සසුන – කෙටි කතාව

ගිනි මද්දහනය පන්සල් භූමියේ තැන් තැන් වලට දැනෙන්නට වූවත් බෝ මළුව යටට ඒ වගක් නොදැනෙන තරම්ය. ඉද හිට හමන හුළඟට එකම තාලෙට සෙලවෙන බෝ පත්‍ර වල හඬ හැරුනම අතරින් පතර ඇහෙන කුරුල්ලෙක් දෙන්නෙකුගේ හඬත්, ඈතින් ඇහෙන දුම්රියේ හඬත් හැරුනම වෙනත් හඬක් ඇහෙන්නේ නැති තරම්ය. 

සුමේද හාමුදුරුවෝ මේ නිස්කලන්කයට බොහෝ සෙයින් ඇල්ම දක්වන්නේය. එහෙත් විටෙක හිතට දැනෙන පාලුව කියා නිම කරන්නට බැරිය. ගෙවුනු දින කීපයේදී භික්ෂුවක අතින් සිදුවිය නොවිය යුතු යැයි සම්මත බොහෝ දේවල් තමන් අතින් සිදු විය. දැන දැනම වැරදි කරත් තාමත් ලොකු හාමුදුරුවෝ තමන් පන්සලේ තබාගෙන සිටින්නේ මුළු රටක් දන්න හඳුනන භික්ෂුවක් නිසා විය හැකි බව හෙතෙම අනුමාන කලේය. ඇතැම් ගිහියන් පවා පංච සීලය අකුරටම රකිද්දී තමන් අතින් කැඩුණු සිල්පද මෙනෙහි කලේය. තුන් වෙනි සිල්පදය තමන්ගේ පාලනයෙන් ගිලිහී ගියේ විශ්ව විද්‍යාල සමයේදී වූවත් ඒ ගැන ලොකු හාමුදුරුවන් වහන්සේ දැනගෙන තාමත් ගතව ඇත්තේ පැය හතලිස් අටටකටත් අඩු කාලයකි. 

‘සුමේදව බාරගත්තේ අවුරුදු හතරෙදි, අම්මගෙ කීමට. මේ වෙද්දි රටක් දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. කොටින්ම තැන්නෙකුඹුරේ සුමේද ස්වාමීන්වහන්සේ කිව්වම රටක් සාධුකාර දෙන හිමි නමක් දැන්. මේ තැනට එන්න සුමේද සෑහෙන්න මහන්සි වුනා. මමත් යමක් කලා. ඒත් සිවුරක් දාගත්තට, තාලෙට කවිබණ කිව්වට, දහම් කරුණු දැනගෙන වුන්නට බුද්ධ පුත්‍රයෙක් වෙන්නෙ නෑ. සුමේද හිතලා තීරණයක් ගන්න. පන්සලේ ඉන්නවා නම් ගමේ කෙල්ලො රෑට රෑට පන්සලට වද්දගන්නවට මගේ කිසිම කැමත්තක් නෑ….

ගෙවුනු රැයේ ලොකු හාමුදුරුවන්ගේ වචන හිත ඇතුලේ දෝංකාර දෙන්නට විය. බෝමළුව යට වෙනදාට දැනෙන සිසිලස මොහොතකින් නැති කර දමන්නට ලොකු හාමුදුරුවන්ගේ වචන ප්‍රමානවත් විය. සුමේද හාමුදුරුවන්ටත් තීරණයක් ගන්නට කාලය එලබ ඇති බව හිත කියන්නට විය. එහෙත් ඊට කලින් තමන් තවත් කෙනෙකුට ඇහුම්කන් දිය යුතුය. සුමේද ස්වාමීන් වහන්සේ පාර බලාගෙන හිදින්නේ ඇය එන තුරුය. 

බෝමළුවට පැමින දෙපැයකට ආසන්නය. අවසානයට සුමේද ස්වාමීන් වහන්සේ ඇයගේ දහදිය වැකුණු රුව දුටුවේය. ගෙවුනු විසි අවුරුද්දම ඇය තමන් බලන්නට පන්සලට ආවාය. එහෙත් එදා ආවාට වඩා අද වෙනස්ය. දිනෙන් දින ඇයත් වයසට යන්නීය. සුමේද හාමුදුරුවන් දකිද්දීම ඇය සිනාසුනාය. බුද්ධ පුත්‍රයෙක් තම කුසින් වදා සාසනයට බාර කිරීම ගැන ඇය හිදින්නේ ආඩම්බරයෙන් වග ඒ හිනාවෙන් කියන්නට විය. සිනහමුසුව පැමිනි ඇය වෙනදා මෙන්ම දෙපතුල් අල්ලා වන්දනා කලේය.

