පිනි බිංඳු (1 කොටස)

බැංකුවෙන් මම එලියට එද්දි දවල් කෑම වෙලාවටත් ලං වෙලා. පැයක් විතර පෝලිමේ හිටගෙන ඉදලා ගත්තු පෙන්ශන් එක ආයෙත් වතාවක් ගනං කරලා පර්ස් එකට දාගත්තු මම ඔරලෝසුව දිහා බැලුවේ ඊළඟ බස් එකට නගින්න තියෙන වෙලාව බලන්න. තවත් එහෙමම විනාඩි හතලිස් පහක් තියෙනවා. පරිසරයේ තියෙන ගිනි රස්නෙ තව වැඩි වෙන්නෙ ඇතාගල හින්දයි. මොන තරම් කාෂ්ඨකයක් තිබුනත් ඇතාගල මුදුනේ තම්පත් කරලා තියෙන බුදු පිලිම වහන්සේ දිහා බැලුවම හිතේ තියෙන සියලු දුක්ඛ දෝමනස්සයන් වගේම විඩාවත් මොහොතකට දුරුවෙනවා. 

බැංකුවේ හිටපු පැයට මගේ උගුර කටත් වේලිලා ගිහින්. බස් එකටත් තව වෙලාව එහෙමම තියෙන එකේ මම හෙමින් හෙමින් ඇවිදගෙන ගියේ කූල්ස්පොට් එකක් හොයාගෙන. යන ගමන් අතේ තිබුනු පොඩි නොකියා එකෙන් කුමාරිට ඇමතුමක් ගත්තේ මම එනකම් ඇය බත් කටක් නොකන නිසයි. 

‘මහත්තයා… 

වචනයක් කියන්නත් කලින් ඇය මාව හදුනනවා..

‘කුමාර්‍රි..මම පෙන්ශන් එක ගත්තා…බස් එකට එහෙමමයි වෙලාව. මම මොනවා හරි බීලම එන්නම්. එතකම් ඔයා කන්න..

‘එහෙම ඕන නෑ. මාත් තේ බිව්වා. තාම බඩගිනි නෑ.. මහත්තයා හෙමින් එන්නකෝ..

‘එද්දි මොනවාහරි ගේන්න තියෙනවද?

‘හ්ම්ම්.. එහෙම මොකුත් නෑ. මහත්තයා පරිස්සමට එන්න. වැඩිය තෙල් ජාති එහෙම කන්න එපා.. මහත්තයට හොඳ නෑ… 

කුමාරි එහෙම කියද්දි මම ඇමතුම විසන්දි කලේ හිනාවෙමින්. මටත් වඩා මම ගැන හිතන කුමාරි අවුරුදු තිස්පහක් මාත් එක්ක එකට ජීවත් වෙන ප්‍රිය බිරිඳයි. තරුණ කාලේ ඉදන් මේ වෙනකම් ඇය මගේ හොඳම යෙහෙලියයි. පිරිමියෙක්ට ලබන්න පුලුවන් උතුම් ගනයේ ගැහැණියක් තමයි කුමාරි කියන්නෙ. කාලයක් මම හින්දා, ඊටපස්සෙ දරුවෝ නිසා ජීවිතේ පුදුමාකාර කැපකිරීම් කරපු කුමාරි ගැන මගේ හිතේ තියෙන්නෙ වචන වලින් කියලා නිම කරන්න බැරි ආදරයක්.

‘ආහ් විජේදාස සර් දැක්කේ සෑහෙන කාලෙකින්…

කුමාරි ගැන හිත හිතම මම කූල්ස්පොට් එක ළඟට ඇවිත්.අවුරුදු ගානක් තිස්සෙ මේ කඩේ කලේ සමරවීර. මාත් එක්කම ඔහුත් වයසට ගිහින්. ඒත් පුරුදු ලෙංගතුකම තාමත් එහෙමමයි. 

‘ඉස්කෝලේ කාලේ වගේ නිතර දෙවේලේ දැන් ටවුමට එන්නෙ නෑ සමරේ. නෝනා හදලා දෙන කෑමක් කාලා මම වත්තේ පිටියේ වැඩක් කරනවා. දරුවොත් ලංකාවේ නෑ. එයාලත් බලන්න යනවා..

දරුවෝ දෙන්නම පිටරට වල උන්නත් මටවත් කුමාරිටවත් විශේෂ සැලකිලි ඔවුන්ගෙන් ලැබුනේ නෑ. කටට ආවට දරුවෝ බලන්න රට රට වලට යනවා කියලා සමරෙ එක්ක කිව්වා මිසක් මමවත් කුමාරිවත් දුව ඉන්න කැනඩාව වගේම පුතා ඉන්න ඇමරිකාවත් දන්නේ ලෝකසිතියමෙන් දැකලා විතරයි. ඒ හැරුනම අපි දෙන්නා ඒ රටවල් පැත්තේ පස් පාගලා නෑ. ඒත් මේක ලංකාව. සමහර දේවල් ඒ විදියට තවත් අයට කියද්දි කතාව එතනින් නතර වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගෙ සැලකිලි ගැන. 

‘විජේ ඉස්කෝලේ මහත්තයයි නෝනයි දැන් දුව හරි පුතා හරි ළඟ පදිංචි වුනා නම් හොඳයිනේ. මෙහේ ඉතින් ජීවත් වෙන්නත් අමාරුයි නේ.. 

සමරේගේ කතාව තවත් නවතින්නෙ නැති හැඩයි. 

‘ ඉපදුනු පොළව දාලා ඔය සීතලේ ගිහින් ඉන්න අපට බෑ සමරේ. මට කල්කිරි එකයි සමරෙගෙ එලවලු රොටියකුයි ගේන්නකෝ. අම්මපා මට තාමත් ගෙදර ඉද්දි වෙලාවකට මෙහෙට ඇවිත් එළවලු රොටී කාල යන්න හිතෙනවා….

‘විජේ ස’ ආසම දේනේ.. ආහ් මහත්තයෝ.. තව මොනවා හරි ඕන නම් කියන්න. බස් එක එන්න වෙලාව එහෙමමයිනේ.. 

සමරෙගෙ කතාව එතනින් අවසන් වුනු එක මගේ හිතට පුදුම සැනසීමක් එකතු කලා. සති අන්තයේ ලංකාදීප පත්තරය කියවන ගමන් කල්කිරි බොන එක මගේ ඉස්සර ඉදන්ම පුරුද්දක්. කුමාරි බනින්නෙම මේ පුරුදු වලට. ඒත් සමහර ඇබ්බැහිවීම් නවත්තන්න අමාරුයි කියන එක කුමාරි තවම දන්නෙ නෑ. 

පත්තරේ මුල් පිටු වල තිබුනෙම දේශපාලනය ගැන. ඊටපස්සෙ දරුවො දෙමව්පියන්ට නොසලකල පාරට දාන සිදුවීම්, ඒ හැරුනු කොට රසවත් කිසිම දෙයක් පත්තරේ තිබුනෙත් නෑ. දරුවො නිසා මොහොතකට හිත රිද්දගත් මම එකම දියනිය පියාව බලුකූඩුවට දාපු විස්තරය පත්තරේ කියවන්න ගියේ නෑ. කුමාරි කියනවා වගේ පෙන්ශන් එකෙන් ජීවත් වෙන අපි දෙන්නා පාරට ඇදලා දාන්න කාටවත් බෑ. 

පත්තරේ එහෙමම පැත්තකින් තියපු මම හිස එසෙව්වේ උපැස් යුවල ගලවන්න. දැකලා පුරුදු රූපයක් මගේ ඇස් ඉස්සරහා පෙනෙද්දි බාගෙට ගලවපු ඇස් කණ්ණාඩි දෙක ආයෙත් දාගත්තේ හිතට ආවේ හරිම නමමද කියලා තහවුරු කරගන්න. 

මගේ මතකය, ගෙවුනු අතීතය වගේම හර්ද සාක්ෂිය නිවැරදි නම් ඒ ඇයමයි. මම තරම් වයසට නොගියත් වල යන්තමින් සුදු වුනු කොණ්ඩයට, රැලි වැටුනු හමට බෑ අයගේ සුන්දරත්වය නැති කරන්න. තාමත් ඒ කාලේ වගේමයි ඇය. ඉස්සරට වඩා ඕන නම් අගල් දෙකක් තුනක් මහත් වෙලා ඇති. 

‘ සුනේත්‍රා… 

මටත් නොදැනීම ඒ නම මගේ මුවෙන් ගිලිහෙද්දි ඇය මුව පුරා සිනාසුනා. ඒ හිනාවෙන්ම ඇය මගේ ඉදිරිපිට වාඩි වෙද්දි මම ගොළුවෙක් වගේ ඇය දිහා බලාගෙන උන්නා. 

