සමනලුන්ගේ වත ගොත.

Papilionidae කුලය

වර්ථමානය වෙද්දි අපිට දකින්න ලැබෙන්නේ අපේ ලෝකය, අපි ඉන්න පරිසරය විනාස කරන හා ඒකේ ලස්සන නැති කරන දේවල්. අවාසනාවකට වගේ පෘථිවියේ ඉන්න දියුණුම සත්වයත් මේ විනාසයන්ට වග කියමින් ඉන්න අතරරේ නොදියුණුයි කියලා වර්ග කරල ඉන්න අනිත් සත්තු මේ ලෝකේ ලස්සන කරන්න දරන උත්සහය දිහා අපි තවමත් කටවල් හයාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් මෙහෙම දියුණු මොළයකුත් තියගෙන අපි නීකන් බලන් ඉන්නවාට වඩා මේක පාවිච්චි කරලා අපේ මේ ලස්සන පරිසරයට වෙන විනාසයන් නවත්තන ගමන් මේක ලස්සන කරන්න උදවු කරන මේ පුංචි පුංචි සත්තු ආරක්ෂා කරන්නත් ඉගෙන ගමු.

පසුගිය කලාපෙන් මේ විදහට අපේ පරිසරය ලස්සන කරන පුංචි සත්තු කාණ්ඩයක් ගැන අපි කතා කරා. ඒ තමයි සමනල්ලු. එතනදි අපි සමනල්ලු කියන්නේ කවුද, ඒගොල්ලෝ වර්ග කරලා තියෙන්නේ කොහොමද කියන දේවල් කතා කරා. මේ කලාපයෙදි කතා කරන්න යන්නේ සමනල්ලු බෙදලා වෙන් කරලා තියෙන එක කුලයක් (family) ගැනයි. ඒ තමයි Papilionidae කුලය. අපි බලමු මේ කුලයට අයිති වෙන්නේ මොන වගේ සමනල්ලුද කියන එක.

Swallowtails එහෙමත් නැත්තන් papilionids යනුවෙන් Papilionidae කුලයේ සමනලුන් හදුන්වනු ලබයි. ලෝකය පුරා මොවුන්ගේ ව්‍යාප්තියක් දැකගත හැකි අතර නිවර්තන කලාප වල බහුල වශයෙන් දැක ගත හැකි වේ. මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ශරීර ප්‍රමාණය දක්වා සමනලුන් විශේෂ පන්සිය ගනනක් මෙම කුලයට අයිතිවාසිකම් කියනු ලබයි. වර්ණ සංකලනය අතින් විවිධ වු වර්ණයන් ගෙන් යුක්ත සමනලුන් මෙම කුලයෙන් ඔබට දැක ගත හැකි වේ. Papilionidae කුලයේ සමනලයින් ස්වභාවික පරිසරයේ දි අපට හමු වු විට හදුනා ගැනීමට භාවිතා කල හැකි ලක්ෂණ කිහිපයක් මෙසේ සදහන් කල හැක. මෙවා භාවිතයෙන් අපට ස්වභාවික පරිසරයෙදි මෙම කුලයේ සමනලුන් පහසුවෙන් හදුනා ගැනීමට හැකි වේ.

පළමු ලක්ෂණය වශයෙන් අපට හොදයාකාරවම දැක ගැනීමට හැකිවන්නේ විශාල දිගු පියාපත් ය. අනෙක් කුල වල සිටින සමනලුන්ට වඩා මෙම කුලයේ සමනලුන්ගේ පියාපත් ප්‍රමාණයෙන් විශාල වන අතර දිගැටි වේ. තවද පසුපස පියාපත් වල අග දිගු වල්ගයක් සමහරක් විශේෂ වල දැක ගත හැකි වේ. ඒ වගේම මොවුක්ට දිගු ශුණ්ඩාවක් (proboscis) ද දැක ගත හැකි වේ. පාද ගත් විට හොදින් වර්ධනය වු පාද යුගල් 3 ක් මෙම විශේෂ වලට පිහිටයි. විශේෂයෙන් ම මොවුන්ගේ පාද කෙලවරේ නකර වැනි අවයවයක් පිහිටයි. මෙම කුලයේ සමනලුන් වේගවත් පියාසැරියන් වේ. ප්‍රමාණයෙන් විශාල සමනලුන් පරිසරයේ එහා මෙහා සෙමෙන් පියාසර කිරීමෙන් විලෝපිකයන්ට හසුවීමේ ප්‍රවනතාවය වැඩිවීම මෙයට බලපා ඇත. මල්පැණි මොවුන්ගේ ප්‍රධාන ආහාරය වේ. ඊට අමතර සත්ව මලකුණු හා මලපහ මත හිද එහි යුෂ උරා බොන අයුරු ද දැක ගත හැක.

ඉහත සදහන් කර සියලු ලක්ෂණ වැඩිහිටි සමනලයින් ගේ දක්නට ලැබෙන ලක්ෂණ වන අතර මොවුන් ගේ දැළඹුවන් (larvae) ගේ ද තවත් වු විශේෂ ලක්ෂණ දැක ගත හැකි වේ. මොවුන් බිජු ලෑමේදි ශාකයේ එක් පත්‍රයක එක් බිත්තරය ක් බැගින් දැමන අතර බිත්තර ලා කහ පැහැයේ සිට තැඹිලි පැහැය දක්වා වර්ණ ගනි. මෙම කුලයේ බොහෝමයක් සමනලුන් සප්සද, දෙහි, කුරුදු හා අනෝදා වැනි ශාක වල බිජු ලෑම සිදු කරයි. බිත්තරයෙන් එලියට පැමිනෙන දැළඹුවන් විවිධ වු දීප්තිමත් වර්ණයන් ගෙන් යුක්ත වන අතර ඒ හැරුණු කොට කුරුළු වසුරු වැනි ස්වරූපයන් ගෙන් ද සමහරක් විශේෂ සාර්ථක ලෙස වේශාන්තරණය හි නිරත වේ. මොවුන්ගේ තවත් එක් විශේෂයත් වනුයේ දැළඹවන්ගේ උරසෙහි පිහිටන Osmeteria යනුවෙන් හැදින් වෙන අවයවයයි. මෙය මෙම කුලයේ සිටින සමනලු දැළඹුවන් ගේ පමණක් දැකගත හැකි අතර මෙය තම සතුරන් බිය වැද්දීම සදහා යොදා ගනි. බිය වු විට මෙය ප්‍රදර්ශණය කරමින් ඔවුන් ව පලවා හරි. මෙමගින් යම්කිසි ගන්ධයක් පිටවන අතර මිනිසුන් වන අපටද එය හොදින් දැනේ. මෙවුගේ කෝෂය ද හොදින් වේශාන්තරණය පෙන්වන අතර එය සිල්ක් (silk) නූලක් මගින් සවිවන පෘෂ්ටය මත හා යා කෙරේ.

ඉහතින් සදහන් කරපු විදිහට Papilionidae කුලයේ සමනලුන් අපිට ස්වභාවික පරිසරයේ දි හදුන ගන්න මේ කියන ගක්ෂණ බොහෝමත් ම උපකාරී වෙනවා. අපිට ශ්‍රී ලංකාවේ Papilionidae කුලයට අයිති වෙන සමනලුන් විශේෂ 15 දෙනෙක් දැක බලා ගන්න පුලුවන් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න සමනලුන් ගෙන් 6% ක් අයිති වෙලා තියෙන්නේ මේ කුලයටයි. මේ 15 දෙනාගෙන් එක වි‌ශේෂය ක් හා එක උප විශේෂයක් ශ්‍රී ලංකාවට ආවේනික වෙනවා. ඒ වගේම ලංකාවේ හමුවෙන විශාලම හා ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා වෙන Sri Lanka Birdwing (Troides darsius) හෙවත් ශ්‍රී ලංකා සියොත් වැන්නා අයිති වෙන්නෙත් මේ කුලයටමයි.

ඉතින් මේ වගේ සමනලුන් අයිතිවෙන තවත් කුල ගැන ඊලග කාලාපෙ දි හමුවෙමු.

හිරුනි පීරිස් දැරනියගල

ගතට වගේම සිතට වැළඳෙන රෝග සුව කරන අපේ පුංචි දොස්තරනෝනා

Dr. CHANDHI RAJAPAKSHE

1.       වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ කියන්නෙ කවුද?

