බරණ දැකපු අපි නොදැකපු බුදුන්

ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නෙළීමේ ආරම්භය පිළිබදව  පැහැදිලි සාක්ෂි නොමැති වූවද ඉතිහාසය සහ වංශ කතාවලට අනුව නම් ක්‍රි.පූ. තුන්වන සියවසේදී දෙවන පෑතිස් රජතුමා ථූපාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වෙනවා. අනුරාධපුර යුගය ශ්‍රී ලංකාවේ දැවැන්ත කලා නිර්මාණ බිහිවූ කාල පරිච්ඡේදය ලෙස නම් කිරීම නිවැරදි යැයි හැගෙන්නේ  

ක්‍රි.ව. 5 වන සියවසේ රජකල ධාතුසේන රජතුමන්ගේ (ක්‍රි. ව. 459 – 477)  නිර්මාණයක් ලෙස සැලකෙන අවුකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වීම නිසාමය. අවුකන බුදුපිළිමයෙන් පිළිබිඹු කරනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේ නොව දීපංකර බුදුරජාණන් වහන්සේ බව බොහෝ වියතුන් විශ්වාස කරනවා. සාමාණ්‍ය බුදු පිළිමයක උස දහ අට රියනක් වූවත් අවුකන පිළිමය ඊට වඩා උසින් යුක්තවීම එයට හේතුව විදියට සදහන් කිරීමට හැකි බවත් අනෙක් අතට මෙමගින් අභය මුද්‍රාව නිරූපනය කරන බැවින් එමගින්ද පිළිබිඹු කරනුයේ දීපංකර බුදුරදුන් බවත් විද්වතුන්ගේ මතයයි.

බුදුන් වහන්සේගේ දස බලධරී ගුණයත්, නොසැලෙන ගුණයත් අකම්පිත ගුණයත්, කරුණා ගුණයත් මහා කලු ගලකින් මතු කරගත් බරණ නම්වූ මූර්ති ශිල්පියාට කොයි තරම් නම් ඉවසීමක් තිබෙන්නට ඇත්ද. බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂනත්, උත්තුංග දේහ විලාසයත් එකට කැටි කොට කළු ගලක ජීවමාන අයුරින් වැඩ සිටින බුදුන් නිර්මාණය කරන්න ඔහු බුදුන් දකින්න ඇති. අවුකන පිළිමයේ ඉතා පුදුමසහගත කාරණය නම් නාසයට වැටෙන ජල බිංදු පා දෙකට හරි මැදින් වැටීමයි. මෙහි විශිෂ්ටත්වය පිළිබිඹු කෙරෙන අනෙක් කාරණා නම් සිවුරේ රැළිවල දක්නට ඇති සමාන්තරත්වය සහ කළු ගලක් තුළන් ඇගිලිවල නියපොතු පවා දක්වා ඇති ආකාරයයි.  

උස අඟල් 108ක් හෙවත් තාල නවයක් වන අවුකන පිළිමය සමභංග ක්‍රමයට තනා තිබේ. එනම් ශරිරයේ බර දෙපා වලට සම සමව බෙදී යනසේ ශරිරය කෙලින් තබාගෙන සිටින ලෙස නිර්මාණය කර තිබීමයි. දකුණු අතින් අභය මුද්‍රාවත් වම් අතින් සිවුර අල්ලාගෙන ඉන්නා ආකාරය දැක්වෙන කටක මුද්‍රාවෙන් යුක්ත වන නිසා මෙය අභයගිරි කලා සම්ප්‍රදායට අයත් ලක්ෂණයක් යැයි වියතුන් සදහන් කරයි. බුදුන්වහන්සේගේ ‍ලෝකෝත්තරත්වය මැනවින් පිළිඹිඹු වන ලෙස අවුකන ප්‍රතිමාව නිර්මාණය කර ඇත. 

ගුරුගෝල ද්වන්ධ සටනක නිරත වෙමින් නිර්මාණය ප්‍රථමයෙන්ම අවසන් කරන ගෝලයාවූ බරණ අවුකන පිළිමයද ගුරා රැස්වෙහෙර පිළිමයද ඉදිකල බව ජනප්‍රවාදයේ ඇත. රැස්වෙහෙර පිහිටා ඇත්තේ අවුකන ප්‍රතිමාවට කිලෝමීටර 16 දුරින්ය. තම ගෝලයාට තමා පරාජයට පත්වූ බව හැගී එම සිත් තැවුලෙන්ම  බරණගේ ගුරුවරයා රැස්වෙහෙර පිලිමය නෙලමින් සිටි පර්වතයෙන්ම පැන සියදිවි නසා ගත් බවත් ජනප්‍රවාදයේ ඇත. බ්‍රිතාන්‍ය ජාතික බ්‍රෝහියර් නැමති මිනින්දෝරුවා අවුකන ප්‍රතිමාව හදුන්වන්නේ “ලොව මිනිස් අතකින් නිර්මාණය කළ විශිෂ්ඨ කලා නිර්මාණය” ලෙසයි.

