලිගයේය. ඊට අමතරව දෙවන එලිසබෙත් මහ රැජිණ වඩාත් ප්‍රියකරන මෙන්ම අවසාන කාලයේදී ඇයගේ නිළ වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුනේද වින්සර් මාලිගය වේ.

වින්සර් හීදී අවසන් කටයුතු සිදුකිරීමට පෙර ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් නුවරට රැගෙන ආ රාජකීය දේහය දින 6කට අධික කාලයක් බකිංහැම් මාලිගයේත් ඉන්පසුව මහජන ගෞරවය සඳහා වෙස්මින්ස්ටර් ශාලාවේත් තැම්පත් කර තිබුනා. දින හතරහමාරක් පුරාවට රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ දෙකහමාරකට අධික පිරිසක් එකතුවී සිටි බව මාධ්‍ය වාර්තා කරා.

රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවීමට රජ පවුලේ ආරාධනයෙන් ලොව පුරා රටවල රාජ්‍ය නායකයන් හා රජ පවුල් වල සාමාජිකයන් 500 දෙනෙකු ලන්ඩන් නුවරට රැස්ව සිටියා. ශ්‍රි ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහද ඒ අතර උනා. දශක ගණනාවකට පසුව බ්‍රිතාන්‍යය සංවිධානය කරන ලද වැඩිම රාජ්‍ය නායකයන් ප්‍රමාණයක් සහභාගී වූ උත්සවය රැජිණගේ අවමංගල්‍ය නිසාවෙන් එම දින කිහිපය තුල ලන්ඩන් නුවරට පෙර නොවූ විරූ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා තිබුනා.

රැජිණගේ අභාවයත් සමඟම ඇයගේ පුත් චාලස් කුමරු තුන්වන චාල්ස් රජු නමින් රාජ්‍යත්වයට පත්වුනා. රැජිණගේ අභාවය සහ නව රජතුමාගේ පත්වීමත් සමඟ වසර 70ක් පුරා අප මෙතෙක් දැක තිබූ ලෝකයේ බොහෝ දේවල් වෙනස්වීමට නියමිතව තිබෙනවා. සමහර වෙනස්කම් එංගලන්තයට පමණක් බලපාන අතර සමහර වෙනස්කම් මුළු ලෝකයටම බලපානු ඇති.

සමහර වෙනස්කම් එක රැයකින් සිදුවූ අතර සමහර වෙනස්කම් සිදුවීමට දශක කිහිපයක් ගතවනු ඇති.

සිදුවීමට නියමිත වෙනස්කම් අතර රජ පවුලේ සේවකයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමේ සිට රැජිණගේ කිරීටය යටතේ පාළණය වූ සමහර රටවල් කිරීටයේ පාලනයෙන් ඉවත්ව ජනරජයක් බවට පත්වීම දක්වා පරාසයකට විසිර යනවා. මේ වන විටත් සිදුවූ වෙනස්කම් අතරට එක්සත් රාජධානියේ ජාතික ගීය වෙනස්වීම, ‘රැජිණගේ නීතිඥයන්’ යනුවෙන් හැඳින්වූ පිරිස ‘රජුගේ නීතිඥයන්’ යනුවෙන් හැඳින්වීම දැක්විය හැකියි.

කාලයක් ගතවන වෙනස්කම් අතරට රැජිණගේ රූපය සහිතව මුද්‍රණය වී ඇති එක්සත් රාජධානියේ මුදල් නෝට්ට, කාසි හා මුද්දර ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කර නව රජුගේ රූපය සහිතව මුද්‍රණය වීමට නියමිතයි. එහෙත් දැනට භාවිතයේ පවතින මුදල් කිසිවක් අවලංගු නොවන අතර නව නෝට්ටු හා කාසි පමණක් රජුගේ රූපය සහිතව මුද්‍රණය වනු ඇති.

රැජිණගේ කිරීටය යටතේ පාලනය වූ රටවල්‍ අතරට එක්සත් රාජධානියට අමතරව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව ඇතුළු රටවල් 15ක් ඇතුලත් උනා. මේ අතරින් සමහර රටවල් කිරීටයෙන් නිදහස් වීමට දැනටමත් තීරණය කර තිබුණද රැජිණට තිබූ ගෞරවය හේතුවෙන් එම තීරණ ක්‍රියාත්මක නොවී පැවතුනා. එහෙත් එම රටවල් තව දුරටත් චාල්ස් රජතුමා යටතේ පාළනය වීමට තීරණය නොකරනු ඇති.

ඕස්ට්‍රේලියාව මේ වන විටත් කිරීටයෙන් ඉවත්වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කර අවසන්. ඊට අමතරව බහමාස්, පැපුවානිව්ගිනියාව, ජැමෙයිකාව ඇතුළු තවත් රටවල්‍ 6ක් පමණ කිරීටයෙන් නිදහස්ව ජනරජයන් බවට පත්වීමට තීරණය කර තිබෙනවා. මේ ආකාරයට වෙනස් වන ලෝකයත් සමඟ නව රජුගේ භූමිකාව මෙන්ම ඔහුගේ වගකීම් රාජකාරිද වෙනස්වනු ඇති. ඊට අමතරව එලැඹෙන ගිම්හානයේදී නව රජතුමාගේ රාජ්‍යත්වයට පත්වීමේ උත්සවයද සංවිධානය වීමට නියමිත අතර ඒ විස්තරත් සමඟින් ඉදිරි කලාපයකදී මුණගැසෙමු

මම තිලාන් ජයසේකර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

Digital My Business

ඔබ ගැන හැඳින්වීමක් කරොත්?

මම ප්‍රසංග මධුශංක. දැනට පදිංචිව ඉන්නේ මහනුවර. ගොඩක් නිදහස්ව වගේම සාමාන්‍ය විදියට ඉන්න කැමති කෙනෙක් ඒ වගේම ගොඩාක් ආදරණීය බිරිදක් වගේම සුරතල් පුංචි පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. ගොඩක් අය මාව දන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ද කෙනෙක් විදියටයි.දැනට මගේම Web Design & Development ආයතනයක් පවත්වාගෙන යනවා.

පවුලේ විස්තර කිවුවොත්?

මගේ පවුලේ අම්මා සහ මගේ නංගි ඉන්නවා. නංගි (නිසංසලා මධුමාලි)දැනට විවාහ වෙලා පිළිමතලාව පදිංචිය.ඇය වෘත්තීයෙන් රුපලාවන්‍ය ශිල්පිනියෙක්.

මගේ බිරිඳ උදේශිකා ආරියසිංහ ගොඩාක් මගේ වැඩ කටයුතු වලට උදවු කරනවා සහ චුටි පුතා කීවෙන් යෙශ්මිත.

ඔබේ වෘත්තීය ජීවිතය ගැන සඳහන් කලොත්?

මගේ වෘත්තීය ජිවිතයට ආසන්න වශයෙන් වසර 10ක් පමණ වෙනවා දැන්. විවිධ පැතිවල වගේම ගොඩාක් ආයතනවල මම සේවය කරලා තියෙනවා.

මුලින්ම මම මගේ වෘත්තීය දිවියට පා තබන්නේ මහනුවර උසස් තාක්ෂණ ආයතනය හරහා (SLIATE) වසර 02 ක අධ්‍යාපනික කාලයක් සහ මාස 06ක ප්‍රයෝගික පුහුණුවක් (ගැටඹේ ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය – තොරතුරු තාක්ෂණ අංශය) ලබා ගන්නවා.ඒ වගේම AATSL ආයතනයේ සාමාජිකයෙකුද වෙනවා.

ඊට පසුව දිනපාල සමුහ ව්‍යාපාරය සමග එකතු වෙනවා. 

මගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය විදියට මට දැනෙන්නේ පන්නිපිටිය Ebeyonds ආයතනය සමග මා වැඩ කල කාලයයි. එහිදී Web Design & Development සම්බන්දව මනා දැනුමක් සහ පළපුරුද්දක් මා ලබාගන්නවා.

ඒ වගේම වැඩි කාලයක් මා සම්බන්ද වී සිටියේ සංචාරක ක්ෂේත්‍රය .  තොරතුරු තාක්ෂණ විධායක නිලධාරියෙක් ලෙස මා වසර ගණනාවක් Theme Resort & Spa (Aliya Resort, Maalu Maalu Resort,Kithala Resort, Ayurview Weligama) සහ Connaissance De Ceylon ආයතනයේ සේවය කලා.

Ceylon Hotel Cooperation (Hotel Queen සහ Suisse) හි System Administrator සහ Mr.Sujeewa Palliyaguruge යටතේ OakRay සමුහ වියාපාරයේ සේවය කිරීමටත් අවස්ථාව ලැබෙනවා.

ඔබ වෘත්තීය වශයෙන් දැන් මොනවද කරන්නේ?

දැනට මම Web Design & Development ආයතනයක් පවත්වාගෙන යනවා. ආයතනයේ නම Digital My Business (PVT) Ltd. 2019 වසරේ අග භාගයේ පමණ අපි වැඩ කටයුතු ආරම්භ කලේ. දැනට වසර 3 ක වගේ කාලයක් සමග 50 කට වැඩි ආයතන සහ පුද්ගලයන් අපෙන් සේවය ලබාගන්නවා. Sri Lanka ව United Kingdom සහ China හි අපේ සේවය ලබා දෙනවා.

ඇත්තටම අපිට මුලින්ම අවස්ථාව ලැබෙන්නේ මගේ යහළුවෙක් වන චන්දන අයියා හරහා UK හි සිටින ඔහුගේ යාලුවෙකුට වෙබ් අඩවියක් නිර්මානකරනයටයි. එදා ගත්තු ඒ අවස්ථව එක්ක අපි අද මේ තත්වයට ඇවිත් ඉන්නේ.

ඔබ ආයතනය ලබා දෙන සේවාවන් මොනවද?

අපි ප්‍රධාන වශයෙන් ව්‍යාපාර සඳහා වෙබ් අඩවි නිර්මාණය කරනවා ඒ වගේම ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දෙනවා අන්තර්ජාලය හරහා ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනයට. 

අපගේ සේවාවන්  

Web Design & Development

E-Commerce Web Development

Web Application Development

Social Media Marketing

Graphic Designing

අපගේ වෙබ් අඩවිය www.digitalmybusiness.lk

ඔබ විශේෂයෙන් සඳහන් කරන්න ඕනි සහ ස්තුතිවන්ත වෙන්න ඕන පුද්ගලයන් කවුද?

ඔව් මුලින්ම මගේ ගෙදර අය අම්මා, නංගි සහ මගේ බිරිඳ.

