
මේ හැම අහඹු තප්පරයකම මට නුඹව මතක්වෙන බව.
මට මගේ කියන්නට තිබෙනා හැම සිතුවිල්ලකම නුඹ ඉන්න බව,
කවදාවත් එක් කළ නොහැකි අපේ දෛවයේ මම ආසම දවස් කිහිපය ගෙවුණේ නුඹ එක්ක බව
අතින්වත් නොඇල්ලූ ආදරණීය මොහොතවල් ගෙව්නේ නුඹ එක්ක බව,
හිතෙන්, මනසින් බන්ධනය වුණු අපූරු හැඟුම් කෝටියක් පපුවෙ දරාගෙන නුඹ එක්ක බව,
මන් ආසයි
හැම සුළගකටම නුඹ ගැන රහස් කියන්න,
මම නැතත් නුඹ ඉන්න තැනකට ඇවිත් මගේ ආදරේ කියන්න කියලා ඉල්ලන්න.
මේක හරි පිස්සුවක්
හැබෑවටම විකාරයක් වෙලාවකට ,
මිනිස්සු කියාවි දහසකුත් කතන්දර, අපේ හමුවීමට, අපේ වෙන්වීමට අරුත් දේවි,
ඒත් අපි ගැන, අපි තරම් වෙන කවුරුනම් දැනගන්නද,
මතකද දවසක් කිව්ව නුඹ වෙන් වුණොත් අපි කවදහරි හදිසියෙම, හේතුවක් කියාගන්නවත් බැරිව,
නුඹටමන් ඉතිරිකර යන වග,
මගේ හිතේ හැම මතකයක්ම නිදන්කර
ඔව්,
මේ තරම් කාලයක් ගෙවිලත්,තවමත් නුඹ මගෙ හදවතේ හිටපු තැනම එහෙමම
මන් දන්නෙ නෑ කවද කොහොම නුඹව අමතක කරන්නද ,
මන් තාම දන්නෙ නෑ
ප්‍රේමනීය වෙන්වීම් කියන්නේ මේ වගේ වෙන්වෙලත් හිතේ තියාගෙන විදවන එකටද නිශූ
සහලෝලා උණ හැදිලා වෙව්ලගෙන
හිටියා මා කාමරේට වී ඉවසගෙන
ඇඳ උන්න සරමත් බාගෙට එල්ලගෙන
ඉස්පිරිතාලෙට ගියේ පිය මා උස්සගෙන
ප්‍රයිවට්ද පුතේ යන්නේ පියා ඇසුව සැණින්
ඔව් තාත්තේ යැයි කියවුණි අසුරු සැණින්
තාත්තත් අනේ විතවුට් එනි හෙසිටේශන්
එක්කන් ගියා මා ඇතුළට තුරුළු කරන්
යුහුසුළුව වැඩ කරනා සේවකයන්
ඒ මේ අත මන බඳනා සුදු හෙදියන්
මාත් ඉතින් දත් තිස්දෙක එළියෙ දමන්
හිනාවුණා රෙදි කඩකින් ඔළුව වහන්
අඩ සුදු වතෙන් සැරසුනු මනරම් හෙදියක්
ආවා මවෙත වනමින් ඇගෙ කෙස් කළඹක්
මොකද වුණේ යැයි ඇහුවා නැමිලා මදක්
දැන් නම් මෙමෙට නෑ මෙලොවේ සිහියක්
රෙදි කඩ ඉවතලා මගෙ නළලට අත තියලා
උණ කටුව ගෙන සොලවා කට තුළ ඔබලා
දෙනෙත් තවම නැත මා නම් ඉවතට යොමලා
දියෙන් කිර වෙන් කරනට මා සටනේ යෙදිලා
මුහුණ නොවේ වෙනතක මා බලනයුරු
ඇයටත් ඒක වැටහීගෙන එන අයුරු
ලොව නැති කවි ගී මුවගට එයි මියුරු
උණ වැඩිවෙලා වාගේ දැන් මට වියරු
ඕකට හොඳ බෙහෙතක් ඇතැයි කියා
ඇය දොර වහගෙන එළියට යන්න ගියා
එන පොට එතරම් හොඳ නොවන නියා
හිටියා ඇඳේ ගුලිවී ඇස්දෙකම පියා
අවා තට්ටු කර ඇතුළට පිරිමි මිසී
කොහොමද පුතා යැයි එකවරම ඇසී
ඇසුවා මා කොහෙදැයි පෙර ආපු මිසී
කිව්වා එයා නම් දැන් ගොඩක් බිසී
දහදිය දැම්මා සේ එකවර මාගේ ගතේ
සොඳුරු හීන බොඳ විය ඒ නැගුන හිතේ
පියා මගේ ලං වී අත තියලා හිසේ
ඇහුවා කොඳුරලා “දැන් සනීපයිද පුතේ?”