‘මහී නේද? කොච්චර කාලෙකින්ද? මම ඒත් ඔයා ගැන නිමල් ගෙනුත් ඇහුවා. එයා කිව්වෙ මලියදේවෙන් පෙන්ශන් ගියාට පස්සෙ ඔයා ටියුශන් නැවැත්තුවා කියලා. ඉතින් මහී, කුමාරි හොඳින්ද? 

මම අපහසුවෙන් සිනාවෙන්න උත්සහා කලා. පෙනුමෙන් යන්තම් වෙනස් වුනාට ඇයගේ වචන නම් තාමත් එහෙමයි.මීට අවුරුදු ගානකට කලින් ඇය ඉදිරියේ ගොලු වුනු මම එදා වගේම අදත් ගොළු වෙලා. 

‘කුමාරි හ්ම්ම්.. ගෙදර.. සුනේ..ත්…රා කොහේ ආව ගමන්ද?

අමාරුවෙන් ගොතා ගත්ත වචන ටික යම් සහනයක් මගේ හිතට ගෙනාවත් සුනේත්‍රා දැකීමෙන් හිරිවැටුනු හිත තාමත් එහෙමමයි. 

දෙවනි කොටස ඊළග කලාපයෙන්
තක්ෂිලා ඒකනායක

මණිමේඛලා

දුටුගැමුණු රජතුමාගේ නාග බිසව

          ඔන්න අද නමි මං ඔයාලාට අරන් ආවේ ජනප්‍රවාද කතාවක්…. එ දුටුගැමුණු රජතුමාගේ ජීවිතය බිලිගත් නාග කන්‍යාව මණිමේඛලා ගැන…. හරි අපුරු කතාවක්…. අද කාලේ නමි සමාජයට ආදර්ශවත් කතාවක්…

      දන්නවා ඇතිනේ දුටුගැමුණු රජතුමාට කොයිතරමි නමි පරිවාර ස්ත්‍රීන් සිටියාද කියන්න .. පරිවාර ස්ත්‍රීන් 16000ක් සිටි බව ථුපවංශයේ සදහන් වෙනවා… හමිමො මාර ගොඩක් නේද?

    එ වගේම ඔයාලට මතක ඇති රුවන්වැලි මහා සෑය පිළිබදව පෙර මා ලියු ලිපිය, එහි සටහන් කරන්නට නොහැකිවුවක් අද මුලින්ම කියන්නමි… ස්වර්ණමාලී මහා සෑයට නම ලැබුණු හැටි… එකත් අපුරු කතාවක්….

    මහා සෑය හදන්න මහමෙවුනා උයනේ ඇති වසර සිය දහස්‌ ගණනක්‌ පැරණි තෙළඹු ගසක්‌ කපා ඉවත්  කිරීමට රජතුමාට සිදුවුවා…. ඉතිං මෙි ගස කපා ඉවත් කිරීමට විරුද්ධව දෙපාර්ශ්වයකගේ දැඩි  විරෝධයට මුහුණ දීමට රජතුමාට සිදු උනේ අනපෙක්ෂිත විදිහට.

      එ ඇයි කියනවානමි මෙි ගස කපා ඉවත් කරන්නට විරුද්ධ උනේ,  රන් තෙළඹුව වසර දහස්‌ ගණනක්‌ සිය  වාස භාවන කර ගෙන සිටි ස්‌වර්ණමාලි නම් වූ වෘක්‍ෂ දේවතාවිය ගෙන් සහ වසර  සිය ගණනක්‌ මෙම වෘක්‍ෂයට වැඳුම් පිදුම් කළ ගාඬි ජනතාව ගෙන්…

       රජතුමා ස්‌වර්ණමාලි වෘක්‍ෂ දේවතාවියට තෙළඹු වෘක්‍ෂයෙන් බැස වෙනත් විමානයකට වඩින ලෙසට ආරාධනය කළේ පොරොන්දු පිට පොරොන්දු දිලයි…   වෘක්‍ෂ  දේවතාවියගේ නමින් චෛත්‍යය නම් කරන්නත්, කිසිදු කුල භේදයකින් තොරව, ගාඩි  ජනතාවට ද චෛත්‍යය වැඳීමට ඉඩ ප්‍රස්‌ථාව ලබා දෙන බවටත් රජතුමා පොරොන්දුවු  නිසා විරෝධතාවන් නිමාකර ගැනීමට රජතුමා එදා සමත්වි තිබුණා… එයයි ස්වර්ණමාලී නාමය මහා සෑයට ලැබුණු හේතුව…

       ඉතිං කවුද මෙි මණිමේඛලා … කවුද මෙි දුටුගැමුණු රජතුමාගේ රහස් බිරිය…. එ ජනප්‍රවාද කතාවට අද යමු අපි…..

         දවසක් අනුරාධපුර රජ මාළිගාව පිහිටි ඇතුළු නුවර සතර වාහල්කඩ දොරටුවලින් අඬ බෙරකරුවන් සිව් දෙනකු, රැකවලුන් සමග අනුරාධපුර පසල් දනව් කරා පියමන් කළේ,  රාජ නියෝගයක්‌ ඉටු කිරීමට.. එදා ගම් දනව් සිසාරා අඬබෙර ගසමින් ඔවුන් නිවේදනය  කළේ, මහමෙවුනා උයනේ පිපෙන මල් කිසියම් අයෙක්‌ විසින් හොර රහසේ නෙළා ගෙන යන  නිසා, එ හොරා අල්ලා දෙන කෙනෙකුට රජතුමා විසින් ඇතෙක්‌ බරට වස්‌තු දෙන බවට කල නිවෙිදනය….

     එකාලේ රාජකීය මල් උයන හැඳින්වූයේ, මහමෙවුණා උයන  නමින් කියලා ඔයාලා දන්නවානේ… වසරේ සෑම දිනකම මෙි උයනේ විවිධ මල් වර්ග දැක ගන්න පුළුවන්.. දැන් නමි ඉතිං එහෙම නෑ…….

       උද්‍යානය රැක බලා ගැනීමට රැකවළුන් යොදා සිටියත්, මෑතක සිට කවුරුන්  හෝ මල් සොරා ගෙන යන බවක් රජතුමාට සැලවි තිබුණා.. එත් ඉතිං මල් සොරා අල්ලා ගැනීමට දිවා රැ රැකවළුන් යෙදුවත් මල්  සොරා අල්ලා ගැනීමට තබා දැක බලා ගැනීමටවත් නොහැකි උනා ඔවුන්ට … එ නිසයි අවසානයේ මෙලෙස අඬබෙර ගසා හෝ සොරා හෝ සොරුන් අල්ලා ගැනීමට මහජන සහාය පැතීමට රජතුමාට සිදු උනේ….

        මෙහෙම අඬබෙර ගසා යද්දි එක්‌ පසල් දනව්වක ආත්තම්මා කෙනෙක්‌ (මහලු ස්‌ත්‍රියක්‌)  අඬබෙරය නවතා, තමන්ට මල් හොරා අල්ලාදීමට හැකි බව ප්‍රකාශ කර තිබුණා… රාජ පුරුෂයන්  ඇය රජතුමා හමුවට රැගෙන ආ පසු, ඇය රජතුමාට කියා සිටියා තමන්ගේ උපදෙස්‌  අනුව කටයුතු කරන්නේ නම්, මල් හොරා අල්ලා දිය හැකි බව…

     ඉතිං මෙි ආත්තම්මාගේ උපදෙස්‌ අනුව සති පිරිත් දේශනාවක් සඳහා ජය ශ්‍රී මහා  බෝධි මළුවේ පිරිත් මණ්‌ඩපයක්‌ ද ඉදි කළා… උත්සවශ්‍රීයෙන් සති පිරිත් දේශනය ආරම්භ කළ අතර විශාල පිරිසක්‌ එය ශ්‍රවණය කිරීමට පැමිණ සිටියේ අත්තමිමා බලාපොරොත්තු උනා වගේමයි…..

         ඉතිං මෙහෙම ආත්තම්මා පිරිත්  ශ්‍රවණාගාරයේ පිටුපසටම වී ඉතාමත් විමසිල්ලෙන් යුතුව පිරිත් ශ්‍රවණය කරන විට නොසිතු ලෙස, මධ්‍යම රාත්‍රියට ආසන්න වෙත්ම රූමත් තරුණියක පැමිණ වටපිට බලා  ආත්තම්මා අසලින්ම වාඩි ගත්තේ එතැන ඉඩ තිබුණු නිසා.. නිල් නුවන් දෙනෙතකින්  සහ පුළුල් නළල් තලයකින් හෙබි, ඉතාමත් සුන්දර යෞවනියක වූ ඇය, පිරිත් දෙසුම ශ්‍රවණය කිරීමට පැමිණ තිබුණේ තනිවමයි…

       එකලත් දැන් මෙන්ම යුවතියක රැයක නොව දිවා  කාලයේද තනියම ගමන් බිමන් ගියේ නෑ., එසේ ගමන් ගියේ නම් ඒ වැඩිහිටියන් සමගයි.. මෙම රූමතිය ගැන ආත්තම්මාට කිසියම් සැකයක්‌ සහ කුතුහලයක්‌ ඇති වුණත්, ඇයට නොදැනෙන්නට විමසිල්ලෙනුයි සිටියේ..

