ලේහාගන්න බැරි බැඳීම්

මනුස්ස බැඳීම් කියන්නේ මහ පුදුම දෙයක්.

හිනාවෙන්න කථා කරන්න විනෝද වෙන්න  යාළුවො සිය ගානක් අපි වටේට හිටියත්,අපිවත් නොදැන අපේ යටිහිත ඒ එක එක අයව එක එක තැන්වල තමයි ස්ථානගත කරලා තියෙන්නේ.

ඒක අපි පුද්ගලිකව හිතලා කරන දෙයක් නෙමෙයි, ඒ එක එක්කෙනාව අපිට feel වෙන තරම සහ ඒ අයට අපිව feel වෙන මට්ටම,දිහා  යටිහිත හොඳින් බලන් ඉන්නවා, එහෙම කාළයක් බලලා  count කරලා යටිහිත ඕක valuation  report එකකට ගන්නවා.

 හිත අපේ උනාට,ඒ report එක සාමාන්‍ය ජීවිතේදී අපිටවත්  පෙන්නේ නැහැ.

ඔහොම ඉඳිද්දී, අපිට තදට රිදිච්ච දවසට , ලොකු සතුටක් දැනිච්ච දවසට හරි උත්තර නැති ප්‍රශ්නෙක පැටලිච්ච දවසක  වගේ මොකක්ම හරි දරාගන්න බැරිතරමේ හැඟීමක විඳීමක් හෝ විඳවීමක් එක්ක අපි පැටලිලා තදින් ගැටෙන දවසට තමයි, හදවත අර කලින් හදන් හිටපු valuation report එක අපිට කරළියට ගෙනත් දෙන්නේ.

අන්න එදාට ඒක දැකලා සමහරවිට ඔයාට  ඔයා ගැනම පුදුම හිතෙනවා.එක්කෝ ලැජ්ජා හිතෙනවා, නැත්තම් පසුතැවෙනවා.

උදාහරණයක් විදිහට, ඔෆිස් එකේ කැම්පස් එකේ යාළුවො තොගයක් හිටියට, හිතපු නැති වෙලාවක අම්මා ලෙඩ උනොත්, කෙල්ල දාලා ගියොත්, එක පාරටම මතක් වෙන්නෙ අර ලඟම ඉන්න සෙට් එක නොවී ගමේ ඉස්කෝලේ දහයේ පන්තියේ හිටපු යාලුව වෙන්න පුළුවන්.

 එක්කෝ අවුරුදු ගානකින් කතාත් නොකරපු පරණ යාලුවෙක් වෙන්න පුළුවන්.එහෙමත් නැත්තම් වෙන නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන්, සමහර විට ජීවිත්ට ඉස්සරහට හම්බෙලා නැති සයිබර් අවකාශයෙ කෙනෙක් වෙන්න පුළුවන්.

හැබැයි job එකේ promotion එකක් හම්බුනොත් ඒක මුලින්ම කියන්න හිතෙන්නේ අර කලින් ප්‍රශ්නෙ වෙලාවේ මතක් වෙච්ච කෙනා නෙමෙයි වෙන්න පුළුවන්.

ඔය අතරේ weekend එකේ ට්‍රිප් එකක් යන්නොනේ කියලා හිතුනොත් ඔලුවට එන්නේ අර දෙන්නම නොවී වෙනනම එකෙක්.

එහෙම ගිහින් අතේ සතේට හිඳිලා මාසේ රන් කරන්න බැරි වෙලා ලෝන් එකක් දාගන්න ඕනෙ උනොත් හිත ඔලුවට ගෙනත් දෙන්නේ, ඕකට අරූට කථා කරලා වැඩක් නෑ, අරයා ට කථා කලොත් නම් වැඩේ කරගන්න පුළුවන් කියලා වෙන පැත්තකම ඉන්න කෙනෙක්.

ඇත්තටම වෙලාවකට ඒක මහ පුදුම දෙයක්.☹️

අවුරුදු ගානකින් කථා නොකරපු, හලෝ නොකියපු,සමහරුන්ගෙන් කෝල් එකක් එද්දිම සමහර විට අපි හේතුව දන්නවා,

ආ… මූට සල්ලි කීයක් හරි ඕනෙ වෙලා, ආ ඔන්න මූට මොකක් හරි ප්‍රශ්නයක්..

ඒකනේ මාව මතක් වෙලා තියෙන්නේ,කියලා කියන්න තරම් අපිට කොච්චර නම්

 “ඉවක්‌ “දැනිල තියනවද?

අන්න ඒකයි මන් මුලින්ම කිව්වේ, සම්බන්ධතා වල බැඳීම් හරීම පුදුමාකාරයි කියලා,

ඔන්න ඕක නිසා තමයි යාළුවො දහස් ගානක් අස්සේ උනත් කියාගන්න කෙනෙක් නැතුව තනිවෙලා දුක් විඳින විශාදය එක්ක වලි කන මනුස්ස ආත්ම හැංගිලා තියෙන්නේ,

 මොකක් හරි උනාට පස්සේ,අඩේ ඌ ඔච්චර හිටියා අපිට ඔය ගැන කිව්වේ නෑනේ, නිකන්හරි කිව්වනම් අපි උදව් කරනවනේ කියලා කිව්වට ඇත්තටම හදවත අපිට ඇනලයිස් කරලා දෙනවා මේකට විසඳුම් දෙන්න තරම් ලඟ බැඳීම මොකද්ද කියලා, එහෙම හිතට එකඟ නැති බැඳීම් ඉස්සරහ මිනිස්සුන්ගේ කටවල් ඇරෙනවා අඩුයි.

මොකද අපිත් නොදැන  අපේ හදවත බැඳීම් යාළුකම් වලට, සම්බන්ධතා වලට, යම් යම් සම්බාධක පනවලා තියෙනවා , අපි නොදන්නවා උනාට හිත දන්න්නවා මේක කියන්න ඕනෙ, මේක විඳින්න ඕනෙ කා එක්කද කියලා,

අන්න ඒ නිසා තමයි, සමහර දුකම දවස්වල අපිට අපිවත් නොහිතන පරණ යාළුවො ඔලුවට එන්නෙ, අනේ එයා මේ වෙලාවේ එයා හිටියනම් කියලා හිතෙන්නේ..

මොකද,ඔයා නොදන්නවා උනාට ඔයාගේ බැඳීම් වල analys report එක හිත විසින් හදලා ඉවරයි,

ඔයාට තදින්ම රිදිච්ච දවසක යටිහිත ඒ රිපෝර්ට් එක ඔලුව මැද්දට ගෙනත් දෙයි.

තමන්ගේ යටිහිත මේ තරම් වටිනාකමක්‌ දීල තිබ්බ සම්බන්ධකම් වලට ඔයා කුඩම්මාගේ සැලකිලි කරලා තිබ්බොත්, අන්න එදාට ඔයාට සමහරවිට ඔයා ගැනම ලැජ්ජා හිතෙයි.😔

සරළවම කිව්වොත් ,

බැඳීම් හරි පුදුමාකාරයි.

සමහර බැඳීම්  අපේ ඇස් අස්සට කොච්චර ලං වෙලා තිබ්බත් හිතේ අහලටවත් ඇවිත් නැහැ, තවත් සමහර බැඳීම් හැතප්ම දහස් ගානක් දුරින් තිබ්බත්,  හදවතට අංශුවක් වත් දුර නැහැ.💜

අනීෂා ජයකොඩි

ලිංගාශ්‍රිත

ලිංගාශ්‍රිත රෝග හෝ සමාජ රෝග යනු මිනිසුන් හෝ සතුන් සමග මුඛමාර්ගයෙන්, ගුදමාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී සම්ප්‍රේෂනය වන රෝගයන්ය.මෙහිදී ආසාධිතායෙකුට තවත් පුද්ගලයින් වෙත රෝග ලක්ෂණ නොමැතිව වුවද රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇත. ඇතැම් ලිංගාශ්‍රිත රෝග සිප ගැනීමේදී ,දරුප්‍රසුතියේදී හෝ මව්කිරී දීමේදි බෝවිය හැක.

එසේම එකම එන්නත් කටු භාවිතය, රුධිර පාරවිලයනයකදී පවා මේ රෝග බෝවිය හැකිය .

මෙම රෝග බෝවීම වලකාලීමට කළහැකි එකම දෙය නම් ලිංගික ඇසුරක් නොපැවැත්වීම පමණක් නොවේ.

ලිංගික රෝග වල

රෝග ලක්ෂණ නොපෙන්නුවද සමහර අය තුල රෝගය වැළදි තිබෙන්න පුළුවන්. ලිංගික රෝග සමග පෙන්නුම් කරන රෝග ලක්ෂණ අතර

පිරිමි අයෙකුට නම්

*ලිංගික හැසිරීමකදි හෝ මුත්‍රා කිරීමේදී වේදනාව

*ශිෂේණය, වෘෂණ කෝෂ, ගුදය, තට්ටම්, කලවා හෝ මුඛය මත හෝ අවට තුවාල, ගැටිති හෝ රෑෂ් ඇතිවීම,

*ශිෂේණයෙන් ස්‍රාව හෝ ලේ අසාමාන්‍ය ලෙස පිටවීම,

*වේදනාකාරී හෝ ඉදිමුණු වෘෂණ කෝෂ ඇතිවීම,

මෙම ලක්ෂණ ලිංගාශ්‍රිත ඇතිවන රෝගය අනුව වෙනස් වෙන්න පුළුවන්.

ඒවගේම ලිංගාශ්‍රිත රෝග සහිත  කාන්තාවකට උවත්

රෝග ලක්ෂණ නොපෙන්නුවද රෝගය වැළදි තිබෙන්න පුළුවන්.

එසේම

*ලිංගික හැසිරීමකදි හෝ මුත්‍රා  පිට කිරීමේදී වේදනාව

*ගුදය, යෝනි මාර්ගය, තට්ටම්, කලවා හෝ මුඛය මත තුවාල, ගැටිති හෝ රෑෂ් ඇතිවීම,

*යෝනි මාර්ගයෙන් ස්‍රාව හෝ ලේ අසාමාන්‍ය ලෙස පිටවීම,

*යෝනි මාර්ගය තුළ හෝ අවට කැසීම ,

මෙම ලක්ෂණද ලිංගාශ්‍රිත රෝගය අනුව වෙනස් විය හැකියි.

