නාලන්ද ගෙඩිගේ

         මං අද ඉන්නේ ලංකාවෙි හරි මැද…. ලංකාවෙි මධ්‍ය ලක්ෂ්‍යය පිහිටි තැන….. නාලන්ද ගෙඩිගේ…. එහෙම කිවුවාම කවුරුත් දන්නවානේ…. ඉතිං අපි මැගසින් එක ඔස්සේ මම මෙවරත් ඔයාලට අරන් ආවෙි අපේ රටෙි ඓතිහාසික වැදගත්කමක් වටිනාකමක් ඇති මණරමි භූමියක් වන නාලන්දේ පිහිටි නාලන්ද ගෙඩිගේ ගැන…..

නාලන්ද ගෙඩිගෙය නැරඹීමට යන මාර්ගය පිළිබඳ මුලින්ම සඳහන් කළහොත් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ , මාතලේ සිට දඹුල්ලට කිලොමිටර් 35 යාමේදී හමුවෙන කිලෝ මීටර 48 කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ කිලෝ මීටර 1.2 පමණ ගමන් කිරීමෙන් පසුව නාලන්ද ගෙඩිගෙයට ළඟා වෙන්න පුළුවන්

මධ්‍ය පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රදේශිය ලේකමි කොටිඨාශයේ නාලන්ද කියන ග්‍රාමයේ තමයි මෙි නාලන්ද ගෙඩිගේ පිහිටලා තියෙන්නේ.. අපුරු පරිසරය පද්ධතියක්….. ඉන්න හිතෙන එන්න හිතෙන්නේ නැති පරිසරයක්…. හිත නිවාලන වටපිටවක්.. ඇත්තටම මට මෙහෙම දෙයක් හිතුනා.. හිතුනා විතරක් නෙවෙයි හිතට දැණුන හැඟිමක් එක්කම මට එ කතාවෙි සත්‍යතාවයක් ඇති බවක් හැඟුනා…. ලංකාවේ මධ්‍ය කේන්ද්‍රය කියල බොහෝ දෙනා සලකනුයේ මාතලේ නාලන්දාව යි. නාලන්දා ගෙඩිගෙය ලංකාවේ හරි මැද ලක්ෂ්‍යයේ පිහිටා තිබෙන බව පුරාණයේ සිටම සමහරු තාමත් විස්වාස කරනවා… තවත් විශ්වාසයකට අනුව රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාග හෝම කටයුතු සඳහා මේ ස්ථානය භාවිත කළ බවත්, මේ ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියවෙනවා.

නමුත් මුලාශ්‍ර වල සදහන් නොවන සගවා ඇති අපේ රටෙි ඉතිහාස කතා බොහො ඇති නිසා සමහර අය පිළිගන්නේ නෑ…. වසර අටදහසකට⁣ පෙර ඉතිහාසය ගැන සොයා යාම තරමි රසවත් කුතුහලය දනවන දෙයක් මට නමි නොමැති තරමි… එ තරමට මගේ සිත ඉතිහාසය පිළිබදව බැදී ඇත්තේ ගෞරවයක් එක්කමයි…. ඉතිං මං නමි එ දේවල් විස්වාස කරනවා…

මාතලේ කියන්නේ මම උපන් ප්‍රදේශය… මාතලේ ප්‍රධාන බස් නැවතුම අඹගහා ස්ටැන්ඩි එකෙන් දඹුල්ල බස් රථයකට උදැසනින්ම මම ගොඩ උනේ අපේ රටෙි හරි මැදට යන්න… තනිව ගිය ගමනක්, තනිව කිවුවට මගේ පුංචි ටෙඩිබෙයා බින්ඩිත් එක්ක…. බස්රථය පැමිණියෙ හෙමින් නිසා පැයකට වඩා වෙිලාවක් මට කිලොමිටර් 48 කණුව අසලට එන්න ගතවී තිබුණා…..

බස් රථයෙන් බැස ත්‍රිරොද රථයකින් මම ගෙඩිගේ ඇති භූමියට පැමිණියේ කුතුහලය වගේම එ ස්ථානය දැකගැණිමෙි ඇති ආසාවෙන් මුළු හිතම තව තවත් පිරි යද්දි… ත්‍රිරොද රථයෙන් පැමිණෙන විට එහි උපුල් නමි රියදුරු මහත්තයා මට මෙි භූමිය හා බැදි ඇති විශ්ව ශක්තිය පිළිබදවත් රාවණ රජුගේ සමිබන්දතාවයත් පැවසූවෙි මහත් භක්තියකන්….

හිතට දැණුනේ පුදුමාකාර නිදහසක්…. පොය දවසක් නිසා අනුරාධපුර යන නඬ කීපයක්ම මම යන විටත් එහි සිටියත් එහි නිස්කලංක බවට කිසිදු බලපෑමක් නෑ…. හිත නිවන භූමියක් නිසාම පැමිණි පිරිස්ගේ කතාබහා උවත් නැවතී තිබුණා…..

කැණිමකින් හමුවු ගල් උළුවස්සෙන් ඇතුල්වෙලා ගෙඩිගෙය ඇති භූමියට ඇතුල් උනේ හිතම අමුතු හැඟිමකින් පිරි යද්දි….. ගෙඩිගෙයට යන මාර්ගයේ මම බොහො වෙිලාවක් නැවති සිටියේ සියඹලා වගේම මා නොදන්නා තවත් ගස් කොලන්වලින් වගේම එ අසලම ඇති බෝවතැන්න ජලා⁣ශයෙන් හමා එන සිසිලස මදක් විද ගන්න හිතට නැගුණ ආශාව නිසා…

මාර්ගය දෙපස කැණිමි වලින් මතු කරගන්නා ලද ගල් කැටයමි බොහොමයක් තබා තිබෙනවා.. වම් පසින් එවැනි කැටයමි මතු කරගන්නට ඇතැයි සිතෙන එකල විහාර ගෙයක් තිබෙන්නට ඇතැයි සිතෙන නටබුන් දෙසත් බලා සිටි මම හෙමින් ඇවිද ගියා ඉදිරියට…. පුජා භූමි හැම තැනකම වගේ මෙතැනත් රිලවුන්ගෙන් නමි අඩුවක් නෑ….  ගෙඩිගෙය ඇති සංකීර්ණයට ඇතුල් වෙන තැනම ඇති පුවරුවටයි මගේ දැස් මුලින්ම යොමු උනේ…

” සිරි ලකඟන නැබ මඩුලු මෙන් ගැනෙන බිමි පෙදෙසේ පල්ලව ඉදිකිරිමි ආරට අටවන සියවසේ නිමහමි කරන ලදුව එදා සිට දෙස් විදෙස්හි මහාජන විමසුමට ලක්වු නාලන්ද ගෙඩිගෙය………..

ලෙසට පුවරුවක් දැකගන්න පුළුවන්…. එහි සදහන් වෙනවා කාන්තාවකගේ නැබ නොහොත් නාබිය ( පෙකනිය ) ලෙස යනුවෙන්… එයින් අරුත දක්වන්නේ ලංකාවෙි මැද ලෙස නොවෙිද…

අත්තිවාරමෙි ඉදන් වහලයත් සමගම සමිපුර්ණ ගල්ම පමණක් යොදා නිම කර තිබෙන නිසා මෙයට ගෙඩිගෙය යැයි පැවසෙනවා… මුලින්ම ඉදිකර ඇත්තේ අටවන සියවසයි දහා වන සියවසයි අතර කාලයේ , දැනට වසර 1350කට වඩා වැඩි කාලෙකට ඉහතදී බවත් , මෙය ඉදිකිරිමට හේතුව ලංකාවෙි හරි මැද නිගමනය කිරිමට බවත් , ලංකාවෙි මැද නිසා සෑදු ස්මාරකයක් බවත් පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයට අයත් විහාරයක් ලෙසත් එහි සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහත්මයෙකු මා හට පැවසූවා…

        නාලන්ද ගෙඩිගේ පුරාවිද්‍යා භූමියේ පිහිටි කෞතුකාගාරයේ තැනිපත්ව ඇති ටැම්ලිපියෙහි දක්වන්නේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත් මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත් විහාරයේ සියළු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත් එහි සදහන් බවයි පැවසෙන්නේ.. අක්ෂර විකාශනය අනුව මේ ලිපිය ක්‍රි.ව. 9-10 සියවස් වලට අයත් බව නිගමනය කර තිබෙනවා..