      මේ සුරූපිනිය පිරිත්  දේශනයට සවන් දුන්නේ ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුවයි… හිරු නැ⁣ඟෙන්නට පෙර ඇය  මණ්‌ඩපයෙන් පිටව යන සැටිත් අත්තමිමා බලාගෙනයි සිටියේ…. පසු දින සොයා බැලීමේ දී පෙනී ගියේ, පෙර දින  රාත්‍රියේ කිසිවකුත් මල් සොරකම් කර නැති බවයි.

        පසු දින ද ඇය පිරිත් ශ්‍රවණය කිරීමට සුපුරුදු වෙිලාවට පැමිණියා, නමුත් එදා තනිව නොවෙයි ඇය මෙන්ම රුවැති සම වයස්‌ ඇත්තියක සමග… පැමිණි දෙදෙනාම ආත්තම්මා වාඩිවී සිටි පැදුරේම වාඩි වූයේ ලෙන්ගතු  සිනහවකින් මුව සරසා ගෙනමයි….

      මේ විදියට තවත් දින කිහිපයක්‌ ගතවෙද්ම මෙම සුරූපි නන්නාඳුනන්නිය සමග ආත්තම්මා මිතුරු වෙන්න උත්සාහ කලා…. තමන් අනුරපුරට තරමක්‌ ඈත ගම්මානයක වෙසෙන නිසා වේලාපහින් ඒමට නොහැකි බව අත්තමිමාට කියා සිටියා.. දින ගෙවමින් සති පිරිත් දේශනාවෙි අවසන් දිනට එළඹුණා. මේ සත් දින තුළ කිසිවකුත් උයනින් මල් නමි සොරා ගෙන ගොස් නැති බව අත්තමිමාට දැනගන්න ලැබි තිබුණා..

      වෙනදා මෙන් සුපුරුදු වෙිලාවට පිටත්ව යැම සඳහා ඇයත් ඇයගේ  මිතුරියත් නැගී සිටිනවාත් සමගම ආත්තම්මා ක්‍රියාත්මක උනා ඉක්මනින්…තරුණියගේ උතුරු සළුව තමන්ගේ අතට ගත්තා.. යුවතිය සළුව දෙන ලෙස ඉල්ලා සිටිමින් බැගෑපත්ව හැඬුවත් අත්තමිමා නෙවෙයි ඇයට සළුව දුන්නේ… මෙි සිදුවිම නිසා ඇය සමග පැමිණි අනෙක්‌ යුවතිය සැණෙකින් පැනලා ගියා…

      එහෙත් ආත්තම්මා මේ කිසිවක්‌ නොඇසුනු කනින්  යුතුව උතුරු සළුව ගෙන ගොස්‌ රජතුමා අතට පත්කර කියා සිටියෙ මෙතෙක්‌ කල්  මල් උයනේ මල් සොරකම් කළ මල් හොරා මැය බව ස්ථිරවම පවසාමයි… ඉන්පසුයි රජතුමා ඇය ගෙන් කරුණු  විමසුවෙි..

        ඇය මල් උයනේ මල් සොරකම් නොකළ බවත්, කඩා ගත් මල් ජයසිරිමාබෝ සමිඳුන්ට සහ ස්වර්ණමාලී මහා සෑ රදුන්ට පූජා කල බවත් ඇය පැවසූවා… රජතුමා දැඩිව ඇගෙන් ප්‍රශ්න කලා…. බොහෝ වෙිලාවක්‌ නිහඬව සිටි ඇය තමා කාගේ  කවුරුදැයි රජතුමාට හෙළිදරව් කලේ බියෙන්….

      ඇය කල්‍යාණ පුරවරයේ ජයසේන  නම් වූ නා රජුගේ දියණිය වන නමින් මණිමේඛලා බව පැවසු පසු, රජතුමා ඇයට කියා සිටියේ නැවතත් නා ලොවට යාමට දිය නොහැකි බවයි…. තමන් ඇය විවාහකර ගන්නා බවත් රජතුමා පැවසූවා… ඇය කොතරම් බැගෑපත් වුවත් රජතුමා තමන්ගේ තීරණය නමි වෙනස්‌ කලේ නෑ….

        මණිමේඛලා කුමරියට සිදු වූ අකරතැබ්බය ඇයගේ යෙහෙළිය විසින් කාල්‍යණ පුරවර ජයසේන රජතුමාට දන්වා සිටියේ හඬා වැළපෙමින්… සිද්ධිය ඇසූ නා රජතුමා, ඉමහත් කෝපයට පත්වි නාග (සේවක) යෙකු කැඳවා කියා සිටියේ කෙසේ හෝ සිය දියණිය රැගෙන ගෙන එන ලෙසයි…

         මේ වනවිට දුටුගැමුණු රජතුමා දිවා රෑ කාලය ගත කළේ රත්නමාලි සෑ මළුවේය.  එතුමාගේ අභිප්‍රාය වූයේ හැකි පමණ ඉක්‌මණින් මෙම චෛත්‍ය රාජයාගේ වැඩ නිම  කිරීමයි. බොහෝ අවස්‌ථාවල රාජ සභාව පැවැත්වූයේද සෑ මළුවේමයි…

      එක්‌තරා  දිනෙක මහ සෑ මළුවේදී නාගයකු රජතුමාට දෂ්ඨ කලේ කාටත් කිසිවත් සිතාගත නොහැකි වද්දි…. කපුරුනාථ නම් වූ රාජකීය විෂ වෛද්‍යවරයා, ක්‍ෂණයකින් කරන ලද ප්‍රතිකාර නිසා රජතුමා ඉක්මනින් සුවපත් උනා. මේ  ආදි වශයෙන් වරින්වර සය වතාවක්‌ රජතුමාට විවිධ ස්‌ථානවල සිට නාගයන් දෂ්ට කළත්, රාජ වෛද්‍ය කපුරුනාථ විසින් රජතුමාව සුවපත් කරා…

      මෙතරම් අවස්‌ථා ගණනක්‌ නාගයින් දෂ්ට කිරීමට හේතුව, නාග කුමරියක සිරකර ගෙන සිටීමේ හේතුවෙන්  කරන ලද නාග ශාපයක්‌, බව රාජ වෛද්‍යවරයා ඇතුළු රටවැසියන්ගේ රජුට සැළකර සිටියත් රජු ගණන් ගත්තේ නෑ….  නාගයන් දෂ්ට කිරීමට පැමිණි සෑම අවස්‌ථාවකම එම නාග පෝතකයන් ඉතාමත් රහසිගතව මණිමේඛලා බිසව හමු වී යම් යම් උපදෙස්‌ ගත්තේ ඉක්මනින් රජු මරා දමන්නයි…

     සය වැනි වරටද  නාගයකු දෂ්ඨ කිරීමෙන් පසු, මණිමේඛලා (නාග) බිසව මුදා හරින ලෙස රාජ සභාවේ  උපදේශකයන් ද රජතුමාට උපදෙස්‌ දුන්නත් එතුමා එය ඉවත දැම්මේ, මේ වනවිට මේ බිසව ගැබ් ගෙන සිටි නිසායි… සය වරක්‌ම නාගයන්ගේ දෂ්ට කිරීම්වලට ගොදුරු  වුවත්, කපුරුනාථ රාජ වෛද්‍යවරයා නිසා දුටුගැමුණු රජතුමාගේ ජිවිතය බෙිරුණා…  මේ නිසා රාජ වෛද්‍ය කපුරුනාථයන් සමගද නා රජතුමා සිටියේ දැඩි කෝපයෙන්….  මේ සෑම වරකම නාගයන් දෂ්ඨ කළේ මහ සෑ මළුවේදී හෝ ඒ ආසන්නයේමයි….