‘අපේ හාමුදුරුවෝ හදිස්සියේ පණීවිඩේ එව්ව නිසා මට මොනවත් ලෑස්ති කරගන්න බැරි වුනා.. ඒත් මම තිබුනු වෙලාවෙන් අග්ගලා ටිකක් හදාගත්තා…

‘අම්මා එද්දි මට එහෙම මොකුත් ගේන්න ඕන නෑ. දානෙට ඔය හැමදේම ලැබෙනවනේ… 

වෙනදා මෙන් නොව අද සුමේද හාමුදුරුවන්ට සිය මවට මුහුණ දී කතා කිරීමට අපහසුය. එහෙත් අද මේ කතාව ඉවරයක් කල යුතුමය. සුමේද හාමුදුරුවන් ගමනේ පෙරමුණ ගත්තේය. දාන ශාලාවේ එක කොණක ආසනයක අසුන් ගත් සුමේද හාමුදුරුවෝ නිවීසැනසිල්ලේ බුදුන් වදින තම මෑණියන් දෙස බලාගෙන උන්නේය. ගිහි කල මව නමින් නන්දාය. ඇයගේ උණුසුම වින්දේ තමන් එක වසරට යන තුරු පමනකි. තාත්තාගේ බීමත්කම නිසා තමන් පංසලට බාර කල විදිය අදටත් මතකය. එදා පටන් ජීවිතයේ එක එක පරිඡේද ගෙවී ගියේ පන්සල තුලදීය. තමාගේ වයසේ අනෙකුත් ළමයි ගෙවා දැමූ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක් තමා ගෙවූ හැටි මතකය. අනෙක් ළමුන් සෙල්ලම් කරද්දී තමනුත් සෙල්ලම් කල විට එය දඟ වැඩක් වූ හැටිත්, තුරුණු වියේදී ඇතැම් දේවල් ගිහි තරුණයන්ට කැප දේවල් තමන් කල අකැප වූ හැටිත් සුමේද හාමුදුරුවෝ සිහි කලේය. බුදුන් වැද අවසන් වූ අම්මා තමන් වෙත එන හැටි බලාගෙන උන් සුමේද හාමුදුරුවෝ අවසානයේ තීරණයක් ගත්තේය. 

‘ඔබ වහන්සේගේ බුද්ධිය ගැන ගමේ හරි කතාව. මට හරි ආඩම්බරයි ඔබ වහන්සේ ගැන… 

අම්මා කියද්දී සුමේද හාමුදුරුවෝ යන්තමින් සිනාසුනේය. මේ අධ්‍යාපනයම, ජනප්‍රියත්වයම ගිහියෙක් විදියට ලැබුවා නම් ගමේ මිනිස්සු ඇත්තටම ආඩම්බර වේද යන සැකය අම්මාගෙන් අසා දැනගන්නට සිතුනත් තවත් ඉවසන්නට වග බලාගත්තේය. 

‘අම්මේ, මම තීරණයක් අරගත්තා. මම අහන්නේ නෑ අම්මා ඇයි මාව මහණ කලේ කියලා. ඇත්තටම මම ඒක අහන්න තමයි උන්නේ. ඒත් මම අහන්නෙ නෑ. පරණ කුණු මට අවුස්සන්න බෑ. ඒත් අම්මේ මේ කසාවත මට බර වැඩියි. ඒහින්දා මම සිවුරු අරින්න තීරණය කලා. ඒ තීරණය ගැන කියන්න මම අද අම්මට එන්න කිව්වේ… 

නන්දාවතී වුන්නේ කිසිම දෙයක් අදාහාගන්නට බැරිවය. වෙනදාට බොහොම සීලවන්තව තමා අමතන ඔහු අද එක හුස්මට කියාගෙන ගිය කිසිම දෙයක් ඇයට අදහාගන්නට බැරිය.