අවුකන ප්‍රතිමාවට සිවුරු පූජා කල යුතුද ? 

අවුකන බුද්ධ ප්‍රතිමාවට සුවිශේෂීවු සිවුරක් බරණ විසින් පූජාකර ඇති බව දෑස් විවර කර බලන ඕනෑම අයෙකුට දැකගත හැකියි. තවද  ඉතා සියුම්ව පොරවා ඇති චීවරය තුළින් ශරීරාංග මනා ලෙස ඉස්මතු කොට දක්වා ඇත. සිවුර ඒකාංශ කොට පොරවා ඇත. වම් අතින් සිවුරේ රැල්ල අල්ලා සිටී. මේ ආකාරයට අවුකන බුදු රුවට ගලින් කරන ලද සිවුර පූජා කරන්න බරණ විසින් කොයිතරම් නම් වෙහෙසක් දරන්න ඇත්ද. විශ්මිතවූ නිර්මාණයක් කල ඔහු අද සිටියා නම් මේ සිවුරු ඇන්දීම දැක ඔහු වස පානය කරනවා නොවනුමානයි. 

සංචාරක කර්මාන්තයේ අවසානයේ ආරම්භයද ?

විවිධ රටවල මිනිසුන් රටකට ඇදී එන්නේ ලෝකයේ ඇති විශ්මිත නිර්මාණයන් දැක බලා ගැනීමටය. ඒ අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ අනුරාධපුරයේ අවුකන, සමාධි ප්‍රතිමා සහ දැවැන්ත ස්තූප පොළොන්නරු ගල් විහාරය, ලංකාතිලක පිළිම ගෙය, වටදාගෙය, සීගිරිය වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණයන් දැක ගැනීමටය. අප මේ පිළිම වලට සිවුරු පූජා කිරීමට ගියහොත් එක් පැත්තකින් සංචාරක කර්මාන්තය බිද වැටීමට තිබෙන ඉඩකඩ වැඩිය. ඒ සිව්රු වලින් බුදු පිළිමය වැසීයන හෙයින් සංචාරකයා එය දැකබලා ගැනීමට නොහැකි වේයැයි දෙවරක් සිතන නිසාය. තවත් පැත්තකින් මෙසේ සිවුරු පූජා කිරීම දිගින් දිගටම සිදු වුවහොත් ඒ ලෝක උරුමයට කිසියම් හෝ හානියක් සිදු උවහොත් එහි වගකීම බාරගන්නේ කව්රුන් විසින්ද යන්නයි. 

විශිෂ්ට ප්‍රතිභාපුර්ණ නිර්මාණශිලිත්වය පිළිඹිඹු කරන අවුකන ප්‍රතිමාව සෞන්දර්යාත්මක නිර්මාණයක් ලෙසට ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදෙස් රට වල පවා අවදානය යොමුවී ඇති හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශයට සහ පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවට ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයක්වූ මෙය ආරක්ෂා කිරීමට මීට වඩා වගකීමක් තිබිය යුතු බවයි මාගේ පෞද්ගලික මතය. 

මහගම සේකරයන් දුටු අවුකන 

ඉහල නිල්වන් අහස ‍විනිවිද…නැගෙන ඔබගේ යෝධ බුදු බණ

මගේ නෙත සිත මෝහනය කර…මගේ කුදුබ‍ව පසක් කර ඇත

අපි පුද පූජා පවත්වමු, කඨිණ පිංකම් පවත්වමු නමුත් අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමු. 

තුෂාර පෙරේරා

බුදුරජාණන්වහන්සේ වන්දනා කරමු

බුදුරජාණන්වහන්සේ වන්දනා කරමු..!

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති.

ඉති‘පි සෝ පාඨයෙහි එන පාලි පද වල සවිස්තරාත්මක සිංහල තේරුම මෙසේය.

ඉති‘පි – (ඉති+අපි) මෙසේ ද

සෝ – ඒ

භගවා – භාග්‍යවතුන් වහන්සේ

අරහං – රහසින්වත් පව් නොකරන හෙයින් අරහං නම් වන සේක.

සම්මා සම්බුද්ධෝ – දතයුතු සියල්ල මනාකොට දැනගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

විජ්ජාචරණ සම්පන්නෝ – විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සුගතෝ – යහපත් ගමන් විලාස හා යහපත් වචන ඇති නිසා සුගත නම් වන සේක.

ලෝකවිදූ – සියලු ලෝක පිළිබඳව දැන වදාළ නිසා ලෝකවිදූ නම් වන සේක.

අනුත්තරෝ පුරිසදම්ම සාරථී – දමනය කළයුතු පුද්ගලයන් දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨ හෙයින් අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

සත්ථා දේවමනුස්සානං – දෙවි මිනිසුන්ට ශාස්තෘ හෙයින් සත්ථා දේවමනුස්සාසං නම් වන සේක.

