ඡායාරූපකරණයට පිවිසෙමු

Photography 3

Photography ලිපියේ තුන් වෙනි කොටසිනුයි අද මම ඔයාලා එක්ක සමබන්ධ

වෙන්නේ. අපි අදත් කතා කරමු චායාරූපකරණයේ තවත් මූලික සැකසුම්

කීපයක් ගැන.

Metering modes

Metering යනු කැමරාවට පෙනන වස්තුවකින් පරාවර්තනය වන ආලෝක

ප්‍රමාණය මැන, එය හා ISO අගය මත පදනම්ව Shutter speed (ද්වාර වේගය) හා

Aperture (කාච විවරය) අගය කුමක් විය යුතු දැයි තීරණය කිරීමයි. (මෙය

නූතන කැමරා ආශ්‍රයෙන් කල අර්ථ දැක්වීමකි)

බොහෝමයක් චායාරූප ශිල්පීන් තම අගයන් (Shutter speed, Aperture) සකසා

ගන්නා බැවින් හා Flash lights භාවිතා කරන බැවින් මෙම සැකසුම ගැන එතරම්

සැලකිල්ලක් දක්වන්නේ නැත.

නමුත් අතීතයේ දළ සේයාපට භාවිතා කල කාල වකවානුවේ මෙම සැකසුම

ඉතාමත් වැදගත් සැකසුමක් විය. මක්නිසාද යත් ඔවුන්ට තමා ලබාගත්

චායාරූපයේ පෙර නැරඹුමක් (Preview) කල නොහැකි විය. එමෙන්ම එකල

කැමරාවල මෙම Light metering sensor අඩංගු නොවූ නිසා අතේ ගෙන යා හැකි

ආලෝක මීටර් භාවිතා විය.

පැරණි කැමරා කීපයක් හා එකළ භාවිතා වූ Light metering device කීපයක්.

(මූලාශ්‍ර google.com)

විවිධ කැමරා මාදිලි වල Metering modes තුනක් හෝ හතරක් පිහිටුවා ඇත.

අපි දැන් ඒ එකින් එක සරලව විමසා බලමු.

1. Evaluative / Matrix / Multi (Zone metering)

මෙම mode එක තමයි metering වල සංකීර්ණම mode එක. මේකෙදි අපේ

රාමුව විවිධ කොටස් වලට බෙදීමක් සිදුවෙනවා. මෙම කොටස් ප්‍රමාණය

විවිධ කැමරා අනුව වෙනස් වෙනවා. ඉන් පස්සෙ කැමරාව විසින් මේ

හැම කොටසකම පරාවර්තිත ආලෝක අගය වෙන වෙනම ගණනය

කරලා සාමාන්‍යයක් (average) ලෙස ලබා දෙනවා.

ඒ වගේම මේ mode එකේදි කැමරාවේ focus point එක සහිත කොටස

හඳුනාගෙන එහි ඇති වස්තූන් වලට ප්‍රමුඛතාව (priority) ලබා දී ආලෝක

අගය ගණනය කිරීමත් සිදු වෙනවා. මම ළා කොළ පාටින් දක්වලා

තියෙන්නේ මේ කොටස.

2. Center weighted metering

මේ mode එකේදි රාමුවේ මැදට වෙන්න 80% – 70% දක්වා පරාසයක

(කොල) පමණයි පරාවර්තිත ආලෝක අගය ගණනය කිරීම සිදුවෙන්නේ.

අනෙකුත් කොටස් නොසලකා හරිනවා. (රතු)

3. Spot Metering

Metering වලදී ඉතාමත් නිරවද්‍ය mode එක තමයි මේ mode එක. මේකෙදි

ඉතා කුඩා ස්ථානයක ආලෝක අගය මැනීම සිදුවෙනවා. එය සම්පූර්ණ

රාමුවෙන් 1%-5% වගේ සුළු ප්‍රමාණයක්. බොහෝවිට මේ ස්ථානය

වෙන්නෙ රාමුවේ හරි මැද. නමුත් නවීන කැමරා වල focus point එක

සමග මෙම spot එක link කිරීමේ හැකියාව තිබෙනවා. එමගින් ඔබ focus

කරන ස්ථානයේම ආලෝක අගය නිරවද්‍යව මැනගැනීමේ හැකියාව

තිබෙනවා.

