
Category: Buddhism
ලෝකයේ මුල
යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන් ද ඇති වීමෙන් සංසාරය නො සිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක. “අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති” යනුවෙන් “මහණෙනි, සංසාරය නො දන්නා ලද අග ඇතියක, එහි පෙර කොන නො පෙනේ ය”යි තථාගතයන් වහන්සේ වදාළහ. සංසාරයේ පටන් ගැනීම, මුල් කොන නො පෙනේය”යි තථාගතයන් වහන්සේ වදාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නො පෙනෙන නිසා නොව එහි පටන් ගැනීමක් නැති නිසා ය.
යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නො වේ. ආකාශය ඇති බව සියල්ලෝ ම පිළිගනිති. එහෙත් එහි පටන් ගැනීමක් නැත. පටන් ගැනීමක් ඇති වන්නට නම් ආකාශය නො තුබූ කාලයක් තිබිය යුතුය. එබඳු කාලයක් නො විය හැකි ය. ආකාශය දීර්ඝ කාලයක් හිස් ව තිබී පසු ව එය තුළ ලෝක ධාතු හා සත්ත්වයන් ඇතිවීමට හේතුවක් නැත. මේ ආකාශයේ මුලින් කිසිවක් නො තුබුණා නම් සැම කල්හි ම එය ඒ සැටියෙන් ම තිබිය යුතු ය. ආකාශය තුළ ලෝක ධාතූන් ඇත්තේ සත්ත්වයන් ඇත්තේ ඒවා ද ආකාශය සේම ආකාශය තුළ තුබූ නිසා ය. යම් සේ අහසේ පටන් ගැනීමක් නො ලැබිය හැකි ද එමෙන් ආකාශය තුළ පවත්නා සත්ත්ව සංස්කාරයන් පිළිබඳ පටන් ගැනීමක් නැති බව කිය යුතු ය. පටන් ගැනීමක් නැති ලෝකය ඉතා පරණ වුව ද එහි සෑම කල්හි ම අලුත් බවක් ද ඇත්තේ ය. උපන් සත්ත්වයෝ මැරී නැවත ඉපද අලුත් වෙති. ලෝකයෙහි ඇති අනික් සියල්ල ද නැසී නැසී නැවත නැවත අලුත් දේ පහළ වේ. මහපොළෝ ආදි ලෝකධාතූහු ද කලකට විනාශ වී ගොස් නැවත අලුතෙන් පහළ වෙති. අලුතෙන් ඇතිවන සියල්ල ම පුරාණ වස්තූන්ගේ විකෘති ලෙස කිව ද වරද නැත, පරණ දේ නිසා පුරාණ ධාතූන් නිසා ඇතිවන අලුත් දේය කිව ද වරද නැත.
ලෝකයේ පෞරාණිකත්වය අනමතග්ගසංයුත්තයේ එන සූත්‍ර දේශනා අනුව කිව යුතුය. කල්පය වනාහි වර්ෂගණනාවෙන් ප්‍රමාණ කළ නොහෙන අතිදීර්ඝ කාලයෙකි.
දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරදුන් වෙත පැමිණ “පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැ”යි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය, ඒවා මෙපමණ සියගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගනණෙක ලක්ෂගණනෙක කියා හෝ ප්‍රමාණ කිරීමට නුපුළුවනැ”යි වදාළ සේක. “උපමාවකින් එය දැක්විය හැකිදැ”යි බ්‍රාහ්මණයා ඇසූ කල්හි “බ්‍රාහ්මණය, මේ ගංගානදිය පටන්ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලිකැට ගණන ප්‍රමාණ කළ නො හෙන්නාක් මෙන් අතීත කල්ප ගණන ප්‍රමාණ නො කළ හැකි බව වදාරා, සංසාරය නො දන්නා ලද අග ඇතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වදාළ සේක.
(අනමතග්ග සංයුක්ත)
දිනක් එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, කල්පය කොතෙක් දික් වන්නේ දැ”යි ඇසීය. “මහණ කල්පය ඉතා දිගය, එය මෙපමණ වර්ෂ ගණනක්ය, මෙපමණ වර්ෂ සිය ගණනක්ය, මෙපමණ වර්ෂ දහස් ගණනක්ය, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක්ය කියා ගණනින් ප්‍රමාණ නොකළ හැකිය” යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, උපමාවක් දැක්විය හැකිදැ”යි භික්ෂුව කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “මහණ, දිගු පුළුලින් යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒකඝන මහ කළුගලක් සිය වසකට වරක් කසී සළුවකින් පිස දැමුව හොත් ඒ කළුගල කලකදී ගෙවී යන්නේ ය. එහෙත් එපමණ කලකින් කල්පය ගෙවී නොයන්නේ ය”යි වදාළහ.
(අනමතග්ග සංයුක්ත)
➤➤ ලෝකයේ ඇතිවූයේ කෙසේද?
———————————
ලෝකයේ ඇතිවූයේ කෙසේද? යනු ගැඹුරු පැනයෙකි. ලෝකය ඇති වීම ගැන කල්පනා කළ ඇතැම්හු ඇඳ පුටු මේස රිය ගෙවල් ආදිය කෙනකු විසින් නො සෑදුව හොත් ඉබේ ඇති නො වන්නාක් මෙන් අනේකප්‍රකාර සත්ත්වයන්ගෙන් වෘක්ෂලතාදි වස්තූන්ගෙන් යුක්තවන මේ ලෝකය කෙනකු විසින් නො සාදන ලද නම් මෙසේ ක්‍රමානුකූලව ඇති විය නො හැකි ය. ලෝකය මෙසේ ක්‍රමානුකූලව ඇති වී පවත්වන්නේ යම් කිසිවකු විසින් මෙය ඇති කරන ලද නිසා ය යි සිතූහ. වඩුවකු ඇඳක් – පුටුවක් තනන්නාක් මෙන් ද්‍රව්‍ය එකතු කොට කපා කොටා ද මේ ලෝකය නො තැනිය හැකිය.