බුද්ධෝ – චතුරාර්ය්‍ය සත්‍ය ධර්මය දැන අනුන්ට අවබෝධ කරවන හෙයින් බුද්ධ නම් වන සේක.

භගවා – අපමණ පුණ්‍ය බලයකින් යුක්ත නිසා භගවා නම් වන සේක.

ඉති‘පි සෝ පාඨයෙහි සිංහල තේරුම මෙසේය.

ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද අරහං නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. සුගත නම් වන සේක. ලෝකවිදූ නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. සත්ථා දේවමනුස්සානං නම් වන සේක. බුද්ධ නම් වන සේක. භගවා නම් වන සේක.

ඉතිපිසෝ පාඨයේ අනන්ත ගුණය

ඉතිපිසෝ පාඨයේ අනන්ත ගුණය

කුඩුම්බිගල කියන ආරණ්‍ය භික්ෂූන් වහන්සේලාට ලැබෙන්න ඉස්සෙල්ල එහි හිටියා බෞද්ධ නොවන අන්‍යාගමික පින්වතෙක්.එහි කැලෑවට ගිහිල්ලා බොහෝ විවේකීව ජීවත්වෙමින් සිටියා.නමුත් මෙතුමා බුද්ධ ධර්මය ගැන යම් පමණක් දන්නවා.

ඔය අතර එක දවසක් තමන්ට දෙවි කෙනෙක් කියනවා වගේ සිහිනෙන් යම් පණිවිඩයක් ලැබුණා.ඒ කියන්නේ පිංවත මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න කියල ඉතිපිසෝ ගාථාව කියල දුන්නා.එතුමා ඉතිපිසෝ ගාථාව දන්නව.ඉතිං එතුමා අවදිවෙලා කල්පනා කලා මේක බෞද්ධයන්ගේ වචනයක්නේ බුදුරජාණන්වහන්සේගේ ගුණපාඨයක්නේ මේක මට මොකටද කියල හිතාගෙන හිටියා.

නමුත් ඒදා එතුමා ඇවිදගෙන යද්දී යම්කිසි දොල පාරකින් බැහැල ගොඩවෙන්න හදනකොට දැවැන්ත වලහෙක් හරියටම මූණට මූණ ආවා.එතකොට මෙතුමාට අර සිහිනේ සිහිවෙලා එක පාරට ඉතිපිසෝ ගාථාව කිව්වා.මේ වලසා විදුලි වේගයෙන් ආපස්සට පැනල දිව්වා.ඒදා තමා මෙතුමා තේරුම් ගත්තේ මේ මන්ත්‍රයේ තියෙන මහානුභාවසම්පන්න කම.ඊට පසුව මෙතුමා හැම වෙලාවේම ඉතිපිසෝ ගාථාව භාවිත කරන්න පටන් ගත්තා. ඒ අතර ඊට සුදුසු ආරණ්‍යයක් සොයමින් සිටිය භික්ෂූන් වහන්සේලාට ඒ ස්ථානය බාර දුන්නා.එතුමා සැබෑ බෞද්ධයෙක් වෙලා ජීවිතාන්තය දක්වා සිල් ගුණ පිරුවා.මොන තරම් පුදුම සිද්ධියක්ද මේ දැවැන්ත වලහෙක් හරියටම මූණට මූණ මේ අත දිගට පමණ සමීප වෙලා ඇගට පනින්න ඉන්න වෙලාවෙදී ඉතිපිසෝ ගාථාව සිහිකල පමණින්ම ආරක්ෂාව සැලසුණා.

මේක නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් සැමවිටම තබන තබන පියවරක් ගානේ ඉතිපිසෝ ගාථාව සිහිකල යුතු වෙනවා.

නිදාගන්න ගියත් ඉතිපිසෝ ගාථාව සිහි කරලා නිදාගන්නට ඕන.අවදි වෙනකොට ඉතිපිසෝ ගාථාව කියමින් අවදි වෙන්නට ඕන.ආහාර ගැනිමේදී ඉතිපිසෝ ගාථාව සිහි කරල ආහාර ගන්නට ඕන. අද කාලේ ගන්න ආහාර බොහෝ සෙයින් මේ රසායනික දේවල් මිශ්‍ර නිසා ශරීරයට විෂ නොවුණ පිණිස ඉතිපිසෝ ගාථාව සිහිකරල තමන්ම සත්‍ය ක්‍රියා කරගෙන ආහාර ගන්නට ඕන.වතුර නෑමේදී ඉතිපිසෝ ගාථාව සිහි කරල වතුර නාන්නට ඕන.එ වගේම යම්කිසි දෙයක් පටන් ගන්න ඉස්සෙල්ල ඉතිපිසෝ ගාථාව කියල පටන් ගන්න ඕන.