        සත්වැනි වරටත් නාගයකු යෑවීමට නා රජු පියවර ගත් අතර, මෙවර ඒ සඳහා තෝරා  ගත්තේ, වාසුල, නම් වූ, තම ඥාති පුත්‍රයෙකු වූ නාග මානවකයෙක්…… රජතුමාට දෂ්ට කිරීමට පෙර ඔහු සිය ඥාති නාග බිසව හමුවුවෙි සැළසුම් සකස් කරන්න.. නමුත් ඇය ඔහුට කීවේ, තමා මේ වනවිට  ගැබ් ගෙන ඇති බවයි… පුතෙක්‌ ඉපදුණහොත් අනාගතයේ මෙරට රජකම් කිරීමට රජතුමා එකග කරවා ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇය කියා සිටියා… එ නිසා අනතුරක්‌ නොකරන ලෙසට ඉල්ලා සිටින බව පිය රජතුමන්ට දන්වන ලෙස මණිමේඛලා උපදෙස්‌ දී තිබුණා…

       කල් යත්ම දුටුගැමුණු රජතුමාට දාව මණිමේඛලා නාග බිසව පිරිමි දරුවෙකු ප්‍රසූත කළා… කල් යල් බලා එක්‌තරා දිනයකදී ඇය සිය පුත්‍රයා අනාගතයේදී මෙරට රජු බවට  ප්‍රකාශයට පත් කරන මෙන් රජතුමාගෙන් ඉල්ලා සිටියා.. එයට පිළිවඳන් දෙමින් රජතුමා නමි කියා සිටියේ, ඔහු තමාගේ පුත්‍රයා වුවත් රාජ වංශයෙන් පිට කෙනෙකුට  මෙරට පවතින සම්ප්‍රදායට විරුද්ධව ක්‍රියා කළ නොහැකි බවයි. රජතුමාගේ ප්‍රකාශයෙන් නා බිසව පත් උවෙි කම්පනයකට… එමෙන්ම ඇය සිය පියාණන්ට සම්පූර්ණ  විස්‌තරයම පණිවිඩකරුවෙකු මගින් දැන්වුවෙි කෙන්තියෙන්…

     සිය දියණියගෙන් ලද පණිවිඩයෙන් දැඩි ලෙස කිපුණු නා රජතුමා පෙර සඳහන් කළ තම ඥාති පුත්‍ර වාසුල කැඳවා මෙවර දුටුගැමුණු රජතුමා කෙසේ හෝ මරා දමන ලෙසට උපදෙස්‌  දුන්නා… රජතුමාට දෂ්ට කිරීමට පෙර, රාජකීය විෂ වෛද්‍ය කපුරුනාථ මරා දමන  ලෙසටත් ඔහු නියෝග කලා…

       විෂ වෛද්‍ය කපුරුනාථයන් දිනක්‌ නිවසේ සිට රජ  මැඳුරට යන අවස්‌ථාවක මහමග ඇති අම්බලමක මොහොතකට නතරවි ගිමන් නිවා ගත්තා.  ඒ මොහොතේ එහි රූමත් කඩවසම් තරුණයෙකු ද ගිමන් නිවා ගැනීමට නතරව සිටියේ කපුරුනාථ එක්ක මිත්‍රකමක් ආරම්භ කරමින්….  ඔවුන් දෙදෙනා ආගිය තොරතුරු කතා කරන අතර වාරයේ, තරුණයා කීවේ, කැලණියේ සිට  ස්‌වර්ණමාලි චෛත්‍ය වන්දනාමාන කිරීමට යන බවයි. තමා දැනට සර්ප විෂ වෙදකම ගැන  ඉගෙන ගන්නා බවද තරුණයා පැවසූවා..

       කපුරුනාථ වෛද්‍යවරයාගේ සිහියට ආවේ තරුණ වියට එළඹෙමින් සිටින සිය දියණිය… ඇය ද මේ වනවිට තමන්ගෙන් සර්ප විෂ වෙදකම හදාරන නිසාත්, තරුණයාගේ ගති පැවතුම් සහ හැසිරීම් රටාවෙන් පෙනෙන ඔහු ඉතාමත් හොඳ පුද්ගලයකු බව නිසාත්,  තමන්ගේ බෑනා කරගන්න කපුරුනාථට සිතුනා…. එ නිසමායි කපුරුනාථ තමන් රාජකීය විෂ වෛද්‍යවරයා බව  පැවසුවේ. තරුණයා ඔහුගේ දෙපා නැමද තමන්ට අභිනවයෙන් ගුරුවරයෙකු හමුවුන බව ප්‍රකාශ කලේ සතුටින්..

        නොයෙක්‌ කතා මධ්‍යයේ වෙදැදුරූ තැන ප්‍රකාශ කළේ, රජතුමාට මේ වනවිට සය වතාවක්‌ නාගයන් දෂ්ඨ කළත්,  තමන් ඔහු බේරා ගත් බවත්, තමන් ජීවත්ව සිටින තුරු කිසිම නාගයකුට රජතුමා මරා දැමිය නොහැකි බව ප්‍රකාශ කළේ මහා උද්දාමයෙන්..

        තරුණයා විෂ වෙදකම ඉගෙන ගන්නා අයෙකු නිසා, අමාවක දිනෙක එළඹෙන විෂ හෝරාවේ දී නයකු දෂ්ඨ කළහොත් අනිවාර්යෙන්ම මියයන බව තමන්ගේ නවක ගෝලයාට කියා දුන්නේ ගුරු  මුෂ්ඨියකින් තොරවයි… තරුණයාට අවශ්‍ය සියලු තොරතුරු දැන් සම්පූර්ණයි.  වෛද්‍යවරයාගේ සඳහන් කිරීමට අනුව අද අමාවක පෝය දිනයයි. තවත් ස්‌වල්ප මොහොතකින් අවශ්‍ය විෂ හෝරාව එළඹෙන නිසා ඉතුරුව ඇත්තේ ක්‍රියාවට නැංවීම පමණයි….

         විෂ හෝරාව එළඹුන සැණෙකින් නාග වෙස්‌ ගත් තරුණයා ප්‍රථමයෙන්ම වෙදදුරාට දෂ්ඨ කලා.. තමන්ට වැරදුන බව වෙදදුරුට පසක්‌ උවත් ඔහු ප්‍රමාදයි… ඔහු  අසල තිබුණු ඖෂධ පැළෑටියකට අත දිගු කර ගෙන මැරී වැටුනා..

        නාගයා ඒ සමගම සෑ මළුවට ගොස්‌ එහි වාහල් දොරටුවකට නැග, තවත් ස්‌වල්ප මොහොතකින් රජතුමා එම  වාහල් දොරටුවෙන් පිටවෙද්දීම ඔහුගේ හිසටම දෂ්ඨ කලා.. රජතුමාට සිහි විසඥ විමත් සමග රාජ පුරුෂයන් විෂ වෛද්‍යවරයා සොයා ඔහුගේ නිවසට යන අතර මගදී දුටුවේ,  මාවතක්‌ අයිනේ මැරී වැටී සිටින වෛද්‍යවරයාව. ඉන්පසුයි ඔවුන් නිවසට ගොස්‌ වෙදැදුරුගේ  දියණියට සිද්ධිය පැවසූවෙි..

      ප්‍රතිකාර කිරීමට පැමිණෙන දියණිය  දුටුවේ තම පියා එක්‌තරා දිසාවකට අත දිගුකර ගෙන මැරී සිටින ආකාරයයි. ඒ ගැන  විපරම් කළ ඇයට දැක ගත හැකි වූයේ, විෂකුම්බා නම් ඖෂධ පැළෑටිය. එම පැළෑටිය  උගුලා ගෙන රජ මාළිගාවට ගිය ඇයට දැක ගන්නට ලැබුණේ සිහි විසඥව සිටින රජතුමා…  ඇය රජතුමාව තනකිරි මිශ්‍ර බෙහෙත් ඔරුවක බහා අවශ්‍ය උපදෙස්‌ ලබා දී ආපසු නිවසට ගියේ  සිය පියාණන්ගේ අවසන් කටයුතු සිදු කිරීමටය.

        රජතුමාට සිහිය  ලැබුණත් ඔහු සිටියේ බරපතළ රෝග තත්ත්වයකින්. වෙදැදුරු දියණිය කියා සිටියේ  තවත් සත් දිනකින් ස්‌ථිර වශයෙන්ම රජතුමා මිය යන බවයි. සියල්ල එසේ සිදු  වෙත්දී, මණිමේඛලා නාග බිසව, සිය පුත්‍රයා ද සමගින් මාළිගාවෙන් රහසේම පලා ගොස්‌ ඇති බව දැනගන්නට ලැබි තිබුණා..