නුඹ දුටුව දිනයක් මතකේ නැතිය.
නුඹේ කටහඬ ඇසුනු දිනයක් ඇත්තේ මීට බොහෝ කලකට පෙරය
අහම්බෙන්වත් නුඹ දකිනු කැමැත්තෙන් මා නුඹව සොයනවිට
නුඹ යාන්තම් හෝ දැකීම මාගේ හුස්මත් නතර වන හැගීමකි,
එය සතුටක්ද,රිදුමක්ද,යන්න වෙන්ව හදුනාගැනීමට මා නොදනිමි .
තවත් නුඹේ පපුව තුළ මට ඉඩක් නොමැති බැව් හොඳාකාරවම මා දනිමි.
එහෙයින් නුඹව සැබවින්ම දැකීමට සිතුණු හිත නවතා දැමුවේ ආයාසයෙනි.
අප එකට ආ මාවතේ හැරවුම මීට බොහෝ කලකට පෙර අපට හමු වුණි.
එය මා ජිවිතයම එක තැනක නතර වන හැරවුමක් යැයි නුඹ සිතන්නට ඇතිදැයි මා නොදනිමි .
මාවත් දෙකක ගියද මා තවමත් ගමන් කරන්නේ නුඹේ මතකයන් වලට සමාන්තරවමය.
මන් නුඹව දකිමි,
නුඹව දරාගමි,
මා දෙනෙත් වසාගන්නා සෑම මොහොතකම නුඹ නිදන්නේ මාගේ පපුව මතය.
මට තවමත් නුඹේ සුසුම් දැනේ.
මා මියයන දිනයක් වනතුරු මේ සියල්ල මට හිමිය,
මා දෑස් ඉදිරියේ ඔබේ ජීවිතයේ ලස්සන සියල්ල සිදු වනු ඇත.
එය දැකීමට ,ආශිර්වාද කිරීමට හදවතේ කිසිදු කිලිටක් නැතිවම මට කළ හැකිය .
එය නුඹ විශ්වාසකළ යුතු සත්‍යකි.
බලා හිඳීමත් යම් විදිහේ ආදරයක් හා සැනසීමක් දනවන දෙයක් යැයි මට සිතේ
මා එසේ කරමි..
නුඹ සමග තනාගත් ඒ ආදරෙයේ කැදැල්ල තුළ මා ජීවත් වෙමි,
සිනාසෙමි…හඬමි…
දැවෙමි….නිවෙමි….
නුඹ පපුවේ දරාගෙන දිනෙක සැනසිල්ලේ මියයමි.