4. Partial metering

මේකත් spot metering වගේම mode එකක්. මේ දෙකේ ඉතාම සුළු

වෙනසක් තමයි තියෙන්නේ. Spot metering වලදි 1%-5% අතර ප්‍රමාණයක්

මනිනකොට partial metering වලදි 10%-15% අතර ප්‍රමාණයක අලෝක

අගය ගණනය කරනවා.

5. Highlight weighted metering

මෙම mode එක සමහරක් Nikon හා සමහරක් Sony කැමරා වල පමණක්

දක්නට හැකි සැකසුමකි. මෙහිදී රාමුවේ ඇති Highlighted areas වල

ආලෝක අගය පමණක් ගණනය කර එම චායාරූපය over exposed වීම

වළක්වයි.

6. Entire screen metering

Sony කැමරා වල දක්නට ඇති මෙම mode එකේදී සම්පූර්ණ

රාමුවේම ආලෝක අගය ගණනය කරනු ලබයි. මෙය අප මුලින් කතා

කල Zone metering වලට තරමක් සමාන නමුත් මෙහිදී වෙනත් කිසිදු

ප්‍රමුඛතා ලබාදීමක් (priority) සිදු වෙන්නේ නෑ.

ඉතින් metering modes වල මූලික කරුණු සියල්ල අපි දැන් කතා කරලා අවසන්. ඔබගේ කැමරාවෙන් මෙම

සැකසුම් සියල්ල ඔබටත් අත්හදා බැලීමට පුළුවන්. ප්‍රායෝගිකව මම ද මෙම සැකසුම භාවිතා කරන්නේ

ඉතාමත් අඩුවෙන්. මොකද මම Flash lights භාවිතා කිරීම සහ metering mode භාවිතා කිරීමට වඩා ඉක්මනින්

මා විසින්ම shutter speed හා aperture පාලනය කිරීම ඉක්මන් හා පහසුවෙන් කරගන්න පුලුවන් නිසා.

දැන් අපි බලමු තවත් එක් මූලික සැකසුමක් ගැන. මෙයත් බොහෝමයක් චායාරූප ශිල්පීන් භාවිතා කරන්නේ

ඉතාමත් අඩුවෙන්. නමුත් එයත් ඔබට යම් අවස්ථාවක උපකාරී විය හැකි නිසා එයත් ඉගෙන ගනිමු.

Exposure Compensation (EV)

ඔබ metering modes භාවිත කර චායාරූප ගැනීමේදී සමහර අවස්ථාවලදී චායාරූපය ඔබට අවශ්‍ය

ප්‍රමාණයට වඩා තරමක් අඳුරු හෝ ආලෝකමත් විය හැකිය. එවැනි අවස්ථාවල කැමරාව ලබාගන්නා

exposure අගය මගහැර නැවතුම් (stops) කිහිපයකින් exposure එක අඩු හෝ වැඩි කරගැනීමට මෙම

සැකසුම භාවිතා කළ හැක.

බොහෝ කැමරාවල මෙම අගය -3 සිට +3 දක්වා අගය පරාසයක දක්නට ලැබේ. එනම් නැවතුම්

(stops) තුනක පරාසයක අඩු හෝ වැඩි අගයක් ලබා දීමට හැකිය.

ඉතින් photography තෙවැනි ලිපියත් සමගින් චායාරූපකරණයේ

මූලීක සැකසුම් කොටස අවසන් වෙනවා. මීළඟ කලාපයේ ලිපියෙන්

අපි කතාකරමු කැමරා වර්ග, ඒවායේ භාවිත හා කැමරාවක්

ක්‍රියාකරන ආකාරය ගැන. එතෙක් ඔබට ජයෙන් ජය!

බිනර සිසිරංජන

– ගෙදර ආදරේ –

▪️උදේට තේ හදන අම්මා 

මොන මලකරදරයක්ද මේක.. කොච්චර කළත් හොඳක් නෑ..