        රජතුමාගේ මලනුවන් වූ සද්ධාතිස්‌ස  කුමාරයා මේ වනවිට සිටියේ දිගාමඩුල්ල ප්‍රදේශයේ ගොවිතැන් ඇතුළු සංවර්ධන කටයුතුවල නියෑලෙමින්ය. රජතුමාගේ උපදෙස්‌ පරිදි වහාම ඔහු අනුරාධපුරයට කැඳවා, තමන් මිය යන්නට පෙර මහසෑයේ වැඩ නිමකරන මෙන් සද්ධාතිස්‌ස කුමාරයාට උපදෙස්‌ දි ඇති බව සදහන්…

       ලෝවාමහාපායත්, රත්නමාලි මහ සෑයත් අතර මැද  ස්‌ථානයක තාවකාලික මණ්‌ඩපයක්‌ ඉදිකර රජතුමා එහි සැතපූවා.. රජතුමාට එක්‌  පසකින් මහ සෑයත්, අනෙක්‌ පසින් ජයසිරිමාබෝ සමිඳුන් සහ ලෝවාමහපායත්, හිස  කෙළින් කළ විට ඉදිරියෙන් මිරිස්‌වැටි දාගැබත් රජතුමාට පහසුවෙන් පෙණුනා…  රජතුමාගේ සිත බොදු බැතියෙන් පිරීඉතිරි ගොසින්… භික්‍ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම එම මණ්‌ඩපයේ රැඳී පිරිත් දේශනා කලේ තව තවත් රජතුමාගේ සිත සැණසෙද්දියි…

” මාගේ මේ ව්‍යායාමය හුදෙක්‌ රජ සැප පිණිස නොව,  සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිය පිණිසයි”  යනුවෙන් ප්‍රකාශ කළ දුටුගැමුණු රජතුමා  ක්‍රි.පූ 161 සිට 137 දක්‌වා වසර 24ක්‌ රාජ්‍යත්වය හොබවා මැළුම් වයසේ දී  අකාලයේම මිය ගියේ ස්ත්‍රීයක් නිසමද?….. එය තාමත් රහසක් නොවෙිද?

         වංශ කතාවල දැක්‌වෙන්නේ හදිසියේම ඔත්පල වූ රජතුමා දින කිහිපයකින් මියගිය බවයි. නමුත් ඔත්පල වූ රෝගය කුමක්‌දැයි සඳහන් නොවේ. කෙසේ වුවද බොහෝ දෙනකුගේ මතය රජතුමාගේ අකල් මරණයේ හේතුව මහාවංශ කතුවර මහානාම හිමියන් සගවා ලියා ඇති බවයි…. එය අභිරහසක්..

            එහෙත් ජනප්‍රවාද තොරතුරු බොහෝමයක  දැක්‌වෙන්නේ ඉහත දැක්‌වූ කතා පුවතට අනුව, එතුමාට නාගයකු දෂ්ඨ කිරීම නිසා මියගිය බවය. ජනප්‍රවාද තොරතුරු, ජනප්‍රවාද සේ සලකා ඉවත නොදැමිය යුතු බවත්, ඒ  ගැන ද සලකා බැලීම ඉතිහාසඥයන්ගේ වගකීමක්‌ බව, හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌  ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර මහතා සඳහන් කළේ, “සීගිරි පවත” නම් නම් ග්‍රන්ථයකට පෙරවදනක්‌ සපයමින්… එතුමාගේ අදහසට අනුව අපි මෙම පුවත ද ඉවත නොදමා මේ ගැන  තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීම කොයිතරමි නමි වැදගත් වන්නේදැයි ඉතිහාසය සොයා යන මට නමි නිතරම හිතෙනවා…… එ නිසාම කිසිදාක ජනප්‍රවාද කතා පුස්සක් සේ සලකා ඉවත දැමිය නොහැක….


නිසංසලා රණසිංහ

ඡායාරූපකරණයට පිවිසෙමු

Photography 3

Photography ලිපියේ තුන් වෙනි කොටසිනුයි අද මම ඔයාලා එක්ක සමබන්ධ

වෙන්නේ. අපි අදත් කතා කරමු චායාරූපකරණයේ තවත් මූලික සැකසුම්

කීපයක් ගැන.

Metering modes

Metering යනු කැමරාවට පෙනන වස්තුවකින් පරාවර්තනය වන ආලෝක

ප්‍රමාණය මැන, එය හා ISO අගය මත පදනම්ව Shutter speed (ද්වාර වේගය) හා

Aperture (කාච විවරය) අගය කුමක් විය යුතු දැයි තීරණය කිරීමයි. (මෙය

නූතන කැමරා ආශ්‍රයෙන් කල අර්ථ දැක්වීමකි)

බොහෝමයක් චායාරූප ශිල්පීන් තම අගයන් (Shutter speed, Aperture) සකසා

ගන්නා බැවින් හා Flash lights භාවිතා කරන බැවින් මෙම සැකසුම ගැන එතරම්

සැලකිල්ලක් දක්වන්නේ නැත.

නමුත් අතීතයේ දළ සේයාපට භාවිතා කල කාල වකවානුවේ මෙම සැකසුම

ඉතාමත් වැදගත් සැකසුමක් විය. මක්නිසාද යත් ඔවුන්ට තමා ලබාගත්

චායාරූපයේ පෙර නැරඹුමක් (Preview) කල නොහැකි විය. එමෙන්ම එකල

කැමරාවල මෙම Light metering sensor අඩංගු නොවූ නිසා අතේ ගෙන යා හැකි

ආලෝක මීටර් භාවිතා විය.

පැරණි කැමරා කීපයක් හා එකළ භාවිතා වූ Light metering device කීපයක්.

(මූලාශ්‍ර google.com)

විවිධ කැමරා මාදිලි වල Metering modes තුනක් හෝ හතරක් පිහිටුවා ඇත.

අපි දැන් ඒ එකින් එක සරලව විමසා බලමු.

1. Evaluative / Matrix / Multi (Zone metering)

මෙම mode එක තමයි metering වල සංකීර්ණම mode එක. මේකෙදි අපේ

රාමුව විවිධ කොටස් වලට බෙදීමක් සිදුවෙනවා. මෙම කොටස් ප්‍රමාණය

විවිධ කැමරා අනුව වෙනස් වෙනවා. ඉන් පස්සෙ කැමරාව විසින් මේ

හැම කොටසකම පරාවර්තිත ආලෝක අගය වෙන වෙනම ගණනය

කරලා සාමාන්‍යයක් (average) ලෙස ලබා දෙනවා.

ඒ වගේම මේ mode එකේදි කැමරාවේ focus point එක සහිත කොටස

හඳුනාගෙන එහි ඇති වස්තූන් වලට ප්‍රමුඛතාව (priority) ලබා දී ආලෝක

අගය ගණනය කිරීමත් සිදු වෙනවා. මම ළා කොළ පාටින් දක්වලා

තියෙන්නේ මේ කොටස.

2. Center weighted metering

මේ mode එකේදි රාමුවේ මැදට වෙන්න 80% – 70% දක්වා පරාසයක

(කොල) පමණයි පරාවර්තිත ආලෝක අගය ගණනය කිරීම සිදුවෙන්නේ.

අනෙකුත් කොටස් නොසලකා හරිනවා. (රතු)

3. Spot Metering

Metering වලදී ඉතාමත් නිරවද්‍ය mode එක තමයි මේ mode එක. මේකෙදි

ඉතා කුඩා ස්ථානයක ආලෝක අගය මැනීම සිදුවෙනවා. එය සම්පූර්ණ

රාමුවෙන් 1%-5% වගේ සුළු ප්‍රමාණයක්. බොහෝවිට මේ ස්ථානය

වෙන්නෙ රාමුවේ හරි මැද. නමුත් නවීන කැමරා වල focus point එක

සමග මෙම spot එක link කිරීමේ හැකියාව තිබෙනවා. එමගින් ඔබ focus

කරන ස්ථානයේම ආලෝක අගය නිරවද්‍යව මැනගැනීමේ හැකියාව

තිබෙනවා.

4. Partial metering

මේකත් spot metering වගේම mode එකක්. මේ දෙකේ ඉතාම සුළු

වෙනසක් තමයි තියෙන්නේ. Spot metering වලදි 1%-5% අතර ප්‍රමාණයක්

මනිනකොට partial metering වලදි 10%-15% අතර ප්‍රමාණයක අලෝක

අගය ගණනය කරනවා.

5. Highlight weighted metering

මෙම mode එක සමහරක් Nikon හා සමහරක් Sony කැමරා වල පමණක්

දක්නට හැකි සැකසුමකි. මෙහිදී රාමුවේ ඇති Highlighted areas වල

ආලෝක අගය පමණක් ගණනය කර එම චායාරූපය over exposed වීම

වළක්වයි.

6. Entire screen metering

Sony කැමරා වල දක්නට ඇති මෙම mode එකේදී සම්පූර්ණ

රාමුවේම ආලෝක අගය ගණනය කරනු ලබයි. මෙය අප මුලින් කතා

කල Zone metering වලට තරමක් සමාන නමුත් මෙහිදී වෙනත් කිසිදු

ප්‍රමුඛතා ලබාදීමක් (priority) සිදු වෙන්නේ නෑ.

ඉතින් metering modes වල මූලික කරුණු සියල්ල අපි දැන් කතා කරලා අවසන්. ඔබගේ කැමරාවෙන් මෙම

සැකසුම් සියල්ල ඔබටත් අත්හදා බැලීමට පුළුවන්. ප්‍රායෝගිකව මම ද මෙම සැකසුම භාවිතා කරන්නේ

ඉතාමත් අඩුවෙන්. මොකද මම Flash lights භාවිතා කිරීම සහ metering mode භාවිතා කිරීමට වඩා ඉක්මනින්

මා විසින්ම shutter speed හා aperture පාලනය කිරීම ඉක්මන් හා පහසුවෙන් කරගන්න පුලුවන් නිසා.