‘එක පාරටම එහෙම වුනේ ඇයි අපේ හාමුදුරුවනේ?

නන්දාවතී සෑහෙන වෙලාවකට පසුව අසද්දී ඔහු පෙර තිබුනු සිනහවෙන්ම ඇය දෙස බැලුවේය. 

‘අවුරුදු ගානක් අම්මේ මේ චීවරය නිසා දුක් වින්දා.. මට තවත් අමරුයි. මගේ අකමැත්තෙන් මාව සාසනේට බාරදුන්නට මම සතුටක් කියලා දෙයක් ජීවිතේ වින්දේ නෑ. ඒකයි ඇත්ත. මගේ ලමා කාලේම මට නැති වුනා. මට බෑ අම්මේ තරුණ කාලෙත් නැති කරගන්න. මේ ඇති. හොඳටම ඇති.. මම එනවා අම්මා එක්ක ගෙදර යන්න. අම්මා ඒකට අකමැතියි නම් මම කොහේ හරි යනවා. මාව නවත්වන්න එපා අම්මේ… 

‘අනේ හාමුදුරුවනේ… 

‘මට හාමුදුරුවෝ කියලා අම්මා පව් පුරවාගන්න එපා. මම අම්මගෙ ලොකු පුතා එච්චරයි. මම එන්නද අම්මේ ගෙදර.. මට උපාධිය තියෙන නිසා රස්සාවක් හොයාගන්න පුලුවන්. ගමේ ඉන්න බැරි වුනොත් අපි කොහේ හරි යමු.. බීලා බීලා තාත්තා මැරුනා. මට අම්ම බලාගන්න පුලුවන් අම්මේ. අනේ මට මෙහෙම ඉන්න කියන්න එපා. එච්චරයි… 

එතනින් එහාට ඔවුන් අතර කතාවක් නොවුනි. නන්දාවතී බෝ මළුවේ තනි වෙද්දී සුමේද හාමුදුරුවෝ තම ජීවිතය වෙනුවෙන් වැදගත්ම තීරණය අරගත්තේ යලිත් කවදාවත් පසුනොතැවෙන බවට තමන්ටම පොරොන්දු දෙමිනි. 

අද තත්වය… 

කලකට පෙර සුමේද ස්වාමීන්වහන්සේ නම් වූ ඔහු හතලිස් හැවිරිදි විශ්ව විද්‍යාල කතිකාචාර්‍ය සුනෙත් රාජගුරුය. බිරිඳ දම්මි රාජගුරුය. පදිංචිය උඩු පේරාදෙණියේ වූ අතර දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙක් වූයේය. නන්දාවතී දැන් බොහෝම මහළුය. එහෙත් තම පුතා , ලේලිය මෙන්ම මුනුපුරන්ගේ ආදරය රැකවරණය නොඅඩුව ලබන්නීය. 

ඉතින් දැන් ජීවිතේ පරිපූර්ණය. 

තක්ෂිලා ඒකනායක.

පෝරුව

මංගල ශාලාවම එකම කසු කුසුවකි. මොහොතකට පමා වුනු වැඩ කටයුතු අමුත්තන්ගේ හිත් තුල ප්‍රශ්නාර්ථයක් ඇති කල හැඩකි. බොඳ වූ දෑස් අතරින් පෙනෙන්නේ අම්මාගේත්, අප්පච්චීගේත්,නංගීගේත් රුවය. දෑස් සෙමෙන් විවර කරගත්තත් ගතට වාරුවක් නැත. එහෙත් මගේ ඇස් හෙව්වේම ඔහුය. ඒ අර්ථ විජේමාන්නය. සත් වසරක ප්‍රේමයකින් පසුව අද දිනයේ මගේ ස්වාමි පුරුෂයා වූයේ ඔහුය. 

‘චූටි දූ, නැගිට ගන්න පුලුවන්ද මගේ මැණික?’ 