ලිංගිකව සම්ප්‍රේෂනය වන එවැනි රෝග අතර

* ක්ලැමීඩියා

*HPV (මානව පැපිලෝමා වෛරසය

*සිෆිලිස්

*HIV

*ගොනෝරියා

*Pubic lice – රහස්‍ය ප්‍රදේශයේ රෝම වල හැදෙන උකුණන්

*ට්‍රයිකොමෝනියාසිස්

*හර්පීස්

හදුන්වන්න පුළුවන් .

ලිංගිකව බෝවෙන තවත් රෝග බොහොමයක් තියෙනවා.

බොහෝ දෙනෙකු මෙවැනි රෝග සදහා ප්‍රතිකාර ගැනීම සදහා වෛද්‍යවරයකු වෙන යාමට ලැජ්ජාක් හා මැලි කමක් දක්වන්වා,

එහෙත් මෙවැනි රෝග සදහා ප්‍රතිකාර ගැනීමට සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීමෙන්  මෙවැනි රෝග වලින් ආරක්ෂා වීම හා රෝග බෝවීම වලකාලීමට පුළුවන් ,

මෙය ඉතා පුලුල් ලෙස සාකච්ඡා කිරීමට බොහෝ කරුණු ඇති මාතෘකාවක් ,

මේහා සබැඳි කරුණු ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා,

කෙසේවෙතත් ඔබ විශ්වාස නීය සහකරුවෙකු හෝ සහකාරියක සමග පමණක්

ආරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් ඔබට මෙම ලිංගික රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

නිශා

Depend වෙලා හීන මවන්න එපා!

“අනේ බලන්නකො, එයා මාව දාලා ගියානෙ. මවපු හීන ඔක්කොම ඉවරයි”

“අනේ මට ඒක ලැබුන්නෑනෙ. මට දැන් අනාගතයක් නෑ වගේ”

මේ වගෙ කියමන් අපි සමාජයේ ජීවත් වෙනකොට ඕනි තරම් අහලා තියෙනවා. දරුවෙක් ඉපදුණ දා සිටම දෙමවුපියන්, තරුණ වියේදී තමා සම්බන්ධයක් ගොඩනගා ගන්නා තරුණයා හෝ තරුණිය….. වගේ පුද්ගලයන් මත depend වෙලා සිහින මවනවා. ඒ විතරක් නෙවෙයි. ජීවිතයේ මුහුණ දෙන විභාග, බැංකු වලින් ගන්න ලෝන්……..වගේ පුද්ගලයන් නොවන දේවල් මතද අනාගත සිහින මවනවා.

ඉහතින් කිව්ව දේවල් (පුද්ගලයන් හෝ වස්තූන්) අපෙන් ඈත් වෙලා ගියාම, අපිට රෙවා දිනාගන්න බැරි උනාම මොකද වෙන්නෙ? අපි වැටෙනවා. ඒ වැටීම මුළු ජීවිතේම අඳුරට කැන්දන් යන වැටීමක් වෙන්නත් පුළුවන් සමහරුන්ට. ඇත්තටම සිහිනයක් මවන්න පුද්ගලයෙක් හෝ දෙයක් ඕනිමද?

“කොහෙත්ම නැහැ”

අපි සිහිනයක් හෝ අරමුණක් හදාගද්දි පුද්ගලයෝ හෝ පණනැය්හි වස්තූන් පැත්තකින් තියන්න. මොකද ඒ දේවල් අපෙන් ඉවත් වෙන්න ඇසිල්ලක් ඇති. අපි මෙහෙම උදාහරණයක් ගමුකො. යම්කිසි තරුණියක් යාළුවෙලා ඉන්න කෙනා එක්ක විවාහ වෙලා සතුටින් ඉන්න හීන දකිනවා. නමුත් ටික දවසකින් ඔහුගේ තවත් සම්බන්ධයක් ඇයට අතටම අසුවෙනවා. එවිට මේ සම්බන්ධය නතර වන්නට හැකියි. ඇය මැව්ව සිහින ඔක්කොම අරන් ඔහු ඇගෙන් ඉවතට යනවා. ඉතින් ඇය ජීවිතය එතැනින් නැවැත්විය යුතුද?

නැහැ. ඉතින් දැන් ඔබට වැටහෙනවා ඇති අපිට වරදින්නෙ කොතනද කියලා. අපි පුද්ගලයන් සහ දේවල් මත depend වෙලා සිහින/ අරමුණු තබා ගැනීමෙන් දැඩි මානසික ව්‍යාකූලත්වයට පත් වෙන්නට පුළුවන්. ඒ දේවල් අපෙන් ඈත්වීම, ඉවත් වීම හෝ නොලැබීයාම කියන සාධක එක්ක ජීවිතේ මනසික් කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට අරමුණක් හෝ සිහිනයක් ගොඩ නගා ගද්දි පුද්ගලයන් හෝ අනිකුත් දෑ මත depend නොවී ඒවා ගොඩ නගා ගන්නට වග බලාගන්න. එවිට සිහින සැබෑ කරගන්නට යද්දී ඔබට යම් යම් දේවල් හිමිවේවි. යම් යම් දෙවල් මගහැරේවි. නමුත් ඒ අවස්ථා දෙකම ඔබට සම සිතින් විඳගන්නට හැකියි. එසේ නොවුණොත් ඔබ දැඩි මානසික පීඩනයකට පත් වෙනවා.

අපි අරමුණක්/ සිහිනයක් ගොඩ නගා ගන්නෙ කොහොමද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒක හරිම SMART. ඒ කිව්වෙ අපිට ළඟා කරගන්න ඕනි දේවල් මේ ස්මා(ර්)ට් විදිහට සිතට ඇතුළු කරගැනීමයි ඔබ කරන්නට අවශ්‍ය වෙන්නෙ. S (Specific)- ඔබ ඔබටම අනන්‍ය වූ එනම් ඔබේ හැකියාවන් දක්ධතාවයන් ඉගෙනුම් මත ඔබට ළඟා කරගන්නට අවශ්‍ය දෙයක් ගැන සිතිය යුතුයි. M (Measurable)- මේ අරමුණ මිනිය හැකි එකක් විය යුතුයි. A (Achievable)- මෙය මිනිසෙක්ට ළඟා කරගත හැකි එකක් විය යුතුයි. R (Realistic)- මේ අරමුණ කරායන්නට සත්‍යවාදී මාර්ග තිබිය යුතුයි. T (Timeliness)- නිශ්චිත කාල සීමාවක් තිබිය යුතුයි.

නිදසුනක් ලෙස ‘තවත් වසර තුනක් ඇතුළත තමන්ගේ ව්‍යාපාරය එම නගරයේ සාර්ථකම ව්‍යාපාරය බවට පත් කිරීම’ යන්න දැක්විය හැකියි. මේ විදිහට ඔබට ඔබගේ ක්ෂේත්‍රය හෝ කැමැත්ත අනුව අරමුණු ගොඩ නගා ගත හැකියි. සෑමවිටම තමන් තමන්ට අවංක වෙන්න. ළඟපාත අය, අල්ලපු ගෙෆ්හර කෙනා, තව නැදෑයො කරපු දේවල්, ළඟා කරගත්ත දේවල් ගැන හිතන්න එපා. අපේ ලක්කාව්ර් ගොඩක් මිනිස්සු fail වෙන්න හේතුව තමයි අනිත් අයව අනුකරණය කරන්න යන එක. අනිත් අය කරපු දේම කරලා, success වෙන්න try කරන එක. ඒක අදම නවත්වන්න. ඔබ ඔබම වෙන්න. ඔබ වගේ මේ ලෝකෙ ඉන්නෙ ඔබ පමණයි. ඔබ unique. ඒ නිසා ඔබ ඔබටම අනන්‍ය වෙච්ච, අරමුණු/ සිහින ගොඩ නගා ගන්න.

මේ දේවල් කරද්දි පවුල, නැදෑයො, යාළුවො ගැන හිතලා තීරණ ගන්න ගියොත් ඔබට වරදින්නට පුළුවන්. මොකද ඔවුන් කැමති දේට, ඔබ අකමැති වෙන්න පුළුවන්. ඒ නිසා වටේ පිටේ ඉන්න අය මොනවා කිව්වත්, මම මේ මගේ හීනෙ හැබෑ කරගන්නවා කියන දැඩි මානසින් යුක්තව කටයුතු කරන්න. එවිට කාලයක් යද්දී අකුල් හෙලපු අය, ඔබේ ගමන නැවැත්වීමට උත්සාහ කළ අය පැත්තකට වී නිහඬ වෙනවා. අත්දැකීමෙන් කියන්නෙ. ඔබට තියෙන්නෙ ඔබේ සිහින එකින් එක හැබෑ කරන් පෙන්නන්න විතරයි. ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබේ ශක්තීන් සහ හැකියාවන් විශ්වාස කරන්න. හීනෙට/ අරමුණට යන්න වැඩ කරන්න. ඔබට ජය!

වෛද්‍ය චන්දි රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counselor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

Chamal Lakshan – Interview

පිය නගා වනපෙත් අතර –  සොයා වන සතුන් විසිතුර

විමසන සොයන තතු පරිසර

සොඳුරු යෞවන සිතකි මනහර

“ස්වභාවික පරිසරයේ සමතුලිතතාව බිඳවැටුණු දිනක මිනිසුන්ට පෘථිවියේ පැවැත්මක් නෑ” – චමල් ලක්ෂාන්

මුලින්ම අපි ඔබ ගැන කෙටි හැඳින්වීමකට යමු

මගෙ නම චමල් ලක්ෂාන්. කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ කෘෂි තාක්ෂණ පීඨයේ අවසාන වසර ශිෂ්‍යයෙක් වශයෙන් දැනට අධ්‍යාපනය ලබමින් කටයුතු කරනවා

ඔබේ පවුලේ තොරතුරු ගැන කතා කලොත්

මගේ පවුලෙ අම්මා තාත්තා මල්ලි සහ මම තමයි ඉන්නෙ. තාත්තා විශ්‍රාමික යුධ හමුදා නිළධාරියෙක්.මල්ලි තාම පාසල් අධ්‍යාපනය හදාරනවා

තරුණ වයසෙ බොහෝදෙනා නොයෙක් රැලි වලට අහු වෙලා එහෙ මෙහෙ යද්දි කොහොමද ඔබ මේ විදියට සොබාදහමට සමීප කෙනෙක් බවට පත් උනේ

ඇත්තටම ඒකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ මගෙ පවුල් පසුබිම කියල තමයි මම ගොඩක්ම විශ්වාස කරන්නෙ. මම පොඩි කාලෙ ඉදන්ම අපේ අම්මා සත්තුන්ට හරි ආදරෙයි. ගෙදරට මොන සතෙක් ආවත් කන්න ටිකක් නොදී නම් යවල නෑ කවදාවත්. ඉතින් ඒ කාලෙ දැකපු දේවල් එක්ක මම සත්තුන්ට සහ පරිසරයට සෑහෙන්න සමීප උනා. තරුණ වයසට එනකොට ශාක සහ සතුන් ගැන වැඩිදුර අධ්‍යනයේ යෙදෙන්න මුල් උනේ ඒ අඩිතාලම කියලයි මම හිතන්නෙ. අද වෙනකොට මගේ අධ්‍යන කටයුතු ශ්‍රී ලංකාවේ අඩු අවධානයක් යොමුවී ඇති සහ නිරන්තරයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා තර්ජනයට ලක්වී ඇති උරගයන් සංරක්ෂණය වෙනුවෙන් සිදුකරගෙන යනවා

ශ්‍රී ලංකාවේ සර්පයන් සංරක්ෂණය සඳහා නිර්මාණය කරපු “සර්පයන් ගැන දැනගනිමු ඔවුන් රැකගනිමු ” facebook group එකෙන් වෙන කාර්ය මොන වගේ එකක්ද?

