ගිහින් එන්නම්

ගිහින් එන්නම්

කියන අය ගියේ

ආයෙත් එන්න

හැබැයි ඒ

එයාලගේ වුවමනාවට,

පස්සෙ කතා කරන්නම්

කියපු අය

නිහඬ වුනේ

අපි සමහරුන්ට

වරදක් කළ ගානට,

සමහරු හමුවෙලත්

මඟහැරල ගියේ

අපි දෙයක්

බලාපොරොත්තු වෙයි

කියල තියෙන බයට,

අපි ගැන වැරදිම

හොය හියා ගියේ

ටිකක් හරි ජීවිතේ

පහළට දාන්න තියෙන

උවමනාවට,

ඇත්තටම,

සමහරු හමුනොවුන නම්

හොදයි හිතෙන්නේ

හිතක් රිදෙන බව දැනගනත්

කරන වෙනස්කම් වලට …

Gagana

බය නොවන්න

(2 තිමෝති 1:6 – 7)

ඒ කාරණය නිසා මාගේ අත්තැබීම

කරණකොටගෙන ඔබ තුළ තිබෙන

දෙවියන්වහන්සේගේ දීමනාව පුබුදුකරන හැටියට

ඔබට සිහිකරවමි. මක්නිසාද දෙවියන්වහන්සේ

අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව

බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙනි ඔබගේ සියලුම

කාරණාවල් දෙවිඳුන් තුළ නිසියාකාරව ශක්තිමත්ව ජය

අත්පත් කරගන්නා දිනයක් වේවා!

අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවත් වූ පුදුම දේ

කරන දෙවිදුන් බැවින් උන්වහන්සේගේ දරුවකු වීමේ

ආශිර්වාදය ලබා ඇති ඔබ කිසිවෙකුගේ කිසිදු ප්‍රකාශයකට

බිය නොවන්න.මන්ද  අද දින ඉහත ප්‍රධාන දේව වචනය

වන 2 තිමෝති 1:6,7 හී සදහන්ව ඇත්තේ දෙවියන්

වහන්සේ අපට දුන්නේ බයාදු කමේ ආත්මයක් නොව

බලයෙන් ප්‍රේමයෙන් හික්මීමෙ ආත්මයක්ය කියාය.එබැවින්

අදත් ඔබගේ සිත නොකැළඹේවා.මාගේ සහෝදර

සහෝදරියනි ඔබ යන ජීවන ගමනේදී  ඔබ බියට පත්වන

ප්‍රශ්නයක දී, කරදරයක දී, පීඩාව කදි දේව වචනය

මෙනෙහි කරමින් දේව අභිමුඛත්වයේ  හිඳිමින් යාඥා

කරන්නේ නම් දේව ආත්මයාණන් තුළ තිබෙන්නා වූ

ජ්වලිතකම  හා එඩිතරකම උන්වහන්සේ ඔබට ලබා දෙන

සේක.

එසේ උවද ලෝකාකාරව ජීවත්වන අනෙකුත් මනුෂ්‍යයන්

ඔවුන්ට මුහුණ පෑමට සිදුව ඇති විවිධ අභියෝගයන් නිසා

බයාදු කමට පත්ව සිටිති.ඇතැම් මනුෂ්‍යයන් කවුරුන් විසින්

හෝ ශබ්ද නගා කතා කළ විට පවා මහත් වූ බියකට

පත්වේ.දෙවියන් වහන්සේව අදහන ඔබත් මෙවැනි දේ

වලට බිය වන්නේ ද? එසේනම්

(ක්‍රියා 1: 8)

නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ සැම

කෙරෙහි පැමිණි කල ඔබ සැම බලය ලබන්නහුය.

එවිට ඔබ සැම යෙරුසලමෙහිද මුළු යුදයෙහිද

සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ

සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

මෙම දේව වචනයේ පවසා තිබෙන්නේ

"ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල

නුඹලා බලය ලබන්නහුය" කියාය.ඔබ සෑම මොහොතේම

දෙවිඳුන් තුළ ධෛර්යමත්ව, ශක්තිමත්ව,

ඇදහිල්ලෙන්,විශ්වාසයෙන්,නොබිය ව සිටින්න.ඔබ

උන්වහන්සේව විශ්වාස කරනවා නම් අවසාන මොහොතේ

හෝ උන්වහන්සේ ක්‍රියා කරන්න යනවා.මෙය සිදුවන්නේ

ඔබගේ විශ්වාසය තුළයි.

එම නිසාම ඔබ අද දින ඔබගේ දුර්වලතාවය අවබෝධ

කරගන්න.ඔබ උදෑසන අවදිවී දණ ගසමින් සමිදානෝ

ඉදිරියේ පසුතැවිලි වෙමින් ඔබගේ හදවත උන් වහන්සේට

භාර දෙන්න.එවිට ඔබගේ හදවත දෙස බලන්නා වූ සමිදුන්

ඒ තුළ උන්වහන්සේට නොගැලපෙන යම් කිලිටි දෙයක් වේ

නම් ඉන් පවිත්‍ර වීමට ඔබට උපකාර කරන සේක.එසේම

උන්වහන්සේගේ බලවත් දේව ආත්මයාණන්

කරණකොටගෙන ඔබ තුළ ඇති බයාදුකමේ ආත්මය පහ

කරන සේක.ඔබ උන් වහන්සේව පිළිගෙන උන් වහන්සේව

අනුගමනය කරනවා නම් උන්වහන්සේ මේ හැම බියකින්ම

ඔබව නිදහස් කර ඔබට ජය අත්පත් කර ගැනීමට බලය

නිදහස් කරන සේක.උන් වහන්සේව පමණක් විශ්වාස

කරන්න.

(යෙසායා 41:13)

මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම:

භය නොවෙන්න, මම ඔබට පිහිටවන්නෙමියි

කියමින් ඔබේ දකුණත අල්ලන්නෙමි.

ඔබට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මම පරාද වුනෙමි…

මම පරාද වුනෙමි…

නුඹේ මතකයෙන් සැඟවෙන්නට

වෙර දරන මොහොතක් පාසාම

මම පරාද වුනෙමි….

නුඹෙන් ඈතටම 

දිව යන මොහොතක් පාසාම

මම පරාද වුනෙමි…

නුඹ ගැන තරහවකින්

හිත පුරවගන්නට

වෙර දරන මොහොතක පාසාම

මම පරාද වුනෙමි…

ඉදින්..

මම පැරදුම බාර ගනිමි

මියෙන තුරුම මම

පැරදීමට කැමැත්තෙමි…

සුරේඛා

චායාරූපකරණයට පිවිසෙමු

 චායාරූපකරණයට පිවිසෙමු – 4

කලින් වතාවේ සමු ගන්නකොට කිව්වා වගේම ඔන්න photography 4 වන ලිපියත් සමග මම ඔබ හමුවට ආවා. අපි අද කතා කරන්න යන්නේ කැමරා ගැන. මේ ලිපිය මෙන්න මේ කොටස් වලින් සමන්විත වෙනවා. 