▫️උදේට තේ හදපු අම්මා 

පුතේ මේ තේ එක තාත්තට ගිහින් දීපන්..අනිත් අයත් එන්න තේ බොන්න..හා හා නැගිටපල්ලා කුම්බ්කර්ණයෝ ටික..

▪️උදේට උයන අම්මා

 උයනවා උයනවා තුන්සිය හැටපස් දවසෙම උයනවා. පොල් ටිකක් ගාලා දෙන්න එකෙක් නෑ..

▫️උදේට උයපු අම්මා

පොඩි පුතා..මාළු බැදලා වෙනම දැම්මා. බලාගෙන කන්න කටු හිර කරගන්නේ නැතුව.. ඒයි ඔයාගේ කෑම දෙකම බෑග් එකට දැම්මා. කෙසෙල් ගෙඩි වෙනම පෙට්ටියක දැම්මා.

▪️උදේට ගෙදරින් එළියට යද්දි අම්මා

▫️අද නම් ලොකූ උඹ රෑ වුණොත් අඬු කඩනවා. වරෙන්කෝ බලන්න රෑ වෙලා..

▪️රෑට අම්මා

හලෝ…හලෝ…ලොකූ දැන් දොලහත් පහුවෙලා. තාත්තට තරහ ගිහින් ඉන්නේ. මම කුස්සිය පැත්තේ දොර ඇරලා තියෙන්නෙ එහෙන් වරෙං.

▪️මේ සෙනසුරාදා අම්මා 

උඹලා රට වටේ රෝන්දෙ ගහපල්ලා. චිත්‍රපටියක් බලපු කාලයක් මතක නෑ.. මං මේ ගෙදරටම හිරවෙලා.

▫️ඊලඟ සෙනසුරාදාට අම්මා

අනේ මේ මට බෑ ඔය හෝල් ගානේ යන්න. මම ගියොත් මේ වැඩ කරන්නේ කවුද? තොපිලගෙ රෙදි හෝදන්නේ මොකාද? යන දේවාලෙක උඹලා පලයල්ලා.

▪️අපට අනතුරක් වුණ විගස අම්මා 

හරියට හරි..මම කිව්වා ඔය ටික වෙයි කියලා. උඹ ඇහුවද? හොඳ වැඩේ උඹට. ඔහොම වෙලා මදි තොට.

▫️ඊට විනාඩි දෙකකට පසු අම්මා 

කෝ බලන්න මෙහෙට එනවා. අම්මෝ ගොඩක් ලේ එනවනේ පුතේ. අයියෝ මම මේ අත පය කොච්චර පරිස්සමෙන්ද හැදුවේ පුතේ.. නාඩා ඉඳින් මම බෙහෙත් ඩිංඟක් අරන් එනකම්. 

▪️පෝය දවසට පෙරදා අම්මා

හෙට උදෙන්ම මම සිල් ගන්න යනවා. හෙට ඉතින් කෑම කඩෙන් තමයි. මගේ අගේ තෙරේවි උඹලට..

▫️පෝය දවසේ අම්මා 

කොහේ යන්නද සිල් ගන්න? උඹලයි උඹලගේ අප්පොච්චි බඩගින්නේ තියලා මට ඇහැකිද බොලව් සිල් ගන්න ? කියන බණ පදයක්වත් ඔළුවට යයිද? මං අන්න අර ඉඳි ආප්පයි, කොච්චි දාලා පොල් සම්බෝලයි, කිරි හොද්දකුයි හැදුවා. කන්න ඔක්කොම එක්ක. හැබැයි මස් මාංශ නෑ අද.

▪️රෑට උයන අම්මා 

තවම උයලා නෑ. මහත්තුරු ටික ඇඟ හෝදලා ලෑස්ති වෙලා එන්නකෝ. ආවා මෙතන හට්ටියට එබෙන්න..රෑට කන්න ඕන පොඩ්ඩයි. හිඟන්නෙක් වගේ හිඟන්නෙක් වගේ කන්න කියලා තියෙන්නේ.