නාලන්ද ගෙඩිගේ මෑත කාලීන ඉතිහාසය සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටවූ කාලයේදීම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතාගේ අවධානය මෙයට යොමු වූ අතර ඒ යටතේ 1893 දී රජයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවෙන් පස්වලින් යටව තිබුණු ගෙඩිගේ දකුණු පස කොටස් රාශියක් පාදා ගන්නා ගෙන තිබෙනවා.

1911 දී බෙල් මහතා මෙහි පස් වලින් යටව තිබූ සියලු කොටස් පාදා ගත් අතර තහවුරු කිරීමකට උපයෝගි කරගත හැකි අන්දමින් එම කොටස් එතුමාගේ මග පෙන්වීමෙන් තැන්පත් කෙර ඇත. බෙල් මහතා විශ්‍රාම යාමත් සමග නැවතත් නාලන්දා ගෙඩිගේ පිලිබඳව අවධානය යොමු නොවුණු අතර සෙනරත් පරණවිතාන මහතාගේ සමයේදී එනම් 1953 දී ගෙඩිගෙයි මළුවේ පනා බැමි මතුකර ගෙන ඇති අතර පෙර දැක්වූ පරිදි ස්තූපයද ප්‍රතිසංස්කරණය කෙර ඇත.

පසුව ගෙඩිගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් වූයේ 1970 දශකයේ කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන්, ගෙඩිගේ තිබුණු කුඹුරු ප්‍රදේශය බෝවතැන්න ජලාශයට යටවීමට තිබුණු හෙයිණි. ඒ යටතේ ගෙඩිගෙය රැකගැනීමට මිසරයේ අස්වාන් වේල්ල ඉදිකිරීමේදී අබුසිම්බල් දෙවොල ගලවා ඉවත් කර වෙනත් ස්ථානයක ඉදිකළ පරිද්දෙන් සියළුම කොටස් වල සංකේත යොදා ගලෙන් ගල ගෙඩිගෙය ගලවා පුරාවිද්‍යා කාර්යාල භූමියේ තැන්පත් කෙර, එය ජලාශයට යට නොවන වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට යෝජනා වුව ද එම අදහස වෙනස් කර මුලින් පිහිටි ස්ථානයේම ඉදි කිිරීමට යෝජනාවි, එ අනුව පිහිටි ස්ථානයේ වෙිදිකාවක් ලෙස අඩි 23ක හතරැස් බිම්කඩක් හා ඒ උසින්ම මාර්ගයක් ඉදිකර ඒ මත නාලන්ද ගෙඩිගෙය සංරක්ෂණය සිදු කර තිබෙනවා…

නාලන්ද ගෙඩි ගෙය ශෛලමය නිර්මාණයක්.  දිගින් මීටර් 15  පමණ ද පළලින්  මීටර් 11  ක් පමණ ද වන පාදමක් සහිත වේදිකාවක්  මත මීටර් 10 පමණ උසට මේ ගොඩනැගිල්ල නිමවා තිබෙනවා… මේ පාදම කැටයම් සහිත ගල් වලින් නිමවා තිබෙනවා. වේදිකාවට වැටෙන ජලය පිට කිරීමට සිංහ කැටයමින් අලංකාර කර ඇති පිහිලිද දැකගන්න පුළුවන්… 

ක්‍රි.ව. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 9 වැනි සියවස දක්වා ඉන්දියාවේ පල්ලව අධිරාජ්‍යය සමයේ පැවැති පල්ලව ගෘහ නිර්මාණ ශිල්පය වර්ධනය වුණා. එහි දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් (මාමල්ල ශෛලිය) රජුගේ කාලයේ ගෘහ නිර්මාණ ශෛලියට අනුව ගෙඩිගේ නිර්මාණය කර තිබෙනවා. දකුණු ඉන්දියාවේ පාලර් නදී මුවදොර, මහාබලිපුරම්හි කඳුගැටයක පිහිටි මාමල්ල ශෛලියේ නිර්මාණ සම්පූර්ණ කළු ගලින් නිමවා තිබෙනවා.  ඒ අතර නාලන්දට සමාන ගොඩනැගිලි හමුවෙනවා. මෙහි වහලය ශිඛරයක් ආකාරයෙන් සකස් කර තිබෙනවා. ශෛලමය වහල ශිඛරයක් ලෙසින් නිර්මාණය කිරීම පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාව දක්වන සලකුණක්. මේ ලක්ෂණ නිසාම නාලන්ද ගෙඩිගෙය පල්ලව සම්ප්‍රදායට අයත් යැයි පිළිගැනෙනවා.

මෙය හින්දු මෙන්ම බෞද්ධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ද ඇතුළත් ගොඩනැගිල්ලක්. ගොඩනැගිල්ලේ ඉදිරිපස පිවිසුම බෞද්ධ විහාරයක් මෙන් නිර්මාණය කර තිබෙනවා. එහි ප්‍රවේශය සඳකඩ පහණ, කොරවක්ගල, සහ පියගැටපෙළකින් යුක්ත යි. කොරවක් ගලෙහි ලියවැලකින් යුක්ත මකර රුවක් ද කැටයම් කර තිබෙනවා.

බොහො දෙනෙක් නාලන්ද ගෙඩිගේ ගැන කතා කරන විට උනන්දුවක් දක්වන කැටයමක් තමයි ලිංගික ඉරියවුවක් දැක්වෙන කැටයම…. ඉන්දියාවේ කාජුරාහෝ වැනි දේවාලවල විවිධ ලිංගික ඉරියව් සුලබ නමුත් ලංකාවේ ඒවා හමුවන එකම ස්ථානය නාලන්ද පමණයි. මෙහි බිත්තියේ පහළ පේකඩයක තුන්දෙනෙක් පසුපසින් ලිංගිකව රමණය කරන ආකාරය දැක්වෙනවා. මෙම ස්ථානයේ කණුවක දක්නට තිබූ මෙවන් තවත් කැටයමක් පිළිබඳ 1910-11 වර්ෂ සඳහා වූ එච්. සී. පී. බෙල් මහතාගේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ සඳහන් වන මුත් එය මේ වන විට සොයාගැනිමට නැහැ. මෙම ලිංගික කැටයම් නිසා මේ ස්ථානය තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් සිදු කළ ස්ථානයක් ලෙස සමහරු පවසනවා. ථෙරවාද බුදුදහමේ මෙවැනි ඉරියව් සහිත කැටයම් අනුමත කරන්නේ නැහැ..

ගර්භ ගෘහය වර්ග මීටර් 8ක් 10 ක් පමණ වන කුඩා එකක්… එහි මැද  පද්මාසනයක් මත වැඩ හිඳින හිටි බුදු පිළිමයක්, පසෙකින් ඉහල කොටස හානියට පත්ව ඇති තවත් හිටි පිළිමයක කොටසක් හා අනෙක් පසින් හානියට පත්වූ තවත් පිළිමයක කොටස් කීපයක් දැකගත හැකියි. මේ බෞද්ධ ප්‍රතිමා වලට අතිරේකව ගණ දෙවි පිළිමයක් හා අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් ද මේ කුටිය තුල තැන්පත් කොට තිබෙනවා.. ගර්භ ගෘහයේ පිටත බිත්ති ද කැටයම් වලින් යුක්තයි.. ගෝ පුරක් වැනි වහල කොටස ද ගල් වලින්ම නිර්මාණය කොට තිබෙනවා… වහල කොටසේ දෙපස ඉහලින් කැටයම් සහිත උල් හැඩයේ ගල් දෙකක් පිහිටුවා තිබෙනවා…  බිත්තිවල ද විවිධ කැටයම් ඇති අතර එක් කැටයමක් කුවේරගේ රුවක් යයි  සිතිය හැකයි බොහො අය පවසනවා…. අනෙක් පස කැටයම හඳුනා ගත නොහැකියි..    