නව තාක්ෂණයත් එක්ක ලෝකය ඉස්සරහට යන කාලෙක මිනිස්සුන්ට සර්පයන් ගැන පහසුවෙන්ම ඉගෙනගන්න සහ නිවසකට සර්පයෙක් පැමිණි අවස්ථාවක නොමිලේ ස්වේච්ඡාවෙන් එම සතුන් ඉවත් කරගැනීමට හැකියාව ලැබෙන ආකාරයට මේ facebook group එක දැනට අවුරුදු 6 කට උඩදි නදීක අතුකෝරල අයියා විසින් නිර්මාණය කරේ.අද වෙනකොට අපි කණ්ඩායමක් විදියට බලාපොරොත්තු උනාටත් වඩා සාර්ථක විදියට මේ කටයුත්ත කරගෙන යනවා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ඉන්න සාමාජිකයන්ගෙ සහය ඇතුව. මේ වෙනකොට දහස් ගණනක් සතුන්ගේ ජීවත සුරක්ෂිත කරන්න අපට හැකියාව ලැබිල තියෙනවා කියන එක මතක් කරන්න ඕනෙ ඉතාම සතුටෙන්.

ඔබ විසින් දැනට පවත්වා ඇති දේශන පිළිබඳව සඳහනක් කලොත්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යා පීඨයේ සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සර්පයන් සහ සර්පයන්ගේ වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම පිළිබඳව තමයි මෑතකදීම දේශනයක් සිදු කලේ. මීට අමතරව රුහුණු විශ්වවිද්‍යාලය , ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාසල් සිසුන් සහ ජනතාව දැනුවත් කිරීමේ දේශන මාලාවක් පවත්වා තිබෙනවා

ස්වභාවික පරිසරය ගැන, විශේෂයෙන්ම සර්පයන් ගැන කොහෙන්ද මෙච්චර දැනුමක් එක් රැස් කරගන්නෙ ඇත්තටම ?

මුල් කාලයේදි නම් පොත්පත් සහ අන්තර්ජාලය මූලාශ්‍ර කරගෙන තමයි තොරතුරු එක් රැස් කරන්න පටන් ගන්නෙ නමුත් මම හැමවෙලේම විශ්වාස කරන දෙයක් තමයි නිසි කලට නිසි ගුරුවරුන් සහ හොඳ මිතුරන් ලැබීම කියන දේවල් නිසා මම තෘප්තිමත් ගමනක් මේ කාලසීමාව තුල පැමිණියා කියන එක. සත්ව විද්‍යාව කියන්නෙ මේ මොහොතෙත් යාවත්කාලීන වෙන දෙයක් නිසා හැමවෙලේම ඒ දේවල් එක්ක අපිත් යාවත්කාලීන වෙන්න අවශ්‍යයි. සත්ව විද්‍යාවේ පර්‍යේශණ පත්‍රිකා මත වෙනස්වන දත්ත සහ නව සොයාගැනීම් පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න කෙනෙක්ට දැනුම එක් රැස් කරගන්න එක අමාරු දෙයක් නම් නෙමේ. මේ හැමදේම එක්ක ලංකාව පුරා වනාන්තර වල සතුන් පිළිබඳව සිදුකරගෙන යන ක්ෂේත්‍ර අධ්‍යනයන් ලොකු පිටිවහලක් උනා

ගොඩක් අය ඔබෙන් අහන ප්‍රශ්නයක් මම අහන්නම්. කොහොමද මෙච්චර ලස්සනට සත්තුන්ගෙ ඡායාරූප ගන්නෙ?

මම විශ්වාස කරන තවත් දෙයක් තමයි කැමරාවක් අතට ගත්ත හැම කෙනෙක්ටම හොඳ ඡායාරූපශිල්පියෙක් වෙන්න බෑ කියන එක.ගොඩක් අය තමන් ඡායාරූප ගන්න යොදාගන්න මෙවලමේ අඩුපාඩු ගැන හිතමින් කණගාටු වෙනවා නමුත් මම පටන් ගත්තෙ mobile photography වලින්.තමන්ට තියන දෙයින් තෘප්තිමත් විදියට වැඩකටයුතු කරොත් තව සෑහෙන්න දේවල් ඔයාලට ලැබේවි. මම ගාව තිබුණ දේවල් වලින් මම වැඩ කරන විදිය දැකපු දර්ශන රුක්මාල් අයියා මට කැමරාවක් ගෙනල්ල දුන්නෙ අන්න ඒ විදියට. සතෙක්ගෙ උනත් ඡායාරූප ගන්නකොට ඒ සත්තුන්ට හානියක් නොවෙන ආකාරයට ඡායාරූප ගන්න උත්සාහ කරොත් තමයි හැමවෙලේම හදවතින්ම සතුටු වෙන්න පුළුවන්කම ලැබෙන්නෙත්, ඒ ඡායාරූප වල ස්වභාවික ලස්සන රැඳෙන්නෙත් කියන එක කියන්න ඕනෙ දෙයක්

පරිසර සංරක්ෂණය වෙනුවෙන් අද වෙනකොට විවිධ සංවිධාන සහ පුද්ගලයන් කටයුතු කරන්න පටන් අරන් තියනවා ඒ අයට ඔබට දෙන්න පුළුවන් උපදෙස් මොනවද

සංරක්ෂණය කියන දේ හැමවෙලේම අපි කරන්න ඕනෙ අරමුණක් සහිතව සහ අවබෝධයකින් යුතුව කියන එක හැමෝටම මතක් කරන්න ඕනෙ දෙයක්.මෑතකදී රැල්ලක් විදියට ඇති වෙලා තිබ්බ මී සහ කුඹුක් පැල රෝපණය කිරීමේ රැල්ල අවිධිමත් සංරක්ෂණයට හොඳම උදාහරණයක්. උස් කඳු මුදුන් සහ හුළං කපොලු පවා අවහිර වන ආකාරයට හන්තාන ප්‍රදේශයේද සංචාරකයන් සිටවා තිබූ පරිසර පද්ධතීන්ට පවා නොගැලපෙන ශාක පසුගිය දිනවල ගලවා ඉවත් කිරීමට සිද්ධ උනේ මේ වගේ අවිධිමත් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල නිසා. මේක ශාක වලට විතරක් නෙමේ සතුන්ටත් පොදු කාරණාවක්. පසුගිය කාලය පුරාවට ඇතැම් පුද්ගලයන් විසින් සතුන්ගේ සහ මිනිසුන්ගේ ජීවිත ගැන නොතකමින් තමන්ගේ පුද්ගලික අරමුණු සහ ප්‍රසිද්ධිය වෙනුවෙන් සර්පයන් සිය ගණන් එකම ස්ථානයකට මුදා හරින දර්ශන ප්‍රසිද්ධ මාධ්‍ය නාළිකා ඔස්සේද ප්‍රචාරය කිරීම මෙවැනිම කණගාටුදායක තත්වයක්.

තමන්ට පරිසර සංරක්ෂණයට හරවත් විදියට දායක වෙන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව දැනුම සහිත පුද්ගලයන් හෝ රජයේ ආයතන සමඟ එක්වී එවැනි කටයුතු සිදු කරනවානම් හැමවෙලේම ඒක හොඳ දෙයක්. ඒ වගේ දේවල් වලට උදව් කරන්න අපිත් හැමවෙලේම සූදානම්.

ඔබේ නමින් scientific publication එකක් හෝ field guide එකක් වගේ දෙයක් ඉක්මනට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද අපිට

අපොයි ඒ ගැනනම් දැන්ම මොකුත්ම කියන්න අමාරුයි. මම මේ ක්ෂේත්‍රය තුල කවදහරි යමක් කරන්න බලාපොරොත්තු වෙනවා නමුත් දැන්ම නෙමේ අපි බලමු ඉස්සරහට

මේ ගමන එන්න ඔබට ශක්තියක් වෙලා ඉන්න පිරිස ගැන මතක් කිරීමක් කලොත්.

උරගයන් සම්බන්ධව ඉගෙනගන්න ආරම්භ කරන කාලෙ ඉදන් මට ගොඩක්ම උදව් කරේ භානුක රණසිංහ නිවහල් විමුක්ති සහ අනූෂ ගයාන් අයියා ඉතින් අද වෙනකොට විවිධ ආකාරයෙන් විශාල මිතුරන් ප්‍රමාණයක් වැඩකටයුතු වෙනුවෙන් සහය වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ ලංකාවේ ප්‍රවීණ උරග සහ උභයජීවී විද්‍යාඥ සුදේෂ් බටුවිට සර්ගෙ සහය ලැබෙනවා මගේ වැඩකටයුතු වලට. ඒ වගේම බිනර සිසිරංජන අයියා දර්ශන රුක්මාල් අයියා සහ සාවින්ද වඩිමුණ අයියා photography ගැන හොඳ දැනුමක් නිරන්තරයෙන්ම ලබාදෙනවා.

අපි magazine එකට සම්බන්ධ වීම ගැන ඔබේ අදහස?

