2026-02-19

ලොවීනාට ලියූ කවි

මුහුදු රළට ඉහළින් ඇති මන්දිරයේ
රජෙකුගේ හද කැළඹුව ඒ සොඳුරු ඉමේ
රොඩී කෙල්ලගෙ නෙතඟට බැඳි ප්‍රේම සැරේ
ලොවට හොරා ලියවුණු රහසකි සසරේ
වයින් ගබඩාවේ සිට ඈ එන තුරුම
උමං මගක් පෑදුණි රහසින් හැමෝටම
කුල මල තහංචිය දිය වී දෙහදේම
ප්‍රේමය රජ විය ගල් කුළු අතරේම
රාජ අණින් වෙන් කළ ඒ ආදරයේ
කඳුළු සැගවුණා බිදෙනා රළ අතරේ
"මවුන්ට් ලැවීනියා" නම රැව් දෙන අඹරේ
ඈ තව සිටී සිතුවමක් ලෙස මැදුරේ
මුහුදු හුළඟ තව රහසක් පවසනවා
උමං මගේ පෙම් කවි ගී මිමිණෙනවා
අසම්මතය මැද සම්මතයක් සොයලා
තෝමස් ලෝවීනා මතකේ වැජඹෙනවා
-පියුමි නෙ‍ළුමිකා –

2026-02-18

නොසිතු හෝ මොහොතක
මග බැලූ දෑස් පිය වේවී…
අවසන්ම හුස්ම පොදෙත්
නුඹේ නම ලියවේවී..
සිහිනයෙන්වත් නුඹට
ඉඟියක්වත් නොදේවී..
නුඹ හදාගත්ත හිත
ඒ නිසා නොම පෑරේවී…
නිමේෂයෙන් මා අළුව
දුමාරය නැගේවී..
හමන මද නලෙ එතී
ඈතටම ඇදේවී…
අහම්බෙන් මතකයන්
නුඹට විත් කොඳුරාවී..
නමුත් ඒ වන විටත්
මා නොඑන්නම ගොස් හිඳීවී…
සුරේඛා…

2026-02-14

සතා හඳුනමි

කඳුළු වැස්සට තෙමි තෙමී දුක් කුණාටුවකට හසුවෙලා
අඳුරු ලෝකෙක අතරමං වී සිටියමුත් මග වැරදිලා
සතුරු යැයි පෙර සිතු මිතුරු කැල ළඟට විත් සිත සනසලා
රුදුරු ඔබගේ ලොවේ මායාවන් වෙතින් ආවෙමි පලා
එසේ සිටි මා නැවත පෙර සේ ඔබ වෙතට ඒ යයි සිතා
කෙසේ දුක් ගී ගැයුවමුත් මගෙ සවන දැන් බිහිරියි ඉතා
මෙසේ කීවත් ඔබේ ගැන මම නැතේ කිසි තරහක් සිතා
ලෙසේ පෙර නොරැවටෙමි. හඳුනමි හොඳින් ඔබ තුල ඇති සතා
තාරක ජයතිලක

2026-02-09

දස වසක් ඇවෑමෙන්...

දහසක් බාධා ආවත් එක් සිත් රන්දා
නුඹවම පතා මුලු හද සෙනෙහස බන්දා
රන්මුදු දමා කැන්දාගෙන පෙරදා
ගෙවිලා දස වසකුත් නොදැනිම මෙදා…
ආදුර ආපසු බලන්නට අවැසිම නැති හින්දා
ගෙවිගිය ඒ දවස් හීනෙක මෙන් රන්දා
ලද පිං මහිම බලයෙන් ලැබු දරු තිදෙනා
මොනවට පහදාවිද දිවියේ අරුත සදා…
කෙනෙකුට හොදක් තවකෙනෙකුට නපුරක්
දෙන්නට එපා කාහටවත් කිසි ගින්නක්
කලහොත් දිනෙක තලුමරමින් පාප කදක්
කර්මය පලදරයි ඒ ගැන නැහැ සැකයක්…
පවුලක සවිය දුක සැප හා ගැටී ඇතී
දරුවන් මාපියන් ඒ හා වෙළී සිටී
භාහිර සෝසුම් ඒ තුල අවැසි නැති
සැනසුම සාමය සැමවිට රජකෙරෙති…

රීනා

2026-02-05

නෙත් අතරේ හිරවුණු හීනය

අමතක නොවෙන
මතකයක්
හිතේ පතුලෙම
සඟවලා …
මැකී නොමැකෙන
හීනයක්
නෙත් අතරේ
හිර වෙලා …
හිමිකමක් ඇති
අයිතියක් නැති
දන්නවද ඒ …
නුඹ වෙලා ……
ගගන ගුරුගේ