නාලන්ද ථෙරවාද හෝ මහායාන බුදු දහම සරණ ගිය බැති මතුන්ට මෙන්ම හින්දු ආගම අදහන බැතිමතුන්ට ද පොදුවේ වන්දනා මාන කළහැකිව තිබූ ආගමික මධ්‍යස්ථානයක්ව තිබෙන්නට ඇතැයි මෙහි දක්නට ලැබෙන කැටයම් හා ප්‍රතිමා අනුව විශ්වාස කළ හැකියි…

මෙයත් පැවසිය යුතුමයි… කාල පරාසයක් හරි හැටි නිගමනය කල නොහැකි පුරාවිද්‍යා වටිනාකමක් ඇති තැනක් නැවත ගලවා සවි කිරිම කලත් එය ප්‍රතිනිර්මාණයක් නිසා පෙර තිබුණු පෞරාණික බව නැතිවන බවයි මගේ අදහස… පිටතින් නොපෙණුනත් පෙර තිබු ලෙසටම නැවත සැකසූවත් හුබස් මැටි , එළගොම, දහයියා අළු වගේම ගස්වල ලාටු දමා සාදා ගන්නා බදාමය වෙනුවට ⁣සිමෙන්ති යොදා සැකසීම ගැලපෙන්නේදැයි සිතිම ඔබටත් බාරයි… ජලාශය නිසා ⁣වටිනා ස්මාරකයක් ගලවා නැවත සවි කරිම වෙනුවට එකල එ වැය කල මුදලින් ජලා⁣ශයේ ජලය කාන්දු නොවිමට බැමිමක් සැකසුවා නමි කොයිතරමි අගනේදැයි කනගාටුවෙන් උවත් සිතුනා මට…

ඈත අතීතයේ සිටම එන විස්වාසනිය පුරාවෘත කතා නමි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළදාරින් විස්වාස නොකරන බවත් එහි ගිය මොහොතේ මා හට වැටහිණා.. ඔවුන් රාවණ යුගයක් ලක්දිව තිබු බව එක හෙලාම හැල්ලුවට ලක් කර ප්‍රතික්ෂේප කරන්නේ අපේම අවාසනාවටදැයි මොහොතකට මට සිතුනා…. රටෙි ඉතිහාසය පත පොතේ පමණක් සදහන් විය යුතුමද? පුරාවෘත කතා නිකමි කතා විතරමද? ඇත්තෙන්ම බොහො අය පවසනා ලෙස නාලන්ද ගෙඩිගෙය විශ්ව ශක්තිය ගැබිව ඇති ස්ථානයක්ද?.. රාවණ රජු ඔහුගේ පුත් ඉන්ද්‍රජිත් හා විශ්‍රවස් මුණි වගේම අප කවුරුත් විස්වාස කරන බහිරවයා නොහොත් කුවෙරගේ සමිබන්දකමක් මෙහි නොමැතිදැයි සිතිමත් සත්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේන් පවසනා දෙය පමණක්මදැයි සිතිම ඔබටම මා බාර කරනවා…

යාපනේ නුවර A9 මාර්ගයේ යන ඔබ අමතක නොකර ගොඩවෙන්න නාලන්ද කිලොමිටර් 48 කණුව ආසන්නයේ ඇති නාලන්ද ගෙඩිගෙය නරඹන්න…. හිතන්න ඔබට භාරයි..

නිසංසලා රණසිංහ

පිනි බිංඳු – කෙටි කතාව

අවසාන කොටස.

තරමක් ඈතට වෙන්න වාඩි වෙලා උන්නු සුනේත්‍රා මගේ ඉස්සරහට ඇවිත් ආවා වුනා. ඒ දවස් වලත් සුනේත්‍රා ඔය වගේමයි. එයා කැමති තමන් කතා කරන කෙනාගෙ ළඟට වෙලා ඉන්න. ඇයත් මමත් කාලයක් අතොරක් නැතිව කියෝපු අය. එහෙම වෙලත් තාමත් සුනේත්‍රා දකිද්දි මගේ හිත හිරිවැටෙන්නෙ ඇයට මගේ අතින් සිදුවුනු වරද නිසාවත්ද?

‘මම ආවා පෙන්ශන් එක ගන්න මහී.. මට අන්තිමට ඉතුරු වුනේ එච්චරයිනේ…

මම හිතුවා නිවැරදියි. සුනේත්‍රගේ වචන වලට මගේ හිතේ තිබුනු වරදකාරී හැඟීම තවත් වැඩි වුනා.

‘මගෙන් වැඩක් නෑ. මහීගේ දරුවෝ කොහොමද? මට ආරංචියි දෙන්නම හොඳට ජීවත් වෙනවා කියලා. කුමාරිගේ කැපකිරීම නිසා තමයි.

‘ඔව් දුව කැනඩාවේ. එයා මේ දවස් වල විශ්ව විද්‍යාලයක ආචාර්‍යවරියක්. පුතා ඉන්නෙ ඇමරිකාවෙනෙ. එයා මහාචාර්‍ය කෙනෙක්. දෙන්නම එහේ අයමයි බැන්දේ.

දරුවන්ගේ පම්පෝරි අනිත් මිනිස්සු එක්ක කියද්දි දැනෙන්නෙ නැති ලැජ්ජාවක් මට සුනේත්‍රා එක්ක කියද්දි දැනෙනවා. සුනේත්‍රා කියන්නේ කුමාරිටත් වඩා මගේ හිත කියවපු ගෑණි. එහෙම ගෑණිට මම හංඟලා කියන හැමදෙයක්ම හොඳට තේරෙනවා.

‘කොච්චර සතුටක්ද එහෙම අහන එකත්. මහීගෙයි කුමාරිගෙයි මොලේ තමයි දරුවන්ට තියෙන්නෙ. ඒවුනාට අපරාදේ කුමාරිගෙ ජීවිතේ. හොඳ උගත් ගෑණි. ඔයා නිසාම ගෙදරට නාකි වුනා..

සුනේත්‍රාගෙ වචන මට ඇහුනේ අතීතයෙන්. අවුරුදු ගානකට කලින් සරසවි භූමියේ රොබරෝසියා ගහක් යටදි මේ හා සමානම වචන වලින් මගේ මූණට දමලා ගැහුවේ තුන් අවුරුදු සරසවි ප්‍රේමය එතනම භූමදානය කරමින්.

‘මහී හොඳට මතක තියාගන්න. ගේ අස්සට වෙලා බත් තම්බන්න තරම් පිස්සුවක් මට නෑ. මේ අවුරුදු තුන මම පුදුම දුකක් විදලා ඩිග්‍රී එක ගත්තේ. මෙඩිසින් යන්න බැරි වුනු හින්දා මම හිතා ගත්තේ සයන්ස් ෆැකල්ටි එන්න. එහෙම ඇවිත් ගත්ත උපාධියෙන් මට වැඩක් ගන්න ඕන. මම කීයට වත් ඔයා කියන විදියේ ගෑණියෙක් වෙන්නෙ නෑ මහී….

‘හිතුවක්කාර වෙන්න එපා සුනේත්‍රා. ගෑණියෙක් ඉගෙන ගන්න එක හොඳයි. ඒත් රස්සා කරන්න ගියාම ගෙදර වැඩ පාඩු වෙනවා. ඒවා කරන්නෙ කවුද?

‘ඇයි ඔයත් ඉන්නේ? ඒකට තමයි ගෑනියි මිනිහයි කියලා කියන්නේ…

‘මම මොකටද ගෙදර වැඩ කරන්නෙ? මම හම්බකරගෙන එන්නම්.

එදා මම එහෙම කියද්දි සුනේත්‍රා සමච්චලයෙන් හිනා වුනා. ඒ හිනාව මගේ පුරුෂාධිපත්‍යට ගහපු කනේ පහරක්.