දැන් අපි බලමු තවත් එක් මූලික සැකසුමක් ගැන. මෙයත් බොහෝමයක් චායාරූප ශිල්පීන් භාවිතා කරන්නේ

ඉතාමත් අඩුවෙන්. නමුත් එයත් ඔබට යම් අවස්ථාවක උපකාරී විය හැකි නිසා එයත් ඉගෙන ගනිමු.

Exposure Compensation (EV)

ඔබ metering modes භාවිත කර චායාරූප ගැනීමේදී සමහර අවස්ථාවලදී චායාරූපය ඔබට අවශ්‍ය

ප්‍රමාණයට වඩා තරමක් අඳුරු හෝ ආලෝකමත් විය හැකිය. එවැනි අවස්ථාවල කැමරාව ලබාගන්නා

exposure අගය මගහැර නැවතුම් (stops) කිහිපයකින් exposure එක අඩු හෝ වැඩි කරගැනීමට මෙම

සැකසුම භාවිතා කළ හැක.

බොහෝ කැමරාවල මෙම අගය -3 සිට +3 දක්වා අගය පරාසයක දක්නට ලැබේ. එනම් නැවතුම්

(stops) තුනක පරාසයක අඩු හෝ වැඩි අගයක් ලබා දීමට හැකිය.

ඉතින් photography තෙවැනි ලිපියත් සමගින් චායාරූපකරණයේ

මූලීක සැකසුම් කොටස අවසන් වෙනවා. මීළඟ කලාපයේ ලිපියෙන්

අපි කතාකරමු කැමරා වර්ග, ඒවායේ භාවිත හා කැමරාවක්

ක්‍රියාකරන ආකාරය ගැන. එතෙක් ඔබට ජයෙන් ජය!

බිනර සිසිරංජන

– ගෙදර ආදරේ –

▪️උදේට තේ හදන අම්මා 

මොන මලකරදරයක්ද මේක.. කොච්චර කළත් හොඳක් නෑ..

▫️උදේට තේ හදපු අම්මා 

පුතේ මේ තේ එක තාත්තට ගිහින් දීපන්..අනිත් අයත් එන්න තේ බොන්න..හා හා නැගිටපල්ලා කුම්බ්කර්ණයෝ ටික..

▪️උදේට උයන අම්මා

 උයනවා උයනවා තුන්සිය හැටපස් දවසෙම උයනවා. පොල් ටිකක් ගාලා දෙන්න එකෙක් නෑ..

▫️උදේට උයපු අම්මා

පොඩි පුතා..මාළු බැදලා වෙනම දැම්මා. බලාගෙන කන්න කටු හිර කරගන්නේ නැතුව.. ඒයි ඔයාගේ කෑම දෙකම බෑග් එකට දැම්මා. කෙසෙල් ගෙඩි වෙනම පෙට්ටියක දැම්මා.

▪️උදේට ගෙදරින් එළියට යද්දි අම්මා

▫️අද නම් ලොකූ උඹ රෑ වුණොත් අඬු කඩනවා. වරෙන්කෝ බලන්න රෑ වෙලා..

▪️රෑට අම්මා

හලෝ…හලෝ…ලොකූ දැන් දොලහත් පහුවෙලා. තාත්තට තරහ ගිහින් ඉන්නේ. මම කුස්සිය පැත්තේ දොර ඇරලා තියෙන්නෙ එහෙන් වරෙං.

▪️මේ සෙනසුරාදා අම්මා 

උඹලා රට වටේ රෝන්දෙ ගහපල්ලා. චිත්‍රපටියක් බලපු කාලයක් මතක නෑ.. මං මේ ගෙදරටම හිරවෙලා.

▫️ඊලඟ සෙනසුරාදාට අම්මා

අනේ මේ මට බෑ ඔය හෝල් ගානේ යන්න. මම ගියොත් මේ වැඩ කරන්නේ කවුද? තොපිලගෙ රෙදි හෝදන්නේ මොකාද? යන දේවාලෙක උඹලා පලයල්ලා.

▪️අපට අනතුරක් වුණ විගස අම්මා 

හරියට හරි..මම කිව්වා ඔය ටික වෙයි කියලා. උඹ ඇහුවද? හොඳ වැඩේ උඹට. ඔහොම වෙලා මදි තොට.

▫️ඊට විනාඩි දෙකකට පසු අම්මා 

කෝ බලන්න මෙහෙට එනවා. අම්මෝ ගොඩක් ලේ එනවනේ පුතේ. අයියෝ මම මේ අත පය කොච්චර පරිස්සමෙන්ද හැදුවේ පුතේ.. නාඩා ඉඳින් මම බෙහෙත් ඩිංඟක් අරන් එනකම්. 

▪️පෝය දවසට පෙරදා අම්මා

හෙට උදෙන්ම මම සිල් ගන්න යනවා. හෙට ඉතින් කෑම කඩෙන් තමයි. මගේ අගේ තෙරේවි උඹලට..

▫️පෝය දවසේ අම්මා 

කොහේ යන්නද සිල් ගන්න? උඹලයි උඹලගේ අප්පොච්චි බඩගින්නේ තියලා මට ඇහැකිද බොලව් සිල් ගන්න ? කියන බණ පදයක්වත් ඔළුවට යයිද? මං අන්න අර ඉඳි ආප්පයි, කොච්චි දාලා පොල් සම්බෝලයි, කිරි හොද්දකුයි හැදුවා. කන්න ඔක්කොම එක්ක. හැබැයි මස් මාංශ නෑ අද.

▪️රෑට උයන අම්මා 

තවම උයලා නෑ. මහත්තුරු ටික ඇඟ හෝදලා ලෑස්ති වෙලා එන්නකෝ. ආවා මෙතන හට්ටියට එබෙන්න..රෑට කන්න ඕන පොඩ්ඩයි. හිඟන්නෙක් වගේ හිඟන්නෙක් වගේ කන්න කියලා තියෙන්නේ.

▫️රෑට උයපු අම්මා 

හිටපන් තාත්තට බෙදනකම් මුලින්ම..ඔය පොඩ්ඩ කාලා ඇතිද මයෙ පුතේ? බෙදා ගනින් තව. හොඳට කාපන්. උදේට දවල්ට හරියට කන්නෙත් නෑ. ආ මෙන්න මේ බත් හැන්ඳත් දා ගනින්.

උඹලා නිදා ගනිල්ලා..හා..හා.. තුණුරුවන් සරණයි මගේ පැටව්නේ හෙට උදේම වැඩටත් යන්න තියෙනවනේ..මම දොරවල් වහලා නිදාගන්නම්.

චරියාගේ පන්හිඳ 

Charith Wijemanna

අප්පච්චි… 

චිතකයේ ගිනිදළු නැගෙයි. මම ඒ දෙස බලාගෙන උන්නෙමි. මෙතෙක් වෙලා පැහැබරව තිබුනු අහසින් එකවරම පතිත වූයේ වර්ශාවකි. එයද තප්පර ගානකි. 

‘මල් වැස්සක්… හොඳ ආත්මයක් ලබලා ඇති.. 

ඇතැමෙක් එසේ කියද්දී….

‘මෙච්චර කල් නාකපන වැහි වැටුනා. අද උදේ ඉදන් හොඳට පායනවා. ජීවත් වෙලා ඉන්න කාලෙ මහත්තයා නරකයි කියලා දෙයක් කලේ නෑ….

ඒ තවත් කෙනෙකි.. වටින් විටින් මෙවැනි කතා ඇහෙද්දී අප්පච්චිගේ චිතකයේ හෝ ගා දැවී යයි. සිරුරේ පණ ගිලිහී නොයන්නේ හිතේ හයියට වග මා දනිමි. අප්පච්චීගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර මේ වෙද්දී දැවී අළු වී යන වග සිතද්දීත් මගේ දෑස් වලින් ගලන කඳුලු වලට වඩා හිත හයියෙන් හඬයි.

‘අප්පච්චී, ආයෙත් එන්න.. තව අවුරුදු පහක් ජීවත් වෙන්න… 

මගේ හිත කෑගහයි. ඒත්, යලිත් නොඑන බව කියමින් සුසානභූමියේ දුම් රොටු අහසට නැගෙයි. මම අම්මා දෙස බැලුවෙමි. ගෙවුනු දෙමසක් පුරාවටම ඇය අප්පච්චී වෙනුවෙන් කල කැපකිරීම් වල මහන්සියත් අප්පච්චී අහිමි වීමේ වේදනාවත් නිසා ඒ මුහුණේ ඇත්තේ වචනයෙන් විස්තර කල නොහැකි වේදනාවකි. 