▫️රෑට උයපු අම්මා 

හිටපන් තාත්තට බෙදනකම් මුලින්ම..ඔය පොඩ්ඩ කාලා ඇතිද මයෙ පුතේ? බෙදා ගනින් තව. හොඳට කාපන්. උදේට දවල්ට හරියට කන්නෙත් නෑ. ආ මෙන්න මේ බත් හැන්ඳත් දා ගනින්.

උඹලා නිදා ගනිල්ලා..හා..හා.. තුණුරුවන් සරණයි මගේ පැටව්නේ හෙට උදේම වැඩටත් යන්න තියෙනවනේ..මම දොරවල් වහලා නිදාගන්නම්.

චරියාගේ පන්හිඳ 

Charith Wijemanna

අප්පච්චි… 

චිතකයේ ගිනිදළු නැගෙයි. මම ඒ දෙස බලාගෙන උන්නෙමි. මෙතෙක් වෙලා පැහැබරව තිබුනු අහසින් එකවරම පතිත වූයේ වර්ශාවකි. එයද තප්පර ගානකි. 

‘මල් වැස්සක්… හොඳ ආත්මයක් ලබලා ඇති.. 

ඇතැමෙක් එසේ කියද්දී….

‘මෙච්චර කල් නාකපන වැහි වැටුනා. අද උදේ ඉදන් හොඳට පායනවා. ජීවත් වෙලා ඉන්න කාලෙ මහත්තයා නරකයි කියලා දෙයක් කලේ නෑ….

ඒ තවත් කෙනෙකි.. වටින් විටින් මෙවැනි කතා ඇහෙද්දී අප්පච්චිගේ චිතකයේ හෝ ගා දැවී යයි. සිරුරේ පණ ගිලිහී නොයන්නේ හිතේ හයියට වග මා දනිමි. අප්පච්චීගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර මේ වෙද්දී දැවී අළු වී යන වග සිතද්දීත් මගේ දෑස් වලින් ගලන කඳුලු වලට වඩා හිත හයියෙන් හඬයි.

‘අප්පච්චී, ආයෙත් එන්න.. තව අවුරුදු පහක් ජීවත් වෙන්න… 

මගේ හිත කෑගහයි. ඒත්, යලිත් නොඑන බව කියමින් සුසානභූමියේ දුම් රොටු අහසට නැගෙයි. මම අම්මා දෙස බැලුවෙමි. ගෙවුනු දෙමසක් පුරාවටම ඇය අප්පච්චී වෙනුවෙන් කල කැපකිරීම් වල මහන්සියත් අප්පච්චී අහිමි වීමේ වේදනාවත් නිසා ඒ මුහුණේ ඇත්තේ වචනයෙන් විස්තර කල නොහැකි වේදනාවකි. 

‘ මම දැන් තනි වුනා පුතේ.. අප්පච්චී මමයි ඔයාව බලන්න එන්න හිටියේ..’

අම්මා තවත් මොනවාදෝ කියද්දී මම එහෙමම සුසානභූමියේ ගල් පඩියක වාඩි වූයෙමි. මළගමට පැමිනි මිනිසුන් එකා දෙන්නා නික්ම යද්දී සමීපතමයින් පමනක් අප අසලම රැදුනි. 

‘දුව.. කොච්චර හිතුවත් අප්පච්චි ආයෙත් එන්නෙ නෑ. මේ එයා ගෙනාව ආයුශ. දැන් අම්මව බලන්න.. 

‘අප්පච්චි බේරගන්න ඔයාලා හැමදේම කලා ඒත් දැන් මොනවා කරන්නද?

නෑදෑයින් මා අසලට පැමින විවිධ දේ පවසන්නේ හිත හදන්නට වූවත් ඒ වචනත් මට මහා වදයකි. අප්පච්චී නැතිව යලිත් නිවසට යෑම මට මහත් වදයකි. ඔලුව හැරුනු අතේ යන්නට සිතුනත් අම්මා තනි කරන්නට හිත් නොදෙයි. 

‘අප්පච්චී, හැම ආත්මෙකම මගේ අප්පච්චි වෙන්න.මේ ආත්මෙට ඔය විදියට ගියාට ආයෙත් නම් එහෙම වෙන්න එපා.. 