මෙය තැනිය හැකි වීමට සිතීම් මාත්‍රයෙන් ඒ ඒ දෙය නිර්මාණ වීමේ බලයක් ඇති පුද්ගලයෙකු විය යුතුය යි ද සිතූහ. එ බඳු මහාබලයක් ඇතියකු මේ ලෝකයේ මිනිසුන් අතර දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන් ලොවක වෙසෙන පුද්ගලයෙකු විය යුතුය යි සිතා ගත්හ. දෙවියන් වහන්සේ ය, බ්‍රහ්මයා ය, ඊශ්වරයා ය කියා නොයෙක් නම් ඔවුහු මැවුම්කරුට තබා ගත්හ. මැවුම්කාරයකු ඇති නම් ඔහුත් ලෝකයේ කොටසක් විය යුතු බව හෝ ඔහුත් රූපාදිය ම විය යුතු බව හෝ මැවීමට කෙනෙකු සිටිය යුතු නම් මැවුම් කරු මවන්නටත් කෙනෙක් වුවමනා බව හෝ ඔවුහු කල්පනා නො කළහ. ඔවුහු තමන් විසින් ම සිතින් මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිදීමටත් සැපයට පැමිණීමටත් සිතූහ.
සියල්ල පිළිබඳව ම සම්මෝහය දුරු කර ගත් තථාගතයන් වහන්සේ වනාහි ලෝකය කෙනකු විසින් මැවිය හැකියක් නො වන බව දත් සේක. ලෝකය පුද්ගලයෙකු විසින් මැවිය යුත්තක් නම්, සත්ත්ව ලෝකයට අයත් වන මැවුම්කරුට ඇති විය නො හැකි බවත් දැන වදාළ සේක.
බීජයෙන් ගසත් ගසින් බීජයත් ඇතිවීමෙන් ගස් පරම්පරාව නො සිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්වලෝක සංස්කාරලෝක අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක. මවන්නකු නැති ව සංසාරයේ නො සිඳී පැවැත්ම සිදු වන සැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේ ය.
එක් භවයක දී ඇති වන තණ්හාව නිසා මරණින් භවය සිඳී නොගොස් නැවත ද උපදී. උපන් පසු එහි ද නැවත තණ්හාව ඇති වේ. ඒ නිසා මරණින් පසු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නො සිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇතිවීම් වශයෙන් නැවත ද උපදී. උපන් පසු නැවත ද කර්මය කරයි. මෙසේ කර්මය නිසා විපාක ද විපාක නිසා කර්මය ද ඇතිවීමෙන් සංසාරය නො සිඳී පවතී. අවිද්‍යාදි හේතු ධර්මයන් නිසාද සංස්කාරාදි ඵල ඇතිවීම නිසා ද සංසාරය නො සිඳී පවතී.
— සූවිසි මහ ගුණය – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි—
මරණාසන්න පුද්ගලයෙකු ළඟ හැසිරිය යුතු ආකාරය
මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින් වැටහුණ හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය.
මරණාසන්නයේ දී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට හා හැකිවන ලෙස සමහර විට පිහිට විය හැකි ය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේ දී විපාක භවයට පැමිණීමෙහි නියත තත්ත්වයක් නැති කර්ම එළඹ සිටි විට ය. නියත කර්ම හැම දෙනාට ම නැත. බොහෝ සෙයින් මේ සත්ත්වයෝ අනියත කර්ම ඇත්තෝ ය. අනියත කර්මය වුව ද මරණයට ඉතා ලංව තිබිය දී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්මාදිය වැටහුණ අයට ය.
මිය යන කෙනකුට හිතවතකු විසින් කළ යුතු උසස් ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීම ය. එය කළ යුත්තේ මෙසේ ය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතු ය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කරවිය යුතු ය. එසේ කිරීමට රෝගියා නො සමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහී තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන. සිත කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේ ය.
මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මා පියන් මැරෙන්නට යන කල්හි කෑ කෝ ගසා කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මා පියන්නට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මා පියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මා පියෝ ද එසේ කරති. ඔවුහු ද දරුවන්ගේ සතුරෝ ය. මැරෙන අවස්ථාවේ දී සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනකුගේ පරම කල්‍යාණ මිත්‍රයා ය.
ගුණ ලැබෙන ලෙස පිරිත් කියයුතු අන්දම
පිරිතෙන් හොඳින් ම ගුණ ලැබෙන්නට නම් නොවරදවා හොඳින් පාඩම් කරගෙන පිරිත්වල අර්ථ (අදහස්) ද දැන ගෙන කිය යුතු ය. දැනට පිරිත් කියන අය අතර ඒවායේ තේරුම් දැන ගෙන කියන අය ගිහියන් අතර තබා පැවිද්දන් අතර ද ඉතා හිඟය. තේරුමක් නැති ව කියන පිරිතේ බලය අඩු ය. එහෙත් ගුණයක් නො ලැබෙන්නේ ද නොවේ. පිරිත නො වරදවා පාඩම් කරගෙන හරියට කියතහොත් එයින් ද තරමකට ගුණ ලැබේ. එසේ ගුණ ලැබෙන්නේ වචනවල හෙවත් ශබ්දවල යම්කිසි බලයක් ඇති නිසාය. වචනවල ඇති බලය එතරම් මහත් එකක් නොව සුළු බලයෙකි. වාර බොහෝ ගණනක් කීමෙන් ඒ බලය වැඩි වේ. පිරිත්, සෙත් කවි, මන්ත්‍ර වාර බොහෝ ගණනක් කිය යුත්තේ ඒ නිසා ය. කියන වාර වැඩි වූ තරමට ගුණය වැඩි වේ. පිරිත් හඬෙහි බිය ගන්වනබලය, බිය දුරු කරන බලය, වශීකරන බලය හෙවත් අන්‍යයන්ගේ සිත් සතුටු කරන සිත් ඇදගන්නා බලය, ශරීරයේ වා පිත් සෙම් යන තුන්දොස් සමනය කිරීමේ බලය, ශරීරයේ සප්ත ධාතූන් වර්ධනය කිරීමේ බලය, නොයෙක් වේදනා නොයෙක් රෝග දුරු කිරීමේ බලය, සැප සම්පත් ලබාදීමේ බලය, අමනුෂ්‍යයන්ගෙන් සොරුන්ගෙන් සතුරන්නේ සර්පයන්ගෙන් ආරක්ෂා කිරීමේ බලය, ග්‍රහ අපල ඇස්වහ කටවහ ආදි දෝෂ දුරු වීමේ බලය යනාදි නොයෙක් බල ඇත්තේ ය.