‘ මම දැන් තනි වුනා පුතේ.. අප්පච්චී මමයි ඔයාව බලන්න එන්න හිටියේ..’

අම්මා තවත් මොනවාදෝ කියද්දී මම එහෙමම සුසානභූමියේ ගල් පඩියක වාඩි වූයෙමි. මළගමට පැමිනි මිනිසුන් එකා දෙන්නා නික්ම යද්දී සමීපතමයින් පමනක් අප අසලම රැදුනි. 

‘දුව.. කොච්චර හිතුවත් අප්පච්චි ආයෙත් එන්නෙ නෑ. මේ එයා ගෙනාව ආයුශ. දැන් අම්මව බලන්න.. 

‘අප්පච්චි බේරගන්න ඔයාලා හැමදේම කලා ඒත් දැන් මොනවා කරන්නද?

නෑදෑයින් මා අසලට පැමින විවිධ දේ පවසන්නේ හිත හදන්නට වූවත් ඒ වචනත් මට මහා වදයකි. අප්පච්චී නැතිව යලිත් නිවසට යෑම මට මහත් වදයකි. ඔලුව හැරුනු අතේ යන්නට සිතුනත් අම්මා තනි කරන්නට හිත් නොදෙයි. 

‘අප්පච්චී, හැම ආත්මෙකම මගේ අප්පච්චි වෙන්න.මේ ආත්මෙට ඔය විදියට ගියාට ආයෙත් නම් එහෙම වෙන්න එපා.. 

සිය දහස් දස දහස් වෙනි වතාවටත් එසේ සිතූ මම වාඩි වී සිටි ගල් පඩියෙන් නැගිට්ටෙමි. දැන් නම් පෙර මෙන් අහස් කුස පුරා දුමක් නැත. එනම්, අප්පච්චීගෙ නිසල වූ සිරුර දැවී අවසානය… 

අප්පච්චී හිටපු උසස් පොලිස් නිලධාරියෙකි. ගෙවුනු වසරේ විශ්‍රාමදිවියට පත්වෙද්දී මා තරම් සතුටු වූ කෙනෙක් තවත් නොවීය. ඒ අම්මාත් අප්පච්චීත් එංගලන්තයට ගෙන්වා ගැනීමට හැකි නිසාය. 

‘මම ඉස්සර රග්බි වලට ඉන්ග්ලන්ඩ් ආවා.. දැන් එහේ ගොඩක් වෙනස් වෙලා ඇති නේද පුතේ?

‘අප්පච්චිම ඇවිත් බලන්නකෝ. මේ පාර ආවම මාස හයම ඉදලා යමු. අවුරුදු කීයක් බලාගෙන හිටියද මම ඔයාල දෙන්නා එනකම්… 

‘හ්ම්ම්.. පාස්පෝට් අළුත් කරන්න දීපිකා නංගි ෆෝම්ස් එව්වා. ඒවා ඉක්මනට යවන්නම් මම.. 

අප්පච්චිත් මාත් අතර වූ අවසාන සංවාදය එයයි. ඉන් දෙදිනකට පසුව මට ඇමතුමක් ආවේ මගේ එකම සහෝඳරයාගෙනි. 

‘අක්කේ අප්පච්චී ඇවිදිනකොට බැලන්ස් නෑ. එයා එහෙමම වාඩි වුනා දැන් නැගිටින්න බෑ.. 

එදා මගේ මුලු වතම දහඳියෙන් තෙමී යන්නට විය. 

‘මේ දැන්ම අප්පච්චිව හොස්පිට්ල් අරන් යන්න මල්ලි.. බලාගෙන ඉන්න එපා.

‘තෙල් නෑ අක්කේ.. කමක් නෑ මම කොහොම හරි තෙල් හොයාගෙන යන්නම්… 

සියල්ල ඇරඹුනේ එලෙසිනි. අප්පච්චී රෝහලේ නතර කර දෙදිනකින් අංශබාග රෝගියෙකු වූයේය. වෛද්‍යවරුන් පැවසුවේ අප්පච්චීගේ හදවත වැඩ කරන්නේ සියයට විස්සක් බවය. ගහක් ගලක් මෙන් ජීවත් වුනු අප්පච්චී ඇඳක වැටෙනවා බලන් ඉන්නට බැරිය. ඉතින් මම ලංකාවට ආවෙමි. 

එතැන් පටන් මාත් අම්මාත් මුණගැසිය හැකි සෑම වෛද්‍යවරයෙකුම මුණගැසුනෙමු. ඇතැම් වෛද්‍යවරුන් එක වරම අප්පච්චී සිටින තවත්වයත් සමඟ ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කල අතර තවත් වෛද්‍යවරුන් අප්පච්චී වෙනුවෙන් කැපවන්නට විය. කොළඹ මහ රෝහලත්, පොලිස් රෝහලේ සිටි වෙඳ හෙඳ කාර්ය මණ්ඩලය අප්පච්චී වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන්නට විය. විටෙක සුව අතට හැරෙන ඔහු තවත් විටෙක සම්පූර්ණයෙන්ම දුර්වල විය. ශරීරයේ වෙනස්කම් සමඟ අප්පච්චී හිටිය ප්‍රමාණයෙන් භාගයක් වෙද්දී මාත් අම්මාත් අප වටා සිටි අප්පච්චීට ආදරය කල හැමදෙනාමත් නොපෙනෙන දෙවියන් යැද්දේ අප්පච්චීගේ ජීවිතය ඉල්ලමිනි. 

‘දැන් නම් මහත්තයට අමාරුයි… බෙහෙත් නිසයි මෙහෙම හරි ඉන්නේ…. 

දෙමසක් ගෙවී යද්දී ඒ වචන පිට වූයේ වෛද්‍යවරුන්ගේ මුවෙනි.ඒ වචන අසා දෙදිනක් ගත වෙද්දී අප්පච්චී මෙලොව හැර ගියේ අගෝස්තු පලමු වනදා සවස් යාමයේදීය. එනම් අදින් දින හතකට පමන පෙරය. 

සිදු වූ සියල්ලම මට තවමත් සිහිනයකි. අප්පච්චී නැති නිවස පාලු කාන්තරයක් මෙනි. හිත හදන්නට වචන දහසක් ඇසුනත් ඒ දුක මා ජීවත් වන තුරාවට නිම නොවන්නේ මගෙත් අප්පච්චීගේත් උපන්දින යෙදෙන්නේ එකම දිනයට බැවිනි. 

‘සුභ උපන්දිනයක් මගේ පුතේ.. 

‘එසේම වේවා අප්පච්චී… 

යලිත් ඒ සුභ පැතුම මට නොඑන වග සිහි වද්දීත් හිත හදාගැනීම පෙනෙන මානයකවත් නැත. 

‘දුව බහින්න… ගෙදරට ආවා… 

අප්පච්චීගේ සහෝඳරයෙකු එසේ කියද්දී මම පියවි සිහියට ආවෙමි. අප්පච්චී නැති නිවස දෙස මම තත්පර කීපයක් බලාගෙන උන්නෙමි. වාහනයෙන් බැස්සේ ඉන් අනතුරුවමය. නිවසට ගොඩ වෙද්දී මල් මාලයක් දැමූ අප්පච්චීගේ ඡායාරූපයකි. පසෙකින් ඔහු සේවා කාලයේදී ලබා ගත් පදක්කම් සහිත පෙට්ටියකි. 

අප්පච්චීගේ ඡායාරූපයත් පදක්කම් සහිත පෙට්ටියත් මම දෑතට ගත්තෙමි. ඊටත් විනාඩි ගානකට පසුව මම ඒ දෙකම මා ගෙන ආ ගමන් මල්ලේ සඟවා ගත්තෙමි. 

දින විසි තුනකට පසුව….

සියලු දානමාන කටයුතු වලින් අනතුරුව යලිත් මම එංගලන්තයට ආවෙමි. අප්පච්චී මා එක්ක නාවට ඔහු අවසන් වතාවට පාවිච්චි කල බොහෝ දේ මා රැගෙන ආවෙමි. පදක්කම් පෙට්ටිය, පොලිස් තොප්පිය, අප්පච්චීගේ චායාරූප මෙන්ම ඔහු කියවූ නවකතා පොත්ද ඒ අතර විය. අප්පච්චී මතක් වන සෑම මොහොතකම මම ඔහුගේ පින්තූරය දෙස බලාගෙන හිදිමි. මේ ලියන මොහොතේදීත් ඔහුගේ රූපය මෙන්ම පදක්කම් පෙට්ටියද පෙනෙන මානයේය.

මැරුනු මිනිසුන් වෙනුවෙන් මැරුනු මිනිස්සු හිඟය. එහෙත් මැරුනු මිනිසුන් නිසා මැරි මැරී ඉපදෙන මිනිසුන් බොහෝය. ඊට හොඳම උදාහරණය මාය.. මගේ අම්මාය… අප්පච්චීට ආදරය කල සැමය… 

සමාප්‍තයි. 
තක්ෂිලා ඒකනායක.