හැම වෙලාවෙම ඒක සිහි කරනව නම් ඒ ඒ කාර්යයන් බොහොම සාර්ථකව සැනසිල්ලේ සම්පූර්ණ කරගන්නට ශක්තියක් ලැබෙනවා.මේක නිසා අද කාලේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආරක්ෂාව සඳහාත් ජනතාවට ආරක්ෂාව සඳහාත් ඉතිපිසෝ ගාථාව අපි නිතර භාවිත කරමින් මේ ආරක්ෂාව දස දිසාවට විහිදුවන්නට ඕන.

මේ ශක්තිය අසීමිතයි.මෙහෙ ඉදගෙන ඇමරිකාවේ ඉන්න කෙනෙකුට වුණත් ඉතිපිසෝ ගාථාව සිහිකරල එක එක ගුණයකින් සෙත් පැතීමෙන් පුදුම ආශ්චර්ය ආනිසංස දැකගත හැකිවෙනවා.

මේ විදියට අත්දැකීම් රාශියක් අපි දැකල අහල තියෙනවා.ඉතිපිසෝ ගාථාව එක එක ගුණයක් සිහිපත් කරමින් ඕනෑම දුදාන්තයෙක් සුදාන්තයෙක් කරගැනීමට පුළුවනි.

අරහං ගුණ අනන්තයි අනන්ත අරහං ගුණ බලයෙන් මම වෛර නොවෙමි,තරහ නොවෙමි,නිදුක් නීරෝගි සුවපත් වෙමි.මා මෙන්ම අන් අයද අරහං ගුණ බලෙන් වෛර නොවේවා තරහ නොවේවා නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා ආදී වශයෙන් මෙත් සිත පැවැත්වීමෙන් එක එක ගුණයක් ගානේ ඕනැම රෝගියෙකුට සෙත් පතල ඔහු සුවපත් කරන්න තරම් බලයක් ඒකෙන් ලැබෙනවා.

සාදු සාදු සාදු 🙏

අති පූජනීය නා උයනේ අරියධම්ම නායක හිම්පාණන්ගේ දේශනාවකි.

දුෂ්කරක්‍රියා කළ දුර්ගේෂ්වරිය 

බුද්ධගයා පුණ්‍යභූමිය සියැසින්ම දැක මුළු හදවතින්ම වැඳ පුදාගත් ඔබ බුද්ධගයාවේ සිට නේරංජනා ගඟ හරහා දිවෙන පාලම පසු කොට කිලෝමීටර් පහළොවක පමණ දුරක් ගිය විට ඉතා රමණීය වූ දුර්ගේෂ්වරි නමින් හඳුන්වන කඳු වළල්ලක් ඔබට දැකගත හැකිය. 

විමුක්තිය උදෙසා සියලු සැප සම්පත් අත්හළ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ රජගහ නුවරත්, ගයාව ආශ්‍රිත කඳු වළල්ලත් ඇසුරු කරමින් සය අවුරුද්දක පමණ කාලයක් දුෂ්කර ක්‍රියාවේ යෙදුණ බව ඔබට මතක ඇති. දුර්ගේෂ්වරි කඳු වළල්ලෙහි සොයා තහවුරු කොට ඇති ගල් ලෙන තුළද, උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටිමින් දුෂ්කර ක්‍රියාවේ යෙදී ඇත. දුර්ගේෂ්වරි කඳු පාමුල සිට ඒ පින් බිම වෙත පා ගමනින් යා යුතුය. එය තරමක් වෙහෙස කර කටයුත්තක් ලෙස පෙනුණද, බුදුගුණ සිහි කරමින් ඒ අසිරිමත් පුණ්‍ය භූමිය සියැසින් දැකගැනීම පිණිස ඔබ යා යුතුමය. 

දුෂ්කර ක්‍රියා කළ ගල් ලෙන ඉදිරියෙහි පිහිටා ඇති වසර තුන් දහසකට වඩා පැරණි යැයි තහවුරු කොට ඇති සියඹලා ගසක් ඔබට එහිදී දැකගත හැකිය. එහි පැරණි කඳ 

තවමත් දිරායමින් තිබෙන අයුරු ඒ අසලට ගිය විට දැකගත හැකිය. දුෂ්කර ක්‍රියා කරන අවධියෙහි ගස්වල කොළ, පොතු පමණක් ආහරයට ගත් බව ඔබ අසා ඇත. පාත්‍රයට වැටෙන කොළයක් පමණක් ආහාරයට ගනිමින් දුෂ්කර ක්‍රියා කළ බව අසා ඇත. මේ පැරණි සියඹලා වෘක්ෂයෙහි කොළ, පොතු ආහාරයට ගනිමින් දුෂ්කර ක්‍රියා කරන්නට ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. 