මුලින්ම මට අපි magazine එකට සම්බන්ධ වෙන්න ආරාධනා කලේ ගයාන් කරුණාරත්න අයියා දැනට වසරකට වගේ ඉහතදී. මම එදා බොහොම සතුටෙන් ඒ ආරාධනාව බාර ගත්තෙ පරිසර සංරක්ෂණයේ වැදගත්කම තවදුරටත් මිනිසුන් අතරට අරන් යන්න මේක හොඳම ක්‍රමයක් නිසා.හිතුවටත් වඩා සාර්ථක ප්‍රතිචාර එක්ක අද වෙනකොට අපි magazine එක ඇවිල්ලා ඉන්න තැන ගැන නිහතමානී සතුටක් තියනව හදවතින්ම.

විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉතාම හරවත් ලිපි පෙලක් සෑම මසකම පාඨකයන් වෙත සමීප කරන්න ගයාන් කරුණාරත්න අයියා ඇතුලු අපි magazine කාර්යමණ්ඩලය දරණ උත්සාහයට සුබපැතුම් එකතු කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

වැඩි ලුණු වැඩි ලෙඩ

සෝඩියම් ක්ලෝරයිඩ් කියන විද්‍යාත්මක නමින් හැඳින්වෙන ලුණු, මිනිසාට වගේම සතුන්ටත් අත්‍යවශ්‍ය ඛනිජයක්. ශරීරයේ ක්‍රියාකාරිත්වයට ලුණු නැතුවම බැරි දෙයක් ,නමුත් ලුණු වැඩිපුර ආහාරයට ගැනීම නම් තවත් ලෙඩ ගොඩකට අතවැනීමක් වෙනවා. 

වැඩුණු පුද්ගලයෙකුට දිනකට ගත යුතු උපරිම ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ක් බව යි සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින් (වැඩි ලුණු, වැඩි ලෙඩ- අඩු ලුණු  අඩු  ලෙඩ )යන්න තේමාව කරගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

විශේෂයෙන්ම අපේ රටේ  කෑම, බීම පිළියෙළ කරන විට ලුණු පාවිච්චි කරන එක සාමාන්‍ය දෙයක් .

මෑතතකදී කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව හෙළි වී ඇත්තේ අපේ රටේ ජනතාව පමණට වඩා වැඩියෙන් ලුණු ආහාරයට  ගන්නා බවයි.

සාමාන්‍යයෙන් එක් පුද්ගලයකු විසින් දිනකට ලබාගත යුතු ලුණු ප්‍රමාණය වන්නේ ග්‍රෑම් පහක් උවත්  ඉහත කී සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ අපේ රටේ පුද්ගලයෙකු දිනකට ලුණු මිලි ග්‍රෑම් 9-12ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නා බවයි. 

අපි ශරීරයට ගන්නා ලුණු ප්‍රමාණය ඉක්මවා ගිය විට එය ශරීයට අහිතකර ලෙස බලපානවා. පමණට වඩා ලුණු ආහාරයට ගැනීමෙන් ඇතිවන ප්‍රධාන රෝගය අධික රුධිර පීඩනයයි.

අපේ රටේ ජනතාව අතරින් සෑම පුද්ගලයන් හතරදෙනෙකුගෙන් එක් අයෙකුම අධික රුධිර පීඩනයෙන්  පෙළෙන බව සමීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව රටේ සමස්ත ජනගහනයෙන් 26%ක්ම අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ තත්වයෙන් ජනතාව පීඩා විඳිනවා. මෙයට ප්‍රධාන හේතුව අධික ලෙස ලුණු භාවිතකිරීම බව සොයාගෙන තිබෙනවා.

පමණට වඩා ලුණු ආහාරයට ගැනීමෙන් ශරීරයේ වතුර රඳන ප්‍රමාණය වැඩි වෙනවා. එය අධික රුධිර පීඩනය ඇතිවීමට හේතු වෙනවා. අධික රුධිර පීඩනය මෙන්ම හෘදයාබාධ, හෘද අකර්මණ්‍ය වීම, ආඝාතය, වකුගඩු  ආබාධ ඇති වීමටත් අධික ලුණු භාවිතය හේතු වන බව විද්‍යානුකූලව සනාථකොට තිබෙනවා.

ආමාශයේ පිළිකා, ඔස්ටියෝපොරෝසිස්, ආසාත්මිකතා, අස්ථි බිඳවැටීම් වැනි ආබාධ සඳහාත් අධික ලුණු භාවිතය හේතු වෙනවා.

මෙරට වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් 83%ක්ම සිදුවන්නේ බෝ නොවන රෝග හේතුවෙන්. හදවත් ආබාධ, ආඝාතය, පිළිකා, දියවැඩියාව, අධික රුධිර පීඩනය හා ශ්වසන රෝග වැනි බෝ නොවන රෝග  එම මරණවලට හේතු වෙනවා. ඒ අතරින්ද මරණවලින් 34%කටම හේතුව හෘදයාබාධ හෝ රුධිරවාහිනී ආශ්‍රිත රෝග තත්වයන් බව සොයාගෙන තිබෙනවා. මේවාට ප්‍රධාන හේතුව අධික රුධිර පීඩනයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලුණු භාවිතය අඩු කිරීමෙන් මෙලෙස සිදුවන මරණ සංඛ්‍යාවෙන් දළ වශයෙන් ජීවිත මිලියන 2.5ක් වළක්වා ගත හැකි වනු ඇති බවයි .

අධික ලුණු භාවිතය ඉක්මන් මරණවලට අත වැනීමක් බව දැන් ඔබ දන්නවා. එසේ නම් කටට රසට කන්න  හිතාගෙන පමණට වඩා ලුණු දමා කෑම බීම සකස් කර ගැනීමෙන් ඔබේ පවුලේ ආදරණීය සාමාජිකයන් බෝ නොවන රෝගවලට  ගොදුරු කරවගන්නේ ඔබම නොවේදැයි මඳක් සිතා බලන්න. කට දිව පිනවීමට වඩා නිරෝගී දිගු දිවියක් ඔබේ පවුලේ සාමාජිකයන් වෙත ලබාදෙන්නට ඔබටත් පුළුවන් . ඒ සඳහා ඔබ කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව එක් පුද්ගලයෙකු සඳහා සෑහෙන ලුණු ප්‍රමාණය පමණක් ලැබෙන පරිදි  ඔබේ පවුලේ සාමාජිකයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලුණු  යොදා ඔබේ දිනපතා  ආහාර වේල් සකස් කර ගැනීමයි. 

ලුණු දෙහි, අච්චාරු, සෝස්වර්ග හා කටගැස්ම වර්ග හැකිතාක් අඩු කළ යුතුයි. ලුණුවල අඩුව නොදැනෙන්නට කරපිංචා, කුරුඳු, එනසාල්, කරාඹු නැටි, සූදුරු, මහදුරු වැනි ස්වාභාවික රසකාරක  වර්ග වැඩිපුර භාවිත කිරීමෙන් ආහාර පානවල රසය මෙන්ම ගුණයද වර්ධනය කරගත හැකියි.

නීරෝගීමත් දිවි පැවැත්මක් සදහා ඔබ හැකිතරම් ලුණු භාවිතය අවම කරන්න ,

නිශා

සමනලුන්ගේ වතගොත

පසුගිය කලාපයේ වගේම අපේ රටේ හැංගිලා ඉන්න තවත් ලස්සන සමනල්ලු රංචුවක් අයිති වෙන කුලයක් ගැන විස්තර කියන්න ආයෙත් අවස්ථාවක් හමුබුනා. මේ කලාපෙදි මම විස්තර ගෙනාවේ Lycaenidae කුලය ගැනයි. ඔගොල්ලොන්ගේ වත්තේ පියාඹන පුංචි ම පුංචි සමනල්ලු ටික අයිති වෙන්නේ මෙන්න මේ කියන කුලයට යි. Lycaenidae තුලයේ අපිට දකින්න හම්බෙන්නේ පුංචි පමානයේ සමනල්ලු. තරමෙන් පොඩි උනාට එගොල්ලෝ කරන සේවය ගොඩක් ලොකුයි. අපි බලමු මේ කුලයේ ඉන්න සමනල්ලුන්ගේ තියෙන විශේෂ හැසිරිම් වගේම විශේෂ ලක්ෂණ මොනවද කියලා.

Lycaenidae කුලය ගත් විට මෙහි සිටින සමනල විශේෂන් හි ව්‍යාප්තිය ලොව පුරා විහිදි පවති. මෙම කුලයේ විශේෂ 5000 ක් පමණ මේ වන විට ලොව පුරා දැක ගත හැක. මෙයිනුත් වැඩි ම විශේෂ සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ නිවර්තන ප්‍රදේශ වලයි. ලොවෙහි සිටින සමනලුන් ගෙන් 30% ක් ද සමනල් විශේෂ අයිති යන්නේ මෙම කුලයටයි. ශ්‍රී ලංකාවේ ද වැඩිම සමනලුන් විශේෂ සංඛ්‍යාවක් අයිති වන කුලය වන්නේ Lycaenidae කුලයයි. මෙම පවුලේ වැඩිහිටි සමනලුන් තුඩා ප්‍රමානයේ සිට මධ්‍යම ප්‍රමාණයේ ශරීර දරයි. මොවුන්ගේ දැක ගත හැකි එක් විශේෂ ලක්ෂණයක් වන්නේ ඇතුල් පියාපත් තුල ඇකි වර්ණ සංකලණයයි. බොහෝමයක් Lycaenidae සමනලුන්ගේ ඇතුල් පියාපතෙහි වර්ණය දීප්තිමත් නිල් පැහැයක් ගනි. ඒ හැරුණු විට රතු, තැඹිළි, කළු හා දුඹුරු වර්ණයන් ගේ පුභේද දැකගැනීමට පුලුවන්. තවද මොවුන් ස්පර්ශක හිස මුදුනෙ හි එකට ලංව පිහිටයි. එපමණක් නොව මොවුන් ගේ පිටුපස පියාපත් මත ව්‍යාජ ඇස් පිහිටනවා ද දැකිය හැක. 