මන්ත්‍රවලට ගෙන ඇති වචනවලට හොඳ නරක දෙක ම සිදු කිරීමේ බල ඇත්තේ ය. රෝග සුව කිරීමේ බල, රෝග ඇති කිරීමේ බල, සිත් සන්සුන් කිරීමේ බල, සිත් වික්ෂිප්ත කොට උමතු කිරීමේ බල, අමනුෂ්‍යයන් දුරු කිරීමේ බල, ඔවුන් ගෙන්වීමේ බල, සමගි වූවන් භේද කිරීමේ බල, භේද වූවන් සමගි කිරීමේ බල, ඉන්නා තැනින් පන්නා දැමීමේ බල, අන්‍ය්‍යන්ගේ සිත් ඇද ගන්න බල යනාදි අනේක ප්‍රකාර බල මන්ත්‍රවල, කවිවල ඇත්තේ ය.
පිරිත් අතුරෙන් කරණීය මෙත්ත සූත්‍රය බෙහෙවින් වශීකරණ බලය ඇති සූත්‍රයෙකි. එය බොහෝ කොට භාවිත කිරීමෙන් ජනප්‍රිය පුද්ගලයකු විය හැකි ය.
අන් සෑම පිරිත් සූත්‍රයකට වඩා ලස්සනට මිහිරියට කිය හැකි සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රය ය. එහි වඩාත් වශීකරණබලය ඇත්තේ ඒ නිසා ය. දික් අකුරු කෙටි අකුරු අල්ප අකුරු මහප්‍රාණ අකුරු වරදවන්නේ නැතිව වචන මැදින් බිඳින්නේ නැතිව එක් වචනයක් අග හෝ මුල් අකුරක් අන්වචනයකට එකතු නො කර වෘත්තය නොබිඳ නියම තාලයට මේ සූත්‍රය කියන්නට පුරුදු කරගත යුතු ය. මේ ගාථා, ගාථා තාලයට මිස මන්ත්‍ර කියන තාලයට වේගයෙන් නො කිය යුතු ය. එසේ නියම තාලයට නො වරදවා මේ සූත්‍රය කියතහොත් එහි අර්ථ නො තේරෙතත් ගුණ ලැබෙනු ඇත. සමහරවිට වරදවා කියන පිරිත්වලින් මන්ත්‍රවලින් දොස් ඇති වන්නට ද බැරි නැත. තේරුම් නො දැන වුවද පිරිත හරියට කියත හොත් ශබ්දයෙන් ලැබෙන ගුණය ලැබෙන්නේ ය.
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි
සර්වඥතාඥානය
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නො දන්නා ලද්දක්, නො දක්නා ලද්දක්, ඥානයෙන් නො පැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නො කරන ලද්දක්, ඥානයෙන් ස්පර්ශ නො කරන ලද්දක් නැත. අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූද සකලධර්මයෝ සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥාන මුඛයෙහි පෙනී සිටින්නාහ.
නෙය්‍ය නම් වූ යම් කිසිවක් ඇති නම් ඒ දත යුතු සියල්ල ආත්මාර්ථය හෝ වේවා, පරාර්ථය හෝ වේවා. උභයාර්ථය හෝ වේවා, දෘෂ්ටධර්මිකාර්ථය හෝ වේවා, සාම්පරායිකාර්ථය හෝ වේවා, නො ගැඹුරු අර්ථය හෝ වේවා, ගම්භීරාර්ථය හෝ වේවා, ගූඪාර්ථය හෝ වේවා, ප්‍රච්ඡන්නාර්ථය හෝ වේවා, නෙය්‍යාර්ථය හෝ වේවා, නීතාර්ථය හෝ වේවා, අනවද්‍යාර්ථය හෝ වේවා, නික්ලේශාර්ථය හෝ වේවා, ව්‍යවදානාර්ථය හෝ වේවා, නිර්වාණසංඛ්‍යාත පරමාර්ථය හෝ වේවා, ඒ සියල්ල බුද්ධ ඥානය තුළ පරිවර්තනය වෙයි.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කායකර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වාක්කර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මනඃකර්ම සියල්ල ඥානය අනුව පවතී.
භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අතීතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අනාගතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය වර්තමානයෙහි සැපීමක් නැත.
ඥෙය යම් පමණ නම් ඥානය ද එපමණ වේ. ඥෙය, ඥානය හිමි කොට ඇත්තේ ය. ඥානය, ඥෙයය හිමි කොට ඇත්තේ ය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ ඔවුනොවුන් පර්යන්ත කොට සිටින්නාහ. කටවල් මැනවින් හේත්තු වන සේප්පුවක් වැසූ කල්හි යම් සේ උඩුපියන යටිපියන ඉක්මවා නොසිටී ද, යටිපියන උඩුපියන ඉක්මවා නොසිටී ද, යම් සේ ඒ දෙක ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ වේ ද, එමෙන්ම භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය හා ඥෙයය ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ ය. යම් පමණ ඥෙයය වේද ඥානයද එපමණ වේ. ඥානය යම් පමණද ඥෙයය එපමණය. ඥානය, ඥෙයය කෙළවර කොට ඇත්තේය, ඥෙයය, ඥානය කෙළවර කොට ඇත්තේය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන් කෙළවර කොට සිටින්නෝ ය. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය සකල ධර්මයන්හි පවත්නේය.