සිද්ද වූයේ කුමක්ද කියා වත් මතක නැති මොහොතක ඇහෙන්නේ අප්පච්චීගේ ආදරණීය හඩය. සිරුරට දැනෙන පණ මදි කමත් එක්කම මට අද දිනය මතක් විය. සුළු මොහොතකට පෙර මා වුන්නේ පෝරු මස්ථකයේය. ඒ තනිව නොව අර්ථ සමඟය. එක දිගට ඇසුනු අෂ්ඨක අතරින් මගේ වත පණ නැති වූ අයුරු ටිකෙන් ටික මතක් විය. තෙදිනක් පුරා වූ තෙහෙට්ටුව මගේ වතින් බැහැර වන්නට ඇත්තේ පෝරු මස්තකයේදීය. අපහසුවෙන් නමුත් මම ආයාසයෙන් සිනා සුනෙමි. අම්මාගේත්,අප්පච්චීගේත් ,නංගීගේත් වෙනසක් නොවුනද අර්ථගේ අම්මාගේ මුහුණේ හැඟීම් මට තේරුම් ගන්නට අපහසු විය. තාමත් අර්ථ පේන්නට නැත. 

‘දැන් දුවට මොකද?

අර්ථගේ මව ඇහුවේ ඕනෑවට එපාවටය. 

‘දැන් හොඳයි අම්මේ. මට නින්දක් තිබුනේ නෑ.. ඒහින්දා….

‘එහෙනම් වර්ෂාගේ අම්මා දුවව ලෑස්ති කරා නම් පෝරුවට.. තවත් රට්ටු හිනස්සන්නෙ නැතුව… 

‘කවුද ආන්ටි රට්ටු හිනැස්සුවේ. අක්කා කලන්තේ දාන එක රට්ටු හිනා වෙන වැඩක්ද? වෙඩින් එකේ වැඩ වලට තනියම නැහිලා මෙතන….

‘චූටි කට වහගන්න..මම දුව අරගෙන එන්නම්….

කියාගෙන ආ දේ අවසන් කරන්නට නොදී අර්ථගේ අම්මා එකට එක වචන පැවසුවේ එලෙසය. මගේ කලන්තය රට්ටු හිනස්සවන තැනට පත් වූයේ කොහොමදැයි කියා මට නොතේරුනත් අනික් පැත්තට නංගිගේ වචන වලින් යම් තාක් දුරකට තේරුම් ගන්නට හැකි විය. තවත් එතන කලබලයක් ඇති නොකර තත්වය සමතයකට පත් කලේ අම්මාය. 

කෙලින් හිටගන්නවත් පණක් නැතිව උන් මගේ පෝරුවේ චාරිත්‍රත්, විවාහයේ සියළු වැඩ කටයුතුත් අවසන් වූයේ බොහෝ දෙනෙකුගේ අමුතු බැල්ම වලට හසු වෙමිනි. ශාලාවේ අය පමනක් නොව අර්ථ පවා උන්නේ කියාගන්න බැරි මොකද්දෝ නොකියා කියමිනි. මධුසමය බලා ශාලාවෙන් පිටත් වන්නට ඔන්න මෙන්න තිබියදී පවා ඔහු උන්නේ මැණිකේ කුමාරිහාමි නම් වූ ඔහුගේ මවත් සමග කසු කුසුවකය. 

‘අක්කා, ඔයා පරිස්සමින් යන්න. අද ඉදන් මට තමයි පාලු’ 

නංගී එහෙම කියද්දී මම ඇයව වැළඳගෙන හැඬුවෙමි. අනතුරුව පිළිවෙලින් අම්මාටත් අප්පච්චීටත්, මගේ යහළුවන්ටත් සමුදුන් මම අර්ථගේ අතින් අල්ලාගෙන මලින් සරසා තිබුනු වාහනයට ගොඩ වුනෙමි. 

‘අර්ථ, මට අද හරි සතුටුයි රත්තරං….

මඟුල් රථයට ටික දුරක් යද්දී මම ඔහුට කීවෙමි. 

‘හ්ම්ම්, මටත් එහෙමයි… 

‘එහෙමද? ඒක ඉතින් ආදරෙන් කියන්නකෝ…

‘හ්ම්ම්… අපි හොටෙල් එකට ගිහින් කතා කරමු වර්ෂා… 

ඕනෑවට එපාවට හූල්ලමින් අර්ථ කියද්දී මගේ හිත ඇතුලාන්තයෙන් දැවෙන්නට විය. පෝරුවේ සිරිතෙන් පසුව අර්ථගේ හැසිරීමේ වෙනස පෙරටත් වඩා තදින් දැනෙද්දී තවත් කඳුලු හිර කරගෙන හිදින්නට මට අපහසු විය. 