මෙම කුලයේ වැඩිහිටි සමනලුන් ගේ හැසිරීම් පිළිබද සාකච්ඡා කලහොත් මොවුන් අතරේ සාමාන්‍ය වේගයෙන් හා වේගවත් ව පියාසර කරන සමනලුන් දැක ගත හැකි වේ. බොහෝමයක් සමනලුන් මල් පැණි මත යැපෙන අතර සමහරක් විශේෂ ගස් මතින් වැගිරෙන යුෂ හා දිරාපත් වෙමින් යන සත්ව මල සිරුරු මතින් ගලනි යුෂයන් මත යැපේ. සාමාන්‍යයෙන් මොවුන් හිරු එළිය පතිත වන නිරාවරණය වු ස්ථානයන් හි නිරීක්ෂණය කල හැකි අතර සමහර විශේෂ වනවාසි හා වියන්වාසි ජීවිත ගත කරයි. බොහෝමයක් විශේෂ වල පිටුපස පියාලත් ‌ෙකලවරෙහි ව්‍යාජ ඇස් සහ වල්ගයක් පිහිටය අතර එය ඔවුන් විසින් රිදුමයකට චලනය ඔබ දැක තිබිය හැක. මෙය සිදු කිරීම මගින් විලෝපිකයන් විසින් මොවුන්ගේ හිස හා ඉදිරිපස පෙදෙස් වලට සිදු කරන හානිය අවම කර ගත හැක. 

Lycaenidae කුලයේ සමනලුන් ගේ බිත්තර පිළිබද සොයා බැලීමේ දි මොවුන් ගේ බිත්තර සුමට වූත් සුදු පැහැයේ සිට තැඹිළි පැහැය දක්වාත් වර්ණ ගනි. මෙම විශේෂයක් ගේ දැළඹුවන් ප්‍රමාණයෙන් කුඩා වන අතර හැඩයෙන් හම්බෙල්ලෙකුගේ හැඩය ගනි. එ විශේෂ කාරණයක් ලෙස මෙම කුලයේ සමනලූන් හා කුහුඹුවන් අතර ඇති සහ-සම්බන්ධතාවය පෙන්වා දිය හැක. මොවුන්ගේ දැළඹුවන් ගේ සිරුර මතින් නිකුත් කරන පැණිමය දියරයක් හේතුවෙන් කුහුඹුවකන් මොවුන් හා බැදි සිටින අතර එමගින් දැළඹුවාටද සේවයක් ඉටු කර දේ. 

මේ වන විට ශ්‍රී ලංකාවේ විශේෂ 86 ක් වාර්ථා වන අතර එය අතරින් විශේෂ 9 ක් ලංකාවට ආවේණික වේ. මෙලෙස මේ කුලය පිළිබදව ගවේශනය කිරිමේදි බොහෝමයක් රසවතු වු ‍තොරතුරු සමුදායක් ඔබ නෙත ගැටෙනු නොඅනුමානය. මෙවැනි වු සුන්දර විශේෂ සිටින මේ පුංචි දුපත රැකගනිමින් ඉදිරි පරම්පරාවට ද මේ සුන්දරත්වය දකින්නට විදින්නට ඉතිරි කරනමෙන් මේ ලිපියේ අවසනෙයේ දි බොහොම ගෞරවයෙන් ඉල්ලා සියිමි.

රාවණ සිවුහෙළය

ආවඩා අයුබොහො වෙිවා ! කියලම අද කතාව මං පටන් ගන්නමි….

         ඔන්න ඉතිං අද නමි මං ආවෙි තවත් වෙනස්ම විදිහේ මාතෘකාවක් අරගෙන…..  මෙි කාලේ මෙි නම ගැන බොහො අය කතාබහා කරනවා ඔයාලා දැකලා ඇති….

         සමහරු එ නමට ගරු කරනවා.. තවත් සමහරු එ නමට සිනාසෙනවා…. එ එක එක අයගේ දැනුවත් කම වගේම නොදැණුවත්කම නිසා කියලයි මට නමි හිතෙන්නේ…

         අපේ රටෙි ආර්ථිකය විතරක් නෙවෙයි රටෙි පාළනයත් දැන් නැත්තටම නැතිවෙලා ගිහින්…. එක එක දේශපාලන පක්ෂ රටෙි ජනතාව බිල්ලට තබා ඔවුන්ගේ මඩි තර කරගන්නා කාලයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ.. එ නිසාමද මන්දා අද වන විට ⁣ගොඩක් අය රටෙි ඉතිහාසයටත් හිනාවෙන්න අරගෙන…

         නිකමට හිතන්න රටෙි ඉතිහාසයට හිනාවෙන අයත් රටෙි ඉතිහාසයට අයිතියි නේද?.. රටට විතරක් නෙවෙයි අපිටත් ඉතිහාසයක් තියනවා… අ⁣පි ඉපදෙන පරමිපරාවට ඉතිහාසයක් තියනවා…. අමිමා තාත්තා ආච්චි සියා එ අයගේ දෙමවුපියන් …. අපේ මුතුන්මිත්තන්.. එ තමයි අපේ පුද්ගලික ඉතිහාසය…..

        ඔිනෑම රජ්‍යකට ඉතිහාසයක් තියනවා… කොයිතරමි අකමැති උනත් එ ඉතිහාසය අපිට පිළිගන්න සිද්ධ වෙනවා…. සමහර දෙවල් මුලාශ්‍ර ආශ්‍රයෙන් තිබුණත් තවත් සමහර දේවල් පුරාවෘත ජන කතා ලෙසත් මිත්‍යා කතා ලෙසත් ගොඩ නැගි තියනවා… හැබැයි එ හැමදේම අපිට එක හෙළාම ප්‍රතික්ෂේප කරන්න බෑ… එහෙම ජනශ්‍රැති ඇති වෙන්න හෙතු තියනවා.. ආධි මිනිස්සු එවා පැවසූවෙි නිකමි නොවෙයි.. යමි සිද්ධින් කට විවහාරයෙන් පැමිණියෙත් නිකමි නෙවෙයි….

        කවුරු කොහොම මොන දේවල් මිත්‍යා මතයැයි සමිමත කර ප්‍රතික්ෂේප කලත් එවා එසේ ඉවත් කරන්නට නොහැකියි . කොහෙන් හො නැවත එ කතාව මතු වෙනවා… එ සියල්ල සනාථ වෙනවා

        ඉතිහාසය ගවෙිෂනය කියන්නේ මං වඩාත්ම ආස කරන, මට කුතුහලයක් ගෙන එන මාතෘකාවක්.. එ නිසාම මෙි රාවණ ඉතිහාසය ගැන වසර ගණනක් කරුණු එක්රැස් කරනවා…. එ කාලය ඇතුලත මම දැනගත් දේවල් නමි බොහොමයි……… ඉතිං එ පිළිබදව මා දැනගත් කරුණු ටිකෙන් ටික අපි මැගසින් එක හරහා ඔබටත් කියන්නට සිතුනා…

        සමහර කරුණු ගැන සලකා බලන විට නමි මෙි දේවල් අපට නොසලකා හරින්න බෑ… වසර දහස් ගණනකට පෙර ලංකා භූමියෙ ජනාවාස තිබුණු බවට සාක්ෂි මෙි වන විටත් හමුවී අවසන්.. විජය කුමාරයා ලක් දිවට පැමිණි පසු ජනවාස ඇතිවුවායැයි පොත පතෙහි සදහන් උවත් අපිට එ දේවල් විස්වාස කරන්න පුළුවන්ද….  විද්වතුන් පවසනා ලෙස කුවෙිණිය ගැන සාක්ෂි සාධක ( තොනිගල ) තිබුණත් විජය නමි රජ කෙනෙක් මෙි හෙළ භුමිය පාළනය කල බවට කිසිදු සාදකයක් ( මාලිගා නටඹුන් , වැවු හා සෙල්ලිපි ) හමුවී නෑ….

        විජය ලංකාවට පැමිණිමට සත් දිනකට පෙරයි අප මහා තිලොගුරු සමිමා සමිබුදු රජාණන් වහන්සෙගේ පිරිනිවන ඇති වන්නේ. දින ගණනය කර බැළු විට ඔබටද එය වැ⁣ටහෙනු ඇති… එසෙනමි විජයාගමණයට පෙර ලක් දිවට බුදුන්වහන්සේ තුන්වරක් වැඩි බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.. එසේ නමි බුදුන්වහන්සේ සරණ ගිය යක්ෂ , නාග , දේව, රකුස් ගොත්‍රිකයන් කවුරුන්ද?. එ වගේම විජය පැමිණෙන විට කපු කොටමින් සිටි ස්ත්‍රිය කුවෙිණිය කවුරුන්ද?… එසේ නමි අප විජයගෙන් පැවත එන්නන් ලෙස විස්වාස කරනවාද?…. සියළු දනන් හට මෙත් සිසිල පැතිරවු බුදුන්වහන්සේගේ දිවැසට හත්සියක් පිරිස සමඟ සල්ලාලයෙකු ලෙස රටින් පිටමං කල විජයව හසුනොවුනේ මංද…. එහි ගැටලුවක් ඇති බව එ පිළිබදව සොයා බලන විට වැ⁣ටහෙනු ඇත…

        අද තාක්ෂණය අතින් දියුණු යුගයකත් දත්ත වෙනස් වෙනවා නමි යමි වැදගත් තොරතුරු අස්ථාන ගත වෙනවා නමි එකල කෙසේ නමි එසේ නොවි තියෙවිද… මා හට හැගෙන්නේ හිතා මතාම අපේ රටෙි ඉතිහාසය සගවා ඇති බවයි…. දකුණු ඉන්දිය සමිබවයක් සහිත මහානාම හිමි විසින් රචිත මහාවංශය තුල රාවණ ගැන හො ඔහුගේ ගුවන්යානා තාක්ෂණය පිළිබදව කිසිදු සදහනක් නොකළ හෙයින් එය මුළික කරගනිමින් ගොඩ නැඟුණු කොඩිරින්ටන්ගේ “ලංකා ඉතිහාසය” තුලද රාවණ රජු මඟහැරි තිබේ…. 

            මහාචාර්ය සෙනරත් පරණවිතාන ශුරින් 1920 වර්ශයේ සෙල්ලිපි කියවිම ආරමිභ කරන විට කොඩිරින්ටන්ගේ “ලංකා ඉතිහාසය” ලංකාව තුල පාසල්වල ඉගැන්වීමි ආරමිභකර තිබු අතර පුවත්පත් හා ජනමාධ්‍ය තුලින් එය විශාල ලෙස ප්‍රචලිතව යාමත් නිසා ලංකාවෙි නිවැරදි ඉතිහාසය එය ලෙස පිළිගෙන තිබුණි… කරුණු මෙසේ හෙයින් ලංකාවෙි සත්‍ය හා සැඟවු ඉතිහාසය තවමත් පවතින්නේ ගවෙිෂන මටිටමෙිය…. 