සර්වඥතාඥානය සකලධර්ම විෂයෙහි කිසි තැනක පැකිළීමක් ගැටීමක් ආවරණයක් නැතිව ගමන් කරන බැවින් එයට අනාවරණඥාන යයි ද කියනු ලැබේ. සර්වඥතාඥානය ඇති බැවින් බුදුරදුන්ට සියල්ල නිරතුරුව පෙනෙමින් පවත්නේ නොවේ. ඒ ඥානය ඇති කල්හි නො දත හැකි නො දැකිය හැකි දෙයක් ද නැත. ආවර්ජනා කරන කරන සියල්ල ඉතා පිරිසිදු ලෙස ඒ ඥානයට පෙනෙන්නේය. එය ලොවුතුරා බුදුනට පමණක් ඇති අන් කිසිවකුට නැති විශේෂ ඥානයෙකි. එහි තතු සෙස්සන් විසින් නො දැකිය හැකිය. ඒ ඥානයේ සැටි කෙසේද? එක් පුද්ගලයෙකුට පමණක් එබඳු ඥානයක් ඇතිවිය හැකිද? බුදුරදුන් ඒ ඥානයෙන් එක විටම සියල්ල දුටුයේද? එකිනෙක වෙන් වශයෙන් බලා දැන සර්වඥ වූයේද? යනාදීන් සාමාන්‍ය ජනයා විසින් නො සිතිය යුතුය. ඒ සිතීම අනර්ථකරය. එබැවින් තථාගතයන් වහන්සේ විසින්,
“බුද්ධානං භික්ඛවෙ, බුද්ධවිසයො අචින්තෙය්‍යො. න චින්තිතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස”
(අංගුත්තර චතුක්කනිපාත 238)
යනු වදාරන ලදී. “මහණෙනි, බුදුන්ගේ බුද්ධවිෂය නො සිතිය යුතු ය. එය සිතන්නේ උමතු බවටත් වෙහෙසටත් පත්වන්නේ ය” යනු එහි තේරුම ය.
සූවිසි මහ ගුණය – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි
නිදිමත නැති කිරීමේ ක්‍රම සතක්
නිදිමත නැති කිරීමේ ක්‍රම සතක්
————————————
එක් සමයෙක්හි මුගලන් මහතෙරුන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත නම් ගම සමීපයේ මහ වනයෙහි මහණදම් පුරන සේක්; සක්මන් කරමින් භාවනා කිරීමෙන් වෙහෙසට පත් ව සක්මන කෙළවර හිඳ නිදා වැටෙමින් හුන් සේක. මුගලන් මහතෙරුන් වහන්සේ එසේ නිදා වැටෙමින් වැඩ ඉන්නා බව තථාගතයන් වහන්සේ දිවැසින් දැක එතැනට වැඩ වදාරා පනවන ලද අසුනෙහි වැඩ හිඳ “මොග්ගල්ලානය, නිදා වැටෙන්නෙහි දැ”යි වදාළ සේක. “එසේය, ස්වාමීනි” යි මුගලන් මහතෙරුන් වහන්සේ පිළිවදන් දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහතෙරුන් වහන්සේට මතු දැක්වෙන කරුණු සත වදාළ සේක.
1. මොග්ගල්ලානය! යමක් සිහිකරමින් වෙසෙන කල්හි තට නිදිමත ආවහොත් එය සිහි නො කර හරුව. එසේ කළ කල්හි තට එයින් නිදිමත දුරුවිය හැකිය.
2. එසේ කිරීමෙන් ද ඒ නිදිමත නො දුරු වුව හොත් අසා ඇති දැන ගෙන ඇති ධර්ම සිහිකරන්නට ඒවා ගැන කල්පනා කරන්නට විමසන්නට පටන් ගනුව. මොග්ගල්ලානය! එසේ කරමින් වෙසෙන කල්හි තට නිදිමත දුරුවිය හැකිය.
3. මොග්ගල්ලානය! එසේ කරන කල්හි දු තාගේ නිදිමත නො දුරු වී නම් අසා ඇති පුහුණුකර ඇති බණ දහම් විස්තර වශයෙන් සජ්ඣායනා කරව. එසේ කරමින් වෙසෙන කල්හි තාගේ නිදිත දුරුවිය හැකිය.
4. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත දුරු නොවේ නම් කන් දෙක අල්ලා ඒ මේ අතට ඇදීම කරව. අත්වලින් තදින් ඇඟ පිරිමැදීම කරව. එසේ කරන කල්හි තාගේ නිදිමත දුරුවිය හැකිය.
5. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත නො දුරුවෙතොත් ඇල් දියෙන් ඇස් තෙමා පිරිමැද වටපිට ලෝකය දෙස බලව. අහසේ තරු දෙස බලව. සමහරවිට එයින් තාගේ නිදිමත දුරුවිය හැකිය.
6. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත දුරු නොවී නම් ආලෝක සංඥාව සිත්හි ඇතිකර ගනුව. දවල් යන හැඟීම ඇතිකර ගනුව. දවාලෙහි මෙන් රාත්‍රියෙහිත් ආලෝක සංඥාව ඇති කර ගනුව. රාත්‍රියෙහි මෙන් දවාලෙහිත් ආලෝක සංඥා ඇතිකර ගනුව. සිත ආලෝකවත් කර ගනුව. එසේ වාසය කරන කල්හි තට නිදිමත දුරුවිය හැකිය.
7. මොග්ගල්ලානය! එසේ කිරීමෙන් ද තාගේ නිදිමත දුරු නොවේ නම්, ඇතුළත ම තබා ගන්නා ලද චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ඇතුව පිටතට නො යැවූ සිත් ඇතුව සක්මන් කරව. එසේ කරන කල්හි තට නිදිමත දුරු කළ හැකිය.
මොග්ගල්ලානය, එයින් ද තට නිදිමත දුරු නොවේ නම්, දකුණු ඇලයට හැරී එක් පයක් මත අන්පය මඳක් ඉදිරියෙන් තබා නැගිටින වේලාව සිහිකොට සිංහ ශෙය්‍යාවෙන් සයනය කරව. නින්දෙන් අවදි වූ වහා නැගිටිය යුතුය. මෙසේ තථාගතයන් වහන්සේ වදාළ සේක. (මෙය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සූත්‍රයකින් ගන්නා ලදි.)