මම නිතරම සරලව ඉන්න කැමති වගේම ඒකට උත්සාහ කරන කෙනෙක්. අම්මට අප්පච්චිට දුවෙක්. මහත්තයාට බිරිඳ. රෝගීන් ඉදිරියේ වෛද්‍යවරියක්. ශිෂ්‍යයන් ඉදිරියේ එයාලගෙ ගුරුවරයා. යාළුවො එක්ක ඉද්දි හොඳ මිතුරියක්.මේ මොන භූමිකාව තුළ සිටියත් මගේ තියෙන හොඳගති ඒ විදිහටම තියාගන්න, නරකක් තියෙනවනම් ඒක හදාගන්න උත්සාහ කරන කෙනෙක්. මොකද අපි හැමෝම මොහොතින් මොහොත සෑම අතින්ම වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස්වීම හොඳ විදිහට වෙනස් වෙන්නයි මට ඕනි.

2.       ඔබගේ පවුල් පසුබිම ගැන ටිකක් කිව්වොත්?

අම්මයි අප්පච්චියි අක්කයි මමයි තමයි පවුලෙ. තව මගේ සුරතලා ‘බබී’ත් පවුලේ සාමාජිකයෙක්. අම්මයි අප්පච්චියි ගොඩක් මහන්සි උනා අපිට උගන්වන්න. මම ගැන කිව්වොත් මම ඒ මහන්සියට එයාලට ප්‍රතිපලයක් දුන්නා. මට පොඩිකාලෙ ඉඳලා ඕනි උනේ අම්මයි අප්පච්චියි මම නිසා හිනාවෙන්න. ඉතින් මගේ ජයග්‍රහණ වලින් මම එයාලගෙ මූණට හිනාවක් දුන්නා. ඊටපස්සෙ දැන් ගැන කිව්වොත් මම වෙනම පවුලක්. මගේ හැමවැඩකටම දිරිමත්කරන්නෙක් මට හම්බුණා කිව්වොත් මම හරි. අපි දෙන්නාම අපි දෙන්නගෙ වැඩ වලට පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා. ඉතින් ඒ සහයෝගය මට වගේම එයාටත් ලොකු හයියක්.

3.       Medical writing වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

මම Medical writing කරන්න පටන් අරන් අවුරුදු 7 ක් විතර.ඒකට යොමු උන විදිහත් ටිකක් දිගකතාවක්. ආසාව වැඩිකමටම මම ගොඩාක් මහන්සිවෙලා හොයලා Go Magazine එකේ කර්තෘතුමාව සම්බන්ධ කරගන්න ලැබුණා. ඒකට තමයි මම මුලින්ම Articles ලිව්වෙ. එතුමාව ආදරෙන් ගෞරවයෙන් මේ වෙලාවෙ මතක් කරනවා. ඒ අතරෙ මම Magazine articles, Paper articles, Social media articles ගැන අධ්‍යයනයක් කරලා ඒවටත් සම්බන්ධ උනා. ඒ අතර ආපු ජීවිත අභියෝග එක්ක පොඩ්ඩක් Medical writing වලින් ඈත්වෙන්න උනත් කෙනෙක් මට අභියෝග කළා පුළුවන්නම් පත්තරේකට ලියලා පෙන්නන්න කියලා?. මම සාමාන්‍යයෙන් අභියෝග එක්ක නැගිටින කෙනෙක්. ඒ නිසාම වෙන්නැති මට මව්බිම යං එකෙන් chance එක ලැබුණ. මගෙ අතිජාත මිත්‍රයා තිවංක ගොඩක් මගපෙන්නුවා. උදවු කළා. ඔසුමිණ, සිරිකත, නවලිය, තරුණි, රැස, Ceylon Today, Sunday Observer වගෙ පුවත්පත් රාශියකට මම දායකත්වය සපයලා තියෙනවා. ඉතින් ඒ ගැන මට සතුටුයි.

4.      ඔබ Herbal products (ඖෂධීය නිෂ්පාදන) ගැන වැඩකටයුතු සහ පර්‍යේෂණ වලට සම්බන්ධයි.ඒ ගැන කිව්වොත්?

ඔව්. ඒක මගෙ උපාධියෙන් පස්සෙ M. Sc. එක විදිහට හැදෑරිමකින් පස්සෙ තමයි සම්බන්ධ උනේ. දැන් මේ වෙනකොට Herbal products යැයි කියාගන්නා chemicals යොදාගෙන නිෂ්පාදනය කරන Cosmetics හේතුවෙන් බොහෝමයක් දෙනෙක් පීඩාවට පත්වෙලා ඉන්නවා. හේතුව තමයි නිසි හැදෑරිමකින් තොරව මේ දේවල් කිරීම. ඒ වගේම ජනතාව තුළ මේ ගැන ලොකු අවබෝධයකුත් නැහැ. ඉතින් ඒ නිසා සමාජය සුවපත් කරන්න වගේම ඇත්තටම ශාකසාර නිෂ්පාදන වලින් ලැබෙන විස්මිත ප්‍රතිපල ජනතාවට ලබාදෙන්න තමයි පර්‍යේෂණ කටයුතු වලට සම්බන්ධ උනේ.

5.      වෛද්‍යමය කටයුතු වලට අමතරව ඔබ නිතරම මිනිස්සුන්ගෙ සිත් සුවපත් කරන්නට කටයුතු කරනවා නේද?

ඒක මගේ විනෝදාංශයක් විදිහට පටන් ගත්ත දෙයක්. මට පොඩි කාලෙ ඉඳන්ම හොඳට ඇහුම්කන් දෙන පුරුද්දක් තිබුණා. ඒ නිසාම මම බාහිරව මනෝඋපදේශනය වගේම මනෝචිකිත්සනය හැදෑරුවා. ඒ සම්බන්ධ පුහුණුවීම් වලත් නියැලුණා. නිතරම හොස්පිට්ල් එකේ practical’s වලට හිටපු එකෙන් ලොකූ ප්‍රයෝජනයක් ගත්තා. ඊටපස්සෙ දැන් වෙද්දි ඒ ගැන තවත් හැදෑරීම් කරලා Motivational Speaker කෙනෙක් විදිහට වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. මම ලබාගත්ත දැනුමෙන් තවත් අයෙක්ගෙ මනසක් සුවපත් වෙනවා දකින්නයි හැමවෙලාවෙම උත්සාහ කරන්නෙ.

6.      ඔබ YouTube නාලිකාවක් ආරම්භ කර තිබෙනවා. ඒ ගැන කිව්වොත්?

‘Dr. Chandhi Rajapakshe’ තමයි චැනල් එක. මේකෙ විශේෂයෙන්ම රූපලාවන්‍ය සහ සුවතාවය වගේම වෛද්‍යවිද්‍යාත්මක කරුණු සම්බන්ධ videos ගෙන එනවා. තව අලුතින්ම කතාකරන්නට ගත්තා ‘දරුපල ප්‍රමාදවීම’ කියන කාරණය ගැනත්. ඉතින්හැම දෙයක්ම ගැන සැකනැතුව දැනගන්න මාත් එක්ක Subscribe කරලා සම්බන්ධ වෙන්න කියලා ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලනවා.

7.      වෛද්‍යවරියක් විදිහට ඔබට මේ කාලෙ සමාජයට දෙන උපදෙස් මොනවාද?

මේ කාලෙ බ්ලීචිං තියෙන ක්‍රීම්වර්ග ගාලා බොහෝ තරුණියො විවිධාකාරවූ රෝගාබාධ වලට ගොදුරු වෙලා ඉන්නවා. Skin cancers පවා ඒ අතර තිබෙනවා. ඉතින් Herbal කියලා තියෙන හැමඑකම herbal නෙවෙයි. ඒවා හොඳින් තේරුම් බේරුම් කරගන්න ඉගෙන ගන්න. මොකද ඔබට අවුරුදු ගණනාවක් යනකන් මේවයෙ බලපෑම තියෙන නිසා. ඒ එක්කම Homemade කියලා පාවිච්චියට නුසුදුසු ආලඒපන වර්ග Online හරහා ගන්න අයටත් දෙයක් කියන්න කැමතියි. අපිට ඕනිම දෙයක් සති දෙකකට තුනකට වඩා preservatives නොදා තියාගන්න බෑ. ඒකෙ ක්ශුද්‍රජීවීන් වර්ධනය වෙනවා. ඔබ ඒ ආලේපනය මුහුණෙ ගාද්දි ඔබේ සම මතයි ඒ හැමදේම ගෑවෙන්න. සමහර අවස්ථා වල ඒ විදිහට ආසාදනයන්ට ලක්වෙන සම නැවත යථතත්වයට පත්කරන්නත් බැහැ. ඉතින් හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලා සිටිනවා දැන දැනම තමන් ලෙඩ වෙන්න එපා. තමන්ගෙ අතේ තියෙන මුදල් නාස්ති කරගන්නත් එපා. මේ දේවල් හරියට හොයලාබලලා තෝරාගන්න. ඕනි වෙලාවක ඔබට උදවු කරන්න සූදානම්.