        රටෙි බහුතරයක් ඓතිහාසික තැන් වලගම්බා රජුට ලියා දි අවසන්… නමුත් වලගම්බා නමි රජු කොයිතරමි කාලයක් සැඟවි සිටියාදැයි අප කවුරුත් දන්න කරුණක්. එසේ සැඟවි සිටියදි විස්මිත වැඩ කල හැකිදැයි ගැටලුවක් පැනනැගීම ඉතිහාසය පිළිබදව අසීමිත කුතුහලයක් ඇති මට නමි ගැටලුවක්….

         වසර දස දහසකට ඉහතදී ලක් දිවෙහි සිටි රාවණ නමි රජ කෙනෙක් පිළිබදව අද වන විට බොහො අය අසා ඇතුවාට සැක නැත… රාවණ ඉතිහාසය සමාජගතවුවෙි ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ කාලයෙදි….. වාල්මිකි රචානා කල රාමායනයේ රාවණ දුෂ්ඨ රජෙක් කලත් අපේ ඉතිහාසයේ එනමි අංගමි සටන් කලාවෙිත් හෙළ වෙදකමෙිත් රාවණ රජු ගැන සදහන් වන්නේ ගෞරවයකින්… එ වගේමයි ජනප්‍රවාද කතා වලත් රාවණ රජු ගැන ඇත්තේ අතිමහත් භක්තියක්… වාල්මිකිගේ රාමායනයේ රාවණ දුෂ්ඨ යක්ෂයෙක් කර තිබුණත් රාවණගෙ තාක්ෂණික හා යුද ඥාණය පිළිබදව කිසිවක් සඟවා නොතිබිම නමි විශිෂ්ඨයි..

         ඌව වෙල්ලස්ස කැරැල්ලෙදි සියළු සටන් ශිල්පීන් මාරගල කන්දේ භූගත රාවණ දේවාලයේදී පුදපූජා පැවත්වු බවත් රහසක් නොවෙයි.. එසේ පුදපූජා පැවැත්වු කිරිගරුඬ ප්‍රතිමාව අද එංගලන්ත කෞතුකාගාරයක කාමර අංක තිස්තුනෙහි තාමත් සුරක්ෂිතව තිබෙනවා….අපේ රටින් අරන් ගිය එ කෞතුක භාන්ඩ ඉල්ලා මැතකදි නීති මාර්ගයෙන් කටයුතු කල බවත් මෙි වන විට ඔබ දන්නවා ඇති…

       සිංහල රාජාවලියෙ එන මනුවංශය අවසාන උවායින් පසුව තවත් රාජ වංශ තුනක් පිළිබදව ඉතිහාසයේ සදහන් වෙනවා.. එ තාරක ( වසර 10,000 ), මහාබලි ( වසර 7500 ), රාවණ ( වසර 5000 ) යන වංශ තුනයි.. ( සුනිල් ශාන්ත සුරින් ගායනා කරන ලද ” ලංකා ලංකා පෙමිබර ලංකා ” ගීතයෙත් මෙි බව සටහන් කොට ඇත්තේ ඉතා අභිමානයෙනි.. එක් පද්‍යයක මෙසේ සදහන් වෙි.. ” බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිදුන් ලද ලංකා”)

       මෙි රාජවංශ තුන අතරින් රාවණ පිළිබදව පවතින තොරතුරු ඉස්මතු වන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සදහන් වන රාවණ තුල පවතින තාක්ෂණික හා යුද බලය නිසා..

       සාහිත්‍යයේ සදහන් වන පරිදි රාවණ හට හිස් දහසක් අත් දහසක් පවතින බව ඔබ අසා ඇති. නමුත් එසේ ඔහුට එ ලෙස අත් හා හිස් නැත. හිස් දහයක් ඇති රාවණ රුප වලින් පිළිබිඹු කරන්නේ ඔහු සතු විවිදාකාර දක්ෂතාවයන් ගැනයි..

       වරිගපුර්ණිකාවට අනුව රාවණ ප්‍රදේශ දහයක් පාළනය කිරිම නිසා දසරාවණ නමි වු බවට මතයක් ඇත..  තවත් මතයක් වන්නේ රාවණ යනු වෙදකම මෙන්ම කලාවෙිද කෙල පැමිණි අයෙකු නිසා ඔහුට හිස් දහසක් හා අත් විස්සක් ඇතැයි කීමට හෙතුවක් කරගත්තාද වන්නට ඇතැයි සදහන්ය..

       විරු  රාවණ ( විරත්වය ), තීර රාවණ ( ස්ථිරවු අධිෂ්ඨානය ) , රාජාධිරාවණ ( රාජ්‍යන්ට අධිපති ) , රණ රාවණ ( යුද්ධයට දක්ෂ ) , සිරි රාවණ ( සිත් ආකර්ෂණීය පෙණුම ) , තරු රාවණ ( තාරකා විද්‍යාව පිළිබද දැණුම ) , පුත්ත්‍ර රාවණ ( පුතුන් ඇති නිසා ) , මනු රාවණ ( ජනතාවට අධිපති ) , දික් රාවණ ( දික් විජය කල ) ,  රාජාවරාවණ ( සියළු දේට දක්ෂ )

          සිංහල ජාතියෙ උපත සිදුවි ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි… යක්ක, නාග , දේව හා රකුස් ⁣යන සිවු පෙළපතයි … යක්ක ( යකඩ කර්මාන්තයෙ යෙදෙන්නන් ) , නාග ( නාවික වෙළද කටයුතු ) , දේව ( පාලන තන්ත්‍රයේ අනුශාසක වරු ) , රකුස් ( කුස රැස් කිරිමට ගොවිතැන් කරනා අය ).

          සිංහල යන්නෙහි අර්ථයත් එයයි…. බොහො උගතුන් නොදන්නා කරුණක් මෙය… සිංහල ජාතිය උවත් එහි තෙරුම දන්නේ නැත. සිංහල කියු පමණින් එහි තෙරුම සිංහබාහු නාටකේ හා සසඳති. නමුත් සිංහල යන්නෙහි සැබැ තෙරුම නමි සිවුහෙළයයි… සිවුහෙළ / සිංහල ලෙස  මා ඉහතකී යක්ක , නාග, දේව , රකුස් යන ප්‍රධාන ගොත්‍ර සතර එකතුවි සෑදි ඇත්තෙකි…..

          එයින් ගත් කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුමි පිදුමි කල එකම රටක එක කොඩියක් යටතේ පාළනයවු රාජ්‍යයක් බව නොරහසකි. තවද රාවණ රජු විසින් භාවිතා කරන ලද කඩුවක් අතින් ගත් සිංහයෙකු සහිත රාවණ කොඩිය ලංකාවෙි පැරණිම කොඩිය ලෙස දැක්විය හැකියි…

          රාවණ යන්නෙහි තෙරුම “රා” සුර්ය්‍යා , “වණ” පරමිපරාව හෝ වංශය , රාවණ  යනු  ” සුර්ය්‍ය වංශික ” අර්ථය දේ…

          රාවණ වත නැමති පුස්කොල පොතට අනුව සිගිරියෙ සැකසුම් ශිල්පියා වන්නේ මායාදනව නැමැත්තායි.. එකල සිගිරිය ආලකමන්දාව නමින් හැදින්වු අතර කුවෙිර( බහිරව ) රජ සමයේ  එය හදුන්වා ඇත්තේ චිත්රකූට නමිනුයි…

          පසුව රාව⁣ණගේ අතුරුදහන් විමත් සමග ඔහුගේ සොයුරු විභිශන රජකමට පත්වු අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන යන ලදි… (වත්මන් කැළණිය නොව නැඟෙනහිර වෙරළෙහි හැඩ ඔය මුහුදට වැටෙන ස්ථානය අසල තිබි මුහුදට ගිලි ගිය කැළණියයි. කොළඹට නුදුරු කැළණි විහාරය ගොඩනංවන ලද්දේ පොළොන්නරු යුගයේ විසු ” කල්‍යාණවති ” බිසව විසන් ) චිත්රකූටය විභිශන තමන්ගේ ඥාතියෙකුවු යක්ක වංශාදාපතියෙකුවු චිත්තරාජට පවරන ලදි.. චිත්‍රරාජ යනු පණ්ඩුකාභය කුමරු ( ක්‍රි.පු. 437-367 ) හට රජකම ලබා ගන්නට උපකාර කල අයගෙන් කෙනෙකු බව ඉතිහාසයේ සදහන් වෙි. පණ්ඩුකාභය කුමාරයාගෙ දෙමව්පියන් යනු චිත්‍රරාජගෙ වංශයෙන් පැවත එන්නන් බව සැලකේ..

          මෙයට අමතරව රාවණ වතෙහි කියවෙන ලෙසට පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයාවු කස්සප කුමරු තම වාස බවණ ලෙස චිත්රකූටය තොරා ගත්තේ ඔහුගේ මව යක්ක ඇදැහිලි විස්වාස කරන්නියක් වු බැවින් හා ඇයද ඉන් පැවත එන්නියක් නිසාවෙනි..

          සීගිරියේ ඇති ලොකප්‍රකට බිතු සිතුවමි වලිනි දැක්වෙන්නේ සිවුහෙළය ගැන බවට විස්වාස කල හැකියි.එහි ඇති නිල් පැහැති කාන්තා රුපය යක්ක ගොත්‍රය බවත්, අනෙක් කාන්තා රුප වලින් දැක්වෙන්නේ නාග, දේව සහා ගන්ධබිබ ( රකුස් ) යන ගොත්‍රවල නියොජනය බවත් අලංකාර මල් වලින් දේශයේ එකමුතු බවත් , උඩුකය නිරාවරණයෙන් පෞරුෂයත් පෙන්වන බව රාවණ වතෙහි සදහන්ය…

          රාවණ එසේ නැතිනමි සහස්‍රමුඛ ( මුහුණු දහයක් සහිත ) ගැන ඇති විස්තර මෙසේ ලියා නිම කල නොහැකි තරමි… වරිගපුර්ණිකාවෙි සදහන් පරිදි “යකු කෞර මණ්ඬක” එනමි “සියල්ල සමිපුර්ණ කරන ලද යකා” ගැන විස්තර නමි බොහොමයි…. පොත පතේ මෙන්ම මහාචාර්යවරුන් පවසා ඇති කරුණු සමග මම තව තවත් විස්තර ඔබ හමුවට රැගෙන එන්නට පොරොන්දු වෙනවා….