  1. කැමරාවක ක්‍රියාකාරීත්වය සහ කැමරා කාච.
  2. විවිධ කැමරා වර්ග.
  3. DSLR කැමරාවක් හා Mirrorless කැමරාවක් අතර වෙනස.

කැමරාවක ක්‍රියාකාරීත්වය.

කැමරාවක් කියලා කියන්නේ දෘ‍ෂ්‍ය රූපයක් ග්‍රහණය කරගන්නා උපකරණයක්. මේකට ප්‍රධානවම අවශ්‍ය වෙනවා ‘ විවරයක්, එම විවරයෙන් හැර ආලෝකය ඇතුළු නොවන සේ මුද්‍රා තැබූ පෙට්ටියක් සහ ආලෝක සංවේදී පෘෂ්ඨයක්’ 

මතකද අපි පොඩි කාලේ හදපු සිදුරු කැමරාව. අන්න ඒක තමයි කැමරාවක සරලම ආකෘතිය.

මේකෙන් අපට පෙනෙන දර්ශනය ඉතාමත් දුර්වල එකක්. නමුත් නව තාක්ෂණය සහ උපකරණ භාවිතයෙන් අති සුපැහැදිලි දසුන් ලබාගන්න පුලුවන් කැමරා දැන් නිපදවෙලා තිබෙනවා.

අපි බලමු DSLR කැමරාවක දල සැකැස්ම.

නූතන කැමරාවක් ප්‍රධාන වශයෙන් කැමරා බඳ සහ කාච පද්ධතිය ලෙස කොටස් දෙකකට දකින්න පුලුවන්. මේ කාච පද්ධතිය මාරු කිරීමෙන් එකිනෙකට වෙනස් ආකාරයේ චායාරූප ලබාගන්න පුළුවන්. 

විවිධ කාච වර්ග

  1. Zoom lens

චායාරූප ශිල්පීන් අතර සුලභවම දක්නට ලැබෙන කාච වර්ගය වන්නේ මෙයයි. පුද්ගල චායාරූප වල සිට වනජීවී චායාරූප ලබාගැනීම දක්වා උපරිම පරාසයක කාච මාදිලි මෙම වර්ගයේ දක්නට ලැබේ.

බහුතරයක් කැමරාවන් සමග නොමිලයේ ලැබෙන 18 – 140mm හෝ 18 – 135mm කාච මෙන්ම මංගල චායාරූප ශිල්පීන් අතර කාලයක සිට ප්‍රකටව පවතින 70 – 200mm කාචයද zoom lens අතර ඉහළින්ම දක්නට ලැබේ. එමෙන් ම සංචාරකයන් හට පහසුවෙන් රැගෙන යා හැකි 18 – 200mm සහ 18 – 270mm කාචද ඉතාමත් ප්‍රචලිත කාචයන් වේ. 

  1. Prime lens

කැමරාව නිපදවූ කාලයේ පටන් මේ වනතෙක් පැවති කාච වර්ගයක් ලෙස prime lens හැඳින්විය හැක. 

මෙම කාච වලට ඇත්තේ එක් ස්ථාවර නාභි දුරකි. එම නිසා විශාලන හැකියාවක් නැත. 

නමුත් මෙම ස්ථාවර නාභි දුර නිසා මෙම කාච වලට වඩාත් තීවුර, ගුණාත්මක චායාරූප ලබාගැනීමට හැකියාවක් ඇත. නියමිත අවස්ථාවට උචිත කාචය ඔබ භාවිත කලොත් ඉතා උසස් තත්ත්වයේ චායාරූපයක් ලබාගැනීමට ඔබට හැකියාව ඇත.

මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් 85mm Art lens ද අයත් වන්නෙ මෙම prime lens ගණයටම වේ. එමෙන්ම landscape චායාරූපශිල්පීන් අතර 35mm කාචයද ඉතා ප්‍රචලිත කාචයකි.

  1. Telephoto lens

සාමාන්‍ය විශාලන කාචයක් (zoom lens) චායාරූපශිල්පීන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවේ නම් ඔවුන් telephoto lens භාවිතා කරයි. මේවා ඉතා ඉහළ විශාලන අගයන් ගෙන් සමන්විත වේ.

100mm සිට 600mm දක්වා විශාල පරාසයක විශාලන අගයක් සහිත කාචයන් මෙම වර්ගයට අයත්වේ. ඊටත් ඉහළ විශාලන අගයන්ගෙන් සමන්විත telephoto කාචයන් ද දැන් වෙලඳපොලෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.

ආධුනික චායාරූප ශිල්පීන්ට පහසුවෙන් දැරිය නොහැකි ඉහල මිල ගනන් වලට අලෙවි වන මෙම කාචයන් වෘත්තීමය වනජීවී චායාරූප ශිල්පීන් හා ක්‍රීඩා චායාරූප ශිල්පීන් වැළඳ ගන්නේ මහත් කැමැත්තකිනි.

  1. Wide-angle lens

ඔබට වඩා විශාල පරාසයක් ඔබගේ චායාරූපයට ලබා ගැනීමට අවශ්‍ය නම් wide-angle lens එකක් ඉතාමත් වැදගත් වේ. 18mm සිට 35mm වැනි අඩු නාභි දුරකින් සමන්විත නිසා ඔබට පෙනෙන දර්ශනයෙන් වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට හැකියාව ඇත.

මෙම හේතුව නිසා landscape photography හා කලාත්මක wedding photography සඳහා මෙම කාචයන් භාවිතා කරයි.

  1. Fisheye lens

ඔබට wide-angle lens එකකටත් වඩා පුළුල් පරාසයක චායාරූපයක් ලබාගැනීමට අවශ්‍ය නම් fisheye lens එකකට මාරු වීමට සිදුවේවි. මෙම කාචයට ඉතාමත් ඉහළ දර්ශන පරාසයක චායාරූප ලබා ගැනීමේ හැකියාවක් පවතී.

8mm වැනි ඉතාමත් අවම නාභි දුර නිසා මෙය බහුලවම ගෘහ අභ්‍යන්තර චායාරූප කටයුතු සඳහා භාවිතා වේ.

ඉහළින් කතා කරපු ඕනෑම වර්ගයක කාචයක් හරහා ලබා ගන්නා ආලෝකය කැමරා බඳේ ඇති දර්පණයේ (mirror) වැදී ඉහළ ඇති prism viewing system එක හරහා ගොස් viewfinder එක හරහා ඇසට ලැබෙනවා. චායාරූපයක් ලබාගැනීමේදී දර්පණය ඉහළට එසවී ෂටරය විවෘත වෙනවා. එවිට ආලෝකය සෙන්සරය මතට පතිත වී චායාරූපය ග්‍රහණය කර ගැනීම  සිදු වෙනවා.

