ජීවිතාවර්ජනය

මිනිස් ජීවිතයක් ලද අප සෑම කෙනෙකුම කුමන හෝ ඇබ්බැහි වීමකින් පෙලෙනවා. සමාජ සම්මතයට පටහැනි නොවන ඒවා මෙන්ම, සමාජ සම්මතයට පටහැනි ඇබ්බැහිවීම් ලෙස මේවා හඳුන්වා දීමට පුළුවන්. මේ ගැන පුළුල් කතිකාවතක් අප සමාජය තුළ සිදු නොවන්නේ හුදෙක් ඒ පිළිබඳ මිනිසා තුළ ඇති අනවබෝධය නිසයි. බොහෝ දෙනා කතා කිරීමට පුරුදු වී ඇත්තේ දුරකථනයට ඇබ්බැහි වීම, ලිංගික ආශාවන්ට හා නිල් චිත්‍රපට නැරඹීමට ඇති ඇබ්බැහි වීම හා මත්ද්‍රව්‍ය වලට ඇති ඇබ්බැහි වීම් පිළිබඳව පමණයි. 

මේ ජීවිතාවර්ජනය පිටුව වෙන් කර ඇත්තේ ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම් පිළිබඳ කතා කරන්නටයි. පිළිතුරු සේයාවක් නොපෙනෙන මේ මත් රකුසා දිනෙන් දින මේ ලෝකය ගිල ගන්නේ හිසරදයට පැනඩෝල් පෙත්තක් කඩේකට ගිහින් ගන්න සුලභ සිද්ධීන් ලෙසයි. දෙමව්පියන් ලෙස, වැඩිහිටියන්ට ලෙස, සමස්ත සමාජයක් ලෙස අප කොපමණ අවාසනාවන්තද? මේ පිළිබඳ වගකිව යුතු බලධාරීන් තවමත් නින්දේ ය. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, පානය කිරීම හා ප්‍රවාහනය ආදියට පනවා ඇති නීති රීති එසේ තිබියදී එම නීතිරීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනවාද යන්න ප්‍රශ්නාර්ථයකි. ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගනු ලැබුවද මත්ද්‍රව්‍ය භාවිතයෙහි වැඩිවීම නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමුවීමට බාධාවක් වී ඇත.

පුනරුත්ථාපනය වූවන් හා පුනරුත්ථාපනයට යොමු කිරීම සම්බන්ධ පාර්ශවයන් සමඟ ගනුදෙනු කිරීමට ලැබෙන මට, සිදු ආසන්නතම සිද්ධිය ඔබ වෙත ගෙන එන්නේ ඔබෙත් මගෙත් සමස්ත දරු පරපුර මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට ගන්නා පුංචි උත්සාහයක් ලෙසයි.

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබා තිබෙන දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවායි අද කතාවේ ප්‍රධානියා. ශෙහාන් දෙස ඔහු ආමන්ත්‍රණය කරමි. ඔහු කාර්මික විද්‍යාලයක වාහන අළුත්වැඩියාව හා ටින්කරින් පිළිබඳ විශේෂ හැකියාවක් හා දැනුමක් ලබා ගත්ත කෙනෙක්. පවුල් පසුබිමත්, මව කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුම ලද හා දැනට ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වන ගුරු මවක්. පියා ව්‍යාපාරිකයෙක්. 

මේ අම්මා දරුවො කුඩා කාලයේ ඉඳලා ගුරු වෘත්තියේ නියැලුනා. මේ දරු තිදෙනා ගේ අවශ්‍යතා වැඩි වශයෙන් ඉටුවුණේ ඔවුන් රැක බලා ගැනීමට හිටපු ඥාතී නැන්දණියක් විසින්. කොච්චර මහන්සි උනත් අම්මා අතින් දරුවන්ගෙ වැඩ කටයුතු ගිලිහෙන්න නරකයි. කවුරුන් අතින් හෝ එම කටයුතු ඉටු වුවත් දරුවන් හා මව අතර ඇතිවන සම්බන්ධතාවය මේ හේතූන් නිසා නැති වෙන්න පුළුවන්. හැම දරුව ම එක වගේ නැහැ. පිරිමි දරුවො වැඩිපුර අම්මගේ සෙනෙහස, අවධානය, ආදරය  බලාපොරොත්තු වෙනවා. මේ දේවල් නොලැබෙන තැන දරුවෝ නොමඟ යන එක වලක්වන්න බැහැ.