‘හොඳට මතක තියාගන්න මහී. මම අවුරුදු තුනක් ආදරේ කලේ ඔයා වගේ නෝන්ජල් මිනිහෙක්ට නම් මම කැමතියි මගේ ආදරේ මළගම දැන්ම සමරන්න. අපි පටන්ගත්තෙත් මෙතනදි ඉවර කරන්නෙත් මෙතනදි. මට බෑ මගේ හීන ගෙදරට වෙලා පෝලිමට ළමයි හද හද බත් තම්බ තම්බ නාස්ති කරන්න. ඒ හින්දා මම යනවා, ආයේ ඔයාගේ ඇස් ඉස්සරහට නොඑන්නම. ඔයාට ගැලපෙන ගෑණියෙක් හොයාගෙන බැදගන්න. ඒ ගෑණි මම නෙවෙයි මහී..මට නම් පිරිමි එපාම වුනා ඔයා නිසා…

වචනයක් වත් කියන්න ඉඩ නොදී මාව පහුකරගෙන ගිය සුනේත්‍රා ආයෙත් මට මුණ ගැහුනේ කුමාරිගෙයි මගෙයි මඟුල් ගෙදරට මම කෝට් මහන්න රෙදි ගන්න ගිය දවසෙයි. එදත් ඇය අද වගේම මම එක්ක කතා කලේ සමච්චලයෙන්. සුනේත්‍රයි කුමාරියි එක ඉස්කෝලේ පන්ති දෙකක. කුමාරිත් විද්‍යා උපාධියක් තියෙන කෙනෙක්. ඒත් ඇය සුනේත්‍රා වගේ හිතුවක්කාර වුනේ නෑ.

‘කුමාරි කියන්නෙ දක්ෂ ගෑණියෙක්. අපරාදේ එයාගේ ජීවිතේ. ඔයා එයාව බැන්දට කමක් නෑ එයාගේ ආසටත් ඉඩ දෙන්න මහී..

එදත් එහෙම කියපු සුනේත්‍රා මට වචනයක් කියන්න නොදී යන්න ගියා. ඔය විදියට මේ අවුරුදු ගානට සුනේත්‍රා මට ටවුන් එකේදි අහම්බෙන් මුන ගැහුනා. වචනයකට දෙකකට එහා ඇයත් එක්ක මම කතා නොකරන්න වග බලාගත්තේ දකින හැම වෙලාවෙදිම එල්ල කරන වාග් ප්‍රහාර දරාගන්න බැරි නිසයි.

‘මහී ඇයි කතා නැත්තේ? මම වැරදි දෙයක් කිව්වද?

අතීතයෙන් වර්තමානයට මම ආවේ සුනේත්‍රගෙ හඬින්. මම ආයාසයෙන් හිනාවෙන්න උත්සහ කලා. ඇය මගේ දිහා බලාගෙනම ඉන්නවා.

‘මම දන්නෙ නෑ සුනේත්‍රා. මම ඔයා එක්ක කතා කරන්නෙ හරි පරිස්සමින්. කුමාරි ගැන ඔයා පසුතැවෙනවා. ඒක මාව දකින හැම වතාවෙදිම කියනවා. අවුරුදු දහයකින් දැක්කත් ඔයා එකම දෙයයි කියන්නෙ,ඒ තමයි කුමාරි පව් කියලා. කුමාරි පව් නෑ. ඔයයි පව්. මිනිහෙක් නැතුව ගෙදරට නාකි වුනු ඔයා ගැන මට ඇත්තටම දුකයි.

කාලෙකට පස්සේ මම මගේ හිතේ සුනේත්‍රා ගැන තිබුනු අප්‍රසාදය ඒ විදියට වචන වලට හැරුනා. සුනේත්‍රා මගේ දිහා බලාගෙන උන්නේ කවදාවත් නැති තරහකින්. එහෙමම මම ළඟින් නැගිටපු ඇය දොර ළඟට ගිහින් ආයෙත් ආවා. එක අතක් මේස උඩ තියපු ඇය මගේ දිහා කෙලින් බලද්දි මම බිම බලාගත්තේ මහා ලොකු වැරද්දක් කරපු එක වසරෙ ළමයෙක් වගෙයි.

‘අනේ මම ගැන ඔයා දුක් වෙන්න ඕන නෑ. ඔයා අද ගිහින් සුනේත්‍රාගෙන් අහන්න ඒ ගෑණි සතුටින්ද ඔයා එක්ක හිටියේ කියලා. මලියදේවෙ මහ ලොකු බයලොජි සර්. මට හරි දුකයි තමුන්ගෙන් විද්‍යාව ඉගෙන ගත්ත කොල්ලො ගැන. උනුත් ඔයා වගේ පුරුෂාධිපත්‍ය ඉහට ගහපු උන් නම් මේ රටේ සුනේත්‍රලා මැරෙන්නෙ මිනිහෙක් නැතුව ඒත් සන්තෝසෙන්. හැබැයි කුමාරිලා මැරෙන්නෙ හිතේ වේදනාව හිර කරගෙන..

වචනයක් කතා කරගන්න බැරි විදියට ආයෙත් මාව නිරුත්තර කරපු ඇය යන්නට ගියා. ඇත්තටම කුමාරි ඇය කියන තරම් විදවන්නට ඇතිද? එහෙනම් අවුරුදු ගානක් විවාහ ජීවිතේ ඇය කර ඇත්තේ රඟපෑමක්ද? මට තවත් කූල්ස්පොට් එකට වෙලා ඉන්න තරම් හයියක් තිබුනේ නෑ. එහෙමම බිල ගෙවපු මම ත්‍රී වීලරයකින්ම ගෙදරට ගියා. ඒ යද්දි කුමාරි මම එනකම් ඉස්තෝප්පුවේ බලාගෙන ඉන්නවා.

‘බස් එකේනෙ එනවා කිව්වේ. ඇයි මේ ත්‍රීවීලර් එකකම…

‘පොඩි දෙයක් තියෙනවා ඔයාගෙන් අහන්න. ඒකයි… තේකක් හදාගෙන එන්නකෝ…

‘මේ මද්දහනේ තේ ඕන නෑ මහත්තයා. පැශන් වැලේ ගෙඩි පිරිලා. මම බීම එකක් හැදුවා. ඒක ගෙන්නම්..

ඔලුව පුපුරන්න රිදෙනවා. ඒ අතරට සුනේත්‍රගේ වචන දෝංකාර දෙනවා. කුමාරි අරන් ආව පැශන් වීදුරුව එක හුස්මට මම බීගෙන ගියා.

‘මහත්තයා ප්‍රශ්නෙකින්ද?

කුමාරි අහද්දි මම ඔලුව වැනුවා. ඇයත් මගේ දිහා ඇසි පිය නොහෙලා බලාගෙන ඉන්නවා. මගෙයි සුනේත්‍රගෙයි සරසවි ප්‍රේමය ගැන කුමාරි දැනගෙන උන්නත් අපි විවාහ නොවුනු හේතුව ඇය දන්නෙ නෑ. ඒ නිසා මම හැමදෙයක්ම මුල ඉදන් පිලිවෙලට කුමාරි එක්ක කිව්වා. අද අහම්බෙන් සිදුවුනු සුනේත්‍රගෙ හමුවත් එක්කම. හැම දෙයක්ම අහගෙන උන්නු කුමාරි යන්තමින් හිනාවුනා.

‘මහත්තයා ඕවා හිතන්න එපා. සුනේත්‍රා වගේ මට හිතුවක්කාර වෙන්න පුලුවන් වුනා නම් මමත් මහත්තයා බදින්නෙ නෑ. මහත්තය වගේමයි මගේ අප්පච්චිත්. කැම්පස් ගියාට රස්සා ඕන නෑ කියන ඒකමතික තීරණේ එයත් හිටියේ. මම කැම්පස් ගියේ ආසාවට මොකද හිත හදාගෙන උන්නෙ රස්සාවක් නොකර ඉන්න ඒත් මේ ගේ අස්සේ මගේ උපාධිය වැඩක් වුනේ නෑ කියලා හිතන්න එපා. මම දන්න විද්‍යාව ලමයි දෙන්නට ඉගැන්නුවා. සුනේත්‍රා කියනවා වගේ මගේ හිතේ තිබුනු දුක අඩු වුනේ අපේ ළමයින්ට උගන්වද්දි. අනික කොච්චර කතා කලත් ඕවා වැඩක් නෑ..

ඇය කියන්නෙ හූල්ලමින්.

‘නෝනට තිබුනා මට කියන්න…

‘මොකද්ද?