විවිධ කැමරා වර්ග වල මෙම යාන්ත්‍රණය විවිධාකාරයෙන් සිදු වෙනවා.

චායාරූපකරණය සඳහා වර්තමානයේ භාවිතා වෙන විවිධාකාර කැමරා වර්ග.

  1. DSLR cameras.
  2. Mirrorless cameras.
  3. Compact cameras.
  4. Instant cameras.
  5. Bridge cameras.
  6. Action cameras.
  7. 360 cameras.
  8. Mobile cameras.
  9. Medium format cameras.

සාමාන්‍ය චායාරූප ශිල්පීන් ලෙස අප බහුලවම භාවිතා කරන්නේ DSLR cameras සහ Mirrorless cameras ය. ඒ නිසා අපි මේ දෙකේ වෙනස හඳුනා ගනිමු.

Mirrorless යන නමින්ම මෙම කැමරා දෙකෙහි ප්‍රධාන වෙනස හැඳින්වෙන බව ඔබටත් වැටහෙනු ඇති. 

එනම් DSLR කැමරා වල, ආලෝකය viewfinder වෙත ගමන් කරවන දර්පණ (mirrors) පද්ධතිය mirrorless කැමරා වල අඩංගු නොවේ. Mirrorless කැමරා වල ආලෝකය කෙලින්ම පතිත වන්නේ සෙන්සරය මතටයි. කැමරා නිශ්පාදකයින් DSLR කැමරා වල ඇති Optical viewfinder වෙනුවට mirrorless කැමරා වලට Live viewfinder එකක් ලබාදී ඇත. එය කැමරාවේ ප්‍රධාන තිරය මෙන්ම වූ කුඩා නමුත් ඉහළ ගුණාත්මක භාවයකින් යුත් LCD තිරයකි. 

එමෙන්ම mirrorless කැමරා වල දර්පනය එසවෙන යාන්ත්‍රණය නොමැති නිසා චායාරූපයක් ලබා ගැනීමේ වේගය සාපේක්ෂව වැඩිය. එමනිසා burst mode එකේ චායාරූප ගැනීමේදී මිනිත්තුවකට ලබාගත ගත හැකි චායාරූප ප්‍රමාණය වැඩිය.

කැමරා බඳ සාපේක්ෂව බරින් අඩු නිසා චායාරූප ශිල්පීන් mirrorless කැමරාවලට මහත් ඇල්මක් දක්වයි. 

මෙම කලාපයේ ලිපිය මම මෙතනින් අවසන් කරනවා. මෙහි ඉතිරි කොටසින් ලබන කලාපයේ අපි කතා කරමු අනෙක් කැමරා වර්ග ගැන. එතෙක් ඔබට ජය!

බිනර සිසිරංජන

පිනි බිංඳු (1 කොටස)

බැංකුවෙන් මම එලියට එද්දි දවල් කෑම වෙලාවටත් ලං වෙලා. පැයක් විතර පෝලිමේ හිටගෙන ඉදලා ගත්තු පෙන්ශන් එක ආයෙත් වතාවක් ගනං කරලා පර්ස් එකට දාගත්තු මම ඔරලෝසුව දිහා බැලුවේ ඊළඟ බස් එකට නගින්න තියෙන වෙලාව බලන්න. තවත් එහෙමම විනාඩි හතලිස් පහක් තියෙනවා. පරිසරයේ තියෙන ගිනි රස්නෙ තව වැඩි වෙන්නෙ ඇතාගල හින්දයි. මොන තරම් කාෂ්ඨකයක් තිබුනත් ඇතාගල මුදුනේ තම්පත් කරලා තියෙන බුදු පිලිම වහන්සේ දිහා බැලුවම හිතේ තියෙන සියලු දුක්ඛ දෝමනස්සයන් වගේම විඩාවත් මොහොතකට දුරුවෙනවා. 

බැංකුවේ හිටපු පැයට මගේ උගුර කටත් වේලිලා ගිහින්. බස් එකටත් තව වෙලාව එහෙමම තියෙන එකේ මම හෙමින් හෙමින් ඇවිදගෙන ගියේ කූල්ස්පොට් එකක් හොයාගෙන. යන ගමන් අතේ තිබුනු පොඩි නොකියා එකෙන් කුමාරිට ඇමතුමක් ගත්තේ මම එනකම් ඇය බත් කටක් නොකන නිසයි. 

‘මහත්තයා… 

වචනයක් කියන්නත් කලින් ඇය මාව හදුනනවා..

‘කුමාර්‍රි..මම පෙන්ශන් එක ගත්තා…බස් එකට එහෙමමයි වෙලාව. මම මොනවා හරි බීලම එන්නම්. එතකම් ඔයා කන්න..

‘එහෙම ඕන නෑ. මාත් තේ බිව්වා. තාම බඩගිනි නෑ.. මහත්තයා හෙමින් එන්නකෝ..

‘එද්දි මොනවාහරි ගේන්න තියෙනවද?

‘හ්ම්ම්.. එහෙම මොකුත් නෑ. මහත්තයා පරිස්සමට එන්න. වැඩිය තෙල් ජාති එහෙම කන්න එපා.. මහත්තයට හොඳ නෑ… 

කුමාරි එහෙම කියද්දි මම ඇමතුම විසන්දි කලේ හිනාවෙමින්. මටත් වඩා මම ගැන හිතන කුමාරි අවුරුදු තිස්පහක් මාත් එක්ක එකට ජීවත් වෙන ප්‍රිය බිරිඳයි. තරුණ කාලේ ඉදන් මේ වෙනකම් ඇය මගේ හොඳම යෙහෙලියයි. පිරිමියෙක්ට ලබන්න පුලුවන් උතුම් ගනයේ ගැහැණියක් තමයි කුමාරි කියන්නෙ. කාලයක් මම හින්දා, ඊටපස්සෙ දරුවෝ නිසා ජීවිතේ පුදුමාකාර කැපකිරීම් කරපු කුමාරි ගැන මගේ හිතේ තියෙන්නෙ වචන වලින් කියලා නිම කරන්න බැරි ආදරයක්.

‘ආහ් විජේදාස සර් දැක්කේ සෑහෙන කාලෙකින්…

කුමාරි ගැන හිත හිතම මම කූල්ස්පොට් එක ළඟට ඇවිත්.අවුරුදු ගානක් තිස්සෙ මේ කඩේ කලේ සමරවීර. මාත් එක්කම ඔහුත් වයසට ගිහින්. ඒත් පුරුදු ලෙංගතුකම තාමත් එහෙමමයි. 

‘ඉස්කෝලේ කාලේ වගේ නිතර දෙවේලේ දැන් ටවුමට එන්නෙ නෑ සමරේ. නෝනා හදලා දෙන කෑමක් කාලා මම වත්තේ පිටියේ වැඩක් කරනවා. දරුවොත් ලංකාවේ නෑ. එයාලත් බලන්න යනවා..