ගොඩාක් සුවිශේෂී චරිත මාගේ වෘත්තීය ජිවිතයේ මට මුණගැහිලා තියෙනවා ඒ වගේම වැඩ කරලා තියෙනවා.

Theme Resort & Spa හි  Mr.Sujeeva Basnayake (DO) සහ Mr.Chamin wickramasighe (CEO) විශේෂයෙන් මතක් කරන්න ඕනි. 

OakRay සමුහ ව්‍යාපාරයේ Mr.Sujeewa Palliyaguruge මහතා තවත් සුවිශේෂී චරිතයක් .

ඒ වගේම මගේ අවසාන සේවා ස්ථානය බවට පත් උනේ Royal International  පාසල් ජාලය එහි Mr.Shan(ITM) මට හමුවු විශේෂ චරිතයක් ඒ වගේම Mr.Ravianth Peiris (MD).

චන්දන අයියා සහ Mr.Kanishka (Smart Memory) මතක් කරන්න ඕනි.

ඒ වගේම අප ආයතනයක් වශයෙන් වැඩ කටයුතු කරද්දී මේ කාලයේදී අපි විශේෂයෙන්  මතක් කරන්න ඕනි අපිට උදවු කරපු, අපි සාර්ථකත්වයක් ලැබුවානම් එයට සහයෝගයන් දුන් දැනට United Kingdom හි පදිංචි සිටින සහ ව්‍යාපාරික කටයුතු කරන්න Mr.Sudesh (HandyClick), Mr.Nuwan(ZoneCrew), Mr.Manjula(Sylvia Lanka Foundation), Ms.Wathsala (Helabhoomi) ඒ වගේම විශේෂයෙන්  මතක් කරන්න අපිත් එක්ක හැමදාම වැඩ කරන Mr.Gayan (අපි Magazine)

ගොඩාක් සුවිශේෂී චරිත තියෙනවා.(නම් සඳහන් නොකළ) 

මොනවද අනාගත බලාපොරොත්තු ?

අපේ අරමුණ වන්නේ වඩා හොද , සේවාවක් ලබා දෙමින් අප පාරිභෝගික ආයතන සේවාවන් ප්‍රවර්ධනය කිරීම අන්තර්ජාලය හරහා වගේම අපේ සේවාවන් තවත් පුළුල් කරමින් රටට යම් කිසි ප්‍රමාණයක දියුණුවට උදවු වීමයි.

අවසාන වශයෙන් අපි Magazine එකට සම්බන්ධ වීම ගැන ඔබේ අදහස?

මුලින්ම මම ස්තුති වන්ත වෙනවා අපි Magazine නිර්මාතෘ ගයාන් මහතාට මෙම අවස්ථාව ලබා දීම ගැන. වත්සලා අක්කා මගින් තමා මම මුලින්ම දැන ගත්තේ අපි Magazine ගැන.

ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි ලංකා වේ නොහිටියත් ලංකාවේ අපේ Community එකට මේ කරන සේවය පිළිබඳව.

ගොඩාක් වටිනා,යාවත්කාලින,දැනුම් සම්භාරයක් සහිතව කරන අපි Magazine සහ එහි කර්තෘ මණ්ඩලයටත් සුභාශින්ෂණ එක් කරනවා ඉදිරියටත් මේ කටයුත්ත කරගෙන යන්න සහ ජයග්‍රාහී ගමනක් යන්න.

ප්‍රසංග මධුශංක

Digital My Business (PVT) Ltd

www.digitalmybusiness.lk

ධනංජය සිරිවර්ධන

නිරූපණය කරන චරිතයට කඩවසම් බව අවශ්‍ය නම් මට එය හදාගන්න පුලුවන් ඒ වගේම අවශ්‍ය නැතිනම් කඩවසම් බව හංග ගන්නත් මට පුලුවන්.

______________________________________

ඔහු දශක දෙකකට අධික කාලයක් පුරාවට නිර්මාණ සියයකට වැඩි ප්‍රමාණයක් තුලින් පුංචි තිරයේ සොදුරු පෙම්වතාට පමණක් සීමා නොවි විවිධ පරාසවල චරිතාංග රංගනයට උපන් හැකියාවක් ඇති අපට සිටින වටිනා රංගන ශිල්පියෙකු වෙනවා.

මෑතකදී පුංචි තිරයෙන් අපට හමු වු නින්ජා, ඩැනියල් උයන්ගොඩ, දේවින්ද වැනි ප්‍රේක්ෂක සිත් සොරාගත් චරිත මෙන්ම, මෙම දිනවල ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශනය වන “වීදුරු මල්” ටෙලි නිර්මාණයේ ධනුක ඩි අල්විස් වැනි චරිත ඔහුගේ රංගන ප්‍රතිභාවය මනාවට ඔප්පු කරන බව නොරහසකි. ඔහු පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේදීත් ඔහුගේ අනන්‍යතාවය තබමින් අති සාර්ථක ගමනක් යනවා.

ලාංකීය ප්‍රමුඛ පෙලේ රූපවාහිනි නාලිකා තුලින් නිවේදන කලාවෙහිද වෙනත් ස්වරූපයක් සොයාගිය ඔහු ඉදිරිපත් කල වැඩසටහන් ජනතා ආදරයෙන් සම්මාන ලැබුවා.

සම්මානීය රංගන ශිල්පියෙකු, නිවේදයකු පමණක් නොව අති දක්ෂ පිටපත් රචකයෙකුද ඔහු තුල සිටින බව ආදරය, ත්‍රාසය සහ කුතුහලය සපිරි ටෙලි වෘතාන්තයක් වු “Number 9” ටෙලි නිර්මාණ රචනයෙන් නිතර්කයෙන්ම අපට පෙන්වා අවසන්.

“අපි සගරාවෙහි” අපේ සුදානම ධනංජය සිරිවර්ධන නම් වු ඒ නිහතමානී කලකරුවාගේ සොදුරු කැදැල්ලට ගොඩ වන්නටයි…

🔸ඔබේ ආදරය ශෂිනි සහ ඔබේ ජිවිතය මෞර්යා සමග ගත කරන ඔබලාගේ පුංචි කැදැල්ලේ සුන්දර තතු පිළිබදව අපි දැන ගන්න කැමතියි.

මෞර්යා දැන් පහු කරමින් ඉන්නේ හැමදේම තේරෙන්න පටන් ගන්න, අලුත් අලුත් දේවල්වලට කැමති වෙන, හැමදේම ගැන හොයන, දකින දේවල් ගැන ප්‍රශ්න කරන කාලයක්. එයාගේ දගවැඩත් එක්ක ගත කරන මේ කාලය සහ අපිට ලැබෙන අත්දැකම් හරිම සුන්දරයි.

ශෂිනි සුපුරුදු පරිදි “Pink Room Youtube”නාලිකාවේ වැඩත් සමග කාර්යබහුලයි. ශෂිනි මෙම නාලිකාව පවත්වාගෙන ‍යන්නේ වෘත්තීයක් හැටියටම නෙවෙයි. “Pink Room” නාලිකාව හරහා සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙන්න පුලුවන් වෙලා තියෙනවා කියලා අපි හිතනවා. ඉතින් ඔය දේවල් එක්ක මේ කාලයේ අපි දෙන්නාම ටිකක් කාර්යබහුලයි.

🔸”හද්දා ශුද්ධ ප්‍රේමය” ඔබගේ දියණිය වෙනුවෙන් බිරිඳ ශෂිනි ගායනා කල මෙම හැගීම්බර සහ අර්ථානුකුල වචන එකතුව ඔබ අතින් ලියවුනේ කොහොමද? ගීතයේ සංගිතය සහ Music video නිර්මාණය පිළිබදව විස්තර ටිකක් කියමුද?

ඒක ටිකක් විශේෂ කතාවක්. දුව වෙනුවෙන් ගීතයක් ලියන්න ඕනේ කියන බලාපොරොත්තුව මගේ හිතේ

ඇතිවුන කාලයේදී ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා අපි දැනගෙන හිටියේ නැ. ගීතයක් ලියලා දෙන්න කියලා ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගී පද රචකයෙකුට යෝජනාව කලා. පද රචනය කිරිම සදහා දුවෙක්ද පුතෙක්ද ඇහුවාම මම කිවුවා “තාම දන්නෑ, මම හිතනවා දුවෙක් කියලා. දුවෙක්ට කියලා හිතාගෙන ලියන්න” කියලා. ඒ සදහා ජන ගිතයක් හරහා මම හොයාගත් තනුවකුත් දුන්නා. නමුත් එම ශිල්පියාගෙ අතිශය කාර්යබහුලත්වය නිසා කාලෙත් එක්ක ටිකක් පහුවුනත් හරිම ලස්සන ගීතයක් ලියලා දුන්නා. එය මම බලාපොරොත්තු වුනාට වඩා හරි සංකීර්ණ ගිතයක් වුනා. ඊට වඩා ටිකක් සරල විදියට ගී පද තිබුනා නම් හොදයි කියලා අපිට හිතුන නිසා එය ස්ථිර වුනේ නැ.

ඉතින් ගීතයේ පද පිළිබදව ස්ථිරත්වයක් නැති වුනත් අපේ පවුලේ හිතවතෙක් වන දිනේෂ් සුබසිංහට කතා කරලා තනුව නිර්මාණය කිරිමේ කටයුත්ත භාර දුන්නා. දිනේෂ්ගේ තිබුනු කාර්යබහුලත්වය නිසා අපේ නිර්මාණය නිමාකිරිම ටිකක් පහුවෙලා තිබුනේ. ජුනි මාසයේ අන්තිම හරියෙදි මම දිනේෂ්ට කතා කලා. එදා අපි අතර ඇතිවුනු සුහද මිතුරු කතා බහෙන් පස්සේ දිනේෂ් මට කතා කරලා කීවා. “දැන් කවද්ද හම්බ වෙන්නේ, බොරුවට නේ මාව කලබල කරන්නේ” කියලා . ඒ වෙනකොට දරුවා ලැබෙන්න දවස් 10 ක් වත් තිබුනේ නැ. ඉන් පස්සේ “මම හදලා තියෙන්නේ ඔන්න බලපන්” කියලා Whatsapp මාර්ගයෙන් එවලා තිබ්බා. මගේ හීනවල තිබුන මට දැනුන හැගීම එම සංගිතය තුල ගැබ්වෙලා තිබුනා.

ජයාරූප ගන්න ජුනි මාසේ අන්තිමට දින යොදාගෙන තිබුනේ. “Dark Room”හි දනුකලා යෝජනා කලා පසුවට ගීතය සදහා අවශ්‍ය වුනොත් යොදා ගන්න

ඒ වෙලාවේම රූප රාමු ටිකක් හදලා තියා ගමු කියලා.