දුර්ගේෂ්වරි පුණ්‍ය භූමිය සියැසින්ම දැක වැඳ පුදාගැනීමෙන් පසුව යළිත් ටික දුරක් බුද්ධගයාව දෙසට එන විට ‘සුජාතා’ නම් ගම්මානය හමු වෙයි. එහිදී සුජාතා සිටු දේවිය ජීවත් වූ සිටු මැඳුරෙහි නටබුන්, සුජාතාව කිරිපිඬු පූජා කළ පුණ්‍ය භූමිය, පූජනීය නේරංජනා නදිය, සොත්තිය නම් බමුණා කුස තණ මිටි අටක් පූජා කළ පුණ්‍ය භූමිය ආදී වැදගත් ස්ථාන රැසක්ම ඔබට දැක බලා වන්දනා කළ හැකිය. 

ගලිගමුවේ ඤාණදීප හිමි – දඹදිව බුද්ධ භුමි ග්‍රන්තය 

තෙරුවන් සරණයි !සදහම් අමා වැස්ස

ආනන්තරීය පාප කර්ම හැර සියලූ‍ පව් යටපත් කරන බුද්ධ වන්දනාව

“අසූ මහා  ශ්‍රාවකයන් වහන්සේලා‍ගේ චරිත දෙස බැලීමේ දී උන් වහන්සේ බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව ගෞරවයෙන් කර ති‍බෙනවා. ඒ උතුමෝ ඉහත ආත්ම භාවයන්හි සුගතියකම විසුවා. ‍මේවා ගැන සිතන්න, කල්පනා කරන්න, පින වර්ණනා කරන්න, පවට නිග්‍රහ කරන්න. එවිට යහපත් වෙයි.”

බුද්ධ වන්දනාව බුදුරජාණන් වහන්සේ ම අනුදැන වදාළ පින්කමක්. බුදුරජාණන් වහන්‍‍සේ දවසක් ‍භික්ෂූන් වහන්‍සේ සමඟ වෙල් යායක් හරහා වැඩම කරමින් සිටියා. එක්තරා බ්‍රහ්මණයෙක් තමන් කුඹුරේ වැඩ අරඹන්න පෙර එක්තරා ස්ථානයකට වැඳ නමස්කාර කර කුඹුරු වැඩට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ, මෙහි ඔබ වැඳ නමස්කාර කරන්නේ කුමටද යනුවෙන් විමසුවා .

එවිට බමුණා පැවසුවේ ස්වාමීනි, අපේ පිය පෙළපතේ සැ‍වොම ‍‍මෙම ස්ථානයට වැඳ නමස්කාර කර කුඹුරු වැඩ ඇරැඹූ බැවින්, මා ද මෙලෙස කුඹුරු වැඩ අරඹන බව පැවසුවා. ‍බොහොම ‍‍හොඳයි බමුණ. ඔබ ඉතාම සුදුසු තැනකට යි වන්දනා ක‍ළේ යනුවෙන් බුදුන් වහන්සේ වදාළා.

මහණෙනි, කාශ්‍යප බුදුරජාණන් වහන්‍‍සේ පරිනිර්වාණයට පත් වුණාම ඒ ධාතූන් වහන්සේ තැන්පත් කළ සෑ රඳුන් වහන්සේ තිබුණේ මෙතැනයි යනුවෙන් ගෞතම බුදුන් වහන්සේ පහදා දී, බුද්ධ ආනුභාවයෙන් සෑය මතු කර පෙන්නුවා. බමුණා ඇතුළු පිරිසට බුද්ධ වන්දනා‍වේ අනුහස් පැහැදිලි කළ විට සෝවාන් මාර්ග ඥාචයෙන් විශාල පිරිසක් නිවනට පත් වුණා. ඒ නිසා බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව සාමාන්යය දෙයක් වශ‍යෙන් සලකන්න එපා. ඇතැමෙකු මෙවැනි විශාල පූජාවන් කුමටද කියා සිතනවා. එලෙස නිකම්වත් සිතන්න එපා. බුදුරජාණන් වහන්සේ තරම් පූජා සත්කාර කළ ‍උත්තමයෙක් ලොවේ‍ කොහේවත් නැහැ. බුද්ධ පූජාවට ‍කෙතරම් ‍දෙයක් පූජා කළත් ඒ ගැන සිතා සතුටු වන්න. එය විශාල පිනක්. රුවන්මැලි මහා සෑයට කෙතරම් පළඳනාවන් පළඳවනවාද? කෙතරම් පූජාවන් කරනවාද? ඒ ගැන සිතා සතුටු වන්න. ඒ නිසා බුද්ධ වන්දනාව ‍‍‍ගෞරවයෙන් කරන්න. හැකිතාක් පූජා සත්කාරයන් සිදු කරන්න. මේවා අනුන්ට නෙමෙයි තමන්ට යි. සංසාර ගමන දුකෙන් සිටින්නේ නැතිව සැපවත් ජීවිත පෙළක් ලබාගෙන සංසාර දුකෙන් නිදහස් වෙන්නට, අපායෙන් නිදහස් වෙන්නට පුළුවන්.