ප්‍රථම මහා සමාගම සහ මංගල ධර්ම දේශණය ආරම්භය
බෝධි පූජාවේ යථාර්තය
අපගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට බුද්ධත්වයට පත්විම සදහා සෙවණ ලබා දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ රෝපණය වී තිබෙන ඓතිහාසික මහබෝධි වෘක්ෂය, එම පූජනීය
වෘක්ෂයෙහි දකුණු අංකුර පැලයක් වු
අනුරාධපුරයේ මහමෙව්නා උයනෙහි රෝපණය කර ඇති
මිනිසා විසින් සිටවූ සහ එසේ සිටවූ කාලය නිවැරැදිව දන්නා පැරණිම වෘක්ෂය ලෙස වාර්තාගතවු අති පූජනීය ශ්‍රී මහා බෝධි වෘක්‍ෂය, මෙන්ම බෞද්ධ දර්ශනය ප්‍රචලිත විවිධ දේශයන්හි සුප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම කුඩා ගම්මානවල පිහිටි පූජනීය ස්ථානවල
රෝපණය කර ඇති බෝධි වෘක්ෂයන් හට අනාදිමත් කාලයක සිට
ලෞකික සහ අධ්‍යාත්මික අභිවෘද්ධිය උදෙසා පුද පූජා පැවැත්වීම, වන්දනා කිරිම සහ විවිධ වත් පිළිවෙත් කිරිම
බෞද්ධයින් පුරුදු පුහුණු කල විශේෂ කටයූත්තක් වූහ.
රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ වූ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට
වන්දනා පූර්වකව “අපි සගරාවේ” අපගේ අරාධනය මෙම පින්බර පොසොන්මාසයේ දී “බෝධි පුජාවේ යථාර්ථය පිළිබදව” ඔබ හමුවේ කරුණු විග්‍රහ කිරිමටයි.
1. බෝධි පුජාව කෙසේ අර්ථකතනය කල හැකිද?
‘බෝධිය’ යන වචනයේ අර්ථය ‘අවබෝධය’ කියන එකයි. ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දැන දැක පැහැදීම, ‘අවබෝධය’ හෙවත් ‘බෝධිය’ ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. ‘සම්බෝධි’, ‘සම්බුද්ධ’ හෙවත් පරිපුර්ණ අවබෝධයට පත් වූ; ලෙස බුදුරජාණන් වහන්සේගේ ගෞරවණීය ආමන්ත්‍රණය සඳහා භාවිතා කරන්නේත් එනිසයි. ‘පූජා’ යන්නෙහි අදහස නම්, ගෞරවය දැක්වීම, ප්‍රශංෂා කිරීම වගේම රැකබලා ගැනීම, පරිස්සම් කිරීම, අත්හැරීම යන අරුත් දක්වන්න පුළුවන්.
එසේනම්, ‘බෝධි පුජාව’ ලෙස අර්ථකථනය වන්නේ, යම් කෙනෙකු විසින් උතුම් ධර්ම මාර්ගය ඔස්සේ ක්‍රියාත්මක වෙමින්, ජීවිතය පිලිබඳව, ලෝකය පිළිබඳව සත්‍යාවබෝධයට පත්වීමත්; ඒ ලබාගත් අවබෝධය නැවත නැවත මෙනෙහි කරමින් එහි අඩුපාඩු ඇත්නම් නිවැරදි කරගැනීමත්; තවදුරටත් අවබෝධය වර්ධනය කරගත යුතුනම් එය වර්ධනය කරගැනීමට අධිෂ්ඨාන කරගැනීමත්; ඉලක්ක ගත අවබෝධයකට පත් වූවානම් එය පවත්වා ගැනීමට, ආරක්ෂා කරගැනීමට කටුයුතු කිරීමත්; පරිපුර්ණ අවබෝධයට පැමිණ ඇත්නම්, එහි පරිපුර්ණත්වයට පැමිණි බව දැනගෙන උපෙක්ෂකව, මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන් යුක්තව වාසය කිරීමත්ය.
අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුද්ධත්වයෙන් දෙවන සතිය තුල සිදුකල අනිමිසලෝචන පුජාව දෙස බැලුවොත් ඉහත අර්ථකථනය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මුලින්ම, අනිමිසලෝචන පූජාව හි අර්ථය පිලිබඳ ව්‍යවාහරික අදහසට වඩා මෙහි දාර්ශනික අදහස තේරුම් ගන්න උත්සහ කිරීම වටිනවා. ‘අනිමිසලෝචන’ (අ+නිමිස+ලෝ+ච) යන පාලි පදය තුල අර්ථ කිහිපයක එකතුවක් පිළිබිඹු වෙනවා. ‘අනිමිස'(අ+නිමිස) යන්නෙහි සෑම නිමේශයක්, මොහොතක්, ක්ෂණයක් යන්න අර්ථකථනය වේ. ලෝචන (ලෝ+ච) පදයෙහි, ‘ලෝ’ යන පදය තුල ලෝකයත්, ‘ච’ යන පදයෙන් චිත්තයත් පිලිබඳ විමර්ශනය කිරීම, මනසිකාර කිරීම යන්න අර්ථකතය වෙනවා. එහෙනම්, සම්බුද්ධත්වයෙන් දෙවන සතිය පුරාවට සම්බුදුරජාණන් වහන්සේ, සිදුකලේ ලෝකය වනාහි සෑම ක්ෂණයක් පාසා සිදුවන චිත්ත ක්‍රියාවලියක් බව අනාවරණය කිරීමයි. එය තවදුරටත් තහවුරු කරගැනීම පිණිස උන්වහන්සේ දර්ශක 37ක් හෙවත් මිනුම් දඬු 37 ඔස්සේ උන්වහන්සේ අවබෝධ කරගත් යථාර්තය විමර්ශනය කිරීම සිදුකලා. එය ධර්මයේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ලෙස ඉදිරිපත් කරනවා. එම දර්ශක 37 ඔස්සේ බැලීමේදී උන්වහන්සේ, ලෝකය/ජීවිතය පිලිබඳ අවබෝධ කරගත් සත්‍යය, නියත වශයෙන් සත්‍යක්ම බව අනාවරණය කරගනු ලැබුවා. ඉතින් මෙම ක්‍රියාවලියට තමයි ඇත්ත වශයෙන් අනිමිසලෝචන පුජාව කියල කියන්නේ.