ඒ වෙනකොට ගීතයේ වචන ස්ථිර වෙලා නොතිනුන නිසා මම වචන ටිකක් ලියලා ශෂිනිට දිලා කිවුවා “ඔයා මේ විදියට කට හොල්ලන්න”කියලා. ශෂිනි වචන ටික බලලා කිවා “මේ තාත්තමනේ ලියන්නේ, මේකට වෙන කවුරුවත් ඕනේ නැ. අපි මේ වචන ටිකම යොදා ගමු” කියලා.

ජුලි පලවෙනිදා හඬ පටිගත කරන්න යොදාගෙන තිබුනේ. එදා අපිට වෛද්‍ය සායනයට යන්න තිබ්බ දවසක්. හඬ පටිගත කරන වෙලාවෙත් “අද ටිකක් අමාරුයි වගේ” කියලා ශෂිනි කිවුවා. එදා ගීතය පටිගත කරන්න පැය 3 ක් විතර ගියා. ගීතය පටිගත කරලා අපි කෙලින්ම රෝහලට ගියා. එදින දරු ප්‍රසූතිය සදහා සුදුසුයි කියලා අපේ වෛද්‍යවරයා තීරණය කලා. ඉතින් එයා ගීතයත් බොහොම ආදරෙන් ගායනා කරලා ඇවිත් එදා හවසම අපිට දරුවා ලැබුනා.

ඊට දවස් 4 කට විතර පස්සේ Youtube හරහා ගීතය නිකුත් කරන්න අපිට පුලුවන් වුනා. එය අපිට හරිම සුන්දර මතකයක්.

🔸 ඔබගේ දියණිය මෞර්යා පිළිබදව ඔබගේ ආනාගත බලාපොරොත්තු මොනවාද? ඔබගේ පවුල් පසුබිමෙන් පැමිණෙන සංගිතය සහ රංගන කුසලතා ඔබ ඇයගෙන් දකිනවාද?

මෞර්යා “Drama queen” කෙනෙක්. රංගනය ක්ශේත්‍රයේ ඉන්න මටවත් හිතා ගන්න බැ සමහර දේවල්වලට එයා ප්‍රතිචාර දක්වන විදිය. මම හිතන්නේ එයා රගපානවාම නෙවෙයි. ඒක එයාට ස්වභාවයෙන්ම ලැබෙනු දායදයක්.

මෞර්යා හොද පෞර්ෂයක් තියන දරුවෙක්. එයාව කවදාහරි දවසක නිළියක්, ගායිකාවක් හෝ වෙනත් වෘත්තීයක් කරනවා කියන දෙයට වඩා අපේ අරමුණ එයාව සමාජයට හොද පුරවැසියකු කිරිමයි.

🔸විවිධ නිර්මාණ තුලින් එකිනෙකට වෙනස් චරිත නිරූපයෙන් ප්‍රේක්ෂක හිත් ඇද බැද ගැනිමට ඔබට උපන් හැකියාවක් ඇතිබව නොරහසකි. මෑතකදී පණපෙවු නින්ජා, ඩැනියල් උයන්ගොඩ, දේවින්ද වැනි චරිත සහ මෙම දිනවල විකාශනය වන

“වීදුරු මල්” ටෙලි නිර්මාණයේ ධනුකගේ චරිතය පිළිබදව ඔබේ අදහස සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබදව අපිට කියන්න කැමතියිද?

“නින්ජා, ඩැනියල්, දේවින්ද සහ ධනුක” කියන චරිත එකිනෙකට වෙනස් පරාසයන්වල දිවෙන නිසා එම චරිත නිරූපණය කිරිම මට අභියෝගයක් වුනා.

“සිල්ලර සමනල්ලු” හි “නින්ජා” කියන චරිතයෙන් පසු මම මෙගා නාට්‍යයවලට සම්බන්ධ වුනේ නෑ. “නින්ජා” වැනි චරිතයක් රගපෑවට පස්සේ “ඩැනියල් උයන්ගොඩ” වැනි අතිශය සංකිර්ණ චරිතයක් සදහා මාව යෝජනා විමත් ඉතා විශේෂ දෙයක් මොකද ගොඩක් රංගන ශිල්පින්ට ඇතිවෙන අවාසනාවන්ත සිදුවිමක් තමයි එක චරිතයක් කලාට පස්සේ ඒහා සමාන චරිත නැවත නැවත ලැබීම.

මගේ ම රචනාවක් තුල එන “දේවින්ද” කියන චරිතය ප්‍රධාන චරිතයක් නෙවෙයි. නමුත් පසු කාලිනව එය ප්‍රබල චරිතයක් බවට පත් වෙනවා.

“වීදුරු මල්” හි “ධනුක ඩි අල්විස්” කියන චරිතය වර්තමාන දේශපාලනය විසින් ක්‍රියාත්මක වෙන රහස් චරිතයක් හැටියට චාමර ජනරාජ් පීරිස් විසින් රචනා කරලා තියෙන්නේ. චාමර කියන්නේ දේශපාලනික වශයෙන් ලොකු අත්දැකීම් තියන පවුලකින් පැවතගෙන එන, දේශපාලනික දැනුම ගොඩක් තියන, ලෝක දේශපාලනය ගැන වුනත් ගොඩක් දන්න කෙනෙක්.

ඒ නිසා ඔහුට අවශ්‍ය වුනා දේශපාලනයේ සැගවුනු චරිතක් පිළිබදව බොහොම ආදරණීය ලෙස කතා කරන්න. චරිතය නිර්මාණය කිරිම පැත්තෙන් නාට්‍යයේ රචකයා සහ අධක්ෂකවරයා වශයෙන් සම්පුර්ණ ගෞරවය චාමරට හිමිවිය යුතුයි.

ඒවගේම “ධනුක” කියන්නේ ප්‍රේමවන්තයෙක්. ප්‍රේක්ෂකයන් මාව පෙම්වතා හැටියට චරිත සැහෙන ප්‍රාමාණයක දැකලා ඇති. ඒ නිසා මට ඕනේ වුනේ මම රගපෑ චරිතවලින් වෙනස්ම විදියකට “ධනුකව” නිර්මාණය කරන්න. එය රංගන ශිල්පයෙකු හැටියට මට ලොකු අභියෝගයක් වුනා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව මම හිතනවා එම චරිත එකිනෙකට වෙනස් වෙන් වෙන් වශයෙන් පැහැදිලිව හදුනා ගන්න පුලුවන් විදියට මම නිරූපණය කරලා තියනවා කියලා. එම චරිත සදහා මාව යෝජනා කරපු අධක්ෂකවරු, පිටපත් රචකයන් නිසායි මට පුලුවන් වුනේ විවිධ පරාසවලට යන්න. මම ඔවුන් සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.

🔸සාම්ප්‍රදායික ටෙලි කතා සංකල්ප රාමුවෙන් ඔබ්බට යමින් ආදරය, ත්‍රාසය සහ කුතුහලය වැනි අංශයන් සුක්ෂම ලෙස ස්පර්ශ කරමින් ඉතාමත් ජනප්‍රියත්වයට පත්වු “Number 9” ටෙලි නාට්‍යය රචනා කරමින් ඔබ තිර පිටපත් රචනයට අවතීර්ණ වුනා. ඒ පිලිබඳව විස්තර ටිකක් කියමුද?

විදේශීය චිත්‍රපටයක සංකල්පයක් අරගෙන ලංකාවට ගැලපෙන විදියට පර්යේෂණ කරමින් රචනා කල මගේ පළවෙනි ප්‍රාසාංගීය පිටපත තමයි “Number 9”

මම පිටපත ලියන්න පටන් ගන්න කොටම මහේන්ද්‍ර පෙරේරාට කතා කරලා කිවුවා “මහේන්ද්‍ර අයියේ වැඩක් තියනවා. මම ඔයාව ඔලුවේ තියාගෙනමයි මේක ලියන්නේ” කියලා.

මෙය චිත්‍රපටයක් සදහා අදහස් කරගෙනයි මම ලිවුවේ. ඒ පිළිබදව මුලිකවටයේ සාකච්ඡා පැවැත්වුවා නමුත් Covid සමයේ සිනමාව සම්බන්ධව තිබුනු විශ්වාසය යම්කිසි මට්ටමක අඩාල වෙලා තිබුන කාලයක චරිත් අබේසිංහගේ යෝජනාවකට අනුව එම පිටපත “Number 9” ටෙලි නිර්මාණය සදහා යොදා ගන්නවා.

කණගාටුදායක සිදුවිම තමයි මගේ අතින් ලියවුනු ආරම්භය සහ අවසානය නෙවෙයි ඔබ නරඹපු ටෙලිනාට්‍යයේ පළමුවෙනි සහ අවසාන දර්ශනවල තිබුනේ. නමුත් අධක්ෂකවරයාට පූර්ණ අයිතිවාසිකම තියනවා එය වෙනස් කරන්න.

මම ලියපු “Number 9” බොහෝම ඉක්මනට පාඨක ඔබට කියවන්න අවස්ථාව ලැබෙයි.

🔸”Number 9” වැනි විශිෂ්ඨ ගණයේ නිර්මාණය බිහි කරමින් කලාකෙත පෝෂණය කරන්න ඔබ අතින් ලියවුනු සහ ලියවෙන නිර්මාණ පිළිබදව ඔබේ ප්‍රේක්ෂකයන් වන අප දැන ගන්න කැමතියි…

මම රචනා කල පිටපතක් ඇසුරෙන් සිනමා පටයක් නිර්මාණය කිරිමට සියල්ල සුදානම් වෙලා තියෙනවා. මෙය ලංකාවේ මෙතෙක් බිහි වෙලා නැති සිනමාවට වඩාත්ම උචිත භාෂාවකින් ලියවුනු වෙනස්ම ආරයක නිර්මාණයක්. චිත්‍රපටය සම්බන්ධව මුලික සාකච්ඡාවලදී මෙහි විශේෂත්වය මේ පිළිබදව අහපු බලපු ක්ශේත්‍රයේ මාත් සමග චිත්‍රපටයේ එකට වැඩ කරන්න නියමිත පිරිස අතර කතා බහට ලක්වුනා.

ඉතින් මේ කාළයේ දී චිත්‍රපටය සදහා නිෂ්පාදකවරයෙකු මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. බොහෝ දුරට මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් එය ඉටුකර ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.

🔸ලංකාවේ ප්‍රමුඛ පෙලේ රූපවාහිනි නාලිකා තුලින් විකාශය වු “Tone Poem” සහ “Chat & Music” වැනි වැඩසහන් ඔබ දක්ශ ලෙස ඉදිරිපත් කලා. ඔබ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නිවේදනයක් කිවොත් මම නිවැරැදිද? ඔබව ඉදිරියේදීත් නිවේදනයකු ලෙස අපට දැක ගන්නට ලැබේවිද?

