අග්‍රගන්‍ය කළාකරුවකු වන ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතය ගායනා කරනු ලබන්නේ රෝහණ වීරසිංහ මහතාය.

ගීතය පුරාවටම ඇත්තේ අමිහිරි අත්දැකීමක් මිහිරි ලෙස දුටු ඉතා සංවේදී පිරිමි හදවතක දෝංකාරයයි…. වචනයෙන් වචනයට… මෙන්ම සංගීතයද හිතට අමුතුම හැගීමක් ගෙන දෙන්නේ ඒ නිසාය

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ

උඩ ඉගිලෙන විට වැහි ලේණී

එබී බලා රිය කවුළු දොරින්

යට ගිය දවසේ

දෑස ගියා ඉගිලී….

වැහි ලිහිණියන් ඉගිලෙන පුංචි මල් වැස්සක පාරක ඇවිදගෙන යන එක් ආදරණීය මිනිසෙකුට, රියක නැගී යන ගැහැණියකගේ නෙතට නෙත ගැටෙන්නේ රියේ කවුළුව අතරින්ය. ඒ දුටු විගසම ඔහුගේ නෙත් ඇදුනේ ඈත අතීතයටය.. ඒ සොදුරු අතීතයටය….

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ

දිය දහරා පාටයි දේදුන්නේ

තෙමී තෙමී ආදර මධු වැස්සේ

ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

අඳුර ගලාගෙන එන වැස්සක තෙමි තෙමී මහනුවර පාරවල් දිගේ දෙදෙනා ඇවිදපු ඒ අතීතය කෙසේනම් අමතක කරන්නද… ආදරය ඉදිරියේ ඕනෑම ගැටළුවක් ඉමිහිරිය .. සොදුරුය … ඉතින් එදා ඒ වැස්ස ඔවුන්ට දැනුනේ ආදරයේ මධු වැස්සක් ලෙසය. දිය දහරා පෙනුනේ දේදුන්නේ පාට වලින්ය ..

ඒ ආදරයේ සොදුරුතම බවයි..

ඒත් එදා එකට ගිය දෙදෙනා එවැනිම වැස්සක අද මාවත් දෙකකය

රිය ඇතුළේ

උණුසුම ඔබට දිදී

නහවයි මා

රියසක මඩ වතුරේ…”

මේ නෙතට නෙත ගැටුනේ අහම්බයකින්ය.. ඒ මේ මෝටර් රථයේ රෝදයෙන් ඉසුනු මඩ පහරින් මේ මිනිසා නැහැවුනු නිසාය. තම ආදරයේ වර්ථමාන අයිතිකාරයා… ඒ ආදරයට රිය ඇතුලේ උණුහුම දිදී වැස්සෙන් ආරක්ෂා කරගෙන, තමන්ව මඩ වතුරෙන් නාවලා යන හැටි බලා මේ මිනිසාට තරහවක් නොදැනුනේ ඔහුගේ ආදරය ඒ තරමටම අව්‍යාජ එකක් වීම නිසාමය..

නෑ හිත රිදුණේ

අදත් එදා සිහිවී

අපේ සබඳකම්

නෑ රිය සක දන්නේ

තමන්ට ආදරය අහිමිකර අද වෙනකෙක් ලඟ සැනසෙන තමන්ගේ ආදරය , අතීතයේ තමන් හා සිටි හැටි ඔහුට මතක්වුනේ හිතට අමුතුම සැනසීමක්ද ලබාදෙමිනි. අද වෙනකෙකුගේ වී, හරි උජාරුවෙන් තමන්වද මඩ වතුරේ නාවා ඉගිලී යන ඇය ගැන මොහුගේ හිතෙ වෛරයක් ඇති නොවුනේ ඔහුගේ හිත ඒ තරමටම නිවී සැනසී තිබූ නිසාය.. යථාර්තය තෙරුම් ගත හැකි උසස් මනසක් ඔහු සතු වුනු නිසාය.

අවංකවම ඔහු ඇයට ආදරේ කල නිසාය

එදා ඔවුන් අතර තිබූ බැඳීම, ආදරය..ඔවුන්ගේ ආදරයේ අතීත ඉමිහිරි මතකයන් වාහනයේ රෝද කේසේනම් දැනගන්නද ….ඒ නිසා මේ සිදුවූ සිදුවීම ගනනකට ගතයුතු නැත

ඔහු සිත සනසාගත්තේ එලෙස සිතමින්ය ..

මෙවැනි සොදුරු මිනිසුන් සැබෑ ලෝකයේ සිටින්නේද ? ….