දරුවෝ දෙන්නම පිටරට වල උන්නත් මටවත් කුමාරිටවත් විශේෂ සැලකිලි ඔවුන්ගෙන් ලැබුනේ නෑ. කටට ආවට දරුවෝ බලන්න රට රට වලට යනවා කියලා සමරෙ එක්ක කිව්වා මිසක් මමවත් කුමාරිවත් දුව ඉන්න කැනඩාව වගේම පුතා ඉන්න ඇමරිකාවත් දන්නේ ලෝකසිතියමෙන් දැකලා විතරයි. ඒ හැරුනම අපි දෙන්නා ඒ රටවල් පැත්තේ පස් පාගලා නෑ. ඒත් මේක ලංකාව. සමහර දේවල් ඒ විදියට තවත් අයට කියද්දි කතාව එතනින් නතර වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගෙ සැලකිලි ගැන. 

‘විජේ ඉස්කෝලේ මහත්තයයි නෝනයි දැන් දුව හරි පුතා හරි ළඟ පදිංචි වුනා නම් හොඳයිනේ. මෙහේ ඉතින් ජීවත් වෙන්නත් අමාරුයි නේ.. 

සමරේගේ කතාව තවත් නවතින්නෙ නැති හැඩයි. 

‘ ඉපදුනු පොළව දාලා ඔය සීතලේ ගිහින් ඉන්න අපට බෑ සමරේ. මට කල්කිරි එකයි සමරෙගෙ එලවලු රොටියකුයි ගේන්නකෝ. අම්මපා මට තාමත් ගෙදර ඉද්දි වෙලාවකට මෙහෙට ඇවිත් එළවලු රොටී කාල යන්න හිතෙනවා….

‘විජේ ස’ ආසම දේනේ.. ආහ් මහත්තයෝ.. තව මොනවා හරි ඕන නම් කියන්න. බස් එක එන්න වෙලාව එහෙමමයිනේ.. 

සමරෙගෙ කතාව එතනින් අවසන් වුනු එක මගේ හිතට පුදුම සැනසීමක් එකතු කලා. සති අන්තයේ ලංකාදීප පත්තරය කියවන ගමන් කල්කිරි බොන එක මගේ ඉස්සර ඉදන්ම පුරුද්දක්. කුමාරි බනින්නෙම මේ පුරුදු වලට. ඒත් සමහර ඇබ්බැහිවීම් නවත්තන්න අමාරුයි කියන එක කුමාරි තවම දන්නෙ නෑ. 

පත්තරේ මුල් පිටු වල තිබුනෙම දේශපාලනය ගැන. ඊටපස්සෙ දරුවො දෙමව්පියන්ට නොසලකල පාරට දාන සිදුවීම්, ඒ හැරුනු කොට රසවත් කිසිම දෙයක් පත්තරේ තිබුනෙත් නෑ. දරුවො නිසා මොහොතකට හිත රිද්දගත් මම එකම දියනිය පියාව බලුකූඩුවට දාපු විස්තරය පත්තරේ කියවන්න ගියේ නෑ. කුමාරි කියනවා වගේ පෙන්ශන් එකෙන් ජීවත් වෙන අපි දෙන්නා පාරට ඇදලා දාන්න කාටවත් බෑ. 

පත්තරේ එහෙමම පැත්තකින් තියපු මම හිස එසෙව්වේ උපැස් යුවල ගලවන්න. දැකලා පුරුදු රූපයක් මගේ ඇස් ඉස්සරහා පෙනෙද්දි බාගෙට ගලවපු ඇස් කණ්ණාඩි දෙක ආයෙත් දාගත්තේ හිතට ආවේ හරිම නමමද කියලා තහවුරු කරගන්න. 

මගේ මතකය, ගෙවුනු අතීතය වගේම හර්ද සාක්ෂිය නිවැරදි නම් ඒ ඇයමයි. මම තරම් වයසට නොගියත් වල යන්තමින් සුදු වුනු කොණ්ඩයට, රැලි වැටුනු හමට බෑ අයගේ සුන්දරත්වය නැති කරන්න. තාමත් ඒ කාලේ වගේමයි ඇය. ඉස්සරට වඩා ඕන නම් අගල් දෙකක් තුනක් මහත් වෙලා ඇති. 

‘ සුනේත්‍රා… 

මටත් නොදැනීම ඒ නම මගේ මුවෙන් ගිලිහෙද්දි ඇය මුව පුරා සිනාසුනා. ඒ හිනාවෙන්ම ඇය මගේ ඉදිරිපිට වාඩි වෙද්දි මම ගොළුවෙක් වගේ ඇය දිහා බලාගෙන උන්නා. 

‘මහී නේද? කොච්චර කාලෙකින්ද? මම ඒත් ඔයා ගැන නිමල් ගෙනුත් ඇහුවා. එයා කිව්වෙ මලියදේවෙන් පෙන්ශන් ගියාට පස්සෙ ඔයා ටියුශන් නැවැත්තුවා කියලා. ඉතින් මහී, කුමාරි හොඳින්ද? 

මම අපහසුවෙන් සිනාවෙන්න උත්සහා කලා. පෙනුමෙන් යන්තම් වෙනස් වුනාට ඇයගේ වචන නම් තාමත් එහෙමයි.මීට අවුරුදු ගානකට කලින් ඇය ඉදිරියේ ගොලු වුනු මම එදා වගේම අදත් ගොළු වෙලා. 

‘කුමාරි හ්ම්ම්.. ගෙදර.. සුනේ..ත්…රා කොහේ ආව ගමන්ද?

අමාරුවෙන් ගොතා ගත්ත වචන ටික යම් සහනයක් මගේ හිතට ගෙනාවත් සුනේත්‍රා දැකීමෙන් හිරිවැටුනු හිත තාමත් එහෙමමයි. 

දෙවනි කොටස ඊළග කලාපයෙන්
තක්ෂිලා ඒකනායක

මණිමේඛලා

දුටුගැමුණු රජතුමාගේ නාග බිසව

          ඔන්න අද නමි මං ඔයාලාට අරන් ආවේ ජනප්‍රවාද කතාවක්…. එ දුටුගැමුණු රජතුමාගේ ජීවිතය බිලිගත් නාග කන්‍යාව මණිමේඛලා ගැන…. හරි අපුරු කතාවක්…. අද කාලේ නමි සමාජයට ආදර්ශවත් කතාවක්…

      දන්නවා ඇතිනේ දුටුගැමුණු රජතුමාට කොයිතරමි නමි පරිවාර ස්ත්‍රීන් සිටියාද කියන්න .. පරිවාර ස්ත්‍රීන් 16000ක් සිටි බව ථුපවංශයේ සදහන් වෙනවා… හමිමො මාර ගොඩක් නේද?