8.      මනෝඋපදේශිකාවක්, අභිප්‍රේරණ පුහුණුකරුවෙක් ලෙස අපේ පාඨකයන්ට අදහසක්?

දැන් දැන් ගොඩක්දෙනා හැම දේටම short cuts හොයනවා. ඒත් ජීවිතේ කියන්නෙ එහෙම short cut එකක් නෙවෙයි. පොතකට සමාන කළොත් පිටුවෙන් පිටුව පෙරළන්න ඕනි. එහෙම නැත්තන් අපි නොදැනීම තැන් තැන්වල අතරමං වෙනවා. ඉතින් තමන් නියැලිලා ඉන්න ක්ෂේත්‍රයට ආදරේ කරන්න. තමන්ටම කියලා Goal එකක් තියාගන්න. දිනපතා ඒ වෙනුවෙන් එක පියවරක් හරි ඉස්සරහට තබන්න. හැමවෙලාවෙම තමන්ව විශ්වාස කරන්න. කොහෙවත් තියෙන ග්‍රහලෝකයකට තමන්ගෙ ජීවිතේ බාරදෙන්න එපා. තමන් වැඩ කළොත්, තමන් දිනනවා.

9.      අපි magazine එකට සම්බන්ධ වීම ගැන ඔබේ අදහස?

Medical Writing වල තවත් මම තිබ්බ ලොකූ Step එකක් තමයි මේ. මුලින්ම මම ඔයාලව දැනගත්තෙ අනීශා අක්කගෙන්. ඇය මගේ ඉතාමත් ආදරණීය සොයුරියක්. ඉන් අනතුරුව තමයි මම ඔබව අඳුනගන්නෙ. ඉතින් ඔබ මාව විශ්වාස කරලා බාරදීපු පිටුව මම හැම මාසෙම කාලෝචිත ලිපියකින් සරසන්න උත්සාහ කරනවා. මේ හරහා ලොකූ පාඨක පිරිසක් එකතුවෙලා ඉන්නවා. හැම ක්ෂේත්‍රයකම ඉන්න කෙනෙක්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසා කියවන පාඨකයාට අපි Magazine කියන්නෙ දැනුම් උල්පතක් විදිහටයි මම දකින්නෙ.

ඉතින් ඉදිරියටත් අපි Magazine එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබට දැනුම එක්කරගන්නට මම ඔබට ආරාධනා කරනවා.

අස්ථිර නගරේ

සංචාරය කට නගරයකට ආපු තරුණයෙක් රාත්‍රියේ වෛශයාවකගේ පහස වීදීමට‍ ගොස් ඇය ගැන ඇති වන ප්‍රේමය මුසු උන අනුකම්පාව ගැන ලියවුනු ගී තයක්

ගීතයේ පද රචකයා වන මිතිල සිරිසේන ඔහු සේවය කරන බලන්ගොඩ නගරේ උස කදු මුදුනක ඉදලා රාත්‍රී නගරයේ ඇති දර්ශනය දැකල තමයි ඔහුට මේ “අස්ථිර නගරේ ” කියන පද පේලිය හිතට ඇවිත් තියෙන්නේ…ඊට පස්සේ තමයි මේ ගීතය ගායනා කරන මුදිත චන්ද්‍ර ශ්‍රී (BUSHI) ගීත යක් ලියන්න ආරාධනා කරන්නේ.. මේ ගීතය Reggae ගීතයක් විදිහට අෂ්මිත ගමගේ කියන නව පරපුරේ දක්ෂ ශිල්පියා අතින් සංගීතය නිර්මාණය වෙන්නේ 2020 වසරේ දී

“අස්ථිර නගරේ හමු වු අදුරු රුවැත්ති…. පාවී යයි මේ සිත්තම් අහසේ…

 මේ පද පේලියෙන් කියවෙන්නේ

සංචාරයට ආපු තරුණයා වෛශයාවක්ගේ සේවය හොයමින් නගරේ වීදී දිගේ යනකොට දකින සුන්දර තරුණියක් ගැන ( අදුරු රුවැත්ති කියන එකේ අදහස් වෙන්නේ ඇය කොතරම් ලස්සන උනත් ඇය ගණිකාවක් කියන එක “අස්ථිර නගරේ කියන එකෙන් ජීවිතේ අස්ථිර තාවයක් අදහස් කරල තියනවා )

 “පාවී යයි සිත්තම් අහසේ” කියන්නේ.. තරුණිය ගැන තරුණයා ගේ සිතේ මැවෙන ආශාව පිරුණු ආදරණිය හැගීම්

 “කුණාටු වැස්සේ දැවටෙමු රහසේ,

මහදයි දැවුනේ නග්නය ඔබවේ “

සද එලිය ගලයි මේ අස්ථිර දිවියේ

සිසිලයි පැතුවේ කිරණින් දැවුනේ “

ගීතයේ මේ කොටසින් අදහස් වෙන්නේ..

තරුණයා නවාතැන් ගන්න ලැගුම්හලෙන් ඔහුට රාත්‍රියේ ලබා දෙන්නේ ඔහු හවස් යාමයේ දුටු තරුණියමයි…. ගැහැණියක ගේ පහස විදින්න ට හිටි තරුණයා ගේ හිත වෙනස් වෙනවා.. මේ කිසිවක් නොදන්නා තරුණිය ඇයගේ සුපුරුදු රැකියවට සුදානම් වෙනවා.. තරුණයා ට මේ සිදුවීමෙන් ජීවිත යේ අස්ථිර භාවය ගැන මතක් වෙනවා… පද රචකයා ඒ බව  සද ඇති රැයක ඇති සිසිලත් යක් හා සද කිරන්ත් යොදා ගෙන ලස්සනට ගලපලා තියනවා

 “දවස නිමයි නේ.. ඔබ කොතනද සොදුරේ..

සිත ඔබම සොයන්නේ ඔබ මයි නාවේ “

දිවියකි නැත්තේ නොනිදන සිතම හඩයි නේ..

නොහඩන් ලදුනේ භවයකි ඇත්තේ “

රාත්‍රිය නිමවෙලා තරුණයා උදෙ අවදි වෙලා බලද්දී තරුණිය..ඇගේ ජීවන වෘතියේ තව දවසකට පිටත් වෙලා.. මේ වෙනකොට රාත්‍රියේ තරුණිය සමග ඇති වෙච්ච් කතා බහෙන්.. ඇය මේ ජීවිත ය ගත කරන්නේ කැමැත්ත කින් නොවෙන බව තරුණයා දන්නවා…

තරුණයා මුළු නගරය පුරාම ඇය හෙව්වත්.. ඇය හොයා ගන්න බැරි වෙනවා… ඊලග භවයේ දීවත් හොද ජීවිතයක් ලැබෙන්න කියලා තරුණයා සිතින් තරුණිය වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා.

 නව පරපුරේ තරුණයන් පිරිසක් අතින් බිහි වෙච්ච්… අරුත් බර.. ගීතයක්.. වෙනස් අත්දැකීමක්

Song Title : Asthira Nagare (අස්ථිර නගරේ )

Artist : Muditha Chandrasri Sri (BUSHI)

Melody & Music : Ashmitha Gamage

Lyrics : Mithila Sirisena

Mixed & Mastered : Charuka Nilusha

Guitar : Sameera Udayanga

ඔබට නිර්දේශ කරක ඖෂධ ඔබ අතට ලැබුණ පසු

වෛද්‍ය වරයෙකු විසින් ඔබට නිර්දේශ කරක ඖෂධ ඔබ අතට ලැබුණ පසු ඒවායේ සදහන් වන ඔබ ලබා ගතයුතු  බෙහෙත් මාත්‍රාව  මෙන්ම ඒවා ලබා ගත යුත්තේ      

කෑමට පෙර /කෑමට පසු/  යන්න සදහන් කර තිබෙනවා ඔබ දැනුවත් සේම එය එලෙසම ඔබ ලබා ගන්නවාද  ???