නිවේදන කියන්නේ වෙනස්ම වු විෂයක්. එම විෂය ඇතුලේ මම තාමත් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. මම නිවේදනයකු හැටියට මුලින්ම සම්බන්ධ වුයේ රූපවාහිනි සංස්ථාවෙහි “ඉරිදා ආයුබෝවන්” වැඩසටහන සමගයි. ඉන්පසු “Sri Lankan Life, Feeling Of Youth, Tone poem” වැනි වැඩසටහන් ඉදිරිපත් කිරිමට මට අවස්ථාව ලැබෙනවා.

මම ඉදිරිපත් කල වැඩසටහන් අතුරින් රංග ප්‍රේමරත්න සහ සුනේත්‍රා කුමාරි විසින් නිෂ්පාදනය කෙරුනු “Tone poem” වැඩසටහන වැඩිම සම්මාන ප්‍රමාණයක් ලැබුවා.

සුදත් රෝහණයන්ගේ ආරාධනයෙන් ස්වාධීන රූපවාහිනියේ “Chat & music” වැඩසටහනට ඉදිරිපත් කිරිමට මට අවස්ථාව ලැබෙනවා. එතුමාගේ අදහස වුයේ “විනෝදය වගේම සාරවත්බවක් තිබෙන අයුරින් සමබරව වැඩසටහන කරගෙන යන්න පුලුවන් නම් ඉතා හොදයි” කියලා.

වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වැඩසටහනට සහභාගි වන අපේ රටේ ඉතාමත් සාර්ථක නිර්මාණකරුවන් පිරිසට නිසි වටිනාකමක්, ඇගයීම දෙන්න ඕනේ.

වතගොතක් වුවත් අවසානයේ අපිට හමුවෙන කතාව ඵලදායි වෙන්න ඕනේ. එතකොට අපිට පුලුවන් රසවින්දනය සමග යම්කිසි දැනුමක් එකතු කර ගන්න. පෞද්ගලික වතගොත කියන්නේ කෑමක ලුණු, ඇඹුල් වගෙයි. ඒවා වැඩසටහන තුල තියෙන්න ඕනේ. නමුත් ලුණු විතරක් කෑවොත් මොකද වෙන්නේ? අන්න ඒ තත්වය මග හැරෙන අයුරින් සාකච්ඡාව පවත්වාගෙන ‍යන්න ඕනේ.

සාකච්ඡාවේදී එක ප්‍රශ්නයක් කෙලවර වෙන තැන අනික් කෙනාගේ ප්‍රශ්නය නිර්මාණය වෙන විදියට පෙළගැස්ම සදහා මම පෙර සතියේ සිටම සුදානම් කරගෙන යනවා. ඊට අමතරව වැඩසටහන අතරතුරේ හිතලා අහන ප්‍රශ්නත් තියනවා.

අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් මම “Chat & music” වැඩසහනක ඉදිරිපත් කලා. මාව වැඩසටහනෙන් ඉවත් කරන තුරු කරපු අවසාන වැඩසටහන දක්වා පුලුවන් උපරිම වශයෙන් මම දායක වුනා. අද නෙවෙයි සමහර විට “අනාගතයේ දවසක වුනත් ප්‍රේක්ෂකයන්ට නැරඹීමට පුලුවන් මට්ටමක මම වැඩසටහන ඉදිරිපත් කලා” කියලා මට සතුටක් තියනවා.

“Chat & music” වැඩසටහනනින් පස්සේ මට බොහෝ අවස්ථාවන් ලැබුනත්, එම වැඩසටහනෙන් මාව ඉවත් කිරිමට හේතුව කුමක්ද? මගේ අතින් වැඩසටහනට වුන වැරැද්ද මොකක්ද? කියලා මම තාම හිතනවා. ඒ පිළිබදව මට ලොකු කණගාටුවක් තියනවා.

🔸කලා ක්ශේත්‍රයේ දකින්නට ලැබෙන කඩවසම් රංගන ශිල්පින් පෙළ අතර ඔබේ නමත් ඉහළින්ම සටගන් කල හැකියි. ඔබගේ බාහිර පෙනුම පිළිබදව ඔබ සැලකිලිමත් වෙනවාද? ආහාර රටාවන් සහ ව්‍යායාම කාලසටහනක් අනුගමනය කරනවාද?

සාර්ථක රංගන ශිල්පියෙකුට තමන්ගේ ශරීරයේ හොද පාලනයක් තිබිම වගේම ශරීරයේ නම්‍යශීලී බව අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා. කදු නගින්න, දුවන්න, බයිසිකලයක් පදින්න වගේ විවිධ ක්‍රියාකාරකම් කරන්න මම හරිම කැමතියි.

රූගත කිරිම්වලට ගියාම සමහර වෙලාවට පාන්දර වෙනකම් එක දිගට වැඩ කරන්න වෙනවා. සමහර විට එකම දර්ශනය සෑහෙන වතාවක් රූගත කරපු අවස්ථාව තියනවා. ඒ නිසා ශරීරයේ යෝග්‍යතා මට්ටම හොදින් පවත්වාගෙන යෑම ඉතාම වැදගත් වෙනවා.

නිරූපණය කරන චරිතයට කඩවසම් බව අවශ්‍ය නම් මට එය හදාගන්න පුලුවන් ඒ වගේම අවශ්‍ය නැතිනම් කඩවසම් භාවය හංග ගන්නත් මට පුලුවන්.

🔸රංගනය සදහා අවතීර්ණ වන්නට බලාගෙන

ඉන්න නවක පිරිසට මගගු අත්වැලක් වන “ප්‍රාණ පාඨමාලාවට” සම්බන්ධ විය හැකි ආකාරය පිළිබදව පැවසුවොත්…

මමයි සම්පත් ජයවීරයි එකතුවෙලා “ප්‍රාණ වැඩසටහන” ආරම්භ කලේ. අපි මෙය කරගෙන යන්නේ ආදායම් ලබා ගැනිමේ ව්‍යාපාරයක් හැටියට නෙවෙයි.

රංගනයේදී වෙනත් කෙනෙකු බවට පත්විම කියන්නේ ඉතාම සංකීර්ණ කොටසක්. එය වචනවලින් විග්‍රහ කරන්න අසීරුයි. විෂය කරුණු සහ ප්‍රායෝගිකව පුහුණුව රංගනය සදහා අත්‍යාවශ්‍යයි.

අපි ආරාධනා කරනවා “රංගනය හොයන්න අපිත් එකක් එකතු වෙන්න” කියලා.

“ප්‍රාණ” සමග සම්බන්ධ වුනු පහුගිය කණ්ඩායම් සහ අලුතින් සම්බන්ධ වන කණ්ඩායම් සමග ප්‍රායෝගිකව එකතුවි ව්‍යාපෘතියක් කරන්න සුදානමින් ඉන්නවා. අපේ නිෂ්පාදනවලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න පිරිසට “ප්‍රාණ” whatsapp

අංකය හරහා අප සමග සම්බන්ධ විය හැකිය.

Whatsapp: 0094(0)764500305

🔸ධනංජය සිරිවර්ධන නම් චරිතාංග රංගන ශිල්පියාව අපට ඉදිරියේදි දැක ගන්නට ලැබෙන ටෙලි නාට්‍යයන් සහ සිනමා නිර්මාණ පිළිබදව විස්තර දැන ගන්න පුලුවන්ද?

ඒ නමට බොහෝම ස්තුතියි. මට හැමදාමත් උවමනාව වුනේ එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින් චරිතාංග රංගන ශිල්පියකු වන්න.

එක පෙළට මගේ නිර්මාණය බොහෝමයක් නම් ඔබට දැක ගන්න ලැබෙන්නේ නැතිවේවි. නමුත් රගපාන නිර්මාණය කීපය තුල මාව වෙනස් කරමින් විවිධ චරිත තුලින් ප්‍රේක්ෂකයා හමුවට ඉදිරියේදීත් එන්න මම උත්සාහ කරනවා.

මට ජිවිතයේ ගොඩක් දේවල් ලැබෙන්න මගේ ප්‍රේක්ෂකයන් නිසා. ඒ ආදරයට, විශ්වාසයට මම ගෞරවය කරනවා. දශක දෙකක් තිස්සේ මා ගැන විශ්වාසය තියපු ප්‍රේක්ෂකයන්ව ඉදිරියේදීත් වෙනස් වු චරිත නිරූපණ තුලින් හමුවීම මගේ පොරොන්දුවයි.

අමා නාකන්දලගේ

ජීවිතාවර්ජනය

විසි එක්වන සියවසේ ගෝලීකරණය වුණු සමාජයක අපි ජීවත් වුණත් තවමත් හණමිටි අදහස් දරන සමාජ තත්වයන් ගැන මහ ලොකුවට හිතන අනෙකාව හෙළා දකින මිනිසුන් කොට්ඨාසයක්. මම මෙහෙම කියන්නේ ඔයාලා ගොඩක් උනන්දුවෙන් කියවන “ජීවිතාවර්ජනය” ට මේක ගොඩක් ගැළපෙන නිසයි. මේ මම මීට සති කිහිපයකට උඩදී ලබපු අත්දැකීමක්. මගේ කිට්ටු මිතුරියකගේ සොහොයුරියක් ආදර සම්බන්ධයක් පටන් ගෙන. ඒ ගැන වැඩි විස්තර හොයාගෙන යනකොට මේ පිරිමි ළමයා මත්ද්‍රව්‍ය ගත්ත ඒත් මේ වෙනකොට ඒක අත්හැරපු කෙනෙක් විදියටයි දැනගන්න ලැබුණේ. මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් යාලුවගෙ ගෙදර අයට තිබුණෙ මේ ගැන ලොකු ප්‍රශ්නයක්. ඒක ඇත්තටම සාධාරණයි. ඒත් මට කියන්න ඕන වුනේ, මතට ඇබ්බැහි වී ඉන් මිදුණු කෙනෙකුට ජීවිතයක් නැද්ද? සමාජයේ පිළිගැනීමක් නැද්ද? හැමදාටම කුඩුකාරයා,බේබද්දා කියන ලේබලයම වදිනවද? ඇත්තටම තවමත් අපේ සමාජය ඔවුන්ව පිළිගන්න සූදානම් නැහැ. ඒත් බොහොම ආදරෙන් ආයාචනාවක් කරන්න කැමතියි. බාල, තරුණ, මහලු සියලු දෙනාටම මතට ඇබ්බැහි වී ඉන් මිදුණු අයට අනුකම්පා කරන්න. ඔවුන් සමාජයේ ම කොටසක් ලෙස ආදරයෙන් පිළිගන්න. ඔවුන් මතින් තොර විමට ගත් උත්සාහය අගයන්න. එසේ නැතහොත් නැවතත් ඔවුන් මතට ඇබ්බැහි වී මුළු මහත් සමාජයටම වෛර කරන මිනිසුන් කොට්ඨාසයක් වීම නියත යි. අද ජීවිතාවර්ජන යේ කතා නායකයා එරන්ද..