එදිනටත් මන් නුඹට ආදරේ කරමි. නිශූ
‘පුතේ පපුව රිදෙනවා’ කිව් පසුව මෙමා
‘තාත්තා පරිස්සමක් නෑනේ’ කිව්වා පුතා
අද නම් පුතේ වැඩිපුර මට රිදෙයි කියා
කීවත් පුතු පයිසෙට මායිම් නොකර ගියා
ඇස් දෙක මගෙ උණු කඳුළින් ඉනුව නියා
කඳුළු පිසින්න දිනිතිය දැන් නොමැති නිසා
තනිව පාළුවෙන් යහනක ඉන්න නිසා
මගේ මතකෙ අතීතෙටම රැගෙන ගියා
පුතු ඉපදුන දිනවල මට නින්දක් කොහිද
නිතර බලන්නේ පුතු මගෙ අසනීපෙන්ද
ගෙට ගොඩ වන්නේ අහලා පුතු කෑවාද
පුතු නළවන්න කෙතරම් ගී පද කීවාද
ලොව හොඳම දේ දෙන්නට පුතුට මගේ
වෙහෙසුනෙමි රෑ එළිවෙනකම්ම වගේ
සතපහ නැති දිනට දුක තද කරන් හිතේ
වතුර ඩිංඟක් බී නින්දට ගියා පුතේ
හොඳම පාසලක් අකුරට නුඹට පුතේ
හැමට වඩා ඕන වුණේ මටයි පුතේ
සල්ලි තිබ්බෙ නෑ මට යහමින්ම අතේ
ණයත් වෙලා ඒකත් මං කළා පුතේ
අතේ පයේ පොඩි සීරිමක් වුණත් නුඹේ
කලබල වෙලා දුක ගත්තෙත් පියා නුඹේ
කහවණු නැතත් බිම්බිසාරටම වගේ
හැම සැප දුන්නා අඩුවක් නැතිව අගේ
විභාග සැම පුතු ඉහළින් සමත් වුණා
රැකියාවත් පුතු මහිමෙට හිමිම වුණා
ඩිංග ඩිංග කරදඬු උස් මහත් වුණා
ආඩම්බරෙන් මගෙ හදවත සතුටු වුණා
පුතුගෙ විවාහෙට සල්ලිත් ඕන නිසා
ඉසිඹු ලැබුවා මම පස් වසරක්ම තියා
ගම් හතටම හොඳහැටි මඟුල් කියා
පුතු තුට දැක මගෙ දුක සැඟව ගියා
මතකයේ ගිලී යහනේ මා දැන් වැතිර
පපු රිදුමේ වැඩි වේගෙන එයි නිතර
දුරකථනෙන් පුතු හට ඇමතුව අතර
‘මීටිමක ඉන්නේ’ එපාලු කතාව නිතර
පුත නුඹ පියාට කතා බැරිය අදින් මතු
හුස්ම මගේ හිරවීගෙන එනවා පුතු
අවසන් වරට වදනක් ඇත කිවම යුතු
අජාසත් සේ පසුතැවිලි නොවන් පුතු
________________________ච | රි | යා_______
ප:ලි: රැකියාව, මිල මුදල් හෝ වෙන යම් භෞතික වස්තූන් ඉදිරියේ වහල් නොවී දිවියේ උත්තරීතරම වස්තූව වන දෙමාපියන්ට දැක්විය යුතු සෙනෙහස, ආදරය, රැකවරණය නොඅඩුව ලබා දීමට වග බලා ගන්න. නැතහොත් නිසැකවම දිනෙක ඔබ පසුතැවිලි වනු ඇත
දිනය වේ මතකයේ නොවරදා
දෙන්නගෙ anniversaryයට පෙරදා
සාමාන්‍ය තෑගි හැම පරදා
ගත්තා හොඳම තෑග්ගක් වෙරදා
හෙට නුගේගොඩ බංඩගෙ පංතියට
සිතා ඇඳගෙන යන්න ජැන්ඩියට
ඇඳුමකුත් ගත්තා ගොස් හංඳියට
සියල්ල ready දැන් anniversaryයට
බලා සිටි දිනය නම් දැන් එළඹුනා
කඩිමුඩියෙ කඩිසරව මං සැරසුනා
සැකෙන්දෝ අම්මා කාමරේට එඹුනා
වෙනසක් දැනිලා දැයි මට සිතුණා
කුකුලා අතේ ගෙන මං පිටවෙන්න සිතා