අද වන විට ශෙහාන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අවුරුදු දහයක් පමණ වෙනවා. මේ පිළිබඳව ඔහුගේ දෙමාපියන් වැඩි වශයෙන් අවධානය යොමු කරල තියෙන්නේ ප්‍රශ්නෙ උත්සන්න උනාට පස්සෙයි. ශෙහන් ගේ දෙමාපියන් ඔහුව යොමු කිරීමට බලාපොරොත්තුවන පුනරුත්ථාපන  ආයතනය අදාල පුද්ගලයාගේ අකමැත්ත ඇතිව ඇතුළු කර ගන්නේ නැහැ. ඒ වගේම අවම වශයෙන් මාස නමයක  කාලසීමාවක් පුනරුත්ථාපනය විය යුතුයි. ඉතින් ශෙහාන් කැමැත්ත ඇතිව එම ආයතනයේ පවත්වනු ලබන වැඩසටහනකට ඔහුව මෑතකදී සම්බන්ධ කරගන්නට හැකියාව ලැබුණා. නමුත් අද වන විට ඔහුත් සමග හිතවත්ව ආයතනයට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන පාර්ශවයන් ගේ දුරකථන ඇමතුමකට වත් ඔහු ප්‍රතිචාර දක්වන්නේ නැහැ. 

වර්තමානයේ සිට වසර දහයක් අතීතයට යමු. එම කාල පරාසය තුළ සිදු වූ සිදුවීම් ඔබට ඔහුගේ ජීවිතය තුළ කොතනද වැරදුනේ යන්න යම් තරමකට හෝ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

මීට වසර දහයකට පෙර ශෙහාන් පාසලේ විශිෂ්ට ලෙස ක්‍රීඩාවේ නිරත වී ඇති අතර එම කාලය තුළ ඔහු මිතුරන් සමඟ මත්ද්‍රව්‍ය භාවිත කර පාසලට හසුවී ඇත. ඉන්පසු ඔහුගේ මව පාසලට කැඳවා අවවාද කර ඇත. මේ සිදුවීමට පස්සේ ශෙහාන් ගෙ මව පාසලට පැමිණ කතා කළ දේවල් නැවත ශෙහාන්ට දැනගන්නට ලැබිලා තියෙනවා. මවක් විදිහට ඇය ඔහුට තරවටු කරලා. මේ ගැන ශෙහාන්ට ඇති වූ කෝපය ක තරම, ඔහු මවත් සමග අද වන තුරුත් අවශ්‍යම දේකට හැරෙන්නට කතාකරන්නේ නැහැ. මව සමග පුදුම තරහකින් ඉන්නේ. මව නිවසේ පිසින ආහාර ගන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔහු ක්ෂණික නූඩ්ල්ස් හෝ වෙනත් දෙයක් ආහාරයට ගන්නවා. ඔබට දැන් ප්‍රශ්නයක් වෙයි කොහෙන්ද ඔහුට මේ සඳහා මුදල් කියලා? ඔව් මටත් මේ ප්‍රශ්නෙම ආවා. ඔහුට මුදල් දෙනනෙ ඔහුගේ පියා. ඒ ශෙහාන් කාගෙන් හෝ ඉල්ලයි එහෙමත් නැත්නම් හොරකම්  කරයි කියන බියට. ඒත් දැන් වෙනකොට ඔහු දෙමාපියන් බියවද්දා මුදල් ලබා ගන්නා තත්වයකට පත්වෙලා. 