සිය දහස් දස දහස් වෙනි වතාවටත් එසේ සිතූ මම වාඩි වී සිටි ගල් පඩියෙන් නැගිට්ටෙමි. දැන් නම් පෙර මෙන් අහස් කුස පුරා දුමක් නැත. එනම්, අප්පච්චීගෙ නිසල වූ සිරුර දැවී අවසානය… 

අප්පච්චී හිටපු උසස් පොලිස් නිලධාරියෙකි. ගෙවුනු වසරේ විශ්‍රාමදිවියට පත්වෙද්දී මා තරම් සතුටු වූ කෙනෙක් තවත් නොවීය. ඒ අම්මාත් අප්පච්චීත් එංගලන්තයට ගෙන්වා ගැනීමට හැකි නිසාය. 

‘මම ඉස්සර රග්බි වලට ඉන්ග්ලන්ඩ් ආවා.. දැන් එහේ ගොඩක් වෙනස් වෙලා ඇති නේද පුතේ?

‘අප්පච්චිම ඇවිත් බලන්නකෝ. මේ පාර ආවම මාස හයම ඉදලා යමු. අවුරුදු කීයක් බලාගෙන හිටියද මම ඔයාල දෙන්නා එනකම්… 

‘හ්ම්ම්.. පාස්පෝට් අළුත් කරන්න දීපිකා නංගි ෆෝම්ස් එව්වා. ඒවා ඉක්මනට යවන්නම් මම.. 

අප්පච්චිත් මාත් අතර වූ අවසාන සංවාදය එයයි. ඉන් දෙදිනකට පසුව මට ඇමතුමක් ආවේ මගේ එකම සහෝඳරයාගෙනි. 

‘අක්කේ අප්පච්චී ඇවිදිනකොට බැලන්ස් නෑ. එයා එහෙමම වාඩි වුනා දැන් නැගිටින්න බෑ.. 

එදා මගේ මුලු වතම දහඳියෙන් තෙමී යන්නට විය. 

‘මේ දැන්ම අප්පච්චිව හොස්පිට්ල් අරන් යන්න මල්ලි.. බලාගෙන ඉන්න එපා.

‘තෙල් නෑ අක්කේ.. කමක් නෑ මම කොහොම හරි තෙල් හොයාගෙන යන්නම්… 

සියල්ල ඇරඹුනේ එලෙසිනි. අප්පච්චී රෝහලේ නතර කර දෙදිනකින් අංශබාග රෝගියෙකු වූයේය. වෛද්‍යවරුන් පැවසුවේ අප්පච්චීගේ හදවත වැඩ කරන්නේ සියයට විස්සක් බවය. ගහක් ගලක් මෙන් ජීවත් වුනු අප්පච්චී ඇඳක වැටෙනවා බලන් ඉන්නට බැරිය. ඉතින් මම ලංකාවට ආවෙමි. 

එතැන් පටන් මාත් අම්මාත් මුණගැසිය හැකි සෑම වෛද්‍යවරයෙකුම මුණගැසුනෙමු. ඇතැම් වෛද්‍යවරුන් එක වරම අප්පච්චී සිටින තවත්වයත් සමඟ ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කල අතර තවත් වෛද්‍යවරුන් අප්පච්චී වෙනුවෙන් කැපවන්නට විය. කොළඹ මහ රෝහලත්, පොලිස් රෝහලේ සිටි වෙඳ හෙඳ කාර්ය මණ්ඩලය අප්පච්චී වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන්නට විය. විටෙක සුව අතට හැරෙන ඔහු තවත් විටෙක සම්පූර්ණයෙන්ම දුර්වල විය. ශරීරයේ වෙනස්කම් සමඟ අප්පච්චී හිටිය ප්‍රමාණයෙන් භාගයක් වෙද්දී මාත් අම්මාත් අප වටා සිටි අප්පච්චීට ආදරය කල හැමදෙනාමත් නොපෙනෙන දෙවියන් යැද්දේ අප්පච්චීගේ ජීවිතය ඉල්ලමිනි. 