1. එරන්ද ඔයාගේ වයස කීයද? ගම කියන්න කැමති නම්

අවුරුදු 46යි. ගම ගම්පහ.

2. මොනවටද addict  වෙලා හිටියෙ?

මත්පැන් වලට

කොච්චර කල් ඉදලා ද? කොහොමද එක උනේ..

O/L ඉවර වෙලා results එනකං ඉන්න කොට තමයි ඉස්සෙල්ලාම බොන්න පටන් ගත්තේ. ඒ කියන්නේ අවුරුදු දාසයේ දී. මම ගියේ කොළඹ පාසලකට. ඒ කාලයේදී කොටුවෙ යාළුවෙක්ව අඳුනගන්න ලැබුණා. එයා සල්ලාල මිතුරෙක්. එයාට කොටුවෙ කඩයක් තිබුනා. එතන එයාටම කියලා කාමරේ කුත් තිබුනා. ඒ කාමරේ තමයි අපි දෙන්න එකතු වෙලා බොන්නේ. අපි දෙන්නා දවසකට බෝතලයක් බොනවා. එයා මාව යාලුවෙකුට අඳුන්වලා දෙනවා. ඒ  යාළුවා වයින් ස්ටෝස් අයිතිකාරයෙක්. ඉතින් එතනින් අපිට නිකං බෝතල් ලැබුණා. ඒත් ඒ කාලේ මං ඇඩික්ට් වෙලා හිටියෙ නැහැ. Results ආවට පස්සෙ මම

 A/L කරන්න ආයෙත් ඉස්කෝලෙ යන්න ගත්තා. සතියකට සැරයක් විතර යාලුවොත් එක්ක එකතු වෙලා බිවුවා. ජොබ් එකකුත් කරන්න පටන් ගත්තා. මම අවුරුදු 22 දී  විවාහ වුණා. අවුරුදු තුනකින් ඒ විවාහය දෙදරා ගියා. මේ සිදුවීමත් එක්ක මම ඇල්කොහොල් වලට ඇඩික් වුනා. දවස ගානේ බොන්න පටන් ගත්තා. මගේ අම්මා හැමවෙලේම කිව්වා හොද  මිනිහෙක් වෙන්න කියලා. අවුරුදු හතරකට පස්සේ මං ආයෙත් විවාහ වුණා. addiction එක එහෙමම තිබුණා. බොරු ප්‍රශ්න දාගෙන ගෙදරින් එළියට ගියා බොන්න. යාලුවෝ නැත්නම් තනියම හරි බිවුවා.

3. පුනරුත්ථාපනය වෙන්න තීරණය කළේ ඇයි? 

මට මාව control  නැති තත්ත්වයකට ආවා. ගෙදර අයට ගොඩක් කරදර කළා. මගෙ නංගි, wife මට පුනරුත්ථාපනය වෙන්න කියලා කිව්වා. මගේ ලොකු දුව ( අවුරුදු 13) මට කිව්වා තාත්ති මට දැන් ඔයාව එපා වේගෙන එන්නේ ඒ හින්දා පුනරුත්ථාපනය වෙන්න යන්න කියලා. ඇත්තටම ඒ නිසයි මම ගියේ.

4. මතින් තොර වෙන එක තනියම කරන්න පුලුවන්ද? 

තමන්ගේ අධිෂ්ඨානයයි කැපවීමයි අනිවාර්යෙන්ම තියෙන්න ඕන. පුනරුත්ථාපනය වෙනවා කියන එක ලේසි නැහැ. එතැනදි අපි හරියට විඳවනවා. තමන්ගේ කියන කවුරුත් නැහැ. දරුවො, පවුල, මගෙ නංගි, තාත්තා හරියට මට මතක් උනා. මං නිසා ඒ අය විඳපු දුක මතක් උනා. හෘද සාක්ෂිය කතා කරන්න ගත්තා. මෙතැනදි මතින් තොර වෙන එක විතරක්ම නෙමෙයි, අපි කොහොමද තමන්ව පාලනය කරගන්නේ, ඉවසීම පුරුදු වෙන්නේ කියන දේවල් අපිට කියලා දෙනවා. එතනදි කරන වැඩසටහන් අපේ ජීවිතේට හරි වැදගත්. ඒ වගේම කියන්න ඕනේ දෙවියන් බුදුන් ගෙන් මේ ගමන යන්න අපිට ලැබෙන ආශිර්වාදයත් හරිම වැදගත්.

5. මේ ඇබ්බැහි වීමත් එක්ක ඔයාට අහිමිවුණු දේවල් මොනවද?

මට මගේ අම්මව නැතිවුණා. එයා මං  ගැන ගොඩක් දුක්වුණා. ඒකත් එක්කම එයා අසනීප වෙලා අපි අතරින් සදහටම වෙන් වුනා. මට මාව නැති වුණා. මම අමනුස්සයෙක් ගානට වැටුනා. දරුවන්ට මාව එපා වුණා.  රැකියාව අහිමි වුණා. ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන්න වුනා.

6. අහිමි වුන දේවල් නැවත ලඟා කරගන්න ඔයා මොනවද කළේ?

පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිය අලුත හිතේ තිබුනෙම එතනින් පැනගන්න. ඒත් wife  මාව බලන්න ආවම කිව්වා, අපි හරි සැනසීමෙන් දැන් ගෙදර ඉන්නවා. ඔයා නැති උනත් අපි මෙච්චර කැපකිරීම් කරන හින්දා කොහොමහරි ඉන්න ඕන නියමිත කාලේ ඉඳලම එන්න කියලා කිව්වා. ඒ නිසා මං අවංකවම මතින් තොර වෙන්න කටයුතු කළා. මේ නිසා පවුලේ විශ්වාසය දිනාගන්න මට පුළුවන් වුණා.

7.එරන්ද ,ඔයා මතට ඇබ්බැහි වෙලා හිටපු කාලපරිච්ඡේදය තුළ ඔයාගෙන් අන් අයට වුණු අපහසුතා මොනවද?

ගොඩක් අපහසුතාවලට මුහුණ දුන්නා. හැමදාම ගෙදර ගිහින් රණ්ඩු වුණා. තාත්තත් එක්ක රණ්ඩු වුණා. තාත්තට ගැහුවා. දවසක් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා පිහිය අරගෙන වයිෆ්ට  අනින්නත් ගියා.ලොකු දුව තමයි බේරුවේ. දැන් ඒව මතක් වෙද්දිත් මට ඒ අය ගැන දුකක් වගේම මං ගැන  ලැජ්ජාවක් ඇති වෙනවා.

8. මත්පැන්,මත් ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද?

විහින් නාස්ති වෙන දෙයක් කියලයි හිතෙන්නේ. Social drinking වුණත් මං වගේ කෙනෙකුට ගැළපෙන් නැහැ.

9.ඔයා ලබපු අලුත් ජීවිතේ ගැන මොනවද හිතෙන්නේ?

මේ අලුත් ජීවිතේ නිසා ලොකු සැනසීමක් සතුටක් දැනෙනවා. මානසික නිදහසක් දැනෙනවා. චාටර් චරිතයක් වෙලා හිටපු මං ගැන මගේ දරුවෝ, බිරිඳ, නංගි, තාත්තා වගේම මගේ නෑදෑයොත් සතුටු වෙනවා. මං operations manager කෙනෙක් විදිහට ප්‍රධාන පෙළේ ආයතනයක රැකියාව කලා. ඇබ්බැහිවීම නිසා රැකියාව නැති වුනත්, මගේ අලුත් ජීවිතය නිසා නැවතත් මට එම ආයතනයේ ම රැකියාවක් ලැබුණා. ඉතින් මට මේ හැම දෙයක් ගැනම සතුටුයි.

10. තරුණ පරපුරට ඔයාට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? 

මත්පැන්, මත්ද්‍රව්‍ය කියන්නේ මහ බොරු දෙයක්, විහින් නාස්ති වෙන දෙයක්. ටිකවෙලාවකට මත් වෙලා ඉන්නවට වඩා හොඳ සිහියෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්.

                            ස්තුතියි

                       පියුමි සිල්වා

දරුවන්ට ෆෝන් දෙන්නද

දරුවන්ට ෆෝන් දෙන්නද ?එපාද ?

මේ දවස් වල නැවතත් ,දරුවන්ට මොබයිල් ෆෝන් අරන් දීම හොඳද නැද්ද කියල කථිකාව හැදිලා .

ඒකට ආසන්නතම හේතුව වුනේ , ෆෝන් එකක් සම්බන්ධ සිද්ධියක් නිසා තරුණ දරුවෙක් ජීවිතය නැති කරගෙන තිබීම .ඉතින් මේ මාසේ අපි ” අපි “එකේ ඒ ගැන කථා කරමු .

පුතාට අවුරුදු 15යි

එයා හැමදාම පන්තියේ පළවෙනියා,

ඉස්කෝලේ වැඩට අරන් දීපු ෆොන් එකෙන්, පාඩම් වැඩ නොකර ගේම් ගගහ ඉන්න නිසා මම ෆොන් එක ආපහු ගත්තා,

ෆොන් එක නොදීපු නිසා පුතා එල්ලිලා මැරිලා,

දැන් අපිට ළමයින්ට ෆොන් දීලත් බෑ නොදීත් බෑ..

මේ මැරිච්ච දරුවගෙ දෙමව්පියෝ කිව්වෙ එහෙමයි.

💊ජංගම දුරකථන ළමයින්ට දෙනකොට ඒ ගැන හොඳ සෝදිසියෙන් ඉන්න ඕනෙලු,

💊දරුවො විනාශ වෙන්නේ ෆොන් නිසාලු,

💊අපි පොඩි කාලෙ නම් ඔහොම නැහැ ලු

මේවා කියන්නෙ සමාජයේ සමහරු..

එක එක පැති වලින් බැලුවම ඔය ඔක්කොම දේවල් හරි ඇති, සාදාරණත් ඇති.