ශෙහාන් පාසලෙන් ඉවත් වූ පසු වැඩිදුර අධ්‍යාපනය හදාරා තිබෙනවා. නමුත් ඔහුගේ නොමනා ක්‍රියා කලාපයන් නිසා ඔහු රැකියාවකට යොමු වන්නේ නැහැ. ශෙහාන් පිළිබදව ඔහුගේ දෙමව්පියන් වැඩි යමක් කියන්නට දන්නේ නැහැ. මොකක්ද ඔහු භාවිතා කරන මද්ද්‍රව්‍ය වර්ගය? ඔහුට සිටින මිතුරන් කවුද? ඔහු යන එන ගමන් බිමන් මොනවාද? තරුණ දරුවකු ලෙස ඔහු කාමරය තුළ කුමක් කරන්නේ ද? ආදී සරල දේවල්  වත් ඔවුන් දන්නේ නැහැ. මට වැටහුන විදිහට ඒ අය දරුවන් ගැන සොයා බලා නැහැ. දෙමාපියන් ලෙස ඔවුන්ගේ වගකීම් හරිහැටි ඉෂ්ට වෙලා නැහැ. මුදල්, කෑම බීම, අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලබාදීම ආදරය ලෙස සලකන විට මම මෙවැනි සිදුවීම් සිදු වන්නට පුළුවන්. ශෙහාන්ට ළමා බයිසිකලයක් අවශ්‍ය අවධියේ දී මවුන්ටන් බයිසිකලයක්, මවුන්ටන් බයිසිකලයක් ලබාදෙන වයසේදී මෝටර් බයිසිකලයක් ආදී වශයෙන් වයසට නොගැලපෙන දේ එම දෙමව්පියන් විසින් ලබාදී තිබුණා. මේ සිදුවීම් අද වෙනවිට ඔහුව විනාශය කරා ගෙන ගිහින් අවසන්. වසර ගණනාවක් ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇති බව දැන දැනත් ඔහුගේ දෙමව්පියන් කිසි කෙනෙකු ගෙන් උපකාරයක් බලාපොරොත්තු වී නැහැ. ඔවුන් තම පුතණුවන්ගේ වරද සඟවා තබාගෙන තිබුණා. මෙයින් හැඟී යන්නේ දෙමාපියන් වශයෙන් මෙවැනි මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්න ගැන ඔවුන් තුළ ඇති නොදැනුවත් කමයි. නියපොත්තෙන් කඩන්නට තිබූ ප්‍රශ්නයක් දැන් පොරවෙන් කපා ඉවත් කරන්නට බැරිතරම් වී අවසන්. 

ජූලි මස දෙවන සතියේ දී ශෙහාන් ලඟ අයිස් මත්ද්‍රව්‍ය තිබී පොලිස් භාරයට බාරයට ගෙන තිබුණා. දිනක් රිමාන්ඞ් භාරයේ සිටි ඔහු රු.4,500.00 ක් පමණ වූ සුලු මුදල් ඇපයක් මත නිදහස් කරනු ලැබුවා. ඔහුගේ දෙමව්පියන්ට පොලිසියේ උදව් ඇතිව ශෙහාන් ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කිරීමට හැකියාව තිබුණා. මොකද මෙවැනි අවස්ථාවලදී පුනරුත්ථාපන මධ්‍යස්ථානය අදාල පුද්ගලයාගේ කැමැත්ත විමසන්නේ නැහැ. නමුත් මේ දෙමව්පියන් එසේ කිරීමට අපොහොසත් වුණා. “අපි කොහොමද පුතා එහෙම තැනක ඉන්නවා බලන්නෙ” කියන ප්‍රශ්නය ඔවුන්ට ආවා. මවට තම පුතාව හොඳ මාර්ගයට ගැනීමට   ඇති වුවමනාව හා උනන්දුව තාත්තා ළඟ නැති බවක් බවක් මට වැටහුණා. ඒ වගේම ඒ දෙමව්පියන්  අතර අන්‍යෝන්‍ය බැඳීමක් හා එකඟතාවයක් නොමැති බවත් වැටහී ගියා. දෙමාපියන් තුළ යහපත් බැඳීමක් නොතිබීමත්, පවුලේ විශේෂයෙන් දරුවන්ගේ ප්‍රශ්න වලට දෙන්න දෙපැත්තට ඇදීමත් යන හේතු මෙවැනි ඇබ්බැහිවීම් වල සිටින අයට තවත් ලේසි වෙනවා තම අවශ්‍යතා ඉටු කර ගැනීමට. පවුලක් ලෙස  එක වහලක් යට සිටියත් පවුලක් ලෙස එකමුතු වීම හා දරුවන් සමග අදහස් හා ඔවුන්ට ඇති ප්‍රශ්න ගැටලු පිළිබඳව විවෘත වීමත් යහපත් දරුවන් සමාජගත කිරීමට අවැසි බව මෙහිදී මට වැටහී ගියා.