ගත්තා බෑගය වැඩිපුර නොකර කතා
“මෙන්න මේක සුදු නැන්දට දෙන්න පුතා”
පාර්සලයක් දුන්නා මට හොඳට ඔතා
ගත්ත ගමන් ඒකත් බෑගයට ඔබා
අම්මට වැඳ ගමනට ආසිරිද ලබා
වෙනදා නොම වේගෙන් පියවරත් තබා
හනික ගියේ හමුවන්නට මගේ බබා
ඈත සිටම මිතුරන් වට වී සිටිනා
පුන් සඳ සේ දිස්වන ඇගෙ රුව දිලුනා
මා එන මග පිලිගන්නට නෙත් සොයනා
ඒ දෙනෙතින් මාගෙ රුව මට පෙනුනා
පංතිය මුලම මුරවන් ඇගෙ මිතුරන් ය
මා එනු දුටු සැම මුවගට හසරැල් ය
Anniversaryය ගැන සැමදෙන දැනුවත් ය
පෝලිමට ලැබෙන්නේ මට සුබ පැතුමන් ය
වෙන ලොවකයි අපි දෙන්නා සිතින් ඇසින්
කිට්ටු වුණා පෙම්බරියගෙ ලඟට සෙමින්
බෑගය විවර කරළා මහ උජාරුවෙන්
අරගෙන තෑග්ග තිබ්බා ඈ අත්ල මතින්
හිතට මගේ දැනෙනවා දැන් නම් පට්ට
Branded නිසා බය එය ගනිදැයි වට්ට
විවර කළ සැණින් මා ඇස් විය පොට්ට
සුළු දිය බරයි දුටුවම කරවල කට්ට
ඇගේ මිතුරන් දැන් පෙන්වයි මෙමට කොකා
“මොනවද ගෙනැත් ඇත්තේ මේ බූරු යකා”
සරුවාංගෙම හීතල වී නියත් කකා
“හරි එක මේක” කියලා දුනි දිවත් විකා චරියාගේ පන්හිඳ
හැම මලකම
මකරන්ද සෙව්වාට නුඹ
බාඳුරාවන්ද සිටියි නෙක රුව….
ගතු නොකියමි ඉගිල යන නුඹ ගැන
නමුත් තතු කියමි නුඹෙ පරිස්සම ගැන
උදම් ඇනුවට නුඹේ තෙද ගැන
උරා ගත්තොත් බාඳුරා නුඹ ගත
වේවි නුඹ හට යන්නට
අවසාන ගමනත් නිහඬවම….
ඉදින් කියමි නැවතත්
ඉගිල ගියාට කම් නැත
හිතුමතේ මලින් මලකට….
සැනසියන්
මකරන්ද මැද කිමිද….
එය බඹරුන්ගේ හැටිය….
ඒත්…
පරිස්සමින් නුඹ
සුරේඛා
මම දරාගත්ත තැන්වල
නුඹත් දරාගෙන බලපන්
ඒක මොනතරම් අමාරුද කියල
මට තනිකම දැනුන තැන්වල
නුඹත් තනිවෙලා බලපන්
ඒ වේදනාව මොනතරම්ද කියල
මන් නුඹට ආදරේ කල තරමට
නුඹත් කවදහරි ආදරේ කරල බලපන්
මොනතරම් විදවන්න වෙනවද කියල
මන් තරම් දවසක උහුලලා බලපන්
සුසුම් වල බර පපුවට මොනතරම් බරද කියල
මට වගේම දවසක නුඹටත් දැනෙයි
දුන්න හීන බලාපොරොත්තු උදුරගත්තම
ජීවත් වෙනඑක මොනතරම් කරුමයක්ද කියල
නිශා
පුංචි සන්දියේ මා හට අකුරු කරන්නට
කුලදෙවි යොමු කළා මා ගුරුගෙදරකට
අකමැති වුණත් මා එහි පියමනින්නට
යන්නට සිදුවුණා නිවසේ පෙරැත්තට
කළු උස මහත රුදු පෙනුමැති යෝධයෙකුට
දිය හැකි වේද පොඩි අප වෙත සිප් සතර
‘එන්න පුතා’ ලෙස ඔහු අමතද්දිත් සොඳට
ලොමු ඩැහැගැන්විලා හිටගෙන අපි බියට
ගණිතය විෂය මෙලොවට හැදුවේ කව්ද
හොඳක් නොවන් එලෙසට පැතුවා මමද
අමතක චක්කරය හොයා ගත් එකාවද