 ඔබ  ️එදිනෙදා  භාවිතා කරන ඖෂධ භාවිතයේදි යොදන  මෙම කෑමට පෙර / පසු  ,යන යෙදුම් නිකම්ම  වචන ලෙස පමණක්  ඔබ සිතන්නට ඇත්තේ එහි වැදගත්කම පිලිබඳ ඔබ නොදන්නා නිසා විය හැකියි .

ඔබ ඖෂධ  ගන්නා  විට ආහාර අතර සිදුවන අනවශ්‍ය අන්තර්ක්‍රියා වළක්වා ගැනීම සඳහා සිතා බැලිය යුතු අංශ බොහොමයක් තිබේ.

️ඖෂධ-ආහාර අන්තර්ක්‍රියා යනු ඖෂධයක ක්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය සමඟ ආහාර    ප්‍රතික්‍රියා කිරීමයි. එය ඖෂධයේ අවශෝෂණයට මෙන්ම එහි පරිවෘත්තීය ක්‍රියාවලියට ද විවිධ බාධා ඇති කරයි.

ඖෂධ හා ආහාර අන්තර් ක්‍රියා

ඔබට අතිශය හානිකර විය හැකි බලපෑම් ඇති කල හැකි බව ඔබ කෙදිනකවත් සිතන්නට නැතුව ඇති .

️අවශෝෂණය විය යුතු නියමිත ප්‍රමාණය අවශෝෂණය නොවීමෙන්  අප බලාපොරොත්තු වන ඖෂධයේ අපේක්ෂිත ප්‍රතිඑලය අඩු විය හැකි  සේම  අවශෝෂණය වැඩි උවහොත් එය ශරීරයට හානි දායක විය හැකිය.   එය ඖෂධයේ අතුරු ආබාධ  ඇතිවීමටද හේතු විය හැක.

සමහර  ආහාර වලට  සමහර ඔෘෂධ වල බලපෑම උදාසීන කිරීමේ හැකියාවද ඇත.

ඇතැම් ඖෂධ හා ආහාර එකම වේලාවක ගැනීමෙන් ඔබේ ආමාශය සහ බඩවැල් මගින් එම ඔෘෂධ අවශෝෂණය වීම අවම විය හැකි අතර ,එමඟින් ඖෂධයෙහි එලදායී බව අඩු විය හැක.

️ඇතැම්  ඖෂධ  වර්ග කෑමට පෙර/හෝ හිස් බඩ ගත යුතුය.

මෙයට හේතුව එම ඖෂධ වල ක්‍රියාකාරීත්වයට සමහර ආහාර සහ බීම  වර්ග බලපාන බැවිනි.

️සාමාන්‍යයෙන් හිස් බඩ ගත යුතු  ඖෂධ වර්ග,Cloxacillin වැනි ප්‍රතිජිවක වර්ග(Antibiotic) ආහාර වේලකට පැයකට පමණ පෙර හෝ ආහාර වේලකට පැය 2 කට පමණ පසුව ගත යුතුය.එම කාලය ඖෂධ වර්ගය මත වෙනස් විය හැක.

ඖෂධ සමඟ ඔබට ලැබෙන උපදෙස් නිසි පරිදි අනුගමනය කරන්න.එසේම යම් විශේෂිත ඖෂධයක් ගන්නේ කෙසේදැයි ඔබට විශ්වාස නැත්නම්

එය ගැනීමට පෙර ඔබේ ඖෂධවේදියාගෙන් උපදෙස් ගැනීමටද අමතක නොකරන්න.

 පුංචි උපදෙසක් උනත් ඒ පිළිබඳ දැනුවත් වන්න. සැලකිලිමත් වන්න . නිවැරදිව ඖෂධ ලබා ගැනීමෙන් ඔබ මුදල් වියදම් කර ලබා ගන්නා ඖෂධ වල නියම ප්‍රතිඵල ලබා ගන්න .නීරෝගී වන්න.

නිශා

Yonghe Temple(යොංහ පන්සල)

雍和宫  “සාමයේ හා සමගියෙහි මාළිගාව” හෙවත්

Lama Temple(ලාමා පන්සල )

මෙය පිහිටා ඇත්තේ චීනයේ බෙයිජිං හි ඩොන්චෙන්ග් දිස්ත්‍රික්කයේ, දෙවන වළල්ල පාරේ (second ring road) ඊසානදිග කෙළවරේ ය.  (බෙයිජිං නගරය පිහිටා ඇත්තේ වළලු ආකාරයටය. එලෙස වළලු 5 කින් නගරය සමන්විත වේ).

   බෙයිජිං නගරයේ උමං දුම්‍ රිය  මාර්ග අංක 2 හෝ මාර්ග අංක 5 මගින් මෙම ලාමා පන්සලට ළගා විය හැක.

ඉතිහාසය

👑 1694 දී චිංග්(Qing) රාජවංශය සමයේ ඉහත පන්සලේ ඉදිකිරීම් ආරම්භ කර ඇති බවත් එය, එයට පෙර රාජවංශයේ නපුංසකයන් සඳහා නිළනිවාසයක්ව පැවති බවත් කියැවේ.

👑 පසුව එය කංසි(Kangxi) අධිරාජ්‍යයාගේ සිව්වන පුත්‍රයා වන යිංජෙන්(Yinzhen) හෙවත් යොං කුමරු ගේ නිවස බවට පරිවර්තනය වී ඇත.

👑 1722 දී යොං(Yong) කුමරු යොංග්ජෙංග් අධිරාජ්‍යයා ලෙස සිංහාසනයට පත්වීමෙන් පසු, ගොඩනැගිල්ලේ අඩක් ටිබෙට් ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ආරාමයක් වන බවට පරිවර්තනය වී ඇත. අනෙක් අර්ධය අධිරාජ්‍යන්ගේ මාළිගාවක් ලෙස පැවත ඇත.

👑 1735 දී  යොන්ග්ජෙං(Yongzheng) අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු ඔහුගේ මෘත දේහය ඉහත මාළිගාවේ තැන්පත් කර ඇතැයි කියවේ.

👑 යොංග්ජෙංග් අධිරාජ්‍යයාගෙන් පසු එහි බලයට පත් වූ චිආන්ලොංග් (Qianlong) අධිරාජ්‍යයා විසින් දේවමාළිගාවේ තිබූ ටර්කියුයිස් උළු ඉවත් කර අධිරාජ්‍යයන්ගේ අනන්‍යතාව සංකේතවත් කරන කහ පැහැති උළු තැන්පත් කිරීම මගින් මෙයට අධිරාජ්‍ය පෙනුමක් ලබා දුන් බව කියැවේ.     

👑 මෙම ආරාමය මොන්ගෝලියාවේ සහ ටිබෙට්හි බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකගේ වාසස්ථානයක් බවට පත් වූ අතර, ඒ නිසාම ලාමා පරිපාලනයේ ජාතික මධ්‍යස්ථානය බවට මෙය පත්වූ බවත් කියැවේ.

👑 එමෙන්ම මෙම විහාරස්ථානය 1929 දී චීන ජාතිකවාදී රජයට එරෙහිව ගොඩනැගුනු  සන්නද්ධ කැරැල්ලක කේන්ද්‍රික ස්ථානයක්ද වූ බවත් කියැවේ.

👑 1949 දී චීන සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු මෙය ජාතික ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එයින් වසර 32ක් ඉදිරියට එය වසා දමා තිබී ඇත.

 👑 අගමැති ජව් එන්ලායි(Zhou Enlai) (වඩා ප්‍රසිද්ධ චව් එන්ලායි නමිනි) ගේ මැදිහත්වීම මත ලාමා පන්සල සංස්කෘතික විප්ලවයෙන් බේරී ඇති බව කියනු ලැබේ. 

👑 1981  දී එය නැවත මහජනතාව සඳහා විවෘත කරන ලද බවත් කියවේ.

විශේෂත්වයන්

යොංහ දේවාලයේ ප්‍රධාන ශාලා පහක් (05)ඇත.

🏯Yonghegong(යොංහගොංග්)ශාලාව

🏯Yonghemendian(යොංග්හමන්ඩිඅන්) ශාලාව

🏯Wanfuge(වන්ෆුග) ශාලාව

🏯Falundian(ෆාලුන්ඩිඅන්)ශාලාව

🏯Yongyoudian(යොංග්‍ යොඋඩිඅන්)ශාලාව

    මෙම ශාලා පහත නිර්මාණයන්ගෙන් සමන්විත වේ.