‘උපාධියෙන් රස්සාවක් කරන්න ආසයි කියලා.

‘එහෙම කිව්වට වැඩක් නෑ. ඒ විදියටම සුනේත්‍රත් කිව්වනේ. ඉතින් මහත්තයා එයාව බැන්දෙ නෑනේ. මම එහෙම කිව්වා නම් මහත්තයාට කලින් අපේ අප්පච්චි මාව එලියට ඇඳලා දාලා. දැන් ඕවා කතා කරලා වැඩක් නෑ.. මට යන්න බැරි වුනු තැනට අපේ දරුවෝ යැව්වා. ඒ ඇති මට…

සුනේත්‍රා එහෙම කිව්වේ ඇස් වල කඳුලු පුරෝගන. මම ගැන මට සෑහෙන්න කල කිරුනා. ගෙවුනු කාලය ආයෙත් ගන්න බැරි වුනත් කුමාරිගෙ ජීවිතේට මම මොන තරම් බලපෑම් කරලද? ඒකත් ආදරේ නාමයෙන්..

‘මට සමාවෙන්න කුමාරි..

මම කුමාරිගෙ අතින් අල්ලාගෙන කියද්දි ඇය කඳුලු අතරින් හිනා වුනු. අවුරුදු ගානක් ගෙවිලා ගිහින් ඇයට ඇයගේ හීන වලට යන්න බැරි වුනත් මේ අවුරුදු ගානකට මම නොදැකපු සැනසිලි සහගතම හිනාව මම ඇයගේ මුහුනෙන් දැක්කා.

‘මම දැනගෙන උන්නා මැරෙන්න මොහොතක් තියල හරි මහත්තයාට ඒක තේරෙයි කියලා. පුතා කෝල් කලා. එයාට අපිව බලන්න ඕනෙලු. ටිකක් කල් ඉන්න බලන් එන්න කිව්වා. අපේ දරුවෝ නරක නෑ මහත්තයා. උන් අපි වගේ නෑ.හැම අතින්ම දියුණුයි…  එච්චරයි…

කුමාරි කියද්දි මම ඇයගේ උරහිසට වටේට අතක් දාලා මගේ ළඟට අරගත්තා.

‘එහෙනම් එහෙ ගිහින් දැන් මුණුපුරාටත් විද්‍යාව උගන්නන්න පුලුවන් නෝනට..

මම එහෙම කියද්දි ඇය ආඩම්බරයෙන් හිනා වුනා. ඒ හිනාව මම ඒ විදියට මීට කලින් දැකපු එකම එක තැනක් තියෙනවා. ඒ තමයි කුමාරිගෙ උපාධි ප්‍රධානෝත්සය. ඒ හිනාවෙන් ඇය අදත් හිනා වෙනවා. මම සැනසුම් සුසුමක් හෙලුවා ඇය දිහා බලාගෙනම.

තක්ෂිලා ඒකනායක.

ජීවිතාවර්ජනය

ජීවිතාවර්ජනය තුළින් මත් රකුසාට බිලි වී අඳුරු  කාලපරිච්ඡේදයක් පසුකරමින්, එයින් මිදී යහපත් ජීවිත ගත කරන ජීවිතවල පසු විපරමක් සති කිහිපයක් පුරාවට පාඨක ඔබ හමුවට ගෙන එනු ලැබුවා. අද පාඨක ඔබ වෙත ගෙන එනු ලබන්නේ වෙනස්ම වූ කථාවක්. ඔවුන් එසේ මත් රකුසාගෙන් මිදීමට ඔවුන්ට මහඟු අත්වැලක් වූ  ඔවුන්ගේ ආදරණීයයන් අපට කිසි විටෙකත් අමතක කළ නොහැකියි. තුන්සිය හැටපස් දවසෙම මත් වී සිටි මිනිසුන් සමග එක වහලක් යට ජීවත් වූ ඔවුන්ගේ ආදරණීයයන් ශාරීරික හා මානසික තාඩන පීඩනයන්ට ලක් වෙමින් ඔවුන් වෙනුවෙන් කළ කැපකිරීම සහ දුක් ගැහැට ගැන කෙරෙන කතා බහයි මේ. අද මාත් සමග මේ සාකච්ඡාවට එකතු වන්නේ මීට සති කිහිපයකට පෙර ජීවිතාවර්ජනය තුළින් අපට මුණගැසුණු සහෘදයකුගේ බිරිඳක්. මෙහි එන නම් ගම් මනංකල්පිත වන අතර  අනෙකුත්දෑ සත්‍ය සිදුවීම් වේ

1. ඔබ ගැන හැඳින්වීමක් කරන්න.

මට චම්පි කියන්න. ගම ගම්පහ. වයස අවුරුදු තිස් නවයයි. අවුරුදු දාහතරක පුතෙකුයි, අවුරුදු එකොළහක දුවෙකුයි ඉන්නවා.

2.  විවාහ වෙලා කොච්චර කල්ද? ඔහු ගැන විස්තරයක් කියන්න.

දැනට විවාහ වෙලා අවුරුදු 15 ක් වෙනවා. අවුරුදු 7 ක් ආදරය කරලා තමයි විවාහ වුනේ. එයා පවුලේ එකම දරුවා. අයියා කෙනෙක් හිටියා , එත් අයියා අවුරුදු 21 දි ඩෙ0ගු හැදිලා මැරුනා. ඔහු හොඳ රැකියාව ක් කලා. එතකොටත් ඔහු මත්පැන් ගත්තා. ඒත් ඇබ්බැහි වෙලා හිටියෙ නැහැ.

3.කොහොමද එතකොට ඔයාගේ සැමියා මත්පැන් වලට ඇබ්බැහි වුනේ.

එයා කරපු රැකියාව නිසා නිතරම customer entertainments වලට එලියට යන්න උනා. ඒ යන්නෙත් NCC SSC වගේ තැන් වලට. සිකුරාදා කියන දවස එනවට වත් මම ඔය කාලෙ කැමති වුනේ නැහැ. ඔහොම කාලයක් යද්දි රැකියාවේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනකොට එයා හරියට frustrate වෙනවා. එතකොට එයා බියර් බීලා පරක්කු වෙලා ගෙදර එන්න ගත්තා. හැමදාම එහෙම වෙද්දි මාත් රන්ඩු වුණ. එතකොට එයා තවත් රෑ වෙලා ගෙදර එන්න වුනා.  ඔක තමයි ඇබ්බැහි වීමෙ මුල.

4. ඔබට හා දරුවන්ට ඔහු නිසා විඳින්න වුන හිරිහැර අපහසුතා මොනවාද?