    එ වගේම ඔයාලට මතක ඇති රුවන්වැලි මහා සෑය පිළිබදව පෙර මා ලියු ලිපිය, එහි සටහන් කරන්නට නොහැකිවුවක් අද මුලින්ම කියන්නමි… ස්වර්ණමාලී මහා සෑයට නම ලැබුණු හැටි… එකත් අපුරු කතාවක්….

    මහා සෑය හදන්න මහමෙවුනා උයනේ ඇති වසර සිය දහස්‌ ගණනක්‌ පැරණි තෙළඹු ගසක්‌ කපා ඉවත්  කිරීමට රජතුමාට සිදුවුවා…. ඉතිං මෙි ගස කපා ඉවත් කිරීමට විරුද්ධව දෙපාර්ශ්වයකගේ දැඩි  විරෝධයට මුහුණ දීමට රජතුමාට සිදු උනේ අනපෙක්ෂිත විදිහට.

      එ ඇයි කියනවානමි මෙි ගස කපා ඉවත් කරන්නට විරුද්ධ උනේ,  රන් තෙළඹුව වසර දහස්‌ ගණනක්‌ සිය  වාස භාවන කර ගෙන සිටි ස්‌වර්ණමාලි නම් වූ වෘක්‍ෂ දේවතාවිය ගෙන් සහ වසර  සිය ගණනක්‌ මෙම වෘක්‍ෂයට වැඳුම් පිදුම් කළ ගාඬි ජනතාව ගෙන්…

       රජතුමා ස්‌වර්ණමාලි වෘක්‍ෂ දේවතාවියට තෙළඹු වෘක්‍ෂයෙන් බැස වෙනත් විමානයකට වඩින ලෙසට ආරාධනය කළේ පොරොන්දු පිට පොරොන්දු දිලයි…   වෘක්‍ෂ  දේවතාවියගේ නමින් චෛත්‍යය නම් කරන්නත්, කිසිදු කුල භේදයකින් තොරව, ගාඩි  ජනතාවට ද චෛත්‍යය වැඳීමට ඉඩ ප්‍රස්‌ථාව ලබා දෙන බවටත් රජතුමා පොරොන්දුවු  නිසා විරෝධතාවන් නිමාකර ගැනීමට රජතුමා එදා සමත්වි තිබුණා… එයයි ස්වර්ණමාලී නාමය මහා සෑයට ලැබුණු හේතුව…

       ඉතිං කවුද මෙි මණිමේඛලා … කවුද මෙි දුටුගැමුණු රජතුමාගේ රහස් බිරිය…. එ ජනප්‍රවාද කතාවට අද යමු අපි…..

         දවසක් අනුරාධපුර රජ මාළිගාව පිහිටි ඇතුළු නුවර සතර වාහල්කඩ දොරටුවලින් අඬ බෙරකරුවන් සිව් දෙනකු, රැකවලුන් සමග අනුරාධපුර පසල් දනව් කරා පියමන් කළේ,  රාජ නියෝගයක්‌ ඉටු කිරීමට.. එදා ගම් දනව් සිසාරා අඬබෙර ගසමින් ඔවුන් නිවේදනය  කළේ, මහමෙවුනා උයනේ පිපෙන මල් කිසියම් අයෙක්‌ විසින් හොර රහසේ නෙළා ගෙන යන  නිසා, එ හොරා අල්ලා දෙන කෙනෙකුට රජතුමා විසින් ඇතෙක්‌ බරට වස්‌තු දෙන බවට කල නිවෙිදනය….

     එකාලේ රාජකීය මල් උයන හැඳින්වූයේ, මහමෙවුණා උයන  නමින් කියලා ඔයාලා දන්නවානේ… වසරේ සෑම දිනකම මෙි උයනේ විවිධ මල් වර්ග දැක ගන්න පුළුවන්.. දැන් නමි ඉතිං එහෙම නෑ…….

       උද්‍යානය රැක බලා ගැනීමට රැකවළුන් යොදා සිටියත්, මෑතක සිට කවුරුන්  හෝ මල් සොරා ගෙන යන බවක් රජතුමාට සැලවි තිබුණා.. එත් ඉතිං මල් සොරා අල්ලා ගැනීමට දිවා රැ රැකවළුන් යෙදුවත් මල්  සොරා අල්ලා ගැනීමට තබා දැක බලා ගැනීමටවත් නොහැකි උනා ඔවුන්ට … එ නිසයි අවසානයේ මෙලෙස අඬබෙර ගසා හෝ සොරා හෝ සොරුන් අල්ලා ගැනීමට මහජන සහාය පැතීමට රජතුමාට සිදු උනේ….

        මෙහෙම අඬබෙර ගසා යද්දි එක්‌ පසල් දනව්වක ආත්තම්මා කෙනෙක්‌ (මහලු ස්‌ත්‍රියක්‌)  අඬබෙරය නවතා, තමන්ට මල් හොරා අල්ලාදීමට හැකි බව ප්‍රකාශ කර තිබුණා… රාජ පුරුෂයන්  ඇය රජතුමා හමුවට රැගෙන ආ පසු, ඇය රජතුමාට කියා සිටියා තමන්ගේ උපදෙස්‌  අනුව කටයුතු කරන්නේ නම්, මල් හොරා අල්ලා දිය හැකි බව…

     ඉතිං මෙි ආත්තම්මාගේ උපදෙස්‌ අනුව සති පිරිත් දේශනාවක් සඳහා ජය ශ්‍රී මහා  බෝධි මළුවේ පිරිත් මණ්‌ඩපයක්‌ ද ඉදි කළා… උත්සවශ්‍රීයෙන් සති පිරිත් දේශනය ආරම්භ කළ අතර විශාල පිරිසක්‌ එය ශ්‍රවණය කිරීමට පැමිණ සිටියේ අත්තමිමා බලාපොරොත්තු උනා වගේමයි…..

         ඉතිං මෙහෙම ආත්තම්මා පිරිත්  ශ්‍රවණාගාරයේ පිටුපසටම වී ඉතාමත් විමසිල්ලෙන් යුතුව පිරිත් ශ්‍රවණය කරන විට නොසිතු ලෙස, මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්ම රූමත් තරුණියක පැමිණ වටපිට බලා  ආත්තම්මා අසලින්ම වාඩි ගත්තේ එතැන ඉඩ තිබුණු නිසා.. නිල් නුවන් දෙනෙතකින්  සහ පුළුල් නළල් තලයකින් හෙබි, ඉතාමත් සුන්දර යෞවනියක වූ ඇය, පිරිත් දෙසුම ශ්‍රවණය කිරීමට පැමිණ තිබුණේ තනිවමයි…

       එකලත් දැන් මෙන්ම යුවතියක රැයක නොව දිවා  කාලයේද තනියම ගමන් බිමන් ගියේ නෑ., එසේ ගමන් ගියේ නම් ඒ වැඩිහිටියන් සමගයි.. මෙම රූමතිය ගැන ආත්තම්මාට කිසියම් සැකයක්‌ සහ කුතුහලයක්‌ ඇති වුණත්, ඇයට නොදැනෙන්නට විමසිල්ලෙනුයි සිටියේ..