ඔබෙත් මගෙත් පිලිතුර නැත යන්නයි…

නමුත් …….

අප නිවැරදි නැත … මේ සත්‍යය සිදුවීම සිදුවූයේ ඒ අග්‍රගන්‍ය කළාකරුවා වන ලූෂන් බුලත්සිංහලයන් හටය ..ඔහු අතින් මේ ගීතය ලියවුනේ ඒ අත්දැකීම නිසාය

කවුරුන්ද ඔබ මගේ


කවුරුන්ද ඔබ මගේ

මීට සමාන අදහසක් තියෙන තවත් ගීත තියෙනවද..

කවුරුන්ද ඔබ මගේ..

කවුරුන්ද මා ඔබේ..

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු

දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු..

හදවත් ගැහෙනා රිද්මය අතරේ….

සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු..

ප්‍රේමය ගොළුවී හඬා වැටීලා..

ඔබ හද මා හද රිදවන මොහොතේ..

ජීවිතයට හුරු පැරදුම හමුවේ..

නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු..

හඬ – සුනිල් එදිරිසිංහ

පද- සමන් ආතාවුදහෙට්ටි

ස්වර – රෝහණ වීරසිංහ

කවුරුන්ද ඔබ මගේ ගීතය ඇත්තටම විශේෂ ගීතයක්.. ඒ නිසායි මම ඉහත ඇහුවෙ මීට සමාන ගීතයක් තියෙනවද කියලා..

බොහෝ ප්‍රේම ගීත වගේම මෙතනත් ඉන්නවනෙ දෙනේනෙක්.. ඒ දෙන්නා අතර තියෙන බැඳීමක්.. නමක් නැති බැඳීමක් කියලා හිතෙන්නෙ ඒ දෙන්නට දෙන්නා තමන් කවුද කියලා සොයන්න උත්සහ කරන නිසා.. එතකොට නමක් නැති බැඳීමක් හැම විටම සෘණාත්මක සම්බන්ධයක් විය යුතු නැහැ නේද? හරි.. ඔවුන් දෙදෙනා ගතින් එක්තැන් වෙලා.. ගතින් එක්තැන් වීම විවාහයක්ම විය යුතුද? ඒක හමුවීමක් පමණක් වෙන්න බැරිද.. මෙහෙම හිතමු නිතරම මුණ ගැහෙන කතා බහ කරන ආශ්‍රය කරන දෙන්නෙක් වෙන්න පුළුවන් නේද? ඊළඟට මොවුන් දෙදෙනාම සිතිනුත් එක් තැන් වෙලා.. ගතින් කොහොම එක්තැන්ව හිටියත් සිතින් එක් තැන් වෙන එක..? ඒක හරිම විශේෂයිනෙ..

කවුරු මොනවා කිව්වත් හිතින් ඇති වෙන බැඳීම් හරි ප්‍රබලයිනෙ.. එතකොට මම ඔබත් එක්ක හිනා වෙනවා.. ඔබේ දුකේදිත් මගේ දුකේදිත් අපි දෙන්නාම කඳුළු හෙලනවා… ඊළඟට ප්‍රේමය ගොළු වෙලා.. මේ දෙන්නා අතර ප්‍රේමයක් තියෙනවා ඒත් ඒක සාර්ථක කරගන්න, තේරුම්ගන්න එකිනෙකාට කියාගන්නට බැහැ… මොකක් හරි බාධාවක් නිසා.. සමහර විට මේ දෙන්නා වෙන දෙන්නෙක්ට අයිති දෙන්නෙක් වෙන්නත් පුළුවන්.. ඉතිං මේ ගොළු වෙච්ච ප්‍රේමය ඔබේ හදත් රිදවනවා.. මගේ හදත් රිදවනවා.. තීරණයක් ගන්න බැහැ.. ඒ නිසා නොදොඩා ගොළුවී බලාගෙන ඉන්නවා..

මට දැනෙන්නෙ මේ ගීතයේ තියෙන්නෙ සුන්දර බැඳීමක් කියලා.. ඒත් බිරිඳ මගේ ඔබ ගීතය හරිම පැහැදිළිවම ඔවුන් දෙදෙනා විවාහක යුවලක්.. දෙමව්පියන්ට සමාජයට ඕනෑ නිසා අතිනත අරගෙන තවමත් අනිත් අය වෙනුවෙන් මවාපෑමක් කරමින් ජීවත් වෙන..

“`අමාලි වසුන්දරා“`