 🏯 මෙම දේවමාළිගාවේ ප්‍රධාන ගොඩනැගිල්ල වන්නේ Yonghegong ශාලාවයි. එහි යුග තුනක බුදුවරුන්ගේ ලෝකඩ පිළිම තුනක් ඇත. ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රතිමාව මධ්‍යයේ ද ,දීපංකර බුදුන් වහන්සේගේ ප්‍රතිමාව දකුණේ ද ,මෛත්‍රෙය  බුදුන් වහන්සේගේ ප්‍රතිමාව වමේද තැන්පත් කර ඇත.

🏯 Yonghemendian  ශාලාව ප්‍රධාන ශාලාවට දකුණු දෙසින් පිහිටා ඇති අතර එහි මධ්‍යයේ මෛත්‍රී බුදු පිළිමයක් ද, බිත්ති වල ස්වර්ගයේ සිටින්නා යැයි විශ්වාස කරන රජවරුන් සිව්දෙනෙකුගේ පිළිම ද නිර්මාණය කර ඇත.

🏯 Wanfuge ශාලාවේ මීටර් 18 ක් උස (අතිරේක මීටර් 8 ක් භූගතව ඇති අතර සම්පූර්ණ උස මීටර් 26) සුදු සඳුන් දැවයක කැටයම් කරන ලද මෛත්‍රෙය බුදු පිළිමයක් ඇත. මෙය හත්වන දලයි ලාමා තුමා විසින්  චිආන්ලොංග්(Qianlong) අධිරාජ්‍යයාට දුන් තෑග්ගක් වූ අතර ටිබෙටයෙ  සිට බෙයිජිං දක්වා ප්‍රවාහනය කිරීමට වසර තුනක් ගතවී ඇති බව පැවසේ. මෙම පිළිමය 1993 දී ගිනස් වාර්තා පොතට ඇතුළත් කළ දේවමාළිගාවේ කලා කෘති තුනෙන් එකකි.

🏯 Falundian ශාලව කියවීමට හා ආගමික උත්සව පැවැත්වීමට සුදුසු ස්ථානයක් ලෙස පවත්වාගෙන යයි. ගෙලුක් පාසලේ නිර්මාතෘ ජ ට්සොන්කාපා (Je Tsongkhapa) ගේවිශාල පිළිමයක් එහි සාදවා ඇත.  මෙම ශාලාවේ දෙපස ලෝහ පහකින් (රන්, රිදී, තඹ, යකඩ සහ ටින්) සාදන ලද  අරහත් ප්‍රතිමා 18ක් තැන්පත් කර ඇත.  එහි බිතුසිතුවමක බෝධිසත්ව යුගය නිර්මාණය කර ඇත.

🏯 යොංග්ජෙංග් අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු ඔහුගේ මෘතදේහය තැන්පත් කර ඇත්තේ Yongyoudian ශාලාවේය.මෙම  ස්ථානයේ බයිසාජ්‍ය-ගුරු (සුව කරන බුදුන්ගේ) ප්‍රතිමාවක් ඇත.

සාමාන්‍ය ආගමික ස්ථානයක දක්නට ලැබෙන මෙහි දැකිය නොහැකි විශේෂම කරුණ වන්නේ පහන් දැල්වීමට නොහැකි වීමයි. තමන්ගේ ප්‍රාර්ථනාවන් සිතේ තබාගෙන මෙම ස්ථානයටම විශේෂිත සුවඳකූරු වර්ගයක් පමණක් දැල්වීමට අවසර ඇත.

පන්සලට ඇතුල් වීමේ දොරටුව ආසන්නයේ විශාල සමරු සිහිවටන අලෙවිසලක් පිහිටා ඇති අතර එහි ඇති ඇතැම් සිහිවටන සාමාන්‍ය ජනයාට දැරිය නොහැකි මට්ටමේ ඉතාමත් අධික මිළ ගණන් වල ඒවා වේ.

ඉතා දිගු ඉතිහාසයක් ඇති මෙම ලාමා/යොංහ පන්සල අද වන විට බෙයිජිං නගරයේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් හිමි වී ඇති ආගමික ස්ථානයකි.

©️දිගැ𝓩✍️

📷 Mahesh Malinga Senanayake

කසාදය, ප්රේමයෙන්ද, යෝජිත වද?

ඉස්සර තරම්ම නැතත් තාමත් ලංකාවේ බහුතරයක්, විවාහය කියන මාතෘකාවේදී යෝජිත විවාහ වලට පෙළඹෙනවා,

සමහර විට තමන් ආදරේ කරපු කෙනාව බලෙන් අමතක කරලා දෙමව්පියෝ වෙනුවෙන් අකමැත්තෙන් වෙන වෙන අයව කසාද බඳිනවා.

බොහොමයක් ආසියාතික විවාහකයො තමන්ට අයිති නැති හිත් ළඟ නීතියෙන් හිරවෙලා මේ ප්‍රශ්නෙට උත්තර හොයනවා.

උඹ ඔය කසාදෙ කරගත්තොත් අපි මළා කියල හිතාගනින් කියල , මාස දහයක් බඩේ තියාගත්ත එකේ ඉඳලා කන්න බොන්න දීපු වියදම් කරපු ඔක්කොගෙම වටිනාකම මතක් කරලා සමහර දෙමව්පියො දරුවන්ගෙ ජීවිතේ වැදගත්ම තීරණේ වෙලාවෙදි මැදට පැනලා දරුවන්ව අසරණ කරනවා .

දෙමව්පියන්ට , නෑදෑයින්ට විරුද්ධ වීමේ දිගුකාලීන පසුතැවීම සහ සමාජ බලපෑම ට එරෙහි වීමට බැරි නිසා සමහරක් තරුණ තරුණියෝ ,අකමැත්තෙන් හිත්වල ආදරේ මරලා දාලා , තමන්ට නොගැලපුනත් පවුලට ගැළපෙන කෙනෙක් එක්ක විවාහ වෙනවා .

ඊට පස්සෙ බැඳගත්ත බෙරේ කොහොම හරි ගහනව කියලා හිත් තදකරගෙන පවුල් කන්න ට්‍රයි කරනවා .ලිංගික අවශ්‍යතාවයේදී ආදරය අත්‍යවශ්‍ය දෙයක් නොවෙන නිසා ළමයිනුත් ඉපදෙනවා . ගළපන්න කොච්චර උත්සාහ කලත් ගැළපෙන්නෙ නැති බව දැන දැන ලෝක ලැජ්ජාව සහ සමාජ බය නිසා දික්කසාද වෙන්නෙ නෑ , දශක දෙක තුනකින් දෙමව්පියො මැරිලා යනවා ඒත් දෙමව්පියන්ගෙ කීමට කසාද බැඳපු ජෝඩු ජීවිතේ පුරාවටම නොගැලපෙන කසාදෙක හිරවෙලා පීඩනයෙන් ඉඳලා හිස් කමකින්ම මැරිලා යනවා .

එක ගෙදර හිටියට , එකට ගමන් බිමන් ගියාට , ලෝකෙට පේන්න සැමියා බිරිඳ කියන චරිත රඟ දැක්වුවට හිත් වලින් බොහොම දුර කපල් මගේ ජීවිතේ ඕන තරම් හම්බෙලා ඉන්නවා ,

සමහරු හිත් ඇතුළෙන් අතීතයෙ ජීවත් වෙනවා , සමහරු අතීතය දිහා බලන් හූල්ලනවා , තමන්ව මේ තත්වෙට පත්කරපු දෙමව්පියන්ට වයිර කරනවා , සමහරු තමන්ගෙන්ම පළිගන්නවා , තවත් සමහරු අනියම් සම්බන්දතා වල පැටලෙනවා , මොනවා කරන්නද මේක තමයි ලැබීම කියලා සුසුම් හෙලලා දයිවයට දොස් කියලා සැනසෙන්න උත්සාහ කරන අයත් ඒ අතර ඉන්නවා .

විවාහය කියන්නෙ මහ ගැඹුරු සම්බන්ධයක් .ජීවිතේ විඳිනවද විඳවනවද කියල තීරණය වෙන්නෙ කසාදෙන් .කෝටි ගණන් සල්ලි තියෙද්දිත් හිනාවෙන්න අමතක වෙච්ච කපල් ඉඳිද්දී රුපියලක් වත් අතේ නැතුව තුරුල් වෙලා සැනසීමෙන් ඉන්න දෙන්න දෙමහල්ලෝ ඕන තරම් ඉන්නවා .මොන සැප සම්පත තිබ්බත් තමන්ව නොදැනෙන , තමන්ට නොදැනෙන හදවතක් එක්ක ජීවත් වෙනවා කියන්නෙ දෙන්නටම අපා දුකක් .එහෙම මිනිස්සු හුස්ම ගත්තට ආත්මෙන් මැරිලා ඉවරයි.

