හිරු රැසින් සිඳී යන
පිණි බිඳකටත්
තිබිය නොහැකිද…
කුරුළු ගී අසන්නට…
පෙති ඇහැරුන මලක
සුවඳ විඳින්නට…
සැලෙන පවනේ
තණපතක් සමඟ
නැලවෙන්න…
සිඳෙන්නට පෙර
විඳින්නට…
රහසේම සැඟවගත්
අහිංසක
ප්‍රාර්ථනාවන්…?
සුරේඛා
බඹර පිරිවර අනඟ රැඟුමන්
දරා හිනැහුනු සුවඳ කුසුමන්
යලි යලිත් නොපිපේවී…
කාලයේ ඉරණමට නතුවී
ඔවුන් මැලවේවී…
කතර බිම ආදරෙන් නැවතුන
ළපටි අංකුර සෙමින් එසවී
වැහි බිඳක් ඉල්ලාවී…
අවැසි කල නිසි වැස්ස නොවැටී
ඔවුන් මිය යාවී….
රැළි වු නෙත’ඟින් මග බලාගෙන
සුසුම් හෙළුවා මදිද තවමත්
නර කෙසක් විමසාවී…
අකාලේ තුණු හැඟුම් වියැළී
හීන මියැදේවී….
සුරේඛා
පියඹන්න නුඹ නිදහසේ
යා හැකි ඉම තියා මනසේ….
විඳ ගන්න ඔහේ පාව යන
මද නලේ සිසිල රිසි සේ…
නරඹන්න සොඳුරු තැන්
නෙතු විදා සතොසේ…
බිඳක් රැඳෙන්න…
විඳගන්න…
සැනසුම් සුසුමක් ගෙන නිදහසේ…..
අයාලේ යන උන්
කියවාවී දොස් හිතුමතේ…
ඔවුන්ගේ තරමින්ම
මැන ගනියි සිතු ලෙසේ…
හරිම මග, නුඹේ ඉම
දනී නම් නිසි ලෙසේ….
තටු ගසා ඉගිලියන්
නුඹේ දිවි නුඹ අතේ….
සුරේඛා
කළුවරට පෙම් බඳින කවියනුත් පෙර දාක
පුර හඳට අකුරු බැඳ හැඩ බැලූවළු රෑක
සේපාලි-කා සුවඳෙ මිහිර විඳි තරු රෑන
පිණි වැටෙන යාමයේ පියා ගත්තලු දෑස
කණමැදිරි එළියකින් දිලිසෙනා වත කෝල
කතන්දර කියැවුනා බොඳ වු දෙනෙතින් නීල
තාරුකා මල් කිණිති ගසා වරලස රෑන
හාදු තවරා සුසුම් නොවිඳ බොඳ විය හීන
දෙතොල අමරස නොවිඳි සා පිපාසා වූව
මධු පැනෙන් දෝවලා හැඟුම් සඟවා බෝම
රිදුම් දෙන තැන් බලා එල්ල කරනා හීය
දරාගෙන ගයනු ඇත තවම ජීවන ගීය
සුරේඛා
මුදමි මම නුඹව
සෙනෙහසින් වට බැඳි
රැඳී උන් කූඩුවෙන්….
යන්න නුඹ අහසටම
එක්වන්න නුඹේ රෑනට….
උස වැඩී නිල් අහස
තටු සිඳුන කිරිල්ලියකට…
එපා නුඹ බිය ගන්න
සවිය දැන් නැහැ මෙමට
පසුපසම හඹා විත්
නිල් ගුවන ජයගන්න….
සැරි සරනු නිදහසේ
නුඹේ රෑනක් සමඟ…
හිඳින්නම් පෙර ලෙසම
මතකයන් තුරුළුකර
සෙනෙහෙ කූඩුව තුළම
හැමදාම සිරගතව…
සුරේඛා