‘අර්ථ, මට තේරෙනවා ඔයා මාර සැකේකින් ජීවත් වෙන්නෙ නේද? ඔයා අවුරුද්දක මාස්ටර් එකකට රට ගිහින් එනකම් බලාගෙන හිටපු මට හොඳ වැඩේ. මම මෙතන නැහිලා නැහිලා වෙඩින් එකේ වැඩ කලේ. පෙරේදා ඉදන් හරි කෑමක් නෑ, නින්දක් නෑ..පෝරුවේ කලන්තේ දැම්මෙ මට තිබුනු මහන්සියට මිසක් වෙන….

‘කවුද වර්ෂා එහෙම කිව්වේ? ඔයා නිකම් රට පටලවගෙන..

අර්ථ එහෙම කියද්දී මම එතනින් එහාට කතාවට නොගියෙමි. අර්ථ මට මුණ ගැහුනේ විශ්ව විද්‍යාලයේදියි. පිළියන්දල ඉදන් පේරාදෙණියට ආව මට නුවර හරි පුරුදු තැනක් කලේ අර්ථ. මගේ ප්‍රථම ප්‍රේමය අර්ථ වෙද්දී මම ඔහුගේ ජීවිතයේ උන් තෙවනි පෙම්වතිය වූයෙමි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව මම බැන්කුවක රැකියාව ඇරඹූ අතර අර්ථ වැඩි දුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට ගියේය. එසේ ගිය ඔහු හරියටම අධ්‍යාපන කටයුතු නිම කර පැමිනියේ මංගල්‍යට දින කීපයකට පෙරය. මම උපන්නේ කොළඹ මැද්දේ වීමත්, අර්ථ කන්ද උඩ රට වීමත් මුලින් අපේ මංගල්‍යට බාධාවක් රැගෙන ආවත් ඒ හැම දෙයක්ම හිතේ හැටියට විසදාගන්නට අපට පුලුවන් විය. එහෙත් අද දිනයේ සිදු වූ සමහර දේවල් එක්ක, නංගී විටින් විට මගේ කනට කර පැවසූ දේවල් නිසා මගේ හිත ඇත්තේ ලෝක දෙකකය. 

‘මුන් නම් මහ කපටි අක්කෙ. මෙයාලා මේ කලින් ඔයාට අකමැති වෙන්න හේතුව පෝරුවේ කලන්තේ දාපු එක පිටින් යවන්න හදන්නෙ. මහ ගෑණි කියනවා කොළඹ දිහා සක්කරවට්ටමක්නෙ, මට හිතුනා ඔහොම වෙයි කියලලු. මම කිව්වා ඔව් ඉතින් ඒක ඔයාගෙ පුතාගෙන් අහගන්න කියලා. මඟුල් ගෙවල් වල මට රණ්ඩු වෙන්න බෑ අක්කේ. මේ වගේ මිත්‍යාද්ෘෂ්ටික දෙයක් ගාවගෙන මෙයාලා හදන්නෙ ඔයාගේ ජීවිතේ කාලකණ්නි කරන්න. පරිස්සමින් මේ අම්මණ්න්ඩි එක්ක. ඊට හපන් අර්ථ අයියගේ නැන්දලා, පුංචිලා ටික. ඒ ඉන්නෙ ගෑණු නෙවෙයි ගිණි කඳු!

පෝරුවේ කලන්තය දැමීම ගැන වතාවක් මම කියවූ පුවත්පතක තිබුනි. විවාහ වන ගැහැණු ලමයා චරිතවත් නැති කෙනෙක් නම් ඇය පෝරුවේ කලන්තය දාන බව එකල ගැමියන් අතර තිබුනු ප්‍රවාදයක් බවත් අද වෙද්දී එලෙස කලන්තය දැමීමට හේතු ලෙස වෛද්‍යවරයෙක් සටහන් කල ප්‍රකාශයත් මට මේ සිද්දියෙන් මතක් විය. 