      මේ සුරූපිනිය පිරිත්  දේශනයට සවන් දුන්නේ ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුවයි… හිරු නැ⁣ඟෙන්නට පෙර ඇය  මණ්‌ඩපයෙන් පිටව යන සැටිත් අත්තමිමා බලාගෙනයි සිටියේ…. පසු දින සොයා බැලීමේ දී පෙනී ගියේ, පෙර දින  රාත්‍රියේ කිසිවකුත් මල් සොරකම් කර නැති බවයි.

        පසු දින ද ඇය පිරිත් ශ්‍රවණය කිරීමට සුපුරුදු වෙිලාවට පැමිණියා, නමුත් එදා තනිව නොවෙයි ඇය මෙන්ම රුවැති සම වයස්‌ ඇත්තියක සමග… පැමිණි දෙදෙනාම ආත්තම්මා වාඩිවී සිටි පැදුරේම වාඩි වූයේ ලෙන්ගතු  සිනහවකින් මුව සරසා ගෙනමයි….

      මේ විදියට තවත් දින කිහිපයක්‌ ගතවෙද්ම මෙම සුරූපි නන්නාඳුනන්නිය සමග ආත්තම්මා මිතුරු වෙන්න උත්සාහ කලා…. තමන් අනුරපුරට තරමක්‌ ඈත ගම්මානයක වෙසෙන නිසා වේලාපහින් ඒමට නොහැකි බව අත්තමිමාට කියා සිටියා.. දින ගෙවමින් සති පිරිත් දේශනාවෙි අවසන් දිනට එළඹුණා. මේ සත් දින තුළ කිසිවකුත් උයනින් මල් නමි සොරා ගෙන ගොස් නැති බව අත්තමිමාට දැනගන්න ලැබි තිබුණා..

      වෙනදා මෙන් සුපුරුදු වෙිලාවට පිටත්ව යැම සඳහා ඇයත් ඇයගේ  මිතුරියත් නැගී සිටිනවාත් සමගම ආත්තම්මා ක්‍රියාත්මක උනා ඉක්මනින්…තරුණියගේ උතුරු සළුව තමන්ගේ අතට ගත්තා.. යුවතිය සළුව දෙන ලෙස ඉල්ලා සිටිමින් බැගෑපත්ව හැඬුවත් අත්තමිමා නෙවෙයි ඇයට සළුව දුන්නේ… මෙි සිදුවිම නිසා ඇය සමග පැමිණි අනෙක්‌ යුවතිය සැණෙකින් පැනලා ගියා…

      එහෙත් ආත්තම්මා මේ කිසිවක්‌ නොඇසුනු කනින්  යුතුව උතුරු සළුව ගෙන ගොස්‌ රජතුමා අතට පත්කර කියා සිටියෙ මෙතෙක්‌ කල්  මල් උයනේ මල් සොරකම් කළ මල් හොරා මැය බව ස්ථිරවම පවසාමයි… ඉන්පසුයි රජතුමා ඇය ගෙන් කරුණු  විමසුවෙි..

        ඇය මල් උයනේ මල් සොරකම් නොකළ බවත්, කඩා ගත් මල් ජයසිරිමාබෝ සමිඳුන්ට සහ ස්වර්ණමාලී මහා සෑ රදුන්ට පූජා කල බවත් ඇය පැවසූවා… රජතුමා දැඩිව ඇගෙන් ප්‍රශ්න කලා…. බොහෝ වෙිලාවක්‌ නිහඬව සිටි ඇය තමා කාගේ  කවුරුදැයි රජතුමාට හෙළිදරව් කලේ බියෙන්….

      ඇය කල්‍යාණ පුරවරයේ ජයසේන  නම් වූ නා රජුගේ දියණිය වන නමින් මණිමේඛලා බව පැවසු පසු, රජතුමා ඇයට කියා සිටියේ නැවතත් නා ලොවට යාමට දිය නොහැකි බවයි…. තමන් ඇය විවාහකර ගන්නා බවත් රජතුමා පැවසූවා… ඇය කොතරම් බැගෑපත් වුවත් රජතුමා තමන්ගේ තීරණය නමි වෙනස්‌ කලේ නෑ….

        මණිමේඛලා කුමරියට සිදු වූ අකරතැබ්බය ඇයගේ යෙහෙළිය විසින් කාල්‍යණ පුරවර ජයසේන රජතුමාට දන්වා සිටියේ හඬා වැළපෙමින්… සිද්ධිය ඇසූ නා රජතුමා, ඉමහත් කෝපයට පත්වි නාග (සේවක) යෙකු කැඳවා කියා සිටියේ කෙසේ හෝ සිය දියණිය රැගෙන ගෙන එන ලෙසයි…

         මේ වනවිට දුටුගැමුණු රජතුමා දිවා රෑ කාලය ගත කළේ රත්නමාලි සෑ මළුවේය.  එතුමාගේ අභිප්‍රාය වූයේ හැකි පමණ ඉක්‌මණින් මෙම චෛත්‍ය රාජයාගේ වැඩ නිම  කිරීමයි. බොහෝ අවස්‌ථාවල රාජ සභාව පැවැත්වූයේද සෑ මළුවේමයි…

      එක්‌තරා  දිනෙක මහ සෑ මළුවේදී නාගයකු රජතුමාට දෂ්ඨ කලේ කාටත් කිසිවත් සිතාගත නොහැකි වද්දි…. කපුරුනාථ නම් වූ රාජකීය විෂ වෛද්‍යවරයා, ක්‍ෂණයකින් කරන ලද ප්‍රතිකාර නිසා රජතුමා ඉක්මනින් සුවපත් උනා. මේ  ආදි වශයෙන් වරින්වර සය වතාවක්‌ රජතුමාට විවිධ ස්‌ථානවල සිට නාගයන් දෂ්ට කළත්, රාජ වෛද්‍ය කපුරුනාථ විසින් රජතුමාව සුවපත් කරා…

      මෙතරම් අවස්‌ථා ගණනක්‌ නාගයින් දෂ්ට කිරීමට හේතුව, නාග කුමරියක සිරකර ගෙන සිටීමේ හේතුවෙන්  කරන ලද නාග ශාපයක්‌, බව රාජ වෛද්‍යවරයා ඇතුළු රටවැසියන්ගේ රජුට සැළකර සිටියත් රජු ගණන් ගත්තේ නෑ….  නාගයන් දෂ්ට කිරීමට පැමිණි සෑම අවස්‌ථාවකම එම නාග පෝතකයන් ඉතාමත් රහසිගතව මණිමේඛලා බිසව හමු වී යම් යම් උපදෙස්‌ ගත්තේ ඉක්මනින් රජු මරා දමන්නයි…