          දන්නා දේ අබ ඇටයක් තරමි නමි අපි නොදන්නා දේවල් මහා පොළොවෙි වැලි කැට තරමි.. ඉතිං නොදන්නා දේ සොයා යමු, දන්නා දේ කියා දෙමු…. මුළාශ්‍රවල ඇති ඉතිහාසයත් ජනශ්‍රැති හා බැදි ඇති දෙයත් එකින් එකට සසදා බලමු…. අපි අපේ ඉතිහාසය ගැන කතා කරමු ….. සිංහල රටෙි සිංහල අපිට ඇති උරුමය එයයි…. අපේ ඉතිහාසය අපි රකිමු , හාස්‍යට අපහසයට නොව ගෞරවයෙන් ඉතිහාසය පිළිබදව කතා කරමු… එ දේවල් රැකගනිමු……

තෙරුවන් සරණයි
නිසංසලා රණසිංහ

බුරුත අල්මාරිය..

ඒක හරිම ආදරණීය වස්තුවක් උනේ පලු දෙක ඇරියාම එන සැවැන්දරා සුවඳත් එක්ක. ආච්චි අම්මාගෙ හැම ලට්ට ලොට්ටයක්ම තිබ්බෙ ඔන්න ඕකෙ. ශ්‍රී අකුර ගහපු කරාබු ජෝඩුවත් එක්ක මාලෙ මැදින් එල්ලුන ලොකු පෙන්ඩන්ට් එක ඔය අල්මාරියේ පැත්ත ලාච්චුවේ හරිම පරෙස්සමට තිබ්බා. කොහොමත් ඕක අරින්නත් හැමෝම බයයි. වෙන දේකට නෙවී. ඕක අරිද්දි එන ක්‍රීස් සද්දෙත් එක්ක කොයි ලෝකෙ හිටියත් ආච්චි අම්මා “කවුද කවුද ඔය? ” කියාගෙන අල්මාරිය ඉස්සරහ පෙනී ඉන්න නිසායි.

         එක්දාස් නවසිය බර ගණන් වල සීයාතාත්තා ආච්චි අම්මාව කැන්දන් එද්දි ඔය මැදින් පලිඟු කණ්නාඩියක් තියෙන බුරුත අල්මාරිය අරන් ආවෙ බොහෝම පරිස්සමෙන් කියලයි රට්ටු කියන්නේ. හරිම ගාම්බීර පෙනුමක් තියන ඔය අල්මාරියේ කණ්නාඩිය දෙපැත්තේ පියන් දෙකට ලස්සන කැටයමක් දැම්මේ ආච්චි අම්මාගෙ බීරළු ගෙතුමක් බලාගෙන කියල සීයා තාත්තා ඒ දවස් වල උජාරුවෙන් කියනවා මං අගගෙන.

    අපි පොඩි කෙල්ලො ඒ දවස්වල. අල්මාරිය ඇරෙන සද්දෙට අපි එතනට දුවගෙන යන්නේ රසකැවිල්ලක් දෙකක් ඔය ඇරෙන අල්මාරියේ වම් පැත්තේ දොරෙන් එලියට ඇවිල්ලා අපේ අතට එන බව දන්න නිසාමයි.

                     ආච්චි අම්ම පස්සෙ දවසක ඔය අල්මාරිය අපේ අම්මට දෙද්දී අපි හිතුවා අනේ රසකැවිලි ගොඩකුත් එක්ක අපේ ගෙදරට සම්පතක් එනවා කියලා. ඒත් පහුවෙද්දි දැනගත්තා ගොඩක් බර දොරවල් තියෙන ඒ විසාල අල්මාරිය අරින්න තරම් හයි හත්තියක් ආච්චි අම්මට දැන් නැති නිසාලු අපේ අම්ම අල්මාරියේ උරුමක්කාරයා වෙලා තියෙන්නේ කියලා.

       මැද සාලෙන් ගෙට ආපු පත අල්මාරිය මගේ කාමරේ නැවතුනේ “දීග යනදාක අරන් පලයන් දෝණී” කියනවා වගේ.

      කාලෙ ගෙවෙද්දී ඒ එක්කම මොරටුවෙන් මාතරට, මාතරින් රට මැදට , රට මැදින් කොලොම්පුරයට ආපු අල්මාරියට හරිම මහන්සී වගේ එකමත් එක හවස් වරුවක අල්මාරියේ මුල් අයිතිකාරී ආච්චි අම්මාත් මහන්සි ඇරලා තිබ්බා අල්මාරියේ තනියට ආපු කළුවර වියන් ඇඳ උඩම සදහටම.

             දීග එද්දී මාත් එක්ක ආපු බුරුත අල්මාරිය ආච්චි අම්මගෙ සුවඳ මැදින් අම්මාගෙ සුවඳත් එකතු කරන් අදටත් ඕන් තේජමානව ඉන්නවා. අම්ම මාව බලන්න එන වාරයක් ගානේ

“දෝණී.. ආච්චි අම්මාගෙ අල්මාරිය තාම හොඳට තියෙනව නේද” කියල අහන එක අම්මාගෙ නොවරදින වචන පේලියක් වෙලා..

     අර ” ශ්‍රී ” අකුර තියන කරාබු ජෝඩුව .. ඔව්.. ඔව්.. අර පෙන්ඩන්ට් එකත් එක්ක අර වම් ලාච්චුවෙ තාම තියනවා.. අල්මාරියත් එක්කම ඇව්ල්ලා.. පරම්පරාව අරන් යන්න..

         ඔව්.. ආච්චි අම්මා.. ඒ සැවන්දරා සුවඳට මම හරිම ආසයී..

මේ….. මේ… දැනුත් මම ආදරයෙන් ඒ සුවඳ විඳිනවා..

  අර ලොකු දොර පළු දෙක ඇරන්… කෝ ආච්චි අම්මෙ අර රසකැවිලී..😥

©️දිගැසි✍️

ඔබ රස්සාව කරන්න ජීවත් වෙන කෙනෙක් ද?

උදේට ඔබ අවදි වෙන්නෙ සතුටින් ද? මෙහෙම ඇහුවොත් කීයෙන් කී දෙනාද සතුටුයි කියන්නෙ. උදෑසන අවදිවීම වගේම රැකියාවට යෑමත් හොඩක් දෙනෙක්ට කරදරයක්. හරිම අකමැත්තෙන් කරන දේවල්. නමුත් ජීවත් වෙන්න මුදල් අවශ්‍ය නිසා අකමැත්තෙන් හෝ රැකියාවට යනවා. මම ඔබට පොඩි කතාවක් කියන්නම්.

ඇය මගේ යෙහෙළියක්. විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන, හොඳ වැටුපක් ගන්නා ඇය රැකියාව කරන්න පටන් ගත් දා සිට සතුටකින් ඉන්නවා මම දැක නැහැ. දිනක් අපි කතා කරමින් සිටිද්දී ඇය මගෙන් මෙසේ විමසුවා.

“ඔයා කැමැත්තෙන් ද ඔය ජොබ් එක කරන්නෙ?”

“ඔව්” මගේ පිළිතුර වුණා. මම කිසිඳු අයෙක්ගෙන් රැකියාව, විවාහය, දරුවො, පවුල ගැන ප්‍රශ්න නොකරන කෙනෙක්. ඒ නිසා ඇගේ රැකියාව ගැන මම විමසුවේ නැහැ. නමුත් ඇය මෙසේ කතාවට මුල පිරුවා.

“අනේ එහෙමද? මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ මේ රස්සාව. කිසිම ගෝ එකක් නැහැ. වෙලාවකට අයින් වෙන්නත් හිතෙනවා. ඒත් ඉතින් ජොබ් එකක් ඕනිනේ. ඒ නිසා ඉතින් ඉන්නවා”

ඇය සහ මම කුඩා කළ සිට ඉතා හොඳ මිතුරියන්. ඇය කුඩා කළ සිටම කැමති වුණේ ක්‍රියේටිව් දේවල් වලට. ඇයට ලස්සනට මහන්නත් පුළුවන්. මගේ උපන්දින වලටත් ඇගේ අතින් මැසූ කොට්ට උර, ටේබල් මැට්ස් පවා මට දී තිබෙනවා. නමුත් සාමාන්‍ය පෙළින් පස්සෙ ඇයට සිදු වුණේ ඇගේ දෙමව්පියන් කැමති දෙයක් උසස් පෙළට කරන්නට. ඉතින් ඇයට ඇගේ නිර්මාණශීලී හැකියාව මග හැරුණා.

“ඔයා දන්නවනෙ මම ඒ කාලෙ ඉඳලම ඩිසයිනින් වලට එහෙම කැමතියි. ඒ වගෙ ජොබ් එකක්වත් කරන්න තිබ්බනම්..” ඇය සුසුම් හෙළුවාය.

“ඉතින් ඔය ජොබ් එක කරන ගමන් ඔයාට ඩිසයිනින් වගෙ දේවල් කරන්නත් පුලුවන්නෙ”

“ඒ කොහොම ද? දවසම මෙතන වැඩ කළාම ඇගට හරිම මහන්සියි. තව දෙයක් කරන්න බෑ”

“ඔයා ට්‍රයි කරලා බැලුවද?”

ඇය කල්පනා කරන්නට විය. ඇයත් සමග කතාවෙන් මට පැහැදිලි වුණේ ඇයට මේ ඩිසයිනින් පැත්තට යොමු වීමට ඉතා දැඩි කැමැත්තක් ඇති බවයි. ඇයට ඇගේ රස්සාව එක්ක වෙලාව කළමණාකරණය කරගන්නට තේරුමක් නැති බවක් තිබුණා.

නමුත් ඔබ විශ්වාස කරනවද? ඇය අද ඇගේම ඩිසයින් කළ ඇඳුම් තිබෙන Online Store එකක හිමිකාරියක්. ඇය අදටත් අපේ එදා හමුවීම ගැන සතුටු වෙනවා. මොකද ඇය එයින් නව පණක් ලැබුවා. තමන්ගෙ සහජ හැකියාවෙන් තමන්ගෙම බිස්නස් ව්කක් පටන් ගන්න ඇයට හැකි උනා.