ඉතින් අද අප බෝධි පූජාව ලෙස සිදුකල යුතු වන්නේත්, දුක්විඳින තම ජීවිතය/ලෝකය පිලිබඳව සත්‍ය අවබෝධ කරගැනීමත්, එහි ක්‍රමානුකුල වර්ධනය නිරතුරුව ප්‍රත්‍යවෙක්ෂා කරමින් නිවන නමැති උතුම් අවබෝධයට පත්වීමයි. එය තමන්ගේ යහපත උදෙසාත්, සියළු දුක් කෙළවර කිරීම උදෙසාත් එකම වැඩපිළිවෙලයි.
2. නමුත්, බෝධීන් වහන්සේ ලෙස අප වන්දනා මානයට පාත්‍ර කරන්නේ බෝධි වෘක්ෂයක් නේද? බෝධීන් වහන්සේ වන්දනාව සහ වෘක්ෂ ඇදහිලි අතර වෙනස කුමක්ද?
යක්ෂ, දේව, නාග, මළවුන්, ගස්ගල් ආදී අතීත විවිධ ඇදහිලි විශ්වාස අතරින් වෘක්ෂ ඇදහිලි, එදා අතීත ජන සමාජ වල පැවතුනා. වෘක්ෂයට අරත්ගත් දේවත්වයකින් තමන්ගේ අපේක්ෂාවන් හෝ ප්‍රාර්ථනාවන් සපුරා ගැනීම සඳහා කරනු ලබන පූජාව, වෘක්ෂ ඇදහිලිවල දකින්න පුළුවන්. නමුත්, බෝධි වන්දනාව ඊට හාත්පසින් වෙනස්වන්නේ, වෘක්ෂ වන්දනාව හෝ පූජාවම, අන්ධ භක්තියකින් හෝ අන්ධ විශ්වාසයකට ලඝු නොකොට; වෘක්ෂ වන්දනාව, බුද්ධ දර්ශනයට අනුකුල ලෙසත්, වඩාත් අර්ථසම්පන්න ලෙසත් ඉදිරිපත් කිරීමක් ලෙස බෝධී වන්දනාව දකින්න පුළුවන්.
උදාහරණයක් ලෙස, එදා තමන් වහන්සේ බුද්ධත්වයට පැමිණී අවස්ථාවේ, උන්වහන්සේ ලබාගත් උතුම් අවබෝධය සංසන්දනය කරන්න, නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා උන්වහන්සේ පිටදුන් බෝධි වෘක්ෂය කැඩපතක් ලෙස තමන් වහන්සේගේ අවබෝධය දකින්න උපයෝගී කරගත්තා. අපි දන්නවා, කැඩපත කියන්නේ තමන්ගේ අඩුපාඩු දකින්න පුළුවන්, අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් දෙයක්. ඒවගේ, බෝධි වෘක්ෂය කැඩපතක් ලෙස තමන්ගේ අවබෝධය කෙසේද යන්න දකින්න පුලුවන්නම් එය හරිම වටිනා දර්ශනයක් වෙනවා.
කොහොමද බෝධි වෘක්ෂයකින් තමන්ගේ අවබෝධය දකින්නේ?
– මේ මහා වෘක්ෂය වනස්පතියක් ලෙස මනා ලෙස වැඩුණු, මනා ලෙස විහිදුනු අතුපතර සහ මූල පද්ධතිය, මනා පරිණත බව පෙන්වයි. එලෙස තමා තුල ජීවිත යථාර්තය පිලිබඳ පරිණත බව කෙසේද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.
– මේ මහා වෘක්ෂය කුමන හෝ සැඩ සුළං, ගංවතුර ආදී කුමන බාධකයන්ට නොසැලී අකම්පිතව වාසය කරයි. එලෙස තමා තුල, නොයෙකුත් බාධක හමුවේ නොසැලී, අකමිත සිතකින් වාසය කලහැකිද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.
– මේ මහා වෘක්ෂය, කාගේවත් හව් හරණක් නැතුව තනිව වැඩී නැගී සිටියි. එලෙස, තමාටද තනිවම අභියෝග හමුවේ නැගී සිටීමට හැකිද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.
– මේ මහා වෘක්ෂය අභියස, පවතින මහා සෙවණ අධික හිරු රශ්මියෙන්, වැස්සෙන් ආරක්ෂාව සැලසෙයි. එලෙස, තමාටද කටුක දුෂ්කර අරමුණු වල නොගැටී නොඇලී වාසය කල හැකිද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.
– මේ මහා වෘක්ෂය යට, දැනෙන සිසිලස, බෝ පත් සිරස වදින විට දැනෙන සුවපත් බව, මහා වෘක්ෂය අභියස සුදුවැලි මත ඇවිදින විට පයට දැනෙන සුවපත් බව යම්සේද? එලෙසම, ජීවිත අවබෝධය තුලින් ලැබෙන නිරාමිස සැපය, සුවපත් බව අත්විඳිය හැකිද? යන්න තමාට අත්දැකිය හැකිනම්,
තමන්ටම තමන්ගේ අවබෝධයේ මට්ටමත්, ඒ තුලින් ලැබුණු ආධ්‍යාත්මික ශක්තියත් මැන බලන්න පුලුවන්.
තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය සහ හැකියාව පිළිබඳව ඉහත පරිදි වටහාගත් කෙනාට, හොඳ විශ්වාසයක් ගොඩනැගෙනවා විතරක් නෙවෙයි, ඕනෑම අභියෝගයක් ජයගන්න එය පිටිවහලක් වෙනවා. මෙම ක්‍රියාවට කියනවා සත්‍යක්‍රියා කරනවා කියල, සත්‍යක්‍රියාව කියන්නේ, තමන් විසින් දැන දැක ගනුලැබූ ජීවිතයේ සත්‍යය, පිරිසිඳු සත්‍යක්නම්, එහි ශක්තියෙන් හා බලයෙන් සියළු ප්‍රර්ථනා ඉටුවේවා කියල අධිෂ්ටාන කරන්න පුළුවන්. එහි තිබෙන සත්‍යානුබලය හේතුවෙන් සහ තමන් තුල පවතින හැකියාව පිලිබඳ විශ්වාසය හේතු ගොටගෙන, ඕනෑම ප්‍රාර්ථනාවක ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්.