     සය වැනි වරටද  නාගයකු දෂ්ඨ කිරීමෙන් පසු, මණිමේඛලා (නාග) බිසව මුදා හරින ලෙස රාජ සභාවේ  උපදේශකයන් ද රජතුමාට උපදෙස්‌ දුන්නත් එතුමා එය ඉවත දැම්මේ, මේ වනවිට මේ බිසව ගැබ් ගෙන සිටි නිසායි… සය වරක්‌ම නාගයන්ගේ දෂ්ට කිරීම්වලට ගොදුරු  වුවත්, කපුරුනාථ රාජ වෛද්‍යවරයා නිසා දුටුගැමුණු රජතුමාගේ ජිවිතය බෙිරුණා…  මේ නිසා රාජ වෛද්‍ය කපුරුනාථයන් සමගද නා රජතුමා සිටියේ දැඩි කෝපයෙන්….  මේ සෑම වරකම නාගයන් දෂ්ඨ කළේ මහ සෑ මළුවේදී හෝ ඒ ආසන්නයේමයි….

        සත්වැනි වරටත් නාගයකු යෑවීමට නා රජු පියවර ගත් අතර, මෙවර ඒ සඳහා තෝරා  ගත්තේ, වාසුල, නම් වූ, තම ඥාති පුත්‍රයෙකු වූ නාග මානවකයෙක්…… රජතුමාට දෂ්ට කිරීමට පෙර ඔහු සිය ඥාති නාග බිසව හමුවුවෙි සැළසුම් සකස් කරන්න.. නමුත් ඇය ඔහුට කීවේ, තමා මේ වනවිට  ගැබ් ගෙන ඇති බවයි… පුතෙක්‌ ඉපදුණහොත් අනාගතයේ මෙරට රජකම් කිරීමට රජතුමා එකග කරවා ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇය කියා සිටියා… එ නිසා අනතුරක්‌ නොකරන ලෙසට ඉල්ලා සිටින බව පිය රජතුමන්ට දන්වන ලෙස මණිමේඛලා උපදෙස්‌ දී තිබුණා…

       කල් යත්ම දුටුගැමුණු රජතුමාට දාව මණිමේඛලා නාග බිසව පිරිමි දරුවෙකු ප්‍රසූත කළා… කල් යල් බලා එක්‌තරා දිනයකදී ඇය සිය පුත්‍රයා අනාගතයේදී මෙරට රජු බවට  ප්‍රකාශයට පත් කරන මෙන් රජතුමාගෙන් ඉල්ලා සිටියා.. එයට පිළිවඳන් දෙමින් රජතුමා නමි කියා සිටියේ, ඔහු තමාගේ පුත්‍රයා වුවත් රාජ වංශයෙන් පිට කෙනෙකුට  මෙරට පවතින සම්ප්‍රදායට විරුද්ධව ක්‍රියා කළ නොහැකි බවයි. රජතුමාගේ ප්‍රකාශයෙන් නා බිසව පත් උවෙි කම්පනයකට… එමෙන්ම ඇය සිය පියාණන්ට සම්පූර්ණ  විස්‌තරයම පණිවිඩකරුවෙකු මගින් දැන්වුවෙි කෙන්තියෙන්…

     සිය දියණියගෙන් ලද පණිවිඩයෙන් දැඩි ලෙස කිපුණු නා රජතුමා පෙර සඳහන් කළ තම ඥාති පුත්‍ර වාසුල කැඳවා මෙවර දුටුගැමුණු රජතුමා කෙසේ හෝ මරා දමන ලෙසට උපදෙස්‌  දුන්නා… රජතුමාට දෂ්ට කිරීමට පෙර, රාජකීය විෂ වෛද්‍ය කපුරුනාථ මරා දමන  ලෙසටත් ඔහු නියෝග කලා…

       විෂ වෛද්‍ය කපුරුනාථයන් දිනක්‌ නිවසේ සිට රජ  මැඳුරට යන අවස්‌ථාවක මහමග ඇති අම්බලමක මොහොතකට නතරවි ගිමන් නිවා ගත්තා.  ඒ මොහොතේ එහි රූමත් කඩවසම් තරුණයෙකු ද ගිමන් නිවා ගැනීමට නතරව සිටියේ කපුරුනාථ එක්ක මිත්‍රකමක් ආරම්භ කරමින්….  ඔවුන් දෙදෙනා ආගිය තොරතුරු කතා කරන අතර වාරයේ, තරුණයා කීවේ, කැලණියේ සිට  ස්‌වර්ණමාලි චෛත්‍ය වන්දනාමාන කිරීමට යන බවයි. තමා දැනට සර්ප විෂ වෙදකම ගැන  ඉගෙන ගන්නා බවද තරුණයා පැවසූවා..

       කපුරුනාථ වෛද්‍යවරයාගේ සිහියට ආවේ තරුණ වියට එළඹෙමින් සිටින සිය දියණිය… ඇය ද මේ වනවිට තමන්ගෙන් සර්ප විෂ වෙදකම හදාරන නිසාත්, තරුණයාගේ ගති පැවතුම් සහ හැසිරීම් රටාවෙන් පෙනෙන ඔහු ඉතාමත් හොඳ පුද්ගලයකු බව නිසාත්,  තමන්ගේ බෑනා කරගන්න කපුරුනාථට සිතුනා…. එ නිසමායි කපුරුනාථ තමන් රාජකීය විෂ වෛද්‍යවරයා බව  පැවසුවේ. තරුණයා ඔහුගේ දෙපා නැමද තමන්ට අභිනවයෙන් ගුරුවරයෙකු හමුවුන බව ප්‍රකාශ කලේ සතුටින්..

        නොයෙක්‌ කතා මධ්‍යයේ වෙදැදුරූ තැන ප්‍රකාශ කළේ, රජතුමාට මේ වනවිට සය වතාවක්‌ නාගයන් දෂ්ඨ කළත්,  තමන් ඔහු බේරා ගත් බවත්, තමන් ජීවත්ව සිටින තුරු කිසිම නාගයකුට රජතුමා මරා දැමිය නොහැකි බව ප්‍රකාශ කළේ මහා උද්දාමයෙන්..

        තරුණයා විෂ වෙදකම ඉගෙන ගන්නා අයෙකු නිසා, අමාවක දිනෙක එළඹෙන විෂ හෝරාවේ දී නයකු දෂ්ඨ කළහොත් අනිවාර්යෙන්ම මියයන බව තමන්ගේ නවක ගෝලයාට කියා දුන්නේ ගුරු  මුෂ්ඨියකින් තොරවයි… තරුණයාට අවශ්‍ය සියලු තොරතුරු දැන් සම්පූර්ණයි.  වෛද්‍යවරයාගේ සඳහන් කිරීමට අනුව අද අමාවක පෝය දිනයයි. තවත් ස්‌වල්ප මොහොතකින් අවශ්‍ය විෂ හෝරාව එළඹෙන නිසා ඉතුරුව ඇත්තේ ක්‍රියාවට නැංවීම පමණයි….