තමන්ම තෝරගත්ත කෙනාව බැඳලත් වැරදිච්ච මිනිස්සු ඉන්නවා ,ඒත් තමන් වෙනුවෙන් තමන් ගන්න තීරණයක් වැරදියි කියලා තේරිලා දැනෙන ආත්ම අනුකම්පාව සහ තමන්ගෙ ජීවිතේ ගැන වෙන කෙනෙක් ගත්ත තීරණයක් නිසා තමන්ගෙ ජීවිතේ වැරදුණා කියලා දැනෙන වයිරය මුසු පස්චාත්තාපය කියන්නේ වෙනම දෙයක් .

ජීවිතේ මොන තීරණය ගනිද්දී දෙමව්පියන්ට , නෑදෑයින්ට සමාජෙට ඇහුම් කම් දුන්නත් , ජීවිතේට වඩාත්ම බලපෑම් කරන තීරණය වන කෙනෙක්ගෙ දෙවැනි උපත වෙන ”විවාහය ” කියන තීරණයේදී වැඩියෙන්ම සවන් දෙන්න ඕනෙ තමන්ගෙ හදවතට.

මොකද ,සහයක් ලැබෙන්නෙ නැති , සහනයක් දැනෙන්නෙ නැති කෙනෙක් සහකාරයා සහකාරිය කරගෙන හදවතට එකඟ නොවී ,අකමැත්තෙන් කැමැත්තක් හදාගෙන මැරෙනකන් එකට ඉන්න වෙනවා කියන්නේ පණ පිටින් අපායෙ යනවා වගේ වැඩක් .

වැඩිහිටියො විදිහට දෙමව්පියොත් දරුවන්ට ඇත්තටම ආදරෙයිනම් ලෝකෙට ලස්සනට පෙන්නන්න පුළුවන් පව්ලට ගැලපෙන කෙනෙක් වෙනුවට දරුවන්ට ආදරෙන් ඉන්න පුළුවන් , ළමයින්ගෙ තෝරාගැනීම් වලට නිදහස දෙන්න තරම් මානුෂික වෙන්න ඕනෙ .

සමහරවිට දරුවන්ගෙ තීරණ වැරදි වෙන්න පුළුවන් , හැබැයි ඔබේ තීරණ නිසා දරුවො විවාහය කියන පඹගාලේ වැරදියට පටලුනොත් ඒ පසුතැවීම අවසන් හුස්ම දක්වාම ඔබව හඬවාවි .

අයිසින් කේකුයි මස් හොදියි දෙකම රසයි .හැබැයි කොච්චර බඩගිනි උනත් මේ දෙක එක පිඟානේ කද්දී අප්පිරියයි .හදවත නොබැඳී නීතියෙන් බැඳීමත් අන්න එහෙමයි .කොච්චර ට්‍රයි කලත් එකතු කරන්න බෑ .අන්තිමට මේක තමයි ලැබීම කියලා හිතලා මුළු ජීවිතේම කාලකන්නි විදිහට විඳවලා ආත්මෙන් මැරිලා , හුස්ම ඇද ඇද ලෝකෙට පේන්න ජීවත් වෙන්න තමයි වෙන්නෙ ..…

බිරිඳ මගේ ඔබ …කියද්දී ”නෑ මා ඔබගේ බිරිඳ නොවේ ”, වෙනුවට” ඔව් මා ඔබගේ බිරිඳ ම වේ” ..කියන්න පුළුවන් කෙනෙක් එක්ක බැඳෙන්න ..

නීතියෙන් බැඳුනත් නො බැඳුනත් හදවතින් බැඳිලානම් වහලක් යට නෙමෙයි වහලක් නැතුව කුඩයක් යට හරි සැනසීමෙන් ඉන්න පුළුවන් .එච්චරයි …

අනිශා ජයකොඩි ✍️ ජීවන කුසළතා හා පෞරුෂ වර්ධන උපදේශිකා

ජීවිතය ජය ගන්න නම් ප්රථමයෙන් ස්වයං විනය ගොඩනඟා ගන්න.

(Self discipline)          

“ස්වයං විනය යනු, පොහොසතුන් මධ්‍යම පන්තිය සහ දුප්පතුන් අතර අංක එකේ නිර්වචන සාධකයයි.” යනුවෙන් robert  kiyosaki පවසා තිබෙනවා.ලොව දියුණු පුද්ගලයින් අඛණ්ඩව බොහෝ දේ අත් කර ගෙන ඇත්තේ කෙසේද?තවද අපගේ පෞද්ගලික ජීවිතයේ සහ වෘත්තීන්හි දී අපි බොහෝ දේ ඉටු කර ගන්නේ කෙසේද?පිළිතුරෙන් කොටසක් ස්වයං විනය තුළ පවතී.අපට ස්වයං විනය හදා ගැනීම අපහසු වූවද,අපගේ හොඳම අභිප්‍රායන් හා අරමුණු ඉටුකර ගැනීමට අපව තල්ලු කරන්නේ මෙයයි. 

ස්වයං විනය ඉතා වැදගත් වන්නේ එබැවිනි. මෙම ලිපිය තුලින් අපි ස්වයං වෙන්නේ යනු කුමක්දැයි පරික්ෂා කර බලමු,ඒය ප්‍රයෝජනවත් වන්නේ ඇයි දැයි යන්න සොයා බලා ඒ වර්ධනය කරගන්නේ කෙසේදැයි බලමු.

*ස්වයං විනය යනු කුමක්ද?

ශාරීරික හා මානසික වශයෙන් ඔබට හැඟෙන්නේ කෙසේ දැයි නොසලකා ඔබ ඉදිරියට ගෙන යාමට අභිප්‍රේණයේන් සිටීමට සහ ක්‍රියා කිරීමට ඇති හැකියාවයි.

ඔබට යම් හොඳ ක්‍රියාවක් කිරීමට අවශ්‍ය වූ විට ඔබ අවධානය වෙනතකට යොමු නොකර, වෙහෙස මහන්සි වී වැඩ කර, අහිතකර අවාසි ගැන නොතකා වැඩ කරන්න.ඔබේ අභිප්‍රායයන් අනුගමනය කිරීමේ හැකියාව සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ස්වයං විනය ඔබට මහත් සේ දායක වේ.

*ඔබ ස්වයං විනය මත වැඩ කරන්නේ ඇයි?

ස්වයං විනය අපේ ජීවිතය ඇතුළත බොහෝ අවස්ථාවල ට වැදගත් වේ. ඔබට උසස් තත්ත්වයේ වැඩක් කිරීමට අකමැත්තක් ඇතත් එය කිරීමට ඔබව පොළඹවන්නේ එයයි. ඔබ විසින් තබාගෙන ඇති දැඩි ඉලක්ක සපුරා ගැනීමට එය ඉවහල් වේ ජයගත නොහැකි යනුවෙන් අන් අය සිතා සිටින දේවල් ස්වයං විනය තුළින් ඔබට විශාල ලෙස ජයගත හැකිවේ.

ස්වයං විනය අධ්‍යාපනය වැඩ කටයුතුවලට පවා මනා සේ ඉවහල් වේ.පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ උසස් ස්වයං විනයක් ඇති සිසුන්ට  ස්වයං විනය නැති අයට වඩා වැඩි දැනුමක් රදවා ගත හැකි බවයි.

පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ පුද්ගලයකු ගේ ස්වයං විනය මට්ටම මැනීම ඔවුන්ගේ I.Q මට්ටම මැනීමට වඩා සාර්ථක නිවැරදි අනාවැකි පෙර කරන බවයි.

*ඔබේ  ස්වයං විනය දියුණු කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

01.ඉලක්කයක් තෝරාගන්න.

ඔබේ ස්වයං විනය වර්ධනය කරගැනීම සඳහා ඔබට වැඩිපුර අවධානය යොමු කිරීමට අවශ්‍ය එක් ඉලක්කයක් තෝරාගන්න.

උදාහරණයක් ලෙස;ඔබ චිත්‍ර විෂය කෙරෙහි දැඩි ඉලක්කයක් තබා ගැනීමේදී,ඔබට කුමන රාජකාරිය පැවරුණද දිනකට එක් චිත්‍රයක් හෝ ඇදීම පුරුදු පුහුණු කර ගන්න මතක තබාගන්න.ඔබේ ස්වයං විනය වර්ධනය කර ගැනීමට හොඳම ක්‍රමය කුඩා ප්‍රමාණයේන් පටන් ගැනීමයි.