‘දැන් නම් මහත්තයට අමාරුයි… බෙහෙත් නිසයි මෙහෙම හරි ඉන්නේ…. 

දෙමසක් ගෙවී යද්දී ඒ වචන පිට වූයේ වෛද්‍යවරුන්ගේ මුවෙනි.ඒ වචන අසා දෙදිනක් ගත වෙද්දී අප්පච්චී මෙලොව හැර ගියේ අගෝස්තු පලමු වනදා සවස් යාමයේදීය. එනම් අදින් දින හතකට පමන පෙරය. 

සිදු වූ සියල්ලම මට තවමත් සිහිනයකි. අප්පච්චී නැති නිවස පාලු කාන්තරයක් මෙනි. හිත හදන්නට වචන දහසක් ඇසුනත් ඒ දුක මා ජීවත් වන තුරාවට නිම නොවන්නේ මගෙත් අප්පච්චීගේත් උපන්දින යෙදෙන්නේ එකම දිනයට බැවිනි. 

‘සුභ උපන්දිනයක් මගේ පුතේ.. 

‘එසේම වේවා අප්පච්චී… 

යලිත් ඒ සුභ පැතුම මට නොඑන වග සිහි වද්දීත් හිත හදාගැනීම පෙනෙන මානයකවත් නැත. 

‘දුව බහින්න… ගෙදරට ආවා… 

අප්පච්චීගේ සහෝඳරයෙකු එසේ කියද්දී මම පියවි සිහියට ආවෙමි. අප්පච්චී නැති නිවස දෙස මම තත්පර කීපයක් බලාගෙන උන්නෙමි. වාහනයෙන් බැස්සේ ඉන් අනතුරුවමය. නිවසට ගොඩ වෙද්දී මල් මාලයක් දැමූ අප්පච්චීගේ ඡායාරූපයකි. පසෙකින් ඔහු සේවා කාලයේදී ලබා ගත් පදක්කම් සහිත පෙට්ටියකි. 

අප්පච්චීගේ ඡායාරූපයත් පදක්කම් සහිත පෙට්ටියත් මම දෑතට ගත්තෙමි. ඊටත් විනාඩි ගානකට පසුව මම ඒ දෙකම මා ගෙන ආ ගමන් මල්ලේ සඟවා ගත්තෙමි. 

දින විසි තුනකට පසුව….

සියලු දානමාන කටයුතු වලින් අනතුරුව යලිත් මම එංගලන්තයට ආවෙමි. අප්පච්චී මා එක්ක නාවට ඔහු අවසන් වතාවට පාවිච්චි කල බොහෝ දේ මා රැගෙන ආවෙමි. පදක්කම් පෙට්ටිය, පොලිස් තොප්පිය, අප්පච්චීගේ චායාරූප මෙන්ම ඔහු කියවූ නවකතා පොත්ද ඒ අතර විය. අප්පච්චී මතක් වන සෑම මොහොතකම මම ඔහුගේ පින්තූරය දෙස බලාගෙන හිදිමි. මේ ලියන මොහොතේදීත් ඔහුගේ රූපය මෙන්ම පදක්කම් පෙට්ටියද පෙනෙන මානයේය.

මැරුනු මිනිසුන් වෙනුවෙන් මැරුනු මිනිස්සු හිඟය. එහෙත් මැරුනු මිනිසුන් නිසා මැරි මැරී ඉපදෙන මිනිසුන් බොහෝය. ඊට හොඳම උදාහරණය මාය.. මගේ අම්මාය… අප්පච්චීට ආදරය කල සැමය… 

සමාප්‍තයි. 
තක්ෂිලා ඒකනායක.

ඔබ ගැන හැදින්වීමක් කලොත්

ඔබ ගැන හැදින්වීමක් කලොත් 

ඇත්තටම මගෙ නම දුෂාන්ති නිසංසලා ඒ උනත් හුගක් අය මාව අදුනන්නෙ නිශා එහෙම නැත්නම් නිශූ කිව්වම විශේෂයෙන් මුහුණු පොතේ.