සතියකට දවස් හතරක් විතර රෑවෙලා බීලා එන කෙනා ඊට පස්සේ දවස ගානේ රෑවෙලා ගෙදර එන්න පටන් ගත්තා. මට ජීවිතේ එපා වෙලා තිබුනේ. එයාට මං ගොඩක් සැරයක් බීම නවත්තන්න කියලා කියලා තියෙනවා. හොදින් ඉන්න වෙලාවට හා කියලත් කියනවා. ඒත් හවස් වෙද්දි  යාලුවො කතා කලාම ඒ හැම දේම අමතකයි. ඊට පස්සේ ඉතින් රෑ වෙලා බීලා ගෙදර ආවම පොඩි දේවල් අල්ලගෙන අන්තිමට ලොකුවට රණ්ඩු වෙනවා. සිංහල හෝඩියේ ලස්සනම වචන ටික එළියට එනවා. නිදාගෙන ඉන්න බබාලා හැරෙනවා. සමහර දවස් තිබ්බා මහ රෑ ඇවිත් රණ්ඩුවෙලා බබාලට පහුවදා ඉස්කෝලෙ යන්නත් නැහැ. තව සමහර දවස් තිබ්බා පහුවදාට බබාලට tarm test ඒත් ඇවිත් රණ්ඩු වෙනවා. පවු මගෙ දරුවො කොහොම විභාගයට උත්තර දෙනවා ඇතිද කියලා මම  පහුවදා ට අඬ අඬා හිතනවා. තවත් දවසක අලුත් අවුරුද්දට ඉස්කෝලේ යන පලවෙනි දවස, මං හැම දෙයක්ම ලෑස්ති කරලා බබාලත් නිදාගෙන තමයි හිටියෙ එදා. පුරුදු විදිහටම බීලා ඇවිත් රණ්ඩු වෙලා බබාලට ඉස්කෝලේ යන්න බැරි වුණා. ඔය වගේ සිද්ධීන් තමයි බබාලට උනේ. එයාලා ගොඩක් මානසිකව වැටිලා හිටියේ. මමත් ජීවිතය ගැන ලොකු කලකිරීමකින් හිටියෙ. කීප සැරයක්ම කියලා තියෙනවා අපි වෙන්වෙමු කියලා. එයා ඒකට කැමති වුනෙත් නැහැ. මමත් chances දිදී දිදී හිටියා. අද හරියයි හෙට හරියයි කියලා බලන් හිටියා. ආර්ථික අපහසුතාවයන් ආවා ඒත් එයාට බොන්න අතේ සල්ලි තිබුණා. ගෙදර දරුවන්ගේ අවශ්‍යතා ඉෂ්ට කළා ඒත් ණය කන්දක් ගොඩගැහුනා. අවුරුදු  හතක් වගේ කාලයක් කදී තමයි මේ සිද්ධීන් සිදු වුණේ. මේ කාලය ඇතුළත මම එයාගෙ බීම නවත්වන්න බෙහෙත් අරන් දුන්නා. counciling එක්කන් ගියා. මට පුළුවන් හැම දෙයක්ම කළා. ඒත් ඒ හැම දෙයක්ම ටික කාලයක් විතරයි. ඉතින් ගැහැණු ඉවසල ඉවසලා ගන්න තීරණ හරි දරුණුයි කියනවානෙ.. ඒ වගේ මටත් එපා වෙන දවසක් ආවා. ඒ කොරෝනා දවස්වල. මුළු රටේම ඇඳිරි නීතිය දාලා හැබැයි මේයා ගෙදර නෑ.  මම තීරණයක් අරගෙන තිබුනෙ අයින් වෙන්න. ඔය අතරේ එයාගේ  ඉස්කෝලෙ යාලුවො මේ ප්‍රශ්නෙ ටිකක් දැනගෙන එයාට කතා කළා. ඊට පස්සේ නිර්නාමික මත් ලෝලීන් මුදවාගැනීමේ සංසදයට යොමු කලා. මාස තුනක් විතර නොබී හිටියා. ඒ කාලෙ අත්තටම අපි සතුටින් හිටියා. ඒත් එයට ජොබ් එක නැති වුනා. ආයෙත් පරන ජීවිතේටම ගියා. එයාට මේක නවත්තන්න ඕන වුනත් ඒක කරන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ තනියම. ඊට පස්සේ ආයෙත් ප්‍රශ්න ඇති වෙන්න ගත්තා. මං එයාගෙන් separate වුණා. ඊට පස්සේ මම මාස හතරක් විතර එයා rehab වෙන්න යනකම් බබාලත් එක්ක තනියම හිටියෙ.

5. පුනරුත්ථාපනය වුන කාල සීමාව ගැන විස්තර කිව්වොත්..

ඇත්තටම පුනරුත්ථාපනය වෙන්න යනවා කියලා මට එයා කිව්වෙත් ඊට කලින් දවසේ.  එයාට පවුල කියන දේ ඕන උන කෙනෙක්. එයාට හිතුනලු  පුනරුත්ථාපනය නො වුණොත් එයාට මේ හැම දෙයක්ම නැති වෙනවා කියලා. ඉතිං ඒ තීරණයට මමත් කැමති වුණා. මට ඒ වෙනකොට එයා ගැන කිසිම හැඟීමක් වත් තිබුනේ නැහැ. ඉතින් එයාගේ කරදර නැති වෙන එක ගැනම මං සතුටු උනා.

එයාගෙ යාලුවො  දෙන්නෙ පහුවදා උදේ ඇවිල්ලා එයාව එක්කගෙන ගියා. එයාව එතන center එකට දාලා මට කෝල් කරලා විස්තර කිව්වා. ගිය ගමන් සුදු සරමකුයි ෂර්ට් එකකුයි අඳින්න දීලා කොණ්ඩෙ තට්ටෙ ගෑවා කියලා. එයාලටත් ඒක දැකලා දුක හිතුනා කිව්වා. ඒ විස්තර මට කෝල් කරල කිව්වෙ මමත් ඔෆිස් එකේ ඉන්න ගමන්. මටත් වැඩ කරන්න mood එකක් තිබුනේ  නැහැ. ඉක්මනින් ගෙදර ආවා. කොච්චර ඉන්නකම් අපිට කරදර කලත් තව මාස නමයකට එයා නෑ කියලා හිතුනහම පුදුම දුකක් ඇති වුණා. මමයි බබාලා දෙන්නයි එදා රෑ හොදයම ඇඬුවා. ඒ මාස නමයෙ කාලෙ ඇතුළත මට ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න තිබුණා. ඒ හැම දෙයක්ම අඬඅඬා විසඳ ගන්නකොට එයා ගැන තරහකුත් ඇති වුන වෙලාවල් තිබුණා. එයා නිසා නෙ මේහැම දෙයක්ම මට තනියම කරන්න වුනේ කියලා. ඒ center එකෙන් මාසෙකට දවසක් පැය භාගයක් එයාව බලන්න අවසර දුන්නා. ඊට අමතරව හතර වෙනි සතියේ විනාඩි පහක් කතා කරන්න දුන්නා. ඒ දවස් දෙක එනකන් කොච්චර වුණත් මම යි බබාලයි බලාගෙන හිටියා. අපි තුන්දෙනා හැමදාම දෙවියන්ගෙන් ඉල්ලුවා එයාව හොඳ මනුස්සයෙක් කරන්න කියලා.

6. දැන් ඔබ ඔහුත් සමග ගෙවන ජීවිතය මොන වගේද ?

ඇත්තටම කියන්න සතුටුයි. එයා එනකොට මං අපි කලින් ජීවත් වුන ප්‍රදේශය වෙනස් කලා. එයා ඒ වෙනසට කැමති වුනා. පුනරුත්ථාපනය වෙලා ඇවිත් දැන් අවුරුද්දක් වෙනවා. දැන් අපි පුදුම සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා. අපේ දරුවො විදින සතුට සැහැල්ලුව දැක්කහම වචන කරන්න බැරි තරම් සතුටුයි.  මම දරුවෝ නිසා වෙන් නොවී කරපු කැපකිරීම් ගැන මට සතුටුයි. මොකද ඒ කැපකිරීම වලට දැන් වටිනාකමක් ලැබෙනවා. හැම අඳුරු වලාවකම රිදී  රේඛවක් ඇදෙනවා වගේ .. අපේ ජීවිතත් දැන් එලිය වෙලා.

7. මතට ඇබ්බැහිවූවන් සමග ජීවත්වන ආදරණීයයන්ට ඔබට කුමක්ද කියන්න තියෙන.

 එක එක්කෙනාට තියෙන්නේ වෙනස් විදිහේ කතාවක්. ඒ පවුලේ අය, බිරිඳ දරුවන් දෙමව්පියන්  මුහුණදෙන ප්‍රශ්න විවිධාකාරයි. ඉවසීමෙන් මුහුණ දිය හැකි ප්‍රශ්න වගේම එසේ නොවන ප්‍රශ්නයක් මේ අතර තියෙනවා. මතට ඇබ්බැහි වූ කෙනාව ඔහුගේ කැමැත්ත ඇතිව පුනරුත්ථාපනය කරන්නට සුදුසු ස්ථානයකට යොමු කරන. ඒ තුළින් ඔහුට තවත් අවස්ථාවක් ලබා දෙන්න. ඒ තුළින් ඔබට යහපත් ප්‍රතිඵලයක් නොලැබුණහොත් ඔබේ තීරණය ක්‍රියාත්මක කරන්න. මොකද ඔබට තිබෙන්නේ එක ජීවිතයක් පමණයි. ජීවිතයේ සතුට මග හැර නොගන්න.