ඔබ තැබූ ඉලක්කය සෑම විටම ළඟාවිය හැකි අදාල කාල සීමා වලට අදාළව සකසා ගන්න,තවද ඔබේ ඉලක්කය කුඩා උප ඉලක්ක බවට බිඳ දමන්න.

02.ඔබට හොඳ  අභිප්‍රේණය(motivation) සොයාගන්න.

ඔබේ ඉලක්කය තෝරාගත් පසු ඒය සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය සියලුම දේවල් ලයිස්තුගත කරන්න. එම ලයිස්තුවේ ඇති අසීරුම දේවල් ධනාත්මක ලෙසටම සිතන්න.

උදාහරණයක් ලෙස;ඔබේ ඉලක්කය චිත්‍ර වලින් ඉදිරියට යන්න, මට හැමදාම චිත්‍ර අඳින්න වෙනවා නේ.යනුවෙන් පැවසීම වෙනුවට මං අනිත් රාජකාරි අවසන් කර කාලය කෙසේ හෝ ඉතිරි කර චිත්‍ර අඳිනවා යනුවෙන් සිතන්න.

ඔබට යමක් ශාක්ෂාත් කරගැනීමට අවශ්‍ය හේතු ලයිස්තු ගත කළ විට එම කාර්යය ඔබට පහසුවෙන් ඉටුකරගත හැක.

03.බාධක හඳුනා ගන්න.

ඔබ ප්‍රථමයෙන් ඔබ ගැන සිතන්න. ඒ මන්දයත් ඔබ නිවැරදි වූ කල අන් සියල්ලම ඔබට නිවැරදි වනු ඇත.     ඔබේ ස්වයං විනය ඔබ තුළින් කෙසේ හෝ ඉහළට ඔප් නංවා ගන්න එවිට ඔබට ජීවිතයේන් දිනනවා නොඅනුමානයි.                                  

  “ස්වයං විනය,හික්මීම යනු අරමුණු ඉලක්ක ජයග්‍රහනය අතර පාලමයි”.

ඔබට සුභ අනාගතයක් !                                                              

Good Luck

සටහන

නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.

ප්‍රතික්ෂේප වීම් ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කරගන්න…


ප්‍රතික්ෂේප වීම කියන්නේ ඇත්ත වශයෙන්ම  හිතට දරා ගැනීමට අතිශය දුෂ්කර හැඟීමක්, ඔබ ප්‍රතික්ෂේප වීමකට මුහුණ දුන් පසු ඔබේ ආත්ම ශක්තිය පවා හීන වනවා, එවිට ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරනවා ඔබ ප්‍රමාණවත් තරම් හොඳද නැද්ද කියලා,                                      නමුත් ඔබ ඔබෙන් ප්‍රශ්න කළ යුත්තේ ඔබ ප්‍රමාණවත් තරම් හොඳද නැද්ද කියා නොවේ.ඔබ හොඳටම හොඳයි මෙය නියම වෙලාව හෝ නියම අවස්ථාව නොවේ යන්නයි.
කිසියම් කෙනෙකු ගෙන් ඔබ ප්‍රතික්ෂේප වුණු පසු ඔබ යන ගමන නවත්තන්න හෝ අත්හරින්න ඔබ සිතුවාද?
එහෙනම් එය තමයි ඔබ ගන්න හිතුව මෝඩම තීරණය,මොකද කෙදිනකවත් ඔබ හිතුවද මේ ප්‍රතික්ෂේප වීම තුළ ඔබේ හැරවුම් ලක්ෂය සැඟව තිබෙන බව.ඔබ සිතන්න නැතුව ඇති නමුත් එය තමයි ඔබේ ජීවිතයේ හොඳම හැරවුම් ලක්ෂය, එහෙම නැත්නම් නැගිටින්න ඕන මූලික අඩිතාලම.
මේ වන විට වත්කම ඩොලර් බිලියන 39 ක් වන (Alibaba)අලිබබා සමාගමේ නිර්මාතෘවරයා වන ජැක් මා ඔහුගේ ජීවිතයේ ලොකුම (Turning point) ටර්නින් පොයින්ට් එක එහෙම නැත්තං හැරවුම් ලක්ෂය කරගත්තේ ඔහුගේ ජීවිතේ ප්‍රතික්ෂේප වීමයි.ඔහු (KFC)කේඑෆ්සී ඇතුළුව අයදුම් කළ රැකියා 30කින් පමණ ප්‍රතික්ෂේප විය. ඒ විතරක් නොවේ ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයට අයදුම් කළ 10 දහවතාවම       ප්‍රතික්ෂේප විය,නමුත් ඔහු ඒවා කෙදිනකවත් ඔහුගේ ජීවිතයේ කඩාවැටීමට මඟ පාදා ගැනීමක් ලෙස ක්‍රියා කළේ නැත.ඔහු ඒවා ඔහුගේ ජීවිතයට ආශිර්වාදයක් කරගත්තා පමණි.එම ප්‍රතික්ෂේප වීම් තුළින් ඔහු කඩා වැටුනා නම් අද(Alibaba ) අලිබබා වැනි ඩොලර් බිලියන ගාණක වත්කමක් උපයන සමාගමක් සහ ඒ වටා වැඩ කරන සේවක සංඛ්‍යාවක් බිහි නොවන්නට ඉඩ තිබුණි.ජැක් මා ඇතුළුව අදටත් ලෝකයේ බලවත් චරිත බිහි වී ඇත්තේ යම් යම් ප්‍රතික්ෂේප වීම් හමුවේ නොසැලී ඉදිරියට ගමන් කළ නිසාවෙනි.
සෑම ප්‍රතික්ෂේප වීමකදී ම අප සිතිය යුත්තේ අපේ ජීවිතයට එය ලොකුම අඩිතාලම වශයෙනි, එවිට අපට ජීවිතය ගැඹුරට ගොස් එය ගොඩගැනීමට ප්‍රතික්ෂේප වීම  පන්නරයක් කරගත හැකිය.
ප්‍රතික්ෂේප වීම් වලට මුහුණ නොදී මේ මිහිතලයේ  කිසිම කෙනෙකුට ඉදිරියට යා නොහැකි බව ඔබ සැමවිටම සිතන්න,
ඔබ ප්‍රතික්ෂේප වීමෙන් ඉගෙන ගන්නා  දෙයින් අවසානයේ ඔබ ඔබවම සංස්කරණය කර හොඳම තත්ත්වයකට පත්කර ගනී.
“වරදින්න ඕන දවසක හරියන්න වගේම,”ප්‍රතික්ෂේප වෙන්නම ඕන ඔබ ඔබව සංස්කරණය කර ඔබේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂයක් ගොඩනගාගැනීමට.ඒ නිසා කෙදිනකවත් ප්‍රතික්ෂේප වීම් තුළින් වැටෙන්න එපා,ඒ හැම එකක්ම ඔයාගෙ ජීවිතේ වෙනස් කරන්න පාවිච්චි කරන්න එවිට නිසැකවම ඔබ දිනක ජය ගනීවි.

හැමදාම අනුන් එක්ක කතා කරන නිසා දවසක් තමන් එක්කත් කතා කරලා බලන්න


හැමදාම අනුන් එක්ක කතා කරන නිසා දවසක් තමන් එක්කත් කතා කරලා බලන්න.
උදේ ඇස් ඇරපු වෙලේ ඉඳන් රෑට ඇස් පියවෙනක්ම් අපි කී දෙනෙක් එක්ක කථා කරනවා කියලද?
දුක සැප අහන්න, බනින්න, අගය කරන්න, හිනා වෙන්න, අඬන්න, ඕපයක් හොයන්න ඔය වගේ දහසකුත් දේවල් වලට දවසෙම දහසක් දෙනා එක්ක කථා කළාට නිකමටවත් ඔයා ඔයා එක්ක කථා කරලා තියනවද??
 තමන් තමන්ම එක්ක කථා කරන්නෙ අහවල් දේකටද? එහෙමද හිතෙන්නෙ 