ඔබත් කරන රැකියාවට කැමැත්තක් නැටි කෙනෙක් ද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ ඇත්තටම දක්ෂ දේවල් මොනවද කියලා? කොටින්ම කිව්වොත් ඔබේ Hobby එක (විනෝදාංශය) ඔබේ රැකියාව වුණොත්? ඔබ කැමතියි නේද? අපි හැමෝම එහෙම තමයි. අපේ හිතට සතුට සැනසුම දෙන දේ අපි හරි ආසාවෙන් කරනවා. ඔබත් ඔබේ Hobby එක රැකියාව කරගන්නට හීන දකිමින් වෙමින් රැකියාවක නියැලෙන කෙනෙක් නම් දැන්ම දුක්වෙන එක නවත්තන්න. ඒත් සමග පොඩියට හෝ ඔබේ ව්නෝදාංශය හෙවත් ඔබ කැමති දෙය කරන්නට පටන් ගන්න. කාලයක් යද්දි ඔබට වැටහේවි, එය ඔබ ජීවිතේ ගත්ත නිවැරදිම තීරණයක් කියලා.

තව දෙයක්, ඔබට යමක් කරන්නට ඕනි නම් කවුරුවත් වෙනම ම වෙලාවක් බන්දේසියක තියලා ගෙනත් දෙන්නෑ. ඔබේ දෛනික ක්‍රියාවලීන් තුළින්ම ඔබ, ඔබට කාලය සොයා ගත යුතුයි. දෙයක් බැරි වෙන්නෙ, ඔබ ඔබට ‘බැහැ’ කියලා හිතුවොත් පමණයි. ඔබ ඔබව දිශ්වාස කරලා, මට පුළුවන් කියලා හිතුවොත් අනිවාර්‍යෙන් ම ‘ඔබට පුළුවන්’.

ඉතින් ඔබත් ඉගෙන ගත්ත දේම රැකියාවට කරලා එපා වෙලා ඉන්න කෙනෙක් නම් මේ ලිපිය ගොඩක් වැදගත්. Educational qualifications වලින් හිමිවෙන රැකියාව කරලා හෙම්බත් වෙලානම්, අදම ඔබ දක්ෂ දෙය පටන් ගන්න. ඔබේ හිත සතුටින් එහි නියැලෙන නිසාම, ඉක්මනින් ම ඔබට සාර්ථකත්වයට යන්නත් පුළුවන්. අනිත් අය කරන කරන ජොබ් කරන්නට හීන මවන්නත් එපා. ඔබේ දක්ෂතා වලින් ඔබගේ මාර්ගය තෝරා ගන්න. ඔබ ඔබම වන්න. ඔබත් ඔබේ Hobby එක, Job එක කරගන්න!


Dr. චන්දි රාජපක්ෂ

වචන වලට පණ දෙන කාගෙත් හිත දිනන – SUREKHA PERERA

සුරේඛා පෙරේරා කියන්නේ කවුද ඔයාගේ වචනයෙන් කිව්වොත් 

සුරේඛා පෙරේරා කියන්නෙ නිදහසට බොහොම කැමති, ජීවිතය විඳින්න කැමති, අනුන්ට කරදරයක් නොවී තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්.

සුරේඛා ගේ  පවුලෙ විස්තර, පාසල් කාලය ටිකක් දැනගන්න කැමතියි

 මගේ උපන් ගම වෙන්නෙ රාගම ප්‍රදේශයේ බටුවත්ත කියන ගම. මගෙ පවුලෙ අම්මයි තාත්තයි, මල්ලියි එක්ක තමයි මම ජීවිතේ පටන් ගන්නෙ. බටුවත්ත කණිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. පසුව ව්‍යාපාර කළමණාකාරණය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා.

දැන් මම විවාහකයි. මගෙ සැමියාගෙ ව්‍යාපාර කටයුතු වලට සහය වෙන ගමන් මගෙ පුතුන් දෙදෙනාගෙ වැඩකටයුතුත් කරගෙන සතුටින් ඉන්නවා. 

කොහොමද මෙච්චර ලස්සනට වචන ගළපන්නේ, කොයි කාලයේදීද ලියන්න පටන්ගත්තෙ

ඒක අහම්බයක්… පාසල් කාලයේදී මගෙ මිතුරෙකුගේ අභාවයක් නිසා ඇතිවුණ වේදනාව තමයි මම මුලින්ම අකුරු කලේ. එයින් පස්සෙ මම ටිකෙන් ටික කවි, නිසඳැස් ලියන්න පෙළඹුනා. ඒවා සියල්ලම මම පොතක ලියා තැබුවා මිස පත්තරයකවත් පල කෙරෙව්වෙ නෑ. ළඟම මිතුරියන්ට විතරක් අදහස් දැන ගන්න ඕනෙ නිසා රස විඳින්න දුන්නා. පාසල් කාලෙන් පස්සෙ  නම් මම කවි ලිව්වේම නැති තරම්.

නමුත් මීට අවුරුදු 5 විතර කලින් මගෙ පැරණි කවි පොත් ටික මට ආයෙත් කියවන්න ලැබුනම මට හිතුනා මුහුණු පොතේ එක්තරා කවි නිසඳැස් තියෙන සමූහයකට ඒවා ඉදිරිපත් කරන්න ඕනෙ කියලා. මම මුලින්ම මගෙ පැරණි කවි එහි පල කිරීමත් එක්ක ලැබුණු ප්‍රතිචාර මත තමයි මම නැවතත් කවි ලියන්න පටන් ගත්තෙ. 

මුලින් විවිධ දේ ගැන ලියන්න පටන් ගත්තත් බොහෝ දෙනාගේ ඉල්ලීම් මත ඔවුන්ගේ දුක සතුට, අත්දැකීම් අකුරු කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ හැඟීම් මගේ කරගෙන ලියන්න පටන් ගත්තා.

ඔබ ආඩම්බර වන  ඔබ ලියා ඇති හොදම සටහන.

මම මුල සිටම කවි නිසඳැස් ලියූ සමූහයට ලියූ සටහනක්, 1800 ට වඩා වැඩි අතර ශෙයාර් වී තිබුනා.. ඒ වගේම පෙජ් කිහිපයකින්ම එය නැවත නැවතත් ඉදිරිපත් කර තිබුනා.

විනිශ්චය

………………

ඔබ..

තවත් අයෙකුගේ මානසික මට්ටම ගැන,

ඔවුන් විඳි දුක් පීඩා ගැන,

හරියටම නොදන්නේ නම්

ඔවුන්ව විනිශ්චය කිරීමෙන් වළකින්න..

මන්ද…

ඔබට හීනෙකින්වත්

සිතා ගත නොහැකි තරම්

දුෂ්කර කාලයක්

ඔවුන් ගෙවා දමා හෝ

ගෙවා දමමින් සිටිනවා විය හැක….

එම නිසා… 

ඔබට සිතා ගැනීමටවත් 

නොහැකි තරමටම

ඔබගේ විනිශ්චය 

ඔවුන්ට පීඩාවක් විය හැක..

ඉදිරියේදී සුරේඛා ගේ අලුත් නිර්මාන වෙනම තැනකට ගේන්න අදහසක් නැත්ද? පොතක් එහෙම ලියන්න අදහසක්.

බොහෝ දෙනෙක් ඔය ඉල්ලීම මගෙන් කරල තියෙනවා. ඒත් මම තාමත් ඒ ගැන හිතමින් ඉන්නවා. මොකද පොතක් කරනවා නම් රස විඳින්නාට ඒකාකාරී බවකින් තොරව, හදවතට මනසට දැනෙන, හරවත් නිර්මාණයන්ගේ එකතුවක් විය යුතුමයි. ඒ නිසා ඒකට ටික කාලයක් ගත වෙයි. 

අනිත් කාරණය තමයි මුහුණු පොතේ අපේ කවි රසවිඳින්නන් බොහෝ ප්‍රමාණයක් හිටියත් කවි පොතක් මිලදී අරන් කියවන්න කැමති පිරිස බොහොම අල්පයක් වීම. ඒ නිසා ආත්ම තෘප්තිය වෙනුවෙන්  මිස මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම පොතක් කිරීමට නම් කිසිම අදහසක් නැහැ. 

මිනිස්සුන්ට කියවීම ලිවීම තව දියුණු කරගන්න ඔයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද සහ අපි Magazine එකට සම්බන්ධ වීම ගැන අද දැනෙන දේ කිව්වොත්

 මම හිතන්නෙ ලියන කෙනෙකුට හොඳම ආයුධය තමයි ලියන භාෂාව ගැන දැනුම එකතු කරගැනීම. ඒකට කියවීම අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්. අපේ සිංහල භාෂාව හරිම ලස්සන රසවත් වචන වලින් බොහොම පොහොසත්. ඒත් අපි එයින් භාවිතා කරන්නෙ හරිම සීමිත ප්‍රමාණයක්. නමුත් කවියක් නිසඳැසක් ලියනකොට, ඕනෑම මට්ටමක දැනුම තියෙන කෙනෙකුට කියවා රසවිඳින්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි.

අපි Magazine  එකට සම්බන්ධ වීම ගැන නම් තියෙන්නෙ හරිම සතුටක්. මුලින්ම ගයාන් කරුණාරත්න සහෝදරයා මට ආරාධනා කලාම පොඩි චකිතයක්, කුතුහලයක් තිබ්බා. මොකද මට මීට කලින් ඒ වගේ අත්දැකීමක් නොතිබුණ නිසා. නමුත් මාසයෙන් මාසයට පාඨකයන් වැඩි වැඩියෙන් ‘අපි’ මැගසීනයත් එක්ක එකතු වෙනකොට ඇත්තටම ලොකු සතුටක් දැනුනා මුහුණු පොතෙන් සහ මගේ සමීපතමයින්ගෙන් ඔබ්බට තවත් පිරිසකට මගේ නිර්මාණ ගෙනයන්න හැකිවීම ගැන. ඒ වගේම පෞද්ගලිකව ලොකු ආත්ම තෘප්තියක් දැනුනා මගේ සිතුවිලි, හැඟීම් නිර්මාණයන් ඔස්සෙ පිටරට වෙසෙන අපේම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරින් අතරට ගෙන යන්න අවස්ථාවක් ලැබීම ගැන. 

ඒ වගේම හැම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන්ගේ හරවත් රසවත් ලිපි ගණනාවකින් සමන්විත වුණ අපි මැගසීනයට මටත් නිර්මාණයකින් දායක වෙන්න හැකිවීම ගැනත් මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒකට මම අපේ ප්‍රධාන කතෘ ගයාන් කරුණාරත්න සහෝදරයට හදවතින්ම ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්න කැමතියි.කෙමෙන් කෙමෙන් වසර දෙකකට පියවර තබන අපි මැගසීනය, ඉදිරියටත් හරවත්, රසවත්, වටිනා දැනුම පාඨකයන් ලබා දෙමින් සාර්ථක ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..