“අපි සගරාවේ” පාඨක ඔබ සියලු දෙනාටම ඉතාමත් වටිනා දහම් කරුණු කීපයක්ම ඉතාමත් මැනවින් පැහැදිලි වුනායැයි අපගේ විශ්වාසය.
මෙම පිං කටයුත්ත උදෙසා අප සමග නිරන්තරයෙන් සම්බන්ධ වන අපගේ පිංවත් ස්වාමින්වහන්සේට අපගේ කෘතවේදීත්වය පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පිං ලැබේවා!
අමා නාකන්දලගේ
වෙසක් මාසයේ සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සමරන්න අදහසක්
ලොවපුරා ජීවත්වන බෞද්ධයන්ට පැමිණෙන විශේෂම වු මාසයක් ලෙස මැයි මාසය, සිංහල ලිතට අනුව වෙසක් මාසය හදුන්වන්න පුලුවනි.
සම්බුදු තෙමඟුල එනම් අපගේ සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය පත්විම සහ පරිනිර්වාණය යන විශේෂ කරුණු ස්මරණය කිරිම සදහා
පවත්වන වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවය ලෙස නම් කල හැකිය.
ඔබ අප සියලුදෙනාගේම හිතසුව පිණිස දහම් කරුණු “අපි සගරාව” ඔස්සේ සාකච්ඡා කිරිමට මුලික වි කටයුතු කරන රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ වු
විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් දැනඋගත්
පරිදි නොබෝදිනකින් පැමිණෙන වෙසක් මාසයේ යෙදි ඇති “සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සමරන” ආකාරය පිළිබදව අදහස් කිපයක් ඔබ හමුවේ තබන්නටයි අපගේ සුදානම.
වර්තමානයේ වෙසක් සැමරුම් කෙසේ අර්ථකථනය කල හැකිද?
වෙසක් මාසය තුල අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන උතුම් ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කරමින් විවිධ ආකාරයේ සැමරුම් සිදුකරන මාසයක් ලෙස සලකන්න පුළුවන්. වෙසක් කූඩු, තෝරන් වැනි වෙසක් සැරසිල්ලේ සිට බෝධි පුජා, කප්රුක් පූජා වැනි විවිධ පූජා සම්ප්‍රදායන් මෙන්ම භක්ති ගීත, පෙරහැර, දන්සල්, දාන සීල භාවනා වැඩසටහන් වැනි විවිධ සැමරුම් සංවිධානය වන මාසයක් ලෙස දකින්න පුළුවන්. එක් අකාරයකින් මෙම වෙසක් සැමරුම් හුදෙක් ආගමික සැමරුමකට ගොනු නොවී සාමාජීය සහ සංකෘතික ගුණයන්ගෙන් පෝෂණය වූ විවිධ අර්ථයන් විදහා දක්වන සැමරුමක් බවට වර්තමාන වෙසක් සැමරුම පත්වෙලා තියෙනවා. එය එසේ සිදුවන්නේ කාලයක් තිස්සේ එම සමාජ,සංස්කෘතික සහ ආගමික හැඩතල බෞද්ධ දර්ශනය සමඟ මිශ්‍රවීම නිසාය. සම්බුදු තෙමඟුල සමරන බෞද්ධ රටවල්වල එම සැමරුම් ඒ ඒ සමාජ,සංස්කෘතික සහ ආගමික හැඩතලයන්ට ආවේණිකව සිදුවන්නේ මේ නිසා බව තේරුම් ගන්න පුළුවන්. ඒ උනත් අප තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ මේ සෑම සැමරුමකම, යම් ශාසනික වශයෙන් යම් වටිනා පණිවිඩයන් හෝ අර්ථයන් ලබාදීම සිදුවන බව.
වෙසක් කූඩුවෙන් අර්ථ ගැන්වෙන ධර්ම දර්ශනය කුමක්ද?
උදාහරණයක් ලෙස අපි හැමෝම වෙසක් සැරසිලි සිදුකරනවා, ඒ අතරින් වෙසක් කූඩුව විශේෂයි. විශේෂයින් වයස් බේදයකින් තොරව වෙසක් කුඩු නිර්මාණය කිරීමට කැමතියි. වෙසක් කූඩුව තුලින් අපිට බුද්ධ දර්ශනයේ ඉදිරිපත් කරන ජීවිත යතාර්ථය තේරුම්ගැනීමට භාවිතා කරගන්න පුළුවන්. විශේෂයෙන් ධර්ම ශ්‍රවණය තුලින් ධර්මය ඉගෙන ගන්නවා වෙනුවට, ප්‍රායෝගිකව ධර්ම අවබෝධය ලබාගැනීමේ ක්‍රමවේදයක් ලෙස වෙසක් කූඩුව අපිට දකින්න පුළුවන්. අපේ කයෙහි යථාර්තය තේරුම්ගැනීම සඳහා වෙසක් කූඩුව හොඳ උපමා නිදර්ශකයක් සපයනවා. කුඩා ලී දඬු හෝ උණ දඬු කිහිපයක් එකිනෙක සම්බන්ධ කරමින් නිර්මාණය කරන මුලික සැකිල්ල හරියට අපේ කයෙහි අස්ථි පද්ධතිය සේ තේරුම් ගන්න පුළුවන්. රාත්‍රී ආලෝකය පිණිස සැකිල්ල අභ්‍යන්තරයේ එල්ලන පරිපථ, වයර් සහ විදුළි බුබුළු, ශරීර අභ්‍යන්තර පද්ධතීන් නිරුපණය කරනවා. සව්කොල හෝ වෙනත් කඩදාසි යොදා ආවරණය කරන සම්පුර්ණ සැකිල්ල හරියට බාහිරින් ඇති සම නමැති පද්ධතිය සේ දකින්න පුළුවන්. වෙසක් කුඩුවේ බාහිර සැරසිලි ලෙස විවිධ වර්ණයන්ගෙන් යුත් කැටයම් සහ රැළි ආදීය, කයෙහි අලංකාරය පිණිස වූ වස්ත්‍ර, ආභරණයන් නිරුපණය කරනවා.