☺️

 නිකමට වගේ මොහොතකට  ඔයා එක්ක ටිකක් කථා කරලා බලන්නකෝ,
ඔයා හොඳින් ඉන්නවද?
ඔයා ඉන්නෙ දුකෙන් නම් ඒ ඇයි?
ඔයා ඔයා වෙනුවෙන් මොනවද කරන්නෙ..
ඔයා ගැන ඔයා තෘප්තිමත්ද..
ඔයාගේ හෙට දවස කොහොම වෙනවටද ආස
කියලා ඔයාගේ හිතෙන් අහල බලන්නකො .
සමහරවිට ඔයා ලෝකෙට පේන තරම් හොඳ කෙනෙක් නෙමෙයි කියලා හිත කියයි. නැත්තම් ලෝකෙ මොනවා කිව්වත් ඔයා පට්ටම පොරක් කියලා හිත මතක් කරලා දෙයි. කාටත් හොරෙන් කරපු නපුරුකම් දුෂ්ටකම් ටික හදවත හිමින් මතක් කරලා දෙයි.කරපු මිත්‍රදෝහී කම් ටික පපුවෙන් ඔලුවට ඇවිත් පොල් ටෝක්කක් අනියි. කරපු යහපත්කම් ටික ලස්සන හිනාවකුත් අරන් තොල් මැද්දට එයි . අමතකවෙච්ච යුතුකම් මග ඇරිච්ච මිනිස්සකම් ටික මතකේ උඩ හරියට මතුවෙලා එයි.
එක්කෝ ඔයා ගැන ඔයාට පට්ට මොරාල් එකකුත් එක්ක පුදුම ආදරයක් දැනෙයි, නැත්තම් අනේ අපොයි එකකුත් එක්ක මාර කලකිරීමක් දැනෙයි.
ඒ කොහොම උනත්, හිත එක්ක කථා කරන්න පටන් ගත්ත දාට ඔයාට ඔයාව හම්බෙයි.
 තමන් එක්ක එක මොහොතක් වත් කථා නොකර, ලෝකෙත් එක්ක දවසම කථා කර කර හිටියට ලෝකෙටම පද තාල හද හද හිටියට පලක් නැහැ,
ඒකෙන් වෙන්නෙ, අන්තිමට අසීමිතව ස්ට්‍රෙස් වෙලා මානසික ලෙඩ්ඩු වෙලා අනිත් මිනිස්සුන්ගේ ජීවිත දිහා බල බල තරහෙන් පුපුර පුපුර විඳවන්න වෙන එක විතරයි.
නිකමට වගේ අද හෙට වෙලාවක් දාගෙන ඔයා එක්ක ටිකක් ආදරෙන් කථා කරලා බලන්නකො, ඔයා හිතන් ඉන්නවට වඩා ගොඩක් දේවල් ඔයා ගැන ඔයාගෙ හදවත දන්නවා ඒ පාඩම් ඔක්කොම මතක සටහන් අත්දැකීම් එක්ක එකතු වෙලා ඔයාට උගන්නයි.
 අමතක වෙච්ච බොහෝ දේවල් ඔලුව අත ගගා මොළය ඔයාට මතක් කරයි.
ඔයාට ඔයාව හමුවුන දවසට ජීවිතේ මාරම රහට දැනේන්න පටන් ගනියි.
ඇත්තටම ඒක හරි සුන්දර හමුවීමක් වෙයි.

අනිශා ජයකොඩිජීවන කුසළතා හා පෞරුෂ වර්ධන උපදේශිකා

චරියාගේ පන්හිඳ


දරු සම්පත

පංසලේ කෝවිලේ දවස     ගෙවලා

නොදුටු දෙවිවරු සැමට       පුදලා

දොලොස් වසරක් පෙරුම්     පුරලා

පොකැට්ටුවත් දැන් හොඳට හිඳිලා

අටවා ගත් පැල උකසේ      තියලා

රටේ නැති විටමින් ඇයට පොවලා

බලනවා නිති ස්කෑන්          කරලා

පුංචි සතුටකි අඹු පාට       වැටිලා

දොම්නසින් මුළු දිවිය      වැහිලා

දෙන්නගෙම දැන් කෙසුත්  පැහිලා

වැඩ කළත් කන්තෝරුවේ   ඉඳලා

දරුවෙක්ගෙ සුරතල් හිතේ මැවිලා

රට්ටු කියයි දැන් වයස     පැනලා

රිස්ක් එකක් ගන්නට එපා කියලා

කියනවුන්ගෙ හොම්බටම ඇනලා

කියනු රිසි ආතල් නෙමෙයි කියලා

දෙදෙනගෙම වරදක් නෑනෙ    කියලා

ඩොක්ටර් කිව්වත් රිපෝට්       බලලා

බෝඩ් ගැහුවත් බෙල්ලේ         එල්ලා

ගම්මු ඉන්නවද උන්ගෙ කටක්  වහලා

එදත් උදේ දෙවි බඹුන්        වැඳලා 

බලන් උන්නා රාහුත් යනවා පැනලා

අඹු සමඟ මීටර් ටැක්සියක නැගලා

ගියා අපි ඩොකටර් හමුවටය කියලා

මගේ සුබ පැතුම නුඹට පුත කියලා

ඩොක්ටර්ගෙ අත මෙමට දික්කරලා

කිව් වදනින් අප දෙසවන්ද    පිරිලා

අඹුගෙ නෙතඟින් කඳුළු වැක්කිරිලා

දින සති මාස මෙලෙසින්ම ගෙවිලා

අඹුගේ බඩ දැන් ඉදිරියට   නෙරලා

ඈ කන්න ආස හැම කෑම       දීලා

නිරෝගිව මා පුතු ඉපදෙන්න කියලා

කිරි කැටි පුතුගේ කට හඬක්   ඇහිලා

දොර ලඟ සිටි මගෙ ලෝකයම  පිරිලා

දුවගොස් පිය බිරිගෙ හිස         සිඹලා

කීවා අවසන ජීවිතෙ දිනුවා       කියලා

ගමේ තැන තැන පද හොඳට     හදලා

දැන් දුටුවිට යනවා බෙලි බිමට  නමලා

තරහක් නෑ උඹලට අනුකම්පාම කරලා

තාත්තෙකි මමත් ආඩම්බරෙන්  කියලා

මාස හයේදී ඩොක්ටර් හමුවෙන්න කියලා

ගියේ වුණ භාර සැම ඔප්පු            කරලා

පුතුව චෙක් කර හදවත් සිදුරක්ය  කියලා

අඹු සිහසුන්ය එතන ඇද              වැටිලා

ක්ෂණයෙන් මුළු ලෝකෙ කඩා    වැටිලා

දෙවියනේ ඇයි අපිට දඬුවම්       කරලා

දැන් මොකද ඩොක්ටර් කරන්නේ අහලා

දෙඅත් බැඳ මම එහි දණින්       වැටිලා

තව දින දෙක තුනයි තියෙන්නේ    කියලා

ඩොක්ටර් ගියා ලොකු සුසුමකුත් හෙලලා

ඇඳේ වැතිර සිටි පුතුව තුරුළු      කරලා

අඹු අහනවා පුතු යයිද අපිව         දමලා

ඉස්පිරිතාලෙම ඉතිරි දින ටිකත් ගෙවිලා

පුතුගේ හැමතැන බට නොයෙක් ගහලා

දොස්තරලා ඇවිත් හැමදේම      බලලා

නිරුත්තරව යයි මා පිටට තට්ටු   කරලා

අවසන් මොහොත පුතුගේ එළඹිලා

ගහපු බට එකින් එක       ගැලවිලා

අඹු හඬා වැටේ අනේ පුතු    කියලා

පියෙකි මම කිමද අසරණ    කරලා

මව්ගෙ සෙනෙහස අසීමිතය   කියලා

දැනුණෙ මට අඹුගෙ විලාපය  ඇහිලා

මව්ගෙ හඬට හද රිදුමෙ වැඩි   වීලා 

පණ අදින පුතුටත් දැන් එයම දැනිලා

______චරියාගේ පන්හිඳ______

චරිත් විජේමාන්න

ප:ලි: යමෙකුට දරු සම්පත් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ පෙර කළ කුසල අකුසලයන් හේතුකොටගෙනය. එබැවින් දරු සම්පත් නොලද හිතෙන් පීඩා විඳින මිනිසුන් ගැන තැන තැන අදහස් ප්‍රකාශ කිරීමෙන් හෝ උපහාසයට ලක් කිරීමෙන් වළකින්න. එය ඔවුන් සතු ප්‍රශ්නයකි. ඔවුන් එය විසඳා ගනු ඇත. ඔබ එසේ කරන්නේ නම් මෙලොවදීම ඔබට එය විඳවීමට හේතුවක් වනු නොඅනුමානය.