                        ස්තුතියි

               පියුමි සිල්වා

ගිහින් එන්නම්

ගිහින් එන්නම්

කියන අය ගියේ

ආයෙත් එන්න

හැබැයි ඒ

එයාලගේ වුවමනාවට,

පස්සෙ කතා කරන්නම්

කියපු අය

නිහඬ වුනේ

අපි සමහරුන්ට

වරදක් කළ ගානට,

සමහරු හමුවෙලත්

මඟහැරල ගියේ

අපි දෙයක්

බලාපොරොත්තු වෙයි

කියල තියෙන බයට,

අපි ගැන වැරදිම

හොය හියා ගියේ

ටිකක් හරි ජීවිතේ

පහළට දාන්න තියෙන

උවමනාවට,

ඇත්තටම,

සමහරු හමුනොවුන නම්

හොදයි හිතෙන්නේ

හිතක් රිදෙන බව දැනගනත්

කරන වෙනස්කම් වලට …

Gagana

බය නොවන්න

(2 තිමෝති 1:6 – 7)

ඒ කාරණය නිසා මාගේ අත්තැබීම

කරණකොටගෙන ඔබ තුළ තිබෙන

දෙවියන්වහන්සේගේ දීමනාව පුබුදුකරන හැටියට

ඔබට සිහිකරවමි. මක්නිසාද දෙවියන්වහන්සේ

අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව

බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙනි ඔබගේ සියලුම

කාරණාවල් දෙවිඳුන් තුළ නිසියාකාරව ශක්තිමත්ව ජය

අත්පත් කරගන්නා දිනයක් වේවා!

අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවත් වූ පුදුම දේ

කරන දෙවිදුන් බැවින් උන්වහන්සේගේ දරුවකු වීමේ

ආශිර්වාදය ලබා ඇති ඔබ කිසිවෙකුගේ කිසිදු ප්‍රකාශයකට

බිය නොවන්න.මන්ද  අද දින ඉහත ප්‍රධාන දේව වචනය

වන 2 තිමෝති 1:6,7 හී සදහන්ව ඇත්තේ දෙවියන්

වහන්සේ අපට දුන්නේ බයාදු කමේ ආත්මයක් නොව

බලයෙන් ප්‍රේමයෙන් හික්මීමෙ ආත්මයක්ය කියාය.එබැවින්

අදත් ඔබගේ සිත නොකැළඹේවා.මාගේ සහෝදර

සහෝදරියනි ඔබ යන ජීවන ගමනේදී  ඔබ බියට පත්වන

ප්‍රශ්නයක දී, කරදරයක දී, පීඩාව කදි දේව වචනය

මෙනෙහි කරමින් දේව අභිමුඛත්වයේ  හිඳිමින් යාඥා

කරන්නේ නම් දේව ආත්මයාණන් තුළ තිබෙන්නා වූ

ජ්වලිතකම  හා එඩිතරකම උන්වහන්සේ ඔබට ලබා දෙන

සේක.

එසේ උවද ලෝකාකාරව ජීවත්වන අනෙකුත් මනුෂ්‍යයන්

ඔවුන්ට මුහුණ පෑමට සිදුව ඇති විවිධ අභියෝගයන් නිසා

බයාදු කමට පත්ව සිටිති.ඇතැම් මනුෂ්‍යයන් කවුරුන් විසින්

හෝ ශබ්ද නගා කතා කළ විට පවා මහත් වූ බියකට

පත්වේ.දෙවියන් වහන්සේව අදහන ඔබත් මෙවැනි දේ

වලට බිය වන්නේ ද? එසේනම්

(ක්‍රියා 1: 8)

නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ සැම

කෙරෙහි පැමිණි කල ඔබ සැම බලය ලබන්නහුය.

එවිට ඔබ සැම යෙරුසලමෙහිද මුළු යුදයෙහිද

සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ

සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

මෙම දේව වචනයේ පවසා තිබෙන්නේ

"ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල

නුඹලා බලය ලබන්නහුය" කියාය.ඔබ සෑම මොහොතේම

දෙවිඳුන් තුළ ධෛර්යමත්ව, ශක්තිමත්ව,

ඇදහිල්ලෙන්,විශ්වාසයෙන්,නොබිය ව සිටින්න.ඔබ

උන්වහන්සේව විශ්වාස කරනවා නම් අවසාන මොහොතේ

හෝ උන්වහන්සේ ක්‍රියා කරන්න යනවා.මෙය සිදුවන්නේ

ඔබගේ විශ්වාසය තුළයි.

එම නිසාම ඔබ අද දින ඔබගේ දුර්වලතාවය අවබෝධ

කරගන්න.ඔබ උදෑසන අවදිවී දණ ගසමින් සමිදානෝ

ඉදිරියේ පසුතැවිලි වෙමින් ඔබගේ හදවත උන් වහන්සේට

භාර දෙන්න.එවිට ඔබගේ හදවත දෙස බලන්නා වූ සමිදුන්

ඒ තුළ උන්වහන්සේට නොගැලපෙන යම් කිලිටි දෙයක් වේ

නම් ඉන් පවිත්‍ර වීමට ඔබට උපකාර කරන සේක.එසේම

උන්වහන්සේගේ බලවත් දේව ආත්මයාණන්

කරණකොටගෙන ඔබ තුළ ඇති බයාදුකමේ ආත්මය පහ

කරන සේක.ඔබ උන් වහන්සේව පිළිගෙන උන් වහන්සේව

අනුගමනය කරනවා නම් උන්වහන්සේ මේ හැම බියකින්ම

ඔබව නිදහස් කර ඔබට ජය අත්පත් කර ගැනීමට බලය

නිදහස් කරන සේක.උන් වහන්සේව පමණක් විශ්වාස

කරන්න.

(යෙසායා 41:13)

මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම:

භය නොවෙන්න, මම ඔබට පිහිටවන්නෙමියි

කියමින් ඔබේ දකුණත අල්ලන්නෙමි.

ඔබට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මම පරාද වුනෙමි…

මම පරාද වුනෙමි…

නුඹේ මතකයෙන් සැඟවෙන්නට

වෙර දරන මොහොතක් පාසාම

මම පරාද වුනෙමි….

නුඹෙන් ඈතටම 

දිව යන මොහොතක් පාසාම

මම පරාද වුනෙමි…

නුඹ ගැන තරහවකින්

හිත පුරවගන්නට

වෙර දරන මොහොතක පාසාම

මම පරාද වුනෙමි…

ඉදින්..

මම පැරදුම බාර ගනිමි

මියෙන තුරුම මම

පැරදීමට කැමැත්තෙමි…

සුරේඛා

චායාරූපකරණයට පිවිසෙමු

 චායාරූපකරණයට පිවිසෙමු – 4

කලින් වතාවේ සමු ගන්නකොට කිව්වා වගේම ඔන්න photography 4 වන ලිපියත් සමග මම ඔබ හමුවට ආවා. අපි අද කතා කරන්න යන්නේ කැමරා ගැන. මේ ලිපිය මෙන්න මේ කොටස් වලින් සමන්විත වෙනවා. 

  1. කැමරාවක ක්‍රියාකාරීත්වය සහ කැමරා කාච.
  2. විවිධ කැමරා වර්ග.
  3. DSLR කැමරාවක් හා Mirrorless කැමරාවක් අතර වෙනස.

කැමරාවක ක්‍රියාකාරීත්වය.

කැමරාවක් කියලා කියන්නේ දෘ‍ෂ්‍ය රූපයක් ග්‍රහණය කරගන්නා උපකරණයක්. මේකට ප්‍රධානවම අවශ්‍ය වෙනවා ‘ විවරයක්, එම විවරයෙන් හැර ආලෝකය ඇතුළු නොවන සේ මුද්‍රා තැබූ පෙට්ටියක් සහ ආලෝක සංවේදී පෘෂ්ඨයක්’ 

මතකද අපි පොඩි කාලේ හදපු සිදුරු කැමරාව. අන්න ඒක තමයි කැමරාවක සරලම ආකෘතිය.

මේකෙන් අපට පෙනෙන දර්ශනය ඉතාමත් දුර්වල එකක්. නමුත් නව තාක්ෂණය සහ උපකරණ භාවිතයෙන් අති සුපැහැදිලි දසුන් ලබාගන්න පුලුවන් කැමරා දැන් නිපදවෙලා තිබෙනවා.