‘ඕවා පීත්ෲ මූලික සමාජයක දකින්න තියෙන ලක්ෂණ. ඉස්සර කාලේ විවාහ වෙද්දි ගෑණු ළමයි තමයි විවාහය වෙනුවෙන් තිබුනු බොහෝ දේවල් කලේ. තනියම සැරසිලි කටයුතු කරගත්තා විතරක් නෙවෙයි බොහෝමයක් දරුවෝ තමන්ගෙ අදින ඇඳුම පවා හදාගත්තේ තනියම. ඒ විතරක් නෙවෙයි මංගල්‍යට කලින් දවසේ මේ දේවල් එක්ක මහන්සි වෙන මනමාලි පහුවදාට පෝරුවට නගින්නේ තෙහෙට්ටුවෙන්. වටේට පත්තු කරලා තියෙන පහන් වල රස්නය, ඇඳගෙන ඉන්න ඇඳුමේ වගේම ආභරණ වල ඇති අපහසුකාරී බවත්, එකම ඉරියව්වෙන් බොහෝ වෙලා හිටගෙන හිදීමත් නිසා විශේෂයෙන්ම ගැහැණු කෙනාට කලන්තය ඇති වෙන්න පුලුවන්. එහෙම නැතුව චරිතවත් බව වගේ කතා නම් අමූලික බොරුවක්. මේ දේම පිරිමි කෙනාටත් වෙච්ච අවස්තා ඇති. හැබැයි හැමදාම නරකකදි හයිලයිට් වුනේ ගැහැණු කෙනා විතරයි…

විවාහයෙන් පසුව අද වෙද්දී හය මසක් ගෙවී ගියේ මගේ විවාහ ජීවිතයම උඩු යටිකුරු කරමිනි. මධුසමය දවසේ තෙහෙට්ටුවටම නිදාගත් මම පහුවෙනිදා අවදි වූයේ හොඳටම අසනීපයෙනි. එතැන් පටන් බොහෝ ප්‍රශ්න ආරම්භ වුනේ අර්ථගේ අම්මාගේ මැදිහත් වීමෙනි. කොටින්ම ගෙවුනු මාස හය ඇතුලතදී නාමිකව ඔහු මගේ සැමියා වූවා පමණි. අප අතර කිසිදු කායික සම්බන්ධයක් ඇති නොවූයේ අර්ථගේ දෙබිඩි හැසිරීම නිසාවෙනි. මා වරදක් නොකරම අර්ථගේ මවගේ අවලාද වලට ලක්වෙද්දී අර්ථ උන්නෙ ඒ කිසිවක් නොඇසුනු ආකාරයටයි. හත් අවුරුද්දක් මා පණ මෙන් ආදරය කල පුද්ගලයා මා වෙනුවෙන් එකම එක වචනයක් වත් නොකීම විවාහ ජීවිතය ඇතුලේ මා පුදුම ලෙස හුදෙකලා කල වග කිව යුතුමය. 

‘ඔයා ඔහොම මිනිහෙක් එක්ක ඉන්න ඕන නෑ. මගෙ පුතා එන්න ගෙදර’ 

අවසානයට අම්මාත් අප්පච්චීත් මා ඔවුන් ලඟට ගත්තේ එලෙසිනි. විවාහ වී හය මසක් තුල මා දික්කසාද ගැහැණියකද වූයේ අර්ථගේ කොන්ද පණ නැති කම නිසා මා නොකල වරදකට වැරදි කාරියක වෙමිනි. 

‘ඔයා ඕවා හිතන්න එපා අක්කෙ. ඔයාටත් හොඳ කෙනෙක් ලැබෙයි…

දික්කසාද නඩුව අවසන් වී නිවසට එද්දී නංගි කී වචන මගේ හිතේ තදින් තැම්පත් වුනි. ඊටත් තුන් අවුරුද්දක් ගෙවී යද්දී මට සේවා ස්ථනයට නිතර දෙවේලේ පැමිනි ව්‍යාපාරිකයෙකු වූ කළන මුන ගැසුනි. මුලින් අප අතර මිත්‍රත්වයක් ගොඩ නැඟුනු අතර අනතුරුව ඔහු මගේ අප්පච්චී මුණ ගැසී මා විවාහ කර ගැනීමට සූදානම් වග පැවසුවේය. 