නිතරම මතක් කරනවා රෑ නින්දෙන්ද
පාසලට නුදුරු වත්තේ කාමරයක විසූ
වත්ත පුරාවට වගාවක් වේය ඔසු
දුප්පත් දරුවෝ කැන්ඳා පාසලෙන් පසු
ශිල්ප දෙන තැන ගුරුගෙදරක්ය පසු
ගුරු ගෙදරට ගොඩ වූ හැම දිනයකදිම
පාඩම් දිය යුතුවේ චක්කරයත් නොවැරදිම
පාඩම් නොමැතිවුන් දණගහලා පෝලිමට
ඇතැමෙක් හඬයි තෙත් කරගෙන කලිසමෙම
නිතරම බුලත් සපමින් කට රතු වීලා
සුදු කලිසමට සුදු කමිසෙන් සැරසීලා
සිනා නොවෙයි බොරුවට හසරැල් පාලා
අවැසි දේ කියයි ඔළුවට ටොක්කක් ඇනලා
විදුහල්පති පවා ගරුසරුවයි ගුරුදෙවිට
විශිෂ්ටයෝ බිහිවේ නීරස ගණිතයට
පැසසුම් ඉදිරියේ ඔහු නොසැලී ඉදිරියට
සෘජු මිනිසෙකි යට නොවනා මුදලකට
ගලේ කෙටුව අකුරක් මෙන් සිහිවෙනවා
තාමත් උගන්නපුවා මතකේ රැව්දෙනවා
වේවැල් පහරේ රසයත් අමතක නැතුවා
ගුරුදෙවි ගැන ගරුසිත තව වැඩිවෙනවා
ශිල්ප උගෙන රැකියාවක් මම සොයාගෙන
Interview ගියා මගෙ දෙයියොත් පතාගෙන
‘ආවෙද ගණිතෙට D එක නුඹ තියාගෙන’
සිහිවුණි මෙමට ගුරු බුලතුත් සපාගෙන
D එක නිසාමයි මට Job එක හම්බවුණේ
ගුරු පා නමදින්නමයි මට නම් ඕන වුණේ
සුදු කමිසයක් අළුතින් ගුරු පඬුරු වුණේ
මා දුටු කල ගුරු තුටමයි මතක්වුණේ
හා හා පුරා කියලා ගත් රථේ නැගී
පෙර ගිය මාවත් දිග මතකයේ රැඳී
තවමත් දැනෙනවා එදවස සුවඳ රැඳී
ලං ලං වුණා ගුරුගෙදරට දිවියේ බැඳී
ඈතට පෙනෙනවා මහ සෙනඟක් රැස්වීලා
මග දෙපසට යුහුසුළුවම වැඩ කරනා
කුකුසක් මගේ යටි සිත්හි දැන් නැගෙනා
ගුරු ගෙදරම සුදු කොඩියෙන් සැරසීලා
ගුරු පඬුරත් ගෙන හනිකට පිය නැගුවා
ගුරුගේ අඹුව මහ හයියෙන් වැළපෙනවා
එදවස සිට ගුරු අඹුවත් හඳුනනවා
මා දුටු විට ඇගේ දුක තව වැඩිවෙනවා
කුමකින් කුමක් සිදුවේදැයි නොදත් නිසා
ගෙට ගොඩ වී ගුරු අඹුවගේ ලඟට ගියා
‘මොකද වුණේ මිස්’ කියලා ඇහුවා මෙමා
‘පුතාලගේ සර් අද අපිවත් දාලා ගියා’
අකුණක් වන්ව කම්පනයකි දැන් දැනෙන්නේ
රූරා වැටෙන කඳුළුත් නොම නවතින්නේ
එදවස ගුරුපියගේ ගුණ එකිනෙක සිහිවන්නේ
ගෙන ආ සුදු කමිසෙද ගුරු හට දැන් අන්ඳන්නේ ?
______________________ච | රි | යා_______
( යම් පුද්ගලයෙක් අනුන්ගේ දරුවෙකු තමාට වඩා උගතෙකු වී දිවි ජය ගන්න අයුරු දැකීමට සිහින මවයි නම්, ඒ සඳහා මාවත එළිපෙහෙළි කර දෙයි නම්, තමාව අභිබවා යනු දැක හදවතින්ම සතුටට පත්වේ නම් ඒ උත්තම ගුරුවරයෙකු පමණමය.නොපමාව තමන්ට සිප් කිරි පෙවූ ගුරු දෙවිවරුන් හට කෘතගුණ සලකන්න. )