         විෂ හෝරාව එළඹුන සැණෙකින් නාග වෙස්‌ ගත් තරුණයා ප්‍රථමයෙන්ම වෙදදුරාට දෂ්ඨ කලා.. තමන්ට වැරදුන බව වෙදදුරුට පසක්‌ උවත් ඔහු ප්‍රමාදයි… ඔහු  අසල තිබුණු ඖෂධ පැළෑටියකට අත දිගු කර ගෙන මැරී වැටුනා..

        නාගයා ඒ සමගම සෑ මළුවට ගොස්‌ එහි වාහල් දොරටුවකට නැග, තවත් ස්‌වල්ප මොහොතකින් රජතුමා එම  වාහල් දොරටුවෙන් පිටවෙද්දීම ඔහුගේ හිසටම දෂ්ඨ කලා.. රජතුමාට සිහි විසඥ විමත් සමග රාජ පුරුෂයන් විෂ වෛද්‍යවරයා සොයා ඔහුගේ නිවසට යන අතර මගදී දුටුවේ,  මාවතක්‌ අයිනේ මැරී වැටී සිටින වෛද්‍යවරයාව. ඉන්පසුයි ඔවුන් නිවසට ගොස්‌ වෙදැදුරුගේ  දියණියට සිද්ධිය පැවසූවෙි..

      ප්‍රතිකාර කිරීමට පැමිණෙන දියණිය  දුටුවේ තම පියා එක්‌තරා දිසාවකට අත දිගුකර ගෙන මැරී සිටින ආකාරයයි. ඒ ගැන  විපරම් කළ ඇයට දැක ගත හැකි වූයේ, විෂකුම්බා නම් ඖෂධ පැළෑටිය. එම පැළෑටිය  උගුලා ගෙන රජ මාළිගාවට ගිය ඇයට දැක ගන්නට ලැබුණේ සිහි විසඥව සිටින රජතුමා…  ඇය රජතුමාව තනකිරි මිශ්‍ර බෙහෙත් ඔරුවක බහා අවශ්‍ය උපදෙස්‌ ලබා දී ආපසු නිවසට ගියේ  සිය පියාණන්ගේ අවසන් කටයුතු සිදු කිරීමටය.

        රජතුමාට සිහිය  ලැබුණත් ඔහු සිටියේ බරපතළ රෝග තත්ත්වයකින්. වෙදැදුරු දියණිය කියා සිටියේ  තවත් සත් දිනකින් ස්‌ථිර වශයෙන්ම රජතුමා මිය යන බවයි. සියල්ල එසේ සිදු  වෙත්දී, මණිමේඛලා නාග බිසව, සිය පුත්‍රයා ද සමගින් මාළිගාවෙන් රහසේම පලා ගොස්‌ ඇති බව දැනගන්නට ලැබි තිබුණා..

        රජතුමාගේ මලනුවන් වූ සද්ධාතිස්‌ස  කුමාරයා මේ වනවිට සිටියේ දිගාමඩුල්ල ප්‍රදේශයේ ගොවිතැන් ඇතුළු සංවර්ධන කටයුතුවල නියෑලෙමින්ය. රජතුමාගේ උපදෙස්‌ පරිදි වහාම ඔහු අනුරාධපුරයට කැඳවා, තමන් මිය යන්නට පෙර මහසෑයේ වැඩ නිමකරන මෙන් සද්ධාතිස්‌ස කුමාරයාට උපදෙස්‌ දි ඇති බව සදහන්…

       ලෝවාමහාපායත්, රත්නමාලි මහ සෑයත් අතර මැද  ස්‌ථානයක තාවකාලික මණ්‌ඩපයක්‌ ඉදිකර රජතුමා එහි සැතපූවා.. රජතුමාට එක්‌  පසකින් මහ සෑයත්, අනෙක්‌ පසින් ජයසිරිමාබෝ සමිඳුන් සහ ලෝවාමහපායත්, හිස  කෙළින් කළ විට ඉදිරියෙන් මිරිස්‌වැටි දාගැබත් රජතුමාට පහසුවෙන් පෙණුනා…  රජතුමාගේ සිත බොදු බැතියෙන් පිරීඉතිරි ගොසින්… භික්‍ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම එම මණ්‌ඩපයේ රැඳී පිරිත් දේශනා කලේ තව තවත් රජතුමාගේ සිත සැණසෙද්දියි…

” මාගේ මේ ව්‍යායාමය හුදෙක්‌ රජ සැප පිණිස නොව,  සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිය පිණිසයි”  යනුවෙන් ප්‍රකාශ කළ දුටුගැමුණු රජතුමා  ක්‍රි.පූ 161 සිට 137 දක්‌වා වසර 24ක්‌ රාජ්‍යත්වය හොබවා මැළුම් වයසේ දී  අකාලයේම මිය ගියේ ස්ත්‍රීයක් නිසමද?….. එය තාමත් රහසක් නොවෙිද?

         වංශ කතාවල දැක්‌වෙන්නේ හදිසියේම ඔත්පල වූ රජතුමා දින කිහිපයකින් මියගිය බවයි. නමුත් ඔත්පල වූ රෝගය කුමක්‌දැයි සඳහන් නොවේ. කෙසේ වුවද බොහෝ දෙනකුගේ මතය රජතුමාගේ අකල් මරණයේ හේතුව මහාවංශ කතුවර මහානාම හිමියන් සගවා ලියා ඇති බවයි…. එය අභිරහසක්..

            එහෙත් ජනප්‍රවාද තොරතුරු බොහෝමයක  දැක්‌වෙන්නේ ඉහත දැක්‌වූ කතා පුවතට අනුව, එතුමාට නාගයකු දෂ්ඨ කිරීම නිසා මියගිය බවය. ජනප්‍රවාද තොරතුරු, ජනප්‍රවාද සේ සලකා ඉවත නොදැමිය යුතු බවත්, ඒ  ගැන ද සලකා බැලීම ඉතිහාසඥයන්ගේ වගකීමක්‌ බව, හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌  ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර මහතා සඳහන් කළේ, “සීගිරි පවත” නම් නම් ග්‍රන්ථයකට පෙරවදනක්‌ සපයමින්… එතුමාගේ අදහසට අනුව අපි මෙම පුවත ද ඉවත නොදමා මේ ගැන  තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීම කොයිතරමි නමි වැදගත් වන්නේදැයි ඉතිහාසය සොයා යන මට නමි නිතරම හිතෙනවා…… එ නිසාම කිසිදාක ජනප්‍රවාද කතා පුස්සක් සේ සලකා ඉවත දැමිය නොහැක….


නිසංසලා රණසිංහ