අනන්ත බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ තුනුරුවන්ට ගෞරවය පුද කළා. බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා වශයෙන් ධම්ම රත්නයට ගෞරවය පුද කළා. සිතේ රදැඬඳීබං නැගෙන තරමට ම පූජාව මහත්ඵල මහානිසංස වෙයි. මල්, පහන්, ගිලන් පස, දාන මාන පූජා කර ලක්ෂ ගණන් මනු ලොව, ‍දෙව් ලොව, බඹ ලොව සිටි චරිත තිබෙනවා. බුදු කෙනෙකුට දෑත් එකතු කර වන්දනා කළත් එය විශාල පිනක්. අනඳ හාමුදුරුවෝ දවසක් දෑත එකතු කර වැඳගෙනම කථා කළා.

ඒ ආනිසංසය මෙලෙස පහදා දුන්නා. ආනන්දය, ඔබට වන්දනාමය පිනෙන් සක්විති රජකම් සතක් ද ශක්‍ර භවනේ හත් වරක් ද, රදැදේශ රජකම් ද සීමාවක් නැහැ. නමුත් ආනන්දය ඔබ එතරම් සම්පත් ‍අ‍ත් නොවිඳ ‍මේ ජීවිත‍යේ ම රහත් ව නිවනට පත් වන බව වදාළා. බලන්න දෑත එකතු කර වන්දනා කිරීමේ කුසල බලය කෙතරම් ද කියා. ඒ නිසා දෑත් එකතු කර තමන්ගේ නිව‍සේ තුනුරුවන් වන්දනාව ශ්‍රද්ධාවෙන් කර ගන්න. එය නිවසටත්, තමන්ටත්‍, දකින්නන්ටත්, පළාතටත් හොඳයි. මෙ‍ලොව පරලොව දෙලොවටත්, සංසා‍රෙටම හොඳයි. නිවන් සුව අව‍බෝධ කරගන්න පුළුවන්. ‍

මේවා තුනුරුවන් වන්දනාවෙන් ලැබෙන පිනක් බව වටහා ගෙන කටයුතු කරන්න. රදැඥා පාරමිතාව හොඳින් පිරෙයි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ, සිහි වෙනකොට අනුස්සති භාවනාවක් වශයෙන් වැඩෙනවා. බුද්ධ වන්දනාවෙන් අකුසල කර්ම පවා යටකරන්න පුළුවන්. පංචානන්තරීය පව් හැර අන් සියලූ‍ පව් යට කරන්න පුළුවන්. ‍‍මේ ගැන සිතා කල්පනා කර කවුරු වුණත්, බුද්ධ පූජාවට, වන්දනාවට ගෞරවය පුද කළ යුතු යි. එවිට කාටවත් වරදින්නේ නැහැ.

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා‍ගේ චරිත දෙස බැලීමේ දී උන් වහන්සේ බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව ගෞරවයෙන් කර ති‍බෙනවා. ඒ උතුමෝ ඉහත ආත්ම භාවයන්හි සුගතියකම විසුවා. ‍මේවා ගැන සිතන්න, කල්පනා කරන්න, පින වර්ණනා කරන්න, පවට නිග්‍රහ කරන්න. එවිට යහපත් වෙයි. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලාට රදැකාශ කර තිබෙන්නේ පින කෙතරම් සැප විපාක දුන්නාද යනුවෙන්. අවසාචයේ ත්‍රිවිද්‍යා  අෂ්ට විද්‍යාවන්ගෙන්  සමන්විතව පටිසම්භිදා ප්‍රාප්තව රහත්වී තිබෙනවා. එතරම්ම බුද්ධ පූජා වන්දනාව වටිනවා.

මහා ප්‍රජාපතී ගෝතමිය ද , පියුමතුරා බුදුරජාණන් වහන්සේ වගේ ශාසන කාල‍යේ නිතර පන්සලට යන සැදැහැවතියක්. බුද්ධ වන්දනාව, බණ ඇසීම, භාවනාව, දන් දීම, කරනවා. ‍මෙලෙස තුනුරුවන්ට වන්දනා කිරීමේ පින ඇයට කල්ප ලක්ෂයක් සැප විපාක දුන්නා. නරකාදී සතර අපා දු‍කෙන්, දුගී දුප්පත් භාව‍යෙන් අත් මිඳුණා. දෙව්ලොව, බඹ ලොව, රජගෙදර උපත ලැබුවා. රාජ ම‍හේෂිකාවක් වුණා. ‍‍මෙ‍ලෙස සියලූ‍ සත්කාර ලැබීමට වන්දනා කිරීමේ පින, හේතු වූ බව ඒ උත්තමාවිය වදාළා. සතර අපායක් පැත්තකටවත් ‍නොගොස් එතරම් මනරම් ජීවිත පෙළක් ලබන්නට, මහත් ආනුභාව බලයක් ලැබුණේ තුනුරුවන්ගේ ආනිසංස නිස යි. ‍ ‍‍මේ ගැන සිතා කවුරුත් චිත්ත ප්‍රසාදයෙන් නුවණ පහළ කර‍ගෙන නිවන් සුව පතා බුද්ධ පූජා වන්දනාව කර ගන්න.