මෙසේ මහන්සියෙන් නිර්මාණය කරන ලද වෙසක් කූඩුවේ සැබෑ අලංකාරය දකින්න පුළුවන් වෙන්නේ රාත්‍රියටයි. මන්ද, වෙසක් කූඩුවට විදුලිය ලැබීමත් සමඟම ආලෝකමත් වන වෙසක් කූඩුවේ විසිතුරු බව, වින්දනීය බව, එයට යම් සජීවී බවක් ආරෝපණය කරනවා. එය හරියට කය මෙහෙයවන සිත නමැති ක්‍රියාවලිය නිරුපනය කිරීමක්. මෙලෙස වෙසක් කුඩුවෙන් අර්ථවත් කය සහ සිතෙහි ක්‍රියාකාරීත්වය, හුදෙක් තාවකාලික සංසිද්ධියක් බව පසක් වන්නේ, වෙසක් කුඩුවේ ආයුකාලය ඉතා කෙටිකලකින් ව්නාශ වී යන විටය. ඉතා මහන්සියෙන් නිර්මාණය කරපු විසිතුරු, මන බඳින, ප්‍රියජනක වූ වෙසක් කූඩුව, ක්‍රමයෙන් රැළි ගැලවී, අවර්ණ වී, ඇලවූ සව්කොල වැරහැලි සේ එල්ලී තිබෙන විට ඇතිවන ජීවිතයේ යථා ස්වරුපය වෙසක් කූඩුවෙන් අවබෝධ කරගැනීමට පුළුවන. ඒ වගේම, ඉතා මහන්සියෙන් නිර්මාණය කරපු වෙසක් කූඩුව ඉතා ඉක්මනින් විනාශ වීම ඉවසා, දරා ගැනීමට අවශ්‍ය මනා පුහුණුව මෙම නිර්මාණ ක්‍රියාවලියෙන් නිර්මාණකරුවාට ලැබෙනවා.
වෙසක් මාසයේ ක්‍රියාත්මක වන දන්සැල් සංස්කෘතිය කෙතරම් අර්ථසම්පන්නද?
දානය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම ඉතාම විසිතුරු දර්ශනයක්. නිවන් මාර්ගය පසක් කිරීමේ ක්‍රමානුකූල ගමන් මාර්ගයේ ආරම්භක ධර්මතාවය ලෙස දානය හඳුන්වන්න පුළුවන්. භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික අත්හැරීම් වශයෙන් විවිධ මට්ටම්වලින් දානය පුරුදු කිරීම බුද්ධ දර්ශනය තුල නිරතුරුව ඉස්මතු කෙරෙන ධර්මතාවයක්. මූලික වශයෙන් තමන් සතු තමන්ගේ පරිභෝජනයට ඇති භෞතික ධර්මතා විශේෂයෙන් ආහාර, පාන හෝ වෙනත් ද්‍රව්‍යයන් අන් කෙනෙකුගේ හිත සුව පිණිස පරිත්‍යාග කිරීම තුල මෛත්‍රීය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව වැනි උතුම් ගුණාංග වර්ධනය වීම දකින්න පුළුවන් කම තියෙනවා. ඊටත් වඩා, තමන් සන්තකයේ පවතින ද්‍රව්‍ය දේ තුල පෝෂණය වූ මම මගේ සංකල්පයන් බැහැර කිරීම පිණිස ද්‍රව්‍ය දේ අත්හැරීම පුරුදු කල යුතුයි. සමාජීය වශයෙන් සියලු දෙනාගේ එකමුතු බව සහ සහසම්බන්ධතාවය වර්ධනය වීමත් වැනි අර්ථාන්විත ගුණ වගාවන් වර්තමාන දන්සැල් සංස්කෘතිය දකින්න පුළුවන් කම තියෙනවා.
මේ වෙසක් කූඩුව, දන්සැල විතරක් නොවේ, ඉහත පෙන්වා දුන් සියලු සැමරුම් තුලින් අපේක්ෂා කලයුත්තේ, ඒ තුලින් සෑම සියළු දෙනාට, විශේෂයෙන් ළදරු වියේ සිට, තරුණ, මහලු සියලු දෙනාටම තම තම නැණ පමණින් බුද්ධ දර්ශනය පිලිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට අවකාශ විවර කිරීමයි. ඒ සඳහා වෙසක් මාසය පුරාවට සංවිධානය කෙරෙන විවිධ සම්බුදු සැමරුම් වල අර්ථාන්විත බව අවබෝධ කරගෙන ඒ සඳහා සියළු දෙනා සහභාගී කරවමින් විශේෂයෙන් ළමා පරපුර දැනුවත් කරවමින් මෙම වෙසක් මාසය තුල සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සැමරීමට ඔබ සියලු දෙනාට මෙය අනුශාසනවක්ම වේවා!
මෙම ඉතාමත් වටිනා කරුණු සමුච්චය ඔබ හමුවේ විග්‍රහ කිරිමට අපට අනුශාසකත්වය ලබාදුන් අපගේ පින්වත් ස්වාමින්වහන්සේට “අපි සගරාවෙහි කාර්ය මණ්ඩලයේ සහ අපි පාඨක සියලු දෙනාගේම ” කෘතවේදීත්වය පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!
“භාවනා වැඩසටහන්” පිළිබදව තොරතුරු දැන ගැනිමට පහත සදහන් මාධ්‍යයන් ඔස්සේ ඔබට රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්බන්ධවිමට පුලුවන.
Contact (SL): +94 763229860
Contact (UK): +44 7525843376
Email: rideekanda@gmail.com
Web: www.rideekanda.com
අමා නාකන්දලගේ





