මානසික ගංවතුර (MentalFloods)
සංයුක්ත නිකායෙහි ඔඝ සූත්රයේදී බුදුරජාණන්වහන්සේ විසින් ගංවතුර වර්ග හතරක් දේශනා කර තිබේ. ඕඝ යනු ගංවතුරයි. එම ගංවතුර මානසිකය. තවත් අයුරකින් කිවහොත් ජීවිතයයෙහි සතුට සෝදා පාළුවට ලක් කරන අභ්යන්තර ප්රවාහ හතරකි.
එම හතර නම් කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ සහ අවිජ්ජා ඕඝ යි.
කාම යනු කැමැත්තයි. ජීවිතය තෘප්තිමත් කරන දේ නොලැබීම ඇතැම්විට සිය දිවි හානිකර ගැනීම දක්වා මානසික අවපාතයකට කෙනෙකු ලක්විය හැකිය. එසේම එහි අනෙක් අන්තය වන අසාමාන්‍ය ලෙස සැපයට ගිජුවීමද විනාශකාරී විය හැකිය. එසේ ගිජුවීම කාම ඕඝයයි.
භව යනු නැවත නැවත හට ගැනීමයි. තවත් සරලව කිවහොත් ඉපදී ජීවත්වීමයි. කොපමණ සතුටු වියහැකි දේ තිබුණත් ලැබූ ජීවිතය ගැන සතුටක් නැතිවීම නිසා නොලැබෙන වෙනත් ජීවිතයක් ගැන සමහරු මනෝ ලෝකයක ජීවත් වෙති. එනිසාවෙන්ම ඔහුන් පැවැත්ම ගැන අවපාතයකට ලක්වෙයි. ඒ භව ඕඝයයි.
දිට්ඨි යනු දැකීම හෙවත් මතවාද ය. සතුටින් ජීවත්වීමට ඕනෑ තරම් අවස්ථා තිබුණද සමහරු ආගමික, දේශපාලනික ආදි මතවාදවල අන්තගාමීව එල්ලී සිටිති. එනිසාම ඔවුනට ලැබීමට වඩා නොලැබීම බහුලය. දිට්ඨි වැරදුන තැන සියල්ල වැරදී යා හැකිය. එනිසාය ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් පරම සතුට වන නිර්වාණයට දිවෙන මග මුල්ම පියවර සම්මා දිට්ඨි හෙවත් නිවැරදි දැකීම වන්නේ. ‘මගේ ආගම, මගේ මතය, මා කියන දේ පමණක් නිවැරදියි‘ ආදි වශයෙන් ආත්ම මහත්යතාවෙන් (self-importance) සමහරු පෙළෙති. ඒ දිට්ඨියෙහි ප්රතිඵලයයි. දිට්ඨි නිසා තම දරුවන්, බිරිඳ, සැමියා නිකරුණේ අහිමි කරගත් අය බොහෝ සිටිති.
අවිජ්ජා යනු අඳුරේ අතපත ගෑමයි. එනම් දරුණු ලෙස මුලාවට ලක්වීමයි. මෙය ඉතාම නිහඬ මානසික ගංවතුර යි. ඒ එය සියුම් නිසාය. විජ්ජා (විද්යා) යනු දැනීමයි. නොදැනීම අවිජ්ජා (අවිද්යා) වේ. පෙර කී ගංවතුර වර්ග තුනට මේ අවිජ්ජා ගංවතුර නිහඬව ශක්තිය ලබා දේ. ඉහත ගංවතුර ත්රිත්වය ගැන කෙනෙකුට හැඟීමක් ලැබුණද මේ ගංවතුරට හසුවූ අය තමන් විනාශයට යන බව පිළිබඳව හැඟීම් මාත්රාවක්වත් නොලබති.
නූතන විද්යාව හා තාක්ෂණය අපට බොහෝ සැපදායක දේ මවා තිබේ. එහෙත් එයින් මිනිසාගේ සතුටට හේතුවන සරල දිවි පැවැත්ම හානියට පත්කර තිබේ. තම සීමාවන් දැනගැනීම සහ ඉහළ ඉලක්කයන් පසුපස හඹායන අතරතුර ලද දෙයින් සතුටුවීමද විශේෂයෙන්ම තම මානසික සෞඛ්යය වෙනුවෙන් දවසකට අඩුම තරමේ විනාඩි විස්සක් හෝ සති භාවනාවෙහි යෙදීම ඕඝයන්හි ස්වභාවය සහ ඒවායින් බේරීම පිළිබඳව ආධ්යාත්මික අවබෝධයක් අප තුළින්ම ඇතිවේ.
බුදුරජාණන්වහන්සේ ඔබට මග පෙන්වා තිබේ. එහි ගමන් කිරීම හෝ නොකිරීම ඔබ සතුය.
– ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි, සාකල්‍ය මනෝචිකිත්සා උපදේශක