මේ දෙමාපියන් දරුවාව ඔවුන් විසින් පුනරුත්ථාපනයට යොමු කිරීමටද පසුබෑමක් දක්වනවා. ඒ ඔවුනට තම ජීවිත පිළිබඳව ඇති බියයි. කෙසේ හෝ ශෙහාන්ට ඔවුන් ගැන ඇති වෛරය නිසා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්සුව වීමට පෙර පැන ආවොත් ඔවුන්ගේ ජීවිතවලට හානියක් සිදු කරයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

තවමත් නොවිසඳුණු මෙම ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය යුත්තේ ද එම දෙමාපියන්ය. අවසානයට මා ඔවුනට පැවසුවේ “ඔය දෙන්නා කතා කරලා එකඟතාවයකට එන්න. මේ ඔයාලගේ දරුවා. ඔයාලට දරුවා සුව කරගෙන යහපත් දරුවෙක් කරගන්න අවශ්‍ය නම් ගෙදර පරිසරය දැන්වත් හදාගන්න. දරුවා ඔයාලව ප්‍රතික්ෂේප කළත් අම්මා තාත්තා  විදිහට ටිකක් ඉවසන්න. මොකද දරුවා නොමඟ යන්න ඔයාලත් වක්‍රාකාරයෙන් හෝ හේතුවක් වුණ බව පිළිගන්න. දරුවාට තවමත් ආදරේ බව අඟවන්න. කවුරු නැතිවුනත් දෙමාපියන් ලෙස ඔබ දෙපළ ඔහු සමග මැරෙන තුරාවට සිටින බව දැනෙන්න දෙන්න. පවසන්න. මේ තුළින් ටිකක් හෝ ඔහුගේ සිත වෙනස් වී පුනරුත්ථාපනය වීමට කැමැත්තක් දැක්වීමට පුළුවන්” යන්නයි.

නැවත නැවතත් මට කියන්න තියෙන්නෙ සමස්ත සමාජයටම තම දරුවන් ගැන සොයා බලන්න. අවධානය දෙන්න. කුටුම්භය තුළින් යහපත් දරුවන් බිහි වන විට සමාජයට යහපත් දරු පරපුරක් බිහිවීම නිතැතින්ම  සිදුවේවි. මිල මුදලට ගත නොහැකි ආදරය හා කාලය දරුවන්ට දෙන්න.

ස්තුතියි..

පියුම් සිල්වා

සසුන – කෙටි කතාව

ගිනි මද්දහනය පන්සල් භූමියේ තැන් තැන් වලට දැනෙන්නට වූවත් බෝ මළුව යටට ඒ වගක් නොදැනෙන තරම්ය. ඉද හිට හමන හුළඟට එකම තාලෙට සෙලවෙන බෝ පත්‍ර වල හඬ හැරුනම අතරින් පතර ඇහෙන කුරුල්ලෙක් දෙන්නෙකුගේ හඬත්, ඈතින් ඇහෙන දුම්රියේ හඬත් හැරුනම වෙනත් හඬක් ඇහෙන්නේ නැති තරම්ය. 

සුමේද හාමුදුරුවෝ මේ නිස්කලන්කයට බොහෝ සෙයින් ඇල්ම දක්වන්නේය. එහෙත් විටෙක හිතට දැනෙන පාලුව කියා නිම කරන්නට බැරිය. ගෙවුනු දින කීපයේදී භික්ෂුවක අතින් සිදුවිය නොවිය යුතු යැයි සම්මත බොහෝ දේවල් තමන් අතින් සිදු විය. දැන දැනම වැරදි කරත් තාමත් ලොකු හාමුදුරුවෝ තමන් පන්සලේ තබාගෙන සිටින්නේ මුළු රටක් දන්න හඳුනන භික්ෂුවක් නිසා විය හැකි බව හෙතෙම අනුමාන කලේය. ඇතැම් ගිහියන් පවා පංච සීලය අකුරටම රකිද්දී තමන් අතින් කැඩුණු සිල්පද මෙනෙහි කලේය. තුන් වෙනි සිල්පදය තමන්ගේ පාලනයෙන් ගිලිහී ගියේ විශ්ව විද්‍යාල සමයේදී වූවත් ඒ ගැන ලොකු හාමුදුරුවන් වහන්සේ දැනගෙන තාමත් ගතව ඇත්තේ පැය හතලිස් අටටකටත් අඩු කාලයකි. 

‘සුමේදව බාරගත්තේ අවුරුදු හතරෙදි, අම්මගෙ කීමට. මේ වෙද්දි රටක් දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. කොටින්ම තැන්නෙකුඹුරේ සුමේද ස්වාමීන්වහන්සේ කිව්වම රටක් සාධුකාර දෙන හිමි නමක් දැන්. මේ තැනට එන්න සුමේද සෑහෙන්න මහන්සි වුනා. මමත් යමක් කලා. ඒත් සිවුරක් දාගත්තට, තාලෙට කවිබණ කිව්වට, දහම් කරුණු දැනගෙන වුන්නට බුද්ධ පුත්‍රයෙක් වෙන්නෙ නෑ. සුමේද හිතලා තීරණයක් ගන්න. පන්සලේ ඉන්නවා නම් ගමේ කෙල්ලො රෑට රෑට පන්සලට වද්දගන්නවට මගේ කිසිම කැමත්තක් නෑ….