ඒත් එතනින් එහාට ප්‍රයෝගිකව විවුර්ත වෙලා බැලුවොත් තත්වේ ඊට වඩා වෙනස්.. 👇

ළමයෙක්, අවුරුදු 13 ක්‌ විතර පහුවෙලා teenage වයසට එනවා කියන්නෙ  ඇතුලෙන් පිටින් දෙකෙන්ම හැඟීම් දැනීම් හැසිරීම් වෙනස් වෙන්න පටන් ගන්න කාලෙ,

ඉලන්දාරි කම් ඉහට ගහලා කියලා අම්මලා තාත්තලා කෑ ගැහුවට ඒක එහෙම වෙන්නේ හෝමෝනවල වෙනස් වීම  නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.

ඉතින්, ඒ කාලෙදි එක එක පරිමාණයෙන් දරුවන්ගේ හැසිරීම වෙනස් වෙනවා, කථා බහ අඩු වෙනවා, නිශ්ශබ්ද වෙනවා, අළුත් තාක්ෂණය එක්ක ගැටීම රැඳීම වැඩි වෙනවා, විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වෙනවා.

ඔය කාලෙදි   දරුවෝ එක්ක ගණුදෙණු කරන්න ඕනෙ හැඟීම් වලින් නෙමෙයි බුද්ධියෙන්,

අපි නම් කලේ මෙහෙම නෙමෙයි, අපි තමයි හොඳටම කලේ..

ඒ කාලෙ අපි මෙහෙම නැහැ, ෆොන් එබුවේ නැහැ, ගේම් ගැහුවේ නැහැ, කුණුහරප බැලුවේ නැහැ, කාමර අස්සෙ රිංගන් හිටියෙ නැහැ කියලා චෝදනා කළාට ඇත්තටම ඒ කාලෙ උනෙ ඒක නෙමෙයි,

ඒ කාලෙ ෆොන් tab, lap ඕවා තිබ්බේ නැහැ,

ඒ කාලෙ හැටියට තිබ්බ ලොකුම නසාරානි වැඩ තමයි, ගස් නගිනවා, ගෙඩි කඩනවා, ගඟේ පීනනවා, ෆිල්ම් හෝල් වලට රිංගනවා, හන්දි, බෝක්කු ගානේ රස්තියාදු ගහනවා..

ඉතින් ඕවා තමයි ඒ කාලෙ තිබ්බ නසරානිම වැඩ, ෆොන් එබුවේ නැති උනාට ගේම් නොගහුවට නිල් පාට ඒවා නොබැලුවට කාලෙට අනුව තිබ්බ ඔක්කොම කොලු කම් අඩු නැතුව කරල අම්මලාගෙන් ගුටී කාලා තෙම්පරාදු වෙලා රස්තියාදු ගහල අද දෙමව්පියෝ බවට පත් වුනාම දරුවන්ගේ තරුණ සෙල්ලක්කාරකම් එක්ක ගණුදෙනු කරද්දී  ඒ කාලෙ අපි මෙහෙමයි ඇරෙහෙමයි කියලා එදා අද එක්ක සංසන්දනය කරන එක කොහොමත්  සාදාරණ  නැහැ,

සියල්ල තාක්ෂණික මෙවලම් අතර රැඳීච්ච රොබෝවරුන්ගේ යුගයක දරුවො හදලා, ඒ දරුවෝ සිරිමත්ලා වගේ යහපත්ව කොන්ඩේ තෙල් ගාල පීරලා විනීත, සුසිල්වත්,ඉතා කීකරු,ඉස්කෝලේ වැඩ විතරක්ම කරන අර බලන්න නයනා අමර සල් ගස යට කියලා සල් මල් නෙලන දරුවෝ වෙයි කියලා හිතනවානම් ඉතින්,ඒක ලොකු විහිළුවක්.

කාලයේ තාලෙට ලෝකෙ වෙනස් වෙනකොට තමන්ගේ ළමයි විතරක් වෙනස් නොවී ඉඳියි කියලා හිතන එක දෙමව්පියන්ගේ අඩුපාඩුවක්,

තරුණ දරුවෝ ෆොන් පාවිච්චිය, ගේම් ගහන එක, අන්තර්ජාලයට රිංගන එක මේ කාලෙ අහස පොළව නුහුලන පට්ට අපරාධයක් නෙමෙයි,

දරුවෝ එක්ක හොඳින් කතාකරලා, තේරුම් කරල දීලා ඒවාට සීමාවක් දාන්න බලන එක වෙනස්,

හැබැයි බකස් ගාල එකපාරටම ඒවා 

නවත්තල දාලා දෙමව්පියෝ, දෙමව්පියන්ගේ බලය පෙන්නන්න ගියාම වෙන්නේ, දරුවෝ තමන්ගේ මුරණ්ඩුකම් වල උපරිමයටම යන එක විතරයි.

කාළයත් එක්ක හැමදේම වෙනස් වෙනවා වගේ,අපේ දෙමව්පියෝ දරුවෝ එක්ක ගණුදෙනු කරන විදිහෙත් වෙනසක් ඇති වෙන්න ඕනෙ,

එහෙම නොවී  තාක්ෂණයට බැනලා මෙවලම් වලට සීමා දාලා නම් මේ වගේ සිද්ධි වෙන එක නවත්තන්න බැහැ.

අලුතෙන් ජීවිතේට පය ගහපු තරුණ ළමයින්ට වඩා, ඒ යුගය පහු කරන් ගිය දෙමව්පියෝ මීට වඩා ඉවසීම, තේරුම් ගැනීම, ප්‍රගුණ කරල ප්‍රයෝගිකව යතාර්ථවාදීව දරුවෝ දිහා බලන්න ඕනෙ,

අන්තිමට හැමදේටම වැරදි දෙමව්පියෝද කියලා කෙනෙක් ඇහුවොත්, උත්තරය ඔව්, දරුවෝ හදනවා කියන්නෙ සියළු වගකීම් බාරගෙන බැනුම් අහන්න ලෑස්ති වෙලා කරන්න ඕන වැඩක්,

හොඳ හෝ නරක දරුවො වැඩිහිටියෝ වෙනකම් දෙමව්පියෝ වග කියන්න ඕනෙ තමයි.

අනිශා ජයකොඩි ✍️

අනිවාර්යයෙන්ම ඉදිරියේදී මාව දකින්න පුලුවන් ගුවන් නියමුවෙක් හැටියට තමයි

කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ, පරෙවි රැජිනියේ එදා වගෙ අදත්,

ඔබට තවම මම ආදරෙයි…

ඔබට තවම මම ආදරෙයි…

ඔබට තවම මම ආදරෙයි….

දශක දෙකකට අධික කාලයක් පුරා ගීත 800 කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් රසික සිත් සුවපත් කල සොදුරු ගායක මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ලේ උරුමය ලබමින්, සුමදුර හඬ පෞර්ෂය සහ ගායන හැකියාව උප්පත්තියෙන්ම දයාද වු මල්ලවාරච්චි පරම්පරාවේ වර්තමාන පුරුක ගායක, ගුවන් නියමුවා පවන් මල්ලවආරච්චිගේ නම් වු ඒ නිහතමානී සොදුරු හිතවතාගේ වතගොත දැනගන්න මෙතෙන් පටන් අපිත් සමග එකතු වන්නටයි ඔබට ඇරයුම….

🔹පවන්ගේ ළමා කාලය ගෙවුනේ කොහොමද?

මම ඉපදුනේ කොළඹ නවලෝක රෝහලේ. අම්මායි, තාත්තායි, නංගියි, මගේ අම්මගේ අම්මායි අපේ ගෙදර හිටියේ. අපි ජිවත් වුනේ බොරැලැස්ගමුව කියන ප්‍රදේශයේ. පොඩිකාලේ ඉදලාම මගේ පවුල එක්ක තමයි මම ගොඩාක් කාලය ගත කලේ.

මම පාසැල ගියේ කොලඹ Royal Institute එකට. ඒත් මට වැඩි කාලයක් ලංකාවේ පාසැල් යන්න ලැබුනේ නැ. මට වයස අවුරුදු 7 ක් වගේ වෙනකොට අපි ඔස්ට්‍රේලියාවට පදිංචියට ආවා.

මම ඔස්ට්‍රේලියාවේ Berwick Grammar පාසැලේ

සාමාන්‍ය විෂය නිර්දේශය ඉගෙන ගත්තා. ඉන්පසු ගුවන් සේවා පාඨමාලාව හැදැරීමට අවශ්‍ය විෂයන් තෝර ගෙන කලා.

🔹ගුවන් නියමුවෙකුවිමට කුඩා කාලයේදී ඉදලා හීනයක් තිබුනාද? ඒ හීනයට ගිය ගමන ගැන අපට විස්තර කියන්න පුලුවන්ද?

2004 වසරේ දි වගේ මම තාත්තයි, අම්මයි එකක් මගේ ආච්චිව බලලා යන්න ඔස්ට්‍රේලියාවට ආවා. ඒක තමයි මගෙ පලවෙනි ගුවන් ගමන. එතකොට මට වයස අවුරුදු 5 ක් වගේ ඇති. මට ඒක අලුත් අත්දැකීමක් වුනා. එදා ඉදලා මගේ හිතේ හීනයක් හැදුනා කවදාහරි ගුවන් නියමුවෙක් වෙන්න ඕනේ කියලා.

ඒ වගේම මගේ මහප්පා, අම්මගේ අක්කගේ මහත්තයා ජාත්‍යන්තර ගුවන් සමාගමක ගුවන් නියමුවෙක්. මහප්පාලාගේ ගෙදර පොඩි Module ගුවන් යානා තියනවා. මහප්පා නිල ඇදුම ඇදගෙන යනවා මම දැකලා තියනවා. ඒකත් මට ලොකු බලපැමක් වුනා කියලා මම හිතනවා.

ඔස්ට්‍රේලියාවට ආවාට පස්සේ මගේ හීනය සැබැ කර ගන්න මට අවස්ථාව ලැබුනා. 2018 දි මම ගුවන් සේවා පාඨමාලාව හැදැරීම සදහා විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා.

පුහුණු කාලයේදී මගේ පලමුවෙනි ගුවන් ගමන ගියේ උපදේශකයෙක් එක්ක. ඊට පස්සේ තනියම පියාසර කරන්න අවස්ථාව ලැබුනා. තනියම පියාසර කරද්දී ලැබුනු අත්දැකීම තාමත් මට හිතා ගන්න බැ. ඒ හැගීම මට වචනවලින් කියන්නත් අමාරුයි.

දැන් මගේ පුහුණු කාලයෙන් 85% ක් විතර ඉවරයි.

මම දැනට පියාසර කරන්නේ Cessna 172 ගුවන් යානය. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 7 න් මම මේ වෙනකොට ප්‍රාන්ත 4 ක් විතර තනියම පියාසර කරලා තියනවා.