* වැඩිදුර විස්තර කිව්වොත් 

මගෙ ගම මහව ,විජයබා ජාතික පාසලේ තමයි අධ්‍යාපනය ලැබුවේ , පවුලේ අම්මයි,තාත්තා ,නංගී ඉන්නවා, දැන්නම් මන් සැමියා සමග රුමේනියා වල ජීවත් වෙන්නෙ.

* ඔබ වෘත්තීය වශයෙන් මොනවද කරන්නෙ

Laboratory Assistant and 

Elderly care home nurse 

කෙනෙක් විදියට සේවය කලා, ඇත්තටම මන් හරිම ආසාවෙන් කල රැකියාවක් , ජීවිතේ  ගැන  හුගක් දේවල් දෑහින්ම දැක්කෙ Elder care home එකේ වැඩ කරන කාලෙ ,ජීවත් වෙන්න මහන්සි වෙනව වගේම  සමහර මිනිස්සු අවසාන හුස්ම හෙලන්නත්  හුගක් වෙහෙස වෙනව මන් දැක්කා,

* ඔබේ රැකියාව එක්ක ඔබට  විවිධ මිනිස්සු මුන ගැහිල ඇති විවිධ අත්දැකීම් ලැබිල ඇති 

ඔව් මිනිස්සු විසින් හදාගත්ත ඇති නැති පරතරය මිනිස්සුන්ව ලෙඩ කරද්දී සොබාදහම බලන්නෙ නෑ , මන් ඉන්ජෙෂන් කටුව මුලින්ම අතට ගත්ත දවස මට කවදාවත් අමතක වෙන්නෙ නෑ එදා මගෙ අත් දෙක වෙව්ලපු තරමට මන් හිතුවෙ කවදාවත් මට මේ රස්සාව කරන්න වෙන එකක් නෑ කියල .

* කොහොමද ලියන්න පටන් ගත්තෙ

ඇත්තටම මන් ඉස්කෝලෙ යන කාලෙ ඉදලම පොඩි පොඩි නිසදැස් ලියනවා,ඒ කාලෙ පත්තර වලටත් පොඩි නිසදැස් ලියල තියනව , ඒත් ඒව මගෙ පොත් අතරටම සීමා උනා,මට ලියන්න විතරක් නෙමේ අත්කම් වැඩ ඕනෙම දෙයක් පුළුවන් ,

ඒවගේම කියන්න ඕනෙ මුහුණුපොතේ තමයි මන් හුගක් දේවල් ලියන්නෙ ,මගෙ අතින් ලියවෙන හුගක් දේවල් විරහවට බරයි, මගෙ යාලුවො විතරක් නෙමේ හුගක් අය මගෙන් අහනව ඇයි මන් ඒවගේ දේවල් විතරක් ලියන්නෙ කියල 

මට මේ වෙලාවෙ කියන්න ඕනෙ විරහ රස කියන්නෙ ජීවිතේ කවදාවත් විරහ වේදනාවක් විඳල නැති කෙනෙකුට උනත් පපුවෙ හීන් කැක්කුමක් ඇති කරන්න පුළුවන් හැගීමක් ,ඒ නිසා වෙන්න ඇති විරහ ගීතත් වැඩිපුර නිර්මාණය වෙන්නෙ, මන් හිතන්නෙ ඒක හිතට දැනෙන නිසාම වෙන්න ඇති ඒ අය මගෙන් එහෙම අහන්නෙත්.

ඒවගේම මන් හිතන්නෙ අපේ සිංහල භාෂාව තමයි ලෝකෙ ලස්සනම භාෂාව කියල ,ඕනෙම හැගීමක් හරි ලස්සනට දැනෙන්න,රිද්දන්න වගේම සනසවන්න පුළුවන් එකම වචනයක් තේරුම එක එක විදියට හසුරවන්න පුළුවන් ලස්සන භාෂාවක් අපිට තියෙන්නෙ ,

* ඔබ මේ වෙද්දී කොයිතරම් කවි නිසදැස් ලියල තියනවද 

ගානක් කියන්න නම් අමාරුයි දැන් අවුරුදු පහක් විතර මුහුණුපොත හරහාම   ලියල තියනව ,ඒත් දැන් කෙටි කාලයක් ඉදල ලියන්නෙ හුගක් අඩුවෙන් ,

* ඔබට ලැබුණු විශේෂ ඇගයීම් තියනවද 

මට ලැබුණු සුවිශේෂී ඇගයීම තමයි  අපි  Magazine එකේ නිර්මාතෘ ගයාන් කරුනාරත්නව හදුනගන්න ලැබීම .