ඡුත්ත මානවක උපාසක තුමාට විශාල විපතක් වන බව බුදුරජාණන් වහන්සේ දැක මඟ වැඩම කර ගාථා තුනක් වදාළා. .යො වදතං පවරො මනු ජෙසු. යනු‍වෙන් මේ ළමයා වීණාවත් වාදනය කරමින් ‍‍ම ගාථා තුන ගායනා කළා.

මේ දරුවා ගුරු පඬුරු රැගෙන යන බව ‍සොර සතුරන් දැන ඔහුව දුන්නෙන් විද මරා මුදල් පැහැර ගත්තා. ‍මේ දරුවා මිය ගොස් සුගතියේ උපත ලැබුවා. තුනුරුවන් සරණ ගිය, තුනුරුවන්ගේ ගුණ ගායනා කළ දරු‍වෙක්, මහා දිව්‍ය රාජයෙක්ව උපත ලැබුවා. බුදුරජාණන් වහන්සේ ද ඒ මළ කඳ ළඟට වැඩම කර ග‍මේ ජනතාව, ඥාතීන්, දිසාපා‍මොක් ආචාර්යවරයාගේ සිසුන් සියල්ල ද ‍‍මෙතැනට එක් රැස් වුණා. මෘත සිරුර අයත් දෙව් ලොව උපන් දිව්‍ය පුත්‍රයා බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ගායනා කිරීමේ පිනෙන් දිව්‍ය රාජයෙක් වුණා යැව් තුනුරුවන් වන්දනා පූජාවේ විපාක වාරය පහදා දුන්නා. මේවා හොඳින් කවුරුත් කල්පනාවෙන්‍ ලොවුතුරු බුදු දහම කෙරෙහි පැහැදීමෙන් ‍ගෞරව සම්ප්‍රයුක්තව ම වැඩි වැඩි‍යෙන් පින් දහම් කළොත් වරදින්නේ නැතිව සුගතියක වාසය කළ හැකියි.

විශේෂයෙන් අපායෙන් නිදහස් විය හැකි යි. එතරම් වාසනාවක් ලොවේ තවත් නැහැ. එ‍සේනම් පිනට දහමට අනුව කටයුතු කර තම චිත්ත සන්තානයේ පවතින සති, ධම්මවිඡුය, විරිය,පීති, පස්සද්ධි, සමාධි, උ‍පේක්ෂා යන ‍බොජ්ඣංග ධම්ම හත හැකිතාක් දියුණුවෙන් තම බෝධි පාක්ෂික ධර්මද දියුණු‍වෙන් සිත ගත නිවා සනසාගෙන මේ ගමන ඉදිරියට යන්න. අඩුපාඩු ‍දෙස ‍නොබලා ඒවා ඉවසා දරාගෙන ගුණ දියුණුවෙන් ආපස්සට ‍‍නොගොස් ඉදිරියටම යන්න.

ඒ නිසා ලොවුතුරා බුදු දහමේ සඳහන් කරන ජය සංකේතය වන නිවන් සුව දක්වා යාමට උතුම් ගමන් මග බුදුන් වහන්සේ අපට පහදා දුන්නා. ඒවා ‍ හොඳින් කල්පනා‍වෙන් පිනට දහමට ගුණයට නැඹුරුව ශීලාදී ගුණ දියුණු‍වෙන් සම්මා සම්බුද්ධ ශාසනය ද රැකගෙන ඉදිරියට ගි‍යොත් තම ජීවිතයේ මෙ‍ලොව මෙන්ම පරලොව ද බැබළී නිර්වාණ ධර්මය අවබෝධ කරගත හැකි යි.

අති පූජනීය කහගොල්ලේ සෝමවංශ හිමි.

ආර්‍ය්‍යෝපවාදය

බුදුවරයකුට හෝ පසේ බුදුවරයකුට හෝ ආර්‍ය්‍ය වූ බුද්ධ ශ්‍රාවකයකුට හෝ යටත් පිරිසෙයින් ගෘහස්ථ සෝවාන් පුද්ගලයකුට වුව ද ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීම ආර්‍ය්‍යෝපවාද කර්මයයි. 

‘නත්‍ථි එතෙසං සමණ ධම්මො අස්සමණා එතෙ” යි මොවුන්ට මහණකම නැති මොහු අශ්‍ර‍මණයෝයි, සීලයෙන් උපවාද බෙණෙනුයේ අන්තිම වස්තුවෙන් උපවාද බෙණේ.

‘නත්‍ථි එතෙසං ඣානංවා විමොක්ඛොවා මග්ගොවා ඵලංවා” යි මොවුන්ට ධ්‍යානයෙක් හෝ විමෝක්‍ෂයෙක් හෝ මාර්‍ගයෙක් හෝ, ඵලයෙක් හෝ නැතැයි’ උපවාද කරන්නේ ගුණ නැසීමෙන් උපවාද කරන්නේ වෙයි.