2021 වසරේ මුල් කාලයේදි මගේ පාඨමාලාව නිමා කරන්න තිබුනත් පහුගිය අවුරුදු කීපයේ COVID 19 වසංගත නිසා පුහුණුවිම සැලසුම් කල විදියට කර ගන්න බැරි වුනා. තව මාස දෙකකින් විතර මගේ “Commercial Pilot License” එක ලැබෙනවා. තව ශ්‍රේණිගත

කිරීම් කිපයකට පසුව ගුවන් නියමුවෙක් වශයෙන් සුදුසුකම් ලබන්න මට හැකියාව ලැබෙනවා.

මගේ හීනය සැබැ කර ගෙන ගුවන් නියමුවෙක් වෙන්න ලැබිම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. ලෝකයේ පිලිගත් ගුවන් සමාගමක් සමග සම්බන්ධ වි වැඩ කිරිම මගේ අවසාන ඉලක්කයයි.

🔹අධ්‍යාපන කටයුතු සදහා පවුලේ අයගෙන් ලැබුනු සහයෝගය කොහොමද?

මම මගේ හීනය ගැන අම්මටයි තාත්තටයි මුලින්ම කිවුවාම ඒ දෙන්නා ගොඩක් සතුටු වුනා. අම්මයි තාත්තයි කිවෙ ඔයාට හොදයි හිතන දේ, ඔයා කැමති දේ කරන්න කියලා.

තාත්තට ලොකු ආසාවක් තියනවා මේ විෂය ගැන. මම ගුවන් ගමනක් ගියාම තාත්තා මට කතා කරලා බලනවා, විස්තර අහනවා කොහෙද ගියේ මොනවාද වුනේ කියලා. සමහර වෙලාවට මටත් වඩා උනන්දුවක් තාත්තාට තියනවා කියලා මට හිතෙනවා. මම තාත්තාට ගොඩාක් ගරු කරනවා. තාත්තව යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න ලැබිම මගේ ජිවිතයට ගොඩක් වටිනවා.

අම්මයි තාත්තියි අපිව අධ්‍යාපන කටයුතුවලට ගොඩක් උනන්දු කලා. අපි ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආපු එක අපේ හීනවලට යන්න ලොකු උදව්වක් උනා. මගේ නංගිත් 2024 වසරේදී විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් වෙනවා. තාත්තාගෙයි අම්මගෙයි බලාපොරොත්තු අපි ඉටු කලා කියලා හිතෙනවා.

🔹තමන්ගේම පුතනුවන් ගුවන් නියමුවා වශයෙන් පියාසර කරන ගුවන්‍ යානයක සංචාරයක් යන්න ලැබිම් ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. තාත්තා එක්ක මෙල්බන් නගරයේ ගුවනින් සැරිසැරුවා නේද?

තාත්තට ආසයි කිවා මෙල්බන් නගරය සහ මුහුදුබඩ පලාත බලන්න. මේ අවුරුද්දේ මුලදි මම තාත්තව මෙල්බන් නගරය වටේ පැය එකහාමරක විතර ගුවන් ගමනක් එක්කන් ගියා. ගුවන්ගත වුනාට පස්සේ ගුවන්යානාව ක්‍රියාත්මක වෙන හැටි ගැන පොඩි විස්තරයක් මම තාත්තට කියලා දුන්නා. ඒ වගේම මගේ ආච්චිව මේ අවුරුදේ මැද වගේ එක්කන් ගියා. දැන් අම්මවයි නංගීව තමයි එක්කන් යන්න තියෙන්නේ.

🔹මිල්ටන් මල්ලවාරච්චි සහ රනිල් මල්ලවාරච්චි වැනි විශිෂ්ට ගායක දෙපලකගේ ඇසුර ලැබීම ගැන ඔබ මොනවද හිතන්නේ?

මම පොඩිකාලේ ඇත්තටම දැනගෙන හිටියෙ නැ අපේ සීයා ගායකයෙක් කියලා මොකද මට සියාව හම්බවෙලා නැ. සියා 1998 මාර්තු මාසයේ දි ජිවිතයෙන් සමු ගන්නවා. මම ඉපදෙන්නේ ඊට අවුරුද්දක විතර කාලයකට පස්සේ.

අපි දැක්කේ තාත්තා ගීත ගායනා කරනවා. මට අවුරුදු 5 ක් 6 ක් වගේ වෙනකොට තමයි මම දැනගත්තේ සීයාත් ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් කියලා. සීයා 1968 වසර වගේ ඉදලා ගීත ගායනා කරලා තියනවා. සීයාගේ අභාවයෙන් පස්සේ අපේ තාත්තා දැනට අවුරුදු 30 ක විතර කාලයක් සියාගේ ගීත රැකගෙන ඉදිරියට ගෙනියනවා. තවමත් සීයා අදුරන අය, සීයගේ රසික රසිකාවියෝ සීයාව ගැන මතක් කරලා අගය කරනවා.

මම හිතනවා මේ දෙදෙනාම සංගීත ක්ශේත්‍රයට දැවැන්ත සේවාවක් කරලා තියනවා කියලා.

තාත්තා මුලින්ම ගායනා කලේ තාත්තාගේම නිර්මාණ. සීයා නැති වුනාට පස්සේ තමයි තාත්තා සියාගේ ගීත ගායනා කරන්න පටන්ගෙන තියෙන්නේ.

පොඩිකාලේ මට විවේක කාලයක් ලැබුනාම තාත්තා එක්ක ගොඩක් ප්‍රසංගවලට ගිහින් තියනවා. මට ගොඩක් පොඩිකාලේ ඉදලාම ප්‍රියා සූරියසේන මාමා, වික්ටර් රත්නායක මාමා වගේ ප්‍රවීනයන් ඇසුරු කරන්න ලැබිලා තියනවා.

🔹පවන් සංගිතට යොමුවුනේ කොහොමද?

මට වයස අවුරුදු 7 දී වගේ පාසැලේ ගීතිකා කණ්ඩායමට සම්බන්ධ වෙන්න ලැබුනා. මට ගීත ගායනා කිරිමේ හැකියාවක් තියනවා කියලා ගීතිකා කණ්ඩායමේ ගුරුවරිය හදුනා ගෙන සමහර ගීත මුලිකත්වය අරගෙන ගායනා කරන්න අවස්ථාව දුන්නා.

මමයි, මගේ ඔස්ට්‍රේලියානු ජාතික යාලුවෝ 4 දෙනෙකුයි එකතු වෙලා සංගිත කණ්ඩායමක් හැදුවා. මම ගොඩක් දුරට ඉංග්‍රීසි ගීත තමයි ගායනා කලේ. ඒත් මම පොඩිකාලේ ඉදලාම පරණ සිංහල ගීත නිතරම අහනවා.

මම Australia Music Examination Board (AMEB) එක සමග සම්බන්ධ වෙලා හඩ පුහුණුවිම කලා. ඒ වගේම Guitar, Piano වාදනය කරන්න තනියම ඉගෙන ගත්තා.

🔹 මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීත රසික රසිකාවියන්ට අහන්න නව මුහුණුවරකින් ඉදිරිපත් කිරිමට අදහසක් තියෙනවාද?

සීයගේ ගීත 800 ක් විතර තියනවා. මගේ අදහසක් තියනවා වැඩිය ඇහෙන් නැති ගීත කිපයක් තෝරාගෙන චන්දිම ජයතිලක අයියා සහ Zigma සංගිත කණ්ඩායම සමග එකතු වෙලා remix කරන්න.

මගේ Facebook පිටුවෙන් සහ Youtube චැනලය තුලින් මෙම නිර්මාණ හැමෝටම බලා ගන්න පුලුවන්. ඒක තමයි සංගිතය පැත්තෙන් මේ අවුරුද්දෙ කරන්න මම අදහස් කරගෙන ඉන්නේ.

🔹පවන්ට ජිවිතය දැනෙන්නේ කොහොමද? පවන් මොනවගේ කෙනෙක්ද?

ජිවිතය කියන්නේ ගමනකට, ගමනාන්තයකට නෙවෙයි. මම හිතන්නේ ජීවිතයට කාලරාමුවක් නැ. ජිවිතය කියන්නේ කාලයෙන් කාලයට සමාජය විසින් නිර්මාණය කරපු අරමුණු කරා යෑම නෙවෙයි.

Covid 19 වැනි වසංගත නිසා හැමෝගෙම ජිවිත කොච්චර වෙනස් වුනාද කියලා අපිට දකින්නට ලැබුනා. අපිට ගෙවල් ඇතුලෙම ඉන්න වුනා අවුරුදු දෙකකට කිට්ටු වෙන්න. ඉතින් ජිවිතේට එන දේට මුහුණ දෙන්න ඕනේ, එතකොට තමයි ලොකු ගමනක් යන්න පුලුවන්.

මම හරිම නිදහසේ, විනෝදෙන් ඉන්න කැමතියි. මම ඕනෙම කෙනෙක් එක්ක ඉන්න පුලුවන් චරිතයක්. මාව ලගින් ආශ්‍රය කරන මගේ ලගින් ඉන්න පිරිස ඒක හොදින්ම දන්නවා. පවුලේ එකිනෙකා අතර සහ හිතවතුන් අතර සම්බන්ධතායන් හොදින් පවත්වාගෙන යාම මගේ ජිවිතයට ගොඩක් වැදගත් වෙනවා.

🔹 එදා රෑ… ගුවන් තොටුපලේදී මා… වෙන් වී ගියේ… සිතකින් නොවේ…

පවන් ගුවන් නියමුවෙක් නිසා මේ ගීතය මතක් කරලාම මෙහෙම අහන්න හිතුනා, පවන් ආදරවන්තයෙක්ද? ආදරය ගැන මොනවද හිතන්නේ?

ආදරය කියන දේ විග්‍රහ කරන්න නම් හරිම අමාරු දෙයක්. තේරුම් ගැනීම, විශ්වාසය, ගරු කිරිම මේ ඔක්කොම එකතු වුනාම තමයි ආදරය ‍රදා පවතින්නේ. පොඩි පොඩි අතපසුවීම් සිදුවිම මනුස්ස ස්වභාවය නිසා දෙදෙනාම අවබෝධයෙන් කටයුතු කිරිම ඉතාම වැදගත් වෙනවා.

මම දැන් පෙම්වතෙක්. එයත් ලංකාවේ පදිංචි වෙලා ඉදලා තියෙන්නේ බොරැලැස්ගමුවේ අපේ ගෙවල් කිට්ටුවමයි. ඒත් මම එයාව කලින් දැනගෙන හිටියේ නැ. මට එයාව මුණගැහුනේ සමාජ මාධ්‍යය ඔස්සේ. දැන් එයාගේ පදිංචිය කැනඩාවේ. එයා නීතී උපාධිය අවසන් කරලා කැනඩා රජයට ආදාලා කාර්යාලයක දැනට සේවය කරනවා.