මන් මුලින්ම 2017 දි තමයි මුහුණුපොත හරහා ඔහුව හදුනගන්නෙ එදා ඉදල මන් ඔහුගෙ Facebok page වලට සම්බන්ධ වෙලා හිටියා, විශේෂයෙන් කියන්න ඕනෙ මන් වෘත්තීය ලේඛිකාවක් නෙමෙයි  , නමුත් ඔහු මාව විශ්වාස කරල අපි  Magazine එකට ලියන්න කියල ආරාධනා කරනව , මන් හිතන්නෙ  මැගසින් එකේ ඔහුත් එක්ක වැඩ කරන පරනම කෙනා මන්  වෙන්න ඇති ,මන් ඔහුව කවදාවත් සජීවීව දැකල නැහැ ,මේ වසර හයකට කිට්ටු කාලයටම දෙවතාවකට වඩා කතා කරල නැහැ, ඒ උනත් ඔහු අනිත් අයට රෙස්පෙක්ට් කරන්න දන්න පුද්ගලයෙක් විදියට තමයි මන් දකින්නෙ,

* අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නෙ 

ඇත්තටම මැගසින් එක ගැන කියල ගයාන් මට කතා කරද්දී මන් විශ්වාස කලේ නෑ මේක මේතරම් සාර්ථක වෙයි කියල .මොකද දැන් මිනිස්සු කියවනව හරිම අඩුයි, විශේෂයෙන් මුහුණුපොත උනත් හුගක් මිනිස්සු පාවිච්චි කරන්නෙ ගොසිප් වලට විතරයි කියලයි මට නම් හිතෙන්නෙ ඒ නිසා ,

ඒ උනත්  මන් හරිම ආසාවෙන් තමයි අපි magazine එකට ලියන්න ගත්තෙ , දැන් කොයිතරම් මේකට ඇබ්බැහි වෙලාද කිව්වොත් මාසෙ පලවෙනිදට මුලින්ම බලන්නෙ පෝන් එක අරන් මැගසින් එක මට ටැග් කරලද කියල ,එහෙම නැති උනොත් මට කේන්තිත් එනව ,අනිත් අතට ගයාන්ට මැසේජ් එකක් දානව මැගසින් එක ටැග් කරල නෑ කියල රවා ගත්ත ස්ටිකර් එකකුත් එක්ක.

ඒවගේම මැගසින් එක එක්ක වැඩ කරන හුගක් දෙනෙක් ඉන්නව ,මන් කවදාවත් ඔවුන් එක්ක කතා කරල නැහැ ,අදුනන්නෙ නෑ ඒ උනත් මැගසින් එක කියන්නෙ අපි හැමෝගෙම හැගීම් සහ කැපකිරීම් වල අවසාන ප්‍රතිඵලය ,මැගසින් එකට දැන් අවුරුදු තුනක් කිට්ටු වෙන්න ලඟයි,

ඉතින්  ඒ වෙනුවෙන් මහන්සි වෙන කැපකිරීම් කරන හැමෝටම මේ අවස්ථාවේ ස්තූති වන්ත වෙනව මෙය සාර්ථක කරගන්න දායක උනාට,

මොකද හැමෝම මේක කරන්නෙ විවිධ රටවල ඉදල රැකියා කරන ගමන් ,

ඒවගේම ගයාන් කරුනාරත්න අපේ සහෝදරයා ඔහුට ස්තූති වන්ත වෙනව මාව මේ හා සම්බන්ධ කරගත්තට, හැමෝටම ආරාධනා කරනව අපි විශ්වාස කරල අපි  magazine එකත් එක්ක හැමදාම රැඳී ඉන්න කියල ,ඔබේ ජීවිතයට වටිනා මොනම හරි දෙයක් මෙයින් ගන්න කියල ,