ඔහු දැන හෝ, නො දැන හෝ උපවාද කළ කල ආර්යොපවාද කර්‍මය වේ. මෙය ආනන්තර්‍ය්‍ය සමාන වූ ස්වර්‍ගාවරණ වූ ද, මාර්‍ගාවරණ වූ ද, කර්‍මයෙකි. එහෙත් හේ සතෙකිච්ඡ (පිළියම් සහිත) ය. එයට මේ කථාවෙකි.

එක් ගමෙක එක් තෙර නමක් හා නවක නමක් පිඬු සිඟයි. ඔහු පළමු ගෙහි මැ උණු කැඳිත්තක් ලැබූහ. තෙරුන් ගේ බඩ රිදෙයි. මේ උණු කැඳිත්ත උණුවෙන් මැ බීවොත් ‘සප්පාය වේය’යි සිතා උළු අස්සක් පිණිස මිනිසුන් ගෙනවුත් දමා තුබූ කොටයක් මත හිඳ තෙරුන් වහන්සේ එය වැළඳූහ. ‘මේ ඉතා බඩසයින් පෙළුණු මහල්ලා අපට ලජ්ජා විය යුත්තක් කෙළේ ය’යි නවක භික්‍ෂුව කී. තෙරුන් වහන්සේ ගම පිඬු සැරැ විහාරයට ගොස් ඇවැත්නි! තට මේ සසුනෙහි පිහිටක් ඇද්දැ යි විචාළහ. එසේය සෝවාන්මි’යි කී. ‘එසේ නම් මතු මාර්‍ගයන් පිණිස උත්සාහ නො කරව. තා රහත් නමකට උපවාද කළහ’යි වදාළහ. හෙතෙමේ උන්වහන්සේ ක්‍ෂමා කරවී. එහෙයින් ඒ කර්‍මය බැහැර විය.

මෙසේ අන්‍යයෙක් හෝ ආර්යෝපවාද කළේ නම් ඔහු ගොස් තමා වැඩි මහලු නම් උක්කුටුකයෙන් හිඳ ‘මම ආයුෂ්මතුන්ට මේ මේ දෙය කීවෙමි’ ඒ මට ක්‍ෂමා කෙරේවා’යි ද, තමා නවක නම් වැඳ උක්කුටුකයෙන් හිඳ ඇඳිළි බැඳ ‘ස්වාමීනි! මම ඔබට මේ මේ දෙය කීවෙමි. ඒ මට ක්‍ෂමා කරනු මැනැවැ’යි ක්‍ෂමා කරවිය යුතු. අන් දිසාවක ගියේ නම් තමා ගොස් හෝ, සද්ධි විහාරිකයකු යවා හෝ ක්‍ෂමා කරවිය යුතු. යන්නට හෝ යැවීමට නො හැකි නම් ඒ විහාරයෙහි වැඩ සිටින නවක හෝ වැඩිමහලු වූ හෝ භික්‍ෂුව වෙත එළඹ පෙර කී සේ මම අසුවල් ආයුෂ්මතුන්ට හෝ ස්ථවිරයන් වහන්සේට මෙනම් දෑ කීවෙමි. ඒ ආයුෂ්මත් හෝ, ස්ථවිරයන් වහන්සේ මට ක්‍ෂමා කෙරෙත්වා’යි ක්‍ෂමා කරවිය යුතු. සම්මුඛයෙහි ක්‍ෂමා කළ නො හැකි නම් මෙසේ කළ යුතු. ඒ භික්‍ෂුව ආගිය අතක් නො දත හැක්කේ නම් (වසන තැනක් හෝ ආ ගිය තැනක් හෝ නො දනී නම්) එක් උගත් භික්‍ෂුවක් වෙත ගොස් ‘ස්වාමීනි! මම අසුවල් ආයුෂ්මතුන්ට මෙනම් මෙනම් දැයක් කීවෙමි. එය සිහිවත් මැ විපිළිසර උපද. එයට කුම් කෙරෙම්දැ යි විචාළ කල ඔබ නො බව මැනව. තෙරුන් ඔබට ක්‍ෂමා කරනු ඇත. සිත සනසව, කියා නම් ඔහු විසිනුදු ගිය දිසාවට වැඳ ‘ක්‍ෂමා කෙරෙත්වා’යි කිය යුතු.

හේ පිරිනිවියේ නම් පිරිනිවි ඇඳ තුබූ තැනට හෝ සොහොන වෙත ගොස් හෝ ක්‍ෂමා කරවිය යුතු. මෙසේ කළ කල ස්වර්‍ගාවරණ හෝ මාර්‍ගාවරණ නො වේ. කර්‍මය සංසිඳේ.

(විසුද්ධි මාර්ගය)