🔹පවන්ට කඩවසම් පෙනුමක් තියන නිසා රංගනයට ආරාධනා ලැබිලා තියනවා ද?

මට රංගනට ගොඩක් ආරාධනා ලැබිලා තියනවා. රංගනය මට ලොකුවට පිහිටලා නැ. දෙයක් කරනවා නම් හරියට කරන්න ඕනේ කියලා මම හිතනවා. මට ගැලපෙන චරිතයක් ලැබුනොත් මම ඒ ගැන හිතලා බලනවා.

🔹 සෞඛ්‍යමත් ජීවන රටාවක් පවත්වාගෙන යෑම සදහා පවන් මොනවාද කරන්නේ?

මම අනිවාර්යයෙන්ම ව්‍යායාම කරනවා. මම හරිම ආසයි පර්යේෂණ කරමින් ඒවා අත්හදා බලන්න.

ඒ වගේම මම කෑම ගැනත් ගොඩක් සැලකිලිමත් වෙනවා. ශරීරය සෞඛ්‍ය හොදින් පවත්වා ගන්න නම් හැම කෙනෙක්ම පොඩි හරි ව්‍යායාමයක යෙදෙන්න ඕනේ කියලා මම හිතනවා.

🔹පවන්ව අපිට ඉදිරියේදී දකින්න ලැබෙන්නේ ගුවන් නියමුවෙකු විදිහටද? එහෙම නැතිනම් ගායන ශිල්පියෙකු විදියටද?

අනිවාර්යයෙන්ම ඉදිරියේදී මාව දකින්න පුලුවන් ගුවන් නියමුවෙක් හැටියට තමයි. මට කාලය තිබුනොත් ප්‍රසංගවල සම්බන්ධ වෙලා සජීවීව ගායනා කරන්න මම ගොඩාක් ආසයි. මේ අවුරුද්දේ අන්තීමේට මට යුරෝපීය සංචාර කිපයකට සහභාගි වෙන්නත් අවස්ථාව ලැබිලා තියනවා.

අමා නාකන්දලගේ

ඔබ ගැන හැදින්වීමක් කලොත්

ඔබ ගැන හැදින්වීමක් කලොත් 

ඇත්තටම මගෙ නම දුෂාන්ති නිසංසලා ඒ උනත් හුගක් අය මාව අදුනන්නෙ නිශා එහෙම නැත්නම් නිශූ කිව්වම විශේෂයෙන් මුහුණු පොතේ.

* වැඩිදුර විස්තර කිව්වොත් 

මගෙ ගම මහව ,විජයබා ජාතික පාසලේ තමයි අධ්‍යාපනය ලැබුවේ , පවුලේ අම්මයි,තාත්තා ,නංගී ඉන්නවා, දැන්නම් මන් සැමියා සමග රුමේනියා වල ජීවත් වෙන්නෙ.

* ඔබ වෘත්තීය වශයෙන් මොනවද කරන්නෙ

Laboratory Assistant and 

Elderly care home nurse 

කෙනෙක් විදියට සේවය කලා, ඇත්තටම මන් හරිම ආසාවෙන් කල රැකියාවක් , ජීවිතේ  ගැන  හුගක් දේවල් දෑහින්ම දැක්කෙ Elder care home එකේ වැඩ කරන කාලෙ ,ජීවත් වෙන්න මහන්සි වෙනව වගේම  සමහර මිනිස්සු අවසාන හුස්ම හෙලන්නත්  හුගක් වෙහෙස වෙනව මන් දැක්කා,

* ඔබේ රැකියාව එක්ක ඔබට  විවිධ මිනිස්සු මුන ගැහිල ඇති විවිධ අත්දැකීම් ලැබිල ඇති 

ඔව් මිනිස්සු විසින් හදාගත්ත ඇති නැති පරතරය මිනිස්සුන්ව ලෙඩ කරද්දී සොබාදහම බලන්නෙ නෑ , මන් ඉන්ජෙෂන් කටුව මුලින්ම අතට ගත්ත දවස මට කවදාවත් අමතක වෙන්නෙ නෑ එදා මගෙ අත් දෙක වෙව්ලපු තරමට මන් හිතුවෙ කවදාවත් මට මේ රස්සාව කරන්න වෙන එකක් නෑ කියල .

* කොහොමද ලියන්න පටන් ගත්තෙ

ඇත්තටම මන් ඉස්කෝලෙ යන කාලෙ ඉදලම පොඩි පොඩි නිසදැස් ලියනවා,ඒ කාලෙ පත්තර වලටත් පොඩි නිසදැස් ලියල තියනව , ඒත් ඒව මගෙ පොත් අතරටම සීමා උනා,මට ලියන්න විතරක් නෙමේ අත්කම් වැඩ ඕනෙම දෙයක් පුළුවන් ,

ඒවගේම කියන්න ඕනෙ මුහුණුපොතේ තමයි මන් හුගක් දේවල් ලියන්නෙ ,මගෙ අතින් ලියවෙන හුගක් දේවල් විරහවට බරයි, මගෙ යාලුවො විතරක් නෙමේ හුගක් අය මගෙන් අහනව ඇයි මන් ඒවගේ දේවල් විතරක් ලියන්නෙ කියල 

මට මේ වෙලාවෙ කියන්න ඕනෙ විරහ රස කියන්නෙ ජීවිතේ කවදාවත් විරහ වේදනාවක් විඳල නැති කෙනෙකුට උනත් පපුවෙ හීන් කැක්කුමක් ඇති කරන්න පුළුවන් හැගීමක් ,ඒ නිසා වෙන්න ඇති විරහ ගීතත් වැඩිපුර නිර්මාණය වෙන්නෙ, මන් හිතන්නෙ ඒක හිතට දැනෙන නිසාම වෙන්න ඇති ඒ අය මගෙන් එහෙම අහන්නෙත්.

ඒවගේම මන් හිතන්නෙ අපේ සිංහල භාෂාව තමයි ලෝකෙ ලස්සනම භාෂාව කියල ,ඕනෙම හැගීමක් හරි ලස්සනට දැනෙන්න,රිද්දන්න වගේම සනසවන්න පුළුවන් එකම වචනයක් තේරුම එක එක විදියට හසුරවන්න පුළුවන් ලස්සන භාෂාවක් අපිට තියෙන්නෙ ,

* ඔබ මේ වෙද්දී කොයිතරම් කවි නිසදැස් ලියල තියනවද 

ගානක් කියන්න නම් අමාරුයි දැන් අවුරුදු පහක් විතර මුහුණුපොත හරහාම   ලියල තියනව ,ඒත් දැන් කෙටි කාලයක් ඉදල ලියන්නෙ හුගක් අඩුවෙන් ,

* ඔබට ලැබුණු විශේෂ ඇගයීම් තියනවද 

මට ලැබුණු සුවිශේෂී ඇගයීම තමයි  අපි  Magazine එකේ නිර්මාතෘ ගයාන් කරුනාරත්නව හදුනගන්න ලැබීම .

මන් මුලින්ම 2017 දි තමයි මුහුණුපොත හරහා ඔහුව හදුනගන්නෙ එදා ඉදල මන් ඔහුගෙ Facebok page වලට සම්බන්ධ වෙලා හිටියා, විශේෂයෙන් කියන්න ඕනෙ මන් වෘත්තීය ලේඛිකාවක් නෙමෙයි  , නමුත් ඔහු මාව විශ්වාස කරල අපි  Magazine එකට ලියන්න කියල ආරාධනා කරනව , මන් හිතන්නෙ  මැගසින් එකේ ඔහුත් එක්ක වැඩ කරන පරනම කෙනා මන්  වෙන්න ඇති ,මන් ඔහුව කවදාවත් සජීවීව දැකල නැහැ ,මේ වසර හයකට කිට්ටු කාලයටම දෙවතාවකට වඩා කතා කරල නැහැ, ඒ උනත් ඔහු අනිත් අයට රෙස්පෙක්ට් කරන්න දන්න පුද්ගලයෙක් විදියට තමයි මන් දකින්නෙ,

* අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නෙ 

ඇත්තටම මැගසින් එක ගැන කියල ගයාන් මට කතා කරද්දී මන් විශ්වාස කලේ නෑ මේක මේතරම් සාර්ථක වෙයි කියල .මොකද දැන් මිනිස්සු කියවනව හරිම අඩුයි, විශේෂයෙන් මුහුණුපොත උනත් හුගක් මිනිස්සු පාවිච්චි කරන්නෙ ගොසිප් වලට විතරයි කියලයි මට නම් හිතෙන්නෙ ඒ නිසා ,

ඒ උනත්  මන් හරිම ආසාවෙන් තමයි අපි magazine එකට ලියන්න ගත්තෙ , දැන් කොයිතරම් මේකට ඇබ්බැහි වෙලාද කිව්වොත් මාසෙ පලවෙනිදට මුලින්ම බලන්නෙ පෝන් එක අරන් මැගසින් එක මට ටැග් කරලද කියල ,එහෙම නැති උනොත් මට කේන්තිත් එනව ,අනිත් අතට ගයාන්ට මැසේජ් එකක් දානව මැගසින් එක ටැග් කරල නෑ කියල රවා ගත්ත ස්ටිකර් එකකුත් එක්ක.

ඒවගේම මැගසින් එක එක්ක වැඩ කරන හුගක් දෙනෙක් ඉන්නව ,මන් කවදාවත් ඔවුන් එක්ක කතා කරල නැහැ ,අදුනන්නෙ නෑ ඒ උනත් මැගසින් එක කියන්නෙ අපි හැමෝගෙම හැගීම් සහ කැපකිරීම් වල අවසාන ප්‍රතිඵලය ,මැගසින් එකට දැන් අවුරුදු තුනක් කිට්ටු වෙන්න ලඟයි,

ඉතින්  ඒ වෙනුවෙන් මහන්සි වෙන කැපකිරීම් කරන හැමෝටම මේ අවස්ථාවේ ස්තූති වන්ත වෙනව මෙය සාර්ථක කරගන්න දායක උනාට,

මොකද හැමෝම මේක කරන්නෙ විවිධ රටවල ඉදල රැකියා කරන ගමන් ,

ඒවගේම ගයාන් කරුනාරත්න අපේ සහෝදරයා ඔහුට ස්තූති වන්ත වෙනව මාව මේ හා සම්බන්ධ කරගත්තට, හැමෝටම ආරාධනා කරනව අපි විශ්වාස කරල අපි  magazine එකත් එක්ක හැමදාම රැඳී ඉන්න කියල ,ඔබේ ජීවිතයට වටිනා මොනම හරි දෙයක් මෙයින් ගන්න කියල ,