2026-01-19

සොයන ආදරය

සමහරු ආදරේ කරද්දී
බලාපොරොත්තු වෙන්නේ
දෙන ආදරේට වඩා
ලැබෙන ආදරේ ගැන …
තව සමහරු
බලාපොරොත්තු වෙන්නේ
ලැබෙන ආදරේට වඩා
දෙන ආදරයක් ගැන …
තවත් සමහරු
බලාපොරොත්තු වෙන්නේ
ඒ හැමදේම එක්ක
විශ්වාසනීය ආදරයක් ගැන …
ඇත්තටම,
ඒ මොනදේ තිබුණත්
හිතකට ළං වෙන්නෙපා
සැනසීමක් නැති ආදයක් …

2026-01-13

සිප්හල වෙත...


සැනසූ සිත්සතන් මොහොතක් නවතා
දගකර සිනහා පාමින් හැමතැන දුවනා
තුන්වස් ඇවෑමෙන් පෙරපාසල් යවනා
නිවුන්දූ නැතිව මුලු ගේ පාලුව දවනා…
ඉන්නා විටදී ලග හැමවිට දැවටී
දැනුනා නොවේ යනබව මොහොතක තනිවී
මනුසත් කමින් හා දැනුමෙන් සමවී
වැඩියන් දරුවනේ ඒ මහමෙරක් වටී…
නොමනා කම් වලින් දුසිරිතෙන් මිදී
යහගුණ සේම සවිබළයෙන් ඔද වී
නොමිනිස් සිත්සතන් හා කිසිදින නොගැටී
දිරිදී වැඩෙන් සැනසුම සාමය ගෙනදී…
දූවරු තිදෙන පණ හා සම වේ මාගේ
නැහැ කිසිදිනෙක වෙනසක් දරු පෙම හා මේ
උන්නොත් උරිනුරින් සම වී වාගේ
ඒ වේ මා පැතුම ජීවේ අවසානේ…

රීනා

2026-01-12

අප්‍රකාශිත හැඟීම් සුන්දරය…
ඒ හැඟීම කුමක්දැයි සිතන
අනෙකාගේ හැඟීමද නොඉවසිලිමත්ය…
කුතුහලය, අවිනිශ්චිතභාවය මත
ඒ ගෙවෙන කාලය කල්පයක්මය…
ඒ හැඟීම ගැන මවා ගන්නා
සිහිනයන් මනහරය…
සිත සමඟ තර්ක කරමින්
ඒ හැඟීම කුමක් විය හැකිදැයි
තෝරා බේරා ගැනීමම වෙහෙසකරය…
නමුත් සිතට අවැසි දේ සිතා
සිත සතුටු කර ගැනීමට තරම්
එය නිදහස්ය…
එබැවින් අප්‍රකාශිත හැඟීම්
සත්තකින්ම සුන්දරය…
සුරේඛා…

2026-01-03

සංසාර ප්‍රේමය

පෙම් නාද නින්නාද දුන් ලොවේ මිහිරිතම

තුම් ආල දම් පිරූ රන් සිතේ සොඳුරුතම

ගුම් දිදී උන් බිඟුන් පැරදවූ නිතැතින්ම

නිම් නොවූ සිහිනෙකින් ආව කුමරෙක්මි මම

නම් දරා ආ හෙයින් සංසාර සාගරේ

මම් ඔබේ නාමයෙන් සදහටම ආදරේ

ඉම් දකින තුරුම මේ භව චක්‍රවාටයේ

දම් පුරමු ලංව මිණි මෙන් වජ්‍රමාලයේ

තාරක ජයතිලක

25-12-18

Back Cover

අවසාන මොහොත වනතුරු
දෑස අයදින බලාපොරොත්තු
තත්පරෙන් තත්පරයට ගෙවනයුරු
බල බලා හිත ඉවසනා අයුරු….

වසා තැබූ මුත් හද කවුළු
රහසේම විත් හැර කපොලු
නොදැනම කොපුල් සිඹිනා කඳුළු
කියන්නේ නුඹ තාම මගේ පණලු

සිතේ ඇඳි රූ මහරු
සිහි කරන් හැඟුමන් අහුරු
සඟවන්න වෙහෙසෙන අයුරු
දන්නෙ කෙලෙසක ලොවේ කවුරු….

සුරේඛා