ගෙවුනු රැයේ ලොකු හාමුදුරුවන්ගේ වචන හිත ඇතුලේ දෝංකාර දෙන්නට විය. බෝමළුව යට වෙනදාට දැනෙන සිසිලස මොහොතකින් නැති කර දමන්නට ලොකු හාමුදුරුවන්ගේ වචන ප්‍රමානවත් විය. සුමේද හාමුදුරුවන්ටත් තීරණයක් ගන්නට කාලය එලබ ඇති බව හිත කියන්නට විය. එහෙත් ඊට කලින් තමන් තවත් කෙනෙකුට ඇහුම්කන් දිය යුතුය. සුමේද ස්වාමීන් වහන්සේ පාර බලාගෙන හිදින්නේ ඇය එන තුරුය. 

බෝමළුවට පැමින දෙපැයකට ආසන්නය. අවසානයට සුමේද ස්වාමීන් වහන්සේ ඇයගේ දහදිය වැකුණු රුව දුටුවේය. ගෙවුනු විසි අවුරුද්දම ඇය තමන් බලන්නට පන්සලට ආවාය. එහෙත් එදා ආවාට වඩා අද වෙනස්ය. දිනෙන් දින ඇයත් වයසට යන්නීය. සුමේද හාමුදුරුවන් දකිද්දීම ඇය සිනාසුනාය. බුද්ධ පුත්‍රයෙක් තම කුසින් වදා සාසනයට බාර කිරීම ගැන ඇය හිදින්නේ ආඩම්බරයෙන් වග ඒ හිනාවෙන් කියන්නට විය. සිනහමුසුව පැමිනි ඇය වෙනදා මෙන්ම දෙපතුල් අල්ලා වන්දනා කලේය.

‘අපේ හාමුදුරුවෝ හදිස්සියේ පණීවිඩේ එව්ව නිසා මට මොනවත් ලෑස්ති කරගන්න බැරි වුනා.. ඒත් මම තිබුනු වෙලාවෙන් අග්ගලා ටිකක් හදාගත්තා…

‘අම්මා එද්දි මට එහෙම මොකුත් ගේන්න ඕන නෑ. දානෙට ඔය හැමදේම ලැබෙනවනේ… 

වෙනදා මෙන් නොව අද සුමේද හාමුදුරුවන්ට සිය මවට මුහුණ දී කතා කිරීමට අපහසුය. එහෙත් අද මේ කතාව ඉවරයක් කල යුතුමය. සුමේද හාමුදුරුවන් ගමනේ පෙරමුණ ගත්තේය. දාන ශාලාවේ එක කොණක ආසනයක අසුන් ගත් සුමේද හාමුදුරුවෝ නිවීසැනසිල්ලේ බුදුන් වදින තම මෑණියන් දෙස බලාගෙන උන්නේය. ගිහි කල මව නමින් නන්දාය. ඇයගේ උණුසුම වින්දේ තමන් එක වසරට යන තුරු පමනකි. තාත්තාගේ බීමත්කම නිසා තමන් පංසලට බාර කල විදිය අදටත් මතකය. එදා පටන් ජීවිතයේ එක එක පරිඡේද ගෙවී ගියේ පන්සල තුලදීය. තමාගේ වයසේ අනෙකුත් ළමයි ගෙවා දැමූ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක් තමා ගෙවූ හැටි මතකය. අනෙක් ළමුන් සෙල්ලම් කරද්දී තමනුත් සෙල්ලම් කල විට එය දඟ වැඩක් වූ හැටිත්, තුරුණු වියේදී ඇතැම් දේවල් ගිහි තරුණයන්ට කැප දේවල් තමන් කල අකැප වූ හැටිත් සුමේද හාමුදුරුවෝ සිහි කලේය. බුදුන් වැද අවසන් වූ අම්මා තමන් වෙත එන හැටි බලාගෙන උන් සුමේද හාමුදුරුවෝ අවසානයේ තීරණයක් ගත්තේය. 