‘දුවට පොඩි පොඩි කරදර ටිකක් වුනා පුතා. ඒවා මේ ළමයා දන්නවා නම්, ඒ දේවල් මේ ළමයගේ ගෙදර අයට ප්‍රශ්නයක් නැති නම් අපෙන් කිසි ප්‍රශ්නයක් නෑ. 

මටත් කළණටත් අප්පච්චීගේ අනුමැතිය එසේ ලැබුනි. ඊටත් දෙවසකට පසුව මගේත් කළණගේත් විවාහය අද දිනයේ සිනමන් හෝටල් පරිශ්‍රයේදී පැවැත් වීමට නියමිතය. 

‘බබා බය වෙන්න එපා. මම ඔයාව පෝරුවට නග්ගවන්නේ එදා ඔයාට හිනා වුනු සමහර අයට අද තමන්ගෙම කනට පාරක් ගහන්න. ඒ නැතත් ඔයාමනේ පෝරුවෙ චාරිත්‍ර කරන්න ඕනි කිව්වෙ. මට නම් ඔයා එක්ක පැනලා ගියත් එකයි කියන මතේ තමයි දැනටත් ඉන්නේ… 

‘නිළමේ ඇඳුම් ඇඳලා පැනලා යන්න බෑනේ. ඔන්න ඔහේ මේක ඉවර කරලම අපි වාහනේ පැනලා යමු… 

ඒ පෝරුවට නඟින්නට පෙර මාත් කලනත් අතර සිදු වුනු අවසන් වචන හුවමාරුවයි. අප්පච්චීගේ අතින් අල්ලාගෙන සුබ මොහොතින් පෝරුවට නැඟපු මම මා දිහා බලාගෙන උන් සෙනඟ දෙස එක එල්ලේ බැලුවෙමි. එක එක මුහුණු එක එක කතා කියයි. පසෙකින් උන් කලණගේ මව දෙස බලා සිනාසුනෙමි. ඇය මට දෑස් වලින් සංසුන් වන්නට කියා සිනාසුනාය. මම යලිත් කලන දෙස බැලුවෙමි. ඔහු පෝරුවේදීම මගේ සුළැගිල්ල අල්ලාගත්තේය. 

පෝරුවේ චාරිත්‍ර නිමා වනවා වත් මට නොදැනිනි. කලණ වැනි කෙනෙක් මගේ ජීවිතයට ලැබීමම මා පෙර ආත්මය කල පිනකි. විවාහයේ වැඩ කටයුතු හිතුවාටත් වඩා හොඳින් අවසන් වෙද්දී මාත් කළණත් මධුසමය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ හැමෝගේම ආශිර්වාදය මැද්දෙනි. 

අද වෙද්දී මාත් කළණත් විවාහ වී තෙවසරකි. අම්මාත් අප්පච්චීත් සමග ගෙවූ කාලයෙන් පසුව මා සතුටින්ම ගත කලේ කලණ සමග බව අවිවාදයි. කළණගේ අම්මා මගේ අම්මා මෙන් මට සැලකූ අතර ඔහුගේ නංගී මගේ නංගී වගේම මට සමීප වූවාය. කළණත් මමත් අතර ඇති වුනු සුළු අමනාපකම් වලදී ඇය මගේ පැත්තේ වූවාය. ජීවිතේ පුදුම තරම් සුන්දරව ගෙවී යද්දී මම අතීතයට හිනා වුනේ මාස ගානක් වයසැති සිඟිති පුතු තුරුළට ගනිමිනි. 

‘මම මේ ජීවිතේට හරි ආදරෙයි වර්ෂා.. පරක්කු වෙලා හරි ඔයාව මගේ ජීවිතේට ආව එකම මට ඇති.. 

පෙරදා රාත්‍රියේ මා තුරුළු කරගෙන කලණ පැවසුවේ එලෙසිනි. මේ ජීවිතය මට ලබා දුන්නාට අර්ථටත් පුහු මාන්නයෙන් ඉදිමුනු, මිත්‍යාවෙන් අන්ධ වුනු ඔහුගේ මවටත්, කුමක් හෝ හේතුවක් නිසා එදා මට කලන්තය දැමූ පෝරු මස්තකයටත් සිය දහස් වතාවක් ස්තූතිවන්ත වෙමි.

තක්ෂිලා ඒකනායක