අපි බලමු DSLR කැමරාවක දල සැකැස්ම.

නූතන කැමරාවක් ප්‍රධාන වශයෙන් කැමරා බඳ සහ කාච පද්ධතිය ලෙස කොටස් දෙකකට දකින්න පුලුවන්. මේ කාච පද්ධතිය මාරු කිරීමෙන් එකිනෙකට වෙනස් ආකාරයේ චායාරූප ලබාගන්න පුළුවන්. 

විවිධ කාච වර්ග

  1. Zoom lens

චායාරූප ශිල්පීන් අතර සුලභවම දක්නට ලැබෙන කාච වර්ගය වන්නේ මෙයයි. පුද්ගල චායාරූප වල සිට වනජීවී චායාරූප ලබාගැනීම දක්වා උපරිම පරාසයක කාච මාදිලි මෙම වර්ගයේ දක්නට ලැබේ.

බහුතරයක් කැමරාවන් සමග නොමිලයේ ලැබෙන 18 – 140mm හෝ 18 – 135mm කාච මෙන්ම මංගල චායාරූප ශිල්පීන් අතර කාලයක සිට ප්‍රකටව පවතින 70 – 200mm කාචයද zoom lens අතර ඉහළින්ම දක්නට ලැබේ. එමෙන් ම සංචාරකයන් හට පහසුවෙන් රැගෙන යා හැකි 18 – 200mm සහ 18 – 270mm කාචද ඉතාමත් ප්‍රචලිත කාචයන් වේ. 

  1. Prime lens

කැමරාව නිපදවූ කාලයේ පටන් මේ වනතෙක් පැවති කාච වර්ගයක් ලෙස prime lens හැඳින්විය හැක. 

මෙම කාච වලට ඇත්තේ එක් ස්ථාවර නාභි දුරකි. එම නිසා විශාලන හැකියාවක් නැත. 

නමුත් මෙම ස්ථාවර නාභි දුර නිසා මෙම කාච වලට වඩාත් තීවුර, ගුණාත්මක චායාරූප ලබාගැනීමට හැකියාවක් ඇත. නියමිත අවස්ථාවට උචිත කාචය ඔබ භාවිත කලොත් ඉතා උසස් තත්ත්වයේ චායාරූපයක් ලබාගැනීමට ඔබට හැකියාව ඇත.

මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් 85mm Art lens ද අයත් වන්නෙ මෙම prime lens ගණයටම වේ. එමෙන්ම landscape චායාරූපශිල්පීන් අතර 35mm කාචයද ඉතා ප්‍රචලිත කාචයකි.

  1. Telephoto lens

සාමාන්‍ය විශාලන කාචයක් (zoom lens) චායාරූපශිල්පීන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවේ නම් ඔවුන් telephoto lens භාවිතා කරයි. මේවා ඉතා ඉහළ විශාලන අගයන් ගෙන් සමන්විත වේ.

100mm සිට 600mm දක්වා විශාල පරාසයක විශාලන අගයක් සහිත කාචයන් මෙම වර්ගයට අයත්වේ. ඊටත් ඉහළ විශාලන අගයන්ගෙන් සමන්විත telephoto කාචයන් ද දැන් වෙලඳපොලෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.

ආධුනික චායාරූප ශිල්පීන්ට පහසුවෙන් දැරිය නොහැකි ඉහල මිල ගනන් වලට අලෙවි වන මෙම කාචයන් වෘත්තීමය වනජීවී චායාරූප ශිල්පීන් හා ක්‍රීඩා චායාරූප ශිල්පීන් වැළඳ ගන්නේ මහත් කැමැත්තකිනි.

  1. Wide-angle lens

ඔබට වඩා විශාල පරාසයක් ඔබගේ චායාරූපයට ලබා ගැනීමට අවශ්‍ය නම් wide-angle lens එකක් ඉතාමත් වැදගත් වේ. 18mm සිට 35mm වැනි අඩු නාභි දුරකින් සමන්විත නිසා ඔබට පෙනෙන දර්ශනයෙන් වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට හැකියාව ඇත.

මෙම හේතුව නිසා landscape photography හා කලාත්මක wedding photography සඳහා මෙම කාචයන් භාවිතා කරයි.

  1. Fisheye lens

ඔබට wide-angle lens එකකටත් වඩා පුළුල් පරාසයක චායාරූපයක් ලබාගැනීමට අවශ්‍ය නම් fisheye lens එකකට මාරු වීමට සිදුවේවි. මෙම කාචයට ඉතාමත් ඉහළ දර්ශන පරාසයක චායාරූප ලබා ගැනීමේ හැකියාවක් පවතී.

8mm වැනි ඉතාමත් අවම නාභි දුර නිසා මෙය බහුලවම ගෘහ අභ්‍යන්තර චායාරූප කටයුතු සඳහා භාවිතා වේ.

ඉහළින් කතා කරපු ඕනෑම වර්ගයක කාචයක් හරහා ලබා ගන්නා ආලෝකය කැමරා බඳේ ඇති දර්පණයේ (mirror) වැදී ඉහළ ඇති prism viewing system එක හරහා ගොස් viewfinder එක හරහා ඇසට ලැබෙනවා. චායාරූපයක් ලබාගැනීමේදී දර්පණය ඉහළට එසවී ෂටරය විවෘත වෙනවා. එවිට ආලෝකය සෙන්සරය මතට පතිත වී චායාරූපය ග්‍රහණය කර ගැනීම  සිදු වෙනවා.

විවිධ කැමරා වර්ග වල මෙම යාන්ත්‍රණය විවිධාකාරයෙන් සිදු වෙනවා.

චායාරූපකරණය සඳහා වර්තමානයේ භාවිතා වෙන විවිධාකාර කැමරා වර්ග.

  1. DSLR cameras.
  2. Mirrorless cameras.
  3. Compact cameras.
  4. Instant cameras.
  5. Bridge cameras.
  6. Action cameras.
  7. 360 cameras.
  8. Mobile cameras.
  9. Medium format cameras.

සාමාන්‍ය චායාරූප ශිල්පීන් ලෙස අප බහුලවම භාවිතා කරන්නේ DSLR cameras සහ Mirrorless cameras ය. ඒ නිසා අපි මේ දෙකේ වෙනස හඳුනා ගනිමු.

Mirrorless යන නමින්ම මෙම කැමරා දෙකෙහි ප්‍රධාන වෙනස හැඳින්වෙන බව ඔබටත් වැටහෙනු ඇති. 

එනම් DSLR කැමරා වල, ආලෝකය viewfinder වෙත ගමන් කරවන දර්පණ (mirrors) පද්ධතිය mirrorless කැමරා වල අඩංගු නොවේ. Mirrorless කැමරා වල ආලෝකය කෙලින්ම පතිත වන්නේ සෙන්සරය මතටයි. කැමරා නිශ්පාදකයින් DSLR කැමරා වල ඇති Optical viewfinder වෙනුවට mirrorless කැමරා වලට Live viewfinder එකක් ලබාදී ඇත. එය කැමරාවේ ප්‍රධාන තිරය මෙන්ම වූ කුඩා නමුත් ඉහළ ගුණාත්මක භාවයකින් යුත් LCD තිරයකි. 

එමෙන්ම mirrorless කැමරා වල දර්පනය එසවෙන යාන්ත්‍රණය නොමැති නිසා චායාරූපයක් ලබා ගැනීමේ වේගය සාපේක්ෂව වැඩිය. එමනිසා burst mode එකේ චායාරූප ගැනීමේදී මිනිත්තුවකට ලබාගත ගත හැකි චායාරූප ප්‍රමාණය වැඩිය.

කැමරා බඳ සාපේක්ෂව බරින් අඩු නිසා චායාරූප ශිල්පීන් mirrorless කැමරාවලට මහත් ඇල්මක් දක්වයි. 

මෙම කලාපයේ ලිපිය මම මෙතනින් අවසන් කරනවා. මෙහි ඉතිරි කොටසින් ලබන කලාපයේ අපි කතා කරමු අනෙක් කැමරා වර්ග ගැන. එතෙක් ඔබට ජය!

බිනර සිසිරංජන