‘ඔබ වහන්සේගේ බුද්ධිය ගැන ගමේ හරි කතාව. මට හරි ආඩම්බරයි ඔබ වහන්සේ ගැන… 

අම්මා කියද්දී සුමේද හාමුදුරුවෝ යන්තමින් සිනාසුනේය. මේ අධ්‍යාපනයම, ජනප්‍රියත්වයම ගිහියෙක් විදියට ලැබුවා නම් ගමේ මිනිස්සු ඇත්තටම ආඩම්බර වේද යන සැකය අම්මාගෙන් අසා දැනගන්නට සිතුනත් තවත් ඉවසන්නට වග බලාගත්තේය. 

‘අම්මේ, මම තීරණයක් අරගත්තා. මම අහන්නේ නෑ අම්මා ඇයි මාව මහණ කලේ කියලා. ඇත්තටම මම ඒක අහන්න තමයි උන්නේ. ඒත් මම අහන්නෙ නෑ. පරණ කුණු මට අවුස්සන්න බෑ. ඒත් අම්මේ මේ කසාවත මට බර වැඩියි. ඒහින්දා මම සිවුරු අරින්න තීරණය කලා. ඒ තීරණය ගැන කියන්න මම අද අම්මට එන්න කිව්වේ… 

නන්දාවතී වුන්නේ කිසිම දෙයක් අදාහාගන්නට බැරිවය. වෙනදාට බොහොම සීලවන්තව තමා අමතන ඔහු අද එක හුස්මට කියාගෙන ගිය කිසිම දෙයක් ඇයට අදහාගන්නට බැරිය.

‘එක පාරටම එහෙම වුනේ ඇයි අපේ හාමුදුරුවනේ?

නන්දාවතී සෑහෙන වෙලාවකට පසුව අසද්දී ඔහු පෙර තිබුනු සිනහවෙන්ම ඇය දෙස බැලුවේය. 

‘අවුරුදු ගානක් අම්මේ මේ චීවරය නිසා දුක් වින්දා.. මට තවත් අමරුයි. මගේ අකමැත්තෙන් මාව සාසනේට බාරදුන්නට මම සතුටක් කියලා දෙයක් ජීවිතේ වින්දේ නෑ. ඒකයි ඇත්ත. මගේ ලමා කාලේම මට නැති වුනා. මට බෑ අම්මේ තරුණ කාලෙත් නැති කරගන්න. මේ ඇති. හොඳටම ඇති.. මම එනවා අම්මා එක්ක ගෙදර යන්න. අම්මා ඒකට අකමැතියි නම් මම කොහේ හරි යනවා. මාව නවත්වන්න එපා අම්මේ… 

‘අනේ හාමුදුරුවනේ… 

‘මට හාමුදුරුවෝ කියලා අම්මා පව් පුරවාගන්න එපා. මම අම්මගෙ ලොකු පුතා එච්චරයි. මම එන්නද අම්මේ ගෙදර.. මට උපාධිය තියෙන නිසා රස්සාවක් හොයාගන්න පුලුවන්. ගමේ ඉන්න බැරි වුනොත් අපි කොහේ හරි යමු.. බීලා බීලා තාත්තා මැරුනා. මට අම්ම බලාගන්න පුලුවන් අම්මේ. අනේ මට මෙහෙම ඉන්න කියන්න එපා. එච්චරයි… 

එතනින් එහාට ඔවුන් අතර කතාවක් නොවුනි. නන්දාවතී බෝ මළුවේ තනි වෙද්දී සුමේද හාමුදුරුවෝ තම ජීවිතය වෙනුවෙන් වැදගත්ම තීරණය අරගත්තේ යලිත් කවදාවත් පසුනොතැවෙන බවට තමන්ටම පොරොන්දු දෙමිනි. 

අද තත්වය… 

කලකට පෙර සුමේද ස්වාමීන්වහන්සේ නම් වූ ඔහු හතලිස් හැවිරිදි විශ්ව විද්‍යාල කතිකාචාර්‍ය සුනෙත් රාජගුරුය. බිරිඳ දම්මි රාජගුරුය. පදිංචිය උඩු පේරාදෙණියේ වූ අතර දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙක් වූයේය. නන්දාවතී දැන් බොහෝම මහළුය. එහෙත් තම පුතා , ලේලිය මෙන්ම මුනුපුරන්ගේ ආදරය රැකවරණය නොඅඩුව ලබන්නීය. 

ඉතින් දැන් ජීවිතේ පරිපූර්ණය. 

තක්ෂිලා ඒකනායක.