ඔබ ගැන හැදින්වීමක් කලොත්

ඔබ ගැන හැදින්වීමක් කලොත් 

ඇත්තටම මගෙ නම දුෂාන්ති නිසංසලා ඒ උනත් හුගක් අය මාව අදුනන්නෙ නිශා එහෙම නැත්නම් නිශූ කිව්වම විශේෂයෙන් මුහුණු පොතේ.

* වැඩිදුර විස්තර කිව්වොත් 

මගෙ ගම මහව ,විජයබා ජාතික පාසලේ තමයි අධ්‍යාපනය ලැබුවේ , පවුලේ අම්මයි,තාත්තා ,නංගී ඉන්නවා, දැන්නම් මන් සැමියා සමග රුමේනියා වල ජීවත් වෙන්නෙ.

* ඔබ වෘත්තීය වශයෙන් මොනවද කරන්නෙ

Laboratory Assistant and 

Elderly care home nurse 

කෙනෙක් විදියට සේවය කලා, ඇත්තටම මන් හරිම ආසාවෙන් කල රැකියාවක් , ජීවිතේ  ගැන  හුගක් දේවල් දෑහින්ම දැක්කෙ Elder care home එකේ වැඩ කරන කාලෙ ,ජීවත් වෙන්න මහන්සි වෙනව වගේම  සමහර මිනිස්සු අවසාන හුස්ම හෙලන්නත්  හුගක් වෙහෙස වෙනව මන් දැක්කා,

* ඔබේ රැකියාව එක්ක ඔබට  විවිධ මිනිස්සු මුන ගැහිල ඇති විවිධ අත්දැකීම් ලැබිල ඇති 

ඔව් මිනිස්සු විසින් හදාගත්ත ඇති නැති පරතරය මිනිස්සුන්ව ලෙඩ කරද්දී සොබාදහම බලන්නෙ නෑ , මන් ඉන්ජෙෂන් කටුව මුලින්ම අතට ගත්ත දවස මට කවදාවත් අමතක වෙන්නෙ නෑ එදා මගෙ අත් දෙක වෙව්ලපු තරමට මන් හිතුවෙ කවදාවත් මට මේ රස්සාව කරන්න වෙන එකක් නෑ කියල .

* කොහොමද ලියන්න පටන් ගත්තෙ

ඇත්තටම මන් ඉස්කෝලෙ යන කාලෙ ඉදලම පොඩි පොඩි නිසදැස් ලියනවා,ඒ කාලෙ පත්තර වලටත් පොඩි නිසදැස් ලියල තියනව , ඒත් ඒව මගෙ පොත් අතරටම සීමා උනා,මට ලියන්න විතරක් නෙමේ අත්කම් වැඩ ඕනෙම දෙයක් පුළුවන් ,

ඒවගේම කියන්න ඕනෙ මුහුණුපොතේ තමයි මන් හුගක් දේවල් ලියන්නෙ ,මගෙ අතින් ලියවෙන හුගක් දේවල් විරහවට බරයි, මගෙ යාලුවො විතරක් නෙමේ හුගක් අය මගෙන් අහනව ඇයි මන් ඒවගේ දේවල් විතරක් ලියන්නෙ කියල 

මට මේ වෙලාවෙ කියන්න ඕනෙ විරහ රස කියන්නෙ ජීවිතේ කවදාවත් විරහ වේදනාවක් විඳල නැති කෙනෙකුට උනත් පපුවෙ හීන් කැක්කුමක් ඇති කරන්න පුළුවන් හැගීමක් ,ඒ නිසා වෙන්න ඇති විරහ ගීතත් වැඩිපුර නිර්මාණය වෙන්නෙ, මන් හිතන්නෙ ඒක හිතට දැනෙන නිසාම වෙන්න ඇති ඒ අය මගෙන් එහෙම අහන්නෙත්.

ඒවගේම මන් හිතන්නෙ අපේ සිංහල භාෂාව තමයි ලෝකෙ ලස්සනම භාෂාව කියල ,ඕනෙම හැගීමක් හරි ලස්සනට දැනෙන්න,රිද්දන්න වගේම සනසවන්න පුළුවන් එකම වචනයක් තේරුම එක එක විදියට හසුරවන්න පුළුවන් ලස්සන භාෂාවක් අපිට තියෙන්නෙ ,

* ඔබ මේ වෙද්දී කොයිතරම් කවි නිසදැස් ලියල තියනවද 

ගානක් කියන්න නම් අමාරුයි දැන් අවුරුදු පහක් විතර මුහුණුපොත හරහාම   ලියල තියනව ,ඒත් දැන් කෙටි කාලයක් ඉදල ලියන්නෙ හුගක් අඩුවෙන් ,

* ඔබට ලැබුණු විශේෂ ඇගයීම් තියනවද 

මට ලැබුණු සුවිශේෂී ඇගයීම තමයි  අපි  Magazine එකේ නිර්මාතෘ ගයාන් කරුනාරත්නව හදුනගන්න ලැබීම .

මන් මුලින්ම 2017 දි තමයි මුහුණුපොත හරහා ඔහුව හදුනගන්නෙ එදා ඉදල මන් ඔහුගෙ Facebok page වලට සම්බන්ධ වෙලා හිටියා, විශේෂයෙන් කියන්න ඕනෙ මන් වෘත්තීය ලේඛිකාවක් නෙමෙයි  , නමුත් ඔහු මාව විශ්වාස කරල අපි  Magazine එකට ලියන්න කියල ආරාධනා කරනව , මන් හිතන්නෙ  මැගසින් එකේ ඔහුත් එක්ක වැඩ කරන පරනම කෙනා මන්  වෙන්න ඇති ,මන් ඔහුව කවදාවත් සජීවීව දැකල නැහැ ,මේ වසර හයකට කිට්ටු කාලයටම දෙවතාවකට වඩා කතා කරල නැහැ, ඒ උනත් ඔහු අනිත් අයට රෙස්පෙක්ට් කරන්න දන්න පුද්ගලයෙක් විදියට තමයි මන් දකින්නෙ,

* අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නෙ 

ඇත්තටම මැගසින් එක ගැන කියල ගයාන් මට කතා කරද්දී මන් විශ්වාස කලේ නෑ මේක මේතරම් සාර්ථක වෙයි කියල .මොකද දැන් මිනිස්සු කියවනව හරිම අඩුයි, විශේෂයෙන් මුහුණුපොත උනත් හුගක් මිනිස්සු පාවිච්චි කරන්නෙ ගොසිප් වලට විතරයි කියලයි මට නම් හිතෙන්නෙ ඒ නිසා ,

ඒ උනත්  මන් හරිම ආසාවෙන් තමයි අපි magazine එකට ලියන්න ගත්තෙ , දැන් කොයිතරම් මේකට ඇබ්බැහි වෙලාද කිව්වොත් මාසෙ පලවෙනිදට මුලින්ම බලන්නෙ පෝන් එක අරන් මැගසින් එක මට ටැග් කරලද කියල ,එහෙම නැති උනොත් මට කේන්තිත් එනව ,අනිත් අතට ගයාන්ට මැසේජ් එකක් දානව මැගසින් එක ටැග් කරල නෑ කියල රවා ගත්ත ස්ටිකර් එකකුත් එක්ක.

ඒවගේම මැගසින් එක එක්ක වැඩ කරන හුගක් දෙනෙක් ඉන්නව ,මන් කවදාවත් ඔවුන් එක්ක කතා කරල නැහැ ,අදුනන්නෙ නෑ ඒ උනත් මැගසින් එක කියන්නෙ අපි හැමෝගෙම හැගීම් සහ කැපකිරීම් වල අවසාන ප්‍රතිඵලය ,මැගසින් එකට දැන් අවුරුදු තුනක් කිට්ටු වෙන්න ලඟයි,

ඉතින්  ඒ වෙනුවෙන් මහන්සි වෙන කැපකිරීම් කරන හැමෝටම මේ අවස්ථාවේ ස්තූති වන්ත වෙනව මෙය සාර්ථක කරගන්න දායක උනාට,

මොකද හැමෝම මේක කරන්නෙ විවිධ රටවල ඉදල රැකියා කරන ගමන් ,

ඒවගේම ගයාන් කරුනාරත්න අපේ සහෝදරයා ඔහුට ස්තූති වන්ත වෙනව මාව මේ හා සම්බන්ධ කරගත්තට, හැමෝටම ආරාධනා කරනව අපි විශ්වාස කරල අපි  magazine එකත් එක්ක හැමදාම රැඳී ඉන්න කියල ,ඔබේ ජීවිතයට වටිනා මොනම හරි දෙයක් මෙයින් ගන්න කියල ,